Tuesday, June 12, 2018

අඟහරු වල ගඩොල්!! (Building Blocks of Life)

අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක් වගේම ජාතිමාමක යුධ විශ්ලේෂක වරයෙක් වන අතිගරු කීර්ති වර්ණකුලසූරිය මැතිතුමා නං නාසා එකටවත් හොයාගන්න බැරි වෙච්චි ජීවය පිළිබඳ සාක්ෂි හොයාගෙන. ලංකාවට ඉමහත් ගෞරවරයක් මේ සොයා ගැනීම. නාසා එක කියන්නේ පිස්සු වලාමක්. ඒ හාදයෝ කියුරෝසිටි කියල රෝවර් හදල ඩොලර් බිලියන ගනං වැය කරල රොකට් හදලා ඒවා අඟහරුට යවලා පින්තූර කෝටි ගානක් අරගෙනත් වැදගත් තොරතුරක් හොයාගන්න බැරි වෙච්චි නාසා එක ගැන කුමන කතාද? ඒ මදිවට ගිය මාසේ තවත් රෝවර් එකක් යැව්වා නාසා එක. මට ඒකේ නම මතක නැති උනත් ඒක මාස හයකින් අඟහරු මත ගොඩ බැහැල පස් පරීක්ෂා කරනවලු. පිස්සු යක්කු. ඔව්වා කරන්න බැරි නං දීපං යකෝ කීර්ති වර්ණකුලසූරියට. තොපිට බැරි ඔක්කෝම එයා හොයල දේවි.

පහුගිය සතියේ දිවයින පත්තරෙන් තමා මේ විශ්මිත හොයගැනීම ගැන අතිගරු කීර්ති ලොක්කා අනාවරණය කරල තිබ්බේ. මේ පුවතින් සලිත වෙලා ගියපු ලෝකයට කිම් -ට්‍රම්ප් හමුව ගැනවත් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ. කියුරෝසිටියටවත් ගන්න බැරි පින්තූරයක් එක්ක කීර්ති ලොක්කා තමන්ගේ සොයාගැනීම පත්තරේට දැම්මා.

මීට කලිනුත් කීර්ති ලොක්කා පත්තරෙන් විශ්මිත සොයාගැනීම් වගයක් ඉදිරිපත් කරා යුද්ධ සම්බන්ධව. මේ වගේ අති විශිෂ්ඨ පුවත්පත් කලාවේදීන් ලංකාවේ ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන.




මේ ආටිකල් එක බලල බීබීසී එකත් වැරදියට පරිවර්තනය කරල දාලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.


Nasa: Building blocks of life on Mars found

Nasa says organic matter found at the bottom of a crater on the Red Planet suggests there might have been life there once. Samples of the matter were analysed by a team of scientists, including Prof Sanjeev Gupta from Imperial College London. He told Today how significant the discovery is.
  • 08 Jun 2018



ඔය බීබීසි කාරයෝ Building Blocks of Life කියන ඒවා ගඩොල් නෙමෙයි. මම බීබීසි එකටත් මේල් එකක් දැම්මා වහාම කීර්ති මැතිතුමාගේ පත්තර ආටිකල් එක හරියට කියවල වැරැද්ද හරි ගස්සන්න කියලා.


කීර්ති වර්ණකුලසූරිය සුධීමතාන්ට ජය වේවා!!

Wednesday, June 6, 2018

පිං ලීක් වීම!

පහුගිය දවස් වල තමන්ගේ පාඩුවේ බොහොම රහසිගතව සමාජ සේවය කරමින් උන්න දෙන්නෙක්ගේ කල්කිරියාව සමාජ මාධ්‍ය වලට අහු උනා. පේනවා නේ සමාජ ජාල වලට හොර බොරු කරන්න කොහෙත්ම බෑ. හොරෙන් හොද වැඩක් කරත් බේරෙන්න බෑ. ඉතිං මේ සමාජ සේවකයන් දෙන්නට වෙච්චි අසාධාරණේ නිසා මම තීරණය කලා ඒ වගේ රහසිගතව තම සමාජ සේවා කටයුතු කරන අයගේ අනාගතය සුරක්ෂිත කරන්න යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැත්නං කාටවත් කරදරයක් නැතිව තමන් ධාර්මිකව හොයාගත්ත මුදලින් දුප්පත් මිනිස්සුන්ට, පන්සල් වලට උපකාර කරන අයව සමාජ ජාල වල සීඅයිඩී ශාඛාවට අහු වෙන්න පුලුවන්. මෙන්න මේ පහත තියෙන කරුණු අනුගමනය කර තමන් හා තමන්ගේ පිං අතේ වැඩ සමාජ මාධයයට නිරාවරණය වීම වළක්වා ගන්න.

අංක 01

කිසිම විටෙක ඡායාරූප ශිල්පීන් රැගෙන නොයන්න. මොකද මේ අය සල්ලි වලට සමාජ මාධ්‍ය වලට පින්තූර විකුණන බැවිනි. එවිට ඔබ විසින් රහසිගතව සිදු කරන ලද කාර්යය කුමන මොහොතක හෝ නිරාවරණය විය හැක.

අංක 02

කිසිම විටෙක තමන් විසින් කරනු ලබන කාර්යයට අදාළව තමන්ගේ කැමරාවෙන් ජංගමයෙන් ඡායාරූප නොගන්න. ඔබ නොදැනුවත්වම ඒවා බ්ලූටූත් හරහා සමාජ මාධ්‍ය පරික්ෂකයන්ට යොමු වීමට හැකිය. එමෙන්ම කැමරා, දුරකතන අලුත්වැඩියා ස්ථාන වලද එවැනි සෝ කෝල්ට් සමාජ මාධ්‍ය පරීක්ෂකයන් සිටිය හැකි බැවින් ඔවුන් එවැනි ඡායාරූප, වීඩියෝ සමාජ ජාලා වලට යොමු කරනු ඇත. එම නිසා තමන් පරීක්ෂාකාරී වීම වැදගත්ය. අලුත්වැඩියාවට බාර දෙන විට එහි මෙමරි චිපය ගලවා සුරක්ෂිතව තමා සතු සේප්පුවක බහාලන්න. නිවසේ තම කාමරයේ තිබුනද ඒවාට ළගා වීම මෙවැනි පරීක්ෂකයන්ට අපහසු දෙයක් නොවේ.

අංක 03

කිසිම යහළුවෙකුට, නෑයෙකුට පාරේදි මුණ ගැහෙන අයකුට ඔබගේ පිං අතේ වැඩ කටයුතු ගැන නොපවසන්න. මක් නිසාද යත් උප්පත්තියෙන්ම අනුන්ගේ දේවල් අවුස්සා බැලීමේ පුරුද්ද ඇති මොවුන් ඔබ ගැන විමසිලිමත්ව ඔබ කොහේ ගියද ඔබ පසු පසින් ගොස් ඔබ නොදැනුවත්වම ඔබ කරන පිං අතේ වැඩ වල පින්තූර, වීඩියෝ පැපරාසීන් මෙන් ගෙන පසුව මුදලට ඒවා සමාජ ජාල වලට විකිණිය හැක. මෙය අතිශයින්ම භයානකය. ඔබ යම් නිවසකට උපකාර කිරීමට යන විට ඔබ කාර් රථයෙන් බසින මොහොතේ පටන් සියලු දේ කැමරාවට හසු කර ගැනීමට ඔවුන් සමත්ය. ඒවා ඔබට කිසි ලෙසකින්වත් පෙනෙන්නේ නැත. මේ නිසා ඔබ විසින් රහසිගතව සිදු කරන පිං අතේ වැඩ නිකම්ම ලීක් වීමට ඉඩ ඇත.

අංක 04

පසුගිය දිනෙක ගොසිප් සයිට් වලට ලීක් වූ වෛද්‍යවරයාගේ පිං අතේ වැඩ වලට අදාළ පින්තුර පරික්ෂා කිරීමේදි නිරීක්ෂණය වූයේ ඒවා ඔහු විසින්ම ලබා ගත් පින්තුර වුවත් කිසිවෙකු විසින් ඒවා සොරෙන් ලබා ගෙන ඊට සරිලන ලෙස කතාවක්ද ගොතා ගොසිප් සයිට් එක වෙත ලබා දී ඇති බවය. මේ නිසා එවැනි ප්‍රසිද්ධියක් ලැබී ඇති විට වහාම අදාළ සයිට් ඇඩ්මින්ලා හට කතා කොට එම පෝස්ට් ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුය. නැතිනම් මේවා ෂෙයාර් වෙමින් ලයික් වෙමින් රට අතේ යන අතර එයින් ඔබගේ කාර්යයන් රහසිගතව සිදු කර ගැනීමට නොහැකි වේ.

හොරෙන් කරපු හොද වැඩ ලීක් වීම නිසා දුකට පත් සියළු සමාජ සේවකයන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි.

This is only fun facts and not discouraging such great ppl whatsoever.




විශේෂ කාරණාවක්!

ඔබගේ බ්ලොගයට ආදා ඇති ඊමේලයට කමෙන්ට් ආ විට නොටිෆිකේෂන් එනවාද? මට එන්නැතෝ

Thursday, May 10, 2018

බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)

සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.


 එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ සුප්‍රිම්සැට් කියන කම්පැනියක් ලංකාවටම කියල චන්ද්‍රිකාවක් ගුවන් ගත කරාය ඒක රෝහිත කියල නම් කරාය කියලා. හැක් හැක්. ඔය චන්ද්‍රිකාව යවන වෙලාවේ අපි සිංදු හිටං හැදුවා මතක නෙ.

කොහොම උනත් ලංකාවේ නමින් තිබෙන චන්ද්‍රිකාව අයිති වන්නේ පුද්ගලික සමාගමකට. මනිවාදන් කියන ව්‍යාපාරිකයා හට අයිති SupremeSat කියන කම්පැනිය විසින් චීනය කක්ෂගත කරන ලද ChinaSat-1 කියන චන්ද්‍රිකාවේ බහුතර බලය .. නෑ නෑ.ඒ චන්ද්‍රිකාවේ බහුතර සන්නිවේදන පහසුකම් මිලදී ගත්ත නිසා ඒ සැටලයිට් එක සුප්‍රිම්සැට් -1 කියල නම් කරාය කියල තමා කියන්නේ. අපි ඔව්ව ගැන එච්චර කතා කරන එක තේරුමක් නෑ මොකද රජය මුදල් යොදවල කරපු ක්‍රියාන්විතයක් නොවෙන හින්දා. කෝම හරි කමක් නෑ අපිටත් චන්ද්‍රිකාවක් තියෙනවා හරිය.

බංගලිදේශයේ TRC එක විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් මඟින් ඩොලර් මිලියන 250 ක් විතර වියදම් කරලා ලෝකේ නම ගිය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන Theles Alania සමාගම වෙතින් මෙම චන්ද්‍රිකාව මිලදී අරගෙන ටෙස්ලා කාර් කම්පැනියේ අයිතිකාර ගරු ඉලොන් මස්ක් මහත්තයා හට අයිති SpaceX කම්පැනියේ Falcon 9 රොකට්ටුවකින් තමා මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන්නේ.


ටොන් තුනහමාරක් විතර බර මෙම චන්ද්‍රිකාව පෘථිවියේ ඉදල කිලෝමීටර් 32000 ක් විතර දුරින් පිහිටන ස්ථාවර කක්ෂයක රදවනු ලබන අතර කෙලින්ම පෘථිවි තලයේ බංගලාදේශයට ඉහලින් රදවන නිසා චන්ද්‍රිකාවේ චලනය පෘථිව භ්‍රමණ වේගයට සමානව ගමන් කිරීමෙන් මුළු කාලය පුරාම බංගලිදේශයට ඉහලින් පිහිටුවීමට කටයුතු කරනවා. ඒක නිසා කිසිදු බාධාවකින් තොරව පැය විසි හතරෙම සන්නිවේදන පහසුකම් සපයන්නට හැකි වෙනවා. ඔය කක්ෂයට කියන්නේ geostationary Transfer Orbit කියලා.

හප්පා කියන්න අමතක උනා නේ මේ චන්ද්‍රිකාවේ නම බංගබන්දු -1. බංගබන්දු කියන්නේ බංගලිදේශය ස්ථාපිත කිරීමට මූලික වෙච්චි ෂෙයික් මුජිබර් රහමන් මැතිතුමාගේ සුරතල් නාමය. (බංගලියන්ගේ මිතුරා කියන එක තමා බංගබන්දු කියන්නේ) බංගබන්දු මුස්පිකර් රහිම් හැක්

ඉතිං මේ චන්ද්‍රිකාව යවන රොකට්ටුවත් විශේෂිත එකක්. ස්පේස්එක්ස් ආයතනය මේ අවුරුද්දේ යවන අටවැනි රොක්ට් එක තමා මේක. අද යවන රොකට්ටුවේ මූලික කොටස (බූස්ටරය) නව මාදිලියක ප්‍රථම රොකට්ටුව. ඔය කිව්ව බූස්ටරේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිසි වේගයකින් තල්ලු කරාට පස්සේ නිකම්ම වැටිල චුත වෙලා නොයා ආයි මූද මැද්දෑවට බාගන්න තමා මස්ක් උන්නැහේ වෙහෙස මහන්සි ගන්නේ. මේ වෙනකොට ඔය රොකට් ආපහු බාන එක සම්බන්ධව ස්පේස් එක්ස් කම්පැනියට හොද පලපුරුද්දක් තියෙනවා. මේ පෙබරවාරි වලදි යවපු තඩි රොකට් එකක් බූස්ටර් දෙකක් එකම තැනකට බාන්න පුලුවං වෙච්චි විත්තිය දන්නවා ඇති නේ. 


ඉතිං චන්ද්‍රිකාවක් හිමි 57 වන රට බවට පත් වන බංගලාදේශයට අපි සුභ පතමු.

මෙන්න රොකට් දෙක බාන හැටි.


පලි - රොකට්ටුව යවන හැටි ලයිව් බලන්න කැමති අය ඩේටා කපාගන්නත් කැමති නං මේ ලින්ක් එකේ තියෙන ලයිව්ස්ට්‍රිම් එකට රිමයින්ඩර් එකක් දාගන්න. (මෙන්න ලින්කුව (තදට ඔබන්න)) හැක්

Update - රොකට්ටුවේ ස්වයංක්‍රීය පද්ධතියේ අවුලක් නිසා බන්දුව උඩ යවන්න බැරි වෙලා. ලංකා වෙලාවෙන් 12 පාන්දර යවන්නයි දැං ලැහැස්තිය.

Monday, March 5, 2018

වේගය මක්කටද? Speed matters

ඔහේල කොහේ හරි ගමනක් කල්ලි ගැහිල යන කොට වේගෙන් යන අය අල්ලන්න හති හලාගෙන දුවල තියේ නේද? නෑ කියන්න එපා මොකද මාත් කඳු නගින්න ගියපු වෙලාවන් වල සුපර්මෑන්ල වගේ වේගෙන් යන අය අල්ලන්න කැස්බ වගේ හති හලාගෙන දුවල තියෙනවා. ඇත්තටම මේ ජීවිතේ හැමදේම වගේ තීරණය වෙන්නේ වේගය මතද? ඉගෙනගන්න ඉස්කෝලෙ ගියත් වේගෙන් ඉගෙනගන්න එකාට හැමෝම කැමතියි. වේගෙන් ලියන එකාට හෙනට වෙලාව ඉතුරුයි. වේගෙන් කන එකාට අනිත් එකාගේ බත් එකෙනුත් කටවල් තුන හතරක් ගිලගන්න පුළුවන්. වේගෙන් ගියොත් කලින් බස්එක අල්ලගත්ත එකා දිනුම්. තරගෙට දිව්වත් හයියෙන්ම දුවපු බෝල්ටයියා දිනුං වාර්තා බර ගානක් කුඩුකරගෙනම. හැබෑට හෙමින් යන උන් පරාදද එතකොට. හෙහ් හෙහ්. එහෙමත් නෑ අපේ ඉබි අයියා හාවා පරද්දලා හාවාගේ රෙදි ගලවල දැම්මෙ.. මතකනේ. කාර් ෆිල්ම් එකේ ටර්බො ගොළුබෙල්ලා අනිත් අය පස්සට දාලා රේස් එක දිනුවේ. තේරෙනවනෙ කෝම කරත් දිනන්නෙ හයියෙන් යන එකාම තමා.

ලෝකෙ තියෙන ස්පෝට්ස් කාර් වලින් වැඩිම වේගය වාර්තා කරල තිබුනෙ පැයට කිලෝමීටර් 479 ක වගේ වේගයක්. එතකොට චීනගෙ බුලට් ට්‍රේන් එක පැයට තුන්සිය පනහක විතර වේගෙන් යන්නෙ. ඒ මදිව⁣ට කොන්කෝර්ඩ් ජෙටි එක ශබිදයේ වේගය ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1200 ඉක්මවලා පියාඹල යනවා.

ඔය විදියට බැලුවම වේගෙන්ම යන ඒවා සේරම බලන්න වෙනවා. වේගෙන්ම යන බයික් එක ඩොජ් ටොමාහෝක්. තාමත් බයික් නමයයිලු වික්කෙ. වේගෙනං පැයට කිලෝමීටර් හයසිය හැත්තෑ පහක් විතර. හුහ්. පාරෙ යනකොට වහල තියෙන දොරවල් ඉබේ ඇරෙන සයිස්. වේගෙන්ම යන නැව නොට් 58 ක්  නැත්නං පැ.කි.මී. 100 ඉක්මවලා යනකොට වේගෙන්ම යන ජෙට්, ශබිදයේ වේගය වගේ දෙගුණයක් ඉක්මවල යනවා. එතකොට සත්තු.. ඔව් චීටා පැයට සීයක විතර වේගෙන් යනකොට මෙක්සිකෝවේ සතෙක් ඊටත් ටිකක් වේගෙන් දුවල රෙකෝඩ් එක තියනවා.

බලං ගියාම වේගය කියන එක බිංදුවේ ඉදල කොච්චර දුරට ඇදෙනව ඇත්ද? අපි මේ ලෝකෙ රහක් නැතිව වේගෙන් දුවන්න ලැහැස්ති වෙද්දි අපි කකුල් තියං ඉන්න පෘථිවිය තමන්ගේ වටේ කැරකෙන්නට එහෙම නැත්නං භ්‍රමණය වෙන්නෙ පැයට කිලෝමීටර් 1600 ක විතර වේගෙන්. ඒත් අපිට දැනෙන්නෙවත් නැහැ නෙව. ඒ මදිවට පෘථිවිය සූර්යයා වටේ පැදකුණු කරන වේගය එහෙම නැත්නං පරිභ්‍රමණ වේගය කොච්චර ඇත්ද. ඔව් එ්ක පැයට කිලෝමීටර් 110,000 ක විතර වේගෙන්. හුහ්. සෙල්ලලංද. අපි දන්නවා නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන. ඉරයි අපියි තව හත් දෙනෙකුයි එකතු වෙලා සමාදානෙං යන ගමනක් මේක. අපේ ලොක්කා වෙන සූර්යයා තමන්ගේ වටේ කැරකෙන්නෙ පැයට කිලෝමීටර් 7190 ක්. එතකොට ඉරයි අපියි චක්‍රාවාටයෙ පරිභ්‍රමණය වෙන වේගය පැයට කිලෝමීටර් 720,000 ක් විතර. කජු ඇ⁣ටද කොස් ඇටද? කව්ද හැබෑට මෙච්චර වේගෙන් යන්නෙ. මක්කට යනවද? මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ. අපි ඉන්න මන්දාකිණිය ඊටත් වේගෙන් යනවා. එතකොට එක එක මන්දාකිණි එකිනෙකට නෙදෙවෙනි අසාමාන්‍ය වේගයන් ගෙන් ගමන් කරනවා. දැනට අපට දැකිය හැකි මන්දාකිණි ප්‍රමාණය බිලියන ගානක් වෙද්දි මේ සියලු මන්දාකිණි වල තාරුකා, ග්‍රහලෝක එකිනෙකට සාපේක්ෂව අති විශාල වේගයන් ගෙන් ගමන් කරනවා. එහෙම බලන කොට මෙව්වට යන්න තැනක් තියෙන්න එපායැ. ඒ කියන්නෙ මුලු විශ්වයම තත්පරයක් ගානෙ ප්‍රසාරණය වෙනවා. ගණන් බලා ඇති විදියට විශ්වයේ ප්‍රසාරණය තත්පරය කිලෝමීටර් 67 ක් විතර. ඉතිං මේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ විශ්වය කොච්චර ලොකු වෙලා ඇද්ද නේද?

මේක පුදුම වැඩක් තමා. හැම තැනම එකිනෙකා පරද්දන වේගෙ. අපි ඔය අභ්‍යාවකාශයේ වෙන සන්තෑනි බලන්න එක එක රොකට් පෘථිවිය පන්නල එළියට යවන්නෙ. රොකට් එකක් උඩ යැව්වට ඒක පෘථිවිය දාලා යන්න බෑම කියල නාහෙන් අඩනවා. ඒ මොකද පෘථිවියේ වායුගෝලය මෙව්වට යන්න බැරි වෙන්න අසාමාන්‍ය ප්‍රතිරෝධයක් දක්වනවා. ඔය වායුගෝල කරදරේ මැඩගෙන පැනගෙන යන්න නං රොකට් එකක් අඩුම ගානෙ පැයට කිලෝමීටර් 28000 ක වත් වේගෙන් යන්න ඕන. අන්න එහෙම උනොත් වායුගෝල ප්‍රතිරෝධයට පිටුපාල පෘථිවියෙන් එළියට යන්න ඇහැකි. මේ ළගදි එලෝන් මස්ක් තමන්ගේ  රොකට් එකකින් කාර් එකක් අභ්‍යාවකාශයට යවපු සිද්ධිය රන්සිරිමල් මලයා ලියල තිබුනා. ඊට පස්සෙත් ස්පේස්එක්ස් (මස්ක්ගේ ⁣රොකට් කම්පැණිය) චන්ද්‍රිකා තුනක් ගුවන් ගත කරා. ඊට පස්සෙ ගිය සතියෙ ඇට්ලස් කියල යෝදයෙක්. නෙමෙයි රොකට් එකක් තවත් සැටලයිට් එකක් යැව්වා කැරකි කැරකි හිටපිය  කියල. මේ වෙනකොට පෘථිවි කක්ෂය මත චන්ද්‍රිකා හත්දාහක් විතර භ්‍රමණය වෙනව කියල ගණන් හදල තියෙන්නෙ. හැබැයි දන්නවද වැඩේ ඔය චන්ද්‍රිකා වලින් සීයෙට තිස් පහක් විතර තමා ඇහැ දාගෙන ඉන්නෙ. අනිත් උන් නිදි. මෙව්වර කිව්ව එකේ චන්ද්‍රිකාවක් පෘථිවිය වටේ කරකෙන වේගය නොකිව්වොත් හරි නෑනෙ.  සාමාන්‍යයෙන් පෘථිවි පහල කක්ෂයක භ්‍රමණය වන චන්ද්‍රිකාවක් තමන්ගෙ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 28000 ක විතර තියාගන්න ඕන ආයිත් පොළවට කඩා නොවැටෙන්න නං. මේ වේගය පෘථිවියෙන් තවත් ඉහලට යද්දී අඩු වෙනවා. අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ,ISS එක පොළව වටේ භ්‍රමණය වන වේගය පැයට කිලෝමීටර් 28000 ට ආසන්නයි. කලින් කිව්ව පෘථිවි වායුගෝලය පරදවල අභ්‍යාවකාශයට  රෙ ාකට්ටුව විදින වේගයට ආසන්න වෙනවා නැවත පෙ ාළවට කඩා නෙ ාවැටී ඉන්න උවමනා නම්. හැබැයි වෙනත් කක්ෂයන් හි ඒ කියන්නෙ පෙ ාළවට තවත් දුරින් තියෙන චන්ද්‍රිකා වල ස්පීඩ් එක මෙයට වඩා අඩුයි. ඔය හැම සංහදියකටම බලපාන එකම දෙය පෘථිවි චුම්බක ක්ෂෙත්‍රයෙ බලපෑම තමා. (මුල ඉදලම මෙතන වැරදි වචනයක් තිබිලා. මටත් දැං ක්ලික් උනෙ. 2018.03.07 :16:24. චුම්බක කියන එක ගුරුත්ව කියල වෙනස් වෙන්ටෝන. සමාවන්න වැරද්දට)

ඔය සේරම කරුණු අරගෙන බැලවම වේගය කියන්නෙ විශ්වය ඉපදුන දා ඉදලම පවතින අත්‍යාවශ්‍ය වූ සාධකයක්. දැං හැබැයි මෙහම අහන්න එපා. ඔච්චර හයි ස්පීඩ් විශ්වයක් දෙයියන්නාන්සේ කොච්චර වේගෙන් මැව්වද කියල හිටං. අපට හිටිය ශ්‍රෙෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන අයින්ස්ටයින් මහත්තයා තමන්ගෙ නියමයක සදහන් කලා මේ විශ්වයේ පවතින කිසිම දේකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්ට බෑමය කියල. ආලෝකය තමා අපි දන්න දේවල් අතරින් වේගයෙන්ම ගමන් කරන්නෙ. ආලෝකය දළ වශයෙන් තත්පරයට කිලෝමීටර් ලක්ෂ තුනක් විතර වේගෙන් යනවා. මෙන්න මේ වේගය ඉක්මවලා යන්න බැිරිය කීව අයින්ස්ටයින් ගේ නියමය බොරුවක් කියල ඔප්පු කලා 2015 දි විතර. හැබැයි ඒක අකුලගන්න උනා ගණනය කිරීම් වල වැරැද්දක් නිසා වැඩිපුර වේගයක් ඇවිත් නිසා. විශ්වයෙ ආලෝකයේ වේගයට ඉතා සමාන ඒ කියන්නෙ 99.9% ක්ම ආසන්න වේගයකින් ගමන් කරන වායුමය තාරකා හඳුනාගෙන තිබුනත් මේ කිසිම දෙයකින් අයින්ස්ටයින් ගේ නියමය වැරදියි කියල ඔප්පු කරන පුලුවන් වෙලා නෑ. 

ඔන්න පුතේ කාර් එක අරන් පැයට සීයට පාගල බුකියේ අප්ඩේට් දානන එපා දැන්නං හරිය.  

Wednesday, January 10, 2018

I, Daniel Blake


බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්‍රශ්නය තියෙනවා. මම මාසෙට දවස් කීයක් අතේ එක රුපියල් සීයක් නැතිව ඉදල තියෙනවද? ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. ඔන්න අද උදේ නැගිට්ට වෙලාවේ ඉදල අතේ කීයක් වත් නෑ. (අපේ අතේ නෑ කියන්නේ බැංකුවෙත් නෑ කියන එක තමා) සමාර වෙලාවට එදාට ප්ලේන්ටියක් බොන්නවත් සල්ලි නැති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට මේ ජීවිතේ මොකක්ද මේ විදින දුක මොකක්ද කියල පපුව හිර වෙලා ඇස් රත් වෙන හැගීම කී දෙනෙක්ට නං දැනිල ඇත්ද? මිනිස්සු නං කියාවි තොපි ඉතුරු කරන්න දන්නේ නැති එකට, ජීවත් වෙන්න නොදන්න එකට, සැලැස්මකට අනුව ජීවිතේ ගොඩනගාගන්න බැරි එකට අපි පලිද කියලා. ඒත් දුප්පත්කම, බඩගින්න කියන්නේ වචන වල හිර උන ජීවිත අවදානමක්. ඒක මිහිපිට විඳවීමක්. මම නං ඒ වගේ විදවල තියෙනවා හදවත ඉරිලා ඇතුලෙන් ලේ ගලනවා කියල හිතෙන ගානටම.

ලංකාවේ මිනිස්සු නං ඒ අතිං වාසනාවන්තයි. පුහ්.  කන්න බොන්න නැති දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුව සුභසාධන කටයුත්තක් විදියට මාසෙකට ලොකූ සල්ලි මල්ලක් හරි බඩු මල්ලක් හරි දෙනවා. මොන බොරුද කියල අහවි. නෑ ඇත්තටම රුපියල් දෙදාහක් උනත් හාල් දහයක මල්ලක් උනත් මොනවත්ම නැති කෙනෙකුට මහ මෙරක් වගේ බර උදව්වක්. කව්ද ඇත්තටම හොයල බලන්නේ ඒ වගේ මිනිස්සු සමෘදියෙන් දෙන සොච්චමෙන් ජීවත් වෙන විදිය. ඒ මිනිස්සුන්ට තව උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ආණ්ඩු මොනාද කරන්නේ. උන්ට ඕන නැති එකාගෙන්ම බදු ටික අයකරගෙන නැති එකාම කම්බස් කරල දාන්න තමා. ලොකු එකා බදු වංචා කරගෙන බෝම ලස්සනට ජීවත් වෙනවා. කව්ද මේවට නැගී හිටින්නේ?

අපි හිතනවා මේ තත්වය දියුණු රටවල් වල සෑහෙන්න අඩුය කියලා. ඇත්තටම එහෙම නෑ. ලෝකේ හැම තැනම එකම අපායක්. එංගලන්තේ විරැකියා ප්‍රතිශතය 1975 ට පස්සේ අඩුම ප්‍රතිශතයට ඇවිල්ලය කියල ඒ ආණ්ඩු පාරම් බානවා. ඒ රටේ ආණ්ඩු උනත් මින්ස්සුන්ගේ සුභසාධනයට, කන්න අදින්න, ඉන්න තැනක් නැති අයට සහන සපයන්න අතේ ඇට කඩ කඩ අමාරුවෙන් කටයුතු කරනවා.

ගිය අවුරුද්දේ ඇවිත් තිබුනා එංගලන්තේ සුභසාධනය මොන වගේ තැනක හිරවෙච්චි අධිරාජ්‍යවාදී, අමානුෂික එකක්ද කියල ලෝකෙටම පෙන්නන චිත්‍රපටියක්. ඒකේ නම I, Daniel Blake. චිත්‍රපටයේ කතාව මේ වගෙයි.

අවුරුදු පනස් නමයක් වෙච්චි ඩැනියෙල් බ්ලේක් කියන වැන්දඹු මනුස්සයා වඩු කාර්මිකයෙක්. ඒත් හදිසියේ ඇති වෙච්චි හෘද රෝගි තත්වයක් හේතුවෙන් වැඩ පල වලින් ඉවත් වෙලා විවේක ගන්න සිදු වෙනවා. නමුත් වෙනත් ආදායම් මාර්ග නැති ඩැනියෙල්ට සිද්ධ වෙන්නේ රජයෙන් දෙන සුභසාධන මුදලින් යැපෙන්නයි. නමුත් රජයෙන් ඔහුට කියනවා රැකියාවට යන්න කියලා. නමුත් ඩැනියෙල්ගේ වෛද්‍යවරු ඔහු රැකියාවට යාම අනුමත කරන්නේ නැහැ. මෙන්න මේ තත්වය ඒ කියන්නේ රජය ඩැනියෙල්ගේ සුභසාධන මුදල කපා හරින්න සෑහෙන්න ඕන කමින් කටයුතු කරද්දී අතිශය දරුණ විදියට රජයේ සේවයේ ගොදුරක් බවට පත් වෙන්නටත් ඊට අනුකූලව ඔවුන් කියන දේවල් කරමින් තමන්ට ලැබෙන ඩෝලය ආරක්ෂා කර ගැනීමටත් ඩැනියෙල් දරන වෙහෙස මේ චිත්‍රපටයේ ඉතා වේදනාකාරි ලෙස ඉදිරිපත් කරල තියෙනවා. මේ චිත්‍රපටයේ තවත් චරිතයක් කේටි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් නමුත් රැකියාවක් ඉන්නට හිටින්නට තැනක් නැතිව ජීවත් වෙන කෙනෙක්. මේ චිත්‍රපටය පුරාම දරිද්‍රතාවය මොකක්ද කොච්චර දැනෙනවද කියන එක පෙන්වන්නෙ කේට්ගේ චරිතය හරහා. අවසානයේදී තමන්ගේ අභියාචනය විභාග කරන අවස්ථාවේදී ඩැනියෙල් හාට් එකකින් මැරෙනවා.

මේ චිත්‍රපටයෙදි එංගලන්තේ සුභසාධන වැඩපිළිවෙලත් එහි තිබෙන යල් පැන ගිය දෘඩ, අමානුෂික ක්‍රමයත් පැහැදිලිවම සාකච්ඡාවට බදුන් කෙරෙනවා. චිත්‍රපටයේ කියන තරම් යකා කලු නැතත්, දහස් ගණනක් මිනිසුන් මේකෙන් පීඩාවට පත් වෙලා පාරට වැටිල එහෙම නැත්නං සේරම හරියද්දි ඒ මනුස්සයා මැරිල හරි තියෙනවා.

දුප්පත්කම ඩැනියෙල් බ්ලේක්ට වත්, කේටි ටවත් මටවත් විතරක් නෙමෙයි තවත් මිලියන ගානක මිනිස්සුන්ට අයිති දෙයක් කියල මේ චිත්‍රපටය බැලුවම තේරෙවි. මට නං මේක Heart touching movie එකක්. 

ඩවුන්ලෝඩ් කරගන්නවනං මෙන්න ලින්ක් එක.


Trailer