Thursday, May 10, 2018

බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)

සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.


 එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ සුප්‍රිම්සැට් කියන කම්පැනියක් ලංකාවටම කියල චන්ද්‍රිකාවක් ගුවන් ගත කරාය ඒක රෝහිත කියල නම් කරාය කියලා. හැක් හැක්. ඔය චන්ද්‍රිකාව යවන වෙලාවේ අපි සිංදු හිටං හැදුවා මතක නෙ.

කොහොම උනත් ලංකාවේ නමින් තිබෙන චන්ද්‍රිකාව අයිති වන්නේ පුද්ගලික සමාගමකට. මනිවාදන් කියන ව්‍යාපාරිකයා හට අයිති SupremeSat කියන කම්පැනිය විසින් චීනය කක්ෂගත කරන ලද ChinaSat-1 කියන චන්ද්‍රිකාවේ බහුතර බලය .. නෑ නෑ.ඒ චන්ද්‍රිකාවේ බහුතර සන්නිවේදන පහසුකම් මිලදී ගත්ත නිසා ඒ සැටලයිට් එක සුප්‍රිම්සැට් -1 කියල නම් කරාය කියල තමා කියන්නේ. අපි ඔව්ව ගැන එච්චර කතා කරන එක තේරුමක් නෑ මොකද රජය මුදල් යොදවල කරපු ක්‍රියාන්විතයක් නොවෙන හින්දා. කෝම හරි කමක් නෑ අපිටත් චන්ද්‍රිකාවක් තියෙනවා හරිය.

බංගලිදේශයේ TRC එක විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් මඟින් ඩොලර් මිලියන 250 ක් විතර වියදම් කරලා ලෝකේ නම ගිය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන Theles Alania සමාගම වෙතින් මෙම චන්ද්‍රිකාව මිලදී අරගෙන ටෙස්ලා කාර් කම්පැනියේ අයිතිකාර ගරු ඉලොන් මස්ක් මහත්තයා හට අයිති SpaceX කම්පැනියේ Falcon 9 රොකට්ටුවකින් තමා මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන්නේ.


ටොන් තුනහමාරක් විතර බර මෙම චන්ද්‍රිකාව පෘථිවියේ ඉදල කිලෝමීටර් 32000 ක් විතර දුරින් පිහිටන ස්ථාවර කක්ෂයක රදවනු ලබන අතර කෙලින්ම පෘථිවි තලයේ බංගලාදේශයට ඉහලින් රදවන නිසා චන්ද්‍රිකාවේ චලනය පෘථිව භ්‍රමණ වේගයට සමානව ගමන් කිරීමෙන් මුළු කාලය පුරාම බංගලිදේශයට ඉහලින් පිහිටුවීමට කටයුතු කරනවා. ඒක නිසා කිසිදු බාධාවකින් තොරව පැය විසි හතරෙම සන්නිවේදන පහසුකම් සපයන්නට හැකි වෙනවා. ඔය කක්ෂයට කියන්නේ geostationary Transfer Orbit කියලා.

හප්පා කියන්න අමතක උනා නේ මේ චන්ද්‍රිකාවේ නම බංගබන්දු -1. බංගබන්දු කියන්නේ බංගලිදේශය ස්ථාපිත කිරීමට මූලික වෙච්චි ෂෙයික් මුජිබර් රහමන් මැතිතුමාගේ සුරතල් නාමය. (බංගලියන්ගේ මිතුරා කියන එක තමා බංගබන්දු කියන්නේ) බංගබන්දු මුස්පිකර් රහිම් හැක්

ඉතිං මේ චන්ද්‍රිකාව යවන රොකට්ටුවත් විශේෂිත එකක්. ස්පේස්එක්ස් ආයතනය මේ අවුරුද්දේ යවන අටවැනි රොක්ට් එක තමා මේක. අද යවන රොකට්ටුවේ මූලික කොටස (බූස්ටරය) නව මාදිලියක ප්‍රථම රොකට්ටුව. ඔය කිව්ව බූස්ටරේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිසි වේගයකින් තල්ලු කරාට පස්සේ නිකම්ම වැටිල චුත වෙලා නොයා ආයි මූද මැද්දෑවට බාගන්න තමා මස්ක් උන්නැහේ වෙහෙස මහන්සි ගන්නේ. මේ වෙනකොට ඔය රොකට් ආපහු බාන එක සම්බන්ධව ස්පේස් එක්ස් කම්පැනියට හොද පලපුරුද්දක් තියෙනවා. මේ පෙබරවාරි වලදි යවපු තඩි රොකට් එකක් බූස්ටර් දෙකක් එකම තැනකට බාන්න පුලුවං වෙච්චි විත්තිය දන්නවා ඇති නේ. 


ඉතිං චන්ද්‍රිකාවක් හිමි 57 වන රට බවට පත් වන බංගලාදේශයට අපි සුභ පතමු.

මෙන්න රොකට් දෙක බාන හැටි.


පලි - රොකට්ටුව යවන හැටි ලයිව් බලන්න කැමති අය ඩේටා කපාගන්නත් කැමති නං මේ ලින්ක් එකේ තියෙන ලයිව්ස්ට්‍රිම් එකට රිමයින්ඩර් එකක් දාගන්න. (මෙන්න ලින්කුව (තදට ඔබන්න)) හැක්

Update - රොකට්ටුවේ ස්වයංක්‍රීය පද්ධතියේ අවුලක් නිසා බන්දුව උඩ යවන්න බැරි වෙලා. ලංකා වෙලාවෙන් 12 පාන්දර යවන්නයි දැං ලැහැස්තිය.