Thursday, July 31, 2014

කාල විපර්යාස!!!

1
“හෙට වෙනකං ඉවසන්නකෝ“

“බෑ බෑ අදම ඕන... හෙට වෙනකං ඉන්න බෑ“

“අද නං කෝමවත් කරන්න බෑ අනේ“

“ඔයා කියන්නේ පුදුම කතානේ.. මම දැං කොච්චර කාලෙකට කලින්ද මේක ඔයාට කිව්වෙ“

“ඒක මං දන්නවා අනේ.. ඒත් මට නං බැහැ අද ඒක කරන්න“

“මාර වැඩක්නේ මේක... දැං ඔයාම තමා කිව්වේ අද එන්න කියලා“

“හරි හරි.. මං කිව්ව තමා ඒත් දවස් දෙකකට කලින් නේ“

“ඇයි එතකොට දවස් දෙකකට කලින් කියපු එක මං විස්වාස කරන්න එපාද?“

“අයියෝ. ඔයාට තේරෙන්නෑ.. මං එහෙම එකක් කිව්වේ නෑනේ“

“මොකද නැත්තේ.. ඔයා ඒක තමා කියන්නේ“

“මට තේරෙන්නෑ ඔයාට කොහොම කියන්නද කියලා.. මාව විස්වාස කරන්නකෝ“

“හුහ්... මේ වෙනකං නං විස්වාස කරා තමා.. ඒත් දැන්නං නෑ“

“මොකක්ද අනේ ඔය තරං පුප්පන්නේ...ඔයා හරියට යකෙක් වගේ නේ“

“ඔයා හදන්නේ මගේ යකා අවුස්සගන්න තමා“

“අනේ මං නොදන්න යකා..“

“හුහ්... යනවා යන්න... මාව මෙතන අවුස්සන්න නේද හදන්නේ“

“අවුසන්න.. කුනු ගොඩක්ද“

“හා හා.. කුනු අවුස්සල හරි කමක් නෑ වැඩේ කෙරෙනව නං“

“ඒයි මේ මං ඇත්තටමයි කිව්වේ අද නං බෑ“

“ඔන්න ඉතිං ආයි බොරුව පටන් ගත්තා.. ලොකු පාට් නැතිව එනවා යන්න“

“අයියෝ බෑ අනේ.. තේරුං ගන්නකෝ..“

“මොනා තේරුං ගන්නද? මම දවස් දෙකක් නිවාඩු දාලාම ආවේ ඔයා කිව්ව නිසානේ.. ඇයි දැං මෙහෙම කියන්නේ“

“ඒකට හේතුවක් තියෙනවා.. ඒකයි මං බෑ කිව්වේ“

“මොකක්ද හේතුව“

“පොඩි හේතුවක්.. ඔයාට කියන්න බෑ“

“ඒක පුදුම කතාවක් නේ.. මට ඇත්ත නොකිව්වොත් මං තමුසෙව උස්සගෙන හරි යනවා“

“චිකේයියා.. උස්සන් ගිහින් ඔයා පැනල දුවාවි ෂුවර් එකටම“

“පැනල දුවන්න.. ඇයි ඔයා හිතුවේ මං බය වෙයි කියලද?“

“නෑ නෑ.. පිරිමි උනත් දුවයි පන කඩාගෙන.. ඒකනේ මං අද බෑ කියන්නේ“

“තමුසේ මාර බඩුවක් ඕයි... මං නිවාඩු දාන්න කලින් කිව්ව නං ඉවරයිනේ.. බලනවකෝ මං කොච්චර දේවල් හිතාගෙනද ආවේ.. සික් විතරක්“

“දුක තමයි ඉතිං. මටාත් එහෙමයි.. මං කියල මොනා කරන්නද අනේ.. “

“කියනව බලන්න මොකක්ද ඇත්ත කියලා..“

“ඒක ඔයාට කියන්න බෑ.. මම කලින් කිව්ව නේ අනේ. අහන්න එපා.. මට බෑ.. කරදර කරන්න එපා. මං යනවා“

“යනවා ඉතිං මට මොකද? මම නං ආයි තමුසෙට කතා කරන්නේ නෑ“

“එහෙම කරන්න එපා අයියේ...ඔයා පොඩ්ඩිත්තක් තේරුං ගන්නකෝ.. අනේ මං කියන එක අහන්න“

“නෑ මම යනවා යන්න.. තමුසෙල විස්වාස කරන්න බැරි ගෑනු...“

“මං බොරුවක් නෙමෙයි අයියේ කිව්වේ.. අනේ ඇත්තමයි.. ඔයාට උනත් මේක කියන්න බෑ... කාටවත් කියනව හෙම නෙමෙයි හරිද?? අද මං ලෙඩ වෙලා“

“ලෙඩ වෙලා.. ඔය යස අගේට ඉන්නේ..“

“එහෙම ලෙඩක් නෙමෙයි අනේ.. මේක මේ මාසෙකට සැරයක්...... හැදෙන පොඩි ලෙඩක්“

“ආහ්.. ඒකද?? කියන්න එපායැ.. ඕක.. හරි හරි.. යමු යමු එහෙනං.. ඕකනේ කියන්නේ.. කෙලින්ම කිව්ව නං ඉවරයිනේ.. තව ටිකෙන් මට තමුසෙව එපා වෙනවා.. හික් හික්“

**************************************************
2

“ඩාලිං... විල් යු කම් ටුමාරෝ..“

“යර්ස් හනී.. වට් ද් ප්‍රොබ්...“

“අ ලිට්ල් ප්‍රොබ් ඩාලිං. අයිම් රෙඩ් ෆ්ලැග්ඩ්...“

“ඕහ්.. ඕකේ.. දෙන් ෂැල් වී මීට් නෙක්ස්ට් සන්ඩේ“

“ඉට්ස් ෆයින්...ලව් යු ඩාලිං.. බායි“

“බායි හනී“


Monday, July 14, 2014

මාමයිට් වහ!!!

අපිට ඒ දවස් වල කාලා බීලා ඉන්න තරං ලොකු සල්ලියක් තිබුනේ නැහැ. ඒ කොහොම උනත් අම්මා අපිව බඩගින්නේ තියන්න නං ඉඩ දුන්නේ නැහැ. උදේට පාං කෑල්ලක්, නෙස්ප්‍රේ පිටි කෝප්පෙක පොඟවල හරි කන්න දෙනවා. දවල්ට බත් ඩිංගයි, ලුණුවිල කොළ ඩිංගයි එක්ක හරි කන්න දෙනවා.. ඉදල හිටල දවසක මේ දවල් කෑම එකට කරවල කෑල්ලක්, හාල්මැස්සෙක් එහෙමත් නැත්නං කටුමැස්සෙක් හරි එකතු වෙනවා. කටු මැස්සගේ මාළු වලට වැඩිය තියෙන්නේ කටු උනත් ඉදහිට ලැබෙන මේ රසම රස මාළු කෑල්ල කන්න අපි උගේ තියෙන ඔක්කෝම කටු ටික තුප් තුප් ගාලා ඇග වටේම බිමට දානවා. රෑටත් ඉතිං ඉතිරි වේච්චි බත් ඩිංක එක්ක පොල්සම්බල් ටිකක් හරි ගලේ අඹරලා කන්න දීලා තමා නිදි කරවන්නේ. ඔය සියළු සිද්ධින් ඒ දවස් වල දුකක් විදියට නෙමෙයි අනිවාර්ය අංගයක් විදියටයි මට හිතුනේ. කවදාවත් එළවලු මාර්කැට්ටුවකට ගිහින් නෑ මම ඒ කාලේදි.

මාර්කට් යන්න සල්ලි තියෙන එකක්යැ. ඒක නිසා ඔය කොහේ හරි වත්ත පිටියක, නැත්නං ලදු කැලෑවක තියෙන අලයක් කොළයක් අරන් ඇවිත් තමා අපි වේල සරි කරගත්තේ. මේවා කියන්නේ මේ අපි ගමේ ඉදල බෝම දුක් විදල හැදිච්ච මිනිස්සු කියල කියන්න නෙමෙයි. ඇත්තටම අම්මට අපිට කන්න බොන්න දෙන්න හරියට ඇඳුමක් අරන් දෙන්න, පොතක් පතක් කලට වෙලාවට අරන් දෙන්න හැකියාවක් තිබුනේ නැහැ තමයි. ඒත් ඒ දවසෙදී මට කවදාවත් හිතුනේ නැහැනේ අපි මේ විදියට කෑම කන්නේ, පරණ ඇදුම් අදින්නේ, පරක්කු වෙලා පොත් අරගන්නේ සල්ලි නැති නිසාය කියලා. මට හිතුනෙම මේ හැමදෙයක්ම වෙන්න ඕන විදියට වෙනවා කියල විතරයි. සෙල්ලං බඩුවක් අරන් දෙන්න උනත් මම අම්මට කරදර කරන්නෑ. මොකද සෙල්ලං බඩු කියන එකක් අපිට අදාළ නැති දෙයක් විදියටයි මට ඒත්තු ගැන්විල තිබුනේ.

කොහොම හරි මාසෙකට විතර සැරයක් අමාරුවෙන් පෙරුම් පුරල අම්මා අරන් එනවා කහපාට පොඩි පෙට්ටියක් දාපු කළු පාට කුප්පියක් ඒකේ පියනත් කහ පාටයි. අම්මා බෑග් එක ඇරල ඒ පෙට්ටිය අතට අරන් මට පෙන්නන කොට මට පේනවා අම්මගේ ඇස්වල දිලිසෙන ධෛර්යය. “බොලාට මේ වගේ කෑමත් මං අරන් දෙනවා“ කියල කියනවා කියලයි අම්මගේ ඇස් දැක්කම මට හිතෙන්නේ. ඒත් මට.... ඒ කහ පාට පෙට්ටිය දැක්ක වෙලාවේ ඉදල ඔළුව කැරකෙන්න ගන්නවා. දැං ඉතිං දෙයියනේ කියල සතියක් දෙකක් අපා දුකක් විදින්න එපායැ කියල හිතලා.

දන්නවනේ ඔය කහ පෙට්ටියේ කහ පියන ඇතිව එන කළු කුප්පිය මොකක්ද කියලා. ඒක තමා මාමයිට් කුප්පිය. කුප්පිය ගෙනාපු දාම හවසට අම්මා වතුර උණු කරල ඒකට අර කුප්පියෙන් ඩිංගක් දාලා හොදට කළතවල, ගෙයි පිටිපස්සේ තියෙන කරපිංච ගහෙන් කොළ දෙක තුනකුත් ගෙනැත් හෝදල අර කෝපපෙට දාලා ප්ලාස්ටික් පිඟානෙන් වහල ටික වෙලාවක් තියෙන්න අරිනවා. ඊට පස්සේ ඒ කෝප්පේ තියෙන ටික අර පිඟානටම දාලා තත්පර දහයක් විතර තිබුනට පස්සේ කෝප්පෙට දාලා මට දෙනවා.

“බීපං පුතේ.. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.“

අම්මා දෝතින්ම දෙන සල්ලිකාර ආඩම්බර කාර මාමයිට් කෝප්පේ මගේ අතට ආවම මං හරියට කරුමක්කාරයෙක් අතට වැඩියා වගේ තෝන්තුවෙන් ඒ දිහා බලාගෙන ඉන්නේ අම්මා ඩිංගක් එහාට මෙහාට වෙනකං. ඔය කෝප්පේ කැලතුන මාමයිට් තල්ලිය දිය වෙලා උණුවතුරේ තැම්බුනාට පස්සේ හුමාලෙත් එක්ක එන ගන්දස්කාරේ ඉවසගන්න බෑ. ඒක හරියට ලැට් එක පිටිපස්ස පැත්තට යනකොට එන ගඳ වගේ කියල මම හිතාගෙන හිටියා. ඔය හේතුව නිසා නහයට කිට්ටුවෙන්වත් මම මාමයිට් කෝප්පේ තියාගන්නේ නැහැ. දුං දාමින් නිවෙමින් යන අර කෝප්පේ විනාඩි ගානක්ම මගේ අතේ දුරින් තියෙන කොට, අම්මා ඒ කිට්ටුවෙන් ගියොත් ඉතිං ආයිත් උපදේශයක් දෙන්න පටන් ගන්නවා.

“ඕක බීල හිටිං පුතේ. ඔක්කෝම ටික බීපං.. ඩිංගක් වත් විසික් කරන්න එපා“

මමත් හා හා අම්මේ කියල අර කෝප්පේ දිහාම බලාන ඉන්නේ ආයිත් අම්මා අන්තරස්දාන වෙනකං. අම්මා ගියාම මම හරියට ෂර්ලොක් හෝම්ස් වගේ සියළු කාරණා හිතින් කිරල මැනල බලනවා. පොළවේ සිමෙන්තිය හෙල්ලනෙවනං අම්මා ගෙයි මට කිට්ටුව තැනක මොකක් හරි වැඩක්. ඒක නිසා මොන වෙලේ එයිද දන්නෑ. ලිදෙන් එක වතුර පනිට්ටුවක් ඇදල අනිත් එක අදින්න පරක්කු වෙනවා කියන්නේ අම්මා ළග ළගම කුස්සියේ බාල්දියට පුරවන්න වතුර එකක් අරන් එනවා කියන එකයි. ඒත් කිසිම සද්දයක් නැතිව විනාඩි දෙක තුනක් කල් ගත වෙන කොට නං හිතාගත්තෑකි අම්මා ටිකක් ඈතකට ගිහිල්ලා කියලා. අන්න ඒ වෙලාව තමා හොදම වෙලාව. මම හොර පූසෙක් වගේ ඇගිලි තුඩු වලින් කුස්සි දොර ගාවට ඇවිත් වට පිට බලනවා. අවට පරිසරය නිහඩයි නිසසලයි නං හෙමින් සීරුවේ අනිත් දොරින් පස්සා පැත්තට ගාටනවා. ඊට පස්සේ පාර මාරු වෙන්න වගේ ආයිත් දෙපැත්ත, තුන් හතර පාරක් බලල දුවනවා වැට අයිනේ තිබුන කෙසෙල් පදුර ගාවට. එතැන ඕන තරං ඉඩ තියෙනවා කෝප්ප නෙමෙයි බැරල් පිටින් උනත් හලන්න. ඉතිං සනීපෙට පෝර ටික ගහ මුලට හලල මම කෝප්පේ ගෙනැත් කුස්සි මේස කෑල්ල උඩින් තියල පියාඹල යනවා. 

මොන වෙලාවක හරි කුස්සියට එන අම්මා හිස් කෝප්පේ විතරක් තියෙනවා දැක්කම බෝම සන්තෝසෙන් මට කියනවා. 

“අන්න හරි හොදයි. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.. ඔක්කෝම බීලා.. හොද ළමයා“

ඔය හොද ළමයා කියන කතාව පැත්තකට දාන්න තිබුන අකමැත්ත හින්දම අමාරුවෙන් උනත් අම්මා දෙන මාමයිට් කෝප්පේ උස්සන් ඉන්නේ ඔක්කාරේ එන්න ඔන්න මෙන්න තියෙද්දීයි. එහෙම නේ ආදරේ ඇති ළමයි කරන්නේ. කොහොමෙන් කොහොම හරි වැට අයිනේ කෙහෙල් පදුර හොදට වැඩෙන්න ගත්තා. නෑ වඳ පීදුනු කෙහෙල් මොටි නං ආවේ නෑ. මොකද අම්මා කිව්වත් වගේ ඔය මාමයිට් කියන දහදුරාව හොද ඇති ගුණ ඇති කියල එකෙන්ම මට තේරුනා ඒ කෙහෙල් පදුරේ වර්ධනය දැක්කම. හැක් හැක්..

ඔය විදියට කාලයක් ගිහිල්ලා අම්මට එපා වෙනකම්ම මට දීපු මාමයිට් ටික කෙහෙල් පදුර බිව්වා. අන්තිමට අම්මා තේරුං ගත්තා මේ යක්කුන්ට මාමයිට් නෙමෙයි අලුතෙන් මොලයක් ගෙනැල්ල දුන්නත් වැඩක් නැතෙයි කියලා.

පොඩි එකාට දැන් අවුරුදු තුනහමාරයි නෙව. ඒකා බෝම කේඩෑරි නිසා මාත් අරන් ගියා මාමයිට් එකක්. දෙහි ඉස්ම ඩිංගක් දාලා, කරපිංච කොළ දෙක තුනක් දාලා රහට හදල දුන්නොත් ඔය යකා බෝවිය කියල හිතාගෙන. හවස ගිහින් මාමයිට් එක ගැන විස්තරේ රහ කරල කියල බොන්න ආසාව ඇති කරල ටිකක් නිවෙන්න ඇරල බොන්න දුන්නා. අතේ තියාගෙන තොල ගගා හිටිය නිසා මම හිතුවා මිනිහා ඒකේ රස අදුරගෙන ඇතියි කියල. ඒත් එක්කම මොකක් හරි වැඩකට මම පොඩ්ඩක් එහාට ගිහිල්ල කෝකටත් හැරිල බලන කොට කොල්ලා හිටී තැන නැහැ. තාත්තා කට්ටයා නේ.. ටක් ගාලා දුවල ගිහිල්ල බැලුවා කෝ මේකා කියලා. කියන්න සන්තෝසයි.. තාත්තා නං කෙහෙල් පදුරටවත් හැලුවා.. මේකා කෙලින්ම සින්ක් එකට ගෙඩිය පිටින්ම අතෑරල කෝප්පේ තියල අත් දෙකත් පිහිදගත්තා. හැරිල බලන කොට මාව දැකල මෙන්න මෙහෙම කියාපි..

“අරී ලතයි. අරී ලතයි. ඔත්තොම බිව්වා.. “

Monday, July 7, 2014

පෑන සහ තීන්ත කූඩුව!! (The Pen and Inkstand)

කවියෙකුගේ කාමරයේ ඇති ඔහුගේ මේසය මත තීන්ත කූඩුව මේසය මත නොසෙල්වී සිටියා. එහෙම ඉන්න ගමන් තීන්ත කූඩුව මෙහෙම කියන්න ගත්තා. “තීන්ත කූඩුවක් තුලින් මොන තරම් විස්මිත දේවල් එළියට එනවද? ඊළගට එන්නේ මොකක්ද කියල හිතාගන්නවත් පුළුවන්ද? මේක නං විස්මිතයි“

“ඔව් ඇත්තටම“ තීන්ත කූඩුව කිව්වා. “ඒක අසාමාන්‍යයි. ඒකනේ මං නිතරම කිව්වේ“ ඔහු පෑන සහ ඔහු කියන දේ ඇසෙන මානයේ මේසය උඩ ඇති හැමදේටම ඇසෙන පරිදි එහෙම කිව්වෙ ලොකු උජාරුවකින්. 

“විස්මයජනකයි කියන්නේ මේකට තමා. මොන තරං දේවල් මගෙන් මතු කරගන්න පුළුවන්ද? ඒක විස්මයජනකයි නේද? මේ මනුස්සයා මාව ඔබ ඔබ ඉන්න කොට, අඩු ගානේ මම වත් හාංකවිසියක් දන්නෑ ඊළගට මොකක්ද එළියට එන්නේ කියල. මගෙන් ගත්ත එක තීන්ත බිංදුවක් ඇති එයාට පිටු භාගයක්ම ලියන්න. ඉතිං ඒ පිටු බාගේ මොනව තියෙන්න බැරිද? කවියා කරන හැමදෙයක්ම මගෙන් තමයි එළියට එන්නේ. ඔය මිනිස්සුන්ගේ හිතිවිලි, ඒ අය දකින මිනිස්සු, ගැඹුරු සිතුවිලි, උපහාසය, ස්වභාවධර්මයේ මනස්කාන්ත දර්ශන.. ඇත්තටම මේ හැමදෙයක්ම මාතුලයි තියෙන්නේ. මගෙන් තමා මේ හැමදෙයක්ම ඉදිරියට එන්නේ. සුකොමල කුමාරියන්, නිර්භීත නයිට්වරුන්, අප්‍රසන්න දේවල්, නොපෙනෙන දේවල්.. තව මොනවද? තව මොනව තියේද කියල මමවත් දන්නෑ. මං ඔයගොල්ලොට සහතික වෙනවා මං ඔය කිසිම දෙයක් හිතන්නෑ කියලා“

“ආහ්.. ඔය කිව්වේ.“ පෑන කිව්වා. “ඔය තමන් කලාය කියන කිසිම දෙයක් ගැන ඔයා මොන දෙයක්වත් හිතන්නෑ. මට කියන්න පුළුවන් ඔයා කරන්නේ ඔයාගේ ඇගේ තියෙන තීන්ත ටික අරගෙන දෙනවා කියල විතරයි. ඔයා මට තීන්ත ටික දෙනවා. ඉතිං මට කරන්න පුළුවන් හැමදේම මම කරල පෙන්නනවා. පෑන තමයි හැමදේම ලියන්නේ. කිසිම මිනිහෙක් ඒක අවිස්වාශ කරනවද? නෑ.. ඔය හුගක් මිනිස්සුන්ට තියෙන මොලේ තරම තමා මේ වගේ පරණ තීන්ත කූඩුවකට උනත් කියන්නේ“

“ඔව් ඔයාටත් පුළුවන්. ඒත් අත්දැකීම් කොච්චර අඩුද?“ තීන්ත කූඩුව පිළිතුරු දුන්නා. “හැක් හැක්.. ඔයාට අඩුගානේ සතියක්වත් එක දිගට ඔය වැඩේ කරන්න පුළුවන්ද? බලනවා ඔහේ දැනටමත් බාගයක්ම ගෙවිල ඉවරයි. ඔහේ විහිළුවටද මට කිව්වේ තමුන් කවිකාරයෙක් කියලා.. හැක්? දැනගන්නවා, ඔයා කියන දේ කරන සේවකයෙක් විතරයි. ඔයා මෙහාට එන්න කලින් මං ඔයා වගේ අය කී දෙනෙක් ගැන දැනගෙන හිටියද, සමහර අය මෝඩ පහේ පරණ අය, සමහර අය ජේත්තුකාර ඉංගිරිසි කාරයෝ. මට බොරු කරන්න බෑ මම හොදට දන්නවා පිහාටු පෑන මොකක්ද පවුන්ටන් පෑන මොකක්ද කියල. ඔය හුගක් දෙනෙක් මං ගාව වැඩ කරා. ඔන්න බලන්න එයා එනකොට මට තව පෑන් හුගක් අරන් ඒවි. මිනිහා කරන්නේ මං වෙනුවෙන් එයාගේ සංඥා ක්‍රියාත්මක කරන එක විතරයි. මගෙන් මතුවෙන දේවල් තමා එයා ඔය ලියන්නේ. මම ඇත්තටම කැමතියි දැනගන්න මිනිහා ඊළගට මගෙන් මතු කරගන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න.“

“තීන්ත බඩා“ පෑන බෙරිහන් දුන්නා.

හොදටම හවස් වෙලා කවියා ගෙදර ආවා. කවියා ප්‍රසංගයකට ගිහිල්ලා. ඒ ප්‍රසංගයේදී වයලීන් වාදකයා මොන තරම් අගේට තම වයලීනය වාදනය කලාද කියන එක ගැන ඉමහත් ප්‍රෙමා්දයෙන් ඔහු සිටියේ. හිතාගන්නවත් බැරි තරම් ඉමිහිරි වාදනයක් තමා ඔහු වයලීනයෙන් නැගුවේ. සමහර වෙලාවට ඒ නාදය කිංකිණි නංවන වතුර බිංදු වගේ, නැත්නං පෙරලීගෙන එන මුතු ඇට වගේ, නැත්නං ලස්සන සිංදු කියන කුරුළු නාදයක් වගේ, ඒ විතරක්ද ෆර් ගස් මුදුන් වලින් හමන සුළං සැර වගේ. කවියාට මේ ගැන හිතද්දී තමන්ගේම හෘද ස්පන්දනය ඇහුනා ඒකත් හරියට ලස්සන සංගීත නාදයක් වගේමයි ඔහුට ඇහුනේ, එහෙමත් නැත්නං කාන්තාවකේ මිහිරි කටහඩක් වගේ. කවියා සම්පුර්ණ්යෙන්ම වාදනය ගැන මත් වෙලයි හිටියේ. වයලීනයේ තත් විතරක් නෙමෛයි මුලු වයලීනයම වාදනයට එකතු උනා කියලයි ඔහු සිතුවේ. ඒක විස්මය ජනක වාදනයක් කියා ඔහු සිතුවා. වයලීනයේ අලුව, එහි තත් හා ස්පර්ශ වෙද්දී, එහි ඇතිල්ලෙන, එහාට මෙහාට යන උඩට පහලට යන රිදිමය අනුව වයලීනයෙන් ඉමිහිරි නාද පිට උනා. හරියට වාදනය කරපු වාදකයා නොදැනුවත්වම වයලීනය මේ ඔක්කෝම වාදනය ඉදිරිපත් කලා වගේ. ප්‍රේක්ෂකාගාරයේ හිටි අයටත් අමතක උනා මාස්ටර් වාදනය කරන බව. හැමෝම වයලීනය දිහා විස්මයෙන් බලා හිටියේ. එයින් නැගෙන නාදය ඔවුන් සියල්ල අමතක කොට රස වින්දා. සමහර අයට අමතක උනා අඩු ගානේ හුස්ම ගන්නවත්. මාස්ටර් අමතක උනා. නමුත් කවියාට ඔහුව අමතක උනේ නැහැ. ඔහු මාස්ටර් නමින් ඔහුගේ සිතෙන් මතු වූ කවි සිතුවිලි අකුරු කරන්න ගත්තා.

“ඒක මොන තරං ලැජ්ජ නැති වැඩක්ද? වයලීන් එකයි අලුවයි විතරක් ඉස්සිලා ආචාර කරන්නේ හරියට ඒ අය මේ වාදනය කලා වගේ“ ඒත් අපි මිනිස්සු විදියට තාමත් හිතන්නෙ එහෙමනේ. කවියෝ, කලාකාරයෝ, ජනරාල්වරු, විද්‍යාඥයෝ. මේ හැමෝම හිතන්නේ ඔය විදියට තමා. අපිත් හරියට සංගීත භාණ්ඩ වගේ දෙවියන්ට ඕන විදියට වාදනය වෙන. හැමදේකම උත්තමාචාර ඔහුට විතරයි. අපිට ආඩම්බර වෙන්න සතුටු වෙන්න කිසිම දෙයක් නැහැ.“ කවියා එහෙම හිතන්න ගත්තා.

ඇත්තටම කවියා ඒක තමා ලිව්වේ. ඔහු කතා ශෛලියෙන් ඒක ලිව්වා. මෙහෙමයි ඒක ඔහු හදුන්වලා තිබුනේ. “මාස්ටර් සහ වාදකයෝ“

“අක්කේ.. ඔන්න ඕක තමා ඔයාට ලැබෙන්නේ“ පෑන තීන්ත කූඩුවට කිව්වේ ආයෙත් හුදකලා උනාට පස්සේ. “ඔයැයිට ඇහුන නේද ඔහු මම ලිව්ව දේ හයියෙන් කියවනවා“

“ඔව් ඇහුනා. මං ඔයාට ලියන්න දීපු දේ නේ ඒ“ තීන්ත කූඩුව ඔලොක්කුවට මෙන් පෑනට කිව්වා. “ඒක මං ඔහේටයි කිව්වේ. ඔයැයිගේ ඔය බොරු අහංකාරේ නිසා. අඩුගානේ ඔහේට තේරෙනවද මං ඒක ලිව්වේ ඔහේට අපහාස කරන්නෙයි කියලා. මම මේ පොඩ්ඩයි කිව්වේ මම දන්නවා මටත් ඕන උපහාසයක් කරන්න පුළුවන් කියලා.“

“තීන්ත කේතලයා“ පෑන හයියෙන් කිව්වා.

“ලියන කූරා“ තීන්ත කූඩුව උත්තර දුන්නා.

මේ දෙන්නට දෙන්න තම තමන් හිතාගෙන හිටියා තමන් දීපු උත්තරේ හරියටම හරි කියලා. තමා ඉතා හොදම උත්තරයක් දීපු බව දෙන්නම අවබෝධ කරගෙනයි හිටියේ. ඒ ස්ථිර විශ්වාසය හොදටම ඇති සනීපෙට නිදාගන්න තරම්ම. ඉතිං ඒක නිසා දෙන්නම නින්දට ගියා. ඒත් කවියාට නිදාගන්න බැරි උනා. ඔහුට නින්ද ගියේ නැහැ. ඔහුගේ සිත තුල සිතුවිලි පොදි ගැහෙන්න ගත්තා, හරියට වයලීනයේ නාදයන් වගේ, මුතු කැට වැටෙනවා වගේ, එහෙම නැත්නං ඝණ කැලයේ තුරුහිස් මතින් දෝංකාර දෙමින් කුණාටුවක් හමනවා වගේ. ඔහු මේ සිතුවිලි මතින් තමන්ගේම හදවත තේරුම් ගත්තා. එක්වරම දෙවියන් විසින් පෙන්නුම් කලාක් මෙන් ඔහුට යමක් අවබෝධ උනා.

“මේ හැමදේකම ගෞරවය යන්න ඕන මාස්ටර්ට!!“

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Pen and Inkstand - Hans Christian Andersen