Friday, October 23, 2015

ලේඛකයා!!

සම්පුර්ණයෙන් අඳුරෙන් පිරී ඇති කුඩා කාමරය තුල අලුත් පොත් හා පැරණි පොත් පුසුඹ මුසු වීමෙන් එහි වාතාශ්‍රය අමුතුම ආකාරයේ විඳිමක් බවට පත් කර ඇත. කාමරය පුරා බිත්ති දිගේ තබා ඇති පොත් රාක්ක තුනක එකතුවක් ලෙස බිම් මට්ටමේ සිට අඩි පහක් පමණ උසක් වැසෙන සේ අසුරා ඇති පොත් ප්‍රමාණය අඩුම වශයෙන් දෙදහසක් පමණවත් වනු ඇතැයි අනුමාන කළ හැක. කාමරය මැද්දට ආසන්නයෙන් කුඩා ලී මේසයක් ඇත. එම මේසයේ හතර කොනම සුමට අයුරින් තබා ඇත්තේ කාමරය භාවිතා කරන්නාගේ නොසැලිකිලිමත් ගමණකදී ජනනේද්‍රිය ප්‍රෙද්ශයට දැඩි බලපෑමක් ඇති නොවන අයුරින්ය. මේසය එක් පසෙකින් ඇති සාමාන්‍ය ලී ඇදි පුටුවෙහි වර්ණය බොහෝ සේ දුර්වර්ණ වී ඇත. අලුත ගෙනෙන විට එහි තිබු දිස්නය හෝ පොලිෂ් සුවඳ දැන් කිසිදු අයුරකින් විරාජමාන නොවේ. පුටුව ඉදිරිපස ඇති මේසයේ යට දාරය පුරා කාලයක් තිස්සේ තැන්පත් වූ ඉටි වැනි යමක් නිසා දැඩි ලෙස කළු ගැහී ඇති අතර, ඒ අපගේ කතා නායකයා දවස මුලුල්ලේ තම නහයෙන්, ඔළුවෙන්, ඇගිල්ලෙන් ගෙන ඉවත් කරන නොවැදගත් දේ නිසාය. වැල් පුටුවේ මුදුනත ඔහුගේ ඔළුව ගැටෙනා තැන තනි කළු පාටින් අඳුරු වී ඇත. පුටුවේ අත් වාරු මතද තැනින් තැන කළු පැහැ ගැන්වී ඇති අතර, මේස යට දාරයේ තිබෙන අයුරින්ම තවත් ඉටි තට්ටු පුටුවේ අත් රදවනය කොනින් යට දෙපැත්තේද එකී ආකාරයටම ඇත. කිසිදා වෙනස් නොවනා, කිසිවෙකු අත පත නොගාන ඔහුගේ එකම සන්තකය මේ කාමරය තුල සිර වී ඇති සේය.

දවසින් වැඩිම කාලයක් මේ කාමරය තුල ගත කරන අපගේ කතා නායකයා ලේඛකයෙකි. විචාරකයන් විසින් හදුන්වා දෙන පරිදි කෘතහස්ත ලේඛකයෙකි. නමුදු අපගේ ලේඛකයා එම විචාරයන්ගෙන් නොසැලී තව තවත් ඔප් නැංවූ පොත් පත් ලිවීමෙ කාර්යයෙහි නිදි වරා යෙදෙමින් සිටියි. විචාරක ප්‍රේමය කෙසේ වෙතත්, පාඨක ප්‍රේමය නම් ඔහුට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව ඔහු කිසිවෙකුටත් කියා නොමැත. මුග්ධ විචාරකයන් පවා නයිටින්ගේල් කුරුල්ලන් මෙන් ඔහුට ප්‍රශස්ති ගී ගයා ඇත. එහෙත් පොතක් ප්‍රකාශයට පත් කරවා ගැනීම සදහා තමාගේ ප්‍රකාශකයා වෙත යන හැමදාකම ලේඛකයා අගුටුමිටිටෙකු වී ප්‍රකාශකයා යෝධයෙකු මෙන් ඔහුට හිරිහැර කරනා බව දන්නේ ඔහුම පමණි.

“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා. ගිය පාර පොතෙන් ගහපු කොපි දාහෙන් අඩුගාන පන්සියක් වත් තාම විකිණිලා නෑ.“

“මං මොනවා කරන්නද ඉතිං.. මට පුලුවනෑ අඩල දොඩල පොත් විකුණන්න“

“දැං ගිය පාර කොපි සීයක් මහත්තයා ගත්තා. පුස්තකාල වලටය කියල තව තිහක් දුන්නා. පොත පිට කරපු දවසේ යන්තං පොත් අසූ පහක් ද කොහේද නේ ගියේ. දාපු පොත් වලින් පවා තාම ඇවිල්ල තියෙන්නේ සුළු ගාණයි.“

“හරි.. මං ඔහේගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.“

“ඒක වෙනම කාරණයක් නේ මහත්තයෝ... මේකයි.. බොරුවට සල්ලි යට කරල අවුරුදු ගානක් බලං ඉන්න මට බෑ.. මං මහත්තයට මේ උදව් කරන්නෙත් මහත්තයා මොන දේ උනත් මං ගාවට එන නිසා. අනික ඔය පත්තර වල මහත්තයගේ පොත් ගැන වර්ණනා ගියාට මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“

නෑසු කන්ව සිටිය යුතුදැයි, නැතහොත් යමක් කිව යුතුදැයි නිනව්වක් නොමැතිව ලේඛකයා ඔහු දිහාම ඇස් නොසෙල්වා බලා සිටියේය. තත්පර තිහක හතලිහක මෙම නාඩගම දුටුවේ නම් ශෂිකා නිසංසලා ගයන අලුත්ම ගීතයේ එකම පදය “මා ඇසි පිහි නොහෙලා බැලුවා ඔබ දෑස දිහා“ ලෙස වෙනස් කරන්නට පවා එහි රචකයා කටයුතු කරනු ඇත. මේසය මත තිබු අත් පිටපත තමා වෙතට ඇදගත් ලේඛකයා මහා බරක් මෙන් එය කිහිල්ලට ගෙන නැවත යාමට හැරුණි.

“වීරතුංග මහත්තයා.. අමනාප වෙන්න එපා.. අපි තව ටික දවසකින් බලමු“

“නෑ කිසි අමනාපයක් නෑ. මං ගොහින් එන්නං“

“මහත්තයා. රුපියල් දාහක් විතර දෙන්නද? පස්සේ කපා ගන්න“

“නෑ ඕනි නෑ... මං යන්නං“


වීරතුංග මහතාගේ මනසෙහි ගොර ගොරය දැඩි වන්නට ගත්තෙ පොත් සාප්පුවෙන් එළියට බට කල්හිය. සීතල වී තිබු කුටියෙන් එපිට අව් රස්මිය එක වරම ගතට දැනීමෙන් ඔහුගේ රෝම කූපයන් වේදනාවට පත් විය. රෝම කූප පරායා යමින් සමෙහි ක්ෂුද්‍ර සිදුරු හරහා හෝස් ගා එක් වරම සිරුරට ඇතුල් වූ රස්නයෙන් විපරිත වී ගිය සිරුර පරදා ඔහුගේ සිතද උණුසුමකට ලක්ව ඇති සේය. ප්‍රශ්නය පටන් ගන්නේ මේ මොහොතේ බව ඔහුට හැගෙන්නට විය. වසර ගණකාවක් නොඒසේ නම් දශකයක් පමණ කාලයක් තිස්සේ තමාගේ පොත් ප්‍රකාශයට පත් කළ ඒ තක්කඩියා මෙපමණ කලක් තමන් රවටා ඇති බව ඔහු දැන සිටියට, අලුත් පොත භාර ගැනීමට නොහැකි යැයි කිසිදු දිනෙක පවසනු ඇතැයි ඔහුගේ සිතෙහි අබමල් රේණුවක පමණින් වන් කුකුසක් නොතිබුණි. එක් වරම කඩා පාත් වූ මේ හෙණය කුමක්දැයිඑයින් ගොඩ වන්නේ කෙසේ දැයි ඔහුට නිනව් නැති විය. අවට පරිසරය උණුසුම් කරමින් හිරු රශ්මිය කාපට් කරන ලද මහා මාර්ගයේ වැදි තමා දෙසටම පරාවර්තනය වී එහි ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

ප.ලි. - මේක පතරංග ජාතකයක් තරං දික් වෙන්න තිබුන කතාවක්.. ලියන්න කම්මැලියි .අදහස් නෑ. නිදහස් නෑ.. ලියපු ටික අතෑරියා..

යෝජිත අවසානය.. (01)

කොන්දොස්තර ළමයාගේ කෑ ගැසීම එක වරම දැඩි වුයෙන් වීරතුංග මහත්තයා දෑස් විවර කර බැලුවේ හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි . කුඩා කරගත් දෑස විසල් නොකරම කන්නාඩිකුට්ටම නාසයේ ඉහල දාරය මත රැඳවූ ඔහු වටපිට බැලුවේ මේ කොතනදැයි හරියටම දැනගනු පිණිසය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ... පාර දෙපස යෝධ ධජ පතක වලින් අලංකාර වූ සැණකෙළි සිරිය දෙස ඔහු බැලුවේ උදාසීන මනස සහ මසැස ඒකාත්මික කරමිනි ...

අත් අල්ලාගත් පෙම්වතුන් , කිචි බිචි ගාමින් රංචු ගැහුණු කුඩා දැරිවියන් ..මව් පියන්ගේ අතේ එල්ලුණු කුඩා දරුවන් ... උනන්දුවෙන් මෙන් ඇදෙමින් තිබුනේ ඒ ප්‍රතාපවත් යෝධ ශාලාව දෙසටය .

" සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි . 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නම් පුවරුව යටින් කුහුඹු රැලක් මෙන් දෙපසටම ඇදෙන ජන ගංගාව දෙස වීරතුංග මහතා හිස් බැල්මෙන් බලා සිටියේය. 

"“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා.,මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“" පොත් ප්‍රකාශකයාගේ වදන් නැවත සවනතර රැව් පිළිරැව් දෙයි ..

ඔය බී එම් අයිසී එච් නැග්ග අය සල්ලි ගන්න .. හරි යං හරී......ගලන ජන ගගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය .. 


(ඉවාන් පව්ලුෂා - උඹේ තත්පර ගානක මහන්සියක ප්‍රතිභාව ගැන මට කඳුළු අතරින් හිනාවක් ආවා බං අම්මපයි)


යෝජිත අවසානය (02)

ගෙදරට ගොඩ වූ සැනින් වෙනදා මෙන් සිය අඳුරු කාමරයට ගොඩ නොවූ ලේඛකයා ඉස්තෝප්පුවේ ඉඳගෙනම පාලු වී ගිය ඇනෙක්සිය දෙස මද වෙලාවක් බලා සිටියේය. නීතා ජීවත්ව සිටි කාලයේ මේ අනෙක්සියෙන් ලැබුණ කුලියෙනුත් මැහුම් ගෙතුම් වැඩ වලිනුත් ගෙදර වියදමත් තම ගමන් බිමන් ලියකියවිලි ගාස්තුත් සියල්ල පිරිමසා ගත් හැටි සිහිපත්ව ඔහුට හීල්ලුනේය. ඒ කාලේ පොත් ප්‍රකාශකයෙක් ලඟට වුනත් තමන් ගොඩ වුනේ මීට වඩා ආත්ම විශ්වාසයකින් හා පෞරුෂයකින් බව ඔහුට නිශ්චිත විය . එකෙනෙහිම ඔහුට සිහිපත් වුයේ කන්කරච්චලය වැඩි යැයි කියා මාස ගණනකට පෙර එළවාගත් දරුපවුලේ මෙන්ම අද පොත් ප්‍රදර්ශනය බලන්නට පැමිණ සිටි දරුපවුල්වලත් ජීවිත තමන්ට මග හැරී ඇති බවකි. නරුම අසුබවාදී ලේඛනවල දැවටී දැවටී අර මූසල කාමරයට වී සිටීම මොන තරම් මුග්ධ කමක්දැයි වීරතුංග නම් මහා ලේඛකයා මුල්වරට හිතන්නට පටන් ගත්තේය. ඊට සමාන්තරව පාරේ යනෙන වාහනවල නලා හඬ පරදා අසල්වැසි ගෙවල මිදුලෙන් ඇසුණු පොඩි වුන්ගේ සිනා හඬ මෙන්ම සයානාගාරවලින් ඇසුණු අඹු සැමියන්ගේ මුණු මුනුව පවා ඔහුට ඇසෙන්නටත් දැනෙන්නටත් පටන් ගත්තේය.

ප්‍රතික්ෂේප වූ අත් පිටපතට ප්‍රාණවත් ජීවිතය ඔබ්බවා අලුතින් ලියන්නටත් වඩා හොඳ ප්‍රකාශකයෙකු හොයාගෙන යන්නටත් තරම් ඔහුගේ හිතට දිරියක් ඇති වී තිබිණි. කල්පනාව අස්සේම කැබිනට් ලාච්චුව අත ගෑ ඔහුට ඇනෙක්සිය කුලියට දෙන දැන්වීම පත්තරේට දමන්නට තරම් මුදලක්ද තවත් අමතර සිල්ලර ගණනක්ද හොයාගන්නට පුළුවන් විය. එසේ ඉතිරි මුදල් හා කාසි ටික ගනිද්දී බීර බෝතලයක අලුත් මිල ගැන අදහසක් නැති වීම ගැන ඔහු අවන්කවම කණගාටු වුනේය .


තිලක සිත (ඒකේ අන්තම වාක්‍යය නං ඉස්තරම්මයි)


යෝජිත අවසානය (03)
වීරතුංග තීරණයකට එලැබිනි...

හැමදාම එක එකාට නෝන්ඩි වෙන්න බෑ... ජනතාවට ලිය ලිය ඉඳලා හරියන්නෙත් නෑ...

වීරතුංගට මීට ටික කළෙකට පෙර අහම්බෙන් හමු වූ ඇමතිවරයා කී දෙය මතකයට නැඟුනි....

වීරතුංග මහත්තයා... ඔබ තුමා කැමති නම් මට පුළුවන් මගේ ජනමාධ්‍ය ඒකකයේ රැකියාවක් දෙන්න.. එහෙම නැත්නම් අමාත්‍යංශයේ මොකක් හරි සෙට් කරලා දෙන්නම්....

බොහෝම ස්තූතියි ඇමතිතුමා.... ඒ උනාට ඇමති තුමා ඔබ තූමාටත් හොඬටම කැපිලි කෙටිලි නේද...? මේවා ඔබ තුමත් අමාරුවේ වැටෙන වැඩ..

කමක් නෑ මහත්තයා කල්පනා කරලා බලන්නකෝ... ඕන වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න...

මේ සැරේ සාහිත්‍ය උළෙලට ජනාධිපති තුමත් එනවා කියන්නේ වීරේ..

ඒකත් එහෙමද... මම එතුමව ඇමති කාළේ නම් හම්බ වෙලා තියෙනවා... බොහොම නිහතමානී මනුස්සයා...

එහෙනම් ඉතින් නොවරදවාම උත්සවේට යමු... වීරෙත් බොහෝම අමාරුවෙන් නේ මේ දවස්වල ඉන්නේ..

ඒක තමයි.. එතුමට කතා කරන්න හම්බ උනොත් උපකාරයක් ගන්න බැරි වෙන එකක් නෑ..


මාතලං (වීරතුංග එන පොට හරි නෑ. .හැක්. ස්තුතියි මාතේ)


යෝජිත අවසානය (04)

වීරතුංගට එක් වරම තද බඩගින්නක් දැණුනි. උදේ සිට කිසිවක් කා නොතිබුණු බව ඔහුට මතක් වූයේ එවිටය. කැරකැවිල්ලක් සේ දැණුනු බැවින් අසල තිබූ විදුලි කුළුනක බරදී මොහොතක් කල්පනා කරන්නට විය. "මොකද සර් සනීප නැහැ වගේ නේද?" යයි කවුදෝ අසන හඬක් ඔහු යළිත් පියවි ලොවට ගෙනාවේය. හැරී බලනවිට එහි සිටියේ පියකරු සිනහවකින් පිරි කඩල විකුණන්නෙකි."ඔව් පොඩි කැරකිල්ලක් ආවා" යැයි පිළිතුරක් දී කීයද ඔය කඩල ගොට්ටක් යැයි ඇසුවේ බඩගින්නට කඩල ටිකක් කෑමත් හොඳ බැවිනි. වෙනදා වීරතුංග කඩල කරුවන් දැක තිබුණේ හවස් යාමයේය. මොහෝවිට වීරතුංග කඩල ගන්නේ හවසට මදු විතට හොඳම බයිට් එකක් බැව් අත්දැකීමේන් දන්න නිසාය. මෙ මහ දවල් කඩල ගන්නා මිනිසුන් ඉන්නවාදැයි අසන්නට සිතුනත් ඔහු මුවින් නොබැන සිටියේ කවුරුත් ගන් නැතිනම් මොහු කඩල කරත්තයක් තල්ලු කරගෙන නොයන බව වටහා ගැනීමෙනි.

ඉක්මනිනම ගිල දැමූ කඩල ටික ඔහුට දැණුනේ දිව්‍යභෝජනයකින් සප්පායම් වූවාක් මෙනි. අසල වූ බංකුවක හිඳගත් ඔහු කඩල ඔතා තිබූ කොළය දිහා බැලුවේ එහි ලියා තිබූ මුතු කැට වැනි අකුරු නිසාය. වෙලඳ කළමනාකරණය කරන අයකුගේ සටහන් කොලයක් යැයි සිතුනේ එහි ලියා තිබූ පාරිභෝගික නැඹුරුවීම හෙවත් Customer Orientation ගැන ලියා තිබූ දෙයකි. කොලය අසල ඇති කානුවකට විසිකර දැමූ වීරතුංග ඔහු ලියනා දෙය ඔහුගේ පාරිභෝගිකයන් වන පාඨකයන් නොකියවන්නේ මන්දැයි සිතන්නට විය.

පෝටිකෝවේ නැවතුනු නවීනතම මර්සිඩීස් බෙන්ස් E300 රථයෙන් බැස ඔහු වෙත දිව ආවේ දැන් ජාත්‍යන්තර පාසැලක ඉගෙනගන්නා වීරතුංගගේ දහතුන් වියැති දියණියයි. ඔහු ලියනා දේ දුව දකීවි යන බියෙන් ලැප්ටොප් එක වසා දැමූ ඔහු ඇයට හාද්දක් දුන්නේය. වසර තුනකට හතරකට පෙර ඔහුගේ අසාව වූයේ දියණියත් ඔහුගේ අඩිපාරේ විත් සම්මානනීය ලේඛකයෙකු වෙනු ඇත කියාය. එදා කඩල කොළයෙන් පාරිභෝගික නැඹුරුව ගැන සිතා මල් පත්තර වලට කථා ලිවූ වීරතුංග එවැනි පත්තර දෙකකම හිමිකරුවෙකි. අද ඔහුගේ හිතට දිවා රෑ වදදෙන ප්‍රශ්ණයනම් දියණිය ඔහුගේ අලුත් ලියවීම් ගැන දැනගත්දාට ඇය තම පියා ගැන කුමක් සිතනු ඇත්ද යන්නයි. ලාච්චුව හැර ලොව වටා මාසයක සංචාරයට ගත් ටිකට් පත් දෙක අතට ගත් වීරතුංග දුව සොයා ගියේ ඒවා දියණියට පෙන්නා ඇය සතුටෙන් ඉපිලයනු දැකීමට ඇතිවුන ආසාව නිසාය. 


ඉයන් (අන්න වීරතුංගට මොලේ ඇවිත්.. හැක්)

යෝජිත අවසානය (05)

අච්චු කන්තෝරුවේදී තමන් විසින්ම ව්‍යාජයෙන් කල් දමන ලද පසුතැවිල්ල හා අහිමිවීම ඔහු හඹා පැමිණ මුහුණට මුණ ගැසුනේ පාර අයිනේ වූ මාර ගස් සෙවනේදීය. මෙතැන් සිට දවසේ ඉතිරි පැය කීපය, මාසයේ ඉතිරි දින කීපය සේම අවුරුද්දේ ඉතිරි මාස කීපයද ඔහුගේ වම් පස මාර්ගයේ වේගයෙන් තමා වෙත ඇදෙනු ඔහු බලා සිටියේ භීතියෙනි. පසුතැවිල්ල හා අහිමිවීම තම දෙකොපුල් දෙපසින් නැගී දෙලවන් දවමින් හිස කරා නැගෙනු ඔහුට හොඳ හැටි දැනුනේය. ඒ දුර්මුඛ භාවය මග යනෙන්නන්ගෙන් වසන් කලද, තමා එන තෙක් මග බලා හිඳින දීපිකාගෙන් වසන් කරනා මගක් සොයමින් හේ සිය දෑස් අවට සිසාරා යොමු කලේය. ඉදිරි පැය, දින, මාස නොකඩවා දෙපසින්ම ඔහු කරා එළඹෙනු දුටු ඔහුට කළාතුරකින් කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතක අධි වේගයෙන් පැමිණෙන විනාඩියක්, තත්පරයක් ඉදිරිපිටට පැන සිය දිවි නහගන්නට පවා සිත්විය.

ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය. යලි මවගේ අත අතැර පාර අයිනේ වැටී තිබූ වර්ණවත් යමක් අහුලන්නට යත්න දරන්නීය. එවිට ඇගේ එක් අතකින් අල්ලා පරඬැලක් මෙන් ඇදගන්නා මව මොනවාදෝ වදන් වැලක් හඬ නගා පවසන්නීය. දැරිය නෝක්කාඩු මුහුණක් මවාගෙන තරමක් දුරට ඇදි ඇදී අවුදින් යළිත් සිය මව වැළඳ ගන්නීය.
දින ගණනක් පුරා ‘කින්ඩර් ජෝයි‘ ඉල්ලනා ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු ඈ කෙරෙන් දුටුවේය. පොත් මේසයටත් වඩා දශක කීපයක් පැරණි එකම අල්මාරියේ ඇති එකම ලාච්චුව තුල කොනට වෙන්නට ගුලි ගැසී සැඟවුණු මදටිය පාට, නිල්පාට කොළ කැබලි ඇයගේ සිහිනය සැබෑ කරන්නට කිසිසේත් මදි බව ඔහුත් දීපිකාත් මැනවින් පසක් කර සිටියෝය. 
“දවාලට උයන්න විතරයි හාල් තියෙන්නෙ. ආතගෙ කඩෙන් හාල් පොඩ්ඩක් ගේන්නද මං ණයටවත්?“ 
උදෑසන තමන් නගරයට යන්නට සැරසෙද්දී, කාමරයේ පඬු පැහැ ගැහුණු දොර රෙද්ද මෑත් කර උළුවස්සට හේත්තු වූ දීපිකා එසේ අසද්දී,
“ආනෙ අම්මෙ කින්ඩජෝයි එකකුත්....“ කියමින් ඇයගේ බඳ වටා දැවටුණු ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු මේ සිඟිත්තියගෙන් මනාව දුටුවේය. 

තුන් රෝද රියකට අඬගසා එයට නැගුණු ඔහු තමන් යා යුතු තැන මේ යැයි කෙඳිරි ගෑවේ රියදුරුට පමණක් ඇසෙන්නටය. අඩ හෝරාවක් හෝ එවැනි කාලයකට පසු හෙතෙම රියදුරුට මදක් රැඳෙන ලෙස පවසා පොත් ප්‍රකාශකයා ඉදිරිපිට පෙන්වූ ආත්මාභිමානය රිය තුලම තබා අසල වූ පොත් කඩයකට රිංගුවේ ගැරඬියෙක් සේ හිස මදක් ඔසවා නාම පුවරුව දෙස දෙවරක් බලමිනි. 
“අම්මට උඩු! වීරතුංග මහත්තයා...ඉතිං ඉතිං... කොයිබෙයි මේ?“
“මුදලාලි, පොඩි හදිසියකට අවේ. උදව්වක් ඉල්ලගන්න.“
“මහත්තයෝ, සල්ලි ඇර ඕනි උදව්වක්...මේ දවස්වල බිස්නස් අන්තිමයිනේ...“
“නෑ...මේකයි. අපේ දුවට මේ ටිකේම උණ. කන්න බෑ කිසිම දෙයක්. වමනෙත් යනවා. ළමයා හොඳටම දුර්වල වෙලා. පාමසියෙන් ගන්න බේත් වගයක් තියෙනවා ටිකක් ගණන්. මුදලාලි මට තරහා නැතිව රුපියල් දෙදාහක් දෙන්න. මගේ අළුත් පොත .......... බාරගත්තනෙ. ඇඩ්වාන්ස් ගන්න අනිද්දට එන්න කිව්වා. ඒක ගත්තු ගමන් ගෙනත් දෙන්නං. ඕනිනං පොලියකුත් ගත්තට කමක් නෑ.“
“ළමයෙක්ගෙ අසනීපෙකට බේත් ගන්න පොළියට සල්ලි දෙන්නෙ මොකාද මහත්තයො. ම්... එහෙනං නොවැරදීම අනිද්දට ගෙනත් දෙන්න. ආ..... පුළුවන් කමකට නෙමේ. මේ දවස්වල බිස්නස් අන්තිමයි“.
“අනේ....පිං සිද්ද වෙනවා! ලොකු දෙයක්! මම අනිද්දට නොවැරදීම... නොවැරදීම ගෙනත් දෙන්නං“
අනේක වාරයක් පින් දුන් වීරතුංග නැවත රියට නැගී තම නිවස පිහිටි ඉසව්ව කෙඳිරීය. 

නිවසට හැරෙන හන්දිය පෙනි පෙනී වම් පසට පහලට විහිදුනු පාරට හරවන ලෙස අණකල හෙතෙම එම කෙටි පාර අගිස්සේ වූ අවන්හල අසලින් බැස රියදුරු තැනට කොළපාට මුදල් නෝට්ටුවක් දිගු කලේ තමා අසල අසුන්ගෙන සිටි ආත්මාභිමානය අනෙක් අතින් ගනිමිනි.


(මදාවියා - මට හිතෙන්නේ වීරතුංග පශ්චත්තාපයෙන් විඳවන්න හදනවා කියලයි.. උඹටත් හොද හැටියට මාගල් අතාරින්න ඇහැකි නේ බං.. හැක්.. ස්තුතියි මධු)


යෝජිත අවසානය (06)

ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

* * * 

ප්‍රවීන ලේඛක වීරතුංග ඉදිරිපස දොරෙන් පිටත්ව පදික වේදිකාවේ නොපෙනී යනතුරුම සීසීටීටී තිරයෙන් බලා සිටි සම්මානනීය පොත් ප්‍රකාශක කලාමාන්‍ය ධනියගෝපාල තම මේසය අසල තිබූ දුරකතනයෙන් අභ්‍යන්තර අංකයක් ඇමතුවේය.

සුජී, අර වීරතුංග මාස්ටර් ගේ පොත්වල සේල් කොහොමද?

හොඳට යනවා සර්්, අර අලුත්ම පොතේ අපි ගහපු දෙවෙනි මුද්‍රණයත් මේ පාර පොත් ප්‍රදර්ශණයේ දී ඉවර වෙන්නම විකුණුුනා. 

එහෙනං ප්‍රෙස් එකට කියන්න තව දෙදාහක් ගහන්ණ කියලා. හැබැයි ප්ලේට් වෙනස් කරන්න එපා. පළමු මුද්‍රණයේ ප්ලේට්ම පාවිච්චි කරන්න කියන්න.

හොඳයි සර්.

සුජී ඔය ෆොන් එක දෙන්න චංචලාට.

හොඳයි සර්.

* * * 

සර්?

චංචලා මට හොඳ උණු තේ කෝපපයක් ගෙන්න. මේ ඒ.සී. එක හරිම සීතල වැඩියි.


රසිකොලොජිස්ට් (ෂිහ්.. චාමරත් ආව නං හරි.. හැක්.. බෙහෙවින්ම ස්තුතියි රසික)


යෝජිත අවසානය (07)

ලේඛකයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. විකුණන්න බෑ..... ඉල්ලන්නෙ නෑ..... ඉල්ලුම.... සැපයුම.... ආර්ථිය..... කලාව..... සාහිත්‍ය..... කිරිපිටි....... හාල්...... කොපි පොත්...... ටියුෂන්......

මිලි තත්පරයකට තලයන් එක බැගින් වූ විවිධ දර්ශනයන් ඔහුගේ දෑසට දර්ශනය වී අන්තර්ධානය වන්නට විය......

"කොහේද %$$^3% යන්නෙ! අපිටත් පවු දෙන්න" 

තුන්සක රියකින් මතුවූ හිසක් තුලින් ඇසෙන්නට විය. පාරේ මධ්‍යයට ආසන්න වී සිටි ලේඛකයා පියවි ලොවට එලඹිනි.

 
හොරෙන්ම නිවසට ඇතුළු වූ ඔහු කාමරයට වැදී සෙමෙන් දොර වසාගත්තේය. වසර හතලිස් ගණනක් ලේඛණයෙන් උපයාගත් ආර්ථික වටිනාකමක් නැති, සම්මාන-කුසලතා-සහතික ඔහුට විරිත්තන්නාක් සේය. යාන්ත්‍රිකව මෙන් පුටුවට වැටුනු ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බලා සිටින්නේ මහල්ලා සහ මුහුද පොත් කවරයේ සිටින අර්නස්ට් හෙමිංවේය.

"ඉඳල වැඩක් නෑ..... වෙඩි තියාගනිං.... ඔලුවටම! ඔලුවටම තියාගනිං.... විඳවන්න ඕන නෑ! හරියට මං කලා වගේම....."

"ඔව්! වෙන කරන්න දෙයක් නෑ..... පුච්චලදානව මේ ඔක්කොම..... ඊට පස්සෙ මම නිදහස්..... නිදහස්..... නෑ නෑ පුච්චන්න ඕන නෑ.... ඊට කලින්....." 

ලේඛකයාගේ ඇස ගැටුනේ බිත්තියේ කෙලවරට වන්නට පිහිටි රාක්ක දෙක එක්කොට බැඳ තිබූ තංගුස් ලණුවයි. සෙමෙන් එය ලිහාගත් ඔහු අසල තිබූ බාල්කයේ ගැටගසන්නට විය. ගෙතුලින් අපැහැදිලි හඬ කිහිපයක් නැගිනි.... 

"හරි හෙට දෙන්නං.... තාත්ත ඇඩ්වාන්ස් එකක් අරං එයිනෙ....."

ලේඛකයාගේ උගුර සිරවනු දැනිනි. බාල්කයේ ගැටගැසූ ලණුව අල්ලාගත් ඔහු කල්පනාවට වැටිනි. 

"වීරතුංග මහත්තයල අපිට කිසි සපෝට් එකක් නෑනේ..... එන්නකො අපිත් එක්ක වැඩ කරන්න..... ඔය පොතක් දෙකක් පාසල් විශය නිර්දේශයටත් දාගත්ත නං ඒකම ඇතිනේ..... ඕන නං පොතක් ගහන්න ඕනවුනාම මෙහෙං ගහගන්න බැරිය......" 

අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී සංස්කෘතික ඇමතිවරයා හා කල අල්ලාප සල්ලාපය ඔහුට සිහි වන්නට විය.

"වීරතුංග මහත්තයා උදව්වක් ඕන නං කතා කරන්න කරදර වෙන්න එපා, මෙන්න කාඩ් එක.....කෙලිංම මට කතා කරන්න....."

ලණුව ලිහා දැමූ ඔහු මේස මත තිබූ නාම පත් ගොඩ අවුස්සන්නට විය.



නවාතැනේ රාජ් (උඹත් මාතලං වගේ අවසානය දේශපාලන දෘෂ්ඨියකට ගෙනාවා.. ස්තුතියි රාජ් මහන්සියට හා කාලය වෙනුවෙන්)



යෝජිත අවසානය (08)


හදිසියේම නිවසට යාමේ සිතුවිල්ල වෙනස් කල ඔහු නව ජවයක් ලැබුවාක් මෙන් නගරයේ රික්ෂෝ ගාල වෙත පිය මැන්නේය..

"ආ .. වීරතුංග මහත්තයනේ.. එන්න එන්න"

ඔහුව දුටුවනම ටැක්සි රියදුරන් හඳුනා ගත්තේ ඔහු රටේ ජනප්‍රිය ලේඛකයෙකු වූ නිසාවෙනි.. මුවින් නොබිණු වීරතුංග මහතා ටැක්සියකට ගොඩ විය.

"කොහෙටද මහත්තයා ?"

- "බේකර් විදියට"

ටක්සිකරුගේ දෙනෙත් විසල් වුයේ යමෙකු බේකර් විදියට යන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ එහි වෙසෙන විශේෂිත පුද්ගලයා හමු වීමට බව සක් සුදක් සේ දන්නා නිසාවෙනි..

ඔව් සත්‍ය වශයෙන්ම වීරතුංග මහතාට අවශ්‍ය වුවේද බේකර් විදියේ වෙසෙන ඒ විශේෂිත පුද්ගලයා, ෂර්ලොක් හෝම්ස් මහතා මුණ ගැසී තමන්ගේ උසස් කෘති නොවිකිනිමේ අභිරහස විසඳා ගැනීමටයි..

-----
වීරතුංග මහතාට ශරලොක් හෝම්ස් මුණ ගැසේවිද ?
ඔහුගේ අභිරහස කෙසේ විසදේවිද ?

ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

Yasith.Net (හේ හේ. කාලෙකින් ආව උනත් බොටත් අවසානයක් දෙන්න හිතුන එකම මදෑ.. හැක්.. ස්තුතියි යසියා)


යෝජිත අවසානය (09)

වීරතුංග යන තුරු බලාසිට ප්‍රකාශකයා වහා දුරකතන ඇමතුමක් ගත්තේය.

****
ලංකාද්වීපයේ සිරි බුදුරැස් අසපුවේ විචිත්‍රවූද නන් වැදෑරුම් කුසුමින්ද පලතුරු පිරි තුරුවදුලෙන්ද මලින් මලට පියඹන මී මැසි හා සමනල යින්ගෙන්ද පිරි මහා අංගනයට අභිමුඛව නැගි මහ මන්දිරයේ ඇතුලු මහා ධර්මශාලාවේ මධ්‍යයේ තබා ඇති රනින් කල බඳු සීලිමේ එල්ලෙන දැවැන්ත පොකුරු පහනේ එළිය වැටී දිලිසෙන සිංහාසයනක් බඳු මහා ආසනයේ වැඩ සිටි කල්ප රහතන් වහන්සේගේ පශ්චාත්භාගය උණුසුම් වනු සංවේදීව සිය දිව්‍ය චක්ෂූෂය වහා මෙහෙයවා කුමන තැනක කිනම් මනුස ප්‍රාණියෙකුට විපතක්දැයි ව්පරම් කරන්නේ වීරතුංග නැමති මහා ප්‍රාඥයා රුපියල් කොල කීපයක් නිසා පීචංප්‍රාප්ත වීමට ඇති ඉඩ කඩ වහා ග්‍රහනය කොට වීරතුන්ගයානෝ ඉදිරිපිට පෙනී සිටියහ. 

හිමියනි ඔබ මෙහි වැඩියේ..?

වීරතුංගයානනි මට ඔබට කාරනාවක් කීමට ඇත, ඔබ නිසාම පැමිණියෙමි.
කල්ප හිමියෝ සිය මර්සිඩිස් රතය ගැන සිතුවා පමණි.
එය රථාචාර්යා සමගම ඉදිරියේ දක්නට ලැබුනි.

වීරතුංගයානනි, කරුණාකර නගින්න.

දෙදෙනාම පිටුපස අසුනට ගොඩ වූහ

වීරතුංගයානනි ඔබට මට කාරණාවක් කියන්නට තිබේ
මීට වසර බොහෝමයකට පෙර මාද ඔබ මෙන් ලේඛකයෙකි. එමෙන්ම මාද දන්නේ අනෙක් හැම දන්න බුද්ධාගමය. මා රහත් වෙන්නත් මාලිගාවල ජීවත් වෙන්නත් අනෙක් අය හිටිය විදියට ඉන්නත් හේතුව ඔබ සොයා බැලුවාද? මං දෙසන්නේ උපාසික උපාසිකාවන්ට ඕනෑ බණ මිස මට ඕනෑ බණ නොවේ.. 
මා ආ අනෙක් විශේෂ කාරනය මේකයි. 
ජනපති තුමා එවල තියෙනව ලැප් ටොප් එකකුයි, 
අලුත්ම ෆෝන් එකකුයි ඔබට දෙන්න කියල.
ඕනෑ වේලාවක එතුමාට කෙලින්ම කතාකරන්න පුලුවන් 
මේ හෑන්ඩ් ෆෝන් එකෙන්. බිල් ඔක්කොම ගෙවන්නේ එහෙන්. 

ඔබගේ එකවුන්ට් නොම්මරේ මට දෙන්න!



දයල් බතී (හැබෑටම මේක ඉන්ද්‍රජාලික යථාර්ථයක් ද බං.. ස්තුතියි දයාල්)