Monday, December 31, 2012

පරණ කේක්!!!!! (Old but Sweet)

ඉතිං ආයුබෝ කියල ඔන්න ආපු යකා යන්නට යනවා.. ඊට පස්සේ එක තත්පරේක වෙනසකින් ගෙඩි  පිටින් අවුරුද්දක් ලබනවා. සිංහල මානසිකත්වයෙන් මේ රෝම කැලැන්ඩරේ දිහා බලන කොට ඔය කොච්චර ඇස්ඇම්ඇස්, ඊමේල්, එකි නොකී මෙකී ක්‍රම අනුව, අපිට මේක සුභ අළුත් අවුරුද්දක් වෙනවා කියලා කව්රුවත් හෙම කියනවා නෙමෙයි මොකද, රෝම කැලැන්ඩරේට අනුව ඒක නිකංම Happy New Year එකක් විතරයි. අපිට, ඒ කියන්නේ සිංහලයන්ට සුභ අළුත් අවුරුද්දක් ලබන්න අප්‍රේල් මාසය වෙනකං ම ඉන්න වෙනවා කියල කියන්න ඕන නැහැ නෙව. ඒ උනත් තව පැය කිහිපයකට පස්සේ මුව ලෝකේ පුරාම ඇති වෙන අළුත් අවුරුදු ප්‍රමුද්දීපනයට ගැති වෙන අපි හැමෝම ලෝභ නැතිව ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා. ඒකට ඉතිං කොරන්න දෙයක් නෑ මොකද ලංකාවේ ඉන්න එකම ලොක්කා වීරවංස විතරක් නිසා අනික් සේරම කබ්බෝ වෙනවා. 

ඒකෙන් කාරි නෑ දැං කියමුකෝ බලන්න පහු ගිය සති දෙකේ මේ පදුරු දේශකයා බ්ලොග් ලෝකේන් කුජීත වෙලා හිටියේ මොකද කියල.. කව්ද හෙව්වේ.. කව්ද බැලුවේ මේ යකාට මොනව වෙලාද කියල.. නෑ.. කව්රුවත් නෑ.. ඉතිං මේ සති දෙකට දේශකයා බ්ලොග් සැරිසර නැවැත්තුවා කියල අනිත් උන් තමන්ගේ සැරිසර නැවැත්තුවාද.. ඒත් නෑ.. ඇත්තටම කිව්වොත් කිසිම කරදරයක් නැත්තේ ත්‍රිබාසා අයියගෙන් විතරයි. දෙයියනේ කියල බ්ලොගේ ඇරල ඒ ගමන්ම වහල දාන්න හැකියි අනේ මුකුත්ම ලියල නෑ කියලා.. අනිත් කස්ටිය දිහා බැලුවොත් ඒගොල්ලොන්ගේ සීඝ්‍රගාමී රචනා ශෛලිය නිසා මේ අහිංසක දේශකයා අමාරුවේ වැටිල ඉන්නේ.. ඒ කිව්වේ පරණ බ්ලොග් වලකටම හිර වෙලා, මේ හාදයෝ ලියපු ඒවා කියවගන්න බැරිව.. ඒක නිසා හිතේ සන්තෝසෙටත් එක්ක, ඔන්න අමතක කරල දැම්ම පරණ කතා. පහුගිය ටිකේ දේශකයා ට එන්න බැරි වීම ගැන මාගේ සියළු මිත්තරයෝ සමාව භජනය කරනු ඇතැයි සිතා, එලෙසම වේයැයි උපකල්පනය කර ආපු වැඩේට බහිමු.

ඇයි පරණ කේක් කියල මේ හෙඩිම තියෙන්නේ කියල බැලුවම පෙනෙන මහප්පරාන වූ කාරණය තමා කාගන්න බැරිව ඉතිරි වෙච්චි කේක් කියලා.. ඒත් එක්කම බැලුවම පුරස්නයක් එනවා මොකටද කේක් කන්නේ කියල.. ආයේ ඉතිං කියන්න දෙයක් යැ මේ සිංහල කෑම කන්න වෙනම වෙලාවක් ඕනයැ නේද?? හරි ඒ උනත් මම නං ඔය කේක් කියන ජාතිය කන්නේ හොදටම උවමනා වෙලා කන්න කියල බල කරන වේලාවකදී විතරයි. ඒ කියන්නේ අපිට බලෙන් හෝ කේක් කන්න වෙනවා සිංහල සංස්කුරුතික උරුමය කියා පාන සගයන්ගේ උපන්දින සාද වලදී. ඒ වගේම සංස්කුරුතියේ කැඩපතක් වැනි විවාහ මංගල උත්සව වලදී, තව තියෙනවා ඇනිවර්සරි වලි වලදී, ප්‍රමෝෂන් පාටි වලි වලදි, රියටර්මන්ට් පාටි වලි වලදි, කොමිස් පාටි වලි වලදී, තව මදි උනොත් පොඩි එකා කේක් ඉල්ලල පොලොවේ හැපි හැපි අඩල හිනා වෙවි කේක් අරං ගෙදර ගියාට පස්සේ.. හැබැයි ඔය හැම වෙලාවෙම අපි කන්නේ අළුත් කේක් නිසා පුරස්නයක් නෑ... 

අන්න වැරදුනා.. වෙඩිමකට ගියාට පස්සේ, හොදට බීලා කේක් බෙදන ගෑනු ළමයින්ට මුකුළු කරල, පැණිය දාලා ඒ ඉන්නේ පොඩි ගැල්ලමයි බව දැන දැනම උන්ට පොඩි තගකුත් දාලා පෙරේත කමට එක කෑල්ල වෙනුවට ඉල්ල ගන්න වෙඩිං කේක් කෑලි දෙක සාක්කු දෙකේ ඔබාගෙන වැනි වැනි ගෙදර ගිහිල්ල, ගෙදර උන්දැට කියන්නේ යාළුවා මට කේක් කෑලි දෙකක්ම දුන්නයි කියල නේ.. (හෙක්.. ඕං මම නෙමෙයි ඕවා කරන්නේ) ආන්න පරණ කේක්... ඒවා තමා අපි කන පරණම කේක්.. ඔය කේක් හදන විදිය ගැන ඉතිං දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නං අර ඇලට මුණ පේන පින්තුරේ දාල ඉන්න, නිතර හිනාවෙන නංගිගෙන් අහන්න. සකල මනාවම පැහැදිලි කොරල දෙයි ඒත් ගිවිසුමක් මත.. පාදුක්ක පැත්තට වෙන්න බිස්නස් කරන්න බැහැයි කියලා.

ඔය පරණ කේක් හදන්න ගත්ත පොඩි ව්‍යාපෘතියක අධ්‍යක්ෂ ජනරාල් හෙවත් සප්ලයි බට්ටා තනතුරක් හොබවන්න මේ දේශක උත්තමයාට සිදු උනා නෙව පුරුවේ පවට (තුන්වෙනි පාරට). හෝව්... මේක මේ මිත්තරයෙකුට කරපු උපකාරයක්.. මොකෝ කියන්නේ හුගක් අය හිතන්නේ මේ දේශකයා කොළඹ කාලා වතුර බීලා ඒ මදිවට වමාර වමාර කන එකෙක් කියලා..

මගේ වෙඩිමට ඕන කරපු වෙඩිං කේක් කෑලි 600 (දෙපැත්තේම උත්සව දෙකට) හදා දෙන්න මිතුරියක් බාර ගත්ත හින්දා ඒකි ලියල දීපු පස්ට වෙඩින් කේක් බඩු ලැයිස්තුවක් අර ගෙන පිට කොටුවේ කරක් ගහල, යාන්තං ජොන්ගේ මාළු කඩේ කිට්ටුව තැනක් සෙට් කරගෙන ඕන කරන බඩු ටික ගත්තේ ඔය පිට කොටුවේ තියනවයි කියන කේක් බඩු විකුණන කඩ හැට හුටාමාරකම ගනන් අහලයි.. ඇත්තටම බැලුවොත් හුගක් තැං වල ඔය පැකට් කරපු භාණ්ඩ එක මිල උනාට කිරල මැනල දෙන භාණ්ඩ තියෙනවා නේ කජු, චව් චව්, සුල්තානා, චෙරි වගේ ජාති වල මිල ගණන් එක එක කඩේ වෙනස්. ඔය සුල්තාන වගේ දේවල් වීදුරු පෙට්ටි වල පැණි බේරි බේරි තියෙන කොට මට නං හිතුනේ නිකං වෛද්‍ය පීඨයේ පර්යේෂණාගාර වල තියෙන ෆෝමලින් වල බස්සපු මනුස්ස සරීර කොටස් වගේ. ඒ තරංම ඕජස් ගලනවා ඔය සුල්තාන වල..

කොහොම හරි බඩු ලැයිස්තුවට අනුකූලව ඔක්කොම අරගෙන ලිස්ට් එකට ටික් දාගෙන චෙක් කොරල කඩේ බිලත් ගෙවල ඉවර උනාට පස්සේ මගේ දාඩිය දාපු මූණ දැකපු මුදලාලි, ගෝලයට කියල අනාරාදිතවම බඩු ටික හොද එකෙන් ලොකු පෙට්ටි දෙකක් පැක් කරල දුන්න එකට එක උඩින් තියල ගැට ගහල.. හම්මේ දැං ඉතිං මේක උස්සල බලන කොට තමා කෝකටත් කියල බැලුවේ අත් දඩු දෙක ගැලවිලාවත් ගියාද කියල. ඒ තරං බරයි.. මොකෝ කරන්නේ කියල හිතල.. පාරට බැහැල එතනම තිබුන ත්‍රිවීල් අයියලගෙන් කොටුව ඉස්ටේසම ගාවට යන්න ගාන ඇහැව්වම මුං කියනවා රු. 100 ක් දෙන්නය කියල.. මේ 2002 වරුසේ. ඒ කාලේ හැටියට ගාන බොහොම වැඩියි. මූට රු. 100 ක් දුන්නොත් මෙච්චර කාල් ගාල දුක් විදල ගත්ත ලාභෙ හෝදගෙන යන හින්ද,. ඕන එකක් ප්‍රිති වෙසක් කියල ක්ලීන් සූට් හිටිය දේශක කොල්ල ලැජ්ජා බය කියන ඒවා කඩේ දොර ගාවින් බාවල පෙට්ටි දෙක ගත්තා කරට. එක උරයක් බඩු ටික හින්ද පොලවටම නැමිල. මොනා කරන්නද දුක තමා රංජනී කියල බැරි මරගාතෙම කොහොම හරි ඉස්ටේසමට ඇවිල්ල යාන්නං කොන්දත් බේර ගෙන බස් එකේ නැගල ගෙදර ආවා.. 

දැං කේක් හදන්න යොදා ගත්ත දිනේ.. මිත්තරයෝ දහයක් විතර අඩගහගෙන මගේ සේවාදායිකා මිතුරිය කිව්ව විදිවට හොද පිහි හය හතකුත් ගෙන්න ගෙන වැඩේට බහින්නයි සුදානම. එතකොට මිතුරිය අහනවා..

“ඒ බං දේශා.. මේ බඩු ටිකට කීයක් ගියාද බං??“

“මේකට බිල බං රු.. 8735 යි.

“ඒයි ලාභයි නේ.. උඹ ගත්තේ පිටකොටුවෙන්ද??“

“ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“

ඔය කතාව නවත්තල කොටපු එකට තව දහ පාරක් විතර කොටල චුරු කරල වැඩේ සෙට් කරල කොහොම හරි කේක් කාලා වෙඩිම ගත්ත.. වැඩේ ඉවරයි.

ඊට පස්සේ හරියටම අවුරුදු දහයක් ගත උනාට පස්සෙත් මම අර කියපු “ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“ වාක්‍යය මතක තිබ්බ එකෙක් කරුමෙට හිටිය නෙව.. ඉතිං බෑ කියන්නයැ.. ඔන්න ඔහේ හුග දවසකින් කොළඹ ගියේ නැතිවත් එක්ක නිසා ගියා කොළඹ තනියම.. හැබැයි පාඩු බැලුවේ නෑ. ත්‍රිවිල් කස්ටක් අරන් තමා ආවේ.. දැං ඉතිං වයසයි නේ.. බර සාර වැඩ බෑ නොවැ. ඔන්න මගේ පරණ කේක්..

ප.ලි. - අසනීප තත්වයෙන් යුතුව කල් ගත කිරීම නිසාත්, වෛද්‍ය උපදෙස් මත සැහැල්ලුවෙන් ගත කිරීමට සිදු වීමත් නිසා මායියා කිසිදු අවස්ථාවක ජාලය භාවිතා කිරීමට ඉඩ හසරක් ලබා දුන්නේ නැත. කොහොම හරි ජාලය වෙත පිවිසුනද එයත් ව්‍යර්ත කිරීමට මූලික පියවර ගෙන තිබුනි. මං දන්නෑ.. ඒක කරේ මගේ හොදටය කියල එයා කියනවා නේ.

Thursday, December 20, 2012

ඔන්න පටන් ගත්තා.. Starting the day of end of the World



තව පැය දෙකකින් ඔබ සැම බලාපොරොත්තු වූ ඒ අති මනරම් අවස්ථාව උදා වෙනවා.. ඔව් හරියටම කිව්වොත් තව විනාඩි 30 කින් ඒ අති උත්කර්ෂවත් වූ අවස්ථාව උදා වෙනවා. (දැන් වෙලාව සම්මත ලෝකයේ රාත්‍රි 11.30 යි)

මේ අවස්ථාවේදි අපට නිතැතින්ම සිහි වෙනවා අපගේ ආදරණිය නායකයා එතුමා නොහිටින්න මේක මේ තරම් ප්‍රභාර්ෂයෙන් යුතුව සමරන්නට අපට ඉඩ කඩ ලැබෙන්නේ නෑ. දැනුත් එතුමා අපි ගැන හිතමින් මේ අහිංසක අපිව ජීවත් වීම නොමැති අදුරු ආගාධායෙන් ගොඩ ගෙන ප්‍රතිදීප්ත පහනකින් ආ‍ලෝකමත් වූ අනන්ත වූ ලොවක් (Apaaya) කරා සම්ප්‍රාප්ත කරවීමට සියළු වෙර දරමින් ඉන්න බව කියන්න පුළුවන්.

ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!!

...
.....
.......

End of the day of end of the World

කරුණාවෙන් සවන් දෙන්න. මෙම වැඩ සටහන අවසන් වන 2012.12.21 දින මධ්‍යම රාත්‍රි 12.00 න් පසු නැවතත් සුපුරුදු වැඩ සටහන් ප්‍රචාරය වේ.

Friday, December 14, 2012

“ලෝක විනාසේ අනිවා වෙනවා“-දේශකයා ඔප්පු කර හමාරයි



ලෝක විනාසේ අත ළගට ම ඇවිල්ල විත්තිය දැන්නං සහසුද්දෙන්ම පේනවා මොකෝ එහෙම කියන්නේ 2012.12.21 දිනේ තමයි අර මාර (සොරි වෙන්ට ඕන) මායා කැලැන්ඩරේට අනුව මේ ලෝක ධාතුව ගැන සදහන් වෙන අන්තිම දවස. මක්කැයි කොරන්නේ කියල අහන්ට දෙයක් නෑ.. අවුරුදු හොන්ඩර බර ගානකට ඉස්සර වෙලා අවුරුදු හොන්ඩර බර ගාණක ඉදිරිය ගැන කියවෙන කැලැන්ඩරයක් හදපු ඔය මායාවරුන් කියන්නේ ලේසි පාසු පුත්තරයෝ නෙමෙයි කියල දැං හිතන්න, කියන්න සිද්ධ වෙන කාරණා කිහිපයක් තියෙනවා.

මායා සිස්ටාචාරය පටන් අරගෙන (ඔන්න ලිහිණි ගාව ඒ විස්තර තියෙන්නේ) රජ පරම්පරාවල් ඇති වෙමින් නැති වෙමින් සමහර දේ කාලයේ වැලිතලාවෙන් වැහෙමින් ආයේ ඇරෙමින් දිගට ගලා ගිය මේ සිස්ටාචාරය ඩෝං පටෝං ගාලා එක පාරටම නැති වෙලා යනවා. මායාවරුන්ගේ ජනගහනයත් සීඝ ලෙස පල්ලම් බහිනවා.

ඒ කොහොම උනත් මේ දක්වාම මායාවරුන් ලෝකේ ජීවත් වෙනවා ඒ වගේම ඔවුන්ගේ නායකයන් පවා ඉන්නවා මේ ලෝක විනාසේ වෙනවයි කියල මරහඩ දෙන.

දැං කියමුකෝ බලන්න කොහේද අප්පා මේ මායාකාරයෝ ඉන්නේ කියල. දන්නවද? මේ ගොල්ලෝ ඉන්නේ මැක්සිකෝව, ගෝතමාලාව, කොලාම්බියාව මොනවද මේ රටවල්?? කොයි හරියෙද තියෙන්නේ.. අපි ඒක පස්සට දාමු..

ඔන්න මායා කතාව ඉවර කරල අපි දැන් පටන් ගන්නවා ලෝකේ මේ දවස් වල මොනවද වෙන්නේ කියල බලන්න. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන මේ අපේ ජන්මභූමිය දිහා නෙව.. ලංකාවේ ඉන්න වැඩි පිරිසක් අදහන්නේ බුද්දාගම. බුද්දාගමට අනුව කොහොමෙයි ලෝක විනාසය වෙනවය කියන්නේ... දන්නැ.. සූර්යයන් හතක් එකම අහසේ පායන දාට.. තේරුනානේ.. දැං එතකොට ඔන්න බලන්න ලංකාවට මේ දවස් ටිකේ අමුතු දීප්තිමත් ආලෝක කදම්බ කීයක් දර්ශනය වෙලා තියෙනවද කියල.. වැඩිය දුර යන්න ඕන නෑ. ගොසිප් අයියා දාපු එක ඔන්න ගෙඩි පිටින්ම දැම්ම බලාගන්නල එක්ක.


1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)

කොහොමද වැඩේ මේ වෙන කොට එළි දහයක් පෙනිලා තියෙනවා.. එතකොට සුර්යයන් හැටියට බැලුවොත් දහයක් එතනම තියෙනවනේ.. බොරු.. බොරු.. බුදුදහමට අනුව මේක තර්කානුකූලව ඔප්පු කරන්න බැරිය කියල දැං ඔහේල කට මැද මැද කියාවි. ඒක තමා මාත් කියන්නේ මේ බොරුවක්.. ඒ උනාට ලෝක විනාසය වෙනවා.. ආයි අහනවා ඒ කොහොමෙයි කියල..

මේක කුමන්ත්‍රණයක්...

ඔස්ටේරියාවේ ගිලාඩ් නංගි එහේ ටී වී එකක කිව්ව මායාවරුන් හරිය.. ඒ නිසා ලෝක විනාසය වෙනවය කියල.. ඒත් මොකද උනේ.. අන්තිමට කිව්වා මේක මේ ටීවී කාරයෝ ඩබ් කරල හැදුවයි කියල. අන්න තවත් කුමන්ත්‍රණයක්.. දැං අන්තිමට ගිලාඩි කියපු එකත් බොරුලු.

ඊට පස්සේ රුසියාවේ මිනිස්සු තරගෙට ගිනිපෙට්ටි, ඉටිපන්දම්, පාං ඇයි වොඩ්කා එකතු කරනවා ලෝක විනාස උනාම පාවිච්චිටයට ගන්න තියාගන්න. මේ ලෝකේ තේරුමක් නැති මේ රුසියානුවන්ට තේරෙනවැයි ලෝක විනාසෙ උනාම උං ඉතුරු වේවිද කියලා.. හැක්.. ඒ උනත් එතනත් කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ විදියට රුසියානුවන් බය කරන්න.. ලෝකේ විනාස වෙන එක ස්තිරයි කියලා දැං චීනයෙත් බහුතරයක් විස්වාස කරනවා. අවංකව කිව්වොත් ඒකත් කුමන්ත්‍රණයක්.. නැත්නං මේ මීයෙක් දෙන්නෙක් මරං කන චීනෝ ලෝකේ විනාස වෙන කොට සතුටු වෙන්ට එපායැ.. ඇයි එතකොට නෙව මීයෝ සූ සූ ගාලා දුවන්න ගන්නේ..

දැං බලමු මේ කුමන්ත්‍රණය කවුද කරන්නේ කියලා. අපි දන්නවා සිංහලයෝ විදියට ලෝකේ විනාස වෙන්න අර විදියට හතක් එක අහසේ පායන්න ඕන කියල.. අපිට ඒක උගන්නල තියෙන බුදු දහමෙන් නිසා තමයි අපිට ඒ විදියට එක එක විදියට අමුතු එළි පෙන්නන්නෙ. දැං අපිත් හිතනවා ලෝකේ විනාස වෙන්නය යන්නේ කියලා.. ඒ විදියට ගොනාට අන්දපු ගිලාඩ් හින්දා ඔස්ටේරියන් කාරය, රුසියන් කාරය, චීන කාරයා හැම එකාම හිතනවා ලෝකේ විනාසය අත ලගය කියලා.. ඒත් .......

තාමත් ලෝක විනාසේ ගැන සද්ද නැතිව ඉන්න කස්ටියක් ඉන්නවා.. කවුද... ඇමරිකන් කාරයෝ.. ඇමරිකන් කාරයෝ.. උං තමා මේ ඔක්කොම කුමන්ත්‍රණ කරන්නේ.. ඔය මායා කැලැන්ඩරය බොරුවක් කියල උන් සහසුද්දෙන්ම දන්නවා. ඒක නෙව ඔය දැනට ඉන්නවයි කියන මායාකාරයොන්ට ඔබාමා ලොක්කා සුන්දර තගක් දැම්මය කියන්නේ එහෙම ලෝක විනාස වෙනවයි කියල බොරු ප්‍රචාර කරන්න එපාය කියලා.. එහෙම කරේ නැත්නං අනිත් ඇමරිකන් කාරයොත් ඕකට බය වෙනවනේ.

ඔන්න දැං තමා කුමන්ත්‍තරනේ එළියට දාන්නේ.. ඇමරිකාවේ තියෙන ඒරියා 51 තමා දැං අවුරුදු ගානක් තිස්සේ ලෝක විනාසය කරන්න සූදානං වෙන්නේ. ඇමරිකන් කාරයට තියෙනවා ලොකු ආසාවක් අර  හිට්ලර්ට තිබ්බ වගේ මුළු ලෝකයේම ඇමරිකන් අධිරාජ්‍යයක් පිහිටුවන්න. ඒක ජෝජ් වොසින්ටොන්ගේ ඉදල හුසෙන් ඔබාමා දක්වාම ප්‍රතිපත්තියක් විදියට කෙරුනා.. ඔය ලංකාව වගේ රටවල් හින්ද උන්ට ඕන විදියේ අධිරාජ්‍යයක් ලොවෙත් හදන්න බැරි විත්තිය දන්න හින්ද තමා දැං ඔය මායා කැලැන්ඩරේ තියෙන බම්බු දිනයක් අල්ලගෙන උන්ගේ සීඅයිර්, එෆ්බීඅයි හරහා මුළු ලෝකෙටම අමුකවන ගානට ලෝක විනාසයක් වෙනවයි කියල ඒත්තු ගන්නල තියෙන්නේ. ඒ විදියට ලෝකේ අනිත් රටවල් අන්දන්න ක්‍රමයක් තමා මුං හැදුවේ මායා සිස්ටාචාරය කියලා. අර උඩින් කියපු මායා කාරායෝ හිටියයි කියන රටවල් තියෙන්නේ කොයි කිට්ටුවද කියල දැං කියන්න ඕන නෑනේ. ඒ විදියට එක එක රටවල් ඒ ඒ රටවල් වලට ආවේනික විදියට මෝඩයට අන්දන ක්‍රම ඇමරිකන් කාරයෝ හොයල බලල ඒ විදියට තමා අපිවයි ලෝකේ අනිත් රටවල් ඔක්කොමයි අන්දන්නේ මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කිය කිය. දැං බලමු රටවල් කීපයක් අන්දල තියෙන විදිය.

ලංකාව අන්දන්නේ බුදුදහමේ එන සුර්යයන් හතේ කතාවෙන්. දැක්කනේ අපිව අන්දන්නේ අපි අදහන ආගමේ ලෝක විනාසය ගැන කියල තියෙන විදියටමයි. එතකොට තමා ඔය උඩින් කිව්ව එළි, ඒව තමා ඒරියා 51 න් එවන අපිව අන්දන බොරු ආලෝක කදම්බ. පේනවා නේ අපි ඇදලා ඉවරයි.

දැං තව කියනවා උල්කාපාත කෑල්ලක් පෘතිවිය ආසන්නයෙන්ම යනවයි කියලා. කව්ද දැක්කේ. කව්රුත් නෑ. නාසා විතරයි.. ඒකත් කුමන්ත්‍රණයක්.. 

ගිලාඩ් නංගි ව එහෙට පවුල පිටින් ගෙන්නගන්න පොරොන්දුව පිට තමා අර කතාව දාලා ඔස්ටේරියන් කාරයෝ බය කරේ. උන් බය වෙන්නේ උල්කාපාත වැටුනම හින්දා ඒ විදියට ඔස්ටේරියන් කාරය බය කරා.

ඉන්දියාව බය කරා හින්දු විදියටත් ලෝක විනාසය වෙනනේ විසි එකය. එතකොට මහා ගිනි බෝල අහසින් ඇවිල්ල වදිනවයි කියල. එතකොට බැරියැ මහද්වීපික මිසයිල තොගයක් බය නැතිව එවල ලෝකේ විනාස වෙන ගිනි බෝල එනවයි කියන්න.
එතකොට උන්ට පුළුවන් ඔන්න උල්කාපාත කැල්ල වදිනවයි කියල ලෝකේ අනිත් රටවල් විනාස වෙන්න, දැනට සුදානං කොරල තියෙන සුපිරි බෝම්බ ටික ගහල දාන්න. එතකොට මොකාටවත් සැකයක් නෑනේ ඇමරිකාව ගැහුවය කියල. 

ඒ වගේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වලටත් උන්ව ඇන්දෙන විදියේ ක්‍රම වලින් විසි එක් වෙනිදට පහර දීල ලෝකය විනාස කරල ඇමරිකාව විතරක් ඉතුරු කරගෙන උන්ට ඕන වෙලා තියෙන සිහින ඇමරිකානු අධිරාජ්‍යය හදන්නට තමා ඔය දත කන්නේ.. ඕවට අහු වෙච්චි අපේ මාරයල, ලිහිණිල ඔන්න ලියනවා මායා කැලැන්ඩරේට අනුව ලෝක විනාසය වෙනවයි කියලා. දැං තේරෙනවද මේ ඔක්කොම බොරු.. ඇමරිකානු කුමන්ත්‍රණ.

දැන් බලන්න මුළු ලංකාව අවදි කරන්න කියල හිතාගෙන රාවණා නැගිට්ටුවන්න වැඩ කටයුතු කරපු මීපලාන ආචාර්යතුමා කොහේද කියලා. මාස ගාණකින් නෑ.. රාවණා ඉන්න ගල් ගුහාවට ගිහිල්ලද ඒත් නෑ.. මේ කුමන්ත්‍රණ කාරි ඇමරිකන් කාරයෝ ඒ යකාව ආයේ ඒරියා 51 ට උස්සල. ඇයි උන්ට තියෙන එකම බය තමා මේ යන විදියට කොහොම හරි ලෝකේ විනාස වෙන සද්දේ ඇහිල ඒ ගෝසාවට ඔය නිදාගෙන ඉන්න රාවණා නැගිට්ටොත් උන්ට කෙලවෙන්ටම සම්බුව ලැබෙන විත්තිය දන්න නිසා. ඒක හින්දා තමා අරකව හංගන් ඉන්නේ රාවණා නැගිට්ටුවන වෙලාවට කියන ශ්ලෝක කියන එක නතර කරන්න. දැං තේරුනානේ... ඔය කියන කුමන්ත්‍රණකාරි ලෝක විනාසය නතර කරන්න කොච්චර මෝඩ උනත් පුළුවන් වෙන්නේ මේ හෙළුවන්ට පමණයි කියන එක ඇමරිකන් කාරයොත් දන්නවා. දැං ඒ කරදරෙත් ඉවර වෙචිච නිසා ලෝක විනාසය අනිවාර්යයෙන් කොරල ඉවර වෙලා ඇමරිකානු අධිරාජ්‍යය, මුළු පෘතිවියම තම අනසකට ගන්න දිනය තමා විසි එක කියන්නේ..

එහෙනං හැමෝටම ආයුබෝවන්.. ඉඩක් ලැබුනොත් ඇමරිකානු කුමන්ත්‍රණයට පෙර අපි හම්බ වෙමු.. හැපි හැපි අඩමු.. සමුගමු.. ඇයි හත්දෙයියනේ මැරෙන්ට (සොරි හොදේ.. දිවි පුදන්න) සුදානං වෙන්ට එපායැ.

මට තියෙන එකම සතුට තමා මම මේ කුමන්ත්‍රණකාරි ලෝක විනාසෙන් මැරිල ගියත් මට පිං පමුණුවල නිවනට මීටර් දෙක තුනක් හරි කිට්ටු කරන්න පුළුවන් විදියේ දානයක් හෙම දෙන්ට කස්ටිය දෙතුන් දෙනෙක් ඇමරිකාවේ ඉන්න එකටයි. ඉතිං මගේ බ්ලෝග් යාළු සපිරෝ නෝනේ, මගේ යාළු වර්ජිනියා වල ඉන්න කනිස්ක මිත්තරයාණෙනි, ඒ වගේම ෆ්ලොරිඩවේ ඉන්න තිවියනාදන් මගේ මිත්තරයාණෙනි, හෙනං අපි ඔක්කෝටම දානයක් හෙම දීල අහවර කොරන්නට හොදා, බොලාගේ අධිරාජ්‍යවාදී ආසාවල් ඉස්ට කොරන්න මේ විසි එක දිනේට දිවි පුදන්න සුදානං කොරල තියෙන උන්දැල වෙනුවෙන්..

Wednesday, December 12, 2012

අනේ හැන්රි ඔය හිල වහන්නකෝ..

හා හා දැං ඉතිං ඔය උන්දැල කලබල වෙලා ඇරල තියෙන හිල්, අරව මේවා වහන්න හිල් හොයන්න පටන් ගන්න එපා. මොකද පොඩි කාලේ ඉදලම කොල්ලන්ට හිල් හොයන්නයි, කෙල්ලන්ට හිල් හදන්නයි නෙව අපේ මේ සංස්කෘත්‍යෙයන් පුරුදු පුහුණු කරල තියෙන්නේ.. හැක්.. 

හැම තැනම හිල් කියල අපි හැමෝම දන්නවනේ.. පෘතිවියේ ඕසොන් වියනේ හිල්, පොළවේ පට්ට ආවාට සයිස් හිල්, හරි හරි ඔන්න අධිකරණ ක්‍රියාවලියේ ඉන්න ලොකු නෝනගේ හිල් වහන්ට තවත් ඊට වැඩිය ලොකු හිල් තියෙන දියවන්නා බොරු හිලෙන් තේරිම් කාරක සභාවක් පත් කරා නෙව.. හිල් හොයන්න... එතකොට තමා ඔය හිල් හිල් ඩබල් හිල් වෙලා දැං අපිටත් හිල් පේන්නේ.. ආ.. මාතලං ගොයියා ඒ හිල පේන්න සිංදුවකුත් හැදුව නෙව..

ඒකෙන් කාරි නෑ.. මේක හරි සුන්දර හිලක්.. පනිට්ටුවේ හිලක්.. පොඩි කාලේ අපි අහපු සිංදුවක්.. මේ ඒ සින්දුව තමා.

 "A hole in the bucket". මතකද?? ඔන්න දැම්මා lyrics ටික..


There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole

Then mend it, dear Henry, dear Henry, dear Henry

Then mend it, dear Henry, dear Henry, then mend it

With what shall I mend it, dear Liza, dear Liza?

With what shall I mend it, dear Liza, with what?

With some straw, dear Henry, dear Henry, dear Henry

With some straw, dear Henry, dear Henry, some straw

The straw is too long, dear Liza, dear Liza

The straw is too long, dear Liza, too long

Then cut it, dear Henry, dear Henry, dear Henry

Then cut it, dear Henry, dear Henry, then cut it

With what shall I cut it, dear Liza, dear Liza?

With what shall I cut it, dear Liza, with what?

With a knife, dear Henry, dear Henry, dear Henry

With a knife, dear Henry, dear Henry, with a knife

The knife is too dull, dear Liza, dear Liza

The knife is too dull, dear Liza, too dull

Then sharpen it, dear Henry, dear Henry, dear Henry

Then sharpen it, dear Henry, dear Henry, sharpen it

With what shall I sharpen it, dear Liza, dear Liza?

With what shall I sharpen it, dear Liza, with what?

With a stone, dear Henry, dear Henry, dear Henry

With a stone, dear Henry, dear Henry, with a stone

The stone is too dry, dear Liza, dear Liza

The stone is too dry, dear Liza, too dry

Then wet it, dear Henry, dear Henry, dear Henry

Then wet it, dear Henry, dear Henry, then wet it

With what shall I wet it, dear Liza, dear Liza?

With what shall I wet it, dear Liza, with what?

With water, dear Henry, dear Henry, dear Henry

With water, dear Henry, dear Henry, with water

In what shall I get it, dear Liza, dear Liza?

In what shall I get it, dear Liza, in what?

In a bucket dear Henry, dear Henry, dear Henry

In a bucket dear Henry, dear Henry, in a bucket

There's a hole in my bucket, dear Liza, dear Liza

There's a hole in my bucket, dear Liza, a hole



මම නං ඒ දවස් වල ඔය සින්දුව යනකං ඉංග්‍රිසි වෙළද සේවයෙන් කන අහකට ගන්නෙම නෑ.. මොකද අනිවාර්යෙයන් දවසට තුන් පාරක් වත් ඕක වාදනය කරනවා.. පොඩි ළමයෙක් උන දේශකයාට ඒ සිංදුවේ තියෙන වචන ටික හොදට තේරෙන හින්ද බඩට ගගහා හිනහ වෙවි අහන්න පුළුවන් උනා.. ඒ තරම්ම සරලයි පැහැදිලියි. ඒ සිංදුව කියන ගායකයා හා ගායිකාව මොන විදියකින් වත් ඒක තවත් එක් ඉංග්‍රිසි ගීතයක් කරන්න උත්සාහ දරල තිබුනේ නෑ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීයක් කියල කියන ගතිය ඒකේ තිබුනා.. 

තව එකක් කියන්න ඕන මේ සිංදුවේ, පොඩි දේශකයා දන්න වචන තියෙන හින්දා නොදන්න වචන කිහිපයකුත් තියෙන බව කනට ඇහුනම දිගින් දිගටම අහල අහල ඒවා මොනවද කියල හොයාගෙන මුළු සිංදුවම කට පාඩං කර ගන්න උත්සාහ කරා. ඒ අතිං බැලුවම මට ඉංගිරිසි වලට ආසාව වැඩෙන්න පොඩි ප්‍රමුද්දීපන (inspire හිරුවෝ වචනේ හරිනේ බං) පාරකුත් ලැබුන විත්තිය සහසුද්දෙන්ම කියන්න ඕන වගේම ඔය ජර්මන් මාමාලයි පෙන්සිල්වේනියා මාමලටයි ස්තුති පාරකුත් දාන්න ඕන.

සරි... දැං කොහොමද ජර්මන් කතාවක් ආවේ. මෙහෙමයි මේ ගීතය ක්‍රි. ව. 1700 කාලයේදි මුලින්ම ජර්මානු ජන ගීයක් විදියට මූලාරම්භ වෙලා පසුව 1858 දී නැවත ගී නිර්මාණ එකතුවකට ජර්මානු බසින් ගායනා කරන ලද ගීතයක්. මුලින්ම බකට් කියන වචනෙට තිබිල තියෙන්නේ ජග් කියන වචනය.. ඊටත් පස්සේ නැවත ගායනා කරල මේක ජර්මනිය තුල ජනප්‍රිය උනාම 1949 දී මෙම ගීතය ඉංගීසි බසින් ගායනා වෙනවා පෙන්සිල්වේනියාවේදි Pennsylvania Songs and Legends කියන ගී නිර්මාණ එකතුවට, පසුව හෙබෘ වැනි භාෂා වලිනුත් ගීතය ගායනා වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතය පදනම් වූ ළමා කතාවක් 2010 දී ඇමරිකාවේ නැවත පළ වී තියෙනවා. හරියටම කියනවනං මේ ගීතයේ කඩඉම වන්නේ Harry Belafonte සහ Odetta විසින් නැවත ගායනා කර පටිගත කරන ලද ගීතයයි. එය 1961 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගීත දර්ශකයින් හි 32 වන ස්ථානය කරා ලගා වී තිබෙනවා.. දැනට අපි අහන ගීතය තමා මේ.

ඉතිං මේක මගේ පුංචි කාලේ අහන්න ලැබුන වටිනාම ගීතයක්. තාමත් ඒ රසය සක්මන් කරනවා.. ගීතය අවසන් වෙන අවසන් වැකියෙදි එන හිනාව නවත්තගන්න සෑහෙන්න වෙලාවක් ගියා ඒ දවස් වල...

හෙහ්.. අන්තිමට බැලුවම මේ බකට් එකේ හිල නෙව.. 

ඔන්න තියෙනවා සිංදුව



මේ විස්තර හොයාගත්තේ විකිපිටුවෙන් බව කියන්න ඕනද???

Monday, December 10, 2012

කොන්ක්‍රීට් බලගය



කළුවට කළුයි මේ ගොයියගේ බ්ලොග් ලෝකේ..
අකුරු කලේ වෙන උන්මයි මේ මගුලේ..
නියම තැනක ඉපදී හෑරු පොල් වල් ගානේ..
මුනූ පොතේ කොළ එලී දැල්වී තිබුනේ..

අකුරු දෙකක් ලියලා තල්ලුව දුන්නා
දැක්ක බවත් හරියක් දා පෙන්නූවා
ටිකක් බැලුව. ම්හු. නෝ කිසි සද්දා
අනේ අපොයි අපිට ගහයි මේ අයියා

හිතට ආපු සන්තෝසේට නිරායාසයෙන් කියවෙන කවි

ඔන්න පල්ලෙහායින් තියෙනවා අයියාට ගහන විදි.


(ත්‍රිබාසා නාමයේ හා කොන්ක්‍රීට් බලගය නාමයේ පේටන්ට් අයිතිය දේශකයා සතු බව කාරුණිකව සලකන්න)

ප.ලි. - පොල්වලවල් හාරනවැයි කියන එක ඔප්පු කරන්ට ඔය පින්තූරේ පිටිපස්සේ බැක්ග්රව්න්ඩ් (දවල්ට ලන්ච් වර්ගයේ වචනයකි) එකේ තියෙන පොල් පැලේ ප්‍රමාණවත් වේවි)

Sunday, December 9, 2012

පෙම් කය්යක්

සීතල හිමිදිරියක
පිණි මල් පිපී
දිළිසෙමින් පැහැයෙන්
රැදී තණ නිල්ල මත
ඒ වගේයි මා නුඹට 
පිදු මගේ පෙම් කුසුම

උණුසුම් දහවල
තණපත් මිලිණ වී
පිණිමල්ද හති වැටි
වරුණයන් දිය වෙලා
ඒ වගෙයි නුඹ දුන්න
ආදර හැගුම් මට

Saturday, December 8, 2012

මේකා අල්ලපියව්!!!!!

  • තනි සිංහලයෙකි.


  • ලෝකෙට අඩබෙර ගසන්නෙකි.


  • හෙන හැන්ඩියෙකි. ටිකක් විතර නෝන්ඩි වී ඇති කෙනෙකි‍


  • රෑට කළුවරේ දත් ටික විතරක් කිරි සුදට පෙනේ


  • දැං සිගරට් නොබොයි. ඒත් කලින් බිව්වා. කඩේදී පත්තුකරපු එක කොල්ලාගේ අතටම මාට්ටු වූ දා පටන් නවත්වා ඇත.




ඔව් මේ දැන් දේශකයාට ආරංචියක් ආවා පෙනී නොපෙනී දිරාමාර් වූ බව.


  • මිතුරන්ගේ ගෙවල් වලට බෝංචි සහ කැරට් ගෙන යයි. තෙමේම ඒවා කයි..


  • ලංකාව පුරා හැංගි මුත්තං ගසා බේරෙන්නට බැරි තැන චුත වී සිට නැවත පැමිණ සිටී..


  • ස්පාඤ්ඤ සම්බවයක් ඇති මිත්තරයන් ඇසුරු කරයි...


  • මේකා නොකරන දෙයක් නැත. ඒකා හිතන්නේ හැමදේම දන්නවාය කියා කොරන එක හරිය කියාය.


  • තාල වර්ගයේ ජාතික වෘක්ෂ බිම හෙලීමේ රුසියෙකි..


  • ඉපදුනු බිම නියමයි කියා සමහර විට පස් කකා ඇවිදිනවා විය හැක. හැබෑට අලි බෙටි බලන්නට ගියාදැයි හැකය..


  • වාහන පෙරේතයෙකි. අළුත් එකක් ගන්නේම නැත. පරණ ඒවාම පාවිච්චි කරයි. චූත වූ සැනින් අවුත් ඒකට උම්මා දී ඇති බවට සාක්ෂි ඇත. ඒ මදිවාට අතරමගදී වාහන ස්පාක් කර ගනී.


  • චූ කරන්නට දන්නේ නැත.ලොක්කන්ට කෙළවෙයි.


  • 456123 අංකයෙන් යුත් දුරකතන සිම්පත් භාවිතා කරයි.


තව විස්තර ඇතත් මේ යකා සොයා ගැනීමට ඇති හදිසිය නිසාම මේ ටික දැනට සටහන් කරමි. 

ඔබ කොතැනදී හෝ දුටුවොත් වහාම දැනුවත් කරන්න. දුටු දේ නොදුටු දේ ලෙස සිටීම බරපතල වරදකි..

හැකි ඉක්මනින් තොරතුරු දෙන්න. නිවරැදි තොරතුරු දෙන එකාට වයර් කෑල්ලක් තෑගි වශයෙන් දෙනු ලැබේ.


හා.. හා.. ඕක හදිසි කේස් එකක්. මේක බලන්නත් ඕන හරිය

Friday, December 7, 2012

තීන්ත ගා පැච් දැමීම

"මාස දෙකකට විතර උඩදි ඇඹිලිපිටිය පැත්තේ වෙච්චි ළමයි දෙන්නගේ මරණය මතකයි නේ. අර තාත්තා වැඩට ගියපු වෙලාවේ පුංචි අම්මගේ පුතෙක් ගෙන්නගෙන ගෑනි රති කෙලියේ යෙදෙද්දී නින්දෙන් අවදි වෙලා ආපු කිරිසප්පයෝ හිනා උනා කියල අර කාළකන්නියා දරුවෝ දෙන්න මරල දාපු සිද්ධිය. මේක මගේ හිතට වැදුන හින්ද මම පෝස්ට්කටු තුනක් වෙන්න ඒ දරුවන්ගේ තාත්තට හිතෙන විදිය ගැන සුට්ටං නිර්මාණයක් කරා. ඔබගේ පහන් සංවේගය පිණිසත් අපගේ පත්තර මිත්තරයන්ගේ සොයාබැලීම ඒ මනුස්සයා කෙරේ යොමු වේවායිත් කියන ප්‍රාර්ථනය ඇතුව මම කොටස් තුනම ඔන්න එකට දැම්මා."



“තාත්තේ අද ඉන්නකෝ..”

මං නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න ලෑස්ති වෙන කොට මගේ පුතා හුරතලේට කියන ඒ වචන මගේ ඔලුව පුරාම ඊයම් බරු වලින් පුරවන විදියේ බරක් දැනෙනවා. ඒත් පුතේ අපි ‍බොහොම අමාරුවෙන් යන මේ ජීවිත ගමනෙදි අපිට හිතෙන හිතෙන දේ කරන්න නිදහසක් හරි පුලුවංකමක් හරි නැති විත්තිය මගේ පුතාට තේරුම් කරල දෙන්න බැහැනේ. 

පුතාට තේරුනේ නැති උනාට පුතාගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ ‍තියෙන කම්පැනියක පොඩි රස්සාවක්. ඒක ‍කරන්නත් අපා දුක් විදින්ට ඕන. රු. 1000 කට ගත්ත බෝඩිං කාමරේ ඇදට වෙලා මකුණෝ කකා, බාගෙට හිල් වෙච්ච මදුරු දැල අස්සෙන් රූං ගාලා විදගෙන එන මදුරුවන්ගෙනුත් පීඩිත වෙලා මං ඉන්නේ ඔය නිදාගන්න ටිකට විතරක් නිසා ඒක ඉවසා වදාරනවා. රෑට ළග තියෙන කඩේකිං ඉදිආප්ප දහයක් විතර ඒකට නිකං හම්බවෙන පිලුං වෙචිචි සම්බෝලෙත් එක්ක ගිලල දාලා මදි පාඩුවට වතුර ටික බඩට හලා ගන්නේ ආයෙත් උදේට නැගිටල රස්සාවට යන්න ඕන නිසා. එහෙම දුක් විදලා හරි මම බලන්නේ පුතාට හොද ජීවිතයක් හදලා දෙන්න. 

පුතා දන්නවද මේ ජීවිත කාලේදි මං වැඩියෙන්ම සතුටු වෙච්චි දවස මොකක්ද කියලා. ඒක පුතේ ආයෙත් වෙනස් ‍වෙන දෙයක් නෙමෙයි. 

ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදි නර්ස් නෝනා කෙනෙක් ඒ මොරසූරන වැස්ස තියෙන කලුවර වෙලාවේ රෙදි වලින් ඔතපු පුංචි පැටියෙක් අරගෙන එක දිගට ලයිට් පොලු පත්තුවෙන කොරිඩෝව දිගේ එනවා මං බලාගෙන හිටියා. නෝනගේ සුදු පාට ඇදුමට (ඒ දවස් වල පුතේ ඔය ඇදුම ගැන නර්ස් නෝනලටයි අටෙන්ඩන් නෝනලටයි පුරස්න මොකුත් තිබ්බේ නෑ මයේ හිතේ) ලා නිල් පාට පැනල් එක අස්සෙන් පේන පුංචි එකා අතිං තට්ටු කරනවත් මං දැක්කා. 

“කවුද ගුණපාල කියන්නේ” 

සූතිකාරය ඉස්සරහට ආපු නෝනා එතන හිටිය පිරිමි අයගෙන් අහන කොට මට කොම්පැනියේ පුරුද්දට ඉද්ද ගැහුව වගේ කෙලිං වෙලා “මම තමයි මැඩම්” කියලා කිව්වා. “

ආ. ඔන්න. ඔයාට හුරතල් කොලු පැටියෙක් ලැබිල තියනේනෙ” කියලා නෝනා කරුණාවෙන් මගේ මූන දිහා එක එල්ලේ බලාගෙන කිව්ව දේ අහල ඒ සතුට වැඩි කමට මගේ ඇස් දෙකෙන් සට සට ගාල සතුටු කදුලු කැට වැටෙන්න පටන් ගත්ත මට අද වගේ මතකයි. හෙමිං හෙමිං නර්ස් නෝනා ගාවට ආපු මං කවදාවත් මිනිත්තු ගාණක් වයස පොඩි එකෙක් අල්ලල නැති උනාට හිතට ආපු දරු කැක්කුමටද මන්දා පුංචි කුරුලු පැටියෙක් වගේ ගුලි වෙලා හිටිය උඹව හීංසීරුවේ මගේ අත්දෙකට ගත්තේ පරාණ බයකිං. ඒත් අතට ගත්තම මගේ දරුවා කියලා හිතාගෙන ආදරෙන් හෙමිහිට උඹේ නළල ඉම්ඹ ඒ මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නෑ.


එදා ඉදලා උඹට අවුරුදු දෙකක් තුනක් වෙනකංම අපිට හරියකට කෑම බීම ටිකවත් ගන්න සල්ලියබාගයක් තිබ්බෙ නෑ. එහෙමෙයි කියල උඹව බඩගින්නේ තියන්නවත්, ඇදුම් මාල්ලක් අරන් නොදෙන්නවත් මං ඉඩ තිබ්බෙ නෑ. පුලුවන් හැටියට ඒ ටික කරගත්තේ ඔය මං කරන රස්සවෙන් හම්බ වෙන‍ සොච්චං පඩියෙන් තමයි. ඒත් ම‍ගේ දරු පැටියට කරදරයක් නොවෙන්න කටයුතු කරන්න ඕනය කියල මගේ හිත හැම තත්පරයකම මුරගාන කොට ආපු හයියෙන් තමයි මොන තරං අමාරුකං තිබුනත් ගේ පොඩ්ඩ ලකේකට හදාගෙන මගේ කූඩුව ඇතුලේ උඹ රජ පැටියෙක් වගේ ඇති දැඩි උනේ.

උඹට ඉස්කෝලේ යන්න කාලේ හරියන කොට ඔය කොළඹ රටේ මහත්තැන්ලට ‍වගේ ලොකු ඉස්කෝල හොයන්න යන්න පුලුවං කමක් තිබ්බෙත් නෑ. ඒ වගේම අපේ දෙමාපියෝ කවදාවත් බොරු කරන්න වංචා කරන්න තවත් මිනිහෙකුගේ බඩට ගහන්න උගන්නලා නැති නිසාම ඒක ආයෙත් අරුමයක් උනේ නෑ. අපිට ලග තියෙන ඉස්කෝලෙට උඹට දැම්මේ හිතේ දහසකුත් එකක බලාපොරොත්තු තියාගෙන. ඒ කියන්නේ දැං මේ විපරීත සමාජයේ උන්දැලට තියෙන මුලග්ගාය වගේ දරුවව දොස්තර කෙනෙක් කරන්ටවත්, ඉංජි‍නේරුවෙක් කරන්නවත් එහෙම නැතිනං ක්‍රිකට් කාරයෙක් කරන්නවත් නෙමෙයි පුතේ. මට ඕන උනේ උඹ මොන දේ කරත් හොදට ඉගෙන ගෙන මේ සමාජයේ වැදගත් පුරවැසියෙක් ‍වගේ රටේ ජීවත් වෙනවා දකින්නයි.

අපේ ජීවිතය ආයෙත් අලුත් පාරකට වැ‍ටුනේ උඹට අවුරුදු හයක් විතර වෙනකොට. එතකො‍ට තමයි පුතේ උඹේ මල්ලියා මේ ලෝකෙට එකතු වුනේ. ඒත් උඹ වගේම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදිමයි. උඹ ලැබෙන්න ඉන්න වෙලාවේ අර ‍නර්ස් නෝනා කියනකං අපිට ලැබුනේ පුතෙක් කියලා නොදැන හිටියට මේ වතාවේ එහෙම නෙමෙයි.. මල්ලියා ඉපදෙන්න කලින්ම චැනල් දාලා බලපු දොස්තර මහත්තයා කොහොම හරි රු. 1800 ක් විතර අරගෙන ස්කෑන් එකක් කරලා බලලා ලැබෙන්න ඉන්නේ පුතෙක් කියල කිව්වට පස්සේ අපි පොඩි පුතා පිළිගන්න ලැහැස්ති උනා. උඹ හම්බවෙච්ච වෙලාවේ කිරිකැටියෙක් දැකලවත් නැති මට මල්ලි ඉපදුන වෙලාවේ ආපු සතුට ඒ විදියටම දැනුනේ නෑ. ඒකයි පුතේ මං කිව්වේ උඹ මේ ලෝකෙට ආපු මොහොත තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත කියලා.

උඹල දෙන්න නිසා මගේ ගෙදර කල එලි උනා. පුංචි එකා ගෙදර දෙවනත් වෙන්න අඩන කොට මං කොච්චර කලබල වෙලා තියෙනවද? හිනාවෙන්න පුලුවන් වෙනකොට පුංචි පුතාගේ හිනාව දැකල මං‍ මොනතරං සතුටු උනාද? උඹල දෙන්නම එක පාරට අත්දෙකට වඩගෙන හුරතල් කරපු දවස් ආයේ ඉතිං පුදුම සතුටක් ගෙනාව කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මගේ පුංචි පුතා ඉපදිලා අවුරුද්දක් විතර යනකොට මං කොහොම හරි කා‍ටවත් අතනොපා සතුටින් ජීවත් වෙන්න පුලුවං විදියට‍ ජීවිතය ගොඩනගාගත්තා.මේ විදියට‍ ගත කරපු ජීවිතයට ආයෙත් අමුත්තෙක් එකතු වෙයි කියලා මාගේ තුං හිතකනත් තිබුනේ නෑ.


මම එදා හවස නේ පුතේ ගෙදරින් ආවේ. මට කොළඹට අඩිය තියලා එක පැයක්වත් යන්න කලින් ආපු පණිවිඩය එතරම් පැහැදිලි නොවුනත් ලොකු කරදරයක් කියලා හිතුනා. ඒත් එක්කම මං අනිත් පැත්තට බස් එකක නැග්ගා ආපහු ගෙදර එන්න.. මගේ හිත කවදාවත් කිව්වෙ නෑ පුතේ මේ තරං අපරාධයක් ඇහින් දකින්න මට සිද්ධ වෙයි කියලා. මගේ පුතාලා මගේ ලෙයින් ඉපදුනාට උඹල දෙන්නා මේ ලෝකෙට එළීය දෙන්න හිටිය රත්තරං ‍දරුවො දෙන්නෙක්. බුදු බ‍ණේ කියල තියෙනවා හැම දේම අනිත්‍යයි කියලා.ඒත් පුතේ ප්‍රතඥජන මිනිහෙක් වෙච්චි මට ඔය බණ කතා ඔරොත්තු දෙන්නේ නෑ. මග දිගටම මං හිත හිත ආවේ එක්කෝ කාට හරි අසනීපයක් එහෙම නැතිනං ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් කියලයි. ඒත් ගමට එන පාරට හැරුනට පස්සේ මහ රෑ වෙලත් මිනිස්සු පාරේ තොටේ ගැවසෙන එක, මා දිහා හරිම වේදනාකාරි ව බලන විදිය මට අමුත්තක් උනා. අඩියෙන් අඩිය ඉදිරියට යන කොට ඒකේ තියෙන බර ගතිය මට හොදටම දැනුනා. අන්තිමට මට තේරුණා ‍මම හිතනවට වඩා මහා විශාල විනාශයක් කියල. ඒත් දෙයියනේ මේ තරං අපරාධයක්. මං ගෙදරට ආවේ මාරාවේශයෙන් වගේ. ගෙදරය එන පාර දිගේ එක එක වාහන නවත්තල මං කවදාවත් දැකල නැති මිනිස්සු ඒ ඒ තැන් වල රොක් වෙලා. ගෙයි මිදුලෙත් හැරෙන්නවත් බැරි තරං සෙනග. ඒ මදිවට පොලිස් වාහන දෙක තුනකුත් තිබුනා. රෑට එළියට‍ පාට වෙන කොළ පාට ඇදුම් ඇදපු පොලිස් මහත්තුරු ඉන්නේ බරබතල කාරණයකට වග මං කොළඹදි දැකලා තේරුම් අරගෙන තිබුනේ.

අමුත්තෙක් කිව්වට ‍පුතේ මං උඹලගේ අම්මා බදින කොට මගුල් දවසෙදි තමයි මං ඒකව ඉස්සර වෙලාම දැක්කේ.. ඒත් මට කිසි අමුත්තක් දැනුනේ නෑ.. මමත් ටිකක් විතර ඒ වෙලාවේ කලබල වෙලා වගේ හිටියට අවුරුදු හයක විතර පොඩි එකෙකු ගැන මොනව හිතන්නද? උඹල හම්බඋනාට පස්සේ උඹලට අයියා කෙනෙක් වගේ හිටිය, උඹලගේ අම්මා කියපු විදියට එයාගේ පුංචි අම්මගේ පුතා උඹලගේ අම්මටත් වඩා අවුරුදු 19 ක් විතර බාල කොලු ගැටයෙක් මේ වගේ නස්පැත්තියක් උඹල දෙන්නට කරයි කියල මං කොහොමද දන්නේ.. පුතේ කාලය ගිහින් ගෙවුන කාලය ලබාගන්න බැහැ වගේම ඒ අවස්ථාවනුත් ආයේ ලබා ගන්න බෑ.

පුතේ උඹලට වෙච්චි දේ මගේ හිත සත් කඩකට පැලෙන තරම් වේදනා‍වක් දුන්නා. ඒ දේ මට හිතාගන්නවත් බෑ. මං හැමදාම හැමවෙලේම ගතවෙන තත්පරයක් ගානේ ආදරය කරපු හුරතල් කරපු උඹල දෙන්න තවත් එක් මතකයක් විතරයි කියල හිතන්නේ කොහොමද? ජීවිතේ මම ගත කරපු සුන්දරම කාලය මට නොතිබුනා නං ‍කොච්චර හොදද? ලැබී තිබුන දෙයක් නැති උනාම ඒකේ දුක දරාගන්න පුලුවන්ද? මම කරපු හැම දෙයක්ම හැම කැපකිරීමක්ම ඉවසගෙන කලේ උඹල දෙන්නට තිබුන ආදර‍ය හින්නයි. මගේ පුතා කියල කියන කොට මගේ ඇගේ හැම මාංශ ‍පේශියකම වැඩියෙන් ලේ ගලන බව මට දැනිලා තියෙනවා. මේ තරං දුකක් විදින්ට මේ ලෝකේ කිසිම පියෙකුට වෙන්න එපා කියලයි මට කියන්න කියෙන්නේ. පුතේ මං හැම වෙලාවකම වැලපෙන මනුස්‍සයෙක් කරන්න එක අමනුස්සයෙකුට පුලුවන් උනා. මං ගොඩ නගාපු ලෝකය ම‍ගේ ඉදිරියෙම සුන්නත්දූලි වෙලා යනවා බල බල මං හූල්ලනවා. ජීවිතේ ඔහොමයි අපි හිතන පතන දේ වෙන්නේ නෑ හිත හදාගන්න කියලා පන්සලේ හාමුදුරුවෝ වදාරපු වචන ටික තව ටික දවසක් යනකං මට ශක්තියක් වේවි. ආයෙත් උඹලගේ හුරතල් වැඩ මට බලන්න නැති බව දන්නවා. තවත් මට උඹලට පොත් අරන් දෙන්න වෙන්නේ නෑ. මට නිවාඩුවට ආවම උඹලව නාවල කවලා ඇදුං හෝදලා දෙන්න වෙන්නේ නෑ. මගේ ගෙදර මටම අමු සොහොනක් වෙලා. මේ ජීවිතේදි මං කරපු ලොකුම වැරැද්ද තමයි පුතේ උඹලගේ අම්මව කසාද බැන්ද එක. මං ගෙදර ආවම මෙච්චර කරුණාවක් දක්වපු ගෑනි මං ගෙදරින් පිටවෙන ගමන්ම මයේ ලොකු පුතාට වැඩිය ටිකක් වැඩිමල් අනික ලේඥාති පොඩි එකෙකුට කියලා තෘප්තිය ලබාගන්න වැඩ කරන්න මොන තරං පාපතර ගෑනියෙක්ද? දරුවෝ ගැන මොනවද හිතල තියේන්නෙ. පුතේ මගේ විලාපය හැමදාම එක විදියට තියේවි. මොකද ‍මං උඹල දෙන්නට මගේ පණටත් වැඩිය ආදරේ කරපු නිසා.

Happy Birthday my friend!!!


මට ඉන්න හොද මිත්තරයෙක්, ඒ වගේම මම වැටිච්චි වෙලාවට මට උපදෙස් දීපු පුළුවන් හැටියට උදව් කරාපු, කොටින්ම කිව්වොත් මට ඔපීසියේදි හොද නරක හැම දේම උගන්නපු හොද මිනිහෙක්. 

අපි සෙට් වෙන වෙලාවට ජාති ජාති කතා කරා උඹට මතක ඇති. ඒ වගේම තමා අවුරුදු ගාණක් උඹල එක්ක හිටපු කාලේ මගේ හොදම කාලයක් උනා. මේක නරක කාලයක් කියල මං උඹට කලින්ම කියලා ඇති. මෙතනින් තටු ගහල ආයේ එන්න පුළුවන් නම් මම ආයේ එන්න ආසයි. ඒත් මචෝ කරුමේ තමා... බැදිම් වැඩි උනාම අත පය ඉදල ගැට ගැහෙනවා.

එහෙනං සුභපැතුම් විතරයි..... බොට දෙන්න කියල දෙයක් මං ළග නෑ මේ වෙලොවේ..

ආදරණීය මිත්තරයා, කව් ඔබට සුභ උපන් දිනයක්!! නෝටි පෝටි වල ඉන්න හින්ද පරිස්සමින් වැඩ කරන්ට ඕන හොදේ.. මං ගියා

ප.ලි.
මගේ මිත්තරයෝ ටික මේකට ප්‍රතිචාර නොදැම්මට කිසි අහිතක් නැතෝ...