Tuesday, December 31, 2013

තැපෑලෙන් දොළහක්!!! (ඔසුනවවේ...!!)

පවන් රළිත්තක් පවා නොහැමූ ඒ රැය, දැල්වෙන තරු වලින් දිස්නය දුන් අහසෙන් යුක්තව සීතලෙන් වෙලී තිබුනි.

එක් වරම “ඩෝං“ ගා ශබ්ද නගමින් නිවසක් අසල කළයක් බිම වැදී පුපුරා ගියේය. හරියටම රෑ දොළහ වෙද්දී පල්ලියේ ඔර්ලෝසුවේ කනිසම වැදුනි. ඔව් ඒ අළුත් අවුරුද්දයි. සැවොම ප්‍රීතියෙන් යුතුව නව වසර පිළිගනිමින් සිටියහ.

“ට්‍රෑං ට්‍රෑං“. සෙමෙන් පැමිණි තැපැල් කරත්තය නගරද්වාරය අසල නතර විය. තැපැල් කරත්තය ඇතුලෙහි ඇති ආසන දොළසෙහි සංචාරකයන් දොළොස් දෙනෙකු වාඩි වී සිටියහ.

පල්ලියේ ඔර්ලෝසුව හරියටම දොළහට නාද වී, නැවුම් වසර පැමිණි බව සන් කළ නිසා නගර වැසියන් හැමදෙනෙකුම දැඩි ප්‍රහර්ෂයෙන් යුතුව එය පිළිගැනීමටත් සැමරීමටත්, තම අතැති උතුරා යන මධුවිත සහිත වීදුරු ගෙන ලකලැහැස්ති වී සිටියහ.

“සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!“ එය දසත පැතිරි එකම ඝෝෂාව විය.


එකම එක සුභපැතුමක් තැන තැන යමින් තිබුනි.

“හැඩ ගෑනීයි. සල්ලි ගොඩයි
අවුලක් නැති ජීවිතයයි“

නැවත නැවතත් වීදුරු පුරවාලමින් ඔවුහු ප්‍රීතියෙන් ඔකඳ වී සිටිද්දී, අමුත්තන් දොළොස් දෙනෙකු රැගත් තැපැල් කරත්තය නගරද්වාරය අසල නවත්වා තිබුණි.

ඉතිං කව්ද මේ අමුත්තන්? ඒ හැමෝටම වෙන වෙනම ගමන්මල්ලක් හා ගමන් බලපත්‍රයක් තිබුණි. ඇත්තටම ඒ අය මට, ඔයාට, මේ නගරේ හැමෝටම තෑගි පවා රැගෙන විත් ඇත. ඉතිං ඇත්තට කව්ද මේ අය? මේ අයට මොනවද ඕන?? ඔවුන් රැගෙන පැමිණියේ මොනවාද?

“සුභ උදෑසනක්“ නරද්වාරයේ මුර සෙබළා වෙත ඔවුන් එසේ පවසද්දී, හරියට දොළහේ කණිසම නාද දුන් හෙයින් මුර සෙබළාද “සුභ උදෑසනක්“ කියා තෙපලීය.

“ඔබතුමාගේ නමයි රස්සාවයි කියන්න“ යැයි කරත්තයෙන් මුලින්ම එළියට බට තැනැත්තාගෙන් මුර සෙබළා ඉල්ලා සිටියේය.

“ආහ්. ඔන්න ඔයාම බලාගන්න“ තම ගමන් බලපත්‍රය දිගු කරමින් ඔහු පැවසීය. ඒ කෙසේද යත් “ඔව් මේ මම තමා..“ කියන ගර්වයෙන් යුතුව, වලස්හමින් කළ කබාය ඇගලාගත්, ෆර් ලීයෙන් කළ සපත්තු පැළදි ඔහු ආඩම්බරයෙන් යුක්තව සෙබළා දෙස බලා සිටියේය.

“හහ්. මට විතරයි පුළුවන් මිනිස්සුන්ට බලාපොරොත්තු ගේන්න. ඔයත් හෙට එන්න මාව හමු වෙන්න. මං ඔයාටත් දෙන්නං අළුත් අවුරුදු තෑග්ගක්. මම මිනිස්සුන්ට සල්ලි පවා විසි කරනවා. මම බාල් නැටුම් තියනවා. එකක් නෙමෙයි හැබැයි තිස් එකයිම. ඊට වඩා මට ඕවා කරන්න වෙලාවක් නැහැ. මොකද මගේ නැව් ඔක්කෝම අයිස් වලින් මිදිලා, ඒත් මම ඉන්න තැන නං හරිම උණුසුම් සුවපහසු තැනක්. මම වෙළෙන්දෙක්. මගේ නම ජනවාරි. හැබැයි මම යන තැනක ගෙනියන්නේ ඔය එකවුන්ට්ස් විතරමයි“

ඉන් පසුව දෙවැන්නාද කරත්තයෙන් බිමට බට විට, ඔහු ප්‍රියමනාප පුද්ගලයෙකු බව හදුනාගැනීමට හැකිවිය. ඔහු නෘත්‍යශාලා හිමිකරුවෙක්ද, නොයෙකුත් නාට්‍යාංග කරන තැන්ත්තෙකු ලෙසද හදුන්වාදිය හැක. ඔහුගේ ගමන්මල්ල තුල වූයේ විශාල පැසකි.

“ඔන්න අපි කානිවල් කරන කොට බළලව මල්ලෙන් එළියට අරන් නටවමු“ ඔහු පැවසීය. “හරි.. මම නියම සංගීතයක් හදන්නංකෝ ඔයාට, ඇයි මට, මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ. මට වැඩි කලක් ජීවත් වෙන්න විදියක් නෑ. ඇත්තටම මට තමයි කෙටිම කාලය තියෙන්නේ මුළු පවුලෙන්ම. දවස් විසි අටකට වඩා නැහැ ඇත්තමයි. ඒත් සමහර වෙලාවට මේ අය මට වැඩි පුර දවසක් හෙමත් දෙනවා. හැක් හැක් මම ඕවා ගැන ඔච්චර හිතන්නෑනේ අනේ.. හායි හෝයියා“

“ඔච්චර හයියෙන් කෑමුර දෙන්න එපා“ මුර සෙබළා කීවේය.

“ඇයි එතකොට අවුල්ද??“ ආගන්තුකයා කෝපයෙන් තෙපලීය.

“දැනගන්නවා මම කානිවල් පප්පෙක් හරිද? මගේ නම තමා පෙබරවාරි

ඉන් පසුව තෙවැන්නා එළියට පැමිණියේය. දිගු කලෙකින් ප්‍රමාණවත් අහරක් ගත් බවක් ඔහුගෙන් දිස් නොවීය. ඒත් ඔහු තම නහය උස් කරගෙන සිටියේය. ඔහු නයිට්වරුන් හතළිස්දෙනාගෙන් පැවතෙන්නෙකු වේ. එමෙන්ම විස්මිත කාලගුණ වක්තෘ කෙනෙකුද වේ. මේ කිසිම දෙයක් ඔහු හට ජීවත් වීමට ප්‍රමාණවත් තරම් දේ නොදෙන හෙයින් කෘෂ පෙනුමක් ඔහුගෙන් දිස් විය. ඔහුගේ කබායේ ඉතා කුඩා වයලට් මල් පොකුරක් ගසා තිබුණි.

“ඒයි මාර්තු!! මාර්තු!!“ කරත්තයෙන් බට සතරවැනියා තෙවැනියාගේ පිටට ගසා ඔහු අමතන්නට විය.

“මේ ඔයාට සුවදක් එන්නැත්ද? අර ගාඩ්රූම් එක හරියෙන්.. මට නං එනවා නියමෙට. ඒ අර ඔයා කැමති වයින් සුවද නේද? යනවා මාර්තුවෝ!! කොල්ලෝ යනවා එතනට“ සතරවැනියා පවසන ලද මෙබස මුසාවක්ම විය. ඔහුට අවශ්‍ය වුයේ මාර්තු කොල්ලා, අප්‍රේල් මෝඩයෙකු කොට ඔහුගේ නමෙහි ඇති වැදගත් කම ඔහුටම ඒත්තු ගැන්වීමටය. අප්‍රේල් ඉතා මිත්‍රශිලි අයෙකු විය. අඩුවෙන් වැඩ කළද වැඩියෙන් නිවාඩු ඇති අයෙකු විය.

“මේ ලෝකේ මොකක් හරි පොඩි දෙයක් වත් තියෙනවා නෙව. එක්කෝ හොද දෙයක්. නැත්නං නරක දෙයක්. මං කිව්වේ ඒ ඒ තත්වයට අනූකුලව හරිද? වැස්ස එනවා.. අව්ව වැටෙනවා. මං හරියට ගෙවල් බදුකාරයෙක් වගේ. ඒ වගේම අවමංගල අධ්‍යක්ෂවරයෙක්. මට හිනාවෙන්න පුළුවන් ඒ වගේම අඩන්නත් පුළුවන්. මං කිව්වේ ඒ ඒ තත්වයට අනුකූලව හරිද? මේ තියෙන්නේ මගේ ගිරිස්ම ඇදුං පෙට්ටිය. හැබැයි ඒවා අඳින එකනං මහ මෝඩ වැඩක්. මේ ඉන්නේ මම, මම ඉරිදට සුදුමේස්, සපත්තු දාගෙන මප්ලයකුත් කරේ දාගෙන ඇවිදින්න යනවා පාරේ.“

ඔහුට පසුව කරත්තයෙන් එළියට බටුයේ කාන්තාවකි. ඇය තමාව මැයි නෝනා ලෙස හදුන්වා දුන්නාය. ග්‍රිස්ම ඇඳුම් කට්ටලකින් සැරසී සිටි ඇයගේ, ඇඳුම ලා කොළ පැහැයෙන් යුක්ත විය. එමෙන්ම තම කොණ්ඩයෙහි මල් කිනිත්තක්ද ගසා තිබුණි. ඇයගෙන් නික්මුණු නහය පසාරු කරන ශාඛසාර සුවඳ, මුරකරුගේ හුස්ම ගැනීම වේගවත් කිරීමට සමත් වූ සේය. ඒවා සුසුම් ලෙස වාතලයට මුහු විය. 

“ඔබට දෙවි පිහිටයි“ ඇය තමාගේ සමචාරය එළෙසින් පළකර සිටියාය. ඉතා මනරම් වූ ඇය, ගායිකාවක් විය. සැබැවින්ම ඇය ගායිකාවක වූයේ ස්වභාව ධර්මයේ ගීත ගැයිමෙනි. ඇය තම සතුට වෙනුවෙන් එක යායට කොළ පැහැයෙන් බබලන හරිත වනාත්තර සිසාරා යමින් තම ගීත ගායනා කළාය.

“ඔන්න එනවා තරුණ ප්‍රභූවරිය“ කරත්තයේ සිටියවුන් පවසන්නට විය. එ වෙලාවෙහිම පියකරු, ගරු ගාම්බීර තරුණ ප්‍රභූවරිය කරත්තයෙන් බිමට බැස්සාය. ඇයි ජූනි තරුණිය බව හදුනාගැනීමට අපහසු නොවීය. ඇයට මුළු දවසක් පුරා වුවද ඇති තරම් කෑම බීම ලබා දීමේ හැකියාවක් තිබූ අතර, මේ වෙලාවේ කරත්තයේ සිටි සියළු දෙනාටම වුවද දිය හැකි තරමේ කෑම ප්‍රමාණයත් ඇය සතු ගමන් මල්ලෙහි ඒ වන විටද තිබූ නමුදු, ඇය කිසි ලෙසකින් එය නොපෙන්වා, තම නිහතමානීත්වය ප්‍රදර්ශනය කරමින් අනෙකුත් ආගන්තුකයන් සමගින් මෙම කරත්තයේම ගමන් කළාය. ඇයට තමා ඔළුව උදුම්මා නොගත් කෙනෙකු බවට අනෙක් අය වෙත පසක් කිරීමේ උවමනාවක්ද තිබිණි. ඇත්තෙන්ම ඇයට ආරක්ෂාවක් තිබුනි මක් නිසාද යත් ඇයගේ බාල සොහොයුරා වන ජුලි ද ඇය සමග විය.

ග්‍රීස්ම ඇදුමින් හා පැනමා තොප්පියකින් සැරසුනු ඔහු ජම්බෝලයක් වැනි තරුණයෙකි. දැඩි උනුසුම මධ්‍යෙය් විශාල බරක් ගෙන යා නොහැකි හෙයින් ඔහුගේ ගමන් මල්ල ඉතා කුඩා එකක් විය. එය තුලද තිබුනේ නාන කළිසං කිහිපයක් පමණි.

ඉන් පසුව අගෝස්තු මැතිණිය කරත්තෙන් එළියට පැමිණියාය. ඇය පළතුරු තොග ඒජන්තවරියෙකි, මිරිදිය මත්ස්‍ය පොකුණු, වගාබිම් අති විශාල ප්‍රමාණයක හිමිකාරිණියකි. ඇය උසට සරිලන මහතින් යුතු මනා අඟපසගින් යුතු තැනැත්තියකි. ගේදොර වැඩ නිසි පරිදි දත් ඈ හට වගාබිම් වල වැඩ කරන අය වෙත බීර ජෝගු පවා රැගෙන යා හැකිය.

“කිසිවෙකු තමන් උදෙසා ජීවත් වන්නේද නැත“ බයිබලයේ සඳහන් ගීතිකාවක් ගයමින් එළියට බට ඇය නැටුමින් හා ගැයුමින් මෙන්ම ගේදොර වැඩ වලින්ද පොහොසත් වූ සැබෑ ගෘහනියකි.

ඇයට පසුව මහත්මයෙක් කරත්තයෙන් එළියට බට අතර, ඔහු වෛවාරණ සැප්තැම්බර් මහතා විය. ඔහුගේ එක් සිතුවිල්ලකින් මුළු වනාන්තරයෙහිම ගස් කොළ, නොයෙක් පාට ගැන්විය හැකි කෙනෙකු වන අතර කාර්යශුර අයෙකුද වේ. බීර මල් අත්තක් ඔහුගේ බීර ජොග්ගුව වටා විය. එය සැරසිල්ලක් ලෙස තබා ගැනීමට ඔහු කැමතිය. ඔහු සතුව ගමන් මල්ලක් ලෙස කිසිවක් නොතිබූ අතර, විවිධ වර්ණ සහිත කළයක් පමණක් ඔහු අත විය.

පාරම්පරික වැවිලිකරුවෙකු ඉන් පසුව පිටතට පැමිණියේය. ඔහු වගාබිම් කටයුතු සදහා මෙන්ම පිටියේ ක්‍රීඩා කටයුතු සදහාද සමත්කම් දක්වන්නෙකි. ඉඩම්හිමි ඔක්තෝබර් මහතා තම බල්ලාද කැටුව තුවක්කුවත් රැගෙන පැමිණ සිටි අතර, ඔහුගේ ගමන් මල්ලේ ඔළුව කැරකෙන අන්දමේ සෙල්ලම් කිහිපයක්ම තිබුණි. ඔහුගේ ගමන් මල්ල බරම ගමන් මල්ල විය. ඒ තුල සීසානයක්ද ඇත. ඔහු වගාකටයුතු ගැන කතා කළද, කහිමින්, තදින් හුස්ම ගනිමින් ඔහු අසල වූ අනෙකාගේ ශබ්දය ඔක්තෝබර් මහතාගේ කටහඩ යටපත් කළේය.

කරත්තයෙන් බසිද්දී, තදින් කැස්ස ඒ පුද්ගලයා නොවැම්බර් විය. දැඩි සීතල ඔහුට හිරිහැරයක්ම විය. නිරන්තරයෙන් ම තම සාක්කුව තුල ඇති ලේන්සුව ඇදීමට උත්සුක වූ හෙතෙම කරත්තයේ සිටි සැවොම සමගින් පැමිණිම සතුටක් බවත්, තමන්ගේ සේවිකාවන් ශිශිර සෘතුවේ වැඩ සදහා යෙදවීමට කටයුතු කරන බවත් දන්වන ලදි. කෙසේ වෙතත් කැළයට ගොස්, තමන්ගේ වෘත්තිය වන ගස් කපා බිම හෙළා එම ලී කුට්ටි ඉරා දැමීමට කටයුතු කරන විට මේ ශිශිරය පහව යනු ඇති බවත්, ඒ අනුව තමන් වෙලා ඇති සීතල ගතිය පවා පහ වෙනු ඇති බවත් ඔහු ස්ථිර කොට පැවසුවේය. ඇත්තෙන්ම ඔහු දක්ෂ ගස් කපන්නෙකු හා ඉරන්නෙකු විය. මුළු හවස් වරුවේම ඔහු ලීයෙන් සපත්තු අඩි කපමින් සිටියේ හිම සපත්තු සැකසීමටයි. තවත් සති කිහිපයකින් මෙම හිම සපත්තු දැඩි ලෙස උවමනා කරන බව ඔහු දැන සිටියේය.

අන්තිමේදි අවසන් සංචාරකයාද කරත්තයෙන් බැස්සාය. ඇය මහළු මවක් වන දෙසැම්බර් ය. කුඩා ලී බංකුවක් රැගෙන පැමිණි ඇය සීතලට හසුව සිටියාය. එහෙත් සීතල අභිබවා ඇයගේ ඇස් දීප්තිමත් තරු දෙකක් මෙන් බබලන්නට විය. ඉතා කුඩ ෆර් පැළෑටියක් වවා ඇති මල් පෝචිචියක්ද ඇය රැගෙන විත් ඇත.

“මේක තමා මම ආසාවෙන් හදන පැළේ. මම ඒකට පෝර, වතුර දාලා හදන්නේ නත්තල් දවසේ හැන්දෑවේ වෙනකොට මේක රෑස්ස ෆර් ගහක් වගේ වැවෙන්න ඕන නිසා. මොකද එතකොට අපිට නත්තල් ගහ විදියට මේ ගහ අරගෙන ඒකේ ඉටිපන්දන් පත්තු කරල, රත්තරං ඇපල් එල්ලලා, පුංචි දිළිසෙන ලස්සන පිළිම හෙම එල්ලල සරසගන්න ඇහැකි නෙව. මගේ ලී බංකුව හරියට පෝරණුවක් වගේ උනුහුම්. ඊට පස්සේ මම මගේ කතා පොත අරගෙන බංකුවේ වාඩි වෙලා හයියෙන් ඒක කියවන්න ගන්න කොට කාමරේ ඉන්න ළමයි මීක් සද්දයක් නැතිව ඒ කතා අහන්න ගනිවී. එතකොට අර නත්තල් ගහේ පුංචි සැරසිලි ලස්සනට පෙනේවි. නත්නල් ගහේ උඩම ඉන්න දේවදුතයා එයාගේ රත්තරන් පාට තටු දෙක දිග ඇරල පහළට පියාඹගෙන ඒවි. ඇවිල්ල කාමරේ ඉන්න ලොකු පොඩි හැමෝමට හාදුවක් ගානේ දේවි. ඔව්, පාර අයිනේ ඉදගෙන බෙත්ලෙහෙමට පායපු තරුව ගැන කැරොල් කියමින් ඉන්න දුප්පත් අහිංසක ළමයින්ටත් ඒ වගේම හාදු දේවි එයා.“

“හ්ම්.. දැං හරිනේ.. කරත්තය අරන් යන්න එහාට“ මුර බටයා පැවසුවේය. “දැං ඔක්කෝම අය බැස්ස නේ.. දොළොස් දෙනෙක්ම..“

“ඔය දොළොස් දෙනාම එන්න පෝලිමේ එකා පස්සේ එක්කෙනා වෙන්න මං ළගට. ඔයාලගේ ගමන් බලපත්‍ර මම ළග තියාගන්නවා. එක්කෙනෙකුට ඉන්න පුළුවන් මාසයක් විතරයි. මාසේ පහුඋනාට පස්සේ මම තම තමන්ගේ හැසිරීම ගැන බලපත්‍රෙය් සටහනක් දානවා. ජනවාරි මහත්තයා දෙයියනේ කියල ආවනං මෙහාට“ රාජකාරියේ නියුතු නිලධාරියා එසේ පවසද්දි ජනවාරි ඉදිරියට පැමිණියේය.

“මම හිතනවා මේ අවුරුද්ද ඉවර උනාම මේ දොළොස් දෙනා මට, ඔයාට, අපිට, මේ නගරෙට මොනවද ගෙනාවේ කියල මට කියන්න ඇහැක් වේවි කියලා. දැනටනං මම ඒක දන්නේ නැහැ. සමහර විට මේ අළුත් දොළොස් දෙනාවත් ඒක හරියට දන්නේ නැතිව ඇති. මොකද අපි ජීවත් වෙන්නේ මහ අමුතු කාලෙක නෙහ්.“


හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - Twelve by the Mail

Goodbye for now Mr. Andersen

Friday, December 27, 2013

බුද්ධංගල (පුරාවිද්‍යාවට එපාද???)

අම්පාරේ සිට වැඩ ඈතක නොවන වන මැද පිහිටි “බුද්ධංගල“ තපෝවනයට ගොස් තිබේද? ඔව් එය අති විශාල උසැති ගල්තලා කිහිපයකින් වට වූ ඓතිහාසික සිද්ධස්ථානයකි. එහි පිහිටීම අනුව මෙම සිද්ධස්ථානය වන මැද හුදකලාව පවතී. එහෙත් කාලානූරුපව වෙනස්වීම් වලට භාජනය වීම් හේතුවෙන් මේ වන විට නම් එය තව දුරටත් හුදකලා සිද්ධස්ථානයක් නොවේ. මෙම පින්බිම දශක ගණනාවක් පුරාම කැලයේ අතරමංව තිබියදී සොයාගෙන ඇත්තේ 1964 වර්ෂයේ දීය. ඒද අම්පාර ප්‍රෙද්ශයට සැපත් වූ ස්වීමින්වහන්සේ කෙනෙකුගේ හා ග්‍රාමීය බෞද්ධ ජනතාවගේ නොපසුබසිනා උත්සාහයෙනි.

බෞද්ධ විහාරස්ථානයක් ලෙස මෙහි ඉපැරණි බව නිර්ණය කිරීම දැනට නිසියාකාරව සිදු නොවී ඇතත් අවම වශයෙන් ක්‍රි.පූ. 3 වන සියවසේ දී මෙය ඉඳිකරන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම සිද්ධස්ථානය සොයාගෙන දැනට වසර පනහක් පමණ ගත වී ඇතත් මේ වනතෙක්ම පුරාවිද්‍යාත්මක පරික්ෂණයක් සිදු කොට නොමැති වීම අභාග්‍යයකි. එහෙයින් මෙම ස්ථානයේ ඇති ඓතිහාසික බව මෙන්ම අපගේ ඉතිහාසය පිළිබද දැන ගත හැකි අති විශාල කරුණු සම්බාරයක් පොළවට යටවී ඇත.

“බුද්ධංගල“ යන නම මෙම ස්ථානය හදුන්වාලීම සදහා පසුව යොදාගත් නමක් වන අතර එය යෙදීම පිළිබදව කරුණු කිහිපයක් අනුමාන වශයෙන් හදුනාගෙන ඇතත්, තවමත් මෙම සිද්ධස්ථානය හැදින්වු පුරාණ නාමය සොයාගැනීමටවත් අවම තරමේ කටයුතු කර නොමැති කාර්යක්ෂම වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කවර කතාද?

සර්වඥ ධාතුන්, සැරියුත් මුගලන් අගසව් දෙපලගේ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඇති පුරාණ ධාතු කරඬුවක් මෙම ස්ථානයේදී සොයාගෙන ඇති හෙයින් මෙම ස්ථානය ඉතා වැදගත් පුජනීය හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස හදුනා ගැනීමට අවශ්‍ය තරම් දෘෂ්ඨි ගෝචර වූ සාක්ෂි ඇතිවද ක්‍රමාණූකූල පරික්ෂණයක් සිදු කිරීම ප්‍රමාද කිරීම කනගාටුදායක කරුණකි. මෙම සිද්ධස්ථානයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ඉදිරියේදි හෝ සිදු කරන්නේ නම් එය විශාල සේවයක් වනු ඇත.

මේ වන විට මෙම සිද්ධස්ථානය තුල, පසුව එනම් 1964 න් පසුව ඉඳිකරන ලද සමහර ගොඩනැගිලි පෞරාණික ගොඩනැගිලි පිහිටි ස්ථාන වලම නැවත ගොඩ නගා ඇත. ඒ හේතුව මත ඉතා වැදගත් ඓතිහාසික සාක්ෂි බොහොමයක් විනාශ වන්නට හෝ ඉවත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මක් නිසාද යත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සාක්ෂියක් ලෙස ලබාගත යුත්තේ එය පිහිටි අයුරෙන්ම වන නිසාය. ඉවත් කරන ලද සාක්ෂි වල වටිනාකම එයින් හරි අඩක් පවා වීමට ඇති ඉඩ කඩක් තුල බුද්ධංගල තපෝවනය සංරක්ෂණය කිරීමේ කටයුතු දැන්වත් ඇරඹිය යුතුය. 

අප  දන්නා පරිදි ඉතිහාසයේ මහා යුද්ධ පැවති සමයන්හිදි රටේම ජීවනාලිය බඳු ආහාර උත්පාදනය කිරීමේ කටයුතු සිදු කරන ලද්දේ දිගාමඩුළු පුරවරයෙනි. සද්ධාතිස්ස රජ, යුද්ධයේදී තම සුරුවිරුකම් මතින් දිගාමඩුල්ල ප්‍රෙද්ශය ඉමහත් සස්‍රිකත්වයට පත් කළ බව නොරහසකි. 

ත්‍රස්තවාදී යුද්ධයද නිම වී ඇති වට පිටාවක් තුල, වන මැද හුදකලා වූ මෙම පුන්‍ය භූමියේ පුරාවිද්‍යාත්මක වැදගත්කම උකහා ඉතිහාසය නැවත ලිවීමේ හැකියාවක් නොමැති බව කාට පැවසිය හැකිද? මෙම ස්ථානයේ ගවේෂණයක් කොට ඇත්තේ සෙනරත් පරණවිතානයන් හා එල්ලාවල මේධානන්ද හිමියන් විසින් පමණි. ඒද ස්ථානිය පරික්ෂාවක් විනා ක්‍රමානූකූල පරික්ෂාවන් නොවේ. අප අපගේම ඉතිහාසය වලපල්ලට යවමින් සිටින්නෙමු.



පසුව ඉදිකරන ලද මෙම පිළිමය ස්ථනයේ පෞරාණිකභාවය කෙලෙසන බව මාගේ විශ්වාසයයි. මෙම ස්ථානය සංරක්ෂිත ස්ථානයක් වුයේ නම් පිළිමය ඉදිකිරීම පිළිබද නැවත සිතනු ඇත. කෙසේ වෙතත් නොමේරු කලා ලක්ෂණ සහිත මෙම පිළිමවහන්සේලා බුද්ධංගල පවතින පෞරාණික භාවයට හානි ගෙන දේ.





කැනීම් වලදී හමුවූ ශ්‍රී පතුල කැටයම් කල ගල් තැටිය


සර්වඥධාතුන් ඇතුළු ධාතුන්වහන්සේලා තැන්පත් කරන ලද පුරාණ චෛත්‍යය තිබූ ස්ථානයේම මෙම චෛත්‍යය ඉදි කිරීම ශෝචනීය කරුණකි. ඒ හේතුව නිසා ස්තානීය පරික්ෂාවන් සිදු කිරීමේ බරපතල ගැටළු ඇති බව මාගේ විශ්වාසයයි.



ඈතට දිස්වන දිගාමඩුලු කෙත්යායවල්


වැදගත් විස්තරය හරිහැටි ඉදිරිපත් කර නැත


පුරාණ ඉදිකිරීම් තිබූ බව මෙම ගල් කුළු වල කපා ඇති කට්ටා වලින් තහවුරු වේ. ඒ අනුව මෙම ගල් කුළුද ආරක්ෂා කළ යුතු තත්වයේ පවතී. එහෙත් නව ඉඳිකිරීම් මගින් ඉතිහාසය වෙනස් කරනු ඇත.


චෛත්‍ය කෑනිමේදි හමුවූ පෞරාණික භාණ්ඩ, කාසි ආදිය මේ වන තෙක්ම කාලනිර්ණ පරික්ෂාවක් කෙසේ වෙතත් සාමාන්‍ය පුරාවිද්‍යාත්ම පරික්ෂාවකට හෝ ලක් කර නොමැත.. (පුරාවිද්‍යාවේ විස්මය)


සැ.යු- ඡායාරූප මාගේය. ඕන කෙංගෙඩියට සුදුසුය.

Thursday, December 19, 2013

සෙංකෝප්පං!!!

කව්රුවත් දැන නොගත්තට මාත් එක්තරා ජාතියක අමනුස්සයෙක් තමා. මට ඕන මම අමනුස්සයෙක් නොවෙයි කියල හැමෝටම පෙන්නන්න. ඒක කරන්නත් ඉතිං එක එක නූල් සුත්තර කරන්න එපායැ. වෙලාවකට රකුසෙක් වගේ බකුසු මූණ දාගෙන ඉන්න මං, මගේ පාරිශුද්ධිය බල්ලට දාලා මගේ සුඛවිහරණය උදෙසා හැමදේම සැනෙකින් වෙනස් කරගන්නවා. මටම හිතාගන්න බෑ ඇයි මම එහෙම කරන්නේ කියලා. වෙලාවකට හිතේ ඇති වන කෝපය දෙගොඩතලා යන ගඟක් වගේ හැම ඉවුරක්ම කඩාබිද දාගෙන තණබිම් යටකරගෙන ගලා ගෙන යන්නේ අසීමාන්තික කෝපය මේක තමා කියල පෙන්නගෙනමයි. ඒත් ඒ කෝපයම හරියට මීපැටියෙක් කීං කීං ගානවා වගේ හිත ඇතුලෙම හැංගිල යනවා අන්න අර වගේ වෙලාවට. ඒ මොන වෙලාවටද කියල ඉතිං කියන්න ඕන නැහැනේ.. මට අවුලක් වෙනවා නං මම හැමදේම වෙනස් කරගන්නවා. ඔව් මට ඕන විදියට. ඇයි අවුල්ද?? හැක්..

කාලයක් තිබුනා මට තරහ පාලනය කරගන්න බොහොම අසීරු දුෂ්කර වකවානුවක්.. හොස්ස ළගින් මැස්ස යන්න බැරිය කියන්නේ එහෙම උනාම තමා. ඒ වෙලාවට කරන කියන දේවල් හරියට දේව කෝපයක් වගේ. සමහර වෙලාවට ඒ කෝප හැගීම එක විනාඩියක් තිබිලා නිවිලා යන්න පුළුවන්, එහෙම නැත්නං විනාඩි දෙකක්, පැයක්, දවසක්, මාසයක්, අවුරුද්දක් නැත්නං ජීවිත කාලයක්ම උනත් නොනීමී පවතින්නත් පුළුවන්. මගේ ජීවිතේ ගැන මට තියෙන්නේ අන්න ඒ වගේ ජීවිත කාලෙම නොනීමී යන කෝපයක්. ඒ කෝපය මාව පිස්සෙක් කරනවට වඩා මාව පාර හතර වටේ ගෙනියන්නයි බලන්නේ. හෙනහුරා ගැහුව වගේ අත තියන තියන තැන, පය ගහන ගහන තැන මස්තබාල්දුයි. මොන විදියෙන් වත් ගැලවිල්ලක් නැති උනාම නිම්හිම් නැති කෝපය කියල අමුතු එකකුත් මට හැදෙනවා. ඒ වෙලාවට හරිය හරිකේන් එකක් වගේ හිත. වටේ පිටේ තියෙන ඔක්කෝම සුන්නත්දූලි වෙලා ඇඹරිලා තොලොංචි වෙලාම යන්න කියල ඇරල දාන්නත් හිතෙනවා. ඒ වෙලාවට මගේ මුණ, සරීරය ඔක්කෝම කුනාටුවක් වගේ.. මැස්සා ළගින් ගියත් ඌට බඩු.

හිටි ගමන් වැඩ කරන වෙලාවට මොකක් හරි වැරදුනාමත් එනවා ක්ෂණික කෝපයක්. ඒ වෙලාවට ඔපීසියේ බෙල් එක ගහන විදියෙන්ම කොල්ලෝ දන්නවා මේ හම්පඩයට තද වෙලා තමා ඉන්නේ නහුතෙට කියලා. උන්ට ඕවා තේරෙන එකක් යැ අපි ලොක්කන්ගේ රැස්පොට් බලන්න ඕන මොකක් හරි වැරදුනාම. ඒ හාදයෝ වැරදිච්ච වැඩේට පළු යන්න බනින කොට මට ඉතිං අරුන් මරං කන්න තමා හිතෙන්නේ. ඇයි දෙයියනේ උන්ගේ වරදටත් මගෙයි පළු යවන්නේ.

ඉතිං උඩින් ආපු කෝප බෝලේ යවන්නත් තැනක් තියෙන්න එපාය. ඒකට තෝතැන්න තමා ඔපීසියේ කොල්ලෝ ටික. පව් ඉතිං උන් මැරීගෙන වැඩ කරත් එකක් වැරදුනාම ඔක්කෝම වැරදුනා හා සමානයි. ඔක්කෝම හොද ටික බල්ලට දාලා වගේ තමා කතාව මෙයාගේ. ඉතිං ඒක අනිත් පැත්තටත් එහෙමම තමා. මට උඩින් ඉන්න එවුනුත් මම කරපු ඔක්කෝම හොද වැඩ ටික නිකං හෝදල දැම්ම වගේ තමා අර වැරදිච්ච වැඩේ ගැන දෙස් දෙවොල් තියන්නේ. 

කතාවක් අහල තියෙනවා නෙහ්. පොලිසියේ අයිජී දීපු ඕඩර් එක අන්තිමට ඇවිල්ල නවතින්නේ ග්‍රාමාරක්ෂකයා ගාවෙයි කියල. මොකද අන්තිමට බැනුං අහන්න හරි ඒක කරන්න ඉන්නේ ඌ විතරයි. කරපු වැඩේ නරක නං අන්තිමට අයිජී පළු යන්න බනින එක, පඩි පෙල් දිගේ පල්ලෙහාට ඇවිත් ග්‍රාමාරක්ෂකයගේ බෙල්ලට තොන්ඩුව දාලා තම නවතින්නේ. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් අත් දෙක පිහිදගෙන ඊළග කැපිල්ලට සූදානං වෙනවා. ඔන්න ඕකයි කියන්නේ කෝපය නවතින්නේ අපි හිතන තැන නෙමෙයි කියලා.

එක වතාවක් මට ඇති වෙචිචි අසීමිත කෝපයක් නිසා මට සිද්ධ උනා මට හිමිවෙලා තිබ්බ සෙල්ෆෝන් දෙකම පොළවේ ගහල කුඩු කරන්න. ඒක කුඩු වෙනකං අර කෝපය කියන එක වේව්ල වෙව්ල හිටියා. හැබැයි පටාස් ගාලා ඒ දෙකේ කෑලි හතර අතේ විසිරුනා වගේම එකත් යන්න ගියා. මම තත්පර ගානක් බලන් හිටියා මොකක්ද උනේ කියලා. සමහර වෙලාවට මං මගේ හිත රවටගත්තද මන්දා “අයියො මේ මොකක්ද කරේ“ කියලා. ඒත් ඉතිං මම දන්නවා මට කෝපය යවාගන්න ඒක කරන්න උනා කියලා. ඒත් පිළිගන්න කැමති නැහැ. ඔව් මං එයාගේ ගැටේට හව් උනා..

ඔන්න ඔය වගේ කෝපය කියන්නේ තමන්ගේ රෙද්දටම කෙලවෙන වැඩක්. සමහර විට අපි නොදැනුවත්වම විනාසය කරා යන මාවතක්. ඒ යන මාවතේ අපේ ඇස් අන්ධ වෙනවා, පේන්නෙම පුපුරල විනාස වෙච්චි දේවල් විතරයි. ඉතිං කොහේද කෝපය පුපුරන්න ඉඩක්. ඉතිං ඒක පුපුරනකම්ම ඉබාගාතේ ඇවිදින්න වෙනවා. මං කෝපය හේතුවෙන් විදවපු වාර අනන්තයි. ඒත් ඒක තේරුම් යනකොට මිනිහා මාව දාලා ගිහිල්ල මා දිහා බලාගෙන විරිත්තං ඉන්නවා කියල හිතෙන කොට අම්මප ඒකා දෙකට ගැලවෙන්න ගහන්න තරං ඉවසුම් නැති කෝපයක් ඇති වෙනවා. 

හා හා ඇති ඇති.. මම මේ කියන්න ගියෙ මේ දවස් වල මගේ සෙම් කෝප වෙලයි කියල නෙහ්. ඒකෙන් මේකෙන් හරියට කට ඇරල කතා කරගන්නවත් බැහැ. මගේ ලස්සන මූණ ටිකක් ඉදිමිලා වගේ. බෙල්ල වටේම එල්ඊඩී බල්බ් ඇතුලෙන් හයිකරල වගේ සෙං ගෙඩි. නලල පුරාම රිදුම් දෙනවා. ඒ මදිවට පැරසිටමෝල් වලට එළව එළව පහර දෙන හිසේ ඇම්ම. කියල වැඩක් නැහැ එක්කෝ බේතක් ගන්න ඕන නැත්නං තොලොංචි වෙලා යන්න ඕන.. ඕන එකක්. අදම කරනවා.. හැක් හැක්..

Wednesday, December 18, 2013

පොඩි කළුවයි තඩි කළුවයි!!

එක ගමක් මිනිස්සු දෙන්නෙක් හිටියා. කරුමෙට මේ දෙන්නගේ නං එක සමානයි. නම කළු. ඒත් එක්කෙනෙකුට අශ්වයෝ හතර දෙනෙක් හිටියට අනෙකට හිටියේ එක අශ්වයෙක් විතරයි. ගමේ උන්දැලට මේ හාදයෝ දෙන්න අදුරගන්න බැරි නිසා මෙන්න මෙහෙමයි නම් දැම්මේ. අශ්වයෝ හතරක් ඉන්න කෙනා තඩි කළුවා, එක අශ්වයෙක් ඉන්න කෙනා පොඩි කළුවා. අපි දැං බලමු මේ කළුවෝ දෙන්නට මොකෑ උනේ කියල හැබෑටම, මොකෝ කියන්නේ මේක ඇත්ත කතාවක්..

පොඩි කළුවා හරියට නීතියෙන් බැදිල උන්න වගේ තමන්ට හිටිය තනි අශ්වයාව තඩි කළුවගේ කුඹුරු හාන වැඩ වලට දීලයි තිබුනේ. ඒකට හරියන විදියට තඩි කළුවා පොඩි කළුවට උදව් කරා. ඒ කොහොමද?? තමන්ගේ අශ්වයෝ හතර දෙනා පොඩි කළුවගේ වැඩ වලට දීලා. හැබැයි ඒ සතියකට සැරයක්.. ඒත් නිවාඩු දවසක. හයියෝ.

ඉතිං පොඩි කළුවාට ඒ දවස මගුල් වගේ. එදාට අර අශ්වයෝ සැට් එක, මේ මගේය, මගේමය කියල හිතාගෙන දෙනවා බැටේ කසෙන් හොද එකෙන්ම. හිරු දීප්තිමත්ව බැබලුනා, පල්ලියේ සීනු ඔක්කෝම හැඩවෙනවා, එතකොට අර යාඥා පොතක් කිහිල්ල අස්සේ ගහගෙන හොදට ඇද පැලද ගත් ගමේ උන්දැල පල්ලියට යනවා, පාදිලිතුමාගේ යාඥාවට කන් දෙන්න. අන්න එතකොට මේ අය දැක්කා පොඩි කළුවා අස්පයෝ පස් දෙනා දක්කගෙන හාන හැටි. ඒ උනත් පොඩි කළුවා හරිම සන්තෝසෙන් හිටියේ තමන්ගේ අස්වයෝ පස් දෙනාටම එක පිට එක පිට කසෙන් තලමින්. ඒක මිනිහාගේ සන්තෝසේත. ඒ මදිවට මිනිහා කෑමොර දෙනවා. “නැගටපිය මගේ පංච මහ බලවේගේ“ කියලා.

“තමුසේ ඔහොම කෑගාන්න එපා, මොකද ඔතන ඉන්නේ තමුසෙගේ එක අස්පයෙක් විතරයි නෙව“ තඩි කළුවා කිව්වා.

හැබැයි ඒ අහලින් කව්රුවත් නොයන වෙලාවක පොඩි කළුවට අර උපදේසේ අමතක උනා. මිනිහා ආයෙමත් හරම බෙරිහන් දුන්නා. “නැගිටපිය ගෙරි පංච මහ බලවේගේ“

“මම තමුසෙට වැදල කියන්නං උන්ට ඉන්න දෙනවා පාඩුවේ“ තඩි කළුවා කෝපයෙන් කිව්වා, “හැබැයි උඹ ආයේ ඔය කතාව කියනව ඇහුනොත් අම්මප මං තමුසෙගේ අස්පයට ඔළුවට දෙනව එකක් මැරිල වැටෙන්න. එතකොට ඉවරයි ඔක්කෝම“

ඒත් ඊට පස්සේ අහලින් පහලින් යන මිනිස්සු “සුභ දවසක්“ කියල කියන කොට පොඩි කළුවා නලියන්න ගත්තා. අරක අමතන උනා ඒ පාර සුපුරුදු සද්දේ දැම්මා.



“හිටපිය බොට“ තඩි කළුවා කෝපයෙන් ආවා, කෙටේරිය අරගෙන දුන්නා එකක් පොඩි කළුවගේ අස්පයට මැරිල වැටෙන්නම. “අයියෝ කෝ දැං මට අස්පයෙක්“ පොඩි කළුවා විලාප දෙන්න ගත්තා. ඊට පස්සේ අස්පයව හම ගහල අස්ප හම අරගෙන වේලෙන්න දාලා තිබ්බා. ඊට පස්සේ අස්ප හම අරගෙන පෝර උරේක දාගෙන ඒක කරේ තියං නගරෙට ගියා මේක විකුණගන්න බලාගෙන.

නගරෙට යනවනං අම්මප හෙන දුරක් යන්න ඕන ඒ මදිවට මහ රූස්ස කැලේ මැදින් තමා යන්න වෙන්නේ. නරක කාලගුණයක් තිබ්බ නිසා පොඩි කළුවට පාර වැරදුනා. කොහොම හරි අන්තිමට හරි පාරට වැටෙන කොට හැන්දෑ වෙලා, මොන විදියෙන්වත් රෑ වෙන්න කලින් එක්කෝ නගරෙට හරි ආපහු ගෙදරට හරි යන්න බෑ.

පාරට කිට්ටුව තිබුනා  ලොකු ගෙයක් ගොවියෙකුගේ. ජනෙල් පියන් වහල තිබුනට ගේ ඇතුලෙන් පෙරිල එන ලාම්පු එලිය පැහැදිලිව පේන්න තිබුනා. “මට මෙහේ අද රෑ ඉන්න පුළුවන් වේවි“ පොඩි කළුවා හිතල දොරට තට්ටු කරා. ගෙවිලිය ඇවිත් දොර ඇරියම පොඩි කළුවා තමන්ගේ උවමනාව එයාට කිව්වම “බෑ.. මෙහෙන් යන්න. මොකද මගේ මහත්තයා ගෙදර නෑ මේ වෙලාවේ, ඒක නිසා අමුත්තෝ වැද්දගන්න මට කොහෙත්ම බෑ“ කියලා ගෙවිලිය කිව්වම “එහෙනං මං දැනට එළියෙන් ඉන්නං“ කියල පොඩි කළුවා කිව්වා. ඒක ඇහුන ගමන් හරියට මුණට දමල ගහනවා වගේ ගෙවිලිය ගෙයි දොර දඩාං ගාලා වහල දැම්මා.

හැබැයි කිට්ටුවම තිබුන උස පිදුරු ගොඩක්. ඒ අතරේ පිදුරු හෙවිලි කරපු පොඩි ගෙයක් තිබුවා ගොවි ගෙදරට අල්ලලාම. “අහා. අර පිදුරු වහලේ මට ඉන්න ඇහැකි“ කියල හිතාගෙන පොඩි කළුවා ඒක පරික්ෂා කරා. “අප්පට සිරි මේක රජ ඇදක් නෙහ්. හැබැයි කොක්කු ඇවිත් මගේ කකුල් නොකෑවොත් නං එළ“ තමයි කියල හිතල මිනිහා වහලට නැග්ගේ මොකද වහලේ උඩ කොකෙක් හිටියා කූඩුවක් හදාගෙන.

මඩුවට නැග්ග පොඩි කළුවා හොද තැනක් බලල නිදාගන්න තැනක් හදාගත්තා. හප්පට සිරි, උඩින් බලන කොට නේ වැඩේ. අර ජනෙල් පටි වලින් ඇතුල පේනව නේ ලකේට. මුළු කාමරේ ඇතුලම හොදට පේනවා. කාමරේ තිබුන ලොකු මේසයක් ලස්සනට රෙද්දක් දාලා, මේසේ උඩ වයින්, රෝස් කරපු මස්, කටට කෙල උනන මාළු එහෙමත් තිබුනා. ගොවිපලේ ලියන මහත්තයයි ගොවියගේ බිරිදයි දෙන්න ඒ මෙසේ එක ළග පුටු දෙකක වාඩි වෙලා හිටියා හැබැයි වෙන කව්රුවත් පේන්න නැහැ. කාන්තාව වයින් වීදුරුව පුරවනවා, ලියන මහත්තයා එයා ආසම මාළුවා ගෑරුප්පුවෙන් ඇන ඇන ආසාවෙන් දෙසා බානවා.

“මටත් ඒකෙන් ඩිංගක් තිබ්බනං“ කියල හිතල පොඩි කළුවා ජනේලේ ගාවට හෙමින් සුරුස් ගාලා ලෙස්සල ආවා. හප්පච්චියේ එතන තිබ්බ තඩි කේක් එක දැක්කා විතරයි මිනිහට කියවුන මේක නං පනහකට උනත් කන්න පුළුවන්නේ කියලා.

එතකොටම පොඩි කළුවට ඇහුනා පාර කොනෙන් ටක ටක සද්දයක්. ඔව් ඒ එන්නේ ගොවියා තමා. මිනිහා තරමක් හොද කෙනෙක් තමා. ඒත් මිනිහගේ අමුතු පෙනුම නිසා මොන විදියෙන්වත් ලියන මහත්තයා තමන්ගේ ගෙයි ඇතුලේ ඉන්න එක දකින්න නං අකමැති වේවි. මොකද මිනිහගේ ඉස්සරහට ලියන මහත්තයා ආවොත් ගොවියා ට මරුමුස් වගේම තරහා යනවා. 

අන්න ඒක නිසා තමයි මේ අහිංසක ලියන මහත්තයා ගොවියා ගාවට නොගිහින් එයැයිගේ හාමිනේට “ගුඩ් නයිට්“ කියන්න ගෙදරට ගිහින් තියෙන්නේ.  ඉතිං ගෙදරට ආපු අයට නොසලකා හැකිය ඒ නිසා මේ යහපත් කාන්තාව ගෙදර තියෙන හොදම කෑම බීම දිල තමන්ගේ අමුත්ත වෙච්චි ලියන මහත්තයට හොදට සැලකුවා. හරි හොද මිනිස්සු. ඒත් ගොවියා ගෙදරට එන සද්දේ ඇහුනම දෙන්නම බයබිරාන්ත වෙලා ගියා. 

ගෙවිලිය ලියන මහත්තයට වැදල කිව්වා අනේ අර හිස් පෙට්ටියවත් රිංගනවකෝ කියල. ඉතිං මිනිහා එහෙම කරා. ඊට පස්සේ දනිපනි ගාලා ගෙවිලිය අර අඩුම කුඩුම සේරම ටික අරගෙන පෝරනුවට දැම්මා. වයින් බෝතල් ටික පෝරනුව පිටි පස්සේ හැංගුවා. ඒවා දැක්කනං ගොවියා අනිවාර්යෙන් අහනවා මේ කෑම ජාති මොන එහෙකටද කියලා. මඩුව උඩ හිටිය පොඩි කළුවාට අර කෑම හංගපු විත්තිය දැක්කම “ආහ්. ඒකත් එහෙමද“ කියල නිකම්ම ඇහුනා. 

“කව්ද ඔතන උඩ ඉන්නේ“ ගොවියා පොඩි කළුවා දිහා හැරිල ඇහුවා. 

“තමුසේ මොකද ඔතන කරන්නේ, මාත් එක්ක ඇතුලට යන්න එනවල“ කියල කිව්වම පොඩි කළුවා ආවා. ඇවිත් තමන්ට වෙච්චි සිද්ධිය කිව්වා ඒ කිව්වේ පාර වැරදුන එක. ඉතිං ඒක නිසා අද රෑට නවතින්න දෙන්න බැරිද ඇහුවම ගොවියා “අපොයි පුළුවන්“ කියල ගත් කටටම කිව්වා. “හැබැයි ඊට කලින් මක්ක හරි කාලා හිටිමු“

ගෙවිලිය දෙන්නවම බොහොම හොදට පිළිඅරගෙන, ලොකු මේසෙට රෙද්ද දාලා, ඕට් වලින් හදපු ලොකු කැඳ තසිමක් ගෙනැත් තිබ්බා. ගොවියට හොදටම බඩගිනි නිසා එක හුස්මට කෑවට පොඩි කළුවට මේක කන්න මොකක්ද වගේ. මිනිහට මතක් වෙන්නෙම අර පෝරනුවේ හංගපු නියමෙට රෝස් කරපු මස්, තඩි මාළුවයි වයින් බෝතලුයි විතරයි. පොඩි කළුවගේ කකුල් දෙක පාමුල අර අස්ප හම දාපු ගෝනිය තිබුනා, අපි දන්නවනේ මිනිහා ඒක විකුනන්න නගරෙට යන ගමන් මේ කියලා. පොඩි කළුවට මේ අජර කෑම එක කන්න හිත දෙන්නෙම නෑ. ඒ පාර මිනිහා ගෝනියේ ගැටේ ලිහන්න ගත්තා එතකොට වේලිච්ච අස්ප හමෙන් ලොකු සිරි බිරි සද්දයක් ආවා.

“ඈ බොල ඒ මොකෙක්ද? ගෝනියේ මක්කද“ ගොවියා ඇහුවා. “ආහ්.. එයා මැජික්කාරයෙක්“, “එයා කියන්නෙ අපි මේ ජරාව කන්න ඕන නැතිලු. මොකද පෝරනුව පිරෙන්න එයා කේක්, රෝස් කරපු මස්, මාළු මැව්වලු“ පොඩි කළුවා කිව්වා.

“අම්මප. මාරයිනේ“ විස්මයෙන් කියන ගමන් ගොවියා පෝරනුව ඇරියා, එතකොට ගොවියා දැක්කා තමන්ගේ මායියා මේකේ හංගපු ඔක්කෝම රස කෑම ගොඩ, ඒත් ඉතිං මිනිහා හිතන්නේ මේවා අර මැජික්කාරයගේ වැඩ කියල නෙව. මායියා වගේ වගක් නැතිව ඔහේ හිටියා, පස්සේ අර කෑම ටික අරන් මේසේ උඩින් තිබ්බා. වෙන කරන්න දේකුත් නැනේ. ඔන්න ඊට පස්සේ දෙන්න එකතු වෙලා මේ කෑම ටිකට වැඩේ දුන්නා. පොඩි කළුවා ආයෙත් අර මල්ල අතගාලා සිරි සිරි සද්දේ දැම්මා.

“ඒ පාර මොකද?“ කියල ගොවියා ඇහුවා පොඩි කළුවා උත්තර දුන්නා.

“එයා කියනවා...අපි දෙන්නට වයින් බෝතල් තුනකුත් දැං මැව්වලු. ඒක අර පෝරනුව පිටිපස්සේ ඇතිය කියලා“. ඔන්න ඒ පාර නං ගෙවිලිය පැකිලීමක් නැතිව ගිහිල්ල තමන් හංගපු වයින් බෝතල් තුන ගෙනැල්ල බොන්න තිබ්බා. මේක බීල ඉවර වෙලා ගොවියා සුරලෝකේ පාවෙන්න ගත්තා. මිනිහටත් මාර ආසාවක් ආවා පොඩි කළුවා වගේ මැජික්කාරයගේ වැඩ ගැන.

“මෙයාට යක්සයාව උනත් මවන්න ඇහැකිද,... මම බීල ඉන්න නිසා මං කැමතියි ඕන යකෙක් බලන්න උනත්“ ගොවියා පැද්දි පැද්දි කිව්වා.

“මොකෝ අනේ බැරි,... මගේ මැජික්කාරයට පුළුවන් මම කියන ඕනම දෙයක් කරන්න., එහෙම නේද?“ මිනිහ මල්ල හෙලෙව්වම “ඔව්“ කියනව වගේ මල්ල සිරි බිරි ගෑවා. “එයා කියනවා, යක්ෂයව බලන්න එපාලු මොකද මිනිහ මහ කැතම කැත රාකෂයෙක්ලු.“

“මගේ ඇති බයක් නැහැ අපි බලමු මිනිහා මොන වගේද කියලා“

“ඇයි කිව්වොත්.. යක්ෂයා හරියටම ඔහේගේ ලියන මහත්තයා වගේම වේවි. ඒකයි මම කිව්වේ“

“හා...!!! ඒකා නං මජරයෙක්.. .තම්මුෂෙ දන්නවද මට ඔය ලියන්නව දෑහැට පේන්න බෑ. කමක් නැහැ මං දන්නව නේ මේ යක්ෂයමයි කියලා, ඒක නිසා මම හිත හදාගන්නං. හැබැයි ඒ යකාට කියන්න මගේ අහලටවත් එන්න එපැයි කියලා.. හරිද“

“හරි ඉන්න මං කියන්න“ පොඩි කළුවා මල්ලට කිට්ටු වෙලා මොකක් හරි කියනව වගේ හිටියා.

“ආ එයා කියනවා අර මුල්ලේ තියෙන පෙට්ටිය ඇරල බලන්නලු. ඒකේ ගුලි වෙලා යක්ෂයා ඉන්නවලු. හැබැයි පියන අල්ලන් ඉන්න ඕනලු නැත්නං ඒකා පැනල යාවිලු“

“තමුසේ මට උදව් කරනවකෝ ඉතිං“ ගොවියා පෙට්ටියට එබිල බැලුවම මිනිහට “හෑ“ ගෑවුනා. “හහ්.. මම දැක්කා. ඇත්ත නේ හරියටම අර ගොබිල ලියන්න වගේමයි නේහ්“

ඊට පස්සේ ඉතිං බොන්නම එපැයැ. දෙන්න එක්ක මහරෑ ජාමේ වෙනකං බිව්ව ඒ පාර. 

“තමුසේ මට ඔය විජ්ජාකාරය විකුණනවා, තමුසේ ඕන දෙයක් ඉල්ලනවා. මම තමුසෙට කට පිරෙන්නම සල්ලි බුසලක් දෙන්නං මොකෝ කියන්නේ“

“ඒක කරන්න බෑ. හිතනවා මට ඒක කොයි තරං වටිනවද කියලා, අම්මප මං ඒකට පට්ට කැමතියි“ ඔන් ඊට පස්සේ ගොවියා ඒක දෙන්නෙයි කියල අඩන්න ගත්තා. 

“හ්ම් කමක් නැහැ. තමුසේ හොද මිනිහා. මොකද අද මට මෙහේ ඉන්නත් දුන්න නෙව. එහෙනං තමුසේ ඒක තියාගන්නව මට ඒකට කට කපල සල්ලි බුසලක් දෙනවා එහෙනං“

“අන්න එහෙම එනවකෝ.. හැබැයි තමුසේ තව එකක් කරන්න ඕන අර පෙට්ටයත් අරන් යනවා. කව්ද දන්නේ අර යකා තාම ඒකේ ඉන්නවද කියලා තේරුනාද“ ගොවියා කිව්වා.

වෙළදාම උනා. ගොවියා අස්ප හම ගත්තා. පොඩි කළුවා ගොවියා දීපු ට්‍රන්ක පෙට්ටියක අර කට කපපු සල්ලි බුසලයි පෙට්ටියයි පටවන් යන්න ගියා.

කැලේට එහා පැත්තෙන් මහ ගැඹුරු ගගක් ගලාගියා. ඒකේ පීනන්ත හිතන්නවත් බෑ. අළුත හදපු ලස්සන පාලම ගාව නැවතුන පොඩි කළුවා මහ හයියෙන් පෙට්ටියේ ඉන්න ලියන්නට ඇහෙන්න මෙහෙම කිව්වා.

“අනේ අම්මේ. මේ වැඩකට නැති පෙට්ටිය උස්සන් යන්න මට පිස්සුද? මේක ඇදං ගිහිල්ල මට එපා වෙලා. දානව මේක ගගට, එක්කෝ අපේ ගෙදරට වර නැත්නං සුන්නත්දූලි වෙලා පල කියල“ පෙට්ටිය පොඩ්ඩක් උස්සල ගගට දාන්න වගේ කරා ඒ පාර.

“අනේ එපා.. ඔහොම ඉන්න.. මාව ඉස්සෙල්ල එළියට ගන්න“ පෙට්ටියේ හිටිය ලියන්නා බෙරිහන්දුන්නා.

“බුදු අප්පොච්චියේ යකා තාම ඇතුලේ.. දැන්නං ඉක්මනට මේක ගගට විසික් කරන්න ඕන මේකා ගිලිල මැරෙන්නම“ පොඩි කළුවා හරියට බයෙන් වගේ කිව්වා.

“එපා එපා.. අනේ එපා.. මං ඔයාට පුරවල සල්ලි බුසලක් දෙන්නං ආනේ මට යන්න දෙන්න“ ලියන්නා කිව්වා.

“ආහ්.. ඒක වෙනම කතාවක්“ කියල පොඩි කළුවා පෙට්ටිය ඇරියම දඩ බඩ ගාලා ලියන්න එළියට ඇවිත් පයින් ගහල පෙට්ටිය ගගට විසි කරලා කෙලින්ම මිනිහගේ ගෙදරට ගියා. ඒ පාර පොඩි කළුවට තවත් සල්ලි බුසලක් ලැබුනා. දැං පුරවපු සල්ලි බුසල් දෙකයි.

“ඔන්න එහෙනං මම අස්ප හම විකුන්නා.. හහ් හහ්“ පොඩි කළුවා ගෙදර ගිහින් අර සල්ලි ටික ඔක්කෝම කාමරේ මැද කන්දක් වගේ ගොඩ ගැහුවා. අර මදාවි තඩි කළුවා දැනගත්තොත් මම කොච්චර පෝසත්ද කියල.. අනේ මට උගේ මූන බලාගන්න ආසයි එතකොට. ඌට මුකුත් කියන්න නාකයි“

පොඩි කළුවා හිස් කුරුනියක් අරන් එන්න කියල කොලු ගැටයෙක්ව තඩි කළුවා ගාවට පිටත් කරා. මේ මොකක්ද කියල නොදන්න තඩි කළුවා කෝකටත් කියල ඒකේ පතුලේ මැලියං ටිකක් ගාලා තමා දුන්නේ. එතකොට දැන ගන්න පුළුවන් නේ මොනවද මේකා මේ තරං මනින්නේ කියල.

වැඩේ හරියටම හරි. තඩි කළුවා හිතුව වගේම කාසි වගයක් කුරුණියේ ඇලිලා. මේක දැක්කම මිනිහට ඇස් අදහගන්නත් බෑ දුවල ගියා පොඩි කළුවා ගාවට.

“තමුසෙට කොහෙන්ද මෙච්චර සල්ලි ගොඩක් කියනව මට“

“ආහ්. ඒ අර මගේ අස්ප හං කෑල්ලට. මං ඒක ඊයේ වික්කා“

“අප්පට සිරි හොද ගානක් ලැබිල නේ ඒ වහුකුනට“ එහෙම කියපු තඩි කළුවා මිනිහගේ ගෙදරට දුවල ගිහිල්ල, කෙටේරිය අරන් තමන්ගේ අස්පයෝ හතරදෙනාම මරල හම අරගෙන වේලලා ටවුමට අරන් ගියා විකුණන්න.

“අස්ප හං අස්ප හං“



මේක ඇහුනම සපත්තු කාරයොයි හම් මහන්නොයි ආවා ගාන අහන්න. “සල්ලි බුසලක් දෙන්න“ කඩි තළුවා කිව්වම “මේ යකාට පිස්සු කියලා“ අර කට්ටිය කිව්වා. ඒත් මේකා සල්ලි බුසලක්ම ඉල්ලන හින්දා මූ පිස්සෙක්ය කියල අර කට්ටිය තමන්ගේ අතේ තිබ්බ හම්පටි වලින් ගහ ගහ තඩි කළුවව එළවල දැම්මා.

“මම ඕකව මරනවා පොඩි කළුවා. ඌ මාව කෑවා“ කෝපෙන් පුපුරමින් තඩි කළුවා පොඩි කළුවගේ ගෙරදට දිව්වා.

හරියටම මේ වේලාවේ පොඩි කළුවගේ සැරපරුස ආච්චි ආන්ත්‍රා වෙලා. තමන්ට ගැහුව බැන්නත් ආච්චි ගැන දුකක් තිබ්බ නිසා ලස්සනට ඇදුං අන්දල ආයි කවද බලන්නද මයේ ආච්චියේ කියල, මළමිනිය පොඩි කළුවා නිදාගන්න ඇදේ පතබාවල, මිනිහා ඇද ගාව තිබුන පුටුවක තමා වාඩි වෙලා හිටියේ. මේ වෙලාවෙම කෙටේරිය අරං ගෙට පැනපු තඩි කළුවා ඇද උඩ ඉන්න පොඩි කළුවගේ ඔළුවට කෙටුවා. මොකද මිනිහා දන්නවා පොඩි කළුවා නිදාගන්න ඇද තියෙන තැන. ආයි දෙකක් නෑ පොඩි කළුව මැරුනයි කියල හිතාගෙන තඩි කළුවා මෙහෙම කිව්වා. “ආන් දැක්ක නෙ..තමුසෙට ආයි මාව මෝඩයේ කරන්න නං බෑ.“ මිනිහා යන්න ගියා.

“ඒ නං මහ නරක මිනිහෙක්“ පොඩි කළුවා කිව්වා. “මිනිහට ඕන උනේ මාව මරන්න. වෙලාවට ආච්චි මැරිල හිටියේ. නැත්නං මේකා ආච්චිවයි මරන්නේ“ ඊට පස්සේ ආච්චිට එයාගේ හොදම ඇදුම් ටික අන්දවල අසල්වැසියෙක්ගෙන් ගත්ත අස්ප කරත්තෙක පිටිපස්ස ආසනේ වාඩි කරවගෙන කරත්තේ පැදගෙන යන්න ගියා. කොහොම හරි ඉර නැගෙන කොට මේ අය ලොකු තානායමක් ඉස්සරහ හිටියේ.

දැඩි පිපාසෙන් හිටිය පොඩි කළුවා කරත්තෙන් බැහැල  තානායම ඇතුලට ගියා. ගිහිල්ල තානායම්පල්ලට මෙහෙම කිව්වා.

“මම ආච්චිත් එක්ක නගරෙට යන ගමන්. එයා කරත්තේ ඉන්නවා. එයාව මෙහාට එක්ක එන්න අමාරුයි. එයාට ඔය ටිකක් සැර පැණි බීමක් ගිහින් දෙන්න කරත්තෙට. හැබැයි හයියෙන් කතා කරන්න මොකද එයාට ඇහෙන්නේ නැහැ“

එහෙම කරන්නං කියපු තානායම් පල්ලා හොද වයින් වීදුරුවකුත් අරන් කරත්තෙ ගාවට ගිහිල්ල කීප වතාවක්ම බෙරිහන් දීලා කෑගහුවත් පළාතක බලපු නැති ආච්චි ගැන තරහ ගියා. මොකද හැම වෙලේම ගිනි පෙලෙල්ල අතේ තියන් ඉන්න එකෙක් තමා මේ තානායම්පල්ලා. මේකට තරහ ගියපු නිසා වීදුරුව අරන් ආච්චිගේ මුනට විසී කරාම වීදුරුවේ තිබ්බ වයින් ටික ආච්චිගේ නහය දිගේ බේරුනා. ඒ එක්කම ආසනේ උඩ වාඩි වෙලා හිටිය ආච්චි පිටි පස්සට වැටුනා ඇයි ඉතිං එයා නිකං එහෙම හිටියා විතරයි නේ ගැට ගහල නැහැනේ.

“ඒයි යකෝ.“ පොඩි කළුවා දුවගෙන ආවා. ඇවිත් තානායම්බල්ලව බෙල්ලෙන් උස්සල කෑ ගැහුවා. “තෝ මගේ ආච්චිව මැරුවා එහෙනං, බලපං අර නලලෙ තියෙන තුවාලේ“

“අයියෝ මේක මගේ කරුමේ... මගේම කරුමේ, මගේ ඉවසිල්ලක් නැති කම තමා මේ ඔක්කෝටම මුල. අනේ පොඩි කළුවා මහත්තයෝ මං ඔයාට සල්ලි බුසලක්ම දෙන්නං. මගේ පවුලේ කෙනෙක් වගේ මේ ආච්චිව අපේ සෙහොන් බිමේම භුමදාන කරන්නං. හැබැයි මේක කාටවත් කියන්න එපා එහෙම උනොත් මං ගස්.. රත්තරනේ “

ඉතිං පොඩි කළුවට තවත් සල්ලි බුසලක් ලැබුනා. තානායම්පල්ල එයාගේ වියදමින්ම ආචිචිව වල දැම්මා. ආයි ගෙදර ආපු පොඩි කළුවා හිස් බුසලක් ගේන්න කොළුවව යැව්වා. 

“මොකා.. මිනිහ මැරිල නෑ.. මේක හරියන්නෑ මමම ගිහිල්ල බලන්න ඕන“ කියල හිස් බුසල අරන් තඩි කළුවා ගිය එහෙට.

“ඒ පාර තමුසෙට කොයින්ද මෙච්චර සල්ලි“ පිස්සුවෙන් වගේ ඇස් ලොකු කරගත් තඩි කළුවා ඇහුවේ කාමරේ මැද්දට වෙන්න තිබ්බ සල්ලි ගොඩ දැකලා.

“හැක් හැක්.. තමුසේට මාව මරන්න බැරි උනා ඒත් තමුසේ මගේ ආච්චිව මැරුවා. මම ආච්චිව විකුණුවා ඉතිං මට සල්ලි බුසලක්ම ලැබුනා“

“ඒක මාර සෙල්ලමනේ“ කියාගෙන තඩි කළුවා දිව්ව ගෙදරට. කෙටේරිය අරන් එයාගේම ආච්චිව මරල දැම්මා. ඊට පස්සේ කරත්තෙක පටවගෙන දිස්පැන්සරියට ගිහිල්ලා ඇහුව සල්ලි වලට මිනී ගන්නවද කියල.

“කව්ද ඒ. තමුසෙ කොහෙන්ද ඕක හොයාගත්තේ“ බේත් ශාලාවේ අයිතිකාරයා ඇහුවා.

“ඒ මගේ ආච්චි. මං එයාව මැරුවා එයාව විකුණල සල්ලි බුසලක් ගන්න හිතාගෙන“

“අහෝ දෙවියනි. උඹ නං තුච්ඡයෙක්. තමුසෙට අමු කැවිලද මේ විකාර කියවන්නේ.“ දිස්පැන්සරියේ අයිතිකාරයා ඇත්තටම කියල දුන්න තඩි කළුවට මීනිමැරුමක් කරාම ඇති වන භයානක තත්වය. මොකද මනුෂ්‍ය ඝාතනයක් කියන්නේ සාපරාධි අපරාධයක් කියන එක. මේක අහල තඩි කළුවා හොදටම බය වෙලා උඩ පැනල කරත්තෙට නැගල එක වේගෙට අස්පයන්ට තලමින් ගෙදර යන්න ගියා. මේක දැක්ක මිනිස්සු හිතුවා මිනිහට පිස්සු නිසා ඕන දෙයක් කරගත්තාවේ අපි සද්ද නැතිව ඉමු කියලා.

“උඹට මේකට නං සෝම්බුව දෙනවා මං.“ පාරේ යන ගමන් තඩි කළුවා හිතුවා. ගෙදර ගිහිල්ල, ගෙදර තිබුන ලොකුම පෝර මල්ල අරගෙන පොඩි කළුවගේ ගෙදර ගිහිල්ල මිනිහව අරගෙන ගෝනියට දාලා ගැට ගැහුවා. “තෝ මාව ආයෙත් මෝඩයා කරා. මම මගේ අස්පයෝ මැරුවා. දැං ආච්චිව මැරුවා. මේවා උඹේ වැරදි. ආයි උඹට එහෙම කරන්න ලැබෙන්නෑ. මං තෝව ගඟට දානව ගිලිල මැරියන්“

ගඟ ගාවට යන්න සෑහෙන දුරක් තියෙනවා, ඒ මදිවට පොඩි පොඩි කිව්වට මේ පොඩි කළුවා හෙන බරයි. තඩි කළුවා පල්ලිය ගාවට ගියා. ඒ වෙලාවේ පල්ලියේ අගේට මිහිරියට මිනිස්සු ගීතිකා ගායනා කරන හඩ ඇහුනම තඩි කළුවට හිතුවා මේකා මරන්න යන එකේ පිනක් දහමක් කරගන්න ඕන කියලා. ඒ පාර පල්ලියේ දොර ගාව මල්ල තියලා තඩි කළුවා ගීතිකා අහන්න පල්ලියට ගියා. 

“දැං තමා වෙලාව“ කියල පොඩි කළුවා ගැටේ ලිහන්න හැදුවත් ඒක කරන්න බැරි උනා.

මෙන්න මේ වේලාවේදිම එතනින් යනවා සුදු හිස කෙස් ඇති අතේ ලොකු කෝටුවක් තියෙන ගොපල්ලෙක්. මිනිහා විශාල ගොං බානක් දක්කන් යනවා. ඒත් සත්තු යන පාර අවහිර වෙන විදියට තඩි කළුවා ගෙනාපු මල්ල තිබ්බ නිසා සතුන්ගේ පා පහරවල් වැදිලා මල්ල විසික් වෙලා ගියා.

“අයියෝ මං කොල්ලෙක් වෙලත් අදම දෙව්ලොවට වඩින්නයි හදන්නේ“ පොඩි කළුවට කියවුනා දුකෙන්.

“ඇයි ඕයි මට.. මම වයසක මිනිහා. ඇයි මට බැරි. මේච්චර වයසට ගිහිල්ලත් මට ඕකට යාගන්න විදියක් නැහැ.“ ගොපල්ලා කිව්වා මේ සද්දේ ඇහිලා.

“මල්ල අරින්න, මේ මල්ලට බහින්න. ඔයාට එක පාරින්ම දෙව්ලොවටම වඩින්න පුළුවන්“ පොඩි කළුවා කිව්වා.

“අම්මප ඇත්තද? මම කැමතියි. හැබැයි මගේ ගොං බාන ඔයා බලාගන්නව නේද?“ කිව්ව මහල්ලා ගැටේ ලිහල පොඩි කළුවව එළියට අරගෙන මිනිහම මල්ලට බැස්සා. ඊට පස්සේ තදට ගැටේ ගහල, මල්ල දොර ගාවින් තියල, පොඩි කළුවා අර ගොං බාන දක්කන් යන්න ගියා.

ටික වෙලාවකින් ආපු තඩි කළුවා මල්ල කරට ගත්තම ඒකේ බාගයක්ම බර අඩු වෙලා තියෙනවා දැනුනම, ඒ අර අහපු ගීතිකා නිසා දෙවියෝ කරපු දෙයක්ය කියල හිතල සන්තෝසෙන් මල්ල උස්සන් ගිහිල්ල ගඟ මැද්දට අතෑරියා ඒ පොඩි කළුවයි කියල හිතාගෙන. “දැක්කනේ දැං ඕකට වෙලාම හිටපං.. උඹට ඉතිං මාව ගොනා කරන්න බෑ ආයෙත්“ කියල ගෙදරට යන්න පිටත් උනා.

හැබැයි ගඟ පහුකරගෙන හන්දියට එන කොට මෙන්න එනවා මහා ගොං බානක් දක්කගෙන පොඩි කළුවා, තඩි කළුවා පුදුමෙන් බැලුවා. “මේ මොකාද? එතකොට තමුසේ මැරුනේ නැද්ද“ භීතියෙන් තමා ඒක ඇහුවේ.

“ඔව් තමුසේ මාව පැය බාගෙකට කලින් ගඟට විසික් කරා නං තමා“

“ඉතිං තමුසෙට කොයින්ද මෙච්චර ගොං බානක්. කොහෙන්න ලැබුනේ“

“මේ සත්තු නිකං උන් නෙමෙයි දිය ගොනුන්.. හරි මං කියන්නං තමුසෙට විස්තරේ.. තමුසේ මාව ගඟට විසි කරල ලොකු උදව්වක් කරේ. දැං මම තමා පෝසත්. බලනවා මං හුගක් පෝසත්. තමුසේ මාව ගෝනියට දාලා අරන් යන කොට මං හොදටම බය උනා. තමුසේ මාව ගඟට විසි කරාම ඒ හුලං පාරට මාව කීරි ගැහිල ගියේ ආයේ දෙකක් නෑ. මම පතුලටම ගිලුනා. පතුලේ තිබ්බ මාර සිනුදු තණ කොල නිසා මට කිසිම දෙයක් දැනුනේ නැහැ. ඔන්න එක පාරටම මල්ල ඇරුනා. එතකොට මම දැක්කේ සුදුම සුදු පාට ලස්සන ඇදුම් ඇදගෙන එයාගේ තෙත කොන්ඩේ මල් මාලයක් දාගෙන හිටපු දිය කිදුරියක්. එයා මාව එක්කන් ගියා. මට මෙහෙම කිව්වා.“

“එන්න මගේ පුංචි කළු පැටියෝ. ඔයා මේ පොඩි හරක් බාන අරගන්න. මේවා මං දෙන්නේ. තව හැතැක්මක් ගියාම මේ ගඟ දිගේ, ඔයාට මීට වඩා ලොකු ගොං බානක් ලැබේවි.“

ඔන්න එතකොට මම දැක්කා අර ගඟ එක පාරටම තඩි තාර පාරක් වෙනවා. ඒක දිගටම ගඟ පටන් ගන්න තැන ඉදල මූද දක්වාම තියෙනවා. පාර දෙපැත්තේ ලස්සන මල් පිපිලා, ලස්සන තණනිලි, ඒ වගේම මාළුවෝ. උන් හරියට අර කුරුල්ලෝ වගේ මගේ කන ගාවින් ගියේ. ඒ මිනිස්සු නං හරිම හොදයි. ඒ බිම් වල කොයි තරං හරක් බාන් ඉන්නවද ඇත්තට සූ ගාලා..“

“ඉතිං තමසෙ මක්කටෙයි ආයේ මෙහට ආවේ. මම උනා නං හෙම එහෙම නවතිනවා. ඔව් නවතිනවා“ තඩි කළුවා කිව්වා.

“ඇයි.. මම දන්නවා. .තමුසෙට ඇහුන නේ මං කිව්ව අර දිය කිදුරිගේ කතාව. ඊට හැතැක්මක් එහා තියෙන ලොකු ගොං බාන ගැන. ඒ අයට ඒක පාරක් වගේ උනාට අපි දන්නව නෙව ගඟක හැටි. අර පැත්තට යනවා මේ පැත්තට යනවා. ඉතිං කොහොමද මං හරියටම පාර හොයාගන්නේ.. අපි දන්න විදිය නේ මේක. මම ගොඩට ආවේ එතන හොයාගෙන යන්න තමා. ඔය ගඟ දිගේ කරක් ගහනවට වැඩිය පුරුදු පාරෙන් ගිහිල්ල එතැන හොයාගන්න එක ලේසියි නෙව.. මේ වැඩේ නිසා මට යන්න තියෙන දුර හැතැක්ම බාගයක් විතරයි අඩු උනා. ඉතිං පුළුවන් තරං ඉක්මනට මම මගේ දිය ගොං රෑන වැඩි කරගන්න තමා මේ හදන්නේ“

“අනේ අම්මප උඹ වගේ වාසනාවන්තයෙක්,.. තමුසෙ හිතනවද මං ගියොත් මටත් ඔය වගේ ගොං බානක් ගන්න ඇහැක් වේවි කියලා.. කියනවකෝ ඕයි“ තඩි කළුවා ඇහුවා.

“ඇයි අනේ බැරි. පුළුවන්. ඒත් මට තමුසෙව ගෝනියක දාගෙන ගඟ ගාවට උස්සන් යන්න බෑ. තමුසේ එතනට ගිහිල්ල තමුසෙම ගෝනියට බැස්සොත් ඔන්න මම උදව්වක් විදියට තමුසෙව සන්තෝසෙන් ගඟට විසික් කරන්නං“ පොඩි කළුවා මෙහෙම කිව්වම ඒකට තඩි කළුවා කැමති උනා. හැබැයි ගඟ පතුලට ගිහිල්ල ආයේ එද්දී අර කිව්ව වගේ ලොකු හරක් බානක් ලැබුනේ නැත්නං ආපහු ඇවිත් ඉස්තීරෙටම පොඩි කළුවා මරණවයි කියලත් කිව්වා.

“අනේ එච්චර දරුණූ වෙන්න එපා අයියා“ කියල ගඟ ගාවට ගියා දෙන්නම අර ගොං බානත් එක්කම. වතුර පිපාසෙන් හිටිය හරක් ටික ගඟ දැක්ක විතරයි කඩා බිදගෙන වතුරට දුවන්න ගත්තා. මේක බලන් හිටිය පොඩි කළුවා මෙහෙම කිව්වා.

“දැක්කනේ.. මුන්ට වතුරට පනින්න තියෙන ආසාවක තරම.. උන්ට ඒ තරං හදිස්සියි ගං පතුලට යන්න හැක් හැක්“

“අනේ. ඒකට කමක් නෑ. තමුසේ ඉස්සෙල්ලා මට උදව් කරනවා, නැත්නං මං බොට නෙලනවා හරිද“

මීහරකෙකුගේ පිටේ ගැට ගහල තිබ්බ ලොකු උරේකට නැගපු තඩි කළුවා “ඒයි තව ගලකුත් දානවා.. බැරි වෙලා හරි මාව ගිලුන්නැති උනොත්“ කියල කිව්වා. ලොකු ගලක් මල්ලට දාලා මල්ල තදින් ගැට ගහපු පොඩි කළුවා එක පාරටම ඒක ගඟට තල්ලු කරා. අපේ තඩි කළුවා කිසි කතාවක් නෑ එක පාරටම ගං පතුලේ.

“මට බය තඩි කළුවට බැරි වෙලා හරි ගොං බාන හොයාගන්න බැරි වෙයිද හක් හක්“ කියල කියමින්, තමන්ගේ ගොං බානත් අරන් පොඩි කළුවා ආයි ගෙදර යන්න පිටත් උනා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - Little Claus and Great Claus

Saturday, December 14, 2013

පුංචි ඩේසියා මල!!!

මේ... මේක කියවන්නකෝ

ඔන්න එකෝමත් එක රටක පුංචි ගමක් තිබුනා. ඒ ගමේම, පාර අද්දරට වෙන්න තිබ්බ පුංචි ගෙයක්. දැකල තියෙනවා නේ ඔය වගේ ගම්බද ගෙවල්. ගෙදර ඉස්සරහම තිබුනා තීන්ත ගාපු අපුරු ලී වැටක්. වැටට මෙහායින් ඉඩම. මුළු ඉඩම පුරාම සාරෙට කොළ පාටට තණකොල වැවිලා. නිල්තණකොළ පිට්ටනිය පාර අයිනේ කානුව ගාවට යනකම්ම එක යායට දිලිසෙනවා අව්ව වැටිලා. හරියටම ඒ තණකොල බිස්සේ මැදටම වෙන්න පුංචි ඩේසියා මලක් පිපුනා. වත්තේ පිපුනු අනිත් මල් වලටත් ඉර එළිය හොදට සංග්‍රහ කරනව වගේම මේ පුංචි ඩේසියා මලටත් වෙනසක් නැතිව ඒ විදියටම ඉර සංග්‍රහය ලැබුනා. ඒකේ පිහිටෙන් මේ පුංචි ඩේසියා මල හරි ඉක්මනට ලොකු උනා. 

අර දීප්තිමත්ව බැබලෙන ඉරේ මැද තියෙන සුදු පාට දීප්තිමත් කිරණ වගේ මනරම්ව - එක දවසක් උදේ,  තම වැඩුනු පෙති විදහාගෙන ඩේසියා මල විකසිත උනා. ඒක හරිම ලස්සනයි. ඒත් ඒත්.. වත්තේ අනිත් මල් ගොන්නත් එක්ක බැලුවම, මේ තණකොළ බිස්සේ හැංගිච්ච පුංචි ඩේසියා මල හිතුවේ, “අනේ මාව නං කිසිම කෙනෙක් දකින එකක් නැහැ“ කියලයි. පව් අහිංසක පොඩි එකී.  ඒත් අනේ එයා දුක් උනේ නෑ. පුංචි ඩේසියා සන්තෝසෙන් පිම්බිලා හිටියේ, එයාගේ ලස්සන ගැන. ආඩම්බරෙන් ඉර දිහාවට මුණ හරවගෙන ඈත අහසේ සීනුවක් වගේ කිචි බිචි ගාන පුංචි කුරුල්ලා දිහා පුංචි ඩේසියා ආසාවෙන් බලාන හිටියා.

පුංචි ඩේසියා මල ඇත්තටම හොද නිවාඩුවක් හමු වෙලා වගේ හරිම සන්තෝසෙන් හිටියට එදා සදුදා දවසක්. ඔක්කෝම ළමයි ඉස්කෝලෙට වෙලා තමන්ගේ මේසේ ගාව පුටුවේ ඉදගෙන නොයෙක් දේ ඉගෙනගන්නවා. ඒ වගේම අපේ පුංචි ඩේසියාත් තණකොල බිස්සේ ඉදගෙන එක එක දේ ඉගෙනගන්නවා. එයා සුදු පාටට බබලන ඉර දිහා බලල ඉගෙනගත්තා. වටේ පිටේ තියෙන දේවල් දිහා බලල ඉගෙනගත්තා. එයා දැක්කා මේ හැම කෙනෙක්ම අර ලස්සනට සින්දු කියල අහසේ පාවේලා නිදහසේ යන චූටි කුරුල්ලගේ සංගීතෙ රස විදිනව කියලා. ඒ හැගීම හින්දම පුංචි ඩේසියා මල සින්දු කිය කිය පියාඹන්න හැකි මේ සෙල්ලක්කාර කුරුල්ල දිහා ආදරෙන් වගේ බැලුවා.  හැබැයි ඔයා හිතුවද පුංචි ඩේසියා එයාට පියාඹන්නවත් සින්දු කියන්නවත් බැරි නිසා දුකෙන් බැලුවයි කියල.. අනේ නැහැ. අඩු ගානේ මට එයාව දකින්නයි අහන්නයි පුළුවන්නේ කියල පුංචි ඩේසියා හිතුවා. කිසිම ඉරිසියාවක් වත් දුකක් වත් නෑ. මුළු පරිසරයම එයාට ආදරෙයි කියල හිතාගෙන පුංචි ඩේසියා සන්තෝසෙන් කුල්මත් වෙලා හිටියා. 

ඒ වත්තේ ගොඩාක් මල් තිබුනා. ඒවයේ සුවද අඩු උනත් ඒගොල්ල හිතං හිටියේ මාර සුවදයි කියලයි. එක එක පාට ලස්සන මල් පිපිලා රෝස මල් වලට වඩා ලස්සන වෙන්න හැදුවා. ඒත් ඉතිං රෝස මලේ ලස්සනත් එක්ක ඒවට හැරෙන්නවත් බෑනේ. ටියුලිප් මල් වලට තමා ලස්සනම පාට තැවරිලා තිබුනේ. ඒක දැනං උන්න ටියුලිප් මල් හොදට කෙලින් වෙලා හිටගෙන හිටියා හැමෝටම පේන විදියට ආඩම්බරෙන්. මේ ආඩම්බරකාර මල් පුංචි ඩේසියාව දැක්කේ නැති උනත් පුංචි ඩේසියා ඒගොල්ල දිහා බලන් හිටියේ සතුටෙන්. “අනේ ඒගොල්ල කොච්චර ලස්සනද? හරිම පුදුම පාට ඒවා. පුංචි කුරුල්ලෝ ඒගොල්ල බලන්නත් එනවා නිතරම. අනේ කොච්චර දෙයක්ද මම මේ ලස්සන අයගේ කිට්ටුවෙන් හරි ඉන්න එක. අඩු ගානේ මට මේ දිහා බලාන ඉන්නවත් පුළුවන්නේ“ කියල හිතමින්. එහෙම හිතන කොටම “ක්ව්වීක්“ ගාගෙන අර පුංචි කුරුල්ලා උයනට පාත් උනා. හැබැයි ඒ ආවේ ටියුලිප් මල් වලටවත් අනිත් මල් බලන්නවත් නෙමෙයි. කුරුල්ලා ඇවිත් නතර උනා තණකොල බිස්සේ ලස්සන පුංචි ඩේසියා මල ඉන්න තැන. මේක දැකපු අපේ පුංචි ඩේසියා මල මොනවක්වත්ම කියාගන්න බැරිව සතුටින් පිම්ඹුනා. 

පුංචි කුරුල්ල ඩේසියා මල වටේම උඩ පැන පැන සින්දුවක් කිව්වා.

ඕහ්.. සියුමැලියි මේ මේ තණපත්
ආහ්. අන්න අන්න....
ඉගසුග රන් වන්
පුංචි පෙති රිදී වන්
සුපිපුණු හැඩ ඇති ඩේසියා මල

ඩේසියා මලේ කහපාට මධ්‍යය හරියට රත්තරන් තවරල වගේ පෙනුනා. ඒ වගේම ඩේසියා මලේ දීප්තිමත් සුදු පෙති හරියට දිලිසෙන රිදී වගේ පෙනුනා.

කාටවත් හිතාගන්න බැරි තරමටම පුංචි ඩේසියා මල සතුටු උනා මේකෙන්. ඩේසියා මලට ආසා උන පුංචි කුරුල්ලා එයාගේ පුංචි හොටයෙන් මල සිපගත්තා හැබැයි ඒත් අර සිංදු කියන ගමන්මයි. ඊට පස්සේ එක පාරටම නිල් අහසට පැනල එයා පියඹා ගියා. පැය කාලක් විතර ගත උනා ඒත් ඒ වෙලාව අර පුංචි ඩේසියා මලට ඇති වෙච්චි ඉමිහිරි මතකය අමතක කරන්න තරං කාලයක් උනේ නැහැ. කුරුල්ලාගේ ආදරය විඳපු ඩේසියා හිත ඇතුලෙන් සන්තෝසය මුසපත්ව ඇකිලෙමින් ඒ ගැන හිතමින්ම උන්නා හරියට පළමු හාදුව විදපු පෙම්වතියක් වගේ විළියෙන්. පුංචි ඩේසියා ලැජ්ජාව වහගෙන ඔළුව උස්සලා අනිත් මල් මේ සිද්ධිය දැක්කද කියල බැලුවා. ඇත්තටම ඒ ගොල්ල මේක දැක්කා. ඒ වගේම කෙනෙකුගේ හැගීම් තේරුම් ගන්න පුළුවන් හොද මට්ටමක ඒ ගොල්ල හිටියා. ඔව් ඉතිං පුරුදු කාරයෝ උනත් පළමු හාදුවේ සන්තෝසය මොන වගේ එකක්ද කියල තේරුං ගන්නම ඕන. හැබැයි සමහරක් කට්ටිය හිටියා මේක දැකල ඔළුව අප්සෙට් වෙච්චි. 

අර ඔළුව කෙලින් කරං හිටපු ටියුලිප් මල් තවත් අහංකාර විදියට කොන්ද කෙලින් කරගෙන හිටියා වගේ දෙගුණයක් ආඩම්බරෙන් බලං හිටියා. ඒගොල්ලගේ මුණූ රතු වෙලා. හරිම අප්‍රසන්න විදියට තමන් දිහා බලපු විත්තිය පුංචි ඩේසියා දැක්කා. අර ඔළුව ඉදිමුනු එක එක පාට මල් පවා තරහෙන් හිටියේ. හැබැයි ඉතිං, වාසනාවට වගේ ඒ අයට කතා කරන්න බෑ නැත්නං අහිංසක ඩේසියාට හොද බැනුං ටිකක් නං අහගන්න වෙනවමයි. පුංචි ඩේසියා දැක්ක මේ අයගේ ඉරිසියාවන්ත කම. ඇත්තටම ඒගොල්ල මෙලෝ රහක් නැති උදවිය විදියටත් එයාට පෙනුනේ. 

මෙන්න මේ වෙලාවෙම පුංචි පිහියක් අතට ගත්ත ගෑනු ළමයෙක් වත්තට ආවා. කිසිම කතාවක් නෑ කෙලින්ම ගියා ටියුලිප් මල් ලගට, පිහිය අරං හැම ටියුලිප් මලම බෙල්ල ගාවින් කපල අතට ගත්තා. “ඕහ්“ පුංචි ඩේසියා දුකෙන් කෑගැහුවා. “අයියෝ මොන අපරාධයක්ද? දැං ඉතිං එයාලා ඉවරයි අනේ“. ගෑනු ළමයා ටියුලිප් මල් ටිකත් අරන් යන්න ගියා. පුංචි ඩේසියා මල වැඩකට නැති තණකොල බිස්සේ කව්රුවත් නැති අහිංසකයෙක් වගේ හිටියා. එයා කවදත් ඒ විදියට ඉන්න කැමතියි. එයා දන්නවා ඒක, ඒ කිව්වේ කාත් කව්රුවත් නැති පුංචි මලක් විතරයි කියන එක. හවසට ඉර බැහැගෙන යද්දි එයා තමන්ගේ පෙති ටික අකුලගෙන නින්දට ගියා. මොන.... මුළු රෑ කාලේ පුරාම සුදු පාටට දිලිසෙන ඉරයි, අර එයාව ආදරෙන් සිප ගත්ත පුංචි කුරුල්ලයි ගැන ඇති තරම් හීන දැක දැක හිටියා විතරයි. පව් මෙයා..

පහු වෙනිදා උදේම නැගිටල ඈලි මෑලි කඩමින් හරියට අත පය හිරි අරිමින් වගේ එයාගේ සුදු පාට මල් පෙති දිග අරිමින් හිටිය පුංචි ඩේසියා අර පුංචි කුරුල්ලගේ සිංදුව එකපාරටම අදුරගත්තා. ඒත් ඒත්.. එයා අද සින්දු කියන්නේ හරිම දුකෙන් ඇයි ඒ. ඔව් පුංචි කුරුල්ලට මේච්චර දුක් වෙන්න හේතුවක් තිබුනා. එයාව අල්ලගෙන, පව් ඒ මදිවට ජනේලේ ගාව එල්ලල තිබුන කූඩුවකට දාලා. අයියෝ බලන්නකෝ සතුටෙන්, නිදහසේ කොළපාටෙන් දිලිසෙන තිරිගු යායවල් වල සිංදු කියපු පුංචි කුරුල්ලට වෙච්ච දේ. එයා දැං හිරකාරයෙක් එයාගේ ඔක්කෝම ශක්තිය නැති වෙලා. එයා අසරණ වෙලා.

පුංචි ඩේසියා මල හදවතින්ම කුරුල්ලට උදව් කරන්න සැදී පැහැදි හිටියා. ඒත් එයා කියල මොනව කරන්නද එයාට කිසිම දෙයක් කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි නේ එයා හිටියේ. පුංචි මලට මුළු ලෝකෙම අමතක උනා, එයාගේ ලස්සනම ලස්සන රිදී පාටින් දිලිසෙන පෙති, එයා ආසම උණුසුම් හිරු ගේ ආදරය, වටපිටාවේ සෝබනත්වය මේ හැම දේම. “අනේ පව්“ එයාට හිතන්න පුළුවන් උන එකම දේ - හිරගත උන කුරුල්ල ගැනයි, කිසිම දෙයක් කරගන්න බැරි තමන් ගැනයි විතරමයි.

ටික වෙලාවකින් පොඩි පිරිමි ළමයි දෙන්නෙක් වත්තට ආවා. එක්කෙනෙක් අතේ පුංචි පිහියක් තිබුනා. පුංචි පිහියක්.. ඔව් ඒ ටියුලිප් මල් කපන්න අර ගෑනු ළමයා අරන් ආපු පිහිය නේද? ඔව් ඒක තමා. ඒ දෙන්න කෙලින්ම පුංචි ඩේසියා ළගට ගියා එයාට කිසිම දෙයක් හිතාගන්නවත් වෙලාවක් නොතියම.

“අපි මෙතැනින් පොඩි තණ පිඩැල්ලක් කපමු අර කුරුල්ලට ළගින්න ඇහැකි වෙන විදියේ“ අනිත් පිරිමි ළමයා කිව්වා. ඊට පස්සේ ඔහු පිහිය අරන් අර ඩේසියා පැලේ වට කරල පුංචි තණ පිඩැල්ලක් කපලා ගත්තා අතට. බය වෙන්න එපා පුංචි ඩේසියාට කිසිම කරදරයක් නැහැ එයා අර තණ පිඩැල්ලේ පරණ පුරුදු විදියටම හිටියා.

“ඔය මල කපල දාමු“ අනිත් පිරිමි ළමයා කියන කොට අහිංසක මුව පොව්වෙක් වගේ පුංචි ඩේසියා බයෙන් වේවලන්න ගත්තා. පුංචි ඩේසියාට තමන්ගේ ජීවිතේ ගැන ආසාවක් ඇති උනා. අනේ ඇයි මට ජීවත් වෙන්නම ඕන වෙලාවේ මාව මරන්න හදන්නේ, ඇයි ඉතිං තමන්ව මැරුනත් පුංචි කුරුල්ලාට උදව් කරන්න යන්න හිතහදාගෙන යන්න හිටි එක්කෙනා නෙ මේ.

“ඕන්නෑ. ඒක තිබ්බම ලස්සනයි.“ ඉතිං එයා බේරුනා. තණ පිඩැල්ල කුරුල්ල හිටිය දැල් කූඩුවට දැම්මා. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එනම් නිදහස නැති වීම ගැන පුංචි කුරුල්ල කුඩුවේ දැල් වල තමන්ගේ අත්තටු වද්දමින් මාරාන්තික උද්ඝෝෂණයක්. හරියට විප්ලවකාරයෙක් වගේ. මේ හේතුව නිසා පුංචි ඩේසියාට එයත් එක්ක කතා කරන්න විදියක් නැහැ. විප්ලවාකාරයා අරගලයක ඉතින් මොකද කරන්නේ. එයා බලං හිටියේ හිත සනසවන්න එක වචනයක් වත් කියාගන්න පුළුවන් වෙනකං. හරියට ඊයේ උදේ පුංචි කුරුල්ලා ඩේසියාට කිව්ව වගේ. ඒත් ඒ හිතුවිල්ල උදේ වරුවම ඉවර උනත් ඉෂ්ඨ උනේ නැහැ.

“අඩු ගානේ වතුර ඩිංගක් වත් නෑ“ හිරබත් කන පුංචි කුරුල්ලා තරහෙන් කිව්වා. “උං ඔක්කෝම මකබෑවිලා. කොහේද මන්ද මගේ උගුරකට ඔක්කෝම වේලිලා හරියට පිච්චෙනව වගේ. මට බොන්න වතුර ඩිංගක් වත් තියන්න බැරි මහ නරුමයෝ. මට ඉන්න බෑ හරියට අයිස් කටට දාලා මාව ගින්දරට අල්ලල වගේ. මට හුස්ම ගන්නත් බෑ. අනේ මාව මැරෙයි. අනේ මට ඉතිං ලස්සන කෙත්වතු, ඉර එළිය කොටින්ම දෙයියෝ මවපු හැම ලස්සන දෙයක්ම දාලා යන්න වෙනවා. මට මැරෙන්න බෑ“ අහිංසක කුරුල්ල මොරසන් දෙනවා. ඊට පස්සේ හොට එළියට දාලා අමරුවෙන් හුස්ම ඩිංගක් ගන්න කොටම එයා දැක්ක පුංචි ඩේසියාව. “අයියෝ එහෙනං ඔයාටත් මෙතැනම මැරෙන්නයි වෙන්නේ. මුං මම ආස මේ මගේ මුළු ලෝකෙන් ම, ඔයා ඉන්න පුංචි තණකොල පිඩැලි කෑල්ලක් විතරක් මට බලන්න ගෙනැල්ලා. ඔයා දන්නවා නේ මේ මුළු ලෝකෙම මගේ. ඔයා ඒකේ පොඩිම පොඩි දෙයක් විතරයි. හැම තණකොලයක්ම මට ලොකු ගහක් වගේ. ඔයා ගේ මේ පුංචි එක මල් පෙත්තක් මට ලොකු මලක් වගේ. ඔයාට තේරෙනවා නේ මම හැම දෙයක්ම විනාස වෙලා ගිය කාලකන්නියෙක්“

“අනේ මට ඩිංගක් හරි එයාට සහනයක් වෙන්න පුළුවන් නං“ පුංචි ඩේසියා හිතුවා. ඒ සිතුවිල්ලෙන් එයාගේ එකම මල් පෙත්තකවත් කොළයක් වත් නොසොල්වා අමරුවෙන් ගල් ගැහිල වගේ හිටියා, ඒකෙන් හරි කුරුල්ලට සහනයක් ලැබෙයි කියල හිතල. හැබැයි ඩේසියා මලින් හමනවට වැඩිය ඉමිහිරි කඩාගෙන යන සුවදක් ඩේසියා ගහේ කොළ වලින් හමනවා. පුංචි කුරුල්ලට ඒක දැනුනා හරියට නහය කඩාගෙන යන මහ එපා කරපු ගදක් වගේ. එයා හිතුවා ඒකෙන් එයා කලන්තේ දාවි කියලම. ඒ අමාරුව නිසාම තණපිඩැල්ලේ තිබ්බ ඔක්කෝම තණපත් ටික එයා ගලවල දැම්ම ඒත් පුංචි ඩේසියාට නම් මොනම හිරිහැරයක්වත් කරේ නැහැ.

හැන්දෑවත් ආවා ඒත් සාපිපාසාවෙන් ඉන්න පුංචි කුරුල්ලට වතුර බිංදුවක් වත් නෑ. කරන්න දෙයක් නැති තැන, එයාගේ අත් තටු දෙක හොදට දිග ඇරලා, පිස්සෙක් වගේ පට පට ගාලා ගහන්න ගත්තා, මරණයේ විලාපය තියමින්ම. ඒක හරියට සෝක ගීතයක් වගේ. අපහසුවෙන් හිටි කුරුල්ල එයා‍ගේ ඔළුව පුංචි ඩේසියා ගාව බිම ඔබාගෙන හිටියේ හරියට මරණාසන්න කෙනෙක් තමන්ගේ අවසන් හුස්ම පොද ගන්න ලැහැස්ති උනා වගේ. ඔක්කෝම බලාපොරොත්තු ඉවරයි. පුංචි ඩේසියාට තමන්ගේ එක පෙත්තක් වත් හොලවන්න බෑ. හරියට එයා ඊයේ හෙමීට ආදරෙන් හොටයෙන් සිපගත්ත වගේම, දැනුත් හොටය මල් පෙත්ත උඩ තියාගෙන, වේදනාවෙන් ඇඹරෙමින් ටිකින් ටික මරණය කරා ළගා වෙමින් හිටියා.

පහුවෙනිදා උදේ වෙනකම්ම අර පුංචි නරුමයෝ දෙන්න ආවේ නැහැ. උදේ ඇවිල්ල බලන කොට පුංචි කුරුල්ල මැරිල. ඒක දැක්ක විතරයි පොඩි උන් දෙන්න එක ලෙසටම බෑගිරිගහමින්, කදුළු වගුරමින් අඩන්න ගත්තා. පස්සේ මේ අය පුංචි වළක් කැපුවා. ඊට පස්සේ ඩේසියා මලේ රිදි පාටට දිලිසෙන පෙති වලින් කුරුල්ල සරසලා දේහය පුංචි රතු පාට පෙට්ටියක තැන්පත් කරා. අනේ පව්. අහිංසක කුරුල්ලා.. අන්තිමේ එයාගේ අවසන් කටයුතු ටිකවත් ලස්සනට කෙරුනා. පව්....අහිංසක කුරුල්ල ජීවත් වෙලා ඉන්නකං, එයාගේ සින්දු අහෙන කං මේගොල්ලන්ට එයාට සම්පුරුණයෙන්ම අමතක උනා. චික් විතරක් මේ වගේ අය. තමන් විදි නිදහස ඉල්ල වේදනාවෙන් අඩපු කුරුල්ලව කූඩුවේ හිර කරල තිබ්බා. ඒත් එයා මැරිලා ගියා. මැරුනට පස්සෙ මෙන්න ලස්සනට සරසනවා ඒ මදිවට කෑගහ ගහ කදුළු එනකං අඩනවා. පුදුමාකාර කනගාටුදායක අවස්ථාවක් ඒක.

කූඩුවේ තිබ්බ මැලවෙචිචි තණ පිඩැල්ල ඒගොල්ල ගෙයි ඉස්සරහ තියෙන මහ පාරට විසී කරා. ඒ තණ පිඩැල්ලේ වාඩි වෙලා දුකින් හිටිය අපේ පුංචි ඩේසියා මල මතකයි නේ. එයාගේ ලස්සන පෙති ටිකත් කුරුල්ලා සරසන්න දුන්නේ. අර නිරපරාදේ මැරිල ගිය අහිංසක ලස්සන, මුළු ලෝකෙම සන්තෝස කරපු පුංචි කුරුල්ලා ගැන තමන්ගේ මුළු හදවතින්ම ආදරය කරපු, ඒ වෙනුවෙන් මැරෙන්න උනත් සුදානං උන, එක වචනයකින් හරි පුංචි කුරුල්ලට සහනයක් වෙන්න බලා හිටිය, ලස්සන රිදී පාටට දිලිසුන පුංචි ඩේසියා මල ගැන මේ කව්රුවත් කල්පනා කරේ නැහැ.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - The Daisy

Wednesday, December 11, 2013

දෙබිඩියෝ!!!!

සිරිනාථගේ සිත තුල කැකෑරෙන කෝපයෙහි නිමක් නැත. ගස් ගල් අඹරවා එන්නාක් මෙන් මේ කඩා පාත් වෙන හෙනය කුමක්දැයි ඔහු දන්නේද නැත. එහෙත් මෙවැනි හෙනයක් තමන්ගේම එකෙකුගෙන් තමාගේ හිස මතකට කඩා පාත් වන්නේ ඇයිදැයි ඔහු කල්පනා කලේ එක් නිමේෂයක් පමණි. ඒ සමගින්ම තමන්ගේ ඇටමිදුළු හරහා තමාගේය කියනා ලේ රත් වී ගමන් කරන රස්නය ඔහුට දැනුනි.

“මල්ලි උඹ හිතන්නේ මම උඩින් පාත් වෙච්චි එකා කියලද? ඇයි යකෝ මේ බෙදල නැති ඉඩමේ ගස් ගෙඩි කඩාගන්න මටත් අයිතිය තියෙනවා. උඹ ඒක දැනගනිං“

“මේ ඔහේට වෙනම ඉඩමක් තාත්තා දුන්නේ ගේ හදාගන්න.. අන්න ඒකේ තියෙන ඕන මලදානයක් තමුසේ කඩාගන්නවා. මගේ කොරහට අත නොදා තේරුනාද?? ඇයි යකෝ අපිට කාලා ඇදල අපේ තැන ඉන්න නෑ නේ මුංගේ සක්කිලි වැඩ නිසා“

“මේ ඕයි මම තමුසෙගේ කෙංගෙඩියක් ගන්න ආව එකක් නෑ. මම ඉන්නේ අපේ තාත්තගේ ඉඩමේ.. මේක උඹට වගේම මටත් අයිතියි. ඒක හොදට මතක තියාගනිං“

“ඇයි තමුසෙට ලියල දීපු අක්කර 2යි ඉඩමට දීපු පර්චැස් 20 යි මදිද? තමුසේ තාත්තගේ සබ්බ සේසතම හූරගෙන නෙ තමුසෙගේ ගේ හදාගත්තෙ. ලැජ්ජ නැතිව එනවා තව කියවන්න. මේවා අපිට හොද පාඩං. අපිත් තාත්තල මකබෑවෙන්න කලින් මේවා ලියාගත්තේ නැතිවට“

“යකෝ දෙමව්පියන්ට අපහාස කරන්න එපා. තොට තාත්තා මේක ලියල දෙන්න හිතල හිටියේ නෑ. ඒක තාත්තා මට කිව්වා. මේ නඩුවෙන් බෙදුනම තමුසෙට බාගේ හම්බු වෙන්නයි තාත්තට ඕන උනේ. මතකනේ තමුසෙට ලියපු තේ අක්කර 5 ට මොකද උනේ කියලා. තමුසේ ඒක තාත්තටත් හොරෙන් වික්කා. හෙන ගහනවා ඕයි ඒ වගේ අපරාධ වලට“

“මේ අයියේ.. අපි ඒවා විකුණුවේ අපේ ඒවා. ඔහේට ඒවා වැඩක් නෑ“

“ආ.. බොල.. පරට්ටියේ දැං උඹත් එනවද මට රැස්පොට් දාන්න.. නල්ල මලේ නෑනා..“

“ඇයි මගේ මිනිහගේ දේ මට අයිති නැද්ද.. නැත්නං ඔහේටද අයිති“

“තොට අයිති වෙන්න කලින් මේවා අපි හිටිය තැන්. මේවා අපේ මහ ගේ.. උඹ ආවේ මේ ඊයේ පෙරේදා. ඒවා මතක තියාගනිං. මාව නිකං අවුස්සගන්නේ නැතිව උඹේ ගෑනිගේ කටවහපං. නැත්නං මම දනී කරන්න ඕන දේ“

“ආ ඇයි.. උඹ මොනව කරන්නද? මම ඉවසුවේ අයියා නිසා.. නැත්නං උඹ මට මහ ලොකු කජ්ජක් නෙමෙයි. දැං පලයං යන්න මෙතනින්.. මේක මගේ ඉඩම. හොදට මතක තියාගනිං මේක මගේ ඉඩම. උඹේ වස්තරයක් නෙමෙයි හරිද?“

“ඈ බොල එහෙමද? හිටපිය තොට පර වේසිගේ පුතා“

“පල යන්න වේස සක්කිලියා.. වරෙන් ඇයි ගහන්නද? උඹව මරනවා මං වරෙන් වරෙන්“

සිරිනාථ පසු බසින්නට විය.

කිහිප දිනක් තිස්සේ සිරිනාථ තමන්ගේ ඉඩමේ කඩා ගැනීමට තරම් පොල් නැති වූ විටක තමාගේ මල්ලි සිරිසෝම පදිංචිව සිටි ඔවුනගේ මහ ගෙදර ඉඩමට පිවිස එක් ගසකින් පොල් කඩා ගැනීම වරින් වර සිදු කරන ලදි. එහෙත් මේ කිසිදු අවස්ථාවක මලයා ගෙදර නොමැති අවස්ථාවක් බලා පොල් කඩා ගැනීමට ඔහු වගබලාගත්තද, අද සිතු දේ එලෙස නොවී මලයා පමණක් නොව ඔහුගේ කටු ගැහුන බිරින්දෑට ගෙදර සිටීම මහා ලොකු ආරෝවකට මුල පිරිමක් විය. සිරිසෝමද අයියා කිහිප දිනක්ම ඉඩමේ පොල් කඩාගෙන ගොස් ඇති බව අසල්වැසියන්ගේ ඕපාදුප සංග්‍රහ වලින් දැන ගෙන සිටිය අතර, බිරින්දෑගේ බලපෑම් මත සිරිනාථ කෙරෙහි වූ වෛරයක් හිත තුල පැසවමින් සිටියේය. මේ සියළු කාරණා අද දින එළියට පැන්නේ බුර බුරා නැගෙන ගින්නක් පරිද්දෙනි. ගින්නට හසුවූ අමු තණකොල පත්ද කිරි කිරි ගා පිළිස්සෙන අයුරින් සිරිනාථ ඉඩමට පැමිණෙන විට සියළු ගිනි ඇවිලී අහවර වී තිබුනි. අඩුවකට තිබුනේ ගින්දරට දැමීම සදහා පිදුරු ස්වල්පයක් පමණකි. 

තමන්ගේ මහ ඉඩම හිතුමතයේ භුක්ති වීදීම පිළිබදව සිරිනාථ තුලද ඉරිසියාපරවස බාවයක් පැවතුනි. එය කිසියම් ක්‍රමයකින් හෝ එළිපිට පෙන්වා තමන්ගේද අයිතිය තහවුරු කර ගැනීමට සිරිනාථට අවශ්‍ය විය. ඊට අඩව් අල්ලමින් සිටි සිරිනාථට තම ඉඩමේ පොල් ගස් වල පොල් හිගවීම ප්‍රමාණවත් ධෛර්යයක් විය. එහෙත් මලයා නැති අවස්ථා බලා මහ ඉඩමට පැමිණියද කව්රුන් හෝ කුමන ඉසිඹුවක හෝ මේ පිළිබදව ඔහුගේ කනෙහි තවරන බව සිරිනාථට රහසක් නොවීය. කෙසේ කීවද සීතල යුද්ධයක් දෙපැත්තේම පැවති අතර, එය එළි පිට යුද්ධයක් බවට නුදුරේදිම පත් වන බව මේවාට උඩගෙඩි දුන් සිරිනාථගේ හා සිරිසෝමගේ කැහැටු බිරින්දෑවන් දැන සිටියහ.

මහා යුද්ධයකින් පසුව කඩුව අහිමි වූ සෙබලෙකු මෙන් තම නිවසට පැමිණි, සිරිනාථගේ මුළු ශරීරයටම රත් වී කෝපයෙන් වෙව්ලමින් පැවතිනි. මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ වී, මිට මොලවාගත් අත සොලවමින් ඔබමොබ ඇවිදි සිරිනාථට කුමන අයුරකින්වත් කෝපය පාලනය කර ගත නොහැක.

ඌ මාව මරන්න කතා කරා එහෙනං.ඌට අමතකයි මම උගේ අයිය විත්තිය. ඌට මං කරපු ඒවත් මතක නෑ. ගුණ මකුවා. මූ මොන එහෙකට මයේ අම්මගේ බඩින් වැදුවද මන්දා. කාලකණ්නියා. මූට හොද පාඩමක් උගන්නන්න ඕන. නැත්නං ඕකා තනියම මහ ඉඩම කාවි. මට ඉතිං හුප්පේ තමයි. ඔව් මම ඕකගේ අඩු කඩනවා පාරේදි.

එහෙත් සැනෙකින් සිරිනාථට මතක් වූයේ තමන්ගේ මලයා වුවද, සිරිසෝම තමන්ට වඩා ඇගපතින් දැඩි හා කායශක්තියෙන් යුක්ත පුද්ගලයෙකු බවයි. සිරිසෝමගේ අත කැඩීම කෙසේ වෙතත් තමාගේ අත පය නම් සිරිසෝම කඩා දමනු ඇතැයි යන සිතුවිල්ල ඇතී විමෙන් බියට පත් සිරිසෝම ඒ අදහස සැනෙකින් වෙනස් කොට වෙනත් උපක්‍රමයක් කල්පනා කරන්නට විය.

ඔව්. මම මූට රෑට පාරේ යන කොට පොල්ලකින් කෙලල අරිනවා. ඒ වෙලාවට කාටද අදුරන්න පුළුවන්. ඔව් ජයරත්නයගේ පොල් කෑල්ලේ කැලේ හැංගුනා නං වැඩේ ලේසියි. එතන පාරේ ලයිට් ඇත්තෙත් නෑ. ඔව් ඒක තමා හොදම වැඩේ. ඕකා පයින් නේ යන්නෙ. හරියටම බලල ඔළුවට එකක් කෙලිනව හබක් වෙන්නම. දෙන්නං තොට.

ඒ සිතුවිල්ලද භයානක බව තේරුම් යන්නට වේව්ලමින් සිටි සිරිනාථට ටික වේලාවක් ගත විය. ඒ අනුව කළ යුතුදේ පසුවට කල් තබා සිරිනාථ තම බිරිද දෙසවත් නොබලා ගෙයින් පිටවිය. කළුවර වැටෙන තෙක් අක්කර දෙකේ පොල් කෑල්ලේ සැරි සරමින් පෝර වලවල් කපමින් තම කේන්තිය නිවාගන්නට මහන්සි ගත්තද, වලවල් කපා කඳු ගැහෙන පස් තට්ටුව මෙන් සිරිනාථ ගේ කෝපය වැඩෙන්නට වූවාක් විනා අඩු වීමක් නොවීය. ඉහවහා ගිය කෝපය සිරිනාථගේ වැඩ සියල්ලම ඉක්මනින් එකලාසයක් කළද, කසිප්පු වාඩියට යාමට තවත් වේලාව ඇති නිසා අඩු උසකින් යුත් ගමේම අය රතු ගහ ලෙස හදුන්වන පොල් ගස පාමුල ඇලවී නිදන්නට විය. බොහෝ වේලාවක් යන තුරු වෛරයෙන් පිරි සිරිනාථ ගේ රකුසු අස් ඊට අවනත නොවුවද අවසන පැයක පමණ විවේකයක් ලබා දීමට රකුසු ඇස් තීරණය කර තිබුනි.

නින්දෙන් අවදි වූ සිරිනාථ පොල් ගහ පාමුල ඇනතියාගෙන අසල ඇති කුරුදු ගහෙන් කොලයක් කඩා එහි නටුවෙන් තම දත් පිරිමදින්නට පටන් ගත් විට වැසී තිබු කහට දියවන්නාක් මෙන් තාවකාලික මතකය දියවී පැය ගණනකට කලින් සිදු වූ දෙය නැවත ස්මරණය වන්නට විය. එහි සිදුවීම් මතක් වන වාරයක් පාසා සිරිනාථට තම මලයා ගැන මෙන්ම, වහසි බස් දෙඩූ බැළලිය ගැනද දැඩි කෝපයක් ඇති විය. තමන්ගේ ඉඩ කඩම් තනියම බුක්ති විදිනවා මදිවට තමාටද අපහාස කොට බැන අඩගසා තමා ජීවිත කාලයෙන් තුන්කාලයක්ම ජීවත් වූ ඉඩමෙන්ද එළවා ගත්තේය යන හැගීම මතුවීමෙන් සිරිනාථ තුල අසීමිත ලැජ්ජාවක් ඇති විය. එම ලැජ්ජාව සිත තුල වැඩී අග්නි දාහයක් මෙන් කෝපය නැගෙන්නට විය. දත් මිටි කමින් පිටි අතිත් පොල් ගහට පහර දුන් සිරිනාථ වහාම නැගිට කසිප්පු වාඩිය වෙත පිටත් විය.

“සිරිනාථයියා. අද සෝමෙත් එක්ක වලියක් දාගත්තලු නේද?“ දෙවැනි කස්ප්පු වඩිය ගනිද්දි අසළ සිටි බන්දුවා පැවසීමත් සමග “හ්ම්“ ගා උත්තර සපයා සිරිනාථ නිහඩ විය. 

“දවල් සෝමෙ කඩමණ්ඩියට ඇවිත් කියව කියව හිටියේ මහ සද්දේට ඔය ගැන“

“ඌ මොකක්ද කිව්වේ???“

“ඔහේ උගේ ඉඩමට පැනල පොල් කඩාගෙන ගිහින්, ඒකට එපැයි කිව්වම හාමිනාටත් පත බාලා ගියයි කියලා.“

“මොන.. මූ මහ අසමජ්ජාතියෙක් නේ මං එහෙම කරේ නෑ. අනික පොල් කැඩුවෙත් නෑ. අපි අතරෙ ආරෝවක් උනා තමයි. ඒත් බැට දුන්නෑ. මු තියන්න වටින්නේ පාපතරයා බොරු කියනවට“

“හරි එහෙනං කඩේ කළුවගෙන් අහපං. මම කියන්නේ ඇත්ත අම්මපල්ල“

“හැබෑට ඌ තව මොනවද කිව්වේ“

“උඹ ආයේ ඒ පැත්තේ පස් පෑගුවොත් එදාට බලාගන්න පුළුවන් කිව්වා මොකද වෙන්නේ කියලා“

“ඇයි බොල මොනව වෙන්නද. ඒක මගෙත් ඉඩම“

“ඒක මං දන්නෑ. මොනව උනත් සිරිනාථයියා පරිස්සමින්. ඕකා මහ නහරයා. උඹව මරන්න උනත් ඇහැකි ඌට“

“අනේ පල යන්න බන්දුවා. ඌට ඇහැකි අම්මගේ කිම්බ...“

තව දුරටත් සිටීමෙන් පලක් නැති බව තේරුම් ගත් සිරිනාථ වැනෙමින් නිවසට සේන්දු විය. පැය ගාණක් යනතුරු තම කැහැටු බිරිද සමග හාහෝ හඩින් පැවති ඝෝෂාව කුනුහරුප වැලක් අමුණන ලද රතිඤ්ඤ වැලක් මෙන් පැය ගාණක් ම පැවති අතර, අහල පහල නිවාස වල අයද දවල් සිදු වූ අලකලංචිය හේතුවෙන් මේ දේ සිදු වන බව ඉවෙන් මෙන් දැන සිටියහ.

දින දෙකක් පමණ කල්පනා කළද සිරිනාථ තුල සිරිසෝම කෙරෙහි පැවති වෛරයේ අඩුවක් නොවීය. කුමන මොහොතක හෝ මූනට මුන නොගැසීමට සිරිනාථ වගබලාගෙන තිබුනද, පාං ගෙඩියක් ගේන්නට කළුවාගේ කඩයට ගිය ඊළග දවසේ එකට ආප්ප කමින් සිටි සිරිසෝම හා බන්දුවා දැකීමෙන් සිරිනාථ වේව්ලුම් කා ගියේය. නිහඩව පාං ගෙඩිය රැගෙන කඩයෙන් ඉවත් වීමට උත්සාහ ගත්තද, කඩේ කළුවා එය ප්‍රමාද කරමින් සිරිසෝම හා බන්දුවා ගේ කටවල් ඇරීමට ගත් උත්සාහය අවසානයේ සඵල විය. කඩු කිනිසි අමෝරාගත් සෙබලුන් දෙදෙනෙකු මෙන් ගොං පොරයට වැටි සහෝදර ගොනුන් දෙන්නා දෙස විමතියෙන් හා සතුටෙන් ඇස් දල්වා බලා සිටි දුසිං දෙකක් පමණ වූ පිරිස ටික වේලාවක් එහි රසය විද දෙන්නා දෙපැත්තට ඇදීමට සමත් විය. දෙදෙනා ඉවත් වන මොහොතේ නියම වීරයන් දෙදෙනෙකු මෙන් එකිනෙකා මරණ බවට දෙදෙනාම වහසි බස් පවසන ලදි. එමෙන්ම පසුව දැනගත් අයුරින් සිරිනාථ සහෝදරකං අතෑරිය බවත් සිරිසෝමගේ මරණෙට වත් ඉඩමේ පස් නොපාගන බවත් පවසන ලදැයි ගම පුරා ආරංචි විය.

සිරිනාථ දින කිහිපයකට පෙර රැගෙන ආ බීජ කිහිපයක්, පෝර, වතුර හා නියම පස ලැබීමෙන් දැන් කුඩා පැළ තරමටම වැඩී මුල් හොදින් පොළවට අල්ලා ඇති බව දැකීමෙන් සතුටට පත් විය. එහි වර්ධනය පිළිබද ඉමහත් සොම්නසට පත් සිරිනාථ තමන්ගේ සිතෙහි හොදින් වැඩී ඇති රෑස්ස වෛරී ගස ගැන නොදත්තේය. නැතහොත් නොදන්නා සේ සිටියා විය යුතුය.

කාටවත් නොකියාම සිරිනාථ තමන්ගේ කපටි මොලය වෙහෙසා තෙමේම උසුලා ඉන්නා වැඩකට නැති රෑස්ස ගහ කපා දැමීමට පිඹුරු පත් සැකසීය. සරුවට වැවී ඇති කුඩා පැල අතර වූ වල් පැල කිහිපය සීරුවෙන් ගලවා ඉවත් කර, පොඩි පොඩි ගල්බොරළු කැබලිතිද ඉවත් කොට පැළ පාත්තිය මනරම් ලෙස සැකසීමට සිරිනාථට හැකි විය. එය එතරම් පහසු දෙයක් නොවුවද සිරිනාථ තුල සැළැස්මක් විය. ඒ සැළැස්මට අනුව වල්පැළ සියල්ල උදුරා දමා, තම භූමිය පිරිසිදු කර ගැනීමට සිරිනාථට අවශ්‍ය විය.

******************************************************

සිරිනාථගේ මහ ගෙදර සිට හැතැප්ම පහක් එපිටින් පිහිටි යද්දෙහිවත්ත මාර්කට්ටුවට හැන්දෑවේ යෑම සිරිසෝමගේ පුරුද්දක් විය. ඒද තමන්ගේ මලකඩ කෑ තැපල් නයින්ටියේ නැගී පැට්‍රල් හා භූමිතෙල් සමසමව මිශ්‍ර කිරීමෙන් අනතුරුවය. එන්ජිම පනගැන්වීමෙන් පසුව මලකඩ වාහනයෙන් නැගෙන හඩ පරයා භූමිතෙල් දැවෙන ගද සුළි කුනාටුවක් මෙන් පරිසරය තුල සැරි සරයි. එහෙත් සිරිසෝමට ඒ පිළිබඳ වගේ වගක් නොමැත. ඔහු තම තැපැල් නයින්ටිය පැදගෙන මාර්කැට්ටුවට ගොස් එළවලු මිලදී ගෙන ඉර අවරට ගිය තැන සීල් අරක්කු කාලක්ද කටට හලාගෙන නැවත නිවස බලා පැමිණෙයි.

එදා හවස් වරුවේ පොලිස් ජිප් රථයක් සිරිසෝමගේ ගෙයි ඉදරිපිට නතර විය. මාර්කැට්ටුවට ගොස් සිටි සිරිසෝම රෑ බෝවන තෙක්ම නොපැමිණිම ගැන තෝන්තුවෙන් සිටි හාමිනාට පොලිස් ජිප් රථය පැමිණිම අප්‍රභංසයක් විය.

“තමුන්ගේ මහත්තයා දවල් කොහේද ගියේ??“

“ඇයි ඉස්පැට්ටර් සර්. මිනිහා යද්දෙහිවත්ත මාර්කැට් එකට ගියා. ඇයි සර්??“

“හ්ම්.. ඇදුමක් ඇදගෙන දොර වහල එනවල පොලිසීයට යන්න.. සිරිසෝමට පොඩි කරදරයක් වෙලා“

“අනේ දෙයියනේ මොකක්ද ඒ පාර උනේ. අයියෝ සෝමේ“

පොලිසීයට යන බව කිව්වද ජිප් රථය වේගයෙන් ඇදෙන්නේ ඉඹුල ඉස්පිරිතාලේ දෙසට බව හැඩු කදුලින් සිටි හාමිනාට පසක් විය. රෝහලේ පිටුපස කුඩා ගේට්ටුවෙන් ඇතුල් කළ ජිප් රථය මෝචරිය ලෙස සදහන් බෝඩ් ලෑල්ල ඉදිරිපිටම නවත්වන අයුරු හාමිනා දෙනෙත් විසල්ව බලා සිටියා විනා වෙන කිසිවක් පැවසීමට තරම් හැකියාවක් නොමැතව සිටියාය. සාජන් නෝනා කෙනෙකු පැමිණ හාමිනාව වත්තන් කරගනිමින් මෝචරිය තුලට පිවිස, තහඩු ඇදක තබා තිබු මිනිය වසා තිබූ සුදු රෙදි කඩ ඔසවා පෙන්වීමෙන් පසුව යටි ගිරියෙන් යුතුව බෙරි හන් දුන් හාමිනා සිහිමුර්ජා වී වැටෙන්නට යද්දී පොලිසියේ දෙදෙනෙකු හනිකට පැන හාමිනා වත්තන් කර ගත්තේය.

ගමේම ආරංචි වුයේ මෙපරිද්දෙනි.

සිරිසෝම බදාදා යද්දෙහි පොළට ගොස් එන අතරමගදී, කනාකටුව පල්ලමේදී තැපැල් නයින්ටිය පෙරලී වැටි ඇති අතර, මලකඩ කෑ තහඩුවකට බෙල්ල හසුවීමෙන් සිරිසෝමගේ බෙල්ල කැපී හමෙන් පමණක් එල්ලා වැටෙමින් තිබුන බවය. සිරිසෝම වැටුනු තැන එකම ලේ විලක් වන අතර, අහලක පහලක කිසිවෙකු නොමැති පටු ප්‍රෙද්ශයක් වීම හේතුවෙන් අනතුර සිදු වී පැයක් හමාරක් යන තෙක්ම එය කිසිවෙකු දැක නොතිබීම නිසා සිරිසෝමගේ මරණය එතැනම සිදූ ඇති බවය. සැක කළ හැකි කිසිවකුත් නොමැති නිසා මෙය සීල් අරක්කු වල පිහිටෙන් සිදූ මරණයක් බවට පොලීසිය සැක කරන බවටත්, විසීරී ඇති ලේ ප්‍රමාණය අනුව තැපැල් නයින්ටියේ ඇදවී ඇති තහඩුවකට බෙල්ල හසු වන්නට ඇතැයි පොලීසිය අනුමාන කරන බවත්ය.

හදිසි මරණ පරික්ෂක වාර්තාව අනුව විවෘත තීන්දුවක් දී ඇති හෙයින් සිරිසෝමගේ සිරුර ආදාහනය නොකොට එම ඉඩමේම මිහිදන් කරන ලදි. හදිසියේ සිදු වූ සිරිසෝමගේ මරණයෙන් කම්පා වූ ගම්වැසියන් නොවලහා තම යුතුකම් ඉටු කරන ලදින් දෙතුන් දිනකට පසුව සිරිසෝම අවසන් ගමන් ගියේය. 

කෙසේ වෙතත් වහසි බස් දෙඩු සිරිනාථ මළ ගෙදරට නොපැමිණියා සේම කිසිවෙකු හා කතා බස් කිරීමටවත් උනන්දුවක් නොදක්වා වහංගු වී සිටියේය. ඔහුගේ නිවස අසලින් යන ඕනෑ අයෙකු විමසිල්ලෙන් බැලුවේ සිරිනාථ ගෙදර ඉන්නවාදැයි කියාය. එහි සැකයක් නොමැත. සිරිනාථ ගෙයි වැඩ කටයුතු කරමින් නිසොල්මනේ සිටිනු සැවොම දුටු අතර, ගම්වැසියන් අතර සිරිනාථ සහෝදරකං නොදන්න හිවලෙකු ලෙස හංවඩු ගැසිණි.

සිරිසෝමගේ අභාවයෙන් පසු නිදහස් සාමකාමි සති දෙකක් පමණ ගත විය. එහෙත් සිරිනාථ පාරේ ඇවිදිනු කිසිවෙකු නොදුටු අතර, රාත්‍රියෙහි ඇති පදමට කසිප්පු බී මහ රෑ ජාමය වෙනතුරු විකාර කියවන සිරිනාථ අසල්වැසියන්ට සුපුරුදු දසුනක් විය. මොනවා කිව්වත් මිනිහට තමන්ගේ මලයා මිය ගිය සෝකය ඇති බවත් ඒ හේතුවෙන් කනමදයා සේ මුළු දවසම බීමතින් සිටින බවත් ආරංචි විය. සිරිනාථ ඉද හිට හෝ පාරේ ගමන් කරන්නේ කසිප්පු වාඩියට පමණක් වුවද ඒ ගමන් ගන්නා හැම විටම රෑකඩයක් මෙන් තම අතක් මුහුණට ඉස්සරහින් අල්ලාගෙන යන්නේ හරියට ඉරව්වෙන් බේරිමට සේය. විටෙක භීතියෙන් බෙල්ල අතගාන සිරිනාථගේ හැසීරීම ගම්වැසියන්ට අනුකම්පාව ගෙන එන්නක් විය. සිරිසෝම තමන්ගේ එක්කුස උපන් සහෝදරයාගේ අකල් වියෝව පිළිබදව පශ්චත්තාප වන බවත් ඒ ගැන සිතීමෙන්ම මිනිහාගේ මොලේ අවුල් වී ඇති බවත් වැඩි දිනක් යන්නට පෙර ගම පුරා පැතිර ගියේය.

පසු දින මහ රෑ ජාමයේ උණ විකාරයෙන් වේවලමින් විකාර කියවමින් සිටි සිරිනාථ ත්‍රිරෝද රථයක් රැගෙන ඉඹුල ඉස්පිරිතාලෙට ගෙන යාමට සිදු විය. සිරිනාථගේ තත්වය බරපතල විය. උණ විකාරෙන් කියවන ඔහු විටෙක ගැස්සී තම බෙල්ල අතගායි. තවත් විටෙක අත ඉදිරියට යොමු කොට අවකාශයේ යම් කිසිවක් සොයයි. විටෙක තම මල්ලී වන සිරිසෝම තමා මරන්නට හදන බවත් ඒ නිසා තමාව බේරාගන්නා ලෙසත් වැද වැටෙමින් කෑ ගසමින් පවසයි. පැයක් පමණ ගියද කියවිල්ලේ හෝ උණ සන්නිපාතයේ අඩුවක් නොවු තැන, සිරිනාථගේ ක්‍රියාකලාපය දරදඩු වීමට ගත් හෙයින් රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව ඇදට තබා ගැටගැසීමට කටයුතු කරන ලදි. උණ බැස්වීම සදහා වතුර පොගවන ලද රෙදි වලින් සිරුර වෙලන ලද අතර, නින්ද යාම සදහාද එන්නතක් ලබා දෙන ලදි. 

උදෑසන නින්දෙන් නැගිටගත් සිරිනාථ පෙර දින රාත්‍රියේ පරිදිම කෑ ගසන්නට වූ හෙයින් ගැට ගසා තිබූ ලණු පටවල් ඒ අයුරින්ම තිබෙන්නට ඇර තිබුනි. මුළු වාට්ටුවටම විලාපයක් ලෙසින් ඇසෙන සිරිනාථගේ බිහිසුනු ශබ්දය අතිශයින්ම මරණයේ දෝංකාරය සිහිගන්වන්නක් විය. එහි අතුරු පලය වූයේ සිරිනාථ දැඩිව තිබූ රැහැන් කෙසේ හෝ කඩාගෙන රෝහලෙන් පැන යාමයි.

*****************************************************

පොලිසියේ පැමිණිලි අංශය අසල මේසයේ වාඩි වී සිටි පීසී තැන වේගයෙන් හති හලමින් තමා ළග නැවතී සිටින පුද්ගලයා දෙස බැලීය. ඉමහත් සේ භීතියට පත්ව සිටි අයුරක් දුටු ඔහු කෙරේ පීසී ගේ දෙනෙත් යොමු වුවද එවන් භීතියට පත් ඇස් දැක නැති අළුතින් පැමිණී පීසී තැන වික්ෂිප්ත විය.

“ඇයි ඇයි තමුසේ මොකද මේ..“

“සෑර්... මාව මරන්න හදනවා මාව බේරගන්න“

“කෝ කෝ.. කව්ද කව්ද“

“අනේ සර් මාව බේරගන්න.. මාව මරන්නයි හදන්නේ අරූ“

“තමුසේ වාඩි වෙනවා බය නැතිව.. කියනවා කව්ද එන්නේ තමුන්ගේ පස්සෙන්“

“ඉන්ට සර් මං කියන්නං.. අරූ.. සර්.. මගේ මලයා මිනිහා තමා මාව මරන්න හදන්නේ.. අනේ සර් මාව මේකෙම තියාගන්න.. මේකෙම තියාගන්න.. මට නං බෑ සර් පාරේ යන්න... සර් මාව එළවන්න නං එපා“

“කටවහගෙන හිටපං මිනිහෝ.. පිස්සු නැතිව හෙමින් කියනවා මොකක්ද කියලා.. සාජන් මහත්තයා... චන්දරේ සාජන් මහත්තයා ඉක්මනට එන්න“

“හ්ම් කියනව බලන්න මොකක්ද කියල මේ සාජන් මහත්තයට දැං“

“අනේ සෑර් මගේ මල්ලි මාව මරන්න පැලෑන් කරනවා.. මං මේ බේරිලා දුවල ආවේ“

“මොකක්ද තමුසෙගේ නම“

“සෑර් මම සිරිනාථ.. සිරිනාථ නානායක්කාර“

“දැං කව්ද තමුසෙව මරන්න හදන්නේ“

“ඒ මගේ එක්කුස උපන් මල්ලි සෑර්.. “

“මොකක්ද මිනිහගේ නම“

“සිරිසෝම නානායක්කර සෑර්“

“හරි .. කියනව බලන්න තමුසෙව මරන්න කඩුවක් අරන් ආවද ඒකා“

“නෑ සර්.. මිනිහා මේ බදාදට මාව මරන්න හදන්නේ යද්දෙහි මාර්කැට් ගිහින් එන කොට“

“තමුසේ කොහොමද දන්නේ.. එක්කෝ තමුසෙට පිස්සු“

“අනේ නෑ සෑර්. මිනිහා හදන්නේ කනාකටුව පල්ලමේදි මගේ බෙල්ලට ගහල දාන්න.. ඔව් සර් මං දන්නවා මාව මිනිහා මරණවා එදාට“

“ඉන්නවා පොඩ්ඩක්.. පීසී අර දෙන්නත් එක්ක මේකව ගාඩ් කරනවා මං එනකං“

ඉන්දරේ සාජන් යමක් අවබෝධ කරගත්තාක් මෙන් සැනෙකින් පොලිස් පරික්ෂකගේ කාමරයට පිවිස ටෙලිපෝනය අතට ගෙන පොලිස් පරික්ෂකගේ අංකය කරකවා ඇමතුමක් ගනී.

“සර් මම සාජන් චන්දරේ.. අර මේ ළගදි කනාකටුවෙදි වෙච්චි ඇක්සිඩන්ට් එක ගැන සබ්ජෙක්ට් එකක් ලැබුනා සර්.. ඉක්මනට එන්න පුළුවන්ද“

“හරි තමුසේ ඉන්නවා. කෝ සබ්ජෙක්ට් එක.. “

“සර් පොලිසීයේ ඉන්නෙ මම ගාඩ් කරනවා මිනිහව“

“හරි මම විනාඩි දහයෙන් එනවා“

“ඕකේ සර්“

අළුත්ම සුමෝ ජිප් රථයෙන් පැමිණි පොලිස් පරික්ෂක මහතා චන්දරේ සාජන් මහතාට අතින් සන් කරගෙනම තම නිල කාමරයට පිවිසි පසුව දෙපැත්තෙන් සිරිනාථව අල්ලාගෙන සාජන් චන්දරේ සමග සියල්ලෝම එක වර කාමරයට පිවිසෙති.

“ආ.. දැං තමුසෙ බය නැතිව ඉන්නවා. ඔන්න ඉස්පැට්ටර මහත්තයා තමුසේ බේරගන්නං කිව්වා. දැං කියනවා මොකක්ද කියලා ඔය හරුපේ“

“අනේ ඉස්පැට්ර මහත්යෝ මාව බේරගන්න“

“කියනව බලන්න මොකක්ද උනේ කියලා“

................
.....................

“දැං තමුන් කියන්නේ තමුන් යතුරු පැදියෙන් යන කොට තමුන්ව මරණවා කියලද? මොකක්ද තමුසෙගේ බයිසිකලේ අංකේ“

“ඒක සර්... 157 ඉරක් විසි පහයි තිස් අට වගේ මට මතක“

“සාජන් අර කුඩු වෙච්චි නයින්ටිය බලනවා ඉක්මනට“

“එතකොට තමුසෙගේ බෙල්ලට ගහන්නේ කඩුවෙන්ද?“

“නෑ සර්.. මිනිහා හදන්නේ කනාකටුව පල්ලමේදි පාර හරහා බයින්ඩින් කම්බියක් ඇලස්ටෝනියා ගස් දෙකේ බැදල මගේ බෙල්ල කපන්න සර්“

“මොනවා.. එහෙම කරන්න.. ඇයි ඕයි පාරේ තව මිනිස්සු යනවා නේ“

“නෑ සර් මං එන වොලාවට බල්ලෙක්වත් පාරේ නෑ.. ඕකට ඔය කම්බි ගැට ගහන්න පුළුවන් විදුලි බල මණ්ඩලේ එකෙක් වගේ.. මං දන්නවා ඒක සර්“

“දැං තමුසේ දන්නවද මොන කම්බියක්ද ඕකට ගන්නේ කියලා“

“ඔව් සර්... මම දන්නවා මිනිහා ඒක හංගල තියෙන්නේ රුප්පවත්තේ.. මම දැක්කා ඒක“

“ඉතිං මිනිහෝ කම්බිය පේන්නැද්ද පාර හරහ තියෙන කොට“

“කොහේ පේන්නද සර්.. මිනිහා මාව බෙල්ල කැපිල වැටුනම කැඩිච්ච කම්බිය කැලේට ඇදල අරගෙන ගිහින් ආයේ රුප්පෙ වත්තෙම හංගාවි. ඒකයි කරන්නේ“

“දැං තමුසෙට ඕක ෂුවර්ද? ඔව් මොකද සාජන්“

“සර් ඒක තමා.. අංකේ හරි“

“දැං කෝ තමුසෙගේ මල්ලි“

“ඌ මාව මරන්න ප්ලෑන් කරනවා ඇති සර් කසිප්පු වාඩියේ ඉදගෙන.. මම මේ ඒක දැනගෙන විගහට ආවේ.“

“තමුසේ අපිට කම්බිය පෙන්නනවා ඉතුරු ටික අපි බලාගන්නං. හරිද“

“හරි සර්.. මම ඒක තියෙන තැන දන්නවා.“

“සාජන් මූට මාංචු දානවා. දෙන්නෙක් ෆුල් ගාඩ් එක දෙනවා. පීසී තිලංග ගන්නවා මේ වැඩේට. මූට හැරෙන්නවත් දෙන්න එපා. හරි යමං එහෙනං මිනීමරුවා“