යන්න ඕන උනාම නොකියා ම යන්නත් ඉඩ තියෙනවා. ඒ තරං ජීවිතේ විතරක් නෙමෙයි හැමදේමත් අවිනිශ්චිතයි. කාලයක් බලාපොරොත්තුව හිටපු දෙයක් එක පාරටම අතට වඩම්මවල දීලා, සිංගාරං හෙම ගහල එළි පැත්ත බැහැපු ගමන් අතේ තිබ්බ එක වෙන එකෙක් කටේ දාගත්ත සීන්, මට එමට වෙලා තියෙනවා. මේ කතන්දර කියන්න වෙන්නෙත් ඒකේ අලුත්ම වර්ෂන් එක මට මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්චි හින්දයි.
මොන විදියකින් හරි, ගොඩ යන්න උත්සාහ කරන එක අපි හැමෝගෙම එකම හීනයක් නෙව. ගෙයක් දොරක් හදාගන්න, ළමිස්සියෙක් කැන්දං එන්න.. හෝව් හෝව්.. මේකා මැදිං පැනල නොවැ.. එහෙම නෙමෙයි හොද ඉස්කෝලෙකට යන්න, ක්ලාස් ගිහිල් හොදට ඉගෙන ගෙන ඒ ලෙවල් ඉසඩ් ස්කෝර් උඩින්ම තියාගෙන කැම්පස් යන්න. කැම්පස් ගිහිල්ල මෙරිට් එක්ක උඩින්ම පාස් වෙන්න. එහෙම පාස් වෙල ඔය මොකෙක් හරි වෙන්න.. අන්න ඊට පස්සේ තමා අර මුලින් කිව්ව කාරණා ටික ඔළුවට කඩා පාත් වෙන්නේ. ඔය කොළු වයසට (මං කිව්වේ අපේ), දෙමව්පියන්ටත් ඒකම ඔළුවට ගහන එක නෙව වැඩේ.
“පුතේ හොද ඉඩං කෑල්ලක් ගනිං. ගෙයක් හදපං. බොට හොද මනාමාලියෙක් මං බලන්නං“
ඔන්න එක දිගට කරදර වැල පටන් ගන්නවා මොකක් හින්දද?? සල්ලි හොයන්න යාන්තං පටන් ගත්ත ගමන්ම. හුගක් උන්ට වෙන්නේ තමන්ගේ, දෙමාපියන්ගේ, නෑදැයන්ගේ බසට වහන් වෙලා රස්සාව පටන් අරගත්ත ගමන්නම කසාදේ කරගෙන, ගෙයක් හදාගන්නවා කියන භූමිදාන කටයුතු වලට වෙහෙසෙන්නයි නොවැ. බැංකු ගානේ රිංගනවා, ණය කියල ඇහිච්ච ගමන් ඇන්ටනාව දාලා ඒවා බලනවා. කොහෙන් හරි කීයක් හරි හොයාගන්න ක්‍රම හොයනවා. අනේ අනිච්චං.. පටන් ගත්ත ගමන්ම දුක පැටව් ගහනවා.
කරන්න දෙයක් නෑ.. ඔය කසාදෙයි ගේයි ගන්නවයි කියන්නේ අබිං කනවා වගේ වැඩ නෙව.. කන්නත් ඕන.. ඒත් නොකා ඉන්නනං බෑ.. කෑවට පස්සේ විදවන්නත් ඕන. මොනා කරන්නද, ඒකට නෙව කියන්නේ ගහපු බෙරේ (හැක් හැක් වැරදුනා) බැදපු බෙරේ ගහගනිං කියලා. අපි කොහොමත් දන්න එකක් නෙව ඔය හෙනහුරා ලැබුවට පස්සේ කරන්න තියෙන්නේ ඒ අපලේ ගෙවෙන්න ගෙයක් හදන එකය කියලා. (නැද්ද වෙද මහත්තයෝ)
හා ඔය හෑලි ඇති.. අපේ අර මොඩර්න් පැට්රියට් මලයත් ගෙයක් දොරක් හදන්න පටන් ගත්තය කියල ආරංචි උනා. ඒ උනාට වැඩක් නෑ ඌට නිකං දීපු ලස්ස 20 ගන්නත් බැරි උනා. මොකද අර විමලයා ටිකක් හරි හොදා, මේකා සීගිරිය තියෙන පලාතවත් නොදන්න එකා වෙච්චි කොට.. හැක්..
ඒකෙන් කාරි නෑ. මගේ ඔය කම්මැලි කම යන්න කියල කොටා බාන බලගයක් තිබුනා.. ඒක දැන්නං පාළුවට ගිහිල්ල. ඒ උනාට ඒකේ හිට් කවුන්ටරේ නං නගිනව ඕසේට.. ඇයි ඉතිං ගූගල් එකේ සෙක්ස් කියල ගැහුවොත් ඒකත් නිකංම මාට්ටු වෙන හින්දා.. බලාපු නැති කස්ටිය ඕක ටිකක් විපරං කොරල බැලුවනං හොදා. මොකද ඒකේ මම කොටා බාපු සමහර කතා මං කොටාබාපුවද කියල සැක හිතෙන ගානට තැන් තැන් වලට උස්සල දාලා තිබුනා.. මට මතක හැටියට එකම කතාව හය පාරක්ද කොහේද උස්සලත් තිබුනා. ඔන්න ඔහේ නිකං ඉන්න එකේ ඒකත් බලල දාන්න.. ටික දෙනෙක් නං ඉන්නවා ඩේලි කස්ටර්මර්සලා. මේ අපේ හිරු, තිසරයා, වල් රජා වගේ ඈයෝ.. හැක්... ඕං බලාගං මගේ රසකතා
දැන් හැලපයගේ සීන් එක මටත් බෝ වෙලාද කොහේද ලියන්න ආපු එක නෙමෙයි නේ ලිව්වේ.
අපේ බොහොම ළග ඥාති වෙන අයිය කෙනෙක් ඉන්නව නුගේගොඩ ජුබිලි කනුව හරියේ.. ඊටත් එහා.. මිනිහා ඔන්න මේ වෙසක් එකට ආපු වෙලාවේ මට කිව්වා.
“මල්ලි. මම ගෙයක් හදන්න පටන් ගත්තා“
“නියමයි නේ අයියේ. කොහොමද හදන්නේ“
“මල්ලි මේක තට්ටු තුනයි, පාර්කින් එක වෙනම, පොඩි පූල් එකකුත් තියෙනවා. බොලා ආවම බොන්න තැනකුත් විසේසෙන් හදනවා“
අපේ අයියා නයෙක් නෙමෙයි. අයියගේ කතාව අහගන්ටකෝ එහෙනං.
නිහාල් එයාගේ පවුලේ වැඩිමලා. නිහාල් එක්ක පවුලේ හය දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මල්ලිලා දෙන්නයි නංගිල තුනයි. තාත්තා අබ්බගාතයා. වඩු වැඩ තමා කරන්නේ. අම්මා ඔය වත්තේ පිටියේ මොකක් හරි වවාගෙන කෑම උයන එක තමා කරන්නේ. ගෙදර තිබ්බ තත්වෙත් එක්ක නිහාල්ට සිද්ධ උනා තමන්ගේ ඉස්කෝලේ ගමන නවත්තල දාන්න. මොකද නංගිල මල්ලිල ඉස්කොලේ යවන්න නං තවත් ආදායම් මාර්ගයක් ඕන බව නිහාල් ට තේරුනා. තාත්තාට කිව්වම හ්ම් සද්දයක්වත් නැතිව හිටි නිසා නිහාල් පහු වෙනිදම ඉස්කෝලෙන් නතර උනා. දවස් දෙක තුනක් ඇවිද ඇවිද ඉන්න කොට ස්කූල් වෑන් එකක ළමයි නංගවන්නයි බස්සවන්නයි පොඩි ජොබ් එකක් සෙට් උනා. ඒක කරගෙන මාස ගාණක් ඉන්න කොට මිනිහට වෙන ස්කූල් බස් එකක් සෙට් උනා ළමයි පටවන වැඩේට. ඉස්සර ස්කූල් වෑන් වල එක්කෙනෙක් හිටියා මයේ හිතේ ළමයි ගන්න. මොකද දැං වගේ ජනාකිර්ණ නෑ නෙව.
ඔය විදියට බස් එකේ වැඩේ කරගෙන හිටපු නිහාල් ට තමන් ඉස්කෝලේ නොගියට කිසිම සාංකාවක් තිබුනේ නෑ. නංගිල මල්ලිල ටික ඉස්කෝලේ යන්න මිනිහගෙනුත් උපකාරයක් ගෙදරට ලැබෙන එක ගැන නිහාල්ට සතුටක් තමා තිබුනේ.
බස් එක නිවාඩු මාසේ රෙපයාර් වැඩ වලට කොළඹ අරගෙන යනවා. එතකොට නිහාලුත් යනවා. ඒ මදිවට ඔය රෙදි වෙළෙන්දො දෙතුන් දෙනෙකුත් යනවා. ඒ අයගේ බඩු පටවන් එන්න. නිහාල් මේක දැක්ක. බස් එක පිරෙන්න ඒගොල්ල රෙදි රෝල්, වෛවාරන්‍ය ආයිත්තං පෙට්ටි හෙම දමාගෙන යනවා. ඔය වගේ නිවාඩු කාල දෙක්කම හොදට නිරීක්ෂණය කරපු නිහාල්ට, අර වෙළෙන්දොන්ට සප් එක දෙන්න කඩ වලටත් යන්න වෙච්චි හින්දා තොග කඩ වල කිහිප දෙනෙක් අදුනගන්න පුළුවන් උනා. ඒකෙන් නිහාල් කරේ ඉමිටේෂන් බඩු ටිකක් ගන්න එක කඩයක් එක්ක කතා කර ගත්ත එක. ඒ කඩේ දෙමළ මුදලාලි මේ කොල්ලට බඩු බෙහොම සුළු ප්‍රමාණයක් ණයට දෙන්න පොරොන්දු උනා. එහෙම වෙලා නිහාල් ඔය සුකුරුත්තං බඩු ටිකක් ණයට ගෙනාවේ සති දෙකකින් ආයි දෙනව කියන පොරොන්දුව උඩ. එහෙම බඩු ගෙනැල්ල බස් එකේ නොයන වෙලාවට පොඩි ලෑල්ලක ඔය ටික දාගෙන නිහාල් ටවුම මැද අව්කාස්ටකේ මේවා විකිණුවා. ඒත් සති දෙක යනකොට විකුණගන්න බැරි උනා. නිහාල් කරේ ඉක්මනටම ගිහිල්ල කඩේ මුදලාලි හම්බ වෙලා, ඉතිරි බඩු ටික දීල, හොයාගත්ත සල්ලි ටික දෙන්නයි. ඒත් නිහාල් ගේ වචනෙට වැඩ කිරීමේ හැකියාව දැක්ක මුදලාලි කිසිම පැකිලීමකින් තොරව, තව බඩු ටිකක් දුන්නා, “කොල්ලෝ තව ටිකක් ඔදට මහන්ෂි වෙන්න“ කියලා.
නිහාල්ට ඒ වචන ටික බොහොම සැරට පපුවට වැදුනා. මිනිහා රැයක් දවාලක් නොබල ලෑල්ලේ ඉදිරිපිට හිටියා. ඒකෙන් මේකෙන් ඔය බඩු ටික විකුණලා ණය බේරලා තව බඩු ටිකක් ගන්නත් නිහාල් පුළුවන් උනා. ඒ පාර බඩු වැඩි පුර ණයටත් ගෙනැල්ල ටවුමේ දාපු ලෑල්ල ලොකු කරා. අපි කියන්නේ ඔය පේමන්ට් කඩ කාරයෝ කියල. නිහාල් ඒ තත්වෙට අවුරුදු 15 - 16 වෙන කොට පත් උනා. ඔය විදියට කරගෙන ආපු ලෑල්ලට, නිහාල් බඩු ගේන්න යන්නෑ. මුදලාලිට කෝල් එක දුන්නම, බඩු ටික මොකක් හරි එන එකක දාලා එවනවා. කඩේ වැඩ කරන උන්ට මුදලාලි නිතරම කියනවා. “උත්සාහවන්න කොල්ලා, ඌට දවසක හරියනවා කියලා“
මුදලාලිගේ කාරුණික සහයෝගයත් එක්ක නිහාල්ගේ ලෑලි තට්ටුවේ සුකුරුත්තං වෙළදාම නැගල ගියා. නිහාල් මුළු කාලයම ඒකට යොදවන්න ඕන නිසා බස් එකෙන් අයින් උනා. ඊට පස්සේ ඔය වෙළදාම කරගෙන ගියා. ඒත් අතරමග නැත්තටම නැතිවීම් නොවුනා නෙමෙයි. කිසි ගානක් නැතිව ඒ වෙලාවට ආයේ ස්කුල් වෑන් එකක හරි බස් එකක හරි නැගල ගානක් හොයාගන්න නිහාල් පසු බට උනේ නෑ. ඔය විදියට වැඩේ කරගෙන යද්දී. නිහාල් දැක්කා මහරගම රෙදි ලාබ විත්තිය. ඒකෙන් රෙදි කෑලි ටිකකුත් ගෙනැල්ල විකුන්නා. කාලයක් යද්දි ඒ කඩ ටිකත් නිහාල් ගේ ගජයෝ උනා. ඒකෙන් නිහාල්ට අදුරගන්න පුළුවන් උනා රෙදි මහන ගෙදර. එහේ ගිහිල්ල මහරගමට වඩා අඩු ගානට රෙදි ගත්ත නිහාල්ට, රෙදි ගෙදර දූවත් නොගෙන ඉන්න බැරි උනා. දෙන්නත් එක්ක ගමට ඇවිල්ල මහ ගෙදර ජීවත් උනා. ඒත් හරියට කන්න බොන්න විදියක් නෑ ඇයි ඉතිං තව එක බඩක් වැඩි වෙලා නෙව ගෙදර. එතකොට ගෙදර ඔක්කොම නමයයි. මේ මනුස්සයත් ගෙදර කෑම සපයන යන්තරයක් වෙන්න වැඩි දවසක් ගත්තේ නෑ. ඇදුම් කෑලි මහන්න, රෙදි පටි වලින් පාපිසි මහන්න. අහල පහල බතික් වැඩ පොලක වැඩ කරන්න, එක්සයිස් පොත් හදන ගෙදරක වැඩ කරන්න. හැම විදියටම නිදහසක් නැතිව සුජාතත් වැඩ කරා.
දෙන්නම දවසක් කතා කරගත්තා මේක හරියන්නැති හින්දා සුජාතාගේ ගෙදර යන්න. එහේ ගියා. ඒත් ඒක හෙන කරදරයක්.. සුජාතගේ තාත්ත බෙබා. රෑ ට ශබ්ද පුජා තියනවා හිටු කියලා. නිහාල් ට තේරුනා මේ විදියට ඉන්න බෑ කියලා. ගත්තා පොඩි ලෑලි ගෙයක් අහලින් පහලින් රෙන්ට් එකට. ඔය ලෑලි ගෙදර ඉදගෙන නිහාලුයි සුජාතයි දෙන්න කෑමක් බීමක් නින්දක් නැතිව වැඩ කරා. වැඩ කරල යාන්තං මැසින් දෙකක් දාලා තව එයාගේ නංගිත් දාලා ඇදුං කෑලි මහන්න ගත්තා. නිහාල් නුගේගොඩ හන්දියෙන් ලෑලි තට්ටුවක් දාගත්තා. එයා උදේ 6 ට ගියාම ආයේ රෑ 8 ට විතර ගෙදර යන්නේ. ඔය විදියට නිහාල් කොළඹ බඩු ගෙන්න යනවා. බස් එකක දාගන්නව කර තියාගෙන යනවා. මහ රෑට ගෙදර.
ඔහොම ඉදල පොඩි මේටි කට්ටක් අරන් බඩු ගෙන්නයි බඩු දාන්නයි පටන් ගත්තම පොඩි නිදහසක් ලැබුනා. ලෑල්ලේ ආදායම හොද උනා. ලෑල්ල ඉස්සරහ කඩේ හිටිය අය බද්දත් නොගෙවා මාරු වෙච්චි විත්තිය දැනගත්තම නිහාල්, අයිතිකාරයගෙන් ඒක බද්දට ගත්තා. එතන බොහොම පොඩියට කමියුනිකේෂන් එකක් දාගෙන, පස්සේ හෑන්ඩ්පෝන් අරව මේවා දාන තත්වෙට ගෙනාවා. ඊට පස්සේ නිහාල් ට ඕන උනා වෑන් එකක් අරගෙන කැබ් සර්විස් එකකට දාන්න. අමාරුවෙන් ලීස් එකක් ඇදල 250 ඩොල්පින් එකක් අරගෙන 533533 ට දැම්මා. ඒකේ අවුරුද්දක් විතර දුවන කොට නිහාල්ගේ වැඩේ නැගල ගියා. මිනිහා තව එකක් ගත්තා. ඒකත් දැම්මා. ඔය විදියට අවුරුදු තුනක් යනකොට මිනිහ වෑන් තුනක් කැබ් සර්විස් එකට දැම්මා. ඊට පස්සේ පිං අතේ වැඩ හෙම හොදට කරන්න ගත්තා. ඔය නුගේගොඩ පැත්තේ වැඩියෙන් ඉන්නේ සෝබන ආගම් කාරයෝ නෙව. කටිනෙටත් විකාර නැටුං තියෙන පෙරහරවල් යනවා. කෝක උනත් නිහාල් සෝබනේටත් වැඩ කරා. මොකද මිනිහා නමට හරි කැමතියි. වැල්ලවාය, බුත්තල, තණමල්විල, ගාල්ල (ඇතුලෙන්) කුඹුරු, ගොඩ ඉඩං කඩං ගත්තා. කාලයක් යනකොට ඒවයේ ආදායමත් එන්න ගත්තා. නිහාල්ගේ කල්ල මරේ උනා. ඒත් තාමත් ලෑලි ගෙදර. හරියටම බැලුවොත් අවුරුදු 20 ක් විතර. කොහොම තියෙන්න ඇද්ද, රෑට ඩොල්පින් තුනක් පාක් කරන්න ලෑලි ගෙදර මහත්තයා ගැන.
ඉතිං අවුරුදු 20 කට විතර පස්සේ නිහාල්ට හිතුනා ගෙයක් හදන්න. හැබැයි අතේ තියෙන ගානටවත් ණය අරගෙනවත් නෙමෙයි. තමන්ට ඕන විදියේ ගෙයක්. ළමයින්ට වෙනම තට්ටුවක්. වාහන වල ඩ්‍රැයිවර්ලට වෙනම කාමර. ස්විමින් පූල්. මිනි බාර් එකක්. පට්ට ගාර්ඩන් එකක්. අමුත්තන්ට කාමර. ආයේ දෙකක් නෑ ප්ලෑන් එක අනුව පට්ටම ගෙයක්. හැබැයි මාස හයෙක් ඉවර වෙන්න ඕන කියල මිනිහා කොන්ත්‍රාත්කාරයා එක්ක ගිවිසුමකුත් අත්සන් කරලයි තියෙන්නේ.
“ඇයි අයියේ මෙච්චර කල් හිටියේ ගෙයක් හදන්න“
“මල්ලි, ගෙයක් ඕන වෙලාවක හදාගන්න පුළුවන් සල්ලි තියෙනං. ඒකට බාධාවක් තියෙනවද? ඒත් අපිට ජීවත් වෙන්නයි දියුණු වෙන්නයි තියෙන සල්ලි ටික පස් වලට යට කරල ගෙවල් හැදුවම අපි ගොඩ යන්නේ කොහොමද?“
“නෑ මං කිව්වේ පොඩියට ගෙයක් හදාගන්න තිබුනනේ ඒත්“
“මොකටද මල්ලි, මගේ ලෑලි ගෙදර රෙන්ට් එක කිසි අවුලක් නෑ. මම බුරු ඇදේ නිදාගන්නවා. මට කිසිම කරදරයක් නෑ. ඉතිං මම සල්ලි හෙව්වා..වැඩ කරා මහන්සි උනා.. ඔන්න දැං මට ගෙයක් ඕන කියල හිතුනා. ඉතිං එතකොට මට මොන ප්‍රශ්නද? මල්ලි දන්නව නෙව. මට රත්තරං වලින් ටයිල් අල්ලන්න උනත් පුළුවන් දැන් තියෙන සල්ලි වලින්“
“නිහාල් අයියනං මාරම පොරක් තමා“
“පොරක් නෙමේ මල්ලි, අපිට කරන්න ඕන දේ අපි ඒ කාලෙටයි කරන්න ඕන. දැං බලහං මම ගෑනි ගෙනාපු ගමන් ගෙවල් හදන්න ගත්තනං මොකෑ වෙන්නේ.. හාන්සියි නේ.. දැං මම අර ලෑලි ගේත් කඩල සිමෙන්ති ගෙයක් හදලා අයිති කාරයට දෙන්නයි ඉන්නේ. මිනිහා මට කරපු සේවේ හැටියට“
නිහාල් අයියගේ කතාව අහගෙන මගේ ඇස් නිකංම්ම උඩ ගියේ, මගේ බාගෙට හදාපු පත ගෙයි කපරාරු නොකරපු බිත්ති දිහාවට තමා..