Tuesday, July 30, 2013

හෙළු කකුල්..(??)


ආදර නංගි වෙත (ඩිවෝස් බයික් එකේ යන),


මට ඊයේ කියන්න අමතක උනා ඔයා වැඩ ඇරෙන්න කලින් මට යන්න වෙනවයි කියන එක ගැන. ඒ ගැන අහිතක් කොහොමත් නැතිව ඇති. මොකද මම වෙනදටත් ඔයාට කියල යන එකක්යැ. ඒ උනාට මම බස් හෝල්ට් එකට වෙලා ඉන්දැද්දී, ඔපිසීයේ ගේට්ටුවෙන් පිටවෙලා, රෑං ගාලා ඩිවෝස් බයික් එකේ නැගල එන ඔයා දැක්කම මට ඇත්තටම දුක හිතුනා ඇයි අනේ මම මේ ගැනීට කියල ආවේ නැත්තෙ කියලා. එහෙම කියල ආවනං මේ මලකෙලිය වෙන්නෑනේ සුදෝ. අනේ මන්ද මට කියන්නත් මොකක්ද වගේ. ඊයේ හැන්දෑවේ මගේ මූණ ඉස්සරහිං කිරිල්ලියක් වගේ ඔයා බයික් එකේ ඉගිල්ලිල යන කොට මගේ දිහා බලල හිනා උනාම, මට ඔයාගේ මුණ දිහා හරියට බලන්න බැරි වෙච්ච එක ගැන හරිම දුකයි. විකාරයි කියන්නේ ඔයා මගේ මූණ දිහාම බලාගෙන ගිය එක නේ. මගේ ඇස් දෙක නං ඔයා දුර ඉදම්ම එන කොට ඒක මීටර් කරගෙනයි හිටියේ.

ඒ උනාට මොන මොහොතෙවත් මගේ ඇස් දෙක ඔයාගේ සුදු කකුල් දෙකෙන් අයින් කරගන්න බැරි උනා නෙව. මේක මගේ වල් හිත කියල හිත හදාගන්න විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. අනේ මන්ද වෙච්චි විලි සංගේ නැති වැඩේ හින්දා මට හෙට ඔයාගේ මූණ බලන්නත් මොකක්ද වගේ. (කකුල් දෙකමයි බලන්න හිතෙන්නේ). අනේ සුදෝ ආයේ වැඩ ඇරිල යන කොට මට කලින් යන්න හොදේ.. නැත්නං මට බුදු සරණයි.

ස්කුටියේ නැගල රැලි සාය ඇදං රෑං ගාල යන ඔයාගේ සාය දෙපැත්තෙන් හුළගේ යන විත්තියක්, මේ අබල් ඩබල් වෙවි බයිසිකල් පදින ඔයාට තේරෙන එකක්යැ. සාය උඩම යනවා අනේ.. හරියට බාගෙට කපපු මාලුවෙක් රෙද්දකින් වහල තට්ටුවක් උඩ තියාගෙන වගේ. ඔයා කකුල් දෙක බයිසිකලේ තට්ටුව උඩ තියන් යන කොට අනේ මන්ද මටනං මොකවත් පේන්නෑ. කකුල් දෙක හෙළුවෙන් යන එක විතරමයි පේන්නේ. ඔයාට ලැජ්ජ නැද්ද අනේ. වටේ පිටේ මිනිස්සුත් බලනවා.. රෙද්ද හුළගේ යන කොට. මොකද ඉතිං යස අගේට කෙල්ලගේ ගල් දෙක පේනවා නෙව. කොල්ලොත් එකයි නාකිත් එකයි. තොල කට ලෙව කකා ඇස් දෙක පුළුවන් තරං කකුල් දෙක පස්සෙම දුවල තමා නවත්තන්නේ. ඒක බලං හිටියම තමා තේරෙන්නේ කකුල් දෙක දිහා බලන මිනිහා හරියට රොබෝ කෙනෙක් වගේ මූණ ස්ලෝමෝෂන් එකේ හරවගෙන බලන හැටි. 

ඒ යක්කු හිනාවෙනවත් එක්ක. ඒත් ඔයාට තේරෙන එකක්යැ. ඔයා හිතන්නේ ඔයාගේ මූණ දිහා බලල හිනාවෙනවයි කියල නේද? එහෙම නෙමෙයි අනේ.. ඔය කකුල් දෙක දිහා බලලයි හිනා වෙන්නේ.

ඔයාගේ කකුල් දෙකනං පුස්ටිමත්ව, සුදට සුදේ, ගාපු ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පිහිටෙන් ලප කැලැල් නැතිව දිලිහෙන කොට, හුළගේ යන සාය අස්සෙන් පේන හෙළු කකුල් දෙක කොයි තරං ලස්සනද? ඒත් අනේ ඔය ඩිවෝස් බයික් එකේ යන සමහර ගෑනු සාය ඇන්දම, ඒක හුළගට ගිහිල්ල පේන, මස්තබාල්දු වෙච්චි, කොටුරූල් වැට්ච්චි, එක එක ජරස්ත ලප තියෙන කකුල් දැක්කම නං ඔක්කාරෙටත් එනවා. ඒ වෙලාවට තමා ඔය ස්කූටි හදපු උන්ගේ අම්මලත් එක්කත් හිතේ කෝන්තරයක් ඇති වෙන්නේ. සමහර උන්, ටයිට් ස්කර්ට් ගහල ඕක පැදං යන කොට, මට නං අනේ පාරේ දිගා වෙලා නිම්නය බලන්න හිතෙනවා. හරියට අන්නතයට යන කං අනුකලනය කර කර ඉන්නවා වගේ. කරුවලට මක්කවත් පේන එකක්යැ. දිගටම අදුරු ගුහාවක් අස්සක ඇස් දෙක රිංගනවා විතරයි පේන්නේ. ඒකෙන් ඇති වැඩක් නෑ. එක්කෝ අනිත් දවසේ අපිව අමාරුවේ නොදා කකුල ඉස්සරහිං ස්පොට් ලයිට් එකක් හයි කරගත්තනං කොහොමද, සෝයි නේද?

අපේ හිතේ හැංගිල තියෙන වලත්තකම එළිපිටම පේනව නංගියේ බොලා ඔය විදියට බාගෙට හෙළුවෙන් ස්කූටි පදින කොට. අපිට ඉන්න තැන අමතක වෙනවා නෙව. කරුමෙට ගෑනිවත් ළගපාතක හිටියොත් ඒකත් අමතක වෙලා ඇස් දෙක කකුල් පස්සෙන් දුවන එක දුවනවාමයි. අපි ගැනවත් හිතල මොකක් හරි ආරක්ෂක පිළිවෙලක් කරගන්ටකෝ ඔය ස්කූටි පදින වෙලාවට. 

ඔන්න බලන්නකෝ පහුගිය දොහේ, නිව්යෝක් සිටි එකේ පුටාර් එකක් පැදගෙන ගියපු ඩච් කෙල්ලෙක්ගේ සාය හොදටම කොටෙයි කියල පොලෝසියෙන් අල්ලල අවවාද කරල තිබ්බා, “නංගියේ පාරේ යන මිනිස්සු අමාරුවේ නොදා කරුණාකරල පෑන්ටියකුත් ඇදං යන්න“ යි කියලා. 

හැබෑව නේන්නං.. සුර දූතියෝ මතක් වෙනවා ඕවා පාරෙ දැක්කම. අනේ මන්ද අපේ උන්ට නං පාරේ ගෑනියෙක් හෙළුවෙන් හිටියත් කෙලින් වෙන්නේ නෑ. ඒ උනත් මොකක් හරි සාය කෑල්ලක් අගල් දෙක තුනක් උඩට ඇදුනොත් ඔන්න මෝල් කෙලින් වෙන්න ගන්නවා. ඒ හිතේ තියෙන වල් කමටයි ආසාවටයි වෙන්ටැති. මම දන්නව අනේ.. සුද්දියෝ ඔය ඕන තරං බිකිණි ගහන් පාරේ යන්නේ.. එහෙම උනයි කියල පත්තරේවත් කවදාවත් තිබුනේ නෑ නේ.. කොල්ලෝ පෝලිමට ඒ දිහා ඇස් උඩ තියන් බලන් හිටියයි කියලා. (අඩු ගානේ මාතලං වත් ඔය වගේ දේවල් කියල නෑ) ඒ උනාට ලංකාවේ කෙල්ලෙක් පොෂ් සායක් ඇදගෙන බස් එකේ යන කොට ඒක ඩිංගක් එහාට මෙහාට උනත්, පිරිමි ටික ඇස් වලට සෙක්ස් හලන් බලන් ඉන්නේ කකුල දිහා. කකුලේ දණහිසට උඩින් අරක තියෙනවයි කියල හිතාගෙනද මන්ද. කෝක උනත් පරිස්සමින් නංගියේ, ලොකු හුළගකට අහුවෙලා ඔයා සාය ඉන්දියාවත් පේන සයිස් එකටම උඩ ගියොත් බොට හරි කරදර වේවි.

ඒක නිසා මම මේ සහෝදරයෙක් වගේ කියන්නේ, අනිත් දවසේ උඹ ස්කුටියේ යනවනං එක්කෝ සාරිය ඇදං පලයං. නැත්නං කලිසං මාල්ලක් ඇදං පලයං. එතකොට ඔය කකුල් කොහේ ගියත් අපිට මොකෑ.. එහෙනං හරි නේ.. මට තාමත් ලැජ්ජයි ඕයි.. හෙට.. තමුසෙගේ මූණ ද බලන්නේ නැත්නං කකුල් දෙකද කියල හිතෙන කොට.

මීට 

දේශකයියා

Friday, July 26, 2013

බීම සහ තේරුම් නොගැනීම

වෙඩින් එකක් උනාම බොන්ට තියෙන්න එපායැ. නැත්නං කොහොමෙයි හවස් වෙනකං පාටිය ඇදගෙන යන්නේ. හැබැයි සමහර වෙඩින් වලදි මුලින්ම දැනුම්දීමත් එක්කම බොන්න දෙන්නේ නැතෙයි කියල දැනුම් දීමත් කරනවා. හුගක් අය වෙඩිමකට යන්නේ බොන්න දෙනවා කියන පුර්ව නිගමනයකට බැහැල නිසා, ඒකෙදි බොන්න නොදුන්නොත් හැම එකාගෙම මුණු ඇඹුල් වෙනවා. එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. මනමාලයගේ ඔක්කෝම හොද ටික ඒ වෙලාවෙම දිය කරල දානවා, නෑයෝ ඉස්සරහම.

ඔය වෙඩින් තියන හෝටල් වලට අදාළවත් කරුණු කාරණා වෙනස් වෙනවා. තරු හෝටලයකදි නං බොන්න වෙන්නේ වෙනම විදියකට නෙව. සමහර තැන් වල ඕපන් බාර් එකේ සෙල්ෆ් සර්විස්. සමහර ඒවගේ මිනි බාර් එකේ හිටගෙන බොන්න ඕන. දුම දාන්න විදියක් නෑ ඒසී තියෙන නිසා. තවත් සමහර ඒවගේ මුළු හෝල් එකටම සර්ව් කරනවා. ඒ වෙලාවට ගෑනුන්ට හොරෙන් බොන ඈයොන්ට නං අබ සරණයි.

මම එහෙම වෙඩිමකට ගියා, කඩවත පැත්තේ. වැලිවේරිය පාරට හැරෙන හන්දියේ ෂෙඩ් එකට උඩින් තියෙන රිසෙප්ෂන් හෝල් එකේ. මට ඒකේ නම මතක නෑ. මේකට ආවේ ගණේමුල්ල, ගාල්ල, කුරුණෑගල පැත්තේ නෑයෝ තමා වැඩි පුරම. මේ හාදයෝ බොන්න හොය හොය හිටියට මෙලෝ හසරක් නැති බවක් තමා තේරුනේ. ඉතිං හැමෝම ඒසි කරපු හෝල් එකට වෙලා තමන්ගේ බවලත්තු ටිකත් එක්ක සෝකෙන් ඉන්නවා. ටික වෙලාවකින් වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කළා. ඊට පස්සේ තවත් ටික වෙලාවකින් ග්‍රීන් ඇපල් වෙඩ්ජස් ප්ලේට්, ජම්බෝ පීනට් ප්ලේට්, හපන බයිට් ප්ලේට් එහෙම ආවා. ඒවා දැක්ක ගමන් හැමෝම හිතුවා අඩේ මේක මරු හොටෙල් එකක් නේ. නිකං ඉන්න වෙලාවට කන්නත් දේවල් දෙනවනේ කියලා. ඊට පස්සේ ඔන්න එනවා පැන්ටා, කෝලා, සෝඩා මෙගා බෝතල්. අර කාපු උන්දැල ඇති පදමට බීම ජාති ටිකත් බිව්වා. බැරි මරගාතේ සෝඩා ටිකත් බීලා දැම්මා. මම බලාගෙන හිටියේ මේස කීපයක අය විතරයි අරවට අත වත් නොතිය බලන් හිටියේ. කසකාරයෝ එන විදියට පෙරහැර ළගම එන විත්තියක් දැනගෙන උන්නේ බොහොම ටික දෙනයි. ටික වෙලාවකින් මෙන්න එනවා, රෙඩ් ලේබල් ඩ්‍රැම් එක ගානේ දාපු අසෝක වීදුරු. කාල බීල හිටි ඈයෝන්ගේ ඇස් කන් ඇරිලා, දැං මොකද කරන්නේ කියලා. සමහර උන් අමුවෙන් ගහනවත් මම බලාගෙන. දැඩි විරෝධතා නිසා තොල් පෙරල පෙරල අසෝක වීදුරු දිහා බලන් ඉන්න මහත්තැන්ල හෙම හිටියා.

අපේ මේසේ හිටියේ මාත් එක්ක තව තුන්දෙනයි හැබැයි පිරිමි පරාණ. එකම පරහට තිබ්බේ දේශිකාගේ තාත්තා හිටි එක තමා. මොනා කරන්නද, කෝක් ටිකක් වැඩිපුර දාල හොරෙන් ගත්ත රෙඩ් ලේබල් ටික විගහට පොරට පේන්නම ඇරල දැම්මේ මිනිහටත් කෝක් වීදුරුවක් දෙන ගමන්. යන්තං සැක නොහිතෙන්න ලොක්කා ඉස්සරහම ඩ්‍රින්ක් එක දැම්මා. පොර බලන් හිටියා අපි කෝක් බොන්න කොයි තරං කෑදරද කියලා. පොරට දීපු දෙවෙනි කෝක් වීදුරුවත් එපැයි කියල, වෙන මේසෙකට ගිහිල්ල වාඩි උනාම, අනිත් උන්ට කියල ඕඩර් කරපු රෙඩ් ලේබල් ඩ්‍රැම් ටිකත් අපිම වගකිව්වා. අන්තිමට මගුල් ගේ බොහොම සාර එකක් කියලා හැමෝම කිව්වේ, අර තිබුන සෝකපරකාස ගති හිතින් අතෑරලයි.

දැන් තමා හොදම කතාව. මේක සිද්ධ උනේ මගේම හෝම් කමින් එක දවසෙයි කියල දුකෙන් උනත් කියන්න වෙනවා.

මම කලිනුත් කිව්වා නෙව දේශිකාගේ තාත්තා තනිකර අමධ්‍යප එකේ හොද කකුලක් ය කියලා. මේ හේතුවෙන් කිසිම උත්සවයකදි කවදාවත් මත්පැන්, දුම්වැටි අඩුගානේ බුලත් විටක් වත් සපයන්නේ නෑ. තමන්ගේ එකම දුව වෙච්චි දේශිකාගේ මගුලත් යස අගේට ගත්තට, අර ජාති මොනවත්ම තිබුනේ නෑ. කලින් ඉදලම බොන එකට විරුද්ධ මේ අදුරුමිස්ට මාමාන්ඩි, අපේ අම්මත් එක්කත් එකගතාවයට ඇවිත් තිබුනා දෙවැනි දවසෙත් බොන්න නොදෙන්න. මොකද එතුමා කපටි සුට් එක අදින බොහොම වැදගත් ඉස්කෝලේ මහත්තයෙක් හින්දා අපේ අම්මලත් ඒවා දොහොත් මුදුනිත් තමා පිළිගන්නේ. අම්මා දාපු රතු එළිය මම ඩබල් කරන්ම පත්තු කරන් හිටියේ, හිතේ වෙන අදහසක් තියාගෙන. මාත් බොන්න නොදෙන්න වගේ හිටිය හින්දා, කොහොමත් ඒ වෙනකං මම බාර් එකක් කිට්ටුවෙන් වත් යන එකෙක් නොවෙන විත්තිය (පුහ්) සහසුද්දෙන්ම දැන ගෙන හිටිය මාමාණ්ඩි මං ගැන හෙන ආඩම්බර උනා. කවද කාපු ටකරන්ද කියල මම මගේ වැඩ පිළීවෙල ගානට කරගෙන ගියා.

ඔන්න දෙවැනි දවසේ පාටිය තිබ්බ හෝටලේ අපිට දීපු කාමරේට උදේ පාන්දරම  බෝතල් ටික ගෙනැත් දෙන්න මගේ මිත්තරයෙක් වෙච්ච පැට්‍රල් කාරයා කටයුතු කරල තිබ්බා. බයිට් හදන්න ටොට්ටලයි ගෙදර වැඩ කටයුතු සම්පාදනය කර තිබුන අතර, අනෙක් අවශය අටකලම්පන්න ද සැපයීම පිළිබද කටයුතු මා විසින් ජංගමයා මාර්ගයෙන් නිසි පරිදි සංවිධානය කළා. කොහොම උනත් උදේ පාන්දරම ජෝඩුවත් එක්ක යන්න බලාගෙන ආපු මාමණ්ඩි වෙඩින් කේක් පෙට්ටි දෙක හෝටලේ තියන්න අර කාමරේට ගිහිල්ල හදිස්සියේම. කාමරේ තිබ්බ බෝතල් ටික දැක්කම පොරට කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න ඇවිල්ල. වහාම එතැනින් පිට වෙලා අපේ ගෙදර ගිහිල්ල මේක අම්මගේ කනේ තියල “වහාම දේශා මහත්තයට කියන්න කිව්වලු මේක නවත්තන්න“ කියලා. නැත්නං වෙන දේ ඒ වෙලාවෙදි බලාගන්න පුළුවන්ය කියලත් කිව්ව කියලයි ඔය ආරංචිය ජංගමයට දුන්න අම්මා ඉස්තිරෙටම කිව්වේ.

අනේ දෙයියනේ යන්තං පෙරුං පුරල පුරල, දවස් දෙකයි ආතල් එකක් ගත්තේ. මේ බොන සීන් එකෙත් ඒකටත් කනකොකා අඩන්න යන විත්තියත්, එන පොට හොද නැති බවත් තේරුං ගත්ත මං වහාම තීරණය අවලංගු කර, සංවිධායක කමිටුවේ ප්‍රීති ගෝෂා මැදින් (පැට්‍රල් කාරයා, ටොට්ටා එවපු මනරම් එස්එම්එම් පණිවිඩ තාමත් මං ගාව තියෙනවා සුරක්ෂිතව පරණ සිම් එකේ) කීර්ති ප්‍රසංසා ලබමින්, බෝතල් ටිකයි, අඩුම කුඩුම ටිකයි ගෙදරට ගිහිල්ල දැම්මා.

මගුලේ අයිතිකාරය බොන නිසා උගේ මගුලේ, අනිවා බොන්න තියෙනවා කියල හිතාගෙන ආපු මගේ ඇම්බැට්ටයෝ ටික, කුල් ඩ්‍රින්ක් එකෙන් පස්සේ හෝන්දුමාන්දු වෙලා ඉන්න විත්තියක් මම දැක්කා. උං තැන තැන කල්ලි ගැහිල ඇවිදිනවා. එබෙනවා. මොනවද හොයනවා. මට කරන්න දේකුත් නෑ ඔහේ බලාගෙන ඉන්නව ඇරෙන්න. පස්සේ බැරිම තැන සැට් එකක් මං ගාවට ඇවිල්ල, මාව පොඩ්ඩක් එහාට අරන් ගිහිල්ල කනට කරල ඇහුවේ “මොන @$@$$ ක්ද යකෝ අද බොන්න නැත්ද??“ කියලා. මම ඉතිං අනේ පිඩුසිගා සේ, වෙච්චි සන්තෑසිය උන්ට අකුරක් නෑර කිව්වා. මම කියපු ඒවට හූ මිටි තියන්න පැට්‍රල් කාරයයි, ටොට්ටා කාරයි වග බලාගත්තා. තවත් කුනුහරුප වැලක් සන්තෝසෙන් අහගෙන මම ගිහිල්ල දේශිකා ගාව සැටියේ වාඩි උනාම, අරුන් සැට් සැට් වෙන වෙනම කතා කරපු එක දැං ඔක්කෝම හාදයෝ එකතු වෙලා කතාව. එතන හරියට පොකට් මීටිමක් වගේ. ටික වෙලාවකින් එකා දෙන්නා වාෂ්ප උනා. ඒ තිබ්බ උණුහුමත් නැතිව ගියා. මටත් ඔය ගැන සම්පුර්ණයෙන්ම අමතක උනා.

දවල් කෑම කාලා එළියට බහින්න ඔන්න මෙන්න තියල, ගෙදර තියෙන පිළීගැනීම ලෑස්ති කරන්න විගහට ගියපු මල්ලි ජංගමයා මගින් මාව අමතා කියා හිටිය දෙයින් මම පුල් අන්දොස් වෙලා ගියා.

“අයියේ, මාර සීන් එක නේ. අන්න අයියගේ යාළුවෝ සෙට් එකම අපේ ගෙදර!!!“

“මොකා.. හොටෙල් එකට ආපු උන්ද??“

“ඔව්.. උන් වෑන් වල නැගල ගෙදර ඇවිල්ල, පුංචිට කියල අයිය කිව්වයි කියල, මෙහේ බොන්න ලෑස්ති කරාය කියලා..“

“ඒ පාර“

“යාළුවො ටික කුස්සියේ තිබ්බ මස්, මාළු ඔක්කෝම ටික හදාගෙන, බෝතල් ටිකත් අරගෙන අන්න ආතල් එකේ සාලෙට වෙලා බොනවා. ඔක්කෝම උන්ට වැඩියි.. ලෝඩ් එකෙන් බාගයක් වත් ඉවර ඇති“

“අම්මා ගායි බැට් එකෙන්.. දැං මොකද කරන්නේ..ඔන්න ටොට්ටාට ෆෝන් එක දෙන්න“

“අලෝ.. අලෝ.. අඩෝ දේශා... මරු පාටිය බං“

“යකෝ.. කව්ද කිව්වේ අපේ ගෙදර තියන් බොන්නය කියල තොපිට“

“ඇයි ඩෝ.. තෝ කිව්වේ එහෙනං ඔක්කෝම ටික ගෙදර ගිහින් දැම්මයි කියලා“

“ඉතිං බං බොන්න කියල කිව්වේ නෑ නේ මං“

“ඒක අප්පේ වැඩක් ඩෝ.. ඔක්කෝම තියාගෙන හෙළුවෙන් ඉන්න කියලද තෝ කියන්නේ. ඒයි පැට්‍රා. මෙන්න මූ බනිනවා බං. ඒයි වරෙල්ලා යමං හෝටලේට මුට දෙකක් ඇනල එන්න හක්කක්කා“

“අනේ මේ දගලන්නැතිව හිටහල්ලා. තව ටිකකින් අපි එනවා. බොලා ඔය බීම නවත්තල පලයල්ල යකුනේ.. සාලේ අස්කරගන්න.. කැ# බල්ලෝ..“

මම දඩාං ගාලා පෝන් එක තිබ්බට පස්සේ මුන් ටික ගෙදර දෙක වෙන්නම හක හක ගාලා විනාඩි ගානක්ම හිනා උනා කියල තමා මල්ලි පස්සේ මට කිව්වේ.

කොහොම හරි නෑසැට් (ඥාතීන් සමුහයා) එකත් එක්ක ගෙදරට එනකොට මුං ටික මිදුලට වෙලා බඹරු වගේ හැසිරෙනවා. මිදුලට දාලා තිබ්බා හිස් බෝතල් සමුහය දැක්ක, දේශිකාගේ තාත්තා, මං ගාවට ඇවිල්ල කිව්වා,

“දේශා මහත්තයා එහෙනං මම කියපු දේ ඇහුවේ නෑ නේද“ කියලා.

අර රාජ් අහුලගත්ත උපහැරණේ එදා සෑබැවටම උනා. මම මොන තරං දහිරිය දාලා තේරුං කරල දෙන්න උත්සාහ කරත්, සමහර දේවල් මොන විදියෙන් වත් තේරුං කරල දෙන්න බැරිය කියන එක ආදි කාලෙත් මට තේරුනා..

Wednesday, July 24, 2013

ගජ කෙලිය...

එක දිගටම කඩාගෙන වැටෙන කරදර වල ඉවරයක් නැතෙයි කියාගෙන ගේ පඩි පෙල ගාව බෙරිහන් දෙන සෝමදාසගේ කට හඩ ඇහුනම, වෙනදා වගේම දැළිකඩේ ඇදගෙන කුස්සියේ දර ලිපේ ගින්නට, දුම්බටෙන් පූස් පූස් ගගා දුම් පිබ පිබ හිටිය නන්දා, නොසැලකිල්ලෙන් ඇස් අහකට ගත්ත හින්දා, පූස් පූස් සද්දෙට ලිපෙන් එළියට පැන්න, ගින්දර අළු ටික නහයෙයි කටෙයි හැම තැනම ගියා. අත් දෙක, දැළිකඩේ වගේ තියෙන වස්තරෙන් පිහිදගත්තට පස්සෙ, නාහේ ගෑවිච්චි අළු ටික අතින් අයින් කරල, කටේ තියෙන අළු ටික අයින් කරන්න තුප් තුප් ගගා, ලිපේ ගින්දර අඩුකරගෙනම එළිපත්තේ දොර ගාවටම ආවා.

“නන්දෝ.. මේ පාර නං හේනේ බව බෝග ටික අහවරයි බං“

“ඒ මොකෝ.. මොන සන්තෑසියක්ද ඒ පාර උනේ“

“මං දන්නෑ බං. දැං මම හේනට ගාටන කොට එතන හේනක් තිබ්බේ නෑ බං. ගස් කොළං ඔක්කෝම ටික බිමට චප්ප කරල දාලා. අපරාදේ බං මෙච්චර දවසක් වෙච්ච මහන්සිය.. ඔන්න ඔය වතුරෙකක් ගනිං මෙහාට..“

නන්දා හෝන්දුමාන්දු වී ගියාක් වැනි වූ, ඇත්තෙන්ම නන්දා හැම වෙලේම ඉන්නෙත් ඒ වගේම තමා, ඒත් මේ නරක ආරංචියෙන් ඒ තත්වේ හොදටම වැඩි වෙලා, සෝමදාස කිව්ව දේ ගැනවත් ඒ තරං නිච්චියක් නැතිව ඔළුව වෙන කොහේදෝ ගාටන බවක් තමා පෙනුනේ.. තත්පර ගානක් ගියත් හේතුතු වෙච්චි බරාදෙට තිබ්බ බර අයින් නොරකපු හින්දා සෝමදාසට කේන්ති ගියා.

“ඈ බං බොන්ඩියේ.. බොට මං වතුරෙකක් අරන් වරෙන් කියලයි කිව්වේ“ තමන්ගේ ගෑනිගේ තත්වේ තේරුං ගත්ත, සෝමදාස බොහොම ආදරෙන් කිව්වා. ඒ ආදර බසට අවනත වෙච්ච නන්දා, කට පිරෙන්නම වතුර බෙලෙක්කේ අරන් ඇවිල්ල, සෝමදාසට දුන්නම ඒ තරං වතුර කන්දරාවක් ගෙනේවි කියල සහසුද්දෙන් දැන නොහිටි සෝමදාස එක පාරටම ඒකෙන් ටිකක් කට පුරාම ඉහිරවගත්තම, බුලත් කෙල පාර කටෙන් හේදිලා රතු පාටට නිකට දිගේ ගලාගෙන ගිහින් ඒක මවිල් වලින් පිරිච්චි පපුවට වැටෙන හැටි නන්දා බලන් හිටියේ කිසිම හැගීමක් නැතිවයි. 

“යකෝ තව ඩිංගෙක් වතුරෙක ඉස්මොල්ලෙ යනවා. ඉහින් කනිං බේරෙන්නම වතුර කෝප්පෙට දාලා ගේනවා. මෝඩ ගෑනි“

“ඉතිං ඔහේ කෝප්පේ ගත්තම බලන්ට එපායැ.. ඔහේ ඕනකමින් කරගත්තට මං මක්කරන්නෙයි“

“කටවහ ගනිං මෙතන.. මගේ රැවුල පත්තු වෙලා ඉන්න වෙලාවේ උඹ එනවා තව වද දෙන්න“

එහෙම කියාගෙන කැහිපට ගහපු සරමේ උන්ඩි කරල තියාගෙන හිටිය බුලත් ඩිංග අරගත්ත, සෝමදාස, බුලත් කොළ දෙකක් මැද්දට, හපලා කෑලි තුනට කඩාගත්ත පුවක් ටික දාලා, පැත්තකින් තිබ්බ හුණු ඩිංගක් ඇගිලි දෙකෙන් අරන් බුලත් කොළේ උඩින් තියල, ඇගිලි දෙක පිහිදල දැම්ම සරමෙන්. ඊට පස්සේ දුං කොළ කෑල්කුත් අරන් ඔක්කෝම මිටියට ගුලි කරල අරන් එක පාරටම කට පුරවගෙන ලොබු කටෙන් ඒක හප කරන්න ගත්තේ, කොනේ තියෙන බදාම ගියපු සිමෙන්ති පඩිය උඩින්. කකුල් දෙකත් පද්ද පද්ද අත් දෙක සිමෙන්ති පඩියේ දෙපැත්තෙන් තියාගෙන සෝමදාස බුලත් හපේ පිහිටෙන් වෙන ලෝකෙකට පියාඹල යනව දැක්කම, නන්දා කොහොමත් එතැනින් එහාට සෝමදාසත් එක්ක සිහින ලෝකෙට යන්නේ නෑ. කෙලින්ම යනවා කුස්සියට. ආයේ ගිනි පිඹින්න.

යසපාලයා, සෝමේගේ හොදම යාළුවා. දෙන්න එක්ක කඩ මැද්දට ගිහිල්ල, හැන්දා කරේ කසිප්පු අඩියක් හෙම ගහල තමන්ගේ වගා කටයුතු ගැන හෙම කතා බහ කොරල, කියල රෑ ජාමේ වෙන කොට ගෙවල් වලට යනවා. හැමදාම කරන මේ කසිප්පු වඩියට පින් සිද්ද වෙන්න, යසපාලයා සෝමේගේ බෙල්ලටම තොණ්ඩුව දැම්මා. ගමේ තියෙන හේන් වලින් වැඩිම ගානක් ආණ්ඩුවේ කැලෑ කපල වගා කරපු ඒවා. ආණ්ඩුවට ඉඩං වැඩි හින්දා වෙන්ටැති කවදාවත් ඒ මහත්තැන්ල තමන්ගේ ඉඩකඩං බලාගන්න කියල මේ ගම්මානෙට එක දවසක්වත් ඇවිල්ල නැත්තේ. ඒකෙන් මේකෙන් වේලිලා ගිය කැලෑ කපල, ගිනි තියල, කොහෙන් හරි කපාගෙන ආව ගිනීසීරියා දඩු ටිකෙන් තමන්ගේ මායිම් ලකුණු කරන්නේ හරියට අර පෘතුගීසිකාරයා ලංකාවට ඇවිල්ල කරා වගේමයි. මොන එකක්ද කාටවත් දැනෙන එකක්යැ. .තමන්ගේ හිතුමනාපෙට ඉඩකඩ වෙන් කරගන්න එක නෙව තියෙන්නේ. යසපාලයා, සෝමේගේ හේන් කෑල්ලට හූවක් විතර එපිටින් කොටාගෙන ඉන්න හේනට, සෝමදාසගේ අයිතිය පෙන්නන දඩු වැටේ ඉදලම අයිතිය තියෙන්නෙත් යසපාලයටම තමා. ඒත් සෝමෙගේ හේන් කෑල්ලේ ඉදල යසපාලගේ හේන් කෑල්ලට යනකං තියෙන එක බූසියට වැවිච්ච කැලෑ ඩිංග කපල දාන්නේ නැත්තේ වෙලාවක් නැති හින්දයි කියල තමා, මිනිහ නං කියන්නේ. 

ඔය හේතුව හින්දා ගමේ උන් පොඩි ආරෝවක් තියාගත්තේ තමන්ගේ හේන් කෑල්ලට ගිනි තියන්න බැරි වොලාවට තමා. එතකොට යසපාලය ඇවිත් මායිමෙන් අඩි හය හතක් විතර කැලේ සුද්ද කරල දැම්මත්, එතැනින් එහාට නං කැලේ සුද්ද කරන්න අම්ම මුත්තේ කිව්වත් කටයුතු කරන්නෙම නෑ. 

සෝමේ වවාගත්ත බවබෝග ටික විකුණල කරල හොයාගන්න පනං හතරෙන් දරුවෙක් මාල්ලෙක් නැති ජෝඩුව කාලා බීල හිටියට, යසපාලය ගමේ කරන වැඩ වල හැටියට සෝමෙ ගේ හිතෙත් යාළුවා වෙච්චි යසපාලය ගැන ඉරිසියාවක් තිබුනා. කොහොම උනත් නැති බැරි වෙලාවට කස්ප්පු වඩිය හිටං අරන් දෙන යසපාලයගේ පැවැත්ම ගැන, ඉරිසියා හිතන එක සෝමේ හැන්දෑව වෙන කොටම හිතින් අතෑරල දානවා.

තව ටිකකින් ගිහිල්ල ගස් කොලං ටික සුද්ද බුද්ද කරල දාන්න හේන පැත්තට ගාටන්න ඕනය කියල හිතාගෙන තමන්ගෙම මනෝ ලෝකේ ඇවිදගෙන හිටිය සෝමදාසට ගේ කඩුල්ල හරියෙන් ඇහුන සද්දෙත් එක්ක විගහට පොළවට අඩිය තියන්න උනා.

“සෝමේ අයියේ, සෝමේ අයියේ“

“මොකෝ බං සේතෝ.. බෙරිහන් දෙන්නේ..“

“උඹ දන්නවැයි අයියේ ඊයේ රාත්තිරියේ වෙලා තියෙන සන්තෑසිය“

“මොකක්ද අර මගේ හේන චප්ප කරපු එකද උඹ කියන්නේ“

“අනේ උඹේ මගුල... ඊයේ රාත්තිරියේ පොලෝසියෙන් ඇවිත් යසපාලය, කුදලං ගිහිල්ල“

“මොකෑ කිව්වා.. යකෝ ඌ මාත් එක්ක නේ රාත්තිරි ආවේ කඩ මැද්දට ගිහිල්ල“

“ඔව් බං.. ඒ ආවට පස්සේ තමා“

“ඉතිං මක්කටෙයි කුදලගෙන තියෙන්නේ මේකව“


සෝමදාසගේ ළගටම ආපු සේතං, කටට අත තියල, අත සෝමදාසගේ කනේ වදින ගානට ආවම මෙහෙම කිව්වා.

“මොකටවත් නෙමෙයි බං.. ඌ හේනේ කංසා වවලලු ගජරාමෙට. ඔත්තුවකටලු ඇවිත් තියෙන්නේ“

“ඇත්තෙයි බොල.. අපි ඒවා දන්න එකක්යැ බං.. “

“පොලෝසියේ උන්දැල උඹේ හේන උඩින් තමා ගිහිල්ල තියෙන්නේ.. පනහක් විතර ආවයි කියන්නේ.. ලොකු ලොරියක. ඒක කඩ මැද්දට ත් ඩිංගක් එහායින් තමා ගාල් කරල තියෙන්නේ..“

“ඔව් බං මගේ හේන චප්ප කරල තියෙන්නේ උන්දැල තමා. මොකෑ කරන්නේ බං.. දැං ඉතිං ආයේ හේන කොටල කරල ගන්න එපායැ.“

“ඈ බං සෝමයියේ. උඹේ ගජයා වෙචිචි කොට යසපාලයා.. බොට ඔය ගැන කෙලබිංදුවක් වත් හැලුවේ නැත්ද“

“ආ... නෑ... නෑ.. ඕකා මට මොලෝ දෙයක් කියල නෑ.. අනික බං මම යසපාලගේ හේනට ගොහිල්ලවත් නැති කොට මං කොහොමෙයි ඕව දන්නේ... උඹ පලයං.. මාත් හේනට ගොහින් එන්න කියල හැදුවේ“


සේතං ගියාම, ආයේ පඩි පෙල උඩින් වාඩි වෙච්චි සෝමදාසට තමන්ගේ හීන ලෝකේ පුරාම පෙනුනේ. යසපාලයගේ එක හුස්මට උඩට වැවිල තිබ්බ කංස හේන..

ප.ලි/ මේ ටිකේ තිබ්බ වැඩ රාජකාරි හින්දා බොලා ලියපු බයිල වැඩිය ටියුන් කරන්න ලැබුනේ නෑ.. ඒ ගැන අහිතක් තියාගන්න එපා යකුනේ..

Friday, July 19, 2013

ජාතික ගීය ගණිකාවක්ද??

ඊයේ රාත්තිරියේ දේශකයා ගෙදර එන කොට මහ රෑ උනා නෙව. එහෙම ඇවිල්ල පැටව් දෙන්න නිදි නිසා, ටීවී එක දාගත්ත විතරයි, විනාඩි දෙක තුනක් වත් යන්න නෑ, මීයෙක් කෙදිරිගාගෙන වගේ ටීවී එකෙන් සද්දයක් ඇවිත්, “ශ්‍රී ලංකා“ කියල ඇහුන විතරයි තුක් නොදොමකින් කියල මම ටීවි එක වහල දාලා ඇදට පැන්නා. අනේ අම්මප ජාතික ගීයට ගිය කලක්.

ඒ දවස් වල සංගීත සංදර්ශන තිබුන නෙව නහුතෙට අපි ඉස්කෝලේ යන කාලේ. පාර පුරා ලයිට් දාලා, සද්දෙට සිංදු ඇහෙන පිට්ටනියට අපි යන්නේ අන්තිම සින්දුවත් අහල එනවයි කියල හිතාගෙනමයි. දවල්ට ඉස්කෝලේ ගියාට අපි රෑට ඉස්කෝලේ යන එකක්යැ. ඒක නිසා රෑට බාර් එකට ගිහිල්ල පොඩ්ඩක් සප්පායං වෙලා කුඹුර හානවා එළිවෙනකම්ම. ඔය සන්දර්ශනේ ඉවර වෙනවයි කියල පළවෙනි මැසේජ් එක එනකොටම අපි රෂ් එක මගඅරින්න බාගයක් දුරට ඇවිල්ලත් ඉවරයි. ඒත් අන්තිම සින්දුවේ “ශ්‍රී ලංකා“ කියන කොටම ගාල කඩාගත් කුළු හරක් රොත්තක් වගේ හැමෝම කඩි මුඩියේ පිට්ටනියෙන් එළියට එනවා. පාළු පිට්ටිනියේ තනකොළ ටිකටවත් සීරුවෙන් හිටගෙන ඉන්න විදියක් නෑ අඩුම ගානේ. ඇයි මේ කාඩයෝ තණකොළ ටිකත් පාගල පාගල චප්ප කරල නෙව තියෙන්නේ. ඔන්න ඕකයි ජාතික ගීයට ගිය කල. 

ඉස්කෝලෙත් උදේ පාන්දරම තියෙන රැස්වීමෙදි ජාතික ගීය ගායනා කරනවා. මාත් ඒ දවස් වල සංගීත කණ්ඩායමේ මී කතුර (වයලීන්) වාදනය කරා. ජාතික ගීය කියල කියලම දහය එකොළම වසර වෙන කොට කටවත් ඇරෙන්නේ නෑ.. ඒ තරම්ම කට හොර වෙලා. මොන සීරුවෙන් ඉදිල්ලක්ද? මේ මලදානේ මොන වෙලාවේ ඉවර වෙනවද කියල හිතින් බැන බැන ඉන්නේ. අපි ජාතික ගීයට ගරු කරන්නේ එහෙම තමා.

නිකං ඉන්න වෙලාවට “ශ්‍රී ලංකා මාතා. උගේ අම්මට මම ඇරියා“ වගේ සම්භාව්‍ය ගීත එහෙමත් කියල අපි ඒකට තියෙන ගෞරවේ වැඩි කරා. ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ රැස්වීම් වලදියි, ශිෂ්‍ය නායක රැස්වීම් වලදියි ඔය ගැන නිතරම කතා උනා. ළමයි ජාතික ගීයට ගරු කරන්නේ නැතෙයි කියලා. කොහේ ගරු කරන්නද? අපේ හිටියා ජිමා කියල සර් කෙනෙක්. මිනිහා හැම වෙලේම තඩි වේවැලක් අතේ තියන් යන්න පුරුදු උනා. මිනිහා ඕක උරුක් කරල ළමයි බය කරාට කාටවත් ගැහුවේ නෑ. ඒක නිසා අපි තේරුං ගත්තා, ඔය වේවැල තනිකං දෝසෙට අරං යන එකක්ය කියලා. ඒකෙන් මේකෙන් අහිංසක වේවැල තිබ්බ ගෞරවෙත් නැති උනා, බයත් නැති උනා. වේවැල ජිමාගේ අතේ කොච්චර වේව්ල වේව්ල හිටියත් එක කොල්ලෙක් වත් ඒකට බය උනේ නෑ. අන්තිමට ජාතික ගීයයි, වේවැලයි එක සමානයි.

ජාතික ගීය කියන්නේ යම් කිසි ජාතියක් තමන්ගේ ශ්‍රෙෂ්ඨත්වය විදහා දක්වන්නට, ජාත්‍යාලය හදවතේ පුරවගන්න තියෙන බොහොම බලගතු ගීතයක්. එහෙම ජාතික ගීය ගණිකාවක්ගේ තරමටම දැං වැටිල තියෙන්නේ. පහලම දේශපාලන කක්කුට්ටගේ ඉදල, ඉහලම තල්මහ දක්වාම පුක තියාගන්න ටකරං මඩු වල, මිනිස්සු වටවෙන රැස්වීම් කියල අපි කියන ඒවගේ, මොන විදියෙන් හරි ජාතික ගීය කියනවමනේ මහ සද්දෙන්. ඒ වෙලාවට බීපු ඈයෝ කොහේ සීරුවෙන් ඉන්නද? බොරුවට දගලනවා උනාට ජාතික ගීයේ තියෙන වටිනාකමක්වත් මේ යක්කු දන්න එකක්යැ.

අපිටය කියල ජාතික ගීයක් ඉස්සෙල්ලම කිව්වේ ඔය 1949 තිබ්බ ජාතික නිදහස් උත්සවේදි තමා. එතකං අපිත් “රැජින රැකේවා“ (‍God Save the Queen) කියන එංගලන්තේ ජාතික ගීය තෙපර බබා හිටිය ජාතියක් නෙව අපි. සමරකෝන් මහත්තයා ඉස්කෝලේ උගන්නද්දි ඒ ළමයින්ගේ ජාතිමාමකත්වය ඉහල නංවන්නෙයි කියල ලිව්ව කවියක් තමා අන්තිමට අපි ජාතික ගීය විදියට බාර ගත්තේ. 1978 සීයගේ ව්‍යවස්ථාවෙන් ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුලත් උනා. හැබැයි ඒකට තියෙන නෛතික අයිතියක් පමණක් ඉතුරු වෙද්දි ජාතික ගීය, එකම බයිලාවක් වී හමාරයි ලංකාවටම. දැං මොන එකාද ජාතික ගීය හැගීමෙන් ගායනා කරන්නේ. ජාතික ගීයේ අවශ්‍යතාවය තියෙන්නේ ඔන්න ඔලිම්පික් මෙඩැල් එක දිනපු සුසන්තිකා හින්දයි, වර්ලඩ් කප් ගත්ත අර්ජුන ගොයියගේ කට්ටියයි හින්දා තමා. ඒකත් මොලෝ රහක් නැති සින්දුවක්ම විතරක් වෙන්නේ බැරි වෙලා හරි ඔය දෙකම ලංකාවේදි ගත්ත නං. ඇත්තටම ලංකාවේ ඉන්න උන්ට ජාතික ගීය ගැන කිසිම හැගිමක් නෑ. ඒක වැදගැම්මකට නැති සිම්බෝල් එකක් ගානටයි දාලා තියෙන්නේ. හැබැයි පිටරටකට වෙලා ඉන්න කොට නං ඔන්න “ශ්‍රී ලංකා මාතා“ කියල ඇහුනත් ඇගේ මවිල් කෙලින් වෙනවා. ඒත් ලංකාවට ආවම ඒ තත්වේ වෙනස් වෙනවා.

මොකක්ද හේතුව.. වෙන මොකක්ද ඉතිං බල්ලටයි කොල්ලටයි, නරියටයි හැම එකාටමයි කිසිම බාධාවකින් තොරව ජාතික ගීය ඉබින්න දීල තියෙන එක තමා. මුන් දන්සැල දෙන්න කලිනුත් ජාතික ගීය දානවා, දහම් පාසල පටන් ගන්න කොටත් ජාතික ගීය දානවා. දැන්නං ඉස්කෝලේ ජාතික ගීය සතියට දවසයි කියන්නේ. ටීවි එක ඉවර උනාමත් ජාතික ගීය දානවා. රේඩියෝ එකත් එහෙමයි. මොකෙක් හරි ආවත් ජාතික ගීය. හැම එකාටම රමණය කරන්න දීපු මේ ජාතික ගීය දැං විකාරයක් වෙලා හමාරයි. අපි ජාතික ගීයේ දෙමළ ප්‍රකාශනය කරන්න ඉඩ දෙන්නෙත් නෑ, ව්‍යවස්ථාවෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන සලසලා තියෙන එකේ. මුං අහන්නේ මොන රටේද ජාතික ගීය බාසා දෙකකින් ගායනා කරන්නේ කියලයි. මෝඩ යක්කුනේ.. බාසා දෙකකින් නෙමෙයි දුසින් ගානකින් කියන ජාතින් පවා ඉන්නවා. ඉන්දියාව ඒකට උදාහරණයක්. බෙල්ජියමේ, කෙන්යාවේ, දකුණූ අප්‍රිකාවෙත් එහෙමයි. බාසා කිහිපයකින් ම ගායනා කරනවා.

මොන හේතුවකට හරි මට නං ජාතික ගීය මගේ ජාතිකාභිමානය නංවන්නේ නෑ. මම දන්න තරමින් ටීවි එකේ ජාතික ගීය යන කොට අපේ පොඩි එකෙක් වත් බලෙන් හිටවන්න බෑ. උන්ටත් ඒක සිංදුවක් විතරයි. පාරේ යන එකෙක් ජාතික ගීය ඇහුනයි කියල පාරේ හිටගන්නවද නෑනේ. එහෙනං මොන මගුලකට, ලංකාවේ තියෙන හැම උත්සවේටම ජාතික ගීය දාන්නේ. ඒකෙන් ජාතික ගීය ගණිකාවක් වෙන එක විතරයි වෙන්නේ. ව්‍යවස්ථා අරව මේවා මොකක් හරි මෙව්ව එකක් කරලා, ජාතික ගීය අත්‍යාවශ්‍යම ජාතික අවශයතා පමණක් වාදනය කරා නං අහවරනේ..නේද??

Tuesday, July 16, 2013

ජනේලය (බිල් ගේට්ගේ නෙමෙයි)

හීනයක් විදියටම හැමදාමත් තියෙන එකම දේ, මම දකින පාර අයිනේ තියෙන, තට්ටු දෙකේ ගෙදර තියෙන ජනේලේ තමයි. උදේට පාරට බැස්සම අඩි දෙතුන්සීයක් යනකං ම හිත හිත යන්නේ ඒ ජනේලේ ගැනමයි. ඒ අඩි දෙතුන්සීය ඉවර වෙන කොට ඔන්න මට පේනවා සුදු පාටට බැබලෙන බිත්ති එක්ක, හොදට පොලිෂ් කරපු කොස් දොරවල්, ජනෙල් හෙම දාලා තියෙන, අළුත්ම පන්නයේ වැහි පීලි දාලා, වහලෙත් කොළ පාට ගාලා තියෙන ලස්සන ගෙදරක ජනේලය ඇරල තියෙන විත්තිය. ඒ ජනේල් පළුව අස්සෙන් යන්න බැරි වෙලා තිබ්බ හුලග, සුදු පාට ලේස් වලින් කරපු ජනෙල් රෙද්දත් ඇදගෙන විටින් විට එතැනින් යන කොට තමා මම දන්නේ ජනේලේ ඇරලය කියල.

මොන විදියෙන් හිතුවත් ඒ හැගීම වලක්වගන්න බෑ. ජනෙල් රෙද්ද එහාට මෙහාට වැනෙන විදියට මගේ හිතත් එහාට මෙහාට වැනෙනවා. බලනවද නැත්ද කියලා. අන්තිමේ බලනවද කියන එක පැත්තට හිත බර වෙන විත්තිය හිතටත් හොරා ඇස් දෙක දකිනවා. 

කවදාවත්ම මේ වගේ හුලගක් හමල නැති මගේ ජීවිතේ, ඒ ආසාවෙන් ආකූල වෙලා ගිහින් තියෙන්නේ හරිම කරදරකාරි විදියට. ඇහැ දුවන මේ ජනේලේ මගේ ජීවිතෙන් මොන වෙලාවෙවත් අයින් කරගන්න හිතෙන්නේ නෑ. බස් එකේ ගියත්, තාර පිච්චෙන පොළවේ අඩිය තියල ගියත් හිතින් ඒ ජනේල් රෙද්ද හුලගට පැද්දෙනවා මට පේනවා. ජීවිතේ එකම බලාපොරොත්තුවක් වත් නැති මං වගේ එකෙකුට හෙට වෙනකං ජීවත් වෙන්න මේ බලාපොරොත්තුව විතරක්ම ඇති කියල දැං හිතෙන්නේ, මේ පහුකරන් යන අඩි තුන හතර මගේ ජීවිතේ ඊළග පැය විසිහතර තිස්සේම මාව ජීවත් කරන හින්දයි.

රස්සාවක් කියල එහෙමකට දෙයක් නැති මට, ඉන්න හිටින්න කියල ගෙයක් දොරක් නැති මට, උඹ කෑවද කියල අහන්නවත් එකෙක් නැති මට, ආදරේ කියන්නේ විකාරයක් වගේ පෙනිච්චි මට මේ සුලග හරිම හිතවත් හැගීමක් අරන් ආවේ දැං ටික දවසට කලින්, ඒ හුළගට පැද්දෙන කෙහෙරැල්ලෙන් ඇගේ මුහුණ වැහුණු වෙලාවේ ඉදලයි. ඒ වෙලාවේ ඇය දිහාම බලාගෙන උලමෙක් වගේ උඩ බලාගෙන ගියපු මං දිහා බලපු ඈ... කොණ්ඩේ දකුණු අතින් හෙමීහිට පස්සට කරගෙන බිම බලන කොට මම ඇසුයි කටයි ඇරං ඇය දිහා බලං ඉන්න විත්තිය දැකල,, දෙයියනේ මට විරිත්තුව නෙව ඇගේ ඇස් පොඩි කරල. ඒ ඇස් දෙක මිරිකිල, දෙහි ගෙඩියක් වගේ චිරිස් ගාලා විසිරෙච්ච ඒ හැගීම මගේ හිතේ චස් ගාලා වැදුනේ ආයේ ඒක හිතෙන් අයින් කරගන්න බැරි වෙන්මයි.

ඊළග දවසෙත් හුලගට පැද්දෙන ජනෙල් රෙද්ද අතරින් ඇය පාර දිහා බලන් හිටියා. අර වගේ උඩ බලපු මං දිහා ඇස් විසල් කරන් ඇය මාව දකින්න උත්සාහ කර විදිය තවමත් මාව හිරි වට්ටවල දානවා. ඔව් ඇය වගේ සුකුමාර තරුණියක් මේ මං දිහා බැලුවම වෙන්ටැති. ඇය දන්නවනං මං මොකෙක්ද කියලා. ඇත්තටම මට ඇති හීන මානයක් නෑ.. සිකුරුයි ඇය ආයිත් නං පාර දිහාවත් බලන එකක් නෑ. අත් දෙකෙන් මොකද කියල ඇහුවම මට දෙන්න උත්තර නෑ.. එහෙම නෙමෙයි මගේ අත පය දරදඩු වෙලා ගිහින්. කකුල් දෙක විතරක් මනෝ විකාරෙන් ඇවිදිනවා මගේ ඇහයි, හිතයි ජනේලේ ගාවම තියාගෙන. ඒත් මම ගියා. මට කිසි දෙයක් කරන්න බැරි උනා. අඩු ගානේ අතක් වනන්නවත්.

අද කිසිම විදියකට අඩුපාඩු නොවෙන්න මම හොද හැටි හිත ගල් කරන් එළියට බැස්සේ, සුමති අයියා මොන තරං කුනුහරුප කිව්වත් අද නං මිනිහගේ බේකරියට වතුර අදින එක පරක්කු වෙන එක වෙනවාමයි කියන එක හිතාගෙනයි. ඒ එක්කම කවදාවත් නැතිව මම කඩේට ගිහිල්ල උදේම නෙස්ටමෝල්ට් එකක් ගහල සල්ලි දීලා ඉල්ලුවෙත් මගේ ඇගට හයියක් දෙන්න කියලයි. අද නං මම කකුල් දෙකට ඉඩ තියන්නෑ මාව රවට්ටල ඉක්මනට එතනින් අරන් යන්න. ඔව් කිසිම විදියකට අත් දෙක ගල් වෙන්නවත් මං ඉඩ දෙන්නෑ. රට්ටු ඕන දෙයක් කියපු දෙන්, මම ජනේලේ ගාවම පාරේ නතර වෙනවා. ඈ මට දාන අගර දගර වලට මම අනිවා. ඇයට අතින් උත්තර දෙනවා. ඇයි මගේ ලස්සන ලොකු ඇස් දෙක.. මැට්රික්ස් එකේ නියෝගේ වගේ මයි කියල මට හිතුනේ ඒ පිල්ම් එක බලපු දවසෙමයි. ඔව් ඒ ලොකු ඇස් දෙකටත් කතා කරන්න පුළුවන්. මෙච්චර දවසක් ඒවා රස හොයන් ගියත්, ආයේ පහු බහින්න උනේ, රස තියෙන තැන් ඇස් දෙක එන එක වලක්වපු නිසා නෙව. මේ පාර කොහොමද ඒක වෙන්නේ.. මට චෑන්ස් එකක් තියෙනවා.. ඈ එක්ක හිනාවෙන්නත්. මට මොකක්ද කරන්න බැරි.. ඔව් මම ඕන දෙයක් කරනවා.. ජනෙලෙන් මගේ දිහා බලන ඇයට මම විරිත්තනවා. මොකෑ කියන්නේ එහෙම හොදද, මගේ හිත මටම වලංගු නෑ..

ලක ලැහැස්ති වෙලා හෙමින් හෙමින් පාර දිගේ අඩිය තියල ආපු මම ළගට යනකම්ම ඒ දිහා නොබලන්න තීරණය කරේ බැරි වෙලා හරි මම එන දිහා බලන් හිටියොත් හෙම ඈ.. ඔව් ඊට හොදයි ළගට ගිහිල්ල එක පාර බලනවා චකබලාස් වෙන්නම. එහෙම හිතන් ගියපු මම සුර ලෝකෙක මල් වලට අඩිය තිය තිය ගියා වගෙයි හිතුනේ. ම්.. ම්. දැං කිට්ටුයි. ඔය එන්නේ ඇගේ සැන්ට් සුවදෙයි.. ඔව් ඒ වගේ තමයි. දැං තමා හොදම වෙලාව උඩ බලන්න.. මට හිතෙනවා ඇය රෝස පාට ගවුමක් ඇදගෙන නිකටට අත තියාගෙන කොණ්ඩේ හුලගට පැද්දි පැද්දි පාර දිහා බලාගෙන ඇති කියල. ඒ හැගීමම මට හරි සුවයක් ගේනවා. ඒක එහෙමයි. ඔව් ඔන්න මම දැං උඩ බලනවා.. 

මොනවා.... ජනේලේ වහල.. අයියෝ උදේට කන්න තිබ්බ සල්ලි ටික. බීපු නෙස්ටමෝල්ට් එක... සුමති අයියා. වතුර බක්කිය.. බාල්දිය.. බක්කරේ අයියා ගාව තියෙව වතුර ටැංකිය. කකුල් දෙක ඒත් යනවා. හිත නවතිනවා. ඔව් හෙට කියල දේකුත් තියෙනවා.. මොලේ එහෙම කියනවා. ඒත් ආයිත් අර චක්කරේමයි.. උදේට කන්න තිබ්බ සල්ලි ටික....

Monday, July 15, 2013

ගැරඩි දේශකයා!!

කලින් දාපු පිස්සු විකාරෙට බැනුං කෝටියයි. ආයේ ඒ වගේ ගොං ඒවා හිතන්නෙවත් නැතිය කියල දැං හිතාගත්තා. ඒ උනාට සති දෙකෙන් ඒක අමතක වෙන්නත් ඉඩ තියෙනවා. දේශකයා කියන්නේ බොහොම වැදගත් කෙනෙක් හින්දා ඔය වගේ දේවල් ලියන්න එපායැ කියල මගේ බොහොම හොද සහෘදයෙක් කියල එවලත් තිබුනා. අනේ ඉතිං මක්කොරන්නද වයසට කල්පනාව අඩුයි නෙව.

කලින් එකේදි මෝංගල් ගොරු දරුවෙක් වෙන්න හැදුවා. හැබැයි දැන්නං ගැරඩියෙක් වෙන්න හදන්නේ. මොකද කලින් වතාවක (සිරිපා වන්දනාවේ යන ගමන්) අපේ අයිලාෂ් උන්දැ අහල තිබුන මොකද බොට ගැරඩියා කියන්නේ කියල.. ආ.. කතාවේ සුට්ටක් දාන්නංකෝ බලාගන්නත් එක්ක.

මුගේ වචන ටික විස්වාස නොකරත් වෙන කරන්න දෙයක් නැති හින්දා උගේ පස්සෙන් වැටිල සාම චෛතයයෙන් දකුණු පැත්තට අපි ගියාම එතැන තියෙනවා කෑම කඩයක්. අපි එකා දෙන්න කඩේ ඇතුලට ඇදෙන කොට ඇතුලෙන් මේසේ ගාව ඉන්නා එකා බෙරිහන් දෙනවා. 

අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට

බැලින්නං යකෝ මේ අපේ ගමේ හොද බොක්කක් නෙව. මූ අපේ යාළුවා උනාට අපි කාටවත් මතක තිබ්බේ නෑ මේකා සිරිපාදේ කාලේ මෙහාට මංගච්චනවා කියන එක. හැබෑ නේන්නං මුගේ කඩේ මෙතන තියෙන විත්තියක් මටත් කලින් කියල තිබුනා. ඉතිං මදෑ කොම්බුවා ඕනයැ අපිට මුගෙන් කන්න. 


ඔන්න ඔය සීන් එක නිසා තමා මොකද මේ දේශකයා ගැරඩියෙක් උනේ කියල අයිලාෂ් ඇහුවේ. මඩක් උනාට කමක් නෑ ඕං ඒකට උත්තරේ දෙනවා හරිය...

මම එකොළහේ ඉන්දේදි, (හැබැයි අවුරුදු තුනක් තිස්සෙම) ඉංග්‍රිසි පන්තියකට ගියා. ඒක ඉංගිරිසි පන්තියක් කිව්වට එහෙමම එකක් නෙමෙයි හැබෑම වදකාගාරයක්. එක දවසක් හරි ඔය ක්ලාස් එකට ගියොත් දෙයියනේ කියල අයිං වෙනවා බොරු. පන්තියට ළමයෙක් ඇතුල් කරන්න නං අම්මා එන්න ඕන. ඇවිල්ල සර්ට වැදල වගේ කියන්න වෙනවා දරුවව පන්තියට ගන්නෙයි කියලා. හැබැයි ඔය විස්තර සේරම ගෙදරට යන පාර ඉදං සර්ගේ පරණ කොහුවෙච්චි ඩයරියේ ලියාගන්නවා. ලියාගෙන ඔක්කෝම ඉවර වෙලා, සර් ළමයගේ අම්මට මෙහෙමයි කියන්නේ.

“මම වෙලාවට වැඩ කරනවා. මොන දේ කරත් මට වැඩක් නෑ වෙලාවට එන්න ඕන. මම දෙන පාඩං කරන්න ඕන. ඒ විදියට කරන්න බැරිනං කනට දෙකක් ගහල එළවනවා. හැබැයි ඊට පස්සේ කුනු කුනු ගාගෙන එන්න එපා ඔහේලට මගෙන් කනේ පාරක් කන්න ආස නැත්නං. හරිනේ“

ඔය වෙලාවට ඉතිං අම්මල ගල් පිළිම වගේ කටේ කෙල හිදිල බොක්කේ ගින්දර පත්තු වෙන ගානට ඉන්නේ. සැරට කතා කරාට හරිම හොද සර් කාරයා.. එක දවසක් හරි පන්තියට නොගියොත් හැන්දෑවට ගෙදර ඇවිල්ල දෙමව්පියන්ගෙන් අහනවා මොකද ළමයා පන්තියට ආවේ නැත්තේ කියලා. බැරි වෙලා හරි ළමයා ගෙදර හිටියොත් සර් එනකොට අබ සරණයි. බැනුං කෝටියයි. දුවලත් හමාරයි..අහල පහල උන් තමා එතකොට කියන්නේ අනේ දරුවෝ ඔය පන්තියට වරද්දන්නේ නැතිව යන්න. මොකෝ අපිටත් කනක් ඇහිල ඉන්න විදියක් නෑ නෙව සර් බෙරිහන් දෙන කොට ගේ ඉස්සරහ ඉදගෙන කියලා..

අපේ පන්තිය තියෙන්නේ තුන්මං හන්දියක. සර්ගේ ගෙවල් තියෙන්නේ ඊට කිලෝ මීටර් තුනක් විතර එහායින්. බුෂ් සර්ට් එක ඇදල කළුපාට කලිසමට, පස්ස ඇරපු සපත්තු දෙකක් දාගෙන උසට හරියට මහතයි, ඒකටම හරියන බඩත් එක්ක, එයාගේ නිල් පාට ස්පෝට් පුට් සයිකලේ නැගල, අර හම්පඩ වෙච්චි ඩයරි දෙකක්ම කිළුටු වෙච්චි පටියකින් එකට ගැටගහල, ඒක ලැගේජ් එකේ දාගෙන බොහොම උජාරුවෙන් කොන්ද කෙලින් කරගෙන වට පිට බල බල තමා පාරේ එන්නේ.. කොහොම කරත් දවල් 1.30 ට පටන් ගන්න පන්තියට හරියටම 1.27 වෙන කොට ඇවිල්ල සාක්කුවට අත දාලා යතුරු කැරුල්ලක් අරගෙන සිලි සිලි ගාන ගමන්, හරි යතුර දාලා දොර දෙක දෙපැත්තට දෙබෑ කරලා, කකුලෙන්ම ගඩොල් කුට්ටි දෙක දොර දෙකට හේත්තු කරන සර්, පන්තියට ඇතුලට යනවා. එහෙම ගියාම එයාගේ මේසේ ගාව දෙපැත්තේ තියෙන ජනේල දෙක ඇරල දාලා, පුටුවේ වාඩි වෙනවා නේද, අන්න ඒ ගත කරපු විනාඩි තුන තමා අපට පන්තියට යන්න තියෙන අන්තිම චෑන්ස් එක. එයා හරි බරි ගැහිලා වාඩි වෙලා, පන්තිය සිසාරා බැලුමක් හෙලලා, ලවුඩ්ස්පීකර් කටෙන් “ඕකේ.. ලෙට්ස් ස්ටාට්“ කියල කියන්න කලින් ඕන එකෙකුට ඇතුලට එන්න දෙනවා පොඩ්ඩක් රවලා. හැබැයි ඒ තත්පර දෙකෙන් පස්සේ, සක්‍රයා කිව්වත් එකෙක් වත් පන්තිය ඇතුලට ගන්නේ නෑ. දෙකක් නෑ අඩි පොලවේ හප්පලා, “ගෙට් අවුට්“ කියල කිව්වම කොල්ලෝ බය වෙලා, උන්ගේ කකුල් තමා ඌට ඉස්සෙල්ල එතනින් දුවන්නේ. 

මටත් එහෙම වෙලා තියෙනවා. එතකොට කරන්නේ ඔය පන්තියට එහා පැත්තේ තියෙන පොඩි දෙබොක්කාවක් (බිත්ති දෙකක් අතර හිඩසක්) අස්සට වෙලා හේත්තුවක් දාගෙන පොත පෙරලං බල බල ඉන්නවා. නොමිලේ ඉගැන්වීම. ආයේ මොකෝ පන්තියට යන්න ඕන එකක්යැ.. එතැන හිටියම ඇති සර්ගේ සද්දෙට පන්තියේ ඉන්නවා වගේම ඇහෙනවා. අහලින් පහලින් පාරේ යන අය එක පාරටම වෙව්ලල බිරන්තට්ටු වෙනවා, සර් ළමයෙකුට බනින වෙලාවට. ඒක නිකං හෙනයක් කඩා පාත් උනා වගේ සද්දෙට ඇහෙනවා. ඒ වෙලාවට පාරේ යන උනුත් හොද එකෙන්ම බය වෙන හැටියට අපි කොහොම බය වෙන්න ඕනද පන්තියේ ඉන්න කොට.

හරි... ඉස්කෝලේ අරින්නේ 1.15 ට නෙව. පුට් සයිකල් කටුව අරන් පන්තිය ගාවට එන්න සාමාන්‍ය වේගෙන් නං විනාඩි 15 ක් වත් යනවා. විනාඩි 15 ට ගිහින් බැරි හින්දා හැටට හැටේ කොහොම හරි සර් කාරයා, ඈතින් එනවා පේන කොටම අපි පන්තිය ගාවට සෙට් වෙනවා. සර් බයිසිකලේ පඩි පෙලෙන් උස්සල අපි දිහා නොබල යන කොට අපි පෝලිමට දොර ගාවට වෙලා ඉදල තමා සුරුස් ගාලා ඇතුලට රිංගන්නේ. ඔය හේතු නිසා එක තත්පරයක් වත් අපතේ යවන්න ඉඩක් නෑ ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉදලම. බනිස් ගෙඩියක් හරි මොකක් හරි කලින්ම කාලා තමා අපි පන්තියට යන්න සෙට් වෙන්නේ.

මේ කියන දවසේ මොකක් හරි හේතුවක් හින්දා මට සිද්ධ උනා විද්‍යාව සර් එක්ක ලැබ් එකේ වැඩ වගයක් කරන්න පහුවෙනිදට තියෙන ප්‍රැක්ටිකල් එකකට. එකොළහට විතර පටන් ගත්ත මේක ඉවර නොවුනත්, ඉංගිරිසි පන්තියට යන්න ඕන හින්දා කොහොම හරි ඇරෙන වෙලාවටම පැනලා ආවා. එහෙම ඇවිල්ල තමා පන්තියේ වාඩි උනේ.

විනාඩි 10 ක් විතර ගියාට පස්සේ සර් ගාවට මගේ පොත පෙන්නන්න අරං යන වාරය. මම ගියා සර් ගාවට. පොත දීලා තත්පර දහයක් විතර හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා උන්න වෙලාවේ නැති අමාරුවක් ඇති උනා. 

අම්මේ.. මුත්‍රා බොක්ක පුපුරන්නටම කිට්ටු වෙලයි තිබ්බේ කියල හිටගෙන ඉන්න කොට තේරුනා. හත් ඉලව්වයි නෙව.. මම දහයේ ඉන්ටර්වල් එකෙන් පස්සෙම චූ එකක් දාලා නෑ නෙව. තියෙන අමාරුවටම මම ඇඹරෙනවා. ඒ අස්සේ වැරදිච්ච ස්පෙලින් එකකට සර් මට මේඝ ගර්ජනාව දානවා. ඒකෙන් අර අමාරුව තුන් ගුණයක් විතර වැඩි උනාම මට තේරුනා තව තත්පර තුනක් .හතරක් යන කොට කලිසම යටින් පළවෙනි චූ බිංදුව ගලන බව. ඇග පත හීතල වෙලා. ඒ එක්කම ඒක කියන්න විදියකුත් නෑ සර් බෙරිහන් දෙන විදියට මුන බලාගෙන. ඒත් කරන්න දෙයක් නෑ මම හෙමීට පස්සට පස්සට යන්න ගත්තා. මේක දැක්ක සර් මගෙන් ඇහුවේ,

තමුසේ මොකද ගැරඩියා වගේ ඇදෙන්නේ“ කියල මහ සද්දෙට. 

පන්තියේ උං ඔක්කෝම මං දිහා බලාගෙන. මට මොකෝ. තවත් වෙලාව නෑ “මට එළියට යන්න ඕන“ කියල මම හදිස්සියෙන් කිව්වම සර් මට යන්න කිව්ව. මම ගියා නෙමෙයි දිව්වා. දුවල ගිහින් අර දෙබොක්කාවට මගේ බර පවරල මම හෙමීට පන්තියට ඇවිල්ල සර්ගෙන් පොත අරගෙන ගිහින් පන්තියේ වාඩි උනා නේද, ඒ වාඩි උනේ දේශකයා නෙමෙයි ගැරඩියා. ඔන්න ඉතිං පුටුවෙන් නැගිටල ගියපු දේශකයා ගැරඩියෙක් වෙලා ඇවිත් වාඩි වෙලා, දිගටම ගැරඩියෙක්ම වෙලා හිටියා. ඔය මතකෙට තමා අර යකා මම දැකපු ගමන් අඩෝ ගැරඩි දේශා කියල කෑ ගැහුවේ.. 

Friday, July 12, 2013

මෝංගල් ගොළු දරුවා!!

බ්ලොග් සංගමේ රැස්වීමක්ද මන්ද, කට්ටිය මේස වට කරගෙන පස්සවල් ඇනතියාගෙන වාඩි වෙලා, එක එක විකාර කියව කියව ඉන්නවා. අවටින් හමන මද පවන, අව් රශ්මිය ඈතට අරන් යනවා. ටික වෙලාවකින් ආයිත් ඒකම වෙනවා. කොහොම උනත් සමස්ථයක් විදියට කූල් එන්වයරන්මන්ට් එකක් තමා තියෙන්නේ. එක මේසයක් වටේ ඉන්න කද බඩ ඇති, කෙට්ටු පහරනැට්ටෝ, තට්ටයෝ, රැවුල්කාරයෝ එකතු වෙලා එකම කතාවක්.

“ඒ බං අරු උඹට කතා කරල තියෙනවද?“ නලියා අහනවා අටමගෙන්.

“නෑ අයියේ.. ඕකා මට එස්එම්එම් දෙකක් නං“ අසෝක වීදුරුවෙන් එකක් හලාගෙන ටොක් ගාලා සද්දෙන් වීදුරුව මේසේ උඩ තියල, වම් අතේ පිටි අල්ලෙන් තමන්ගේ හැකර කට පිහිදන කං ඉතිරි වචන ටික නැවතිල, අනිත් උන් වීදුරු අතේ තියාගෙන, සමහර උන් ගෑනුන්ගේ බද අත ගාන තරං හෙමීට වීදුරුව අත ගගා අටමා දිහා බලන් ඉන්නවා අප්පිරියාවෙන් අරක ගිලල ඉවර වෙනකං.

“එවලා තිබ්බා.. එක පාරක් මම ඒ නම්මරේට කෝල් කරා කරා මිනිහා ඉස්සුවේ නැ. අන්තිමට මමත් එස්එම්එස් එකක් ගහල නිකං හිටියා.“ අටමා කතාව ඉවර කරේ සුදීක ගෙනාපු රෙඩ්බුල් එක තියේද කියල බලන ගමන්.

“ඒක තමා බං.. මටත් එස්එම්එම් එවල තියෙනවා“ නලියා කියනවා. ඔව් මිනිහත් අටමගේ ඉට්ටැයිල් එකෙන් ෂොට් එකක් දැම්මා.

“මාත් උඹ වගේම මුට අම්බානක ඒ නම්මරේට ගත්තත් මිනිහ උස්සන්නෙම නෑ නෙව.. බැරිම තැන මාත් මැසේජ් එකක්ම දාලා නිකං හිටියා“ කතාව ඉවර කරා නලියා..

“ඈ බං මටත් සෑහෙන්න මැසේජ් නං එවල තියෙනවා. සමහර ඒවා නං කුනුහරුප වගේ තේරෙන්නෙත් නෑ. හැබැයි මම නං කෝල් කරල නෑ. හැබෑට ඌ ෆෝන් එක උස්සන්නෙම නැද්ද“ වැනියා වැනි වැනි අහනවා.

“ඔව් කවදාවත් මිනිහා කෝල් එකකට ආන්සර් කරන්නේ නෑ. මං හිතන්නේ ඌ නාකියෙක් හින්දා අත වේවලනවා ඇති“ අටමා කියනවා. එක ඕසෙට ආපු හැක හැක හිනාවත් එක්කම අනිත් උන් කියනවා.

“හෙහ්. උගේ අත නෙමෙයි බං කට වේව්ලනවා ඇති බොන්නැති වෙලාවට ඒකයි“ හැලපයාගේ ප්‍රතිචාරය.

“අනේ නිකා හිටහල්ල.. ඌ ෆෝන් එක තියං ඉන්නේ වෙලාව බලන්න වෙන්ටැති.. හැක් හැක්“ වැනියා කියනවා.

“නැහැ බාංස්ලා, ඒකා කතා කරන්න ලැජ්ජා ඇති අපි වගේ පොරවල් එක්ක. ඔය අඩවි රජා පේන්නැතිද ඌ දෙකට ගනින්න බෑ වගේ නෙව ඉන්නේ ෆෙස්ටිවල් වලට ආවට. උන්ගේ කට තියෙන්නේ කීබෝඩ් එකේ විතරයි.. හැක් හැක්“

“උඹලට කියන්න මම එක දවසක් වොයිස් චැට් දාලා මූට කතා කරන්න කිහිප සැරයක්ම ට්‍රයි කරා“ අවටින් හාහුවක් ඇසෙද්දි හන්ටර් වෙච්චි සහන් දෙසාබානවා. (මිනිහනං එළොවටත් නැති ප්‍රංශ බීමද කොහේද බොන්නේ. ඔව් ඉතිං මිනිහා එළොවටත් නැති එකෙක් නෙව.) වටෙන්ම ඇත්තද කියල අහනවා.

“ඔව් ඒ උනාට එක පාරක් වත් මිනිහා ඒක් ඇක්සෙප්ට් කරේ නෑ.. පස්සේ ටයිප් කරල කියනව මිනිහට හෙඩ් ෆෝන් සෙට් එකක් නෑලු.. බලපං ඕවා පිළිගන්න පුළුවන්ද බං.. රුපියල් දෙසියක් විතර නෙව ඔය එකක් වෙන්නේ.. මාත් සෑහෙන්න ට්‍රයි කරා මිනිහත් එක්ක වචනයක් කතා කරන්න කොහේත්ම බැරි උනා.“

“හැබෑට බං උඹලට කතා කරල නැද්ද මේකා“ නලියා, අහන්නේ මාතලං, රාජ්, දේශ්, අහල පහල අර බාගෙට බ්ලොග් ලියන කියාගන්න බෑ, හිරු, පොඩ්ඩි හෙමත් ඉන්නවා.

හැමෝම නැහැ කියනවා හැබැයි චැට් කරල තියෙනවලු. ඔව් චැට් කියන්නේ ටයිපින් චැට්. මේ වෙලාවේ දෙකක් නමා ගත්ත රාජ් වැඩර් වගේ කතාවට සෙට් වෙනවා.

“අප්පට සිරි. මූ මාර සීන් එකක් කරානේ බං මට ළගදී. හැබැයි ඒ වැඩේ අනුව නං මිනිහා මොංගල් වගේ මට පේන්නේ.“

“මොකක්ද බං“ මාතලං අහනවා.

“මිනිහා මූනුපොතේ මාත් එක්ක දවස් ගානක්ම චැට් කරලා තිබ්බා.. මගේ බ්ලොග් එකටත් මූ කමෙන්ට් දානවා නේ. මම මේ අන්තිමට දාපු පෝස්ට් එකේ ස්ටේටස් එක මුණුපොතේ අප්ඩේට් කරල තියෙනවා දැකල මූ අහනවා මම රාජ්ද කියලා. හිටහල්ල චැට් බොක්ස් එක පෙන්නන්න“ කියලා රාජ් ලැපා අදිනවා. 

“ඔන්න බලාගනිල්ලා.. “

අම්මට හුඩු කිව්වලු. යකෝ මම දැන්නේ උඹ කව්ද කියල තේරුං ගත්තේ. අනේ බං මගේ මොලේ.. ගහන්න ඕන ගලේ.. ඇඩෙනවා බං මං වගේ මෝඩයෙක්.. උඹ කව්ද කියල මට හිතාගන්න බැරි උනා නෙව..
Tuesday at 3:20pm · Like · 1

මම Raj ඒ කියන්නෙ ...........?
Tuesday at 3:30pm via mobile · Unlike · 2

යකෝ මම මෙච්චර දවස් හිතං හිටියේ මේ කොහේවත් නැති රාජ්   කෙනෙක් ගැන නෙව. දැං තමා දන්නේ බං නවාතැනේ රාජ් බව.. ගහන්න ඕන බං මට.. හිහි
Tuesday at 3:32pm · Like · 1

මම Raj හෑ! එතකොට උඹ මාත් එක්ක චැට් කලේ? අයියෝ උඹල ආශ්‍රය කරන අපිටයි ගහන්න ඕන
Tuesday at 3:35pm via mobile · Unlike · 2

ඒක තමා බං කියන්නේ.. මට මාර අබිලික් වෙලා නෙව. සිරාවට බං. ආශ්‍රය කරන්න හොද නෑ තමා.. අයිම් අ ස්ටුපිඩ්..
Tuesday at 3:36pm · Like · 1

ගමන් මගේ මඟියා @ : - දැන් උඹ මම කව්රු කියලද හිතාගෙන ඉන්නේ බන්
Tuesday at 4:05pm · Unlike · 1

මේක බලපු සෙට් එකම මිනිහා මෝංගල් පොරක්ය කියල කිව්වා. ඒ අතරේ අර දැරිවියොත් කියනවා 

“ඔව් ඕකා හෙන කුකුලා වගේ අපේ පස්සෙන් එල්ලි එල්ලි චැට් කරන්න එන්නේ..මං හිතන්නේ නාකි කුකුලෙක් වෙන්ටැති හික් හික්“ කියලා කියාගන්න බැරි නංගි කිව්වම හිහි නංගිත් ඒකට එකතු උනා.

“මම නං ළගදි බැන්න හැකර කට වහගන්නෙයි කියල. ඔන්න ඩුඩ් අයියගෙන් අහන්න කෝල් එකක් දීලා එයත් බැනල තිබ්බා මූට ජෝකර් කෙනෙක් වෙන්න එපාය කියලා“

“ඇයි ඔයගොල්ලා මේ හාදයා ගැන කතා කරන්නේ ඔය තරං“ පොඩ්ඩි අහනවා අහවලාගේ කන අතගාන ගමන්. (වැලි තියේද කියල.. හැක් නයි වංගු අරන් නෙව ඇවිත් ඉන්නේ)

ඔන්න එතකොට අටමා තමා කතාව අවසන් කරන්නේ.

“නෑ බංස්ලා, අපි මෙච්චර වෙලා කතා කරේ මූ කතා කරන්නැති එක ගැන. කෝල් කරලත් කතා කරන්නැත්නං මොකක්ද හිතන්න වෙන්නේ.. ඌ ගොළුවෙක් බං. ඒකනේ ඔය සද්ද නැතිව ඉන්නේ..“

එතකොට රාජ් කියනවා.

“ඔව් බං මෝංගල් පොරවල් වලට කතා කරන්න අමාරුයි නේ. ඒක නිසා තමා මං හිතන්නේ මිනිහා කතා කරන්නැත්තේ. “

ඒ වෙලාවේ ආතල් එක කැඩිල යන්න ආසන්න නිසා, මාතලං බෙරිහන් දෙනවා. 

“යකෝ මේ ආතල් නොකා අපේ වැඩක් බලාගමු. ඌ ගොළුවෙක් උනා කියල අපිට පාංද.. වරෙල්ලා මේ හැලපයියගේ විස්කි එකට දිස්ටි කරන්න“

එතකොට ටිකක් ඈතින් එකෙක් මහ සද්දෙන් අත දික් කර කර ඔක්කෝටම බනින විත්තියක් පෙනුනා. කට්ටිය සද්දෙට ඇස් කරකවල බැලුවට ඇහුනේ එකම දෙයයි.

“බා.. බා.. බා.. බා...“

එහෙම කෑ ගැහුවේ දේශකයය කියල තමා ආරංචිය.

Tuesday, July 9, 2013

ඊටිං මීටිං

අපි කන හැටි ලිපා දනි කියල කිව්වට අපි බොන හැටි දන්නේ මොකාද කියල ඉතිං ගෙදර උන්දැලවත්, බදින්න කලින් නං අම්මලවත් දන්න එකක්යැ. ඒ විදියට බීල චොර කරගත්ත සීන් ගැන, දෙන්නෙක් එකම දවසේ තමන්ගේ බ්ලොග්කටු වල එල්ලන්ට කියල තමා කතා කරගෙන ඉන්නේ.  ඒක ගැන පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් මොකද, මටත් වැඩිය අනිකා ඒකට සුවර් පොර නිසා. කව්රුවත් නෙමෙයි, නිවාඩුවට සාජා ගිහිල්ල වාහනේ වැනි වැනි ඊළග දවසේ ගෙදරට එන අපේ ගමන් මගේ මගියා තමා අනිකා.

ඔය ආන්ඩුවේ කන්තෝරු වල තියෙනව නෙම හැම වෙලේම මීටිං. සමහර දවසට උදේ නමයට විතර පටන් ගන්න මීටිං පෝලිම සමහර වෙලාවට හැන්දැවේ හය විතර වෙනකම්ම ඇදෙන වෙලාවලුත් තියෙනවා. සමහර මීටිං තියෙනවා උදේට පටන් ගත්තම හවස් වෙනකම්ම ඇදෙන.

ඔය මීටිං වලට එන්නේ මේ අපි වගේ බයියෝ නෙමෙයි නෙව. සමහර එන උන් හිතන් ඉන්නේ උං සක්‍රයගේ අයියල මල්ලිල කියල තමා. උං එක්ක එන මාතලං ලත් (??මේ අපේ යකා නෙමෙයි) ඒ වගේම දෙවියන්ගේ පලු වගේ තමා හැසිරෙන්නේ.

හැම මීටිමක්ම පටන් ගන්න කලින් කරන වැඩ කිහිපයක් තියෙනවා.

1 කොනෆරන්ස් රූම් එක වෙන් කරවා ගැනීම
2 එන්නෙයි කියල ලියුං කරදහි යැවීම
3 ඔන්න ඕක තමා වැදගත්ම දේ... මොනවද දෙන්නේ කියන කාරණය

සාමාන්‍යයෙන් පැය භාගයක් විතර තියෙන පොඩි ටීඊසී (තාක්ෂන ඇගයීම් කමිටුවක්) නං මොනවද චීස් කෑල්ලයි, බිස්කට් දෙක තුකකුයි, ටී එකයි. ඒ චීස් මීටිම

හැබැයි මීටිම පටන් ගන්නේ දහයට කිට්ටු වෙලා නං ඔන්න කෑම ජාති වෙනස් වෙනවා. කේක් කෑල්ලයි, කට්ලට් එකයි, පුවාළු කෙහෙල් ගෙඩියයි, ටී එකයි. ඒ කේක් මීටිම.

සමහර ඒවා තියෙනවා එකොළහට විතර පටන් ගන්නවා. ඒවා ඔය වෙලාව දාගන්නෙම හොර හිතින්. මොකටද දොළහ වෙනකං අදින්න කියල හිතාගෙන. අන්න ඒ වෙලාවට මීටිමේ ඉන්න දිව්‍ය රාජපුත්තරයෝ ඔරලෝසු කරකව කව මීටිමේ ලේකම් දිහා බලන කොට ලේකම් දිවැස් තිබ්බ වගේ තේරුං ගන්නවා. දිව්‍ය රාජපුත්තරයන්ට කෑම තමා ඕන කියලා. ඒ වෙලාවට ලේකම් ට තියෙන්නේ තමන්ගේ ගෝලයට අත වනන එක විතරයි. හැක්.. කෑම ඕඩර් කරල ඕයි තියෙන්නේ. ඒක අරන් එන්න කියල විතරයි කියන්නේ. බලන්නකෝ මුංගේ තියෙන හොර හිත. තව ටික වෙලාවක් යනකොට නිලධාරි මට්ටමින්ම එතැන ඉන්න දිව්‍ය රාජපුත්තරයා ලේකම්ගෙන් අහනවා. “ආ. මිස්ටර් ලේකම්.. මේ මහත්තුරුන්ට ලන්ච් එක දෙමු නේද? එහෙම හොදයි නේද?“ කියල. අනේ මන්ද කවදාවත් නැති තරං කරුණාවෙන් අහන්නේ.

එතකොට ලේකම් නැගිටල හරිම ගැහෙන කටහඩින් කියනවා. “හරි සර්.. චුට්ටක් ඉන්න. දැනටත් කෑම අරන් එනවා ඇති“ කියලා. ඔන්න ඔය වෙලාවට තමා දිව්‍ය රාජපුත්තරයෝ ටික ඔක්කෝම කට ඇරල හිනා වෙලා, මාර විදියට ෆෝම් වෙලා මීටිම රත් කරන්නේ.. ඊට පස්සේ ඉතිං මොනවද, තියෙන හොදම තැනින් සෙට් මෙනු මික්ස්ඩ් ෆරයිඩ් රයිස් එකයි යෝගට් එකයි ලැබෙනවා. හරිම සන්තෝසෙන් කට්ටිය හිනා වෙවි කෑම කනවා. හැබැයි අනේ කෑම වෙලාව හින්දා මීටිම වෙන දවසකට කල් දානවා. මොකද කියන්නේ මේ මීටිමෙන් විතරක් කාලා හරියන එකක්යැ. තව මීටිං තියෙනව හවසට යන්නත්. මේ කෙහෙම්මල් කෑම කකා ඉදල හරියනවද? ඒවට දුවන්න ඕන. අන්න ඔය කෑම මීටිම

තවත් පොඩි මීටින් තියෙනවා ඔය බිඩ් ඕපනින් වගේ. මොලෝ රහක් නැති. මොකක්ද ඉතිං විනාඩි දහයක් යන එකක්යැ. ඔය ටික කඩල අත්සන ගහල, නෝට් ටික දාගන්න. විනාඩි 10 ක් විතර උනාට මොකද, මොනවත් කෑමට නැත්තං අර නිලධාරින් අඩනවා “යකෝ එහෙනං අඩුගානේ යෝගට් එකක්වත් ගෙනැත් දියං“ මුං ඔක්කෝම එකම ලෙවල් එකේ පොරවල් නේ. ඔන්න ඉතිං ඒ මීටිමේ අයිතිකාරයා අරුංගේ කතා මාසයක් විතර අහගන්නේ මොකටද කියල පර්ස් එකෙන් සල්ලි ඇදල ගෝලයට දෙනවා ඔන්න යෝගට් අරන් එන්න කියල. හැක්.. බය වෙන්න එපා.. ඒ සල්ලි ආයෙත් පොකට් එකට එනවා.. රිඉම්බර්ස් කරාම.. ඒවා ලයිට් පාර්ටීස් (හුටා වැරදුනා), ලයිට් මීටිං.

අතිජාත මීටිනුත් තියෙනවා. හැන්දැවේ තුනට පටන් ගන්න. එතකොට ඉස්සෙල්ලම අර කේක්, කට්ටට් සත්කාරෙ දෙන්න ඕන. ඒත් ඔන්න හතරයි තිහ පහුවෙන කොට ඈනුං යනවා. ඇයි දෙයියනේ ගෙදර යන වෙලාවත් පහු වෙලා නෙව. ඒකට මොකද කරන්නේ. ඔව් චීස් කෑල්ලක් බිස්කට් දෙක තුනක් විතර එක්ක ගිලල දැම්මම හරි. හැබැයි හය විතර උනත් මේක නං ඉවර වෙන්නේ නෑ. මේ වගේ මීටිං වල ඉන්නවා හැට හුටාමාරක් දිව්‍ය පුත්තරයෝ. උන් ගේන කෙස් පැලෙන තර්ක වලට ඔළුව බේරගන්නත් අමාරුයි. හැබැයි හයාමාර වෙනකොට ඩිනර් පැකට්ස් ගේන්න කියල නියමයක් තියෙනවා. මොන.. කන්නෑ ගෙදර ගෙනියන්න. ඉතිං සන්තෝසෙන් ඒකත් කිහිල්ලේ ගහගෙන ගෙදර යනවා. ඒවා වැල මීටිං.

තව එක්ස්ටා ස්පෙසල් මීටිං තියෙනවා. හරිම උපාසක දිව්‍ය පුත්තරයෝ මීටිමට එන්න කලින්ම කෝල් කරල කියනවා “පුතා.. අද අපි හත් අට දෙන නෙව මීටිමට එන්නේ. අපි තුන්දෙනෙක්ම වෙජිටේරියන්. ඒක හින්දා හොද පුතා වගේ ඔය ග්‍රේප්ස්, ඇපල්, ඔරෙන්ජ් වගේ ෆෘට්ස් ටිකක් ගේන්න. ඒ ඇති“ කියලා. ඔව් එතකොට කෙසෙල් ගෙඩිත් ගේන්න තරං පුතා කරුණාවන්තයි. වෙජිටේරියන්ල ටී බොනවද??? නැතිව කට කපල ටී එකක් ගහන්න ඕන. නැත්නං කොහොමද මීටිම රන් කරන්නේ.. ඔය පළතුරු මීටිම..

ඔය මොන විකාර කරත් අන්තිමට එකම පොකට් එකෙන් තමා උන්ගේ සංග්‍රහ වියදම් ගෙවන්නේ. මගේ පොකට් එකෙන්. ඇයි උඹේ. ඔව් පල්ලෙහා ගෙදර කුලි වැඩ කරන සිරි අයියත් සපෝට් එක දෙනවා. ඇයි අපේ පොල් කඩන සිමං මිනිහත් ගානක් දෙනවා ඕවට. ඔව් ඔව්.. රට හිටියට හැන්රියලත් සල්ලි එවනවා. ඇයි හැලපෙල ඒ යකත් ඕවට සල්ලි දෙන්න ලෝස් නෑ.

මොනවද ඉතිං අවුරුද්ද අන්තිමට සංග්‍රහ වියදම මිලියනේකට විතර කිට්ටුයි. එතකොට ලබන අවුරුද්දේ බජට් ඇලෝකේෂන් එක. එකවුන්ටන්ට් කාරය නං කියන්නේ “මිස්ටර් දේශකයා ටූ මිලියන්වත් දෙමු නේද?? නෙක්ස්ට් ඉයර් ඉස් අ වෙරි ඉස්පෙෂල් වන්.. ෂුවර්ලි දෙයා විල් බී ලොට් මෝ මීටින්ග් දෑන් දිස් ඉයර්“

“යර්ස් මිස්ටර් එකවුන්ටන්ට්. ලෙට්ස් ඩු දැට්“

හැක් හැක්.. මේවට ඇලෝකේට් කරද්දි ඩෙස්ක්‍රිප්ෂන් එකට “ඊටිං මීටිං“ කියල දානවද කියලයි මම කල්පනා කරේ..

ප ලි/ දේශගේ සීයට කන පැලෙන්න අදහස් දක්වපු අයට හුගක්ම ස්තුතියි. උම්මා... හැබැයි අනේ වෙන වෙනම උත්තර දෙන්න මට හෙට වෙනකං කල් දෙනවනේ.. ප්ලීස්..

Monday, July 8, 2013

සීශාගේ දේය....!!

මාරයි අප්පා මේ ජීවිතේ... හැබෑටම අවුරුද්දකටත් කිට්ටු වෙන්නම ආවා. ඒ අතරේ ඔය හෙමීහිට හෙමිහිට එක එක විකාර කොට කොට ඇවිල්ල, මෙතන ටිකක් පැලපදියං වෙන්න කියල හැදුව විතරයි, ඕං ආයේ ආපස්සට හිතන්න මගුලක් ඇවිත්. දන්නවනේ මම කොහෙමයි මේ ලෝකේට කඩා පාත් උනේ කියලා.. නොදන්න එකෙක් ඉන්නවනං මං මොනවද දන්නේ කියල බලා කියාගෙනම ආවනං හොදා. හැබැයි ඒක බලල ඇවිල්ල මෙතන විකාර කියවන්න එපා. මොකද ඒකේ තියෙන විකාර වලට ඔය රාජ් එහෙම ඔල්මොරොන්දං වෙලා.. දෙපාරක් ම කියවල තියෙනවා.. හැක්.

මගේ මව, පියා දෙන්නම එකෙක්. ඒ වගේම මම ඉපදෙන්න ඉන්න කොට බලෙන්ම අඩු වයසෙන් ඇදල මේ ලෝකේට විසි කරල දැම්මෙත් මිනිහම තමා. ඒක හින්දා ඒ යකාටත් ලොකු ස්තුතියක් තියෙන්න ඕන නෙව.. මොකාද ඉදිං අර රාවණාවතාරයේ පිහිටෙන්, රාවණා ගොයියෝ ටික සක්වල ගහල පරලොව යැව්ව උතුමා තමා.. එතුමා මීජයා.. ඒ යකාට ස්තුතියි මට මේ වගේ ලෝකයක් තියෙන විත්තිය පෙන්නල දුන්න එකට. කතාවක් තියෙනවා නෙව,.. “වැටුන එකාට අත දීල නැගිට්ටපු එකාට වැඩිය, දනගාද්දි ඇවිදිදින්න අත දීපු එකාය වඩා වටින්නේ කියලා“

ඒකට කාරි නෑ. මේ වැල්වටාරං කිව්වේ ඔන්න දේශකයා සීයක් ගැහුවලු පෝස්ට්කටු.. ඒකට ඉතිං මට ලොකු ශක්තියක් උනේ ඔබ සියළු දෙනා තමා. මම එච්චර දුර යන්න හිතපු එකෙක් නෙමෙයි. අනික මෙලෝ දෙයක් නොදැන (???) මක්කහරි සීයක් ලියනවයි කියන එකත් සුළු පටු රාජකාරියක්ද? අපේ මාතලං ගොයියට නං දවසකට ලියන්න කරුණු කාරණා සීයක් හමාරක් හෙම තියෙනවනේ. අපිට කොහේන්ද ඔය පොලිටිකල් උනක්.. හැක්.

හැබෑටම මටත් පුදුමයි මම මෙහෙම ලියන්න ගත්තු එකට. කිසිම දෙයක් ලියන්නෑ කියල හිතාගෙන හිටිය මම, කලින් ලියල තිබ්බ හැම දේම, කවි, ගේය පද රචනා, කෙටි කතා, නවකතා, පරිවර්තන, වරිතෝපදාන මහ ලොට් එකක් (සිරාවට මම සයි ෆයි දෙක තුනකුත් ලිව්ව නෙව) හිතට ආපු එකම ආවේගෙකින් විනාශ කරල දැම්මා. අර ඩුඩේ කාරයා කිව්ව වගේ ඒක කොයි තරං අපරාධයක්ද කියල දැං තමයි තේරුනේ.. පව කියන දේ වළක්වන්න අමරුයි නෙව. ඒක කිව්වම තමා මතක් උනේ අපේ අයිලාෂ් සීයට අනං මනං කියල මාත් හෙන පව්ගොඩක් පුරවගෙන ඉන්නේ.. හැක්.. මිනිහා මාත් එක්ක තරහද මන්ද, තව කව්ද අපේ සුදීකයා. මිනිහත් තරහද මන්ද.. කොහොම උනත් එකක් කියන්න ඕන. දේශකයා හුගක් වෙලාවට හිතට එන දේ කියල දාන එකෙක් මිසක් අමාරුවෙක් වචන ගලපල ලියන එකෙක් නෙමෙයි. ඒක නිසා මම දාපු ප්‍රතිචාර වලින් කාගේ හරි හිත රිදෙන්න රිදෙන්න වගේ ගත්තනං මට කමක් නෑ.. හපොයි නැ.. කනගාටුයි කියන්නයි ඕන.. මේක මේ මගේ මලගම නෙමෙයි තමා. ඒත් අර සහනයා කරල තිබ්බ වැඩේ කව්රු අනුමත කරත්, ඒක, හරියට ජීවත් වෙන මිනිහෙක් මැරිලද කියල මුට්ටිය දාලා බලපු ගොං වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒක ඊට වඩා ක්‍රමවත්ව හොයන්න තිබ්බා. නිකං මිනිස්සු නොමර හිටහං සහන්.. හැක්. උඹ ඉතිං මගේ මිත්තරයෙක්ද කොහේද හින්දා මම කියන දේට උඹ තරහ නොවෙන විත්තිය දන්නවා.

සීයක් ලිව්වට ශක්තිය උනේ ඔබ හැම දෙනාම තමා. නම් වශයෙන් කියන්න ගත්තොත් තොපි කීපදෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා එකෙක්ගෙ වත් නමක් කියන්නේ නෑ. එච්චරයි. මට සන්තෝසයි.. හිතපු නැති ගමනක් ඇවිල්ල.. කවදාවත් බලාපොරොත්තු නොවුන මිත්‍ර සංගමයක් ලැබුණු එක ගැන. හැම දේටම වඩා සන්තෝස මේ යක්කු ගහගන්න එකට.. මට හිනාවෙන්න බැරිය ඇති පදමට. හිහි..

එහෙනං මට ජය වේවා.. බොලා එකතු වෙලා මට ජයම ගෙනේවා.. මරණ මංචකේ වෙනකම්ම කොටා බාන්න තමා අදහස. (කට ඉස්සර උනාද මන්ද??) . සන්තෝසෙට තමා මේක දැම්මේ.. කියන්න දෙයක් තියෙනං තෙපර නොබා කියන එකයි ඇත්තේ. මං ඔය මට කුනුහරුප වැලක් කිව්වත් කන් දෙක ඕෆ් කරං ඉන්න එකා නෙව...

Friday, July 5, 2013

සද්ධාසේන (හා..මු.. )සර්!!

හෙමීට ගලා ගෙන යන දොළ පාර අයිනෙන් වැටිච්චි දුඹුරු පාට බොරළු පාරේ වාහන වල බරැති රෝද වලට අහුවෙලා ලොකු ගල් කැට, පොඩි ගල් කැට හැම එකම රෝද සීමාවෙන් එළියට වෙලා බලන් ඉන්නවා. මොන දේ උනත් තැලිච්ච මැට්ට විතරක් හැමදාම විරහ වේදනාව විදිනවා. පාර දෙපැත්ත අයිනේ තියෙන ගල් ටික කවදාවත් අයින් වෙන්නේ නෑ වගේම පාර මැදට එන්නෙත් නෑ. ජීවිතෙත් ඒ වගේද කියල දොළ පාර අයිනේ බෝක්කුව ළගට වෙලා දොළ පාරේ හෙමීට ඇදිල යන ඉදුනු අඹ කොලේ දිහා බලාගෙන තිමිර කල්පනා කරනවා. තිමිර ගේ ලොකුම විනෝදාංශයක් තමා ඔය කොහේ හරි ගමනක් යද්දි, ගස් වලින් වට වෙච්චි තැනකට වෙලා හුදකලාව ඔහේ ටික වෙලාවක් බලන් ඉන්න එක. ඒ වෙලාව තව ටිකක් වැඩි වෙනවා මේ වගේ දොළපාරක්, ගස් කොලන් තියෙන වට පිටාවත් එක්කම හෙමිහිට ගලාගෙන යන කොට. 

තිමිරට මේ පළාත් ටිකක් නුහුරු වෙන්නේ වැඩිය මේ පාරවල් වල එන්නේ නැති හින්දයි. හැබැයි ඉස්කෝලේ ජීවත් වෙච්ච ඒ අකුරු කරපු කාලේ, බයිසිකලේ නැගල කොළු රංචු එක්ක මේ පාරවල් වල ඉහේ කෙස් ගානටම රෑං ගාලා ගියපු ගමන් එහෙම තිමිරට මතක් වෙනවා. ඒ මදිවට මේ දොළ පාරේ, ගෙදරින් හොරෙන් ඇදගෙන ආපු, වැඩි පුර කොට කලිසමේ පිහිටෙන් හැබෑටම නාගත්ත ඒ සුන්දර දවස් පවා මතකෙට එනකොට තරුණ වියට පා තබපු තිමිරගේ කට දෙකොනින් හීන් හිනාවක් ඇදෙනවා. 

බොරළු පාර දිගේ ඉද හිට යන කෙනෙක් ඇස් දෙක තිමිරගේ ශරීරෙ දිහාම තියාගෙන ළගින් යනකොට ඔන්න තිමිරගේ හීන ලෝකය ටික වෙලාවකට බිදෙනවා. ඒ කෙනා ටික දුරක් යනකම්ම හැරි හැරි බලන්නේ, මේ වගේ දේවල් ඇත්තටම මිනිස්සුන්ට පුරුදු නැති හින්දා. අනික යස ඉලන්දාරියෙක් මොකට හොර ගල් අහුලනවද කියල මිනිස්සු බලනවා. බලන කෙනා, දකින කෙනා කොහොම හිතුවත් අන්තිමට ඒ මොන දෙයක්වත් එතැන නෑ කියල කව්රුත් තමන්ගේ ගමන යනවා. 

ඔය අතරේ නිල්පාට ඉරි වැටිච්චි පිජාම සරමක් ඇදගෙන, කහට ගැහිච්චි සුදු පාට කමිසෙකුත් ඇදගෙන දකුණු අතෙන් පන් මල්ලක් අරගෙන පොළවට බරදීලම එන කෙනා ඇහැ ගැටුන ගමන්ම තිමිර කලබල උනා. වෙන වෙලාවට පාරේ යන අය තිමිර දිහා බැලුවට, මේ වෙලාවේ තිමිර පාරේ එන රෑපකාය දිහා හැමදේම අමතක කරල බලන් හිටියා. ඔව්.. තිමිර ටික ටික ඒ රෑපය අනුමාන කරා. තවත් ළගටම එනකොට හැමදේම ප්‍රත්‍යක්ෂ උනා. ඒත් ඒක පිළිගන්න තරම් මානසිකත්වයක් තිමිරට තිබුනේ නෑ. තිමිර කට ඇරගෙනම එක සැරේම නැගිට්ටේ ඒ රෑප කාය එයාගේ ළගටම ආවමයි. තමන් දැකල එක පාරටම නැගිටල, ඇස් දෙක උඩතියාගෙන බලන් ඉන්න මේ තරුණයා දිහා මහළු මනුස්සයා පුදුමෙන් වගේ බැලුවා. ඇස් අතර හුවමාරු වෙච්චි ආලෝක විභවයන්, ඇස තුල මෙන්ම මොළය තුලත් පැලපදියම් වෙලා තිබ්බ නොයෙකුත් රෑප එක්ක ගලපගන්න උත්සාහ කරා. අන්තිමට මහළු මිනිහගේ උත්සාහය හරි ගියා. හෙමින් සැරේ හීන් හිනාවක් එක්කම තිමිර ගාවට කිට්ටු වෙලා,

“ආ.. මේ තිමිර පුතා නේද? මට අදුරගන්නම බැරි උනා. දැං යස ඉලන්දාරියෙක් නේ“

තිමිර තමන් කරන්න ඕන දේ හිත හිත හිටිය මිසක් කිසිම දෙයක් කරෙත් නෑ.. කතා කරෙත් නෑ.. එයාගේ කටින් පිටඋනේ බාගෙට කියවිච්චි අකුරු දෙකක් විතරයි.. “හා..මු“.. ඒකත් එක තැනම ලොප් කරගෙන තිමිර බලන් හිටියා.

“ඔව් පුතා.. ඔයා හිතන එක හරි.. මම සද්ධාසේනම තමා. පුතා කොහේද මේ යන්නේ“

“ආ.. මේ මම. නිකං ඇවිදින්න ආවේ..“

“එහෙමද.. අපේ ගෙවල් පුතා මේ කිට්ටුවමයි තියෙන්නේ.. එන්න පුතා යන්න“

සද්ධාසේන එහෙම කිව්වට තිමිරගේ කකුල පොඩ්ඩක් වත් හෙලවුනේ නෑ. තිමිර තාමත් හිතින් කලබලයි. ඒත් ඒ ඉල්ලීම ඉවත දාන්න බැරි තරම් හේතු කාරණා තිමිරට තිබුනා. සද්ධාසේන කියන ඕන දෙයක් එකපයින්ම කරන්න තිමිර ලෑස්ති වෙලා හිටිය කාලයකුත් තිබුනා. සද්ධාසේනව කාර් එකේ දාගත්ත තිමිර, පාර දිගේ කෙලින්ම බලාගෙන සද්ධාසේනගේ අත් චලනය වෙන දිහාට වාහනය පදවගෙන ගියා. බොරළු පාරෙන් දොළ පන්නන කොන්ක්‍රිට් ලෑල්ලෙන් අමාරුවෙන් වාහනය අරගෙන තවත් ඉස්සරහට යද්දී. පාරක් තිබුනේ නෑ තණකොල උඩින් තමා යන්න උනේ. දෙපැත්තෙන් කෙසෙල් වගාව. පොල් ගස් වල ගම්මිරිස් වැල්. අතරින් පතර ගස්ලබු දෙක තුන තියෙන ගස් පහු කරගෙන වත්ත ඇතුලට වෙන්න තිබුන බාගෙට ගරා වැටුනු සුදු හුණු ගාපු පරණ පන්නයේ පොඩි ගෙයක් ගාව කාරෙක නැවැත්තුවා. ගෙයි ඉස්සරහ සාලය රතුපාටට තිබිල තියෙන්නේ හුග කාලෙකට කලින් කියල තිමිරට හිතුනේ දැං පොළව කහ පාට වෙන්නම කිට්ටු හින්දයි. උස පඩි පෙල් දෙක නැග්ගම කෙලින්ම ආලින්දය. ඒකෙන් දකුණු පැත්තට පරණ පාටට තියෙන දොර.. ඒක කාමරේකට. ආලින්දෙන් වම් පැත්ත බිත්තිය, ඒක ගෙයි සීමවා පෙන්නුවා. පරණ ලැටිස් ගහපු ආලින්දයේ ලී බෝක්කු කණු තුනත් බාගෙට දිරලා. හරියට සද්ධාසේනගේ ජීවිතේ වගේ. ඉස්සරහින්ම තිබ්බ පුටු දෙකෙන් එකකවැල් කැඩිච්ච නිසා සද්ධාසේනගේ ආරාධනයෙන් තිමිර අනිත් පුටුවෙන් වාඩි උනා. තිමිර තව උපකල්පන කරන එක නවත්තල බලන් හිටියේ, සද්ධාසේන කටහට අවදි කරනකං.

“ඉතිං පුතා. ඔයාට පුදුම ඇති නේද මං ගැන.. මං පුතාට උගන්නපු හින්දා මට සර් කියල කියන්න කැමතිනං“

“ආ.. හා.. හා. සර්“

“පුතා මම ඉස්කෝලෙන් පෙන්ෂන් ගියා දැනට අවුරුදු හතකට කලින්. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර යනකං මම පිරිවෙනේ හිටියේ. එහේ ඉගැන්නුවා. ඒක මගේ පන්සල නේ“

“ඊට පස්සේ.. ඇයි සර් සිව්රු ඇරියේ“

“ඒක උනේ මේකයි. මගේ අම්මට අවුරුදු අනු තුනක් වෙනවා. පුතා දන්නවනේ.. මම කියල ඇති අපේ තාත්තා හුගක් කලින් නැති උනේ. “

“ඔව් මට මතකයි“

“මම පෙන්ෂන් ගියාට පස්සේ අම්මා එකතැන් උනා. ඒක හින්දා මට සිද්ධ උනා අම්මා ගැන වැඩි පුර හිතන්න.. ඒ උනත් මට පිරිවෙනේ වැඩත් එක්ක අමාරුයි. උදේට ඇවිල්ල අම්මට කවල පොවල, ඇගපත සෝදල ගියාට, හවස එනකොට ආයේ ඇගපුරාම කැත කුණු ගාගෙන ඉන්නේ. ඉතිං ආයේ හවසට හට්ටියට වතුර තියල අම්මව නාවල කෑම දිලා මම පන්සලට යන කොට මහ රෑ වෙනවා. ඒත් මගේ හිත මට දොස් කියන්න ගත්තා.. අම්මා දුක් විදිද්දි මම මෙහෙට වෙලා ඉන්නවා නේද කියලා. “

“ඒ පාර ද සිව්රු ඇරියේ“

“නෑ. මට මේක තවත් ඉවසන්න බැරි උනා. මම දානෙකට වැඩියත් බඩගින්නේ එක තැන ඉන්න අම්මව මතක් වෙන්න ගත්තා. පිරිවෙනේ සාමනේරයන්ට උගන්නත්දි එකාපාරටම මතක් වෙන්න ගත්තා අම්මා දැං කැතකුණු ගාගෙන ඇති කියලා. ඔය හින්දා ඒ වැඩත් මට හරියට කරගන්න බෑ. මේ හින්දා මම දායක සභාව රැස් කරල මට තියෙන අමාරුව කිව්වා.. සීලයෙන් පිට යන්න උවමනාවක් නෑ අම්මව බලාගන්න ඕන හින්දා මම ආයේ ගිහි ජීවිතේට යනවා කියලා. ඒ උන්දැල මාව විස්වාස කරල මට ලොකු අනුග්‍රහයක් දුන්නා පිට හිටිය මගේ ගෝල නමක් පන්සලේ නවත්තගන්ට. ඒකෙන් මම මුළු ගමටම කියල සරම ඇදගෙන ගෙදර ආවා. මට තාමත් දුකයි මම සරම ඇදගෙන පන්සලෙන් එළියට එනකොට ඒ හැමෝම මට වදිනව දැක්කම. මොනව කරන්නද පුතා.. මට මේ සාසනේ ඕන වෙන්නේ මට එළිය දකින්න.. ඒ උනත් මට ඊට කලින් මගේ අම්මව සතුටෙන් මේ සසරෙන් එතෙර කරන්න ඕන. ඒක නිසා මම දැං නිකම්ම සද්ධාසේන“

තිමිර ඇස් දෙකේ කදුළු පුරෝගෙන සද්ධාසේනට කවදාවත් නැති තරං භක්තියකින් වැදල යන්නං කියල එළියට එනකොටම,.

“පුතේ... මයේ පුතේ... මෙහෙට ඩිංගක් ආවනං“ කියල ඇහුණ කඩහඩට ප්‍රතිචාර දක්වපු සද්ධාසේන,

“අනේ පුතා එහෙනං ආයේ එන්න.. අම්ම කතා කරනවා මම යන්නං. බුදු සරණයි පුතාට“

කාරෙකට නැගල යතුර කරකවපු තිමිරට, අඩන්නේ තමන්ගේ හිතද වාහනේ එන්ජිමද කියන එක නිනව්වක් නැති උනා.