ඔව් ඔය හෙඩිම දැක්කට බය වෙන්න එපා මොකද මාරයා කියල මේකේ කෑගගහ ඉන්න එකාත් මාරයෙක් තමා. ඒ උනත් මම කියන මේ මාරයා බුදුන්ටත් වැඩ වරද්දන්න සෙට් වෙච්චි මාරයම තමා. හුග දෙනෙක් මාරයා කියන වචනෙටත් බය වෙන්නේ මාරයා ඒ තරම්ම දරුණු ජීවිත සංසිදිධියක් නිසා නෙව. හැම දේකින්ම ගැලවුනත් ඔය මාරයගෙන් ගැලවෙන්න අමාරුයි. කොහොම උනත් මාරයගේ ගේ ගාවටම ගිහිල්ල, ආයේ හැරිල ආව අවස්ථා දෙකක් මගේ ජීවිතේ තියෙනවා. ළගදි අපේ සහෘදයෙක් එක්ක පොඩි චැට කෑල්ලක් බැදන් ඉන්න වෙලාවේ මේ සිද්ධි දෙක මතක් උන නිසා ඒ ගැන ලියනව කියල හිතාගත්තා. බොට තැන්කුයි මට අයිඩියා එක දුන්නට.
මේ අවුරුදු හතරකට විතර කලින් දවසක්. එදා පෝය දවසක්. එක දිගට නිවාඩු තුනක් විතර තිබ්බ නිසා පොඩි වැඩක් තිබුන උනත් දේශිකාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එයාලගේ ගෙදර ගියා. අදුරුමිස්ට මාමන්ඩියයි, කොන්ද නැති මස්සිනා කාරයයි පෝය දවස නිසා ගෙදර හිටියා. උදේ පාන්දර ආව නිසා උදේට හෙමීට කෑම ටිකක් කාලා, පිරිමි විතරක් ඉන්න ගේක හැටි දන්නවනේ, ගේදොර ටිකක් අස් කරල දැම්මා. මිදුල හෙම අතුගාලා, වහලේ වදුරෝ දුවල එහාට මෙහාට වෙලා තිබ්බ උළු ටිකත් හදා දාලා, මාස ගානකින් සුද්ද කරල නොතිබ්බ සිමෙන්තියෙන් බැදපු වතුර ටැංකියත් සුද්ද බුද්ද කරලා එනකොට හොද එකෙන්ම දාඩිය පොල්ල දාලා.
යන්න තිබ්බ ගමන පරක්කු වෙන හින්දා බාත්රූම් එකට බැහැල පොඩි වොෂ් එකක් දාගෙන එන්න ලැහැස්ති වෙලා මම බාත් රෑම් එකේ එළියෙන් තිබ්බ ස්විච් එකෙන් ඒකේ ලයිට් එක දැම්මා. මේකට බාත්රූම් එකක් කියල කියනවට මටයි ගහන්න ඕන. ඒක අඩි 5-5 විතර පොඩි කෑල්ලක්. ඇලුමිනියම් තහඩු කෑල්ලකින් වටේ ලී ප්රේම් එකට හයි කරපු දොරක් තිබ්බේ. ඇතුලෙ අඩි තුනක් විතර බිම ඉදල උඩට රතු සිමෙන්ති මැදල, ඉතිරි අඩි තුන කොන්ක්‍රිට් දාපු වහල ගාවටම කොල පාට තීන්ත ගාලා. මේ බාත්රෑම් එකේ තියෙන්නේ පොඩි කොළ පාට සින්ක් එකයි, ඒකට විරුද්ධ පැත්තෙන් හයි කරපු ටැප් එකයි, වතුර මලයි විතරයි. එළිය පැත්තට වෙන්න තියෙන පොඩි හුලං කව්ළුවෙන් වයර් දෙකක් ඇතුලට දාලා බිත්තියට ගහපු ඇනේක බල්බ් එක එල්ලල තියෙන්නේ. මම ඉස්සෙල්ලම අත් දෙක හෝදගත්තේ අත පුරාම මඩ හොද එකෙන් තිබ්බ නිසා. ඒත් එක්කම බලන කොට ඇනේට රෝල් කරල තිබ්බ වයර් එකෙන් ලොකු ප්‍රමාණයක් බිමට වැටිලා.
ඔය ගැන වැඩිය නොහිතා මම වම් අතින් වයර් එකෙන් අල්ලල ඒ ටික ඇනේ රදවන්නයි සුදානම. ඔව් මිත්‍රවරුනි, ඒක ඇල්ලුවා විතරයි ග්ර් ගර් ග්ර් ගාලා මට කරන්ට් එක වදිනවා. අල්ලපු වයර් එක ගලවන්න බැරි තරමටම අතටම ඇලිලා වෙන හේතුවක් හින්දා නෙමෙයි අතේ වතුර ගතිය තියෙන හින්දා. කකුල් දෙකෙත් වතුර තියෙන හින්දා කරන්ට් ෂොක් එක කකුල් දෙකෙන් අගේට බිමට බහිනවා. මම වයර් එක ගලවන්න ට්‍රයි කරද්දි මගේ පපුව හිර වෙනව. ඒ අතරේ මට හුස්ම ගන්නත් බෑ. මම වයර් එක අල්ලපු අත දිහා බලන් ඉන්නවා ඒත් මට කිසිම දෙයක් කරන්න බෑ එක මස් පිඩුවක් වත් හොල්ලන්න බෑ. ඇහි පිල්ලමක් වත් ගැහුනද කියල සැකයි. ඔය විදියට මං හිතන්නේ මම ජීවිත කාලයක්ම වේවල වේවල පපුව හිර වෙවි හිටිය වගේයි. ඒත් ඇත්තටම විනාඩියක් විතර මම වයර් එකට ඇලිල හිටියා. වයර් එක ඇලිච්ච දබරැගිල්ලෙන් පුළුටු ගදක් එක්ක දුමත් දානව මට පේනවා. තව ටික වෙලාවක් යනකොට මට මොන විදියෙන් වත් හුස්ම ගන්න බෑ පපුවත් එක්ක මගේ හුස්ම හිරවෙනවා. මම කට අරින්න උත්සාහ කරත් හුස්ම හිර වෙන හින්දා උගුරෙන් එකම එක සද්දයක් වත් පිට වෙන්නේ නෑ. ඒත් මේ මගුල ට්‍රිප් එකවත් ඕෆ් වෙන්නේ නෑ. මර විකාරෙන් දැං හුස්ම වැටෙන්නේ නැති මම, පුළුවන් තරම් උත්සාහ කරා අත පොඩ්ඩක් හරි හොලවගන්න. ඒ අස්සේ මුළු ඇගම කරන්ට් එකට අහුවෙලා දරදඩු වෙලා, ඇග ඇතුලේ තියෙන හැම තැනක්ම ඒකෙන් ග්ර් ග්ර් ගාලා වෙව්වලනවා මට දැනෙනවා. පපුව හිරවෙනවා තව ඩිංගකින් මම මැරෙන බව මට හිතුනා.
ඒත් එක්කම මම කල්පනා කරේ මට මැරෙන්න පුළුවන්ද, ඔව් දෙය්යනේ මම මැරෙන්න යන්නේ, දේශිකාට මොකක්ද වෙන්නේ, අයියෝ මගේ දරු පැටියා (එතකොට එකයි හිටියේ) කොල්ලව බලාගන්නේ කව්ද? මගේ සුදු පැටියා උඹට තාත්තව නැති වෙනවා පුතේ. උඹ හොදට හැදියන්. මම මැරුනත් උඹව අමතක කරන්නේ නෑ. කියල හිතින් දාස් වතාවක් ඒ තත්පර ගානට මම විදෙව්වා. මගේ ඇස් කෙවෙණි වලින් කදුළු ඇවිල්ල මගේ ඇස් බොද වෙන බව දැනුනත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. මම දරුවා ගැනම හිතාගෙන මටම සමාව දීලා මරණෙට සුදානං උනා. හැම මිලි තත්පරයක් ගානෙම මගේ ඇගේ ග්ර් ග්ර් එක වැඩි වෙනවා මට දැනෙනවා. තව ඩිංගකින් පපුව කෑගහන එක නවතිනව කියල මට හිතුනේ ගොරොද්දේ අදින ගානට මම ,ඕහ්. ඕහ් ගාගෙන හුස්ම ඩිංගක් වාතයෙන් ඇදල ගන්න මහන්සි වෙනකොටයි. ඒත් මොන සද්දයක් වත් උගුරෙන් පිට උනේ නෑ. බාත්රූම් එකේ බල්බ් එක හෙල්ලි හෙල්ලි පත්තු වෙනවා මට කදුළු අතරින් බොද වෙලා පේනවා. ඒ අතරේ මගේ හිත මුළු ලෝකේ පුරාම මගේ නෑයන්, හිතවතුන් හොය හොය යනවා ඔවුන්ට සමු දෙන්න. අර මර විකාරේ දැං මට පුරුදු වෙලා. ඒ මොකකට වත් මගේ හිත නවත්තන්න බෑ.. මම හිතන දේ නවත්තන්න බෑ. ඒත් හුස්ම ඩිංග නං ගන්න බැරි ගානටම මාව හිර වෙලා කියල දැන් දැනෙනවා. ඒ අතරේ ඔළුවෙන් මොකක් හරි එළියක් පිටවෙනවා වගේ මට දැනුනම ඒ අවසානය තමා කියල හිතාගෙන මම නිසොල්මනේ හිටියා. ඒ තත්පරේදි කකුල් දෙක සමබරතාවයෙන් මිදිල මන්ද වේගෙන් (ස්ලෝමෝෂන්) මම බිමට වැටෙන විත්තියක් මට දැනුනා. හැබැයි ඒක මගේ හිත පිළිගන්නේ නෑ මම වැටෙනවා කියලා. මට හිතෙනවා මම වැටෙනවා කියලා. ඒත් කිසිම හැගීමක් නෑ.
තව තත්පර දෙකකින් විතර බාත් රෑම් එක අදුරු උනා. බල්බ් එක නිවුනා. මම බිම වැටිල ඉන්න විත්තියක් දැනෙන්න ගත්තා. ඒ අතරේ ආයේ මට හුස්ම ගන්න පුළුවන් විත්තියත් ඔළුව හරවන්න පුළුවන් විත්තියත් තේරුම් යන කොට දේශිකා බාත් රෑම් එකට ඇවිල්ල මාව නැගිට්ටවනවා. මේ වෙන දේ මොකක්ද කියල හිතා ගන්න බැරිව මම ඉන්නවා. ඇත්තටම මම මැරිලා.. මගේ හිතද මේ මාව ජීවත් වෙනවා කියල පෙන්නන්නේ කියල මම හිතනවා.
“දේශා නැගිටින්න.. ඔයාට කරන්ට් එක වැදිලා“
මම අමාරුවෙන් ආයේ සිහිය අරගෙන වට පිට බලන කොට මාමණ්ඩියයි, මස්සිනයි ඔව් ඒ වෙලාවේ මම දකින්නම උවමනාවෙන් හිටිය, අඩ අඩ ඉන්න මගේ පුතන්ඩියයි දැක්කම මට පුදුමාකාර සැනසුමක් දැනුනා. ඒත් එක්කම ආපු කදුළු මරණෙන් බේරුනාට වැඩිය මගේ කොල්ලා ආයේ ඇස් දෙකෙන් බලන්න පුළුවන් වෙච්චි නිසා ආපු කදුළු බව මට කියන්න පුළුවන්.
මාව අල්ලන් ගිහිල්ල පුටුවේ වාඩි කරල, මස්සිනා මගේ මුළු ඇගම තලන්න ගත්තා. මට කිසි වේදනාවක් නෑ. ඒ අතරේ මට පේනවා මට දැනෙනවා මස් කෑලි නැතිව වල ගැහිච්චි වම් අතේ දබරැගිල්ලයි, ඒකෙන් එන පුළුටු මස් ගදයි.
දැන් දේශිකාගේ කතාව
“මම තාත්තත් එක්ක කතා කර කර ඉන්න කොට තමා බාත්රෑම් එක පැත්තෙන් දඩාං ගාලා සද්දයක් ඇහුනේ. ඒ සද්දෙට මම දුවල ඇවිල්ල බලන කොට ලයිට් එළියට දැක්කා වයර් එකක් අතේ පටලගෙන ඔයා වැටිල ඉන්නවා. ඒකෙන් මට හිතුනා ඔයාට කරන්ට් එක වැදිලයි කියලා. එද්දි පැනල ආපු දොරේ කඩුල්ල (පොඩි එකා එළීයට පනින නිසා දාලා තියෙන) මම මාරාසවේලා වගේ කකුලෙන් කඩාගෙනමයි ආයි දිව්වේ. ඒක උඩින් පනින්න ඕන විත්තියත් අමතක උනා. මෙන්න බලන්න දණහිස් දෙකම ලෙලි ගිහිල්ල. දුවල ගිහිල්ල මේන් එකයි ට්‍රිප් එකයි ඕෆ් කරල තමා මම ඔයා ගාවට ආවේ.“
ඒකෙදි මට පැහැදිලි උන කාරණයක් තමා ගෑනු කොයි තරං අපිට වැඩිය හදිස්සියකදි කල්පනා කාරිද කියලා. බැරි වෙලා හරි මාමාන්ඩියා මාව වැටිල ඉන්නව දැකල ආවා නං පෝලිමට මාරයා ගාවට යන්න තිබුනා. මොකද පොර එහෙනං මට තට්ටුවක් දාලා අහනවා “දේශා මහත්තයා ඔය මොකද බිමට වෙලා කරන්නේ“ කියලා. මම හිතන්නේ මාව මාරයගෙන් බේරගත්තට දේශිකාට මම කවදත් ණයගැතියි.
මේක දිග වැඩි උනා මාරයා දැක්ක දෙවෙනි එක පස්සේ දෙන්නං..