“මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“
ඉස්සරහ වැටේ ඇල්බීසියා කෝටුවක් ගලවන්න උත්සාහ දරණ මනිමෙල් දිහා බලාගෙන කෝපාවිෂ්ඨ ව ඉන්න තම සැමියාට, සීතා බොහොම හෙමීට එහෙම කිව්වා. තමන්ගේ සැමියා උනත්, රංජන්ගේ තියෙන නහර ගති දන්නා නිසාම, තමන්ගේ කටින් පිටවෙච්චි වචන වලට තමන්ටම වගකියන්න වෙන විත්තියත්, රංජන්ට කියපු වචන වලට වඩා බර සාර ඇති වචන සමුහයක් එක පාරටම අහගන්නත් හැකියාව ඇති බව දැනගෙනම, සීතා මනිමෙල්ට පක්ෂව පළමු සාක්ෂිය ඉදිරිපත් කරා.
හැන්දෑවේ පාර දිගේ වැනි වැනි ආපු මනිමෙල්, එක පාරටම ආවේසයෙන් වගේ තමන්ගේම වැටේ ඉන්නක් කිසිම වගවිභාගයකින් තොරව ගලවන කොට අයිතිකාර රංජන් මහත්තයා මොනව කරන්නද? අඩුගානේ ඒ ගැන අහන්නවත් මනිමෙල්ට යුතුකමක් තිබ්බා නේද කියල හිතන කොටත්, මනිමෙල්, පස් අට්ටියක්ම එක්ක ඉන්න ගලවල අතේ උරුක් කරගෙනත් ඉවරයි. සීතාගේ කතාව නිසා තරමක් සන්සුන් වේච්චි රංජන් නෝක්කාඩුවෙන් වගේ මනිමෙල් එක්ක කතාවට පැටළුනා.
“මනිමෙල්, උඹට තියෙන හයිය මොකක්ද මගේ වැටේ ඉනි ගලවන්න. ගිය සතියේ ඉන්නක් ඉගිල්ලුවෙත් උඹම තමා. ආයි නැතිය කියන්න එපා.“
ක්රාස් ගා කෙල පිඩක් බිම හෙළු මනිමෙල් උගුර දෙපාරක් විතර පාදාගෙන, වැටට බර දුන්නේ තමන් ඒකෙන් ඉන්නක් ගලවගත්ත එකට හිලව් වෙන්න වගෙයි. ඒ උනත් මනිමෙල්ට කෙලින් හිටං ඉන්න අමාරු බව සීතා නෝනා දැක්කා. කකුල් දෙක එක තැන තිබ්බත්, ඉන හරියෙන් පොඩි කැරකීමක් තියෙන්නේ වැටට හේත්තු වෙච්චි නිසා නොවෙන වග හැමදාම වගේ අදත් සීතා නෝනා තේරුං ගත්තා.
“ම්මහත්තයා.. මේකයි.. මගේ වරද.. මගේ වරද.. මං ඒක පිළිගන්නවා..“
එහෙම කියාගෙන අතේ තිබ්බ ඉන්නත් එක්කම දොහොත් මුදුන් දීලා රංජන් දිහාට හැරිල මනිමෙල් සමාව ගන්නවා. ඒ අතරේ අතේ තිබ්බ කෝටුව බිමට වැටුනම, එක අතක් නළලේ තියාගෙනම පහත් වෙලා කෝටුව අනිත් අතින් ඇහිදගෙන ආයේ දොහොත් මුදුන් තියාගන්නවා. තව ටිකකින් ආයෙත් කෝටුව බිම. පරණ පුරුදු විදියටම තමන්ගේ රංගනය කිසිම අඩුපාඩුවක් නැතිව කරන මනිමෙල් දිහා බලං හිටිය නෝනා මහත්තුරු ජෝඩුවට චිරිස් ගාලා එක පාරටම හිනා පැන්නා.
“හා හා උඹ පලයං මනිමෙල්. හැබැයි ආයේ ඉනි ගලවනව නෙමෙයි හරිද??“ රංජන් හිනාවීගෙනම කිව්වා.
“හර්ර්රි. ෂර්.. එහෙනං මට ෂමාවෙන්න.. මං ගියා. හරිනේ“ එක කකුලක් ඉස්සරහට තියන ගමන් මනිමෙල් කිව්වා. ඒ අතරෙත් කකුල පැටලිලා වැටෙන්න ගියාම,
“ඔහ්. බලගෙන බලාගෙන.. තමුසේ වැටෙයි..“ කියල රංජන් සද්දෙන් කිව්වට “මළ කරදරේ“ කියන ටික හෙමින් කියවුනේ.
චෙස් බෝඩ් එකේ ඉන්න නයිට් පනිනවා වගේ මනිමෙල් යන විදිය බලං හිටිය දෙන්නා ආයෙත් තමන්ගේ වැඩ පළ වලට යොමු උනේ, මනිමෙල්ව අමතක කරලා.
*****************************************************
පැයක් විතර යද්දී. එහා පාරෙන් මහ සද්දයක් ඇහෙනවා මිනිස්සු විස්සක් තිහක් විතර එක විකාරෙට කෑගහනවා. බැන ගන්නවා. කනේ තියල වගේ මේ සද්දේ රංජන්ට විතරක් නෙමෙයි සීතටත් ඇහුනා. ඒත් ඒක මොන දෙයක් ද කියන එක තේරුම් ගන්න ඝෝෂාව බාධා කරන නිසා, රංජන් හිමින්ම කඩුල්ල පැනල සද්දේ එන දිහාවට ගියා. කළුවර අතරෙම කව්ද කට්ටියක් මිනිහෙක්ව උස්සන් දෙස් දෙවොල් තිය තිය ටවුම පැත්තට යන විත්තිය රංජන් දැක්කා. හැබැයි මේක ගමක්ම ඇවිස්සුනු දෙයක් විත්තිය රංජන් දැක්කේ වැල නොකැඩි බාගෙට ඇදුම් ඇදගත්ත ගෑනූ පිරිමි ඔක්කෝම පෙරහැර වගේ ඒ පස්සෙන් යන කොටයි. තව ටිකක් පාර ඉස්සරහට ගිය රංජන් සිද්ධිය මොකක්ද කියල දැනගන්න නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ.
“ඒයි.. බන්දු... මොකක්ද බං වෙලා තියෙන්නේ“
“රංජන් මහත්තයෝ.. මහ අපරාදයක් නෙව. අර මනිමෙලාට කට්ටියක් ගහල අත පය බිදල දාලා“
“හැහ්.. ගමට ඇවිත් ගහලා.. “
“ඔව් ගිය සතියෙත් උන් ටික ඇවිල්ල සත්තමක් දාලා ගිහිල්ල තියෙන්නේ. අද හරියටම වැඩේ දීලා“
“ඉතිං උඹල කොහේද ඔය යන්නේ“
“අපි මනිමෙලාව ඉස්පිරිතාලෙට දාලා පොලෝසියට යනවා.“
**************************************************
“මනිමෙල්.. උඹට මොකද උනේ“ රංජන් බොහොම කාරුණිකව, ලණු ඇදේ දපල අත පය වෙලාගෙන හිටිය මනිමෙල්ගෙන් ඇහුවම, අමාරුවෙන් කටහඩ අවදි කරපු මනිමෙල් මුමුණන්න ගත්තා.
“සර්.. මේ යක්කු නොදන්න දේවල් වලට මාව ගාවගෙන“
“ඒ කිව්වේ...“
“සර් දන්නවනේ.. මම එම්බාම් කරන මිනිහා. ඔය මට ගහපු එකෙක්ගේ අම්මව එම්බාම් කරන්න මිනී පෙට්ටි සාප්පුවට ගෙනාපු වෙලාවේ ඒ වැඩේ කරේ මම“
“ඉතිං“
“ඒ වෙලාවේ ඔතන හිටිය කොල්ලෝ ටිකට එතනිං එළියට යන්න කිව්වත් ඇහුවේ නැතිව ඇතුලටම වෙලා හිටියා. කමක් නැතෙයි කිව්ව නිසා...“
ටික වෙලාවක් නිහඩව හිටිය මනිමෙල් ආයේ කටහඩ අවදි කරා.
“ඉතිං මං මගේ වැඩේ කරන්න ගත්ත මහත්තයෝ... ඉස්සෙල්ලම ඕක හෝදල අරගෙන මම පෝමලින් ගහන වැඩ ටිකත් කරගෙන, ඇද වෙලා තිබ්බ අතක් වැලමිට ගාවින් බිදින කොටම මැරිච්ච කෙනාගේ පුතෙක් ආවා ඇතුලට. ටකස් ගාලා සද්දේ ඇහුන විතරයි බීල හිටිය මූ මට ගහන්න පැන්නා. අත ළග තිබ්බ පිහිය අරන් මම ඌට ළගට එන්න එපා කිව්වේ, මහත්තයෝ බොඩිය බිමටවත් වැටුනොත් පුදුම අපලයක් නෙව වෙන්නේ.“
“මිනිහා මම කියන දේ අහන්නැතිව මට එතනදි ගැහුවා. ඒත් කමක් නෑ කියල හිටියට ඇද වෙලා තිබ්බ අනිත් අත කඩල කෙලින් කරන්න මුං ඉඩ දුන්නෙම නෑ. අන්තිමට පෙට්ටි සාප්පුවේ මහත්තයා ඇවිල්ල කියලත් ඒක කරන්න දුන්නේ නැති නිසා, උන් කියන විදියට අපි වැඩේ කරා. ඒ උනාට අත් දෙක එකතු කරල පෙට්ටිය හැදුවම එක අතක් උඩින් ගිහිල්ලයි තිබ්බේ. ඒක වස කැතයි මහත්තයෝ. මොනව කරන්නද ඒත් අර හාදයගේ කැමැත්ත නෙව“
“ඉතිං ඉතිං මනිමෙල්“
“මරණේ ඉවර වෙලා, දීපු බඩු ටික අරන් ගණං හිලව් ටික අරන් එන්න ගියාම, මරණ ගෙදර ඔක්කෝම නෑයෝ ටික එකතු වෙලා අපිට කඩා පැන්නා... ඒ විතරක් නෙමෙයි එදා මට ගහපු එකත් මට බැන බැන හිටියා. අන්තිමට එතනත් මහා කාලගෝට්ටියක් උනේ, අපි සල්ලිත් නොගෙන ඉතුරු බඩු ටික ගන්නෙත් නැතිව පැනල ආවේ මුන් එතන්දිම අපිට ගහල වාහනෙත් කුඩු කරන්න හැදුව නිසා“
“අන්තිමට මහත්තයෝ.. උනේ අර මොකාද එකාට වෙච්චි දේ.. බොඩිය හරියට හැදුවේ නැත්තේ මමෙයි කියල මුන් මට තර්ජනය කරා. ඊට පස්සේ තමා මට ගහල ඇටකටු ටික බිදල දැම්මේ. මං අර මහත්තයාගේ වැටේ ඉන්නක් ගලවන් ගියෙත් ඒකයි. බයටම... මුන් මොන වෙලාවේ හරි පාළු පිට්ටනිය හරියෙදි මට ගහයි කියල සැකේ තිබ්බ නිසා“
******************************************************
තවත් අවුරුද්දකින් විතර රංජන්ගේ අම්මා අන්තරා උනා. අම්මාගේ මරණේ වැඩකටයුතු කරන්න බාර දුන්නෙත් මනිමෙල් වැඩ කරන සාප්පුවටමයි. ඒ වැඩ ටික හොදට කරන්නං කියල මනිමෙල් කිව්ව නිසා, කව්රුත් කරනව වගේ බාගයක් ගෙනැල්ල දෙන්න රංජන් කටයුතු කරා. තවත් ටික වෙලාවකින් එම්බාම් කාමරේ ඉදල මනිමෙල්ගේ කටහඩ ඇහෙන කොට, රංජන් පාර කිට්ටුවටම ගියේ ඒ සද්දේ අහගෙන ඉන්න බැරි නිසාමයි.
“යකෝ... සුදා.. ගොං හරකා.. ඔහොම නෙමෙයි යකෝ මිටියෙන් ගහපං මැනික් කටුවට. අන්න හරි... දැං බෙල්ල ටිකක් කරකවල ඇජොස් කරපං.. ඇගිලි ටික නොකඩ එකට තියන්න බෑ යකෝ.. ඊට පස්සේ ගලව්ස් දෙක දාලා හරියට තියල මහපිය ඉදිකට්ටෙන්“
පාර දිහා බලන් හිටිය රංජන්ට, ඒ ළගම පාරේ දෙන්නෙක් ගේ දබරයක් බලන්න සිද්ධ උනා. උන් පොර කුකුල්ලු වගේ දගලනවා. ඒක වලක්වන්න වටවෙච්චි මිනිස්සු අතරින් කෙනෙක් දබරේ තුනී කරන කොට කියපු වචන ටික අහල රංජන්ට සීතව මතක් උනා.
“මිනිහ හරිම අහිංසකයෙක්.. එපා මිනිහට කරදර කරන්න“