Saturday, October 26, 2013

කට පාඩං!!

අපි ඉස්කෝලේ යන කාලේ කොයි තරං පාඩං කරල තියෙනවද? ගණං හදල තියෙනවද? පොත් කියවල තියෙනවද? ඒ හැම දේකම අවසාන ප්‍රතිඵලය වෙන්නේ විභායගෙන් පාස් වෙන ඒක නේ. ඒ උනත් ඒ විභාග පාස් කරගන්න දාපු ක්‍රෑම මෙන්න මෙච්චරයි කියල විස්වාස කරන්න පුළුවන්ද? බැහැනේ.

සමහර අය මුළු දවසම පාඩං කරනවා. අඩුගානේ දවසට පැය හතරක් වත් නිදා නොගෙන පාඩං කරල යන්තං ෂේප් වෙන්න ඒ ලෙවල් පාස් කර ගත්ත මගේ මිත්තරයෙක් ඉන්නවා. කරුමේ කියන්නේ මිනිහට එතැනින් එහාට පාඩං කරන්න සිද්ධ උනේ නැති එකයි. එහෙම බැලුවම ඒක අනාගත ආයෝජනයක්. ඇයි අප්පේ ලයිට් බිලවත් ඉතුරුයි නේ.

තව මිත්තරයෙක් හිටියා මිනිහා පාඩං කරන්නේම නැහැ. ඉස්කෝලේ ගිහිල්ල ඇවිල්ල, හැන්දෑවට ජිල්බෝල අරබෝල මේබෝල ගහන්න යනවා. ඊට පස්සේ හොදටෝම කරුවල වැටුනම ගෙදරට එනවා. ඇවිල්ල හොදට සප්පායං වෙලා ලෑලි ඉර ඉර, එළි වෙනකං නිදාගන්නවා. උදේට අම්මා වදෙන් පොරෙන් නැගිට්ටුවම, “මළවදේ“ කියල නැගිටල ලක ලැහැස්ති වෙලා ඉස්කෝලේට යනවා. දවල්ට ඇවිත් කෑම කාලා ආයේ රෑ වෙනකං ජිල්බෝලේ.. ඔන්න ඔය චක්කරේ මිනිහා ඕ ලෙවල් වෙනකම්ම කරා. මධ්‍ය වාර පරික්ෂණ වල විෂයන් දෙක තුනකටවත් මිනිහා යන්නේ නැහැ. විභාගේ දවසට ගෙදරින් පැනල, ඔය කොහේ හරි කැලයක් අස්සේ රවුන් ගගහා, වල් ගෙඩි කකා එක එක පැල්කොට වලට වෙලා රස්තියාදු ගහනවා තමන්ගේ සයිකල් කටුවෙන්. ඊට පස්සේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ආයි බබා වගේ ගෙදර ඇවිල්ල,..... අර චක්කරේමයි අනේ ආයිමත්.

හැබැයි අවසාන වාර පරික්ෂණයේ පටන් ගන්න මාසෙකට විතර කලින් මිනිහා වෙනස් වෙනවා. ඉස්කෝලේදි ලස්සනට ලියන කියන, මිනිහගේ පොත් ටික ඔක්කෝම අරගෙන ගෙන, මිනිහා ඉස්සෙල්ලම පොත් මේසේ හදාගන්නවා. ඊට පස්සේ පොත් මේසේ ලස්සනට තියෙන විදිය ටික වෙලාවක් ආසාවෙන් බලා ඉදල, බොහෝම සන්තෝසෙන් එළියට බැහැල යනවා... ආයෙත් අර චක්කරේමයි.. මහ ජරා සිසුවෙක්..

ටිචර්ල සර්ල නං මිනිහට හොදටෝම දෙහි කපනවා. “ළමයා... ඉස්කෝලේ වැඩ ටික හරියට කරනවා උනාට.. මොකද විභාගෙට එන්නේ නැත්තේ.. මට ආරංචියි මුළු දවසම සෙල්ලං කරනවයි කියලත්. ඒ උනාට අවුරුද්ද අන්තිමේ විභාගෙට ඔහොම කරනන් බෑ හරිද??“

හැම පන්තියේම පංතිභාර ගුරුතුමාගේ උදාන වාක්‍යය තමා ඕක.

හැබැයි සමහර අවුරුදු වලදි එක දිගට අවුරුදු දෙකක් එකම පන්තිය බලාගන්න ටීචර් නං මේ යකාගේ වැඩ පිළිවෙල අල්ලගන්නවා. 

එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ.

“ඔය ළමයි.. මේ ළමයා වගේ වැඩ කරන්න ලැහැස්ති වෙන්න එපා. ඉස්කෝලේදි දගල දගල ඉදල, දවස් තිස්සෙම සෙල්ලං කරලත් අන්තිමට මෙයා විභාගේ හොදට පාස් වේවි. මෙයත් එක්ක කල්ලි ගැහිල පිස්සු නටල ඔය ළමයි අමාරුවෙ වැටෙන්න එපා. විශේෂයෙන්ම ඔය ළමයත් එක්ක එක පේලියේ ඉන්න පස් කට්ටුවට තමා මම මේ කියන්නේ“

හැම පන්තියේදිම වල-සැට් එක විදියට පස්සේ ආසනේ බෙදාගන්න ඒ පස් දෙනා විවිධාකාරයි. ගිනි පොලියා, පැට්‍රල් කාරයා, ටොට්ටා, ටික්බෝලේ සහ ගැරඬියාගෙන් සමන්විත මේ පස් දෙනා කවදාවත් පාඩං කරන විදියක් ගැන කව්දරුවත් එක්ක කතා කරන්නෙ නැහැ. ඒක නිසා අර යකා මොන විදියට පාඩං කරත් මට මොකෝ කියල හිතාගෙන දගලන එක විතරමයි කරන්නේ. 

ආයි කතාවට අර ජිල්බෝල ගහන හාදයා අවසාන වාර විභාගෙට සතියක් විතර තියල, ඔන්න අර හිනා වෙවි මිනිහා එනකං බලන් ඉන්න, පොත් ටික ගාවට එනවා. ඒ සතියට මිනිහා හැමදේම අමතක කරල, පොත් ටික ඔක්කෝම කනවා. ආයි නිදාගැනිල්ලක් නං නැහැ. අම්මා වදෙන් පොරෙන් නිදි කරවන්න හැදුවත් මේකා නෙමෙයි නිදාගන්නේ. ඒ සතියක් නයිට ගහන කාලය ඒ යකාගේ. විභාගේ පටන් ගන්න කොට මිනිහා පොත් ටික කාවෝ කෑවා වගේම කාලා දාලා ඉවරයි. එතැනින් එහාට මිනිහට බලන්න දේකුත් නැති හින්දා විභාගේ කරන සතියේ කරන්න තියෙන්නේ උදේට ඉස්කෝලේ ගිහිල්ල විභාගේ ලියන එකයි, අර අර. සුපුරුදු චක්කරෙයි විතරයි. මේ මිනිහට අහු වෙච්චි උන් ඉතිං අනාතයි. උං විභාග පේල් වෙනවා ඒක සිකුරුයි.

සතියක් ක්‍රෑම දාන අපේ හාදයා තනිකරම කඩපාඩං කරගන්නවා හැම දේම ගිරවෙක් වගේ. ඔය නිකං ඉන්න වෙලාවටත් මිනිහට කියවෙනවා.. අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සුරසේන, අස්සක, අවන්ති, ගාන්ධාර, කාම්බෝජ වගේ දේවල් එක දිගටම..

සමහර වෙලාවට තව දෙයක් ඔළුවේ තියාගෙනත් මිනිහා අර චක්කරේ හිතෙන් කියවනවා. ඒක හරියට බාගෙට ටියුන් වෙචිච චැනල් දෙකක් එකපාර ඇහෙනවා වගෙයි. ඒ උනාට මිනිහට ඒක ගානක් නැහැ. ඒ අපහැදැලි තාවයට මිනිහ තව චැනල් එකක් එකතු කරනවා. කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අළු, සුදු...ඕම් වර්ණ කේතය..

චැනල් තුන හතරක් එක පාර බාගෙට ඇහෙන මේ හාදයා අවසාන වාර විභාගෙන් අනිවාර්යයෙන්ම පාස් වෙනවා. එහෙම නෙමෙයි උඩින්ම පාස් වෙනවා. අඩුගානේ එක, දෙක, තුන වත් තමා ඉතිං. අන්න එතකොට පංති භාර ගුරුභවතුන්ට මේකා මොකාද කියල තේරුං ගන්න සිද්ධ වෙනවා. අවුරුදු දෙකක් එකම පන්තියේ වැඩ බලන ටීචර් එතකොට අර වගේ කතා කියන එක අහන්නත් දෙයක්යැ.

ඊට පස්සේ ඒ ලෙවල් කරද්දි ඔය ලෙඩේ අඩු වෙලා එදිනෙදා වැඩ එදිනෙදා කරගෙන බොහොම සෙමෙන් දැහැමෙන් ගත කරපු මේ හාදයට අර චැනල් තුන හතරක් එක පාර ඔළුවේ බාගෙට අහගෙන ඉන්න එක රෝගයක් වගේ උනා. ඒක නිසා ඒ කාලෙදිත් පොඩි පොඩි දේවල් හු.ආ.පි. සදහා කරනවා. භෞතික විද්‍යාව උගන්නපු සර් කාරයා, කට පාඩමෙන් තත්පර ගානෙන් කියපු එකක්, ඊට වඩා අඩුකාලයකින් කට පාඩමෙන් කියන්න අපේ හාදයා උත්සාහ කරා.  

“රික්තයකදී ක්‍රිප්ටන් දෙක පී දහය පහ ඩී පහ ශක්ති මට්ටම් අතර සිදුවන ඉලේක්ට්‍රෝන සංක්‍රමණයේදී මුක්ත වන රන්වන් තැඹිලි පැහැ ආලෝකයේ තරංග ආයාමය මෙන් 1650763.73 වාරයක් මීටරයක් වේ.“

ඕක මීටරයේ එස්අයි අර්ථ දැක්වීම තමා. දැන්නං ඒක වෙනස් වෙලා. ඒ උනත් මේ හාදයා සමහර වෙලාවට තාමත් එක එක දේවල් අස්සෙත් මේ චැනල් එක ඔළුවේ දුවනවා. සමහර වෙලාවට ඉදිරියෙන් කරන්න තියෙන දේකුත් හිතින් කියව කියව ඉන්නවා. මෙන්න මේ වගේ.

බස් එකට නැගල ටිකට් ගන්න ලක ලැහැස්ති වෙන මේ පිස්සා කොන්දා දැක්ක වෙලාවේ ඉදල හිතෙන් කියවනවා “ගල්කිස්ස එකයි ගල්කිස්ස එකයි“ කියල විසි තිස් පාරක් වත්. ඒ අස්සේ මිනිහගේ ඔළුවේ තව චැනල් එකක් වැඩ කරනවා. බාර් එකට ගිහිල්ල ගන්න ඕන ගල් එකක්.. ඊට පස්සේ ඒකත් හිතින් කියව කියව ඉන්නවා. “ගල් එකයි ගල් එකයි“ විසි තිස් පාරක් විතර.

කොන්දෝස්තර මහත්තයා ටිකට් ගන්න කියල කිව්වම චැනල් මාරු වෙලා, අපේ පිස්සා “ගල් එකයි“ කියල සල්ලි දික් කරාම වෙන නවනිංගිරාව ගැන හිතල බලන්න වටිනව නේද??

ප.ලි - ගැරඬියා

Wednesday, October 23, 2013

ඇන්ටික්!!!

අප්‍රේල් මාසේ ගස් වැල් පිරෙන්න ගෙඩි හැදෙනවයි කිව්වට මේ අවුරුද්දේ එහෙම උනේ නැහැ. බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් උපරිමයට ලං වෙන්නම ගැට ගහගත්තම සතුටක් වගේ දැනුනට, හදිස්සියේම සිමෙන්ති පොලවට උඩ ඉදල වැටුන, පැණී කොමඩු ගෙඩියක් “චප්“ ගාලා බිමට වැටිල කුඩු වෙලා යනව වගේ, බලාපොරොත්තුව නැති වීමේ දුක කියා නිම කරන්නත් බැහැ. හරියට මහ වතුරක ගිලිලා හුස්ම ගන්න අමාරුවෙන් දගලනව වගෙයි ඒ හැඟීම.

බාල සන්දියේ ඉදන්ම ගහක් කොළක් මලින්, ඵලින් බර වෙලා තියෙන විදිය බලන්න මම හුඟක් ආසයි. කෙසෙල් ගහේ ලොකු කෙහෙල් කැණක් ඇවිල්ල, හුළගට පැද්දෙන ලා කොළ පාට, තද කොළ පාට කෙසෙල් කොළ මට පේන්නේ, ආරචිචිලට අව්වට ඉහළන කුඩේ වගෙයි කියලයි. ඒ උනත් මොන හුළගටවත් අවශ්‍ය විදියට නොපැද්දී නොසෙල්වී, තමන්ගේ ලොකු කම තියාගෙන කර ගාවින් විතරක් හෙමින් පැද්දෙන කෙහෙල් කැණ දකිද්දී, අපේ සීයාව මතක් වෙනවා. අපේ සීයා වයසට ගියත් හරිම ගාම්භීරයි. එයාගේ හිනාවක් ගන්න නං කව්රු හරි අඩන්න ඕන කියල තමා වටේ පිටේ අය කියන්නේ. මොන දහිරිය දැම්මත් හරියට කැඩෙට් ට්‍රේනින් එකේදී වගේ, හිනාකාලා මැරෙන කතා ඇහුනත්, හිනා නොවී ඉන්න ඕන වගෙයි එයා ඉන්නේ. එක වතාවක් හිනාව නවත්තගන්න  බැරිව පිට්ටනිය දිගේම කොඩ්රෝල් ගහමින් පැය ගණන් වමනේ දාපු හැටි මතක් වෙනවා ඒ මතකය අතරින්.

සීයා මැරිච්ච වෙලාවේදි මුළු ගමම එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන්න මහන්සි උනා. සමහර අය මහ රෑ දෙගොඩහරියෙත් හොද එකෙන් රා ගහල, සරසන්න අඩුපාඩු වෙච්චි ගොක්කොළ කැපුවයි කියලත් ආරංචි උනා. ඒවා මහ රූස්ස ගස්. දවල්ට නැගගන්නත් අමාරු ගස් වල මේ යක්කු ඊයක වේගෙන් නැග්ගය කියල කියන කොට විශ්වාස කරන්නත් අමාරුයි. වළ කපන වැඩේ දවස් දෙකක්ම ජයට කරල තිබුනා. වැඩේ ඉවර වෙලා සුද්ද බුද්ද කරන කොට සීල් අරක්කු හිස් බෝතල් හය හතකම මුඩි තිබුනා මම දැක්කා. මළගෙදර කෑම උයන වැඩේ අහල පහල ගෑනු උදවිය තට්ටු මාරු ක්‍රමයට බාර අරගෙන තිබුනා. හාල්, තුනපහ අඩුම කුඩුම උනත් නොමිලේම ලැබුන විදියක් තිබුනා. 

සීයා ඉන්න කාලෙදි හැමෝටම උදව් කරපු විත්තිය ඇඬු කඳුලෙන් කියද්දී මටත් කඳුළු ආවා. මොකද සමහර දේවල් විශ්වාස කරන්න බැරි තරං අතිශයෝක්තියෙක් කියපුව උනත්, නවකතාවක තියෙන සංවේදි මොහොතක හැගීම දැනුනම හිත ලොප් වෙනවා. එතනින් එහාට හිත නෙමෙයි ඇහැ තමා වැඩ කරන්නේ. ඇත්තටම සීයා මොන විදියෙන් හරි උදව්වක් නොකරපු කෙනෙක් අහළ ගම් පළාතකම ඉදල නැහැ තමා. මොකද තරුණ කාලේදී අමාරුවෙන් ගොඩ නගාත්ත ව්‍යාපාර රැසක් සීයා තිබුනා. නුවර එළිය, තලවකැලේ පැත්තේ සාරට එළවළු බිස්නස් කරගෙන ඒවා පහත රටට පටවල, ප්‍රවාහණය කරල, සීයා හොද ආදායමක් අරගත්තා. ඒ වැඩ වලට ගමෙන් මිනිස්සු අරගෙන පඩි නඩි වෙලාවට බේරල, හොදට සලකල තියෙන විදියට ඒ මිනිස්සු සීයට දෙවියෙකුට වගේයි සලකන්නේ. ඔහොම ව්‍යාපාර දියුණූ වෙන කොට සීයා, අර යාපනේ තියෙන තේසවලාම සැට් කරගෙන පලෛයි වල මාළු වාඩියක් කරපු ඉඩමක් අරන් තිබුනා. ඒ වාඩියේ ඉන්න සීයා, රෑට නිදාගන්නෙත් කට පිරෙන්න සල්ලි පුරවපු ට්‍රන්ක පෙට්ටිය උඩෙයි කියල, තාමත් ජීවතුන් අතර ඉන්න සීයගේ ගෝලයෙක් මට කිව්වා.

කොහොම හරි බොහොම සරු සාරෙට මළ ගෙදර වැඩ කටයුතු සිද්ධ උනා. කියන්න අමතක උනා සීයට හොදම එළ අරටු ලී වලින් හදපු ලී බඩු තොගයක් තිබ්බා. ඒවා තනිකරම ඇන්ටික් බඩු. කනගාටුයි කියන්න මහගෙදර තිබ්බ මේ ලී බඩු වලින් සෑහෙන්න ප්‍රමාණයක් සීයගේ අවසන් කටයුතු ඉවර වෙලා මාසයක් යන්නත් කලින් දූල පුතාලගේ ගෙවල් වලට වැඩමෙව්වා. සමහර අල්මාරි ඉල්ලගෙන ඇන්ටික් කඩකාරයෝ හිටන් ආවයි කියල අපේ අම්ම කියල තියෙනවා. අපේ මාමා කාරයා නං පරණ පෙට්ටගමක් බර ගානකට සුද්දෙකුට විකුණල කුණු බැණුම් අහගත්ත මට මතකයි. එකබඩ වැල කඩන් ආපු මිනිස්සු ටික පෙට්ටගමේ සල්ලි ටික දිය වෙනකම්ම කෑමුර දීපු හැටි මතක් වෙන කොටත් හිත ඩිග් ඩිග් ගානව කන්දොස්කිරියාව මතක් වෙලා. හරියට මහා සංගීත සංදර්ශනේක බෆල් ටික ගාව ඉන්න කොට වදින බේස් ඩ්‍රම් සද්දේ පපුවට දැනෙනව වගේම ඒ හැඟීම තාම දැනෙනවා.

මොන විදියෙන් බැලුවත් සීයගේ මරණේ හරිම සාමාන්‍ය මරණයක්. එයා උදේ එළිවෙන පාන්දර නිවිසැනසිල්ලේ අවසන් හුස්ම ටික මුදා හැරල තිබුනා. අපි ඒක දන්නෙත් එතැනට ගියාමයි. මිනිහෙක් සාමාන්‍යෙයන් නිදාගන්න විදියටම සීයා තමන්ගේ පත ඇද උඩ මැරිල හිටියා. ඊට පස්සේ පුතාල, දූලා ඇවිල්ල ඔක්කෝම වැඩ කටයුතු ටික පිළිවෙලට කරා. කාමරේ අස් කරා. ඇදේ රෙදි ටික අරන් ඈතක තියල පුච්චල දැම්මා. ඩෙටෝල් දාලා බිම හේදුවා. එම්බාම් කරල පෙට්ටියට දාපු ශරිරේ සාලෙට වැඩියට පස්සේ, ඇද ගාව පහණක් පත්තු කරලා සීයගේ ඇඳ, වත්තේ ඈත කොනකට දැම්මා. 

කාලයක් ගත උනා. සමහර විට මාස දෙක තුනක් විතර. ගෙදර බඩු අඩු උනාට වත්ත අයිනේ තිබ්බ ඇඳ නං ඒ විදියටම තිබුනා. කිසිම දේකට පසු නොබාන කෙනෙක් වගේ කරකුට්ටං අව්වට පිච්චිල, මුරුගසං වරුසාවෙන් හේදිල යෝධයෙක් වගේ වත්ත අයිනෙම හිටියා. ඒත් හිටි හැටියෙම තුන්මාසේ දානෙන් පස්සේ ඒකත් කොහාට හරි වැඩල තිබුනා. අංජනමක් ඇරල වත් ඒක හොයාගන්න බැරි උනා. සීයගේ අවුරුද්දේ දානේ දුන්නෙත් නෑ මගේ හිතේ.

Sunday, October 20, 2013

The Naughty Boy

කාලෙකට ඉස්සර හිටියා වයසක සීයා කෙනෙක්. එයා හරි ලස්සනට කවි ලියනවා. ඒ වගේම ඒ කවි හරි හොදයි. අපි එයාට කියමු කවි සීයා කියලා. කවි සීයා දවසක් එයාගේ ගෙදරට වෙලා වාඩි වෙලා උන්නා. එදා හරිම භයානක විදියට කාලගුණය වෙනස් වෙලා තිබුනේ. හරිම තද වරුසාවක් තිබුනා, ඒත් වගේ වගක් නැතිව, එයාගේ ගිනි උඳුන ගාවට වෙලා හොදට රසට රෝස් වෙන ඇපල් ටික දිහා බලාගෙන කවි සීයා බොහොම සන්තෝසෙන් වාඩි වෙලා උන්නා.

“පව්.. මේ වැස්සට දුප්පත් මිනිස්සු තෙමිච්ච පාං වගේ වෙලා ඇති“ ඔහු දුකෙන් මිමිණුවා, පේනවනේ අපේ කවි සීයා ඇත්තටම හොද කවිකාරයෙක් කියලා.

“අයියෝ.. ඉක්මනට දොර අරින්නකෝ.. මට සීතලයි.. මාව හොදටෝම තෙමිලා අනේ දොර අරින්නකෝ“ පුංචි දරුවෙක් එළියේ ඉදන් දොරට තඩිබාන ගමන් කෑමුර දෙනවා සීයට ඇහුනා. මේ වෙලාවෙත් වැස්ස හරි තදින් තිබුනා, ඒ මදිවට තද සුළගින් හැම දෙයක්ම සෙලවෙනවා.

“අපොයි පොඩි දරුවෙක් නේද?“ සීයා මිමිණුවා. ඔහු ඉක්මනින්ම ගිහිල්ල දොර අරින කොට දැක්ක දොර ගාව ඉන්න පොඩි කොළු ගැටයව. කොල්ලා හරියට ඇදුමක්වත් ඇදල නැහැ. වැහි වතුර වැටිලා දරුවගේ රැලි වැටුනු කොණ්ඩෙන් ඕසෙට වතුර බේරෙනවා. සීතල නිසා කොළු පැටියා වෙව්ලනවා. තියෙන තත්වේ අනුව අපේ කවි සීයා මේ දරුවව දැන්ම ගේ ඇතුලට නොගත්ත නං වැස්සට තෙමිලම දරුවට ලොකු කරදරයක් වෙන්න තිබුනා. 

“එන්න දරුවෝ ඇතුලට“ කවි සීයා කොළු ගැටයගේ අතින් අල්ලල ගේ ඇතුලට එක්ක ගියා. 

“එන්න පුතේ මං ගාවට. මම ඔයාව උණුහුම් කරන්නං. ඔයා හොද ළමයෙක් නේ මම ඒක නිසා වයින් ටිකකුයි ඇපලුයි දෙන්නං එන්නකෝ“ සීයා ආදරෙන් කොළුවා ළගට ගත්තා. කොළු පැටියගේ ඇස් දෙක හරියට තරු දෙකක් වගෙයි දිලිසෙන්නේ. වක ගැහුණ කොණ්ඩෙන් බේරෙන වතුර බිංදු දරුවගේ දිග රැලී කොණ්ඩේ දිගේ පහලට ගලනවා. හරියට පුංචි සුරංගනාවියෙක් වගෙයි මේ කොල්ලා, ඒ උනාට හීතලෙන් හොඳටෝම සුදුමැලි වෙච්චි මේ කොළු ගැටයා තාමත් වෙව්ලනවා. ඈ... මෙන්න කොල්ලගේ අතේ ලස්සන දුන්නක් තියෙනවා. ඇයි ඊතල. ඒ උනාට වැස්සට තෙමිල දුන්නෙයි ඊතල වලයි පාට හේදිලි ගිහින් කැත වෙලා.

කවි සීයා ගිණි උදුන ගාවින් වාඩි වෙලා කොල්ලව උකුලට අර ගත්තා. ඊට පස්සේ රැලි ගැහුණ කොණ්ඩේ මිරිකල වතුර ටික අයින් කරලා, එයාගේ අත් දෙකින් පුංචි අත් දෙක උණුහුම් කරා. ඊට පස්සේ වයින් චුට්ටක් දුන්නා උණුහුම් වෙන්න. මේ සත්කාරෙන් පස්සේ මෙන්න සුදුමැලි වෙච්ච කොල්ලගේ කම්මුල් රතුපාට වෙන්න ගත්තා. දැං මෙයාට හොදයි. ටක් ගාල කවි සීයගේ උකුලෙන් පැනල සීයගේ වටේ දුව දුව නටන්න ගත්ත ඔන්න.

“හරිම ෂෝක් ළමයා“ කවි සීයා සන්තෝසෙන් කිව්වා. “ඉතිං මොකක්ද පුතාගේ නම?“

“මගේ නම අනංග නේ සීයේ... සීයා දන්නැත්ද මාව? අර තියෙන්නේ මගේ දුන්න.. ඔන්න මං ඒකෙන් විදිනවා හොදේ. මං ඇත්තටමයි කියන්නේ හොදේ.. ම්. දැන්නං වැස්ස අඩුවෙලා ඔන්න හඳත් පායල සීයේ“ 

“ඒ උනාට ඔය දුන්න තෙමිලා හරි කැතයි නේ“ කවි සීයා කිව්වා. 

“අයියෝ ඒක නං අපරාදේ“ අනංග කිව්වා, එහෙම කියල දුන්න අරන් ඒක දිහා හොදට බැලුවා. “ ආ.. නෑ දැං වේලිලා, දුන්නට මුකුත් වෙලා නෑ ඒ උනාට, ලණුව නං ටිකක් අවුල්.. ඉන්නකෝ මං ඒක හදන්න“ ඊට පස්සේ අනංග කොල්ලා දුන්න අරන් එහාට මෙහාට නමලා, ඇදලා ඒක හරිගැස්සුවා. ඊට පස්සේ ඊතලයක් දාලා, දුන්න ඇදල හරියටම අපේ කවි සීයගේ පපුවටම වදින්න ඊතලේ විද්දා. “ඩිග්“ පව් අපේ කවි සීයා. “ආන්.. දැක්කනේ ඒක වැඩ කරනවා හහ් හහ් හා“ අනංග කොල්ලා සතුටෙන් එහෙම කියල හිනා වෙවි උඩ පැනගෙන එළියට දිව්වා.

කොයි තරං නරක ළමයෙක්ද ඇත්තටම, එයා හීතලෙන් ගල් ගැහිල වෙව්ලන වෙලාවේ එයාව ගෙට අරගෙන සාත්තු කරල, ඒ මදිවට රසම රස ඇපලුයි, වයිනුයි දීලා අච්චර උදව්කරපු අහිංසක අපේ කවි සීයට හිරිහැර කරන්න!!

අපේ කවි සීයා බිම වාඩි වෙලා ඔළුවේ  අත තියාගෙන කල්පනා කරනවා. අර ඊතලේ හරියටම කවි සීයගේ පපුවටම වැදුන නේ. “සික් විතරක්“ සීයා මිමිණුවා. “ මේ අනංක කොල්ල නං මහ නරක ළමයෙක්. අනිත් ළමයින්ට කියන්න ඕන මේකාත් එක්ක මොන සෙල්ලමක්වත් කරන්න යන්න එපැයි කියල. මේ කොල්ලා ඒ දරුවන්ටත් විදීවි ඕකෙන්“

ගෑනු ළමයි, පිරිමි ළමයි ඔක්කෝම හොද ළමයින්ට සීයා මේ විස්තරේ කිව්වා. ඒක නිසා හැම ළමයම නෝටි අනංග කොල්ලගෙන් පරිස්සම් වෙන්න උත්සාහ කරා. ඒ උනාට මේ කපටි අනංගයා එක එක උප්පරවැට්ටි දැම්මා. හරිම මරුමුස් කොල්ලා. ඔන්න ළමයි ඉස්කෝලේ ඉවර වෙලා එළියට එනකොට, මේ නෝටි අනංගයා හරියට ඒ ළමයි වගේම ඇඳුං ඇඳගෙන, ඒ වගේම පොත් ටිකක් අතින් අරගෙන කළු පාට කබායකුත් දාගෙන ඒ ළමයි එක්කම යනවා. කාටවත් පුළුවනැ එතකොට මේ නෝටි කොල්ලව අදුරගන්න. ඒ අයත් මෙයා ඒගොල්ලන්ගෙම එක්කෙනෙක් කියල හිතල අතින් අල්ලගෙන හරිම විනෝදෙන් යනවා. කියන්න දුකයි මේ නරක අනංගයා කොහොම හරි මේ ළමයි රවට්ටල, ඒ ළමයින්ගේ පපුවට එල්ලේ බලල ඊතල විදිනවා නේ. ඔව්. කාටවත්ම බේරිල්ලක් නැහැ. සත්තමයි.

සමහර වෙලාවට නාට්‍ය ශාලාවේ ලයිට් එක උඩ වාඩි වෙලා ඉන්න මේ හාදයා, හරියට පේන්නේ ලයිට් එක වගේමයි. පස්සේ තමා කාටත් වැරදුනයි කියල තේරෙන්නේ. ලස්සන, ලොකු, පොඩි උද්‍යාන වල, පාරේ තොටේ හෙමත් මේ හාදයා හැංගිල ඉන්නවා.

ඔන්න බලන්නකෝ. එක පාරක් මේ නෝටි අනංග කොල්ලා ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි පපුවටම එල්ලේ බලල ඊතලයක් විද්දා. නිකං අහල බලන්නකෝ.. ඔයාටම අහගන්න පුළුවන් මම කියන්නේ බොරුද කියලා. මේ අනංගය කොල්ලා ඇත්තටම මහ නරක ළමයෙක්.. ඔයාටත් බේරෙන්න බැරි වෙයි මෙයාගෙන් නං. ඒ තරංම නරකයා හොදේ. ඇත්තටම කාටවත්ම බේරෙන්න නං බැරිවෙනවා ඒක සිකුරුයි. ඔන්න හිතන්නකෝ එහෙනං, ඔයාගේ වයසක ආච්චි ඉන්නේ එයාටත් මෙයා පපුවටම බලල ඊතලයක් විද්දා. හැබැයි ඉතිං හුගක් කාලෙකට ඉස්සර තමා. ඇත්ත දැන්නං ඒ තුවාලේ හොද වෙලත් ගොඩාක් කල් ඇති. ඒ උනාට ආච්චිට කවදාවත් ඒ තුවාලේ නං අමතක වෙන්නේ නෑ. හම ගහන්න ඕන මේ නෝටි අනංග කොල්ලව..ඒකට කාරි නෑ. දැන් ඔයා දන්නවනේ මේ නෝටි අනංග කොල්ලා ගැන. ඔන්න පරිස්සං වෙන්න හරිනේ.

Hans Christian Andersen - The Naughty Boy

Wednesday, October 16, 2013

රූමත් ගැබිණියකට අතවර!!

මන්දගාමි සීටීබි බස් රථය හිතෙන තැන තවත්වයි. හිතෙන තැන බලා හිඳියි. ගමනාත්තය වෙත පිවිසීමේ ලෝභ කමින් යුතුව පෙළෙන පුද්ගලයෙකු මෙන් රියදුරු තැන ලොඹ කටින් විටක්ද හපමින්, ගර ගර ගා සද්ද නැගෙන ජියර් පොල්ල මත තම වම් අත තබාගෙනම බසය ධාවනය කරයි. ගැලවී ගිය, දුර්වර්ණ වූ, පතුරු ගැලවුන ආසන පේලි පුරා මඟීන් 48 ක් වාඩි විය හැකි බවට බසයේ ඉදිරිපසින් සදහන් කර ඇත. බසය නවත්වන්නට ආසන්න වත්ම, රියදුරු තැන තම වම් අතින් ජියර් පොල්ල වැරෙන් තද කර සිටින්නේ එන්ජිමෙන් එන ගැස්ම ජියර් පොල්ලට මාරු වීමට වැළැක්වීමට විය යුතුය. විටෙක එන්ජිම දිහාවෙන් ක්රාස් ගා ශබ්ද නැගෙන්නේ ජියරය ඉබේම මාරු වන නිසාය. එය වැළැක්වීමට රියදුරු එය අතින් තද කරගෙන සිටින බව පැහැදිළිය.

ආසන ගණනටවත් මඟීන් නොමැති බස් රථය තවත් එක් නැවතුමකදී ඉදිරිපස දොරටුවෙන් මඟින් දෙදෙනෙකු නංවා ගති. මුලින්ම ගොඩ වූ රූමත් යුවතියගේ වත මඬල දුටු සැනින්ම එය කෙතරම් පියකරු දැයි ආසන්නම අසුනේ සිටි මා දුටුවෙමි. පළල් නළල් තලයත්, දිගැටි නාසයත්, හීනි දිගැටි නිකටත් ඇයට අපුරු සුන්දරත්වයක් ගෙන දී ඇත. එහෙත් ඇය හැද සිටි ගවොම හේතුවෙන් උදර පෙදෙස ඉදිරියට නෙරා ඇති බවක් හදිසියේම දුටුවෙන්, තාර්කිකව ඒ පිළිබදව ගණන් හිලව් හැදීමෙන් අනතුරුව, ඇය අවම වශයෙන් පස් මස් ගැබිණියක වන රූමත් තරුණියක බව හඳුනා ගතිමි.

ඉදිරිපස දොරෙන් ගොඩ වූ ඇය, එතැනම තිබුන ආසනයේ හිස් ඉඩෙහි හරි බරි ගැහී වාඩි විය. ජනේලය ඇර ගැනීමට ඇය උත්සාහ කරද එය සාර්ථක නොවුවෙන්, එතැනින් ලිස්සා ආසනයේ දකුණු පසට වන්නට ස්ථාන ගත වූ ඈ, ඇයගේ තෙතබරිත කෙස් වැටිය පිටුපස සිට පපුව දිහාවට හෙළා දැමීමෙදි ඉන් විසිවූ ජල බිඳු කිහිපයක් ඇයට හරි කෙලින් ඊට පිටුපස ආසනයේ සිටි මාගේ මුහුණ මතට වැටීමෙන් තත්පර කිහිපයකට කුල්මත් වීමි. බසයේ යන විට මුරුගසන් වරුසාවෙන් බේරි වැටුනු එකම ජල බිඳුවටත්, දෙස් දොවොල් තියනා මිනිසුන් සිටිනා රටක, වේගයෙන් පැමිණ මා මුහුණ සිප ගත් ඒ කුඩා ජල බිඳු කිසිසේත්ම පීඩාකාරි නොවීය.

තවත් නැවතුම් දෙකක පමණ නැවැත්වූ බස් රථය මෙතෙක් වේලා නිදා සිටි යෝධයෙක් බව හඟින්නට වූයේ, ආරම්භයේ පටන්ම හීන් කෙඳිරියක්ව තිබු එන්ජිම, විශ්වාස කළ නොහැකි තරම් ජවසම්පන්න හඬක් නගමින්, රියදුරු තැනද තිරිහන් කරන්නට විය. මන්දගාමී එහෙත් අලස බස් රථය, ජවාධික අශ්වයෙකු මෙන් ඉදිරියට ඇදෙන්න විය. රියදුරු තැනගේ ලොඹු කට නතර වී ඇතිසේය. තමන්ගේ පැත්තේ පැති කණ්ණාඩියට තත්පරයක් තත්පරයක් ගානේ ඔරවන ඔහු මෙවර අත් දෙකම සුක්කානම මත තබා ගෙන දකුණු කකුළෙන් ඇක්සලේටර් ලෑල්ල බිමටම සමතලා කොට ඇති සෙයකි. කුලප්පු වූ බස් රාජයා කෙලින් තිබෙන පාරද වංගු කරමින්, නොයෙකුත් වාහන පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදෙයි. ඒ අතර බස් රථයේ ඇඹරීමට ඔරොත්තු නොදෙන අය ආසන තද කර ගනිමින් අත් වලින් සිර ගත වී සිටිති. 

බස් රථයේ සුළිසුළගට හසු වූ මාද, අපහසුවෙන් ඉදිරි ආසනයේ රඳවනය දැඩිව අල්ලා ගෙන සිටින අතරතුර, රූමත් තරුණියද ඉතා අපහසුවෙන් ඇඹරෙමින් සිටින වගක් දුටිමි. ඇයට ආරක්ෂාව පතා අල්ලා ගෙන සිටිය හැකි කිසිවක් නොවුයෙන්, එන්ජින් කූඩුව වට කර ඇති, ඇල්මීනියම් වැටෙහි දකුණතින් එල්ලී සිටින අතර, වම් අතින් ආසනය තද කරගෙන සිටින බවත්, බස් රථය ඇඹරීමේදි ඊට අනුකූලවම ඇඹරෙන ඇය, විටෙක තොල් සපාගනිමින්, ඇසි වසාගනිමින් සිටින බවත් නිරික්ෂණය කළෙමි. සැබෑවටම ඇය ඉතා අපහසුතාවයකට පත්ව ඇති ආකාරයක් දිස් විය. මේ කිසිදු කරුණක් බස් රථයේ වේගය පාලනය කිරිමට සමත් නොවූ සේය. එය තව දුරටත් වේගය වැඩි කරන අතර, පිටුපසින් ඇසෙන තවත් දැඩි නලා ශබ්දයක් ඇසෙන නොඇසෙන මානයක් කරා එළවා දැමීමට තැත් කරමින් සිටී.

දැඩිව වෙහෙසට පත් වූ ඇය, තව දුරටත් ආරක්ෂාව පතා සටන් නොකරන බවක් හදිසියේම දිස් විය. සැවොම තම තමන්ගේ ආරක්ෂාව ගැන සලකනවා හැර ඇය ගැන සොයා බැලීමට කිසිවෙකුත් නැත. ඇල්මීනියම් වැටෙහි ඇති ඇයගේ අතද බුරුල් වන්නේ, විඩාව උපරිම මට්ටමෙන්ම ඇයට දැනෙන නිසා විය යුතුය. මා ඉදිරිපස බලා සිටින්නේ, මඩ ගැසුනු වින්ස්ක්‍රීනය අසළ සැරි සරන අනෙකුත් වාහන ගැන අවධානයක් ගැනීමටය. 

වේගයෙන් ධාවනය වන බස් රථයට මුහුණලා, අධිවේගී, අර්ධ සුඛෝපබෝගී බසයක්ද වේරම්භ වාතයක් සේ ඉදිරියට පැමිණේ. බස් රථ දෙක අතර වේගය, තත්පර ගණනකින් එකිනෙකට ඉතා ආසන්න කර ඇත. ඉදිරියෙන් පැමිණෙන බස් රථය, සියළු කරදර පාර අයිනේ බොරළු ගොඩට තල්ලු කරමින් පාරේ හරි මැදින්ම සුදු ඉරිද කපාගෙන පැමිණේ. හරියට යක්ෂයන් දෙදෙනෙකු මුහුණට මුහුණලා සටනක් සදහා පිම්මක් පනින ආකාරයක් දිස් වන අතර, ළග ළගම එන විනාශකාරි දෙයක් පිළිබඳව මා සිත වික්ෂිප්ත වී ඇත. සමහර විට තවත් තත්පර කිහිපයක ඇවෑමෙන් ඉදිරියෙන් පැමිණෙන පස් රථය මා සිප ගන්නට ඉඩ ඇත. එසේ වුවහොත් මට ඉදිරිපසින් සිටින ගැබිණි කතට කුමක් සිදු වේද? අත බුරුල්ව විඩාපත්ව සිටින ඇය, ඉදිරියට විසිවි යනු ඇත. එය වැළැක්වීමට නොහැකි වන ඇත. තවත් තත්පර දෙක තුනකදී අපගේ යක්ෂයාද, ඉදිරියෙන් පැමිණෙන යක්ෂයාද එක විට වාහන දෙකට දෙපසින්, ඉස්සර කරනු දුටුවෙමි. අනතර අතගළම ඇත. කිසිවෙකුත් කිසිවෙකු නොතකයි. මුහුණට මුහුණ අධික වේගයෙන් දෙපසින් වාහන දෙකකට ඉස්සර කරමින් පැමිණෙන යක්ෂයන් දෙදෙනා දැන් දැන් පොර බඳිනු ඇත. එය න්‍යෂ්ඨික පිපිරීමක් තරම්ව බලවත් වනු ඇතැයි මා හට කල්පනා විය. ඒ කල්පනාව තත්පරයෙන් ලක්ෂයෙන් එකක් ඇතුලත කල්පනාවෙන් බැහැර කරවුයේ, මටද වඩා අනාරක්ෂිතව සිටිය ඇය කෙරෙහි කල්පනා කිරිමට ඉතුරු තත්පරය මට ඇවැසි වු නිසාය.

කුමක් කරන්නද? ඇයට බේරිමට හැකියාවක් නොමැති විය යුතුමය. මාද සමගින් ඇයද කඩා පණින යක්ෂයාගේ ගොදුරක් වනු නොඅනුමානය. එහෙත් මා විසින් යම් කිසිවක් කළ යුතුමය. මා ගැන, ඇය ගැන කෙසේ වෙතත්, හදිසි විසිවීමකින් ඇයගේ දරු පැටියා ආරක්ෂා කර ගත යුතුය. සිත සිතා සිටීමට කාලය නොවෙයි මේ. කඩා පනින යක්ෂයා හා මාගේ යක්ෂයා අතර පරතරය තත්පර දෙක තුනක් පමණක් වන්නට ඇත.

ආසනයෙන් ඉදිරියට මදක් නැමුණ මා දකුණතින් ඉදිරිපස ආසනයේ වටෙන් අත දමා ඇයගේ පපු ප්‍රදේශය සිර කොට වම්පසින් එම ආසනයේම රදවනය තදින් අල්ලා ගතිමි. ඒ සැනින්ම වම් අත ගෙන ඇයගේ වම් පාදයේ කලවයද තද කොට මා ඇස් පියා ගතිමි.

“ඩෝං“.... “ඩාං... ඩාං“ ඉවරයි වැදුනා නේද? සර සර ගා වින්ක්‍රින් කැබලි මා මුහුණ මතට විදිනු දැනේ. එය මාගේ අත් වලට වදිමින් සිලි සිලි ගා බිම වැටෙනුත් ඒ සැනෙකින්, යකඩ අඹරමින්, ක්රුං ක්රුං නගමින්, යක්ෂයා මා ඉදිරියට එන සෙයියාවක් වසා සිටි ඇස් අතරන් හගිමි. රූමතියගේ බෙරිහන් දීම යක්ෂයා ඇය කරා පැමිණ ඇති බව සන් කරන්නක් නොවෙද? මා තවතත් ප්‍රකම්පිතව සිටිමි. එහෙත් මාගේ වම් අත ඉවත් කිරීමට ඇය උත්සාහ ගන්නා බවක් දැනී ගියෙන් එහි ග්‍රහණය තවත් දැඩි කළෙමි. මුළු බස් රථයම එකම කාලගෝට්ටියක් මෙන් ශබ්ද ඇසෙන්නට වූ අතර, එකිනෙකා පරයමින් මා අසලින් මෙන්ම පිටුපසින්ද මිනිස් හඩවල් ඇසේ. වසා සිටින මා ඇස් යුගළ තෙත් වන්නේ කඳුලෙන්ද, ලේ වලින්ද යන වග මට නොදැනේ. තවත් මොහොතකින් කිසිවෙකුගේ දැඩි ග්‍රහණයක් හේතුවෙන් මාගේ දකුණු අත ඉවත් කරනු දැනුන අතර, ඒ අත ගැලවී ඇත්දැයි සැකයක්ද විය. මාගේ ඉන ප්‍රදේශය ඝට්ටනයෙන් හා දැඩි තිරිංග බලයෙන් අඩපන කොට ඇත. මා තුවාල වී ඇත. නැත මා දැඩි ලෙස තුවාල ලබා විය යුතුය. එහෙත් තවමත් බෙරිහන් දෙන ඇයගේ හිරිගඩු පිපෙන මොරගෑම මා සතුටට පත් කර ඇත. ඒ තුලින් වු උද්දීපනය මා නෙත් කෙවෙණි තෙත් කරන්නට විය. මා ඇය බේරා ගත්තා විය යුතුය. “දෙවියන්ට ස්තුති වේවා!“ යනුවෙන් මා සිතන්නට විය.

“අත ගනිං පරයා“ හැඩි දැඩි කටහඩක් හේතුවෙන් හා මගේ මුහුණ පෙදෙස හරහා වූ ප්‍රභල පහරකින් මා ප්‍රකෘති තත්වයට පත් වුයෙමි. නිසැකවම අනතුරට ලක් වූවන් ගලවා ගැනීමට මිනිසුන් පැමිණ ඇත. ඒ පිළිබද කෘතවේදිව සිතමින් මා සෙමින් සෙමින් තුවාල ලත් මාගේ ඇස් අරින්නට පටන් ගතිමි. කඳුළු වලින් බොඳ වූ සිහින්ව ඇරුණ ඇස් අතරින්, ඇස් දහසක් කෝපාවිශ්ඨව මා දෙස බලනු පෙනේ. බොඳ වු ඇස් වලින් කව්රුන්දැයි හදුනා ගත නොහැක. එහෙත් කිහිප දෙනෙකු මා සිරකොට දැඩිව ග්‍රහණය කර ඇති සෙයකි. බස් රථයේ රියදුරුද මා දෙස එබී බලා සිටිනු දුටුවෙන්, මාගේ ප්‍රකෘතිය තවත් වැඩෙන්නට විය. එන්ජින් කූඩුව එසේම ඇත. රියදුරු අසුණ අසළ තිබු පරිද්දෙන්ම සුක්කානම ඇත. ඊට එපිටින් වූ මඩ ගැහුණ වින්ස්ක්‍රීනයද එළෙසම ඇත. එහෙත් එහෙත්... ඉදිරියෙන් පිනූ යක්ෂයා කොහිද? ඔහු නැත. බස් රථය පාරේ අයිනකට වන්නට නතර වී ඇත. වට පිට බැලු මා දිහා බස් රථයේ සියල්ලන්ගේම ඇස් යොමු වී ඇති බවත්, ඒ තුල කෝපාග්නිය දැල්වෙන බවත් පෙනේ.

“මුං වගේ වළත්තයෝ. බඩ දරු අම්මෙකුටවත් ඉන්න දෙන්නෑ“

“සක්කිලියෝ... අම්මප බය නැතිව කරනව නේ මේවා“

“මුංගේ අම්මල අප්පල මුංව හැදුවේ මොන කරුමෙකටද මන්දා“

“වේස බල්ලෝ.. අත පය හතර කඩන්නයි තියෙන්නේ මුංගේ“

“මේ වගේ කැ..යෝ අම්මගේ බඩකින් ආවද කියලත් හැකයි දැන්නං“

“අනේ අප්පුච්චියේ මෙහෙමත් දේවල්..“

“හත් වළාමයි... මේ ඉහ නිහට පැහිච්ච උන්ට නේ හොදටම අමාරුව තියෙන්නේ“

“මුංට මනමාලකම.. බඩදරු අම්මෙක් උනත් කමක් නැහැ. පර බල්ලෝ“

දස දෙසින්ම නැගෙනා විරෝධාකල්පයන්ගේ මා හෙම්බත්ව සිටිමි. මා තද කොට ගත් ග්‍රහණය ලිහිල් වන බවක්ද නොපෙනේ. එතකොට මේ ඇක්සිඩන්ට් එක උනේ නැද්ද? මට මොනවද උනේ එහෙනං.. වෙන්න බෑනේ මට ඇහුන නේ බස් එක වදිනව මහ සද්දෙන්.. ඕහ්.. මම මොකක්ද මේ කරගත්තේ..

“ඩ්‍රැයිවර් මහත්තයා.. බස් එක අරන් යමු පොලිසි. මේ වේස බල්ලව පොලිසියට දෙන්න“

බස් රථය නැවත ඉගිලෙනු දැනේ. ඒ අතර පහර කිහිපයක් මා සිරුරේ වැදීමෙන් දැඩි ලෙස රිදුම් දේ. කිසිවක් කීමට කට ඇරීමටද නොහැකි ලෙස උණූ ලේ කට තුල ඝණීභවනය වී ඇත. පොලිසීයේ බෝඩ් එක මඩපැහැ වින්ස්ක්‍රීන් එක තුලින් මට මැවි මැවි පෙනේ.

ප-ලි. - පසුදින පුවත්පතේ මෙම පුවත පළ වී තිබුනි.

රූමත් පස් මස් ගැබිණියට හදිකළ දෙදරු පියා රිමාන්ඩ්

(ආර්. ජී. සපරමාදු - පුත්තලම වාර්තාකරු)

ඊයේ හලාවත සිට පුත්තලම බලා ධාවනය වූ ලංගම බස් රථයකදී රෑමත් තරුණියකට (පස් මස් ගැබිණි කතක්) අතවර කළ පුද්ගලයෙකු මඟීන් විසින් පුත්තලම පොලීසියට බාර දෙනු ලදුව, හලාවත මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා 43 වියැති පුත්තලම, ආණමඩුවෙහි පදිංචි වයි. ඒ. දේශක නම් දෙදරු පියෙකි. බස් රථයේ ඉදිරි අසුනක සිටි රෑමත් තරුණියකගේ පපු පෙදෙස හා කලවා පෙදෙස තෙරපීමට තැත් කිරිමේදි ඇයගේ කෑගෑමට අනුව ක්‍රියාත්මක වූ මඟීන්, රියදුරු හා කොන්දොස්තර මහතාද සමග එක්ව මොහු අල්ලා වහාම පුත්තලම පොලිසීයට ගෙනැවිත් භාර දී ඇත.

ඊළග නඩු දිනය වන 25 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග කර ඇති සැකකරු පිළිබද මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිමට නියෝග කර ඇති බවද පොලිසීය පවසයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

Saturday, October 5, 2013

පුංචි අයිඩාගේ මල්

“අයියෝ මගේ මල් ටික ඔක්කෝම මැරිල වගේ නේ“ පුංචි අයිඩා කිව්වා. “ඊයේ හරි ලස්සනට තිබුනට අද බලන්නකෝ ඒවයේ කොළ හිටං පල්ලෙහාට නමාගෙන ඉන්නේ, ඇයි ඒගොල්ල එහෙම ඉන්නේ?“

සෝපාවේ ඉදගෙන උන්, ඇය වැඩියෙන්ම කැමති වෙච්චි යාළු අයියගෙන් එහෙම ඇහුවා.

මේ හාදයා මිත්‍රශිලි ඒ වගේම හරිම විනෝදෙට බර කෙනෙක්. කොල්ලා හරි අපුරූ පින්තූරු එහෙම ලස්සනට කපලා, ඒ කියන්නේ හාට් එකක් ඇතුලේ පුංචියට කෙල්ලෝ නටනව වගේ තියෙන පින්තූර, බලකොටු වල පින්තුර කපනවා හරිම අගේට. දෙකක් නෑ මේ කොල්ලා නං හරිම විනෝදකාමියෙක්.

“ඇයි මේ මල් ටික ඔක්කෝම අද හොදටම මැලවෙලා?“ පුංචි අයිඩා පරවෙච්චි මල්පොකුර අයියා දිහාවට දික් කරන ගමන් ආයෙත් ඇහුවා.

“ඉතිං ඔයා දන්නවද මේවට මොකක්ද වෙලා තියෙන්නේ කියල?“ අයියා ඇගෙන් ඇහුවා.

“මේකනේ... ඊයේ මේ කට්ටිය ඔක්කෝම මුළු රෑ තිස්සෙම ලොකු නැටුමකට ගිහිල්ලා. ඒකනේ මේ කට්ටයට මෙහෙම තියෙන්නේ. දන්නවනේ උදේට කොච්චර මහන්සිද කියල.. ඒකයි“

“මල් වලට නටන්න පුළුවන්යැ??“ අයිඩා ඇහුවේ කටට ආපු හින්දමයි.

“අපොයි මොකද නැත්තේ, ඔන්න කළුවර වැටෙන කොට අපි නිදාගන්න යනවා නේ. එතකොට මේ ගොල්ල හරිම සන්තෝසෙන් පැනගෙන ගිහිල්ල, අපි නිදාගන්න අතරේ හැමදාම රෑට නැටුම් නටනවා“ යාළු අයියා හරිම සැහැල්ලුවෙන් කිව්වා.

“ඒ ගොල්ලන්ගේ ළමයිනුත් යනවද එතකොට?“ අයිඩා ඇහුවා.

“ඔව් ඔව්.. අර මිටියාවතේ තියෙන පුංචිම පුංඩි ඩේසියා මල්, ලිලි මල් එහෙමත් යනවා එතෙන්ට“ අයියා කිව්වා.

“ඉතිං කොහේද අනේ ඒ අය නටන්න යන්නේ“ පුංචි අයිඩා ඇහුවා.

“අපේ නගරෙට ඇතුල් වෙන තැනට එහා අර ලොකු බලකොටුව දන්නවනේ.. අර අපේ රජ්ජුරුවෝ ග්‍රීෂ්ම ඍතුවට ගිහිල්ල නවතන්නේ. අයියෝ.. අර ලස්සන මල් ගොඩාක් තියෙන මල් වත්තක්ම තියෙන්නේ. ඔයාට මතක නැද්ද පාං කෑලි දානකොට අපි දිහාවට පීනගෙන එන හංසයෝ ඉන්න... අන්න එතට තමයි මේ වගේ ලොකු නැටුං සංදර්ශන තියෙන්නේ.. ඇත්තටමයි මම කියන්නේ“

“ඒ උනාට මම ඊයේ අම්මත් එක්ක ඒ මල් වත්ත හරියට ගියාට මම දැක්කේ නෑ එක ගහකවත් කොලයක්. ඔක්කෝම බිම වැටිලා. එක මලක්වත් ගහක නෑ. එතකොට කෝ ඒයාලා?? මම ග්‍රීෂ්ම කාලේ දැක්කනේ හුගාක් අය ඒ උනාට..“

“ඒගොල්ල ඉන්නවා... බලකොටුව ඇතුලේ“ සිසුවා උත්තර දුන්නා.

 “ඔයාට කියන්න පුංචි දරුවෝ..රජ්ජුරුවොයි එයාගේ පිරිවරයි ඔක්කෝම බලකොටුවේ ඉදල නගරයට ගියපු ගමන්ම... ඒක බලාගෙන ඉන්න අර වත්තේ තියෙන මල් ඔක්කෝම උඩ පැනගෙන සතුටෙන් දුවනවා බලකොටුවට. ඊට පස්සේ ලස්සන ලොකුම රෝස මල් දෙකක් තමයි රජතුමාගේ පුටුවේ වාඩි වෙන්නේ. එතකොට ඒ දෙන්න රජ්ජුරුවොයි රැජිනයි වෙනවා. ඊට පස්සේ රතු මල් කට්ටිය රජ්ජුරුවන්ගේ දෙපැත්තට වෙලා ඉදගෙන හිටගෙන ඉන්නවා. ඒ මදිවට ඒගොල්ල රජතුමාට ආචාරත් කරනවා. ඒ ගොල්ල තමා රජතුමාගේ පිරිවර එතකොට. ඊට පස්සේ හැමෝම ලස්සන මල් ඇවිල්ල නැටුම පටන් ගන්නවා. ඒ අය හරියට ලස්සන ගැනු ළමයි වගේ. ලොකු ටියුලිප් මල්, එතකොට ලිලි මල් ඒගොල්ලත් එනවා. ඒ අය තමා වයසක අය. ඒ ගොල්ල කරන්නේ අර ලස්සනට නටන ගෑනු ලමයි දිහා ඇහැගහගෙන බලං ඉන්න එකමයි.“

“ඒත්...“ පුංචි අයිඩා අහනවා. “එතකොට කව්රුවත්ම ඒ අයට ගහන්නැත්ද රජතුමාගේ බලකොටුවේ නටන එකට“

“මේ ගැන කිසිම කෙනෙක් දන්නෑ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ“ යාළු අයියා උත්තර දුන්නා.

“හැබැයි සමහර වෙලාවට ඔන්න එනවා බලකොටුව බලාගන්න වයසක සීයා.. එයාට සද්ද ඇහුනවා එයා ගාව තියෙන ලොකු යතුරු කැරුල්ලත් අරන් ඇවිල්ල ඇරල බලනවා. ඒ උනාට එයාගේ යතුරු කැරුල්ලේ සිං සිං සද්දේ ඇහෙන කොටම මල් ඔක්කෝම සද්ද නවත්තල, ශාලාවේ තියෙන තිරරෙදි අස්සේ හැංගෙනවා ඉක්මනටම. ඇතුලට ඇවිල්ල බලන වයසක සීයාට මල් වල සුවද ආවට එයාට මල් ටික අහුවෙන්නේ නං නෑ“

“ඒක නං නියමයි“ අත්පුඩි ගහමින් අයිඩා සතුටින් කිව්වා. “මට බැරි වෙයිද ඔය මල් දිහා බලන්න.. ආ?“

“අපෝ පුළුවන්“ අයියා උත්තර දුන්නා. “ඔන්න ඔයා ඊළග පාර එතෙන්ට ගියාම හොරෙන්ම එතන ජනේලෙන් එබිල බලන්නකෝ. ඔයාට බලාගන්න පුළුවන්. මම අද ඒ විදියටම ගිහිල්ල බලලයි ආවේ. එතැන සෝපාවේ හිටියා ලොකු කහපාට ලිලි මලක්. එයා සෝපාව උඩ හොදට ඇදිල පැදිල හිටියේ. එයා රජගෙදර ගෑනු කෙනෙක්“

“එතකොට අර උද්භිද උද්‍යානයේ ඉන්න මල් වලටත් ඔච්චර දුර ගෙවාගෙන එතෙන්ට යන්න පුළුවන්ද?“

“අපොයි පුළුවන්‘ යාළු අයියා උත්තර දුන්නා. “ඒගොල්ලන්ට පියාඹල යන්න පුළුවන් හරියට අර පාට පාට සමනලයෝ වගේ. ඔයා දැකල තියෙනව නේද සමනලයෝ. හරියට මල්වගේමයි නේද? ඒ වගේ මේ මල් වලටත් නටුවෙන් ගැලවිල අහසට පැනල එයාගේ අත්තේ තියෙන කොළ වලින් තටු හදාගෙන පියාඹන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ එතන තියෙන මල් නං කවදාවත්ම බලකොටුවේ නැටුමට ගිහිල් නැතිව ඇති. සමහර විට රෑට වෙන මේ ෂෝක් වැඩේ ගැන ඒ අය දන්නැත්ද දන්නෑ නේද? මං කියන්නද වැඩක්.. මිනිහා නං පුදුම වේවි. මං කිව්වේ ඔය උද්‍යානය බලාගන්න ඉන්න මහාචාර්ය සීයා. එයා මේ ළගම නේ ඉන්නේ. ඔයා දන්නවද? දන්නැද්ද? ඒකට කමක් නෑ ඔය පාර ඔයා උද්‍යානෙට ගියාම එතන තියෙන එක මලකට කිට්ටු වෙලා හෙමින් කියන්න බලකොටුවේ තියෙන නැටුම ගැන. එතකොට එයා අනිත් මල් හැමෝටම ඒ පණිවිඩේ කියාවි. ඊට පස්සේ මේ ගොල්ලෝ ඔක්කෝම එතෙන්ට යාවි. පව් අපේ වසයක සීයාට මොකක්ද උනේ කියලවත් හිතා ගන්න බැරි වේවි. ඇයි එතකොට එක මලක් වත් උද්‍යානේ නෑනේ. අඩුගානේ එයාට හිතාගන්න බැරි වේවි මේ මල් කොහේට ගියාද කියලවත්. නැද්ද?“

“මලක් කොහොමද තවත් මලකට ඒ පණිවිඩේ දෙන්නේ. මල් වලට කතා කරන්න බැහැ නේ“

“ඔව් ඒකනං එහෙම තමා“ අයියා උත්තර දුන්නා. “ඒ උනාට ඒ අයට ගොළු බාසාවෙන් කතා කරන්න පුළුවන්. ඔයා දැකල නැද්ද පොඩි හුළගක් එනකොට මල් දෙපැත්තට ඔළුව වනනවා. කොළ වැනෙනවා? ඒ ගොල්ල කතා නොකරට ඒ වගේ දේවල් වලින් ඕන දෙයක් තේරුං ගන්න පුළුවන්. මම ඒක දන්නවා“

“මහාචාර්ය සීයා දන්නවද ඒ කතා කරන විදිය?“ අයිඩා ඇහුවා.

“ඔව් පුළුවන්. ඔන්න එක දවසක් මහාචාර්ය සීයා එයාගේ වත්තට යනකොට දැක්කා ලොකු කහඹිලිය පැලයක් හිටගෙන, එයාගේ කොළ ටික හොළව හොළව ලස්සන රතු කාර්නේෂන් මලකට කතා කරනවා. එයා මොකක්ද දන්නවද කොළ හොල්ල හොල්ල කිය කිය හිටියේ, “ඔයා හරිම ලස්සනයි. මං ඔයාට හුගාක් ආදරෙයි“ කියලා. අපේ මේ නාකි සීයා ඔය වැඩ වලට කැමති නෑ. ඒක නිසා එයාට තරහ ගිහිල්ල කහඹිලිය ගහේ කොළ වලට හයියෙන් ගැහුවා. ඒ කොළ කියන්නේ කහඹිලිය ගහේ අත් වගේ නේ. ඉතිං සීයා ගැහුවා විතරයි ඒ කොළ වලට එයාගේ අත් හොදටෝම කසන්න ගත්තා. ඔන්න එදා ඉදල එයා කවදාවත් කහඹිලිය ගස් වලට කරදර කරන්න යන්නෑ. හොද පාඩම නේද?“

“හොද වැඩේ“ පුංචි අයිඩා හිනාවෙමින් කිව්වා.

සෝපාවේ අයිඩාගේ යාළු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය, සමහර වෙලාවට අයිඩාගේ ගෙදර එන විඩාබර පෙනුම තියෙන විකාර සීයා. “අනේ ‍අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!!“ එහෙම කිව්වා. මේ මනුස්සයා අර හැමවෙලේම සන්තෝසෙන් ඉන්න යාළු අයියට කොහොමටවත් කැමති නෑ. අනික අර පින්තුර කපල කරන සුත්තර වැඩ වලටත් මිනිහා කොහෙත්ම කැමති නෑ. ඒවා මතක් උනාම මේ මනුස්සයට තවත් ඉවසන්න බැරි වෙලා තමයි ඒක කිව්වේ, “අනේ ‍අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!! මේවා මහ විකාර!“

මොනව උනත් පුංචි අයිඩාට යාළු අයියා කිව්ව කතන්දර ටික හරිම අමුතු උනා. ඒක නිසා ඒ ගැන ඇය වැඩිපුර හිතන්න ගත්තා. ඇත්ත තමයි ඒගොල්ල ඔළුව නමාගෙන ඉන්නේ රෑ තිස්සේ නටන හින්ද වෙන්නැති. ඒ අය හරිම මලානික වෙලා.  එහෙම හිතමින් පුංචි අයිඩා අර වේලිච්ච මල් පොකුරත් අරන් එයාගේ සෙල්ලම් බඩු කාමරයට ගියා.  ලස්සන මේසයක් පුරවලා ඇයට එක එක ජාතියේ සෙල්ලං බඩු තියෙනවා. ඒකේ ලාච්චු පුරවලා තියෙන්නෙත් ලස්සන ලස්සන සෙල්ලං බඩු වලින් තමා. පුංචි තොටිල්ලේ, අයිඩගේ සොෆියා බෝනික්කා නිදාගෙන හිටියා. “සොෆී, දැං ඔයා නැගිටින්න. අද ඔයා මේ ලාච්චුවේ නිදාගන්නකෝ. මේ බලන්න මගේ මල් ටික ලෙඩ වෙලා ඒක නිසා අද ඒ අය ඔයාගේ ඇදේ තමා නිදාගන්නේ. එතකොට හොද වේවි ඒකයි මම කිව්වේ“ සොෆී තරහෙන් ඉන්න බව අයිඩා දැක්කා. ඒත් සොෆි නං එක වචනයක් වත් කිව්වේ නැහැ. දුක තමයි ඉතිං රෑට නිදාගන්න ඇදක් නැති වෙන කොට.

මල් ටික සොෆීගේ ඇදේ තියල අයිඩා, පොඩි රෙද්දකින් හීමිට ඒ ටික පෙරෙව්වා. “ඕගොල්ල ඔහොමම ඉන්න, හෙට උදේ වෙන කොට හොද වේවි. මම තේ හදල දෙන්නංකෝ හොදේ.“ ඇය ඇඳ වටේම තිර රෙදි දාලා වැහුවේ ඉර එළිය ආවම මල් වල ඇස් නිලංකාර වෙන එක නවත්තන්න. අයිඩා මුළු හවස් වරුවම කල්පනා කලේ එයාගේ යාළු අර සිසුවා කිව්ව කතා ටිකමයි. ඒ කතා එයාට මැවිල පේන්න ගත්තා. නිදාගන්න යන්න කලින් එයාගේ ජනේල් අයිනේ තියෙන එයාගේ අම්ම වවපු මල් පොච්චි ටික දිහා බලාගෙන පුංචි අයිඩා මෙහෙම කිව්වා. “මම දන්නවා හොදේ. ඔයාලා අද රෑට නැටුමට යනව නේද?“ එහෙම උනත් එක මලක්වත් අඩුගානේ කොළයක් වත් හෙලවුනේ නැහැ. මොනා උනත් පුංචි අයිඩා දන්නවා එයා මොනවද ඒ ගැන දන්නේ කියලා.

අයිඩා නින්දට ගිහිල්ල ගොඩාක් වෙලා මල් ගැන හිතුවා, ඊටත් වැඩිය අර බලකොටුවේ මල් නටන හැටි බලන්න තියේනං කොච්චර හොදද කියල හෙම. එයාගේ මල් ටිකත් එහේ නැටුමට ගියා කියල හිතුවම අයිඩට හරි ම පුදුමයි. එහෙම හිත හිත ඉන්න කොට අයිඩට නින්ද ගියා.

මහ රෑ අවදි වෙච්චි අයිඩාට යාළු අයියා කියපු මල් ගැන හීන පෙනිල තිබුනා. ඒ උනත් නැගිටල බලන කොට කාමරේ හරිම නිස්සද්දයි. රාත්‍රි පහන විතරක් දැල්වෙමින් තිබුනා. එයාගේ අම්මයි තාත්තයි නං හොදටම නිදි. 

“අර මල් ටික තාම නිදිද දන්නෑ“ අයිඩා හිතුවා. “කොහොමද මං ඒක හරියට දැනගන්නේ“ ඩිංගක් ඉස්සිල අයිඩා බැලුවා බාගෙට ඇරිච්ච කාමරේ දොර දිහා. ඇය හොදට ඇහුන්කන් දුන්නම එහා කාමරෙන් ලස්සන පියානෝ සද්දයක් ඇයට ඇහුනා. ඒ වගේ ලස්සන සංගීතයක් ඇය කවදාවත් අහල තිබුනේ නැහැ.

“දැන්නං මල් ටික නටනවා ඇති ඒක සිකුරුයි“ අයිඩා හිතුවා. “අනේ මට ඒක බලන්න තිබුන නං“ නිදාගෙන ඉන්න අම්මයි තාත්තයි නැගිටීවි කියන බයට පුංචි අයිඩා එහෙමම හිටියා. “අඩු ගානේ මල් ආයිත් එන එකවත් බලන්න පුළුවන් නේ“ ඒත් මල් අවේ නැහැ. අර සංගීතය තවත් ලස්සනට තිබුනා. ඉවසන්නම බැරි තැන හෙමින්ම ඇදෙන් බැහැල, පරිස්සමින් දොර ගාවට ගිහිල්ල කාමරේ දිහා බැලුවා. “මගේ අම්මෝ. ලස්සන“, ඇය මොනවද දැක්කේ?

රාත්‍රි පහනක් නැති වුනත් කාමරේ හරිම එළියයි. ජනේලෙන් එබුන හඳ එළිය හරියටම කාමරේ බිම මැදටම වැටිලා, ඒකෙන් දවල් කාලේ වගේ කාමරේ එළියයි. හයිසින්ත්, ටියුලිප් මල් දිග පේලි දෙකකට හැදිල, ජනේලේ ගාව කිසිම මලක් ඉතුරු වෙලා නැහැ. තිබුනෙ හිස් මල් පොච්චි විතරයි. හැම මලක්ම ඒ ගොල්ලන්ගේ කොල වලින් එකිනෙකා අල්ලගෙන වටේට හැදිල රවුමට කැරකි කැරකි ලස්සනට නටනවා. අයිඩා ග්‍රීෂ්ම කාලේ වත්තෙදි දැක්ක ලොකු කහපාට ලිලි මල පියානෝවේ වාඩි වෙලා හිටියා. එතකොට යාළු අයියා කිව් දේ අයිඩට මතක් උනා. “එයා හරියට ලීනා මිස් වගේමයි“ ඒ වෙලාවේ අයියා හයියෙන් හිනා උනත් දැං ඒක ඇත්තම කතාවක් කියල අයිඩට හිතුනා. ඇය හරිම ලස්සනට පියානෝව වාදනය කරේ, තාලෙට ඔළුව පද්ද පද්ද. කව්රුවත් අයිඩව දැක්කේ නැහැ. එතකොටම ඇය දැක්කා සෙල්ලං බඩු තිබ්බ මේසේ උඩට පැන්න ලොකු නිල් පාට කළුකම්බේරිය පැලයක්, එයා ටක් ගාලා ගිහිල්ල අර ලෙඩ වෙච්ච මල් නිදාගෙන හිටිය ඇද ගාව තිබ්බ තිර රෙදි ටික ඈත් කරා. එතකොට එකසැරේම ඒ මල් ටික නැගිට්ටා, නැගිටල බලල ඔළුව වනල කිව්වේ ඒ අයටත් නැටුමට එන්න ඕන කියල තමයි. තොල කැඩුනු කළු ගැහුනු පරණ බෝනික්කා නැගිටල මල් වලට අත වැනුවා, දැන්නං මල් වලට සනීප පාටයි. ඒ අයත් පැනගෙන ගිහිල්ල අනිත් අයත් එක්ක සතුටෙන් නැටුවා.

ඊට පස්සේ මේසේ උඩින් මොකක් හරි බිමට වැටුනා. ඒ අර බර්ච් අත්තක් නේද බිමට පැන්නේ කියල අයිඩා බැලුවා. එයත් හරියට මලක් වගේ. හරිම ලස්සනයි. අර විකාර සීයා දාගෙන හිටිය ලොකු තොප්පියක් වගේ එකක් දාගෙන ඉටි බෝනික්කෙක් බර්ච් අත්ත උඩ වාඩි වෙලා. එයා මල් අතරට පැනල එයාගේ ඇලේට තියෙන කකුල් තුනෙන් හයියෙන් හයියෙන් පැන පැන සද්දෙට මෂුර්කා නටන්න ගත්තා, අනේ අර වගේ හයි හත්තිය නැති පුංචි අහිංසක මල් වලට බර්ච් අයියගේ තාලේ අල්ලගන්න බැරි උනා.

බර්චි අයියා උඩ ඉන්න ඉටි බෝනික්කා එතන මුදුනා වෙන්න හදනවා. ඒ අතරේ අහල පහල තිබ්බ කඩදාසි මල් දිහාට හැරිල මෙයා “අනේ ‍අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!! මේවා මහ විකාර!“ කියල කිව්වේ හරියට අර විකාර සීයා වගේම තරහෙන් පුපුරු ගහන ගමන්.  තරහ ගියපු කඩදාසි මල් ඇගේ හීනි කකුල් වලට තට්ටුවක් දැම්මම ඇයව නිකංම ඉටි බෝනික්කෙක් උනා. මේක දැකල අයිඩට හරිම හිනා. බර්ච් අයියයි, ඉටි බෝනික්කයි දෙන්නටම නැටුමෙන් අයින් වෙන්න උනා. නටමින් හිටපු මල් බර්ච් අයියට හොදවයින් දෙකක් කිව්වා. අයිඩගේ මල් ටික තමා හොදම ටික කිව්වේ. ඒකෙන් බර්ච් අයියගේ වැඩ ටික ඉවර උනා. මේ වෙලාවෙම සොෆී නිදාගෙන ඉන්න ලාච්චුවෙන් ලොකු සද්දයක් ඇහුනා. ඒ සද්දෙට   පරණ බෝනික්කා මේසේ අයිනට දුවගෙන ගිහිල්ල දිගා වෙලා ඉදගෙන අමාරුවෙන් ලාච්චුව ටිකක් ඇරියා. ඒ ලැබුන ඉඩෙන් ඔළුව එළියට දාලා සොෆී පුදුමෙන් වගේ වට පිට බැලුවා. “ආ.. මෙතන ලොකු උත්සවයක් නේ“ සොෆී කිව්වා “ මම තරහයි. මට කව්රුවත් කිව්වේ නෑ“

පරණ බෝනික්කා සොෆීගෙන් ඇහුවා එයත් එක්ක නටන්න එනවද කියලා. “ඔයා නං ඒකට නියමෙට හරියන එක්කෙනෙක්“ කියල සොෆී උත්තර දුන්නා, ඊට පස්සේ දෙන්න එක්ක ලාච්චුව උඩ වාඩි වෙලා බලාගෙන හිටියා එක මලක් හරි ඇවිත් නටන්න එන්න කියාවි කියලා, ඒත් කව්රුවත් සොෆීට අඬගැහුවේ නැහැ. ඇය බොරු කැස්සක් දැම්මා. “කෙහ්. කෙහ් කෙහ්.“ ඒත් කව්රුවත් බැලුවේ නැහැ. පරණ බෝනික්කා තනියම උනත් හොදට නටනවා සොෆී දැක්කා.

කව්රුවත් සොෆී ගැන බැලුවේ නැති තරහටම සොෆී එහෙම්ම පැන්න බිමට, “තග්“ මහ සද්දෙකුත් එක්ක. මේ සද්දෙට හැමෝම දුවගෙන ආවා සොෆී ගාවට, “අනේ ඔයාට තුවාලද? කෝ බලන්න අමාරුද?“ ඒ අය ඇත්තටම දුක් උනා සොෆී වැටිච්ච එකට. සොෆිගේ ඇදේ නිදාගත්ත මල් ටික ගොඩාක් දුක් උනා. සොෆීට කිසිම අමාරුවක් තිබ්බේ නැහැ. අර මල් ටික සොෆී ලගට ඇවිල්ල එයාට සෑහෙන්න ස්තුති කරා එයාගේ ඇද දුන්න එකට. ඊට පස්සේ හැමෝම සොෆීව කාමරේ මැද්දටම එක්කං ගිහිල්ල, එයාව වට කරගෙන ලස්සනට නටන්න ගත්තා. සන්තෝසෙන් හිටිය සොෆී අර මල් වලට එයාගේ ඇඳ තියාගන්නම තියාගන්න කියල කිව්වට මල් ඒකට කැමති උනේ නැහැ.

“ඔයා හුගක් හොදයි. ඒ උනාට අපි හෙට වෙන කොට මැරෙනවා. ඔයා මතක ඇතුව අපේ අයිඩට කියන්න අපිව අර කැනරි කුරුල්ල භුමදාන කරපු තැනම භුමදාන කරන්න කියල හොදේ. එතකොට ලබන ග්‍රීෂ්මේ වෙන කොට මහන්සි ඇරල හිටියටත් වැඩිය ලස්සනට ආපහු එන්න පුළුවන් වේවි.“

“අනේ මැරෙන්න එපා“ සොෆී දුකෙන් කිව්වා, ඇය ඒ මල් වලට සමුගැනීමේ හාදු දුන්නා. එතකොටම කාමරේ දොර ඇරගෙන මෙන්න මල් ගොඩාරියක් නටාගෙනම ඇතුල් උනා. අයිඩට මොකක් වත් හිතා ගන්න බැරි උනා මෙච්චර ගොඩක් මල්... කොහෙන්ද ආවේ කියලා. ආ එකත් එකටම මේ අර රජතුමාගේ බලකොටුවේ නැටුමට ගියපු මල් වෙන්නැති. ඉස්සෙල්ලම ආවේ ලොකු ලස්සන රෝස මල් දෙකක්, ඔළුවේ පොඩි ඔටුනු දාගෙන. එතකොට මේ රජතුමයි බිසවයි වෙන්න ඇති. ඒත් එක්කම කාර්නේෂන් මල්, ලිලි මල්, ඩේසියා මල් අර මිටියාවතේ තියෙන.. ඒවා ඔක්කෝම ඇවිල්ල කාමරෙ පිරිලා. ඒ අය ලස්සන සංගීතයක් අරන් ඇවිල්ල. හරිම ලස්සනයි. දැං හැමෝම එකට නටන්න ගත්තා. ඒ වගේම හැම මලක්ම එකිනෙකාට හාදු දෙන්න ගත්තම ඒක බලන්න හරිම ලස්සනයි.

අන්තිමේදි සුභ රාත්‍රියක් කියාගෙන හැම මලක්ම නැටුම නැවැත්තුවා. පුංචි අයිඩත් නිදාගන්න ඇදට ගියා හැබැයි එයා දැක්ක මේ දේවල් ගැන ඇය මිහිරි වෙලයි හිටියේ.

ඇයි පහුවෙනිදා උදේට නැගිටලා මල් නිදාගෙන ඉන්න ඇද ළගට ගියා. මල් ටික එහෙමම තියෙනවා පොඩ්ඩක් වත් වෙනසක් නැහැ. ලාච්චුව ඇරල බැලුවම සොෆීත් ඒ විදියටම නිදාගෙන ඉන්නවා. සොෆිගේ මූණ දැක්කම නං හරිම මහන්සි පාටක් අයිඩා දැක්කා. මල් ටිකත් ඊයෙට වැඩිය හොදටම මැලවිලා. 

“ඔයා අර මට කියන්න තියෙන දේ අමතක කරල නෑ නේද?“ අයිඩා සොෆිගෙන් ඇහුවා. ඒත් මහන්සි පාටට නිදාගෙන ඉන්න සොෆීට ඒක ඇහුනේ නැහැ මගේ හිතේ. “ඔයා නං ගන්න දෙයක් නැහැ හරිම කැතයි නැටුවා. ඒ උනාට අර මල් ඔක්කෝම ඔයත් එක්ක නැටුව එක තමා පුදුමේ“

ලස්සනට කුරුල්ලෝ පාට කරල තිබ්බ පුංචි කරදහි පෙට්ටියක් අරන් අයිඩා අර මල් ටික ඒකට පරිස්සමින් දාලා “ඔන්න මේ තමා ඔයාලගේ මිනී පෙටිටිය හොදේ“ කිව්වා. මගේ මල්ලිල දෙන්න ආවම ඔයාලව අර කිව්ව විදියටම බිම වල දාලා තියන්නං හොදේ. ඔන්න ලබන ග්‍රීෂ්මේ වෙන කොට මීට වඩා ගොඩාක් ලස්සන වෙලා එන්න ඕන හොදද!!“

ගුස්තාව් හා අඩොල්ෆ් කියන ඒ දග කොල්ලො දෙන්නත් එක්ක සොෆී පුංචි වලක් හාරල පරිස්සමින් ඒ මල් ටික තැන්පත් කරා. හරිමට අවමගුල් උත්සවේක වගේ ඒ දෙන්න තමන්ගේ සෙල්ලං දුනු දෙක කරේ තියාගෙන ඉස්සරහින් ගියා. අයිඩා පෙටිටිය අරන් පස්සෙන් ගියා. ආචාර වෙඩි මුර තියන්න කාලතුවක්කු නැති උනත් මේ කොල්ලෝ දෙන්න තමන්ගේ දුනු දෙකෙන් වලට උඩින් යන්න පුළුවන් වෙන්න ඊතල විද්දා.


Hans Christian Andersen - Little Ida's Flowers

Tuesday, October 1, 2013

බොරුවට නේ මෙයා!!!!

වටේ ගියෙමි..
අතපත ගෑවෙමි.
නැගී බැලුවෙමි..

අවසන මටම කියා එකක් ගතිමි.
ඇරඹුවෙමි..
තෙල් දමා සෝදා දිව්වෙමි.

විඩින් විඩ ලෙඩ ඇවිත්
ගමන ටික ටික බාල විය
ඒත් අටවං අමාරුවෙන්
පැදගෙන ගියෙමි

දැන්නං හොදටෝම
දුබලය.. සැකන්ඩ් හෑන්ඩ්ය
කරන්නට දෙයක් නැත.
විකුණමි.. යමි.. නොඑමි..

හැක් හැක්....