Friday, September 20, 2013

බුදු ගුණ සත්‍ය ක්‍රියාව!!

මාගේ ශාන්ති නායක වූ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේ විසින් දේශිත සද්ධර්මයේ ආනුභාවයේ බලයෙන් හා ලොව තුන්කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාවයේ බලයෙන් හා මා සුරකිනු ලබන්නා වූ ශීල බලයෙන් (පංචශීල ආනුභාවයෙන්!!!!) අනන්ත සංසාරේ පටන් මේ දක්වා මා හට බලපෑවා වූ සියළු අකුසල ධර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා!!! අහෝසි වේවා!!! නැති වේවා!!! අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මා රැස් කළා වූ සියළු කුසල ධර්මයන් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා!!! ක්‍රියාත්මක වේවා!!! ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මගේ ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, මිදුළු ආදී වූ සකල සර්වාංගයේ ලේ ධාතුව පිරිසිදු වේවා!!! සුවපත් වේවා!!! මේ සුවපත් වීමෙන් මා හට මෙතෙක් උරුම නොවූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ පටන් ලැබෙත්වා ඒකාන්තයි!!! සත්‍යයයි!!! මේ සත්‍යක්‍රියාව ක්‍රියාත්මක වී සුවපත් වේවා!!! සුවපත් වේවා!!! මා සුවපත් වෙනවා සත්‍යයයි!!! ඒකාන්තයි!!! මට ශාන්තියක්ම වේවා!!!

සාදු!!! සාදු!!! සාදු!!!

(කරණීය මෙත්ත සුත්‍රය සහ ඉතිපීසෝ ගාථාව කියා ඉහත පාඨය 21 සැරයක් කියවන්න)

(ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ... බඩුම තමා.. කට කහනවද???)

Wednesday, September 18, 2013

Mg3Si3O10(OH)2

කාලෙකට පස්සේ.. හැක් හැක්.. අම්මා ගායි බැට් එකෙන් නලියට ඇහුනනං හෙම. මිනිහා මට දෝස්මුරයක් දාලා නෙව දේශන වැඩිය කියලා. හැබෑට මෙහෙමත් පත්තරකාරයෝ. දවස ගානේ පත්තර පිටු පුරවන හාදයෝ මගෙන් අහනවා ලියනව වැඩියි නේද කියලා. දෙන්න හිතෙනවා බැට් එකෙන්..

නැහැ නලියා කිව්ව එක ඇත්ත. පිච්ච මල් සීන් එකෙන් පස්සේ මම ටිකක් ඉක්මනට පෝස්ට්කටු දාන්න ගත්ත කියල මටත් හිතුනා. පිච්ච මල පන්නපු වෙලාවේ හොදකමද මන්ද කොහේ ගියත් පිච්ච මල් දේශකයා කියල ආදරයෙන් අමතන්න කස්ටිය සැදී පැහැදී හිටියා මේ ටිකේ. ඉතිං බොලාගේ ඔය ආදර වදන් වලින් මම හාට් එකෙන්ම කුල්මත් වෙලා හිටියේ සන්තෝසෙට. අඩුගානෙ ගැරඬියා කියල තිබ්බ මගේ එකම නික් නේම් එකට තව එක නමක් හරි එකතු උනා නේද කියල හිතලා..

පහුගිය දවසක ඉස්කෝලෙට යන්න උනා පොඩි එකා ගන්න. හැමදාම ඉස්කෝලේ අරින්නේ 11.45 ට. මේ කියන දවසෙත් 11.45 වෙන කොට ඉස්කෝලේට ගියා. එහෙම තමා අපි හරි වෙලාවට වැඩ කරනවා. ඒත් අනේ මගේ මොලේ කියන්නේ ඉස්කෝලේ ගාවට ගියාම තමා මතක් උනේ එදා ඉස්කෝලේ තියෙන අමතර පන්ති සින්කෝන් එකක් හින්දා ඉස්කෝලේ ඉවර වෙන්නේ 1.30 ටෙයි කියලා. දැං මොකද කරන්නේ පැය එකහමාර කකුල් දෙකටම බර පටවනවද.. සිකේයියා එහෙම එක විදියකට ඉන්න පුළුවන් පුත්තරයෙක් නෙමෙයි නේ මං. ඕන එකක් වෙන්න කියලා ගියා රංහොටිගේ දුං කඩේට.

පත්තර මාල්ලකුත් පෙරලගෙන අහල පහල දුං වළලු බල බල හිටියම මටත් නිකම්ම දුං යවන්න හිතුනා. ඇයි අප්පා පැය එකහමාරයක් විරිත්තං ඉන්නයැ. රංහොටිගේ කඩේ වැඩ කරනවා එයාට නෑ වෙන අක්ක කෙනෙක්. කළුවට කළුවේ කෙට්ටුවට කෙට්ටුවේ හරියට පරඬැලක් වගේ. ඒ උනාට කොණ්ඩේ එහෙම ඩයන කට් කපල සෙරෙප්පු දෙකක් හෙම දාලා ඉන්න මේ අක්ක තමා කඩේට එන හැමෝගෙම බයිට් එක. අපරාදේ කියන්නේ මම නෑනේ ඔය අහිංසක මිනිස්සුන්ට නොපනත්කම් කරන්න යන්නේ. ඒකෙන් අක්කා මට හරි ආදරෙයි. වචනයක් වත් කියන්නෑ.

එක දවසක් මරු සීන් එකක් උනා. මාත් ඔය පැත්තේ ගෑටුවොත් අනිවා ඒ කඩෙන් ප්ලේන්ටි බාගයක් බොන එක පුරුද්දක්. මේ කඩේ ඉස්සෙල්ලම කෑම සෝකේස් එකක් තියෙනවා, ඊට පස්සේ දිගට තියෙන කෑල්ලේ යකඩ මේස පහක් හෝ හයක්, එක මේසෙට යකඩ පුටු හතරක් වෙන්න තියෙනවා. දිග අතට තිබුනට කඩේ පලල අඩුයි ඔය මේස සීමාව ඉවර උනාට පස්සේ තියෙන බිත්තියත් එක්ක ඒ කොටස බෙදෙනවා. බිත්තියෙන් එපිට කෑල්ල තමා තේ හදන්න, පිගන් රාක්කය, කුස්සි කෑල්ල එහෙම තියෙන්නෙත්. කොනටම වෙන්න කක්කුස්සි කෑල්ලත් තියෙනවා වගේම, බිත්තියට හේත්තු වෙන්න ලී පුටු තුන හතරක් තියල තියෙන අවකාශයේ බිම, බාගෙට කැඩිච්චි අළු වලින්ම කළු ගැහිච්චි නිල් පාට බේසම් දෙකක් තියල තියෙන්නේ, මොකටද කියල කියන්න ඕන නැහැ නෙව. ටවුමට එන බහුතරයගේ දුං කාමරේ මේක තමා.

ආ.. කියන්න ආපු එක අමතක උනා. ඉතිං ප්ලේන්ටියක් බොන්න දුං කාමරේ ඇතුලට ගියාට අක්කා පේන්න නැහැ. ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න කොට ඔන්න එනවා ටොයිලට් එකේ දොරත් ඇරගෙන, එක අතර රතු පාට පොඩි ප්ලාස්ටික් ජොග්ගුවක් තිබ්බා. දොර වහල එන ගමන් මගේන් ඇහුවා මොනවද ඕන කියලා. මම කිව්වා ඉතිං මට ප්ලේන්ටි බාගයක් දෙන්න කියලා. ඊට පස්සේ මේ මනුස්සයා සින්ක් එක ගාවට ගිහිල්ල විම් ටිකකින් අතහෝදගෙන ඉවර වෙලා ගියා බොයිලේරුව ගාවට. 

“හා.. තේ ඉවර වෙලා නෙව. ඔයැයි ඩිංගක් ඉන්න මම තේ හදන්න ඕන.“

එමෙ කියල ආයේ ගියා සින්ක් එක ගාවට. ගිහිල්ල අර රතු පාට ජොග්ගුව අතට අරගෙන බොයිලේරුව ගාවට ඇවිල්ල, ඒකේ කරාමේ ඇරල උණු වතුර ටික හෝස් ගාලා දැම්ම ඒකට. ඊට පස්සේ තේ කොල ගොට්ට අරගෙන සීනිත් දාලා තිබ්බ ඇලුමීනියම් භාජනේට තේ ගොටුව හරහා අර රතු ජොග්ගුවෙන් වතුර හැලුවා. තේ හදල ඉවරයි. ඒ වෙනකං ඇස් උඩ තියං බලං හිටිය මට දැං ඔක්කාරෙට එන්නත් වගේ. මොකද මම ඔය ටොයිලට් එකට ගිහිල්ල තියෙනවා නෙව. 

“ආ තේ එක...“

“අපෝ දැං තේ එපා... මට පරක්කු උනා මම යනවා“ කියාගෙන මම නැගිටල ආවා. එදායින් මෙදායින් තේ නං නොබොයි මෙමා කිසිවිටෙකත් රංහොටිගේ දුං කඩයෙන්.

කඩේ අක්කා ටිකක් මැන්ටල් කේස් එකක්. සමහර කොල්ලෝ ඇවිත් මෙයාව අවුස්සල තිබ්බම උන්ට අම්මමෝ නැති වෙන්න කුනුහරුප කියනවා. මම නං ආයේ එන්නෑ ඒ කියන ඒවයේ හැටියට. මේ කොල්ලන්නට නං කිසිම ලැජ්ජාවක් නෑ ඒත් අර මනුස්සයව අවුස්සනවා.

සමහර උං මෙයාට පේන්නම ෆිල්ටරේ බිම දානවා බේසමට නොදා. ඔන්න ඒක දැක්ක විතරයි අක්කට යකා ආරූඪ වෙනවා. කියන්න තියෙන හැම එකම කියනවා ඒ වෙලාවට. 

“ඕකුන්ගේ අත් දෙකට හොඳක් නං සිද්ද වෙන්න එපා. මම එපැයි මේවා අස් කරන්න ඉතිං. මුන්ට හෙන ගහන්න ඕන. අත් කැඩිලද මුංගේ අච්චර බේසම දැක දැක බිම දාන්නේ. මේ කඩේ එකා තමා මෝඩයා (රංහොටි) අනිත් කඩ වල උන්ට මොලේ තියෙනවා ඒකනේ ඒවයි සිගරට් උරන්න නොදෙන්නේ. මේ මෝඩයා ඕන දේකට ඔළුව නමල ඉන්න නිසා මුං එනවා කරේ නගින්න. අම්මපා මම නං ගහනවා මුන්ට අත පය දෙකට කැඩෙන්න“

ඔය කොහොම කිව්වත් සමහර වෙලාවට බොහොම හොදට කතා කරනවා.

මම මේ කඩේ හිටියයි කිව්ව දවසේ මම ඉන්න තැනට ඇවිල්ල මේ අක්කා මගේන් අහනවා.

“ඔයැයි දන්නවයි හොදම සුවද තියෙන පව්ඩර් එක මොකක්ද කියලා“

“පවුඩර්.. අර ගෝයා එකනං හොදයි. ඒකේ ජැස්මින් එක, රෝස් එක තව ඒවා තියෙනවා මට මතක නෑ“

“ගෝයා එක නේද හොදම එක.. මම මේ නිකං අහන්නේ.. කඩේ ඇති නේද ගන්න“

“ඔව් ඔව් තව කොහොඹ, ඇයි ජොන්සන් එකත් හොදයි“

“ජොන්සන් කිව්ව බබාලට ගාන එක නේද“

“ඔව් ඔව් ඒක සුවදයි“

“හෑ.. හෑ.. ඔයැයි හිතුවයි මම බබෙක් කියලා.. ගෝයා එකක් කීයක් විතර වෙනවද“

“මම දන්නෑ. අතන කඩේට ගියානං හරි. ඒකේ ඇති“

“ඔය පවුඩර් හදන්නේ පාං පිටි වලින්ද?“

“ඈ.. පාං පිටි. නැහැ වෙන මොහොකින් හරි“

“මං හිතුවේ පාං පිටි කියල. එහෙනං මොනවැයින්ද හදන්නේ පවුඩර්“

“ඔව් මං හිතන්නේ පාං පිටි වලින් වෙන්න ඇති“

මදැයි කොළා. හප්පච්චියේ මම දැනං හිටියේ නැහැ නෙව පවුඩර් මොනවයින් හදනවද කියලා. වෙලාවට අක්කව සැට් උනේ නැත්නං නාන්න වෙන්නේ නොදන්න මගුල් කියන්න ගිහිල්ල. හැබෑට පවුඩර් හදන්න් මොනවයින්ද කියල මට මොලෝ රහක් තිබ්බේ නැහැ නෙව. එදා ඒ පැය එකහමාරම කල්පනා කරලත් මේකට උත්තරයක් ඔළුවට වැදුනේ නැහැ. අන්තිමට තමයි මම තීරණය කරේ පව්ඩර් හදන්නේ කොහොමද කියල ගුගල් දෙයියට පඩුරක් ගැට ගහල අයදින්න. ඒකෙන් නෙව වැඩේ දැනගත්තේ. ඔව් නේන්නං දන්නවා වගේ හිටියට දන්නෙත් නැහැ. බලං ගියාම නොදන්නෙත් නැහැ. ඒත් වැඩේ කියන්නේ මතක නැහැ නෙව.

දැන්නං ඕං පවුඩර් හදන්නේ කොහොමද කියල මතක් කරගත්තා.

ඔයැයි දන්නැත්නං ඔය පහල තියෙන ඒවට කොටල ඒ ගැන බලාකියාගන්න. යු ටියුබ් එකෙත් වීඩියෝ දෙක තුනක් තිබ්බ පවුඩර් හදන විදිය ගැන..



Monday, September 16, 2013

නොනිදන මිනිසා.. සහ ඇය...

“නොනිදන මිනිසා“ මා රැගෙන පියාඹන්නට සුදානම්ව සිටී. ඇසිල්ලෙන් ඇක්සලේටරය පාගා, පැට්‍රල් ලීටරක්ද දැමු, ඩීසල් ටැංකය කලඹා, එන්ජිමේ හැම යකඩ අංශුවක්ම භීතියට පත් කොට, ඔහු අවදිව සිටින්නට සුදානම්ව සිටී. අතොරක් නැතිව කැකෑරෙන, වැහැරෙන හිරු එළිය කොටු බැම්මට එපිටින් පළා යන විත්තියක් පෙනේනට ඇත. තවත් මොහොතකින් සැඟවෙන හිරුට පිටුපා මා සමුගනිමි. තවත් එක් රැයක් පුරා ආසනකට බරදී මා නිදි කිරා වැටෙනු ඇත. එහෙත් “නොනිදන මිනිසා“ පහන් වන තුරු මා නිදිදෙව්දුව තුරුලේ සුරැකිව තබා, අවදියෙන් සිටිනු ඇත. තවත් දෙවරක් පමණ හුස්ම හිරවන්නට වන්නට මෙන් එන්ජිම කෑගසන විට, හරියටම පස්වරු 6.00 වෙද්දී මා රැගෙන ඔහු පියාඹන්නට පටන් ගති.

යාපනයේ සිට මා නැවත නිවෙස බලා යා යුතුය. ඒ සදහා මා හට අවැසි පරිදි බස් රථයක් ඇත්නම් එය “නොනිදන මිනිසා“ගේ බස් රථයයි. හිරු පලා යන  මොහොතක රියදුරු අසුනට නැගි ඔහු, කිසිවකින් නොසැලී පළා ගිය උන් නැවත පැමිණෙන තුරුම බලා සිටි.. අවදියෙන්.

අළුතින් සකස් කර ඇති තනි කෙළින් මාර්ගය “නොනිදන මිනිසා“ ඇසිල්ලෙන් බැහැර කරන්නට වෙර දරයි. ගුම් ගුම් නදින් හැඩවෙන ටයර් ශබ්දය හා එක්වූ, එන්ජිමේ කෑමුර නාදය, අදිසි වේගයෙන් මා අඳුර වෙත රැගෙන යයි. සැනෙන් පසුවන තනි කළුවර අතරේ කිසිවක් සොයාගත නොහී මා නින්දට වැටේ. විටින් විට ඔළුව ජනෙල් වීදුරුවේ වදින මොහොතක් වේද ඇස් හැර බලන මා තවත් මොහොතකින් අඳුරට මුහු වෙමි. 

යාපනය හන්දිය ආසන්න වෙත්දී, බස් රථයේ චලනයන් වෙනස් වෙයි. නොයෙක් ශබ්දයන් හා බාධා කිරීම් අතරේ අසීමත මානව චලනයක් ඉදිරි දොර හා පසු පස දොර අතර සිදුවේ. බසයේ වැඩිම ප්‍රමාණයක් දොරටු අසල සිරවන්නේ ඉක්මනින්ම බසයෙන් පිටතට යෑම සදහා වන්නට ඇත. මා හට එය කාරණයක් නොවන නිසා නැවත නින්දට හඬ ගසද්දී බස් රථයේ ප්‍රවේගය ශුන්‍ය වනු දැනිනි. තවත් මොහොතකින් ටක් ටක් හඩින් පාපුවරු වල බරට වදින සපත්තු හඩින් මිනිසුන් පිටතට පා තබන බවත්, ඊටත් මොහොතකට පසු එතරම් බර නොවු ටක් ටක් හඩින් මිනිසුන් බස් රථයට ගොඩ වෙන බවත් මා හට දැනිනි. දැන් දැන් ඔවුන් ආසන කරා ඇස්යොමු කරමින්,හොදම ආසනය තෝරාගන්නට වෙහෙසෙන බවත්, පිටුපසින් එන කෙනාට පෙර තමන් හොදම ආසනය සොයාගත යුතු නිසා ඉක්මන් වන විත්තියත් නිදිමත මගේ මනසට පෙනෙන්නේ,  බස් රථයට ගොඩවූ පසුව මාද එයම කරන නිසාය. ආසනයේ වාඩි වුවද තවත් ආසන සිස්ව පවතී නම් තමන් වාඩි වූ ආසනය ගැන තෘප්තිමත් නොවන අයෙකු තත්පර ගානක් ඇතුලත ආසන කිහිපයකම වාඩි වී පරික්ෂා කරනු ඇතැයිද මට සිතුනි. එවැනි අයෙකු කිසි ලෙසකින් තෘප්තියට පත් කළ නොහේ.

මා අසල ආසනය මිරිකෙන අයුරක් දැනුන අතර, කිසිවෙකු හෝ මා අසල ආසනයේ වාඩි වූ බවට එය කදිම සාක්ෂියකි. තවත් මොහොතකින් ආසනයේ පරමාධිපත්‍යය, කිහිප විටක් සෙලවී පැද්දී සනිටුහන් කරගෙන එහි නිසි ලෙස ස්ථාන ගත වූ ලෙසට ලැබෙන පළමු සංඥාව වන්නේ ඔහුගේ චලනයන් නිශ්ක්‍රීය වීමයි. 

බස් රථය ඉගිලෙන්නට ඔන්න මෙන්න කියා ඇස් හැර නෙත් කොනින් ආසනය දෙසට බැලුම් පෑ මා දුටුවේ පැහැපත් යුවතියකි. ඇයගේ ඇඳුම සල්වාර් වර්ගයේ එකක් වූ අතර, අතරින් පතර වූ සික්වින්ස් මතට වැටුනු වහලයේ ඇති මන්දාලෝකයෙන් ඇයගේ වත බබලන සෙයක් ද, එකිනෙක ට සිරවනසේ බැදගෙන සිටි අත්දෙකෙහි නිය වෛවර්ණව පාට කර ඇති බවත්, දුටු මා නිතැනින්ම අනෙක් උත්සාහය ගන්නේ ඇයට නොදැනී ඇයගේ වතකමල පරික්ෂාවට ලක් කිරීමටය. 

සෙමින් සෙමින් ඉදිරිය බලා උන් මා හට රෑපවාහිණි යන්ත්‍රෙය් කෑමුර දෙන සංගීත කණ්ඩායමේ රිද්මයට අනුකූල නොවන අයුරින් වඳපීදුණු රැගුමක් පානා යුවතියන් කිහිප දෙනෙකු දැකිමට හැකි විය. ඒ සැනෙන් ඇස් දෙක හෙමින් සැරේ නැවත තමන්ගේ කාර්යය කරා මෙහෙයවනු ලැබීමෙන් ආසනයෙන් ආසනය හෙමින් මා වෙතටම පැමිණෙන ඇස් දෙක තත්පර දෙකක් පමණ ඇයගේ වතකමල අසල නතර වී සියල්ල පරික්ෂාවට ලක් කරන්නට විය. ඒ සැනෙන් ඇය රෑමත් බවත්, තවරා ඇති පුයර ප්‍රමාණය වැඩි වුවද, තොල් ආලේපනය අගනා ලෙස සිදු කර ඇති බවත්, ඒ තොල් ආලේපනය මනරම් බවත් මා හට පසක් විය. තත්පර දෙකක් වුවද එයින් තත්පර භාගයක් ගත වෙදිදී මා ඇස් ඇය කෙරේ යොමු වූ බවට සංවේදි වන්නට ඇයට හැකි විය. එහෙයින් තත්පර දෙකක ව්‍යායාමය තත්පර එකහමාරකින් පමණ අවසන් කරන්නටත්, කිසිසේත් බලාපොරොත්තු නොවූ, ප්‍රතිචාරයක් එනම් ඇයගේ මන්දස්මිය මා වෙත එල්ල කිරීම නිසා, සැනෙන් ඇයගෙන් සමුගන්නට මා හට සිදු විය. 

එහෙත් කිහිප අවස්ථාවකදීම ඇය කෙරේ ඇස් යොමු වන බව නිතැතින්ම මට දැනිනි. එය වළක්වාගත නොහැක. මේ රාත්‍රියක තනිව ගමන් ගන්නා ඇය, තනිව ගමන් ගන්නා මා, අදුරු වූ වටපිටාව තුල වෙනස් හැගීමක් සිත තුල තෙරපෙන බව නිසා, සිත ගත සමබර නොවී මා පීඩාවට ලක් විය. බස් රථයේ සුළු පැද්දීමකදි මා හා ගැටෙන ඇයගේ ශරිරය එම පැද්දීම අවසන් වෙද්දි නැවතත් යන්නට යයි. මේ වෙලාවට සිතට එන්නේ, යාපනයද කදුකර ප්‍රෙද්ශයක් උනා නම් කෙතරම් අගනේදැයි කියාය. බස් රථයට ගොඩ වූ අයගෙන් මුදල් අය කර ටිකට් පත් නිකුත් කරන මැසිමෙන් සැනෙන් එළියට විළිස්සෙන කුඩා කොළ කැබැල්ල බෙදමින් තෙමේ පිටුපසට ගමන් කරයි. අඩ නින්දේ සිටියද මා අසළ ඔහු නතර නොවුනු වගක් මා දුටිමි. 

තේ පානය සදහා බස් රථය නතර කළ විට රථයෙන් බැස ගොස් ප්ලේන්ටියක් බී නැවත ආසනයට ගියා මා, ඇය බිත්තර රොටියක් අතැතිව, උළුදු වඩයක් හපමින් සිටින බව හා දකුණු අතෙහි බීම බෝතලක්ද දරා සිටින බව දුටිමි. එහෙත් විස්වාසයෙන්ම කිව හැක්කේ ඇය බස් රථයෙන් පිටතට නොපැමිණි බවත්, ඇය හදුනන කිසිවෙක් බස් රථයේ නොමැති බවත්ය. බස් රථය ගමන් ආරම්භ කිරීමට මොහොතකට පෙර පැමිණි රියදුරු තෙමේ ඇය අත තිබූ හිස් බීම බෝතලය ඉල්ලාගෙන, ඒ මොහොතේ වින්ස්ක්‍රීනයට වතුර ඉසිමින් සිටි කොල්ලා වෙත ලබා දුනි. 

රියදුරු තෙමෙගේ ක්‍රියාකලාපය මා හට ප්‍රශ්නාර්තයක් විය. ඔහු මැය හදුනනවාද? එසේ වන්නට ද නොහැක. ඇයට බීම හා කෑම ලබා දුන්නේ රියදුරු තෙමේම බව පැහැදිලිය. ඔහු වැනි මජරයෙක් මැය වැනි යුවතියක හදුනන්නේ කෙසේද? පිළිතුරු අවැසිය. එහෙත් රැය පහන් කළෙමි. ඇය ගැන තිබු මාගේ පීඩිත හැගීම රියදුරු තැන වෙනස් කළ බව මට හැගේ..

******************************************************

දින කිහිපයකට පසු නැවතත් “නොනිදන මිනිසා“ සමඟ ගමන් කරන්නට මට සිදු විය. ඒ අනුව තංගල්ල බස් නැවතුම්පලෙන් පස්වරු 6.00 ට සැර දමා අරඹන ඒ ගමනට මාද මඟියෙකු ලෙස සහභාගී විය. වෙනදා මෙන්ම ජනෙල් කව්ළුව අතර ආසනයේ බරදී කල්පනාවේ සිටිද්දී, මා අසල ආසනයේ මිරිකෙන බරින් කෙනෙකු වාඩි වූ බව දැනී, හිස් හරවා බලද්දී. ඔව් ඒ ඇයමය. වෙනසකට ඇත්තේ, පළදනා සහ ඇඳුම වෙනස් වීම පමණි. ඒ ඇයමය. මා කට අයා බලා සිටියදී ඇය තරමක් වික්ෂිප්තව මා දෙස බලනු දුටුවෙන් කැළඹුන මා ඇස් ඉවත බලාගත්තද තවත් මොහොතකින් අකීකරු ඇස් ඇය දෙස යොමු වන්නට විය. මාගේ ප්‍රශ්නාර්ථය විසදීමට මේ සුදුසු කාලයයි.

“ඔයා ගිය සිකුරාදා අනුරාධපුරේ ඉදල නේද ආවේ.. මතකද මගේ සීට් එකේමයි වාඩි උනේ“

“මට හරියට මතක නෑ ඔයාව. ඒත් මම හැමදාම යනඑන කෙනෙක් තමා“

“ඒක තමයි මට මතකයි. අදත් අනුරාධපුරේද යන්නේ“

එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ඇය මගේ දෙනෙත් දෙස විපරමින් බලනු මා දුටුවෙමි. සැකහැර දැනගත් ඇය “ඔව්.. ආයේ හෙට එන්නේ“

“හෙට එන්නේ... මොකටද එහෙනං යන්නේ“

“මට වැඩ තියෙන්නේ එහේ තමා“

“ඔයා කොහේද ජොබ් එක කරන්නේ“ ආලවන්ත කමින් මා පැවසු දෙය කනකට නොගත් ඇය ඉදිරිපස බලන්නට වීමෙන් පිළිතුරු නොලැඹිනි. එහෙත් නැවත වතාවක් එම ප්‍රශ්නය ඇසු විට කේන්ති ගිය ස්වභාවයක් ඇය කෙරෙන් දිස් විය. ඒ මොහොතේම රියදුරු තැන බසයට ගොඩ වැදි ඇය අසලට පැමිණි අතර මේ එදා පැමිණි රියදුරු නොවන බව පසක් විය. ඇයගේ හැසිරීමේ වෙනස දුටු ඔහු, මා දෙසද නෙත් යොමු කොට ඇයගෙන් හස්ත මුද්‍රෙවන් අසන ලද්දේ “ඇයි ප්‍රශ්නයක්ද?“ වන්නට ඇත. එයට කිසිදු පිළිතුරක් නොදුන් ඇය ඉවත බලාගත් හෙයින් රියදුරු තම අසුන කරා පය එසවීය. බස් රථය ගමන් ගනිද්දි, ටිකට් මැසිමෙන් ඇය වෙත ටිකට් පතක් නිකුත් නොවු බව මා දුටු අතරම, ඇය හා කොන්දොස්තර අතර පැවති ඇගැලුම් කමද දුටු මා හට වෙනත් මානයක් දිස් විය. 

ප්‍රශ්න ඇසීම නතර කළ මා මාගේ රැය පහන් කිරීමට පටන් ගත්තෙමි. එළිය වැටෙන්නට ආසන්න වෙද්දී යාපනය හන්දියට මෙපිටින් ගෙයක් අසල නැවැත්වූ බසයෙන් පිටතට බට ඇය එනතුරු එදා මා දුටු මජරයා බලා සිටී බවක් දුටු මා, ඒ අසලම ගැවසුනු අනෙක් පිරිමියා එදා මා එන විට ටිකට් මැසිම කරේ රුවා හිටි මිනිහාම බව පසක් විය. එකත් එකටම මේ අර, තංගල්ල යාපනය බසයේ රියදුරන්ගේ විවේක කාමරය ඇති ස්ථානය විය යුතුය. එසේ නම් ඇය.. ඔව් මේ විවේක කාමරය අව්වේකි තැනක් බවට පත් කරන්නේ ඇය විය යුතුය. “නොනිදන මිනිසා“ තම රාජකාරිය නිම කරන්නට තව හෝරා දෙක තුනක් ගත කරනු ඇත. එවිට මටද මාගේ විවේක කාමරය වෙත යා හැක..

Wednesday, September 11, 2013

රා බඩ ගියෝයා

සිකේයියා අනවශ්‍ය දේශනයක් දාලා මාත් කෑව නෙව රෝස්පාං. චැහ්.. මුන් ටික එකතු වෙලා මට නොසෑහෙන්න අනං මනං කිව්ව උනත් මොනව කරන්නද. ඒක “පඩ දේශන“ කියල ලේබල් කරේ මමම නෙව. මම ඉතිං ඔය පඩෙන් පිට යන්න කිසිම අදහසකින් උන්නේ නැති උනත්, අපේ අල්තයිර් වීරයා නං අහල තිබුනා “පඩ දේශනේ නම් දැන් දුන්න,කක්ක දේශනේ මග එනවද දේශකතුමෝ? :D කියලා. ඒත් මං කිව්වේ එහෙම අදහසක් නැතෙයි කියලා. ඒත් අනේ දවස් දෙක තුනක් යනකොට ඔමා දැරිවි දීපු රා වීදුරුවක් බීලා මට කක්ක දේශනයක් මතක් උනා නෙව. හපොයි වෙච්චි දෙයක්. නොහිතන දේම වේ කියන්නේ ඕකට තමා. එහෙනං මේ කතාවත් අහගන්ටකෝ පොඩ්ඩක් සැටල් වෙලා.

මීට අවුරුදු ගානකට කලින් මගේ මිත්තරයෙක්ගේ වෙඩිමක් තිබුනා. ඔය වෙඩිම ප්ලෑන් කරපු අවස්ථාවේ සිටම.. ඔව්.. පත්තරේට ඇඩ් එක දාපු වෙලාවේ ඉදලම අපි කිහිප දෙනෙක් තමා මිනිහගේ දුක සැප බෙදාගන්න හිටියේ. ඔය විදියට හෙමින් හෙමින් ඉන්න මඩ ගොඩේ කොහොම හරි හිටවගන්න මිනිහා සමත් උනා. ඒ පාර තමා වෙඩිමට දින එහෙම නියම කරගෙන ආරාධනා කරන ලැයිස්තු හෙමත් කපල කොටල එහෙට මෙහෙට දාලා හදාගත්තේ. ඒ පාර ඔය හැම තැනම වගේ මිනිහගේ තිබ්බ ඩොක්ටර් සනී අළු පාට කාර් එකෙන් අපේ එකෙක්ම ඩ්‍රැයිවර් වෙලා අම්මත් එක්කම ගිහිල්ල ආරාධනා කරල ආවා. අපි නං යයි ඕවට කොච්චර පස්සෙන් හිටියත්. 

ඒත් ඉතුරු උනා ඥාති පවුල් දෙක තුනක්. හප්පුච්චියේ ඉතිරි ඒවා බැලුවම හීතලේ ගැහුනා. මිනිහගේ අම්මට තියා අපිටවත් යන්න හිතෙන්නේ නෑ ඒ පැත්තේ හීතල මතක් උනාම. කොහේද මේ යන්න තියෙන්නේ. හරස්බැද්ද.. ඔය රාගල කිට්ටුව පොට් එකක්. ඉතිං මිනිහගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා සනියේ සැට් උනා ඩ්‍රැයිවරුයි, මායි, තව එකෙක් හිටියා මනමාලයගේ යාළුවෙක්, අන්තිමට බැලුවම ඒකා අපේම යාළුවෙක් වෙලා තමා පස්ස බැලුවේ. අපොයි මනමාලයත් ගියා. එතකොට ඔක්කෝම කස්ටිය හතරයි. 

දවස් දෙකක් නිවාඩුත් දාගෙන හැන්දෑ කරේ මේ ගමන යන්න තමා අපේ බලාපොරොත්තුව. කාර් එක තියෙන්නේ අතුරුගිරියේ ඒ යකාගේ ගෙදර නිසා කස්ටියම සැට් වෙලා 170 ක නැගල, ඔපිස් එකේ දොරවහපු ගමන් එහේ ගියා. ඒ ගිහිල්ල ඇග පත හෝදගෙන හීනියට අඩියකුත් ගහල මගදි කෑම කනවයි කියල හිතාගෙන අටට විතර නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්තා.

ඔය අතරේ කඩුවෙලට යන්න උනේ නෑ මුන්ට සාපිපාසාව නිසා තව බෝතල් දෙකක් දාගෙන, අපිටත් හොරෙන් මනමාලයා තවත් බෝතලයක් අරන්, ඔක්කෝම තුනක් එක්ක වැඩේ පටන් ගත්තා. ඩ්‍රැයිවර් කිව්වට ඌ අපේ මිත්තරයා. මිනිහ අමු බෙබා. බොනවා නෙමෙයි නානවා. වාහනේ ඩ්‍රැයිවින් කරන නිසා වැඩිය බිව්වේ නැහැ. ඒත් අපිට නං සිද්ධ උනා බෝතල් දෙකක්ම නුවර යන කොට ඉවර කරන්න. නුවර හිටිය නෑ කෙනෙකුට වැනි වැනි ගිහින් ආරාධනා කරන කොට මං හිතන්නේ රෑ 12 විතර වෙන්න ඇති. 

මට කියන්න අමතක උනා අපේ මනමාලයට වාහන එළවන්න බෑ. ලයිසන් තිබුනත් මිනිහා හරි බයයි. ඒකට. ඒ උනත් බීපු මරගාතේ නුවර ඉදල වාහනේ මූට ගෙනියන්නම ඕන කිව්ව නිසා, ජීවිත ආසාව අතෑරලා ඩ්‍රැයිවර් කාරයා ඉස්සරහ වම් පැත්තේ සීට් එකේ වාඩි කරල හැන්ඩ් බ්රේක් එක ඌට පැවරුවා. වට රවුම කරකවන්න උන්නෑ. පේමන්ට් එක උඩින් වාහනේ රෝදේ යනවා. ක්රාස් ගාලා වැදිල ඉස්සරහ බෆර් එකත් ඩැමේජ් උනා. ඒත් කෝහේද මේකා අතාරින්නේ නැහැ. තවත් පදිනවා. ඒ අතරේ වලපනේ හරියෙදි කන්දක හෙමින් ඇදෙන ලොරියක් පස්සේ තියලා ඇතිල්ලුවා නෙව මේකා. බලන කොට පලාතේ චන්ඩියෙක්ගේ ලොරියක්. ලොරි කාරයා බැහැල ඇවිල්ල අලාභ ඉල්ලනවා. මොන අපිටයි අලාබේ. යන්තං කතා කරල ඒකත් ෂේප් කරගෙන එළිවෙන කිට්ටුව නොමැරි හරස්බැද්ද හන්දියට ගෑටුවා.

ඊට පස්සේ නෑ ගෙදරට ගියා අපි නවතින්න හිතං හිටිය. දොරට තඩි බාලා අමාරුවෙන් දොර ඇරවගත්තා. ඒ ගෙදර අයියයි මල්ලියි, පවුලයි විතරයි ඉන්නේ. හැබැයි ඒ රාත්තිරියේ අයියා හිටියේ නැහැ. මලයා විතරයි හිටියේ. පවුල දුවල පැනල හීතල වෙචිචි කෑම ටික ඇරල අපිට කන්න දුන්නා. එහෙම කාලා ටිකක් හැරෙන කොට උදේ 6 ට කිට්ටුයි. ඒ අතරේ තමා ඉතුරු බෝතලේ සිහියට අවේ. හීතලත් එක්ක නෙව, මහන්සිය ඔක්කෝම යන්න එක්ක ඒක ඉවර කරා. ඊට පස්සේ නිදිමත යන්න කියල අහල පහල තිබ්බ පීල්ලකට ගිහිල්ල හොදට ඔළුව අල්ලල නාගත්තා. හැබැයි බෙල්ල ගලවල යන්න තරං වතුර පාර සැර නිසා අතින් මූන අල්ලං තමා නෑවේ. බැරි වෙලා හරි කඩල ගිහින් බිමට වැටුනොත් කියල සැකේට. 

නාලා ඉවර උනාට පස්සේ තමා මිනිහා නියම කතාව කිව්වේ. එකගෙයි කෑම කොයි තරං අහල තිබ්බත් එදා තමා ඇස් දෙකෙන්ම එහෙම සීන් එකක් දැක්කේ. අර යකාගේ අයියා එදා ඕෆ්. එතකොට මලයට තමා පවුල අයිති. අයියා කාරයා කොහේ හරි වෙන තැනක ගිහින් නිදාගන්නවා ඇති කියලයි මිනිහා කිව්වේ.

ඇවිල්ල උදේට කාලා අවට සිරි නරඹන්න පයින් ගාටන්නයි සුදානං උනේ. ජර්සි අරව මේවා නොතිබුනත් අනේ මන්ද මොන සීතලක් වත් තිබ්බේ නැහැ. අපි ඇවිද ගෙන යනවා තේ වතු මැදින්, අල වතු මැදින් පාර වැටිල තියෙන හින්දා. ටික දුරක් යනකොට තැබෑරුමක්. ආයෙත් සාපිපාසාම. එතෙන්ට ගියාම තියෙනවා සුපිරි පොල් රා බැරල් එකක්. පෙරේත කම යන්නත් එක්ක හොද හැටි වීදුරු හය හතක්ම ලුණු කැට දෙක තුනකුත් එක්ක බඩට ඔබා ගත්තා. රහ.. නං උපරිමයි. විනාකිරි තව රහයි මං හිතන්නේ. ආයිත් මාර්ග සංචාරය.

අඩි පනහක් හැටකට එහා මට යන්න උනේ නැහැ. පසු පසු කලාපයෙන් මුර ගෑමක් එක්ක ආරාධනයක්. මොන ඉන්නම බෑ.. අහල පහල ගෙයක් වත් නැහැ. මුන්ට කිව්වම අමාරුයි කියල ඔන්න ඔය තේ වත්තට ගිහිල්ල කරගෙන වරෙන් කිව්වා. ඉවසන්නම බැරි තැන පල්ලමට බැහැල තේ ගහක් අල්ලන් චුරු චුරු ගාලා අඬන බඩ නිදහස් කරා. වතුර.. වතුර නෑ පැටියෝ. තේ දල්ල බොන්න විතරක් නෙමෙයි පිහිදාන්නත් හොදා. අම්මේ සනීපෙ කියල හෙමින් සැරේ පාරට ගොඩ උනා. අරුන්ට දෙකක් කියන්න කට ඇරියා විතරයි ආයිත් ආයාචනයක්.. දිව්ව තවත් තේ ගහක් ගාවට. ඒ විදියමයි. හැබැයි තව ටික වෙලාවක් එතැනටම වෙලා බලං හිටියා තවත් ආරාධනාවක් ආවොත් හෙම කියලා. නෑ එහෙම එකක් නෑ. සැනසිල්ලේ ආයේ උඩට නැංගා. 

සනීපේ බෑ බඩ ගොර ගොර ගාපු එකත් ඉවරයි. අපි සැට් එකම අම්මමෝ නැතිව තැබෑරුම් කාරයගේ ගුණ වර්ණනා කරමින් ආපු සංචාරේ කෙටි කරල, ආයෙත් හැරුනා.. ඇයි අනේ මම ආයේ නාගන්නවත් එපායැ.. අර තාර ටික යවන්න. හැරිලා තවත් මීටර් සීයක් විතර එනකොට අත ලඟ තිබ්බේ අල වගාවක්. මොනව කරන්නද ඒ එක්කම තිබ්බ උස ගහකට මුවා වෙලා වැඩේ කරගත්තා. අම්මේ... එන්න එන්න බඩ රිදෙන එක වැඩි වෙනවා. ඉවසන්නම බෑ. කොහොම හරි තව ටිකක් දුර එනකොට හම්බ වෙච්චි පළවෙනි ගෙදරට ගිහ්ල්ල ආයේ ටොයිලට් එකට බැහැල දෙපාරක් විතර බඩ සෝදල දාලා, යන්තං තාර පාරවල් ටිකත් යවාගෙන ඇවිල්ල, එකගෙයි කන අක්කට කියල දෙහි එක්ක කෝපි කෝප්පයක් හදාගෙන බීලා නිදාගත්තා. පැය දෙක තුනක්ම. 

හැබැයි මම නැගිටින කොට අපේ පුත්තරයෝ ටික හිටියේ නෑ. පස්සේ තමා මතක් උනේ.. නුවරඑළියේ ඉන්න මිනිහගේ මිත්තරයෙක්ගේ ආරාධනාවක් තිබ්බා බොන්න එන්න කියලා. උං ඒකට ගිහිල්ල මාව දාලා. දවල් වෙද්දි එනවා කරපට් වෙලා කාර් එක නැතිව බස් එකේම. කාර් එකේ බ්රේක් හෝස් එකක් ගිහිල්ල. ඒක හදන්න දාලා ඇවිත්. ඉතිං දෙයියනේ කියල නිවාඩුත් තියෙන එකේ තව රැයක් පුරා බොන්න චෑන්ස් එකක් ලැබුනා. නැත්නං කරන්නේ බීබී ඇවිදන එක නෙව. මෙදා පාර එකතැනකට වෙලා බිබීම හිටියා. දවස් දෙකකට පස්සේ කාර් එකත් හදාගෙන එනගමන් සල්ලි ඉවර වෙචිච නිසා, ජීවිතේට නොබීපු ඈයො වගේ ආයේ කොළඹ ආවා.

Saturday, September 7, 2013

ශබ්ද හා ගන්ධ රස

සීත කළ කාමරයේ මේස බදාගත් කිහිප දෙනෙකු සිටින්නේ තමන්ට පැවරුනු රාජකාරි වල නිරත වෙමිනි. එහෙත් යම් කිසිවෙකු වීදුරු දොරෙන් ඇතුලට පැමිනේන්නේ නම් ක්රාස් යන හඩින් කවදාවත් හදන්න බැරි දොර ඇරෙයි. එවිට සියල්ලෝම ඇස් උස්සා ඒ දෙස බලති. එවැනි විශේෂයක් නොවන්නට අනිත් කිසිදු දෙයක් ගැන අවධානයක් නොමැතිව එක සීරුවට තමන්ට පැවරුණු කටයුතු ප්‍රමාණය හැකි අයුරින් ඉටු කරයි.

යම් කිසි දෙයක් සාකච්ඡා කිරීම සදහා ප්‍රධානියාගේ කුඩා කාමරයට රැස් වූ මේ පිරිස ගණනින් හයක් විය. එහෙත් තදබදයෙන් පිරුණු කාමරය පුරාම පැතිර පැවතියේ එකම ගුප්ත නිහඩ බවකි. තත්පර ගණනකින් වචනයක් දෙකක් කතා කරන ප්‍රධානිය අනෙක් සෑම විටම තමන් අතේ වූ ගොනු කිහිපය මාරු කරමින් පරික්ෂා කරමින් සිටී. ඒ අතර අනෙකුත් පස් දෙනා ගොනු දෙසද, ප්‍රධානියා දෙසද ඇස් යොමු කරමින් නිහඩව හා නිසලව සිටිති. 

මේ සියළු කාරණා එක් ආකාරයකට සිදු වුවද, එක් අයෙකු තරමක් වික්ෂිප්ත ව හා පීඩාවකින් සිටගෙන සිටින බවක් නිරික්ෂණය කළ හැක. ප්‍රධානියාගේ කාමරයේ ඇති වායුසමීකරණ යන්ත්‍රය ඉතා හොදින් ක්‍රියාකරන බව එහි ඇති දැඩි සීතෙන්ම පසක් වේ. එහෙත් අප කතා නායකයා එවැනි සීතලක් හේතුවෙන් අපහසුතාවකට පත්ව ඇති බව කිව යුතුමය. ඔහු විටින් විට ඇඹරෙමින්, හැකිලෙමින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටී. අත් හා පා යම්තම් චලනය වන ආකාරයක් ද දිස් වේ. තරමක් වෙලා පැවති මෙම තත්වය එක් සැනෙකින් පහවී ඔහු නැවත අනෙක් අය මෙන්ම අවධානය යොමු කරගෙන සිටී. එහෙත් කිසිඳු බාධාකාරි ශබ්දයක් කාමරය තුල කිසිම අයුරකින් නොතිබූ බව විශ්වාසය.

සිටගෙන සිටි අයෙකුගේ මුහුණ එසවේ. එවිටම ඔහු නහය සුළු වශයෙන් කසන්නට පටන් ගත්තේය. එසැනින්ම අනෙක් අයෙක්ද හිස ඔසවා බලා නැවත අවධානය ඒ වෙත යොමු කළ අතර, අනෙක් අයද හිස ඔසවා බලා නහය සුළුවෙන් කසා වට පිට හෙමීට බලමින් පසුවේ. මෙම තත්වය සොරෙන් බලා සිටි අප කතා නායකයාද ඒ ආකාරයෙන්ම හිස ඔසවා තරමක් හිස ඇල කර නහය කසන්නට ගෙන නැවත පුරුදු සෙයියාවටම වැටී ඇත. ඒ අතරේ ප්‍රධානියාගේ නහයද කසන්නට විය. ඔහු නම් නහය සුළු මොහොතක් වසා සිටියා යැයි සැක නැතිවම කිව හැක. කාමරයේ සිටි සියළු දෙනාම අපහසුවෙන් සිටින අතර තුර ප්‍රධානියා වහාම ඒ සාකච්ඡාව හමාර කොට පිටව යන ලෙස අනෙක් අයට සන් කලේ, කාර්යාලීය සීනුවද නාද කරමිනි.

සැනෙකින් එතැනට පැමිණ කාර්යාල සේවකයා විසින් ගරු කටයුතු ඇතිව අවශ්‍යතාවය විමසන ලදි.

“අයිසේ... ඒසි එක වහල මේ ජනෙල් ටික ඇරල තියනවා ටික වෙලාවක්... දොරේ යතුර දාලා තියන්න මම එළියට යනවා පැයකට“

******************************************************

මනාලයා හා මනාලිය පෝරු මස්තකයට ගොඩ නැංවීමට තම දකුණු පය තබන්නේ තමන්ගේ මාමා කෙනෙකු සමගිනි. ඒ දෙස මන්දස්මියෙන් යුතුව දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු සැවොම බලා සිටි. පෝරු මස්තකයට ගොඩ වීමට ආසන්න වීම හේතුවෙන් වැඩිහිටියෙකුගේ උපදෙස් පරිදි ඩීජේ සංගීත කණ්ඩායම එක් වරම බලරහිත කරන ලදි. සියළු කටයුතු සුදානම්ය. ඔව් ලන්ඩන් වලට ඉන්නා ඇල්බට් අංකල්ට කියා වැස්ටර්න් යුනියන් කරගන්න අවශ්‍ය නැත. මුදු දෙක ද ඇත. අනෙක් සියළු සකලවිධ කලමනාද, සුදානම් බවට සැක හැර දැනගත් ස්ත්‍රොතකරු සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදානම් විය.

පෝරුව දෙසට විදුලි එළි එල්ල කර, හොම්බ දිග කැමරා මානාගෙන එක් අයෙක් බලා සිටින අතර, වීඩියෝ කැමරාවක්ද ගෙන තවත් අයෙක් සුදානම් ව සිටි. පෝරුව මත ප්‍රේමාන්විතව සිටින මනාල යුවල දුටු මතින්, දෙමාපියන්ගේ නෙතඟ සතුටු කඳුළු ඉහිරෙන බව දැක ගන්නට හැක. දඩබ්බර සොහොයුරන් ඒ බව නොහැගෙන්නට කොණ්ඩය පුරා ජෙල් අතුරා ඉතා ප්‍රසන්න ලීලාවෙන් හා කීරරු සෙයියාවෙන් එදෙස බලා සිටි. ඉතා දුර බැහැර සිටි පැමිණියද, තවමත් කිසිඳු අහරක් කුසට නොවැටුනු නෑසියන්ද පෝරුවට ඉතා ආසන්නව මේ දෙස බලා සිටී. තවත් පැත්තකින් ජය මංගල ගාථා ගායනා කරණ අපුර්වි ඔමායා මෙන් හැද පැළද ගත් කුඩා දරුවන් කිහිප දෙනෙකුද පෝලිමට සිට ගෙන සිටි. වටපිටාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්ප්‍රදායික වූ විවාහ පිළිවෙත් ඉටු කිරීමට බැතියෙන් සැරසී සිටින වගක් පෙනෙන්නට ඇත.

ස්ත්‍රෝතකරු හට පවරා ඇති බලය පරිදි මේ කටයුතු ආරම්භ කිරීම සදහා පරිසරය දැඩි නිහඩ බවකින් වෙලෙද්දි ඔහු දෙවරක් පමණ උගුරේ රැල් බුරුල් හැර තවත් තත්පර ගණනක් නිහඩව සිටින්නට වූයේ කටට අවශ්‍ය ඛේට ප්‍රමාණය උත්පාදනය කිරීමට විය යුතුය. ඒ අතර පෝරුව පිටුපසින් මනාලියගේ පැත්තෙන් ඇසුන ශබ්දය ඉදිකටුවක් වැටුනද හොදින් ඇසෙනා වටපිටාවක් තුල, වෙඩි තැබීමක ශබ්දයක් තරම්ම ප්‍රභල විය.

“පටපට... පට.. පට.. පුහ්..“

තමන්ගේ නාසයන් වසාගෙන සියළු දෙනාම ඉතා අපහසුවෙන් බිම බලාගෙන සිටින්නට විය. පසු පසට වෙන්නට සිටිය අය ඒ අතර සෝපාහාසව සිනාසෙන ආකාරයක්ද දිස් විය. කෙසේ වෙතත් නාසයන් සන්තර්පනය කළ හැකි කිසිවක් එහිදී වාතයට මුසු නොවුන බව විශ්වාසයෙන්ම කිව හැක.

******************************************************

“අම්මේ... මේ ලොකු අම්මත් එක්ක බෑ“

“ඇයි මොකද.. මේ කරදරේ“

“අම්මේ.. ලොකු අම්මා මහ සද්දෙන් හචිං යවනවා.. පාරේ මිනිස්සුත් බලනවා“

ඉදිරිපස දොර ගාව සිට මා කෑගහන්නේ මිදුලේ ඈතින් පැළ කිහිපයක සාත්තුවක යෙදී සිටින අම්මාටය. ලොකු අම්මා ඉස්තෝප්පුවේ ලී පුටුවක වාඩි වී සිටී. මහා ශබ්දයකින් යුතුව “හෑස්සා“ කියා පිට කරන ලද කිඹුහුමේ ශබ්දය හුවක ශබ්දයටත් වඩා වැඩි බව මා අත් වින්දෙමි. එහි ඇති දෝංකාරය නිවස ඉදිරිපසින්ම ඇති තාර පාරේ ගමන් ගන්නන් එක් වරම භීතියකට පත් කරනට සමත් වෙයි. සමහර අවස්ථා වල තාර පාරට අඩි කිහිපයක් එහායින් ඇති දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අයද පය පැටලී වැටෙන්නට යනු මා දැක ඇත. ඒ අන්කිසිවක් නිසා නොව ලොකු අම්මාගේ මේඝ ඝර්ජනාව පිට වූ කල, තාලයකට කොටං උඩ තබන පයද භීතියට පත් වන හෙයිනි. වරකට ඒ ආකාරයෙන් අධි තාරතාවයෙන් යුත් කිඹිහුම් තුන හතරක් හෝ පිට වන අතර, ඒ අවස්ථාවේදි ලොකු අම්මාගේ මුහුණ බාගෙට ඉඳුනු ජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වෙනු මා දැක ඇත. අප කොපමණ අවලාද කියුවද ඇය නොවේ එය නැවැත්වූයේ. නැතහොත් එය ඇයගේ පාලනයෙන් තොර ක්‍රියාවක් විය යුතුය.

“නිකං උඹ මීට කලින් දැකල නෑ වගේ නේ කෑමුර දෙන්නේ. හිටහං කෑ නොගහ“

“අම්මේ ඒ සද්දෙට අර රේල් පාරේ ගිය ඇන්ටිත් වැටෙන්න ගියා“

“හොහ්. හොහ්. ඇයි එහෙනං අර බයිසිකලේ දාලා දිව්වේ එක දවසක් මිනිහෙක්. උඹට මතක නැතෙයි.“ අම්මා මගෙන් ඇසු ප්‍රශ්නයට අදාළ සිද්ධියද හොද හැටි මතකය. පාපැදියෙන් සෙමින් යමින් සිටි වයසක උන්දෑ කෙනෙකු එක් වරම ඇද හැළුනු “හෑස්සා“ එකට බිය වී බයිසිකලයද බිම දමා පාර අයිනට වූ සිද්ධියේදි ඔහු බයබිරාන්ත වී තත්පර ගානක් සිටි අයුරු තවමත් ඒ අයුරින්ම මතකෙට නැගේ.


“අම්මේ මෙන්න තව එකක් යවන්න හදන්නේ“

“උඹ නිකං හිටපං මම දැං ගහනවා උඹට“

“අනේ අම්මේ ඔන්න යැව්වා... “ මම කන් දෙක තද කර වසාගනිමින්ම අම්මාට කෑගසාගෙන පඩිපෙළේ වාඩි වී මුහුණ කකුල් දෙක අතර හොවා ගත්තෙමි.

“උඹලෑ ලොකු අම්මා ඕක හෑස් ගාලා යැව්වට කමක් නෑ.. අර පට පට ගාලා වෙඩි තියල කුනු ගඳකුත් විසි කරන කොට තමා ඉවසන්න බැරි.“

Friday, September 6, 2013

කෝ කොයින්..

පොඩි කාලේ ඉදලම ලංකාවේ ඉන්න හැම එකාටම හුරු කරල තියෙන්නේ චුට්ටි සුජානි කිව්ව වගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල කැටේක දාන්නය කියල නෙව. ඒ විදියට කාලයක් තිස්සේ හැමෝම වගේ කැට වල සල්ලි එකතු කරනවා. ආච්චි ල පෙට්ටගම් වල පුස්කාච්චි සල්ලි තියාගෙන ඉන්න කොට මුනුබුරෝ හොරෙන්ම පෙට්ටගම් අවුස්සල සල්ලි ගන්නවා. 

හැම බැංකුවක්ම එකම මෝල්ඩ් එකේ හදපු ප්ලාස්ටික් කැට පොඩි ළමයින්ගේ ඉතුරුම් ගිණූම් වලට අවුරුද්දට, දෙසැම්බර් වලට හෙම තෑගි විදියට දෙනවා නේ. ඕවා ගෙනාවට පස්සේ තමා වැඩේ තියෙන්නේ. පොඩි ඈයෝ මුළු ගෙදරම පීර පීර තියෙන කාසි ටික ඔක්කෝම එකතු කරගෙන එකායි දෙකායි කිය කිය කැට පුරවනවා. ඒ වගේ කැටයක් පිරෙන්න නං අඩුගානේ මාස ගානක් සමහර විට අවුරුද්දක් විතර යනවා. සිලි සිලි ගාලා හෙල්ලෙන්නැති බර කැටේ අරගෙන ගිහිල්ල බැංකුවට දීලා පොඩි එකාගේ පොතට දානවා. 

තව සිල්වත් උපාසක උපාසිකාවන් වෙනම කාසි මල්ලක් එකතු කරන් ඉන්නවා පෝයට පන්සල් ගියාම පිං කැටේට දාන්න, නැත්නං වෙසක් එකට, පොසොන් එකට යන වන්දනා වලදි පිං කැට පුරවන්න පාවිච්චියට ගන්න. මේවා පිං සිද්ධ වෙන වැඩ නිසා අපේ බෞද්ධයෝ පුරුද්දක් විදියට කාසියක් පිං කැටේට දාන එක කරනවයි. ගාළු පාරේ යන කෙනෙක් කළුතර බෝධියට පඬුරු දානව වගේ, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම ඒ වගේ අනිවාර්යයෙන්ම කාසියක් වැටෙන පන්සල්, පල්ලි, දේවාල ඕන තරං තියෙනවා.

ලංකාවේ සිල්ලර කාසි සංසරණය අවප්‍රමාණය වෙලාලු. මෙහෙම කියන්නේ මම නෙමෙයි මහ බැංකුව. මහ බැංකු වාර්තා වලට අනුව දැනට ලංකාව තුල සංසරණය සදහා මුදා හැර ඇති කාසි ප්‍රමාණය කාසි කෝටි 430 ක් විතර වෙනවා. කොහොම උනත් කෙටි කාලයක් ඇතුලත මේ කාසි වලින් විශාල ප්‍රමාණයක් බහිරවය ගිලින ගානට පත් උනාම, මහ බැංකුවට සිද්ධ වෙනවා නැවතත් කාසි සංචිතය වැඩි කරන්න, කාසි ටංකනය කරන්න. සාමාන්‍යෙයන් අවුරුද්දකට අළුතෙන් කාසි මිලියන 100 ක් විතර මුදා හරිනව කියන කබරාලගේ මහබැංකුව කියනවා. මේක අති විශාල වියදමක් යන වැඩක්. කාසියක් හදන්න තඹ, නිකල්, මැංගනීම් යන ලෝහ වර්ග කාසි සදහා යොදා ගන්නවා. මොන විදියෙන් හරි වසරකට සැරයක් කාසි සංචිතයක් අළුතෙන් දාන්න වෙන එක නං අනිවාර්යයි. හැබෑද කියන්නේ මේ මහජනතාව කාසි ගිලිනව නෙව. 

කඩේකට ගියත් මුදලාලි කාසි වෙනුවට ටොපියක් හරි ගිනිපෙට්ටියක් හරි දීල රවට්ටනවා. බස් එකේ කොන්දොස්තොර මලයට කාසිතොර ජීවිතයක් තියෙන ගානට කාසි දෙන එක එකසිය ගානට අමතක කරනවා. කොහේට ගියත් කාසි ගන්න ගියාම හරිම අපලයි. අඩුගානේ බැංකුවෙන්වත් කාසි දෙන්නේ නැහැනේ. රුපියල් දෙකක් දෙන්න තියේනං රුපියල් අටක් තියේද අහල දහයේ කොළයක් දෙනවා. මේ දවස් වල ලංකාවේ රුපියල් දහය නෝට්ටුව සංසරණයේත් පැහැදිලි අඩුවක් තියෙනවා. ඒකට හේතුව මම හිතන්නේ කාසි කැට වලට දහය නෝට්ටුව පුරවන කාලෙත් පැමිණ ඇති හැඩයි.

දන්නවැයි වැඩක්. ලංකාවේ කාසි වලින් අති විශාල ප්‍රමාණයක් දඹදිව් තලයේ හිරවෙලා, අනගාරික ධර්මපාල තුමා බේරගත්ත බුද්ධගයාවේ කාමර වල ගෝනි පුරවල තියෙන විත්තියක් දැන් නං ස්තිරෙටම කියන්න පුළුවන්. සෑහෙන්න කාලයක් තිස්සේ දඹදිව් වන්දනාවේ යන අපේ වැඩිමල්ලෝ, අහල පහල අයගෙයි, නෑදැ අයගෙයි තව දන්න කියන හැමෝගේමයි මාරු කාසි ඔක්කෝම සුද්ද කරන් නෙව දඹදිව යන්නේ. එහෙම ගිහිල්ල නමෝ විත්තියෙන් දොහොත් මුදුන් දීල වැදල බුද්ධගයාවේ කාසි කැට පුරවනවා. ඔය විදියට වසරකට ලංකාවෙන් යට ලක්ෂ ගණනක් වූ බෞද්ධ වන්දනාකරුවන්, ලංකාවේ සිට ඉන්දියාවට අරන් යන කාසි තොගය අති විශාලයි.

හැබැයි ලංකාවේදි මේ කාසි එකවුන්ට් එකට දාලා සල්ලි කරාට, ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ. ඉන්දීය බැංකු ලංකාවේ කාසි බාරගන්නේ නැතිව විතරක් නෙමෙයි, ඒ කාසි රටින් පිටකරන්නවත් ඉන්දීය මූල්‍ය නීති අනුව හැකියාවක් නැහැ. මේ නිසා දශක ගණනක් තිස්සේ බුද්ධගයාවේ හා බරණැස ගොඩ ගසා ඇති කාසි තොගය ලංකාවට ගෙනියන්න නං අනිවාර්ය රාජ්‍ය මාධ්‍ය මැදිහත්වීමක් වගේම විශාල නෞකාවක සේවය ලබා ගන්නත් සිදු වෙනවාමයි. අන්තිමට බැලුවම පිං පිං කිය කිය කරාට, බුද්ධගයාවේ ඉන්න හාමුදුරුවරු මේ වන්දනා ඇත්තොන්ට කුනුහරුපෙන් බනින්නැතිව විතරයි. දෙයියම්ප, කාටද පුළුවන් ඉන්දියාවේදි සත පහක වටිනාකමක් නැති ඔය තරං කාසි තොගයක් කාමර වල දාගෙන ආරක්සා කරගෙන ඉන්න. ඉතිං බනින්න තමා තියෙන්නේ මොන එහෙකට ලංකාවේ කාසි අරන් එනවද කියල කැටේට දාන්න.

ලංකාවේ සිද්ධස්ථානයක කැටයකට කාසි දැමීම හා දඹදිව පිහිටි සිද්ධස්ථානයක කැටයකට ලංකාවේ මාරු කාසි දැමීම දෙකක් කියන එක තේරුම් ගන්න බැරි අනවබෝධය නිසායි. මේ කාසි හිගය හේතුවෙන් බහුතරයක් ලංකාවේ වෙසෙන්නත් අවම ප්‍රමාණයේ අපහසුතාවයකට හෝ පත්ව සිටිනවා. ඒකට හොදම උදාහරණය තමා මහ බැංකුව අළුතින් හදුන්වා දී ඇති වැඩසටහන. කොයින් ටු කෑෂ්.. (කොහොමෙයි නම) රුපියල් 1000 ක කාසි වටිනාකමට රු. 1200 ක මුදල් ලබා දීම. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද කාසි හිගය කොයි තරංද කියලා.

ඒක නිසා මම හිතෙනවා කාසි කැට සෙල්ලම හා දඹදිව යන සැදැහැතියන් මළු පුරවා කාසි රැගෙන ගුවන් ගත වීම වහාම වැලැක්විය යුතු දෙයක් කියලා. ඇයි අනේ දැං ආපු බස් එකේ කොන්දත් මගේ රුපියල් තුන අමතක කරා. ඊයෙත් ඒකම කරා. ඒ මදිවට 30 දිල ගත්ත කූරට ලැබෙන්න ඕන රුපියල් දෙක දුන්නෙත් නෑ කඩේ මුදලාලි කාරයා. තරහ යනව නෙව මේව මතක් උනාම. මතක ඇතුව මාරු කාසි පොකට් එකේ දාගෙන එළියට බැහැල ගියානං අගෙයි..

Tuesday, September 3, 2013

පිච්ච මල් සුවඳ!

“ඔයාට හිතෙන්නැද්ද මම කරන්නේ වරදක් කියලා“ මම ඇහුවේ අවංකවමයි.

ඒක ඇහුණු ගමන් මේනු ඔළුව ගස්සල මගේ උරිස්සෙන් අයින් කරගත්තා. මෙපමණ වෙලාවක් ඇඟටම එතිල තිබ්බ මේනුගේ ශරිරේ මගේ ශරිරෙන් අයින් කරගෙන එයා, මා දිහා එක එල්ලේම බලන් ඉන්නවා. ඇයි මම වැරදි දෙයක් කිව්වද? ඔව් බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ මමත් සම්පුර්ණ ඇදුම් පිට, මේනුත් සම්පුර්ණ ඇදුම් පිට, සුවපහසු සෝෆා එකක් උඩ තමා ඉන්නේ.. මම වාඩි වෙලා ඉන්න කොට, මේනු මගේ ළගින්ම වාඩි වෙලා මාව තුරුල් කරන් එයාගේ ඔළුව මගේ වම් උරිස්සෙන් තියාගෙන අපි විනාඩි ගානක් ඔහේ බලන් හිටියා. 

******************************************************
පිච්ච මල් සුවද මම පොඩි කාලේ ඉදලම පුදුමාකාර ආසාවක් දක්වපු සුවදක්. ඒ සුවදට මගේ නහය කිති කැවෙනවා. මට තාම මතකයි, ඒ දවස් වල අපේ ගෙවල් පල්ලමේ චිත්‍රා ඇන්ටිලගේ ඉනි වැටට හේත්තු වෙන්න තිබ්බ පිච්ච වැල. ඉඩ හසරක් ලැබුන ඕනැම වෙලාවක මම ඒ වැල් අතරේ එතෙමින් පිච්ච මල් සුවද වින්ද හැටි. ඒක මගේ ජීවිතේටම බද්ද වෙච්ච පිච්ච වැලක්. ඒ පිච්ච වැල ජීවිතේ සුවද සම්පුර්ණයෙන්ම වෙනස් කරා. පිච්ච මලක සුවඳ තරම් මා කුල්මත් කෙරූ වෙනත් සුවඳක් ඇත්තේම නැහැ. සත්තමයි.

******************************************************
මේනුගේ කෝණ්ඩය කිසිම දෙයක් නාහා විදුලි පංකාවේ පිහිටෙන් මගේ මුව අසල රැදෙන කොට, ඒ කෙහෙරැලි වල පැටළුනු හිත වංකගිරියක් බදු අතීතය දිගේ ආයෙත් මුලටම ගමන් කරන්න ගන්නවා. එතකොට මට හැමදේම පැහැදිලිව පේනවා. අතීතය හෝ මා ආ මග මගේ සිතුවිල්ලකින් වෙනස් කළ හැකි නම් මා වරද්දා ගත් තැන් නැවත සකසන්න තිබුනා නොවේදැයි මටම සිත් දෙනවා. ඒ අතරේ කළුවර ගුහා අතරින් හිත ඇවිදින කොට ඈතින් දිලිසෙන එකම තාරුකාවත් මේනු වන්නට ඇතැයි මගේ හිත වටහාගන්නේ, කිසිම දෙයක් නොවුන ගානටයි.

******************************************************
මීට අවුරුදු දෙකකට කලින් මට මේනුව ඉස්සෙල්ලාම හමුඋනේ මම වැඩ කරපු කාර්යාලයේදියි. උදේ පාන්දරම පැහැපත් සාරියක් ඇදල, කියුබිකල් එකට එබුන රුවැති යුවතිය කව්රු කියල හිතාගන්න බැරි උනත්, ඇතුලට එන්න සන් කරාම බොහොම හිමින් ඇවිත් ගුඩ් මෝර්නිං කියල කිව්ව හැටි මට තාම මතකයි. ඒ දවස මේනුගේ පළමු කාර්යාලයීය දිනය. සැළසුම් නිර්මාණ ශිල්පිනියක් විදියට පත්වීමක් අරන් රාජකාරියට වාර්තා කළ මේනුට පැවරිය යුතු වගකීම් හා අත්‍යාව්‍ය කරුණු කාරණා විනාඩි ගානක් ඇතුලත අඩි පහක දුරක ඇති මගේ පුටුවේ සිට ඉදිරියේම ඇති පුටුවේ ඉන්න මේනුට දෙන්න මට හැකියාවක් ලැබුනා. ඉතිරි උපදෙස් අනෙත් අය දෙන බව දන්නා නිසා අවශ්‍ය කටයුතු සදහා ඇයට මගේ කියුබිකල් එකෙන් සමුගන්නට සිදු උනා. කොහොම උනත් ඇය දුටුවනම මා ඇගේ සුන්දරත්වයක් දුටුවා. මේ කාලේ අගර දගර දාන යුරේනි නොෂිකා නලඟන තරම්ම රූමත් නොවුනත් මේනුගේ හැඩරුව හා නාරි දේහය ඒ හා පෑහෙන වගක් මට දැන් හිතෙනවා. ඒ මම අර නළඟනව මේ ළගදි දැනඅදුන ගත්ත නිසාත්, එයාගේ ඡායාරූප ගොන්නම කවදාවත් පින්තුරු නොදැකපු මිනිහෙක්ගේ ගානට හතර අතටම කරකව කව රස වින්ද හින්දාමත් වෙන්න ඇති.

මේනු සකස් කළ සැළසුමක්, සැළසුම් මේසය මත තිබියදී, ඇයට ළංව එය පරික්ෂා කිරීමට සිදු වීම අහඹු සිදුවීමක් නෙමෙයි, ඒත් ඒකට නැඹුරු වෙච්චි මුල්ම තත්පරේ මේනුව මුල්ම දවසේ දකින කොට නොදැනිච්ච දෙයක් එක පාරටම විදුලි වේගෙන් මගේ හිත අස්සේ කැරළි ගහන්න ගත්තා. ඇයගෙන් නික්මෙන විළවුන් සුගන්ධය. ඒක අර පිච්ච මල් සුවඳමයි. 

මං ආයෙත් චිත්‍රා ඇන්ටිගේ වැට ගාව පිච්ච වැලේ එතිල ඉන්න විත්තියක් දැනුනා. ඒ සුවඳ  මාව පිච්ච වැල ගාව කැරකි කැරකි සුවද වින්ද පොඩි එකා ගානටම පත් කළා. සියළු දේ අනිත්‍යයයි කියන්නාක් මෙන් මා දන්නා සියල්ල අමතක උනා. ඒ සුවද ඔස්සේ තව දුරටත් හිත වල්මත් වීමෙන් කරන්නේ කුමක්ද, කළ යුත්තේ කුමක්ද කියන දේ හිතෙන් ඈතටම ගියා. සැළසුම් මේසය මත තිබු මගේ අත් දෙක දුර්වල වෙන්නේ ඇයිද කියන කාරණය ඒ වෙලාවේ මේනුටත් ප්‍රශ්නයක් වෙන්න ඇති. හැබැයි ලොකුම ප්‍රශ්නය වෙන්න ඇත්තේ පොඩි ළමයෙක් උනත්, තත්පර ගානකින් තේරුම් ගන්න රේඛා කිහිපයක් දිහා මා වැන්නෙක් විනාඩි ගානක් නොසෙල්වී බලා සිටීම වන්න ඇති.

මේනුගෙන් වහනය වන පිච්ච මල් සුවඳ හදවතේ විශාල ඉඩකඩක් අර ගෙන ඉන්න විත්තිය දින කිහිපයක ඇවෑමෙන් මට තේරුම් ගියා. ඒ සුවදට ලොබ බදින්න මිනිහෙක් විදියට මම කොයි තරං බොළද උනාද කියනවනං, ඒ හැඟීම මාව කුඩා දරුවෙක්ගේ මනසකින් ක්‍රියාත්මක වෙන ශරිරයක් ගානටම පත් කරලයි තිබ්බේ.


උවමනාව ඇත්නම් හැමදේම කරන්න පුළුවන් කියනව වගේ, මා ඇගේ පිච්ච මල් සුවඳ විදින්නට සමත් උනා. මේනු මා ගැන උනන්දු උනා හැබැයි මා ඒ බවක් ඇයට පෙන්නුවේ නැහැ. කුමක්දෝ කරුණක් අරබයා අප අතර, හිතවත්කම් වැඩි දියුණු වෙන්නත්, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්නත් අපි සමත් උනා. ඒ සබැඳිය මෙපමණ දවස් ඈතින් තිබූ අප දෙදෙනාගේ අවබෝධය පුළුල් කරන්න දායක උනේ සිඝ්‍රගාමි විදියටයි. ජීවිතය ගැන ඇය දුටු සිහිනත්, මා දකින සිහිනත් සමහර තැන්හි සමපාත වන විට අප තුල ඇති සබඳතාව වැඩි දියුණු උනා. ඒකෙන් විවෘත මනසකින් යුතුව කතා කරන්නත්, මා විවාහ වන්නට සුදානමින් සිටින වගත්, ඇයට පෙම්වතෙකු සිටින වගත් ඒ සම්බන්ධ තවත් කරුණුත් එකිනෙකා අතර හුවමාරු උනේ ඒ විදියටයි. හැමදෙක්ම විවෘත මනසකින් සිදු වීම මත, සියළු දේ අභිබවා පිච්ච මල් සුවද මගේ හිතෙන් පැන නැග වචන වී ඇයගේ කන් පෙති ළග නතර උන නිමේෂයේ ඇය කිංකිණි නගමින් සිනාසුනේ මා වික්ෂිප්ත කරමින්. එක් වරම සියළු සබැඳින් බිද වැටුනා වගෙයි මට දැනුනේ.

“ඔයා කියන්නේ මාව ඉඹින්න දෙන්න කියලද...??“

“අපෝ නෑ මට එහෙම උවමනාවක් නෑ.. මට ඒ සුවඳ විදින්න ඕන“

“බැරි වෙලා හරි ඔයාට මාව අයිති කරගන්න ඕන උනොත්“

“නෑ එහෙම වෙන්නෑ. මම ගැන මම දන්නවා“

“පිරිමි කියන්නේ එකක්. හැබැයි අන්තිමට කරන්නේ එකක්. ඒකයි ඇහුවේ“

“මේනු.. මම ඔයාව විඳිනව විතරයි. එතැනින් එහාට දෙයක් නෑ“

කාර්යාලය තුල තවදුරටත් වචන හරඹයන් කිරීම කළ නොහැකිය. මේ කතාව දැන් අවසන් කළ හොත් අවසන් කළ තැනින් නැවත ඇරඹිය හැකිද? එයින් සිත දුර්මුඛ වන්නේ, අපහසුවෙන් එළියට ඇද දැමු සත්ත්වයා නැවත ඇතුලට ඇද ගැනීමට සිදු වන නිසාය. කෙසේ වෙතත් සවස් වරුවේ කාර්යාලයෙන් නික්මෙන්නට පෙර, දොර ඇරගෙන පැමිණි ඒ පිච්ච සුවද කාමරයේ ඔබ මොබ විනාඩියක් පමණ සැරි සරන්නට විය. 

“එනවා යන්න අපේ ගෙදර“ රවුම් අකුරින් ලියන ලද පොඩි කොළ කැබැල්ලක් මා දෑස් අබිමුව රැඳුන විට, මා ඉදිරිපිට කල්පයක කාලයක් නතර වූ සේ දැනිනි. ඒ කාලය තුල සෙමින් ලියවුනු එකම අකුරු දෙක “ඕකේ“ පමණකි.


කිසිම කෙනෙක් නොරඳන පැය දෙකක පමණ කාලයක් මේනුගේ නිවහනේ සොෆාව මත, නිවි සැනසිල්ලේ ඇගේ තුරුල්ලේ ගෙවුන අවුරුදු දෙකක පමණ කාලය, මල් නොතලා සුවඳ විඳි කාලයකි.

******************************************************

“මට හිතෙන්නෑ ඒක.. එහෙනං මමනේ වැරැද්දක් කරන්නේ. ඔයාව තුරුල් කරන් ඉදගෙන. අනික අපේ ගෙදරම. දැං කොච්චර කාලයක්ද අනේ. අවුරුදු දෙකක්ම හැම දාම හවසට... ඔයාට පිච්ච මල් එපා වෙන්නැත්ද?“

“නෑ.. මම ඔයාට හෙටත් එයින් පර්ෆුයුම් එකක් අරන් දෙන්නද?“

“ඔයාට පිස්සුද? හෙට සංජීව එනවා ලංකාවට“

“ඉතිං මට මොකෝ.. මම එනවා හවසට“

“අපෝ මේ.. ඔයා හින්දා එයා මාව දාල ගියත් මම ඔයාව බදින්නෑ.. හරිද“

දඟකාර රුවැත්ති නැවත මා වැළද පිච්ච මල් සුවද මගේ නාස් පුඬු අතර රදවා, හීන් සිරුවේ ඔබ මොබ දුවද්දී, පරණ පුරුදු සෙයියාවෙන්ම නිද්‍රාගත වූයෙමි.

තවමත් මා ඒ සුවයට ආදරය කරමි. ඒ අදටත් මේනු හා මා අතර කිසිඳු සම්බන්ධයක් නොමැති හෙයිනි.

පලි- පටලා නොම ගනු.. කාලයන් බද්ධ වන්නේ පිළිවෙලට නොවේ.