Sunday, January 31, 2016

පුංචි නයිටින්ගේල්!! (The Nightingale)



ඔය කට්ටිය දන්නව නේ චීනයේ අධිරාජයා වෙන්නේ චීන ජාතිකයෙක්. ඒක නිසා එයා වටේ ඉන්න හැමෝමත් චීන ජාතිකයෝම තමා කියලා. මේ කතන්දරේ සිද්ධ වෙලා සෑහෙන්න කාලයක් උනත්, කාටත් අමතක වෙන්න කලින් මේක කියන්න ඕන නිසාමයි දැං මං කතාව කියන්න යන්නේ.

අධිරාජයාගේ මාළිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විශ්මිත නිර්මාණයක් කියල කියන්න හැකියි. උද්‍යානයේ පිපෙන්නේ ඉතාම දුර්ලභ මල් වර්ගයි. මේ අතරිනුත් ලස්සනම මල් වල මුදුනේ පුංචි රිදී සිනු සවි කරල තිබුන නිසා ඒ කන්කළු සීනු නාදය ඇසෙන තාක් කිසිම කෙනෙකුට මේ මල් දිහා නොබල එතනින් පා තබන්න සිදු වන්නෙ නැහැ. ඔව්. අධිරාජයාගේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම නියම සැළසුමකට අනුවයි සිද්ධ උනේ. කොහොම උනත් උයන්පල්ලවත් දැනං හිටියේ නෑ මේ උද්‍යානයේ දිග පළල හරියටම කොයි තරංද කියලා. ඒ තරං විශාලයි. කිසිවෙකු මේ උද්‍යානයේ ඇතුලටම ගමන් කරනවා නං එයාට දැකගන්න පුළුවන් උසට උසේ ගස් වැවුන, ගැඹුරු විල් තියෙන කැලෑවක්. මේ කැලෑව අවසන් වෙන්නේ නීල වර්ණ ගැඹුරු මුුහුදට. ඒක නිසා මේ මුහුදේ ගමන් කරන නැව් අර කලින් කිව්ව ගස් වල අතු වලට යටින් තමා ගමන් කරන්නේ. මෙන්න මේ විශාල ගස් උඩ එක නයිටින්ගේල් කුරුල්ලෙක් එය තමාගේ වාසබවන කරගෙන හිටියා. නයිටින්ගේල් කුරුල්ලගේ නාදය කොයි තරං ප්‍රීතිමත් ගීතයක්ද කිව්වොත්, මුහුදේ මාළු අල්ලන්න දැල් එළන්න යන කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා ඒ ගීත අහන්න නිතැතින්ම මොහොතක් නතර වෙනවා.

“කොයි තරං ඉමිහිරි නාදයක්ද?“ කියල කියන ධිවරයාට ඊළග මොහොතේදී නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව අමතක උනාට ඊට පහුවෙනිදා රෑට දැල් එළන්න යන කොටත් “කොයි තරං ඉමිහරි සංගීතයක්ද?“ කියල කියන්න නං අමතක වෙන්නෙ නැහැ.

ලෝකයේ විවිධ රටවල් වලින් දහස් ගණන් සංචාරයෝ එනවා අපේ අධිරාජයාගේ රටට, ඒ නගරයට. හැම සංචාරකයෙක්ම මේ නගරයේ ඇති විසිතුරු බව ගැන දැඩි ලෙස සතුටු වෙනවා. ඒ වගේම අරුම පුදුම මාලිගාව, විශාල උද්‍යානය දැකක්ම ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. ඒත් ඔවුන්ට අර නයිටින්ගේල් කුරුල්ලගේ ප්‍රීතිමත් ගීතය ඇහුනම ඔවුන් හැමෝම එක ලෙසින්ම කියන්නේ “මේ රටේ තියෙන හොදම දේ“ ඒ ගීතය කියලයි.

මේ සංචාරකායෝ ආපහු මව්රට ගියාම එකිනෙකාට නයිටින්ගේල් කුරුල්ලගේ ගිතය ගැන කියනවා. ඒ වගේම දැනුමැති සංචාරකයෝ චීන අධිරාජයා ගැන , එතුමාගේ මාලිගාව, රාජකීය උද්‍යානය ගැන මනරම් සංචාරක සටහන් ලියන කොට ඒ අයට කවදාවත් අමතක නොවෙන එක දෙයක් තමා අපේ නයිටින්ගේල් කුරුල්ලා ගැන ඉහලින්ම වර්ණනා කිරීම. එහෙම ලියපු දේවල් පොත් විදියට මුද්‍රණය වෙලා මුලු ලෝකේ පුරාම බෙදා හැරලත් තියෙනවා. ඒ අතරේ කවියන් අපේ නයිටින්ගේල් කුරුල්ලගේ ගීතය ගැන විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ පවා මුද්‍රණයෙන් නිකුත් කරල තියෙනවා.

මේ පොත් බොහොමයක් ලෝකේ පුරාම යනවා වගේම ඒවයින් කීපයක් චීනයටත් එනවා. තවත් පොත් කිහිපයක් අධිරාජයාගේ මාලිගාවටත් ලැබෙනවා. ඉතිං මෙහෙම ලැබෙන පොත්, කියවන අපේ අධිරාජයා එයාගේ රට, මාළිගාව, උද්‍යානය ගැන අනේකවිධ වර්ණනා කරල තියෙන හැටි දැක්කම සන්තේසයෙන් කුල්මත් වෙනවා. ඒත් මේ හැම දේටම වඩා වර්ණනා කරල තියෙන්නේ “නයිටින්ගේල් කුරුල්ලා“ ඇරත් මුද්‍රණය කරපු පොතක.

“මේ මොකක්ද... නයිටින්ගේල්“ අධිරාජයා පුදුම වෙනවා. “මේක වෙන්න පුලුවන්ද,. මගේම අධිරාජ්‍යයේ මගේම නගරයේ මගේම රාජකීය උද්‍යානයේ ඉන්න කුරුල්ලෙක් ගැන පිටරැටියෝ මෙච්චර වර්ණනා කරද්දී මං ඒ ගැන දන්නේ නැහැ. මට දැං ඒ ගැන හොයන්නම වෙනවා“ අධිරාජයා හිතන්න පටන් ගන්නවා.

ඉතිං මේ ගැන අහන්න අපේ අධිරාජයා තමන්ගේ වැඩ බලන සාමිවරයා කැඳෙව්වා. තමන්ට වැඩිය පහළ නිලයක ඉන්න කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ උඩගු සාමිතුමා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ.

“මේ මිනිස්සු කියනව නේ අරුම පුදුම සිංදු කියන නයිටින්ගේල් කුරුල්ලෙක් මගේ උද්‍යානයේ ඉන්නවා කියලා.. ඒ මදිවට මගේ අධිරාජ්‍යෙය් තියෙන වැදගත්ම දේත් ඒ කුරුල්ලලු. ඇයි මේ ගැන මාව දැනුවත් කරල නැත්තේ..??“ අධිරාජයා කෝපයෙන් විමසනවා.

“උතුමාණනි, ඔය කියන නම මම මීට කලින් අහල නැහැ. ඒ වගේම ඔය නයිටින්ගේල් කාරයා කවදාවත් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ“ අපේ සාමිවරයා උත්තර දෙනවා.

“මම අණ කරනවා අද හවස් වෙනකොට මේ කුරුල්ලා මගේ ඉදිරිපිටට පමුණුවල සිංදු කියවන්න ඕන කියලා. තේරුනාද.. අම්මප මේ ලෝකේ ඉන්න හැම එකාම මට වැඩිය දන්නව නෙව මට තියෙන දේවල් ගැන“ අධිරාජයා අණ නිකුත් කළා.

“උතුමාණෙනි, මා මේ ගැන හාංකවිසියක් නොදන්නවා උනාට ඔය නයිටින්ගේල් ව හොයල මං ඔය හාදයම උතුමාණන් ළග දන්ගස්සවනවා“ අපේ සාමි වරයා යටහත්ව උත්තර දෙනවා.

කොහෙන් කියන හොයන්නද? සාමිතුමා උඩට දුවනවා. පල්ලේහාට දුවනවා, මාලිගේ හැම කාමරයක් ගානේ කෝරිඩෝවක් ගානේම දුවනවා. ඒත් මේ නයිටින්ගේල් ගැන දන්න කිසිවෙක් එතුමාට හමු උනේ නැහැ. ඉතිං ඒක නිසා සාමිතුමා ආයිත් අධිරාජයා ගාවට දුවනවා. “අනේ උතුමාණනි, මේ කාගේ හරි බොරු කතාවක් වෙන්ටැති. එක්කෝ මේ පොත් කාරයෝ හිතිං මවාගත්ත එකක් වෙන්ටැති. නැත්නං මහා රහසක් වෙන්ටැති. සමා අවසර මට කිසිම හෝඩුවාවක් ලැබුනේ නැහැ උතුමාණනි“ දනින් වැටී අපේ සාමිතුමා තමන්ගේ විමර්ශනය ගැන අධිරාජයාට තොරතුරු දැනුම් දුන්නා.

“මේ පොත මගේ ආරණිය මිත්‍රයෙක් වෙන ජපන් අධිරාජයා එවපු පොතක්. ඒක නිසා මේක කොහෙත්ම බොරු ගොතාපු, මඩ පත්තර පොතක් වෙන්ඩ බැහැ. ඒක නිසා අද හවස් වෙද්දි මට මේ නයිටින්ගේල් හොයල ගෙනැත් දෙන්න ඕන. නැත්නං දන්නවා නේ මම අධිරාජයෙක්. මුළු රාජ සභාවෙම ඉන්න උන්ගේ බුරිය යටින් හිල් කරනවා. තේරුනාද.. යනවා දැං“ අපේ අධිරාජයාට බොහොම කේන්ති ගිහින්.

“ගැත්තාට අනුකම්පා කරත්වා උතුමාණනි“ කියමින් බයේ ගැහි ගැහි සාමිතුමා ආයිත් උඩට දිව්වා, කාමර ගානේ කොරිඩෝ ගානේ දුවන්න ගත්තා. ඒ පාර රජ සභාවෙන් බාගයක්ම සාමිතුමාත් එක්ක දුවන්න ගත්තා, ඇයි ඉතිං කව්ද කැමති බුරියට පහලින් හිලක් විදගන්න.

මේ නයිටින්ගේල් ගැන විශාල වශයෙන් ප්‍රශ්න කරන්න, සාක්කි කැඳවන්න කටයුතු කරල තිබුනා. මුලු ලෝකේම මිනිස්සු දැනගෙන හිිටියට තමන්ගෙ රටේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදි මේ ගැන යමක් දන්න කෙනෙක් ඔවුන්ට හමු උනා. ඇය කුස්සියේ වැඩ කරන දුප්පත් අහිංසක ගැනු ළමයෙක්.

“ආ. අපේ කුරුල්ලා.. මං එයාව හොදට දන්නවා. ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හැම හවසකම මම යනවා ලෙඩ වෙලා ඉන්න අපේ අම්මට මේ ඉතිරි පහද වෙච්චි කෑම ටික දීල එන්න. ඈ ඉන්නේ වෙරළ අයිනේ නේ. කැලේ මැද්දෙන් යන කොට මහන්සි නිසා මම අර උස ගස් තියෙන තැන නවතිනවා. ඔන්න එතකොට තමා මට ඒ සිංදුව ඇහෙන්නේ. ඒක ඇහුවම මගේ ඇහැට කඳුලුත් එනවා. ඒක හරියට අම්මා මාව ඉඹිනවා වගෙයි දැනේන්නේ“ අහිංසක දරුවා එහෙම කිව්වා.

“දරුවා. මං උඹව අද පටන් ජිවිතාන්තය දක්වාම ප්‍රධාන අරක්කැමියා විදියට පත් කරනවා. තව ඕන නං අධිරජ උතුමා අහර කිස කරන ආකාරයත් බලන්න දෙන්නං. හැබැයි මං එහෙම කරන්නේ ඔය ළමයා අපිව අර රාජ සභාව ඉදිරියේ පමුණුවන්න නියමිත නයිටින්ගේල් කාරයා ගාවට අරගෙන යනව නං විතරයි“ සාමිවරයා දැරියට කරුණාවෙන් මේ ටික කිව්වා.

ඉතිිං මේ කට්ටිය ඔක්කෝම නයිටින්ගේල් කුරුල්ලා හොයාගෙන කැලේට ගියා. ඒ අතරේ රාජ සභාවේ බාගක්ම බයටම කැලේට ගියා. ඒ යන අතරේ කැලේ මැදදි ගවයෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“ඕහ්.. අන්න ඇහුනද. ඒක තමයි. කොයි තරං බලසම්පන්න කටහඩක්ද පොඩි ඇගක් තිබුනට.. මං හිතන්නේ මට ඇහුනේ නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව“ එක සභිකයෙක් සතුටෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“අයියෝ නැ. ඒ හරකෙක් කෑ ගාන්නේ. අපි තව දුර යන්න ඕන“ පත්වීම් ලබන්න නියමිත ප්‍රධාන අරක්කැමියා කිව්වා.

ඊට පස්සේ පඳුරු අස්සේ ඉදල ගෙම්බෝ කෑ ගාන සද්දේ ඇහුනා.

“පුදුමයි. විශ්මයජනකයි. පල්ලියේ සීනුවා නාද වෙනවා වගේ මට දැං ඇහෙනවා“ තවත් සභිකයෙක් කියවන්න ගත්තා.

“අයියෝ ඒ ගෙම්බෝ බක බක ගාන්නේ.. තව ටික දුරයි“

ඔන්න එතකොටම නයිටින්ගේල් කුරුල්ලා සිංදු කියන සද්දේ ඇහෙන්න ගත්තා.

“අන්න ඒක“ පුංචි ගෑනු ළමයා කිව්වා. “සද්ද කරන්න එපා.. අහගෙන ඉන්න. අර අර ඈත වාඩි වෙලා ඉන්නේ“ ගහක අත්තක වාඩි වෙලා ඉන්න පුංචි අළුපාට කුරුල්ලෙකු දිහාට අත දිගු කරමින් ඇය ඔවුන්ට කුරුල්ලාව පෙන්නුවා.


“මේක වෙන්න පුලුවන්ද?“ සාමිතුමා මොර දෙනවා. “මම කවාදාවත් හිතුවේ නැහැ මෙයා මේ වගෙයි කියල. සමහර විට මේ ඇවිත් ඉන්න වැදගත් රාජ සභිකයෝ ටික දැක්කම මිනිහත් කළු වෙලා යන්න ඇති“ බෝම උඩගුවෙන් ඔහු කියන්න පටන් ගත්තා.

“පුංචි කුරුල්ලෝ.... අපේ ගරු අධිරාජ උත්මයන් වහන්සේට ඔයා කියන සිංදු අහන්න ඕනලු“ පුංචි දැරිවි කුරුල්ලට කිව්වා.

“හරිම සතුටුයි ඉන්න“ කියපු නයිටින්ගේල් තව ලස්සනට සිංදුව කියන්න ගත්තා.

“හරියට වීදුරු වලින් හදුපු සීනු වලිනි එන මිහිරි නාදය වගෙයි.. අර බලන්න උගේ පුංචි බෙල්ල වේගෙන් ගැහෙන හැටි. මට හරි පුදුමයි අපි මෙයා ගැන මීට කලින් අහල නැති එක ගැන.. කිසිම සැකයක් නෑ මෙයා රාජ සභාවෙදි ලස්සනට සිංදු කියාවි“ සාමි තුමා කිව්වා.

“අධිරාජ උතුමන් වෙනුවෙන් මං ආයිත් ගායන කරන්නද?“ නයිටින්ගේල් සතුටින් ඇහුවා.

“මගේ පුංචි කුරුලු පැටියෝ.. මම තමා ඔයාව උතුමාණන් ගාවට රැගෙන යන්න එවපු සාමිවරයා. ඔයා අද හවස රාජ සභාවේදි මේ දස්කම් දැක්විය යුතුයි. අපේ උතුමාණන් ඔබගේ මිහිරි නාදය නිසා බොහොම සතුටට පත්වේවි“ සාමිතුමා කිව්වා.

“මගේ සිංදු හොදට කියන්න පුලුවන් මේ කැලේ ඇතුලෙදි තමා.“ ඒත් අධිරාජයාගේ කැමැත්ත ඒකනං ඒකට ඉඩ දෙන්න ඕන කියල නයිටින්ගේල් මේ අයත් එක්ක රාජ මාළිගයට යන්න පිටත් උනා.

මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම මාළිගාව හොදින් සුදානම් කරල තිබුනා. පිගන් ගඩොල් බිත්ති, පොළව රන් පහන් දහස් ගානකින් නිකුත් කරන දීප්තිමත් කිරණ වැදිල දිලිසෙනවා. රිදී සීනු අමුණපු ලස්සන මල් පෝච්චි රාජ මාළිගය ඇතුලටම ගෙනැත් තිබුනා. මාලිගාවේ කොයි තරං කලබලයක් තිබුනද කිව්වොත් කව්රු හරි කතා කරනකම්ම එතැන නොයෙක් විදියට අර පුංචි සීනු අතොරක් නැතිව නාද වෙමින් පැවතුනා.

රාජ සභාව මැද්දෙම සිංහාසනයක් මත අධිරාජයා ආසනාරූඬ වෙලා හිටියා. නයිටින්ගේල් කුරුල්ල වෙනුවෙන් රනින් කළ ආසනයක් සකස් කරල තිබුනා. මුළු රාජසභාවම ඇවිත් හිටියා උනත් අර පුංචි දැරිය රාජසභාවේ දොර පිටුපසින් නවත්තලයි තිබුනේ. සාමිතුමා විසින් නිල වශයෙන් ඇය “රාජකීය තඩිබාන්නා“ විදියට පත් කරල තිබුනා. හොදින් ඇද පෑලඳගෙන හිටු සියල්ලෝම රජතුමාගේ අනුමැතිය ලැබෙන හිස සෙලවීමේ විධානය ලැබෙන තෙක් නයිටින්ගේල් දිහාම බලාගෙන හිටියා.

අධිරාජයගේ ඇහෙන් කඳුලු කැට කඩා හැලිලා ඒවා කම්මුල් දිගේ ගලා යන විදියටම කුරුල්ලා ලස්සන සිංදුවක් කිව්වා. ඊට පස්සේත් බොහොම මිහිරි සිංදු එයා කිව්වා. ඒකෙන් රජතුමාගේ හදවත හොදටම මෙළෙක් උනා. අධිරාජයා කොයි තරං සංවේදි උනාද කිව්වොත් තමන්ගේ රන් සෙරෙප්පුවක් නයිටින්ගේල් කුරුල්ලගේ බෙල්ලේ එල්ලන්න තරං හිත් උනා. තමන්ට මේ වෙනකොටත් ලැබුණ පිළිගැනීම ප්‍රමාණවත් කියල කුරුල්ලා ඒ තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කළා.



“උතුමාණන්ගේ ඇහෙන් කඳුලු ගලා යන හැටි මම දැක්කා. ඉතිං ඊට වඩා තැග්ගක් තවත් නැහැ. අධිරාජයෙකුගේ කඳුලු කියන්නේ බොහොම බලසම්පන්න ආයුධයක්. මට උවමනා දේ ලැබුනා තවත් දේ ඕන නැහැ“ කිව්ව නයිටින්ගේල් පුදුමාකාර ලස්සනට ආයිත් ගයන්න පටන් ගත්තා.

“මේ වගේ ප්‍රසංගයක් අපි කවදාවත් දැකල නැහැ“ ආදිපාදවරියෝ මුමුණන්ට උනා. නයිටින්ගේල් ගැන තරහක් තිබුන මේ අය තමන්ගේ කටේ වතුර පුරවන් හිටියේ බැරි වෙලා හරි කව්රු හරි කතා කළොත් ගර් ගර් ගාලා කතා කරන්න. කවාදාවත් සතුටු කරන්න බැරි හැම දෙනාමත් කුරුල්ලගේ සිංදු නිසා සතුටු උනා. මුළු රාජ සභාවම සතුටට පත් උනා. ඉතිං හැම දිනකම රාජ සභාවේ පෙනී හිටින්න නයිටින්ගේල්ට සිද්ධ උනා. එයාට වෙනම කුඩුවක්, වෙනම කකුලට ගැට ගහපු පටියක් ඒ පටිය අල්ලගත්ත මිනිස්සු දොළොස් දෙනෙක් ලැබුනා. දවසට දෙවරක් පටියේ දුරට ඇවිදින්නත් ලැබුනා. ඒ ඇවිදින කොට නං ඒ තරං සතුටක් ලබන්න අපේ කුරුල්ලට බැරි උනා.

නගරයේ ඉන්න හැමෝම මේ ගැන කතා උනා. කොටින්ම අන්ත් කෙනා “ගේල්“ කියන්න කලින් කිසිම කෙනෙකුට නයිට් කියල ඉවර කරන්න ලැබුනෙත් නැහැ. කෝම හරි ඌරු මරන්නන් එකොලොස් දෙනෙකුගේ ම දරුවන්ට “නයිටින්ගේල්“ යන නම තියල තිබුනට ඒ කාටවත් සිංදු නං කියන්න බැහැ.

එක දවසක් අපේ අධිරාජයාට පාර්සලයක් ලැබුනා. ඒකේ ලියල තිබුනේ “නයිටින්ගේල් කුරුල්ලා“ කියලයි.


“ආහ්. මේ අපේ කුරුල්ලා ගැන තවත් පොතක් වෙන්ටැති කියල හිතාගෙන පාර්සලේ කඩපු අධිරාජයාට දැක ගන්න පුලුවන් උනේ, තමන්ගේ ආදරණිය මිත්‍ර ජපන් අධිරාජයා එවපු අරුම පුදුම සෙල්ලං කුරුල්ලෙක්. හරියටම නයිටින්ගේල් කුරුල්ල වගේමයි. ඒකේ තිබුනා යතුරක් ඒක කරකවල වයින් කරල තිබ්බම හරියටම නයිටින්ගේල් වගේම නැත්නං ඊටත් ලස්සනට සිංදු කියනවා. මේ යකඩ කුරුල්ලගේ බෙල්ලේ මෙන්න මෙහෙම වැකියක් තිබුනා. “චින අධිරාජයාගේ නයිටින්ගේල් හා සම කරන්නේ නම් ජපන් අධිරාජයාගේ නයිටින්ගේල් කුරුල්ලා ඉතා කුඩා දෙයකි“

මාලිගාවේ හිටි හැමෝම යඩක කුරුල්ලා ලස්සනයි කියල කියන්න ගත්තා. අන්තිමේදි මේ පෙට්ටිය අරං ආපු කෙනාට නිල වශයෙන් “රාජකීය ප්‍රධාන නයිටින්ගේල් බලාගන්නා“ වශයෙන් පත් කළා.

“අපි දෙන්නම එකට තියල සිංදු අහමු. ඒක මොන වගේ වේවිද බලමු“ සභිකයෝ යෝජනා කළා. ඉතිං දෙන්නම එකට සිංදු කිව්වා. ඒක එච්චර හොදට තිබුනේ නං නැහැ. මොකද නියම නයිටින්ගේල් තමන්ගේ හිතට එන සිංදුවක් කිව්වට යකඩ නයිටින්ගේල් එකම සිංදුව කිව්ව නිසා.

“නෑ නෑ මේක අලුත් එක්කෙනාගේ වැරැද්දක් නමෛයි. එයා හරි විදියට තාල තියනවා. මං කියල දුන්න වගේම“ රාජකීය සංගීතඥයා විස්තර කරන්න ගත්තා. එයින් මෙයින් යකඩ කුරුල්ලා තනියම සිංදු කියන්න දැම්මා. නියම නයිටින්ගේල් සිංදු කියනව වගේම එතකොට යකඩ කුරුල්ලා සිංදු කිව්වා. කිසිම වෙහෙසක් නැතිම එක දිගට එකම සිංදුව තුන්සිය තිස් පාරක් ලස්සනට කියන්න මෙයාට පුලුවන් උනා. ඒත් රාජසභිකයන්ට තවත් ඒක අහන්න ඕන උනත්, අධිරාජයා කිව්වා දැං අපි නියම කුරුල්ලාට අවස්ථාව දෙන්න ඕන කියලා. කෝ එයා.. කිසිම කෙනෙක් දන්නෙ නැහැ. අර සිංදුවට වහ වැටුන වෙලාවේ මේ කුරුල්ලා කොහාට හරි ගිහින්. එයා ඇරල තිබුන කවුලුවෙන් පියාඹලා ආයිත් තමන්ගේ පුරුදු වනයටම ගියා.

“එයා මෙහෙම යන්න හේතුවක් තියෙන්න එපැයැ“ කියමින් අධිරාජයා උන්නා.

අන්න එතකොට රාජ සභිකයෝ නියම නයිටින්ගේල් ද්‍රෝහියෙක් බවත් කෙළහිගුණ නොදන්න සතෙක් බවටත් දෝස්මුර කිව්වා. ඒත් ඊට වඩා හොද කුරුල්ලෙක් අපිට ඉන්න නිසා සතුටු වෙන්න පුලුවන් කියල රජතුමාවත් අස් වස්සන්න මේ අය අමතක කලේ නැහැ. යඩක කුරුල්ලා හැම අතින්ම වටිනවා කියල තමා අන්තිමට තීරණය උනේ. මොකද එයාගේ මිහිරි සිංදු, ඇගේ තිබුන රන් ආලේපය, මැණික්, දියමන්ති නිසා දිලිසෙන ශරිරය, ඒවා නිසා යඩක කුරුල්ලා නියම කුරුල්ලට වඩා වැදගත් බව මේ අය තේරුම් ගත්තා.

“නෝනාවරුණි මහත්වරුණි.. ඔබට දකින්න පුලුවන් නේද සියලු රාජකීය දෙයින් හෝ නියම නයිටින්ගේල් කුරුල්ලාගෙන් බලාපොරෙත්තු විය නොහැකි ස්ථිර යමක් මේ කෘතිම කුරුල්ලා වෙතින් අපට ලැබෙන බව. මොකද ඒකේ හැම දෙයක්ම පෙර සැලසුමකට අනුවයි වෙන්නේ. ඒක නිසා අතරමග වෙනස් කම් දකින්න ලැබෙන්නේ නැහැ. පරිපුර්ණතාවය කියන්නේ මේකට තමා. හරියට අධිරාජයෙකුගේ ජිවිතය වගේ.. හෙට මම මෙය මහජන ප්‍රදර්ශනය සදහා තබන්න නියම කරනවා.‘ අධිරාජයා මෙහෙම කියල පහු වෙනිදා ඒ ප්‍රසංගය තිබුනම හැම මනුස්සයටම පුදුමෙන් “ඕහ්“ කිය කිය අත් දිගු කරමින් තම සතුට පල කරා. ඒත් අර දුප්පත ධිවරයට විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුනා. හැමදේම හොදයි.. සිංදුවත් හොදයි.. ඒත් ඒත් නියම නයිටින්ගේල් කුරුල්ලා ගායන කරන කොට තියෙන යම් දෙයක් මේ කුරුල්ලා තුල නැතිබව ඔහුට තේරුනා. ඒත් ඒ මොකක්ද කියල නිච්චියටම කියන්න ඒ අසරණයට පුලුවන් කමක් තිබුනේ නැහැ.

නියම කුරුල්ලා තම භූමියෙන් පලා ගොස් තිබු හෙයින් එතැන, ඒ රන් ආසනය යඩක කුරුල්ලට නිතැතින්ම හිමි උනා. පසුව ඌ රජතුමාගේ සයනාගාරයේ පසෙකින් තබා තිබූ අතර, නිල වශයෙන් “අධිරාජයා සැතැප්පවීමේ රාජකීය ගායකයා“ යන ගෞරව නාමය ලබා දී තිබුනා.

රාජකීය සංගීතඥයා විසින් වෙළුම් විසි පහකින් යුත් ග්‍රන්ථයක් පළ කරමින් යකඩ කුරුල්ලා වර්ණනාවට ලක් කර තිබුනා. කෝටි ගානක් සංයුක්ත චීන අකුරු තිබුනු මේ පොත කව්රුවත් හරියට කියවල නැති උනත් බුරියට පහලින් සිදුරු විඳගැනීමට ඇති නොකැමැත්ත නිසාම ඒ ග්‍රන්ථය මහතා වටිනා එකක් බවට අදහස් පල කරන්නට කිසිවෙකුත් පැකිලුනේ නැහැ.

යකඩ කුරුල්ලා ඇවිත් වසරක් ගත වන විට අධිරාජයත්, රාජ සභිකයන්, සාමිවරු ඇතුලු හැම දෙනෙක්ම මේ කුරුල්ලගේ පුංචි නාදයක් පවා කඩපාඩමින් දැන ගෙන උන්නා. අධිරාජයේ තුඩ තුඩ රැව්දුන් ජනප්‍රියම ගිතය උනේ මේ යකඩ කුරුල්ලගේ ගීතය තමා. කොටින්ම අධිරාජයා පවා එය ගායනා කලා.

ඒත් එක් අවාසනාවන්ත රාත්‍රියක, රජතුමාගේ සයනය ආසන්නේ මේ කුරුල්ලා තම ගීතය ගායනා කරමින් සිටින විට ට්‍රැං ට්‍රැං හඩක් එක්ක කුරුල්ලගේ බඩේ තිබ්බා මොකක් හරි එකක් කැඩුනා කියල අධිරාජයට තේරුනා. ඔක්කෝම දැති රෝද කැරකිල්ල නැවතිලා අර ලස්සන සංගිතයත් නැවතුනා. ඇදෙන් පැන්න අධිරාජයා මේක තමන්ගේ රාජකීය භෞත චිකිත්සක වෙත යොමු කලත් ඒ හාදයට කරන්න පුලුවන් දෙයක් තියේද? ඉතිං ඒ පාර ඔරලෝසු කාර්මිකයෙකු වෙතට මේ යකඩ කුරුල්ලා ගිහින් දෙන්න උනා. එයා මේක හොදට පරික්ෂා කරල කැඩිච්චි ඒවා හදලා ආයිත් දුන්නේ මේක හොදටම ගෙවිල ගිහින් නිසා අලුතෙන් කෑලි දාන්න වෙයි කියලයි. මේ හේතුව නිසා අවුරුද්දකට එක පාරක් පමණක් කුරුල්ලා සිංදු කිව යුතු යැයි තිරණය උනා. කොයි තරං නරක දෙයක්ද? ඒ තරං ඉවසන්න පුලුවන් කමකුත් නැහැනේ. අධිරාජයා හැමදාම නිදාගන්නේ කෝමද? මේ වෙලාවෙදි අළුත්වැඩියාව සම්බන්ධව චින අකුරු බර ගානක තමන්ගේ ඇගයීම් කතාව කරපු රාජකීය සංගීතඥයා නිසා යකඩ කුරුල්ලා පෙර තිබුන තත්වයටත් වඩා හොදට ඉන්නවා කියල අධිරාජයා තේරුම් ගත්තා.

සාමකාමී අවුරුදු පහක් චීනයට අවසන් උනා. ඊට පස්සේ රටට ඇත්තටම දුක්ඛදායි කාලයක් උදා උනා. සියලු චින ජාතිකයන් ආදරය කරපු අපේ අධිරාජයා ලෙඩ  ඇඳට වැටිලා. මරණාසන්නයි. කොයි එකටත් සුදානං වෙන්ට කියල හිතල අළුතෙන් අධිරාජයෙක් පවා නම් කරලයි තිබුනේ. මාළිගාව වට කරගෙන දුකින් පීඩිත වෙලා තමන්ගේ අධිරාජයා ගැන සොවින්ම රටේ මිනිස්සු අර සාමිතුමාගෙන් අධිරාජයාගේ තත්වය කොහොමද කියා විමසන්නට උනා. ඒත් දන්නව නේ එයා දෙන උත්තරයක් නැහැ කියලා.

රාජකීය සයනය මත සීතල, සුදුමැලි වෙච්චි අධිරාජයා සැතපිලා හිටියා. සියලු රාජසභියක් හිතුවෙ අධිරාජයා දැන්නං මැරිල ඇති කියලයි. ඒක නිසා ඒ අය අධිරාජයාට අවසන් ගෞරව දක්වන්න සැදි පැහැදි හිටියා. මේවා ගැන සෝදිසියෙන් හිටපු මාළිගාවේ සේවකයෝ  ඇති තරං ඕපාදුප පර්‍චාරය කරන්න ගත්තා. මුළු මාලිගාව පුරාම කාමර වලත් කොරිඩෝ වලත් පා තබන ශබ්දය නෑසේන විදියට මේට්ට අතුරල තිබුනා නිසා, මාළිගාවම අන්ධකාර නිශ්ශබ්දතාවයකයි තිබුනේ. ඒක හරියට මළ ගෙදරක වගේ. ඒත් අධිරාජයා තවම මිය ගිහින් නැහැ. සිනිඳු වෙල්වට් අතුරල, රන්වන් ටසල් වලින් අලංකාර  වූ රාජකීය සයනය මත අපහසුවෙන් සුදුමැලිව ඉන්න රජතුමා මතටත් ඔහුගේ  කෘතිම නයිටින්ගේල් කුරුල්ලා මතටත් විවෘතව තිබු කව්ලුවෙන් එබුනු සඳකැන් වැටී තිබුනා.

අසරණ අධිරාජයාට හුස්ම ගන්නත් අමාරුයි. හරියට කව්රු හරි මහත කෙනෙක් පපුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවක හුස්ම ගන්න තරම්ම අමාරුයි. අපහසුවෙන් ඇස් ඇරිය අපේ අධිරාජයා දැක්කේ ඒ වාඩි වෙලා ඉන්නේ, තමන්ගේම රාජකීය ආභරණ වලින් සැරසිලා, රාජකීය මුදාව එක අතකත්, රාජකීය අසිපත අනිත් අතිනුත් දරාගෙන ඉන්නා තමන්ගේම මරණය බවයි. සයනාගාරයේ රතු පැහැති වෙල්වට් තිර වලට මුවා වෙමින් ඉතා හුරුපුරුදු මුහුණු රාශියක් තමන් දිහා බලා සිටින බවත් අධිරාජයා දැක්කා. මරණය තමා අසලින්ම වාඩි වී සිටින මේ වෙලාවේ ඒ අයුරින් තමා දිහා බලා ඉදින්නේ තමන්ගේම වත්කම්, හොඳ හා නරක යන දේවල් බවයි අධිරාජයා දැක්කේ.

“ඔබට අමතකද?“ සතර අතින්ම ඒ අය ප්‍රශ්න කරන්න ගත්තා. “මතක නැතිද?“ අධිරාජයාගේ නළල පුරාම දහඩිය ගලන්න උනා. 

“නෑ නෑ මට මතක නැහැ. අනේ සංගීතය සංගීතය. කෝ.. ඔය සංගීතය.. මගේ පුංචි රත්තරන් කුරුල්ලෝ.. මම උඹට කොයි තරං තෑගි දුන්නද, මගේ රත්තරන් සෙරරෙප්පුවත් මම උඹගේ කරේ එල්ලුවා. ඒක නිසාවත් සිංදු කියපං“ අධිරාජයා මරු විකාරෙන් බෙරිහන් දුන්නා. ඒත් කුරුල්ලා නිහඩයි. උගේ යතුර කරකවන්නවත් කෙනෙක් අහල පහල නැහැ. මරණය කුරුල්ලා දිහාත් බලාගෙන හිටියා. ඒක නිසා කුරුල්ත් නිහඩයි. ඇත්තෙන්ම කුරුල්ලා මාරාන්තික නිහඩතාවයක.


එක පාරටම ජනේලය අද්දරින් සංගීත රාවයක් ඇහෙන්න ගත්තා. මේ අර නියම නයිටින්ගේල් කුරුල්ලා. ඌට අධිරාජයාගේ වේදනාත්මක අවසන් ඉල්ලිම ඇහුන නිසා අධිරාජයා වෙනුවෙන් පැමිණ තිබුනා. කුරුල්ලා ගීතය ගයද්දී, අර භූතාත්ම සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඒ අය සුදු මැලි වෙද්දි රජතුමාගේ සුදුමැලි සිරුර ඇතුලේ නාල වල හෙමින් හෙමින් ආයිත් රුධීරය ගලන්න පටන් ගත්තා. මේක දැකපු අධිරාජයගේ මරණයත් “අනේ අනේ තව සිංදුවක් කියන්න කුරුල්ලෝ“ කියමින් බෙරිහන් දෙන්නට ගත්තා.

“ඒත් රජතුමාගේ ඇඳුං ආයිත්තං ටිකයි, කඩුවයි, මුදාවයි ඔයා ආයි දෙනවද“ කුරුල්ලා මරණයෙන් ඇසුවා.

ඉති මේ ඔක්කෝම සිංදුවට හිලව්වට දෙන්න එයා පොරොන්දු උනා. නයිටින්ගේල් කුරුල්ලා සිංදුව කියද්දී පල්ලියේ උද්‍යනයේ තිබු සුදු රෝස මල් පිපිලා ඒවයින් සුවද විහිදෙන්න ගත්තා. ඒක නිසා මුළු පරිසරයට සුගන්දයෙන් පිරි‘තිලා තිබුනා .එ් සුවද හෙමින් සැරේ අැරපු කව්ලුවෙන් අධිරාජයාගේ සයනාගාරයත් ඇවිත්. උද්‍යානයේ තණකොළ ලස්සනට කොළපාට වෙලා. මේවා දැකපු මරණය ආයිත් තමන් හිටපු තැනටම යන්න ගියා. එයා ගියා විතරයි හරිම පහසු සිහින් සුළගක් මුළු කාමරය පුරාම පැතිරෙන්නට ගත්තා.

“අනේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ස්වර්ගයෙන් ආපු මගේ පුංචි කුරුල්ලෝ.. මං ඔයාව එළවගත්තා. ඒත් උඹ හරිම කරුණාවන්තයි. මාව මරණයෙන් ගලවාගන්න සිංදු කියන්න ආවා. මං උඹට සදා ණය ගැතියි මගේ පුංචි කුරුල්ලෝ“ අධිරාජයා මරණෙන් නැගිට කරුණාබරිතව කුරුල්ලට කිව්වා.

“උතුමාණනි ඔබතුමා දැනටමත් මට ඒ ණය ගෙවලා අවසානයි. ඔබට මතකද මම ඉස්සෙල්ලම දවසේ සිංදු කියද්දි ඔබගේ ඇස් වලින් කඳුලු ගලා ගියා.  කලාකාරයෙකුට ලෝකයේ තියෙන ලොකුම මැණික ටත් වඩා ඒ කඳුලු කැට වටිනවා. ඒක නිසා දැං නිදාගත්ත රජතුමණි. මම සිංදු කියන කොට ඔබතුමා තව තවත් ශක්තිමත් වේවි“ එසේ කියපු නයිටින්ගේල් කුරුල්ලා අධිරාජයාට නින්ද එන තෙක්ම ගායනය කළා.

අධිරාජයා නැවත ඇහෙරෙන කොට උදා හිරු හෙමින් හෙමින් ජනෙල් කව්ලුවෙන් එබෙමිනුයි හිටියේ. ඔහුට ඉතා පහසුවක් දැනුනා. අද උදේ නං අධීරාජයා මිය ගිහින් ඇතිය කියා සිතුට නිසාම එතුමාගේ කිසිම සේවකයෙකු මේ වෙනතුරුත් සයනාගාරයට ඇවිත් හිටියේ නැහැ. ඒත් තවමත් අපේ නයිටින්ගේල් කුරුල්ලා තමන්ගේ ගායනය කරමිනුයි හිටියේ.

“ඔබ හැමදාම මාත් එක්කම ඉන්න ඕන. ඔයාට සතුටු හිතෙන වෙලාවට මං වෙනුවෙන් සිංදු කියන්න. මේ යකඩ කුරුල්ලා මං කුඩු පට්ටං කරල දානවා“

“එපා. එයාට පුලුවන් උපරිමය නේ එයා කලේ. එහෙමම මේ වගේම ඉන්න අරින්න. මොකද මට මයේ කුඩුව මෙතනවත් මේ අහල පහළවත් හදන්න බැහැ. ඒ වගේම මට මාළිගාවකවත් මගේ කුඩුවේ තියෙන තරං සැපතක් නැහැ. ඒක නිසා මං කැමති වෙලාවට මට මෙහාට එන්න ඉඩ දෙන්න. අන්න එහෙම ආපු වෙලාවක අද වගේම ඔබතුමා සතුටු වෙන විදියට මේ ජනෙල් පඩිය උඩ ඉදගෙනම මම සිංදු කියන්නං. දුකෙන්, කළකිරීමෙන් ඉන්න අය ගැන මං කියන්නං. ඔබට නොපෙණෙන සියලු දේ ගැන මම ඔබට කියන්නං. මම පුංචිම පුංචි කුරුල්ලෙක් උනාට මට ඕනම ඈතකට පියාඹලා යන්න පුලුවන්. ගොවි ගෙදර, මාළුකාරයගෛ් ගෙදර වගේ ඔබතුමාට යන්න බැරි බොහෝ තැන් වලට මට යන්න හැකියි. මම ඔබතුමාගේ මේ ඔටුන්නට වැඩිය ඔබතුමාගේ හදවතට කැමතියි. ඔබ මට එක් දෙයක් පොරොනුදු වෙනව නං මම කැමතියි නැවත පැමිණ ඔබ වෙනුවෙන් ගායනය කරන්න“ පුංචි නයිටින්ගේල් කිව්වා.

“මේ හැම දෙයක්ම ඔබෙයි“ අධිරාජයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

“එකම දෙයයි උතුමාණනි. ඔබතුමා කිසිම කෙනෙකුට කවදාවත් කියන්න එපා මේ වෙන හැමදෙයක්ම ඔබට කියන පුංචි කුරුල්ලෙක් ඉන්නවා කියලා. කව්රු හරි ඒක දැනගත්තොත් ඔබතුමාව රවට්ටන්න මටත් වඩා හොදට මේවා තව වර්ණනා කරල කියන්න ගනීවි“ කියපු පුංචි කුරුල්ලා තමන් ආපු කව්ලුවෙන්ම ආපහු ඉගිල්ලිලා ගියා.

තමන්ගේ අධිරාජයාගේ මළ මිනිය දැකීමේ අටියෙන් සයනාගාරයට පැමිණි සේවකයන් එකත්පසව හිටගෙන බලාගෙන උන්නා. අන්න ඒ වෙලාවේ ඇස් අරල බලපු අධිරාජයා බොහොම සැහැල්ලුවෙන් හැමෝටම “සුභ උදැසනක් වේවා!“ කියල කිව්වා.

The Nightingale - Hans Christian Andersen

Thursday, January 14, 2016

සේකර – සිංහල කවියේ සදාකාලිකයා

ගහ කොළද මල් පියලි
තුරුපත්ද හිම පියලි
එකින් එක ගැට ගසා
කවි ලියත් අපි අදත්
කවියකට ලොබ බඳින
සහසකුත් දෙපාවුන්
අමතක නොකළ යුතු
සේකරගේ මතකයන්
අදයි ඒ දිනය
හතලිස් වසක් 
නික්මෙයි
ඔහු නැතිව කවි ලොවේ
ඒත් අදටත්
ඔහු හිදී කවි ලොවේ

සේකර - සදාකාලිකවම සිංහල කවියා බැතියෙන් ස්මරණය කරමි...



සදුන් ප්‍රියංකර විතානගේ විසිනි
දෙපා
කටු ඇනුණු තැන
ගල් තැළුම්
පැළුණු විලූඹේ අගල්
කවි පොතක පිටු දෙකක් වන්
නොකිය වූ දෙපතුල්
මග වියදමත් අතේ නැති ව ම
දහස් වටිනා පයින් ඇවිදින
මගී ජනයිනි
ඔබේ මිරිවැඩි
අගී දෝ කෙතරම්
ජනෙල් බාපත මත
ඉසිඹුලන
පයෙහි රන්වන
මහපොළොව කිවිසුම් අරින
රොනින’වල
මල්රේණු වර්ෂාවය
අටෝරා සියයකට වැඩි
අවමගුල් ලකුණින් පිරි
පතුල් සිපගත්
දුරුත්තේ හිරි වැටුණු
මිහිමවගේ කොපුලත
දිය කඳුරුය හඬන
(මහගම සේකර කවියා රජයේ සෞන්දර්යායතනයේ අධිපති ව සිටිය දී වරක් ඔහු දකින්නට ගිය කොල්වින් සෙට්ටිනායක කලාකරුවා මුල්වරට ම දුටුවේ සේකරගේ දෙපය යි. පුටුවක හිඳ සිටි කවියා සිය දෙපා ඔසවා උස් ජනෙල් පඩිය මත තබාගෙන සිටියේ ය.)
ඉහත කවිය සහ සටහන මා උපුටා ගත්තේ රත්න ශ්‍රී විජේසිංහ කවියා 2014 දී පළ කරනු ලැබූ ‘සන්ධ්‍යා තීර්ථය’ නම් කවි කෘතියෙනි. මහගම සේකර යනු සිංහල කවියේ පුරාවෘත්තයක් බව කවුරුත් පාහේ දන්නා කාරණයකි. එමෙන් ම ඔහුගේ සිනමා භාවිතාව, ගී රචනා, ගද්‍ය රචනා, චිත්‍ර ආදී සියලූ කලාත්මක මැදිහත්වීම් ගැන නොඑක් වර නොඑක් දෙනා කියා ලියා ඇති හෙයින් මේ ලිපිය මතුයෙහි ඔහුගේ කෘතීන්හි නිබඳව දකින දැනෙන නිරායාස ගුණයටත් නිර්ව්‍යාජ ගුණයටත් උපස්ථම්භක වූයේ යැයි සිතෙන ඔහුගේ පුද්ගල නිර්ව්‍යාජත්වය කතා කරන්නට සිතීමි.
“කවිය යනු කවියාගේ ආධ්‍යාත්මය ම මිස අනෙකක් නොවේ” යැයි කියමින් සේකර විසින් ම ඒ අව්‍යාජත්වය වර නැගූ අවස්ථාවක් එයි. මේ ‘තුං මං හංදිය’ තිර පිටපත ලිවීමට රදාවානේ සේකරගේ ගෙදර ගොස් මුහුණ දුන් අද්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනාරච්චි කියූ සැටියි.
“තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
“මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ කටහඬය.
“අනේ තාත්තේ… අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ… අනේ”
“යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
“අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”
මෙවැනි අව්‍යාජත්වයක් ඔහුගේ දිවිය පුරා ඉතිර පැතිර තිබුණ අතර ඔහුගේ නිර්මාණ ප්‍රවාහය හරහා ද එහි සුසුවඳ දැනෙන බව නොරහසකි.
තුං මං හංදිය නවකතාව සේකරගේ ජීවිත කතාව වැන්න. එය සිනමාවට නගන්නට ඔහු නිෂ්පාදකවරුන් තුන් දෙනෙක් සොයා ගිය ද ඔවුන් නොකැමති වූහ. අවසානයේ දී “සත් සමුදුර” නිෂ්පාදනය කළ වෛද්‍ය ලීනස් දිසානායක එයට කැමති වුව ද “සත් සමුදුර” ආර්ථීක ලාභයක් ඉපයීමට අසමත් වූ නිසාවෙන් ඔහු එම අදහස අත්හැර ගත්තේ ය. ගම්පහ චිත්‍රා ස්ටුඩියෝ අධිපති චිත්‍රා බාලසූරිය සේකර සමග එක් වන්නේ එහි දී ය. අදටත් දිවමන්ව වෙසෙන චිත්‍රා, සේකර ගැන මිහිරි මතක ගොන්නක හිමිකරුවෙකි. “තුං මං හංදිය” මෙරට ලාබ නොඉපයූව ද චෙකොස්ලෝවැකියාවේ සිනමා උළෙලකට ඉදිරිපත් කිරීමෙන් මහත් මුදල් ප්‍රමාණයක් හිමිකරගත් බව චිත්‍රා පවසයි. සරමක් හැඳගත් සේකර කිසිදු ආඩම්බරයකින් තොරව තමා හමුවෙන්නට තම ස්ටූඩියෝව වෙත ආ හැටි අදද ඔහු සිහිපත් කරන්නේ මිතු බැතියෙනි. “පරසතු මල්” සිනමාපටයේ දී ද තමා සේකර හා වැඩ කළ අයුරුවත් ඔහුගේ දිවියේ පැතිර තිබූ නිර්ව්‍යාජ ගුණයත් ඔහු කියයි. සේකරගේ මළගම සිදු වූ පසුවත් ගම්පහ පෙදෙසේ ජනයා මේ මහා කවියා නොදැන උන් බව කී ඔහු සේකර තමන්ව ම පුම්බා ගන්නට කිසිදා වැඩ කටයුතු නොකළ අයෙක් බව අවසන් වශයෙන් කිව්වේ ය.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සංචාරයකට යන සේකරට එහි දී ද සිහිවන්නේ ගමෙහි සඳයි.
“…..දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලූ‍වට පායන හඳ”
මහගම සේකරයන් සමග සමීප ව ඇසුරු කළ ඔහුගේ තවත් සන් මිත්‍රයෙකි, කරුණාරත්න අමරසිංහයෝ. ලාංකේය හඬ නළුවේ, සාහිත්‍යයේ වෙසෙස් නමක් සනිටුහන් කළ අමරසිංහ මහතා සේකර පිළිබඳ සිය මතක අවදි කළේ ය. ඔහු ද නිතර පැවසුවේ සේකරගේ අව්‍යාජකම යි. අද්‍යතන නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින වගාඩම්බර කියන බොහෝ විවේචනය කළ අමරසිංහයන් නැවත නැවත මතු කරනු ලැබුවේ සේකරගේ නිර්ව්‍යාජ ගුණය යි.
“මම සේකරව ඉතා ම ළඟින් ඇසුරු කළා. ඔහුගේ ජීවිතයේ බොහෝ දේවල් මා සමඟ ඛෙදා ගෙන තියෙනවා. සේකරගෙ පළමු නවකතාව තුං මං හංදිය කියලනෙ බොහෝ දෙනෙක් දන්නෙ. නමුත්, සේකරගෙ පළමු නවකතාව ඒක නෙවෙයි. පළමු නවකතාව ඔහු ප්‍රකාශයට පත් කළේ නැහැ. එක්තරා ප්‍රේමයක් ගැන ලියා තිබුණු එම නවකතාව එක්තරා දවසක රාත්‍රියක ඔහු මටත් සුනන්ද මහේන්ද්‍රයන්ටත් ඇහෙන්නට කියෙවුවා. ඒ නවකතාව නම් කරල තිබුණෙ ගඟට දැමූ ඔරු කියලා.
අනෙක් කරුණ තමයි, ඒ කාලයේ මම ගුවන්විදුලියෙ “අද ලියැවෙන කවි” කියල වැඩසටහනක් කරමින් හිටියා. 70 දශකයෙදි. එක්තරා දවසක් ගුවන්විදුලියෙදි හමුවුණා. ඒ වන විට ඔහු ගුවන්විදුලියෙ සේවයෙන් අයින් වෙලා වුණත් ‘කල්පනා’ කියල වැඩසටහනක් කරන්න ඔහු ගුවන්විදුලියට එනවා. ඒ ආ වෙලාවක සේකර මාව හමුවෙලා කිව්වා රත්න ශ්‍රී විජේසිංහ ගැන. මෙහෙම දක්ෂ විදිහට ලියන කෙනෙක් ඉන්නවා. එයාව වැඩසටහනකට ගන්න කියලා. ඒ අනුව මම එක්තරා දවසක රත්න ශ්‍රීව ගුවන්විදුලියෙ මගෙ වැඩසටහනට ගෙන්වා ගත්තා. එහෙම අලූත් අය ගැන උනන්දුවක් තිබුණ කෙනෙක් තමයි සේකර කියන්නෙ. හුඟක් ඔය ලියන බොහෝ දෙනා තක්කඩි. මානව භක්තිය, මනුෂ්‍යත්වය අරක මේක සේරම තියන්නෙ ලියන අයගෙ පොත්වල විතරයි. ඒවා එයාලගෙ ජීවිතවල නැහැ. හැබැයි සේකර කියන්නෙ මානව දයාව, මනුෂ්‍යත්වය නිර්මාණවල වගේ ම ජීවිතයෙත් තිබුණ කෙනෙක්. අනෙක් අයගෙ සහ සේකරගෙ අතර තියන වෙනස තමයි ඒක……”
කරුණාරත්න අමරසිංහ මහතා පැවසූ පරිදි ම එක්තරා දවසක සේකර ගැන සිය මතක අවදි කළ රත්න ශ්‍රී විෙජ්සිංහයන් අප සමග පැවසූවේ තමා සේකර වෙත එකල නිතර කවි ලියා යැවූ බවත්, ආධුනිකයෙක් ලෙස නොසලකා තමා ගුරුහරුකම් දෙන්නට සේකර මහන්සි වූ බවත් ය. එපමණක් නොව තමා ලියා යවන නිර්මාණවල ගුණදොස් පෙන්වා ආපසු තමාට ලිපි එවන්නට තරම් මහගමසේකරයන් නිහතමාන වූ බව ඔහු පැවසුවේ කෘතඥතාව පෙරදැරිව ය.
1974.10.18
ගම්පහ
ඔබේ පද්‍ය පිළිබඳ අදහස් කීපයක් මේ සමඟ එවමි. වැඩිදුර විවේචනයක් කිරීමට වෙලාව මදි. වැඩකටයුතු රාශියක් මැද්දේ මෙපමණවත් ලියා එවුවේ. පද්‍ය රචනය කිරීමට වාසනා ශක්තිය ඔබට ඇති බව පෙනෙන නිසා ඔබ ධෛර්යමත් කරන අදහසින්.
පද්‍ය පන්ති හොඳයි කීම නිසා අහංකාර වෙන්න එපා. ඒවා නැවත නැවත සකස්කර වඩාත් හොඳ කිරීමට උත්සාහ ගන්න. “යෝජිත තේමා” නොව ඔබට හිතෙන, ඔබ විසින් විඳ ඇති තේමා කවියට නගන්න.
නූතන කවිය හා කවිය පිළිබඳ මගේ අදහස් කීමට මේ අවස්ථාවේ අවකාශ මදි.
පද්‍ය සංග්‍රහයක් නිකුත් කිරීමට දැන් ම අදහස් කරනවාට වඩා හොඳයි හොඳ ම කවි ලියා එකතු කර ගැනීම.
පසුවට ප්‍රකාශකයෙකු ඉබේ ම වාගේ ලැබේවි.
මෙයට
හිතවත්,
මහගමසේකර
උක්ත ලිපිය සේකරයන් විසින් එවක දුහුනු නිර්මාණකරුවෙක් වූ රත්න ශ්‍රී විජේසිංහයන් වෙත එවනු ලැබූවකි. සේකරගේ නිර්ව්‍යාජත්වය ගැන එය ම මනා නිදසුනක් නොවේ ද?
(Illustration by Saamantha Tennege)


Friday, January 1, 2016

අ ට ලෝ ද හ ම!!!

මේ විශේෂ අවස්තාවේදී මට නං කියන්න කියල ඒ තරං දෙයක් නැහැ. හැබෑටම ජනවාරි මුල් සතිය වැඩට එනවට වැඩිය හොදා ගෙදර ඉන්න එක.. මොන වැඩක් පලක් කරගන්න බැහැ නෙව.. තව ඩිංගකින් කිරිබත් මීටිමක් තියෙන නිසා යන්න ඕන.. මං ගානේ මේ අවුරුද්දේ හැමෝටම සුභ පතන්න අලුත්ම අලුත් කිරි ටොයි විෂ් එකක් දෙන්නං.. මේක ඕන තැනක ඕන කෙනෙකුට කියල සුභ පැතුවට මගේ ඇති අමනාපයක් නැහැ.. 

ඔබ සැමට සුභ නව වසරක් වේවා.. !!! (හැක් හැක්..)

ඒකෙන් කාරි නෑ.. මට පහු ගිය අවුරුද්දේ එච්චර ලියන්න බැරි උනා. ඉතිං ඒකට බෝම සතුටුයි කියල සෑහෙන්න පිරිසක් කිව්ව නිසා මාත් හිතාගත්තා තිසරලගේ ක්ලබ් එකට, අපේ බාස්ගේ ක්ලබ් එකට සෙට් උනා නං හොදා කියලා.. ලියන්නේ නැත්නං කියවන්න වෙලාව ලැබෙනවා කියන එක මහ බොරුවක්. ඇයි වදේ ලියන්න දවස් ගානක් යනවයැ.. එක දිගට ලිව්වත් පැය දෙක තුනක් යාවි ඕන නං. 

ජීවිතේ කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි නෙව. ඉතිං මටත් දැං හිතිල තියෙන්නේ ඔය එක එක දේවල් වලට වහල් වෙන එක විකාරයක් කියලා.. මොන එහෙකට ප්‍රේට්‍රිියට් මිසයිල හදාගන්නවද ජීවිතේට.. අපි හැමෝම සරුව පිත්තල කඩතුරා වල හිරවෙලා. ඒවා තේරුම් ගැනීම දුෂ්කරයි. හැකි තරම් අතාහරින්න පුරුදු වෙන එක, උපේක්ෂාව කවද කාලෙත් හොදය කියල මට නං හිතිල තියෙන්නේ.. පුද්ගලයෙක් විදියට සාවදානව මිනිස්සුන්ගේ හැසීරිම් දිහා බැලුවම “මම“ කියන දේ පිම්බීම සදහා කොයි තරං දේ කරනවද?? වෙලාවකට හිනාත් යනවා. 

අපේ ගමේ අද උදේ කිරිපිඬු පුජාවක් පන්සලේ තියෙනවය කියල මං දැනං හිටියා. ඒත් හද්දෙයියනේ පන්සලට කිලෝමීටර් පහළොවක් විතර දුරක ලව්ස්පිකර බැදපු වාහනෙක යකඩ සද්දෙන් සත්ගුණවත් උපාසිකා මාතාවක් ඒ පුජාව කරනවය කියල බෑගිරි ගහ ගහ පාර දිගේ යන කොට අයියෝ සංසාරේ කියල හිතුනා. මේ උපාසිකා මාතාව නගරයේ විශාල හාඩ්වෙයාර් එකක අයිතිකාරයෙක්. එයැයිටයි එයැයිගේ පුතාලටත් අහල ගං දෙක තුනකටම පැතිරිච්චි ප්‍රසිද්ධියක් තිබුනත් අහල ගං හතකටම ඒක අයිති කරගන්න වෙන්ටැති උත්සාහ කරන්නේ. හරියට අර බණ කියල ඉවර වෙලා හාමුදුරුවෝ කොළෛ් බලාගෙන පිං නාම ලැයිස්තුව සක්කර දෙයියන්ටයි, එයාගේ ගෝලයෝ තිස් දෙකොටි අනුනම ලස්ස අනුනම දාස් අනුනමයට ඇහෙන්න හයියෙන් කියවනව වගේ වැඩක් තමා.. හැක්.. මොකෝ උන්නැහේලා හාමුදුරුවෝ කියන නං ටික රෙජිස්ටර් එකේ මාක් කරගන්නවයැ.. පින නං මොන විදියෙන් කරත් පින තමා. පින තියෙන්නේ හිතේ මිසක්කා හාමුරුවන්ගෙවත් කාගෙවත් කටේයැ.

හා හා.. මං මේ තාම ටියුං කරනවා.. ජය වේවා එහෙනං.. බලමු මේ අවුරුද්දේ ලියනවද මලවනවද කියල තීරණයක් ගන්න වෙනවා මට.. ඔහේලනං සතුටු වේවි මං නොලියන එකට.. ඉරිසියාකාරයෝ.. හැක්..



ජය වේවා එහෙනං..

අවුරුදු සුභ පැතුමත් මහ විකාරයක්.. ඉදගෙන..


දුන්නොත් එකක්
දෙනවා මම ගානේ එකක්
නොදුන්නය කියා
කහටක් නැතිය තවත්