මං අමරදේව මාස්ටර්ගේ සිංදු අහන්න පටන් ගත්ත හැටි, ඒකේ ආරම්භය කොහොමද කියල කල්පනා කරන්න ගත්තා. ඔය කාලේ ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ අපේ සමාජයේ තිබුනෙ ටෝප් තව්සන්ඩ්, බ්‍රේක් ඩාන්ස්, රොක් ඇන්ඩ් රෝල් ඔව්වා මෙව්වා නිසා අමරදේව මාස්ටර් සිංදු කියනව අහන එකත් නිකම්ම හිටගෙන නින්ද යන කාරණයක්.. මට මතකයි “අපෝ ඔය නිදිමතයන්ගේ සිංදු අහන්න බෑ නිකම්ම නින්ද යනවා“ කියල කියපු අවස්ථා හිටං තිබුනා. කොහොම උනත් ද්විතියික පුර්ෂ ලක්ෂණ (පුර්ව ළමා විය පහු කරාට පස්සේ (??)) පහල වෙන්ට වෙන්ට කොල්ලා සංවේදි වෙන්ට ගත්තා. බොහොම සද්දෙට අහපු ජැක්සන්ලගේ, ටිෆනිලගේ සිංදු වලින් ගොඩ යන්න බැරි තරමට ජීවිතේ අමාරු වෙන්න ගත්තා. එහෙම කියල අපි අතෑරියේ නැහැ. අපි ජේසන් ඩොනවන් අයියගේ Sealed with a Kiss එක්ක හරි ගොඩ යන්න හැදුවා. ඒත් බැරි නං ජෝජි මයිකල් අයියගේ කෙයාලස් විස්පර්, ලාස්ට් ක්‍රිස්මස් ඒ වගේ තව ඕන තරං සිංදු තිබුන ඔය නිදිමතයන්ගේ සිංදු අතාරැල අපේ ගමන යන්න නං.
ඒත් මොකක් හරි හේතුවකට කරුමෙකටද මන්දා සේකරගේ සක්වාලිහිණි කවි පොත ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන ඈනුං ඇරල කියවන්න ගත්තට පස්සේ නිකම්ම නින්ද යන්න ගත්තා. ඇත්තටම ඔය කවි දාන හරිම මලදාන.. කවදාවත් හරියට කියවන්නත් බෑ. කියවල ඒ හාදයා කියන දේ තේරුං ගන්නත් බෑ. අන්තිමට අපි තේරුං ගත්ත එක මේකයි කිව්වම ඒකට ලකුණූ බිංදුවයි. ඔන්න ඔහොමයි කවි. ඒත් මේ සක්වාලිහිණි පොත කියවං යද්දි හරි අමුතු විදියට එක එක කවි එක එක විදියට පයට ගැට ගහල වගේ හැගීමක් ආවා. අන්න ඒකත් එක්ක කවි යුරේකා.. විරේකා නෙමෙයි වෙන්න ගත්තා. ඒකෙන් මේකෙන් මහගම සේකර කියන හාදයා තවත් කවි පොත් ලියල තියෙයි කියල ඒකෙන්ම හොයාගෙන් ඒවත් හොයාගන්න මහන්සි උනා. ඔය විදියට මහගම සේකර ලියපු කවි පොත් කිහිපය උඩින් පල්ලෙන් කියවද්දි තමා “ප්‍රබුද්ධ“ හමු උනේ. ඒ කවි පොත හරියට පාර පෙන්නන යාළුවෙක් වගේ ළගින්ම ඉන්න කොට මේ කවි මිහිර හිතට දැනුනා. ඔහේලට කියන්න මාත් ඔය සේකරගේ කවි එහෙම කියවල ඒ කාලේ කවි පොත් ලිව්ව කියල මතක ඇති නේද? ඔව් ඉතිං දුකයි තමා සමාර කවි පොත් අනං මනං පුච්චල දාන්නත් උනා. ඒකට වග කියන්න ඕන අර ඩුඩ්.. මොකද මිනිහත් ඒවා පුච්චපු විත්තියක් මට ලාවට වගේ මතකයි. ඉතිං ඔය කවි ලියපු පොත් වල අන්තිමම අන්තිම පොත, ඒක පිටු අසුවක කොටුරූල් පොතක් විතරක් යන්තං ඉතිරි වෙලා තාමත් ඔපිසියේ ලාච්චුවක වැඩ ඉන්නවා. මං අරගෙන බැලුවා ඒකේ මුලින්ම මොකක්ද ලියල තියෙන්නේ කියලා.. අහන්නත් දෙයක්යැ.. ඔන්න බලන්න පින්තුරේ.
ඔය විදියට සේකරගෙන් මගේ ජීවිතේට ලොකු බලපැමක් ඇති උනා. ජීවිතේට ඇහැ අැරල නොබලන සමහර දේවල් දිහා ආයාසයකින් තොරව ඇස් ඇරල බලන්න පුලුවන් කම ලැබුනා. ඔන්න ඔය විදියට තමා සේකර නින්ද යන සිංදු හෙමත් ලියල තියෙනවා කියල දැනගත්තේ.. අනේ මන්දා ඊට පස්සේ නං ඔව්වට නින්ද යන සිංදු කියල කියන්නේ නෑමයි කියල හිතාගත්තා. අන්න එදා ඉදල මාත් අමරදේව මාස්ටර්ගේ නින්ද නොයන සිංදු අහන්න ගත්තා.
එකිනෙකට වෙනස් වූ අමරදේවගේ මෙලඩි නිසාත් ඒ කටහඩ නිසාත්, ඒ කටහඩ විරහවට අපුරුවට ගැලපෙන විරහී හඩක් කියල කියන්න පුළුවන්. අර මාගල් රවි උන්නැහැ කිව්ව වගේ මින්දද හී සර සිංදුවට මාත් බෝම මනාපයි. බීපු දවසට එක පාරට දෙපාරක් කියන සිංදුවක් ඒක... මං හිතන්නේ ඒක විතරයි මට කියන්න පුළුවන් එකම සිංදුව. ඒ උනාට විරහ දුක විදින කොට අමරදේව මාස්ටර්ගේ සිංදු වලින් හිතට කටු අනින්න ගන්න සිංදුව මෙන්න මේක.
පෙම් රළ පතරින්..
නිබඳව නැහැවෙන..
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ...
මා තනිකරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා
“මා තනිකරදා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා“ ඕකේ තේරුම හරියට ආවද දන්නෑ උනත් ට්‍රයි කරපු ක්‍රෂ් වෙන කොල්ලන් එක්ක යාළු වෙලා ඉන්නව දකින කොට ගෙදරට වෙලා හූල්ල හූල්ල ඔය කෑල්ල ඇහුවත් හිතට සැපයි.. නැද්ද මං අහන්නේ.
ඒ වගේම තව ලස්සන සිංදුවක් තමා පිපුන කුසුම පරවූවා.. බබර කිකිණි ගොළු උනා
ඔය අතරේ මට ඒ දවස් වල සංගීත පිස්සුවකුත් තිබුනා. මාස්ටර් මැන්ඩලින් ගහනවා වගේ ගෙදර වයලීන් ගහල ඒක පුරුදු උනා වගේ මාත් වයලීන් ගහන්න පුරුදු උනා. ඒත් මට ඒක හරියන්නෑ. මං දක්ෂ නෑනේ. ඉතිං මම ඕර්ගන් එකට මාරු උනා. ඒක කියල පහසුවක්යැ. ඒ්ත් මාස්ටර්ගේ සඳ හොරෙන් හොරෙන් බලා වළාකුලක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා සිංදුවේ ටට ටට ටා ටට ටට ටා කියල ඉන්ටෝ කෑල්ලක් තියෙනවා. අන්න ඒකනං මරුවට මට ඔර්ගන් එකෙන් ගහන්න පුලුවන්. CC DD C CC DD C.. බැරි අය මගෙන් ඉගෙන ගන ඕක ගහල බලන්න.. පර්ෆෙක්ට් ආ..
මං කටුබැද්දේ අවුරුදු ගානක් තෙපර බාන වෙලාවේ ඔය පැත්තෙ කම්පීටර් සර් කෙනෙක් අල්ලගෙන කම්පීතර කරුණු ටිකක් ඉගෙන කියාගත්තා. එයා ඉතිං ටික කාලයක් යද්දි මගේ හොද ප්‍රෙන්ඩ් කෙනෙකුත් උනා. මිනිහගේ ගෙවලුත් කොරළවැල්ලේ.. නෑ ඇල්බට් නෙමෙයි වෙන නමක් තිබුනේ. කොහොම හරි මේ හාදයා මාව ගෝල්පේස් කෝට් වල තිබුන කම්පීතර ක්ලාස් එකක සී+ කරන්න ක්ලාස් එකකට දැම්මා. පොරත් යනවා මාත් එක්ක. අපි යන්නෙත් කෝචිචියේ. ගිහිල්ලා එන ගමන් ගල්කිස්සට වෙලා ටික වෙලාවක් ඉන්නවා කෝචිචිය මාරු වෙන්න. අන්න ඒ අතරෙදි මිනිහා අනිවා කියන සිංදුවක් තියේ. ඒක තමා
කරදර පොදි බැද
ගැලපිට පටවා
කරුමයේ කරගොනු
පෙරටුව අරගෙන
මේ ජිවන මග අපි යනවා
ඔය සින්දුවත් ජාතික ගීය තරමටම හිතට වැදුන එකක්.
කොාහොම උනත් මාස්ටර් මේ කාලේ ඇතුලත අපිට හිතට කරදර ආපු වෙලාවට ඒ කරදර වැඩි කරන්න දීපු සහයෝගය අමතක කරන්න පුළුවන්ද? ඔය ඔකකෝමටත් හරි යන්න. මෙන්න අමරදේවගේ මං වැඩියෙන්ම අහපු සිංදුව.. ජනප්‍රිය නැති උනත්.. ඔබේ දැසයි ඔබේ දැසයි පැටලිලි සහගතයි මට.
සුභ ගමන් මාස්ටර්.. තැන්ක්ස් ෆෝ බීයින් විත් අස්..