Sunday, September 3, 2017

වසන්තම් ලී සැණකෙලිය!!


වසන්තයේ කළු උපයයි
අරාබියේ තඩි දුමියයි
තිස්ස සමඟ කල්‍යානයි
රියාල් ගහක් දැන් සොලවයි
ලී මෝලෙ වැඩ ඇරඹෙයි//

ගලින් ගලට පැන ගෙන යන හත්පා මත්තේ
අඟල් හයක ලී දඩු ටික මේසය මුල්ලේ
ලියා තිබේ නම් කරුණක් කොටාලා ලීයේ
බලා සිටින්නෙමි තවමත් වැට් ඇයි නැත්තේ

වසන්තයේ කළු උපයයි...

දිනපු උන් දිහා බලල හිත කකියනවා
වැට් එකක් නැති මට දැන් තරහත් එනවා
ලී කැබලි මොකටද මං රත්තරන් දෙනවා
හෙට උදේ ආවොතින් නං තොපි බේබදු වෙනවා

වසන්තයේ කළු උපයයි..//

වසන්තම් ලී කුට්ටි බෙදාදීම අද සැප්තැම්බර් තුන්වන දින හිඳෙල්ලන හත්පාද මැදුරේදී.. චියර්ස්

තාලය - ඉන්ද්‍රානි පෙරේරාගේ වසන්තයේ මල් කැකුළයි

Tuesday, August 29, 2017

සැකේ නිසා ලොව සමහරක් මුලාවේ!!

අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා. ඉතිං උං එක එක ජාතියේ සුත්තර දම දම මාව චෙක් කරන්න හදනවා. එහෙම උණා කියල මං අහුවෙනවද නෑනේ. ඇයි ඒ. මං එහෙම කේලං කියන කෙනෙක් නෙමෙයි දරුවනේ. හැබෑටම ඔය සමහර උන් අහනවා “දේශා තෝ නේද එම්ඩී කාරයට අර වැඩේ අවුල් වෙච්චි එක කිව්වේ“ කියලා. මං මොන විදියෙන් කිව්වත් උංට ඇති වෙන සැකේ නං නැති කරන්න බෑ. සීයට අනුනමයක් මාව ෂුවර් උණත් සීයට එකක් අන්සුවර්. මටත් ඕන මෙන්න මේ සීයට එක අයින් කරල, සුදනෙක් වගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒත් මොන.. ටික දවසක් යනකොට මායි තව එකෙකුයි විතරක් දන්න කේස් එකකුත් එම්ඩී ගේ කනට ගියා කියල අනිත් එකාට විස්තරේ ලැබිච්චි දවසට විශ්වාසයේ ප්‍රතිසතයන් හුවමාරු වෙනවා. එතකොට ඌට මං ගැන තියන විශ්වාසය සීයට එකක් වත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහර විට මං ඒක නොකිව්වට කව්ද දන්නේ කොන්ත්‍රාත්කාරයේ චීත්තයක් ඒක ලොක්කගේ කනේ තිබ්බද කියලා. ඒකත් සැකයක් විතරයි. කෝම උණත් දන්න එකම දේ වැඩේ පත්තු වෙලා කියන එක නේ.

මේක අපේ සමාජයේ, ගමේ, දිස්ත්‍රික්කේ, පළාතේ, රටේ, ඉන්දියාවේ, ඇමරිකාවේ හපොයි මුළු විශ්වයේම තියෙන දෙයක්. සැකය කියන බීජය. ඕක මහා භයානක දෙයක්. බුදු හාමුදුරුවො දේශනා කළේ සැකය කියන්නෙ බය නිසා ඇති වෙන දෙයක් කියායි. බය කියන්නෙත් විවිධාකාරයි. හරි හරි ධර්මදේශනාවක් කරන්න කාලේ නෙමෙයි මේක.

අපට යම් සැකයක් ඇති උණාම අපි මොකද කරන්නේ. ඒ සැකය ප්‍රත්‍යක්ෂ කරගන්න අපි සාක්ෂි හොයනවා. කොහෙන් හරි කමක් නෑ ගැටගහන්න පුළුවන් සාක්ෂියක් ලැබෙනව නං ඒක අරකට අමුණල තද වෙන්න ගැට ගහගන්නවා. ඔය වගේ පොඩි පොඩි ඇල්පෙන්ති කටු හරි ගහල සැකේ කියන බීජය ලොකු කරගන්න එක තමා සැකය ඇති කෙනාගේ අභිප්‍රාය. 

බ්ලොග් වල මොනාද සැක.. අප්පචිචියේ කොච්චර සැක තියෙනවද? 

අර යකා මොකක්ද කිව්වේ. 
මිනිහා පෝස්ට් එක කියෙව්වද
අර ප්‍රොෆයිල් එකේ ඉන්න එකා කව්ද
මූ මොකටද මේ බ්ලොග් එකේම නටන්නේ

ඒ අතරේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමා කව්ද යකෝ ඇනෝ කමෙන්ට් දාන්නේ කියන එක. ඕක හරිම වාත ප්‍රශ්නයක්. බ්ලොග් වලි බොහොමයක් ඇති වෙන්නත් හේතුව මේ ඇනෝ කමෙන්ට්. ඇනෝ දාන එක දානවා හොස්ස ලගින් මැස්සා යන්න බැරි උන්ගේ ඇස් වලට ගම්මිරිස් කුඩු ඉහින ගානට. ඉතිං ඇඹරෙනවා. පටන් ගන්නවා වලිය. එකායි දෙකායි තුනායි. එක එක ජාතියේ උණ්ඩ හතර අතේ වදිනවා. නිකමට එබිල බලන උන්ට සෙල් වෙඩි පත්තු වෙන වෙලා හිටං තියෙනවා. බලන්න සැකය නිසා අපි කරගන්න දේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ටික දවසකින් මතක් වෙනවා. අඩේ මං බැන්නෙ එක දේකට අන්තිමට බැන්නෙත් වෙන එකෙකුට. තරහ උණෙත් වෙන එකෙක් එක්ක කියලා. ඔය වගේ පජාත සීන් දෙක තුනක්ම මං දැකල තියෙනවා. මෙව්ව මේ තනිකර සැකය නිසා ඇති වෙන්නේ. අර ඇනෝ දාල බැනපු එකා ලියපු විධිය, උගේ අකුරු ටයිප් කරපු විධිය අනුව හිතනවා හරි මෙන්න මේ යකා තමා ඇනෝ ඇවිල්ල අපිට කෙළවන්න හදන්නේ කියලා. ඉතිං ඉවරායි. අපේ ඔය බෝම සත්ගුණවත් ජනප්‍රිය බ්ලොග් කරුවන් උණත් කව්රු හරි එක්ක මරා ගන්න ගියාම අම්මොහ්.. කුණු වෙන්න ගහල පාරේ පිස්සු කෙළින ගානටම කුණුහරුප වපුරෝගෙන තමා වලියට එන්ටර් වෙන්නේ.

මම ඒ දවස් වල ඉදලම දන්න දෙයක් තමා. ලංකාවේ මිනිස්සු වාද කරන්න දන්නෑ කියන එක. උන්ට වාදය කියන්නෙ වලියක් ටික වෙලාවක් යන කොට. තමන්ගේ මතය අභියෝගයට ලක් වෙන කොට බියෙන් වියරු වැටෙන මේ පෘථග්ජනයින් අනිත් මිනිහගේ අම්මගේ උප්පැන්නේ ඉදල හොයල නෙලන්න ගන්නවා. ඇත්තටම වාදයක් යන්නේ යම් කාරණාවක් සම්බන්ධව නම්, ඒකෙදි වාදයට සම්බන්ධ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ඈදා ගැනීම කොයි තරං සදාචාර සම්පන්නද කියල හිතන්න වෙනවා.

සාමාන්‍යෙයන් මං වාද වලට යන මිනිහෙක් නෙවි. අපි ණයත් නෑ බයත් නෑ හරි. ඒ උණාට මට ඔව්ව කරන්න බෑ. එක පාරක් නං අයිලාස් අයියත් එක්ක වාදයක් ගියා භික්ෂුන්ට අවලාද කීම සම්බන්ධව. මම අන්තිමට ගෙදරට ගිහිල්ලා අයිලාස්ගේ කැමරාව කුඩු කරල ආවේ. ඇයි වදේ. මං ඒ වාදෙදි පරද්දන්නමයි මිනිහා හැදුවේ. හැක්

බ්ලොග් වල ඇනෝ එන අය ටක්කෙටම හොයාගන්න පුළුවන් ක්‍රම වේදයක් තියේය කියල පොළවේ පස් කකා අපේ අයියා කෙනෙක් කිව්ව මට මතකයි. ඒකට සහයෝගය දීපු සුදු අයිය කෙනෙකුත් හිටියා. ඒත් තාම හරියටම මං ඇනෝ දාපු කමෙන්ටුවක් හොයාගන්න මුන්ට බැරි වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්.

බොහොමයක් බ්ලොග් වල තියෙනවා අයිපී ට්‍රැකර් විජට්. ඔය විජට් එකෙන් පුළුවන් කමෙන්ට් දාන එකා, විසිටරයා ලොග් වෙන ලොකේෂන් එක ආසන්න වශයෙන් හොයාගන්න. සමහර විට අයි පී ඇඩ්‍රස්එක අනුව එන්නේ මොන කම්පැනියෙන්ද කියල උණත් හොයන්න පුළුවන්. එහෙම හොයාගන්න එක හරි වැදගත් සැකයෙන් ඉන්න අයට. ඉතිං ඒ සැකයෙන් ඉන්න අය අරවා මේවා දාගෙන එක එක සොෆ්ටවෙයා කෑලි ට්‍රේස් කර ගෙන සෑහෙන්න මහන්සි වෙලා හොයනවා ඇනෝ දාපු එකා මොකාද කියලා. ඒ අයට හොදනං අපිට මොකද නෙහ්.

අනේ ඉතිං මම ඔය කිසිම දෙයක් නොදන්න මනුස්සයා වෙච්චි, මගේ එකේ ඇනෝ කමෙන්ට් දාන පිංවතුන් කව්ද, කොහෙන්ද එන්නේ කියල හොයාගන්නවත් මං දන්නෑ. අයිපී ට්‍රැකර් ඒවා මේවා මගේ පාවිච්චියකුත් නැති නිසා සමහර පිංවත්තු නං ඇවිත් බැණලත් යනවා. මට බැන්නට කමක් නෑ. අනිත් අයට බැනල වගේ මට හිතෙනවා නං මං ඒවා මකල දානවා. එන්නෙත් ටික දෙනයි. ඒ එන ටික දෙනාගේ සුමුදු හිත් රිදෙව්වම ආයි ඒවිය මගේ බ්ලොග් එක පැත්තේ. අන්න ඒ උදාර සිතුවිල්ල නිසා මං ඒ වගේ කමෙන්ට් නං මකල දානවා. නැතිනං එව්ව මකන්න යන්න තරං මට උවමනාවක් නෑ. අනිත් කාරණේ තමා බ්ලොග් එකක මොන මානසිකත්වයක් යටතේ උණත් කමෙන්ට් කරන හැම කෙනාම මිනිසුන් විදියටයි මම සලකන්නේ. ඉකොනොමැට්ටා කිව්ව විදියට තාම සිංහලෙන් කමෙන්ට් දාන බොට්ල ඇවිල්ල නැතිව ඇතෙයි කියල සාධාරණ සැකයක් මට තියෙන නිසා මගේ බ්ලොගයට වැටෙන සියලු කමෙන්ටු මිනිස් අත් දෙකකින් යොදපු (අළුත් විදියට නං මිිනිස් කටකින්) කුඩා හෝ මහන්සියක් ගෙන යොදපු කමෙන්ටුවක් බවට මම සලකනවා. ඒ හේතුව මත බ්ලොගයට වැටෙන හැම කමෙන්ටුවකට ගෞරවයක් මගේ හිතේ තියෙනවා. ඒක නිසා ප්‍රමාද උණත් සියලු කමෙන්ටු වලට උත්තර දෙන්නත් මං වගකීමකින් කටයුතු කරනවා. කමෙන්ටු ලැබුණා කියා නොදැන බොහෝ කල් ගත වී දැක්ක කමෙන්ටු වලට උත්තර දෙනවා අඩුයි උණත් සෑම කෙනෙක්ම යොමු කරන කමෙන්ටුවක වටිනාකමක් තියෙන නිසා ඒ වටිනාකමට මගේ ගෞරවයත් ලබා දෙනවා. 

ඒ මොනව උණත් වෙන කෙනෙකුගේ ගෞරවය නැති කරන කමෙන්ටුවක් අපහසුවෙන් උණත් එක පාරින්ම ආයි කොනක්වත් හොයාගන්නම බැරි වෙන්න මකල දාන එක මගේ සිරිතක්. ඒක නිසා හොද පුතාලා, දුවල, (ඒකත් සැකයි) ඇනෝ කමෙන්ට් දාන කොට අපි ගැන පොඩ්ඩක් හිතල කමෙන්ට් කරන්න. අපිත් මේ බ්ලොග් ලියල මහ ලොකු ගාණක් හොයන්නෑ නේ. ඔයාලත් එහෙමයි කමෙන්ට් දැම්ම කියල මහ ලොකු ගාණක් අතට එන්නතේ නෑනේ. ඒක නිසා අපි සහයෝගයෙන් ෆිට් එකේ ඉමු බබෝ.

පළි - අටෝරාශියක් වූ මගේ ඊමේල් වලට ඊයේ දින පැමිණ තිබූ එකම ඊමේලය දැක මෙම පෝස්කටුව ලියා තැබුවෙමි. කෝකටත් කියා කඩවසමය ෆුල් චාර්ජ් කොට අතේම තියාගෙන සිටිමි.. හැක්

Monday, August 28, 2017

ගල් - බෝතල් ආදරෙන්!! (Shit happens)

අද ලංකාදීප පත්තරේ අපේ ජනාධිපති උන්නැහේ හොද ප්‍රකාශයක් කරල තියෙන ආකාරය මම දැක්කා. උන්නැහේ කෝමත් කතාවට දක්ෂයි වගේම පොදු මෝඩකමට එරෙහි ප්‍රකාශ නිකුත් කරන ආකාරයත් මේ කාලය තුල මම දැකල තියේ.

2017.08.28 දින ලංකාදීප

අපි හිතනවා අවුරුදු දෙදාස් පන්සීයක් එහෙම නැත්නං ඊටත් කලින් ඉදල අපිට උරුම වෙලා තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ගැන. හැබැයි කිව්වත් වගේ කටින් බතල කොළ හිටවන ඒ අන්දකයිප්පු කතා වල දැන්නං කිසිම තේරුමක් නෑ කියල තේරුං ගන්න අල්පයක් පමණක ප්‍රමාණයක් ලංකාවේ ජීවත් උනාට බහුතරයක් තාමත් රාවණාගේ, එහෙම නැත්නං කුවේණිගේ එහෙමත් නැත්නං දුටුගැමුණුගේ රෙද්දේ එල්ලිලා විකාර කතා කියන අය විතරයි. ඇත්ත අපිට බොහෝ කාලයකට පෙර ලෝකේ බහුතරයක් ජාතීන්ට, රාජ්‍යයන්ට නොමැති තරම් දියුණු ලක්ෂණ තිබුන බව අවංකවම කියන්න පුළුවන්.

පරාක්‍රමබාහු/පුලස්ථි සෘෂි පිළිමය

ඒක කියන කොට ගිය සතියේ දිවයින බදාදා අතිරේකයේ ගියපු ලිපියක් ගැනත් මතක් උනා. ඒ ලිපියට පාදක වෙලා තිබුනේ පනාකඩුව තඹ සන්නස සහ පොත්ගුල් විහාර පරිශ්‍රය තුල රදවා ඇති, ගස්ලබු කෑල්ලක් අල්ලන් ඉන්න ගල් පිළිමය ගැන කතාවක්. ඔය පිළිමය කාගේද කියල තාමත් හරියටම නිච්චියක් නැති එකේ මේ මනුස්සයා අලුත් සමීකරණයක් හදල තියෙනවා. ඔය තඹ සන්නස, සිත්තරු බිම් බුදල්නාවන්ට කෘතගුණ සැලකීමට පළවැනි විජයබා රජු විසින් ප්‍රදානය කරන ලද රාජකීය වරප්‍රසාද පිළිබඳවත්, කීර්ති කුමාරයා (පළමු වැනි විජයබා) සතුරන්ගෙන් බේරීමට සැගවී සිටියදී බුදල්නාවන් කරපු උපකාරත් බෝම ලස්සනට ලියා තිබෙන තඹ සන්නසක්. ඉතිං ඔය තඹ සන්නසේම තියෙනවා එකල රාජකීය සංකේතය වන වීයගහ අත දරාගෙන මේ වරප්‍රසාද දුන් බව. වීයගහ දරාගෙන රජකෛනෙක් යම් දෙයක් දුන්නා කියන්නේ අම්මේ මුත්තේ කිව්වත් ඒකනං වෙනස් වෙන්නේ නෑ කියන එකයි. දැං කාලේ ඔය හැම බූරු තිප්පළකම සෙංකෝල කියල එකක් තියෙන්නේ. මොලෝ රහක් නැති උනත් ඕක නැතිව රටක් පාලනය කරන්න බැරිය කියල නේ අපි හිතන්නේ. අන්න ඒ වගේ. ඉතිං මේ ලේඛකයා ඒ ලිපියෙන් ඔප්පු කරන්න හදන්නේ අර පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන්ගේය, එහෙම නැත්නං පුලස්ථි මහත්තයගේය කියන පිළිමය වෙන කාගෙවත් නෙමේය, ඒක මහ විජයබා රජ්ජුරුවන්ගේය කියලයි. ඉතිං ඕකට තියෙන නියම, ටක්කෙටම ගැලපෙන සාක්ෂිය තමා පනාකඩුව තඹ සන්නස. මොකද ඒකේ පැහැදිලිවම කියල තියෙනවා වීයගහ අත දරාගෙන මේ ප්‍රදානයන් සිදු කරපු බව. ඉතිං මේ වෙනකං ලංකාවේ වෙන කොහෙන්වත් වියගහක් දරාගෙන නියෝගයක් කරපු රජ කෙනෙක්ගේ සන්නසක් හමු වෙලා නැති නිසා අර ඉන්නේ වියගහ අතින් දරාගෙන පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ට රාජකීය වරප්‍රසාද ප්‍රදානය කරපු අවස්ථාවය, ඒක ඉත්තේරුවටම හරිය කියලයි ඔය ලේඛකයා ඔප්පු කරන්න හදන්නෙ. 

පනාකඩුව තඹ සන්නස

මට නං ඒක ඇහුවම දැං කාලේ මිරැන්ඩෝ ඔබේසේකරලා, නලින් ද සිල්වල කරන විනෝද සමයන් මතක් උනා. හරි අපි කියමු ඕක විජයාබාගේ පිළිමයමයි කියලා. නමුත් මොන විදියෙන්ද ඒක ඔප්පු කරන්නේ, ඒ කියන්නේ දැනට වියගහ දරාගෙන හිිටියාය කියා සඳහන්ව, හමු වෙලා තියෙන එකම තඹ සන්නස, පනාකඩුවේ එක උනාට තව පොළවෙන් ගොඩගත යුතු අතීතය කොපමණද කියා හිතළුවක් තරම් වත් නොහිතන මේ වගේ ලියුම්කරුවන්ගෙයි, රටේ තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසය නිසා අපි තාම ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන අයගෙයි, රාවණා ලබන මාසේ නැගිටිනවය කියන අයගෙයි, දෙයියන්ගෙන් එස්එම්එස් ලැබෙන අයගෙයි අතර කිසිම වෙනසක් නැතිය කියල තමා කියන්න තියෙන්නේ.

ඔය මඟුලේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මට මතක් උනේ ඊයේ කිරිකට් මැච් එකට බෝතල් පත්තර විසික් කරපු පඩත්තර ප්‍රේක්ෂකයින් හා ඒ සම්බන්ධව සංවේදී වී ක්‍රිකට් පිටිය මැද කරකියා ගන්න දෙයක් නැතිව බලාහිටිය සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායමයි දැක්කම.

එකක් කියන්නද, දින්නනයි පරදින්නයි කියල දෙකක් තියාගෙන තමා අපි ක්‍රීඩාව කරන්නේ. ඔය ශ්‍රේෂ්ඨ ජාතියේ ප්‍රේක්ෂකයින් සමාර විට දිනන්නම බලන් ඉන්න ම්ලේච්ඡයන් වෙන්න ඇති. කෝම උනත් ජාතියක් විදියට අපි කවදාවත් මේවා අත් විදල නැතෙය කියල රසල් ආර්නෝල්ඩ් මහත්තයා පිළිකුලින් යුතුව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරල තියෙනවත් දැක්කා. අන්තිමට අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශ්‍රේෂ්ඨ විදියට නෝන්ඩි උනා ලෝකයක් ඉස්සරහා. විලි ලැජ්ජයි යකුනේ. දිනුම පැරදුමක් භාර ගන්න බැරි නං, කොල්ලන්ගේ මොරාල් කඩල දාන්න උත්තාහ කරන පාපතරයන් කිහිප දෙනෙකුගේ ගුලි නොකා දෙයියනේ කියල ගෙදරට වෙලා ස්වයං වින්දනේ යෙදිල නිදාගන්න එක සිරි ලංකා ක්‍රිකට් වලටත්, කොල්ලන්ටත්, පොදුවේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන ශ්‍රේෂ්ට ලාංකිකයන්ටත් හොඳ බවයි මගේ හැගීම.

Saturday, August 26, 2017

හදිසි මළ ගෙවල්, ගුරු කොට හා අකිල ධනංජය

මේ ඊයේ පෙරේදා, හරියටම කිව්වොත් බ්‍රහස්පතින්දා යන්න උණා මළ ගෙදරක. මට පණිවිඩේ ලැබුණා.

“මචං දේශා.. අන්න බං අපේ ඊඑස් ගේ මළ ගෙයක් වෙලා“

“හප්පට. අර ලසන්තයාද“

“ඔව්වොව්. උගේ තමා“

“ඉතිං යකෝ ඌ මළාද?“

“තොගෙ. කට.. නෑ යකෝ උගේ ළඟම ඥාතියෙක්“

“කව්ද බං. මට උගේ අම්මගේ මළ ගේ දවසේ යන්නත් බැරි උණා. තාත්තා නං නැති වෙලා තියෙන්නේ ඒකා මෙහාට වැඩට එන්නත් කලින්නේ“

“උඹ බයිල නොකිය හිටිං. උඹ එනවද කියහං යන්න. මං පොඩි වෑන් එකක් කතා කරා. මමයි, රසිකයයි යනවා.“

“වැඩක් නෑනේ බං. අම්මගේ අප්පගේ එකට නං අවුලක් නෑ.. හෝව් හෝව්.. පොඩ්ඩක් හිටිං.. ඔය ලසන්තයා හෙණ දුර නේද බං.. අකුරැස්සෙද?“

“ඔව් ඕයි දෙනියායෙ“

“ඒකනේ මට දැන් මතක් උණේ.. යමං යමං. කීයටද යන්නේ“

“වරුවක් දාලා දොළහට පනින්න බැලුවේ. අර චතුරයගේ වාහනේ යන්නේ. ඩීසල් ගාන විතරක් යන්නෙත්“

“යකෝ වරුවක් දාලා ගිහිල්ල හැන්දෑ වෙන්න කලින් එන්නද හදන්නේ“

“නෑ නෑ. ඉස්සෙල්ල එක පිම්මට අදිමු මළ ගෙදරට. ඊට පස්සේ හෙමින් හැරේ එමු“

“කොහේද මළ ගේ තියෙන්නේ“

“බෙරලපනාතර“

“මොකා.. ඒ රත්නපුරේ නේද බං“

“මොන රත්නපුරක්ද බං කොටපොළ.. කොටපොළ“

“ඒ කියන්නේ දෙණියායටත් මෙහා.“

“ඔව්. කොටපොළින් හැරිල ඌරුබොක්ක පාරේ යන්න ඕන ටික දුරක්“

“අප්පට සිරි. ඌරුබොක්ක.. අහල තිබුණට කවදාවත් ගිහින් නෑ මම. යමං යමං. මං එනවා“

“මාත් අරූගේ අම්මගේ මළ ගෙදර නං ගියා. මරු පැත්ත ඕයි. පට්ට සීතලයි රෑට..“

“මරු ඈ. මාත් ආසයි බං ඔහොම තැනක යන්න. හරි උඹ එහෙනං හරියට දොළහයි කාල වෙද්දි අපේ ඔෆිස් එක ගාවට වරෙන්. හෙඩ් ඔෆිස් පැත්තේ මට එන්න බෑ. උං විකාර අහනවා“

“හරි මං එන්නං. තෝ දැන් දන්නවද කාගෙද මළ ගෙදර කියලා“

“නෑනේ“

“ලසන්තයගේ වයිෆ්ගේ නංගිගෙ මහත්තයාගේ තාත්තාගේ මල්ලී“

“චිකේ බං උගේ මස්සිනාගේ බාප්පගේ එකටද ඩෝ මේ අපි යන්නේ“

“ඔව් ඕයි. මං ලසන්තයට කිව්වා අපි එනවා කියලා. ඌ කියනවා “මං වෙනුවෙන් නං උඹල කීයටවත් මළ ගෙදරට සහභාගී වෙන්න ඕන නෑය කියලා“.. හික් හික්“

“මළා ජෝන්.. ටිකක් ඉඳිං මං ඌට කෝල් එකක් දෙන්නං“

දැන් මේ මළ ගෙදර යන එක විස් ලිස්ට් එකේ එක පාරටම ප්‍රයෝරිටි නැගපු වැඩක් ගානට හිතට වැදුණා. ඌරුබොක්ක කියන්නේ හරි ලස්සන පළාතක්. මාවරළ කියන්නෙත් ඒ වගේම හරිම ලස්සන පළාතක් කියල අපේ ඔපීසියේ ඇන්ටිලා කීප දෙනෙක්ම කියනව මං අහගෙන ඉදල තියෙනවා. දෙනියාය හරහා සිංහරාජේ හරේ මහේ දෙතුන් පාරක්ම ගිහින් තිබුණත්, ඔය ඌරුබොක්කට යන පාරට කියල ගහපු එක බෝඩ් එකක් මං කවදාවත් දැකල නෑ. ඒක නිසාම ඌරුබොක්ක කියන නම ආශාව තියෙන බය බිරාන්ත කෙල්ලෙක් ගානටයි මට දැනිල තිබුණේ. දැං එක පාරටම අරයාගේ මෙයාගේ මෙයාගේ මෙයාගේ මළ ගෙයක් උණත් කමක් නෑ. ඌරුබොක්ක පැත්ත නේ.. යන්න ඕන කියල හිතට එක පාරටම ආවා. දැං මේ අදාළද නැත්ද කාරණා හොයාබලන කෙංගෙඩියක් නෙමෙයි නේ. කෝම හරි යන්න ඕන කියල හිතලා මාත් ගත්තා කෝල් එකක් ලසන්තයාට.

“හලෝ ලසන්ත.. උඹලට කරදරයක් වෙලා කියල ආරංචි උණා“

“ආ නෑ මිස්ටර් දේශා. මේ අපේ කිට්ටුව නෑ කෙනෙක්ගේ මළ ගෙයක් වෙලා. මං ඊයේ රෑ ආවේ. කව්ද ඔය පැත්තට ගිනි ගෙඩිය දුන්නේ.“

“ඒක වැඩක් නෑනේ.. දැන් අපි එන්න හදන්නෙ ඔය පැත්තේ“

“පිස්සුද. පිස්සුද.. මිස්ටර් දේශා. කිසිම උවමනාවක් නෑ එහෙ එන්න නං. අනික මං දැන් හැන්දෑවට ගෙදර යන්න ඉන්නේ. මොකද අනිද්දා දරුවෝ එක්ක නුවර එළියේ යන්න ට්‍රිප් එකකුත් දාගත්තා. අනේ එන්න ඕන නෑ“

“එහෙම බෑ යකෝ. අපේ ඔපීසියේ කෙනෙක්ගේ මළ ගෙයක් උණාම අපි ඒවට සහභාගී වෙන්න ඕන. නැත්නං කෝ මනුස්සයො අපේ තියෙන මනුස්සකම්. යුනිටි එක“

“අපරාදේ නේ කාලය. අයියෝ මිස්ටර් දේශා එන්න එපා. අනික හෙට අවසන් කටයුතු වලටවත් මම ඉන්නෑ. මාත් උදේ ඉදල දවල් යනවා“

“එහෙම බෑ බං. අපිට ඕන තරං කාලය තියෙනවා. අපි මේවට වෙලාව හදාගෙන හරි එනවා. එව්වා අපේ යුතුකම්“

“ඔන්න මන් දන්නෑ. සංග්‍රහ අරව මේවා ගැන නං මට වග කියන්න බෑ හරිය“

“මොන සංග්‍රහද බං. උඹ ඉදහං අපි එනවා හතර පහ වෙද්දී හරිනේ එහෙනං. කිට්ටු වෙලා කෝල් එකක් දෙන්නං“

“අනේ මන්ද. මිස්ටර් දේසලට පිස්සු නේ. අපේ වයිෆ්ගේ අම්මා නං දැන් ලෙඩ වෙලා අන්තිමයි. අන්න ඒකට අපි යමු සෙට් වෙලා.. මේකට එන්න ඕන නෑ“

“හරි හරි. ඒකටත් එන්නං. මේකටත් එනවා. උඹ බයිල කියන්න එපා. අපි දැන් එන්න හදන්න්නේ. මං තිබ්බ හෙනං“

මූත් පුදුම පුතයෙක් තමා. අපිට තියෙන අවශ්‍යතාවය මිනිහා දන්න එකක්යැ. එන්න එපාමලු.. නොවැන්දා විතරයි. ඉතිං දැං ට්‍රිප් එක ලැහැස්තියි. වාහනේ ආවා. මායි උපෙයි, රසිකයයි තුන් දෙනා චතුරයගේ ටවුන් ඒස් එකේ නැඟල කුරුල්ලෝ තුන් දෙනා වගේ පියාඹලා ආවා අකුරැස්සට. අකුරැස්සට ආවට එතනිං එහාට යන්න හිත දෙන්නෙම නෑ. මොකද දන්නවද, අකුරැස්සසෙන් එහාට හරි හමන් බාර් එකක් නෑ කියල ගියපාර සිංහරාජේ යන ගමන් මං හොදට දැන ගත්තා. ඒක නිසා අකරැස්සසෙන් නවත්තලා කොළ පාට පෙට්ටියේ තියෙන ගැලරියක් වඩම්මගෙන ඇවිත් සීට් එකක් පල්ලේ වාඩි කරවලා අපි ආයි ගමන පටන් ගත්තා. ඔය අල්ල පනල්ලේ ලසන්තයා කෝල් කරල විස්තර අහනවා. අපි දැන් අකුරැස්ස පැන්නා කිව්ව ගමන් මිනිහා කියනවා.

“ඔය එන අතරේ හම්බුවෙනවා ගැටඹරු දේවාලේ. එතන පාර අයිනේ ටැප් එකක් තියේ. ඒකෙන් වතුර ටිකකුත් බොන්න. මාර කූල් ඒ වතුර“

මාත් හා කියලා දැන් එක හිතින්ම ටැප් එකෙන් වතුර බොන්නත් හිත හදාගෙන එනවා. ඔය ගම් බිම් පහුකරගෙන යන කොට ඕං අහු උණා ගැටඹරුව. ඉතිං බෝම හෙමින් පන්සලේ තාප්පේ දිගේ හොදට පාර දෙපැත්තම බලාකියාගෙන ආවා. ම්හු.. මොන ටැප් එකක් කියල නාමයක් නෑ. එක්කෝ ඒ පැත්තේ ටැප් විකුණනන්නත් නැතිව ඇති. ටැප් එකක් නෑ. කූල් වතුරත් නෑ. ආයි වේගේ වැඩි කරගෙන ආවේ එන ගමන් හරි ටැප් එක හොයාගන්නව කියල හිතාගෙනයි. ආයුබෝවන් කොටපොළ කියන බෝඩ් එක දැක්ක ගමන් ලසන්තයට කෝල් කරල පාර අහගත්තා. ඒ කියන්නේ කොටපොළ ටවුම පහු කරල ටික දුරක් එනකොට දකුණු අත පැත්තට තියෙන ඌරුබොක්ක පාරේ කිලෝමීටර් හතක් විතර එන්නය, බෙරලපනාතර ඉස්කොලේ පහුවෙලා මීටර් පන්සීයක් විතර ආවට පස්සේ සුදු කොඩි දාලා තියේය, පාර අයිනෙමය මළ ගේ තියෙන්නේ කියලා. විස්තරේ අහගෙන දැන් කොටපොළ හන්දිය පහු කරල කියපු දුරට ආසන්න දුරක් ආවම මොන පාරක්ද? අඩු ගානේ ආර්ඩීඒ එකෙන් ගහපු කොළපාට බෝඩ් එකක්. ඒවත් නෑ. ඒක නිසා පාර අයිනේ තිබුණ කඩේකින් අහල හරියටම තැන දැනගත්තා. හරිනේ. පාර තියෙනවා. සුපිරියට කාපට් කරල, සුදු ඉරි ඇදල ලස්සන පාර. ඒත් බේතකට හැරෙන පාරෙවත් නෑ බෝඩ් එකක්. හත් දෙයියනේ, පොඩි හන්දියකින් හැරෙන්න උණත් හැම තැනම ලොකු බෝඩ් දාන මාර්ග සංවර්ධන අයියන්ඩිලට ඒකට බෝඩ් එකක් දාන්න අමතක වෙලා. දෙනියාය පාරෙන් හැරෙන තැනම ලොකු දැන්වීම් පුවරුවක් වගේ එකක් නං තිබුණා. සමාර විට ඒකේ නම ගහල තිබුණද දන්නෙත් නෑ. ඒ උණාට දැන්නං ඒ බෝඩ් එක ටියුෂන් මාස්ටර්ලගේ. අපරාදේ කියන්න බෑ. මහින්ද මහත්තයට පිං සිද්ධ වෙන්න පාර නියමයි. පාරෙ ්ලගකදි නාය ගියපු විත්ති පේන්න තිබුණ නිසා මං හිතුවේ ඒවා පහු ගිය කාලේ ගංවතුර බලපෑමක් වෙන්න ඇති කියලයි. ඒක හරියට දන්නෑ.

මේක තමා ඌරුබොක්ක පාර. (බෙරලපනාතර කිස්ටුව)

හෙමින් හෙමින් මළ ගෙදරට ආවා. පොඩි කන්දක් උඩ පාර ආසන්නයේ මං මළ ගෙදර තිබුණේ. මළ ගෙදරට ගොඩ වෙලා ලශ්නතයා බැලුවා. නෑ. අපි දන්න කියන පොල්පිත්තක් වත් මළ ගෙදර පළාතෙවත් ඉන්න එකක් යැ. ඔහේ බකන්නිලාගෙන විනාඩි පහක් විතර ඉන්න කොට මෙන්න මේකා ආවා හති හලාගෙන.

“හා. ඉක්මනට ඇවිල්ල නේ. හොයාගන්න අමාරු උණේ නෑනේ“

“අපොයි නෑ. මොකද බං අර පාරට හැරෙන තැන බෝඩ් එකක් වත් ගහල නැත්තේ“

“මං කොහොමෙයි දන්නේ. මාත් මේ මාස ගානකින් මේ පැත්තේ ආවේ“

“ඒක නෙමෙයි. මොකක්ද අර උඹ කිව්ව ටැප් එක. අපිට ඒක හොයාගන්න බැරි උණා නේ“

“ගැටඹරු ටැප් එකද“

“ඔව්..“

“ඒක තියෙන්නේ පන්සල ඇතුළේ.. ඔහේල පන්සලට ගියානං ඒ ටැප් එකෙන් වතුර ටිකක් බොන්න තිබුණා.. හික් හික්“

“තොගේ ආච්චට රයිස් ගරන්න.. හැක් හැක්“

මූ අපිට ටැප් ලණුවක් දීලා. මළ ගෙදර ඔක්කෝම හොදයි. ලස්සන ආරුක්කු මැලේසියන් හට් දෙකක් ගහලා. ඒකට දාපු රෙදි සුදු පාටින් දිලිසෙනවා. ඉන්ඩ්‍රස්ට්‍රිියල් සීඑෆ්එල් බල්බ් දෙක ගානේ එක ටෙන්ට් එකේ. හරියට ධවල මන්දිරේ වගේ. ඒ මදිවට ගේ වටේටම දඩාර් සයිස් එල්ඊඩී ෆල්ඩ් ලයිට්. මෙව්ව කොහෙන්ද මෙහාට කියල හිත හිත ඉන්කොට ටික වෙලාවක් ගිහිල්ල තමා මීටර් උණේ.. ලසන්තයා ඊඑස් කියලා. ඒ කිව්වේ ඉලෙක්ට්‍රිකල් සුපර්වයිසර්. හැක් හැක්. මළ ගෙදරට උඩින් පයිනස් වගා කරපු රක්ෂිතයක්. දෙපැත්තෙන් කුඩා තේවතු දෙකක්. මං කිව්වේ පොඩි කඳු ගැටයක් උඩ නේ ගේ තියෙන්නේ. පාර අයිනටම වෙන්න දෙපැත්තෙම යසට පීදෙන ගොයම. ඒ එක්කම කළු පීත්ත පටියක මැද්දෑවෙන් සුදු නූලෙන් තනි අත් මැහුමක් දාල වගේ කාපට් පාර. හරිම අගෙයි. ඒ එක්කම පොඩි සීතල ගතියකුත් ඇඟට දැනුණා. ඒ වෙද්දි මං හිතන්නේ හවස පහාමාර විතර ඇති. ඇත්තටම ඔක්කෝම හොඳයි. ඒ උණාට මොකක් හරි අඩුවක් තියේ. ඇත්ත නේ කිසිම සංග්‍රහයක් නෑ. හුළං වැදිච්චි නයිස් බිස්කට් එකයි එපා කරපු නෙස්කැෆේ එකයි. මේ හද්ද දහජරාව ඈත ගම් වලටත් රිංගල තියෙන විධිය දැක්කම පුදුම තරහක් තමා ආවේ. කිව්වත් වගේ දැං ඉතිං ඔව්ව ගැන හිතල වැඩක් නෑනේ. සංග්‍රහ වලට වග කියන්නෑ කියලම නේ එන්න කිව්වේ. ඉතිං හිත හදාගෙන හයට විතර මළ ගෙදරින් එළියට ආවා. 

“දැන් ඕගොල්ලෝ ඔහොමම ගෙදර යන්නද“

‘නැතුව බං. රෑ කෑම හදාගෙන පවුල බලාගෙන ඇති. පව් බං කොල්ලෝ දෙන්නත් මං එනකං නිදාගන්නෑ නේ. ඒක නිසා ඉක්මනට යන්න ඕන“

“අනේ බං ලසා. උඹ මේ දේශා කියන ඒවත් විශ්වාස කරනව නේ. ඔන්න මං කිව්වයි කියල හිතාගනිං. හෙට උදේ හතර විතර වෙද්දිවත් ගෙදර ගියොත් ලොකු දෙයක්“

“හරි බලමුකෝ“

සියලු ආචාර සමාචාර නිම කරල අපි ආවා. කොටපොළින් දාපු වෙලාවේ ඉදලම පාර දෙපැත්ත බල බල ආවේ රෙස්ටෝරන්ට් එකක්. මොන.. එකක් වත් නෑ. මඟදිම ඒ වැඩේ අතෑරියා. අකුරැස්සට ඇවිල්ලම එකක් හොයාගමු කියලා. ඉතිං අකුරැස්ස බෝඩ් එක දැක්ක තැන ඉදලම වාහනේ ශ්ලෝ කරගෙන හෙව්වා එකක්. ඒත් නෑ දැන්නං බයයි බෝතලේ ගෙදර ගෙනියන්න වෙයිද කියලා. ටිකක් දුර ආවම හම්බුනා අපේ සොඳුරු සිත ටීචර්ලයි ගෙවල් වලට හැරෙන හන්දිය. එතැන පොලිස් මහත්තයෙක් හිටියා හිටගෙන. අපි ඒ හරියට එනකොට ඕන නං රෑ හතහමාර විතර ඇති මයේ හිතේ. ඕන එකක් කියලා පොලිස් මහත්තයා ගාවටම කිට්ටු කරල හෙමින් ඇහැව්වා අඩියක් ගහන්න රෙස්ටෝරන්ට ්එකක් නැද්ද මේ හරියේ කියලා. මිනිහා ඒ පාර බෝම කාරුණිකව බඩු ගන්නත් එක්කම නං මේ පැත්තට යන්නය. බඩු තියේනං මේ පැත්තට යන්නය කියලා පාර පෙන්නුවා. එ් පාර දිගේ ගිහිල්ල හොටෙල් පබසරා කියල එකක් හොයාගෙන වාහනේ ගාල් කරල වැඩේට එන්ටර් උණා. අම්මප මේ දකුණේ උන්ට නං පිස්සු. දවල්ට මඟුල් තියන රිසේප්සන් හෝල් එකේ රෑට බොන්න දෙනවා. හයියෝ අපිට ඔව්ව පුරුදු එකක්යැ. දෙපාරක් අහල තමා ඒකට ඇතුල් උණේ. යනකොට ටීවී එකේ මැච් එකත් දාලා. ඉන්දියාව නෝවිකට් ලකුණු අසූවක්ද කොහේද? ඕක බලන්න බැරි නිසා හෝල් එකේ ඈතටම තිබ්බ මේසයක් තෝරගෙන පටන් ගත්තා වැඩේ. එක විකට් එකක් ගියා. දෙකක් ගියා. මෙන්න වදේ තුනක් එක ඕවර් එකට. ක්‍රිකට් තිත්ත වෙලාය කිව්ව සේරමල්ලා දැං බොන එක පැත්තක තියල ටීවී එක ගාව නිසා වේටර් මලයා අපේ මේසේ ටීවී එක කිට්ටුවට ඇදල දුන්නා. හතරයි පහයි හයයි.. ටික වෙලාවක් ගිහිලලා හතායි. හුටා. ඒක බෝතලයයි නේ ගෙනාවේ. දැන් ඉතිං මොකද කරන්නේ. විකට් හතක් ගිහිල්ල ටික වෙලාවක් යද්දි ඒක ඉවරයි. තව බොන්න ඕන. ඒ පාර රසිකයගේ යාළුවෙක් ඉන්නවා ඉන්ජෙක් මාතර. ඌට කෝල් එකක් අරගත්තම ඒ යකත් වෙරිමරගාතමෙ අපිට එන්නය කියල කිව්වා.

මැච් එක දිනයි කියල බලාපොරොත්තුවෙන් අපි මාතර එන්න පිටත් උණා. වෙහෙරහේන පැත්තේ. ඒ යාලුවගේ ගෙදර යනකොට ගුරු කොටයක් අපි එනකම් බිම ලැග ගෙන ඉන්නවා. ඒ පාර ඒකත් ගහල සිංහාවලෝකන කර කර ඉදල මැච් එක බලන කොට... ඒක පරාද වෙලා නෙව. දැන් මොකද කරන්නේ. හිතටත් දුකයි. ගුරු කොටෙත් ඉවරයි. ඉතිං හිවල්ලු ටික වගේ වාහනේට නැඟල යන්තං උදේ දෙකහමාර විතර වෙද්දි ගෙදරට ආවා. මං තීරණය කරා ආයි දුර මළ ගෙවල් වල යන්නෙත් නෑ. මැච් බලන්නෙත් නෑය කියල එක. විකාරයක් නේ.. දවසම ඉවරයි..



චියර්ස්.. හැක්

Thursday, August 24, 2017

Son Doong Cave (අංක එකේ ගල් ගුහාව)

මේ ලෝකේ තියෙන ලොකුම ගුහාව මොකක්ද? අපේ වාසිත කොලුවගෙන් ඇහුවනං කියාවි ඒ මොකක්ද කියලා. 

ගුහාවක් කිව්වම මට නං මතක් වෙන්නෙම අපේ ගෙවල් පැත්තේ කන්දේ උඩම තියෙන ගල් දෙබොක්කාව. පොඩි කාලේ පන්දමකුත් පත්තු කරගෙන, දෙකට නැමිලා තාරාවෙක් වගේ, ඔලුව පාත් කරගෙන ඒකේ අඩි තිහ හතළිහක් ඇතුලට ගියපු හැටිත්, ඊට වඩා යන්න බැරිව බය බිරාන්ත වෙලා ආපහු හැරිල ආපු හැටිත් තමා. ඊට පස්සේ චාරිකා වලදි නං ටිකක් ලොකු ගුහා වලට ගියා. කටාරං කොටපු ගල් ලෙන්, බලංගොඩ එහේ මෙහේ. එව්ව ඉතිං වැඩිම උනොත් අඩි විස්සක් තිහක් උස ඇති. යන්නය කියල ඒ හැටි අමාරුවක් තියෙන එකක්යැ.

ලෝකයේ ලොකුම ගුහාව කිව්වම... ඒක ටිකක් පුදුම හිතෙන විදියට තියෙන්න ඕන නේ. අඩි පනහක් විතර උස, අඩි තිහක් විතර පළල, මීටර් දෙතුන් සීයක් දිගට. හුහ්.

පිස්සු කියවනවා නෙමෙයි. ඕන්න බලාගන්න ලෝකයේ ලොකුම ගුහාවේ දළ මිනුම්.

ගුහාවේ දිග = කිලෝමීටර් 5
ගුහාවේ උපරිම උස = මීටර් 200
ගුහාවේ උපරිම පළල = මීටර් 150

ඒ විතරක්යැ. මේ ගුහාවටම කියල තමන්ගේම ගංඟා, කැලෑ හෙමත් තියෙනවා.



යූ ටියුබ් එකේ තියෙන ගුහාවේ ත්‍රිමාන සැකැස්මක් පල්ලෙහා තියෙනවා.



හරි හරි. දැං සේරම කියාගෙන ගියාට කින්ද මන්ද මුකුත් කිව්වේ නෑනේ. ඩූන් හි (Doong) කන්දේ ගුහාව, එහෙම නැත්නං Cave of the Mountain River එහෙමත් නැත්නං හැන් සොන් ඩූන්ග් කඳුකර ගුහාව (Hang Son Doong Cave) විදියටයි මේක හඳුන්වන්නේ. මේ ගුහාව පිහිටල තියෙන්නේ ලාඕස - වියට්නාම දේශ සීමාව ආසන්නයේ පිහිටි Phong Nha - Ke Bang ජාතික වනෝද්‍යානය තුලයි. කොහොම උනත් ගුහාව අයිති වෙන්නෙ වියට්නාමයට. 






අවුරුදු බිලියන දෙකහමාරක් විතර වයසක මේ ගුහාව හොයාගෙන තියෙන්නේ 1991 දී. මොන විකාරයක්ද ඒ කතාව. ඔව්. අවුරුදු බිලියන ගානක් ඕක තියෙන්න ඇති. ඒ කාලේ ජීවත්ව හිටිය නියන්ඩනාල්ල, ඊටත් කලින් හෝමෝ ඉරෙක්ටස්ලා වගේ අපේ නෑයෝ උනත් මේ ගුහාව ගැන දැනගෙන ඉන්න ඇති. නමුත් නූතන මානවයා ගේ කාලයේදී මේ ගුහාව අහම්බෙන් වගේ වියට්නාම ගොවියෙකු විසින් ගුහා පිවිසුම සොයාගත්තයාය කියලයි සඳහන් කරල තියෙන්නේ හැම තැනම. ඒ හොයාගත්ත මනුස්සයා පස්සේ ගුහාව බලන්න යන අයගේ උපදේශකයෙක් විදියටත් කටයුතු කරා කියල කියන්න පුලුවන් විදියේ පින්තූර ඕන තරං අන්තර් ජාලේ තියෙනවා. 1969 වර්ෂයේදී උපන් මේ පුද්ගලයාගේ නම හූ කාන්ග් (Hồ Khanh). දවසක් ඔය කැලේ අස්සේ පාර වැරදිලා ඉන්න වෙලාවක තමා, සිව්රුහන් නාදයක් වැනි සුළගේ සද්දයක් නිසා ආපු කුතුහලය නිසාවෙන් ගුහාව දැකගත්තය කියන්නෙ. ඒ උනත් 2009 දී බ්‍රිතාන්‍ය ජාතික ගුහා ගවේෂණය කරන්නන් කණ්ඩායමක් පැමිණ ඔහුගෙන් උදව් ඉල්ලා සිටින තාක් ඔහුටත් නැවත ඒ ගුහාව හොයාගන්න ලැබිල නෑ. මොකද මේ ගුහාව ඝණ කෑලෑවෙන් වැහිලා, කඳු අස්සේ හැංගිලා තියෙන නිසා ගූගල් අර්ත් දෙයිය කැඳවලාවත් හොයාගන්න බැරි තැනක් නිසා. එතකොට නියම විදියට නම්, කාන්ග් මහත්තයගේ උදව් ඇතිව අර කට්ටිය 2009 අවුරුද්දෙදි තමා පළමු වරට මේ ගුහාව නිශ්චිතවම අනාවරණය කර ගෙන තියෙන්නේ. හැබැයි සමහර තැන් වල සඳහන් වෙනවා අර කට්ටිය ආවේ 2006 දී කියලා. නිල වෙබ් පිටුව අනුව එම වර්ෂය 2009 ලෙස සැලකීම කරන්න පුළුවන්. 

ඔය කාන්ග් මහත්තයා පස්සේ පස්සේ ටික ටික දියුණූ වෙලා දැං නං ඒ කිස්ටුව ලස්සන නවාතැන්පළක් කරගෙන ඉන්නවා. ඔය අයත් ගුහාව බලන්න යනව නං මෙතන නවතින්න බුක් කරගන්න.  හෝව්.. 2017 අවුරුද්දට තියෙන සේරම සංචාරක බුක් වෙලා ඉවරයිලු.


Hồ Khanh මහත්තයා

කලින් කිව්වත් වගේ මේක අති විශාල ගුහාවක්. ඒ වගේම ලෝකයේ දෙවැනියට විශාලම ගුහා සංකීර්ණය ඇමරිකාවේ පිහිටියත්, තනි ගුහාවක් විදියට ගත්තම ලෝකයේ දෙවැනියට විශාලතම ගුහාව වෙන්න ඕන මැලේසියාවේ පිහිටි Deer Caves තමා.

මුලින්ම මේ ගුහාව ගවේෂනය කරන්න ගියපු අය “බලාගෙන ඩයිනසොර්ලා ඇති“ කියන අවිනිශ්චිත සැකයකින් එය ගවේෂණය කරපු බව සඳහන් කිරීමෙන්ම හිතා ගත හැකි මේ විශාල ගුහාව බාහිර ලෝකයෙන් කොතරම් වෙන්වී හුදකලාව පැවතී ඇත්ද යන බව.

මේක වෙනම ලෝකයක්. කලින් කිව්ව වගේ මේ ගුහාවට අයිති වෙනම ශාක පද්ධති, ජල පද්ධති, ගංඟා, විවිධ පාෂාණ, හුණුගල් තට්ට් හෙම තියෙනවා. ගුහාව ගවේෂණයට යනවා කියන්නෙ ඉතා භාරදූර කාර්යයක්. හරියටම කියනවං පට්ට ඇඩ්වෙන්චර් එකක්. අදාළ පළාත් පාළන ආයතනය විසින් චාරිකා සංවිධානය කිරීම සඳහා අවසර දී අැත්තේ එකම එක සමාගමකට පමණයි. ඒ සමාගම 2017 වර්ෂය සඳහා නිකුත් කරන ලද අටසීයයක් වූ සීමිත සංචාරක ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය 2016 වර්ෂය මැද හරියේදී, එක් දිනක් තුල විකිණී අවසන් වූ බවයි Lonely Planet අඩවියේ සඳහන් වෙන්නේ. මෙම සමාගම ගුහාව ගවේෂණය කිරීම ලෙවල් 6 කින් සිදු කරනු ලබන අතර, ඒකේ දුෂ්කරම මට්ටම එනම් ලෙවල් 6 මට්ටමට යනකොට මෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා කියලයි කියන්නේ.


  • ගුහාව ගවේෂණය කිරීමට ඉතා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය.
  • කිලෝමීටර් 25කට නොඅඩු දුෂ්කර කැලෑ සහ කඳු තරණය
  • මීටර් 400 ක් දක්වා වූ උන්තාංශ වෙනස
  • මීටර් 10-15 දක්වා පළල්, දණහිස දක්වා ගැඹුරු ගංඟා තරණය (40 වතාවක්)
  • බඩගාගෙන, කඹ දාගෙන කිලෝමීටර් හතක් දක්වා ගුහාවේ ඉහලට නැගීම
  • ප්‍රභල ජල තරංග ඇති, පොළව යටින් යන ගංඟා තරණය

පේනවා නේ තරම.

භූ විද්‍යාඥයන්ට අනුව මෙම ගුහාව ඇති වීමට හේතුව ලෙස සලකන්නේ වසර මිලියන පහක තරම් ඈත කාලයේදි තිබු ගංඟාවක් විශාල හුණුගත් තට්ටුවක් හරහා ගමන් කිරීමේදී, පොළවේ අස්ථාවර ස්ථානයකින් ගිලා බැසීම නිසා මෙම ගුහාව නිර්මාණය වූ බවයි. කාලයත් සමඟ ගුහාවේ ඉහල කඩා වැටීම්, පාෂාණ තට්ටු තැන්පත් වීම් හේතුවෙන් නිර්මාණය වූ මෙම ගුහාවේ එල්ලෙන හුණූ කඳු (stalactite pillars), සුර්යාලෝකය සඳහා නිරාවරණ වූ පෙදෙස්, හුදකලා කඳු, ශාක පද්ධති ආදිය කාලයත් සමඟ ඇති වන්නට ඇතිය යන්නත් සඳහන් කර හැකියි. සාමාන්‍ය වශයෙන් තට්ටු හතළිහක් උස ගොඩ නැගිල්ලක් උනත් කිසිම කරදරයක් නැතිව මේ ගුහාව ඇතුලේ රිංගවල තියන්න පුලුවන්.












අති විශාල ජෛව විවිධත්වයක් ඇති මෙම ගුහාව සොයාගෙන දැනට අවුරුදු කිහිපයක් වන නිසා, සම්පූර්ණයෙන්ම ගවේෂණය අවසන් කර ඇතැයි සිතීම අපහසුයි. එම නිසා තවත් කාලයක් ගත වෙද්දී ගුහාව සම්බන්ධ තවත් තොරතුරු අපට දැනගත හැකි වේවි.

ජෛව විවිධත්වය අනුවත් භූගෝලීය පිහිටීම අනුවත් ඉතා වැදගත් ස්ථානයක් වන මෙම සොන් ඩූන් ගුහාව සම්බන්ධ කෙටි වීඩියෝවකින් කතාව නතර කරමු.



Wednesday, August 23, 2017

කවිද අහනවා බොරු!!

එන විට යන විට
කණූකුණු ගාන

“එනකොට පිටි පැකට් එකක් ගෙන්න“

කොහෙන් තියෙද සල්ලිද?
හිතා හිතා තැවෙමින්
කන්තෝරු යනකොට
මතක් වෙයි ලබන මස
ගෙවිය යුතු ණය බර

ඒ අස්සේ,
මඟදී
ආතර් අයියා

“මහත්තයා. කොල්ලගේ මඟුල් ගේ ළගයි්
මහත්තයට තමා ඉස්ඉස්සෙල්ලම කියන්නේ“

කියනකොට

හන්දිපත් වෙව්ලුවා
සුසුම්නා ඉරාගෙන
හිරි වැටෙන රිදිල්ලෙන්
හිනාවකි පැන්නේ

හවස මං එනකොට
තුන්සීයක් හොයන එක
කොච්චර බරක්ද

දාහකට වැඩිය ලැජ්ජයි
කියල හිතෙන කොට
ආතර්ගේ මඟුල
නාහෙටම කටු අනිනවා

ලබන මාසේ ණය
එක්ස්ටෙන්ෂන් එකක් ගනිවී
අතට එන රුපියලෙන් 
ඇඳුමක් කුඩුමක් හදාගෙන
යන්න වෙනවාමය මඟුලට


ඊටත් කලින්...

බුලත් දෙන්නට ආවම

ඒකට තෑග්ගක් 
සොයා ණය කන්දක්
එළි පත්තු කරද්දී

කිරි පැකට් කීයක්ම ඒකෙන්
ගන්න හැකි දැයි කියා

මං ගණං හදනවා

සංසාර චක්කරේ
යන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..


ආධුනික කිවියර - දේශක

Friday, August 18, 2017

කෙටි කවි!! (Oh. No. Again??)

වැස්ස

සුදට හොදැහැටි ඉන්න
කිරි පාට වලාකුළු
මහා හයියෙන් හැඩුවේ
කරදියේ පෙඟුනාම

කාටද අයිති?

වැටේ ඉන්නක පිපෙන
පුංචි ලස්සන මලක් වුව
සැලෙයි වේවලයි නිතර
කාට අයිති වේදැයි බියෙන්

ඉරිසියා කඳු

හිම වලින් කබායක්
කවදා මහගන්නද කියා
සමක ඉර අසළ කඳු
සදා වැලපෙයි හඩා

වළා අතරින් හොරෙන්

කොපර කොපර පිපිඤ්ඤා
වළා බිඳලා දුවන්නා
එහෙම කිව් කෙනෙක් නෑ
විදිලි එළි, හෙණ සද්ද.. ඩාං


දුෂ්ටකම්
රත්තරං වළල්ලක්
රසදියේ පොඟවමු
ආඩම්බර කම් පාන
සිලි සිළිය පරද්දමු


විකාල භෝජනං

රෑ බඩගින්න ආවම
සාමණේර පොඩි හිමිට
බණ පදත් පෙරලගෙන
යන්න හිතෙනවා ගෙදර


සැබෑව

ගතින් එකයි
සිතින්..
දෙකයි - තුනයි
කව්රු නම්
දනීද?


කලින් එව්වා. මේවත් බලන්න.