පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක..
එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.
කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.
“සුරේකා.. චුට්ටක් ඉන්න“
“ඇයි“
“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“
“හරි. කියන්න මොකක්ද ඉතිං“
“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“
“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“
“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“
“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“
“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“
“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“
“හෑ....“
ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?
ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා
ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..
අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.
එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා
ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.
කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා.