Showing posts with label සැමරුම් දේශන. Show all posts
Showing posts with label සැමරුම් දේශන. Show all posts

Saturday, September 15, 2018

නිකං බන්දුජීව!! (Ruwan Bandujeewa poetry)

අපේ කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට කියන්න තියෙනනේ. කවිය බත් පිඟානක් නම් ඒකේ විවිධාකාරයේ කවි වර්ග තියෙන්න පුලුවන්. සමහර විට රසය වැඩිය දැනෙන්නේ කට්ට සම්බෝලෙක වෙන්නත් පුලුවන්. හරියට කන කෙනා ඩිංග ඩිංග රස කර කර පිඟානම කන්න පුලුවන් වගේම කන්න බැරි එකා තක්කාලි කෑලී, මිරිස් කෑලි පිඟානේ ඉතිරි කරන්නත් පුලුවන්. ඒත් පොඩි කාලේ ඉදලම තඩි බත් කටවල් හනිකට ගිලල පිඟාන හෝදල දාන උන්ට නං පිඟානේ තියෙන විවිද දේවල් වල නොයෙකුත් රසයන් විදින්න බැරි වෙනවා. අවසානෙදි බත් කාපු ඒ පත මෝල්ලු තමන් කෑවේ මොනාද ඒකේ රස මොන වගේද කියලවත් නොදනී.

කවි ගැන විචාරයත් ඒ වගේ. තමන්ට ගැලපෙන ආකාරයටත් බත් ටික කන්නේ. ඒක නිසා කවි විචාරය තමන්ටම පක්ෂග්රාහි වේච්චි දෙයක්. දෘෂ්ඨියට හසු වූවාට රසයට හසු නොවන කවි ඕනෑ තරම් තියෙනවා. සමාර විට ජනප්රිය කවි වල ඇති චිත්ත රූප මැවීමේ හැකියාවක් ඒවාට නැති වෙන්න පුලුවන්. ඒත් කවියක් විඳිනවා කියන්නේ ඇත්තෙන්ම ඒ දිහා ස්වාධීනව බැලීමක්. මම සාමාන්යෙයන් එළිසමයක් තියෙන කවි වලට කැමතියි. එක දිගට ගලාගෙන යන කවි කොළ වලට කැමතියි. හයිකු එකක් දෙකක් කියල මොලේ ටිකක් මොරොන්දම් වෙනවට කැමතියි. ඒ කෙසේ වෙතත් කවියෙකු තමන්ගේ නිර්මාණයෙන් කියන්න හදන දේ තේරුම් ගන්නටස්වාභාවික ඥාණයට අවස්ථාව නොදෙන කෙනෙකුට කවි වල විවිධ වර්ග, ගුරුකුල, බ්රාහ්මණ කුළ, පදිරි කුල තියෙන්න පුලුවන්. අපි ඒ අයට සුභ පතමු.

රුවන් බන්දුජීව මට හිතෙන විදියට ස්වභාව ධර්මයේ ඉතා කුඩා කිසිවෙකුට නොපෙණන තැන් තමන්ට රිසි අයුරින් උකහාගෙන ඒවාට සම්බන්ධකම් හදා දෙන්න දක්ෂ කෙනෙක්. ඔහුගේ අනෙකුත් කවි ආදරය ගැන, සමාජ අසාධාරනකම්, අධම කම් ගැන කතා කරත් මට විශේෂයෙන් කැමැත්තක් තියෙන්නෙ රුවන් අප අවට පරිසරයේ ඇති විවිධ අංශුන් එක මිටට ගන්නා ආකාරයට.

මේක මීළග මීවිකේ 27 පිටුවේ කවියක්

රම්ය ජලකර පුෂ්ප ගලවා
මතස්ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිසකර
පාර අයිනක තිබුනි රදවා

මේ වගේ කවි දැක්කම ඔය බහු චින්තකයෝ කියන්නේ මේව්වා මේ නිකං වාග් ප්රලාප නේ කියලයි. ඒත් ඒ අයට තමන් බස් එකේ යනකොට දකින පොළව පැලිච්චි වේලුණු වැව දැක්කට වතුර නැති විත්තිය විතරයි පේන්නේ. එහෙම නැත්නං කියාවි මාර පෑවිල්ල නේද ගිය පාර මං එනකොට හොදට වතුර තිබුනා කියලා. ඒත් මේ කවියේ මුඛ්ය පරමාර්ථය සිඳුන වැවක ශෝකාලාපය කියාපාන්නටයි. රුවන්, පේන්න නැති කාටවත් දකින්න නැති ගොඩාක් දේවල් එකට අමුණල හිඳිච්ව වැව පාර අද්දරට ගෙනැත් තියෙන ආකාරය දැක්කම මට කියන්න තියෙන්නේ අපූර්වයි කියල විතරයි.

මේ කවිය මම බොහොම කැමති කවියක්. මේකත් නිකං වාග්ප්රලාපයක් තමා. හැක්

සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ පල
පසෙහි මුසුවී තිබුණු වස විස
උරා බොන්නැති නියඟලා වැල

(මීළග මීවිත පිටුව 25)

කැලේ ඇතුලක එහෙම නැත්නං දඩු වැල් තියෙන වැටක උඩින් පේන රතු කහ මල් ටික දැකල අනිත් ගස් වැල්, ගෙඩි දිහා බලන මේ අපූර්ව කවියාගේ මනස කොයි තරම් සියුම්ද කියල අපට පේනවා. මේ ලෝකේ තියෙන සේරම ගහකොළ, මල්, ගෙඩි තියෙන්නෙ නියඟලා වැල නිසාද කියල හිතෙන අන්දමට මේ කවිය නිර්මාණය වෙලා තියෙනවා. සමහර විට මේකේ අනුභූතිය කහ රතු නියඟලා මලක් විතරක් වෙන්න ඇති. ඒත් ඒ මල නිසා පරිසරයේ තියෙන සියලු ගහ කොළ එක මිටට ගන්න රුවන්ට ඇති හැකියාව උපරිමයි. මම බොහෝ පොත් පත් කියවා ඇති අයෙකු නොවුනන් මා කියැවු ලේඛකයන් අතුරින් එවැනි හපන්කමක්, සියුම් දැකීමක් ඇති අයෙකු තමා හා්න්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු ලියන්නේ සුරංගනා කතා උනාට ඒ සුරංගනා කතා අස්සේ කුරුල්ලෝ, පුංචි පුංචි මල්, වීථි ලාම්පු, යකඩ පෙට්ටි ආදී එකී නොකි දේවල් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතනෙවා. මතක ඇති නේද අයිඩාගේ පුංචි මල කතාව. ඒකේ තියෙන්නෙ එක එක ජාතියේ මල් රාශියක් එකතු කරගෙන ඒ චර්යාවන්, පෙනුම ආදිය මිනිස්සුන්ගේ පෙනුමහැසිරීම චර්යාව එක්ක එකට එකතු කරල සිත්තම් කරපු අපූරු කතාවක්. ටියුලිප් මල් අනිත් මල් වලට වඩා උඩින් තමන්ගෙ බෙල්ල හරව හරව ආඩම්බරෙන් ඉන්න හැටි කියන කොට මට හරි ලස්සනට පරිසරය මැවිල පේනවා. අන්න ඒ වගේ හාන්ස්ටත් පුදුම හැකියාවක්, තියුණු ඇහැක් තිබුනා කියල කියනවා. ඒ කියන්නෙ දුරක තියෙන ගහක පොත්තක කුඩා කැපුමකුත් එ් අසල ඉන්නා පුංචි කුහුඹුවෙකුත් හරියටම අදුරගන්න හැකි ආකාරයේ. රුවනුත් ඒ වගේ අපි දකින් කිසිම වැදගැම්මකට නැති දේවල් සිතුවිලි ආධාරයෙන් එකට එකතු කරල ඔහු අපිට දෙනවා ඉමිහිරි නිර්මාණයක්. අදටත් නියඟලා මලක් දැක්කම රුවන් කියපු දේ මට මතක් වෙලා නියඟලා වැල ගැන පුංචි හැගීමක් ඇති වෙනවා.

මීළග මීවිත 14 පිටුවේ තියෙන මේ කවියත් ඒ වගේ.

ඇළ

ඇළ හොඳින් ඇඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම


මේකත් නිකම්ම නිකම් වාග ප්රලාපයක් තමා. ඒත් නිලට නිලේ දිලෙන හුළගට එක පෙලට ගමන් යන කුඹුරු යායක් දැක්කට මට නං එහෙම හිතෙන්නේ නෑ. ඒක තමා තියුණු දැකීම කියන්නේ. ඉතාම සරල කුඩා දෙයක් උනත් කව්රුවත් නොදැකපු ආකාරයෙන් දකින එක තමා නිර්මාණකරණය කියන්නේ. මම නෙමෙයි කිව්වේ කොන්ස්තන්තීන් පව්ස්තව්ස්කි කිව්වේ. ඒ කියමන අපට සනාථ වෙනවා රුවන්ගේ කවි (වාග් ප්රලාප) කියෙව්වාම. පුලුවන් නං තවත් විදියටකට ඇළ දිහා බලන්න ඔන්න අවස්ථාව. අප දන්න අකුරු, අපි දන්න වචන හැබැයි හැඟිම් අකුරුවචන වලින් මනින්න බෑ. ඒක අකුරු, වචන වලින් වියුත්පන්න වෙච්චි දෙයක්. සමාර විට දැං හිතන්න බලන්න අපි යමක් දිහා හිතන්නේ වචන වලින්ද සංකේත වලින්ද කියන එක. ටිකක් පැටලිලි සහගතයි නේද? ඔව් ඒ උනත් තමන් දකින දේ අකුරු, වචන වලට පෙරලගන්න එක අමාරුවක් නැතිව කරන රුවන් බන්දුජීව වැනි කවියන් ගැන සමාජ මාධ්යයයෙන් එපිටදී මීට වඩා කතා වෙන්න ඕන. ඒ නිර්මාණාත්මක වේශය හදුනාගන්න ඕන. බත් පිඟානේ තියෙන තක්කාලි කෑල්ල කාලා බලන්න ඕන. මිරිස් කෑල්ල ගොටු කොළයත් එක්ක හැපෙන රස විදින්න ඕන. නැත්නම් අඩු ගානේ බත් ගුලියට පරිප්පු ඇටයක් දාගෙන බඩ පිරෙනකල් ගිලල පුටුවක් උඩ පත බැවිලා රාම තෙල් ඇර ඇර කාපු බතටම කුණුහරුපෙන් බැන බැන ඉන්න බඩ තඩියෙක් වගේ නොවී ඉන්ටෝනි.


Wednesday, September 5, 2018

බුකි බුක් චැලෙන්ජ් (Book challenge in FB)

බුකියෙ විටින් විට එක එක ජාතියේ රැළි එනවා. අපි නං කැමති ලීක් වෙන රැළි වලට තමා. ඒ උනාට ඒවා කළුනික වගේ. හරීම කලාතුරකින් තමා එන්නේ. ඒ අතරේ එක එක චැලෙන්ජ් එනවා අයිස් බකට්, අමුමිරිස් වගේ ඒවත්. හරිම සන්තෝසෙන් කියන්නේ මං ඔය කිසිම චැලෙන්ජ් එකකට සහභාගී උනේ නෑ.

මේ වතාවේ නං බේරෙන්න බැරි උනා. බිත්තිය බ්ලොග් එක ලියන උතුම් පැතුම් හේරත් විසින් දවස් හතක් තුල අනං මනං නොකියා පොත් හතක පිට කවර දාලා දවස් හතට කවුරු හරි හාදයෙක් ජාවාරමට නම් කරන්න කියල ගියපු බුකි බුක් චැලෙන්ජ් එකට පැතුම්ගේ තුන්වෙනි දවසේ වෙන්ටෝනෙ මාව නොමිනේට් උනේ. සාහිත්‍ය මාසෙත් එන එකේ අන්න වැඩේ කියල මං බෝම සන්තෝසෙන් ඒ අභියෝගය බාර අරගෙන දවස් හතට පොත් හතක් දැම්මා. ඒ පොත් හත පොඩි කාලේ ඉදල මේ දවස් වෙනකම් මගේ පරිනාමයට අනුකූල වන පරිදි පිළිවෙලට දාන්නත් මං උනන්දු උනා.

කියන්න කනගාටුයි ඔය ජාවාරමට නම් කරපු කීප දෙනෙක්ම සද්ද වහල හිටියා. උන්ට නං ඕක් ලීයක් අරන් තඩි බාන්නේ අපේ වසන්තම් ලී කෙලි පටන් ගත්ත දවසක.

දවස් හතේ නම් කරපු ගෝතයන් ගැන විස්තර මුලින්ම


මේ මිතුරන් හත් දෙනා අතරින් කුෂාන් සහ ඉන්දික කොඩිතුවක්කු තවම අභියෝගය බාරගෙන නැහැ. ගල්මල් අයියා (මුබාරක් ඩීන්), රාමදාස, සොඳුරු සිත කියන මිත්‍රෙයා් ටික කුඩා ප්‍රමාණයකින් අභියෝගය බාර ගත්තා. ඒ වගේම ප්‍රදීප් චන්දන සහ තරිඳු යන දෙන්න සම්පූර්ණයෙන්ම අභියෝගය බාර ගෙන ඇති බවත් දැක්කා. හැමෝටම ස්තුතියි.

ඒ චැලෙන්ජ් එකේ හැටියට කව්රු හරි නම් කරල පොතේ පිට කවරෙ පින්තුරයක් දාලා නිකා ඉන්න ඕන. ඉතිං මට හිතුනා ඔච්චර කියන්න දේවල් තියෙද්දි නිකං ඉන්නේ මක්කටද කියලා. අන්න ඒ නිසා මම තීරණය කරා මම දාපු පොත් හත ගැන පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාලා ඉන්න ඕන කියලා. ඔන්න පහලින් ඒ විස්තරේ ඇති. ඊටත් පහළින් ඔහේලට දික් කරපු බුලත් කොළයක් ඇති ඒකත් අරගෙන යන්ට හොදේ.

පළවෙනි දවස





මං පොතක් කියල මුලින්ම කියවපු පොත මේක. මම අතට ගන්න කොට පොතේ පිට කවරයක් තිබ්බෙත් නෑ. මුල සහ අග පිටු කිහිපයක් තිබුනෙත් නෑ. මං එතකොට පහේ පන්තියේ විතර ඇති. අපේ ගෙදර තිබුනා සොල්දරයක්. ඕකේ පුරාම දාලා තිබුනේ ගෙදර තිබුන පරණ බඩුයි අරවයි මේවයි තමා. කාලයත් එක්ක සොල්දරේ ලෑලි හෙමත් දිරල තිබ්බ නිසා අම්මා අපිට සොල්දරේට යන එක තහනං කරල තිබුනේ. ඒ උනාට ඔය කාලේ හම්බෙච්චි ප්ලේබෝයි පින්තූර කෑලි හංගන්න තැනක් නැති නිසා මංතෝරගත්තෙ සොල්දරේ. අන්න එහෙම ඒ පින්තූර තියන්න තැනක් හොයන කොට තම මේ වගේ පොත් ගොඩක් හම්බුනේ. ඒ පොත් අතරින් ඉස්සෙල්ලාම අතට ගත්තෙ මේ කවර නැති පොත. ඒක ඇතුලෙ අර පින්තුර ටික දාල පරිස්සමට අරන් තිබ්බා පස්සේ ඕන වෙලාවක බලන්න හිතාගෙන. කෝම හරි ටික දවසක් යන කොට අර පින්තූර ටික යාලුවෙකුට දෙන්න වෙලා පොත අතට අරගෙන බලන කොට තමා ඒකේ අකුරු කියවුනේ. ඉස්සෙල්ලම දැක්කේ “සැමෝවාරය“ කියන වචනේ වගෙයි මතක. මොන කුනුහබ්බයක්ද මේ කියල ඒ සැමෝවාරේ කියන වචනය හොයන්න තවත් පේලි දෙක තුතක් කියව්වට ඒක තේරුනේ නෑ. ඒපාර තව පිටු දෙක තුනක් එහා මෙහා කියවන්න ගත්තම තමා තේරුනේ මේ මොකක්ද කියල එක. අන්න ඒ පළමු පියවර නිසා මට ඒ පොත කියවන්න හිතුනා. ඔය කපිතාන්ගේ දියණියෝ කියන කතාව තමා මං කියවගෙන ගිහින් තිබුනේ. ඒකත් එක්කම ඉස්කෝප්ප රැජින කතාවත් තිබුනා. ඒ කතාවත් කියෙව්වා. සමාර වචන තේරුම යනකං දෙතුන් පාර කියවන්න උනා මේ පොත. ඒ පොත කියවල ඉවර උනාම මං බැලුවා ඒ පොත් ගොඩේ තවත් මේ වගේ පොත් තියේද කියල. අන්න එතකොට හමුඋනා ගොගොල්ගේ හිමකබාය සහ තවත් කතා පොතක්. මේ සේරම රුසියන් පොත් කියල දැනගත්තට ඒ වෙනකම්ම මං දැනං හිටියේ නැ රුසියන් සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලවත්. අපේ අම්මලයි පුංචි මාමා තමාලු ලුමුම්බා සරසවියේ හිටපු සිංහල ආචාර්යවරයා. අම්මල ඔය කතාව පුරාජේරුවට දහ දොලොස් වතාවක් කියල තිබුනට මං නං සතේකට විස්වාස කරේ නැ. ඒ උනාට මේ රුසියන් පොත් එයාගේ කියල අම්මා පස්සේ කිව්වා. ඔන්න ඔතනින් තමා මං කියවන්න පටන් ගත්තේ. ආරම්භය නරකම නෑ නේද?



දෙවැනි දිනය




ඔය විදියට පටන් ගත්ත රුසියානූන්මාදය සෑහෙන්න කාලයක් එක දිගට අල්ලල හිටියා. ගෙදර සොල්දරේන් හම්බු උන හොඳ පොත් වගේම බාගෙට ගැලවුනු, ඉරුණු, වේයෝ කාපු පොත් හෙමත් අමාරුවෙන් කියෙව්වා. ඔව්ව කියවගෙන ඉන්න කොට මගේ වයස නිකම්ම ගියා. එතකොට මං හතේ අටේ විතර ඇති. දැං ගෙදර කියවන්න පොත් නැති නිසා මං අපේ ගමේ පුස්තකාලේට යන්න ගත්තා. හැන්දෑවට පුස්තකාලේට ගියාම ආයි ඒක වහනකම්ම රුසියන් පොත් අරන් කියෙව්වා. පුස්තකාලේ මට මතක විදියට හොද රුසියන් පොත් එකතුවක් තිබුනා. ඒ කාලේ අපිට පොත් ආවේ රාදුගා පබ්ලිෂර්ස්ලගෙන්. රාදුගා කියන්නේ දේදුන්න කියල මං රුසියන් වලින් තේරුමත් හොයාගත්තා. ඔය පොත් බොහොමයක් පරිවර්තනය කරල තිබ්බේ දැදිගම වී. රොද්‍රිෙගා් මහත්තයා නේ. අන්න ඒ පොත් වල රුසියන් බසින් පොතෙ නම, කතුවරයගේ නම සහ පරිවර්තකයගේ නමත් සඳහන් කරල තියෙනවා. ඒ අකුරු දිහා බලාගෙන තටම තටම රුසියන් හෝඩිය, අකුරු හදන ආකාරය, වචනයක් කියවන විදිය වගේ දේවලුත් මං කරා. ඒකෙන් පොත් වල තියෙන මේ වචන කීපය අමාරුවෙන් හරි කියවන්න පුලුවන් උනා තේරුම නොදැන උන්නට. ඇත්තටම හරිම රසවත් අත්දැකීමක් මට ඒක. මං ඒ දවස් වල ලස්සනට තියාගෙන හිටිය පරණ ඩයරි වල රුසියන් අකුරෙන් සිංහල ලිව්වා. එව්වට කියන්නේ සිංරුසියන් වෙන්ටැති. ඔන්නොහොම රුසියන් පොත් කියවන් ඉද්දි මට ආයෙත් වයස ගියා. දැං මං දහයේ විතර ඇති. පුස්තකාලේ තිබ්බ සියලුම පොඩි රුසියන් පරිවර්තන පොත් මං කියවල ඉවරයි. සමහර ඒවා දෙතුන් පාරත් කියවල තිබුනා. ඒ අතරින් ඉතිරි උනේ ගෝනි පොත් කීපයක් විතරයි. තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, දොස්තයෙව්ස්කිගේ අපරාදය හා දඩුවම, නිවටයා, කරමසෝ සහෝදරයෝ වගේ හෙන දඩාර් සයිස් පොත්. ඔව්වා මේ පොඩි එකා වෙච්චි මට උහුලන්න පුලුවන් පොත් නොවෙයි කියල මං හිත හදාගත්තා. ඒත් පුස්තකාලේ කියවන්න තවත් රුසියන් පොතු නැති කොට, අලුතෙන් පොත් එන්නෙත් නෑ. ඒක නිසා මං හිතහදාගෙන පුස්තකාලේ සාමාජිකත්වය ගත්තා. එහෙම අරගෙන නමෝ විත්තියෙන් ගෙදර අරන් ගියේ අපරාදය හා දඩුවම පොත. ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් පිටු තිහ හතළිහ කියවන කොට හිතුනා මොන කරුමක්කාර කමකට ගෙනාවද මේ පොත. ඇත්තටම මේ වගේ අපරාද පොතක් කියවන කොට ලැබෙන දඩුවම මේක තමා කියල හිත හිත තව ටික ටික කියෙව්වා. ඔන්න මැද හරියට යන කොට තමා ටික ටික තේරුනෙ මෙච්චර පිටු ගනන් එක දිගට විස්තර කරන්නේ රෝඩියෝ රෝමනෝවිවි රැස්කොල්නිකොව්ගේ චෛතසිකය කියන එක. ඒවයේ සිතුවිලි අකුරු වෙච්චි දිහා බැලුවම මට හිතුනා “යකෝ මාත් මේ වගේ හිතනවගේ මේ ෆකින් කතෘ කෝමද මේව්වා දන්නේ කියලා“. මේ උත්තේජනයත් එක්ක පොත සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ ඉවර කරල ටික දවසක් යනකම්ම හිත හොල්මන් වෙලා හිටි මම, විටින් විට මට ග්‍රහණය නොව්චිචි තැන් හොයාගෙන ආයි කියෙව්වා. ඒකෙන් මේකෙන් මට දැනෙන දේ වෙනස් වෙන්න සමහර විට දොස්තයෙව්ස්කි අදහස් කරන දේ මට තේරුම් යන්න ගත්තා. අන්න ඒකයි ටර්නිං පොයින්ට්. අපරාදය හා දඩුවම මට අල්ලල ගියා. ඔය පහුගිය කාලේ මං ලියපු කෙටි කතා වල එඩ්ගා ඇලන් පෝගේ ආභාෂයක් තියේය කියල අපේ නවාතැන් රාජ් එහෙම පස් කන්න හැදුවා. මොකද මං මේ වෙන කං ඇලන් පෝගේ පොතක් කියවල නෑ. අන්න එතැනදි අර පස් කාපු රාජ් කිව්වා හරි පෝගේ කතා කියවල නැති උනාට දොස්තයෙව්ස්කි කියවල තියේ නේ. දොස්තයෙව්ස්කිට පෝගේ ආභාෂය ලැබුන නිසා වක්‍රාකාරව මටත් පෝගේ ආභාෂය ලැබුණය කියල. මෙව්වා මහ පුදුම තර්ක හොදේ.. හැක්..

තුන්වෙනි දවස





මොකක් හරි හේතුවක් නිසා මට සුනිල් මාධවගේ ලියවිලි ප්‍රියයි. ඒ සමහර විට සත්‍යවාදියාගේ දිනපොත කොලම් එක නිසා වෙන්නත් පුලුවන්. මොකද මම නොවැරදීම කියවපු කොලමක් තමා ඒක. ඒ කොලමෙමද කොහේද තමා ස්ටීව් බිකෝ ගැන සඳහනක් තිබුනේ. මං එතකොට බිකෝ කව්ද කියලවත් දන්නෑ. හැබැයි සුනිල් මාධව බිකෝගේ කතාවක් “හඬනු මැන නිදහස“ කියල පරිවර්තනය කරල තියෙයි කියල දැනගන්න ලැබුනා. ඒ ආරංචිය ඔස්සේ මම පුස්තකාලයට ගිහිල්ලා මේ පොත හොයාගත්තා. මුල් කවරේ දැක්කම නං හරියට කාල් මාක්ස්ගේ පොතක් වගේ ඔක්කාරෙටත් ආවා. ඒ්ත් මගේ සිරිතක් තමා පොතේ පෙරවදනේ ඉදල තළු මර මර පොත කියවන එක. එ් කියවන කොට දැනුනා පොත හොද එකක් වෙයි කියල. මොකද වීරත්වය, පරාජිකත්වය, කාලකණ්ණී කම මේ හැම දෙයක්ම පොතේ ඇති කියල අනුමානෙන් තේරුනා. ස්ටිව් බිකෝ මොනා උනත් මට අල්ලල ගියේ ඩොනල්ඩ් වුඩ්ස්ගේ නිර්භීත කම. ඔහු නොවන්නට අද ස්ටීව් බිකෝ කෙනෙක් ගැන අපි දන්නෙත් නැ. එහෙන් බිකෝ කියන්නෙ නිකම්ම නිකම් සුදු අප්‍රිකානුවන් අතින් මිය ගිය කල්ලෙක් විතරයි. ඔය පොතේ බිකො එක්ක සාකච්ඡාවකදි සාමාජිකයො ්කියනනවා අපිට බලයක් ආපු දවසට අපිත් සුද්දන්ට හොදට සලකන්න ඕන කියලා. අන්න එතැනදි බිකෝ කියනවා “සහෝදර වරුනි, අපිට සලකපු විදියට සලකන්න අපිත් හදන්නේ ඒ සිස්ටම් එකම නම් මේ සිස්ටම් දෙකෙන් වඩාත් හොද මොකක්ද එහෙම සිස්ටම් එකක් මොකටද“ කියල. අන්න ඒ වචන ටික මට තාමත් හොදින් මතකයි. මේ පොත මම අඩු ගානේ හත් අට වතාවක් කියවන්න ඇති. බිකෝ මරපු කෘරත්වය පෙන්නුම් කරන පින්තූර පවා මේ පොතේ ඇතුලත් උනා. පුද්ගලයෙක් විදියට ප්‍රචණ්ඩත්වයට එහා ගියපු මිනිස්කම දකින්නේ කෝමද කියල මට පෙන්නුව මුල්ම පොත් වලින් එකක් මේක. ඒක නිසා මම මේ පොතට තාමත් කැමතියි.


හතර වෙනි දවස



මේ ප්‍රබුද්ධ කවි පොත මම සේකරගේ කවි වලට තියෙන ආසාව නිසාම හොයාගෙන කියවපු පොතක්. අපි ඉස්කෝලේ යන කාලේ හිතින් පෙම් කරල නොදැනීම සින්ගල් බූට් වැදුනම අමරදේව මාස්ටර් පිහිටට ආපු හැටි ලියපු Adios Master පෝස්ට් එකේ මේ ගැන කෙටි සටහනක් තියෙන නිසා ඒ පෝස්ට් එකේ විස්තරේ බලාගන්නත් එක්ක ඒකේ ලින්ක් එක මෙතැන දානවා. (කොටපියව් මේකට

සේකරගේ මට හිතුන විදියට හොදම කවි පොත ප්‍රබුද්ධ තමා.


පස් වෙනි දවස


ඔය විදියට පොත් කියවං ඉන්න මට හිතුනා මගේ ඇඟ ඇතුලෙත් දොස්තයෙව්ස්කි, ගොගොල්, තොල්ස්තොයි හැංගිල ඉන්නවයි කියලා. අන්න ඒ නිසා මාත් පටන් ගත්තා කවි ලියන්න, පොඩි කතා ලියන්න. එව්වා ලිව්වේ පිටු 80 කොටු රූල් පොත් වල. ඔය වගේ පොත් හත අටක්ම ඕ ලෙවල් කාලේ වෙන කොට මම ලියල තිබුනා. ඒව්ව බලල ස්වයං වින්දනයක් ලැබුවා විනා කිසිම පත්තරේකට ලියන්නවත් ඕන කමක් තිබුනේ නැහැ. හැබැයි ඒ කාලේ බ්ලොග් කියන එක තිබුනා නං අනිවා බ්ලොග් එකක් ලියාවි. ඔන්න ඔය නිර්මාණකරණය නිසා මටත් හිතුනා නිර්මාණ කරන්නේ කොහොමද මේව්වට අනුභූතින් ලැබෙන්නේ කොහෙන්ද චරිත මවාගන්නේ කෝමද කොලයක සටහන් කරන්නේ කෝමද කෙටි කතාවක සැලැස්ම හදාගන්නේ කෝමද වගේ අටෝරාසියක් ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒත් උත්තර හමුඋනේ නැ. ඒත් රන්රෝස කියන පොත මම ගත්තේ ඒකේ කතුවරයාට රුසියන් නමක් තිබ්බ නිසා විතරයි.  මුලින් මුලින් කියවන කොට එච්චර ආසාවක් නෑ. විකාර මාතෘකා තිබ්බේ ඕකේ පරිච්ඡේද වල. සොදුරු සිත ටීචර්ට පුලුවන් නං ඒ හෙඩිං වල නං ටික මට කියන්න.  කොහොම උනත් මෙන්න මේ පොතේ නිර්මාණකරණය කොහොම එකක්ද කියල සඳහන් වෙලා තිබුනා. (මේ පිට කවරේ මං කියවපු පිට කවරේ නෙමෙයි. ඒකේ තිබ්බේ රෝස මලක්ද කොහේද.. මම කියවපු එකේ තිබ්බේ නෑ “නිර්මාණ පිළිබඳ අත්පොතක්“ කියන කැල්ලත්. ) පව්ස්තවුස්කි කියන ලේඛකයා ලෝකය පුරාම අති විශාල ලේඛකයන් සමූහයක් ආශ්‍රය කරල තියෙනවා. තවත් බොහොමයක් ගැන කතා අහල තියෙනවා. අන්න ඒවා හරිම රසවත්. ගොගොල්, ෂොලහොව්, තෝල්ස්තොයි, මෝපසාන්, හාන්ස් ක්‍රිස්ටියන් වගේ විශාල ලේඛකයන් ප්‍රමාණයගේ සත්‍ය අත්දැකීම් මේ පොතේ තියෙනවා. ඒක නිසා මට මේ පොත වෙනම ලෝකයක් උනා. ඇත්තටම රන්රෝස් නිර්මාණකරණයට අත්පොතක් තමා. රණවීර මහත්තයා පස්සේ ඌණපූරණයක් ඇතුලත් කරන්න ඇත්තෙත් ඒ නිසා වෙන්ට ඇති. මේ පොත තරං මං කියවපු පොතක් තවත් නෑ. හාන්ස්ගෙ ඇස් පෙනීම ගැන, ඔහුගේ සංවේදි කම ගැන, සමහර ලේඛකයන් ලියන්න ගන්න කොලය ගැන අරව මේවා ගැන තිබ්බ කතා සේරම හරිම රසවත්. චිංගීස් අයිත්මාතව් පොතක් ලියන්න අනුභුතිය හොයාගත්ත අපූරු කතාවකුත් මට මතකයි. කරුමෙට ඒ පොතේ නම තමා මට මතක නැත්තේ. ඇත්තටම රසවත් පොතක්. ි නිර්මාණ කරන අයෙකුට මං නොපැකිළව නිර්දේශ කරන පොතක් තමා රන් රෝස. ආරිංවංශ රණවීර මහත්මයාගේ පරිවර්තනයන් ඉස්තරම්.


හය වෙනි දවස


ඔය විදියට පොත් කියවපු මං බ්ලොග් එක පටන් අරගෙන බුකියට ගිහිල්ලා රඟන්න ගත්තට පස්සේ හැදුනා පිස්සුවක්. සයිබරේ ලියන්නන් පල කරපු පොත් මිලදී ගන්න එක. දිනිති, තනුජා, පුසාද්, ටිම්රාන්, අරුණි කළුපහන වගේ සෑහෙන දෙනෙකුගේ පොත් මං ගත්තා. ඒ අතරේ ලැබුණ නිර්දේශයක් නිසා තමා රුවන් බන්දුජීවගේ මීළග මීවිත ගත්තේ. ඒකේ පෙරවදන ඉදලම අමුතුයි. මං අතරින් පතර කියෙව්වා. පුදුමයි. මුල ඉදල කියෙව්වා. පුදුමයි. හිත හිත කියෙව්වා. හරිම පුදුමයි. මං රුවන්ගේ කවි වල වැඩි පුරම දැක්කේ ස්වභාව ධර්මයේ නිමැවුම් අපූරු අයුරකින් දකින හැටි. ඒක ඇත්තටම පුදුමයි. මේ කාලේ කවියොන්ට ඔව්වා අහු වෙන්නැ. බතල වැල්, නියඟලා අල, තණකොල මල් ගැන රුවන් ලියපු කවි ඇත්තටම පුදුමයි. ඒ වගේ ස්වභාව ධර්මය දිහා බලල කතා ලියපු කෙනෙක් තමා හාන්ස් ක්‍රිස්ටියන්. ඒ සුරංගනා කතා වල හාන්ස් ලියන්නෙ පරිසරයේ ඔහු දකින දේවල් ලස්සන කෝණයකින් බලල. පුංචි ඩේසියා මල වගේ කතා වලින් ඒක හොදටම පැහැදිලි වෙනවා. අපේ කාලෙ හාන්ස් රුවන් තමා. ඒ කිව්වේ සුරංගනා කතා කියනවා කියන එක නෙමෙයි. ස්වභාව ධර්මය දිහා විශ්මයජනක කෝණයකින් බලන රුවන්ගේ ඇස මට නං තාමත් පුදුමයක්. මං තාමත් සතියකට සැරයක් රුවන්ගේ පොත කියවනවා. මට ඒ වෙලාවට පපුව පිම්බිල රුවන්ගේ හිත ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ. ස්වභාවධර්මයේ ක්‍රියාවන් සම්බන්ධව ඒ දැක්ම කවි වලට අපුර්වත්වයෙන් එක් කළ හැකි මැත කාලින කවියෙක් නම් මට මතක් වෙන්නේ නෑ. හරිම මිහිරි පොතක්.



හත් වෙනි දවස



හාන්ස්ගේ කතා අපි පුංචි කාලෙත් කියවල තියෙනවා. ඒත් බ්ලොග් එක කරන්න ගත්තට පස්සෙ මට ආසාවක් ඇති උනා හාන්ස්ගේ මට දැනිච්චි කතා පරිවර්තනය කරන්න. ඇත්තටම කිව්වොත් අනුවර්තන. ඒක නිසා මං මෑත කාලීනව එක කතාව හත් අට වතාව බැලුවේ මේ පොතේ තියෙන කතා. සමහර කතා වල යටින් දුවන දේශපාලනය, හාස්‍යය අල්ලගන්න ටිකක් අමාරු වෙනවා. සුංරගනා කතා අස්සේ හෙමින් සීරුවේ සමාජයට හිනාවෙන්නෙ කෝමද කියන එක හාන්ස් කියල දිපු නිසා මං හාන්ස්ගේ කතා වලට කැමතියි. ඒක නිසාම තමා හාන්ස්ගේ කතා දොළහක් විතර පරිවර්තනය කෙර්.

හරි එහෙනං මගේ ජිවිතේ ආස කරපු පොත් හතක් ගැන කරපු විචාරේ අවසානයි.

අවසාන වශයෙන් බුකි බුක් චැලෙන්ජ් එක කරපු පැතුම් හේරත්ට ඒ වගේම මං චැලෙන්ජ් කරපු හත් දෙනාටයි ඇතුලුව හැමෝටම ආරාදනා කරනවා මේ සාහිත්‍ය මාසෙ තමන්ගේ හිත ගත් පොත් ගැන අටුවාටීකා ලියල පෝස්ට් එකක් දාන්න කියලා. සාහිත්‍ය මාසේ සරු කරන්න බ්ලොග් ආයි කියවන්න අපි පුරුදු වෙමු. ඒක පට්ටයි හොදේ.

Tuesday, July 3, 2018

හෙළ කිවියර කුස්පල් දඬුහින්න! (Poetry in helabasa)

බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා
ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා
ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා
අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා


කවියක් දෙකක් ලිව්වට අපි ඇමෙචර්ය
ගුණ නැණ වඩන කවි කෝමත් රසවත්ය
නුහුගුණ ඉවත ලෑමත් කවියට හැකිය
නැනවත් තොමෝ ඒ ගැන හරි විමසිලිය


රටේ තොටේ කිසි කලෙ නැත පිබිදීමක්
අඩියෙන් අඩිය අපි යන්නේ වලැ පල්ලේ
වනචාරි වැඩ ඕසේට හෙළ දේසේ
ගූ ගොඩ වට කරගෙනයි අපි දැං බත් කන්නේ


කුස්පල් නැමැති කවිකරුවා දඬුහින්නේ
බුකියේ ගොතනවා කවි පද වැල් හෙළ‘සේ
කිති කවනවා සිස්ටම් එක යන වාලේ
කියවා බලා රස විඳපන් හෙළු රෑනේ



Thursday, May 10, 2018

බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)

සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.


 එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ සුප්‍රිම්සැට් කියන කම්පැනියක් ලංකාවටම කියල චන්ද්‍රිකාවක් ගුවන් ගත කරාය ඒක රෝහිත කියල නම් කරාය කියලා. හැක් හැක්. ඔය චන්ද්‍රිකාව යවන වෙලාවේ අපි සිංදු හිටං හැදුවා මතක නෙ.

කොහොම උනත් ලංකාවේ නමින් තිබෙන චන්ද්‍රිකාව අයිති වන්නේ පුද්ගලික සමාගමකට. මනිවාදන් කියන ව්‍යාපාරිකයා හට අයිති SupremeSat කියන කම්පැනිය විසින් චීනය කක්ෂගත කරන ලද ChinaSat-1 කියන චන්ද්‍රිකාවේ බහුතර බලය .. නෑ නෑ.ඒ චන්ද්‍රිකාවේ බහුතර සන්නිවේදන පහසුකම් මිලදී ගත්ත නිසා ඒ සැටලයිට් එක සුප්‍රිම්සැට් -1 කියල නම් කරාය කියල තමා කියන්නේ. අපි ඔව්ව ගැන එච්චර කතා කරන එක තේරුමක් නෑ මොකද රජය මුදල් යොදවල කරපු ක්‍රියාන්විතයක් නොවෙන හින්දා. කෝම හරි කමක් නෑ අපිටත් චන්ද්‍රිකාවක් තියෙනවා හරිය.

බංගලිදේශයේ TRC එක විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් මඟින් ඩොලර් මිලියන 250 ක් විතර වියදම් කරලා ලෝකේ නම ගිය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන Theles Alania සමාගම වෙතින් මෙම චන්ද්‍රිකාව මිලදී අරගෙන ටෙස්ලා කාර් කම්පැනියේ අයිතිකාර ගරු ඉලොන් මස්ක් මහත්තයා හට අයිති SpaceX කම්පැනියේ Falcon 9 රොකට්ටුවකින් තමා මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන්නේ.


ටොන් තුනහමාරක් විතර බර මෙම චන්ද්‍රිකාව පෘථිවියේ ඉදල කිලෝමීටර් 32000 ක් විතර දුරින් පිහිටන ස්ථාවර කක්ෂයක රදවනු ලබන අතර කෙලින්ම පෘථිවි තලයේ බංගලාදේශයට ඉහලින් රදවන නිසා චන්ද්‍රිකාවේ චලනය පෘථිව භ්‍රමණ වේගයට සමානව ගමන් කිරීමෙන් මුළු කාලය පුරාම බංගලිදේශයට ඉහලින් පිහිටුවීමට කටයුතු කරනවා. ඒක නිසා කිසිදු බාධාවකින් තොරව පැය විසි හතරෙම සන්නිවේදන පහසුකම් සපයන්නට හැකි වෙනවා. ඔය කක්ෂයට කියන්නේ geostationary Transfer Orbit කියලා.

හප්පා කියන්න අමතක උනා නේ මේ චන්ද්‍රිකාවේ නම බංගබන්දු -1. බංගබන්දු කියන්නේ බංගලිදේශය ස්ථාපිත කිරීමට මූලික වෙච්චි ෂෙයික් මුජිබර් රහමන් මැතිතුමාගේ සුරතල් නාමය. (බංගලියන්ගේ මිතුරා කියන එක තමා බංගබන්දු කියන්නේ) බංගබන්දු මුස්පිකර් රහිම් හැක්

ඉතිං මේ චන්ද්‍රිකාව යවන රොකට්ටුවත් විශේෂිත එකක්. ස්පේස්එක්ස් ආයතනය මේ අවුරුද්දේ යවන අටවැනි රොක්ට් එක තමා මේක. අද යවන රොකට්ටුවේ මූලික කොටස (බූස්ටරය) නව මාදිලියක ප්‍රථම රොකට්ටුව. ඔය කිව්ව බූස්ටරේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිසි වේගයකින් තල්ලු කරාට පස්සේ නිකම්ම වැටිල චුත වෙලා නොයා ආයි මූද මැද්දෑවට බාගන්න තමා මස්ක් උන්නැහේ වෙහෙස මහන්සි ගන්නේ. මේ වෙනකොට ඔය රොකට් ආපහු බාන එක සම්බන්ධව ස්පේස් එක්ස් කම්පැනියට හොද පලපුරුද්දක් තියෙනවා. මේ පෙබරවාරි වලදි යවපු තඩි රොකට් එකක් බූස්ටර් දෙකක් එකම තැනකට බාන්න පුලුවං වෙච්චි විත්තිය දන්නවා ඇති නේ. 


ඉතිං චන්ද්‍රිකාවක් හිමි 57 වන රට බවට පත් වන බංගලාදේශයට අපි සුභ පතමු.

මෙන්න රොකට් දෙක බාන හැටි.


පලි - රොකට්ටුව යවන හැටි ලයිව් බලන්න කැමති අය ඩේටා කපාගන්නත් කැමති නං මේ ලින්ක් එකේ තියෙන ලයිව්ස්ට්‍රිම් එකට රිමයින්ඩර් එකක් දාගන්න. (මෙන්න ලින්කුව (තදට ඔබන්න)) හැක්

Update - රොකට්ටුවේ ස්වයංක්‍රීය පද්ධතියේ අවුලක් නිසා බන්දුව උඩ යවන්න බැරි වෙලා. ලංකා වෙලාවෙන් 12 පාන්දර යවන්නයි දැං ලැහැස්තිය.

Friday, December 22, 2017

සුභ උපන්දිනයක් රාමනුජාන්!! (130th Birth Anniversary of Srinivasa Ramanujan)

ලෝකයේ සිටි ගණිතඥයක් අතරින් විශිෂ්ටතමයා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් ය. ඔව් යුරේකා යුරේකා යුරේකා තමා. තරල විස්තාපනය සම්බන්ධව එහෙම නැත්නං මොකක හරි ගිලිල තියෙන වස්තුවක් ඒකේ බරට සමාන තරල ප්‍රමාණයක් විස්තාපනය කරනවය කියන නියමය හොයාගත්තේ මෙතුමා තමා. ඒ වගේම අයිසැක් නිව්ටන්, ලියොනාඩ් ඉයුලර් වගේ ගණිතඥයන් කවදත් විශිෂ්ට පුද්ගලයන් ලෙස සැලකෙනවා. ග්‍රැවිටි එහෙම නැත්නං ගුරුත්වය සම්බන්ධව, චලනය සම්බන්ධව නියමයන් සොයා ගත් නිව්ටන් මහත්තයත්, ඝණ වස්තුවක ශිර්ෂ, දාර හා මුහුණත් අතර සම්බන්ධය පිළිබඳ සමීකරණයක් සොයාගත්ත ඉයුලර් මහත්තයත් තමා අපේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරේ. තව තියෙනවා ඔය අවකලනය, අනුකලනය හොයාගත්ත එකා අහු උනොත් නං අම්මප උල තියනවා. හැක්.

මේ සියළු ගණිතඥයන් අතරේ විධිමත් ගණිත අධ්‍යාපනයක් නොලද එහෙත් විශිෂ්ටතම පරිකල්පන හා ගණිතමය දැනුමකින් සන්නද්ධ පුංචි පුද්ගලයෙක් අපේ අල්ලපු රටේ ජීවත් උනා බෝම කාලෙකට කලින්. ස්වයං දැනුමෙත් පෝෂිතව ඉතාම කුඩා කාලයේදී පවා බරපතල ගණිත ගැටළු විසදූ මේ පුද්ගලයා පසුකාලීනව ඉදිරිපත් කරපු සමහර ගණිත සමීකරණ තවමත් විසඳා අවසන් නැහැ. ගණිතමය ක්‍රමයකින් ඔප්පු නොකරන ලද ඔහුගේ සමීකරණ විසදීම, ඔප්පු කිරීම අනාගත ගණිතඥයන්ට ඉතුරු කර තැබීම ඒ අයගේ වැඩ වැඩි කිරීමකි. ඔහුගේ එක් සමිකරණයක් විශ්වයේ ඇති කළුකුහර පිළිබඳව අධ්‍යනයට යොදා ගත හැකි බව ඔප්පු කර පෙන්වා ඇත්තේ 2012 වර්ෂයේදීයි.

ලෝක යුද්ධය පැවති කාලයේ ජීවත් වූ මේ මිනිසා ජීවත් වූයේ ගණිතය සඳහාමය. ලෝකයට ඔහුගෙන් බොහෝ දේ ලැබෙන්නට, ගණිතයට අපරිමේය වූ සේවයක් කිරීමට ඔහුට තිබූ හැකියාව අවාසනාවත්ත ලෙස වසර තිස් දෙකක් වෙද්දී නිමා කොට යන්නට සිදු වීම ඇත්තෙන්ම ශෝකජනකය. 

1920 අප්‍රේල් 20 වැනි දින ඉන්දියාවේ මදුරාසියේදී අකාලයේ සමුගත් අප විද්වතා ඉපදුනේ 1887 අද වැනි දිනකය. එනම් දෙසැම්බර් 22 වැනිදාය. වර්ෂ 2012 දී ඉන්දියානු ජාතික ගණිත දිනය දෙසැම්බර් 22 වැනිදා ලෙස අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං විසින් නම් කරනු ලැබූවේ මෙම විද්වතාට ගෞරවයක් වශයෙනි.



ශ්‍රීනිවාසා රාමනුජන් ඔබගේ 130 වැනි උපන්දිනය අපට තවම මතකය. 

පලි - රාමනුජාන් ගේ ජීවිතය අලලා තිරගත වූ The man who new Infinity චිත්‍රපටය අලලා කොළඹ ගමයා විසින් 2016 දී ලියනු ලැබූ පෝස්ටුව හරහා ඔහු පිළීබඳ වැඩි විස්තර දැන ගත හැකිය. 

පපලි - අර බුකිය කලඹන දමිත් කේතක මහත්තයා දවසක් කිව්වා මතකයි රාමනුජන් ගැන ලියනවා කියලා. එහෙම ලියපු ඒවා තියේනං පිංවතෙක් ඒකේ ලින්ක් එක මෙතන එල්ලන්න. නැත්නං උන්නැහේව දැනුවත් කරන්න පොරොන්දුව ඉටු කරන්න කියලා.

Saturday, December 9, 2017

ඇලිසන් ස්ටෝකි (Allison Rebecca Stokke)

කව්ද ප්‍රසිද්දියට අකමැති. ඔව් බහුතරයක් කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියක් ලබා ගන්නට කැමතියි.එය විඳින්න කැමතියි. අපි කරන පොඩි දෙයකින් හරි දෙතුන් දෙනෙකුගේ ආකර්ශනය, ඇල්මක් බැල්මක් ලබා ගැනීම අති විශාල බහුතරයකගේ නොසිදෙන ආශාවක්. මේ ලෝකයේ මිනිසා උත්පත්තිය ලැබූ දා සිටම මේ තත්වය සාමාන්‍ය දෙයක්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා, පාරාවෝ රජවරු, ලෝක නායකයන් එහෙමත් නැත්නං සාමාන්‍ය මිනිස්සු පවා කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියට පත් වෙන්න කැමතියි.

දැං කාලේ නං ඔය හිටී ගමන් එක එක විදියේ ප්‍රසිද්ධ වීම් වෙනවා නේ. ලංකාවේ ඉන්න එක එක ජාතියේ තරු එක දිගටම “ලීක්“ කරගන්න ගත්තම අපිට තමා මඟුල්. ඇයි ඉතිං සතියකට සැරයක් වත් මොකක් හරි “ලීක්“ වෙච්චි එකක් බලන්න ලැබෙන එක කොයි තරං දෙයක්ද?

සනත් ජයසූරිය ලොක්කා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල විශේෂයෙන්ම ඉන්දියාව ඇතුලු ක්‍රිකට් ගහන රටවල් වල මිනිස්සු අතර කොයි තරං ජනප්‍රියද? ලංකාවේ උනත් ජයසූරිය කිව්වම නොදන්න හාල්පාරුවෝ ඉන්නේ කීයෙන් කී දෙනාද? නැද්ද මං අහන්නේ. අන්න ඒ හාල්පාරුවොත් ජයසූරිය කව්ද කියල මේ ඉවර වෙන්න යන අවුරුද්දෙදි දැනගත්තා කියල කිව්වොත් ඔහේල එකඟ නොවී ඉන්න එපා. ජයසූරිය “ලීක්“ කරගත්තම මිනිහව නොදන්න කට්ටියක් ජයසූරියව දැනගත්තා. ජයසූරියට පස්සේ හොද එකෙන්ම ලීක් කරගත්ත කෙනෙක් තමා හෂිනි ගෝනගල. ඒක නං නාන සයිස් එකටම. මං උනත් ඇත්තටම දැනං උන්නේ නෑ හෂිනි ගෝනගල කියන්නෙ කව්ද කියලා. හැබැයි මේ සිද්ධිය නිසා දැනගත්තා එයා නිළියෙක්ය කියන එක. මං වගේ කොයි තරං ප්‍රමාණයක් හෂිනි ගෝනගල කව්ද කියල හොයල බලල දැනකියාගත්තද කියලවත් ඔය බුකි ඔස්තාර් නෝනල මහත්තුරුන්ට ගානක් මිම්මක් ඇතිය කියල මං හිතන්නේ නෑ. හැබැයි කවදාවත් නොදැන හිටිය හෂි කව්ද කියන එක දාස් ගානක් නැත්නං ලක්ෂ ගානක් දැනගන්න ඇතිය කියල මම නං සහසුද්දෙන්ම දන්නවා.

දැං එතකොට හෂීනි ගෝනගල ලංකාවේ ප්‍රසිද්ධ උනේ එයා ප්‍රසිද්ධ වෙන්න ඕන විදියටද? නිළියෙක් විදියට ලංකාවේ ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක් අදාළ නොවන හේතුවක් නිසා එක රැයෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ හේතුව නිසා අන්තර්ජාලයේ රැල්ලක් වෙමින් පැතිරෙමින් හෂිනි, පිරිමින්ගේ ආදරයට ගෞරවයට හුහ්. නෑ නෑ පිරිමින්ගේ චෛතසික ලිංගික ආසාවන් පිනවන සංකේතයක් බවට පත් උනා. මේ වගේ යමක් අන්තර්ජාලයේ බලවත් ලෙස පැතිරෙනවට අපි සිංහලෙන් කියන්නේ viral sensation කියලයි. හෂිනි වගේ පිරිමින්ගේ ආදරය දිනාගන්නවට සිංහලෙන් කියන්නේ sex symbol එකක් වෙනවා කියලයි.

මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. හෂිනිට ප්‍රසිද්ධිය ලැබුනේ එයාට ඒක ලැබෙන්න ඕන විදියට නැත්නං අදාළ විදියටද? මම නං කියන්නේ නෑ කියලයි. හැබැයි ඔය වැල බ්ලොග් සයිට් වලනං තිබ්බා ඒ වීඩියෝ ලීක් කරේ එයාමය කියලා. ඒවා අපි දන්නෑ. කෝම උනත් හෂිනිට ජනප්‍රියත්වය ලැබුනේ එහෙම නැත්නං ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයක් බවට එයාව පත් උනේ එයාට අදාළ නොවන විදියකට නං නෙමෙයි. මොකද හෂිනි උවමනාවෙන්ම නිරුවත් වීම එහිදි සිද්ධ වෙලා තියෙනවා. මෙතනදි වැරැද්ද උනේ වීඩියෝ ලීක් වීම නිසයි.

හැබැයි එහෙම තුන් හිතකවත් අදහසක්, කිසිම සාධකයක් නැතිවත් හිතාගන්න බැරි විදියට ලෝකය පුරාම පිරිමින්ගේ කාමුකත්වයේ දේවාලයේ සෙක්ස් සිම්බල් එකක් වෙන්න සිද්ධ වෙච්චි පුංචි කෙල්ලෙක් ගැන මං අද කියන්න යන්නේ. මේ කතාව එවැනි අනවශ්‍ය කාරණා නිසා ප්‍රසිද්ධිය ලැබ එය දරාගැනීමට ශක්තියක් නොමැති අයට හොඳ උදාහරණයක් සහ මඟ පෙන්වීමක් වේවි.

ඇලිසන් ස්ටොකි.. (Allison Stokke) ගැනයි මං අද කියන්න යන්නේ.

අවුරුදු දාහතක ඉස්කෝලේ යන කෙල්ලෙක් කාලෙදිම ක්‍රීඩා පිටියෙදි I repeat ක්‍රීඩා පිටියෙදි මුහුණ දෙන්න වෙච්චි මංඤ්ඤං සිදු වීමක් නිසා ලෝකය පුරාම අනවශ්‍ය කාරණයක් වෙනුවෙන් පිරිමින්ගෙ දේවාලේ බිත්ති වල ලගින්න ඇයට සිද්ධ උනා. අපි කතාව පටන් ගමු.

කව්ද මේ ඇලිසන් කියන්නේ. එයා මොනවද කරන්නේ?

ඇලිසන් ගේ සම්පුර්ණ නම ඇලිසන් රෙබෙකා ස්ටොකි. ඇලිසන් උපන්නේ 1989 මාර්තු 22 දින ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේදීයි. ඇයගේ පියා ඇලන් ස්ටොකි.. නීතිඥයෙක්. අම්මා සින්ඩි ස්ටොකි. ඇලිසන්ගේ අයියා ජිම්නාස්ටික් ක්‍රීඩාවට සම්බන්ධ වෙච්චි නිසා ඇලිසන් ඉස්කෝලේ කාලෙදිම අයියත් එක්ක ක්‍රීඩා කටයුතු වල නිරත වෙන්න ගත්තා. හැබැයි මේ ජිම්නාස්ටික් සෙල්ලම එයාට හරියන්නේ නැති නිසා ඇලිසන් වෙනත් ක්‍රීඩාවක් තෝරගත්තා. ඇලිසන් තෝරගත්තේ රිටි පැනීමේ ක්‍රීඩාව. ඇයට රිටි පැනීමේ ක්‍රීඩාව ස්වභාවයෙන්ම පිහිටි තිබූ අාකාරයට ඇය ඒ ක්‍රීඩාවට නැඹුරු උනා විතරක් නෙමෙයි ඊට ආසක්ත වෙන්න ගත්තා.

රිටි පැනීම ගැන කෙටියෙන්

දන්නවා නේද රිටි පැනීම. ලංකාවෙත් තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි ලෝකයේ කොතනකවත් රිටි පැනීමේ ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි. ලංකාවෙත් මේ දවස් වල රිටි පැනීමේ ශූරියක් ඉන්නවා ජනිතා ජෙගතීශ්වරන් කියලා. ඇය යාපනයේ පදිංචිකාරියක්. සැප්තැම්බර් මාසේ තිබුන යොවුන් මලළ ක්‍රීඩා උළෙලෙදි ඇය විසින්ම කලින් පිහිටුවා තිබු ජාතික වාර්තාව මීටර් 3.47 ක් ලෙස අලුත් කරන්නට ඇය සමත් වී තිබුනා. ලංකාවේ රිිටි පැනීමේ ඉසව් ගැන කියද්දී අමතක කරන්න බැරිම පුද්ගලයා තමා ආතර් ක්ලීටස් ඩෙෆ්. කෙටියෙන් නං ඒසී ඩෙෆ්. තවත් පහසු කරනවනං ලංකාවේ වත්මත් අග්‍රවිනිශ්චයකාර ප්‍රියසත් ඩෙෆ් මහතාගේ පියා. ඔහු හැට හැත්තැව කාලේ ලංකාවේ හිටිය රිටි පැනීමේ ශුරයා. ඒසී ඩෙෆ් ගේ නමට තිබූ රිටි පැනීමේ වාර්තාව අලුත් කිරීමේ අලුත්ම ආරංචිය අපට අරන් ආවේ පසුගිය කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළදියි. එහිදි එම් එච් අයි සඳරුවන් ක්‍රීඩකයා මීටර් 5.11 ක උසක් පනිමින් ලංකාවේ රිටි පැනීමේ වාර්තාව අලුත් කරා.


ඇලිසන් රිටි පනියි.

රිටි පැනීමේ ඉසව්ව පිළිබඳ ආසාවක් සහ උවමනාවක් තිබු පුංචි ඇලිසන් අවුරුදු 15 දී ඇමරිකාවේම රිටි පැනීමේ කනිෂ්ඨ ශුරිය වෙනවා. අඩි දොළහමාරක උසක් පනිමින් ඇය ජාතික වාර්තාවක් පිහිටුවන්න සමත් වෙනවා. ඔය විදියට ආරම්භ උන ඇලිසන්ගේ රිටි පැනීම ඇයගේ වයසේ අයෙකුට එහා ගිය දක්ෂතාවයක් විදියටයි පිළිගන්නේ. ඇයි විසින් පිහිටුවා තිබු වාර්තාව අඩි දොළහයි අගල් 8 ක් ලෙස අලුත් කරන්නට 2004 දී ඇයට හැකි වෙනවා. ඇය ඉතා ශක්තිමත් සහ ක්‍රිඩාව කෙරෙහි ඒකාත්මික වෙමින් තව තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටියා. 2005 අවුරුද්දෙදි වයස දාහතක් වූ ක්‍රීඩිකාවකට කල නොහැකි යැයි සිතූ අය පුදුමයට පත් කරමින් අඩි 13 අගල් පහයි තුන්කාලක් උස පනිමින් ඇය විසින්ම තබා තිබු වාර්තාව අලුත් කරන්නට මේ විස්මිත හැකියාවෙන් හෙමි දියණියට හැකි වෙනවා. මේ වගේ දක්ෂතාවයක් දැක්වූ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමක මට්ටමට ලගා වෙතැයි බොහෝ ක්‍රීඩා විචාරකයන් පවා අපේක්ෂා කරන දෙයක්. 2005 වර්ෂය වෙද්දි ඇලිසන් ඇත්තෙන්ම ශක්තිමත් සහ ක්‍රීඩාව කෙරෙහිම සිත යොමු කල අයෙක්. ඒ කාලය තුල ඇලිසන් පිහිටුවා තිබු ජාතික වාර්තා ගණන පහක්. මේ වාර්තා හේතුවෙන් ඇයගේ ක්‍රීඩා දක්ෂතාවය මුළු රටේම ඇයගේ සම වයසේ ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් අභිබවා යන දක්ෂතාවයක් බවත් කියන්න පුලුවන්.

අන්තිමට කියල තියෙන වාර්තාව මීටර් වලින් ගත්තොත් මීටර් 4.11 ඉක්මවා යනවා. ජනීතා විසින් ලංකාවේ ජාතික රිටි පැනීමේ වාර්තාව මීටර් 3.47 ක් විදියට මේ වසරේ යොවුන් ක්‍රීඩා උළෙලෙදි අලුත් කිරීමත් එක්ක සලකා බැලුවම ඇලිසන්ගේ දක්ෂතාවය කුමක්ද යන්න ඔබට දකින්න පුලුවන්.

පාසැල් කාලය නිමා කරන්නට අවුරුද්දක් තියෙද්දිම ඇලිසන් මුලු ඇමරිකාවේම කතා වෙන ක්‍රීඩා තරුවක්. ඇය ගැන ජාතික තලයේ පුවත්පත් වල පවා වාර්තා පල උනා. නැවත නැවතත් වාර්තා තබමින් ඇලිසන් විසින් රිටි පැනීමේ ක්‍රීඩාවේදි දක්වන දක්ෂතා එන්න එන්නම ඔපමට්ටම් වෙන්න ගත්තා. ඇය විසින් පිහිටුවා තිබූ වාර්තාව නැවතත් එම වසරේදිම අඩි දහතුනයි අගල් හයයි තුන්කාලක් ලෙස අලුත් කරන්නට ඇයට හැකි වෙනවා. මේ ආකාරයේ රිටි පැනීමේ ජාතික (කනිෂ්ට) වාර්තා බිදහෙලීමත් පාසැල් ක්‍රීඩිකාවක විසින් සිදු කලාය යන්න බහුතරයක් ඇමරිකානුවන්ට පවා පුදුමයක්. බොහෝ තැන් වල කතා උනේ ඇලිසන් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාවි කියලයි.

එක් ඡායාරූපයක් - ලෝක ප්‍රසිද්ධියක්

2007 දී වයස 17් වූ අැලිසන් පාසැල් තරඟයක් අතරතුර රිටි පැනීම සඳහා තම වාරය එනතුරු බලා සිටින අයුරු දුටු එක් ඡායාරූප ශිල්පියෙකු ඇයගේ ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය අන්තර්ජාලයට එක් කර තිබුනා. මෙම ඡායාරූපය දුටු එක් වලත්ත බ්ලොග් රචකයෙකු එම පින්තූරය සඳහා අශ්ශීල උදෘතයක් යොදා ඔහුගේ බ්ලොගයේ පළ කළ විට එය දුටු ඔහුගේ පිටකසන මුග්ධ ලිිංගික අහේනියෙන් පෙලෙනා කියවන්නන්ද (අපේ නං පිටකසන්නන්) එම ඡායාරූපය සඳහා විවිධ අර්ථකතන දෙමින් නැවත නැවත ෂෙයා කර තිබුනා. මෙම ඡායාරූපය ලැව්ගින්නක් මෙන් ඇමරිකාව තුල අන්තර්ජාලයේ හුවමාරු වී පසුව මුලු ලෝකය පුරාම ඉතා වේගයෙන් පැතිර යන්න උනා. මේ කිසිත් නොදන්න ඇලිසන් තමන්ගේ රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියා.

මේ ඡායාරූපය පලකර තිබුනේ ක්‍රීඩාව සම්බන්ධ විනෝදජනක දේ, අසභ්‍ය දේවල්, ගොසිප් පල කරනු ලබන බ්ලොග් අඩවියකයි. අඩවියේ මෝඩ රචකයා වයස 17 ක් වූ දැරියකගේ පින්තූරයක් දැක ආහ්ලාදයට පත්ව, තම රතිය ඇවිස්සී එවැනිම මානසික අසහනකාරයන් සඳහා මේ පින්තුරය පල කර තිබු අයුරු දුටු විට ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා එම පින්තුරය ඉවත් කරන්නැයි මුග්ධයාට කොපමණ බලපෑම් කලද ඒවා සාර්ථක නොවීය.

එම ඡායාරූපය පල කර තිබුනේ ඉතා අශ්ශීල ග්‍රාම්‍ය යෙදුමක් වන Hubba hubba ලෙස සටහන් කරමිනි. යමෙකු කෙරෙහි තම සිතෙහි බලපවත්වන අසීමිත ලිංගික ආසාව පිළිබඳව ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. වයස දහහතක් වූ පාසැල් දැරියක එසේත් නැතිනම් ක්‍රීඩාවක යෙදී සිටින පාසැල් ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා ඇදුම් අතරින් තම පහත් ලිංගික ආසාවන් දැකිය හැක්කේ නරුමයෙකුට එසේත් නැතිනම් පහත් ලිංගික ආසාවන් ඇත්තෙකුට පමණක් බව මගේ හැගීමයි. ඒ අනුව එම ඡායාරූපය දැක “සුපිරි ලස්සනයි“ කිවු අයට එහා ගොස් “පට්ට බඩුව“, “ගහන්න නියමයි“ ආදි වශයෙන් සිතූ සියළු දෙනා සහ ඉදිරියට එසේ සිතනා අයද මුග්ධයන්, පහත් ලිංගික ආසාවන්ගෙන් යුක්ත වූවන් බව කීමටද මැලි නොවෙමි.

මෙන්න පින්තූරය


ඉතිං මෙම ඡායාරුපයෙන් සුරුපි බවට එහා ඇති තම සිතේ පවතින ලිංගික ආසාවන් දකින්නෝ මුග්ධයෝම වන්නාහුය.

පින්තූරයට පසු ඇලිසන්

මෙම ඡායාරූපය පලවූ වහාම එහි කිසිදු විශේෂත්වයක් නොදුටුවද ඉහත සඳහන් කල බ්ලොගයේ අශ්ශිල උදෘතයත් සමඟ එවැනිම වූ ඇස් වලින් ඡායාරූපය දෙස බැලීමට පෙළඹීම මත එය තටු ලබා පියාඹන්නට ගෙයක් ගෙයක් ගානේ තටු සලන්නට විය. පාලනය කල නොහැකි වේගයෙන් අන්තර්ජාලය පුරා ගමන් කල මෙම ඡායාරූපය හා ඇලිසන්ගේ තවත් ඡායාරූප නිසා තත්වය එන්න එන්නම බරපතල උනා. මුළු රටේම පිරිමින්ගේ ඒකායන ආසාවක් බවට පත් වූ ඇලිසන්ට වැඩි දවසක් යන්න කලින් ලෝකයේ මිලියන ගානක පිරිමින්ගේ ආසාවක් බවට පත් වෙන්නටත් සිදු උනා. හිතන්න අවුරුදු 17 ක නව යොවුන් තරුණියකට මෙවැනි කුප්‍රකට ප්‍රසිද්ධියක් නිසා මොකක් වෙන්න පුලුවන්ද කියලා. ඇය අතරමං වෙන්න, ජිවිතය එපා වෙන්න උනත් පුළුවන්.

මේ කිසිම දෙයකින් නොසැලුනු ඇලිසන්ට තවත් කල් ගත වෙද්දි එහි පීඩනය දරා ගැනීමට අපහසු වූ නිසා මෙම කටයුතු බලා කියාගැනීමට කළමණාකරුවෙකු පවා පත්කරගන්නට සිදු වෙනවා. ෆේස්බුක් එකේ මිතුරන් ගණනය කිරීමේ ක්‍රම වේදය පවා අභියෝගයට ලක් වෙන අයුරින් ඇයි මිතුරු ඇරියුම්, පින්තූර ඉල්ලීම්, අශ්ශීල කමෙන්ට් වගේම සුභවාදී කමෙන්ටුද ගංගාවක් සේ ගලා එන්නට උනා. ඇයගේ පියා ඇලන් මෙම තත්වය පාලනය කරන්නට හෝ නීතිමය පියවර ගැනීමට උත්සාහ ගත්තත් ඒ සියල්ල ව්‍යර්ත උණා.

මේ විදියට ඇයගේ රූපය ලෝකය පුරා සැරි සරද්දී ලෝකය පුරාම ඇය ගැන පත්තර වාර්තා පල උනා. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඇමරිකාව, නයිජීරියාව, එංගලන්නය ආදි රටවල ප්‍රධාන ධාරාවේ පුවත්පත් පවා ඇලිසන් ගැන වාර්තා පල කර තිබුනා. 

ඇලිසන්ට හිමි වූ කුපක්‍රට ප්‍රසිද්ධියක් සමඟ ඇය ඉමහත් ගැටළුවකට පත් උනේ කවදාවත් ඉවර නොවන සංසිද්ධියටයි. ෆොටෝ ෂුට් සඳහා දවසකට ඉල්ලීමි සියයකටත් එහා ලැබෙන කොට යන යන තැනදි මිනිස්සු ඇය දිහා ඇස් දල්වා බලා සිටින විට, ක්‍රීඩා කරන විටදී මීමැසි පොදි මෙන් ඡායාරූප ශිල්පීන් ඇය වටා එකතු වන විට තත්වය තවත් බරපතල උනා. මෙම තත්වය වක්‍රාකාරව ඇයගේ ක්‍රීඩා දක්ෂතා මොට කිරීමට පවා සමත් වීමෙන් කොයි තරං ජරාජීර්ණ බරපතල තත්වයකට පොඩි කෙල්ලෙක් විදියට ඇයට මුහුණ පාන්නට සිදු උනාද යන්න සිතා ගත හැකියි.

කෙසේ වෙතත් තව තවත් ක්‍රීඩාවේ යෙදෙමින් ඇයගේ රූපයට ඇති ඇල්ම අඩු කරන්නට ගත් උත්සාහයන් සාර්ථක උනේ නැහැ. ක්‍රීඩාවේ ඇය දක්වන දක්ෂතාවයන් අභිබවා ඇයගේ රූපය ගැන කතා කිරීම කොයි තරං ජුගුප්සාජනක, අනවශ්‍ය දෙයක්ද යන්න ඇලිසන් පසුව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනා.

මේ කිසිම දෙයකින් තව ක්‍රීඩා කටයුතු නතර නොකල ඇලිසන් තව දුරටත් රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වූ අතර, ඒ වන විට ලෝකයේ සිටි ජනප්‍රියම රිටි පැනීමේ ක්‍රීඩිකාව විදියට ඇලිසන්ව පත් කරන්නට තරම් මාධ්‍ය, සමාජ ජාල වලට හැකි වෙලා තිබුනා.

ඇලිසන්ට වූ බලපෑම්

ඇලිසන් යන යන තැනදි ඇය වටා රසිකයන් පොදි ගැහීම, පින්තුර ගැනීමේ තරඟය නිසා ඇලිසන්දැ ඩි මානසික පීඩනයට පත් උනා. ඇයට තමන් කියන කරන දේ පවා වෙනස් කර ගැනීමට සිදු අතර, තවත් කාලය ගත වෙද්දී ඇයගේ ජීවිතය එකම අපායක් බවට පත් උනා.  මේ වන විට ඇලිසන්ගේ රූපය ගැන අන්තර්ජාලයේ සෙවුම් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබුණි. 

විශ්විද්‍යාල ජීවිතය
කුමන් තත්වයක් යටතේ හෝ තමන් ආදරය කරන රිටි පැනීමේ ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඇය කටයුතු කරේ නැහැ. ඒ අනුව සමාජයෙන්, සමාජ ජාල වලින් ඈත් වී තම කටයුතු කරගෙන යන්නට ඇලිසන් පියවර ගත්තා. ඇලිසන් විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තා හේතුවෙන් ඇයට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනා. එහිදී අධ්‍යාපනය වගේම ක්‍රීඩා කටයුතුත් සමානව කරමින් තව තවත් දක්ෂතා දක්වන්නට ඇයට හැකියාව ලැබුන අතර, තව තවත් වාර්තා පිහිටුවන්නටත් ඇලිසන්ට හැකි වෙනවා. එ් කොහොම උනත් ඇයට පාඩුවේ ඉන්න ලැබෙන්නෑ. විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටුවේ තිබු ඇලිසන්ගේ පින්තුරය ඉන් ඉවත් කරන්නට පාලන අධිකාරයට සිදු වන්නෙත් ඇලිසන්ට තිබු අසීමිත ඉල්ලීම් නිසයි. ඇලිසන් විශ්‍වවිද්‍යාලයෙන් පිට වන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිධරයෙකු ලෙසයි.


2012 ඔලිම්පික් ක්‍රීඩා
උපාධිය ලබා ගැනීමෙන් පසුව ඇලිසන් රිටි පැනීම ගැන ඇයගේ අවධානය දිගටම තියා ගන්නේ ඔලිමිපික් පරිසාදන මට්ටමට ලඟා වීමටයි. නැවතත් වාර්තා අලුත් කරමින් අඩි 14 අගල් තුනහමාරක් රිටි පනින්න ඇයට හැකි වෙනවා. මෙම වාර්තාවත් සමඟ ඔලිම්පික් ක්‍රීඩා තරඟ සඳහා සුදුසු කම් ලැබීමේ හැකියාව දකින ඇය මීට පෙර නොකල අයුරින් ඇයගේ පුහුණුවීම් වල නිරත වන්නේ අනෙක් සියළු දේවල් අමතක කරමින්. අමතක කරන්න එපා මේ කටයුතු මෙහෙම සිද්ධ වෙද්දිත් අර ඡායාරූප ඇගේ පිටු පසින් පැමිණෙනවා. කොතරම් බාධක මැදින් අධිෂ්ඨානයෙන් පුහුණුවීම් කලත් අවසානයේදී ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යන්නට ඇලිසන් නොහැකි වන්නේ අවාසනාවන්ත විදියට. අඩි 14 ක පරිසාධක මට්ටමට ලඟා වන්නට ඇයට නොහැකි වීමෙන් ඔලිම්පික් සිහිනය බොඳ වෙනවා. 

පින්තූරයෙන් වැඩක් ගැනීම
2007 දී රැල්ලක් විදියට ආරම්භ වූ ඇලිසන්ගේ කුප්‍රකට ජනප්‍රියතාවය නිසා ඇයට නිලියෙක් වන්නට, මොඩලින් කරන්නට වගේ නොසෑහෙන විදියට ඇයගේ රූපය භාවිතා කර මුදල් සෙවීමේ අවස්ථා රාශියක් ඇයට ලැබුනත් ඒ කිසිදු ඉල්ලීමක් ඇය පිළිගන්නේ නැහැ. ඒ සියල්ලෙන් ඉවත් වී තම කටයුතු කෙරෙහිම අවධානය යොමු කල ඇය 2015 වර්ෂයේදී අර ජනප්‍රියතාවයෙන් කුඩා ප්‍රමාණයක් තමා වෙනුවෙන් භාවිතා කිරීමට පියවර ගන්නවා. වෙනත් අයෙකු නම් අනිවාර්යයෙන්ම මේ වන විට තමන්ගේ රූපය ලෝකයට විකුණලා හමාරයි. එහෙනං ජීවිතයත් අපායක් වෙන තරමටට රූපය පාව්චිචි කරල හප කරල මෙලකහට විසික් කරලත් ඉවරයි මාර්කටින් ඔස්තාර්ල. කොහොම හරි ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩා සන්නාම වන Nike, Athleta  ආයතන වලින් ලැබුන වෙළද සන්නාම තානාපති තනතුරු ඇය විසින් භාර ගත්තා. එහෙත් සීමාසහිතව පමණක් එම කටයුතු වල නිරත වූ ඇලිසන් පසුව GoPro කණ්ඩායම සමඟ එකතු වී වැඩ කරන්නට ගත්තා. එතැනින් එහාට තවත් එක් සමාගමක් සමඟ පමණක් සම්බන්ධ වූ ඇලිසන් අනෙක් සියළු කාරණා පිටුපසට කොට තවමත් රිටි පැනීමේ ක්‍රීඩාවේ යෙදී සිටිනවා. 2017 වර්ෂයේදී ඇය විසින් වාර්තා කරන ලද පෞද්ගලික හොදම උස පැනීම තවමත් ඇයව ඔලිම්පික් ක්‍රීඩා වලට සුදුසු කම් ලබන තත්ත්වයකට පත් කොට නැහැ.

අවුරුදු දහයක් ඒ පින්තුරෙට

මම ඇලිසන් ගැන දැනගත්තේ ක්‍රික්ඉන්ෆෝ එකේ පහුගිය ඉන්දීය ටෙස්ට් මැච් වල ස්කෝර් බල බල ඉන්න ගමන්. අවුරුදු 10 කට පසු ඇලිසන්ට මොකද උනේ වැනි හෙඩිමකින් ESPN අඩවියේ තිබූ ලිපියක් කියවීමෙන් මම ඇලිසන් ගැන දැන කියාගත්තා. කුප්‍රකට ඡායාරූපය පලවී අවුරුදු 10 ගත උනත් ඇලිසන්ට තියෙන පිරිමි ඇල්ම බැල්ම අඩු වන්නේ නැහැ. එහෙත් ඇය ඉතා දක්ෂ විදියට ශක්තිමත්ව එය පාලනය කරගන්නවා. කාන්තාවක් විදියට සමාජයේ අනවශ්‍ය අවධානයකට අසීමිත විදියට ලක් වෙන කොට දෙපයින් නැගී සිටිමින් තව ජීවිතය පවත්වාගෙන යාම කොයි තරං අපහසු දෙයක්ද? සියළු දෙනාටම උවමනා උනේ ඇයගේ රූපය දිහා බලමින් සිතින් රමණය කරන්නට. එයින් පසුව ඇලිසන්ට ලැබුන පීඩා, අපහසුතා, මානසික පීඩනයන් ඉතා විශාලයි. කෙසේ වෙතත් තත්වය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරගෙන තවමත් තමන් ආදරය කරන රිටි පැනීම ක්‍රීඩාවේ නියැලෙන්නට හැකිවීම කියාපාන්නේ කාන්තාවක් විදියට ඇලිසන් ඉතා ශක්තිවන්ත පිරිමියෙකුටත් එහා සද්දන්තයෙක් කියලයි. අපායක් වූ තමන්ගේ ජීවිතය තව දුරටත් අපායට තල්ලු නොකර සිටිිමට හැකි වීමම ඇත්තේන්ම දක්ෂතාවයක්. මේ ලෝකේ පහළ වූ දක්ෂතම රිටි පැනීමේ ක්‍රීඩිකාව ඇලිසන් නොවුනත් මෙවැනි කුප්‍රකට, අපහසු තත්වයක් පාලනය කරමින් සතුටින් ජීවිතය පවත්වාගෙන යන දක්ෂතම සුරූපි ක්‍රීඩිකාව ඇය බව මට හිතෙනවා.

ඇලිසන් දැං මොකද කරන්නේ

ඔහෙලට කියන්න දැං ඇලිසන් නංගි බෝම සන්තෝසෙන් ඉන්නවා. ඇමරිකාවේ ගොල්ෆ් ගහන අයිය කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඇලිසන් නංගි එයත් එක්ක ලෝකේ වටේ යනවා විතරක් නෙමෙයි ඒ පින්තුර ඉන්ස්ටග්‍රෑම් එකේ එහෙමත් නිතරම දානවා. ඒවා බලන්න එයාගේ ලස්ස ගානක ෆලෝවර්ස්ලා සැදී පැහැදී ඉන්නවා. තාමත් ඉතිං එක එක ප්‍රශ්න දාන මුග්ධ පිරිමි නැතිවා නෙමෙයි. එහෙත් ඒ අයට කිට්ටු වෙන්න බැරි තරම් මානසික ශක්තියකින් ඇලිසන් නැගී සිටීම සමස්ථ ලෝකයටම ආදර්ශයක්.

පලි- ඇලිසන් ගැන පල වෙච්චි සියළුම ලිපි වල ඇලිසන්ගේ පින්තූර හත අටක් වත් අඩුගානේ තිබුනා. ඒත් මම පාව්චිචි කරේ අර පින්තුරය විතරයි. අනෙක් ඒවා අවශ්‍ය නම් සොයා බලන්නට පුලුවන්. ලිපිය තරමක් හෝ සාර්ථක එකක් යැයි සිතමින් පබිලිස් බටම ඔබමි. (කංකාණං අඩේ යටට වැදිල ඉන්නේ)

Friday, November 24, 2017

මන්සා මියුසා (Mansa Musa I)

ලෝකේ ඉන්න ලොකුම ධනපතියා වෙන්න පුළුවන් නං නියමයි නේ. ඒ වගේ පිනා චෑන්ස් එකක් අපේ ඇමේසන් ඩොට් කොම් එකේ අයිතිකාර ජෙෆ් උන්නැහේට ලැබුණා. ඒ කියන්නේ ලෝකේ දහතුන් වෙනි දනපතියා වෙච්චි ජෙෆ් අයියා එක පාරටම පළවෙනියා උනේ එයැයිගේ සමාගමේ කොටස් වල මිල එකපාරටම 13% කින් ඉහළ ගියපු නිසයි. ඒ නිසා ජෙෆ්ගේ ආදායම ඩොලර් බිලියන් 90 ඉක්මවලා ගියා. ප්‍රථම වතාවට තමා එක් අයෙකුගේ ආදායම ඩොලර් බිලියන අනූව ඉක්මවලා ගියේ. (බිලියන වලට බිංදු කීයද කියල මෙතනින් බලාගන්න.)

ඈ. එතකොට ඩොලර් බිලියන අනූව පන්නපු කව්රුවත් මේ ලෝක තලේ උන්නෙම නැද්ද? සියඹලා ගෙනැල්ලම නැද්ද?

බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පෘථිවිය මත ජීවත් වූ පොහොසත්ම පුද්ගලයා ඔය අපි හිතන බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා,  වොරන් බෆට් අංකල්ලා අතරින් කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ තෙල්නිධි හිමි ජෝන් ඩී රොක්ෆෙලර් තමා නූතන ලෝකයේ හිටිය පොහොසත්ම පුද්ගලයා. ඔහුගේ ආදායම ඩොලර් බිලියන 336 ක් විතර. කෝමද ඒ ගාන. බිල් ගේට්ස්ලා පස් හය දෙනෙක් ගන්න පුළුවන් ඒ සල්ලි වලින්. ඉතිං එතකොට එයාද මේ ලෝකේ ජිවත් වෙච්චි පෝසත්ම කෙනා. ඒත් නෑ අනේ. මෙච්චර කාලෙකට ජීවත් වෙචිචි පෝසත්ම පුද්ගලයා අපිට හමු වන්නේ ක්‍රි.ව. 1300 කාලේ බටහිර අප්‍රිකානු කලාපයෙන්. කොටින්ම කිව්වොත් ක්‍රි.ව. 1312 ඉදල ක්‍රි.ව. 1337 වෙනකල් අවුරුදු විසිපහක්ම මාලි රාජ්‍යෙය් අධිරාජයා වශයෙන් හිටියා මියුසා අධිරාජයා තමා මේ ලෝකේ ජීවත් වෙච්චි පොහොසත්ම පුද්ගලයා විදියට නිල වශයෙන් පිළිගන්නේ. මේ කරුණ 2012 දී විතර තමාටයිම්ස් සඟරාව තහවුරු කරල තිබුණේ. හැබැයි මේ කරුණ තරමක් විවාදසම්පන්නයි. බොහෝ ආර්ථික විද්‍යාඥයින් මේ කරුණට එකඟ වන නමුත් තවත් සමහරක් දෙනා ඒකට විරුද්ධයි. ඉතිං අපි එකඟයි කියන තැන ඉදල මේ කතාව කරගෙන යමු.

අන්තර්ජාලයෙන් මොහු ගැන සොයනවා නම් ඔබට පහසුවෙන්ම Mansa Musa කියල සෙවීමෙන් සොයාගන්න පුළුවන්. මන්සා කියල කියන්නෙ පැරණි භාෂා අනුව “රජතුමා“, “අධිරාජයා“ කියන එකයි. මන්සා මියුසා කියා හදුන්වන මේ අධිරාජයා දහ හතර වෙනි ශත වර්ෂයේදී මාලි අධිරාජ්‍යය පාලනය කළ බව සඳහන් වගේම ඔහු අවුරුදු විසි පහක් රජකම් කළ බවත් සඳහන්. නමුත් ඔහු මිය ගිය වර්ෂය සහ පාලනය කළ වර්ෂයන් නිසි පරිදි තහවුරු වී නොමැති බැවින් එක් තැනක ක්‍රි. ව. 1331 මිය ගිය බවත් තවත් තැනක ක්‍රි.ව. 1337 දී මිය ගිය බවත් සඳහන් වෙනවා. පුරාණ මාලි අධිරාජ්‍යය ස්වාභාවික සම්පත් අතින් පොහොසත් විශාල භූමි බාගයක පැතිරුණ රාජ්‍යයක්. දැනට අපි නම් වශයෙන් හදුනන සෙනගල්, ගැම්බියාව, ගිනිවා, අයිවරි කෝස්ට්, මාලි, නයිගර් කියන රටවල් වල භූමි කලාපය මේ අධිරාජ්‍යය ලෙස හදුනාගෙන තිබෙනවා. දහ හතර වැනි ශත වර්ෂයේදී වෙළදාම සහ මුදල් හුවමාරුව යන සියල්ල භාණ්ඩ හුවමාරුව හරහා සිදු වූ බව අපි දන්නවා. මාලි අධිරාජ්‍යය ලුණු සහ රත්රන් ආකර වලින් ගහන කලාපයක් වූ නිසාම නිසි ලෙස කළමණාකරණය කලේ නම් සෞභාගයේ හිනි පෙත්තටම ලං වන්නට හැකියාව තිබු රාජ්‍යයක් තමා මාලි අධිරාජ්‍යය. අද කාලයේ ලුණු වලින් පෝසත් වෙන්න පුලුවන්ද කියල හිතුනට ඒ කාලේ, ලුණු සහ රත්රන් තමා සියළු ගණුදෙනු වලදි මුදල් විදියට හුවමාරු උනේ. අපි කතා කරමින් ඉන්න කාලයේදී ලෝකයේ ලුණු සහ රත්රන් අවශ්‍යතාවයෙන් හරි අඩක්ම සැපයීමේ හැකියාව මාලි අධිරාජ්‍යයට තිබූ බව සදහන්. මේ කරුණ නිසා එහි පාලකයා පෝසතෙක් වීම අරුමයක් නෙමෙයි.

දැනට ගණන් බලා ඇති හැටියට කාලානුරූප උද්ධමන අනුපාතයන් සැලකිල්ලට ගත් විට මන්සා මියුසාගේ වර්තමාන ආදායම අවම වශයෙන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තියෙනවා. මේ ගණන ආසන්න වශයෙන් කිට්ටු වන්නේ නූතන ලෝකයේ පොහොසත්ම පුද්ගලයා වෙච්චි ඇමරිකානු ජාතික රොක්ෆෙල්ර්ට පමණයි. අනෙකුත් සියළු දෙනා මේ අහලකින් වත් තියන්න බැහැ. කලාපය තුල මාලි අධිරාජ්‍යයට ජලය පාලනය කිරීමේ අති විශේෂ හැකියාවක් තිබුනා. මොකද ලෝකයේ බටහිර අප්‍රි්කාවේ විශාලතම ගංගාව ලෙස සැලකෙන නයිගර් ගංගාවේ විශාල කොටසක් මාලි අධිරාජ්‍යය හරහා වැටී තිබීම මත ජලයේ බලයත් මාලි අධිරාජ්‍යය සතු උනා.


බ්‍රිතාන්‍යය ඇතුලු සියළු යුරෝපීය ජාතීන් දහ හතර වෙනි ශතවර්ෂය වෙද්දී දරිද්‍රතාවයෙන් සහ කුරිරු සිවිල් යුද්ධ වලින් මිරිකිල ඉදිද්දී, අප්‍රිකාවේ එක් කෙළවරක අධිරාජ්‍යයක් සාමයෙන් සමගියෙන් සහ සෞභාග්‍යෙයන් යුත්ව පැවතීමත්, දහ හත් වෙනි ශත වර්ෂය වෙද්දී මේ තත්වය මාරු වෙන්නටටත් දහ නම වන ශත වර්ෂය වෙද්දි බොබ් මාලේ ට I shot the Sherriff, Get up stand up for your rights වගේ ගීත කියන්නට සිදු වීමත් අහඹුවක් නෙමෙයි.

ලෝකයේ කිසිවෙකුත් නොදැන සිටි මාලි අධිරාජයාගේ තරම දැන ගන්නට හැකි වන්නේ හැත්ප්ම තුන්දාහකට එහා පිහිටි මක්කම වන්දනාව සදහා මන්සා මුසා පිටත් වූ දවසෙයි. ඒක වන්දනාවක් නෙමෙයි නයිල් නදිය අනිත් පැත්තට හැරුණා වගේ තියෙන්න ඇති.

මන්සා මියුසා රජකමට පත්වීමත් අපූරු කතාවක්. එකල මාලි අධිරාජයා වූ දෙවැනි අබුබකාරි රජු තම පිරිවරත් සමග මක්කම වන්දනාවේ සහ තවත් ඈතට ලෝකය ගවේශනය කරන්න යන්නේ ඔහුගේ දෙවැනියා වූ මියුසා කේයිටා හට තාවකාලිකව බලය පවරා දෙමින්. දැං කාලේ ජනාධිපති රට යනකොට අගමැතිට වැඩ බලන්න දීල යනව වගේ වැඩක් තමා ඒකත්. නමුත් කාලයක් ගත උනත් අබුබකාරි රජු නැවත නොපැමිණීම නිසා මියුසා කෙයිටා, පළමු මන්සා මියුසා වශයෙන් අධිරාජයා හැටියට පත් වෙනවා. පළමු වෙනි මන්සා මියුසා මාලි අධිරාජ්‍යෙය් දහ වෙනි මන්සා එහෙම නැත්නං අධිරාජයා විදියට සැලකෙනවා. ඔය රජකම කියන එක මියුසාගේ ඇගේම තියෙන්න එකම හේතුව තමා, මාලි අධිරාජ්‍යය බිහිකරපු සුන්ඩියාටා කේයිටා (Sundiata Keita) අධිරාජයා ඔහුගේ ළගම ඥාතියෙකු විම. ලේ වලට පාලන බලය එකතු වෙන හැටි නේද? 

කලින්කි ව්වත් වගේ මොහු භක්තිමත් මුසල්මානුවෙක්. ඒ නිසා හිතක් පහළ වෙනවා ශුද්ධ වූ මක්කම වන්දනාවේ යන්න ඕනය කියලා. ඉතිං දැං කාලේ වගේ හිතුන ගමන් ප්ලේන් එකක නැගල යන්න බැහැ මක්කම ඒ කාලේ. මේකට අඩුම ගානේ මාස හතරක් පහක් වත් ගත වෙනවා. සහරාව, ඊජිප්තුව පසු කරමින් හැතැප්ම තුන්දාහට අධික දුරක් ගෙවා දමමින් ඔටුවන් පිට මේ ගමන යන්න සිදු වෙනවා. මේ වන්දනාව සඳහා ඔහු සුදානම් වන්නේ මෙහෙමයි.

ක්‍රි.ව. 1324 දී ඔහු මාලි අධිරාජ්‍ය අගනුවර වන නියානි නුවරින් ගමන ආරම්භ කරන්නේ. (වර්තමානයේ ගිනියා රටේ තමා මේ නගරය තියෙන්නේ) ඔහුගේ ආවතේවකං කිරීමට හා ගමනට අවශ්‍ය බඩුභාණ්ඩ ගෙන යාම සඳහා හැට දහසක සේනාවක්,  රත්රන් කිලෝ දෙක බැඟින් රැගෙන යන වහලුන් හත්දාස් පන්සීයක්, එකෙකුට කිලෝ 130 කට බරිකින් යුතු රත්තරන් ගෙනියන ඔටුවන් සියයක් වශයෙන් මහා විශාල සේනාවක් එක්කයි ඔහු මේ ගමන පිටත් වන්නේ. ඊට අමතරව පූජකයන්, වෛද්‍යවරුන්, කෝකියන් ඇතුලු තමන්ට අවශ්‍ය සියළු අවශේෂ සේවා සපයන්නත් විශාල ප්‍රමාණයකුත් මීට සහභාගී වෙනවා. එතකොට හිතල බලන්න මියුසා රජු මේ ගමනට ගෙනියන රත්තරන් ප්‍රමාණය ටොන් එකහමාරකටත් වැඩියි. 

ඊජිප්තුව හරහා මේ ගමන යද්දී, ඔහු සිකුරාදා දිනයේ නවතින හැම තැනකදීම මුස්ලිම් පල්ලියක් ඉදි කරපු විත්තියකුත් සඳහන් වෙනවා. එතකොට පල්ලි විස්සක් විසි පහක් වත් හදන්න ඇති. ඔය අතරේ ඊජිප්තුවේ කයිරෝ නුවරට ටිකක් කලින් මේ මහා සේනාව ආපු නිසා ටික දවසක් කයිරෝවේ නවතිනවා. ටික දවසක් කිව්වට මාසයක් වත් ඉන්න ඇති මයේ හිතේ. ඔය අතරෙදි තමා මියුසා රජතුමා තමන් කව්ද කියන එක ලෝකෙට පෙන්නන්න ගත්තේ.

අර ගෙනාපු රත්තරන් පොලු අතරමගදිත් දුප්පත් මිනිස්සුන්ට බෙද බෙද ආපු මියුසා රජතුමා, කයිරෝවේ බොහෝ දුප්පතුන්ට කෙලින්ම රත්තරං පොල්ල ගානේ තෑගි දුන්නා. ඒ මදිවට පොඩි ආලවට්ටම් කෑලි ගන්න, කයිරෝව මතක හිටින්න කිසිම වටිනාකමක් නැති සිහිවටන ගන්න හෙමත් අර රත්තරන් පොල්ලම තමා භාවිතා කරේ. ඔයින් මෙයින් බෙදපු රත්තරං ප්‍රමාණය ඇස් අදහාගන්නට වත් බැරි තරං. ගියපු කට්ටිය කයිරෝවේ කඩවල් ගානේ ගිහිල්ල වියදං කරපු අති විශාල රත්තරං ප්‍රමාණයක් එක්ක කයිරෝව වැටුවේ හද්ද අමාරුවක. මියුසා රජතුමා බෙදපු රත්තරං වල ආනුභාවයෙන් මෑතකදි සිම්බාබ්වේ රාජ්‍යයට වෙච්චි අලකලංචියම කයිරෝවත් සිද්ධ උනා. හදිස්සියට දෝසි කෑල්ලක් ගන්න ගියත් දෝසි කෑල්ලට ගෙවන්න රත්තරං පොල්ලක්වත් ඕන වෙන සයිස් එකටම රත්තරං වල වටිනාකම අවප්‍රමාණය වෙන්න ගත්තා. මියුසා රජතුමා මක්කම වැදල ආයි එන කොට මේ වෙච්චි දේ දැකල, කයිරෝවේ වෙළෙන්දන්ගෙන් හිතාගන්නවත් බැරි ගණං වලට තමන්ම දීපු රත්තරං ටිකෙන් සෑහෙන්න ප්‍රමාණයක් ආයි අරන් ආවය කියලයි කියන්නේ. ඒ කියන්නේ හැට දහසක සේනාවට ආපහු අරන් යන්න පුළුවන් ප්‍රමාණයක රත්තරං ආයිත් මිලට අරගත්තලු. ඔයින් මෙයින් කයිරෝවේ වෙළදාම, ආර්ථිකය දරුණු පසු බැමකට ලක් උනා. අවුරුදු දොළහක් පහු ගිහිල්ලත් මේ වෙළදපොළ තත්වය නිසි තත්වයට පත් උනේ නැහැ. ඒ අනුව බලන කොට ඉතිහාසඥයින් කියන්නේ එක් පුද්ගලයෙකු විසින් රටක ආර්ථිකයට කරපු ලොකුම බලපෑම කරල තියෙන්නෙත් මියුසා රජතුමාය කියලයි.

මියුසා රජතුමා ආයිත් ගම්බිම් බලා යද්දි, මුස්ලිම් රටවල් වල හිටිය ඉස්ලාම් ආචාර්යවරුන්, ගෘහනිර්මාණ ශිල්පීන් ඇතුලු බොහෝ දෙකේ මාලි අධිරාජ්‍යයට කැඳවා ගෙන ගොස් ටිම්බුක්ටු නම් නගරයේ බොහෝ ඉස්ලාම් අධයාපන ආයතන, මුස්ලිම් පල්ලි හෙම ගොඩ නගල ඉස්ලාමය ප්‍රචලිත කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරල තියෙනවා. 

කොහොමින් කොහොම හරි ලෝකය නොදැන සිටි මහා ධනවතෙකු පිළිබඳව මුල් වරට යුරෝපය, අප්‍රිකාව වගේම අරාබියත් දැනගන්නවා. මියුසා රජතුමාගේ ධනවත් බව, පරිත්‍යාගශිලී බව වගේ බොහෝ දේවල් ගැන ලෝකය පුරා මිනිස්සු කතා වෙනවා. මට හිතෙන විදියට දහ හත් වන ශත වර්ෂයේදී පමණ තමන්ට පුළුවන් වෙච්චි වෙලාවක මාලි රාජ්‍යය ආක්‍රමණය කරල මේ වස්තු කොල්ල කන්න යුරෝපීයන් කටයුතු කරන්නෙත් ඔය හේතුව නිසාම වන්නට ඇති.

මියුසා රජු විසින් ඉඳි කරපු පල්ලී. විද්‍යාල අවුරුදු හත් අට සීයක් ගත වෙලත් තවමත් ටිම්බුක්ටු නුවර තියෙනවා. මේවායින් සමහර ස්ථාන යුනෙස්කෝව විිසින් පෞරාණික ස්ථාන ලෙස නම් කරල තියෙන අතරේ 2012 වර්ෂයේදි පමණ ටිම්බුක්ටු නගරය අත්පත් කරගත් නිහීන ඉස්ලාම් අන්තවාදීන් විසින් සමහර පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරල දාලා. ඒ අතරින් Sankore University නමින් තිබෙන පුරාවිද්‍යාත්මක පරිශ්‍ර යේ තිබූ පුරාණ අත්පිටපත් ලක්ෂ ගාණක් පුළුස්සා ඇති බවත් සඳහන්.

වසර විසි පහක් හොදින් පවත්වාවෙන ගිය මාලි අධිරාජ්‍යය, මියුසා රජුගේ ඇවෑමෙන් තවත් පරම්පරා දෙකක කාලයක් තුලදි අර කලින් කිව්ව යුරෝපීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරලි හේතුවෙන් විනාශයට පත් වෙනවා. මාලි අධිරාජ්‍යය අප්‍රි්කානු හා අරාබි වෙළද මාර්ගයේ සුවිශේෂම ස්ථානයක් වගේම, කලින් සඳහන් කරපු ටිම්බුක්ටු නගරය ප්‍රධාන වෙළද මර්මස්ථානයක් බවටත් පත් කරන්නට මේ රජතුමාට හැකි වෙනවා. සියල්ල අනිත්‍යයි කියන දේ වසර සියයක දෙසීයක ඇවෑමෙන් මාලි රාජ්‍යය විනාශ වීමෙන්ම අපට පැහැදිලි වෙනවා.

හරිනේ. දැං ඉතිං පොඩ්ඩක් තමන් හිතන විදිය වෙනස් කරගන්න වෙනවා. මේ ලෝකේ ජීවත් වෙච්චි පෝසත්ම මනුස්සයා කව්ද කියල ඇහුවොත් අපි දන්න අයට උඩින් පළමු වෙනි මන්සා මියුසා කෙයිටා රජතුමා ඉන්න බව අමතක කරන්න එපා.


මන්සා මියුසා රජුගේ යැයි සැළකෙන නූතන සිතුවමක්



පුරාණ සිතියමක මන්සා මියුසා රජුගේ රූපය සටහන් වී ඇති අයුරු (1375 Catalan Atlas)




Sankore Madrasa - සැන්කෝර් විශ්වවිද්‍යාලය

පලි - වැරදි, නිවරැදි කිරීම් සන්තෝසයෙන් භාරගනු ලැබේ.

References 
https://en.wikipedia.org/wiki/Musa_I_of_Mali
https://quizlet.com/10021963/islamic-empires-spread-of-islam-flash-cards/
https://en.wikipedia.org/wiki/Mali_Empire
http://www.blackpast.org/gah/musa-mansa-1280-1337
https://en.wikipedia.org/wiki/List_of_wealthiest_historical_figures
http://aplus.com/a/mansa-musa-is-richer-than-you-thought?no_monetization=true
https://www.jetpunk.com/blog/mansu-musa-not-the-richest-person-ever
https://www.dailystar.co.uk/news/latest-news/606334/billionaire-richest-man-earth-video-money-millionaire-cash-Mansa-Musa-gold-Mali-footage
http://www.softschools.com/facts/world_history/mansa_musa_i_facts/2208/
http://interestingfacts.tv/celebrities-facts/interesting-facts-about-mansa-musa-i-the-richest-man-of-all-time/
https://www.celebritynetworth.com/articles/billionaire-news/mansa-musa-the-richest-person-in-history-lived-a-pretty-bad-ass-life-heres-what-it-was-like-to-be-him/