අවුරුදු හතරක් විතර කාලයක් කටුබැද්ද, රාවතාවත්ත, මොරටුව, කොරළවැල්ල පැති වල මටත් ලගින්න උනා නේ. ඒ කාලේ දැං මතක් වෙන්නේ කිසියම් වූ මිහිරි හැගීම් එක්කමයි. ඒත් ඒ දවස් වල ගතකරපු ජීවිතය ගැන ඒ කාලේනං තිබුනේ අජූත හැගීමක්.
අපි බෝඩින් වල ගත කරපු ජීවිත ගැන මට අද එකපාරට මතක් උනේ සහෝදර හැංගුව එයාගේ බෝඩිං පෝස්කටුව නිසයි.
මම ඉස්සෙල්ලාම මොරටුවට ගොඩ බැස්සට පස්සේ හිටියේ රාවතාවත්ත හන්දියේ තිබුන බෝඩිමක. ඒ බෝඩිම හොයාගත්තේ රාමේ කියන මගේ මිත්තරයා, බැචා. ඉතිං මිනිහා කිව්ව නිසා මාත් අඩුමකුඩුම ටිකත් ගැට ගහගෙන ගියා එහේ නවතින්න. රාවතාවත්ත හන්දියේ ලුනාව පාරට වෙන්න තියෙන පල්ලියත් එක්කම, පල්ලියෙ තාප්පෙන් ඇතුල් පැත්තට තියෙනවා පොඩි අඩි පාරක්. ඒ පාර දිගේ ගියාම කෙලින්ම බෝඩිම. ඔය බෝඩිමේ කාමර තිබුනා පහක්.. හතරක් අළුත් හදපු අඩුක්කුවක් වගේ පොඩි කඩ පේලියක් වගේ ගේකයි තිබුනේ. අනිත් කාමරය වෙනම හදපු තරමක් ලොකු කාමරයක්. ඒ කාමරයි අර කාමර හතරයි හරියට අංශක අනුව හැඩේට තිබුනට ඒක වෙන්වෙලා තිබුනේ අනිත් ගෙවල් වලට යන පාරෙනුයි කාමර හතරේ බෝඩිමට අල්ලල තිබුන නාන ලිදෙනුයි තමා.
රාමයා හිටියේ තව දෙන්නෙක් එක්ක අර ලොකු කාමරේ. ඒකේ තුන්දෙනෙක් ඉන්න නිසා මට ලැබුනේ ලිද ගාව තිබුන කාමර හතරෙන් එකක්. ඒක කාමරයක් කිව්වට වඩා හොදා මිනි පෙට්ටි දෙකක් දාපු ටකරං මඩුවක් කියල කියන එක. බිත්ති දෙක දෙපැත්තට ඇදන් දෙක. එතකොට අතරින් ඇවිදින්න අඩි දෙකක් විතර ඉඩක් තිබුනේ. පොඩි ස්ටූල් එකක් තිබුනා ඔය පොඩි පොඩි බඩු තියාගන්න. ඇදට උඩින් බිත්තියේ ගහල තිබුනා ලෑලි රාක්කේ තමා ඔක්කෝම බඩු තියන්නේ. මගේ ඇද උඩ මට එකයි. අනිත් ඇද උඩ අනිත් එකාට එකයි.
ඒ මිනිහාගේ නම මට දැං අමතකයි. ඒත් මිනිහා වැඩ කරේ වෙලෝනා එකේ. මිනිහා හරිම අමුතු සතෙක්. කවදාවත් මාත් එක්ක කතා කරන්නෑ. හැන්දෑවට ආවත් ඔහේ වාඩි වෙලා පපුව අත ගගා කල්පනා කර කර ඉන්නවා. අනිත් උන් නං කිව්වේ මේ හාදයා වෙලෝනා එකේම වැඩ කරපු කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියට ඒකි බුට් එක තිබ්බට පස්සේ මූට පිස්සු හැදුනයි කියලයි. ඒකත් ඇත්ත වෙන්න ඇති. මොකද මුල්ම දවසේ මං ඇහුවම ගම කොහේද කියල මිනිහා කිව්වේ ආණමඩුවෙයි කියලා. ඒත් පස්සේ තමා දැනගත්තේ මිනිහා අනුරාධපුර පැත්තේ කියලා. ඒත් පස්සේ දවසක තව කාට හරි මිනිහම කියනව ඇහුනා ඒ යකාගේ ගම අකුරැස්සද කොහේද කියලා. ඉතිං මං තේරුං ගත්තා මේකා පිස්සෙක් කියලා.
එක දවසක් පොර නාලා ඉවර වෙලා හවස තේ බොන්න හන්දියට ගිහිල්ල. හැමදාම ප්ලේන්ටි බොන මේ හාදයට කඩේ එකා නෙටස්ටමෝල්ට් එකක් පොවලා මිනිහා මෝල් වෙලා. මට ඇවිත් කියනවා “මල්ලියේ මාර සීන් එකක් නේ.. මට ඇග පත පන ගහල ආවනේ“ මං ඇහුවා මොනවද කෑවේ කියල. “මුකුත් නෑ නෙට්ටමෝල්ට් එකක් බිවිවා“ කියල කියාපි. ඔන්න ඔහොමයි මිනිහගේ තත්වේ.
බෝඩිමේ අංකල් කොන්ඩෙ සුදු වෙචිචි වැඩිය උස නැති මහත බුවෙක්. වයස නිසා බෝම අමාරුවෙන් තමා ඇවිදින්නේ. හැමෝටම නමින් කතා කරපු මිනිහා තමා අපිට උදේට ප්ලේන්ටියක් දෙන්නේ. අපි හිටියේ මාසෙකට රුපියල් හාරසීය ගනනේ. ඉතිං ඒකට හරියන්න ප්ලේන්ටිය නිකං දෙන ගානට තමා අංකල් කතා කරේ. උදේ පාන්දර ප්ලේන්ටි හදාගෙන ජොග්ගුවට දාගෙන පොර එනවා කාමර ගානේ. නම කියල කතා කරාම අපි නැගිටල ගිහ්ල්ල කෝප්පෙට ප්ලේන්ටිය දාගන්නවා.
“ඔන්න දේශකයා. මේක තමා මේ මොරටුවෙන්ම තියෙන හොදම තේ එක. මොන බෝඩිමේද මෙහෙම රහ තේ එක්ක දෙන්නේ..“ ඔන්න අංකල්ගේ දිනපතා හෑල්ල. ඕක දවසට තුන් හතර පාරක් වත් කියන එක කියනවමයි. අපි ඒ දවස් වල හෙන උජාරුවෙන් කියන්නේ අපේ උන්ට යකෝ අපේ අංකල්ගේ තේ එක තමා මේ ලෝකේ තියෙන දිව්‍ය ලෝක රහම තේ එක කියලා. ඉතිං ඒක බලන්න සමහර වෙලාවට අපේ හාදයොත් එනවා. කොහේද හවසට තේ දෙන එකක්යැ. අන්තිමට අංකල්ව අවුස්සල උන් යනවා යන්න.
රාමයා හිටිය කාමරේම හිටියා වසන්ත කියල බුවෙක්. කොල්ලු පිටියේ ස්ටාර් ඩස්ට් ක්ලබ් එකේ වැඩ කරපු. නියම පොරක්. හැබැයි බොන්නෑ. අපි ඉද හිට උන්ගේ කාමරේ සෙට් උනාට ඌට අවුලක් නැත්තේ මොකෝ ඌ රෑට කාමරේ නැහැනේ. හවසට ගියාම මේකා උදේ එන්නේ. හැක්.
ඒත් හිටි හැටියේ පොරට වෙන ජොබක් සෙට් වෙලා යන්න උනා. ඒ නිසා බෝඩිමෙන් සමුගන්න අන්තිම රාත්‍රිෙය්දි අපිට දුන්න පාටියක්. පාටිය දාලා අංකල්ට ඇහෙන්නැති වෙන්න අපි හෙමීට සින්දු කිව්වා.
“ඔබට යන්නම ඕනෑ නං
ඔබ යන්න මගෙන් ඉගිලී
මේ කාමරයේ පුරා රැදුනු
සුවදත් අරගෙන
ඒ සුවද ඇවිත්
මගේ හිත පාරයි“
කපුගේ කියන මේ සින්දුව බීපු මරගාතේ හත් අට පාරක් කිය කිය ඌ බදාගත්තා මට මතකයි. ඔය වෙලාවේ තමා කස්ටියට මතක් උනේ අංකල් රෑ නමයටත් බුදු පහන තියන්න එනවා කියලා. සිමෙන්තියෙන් හදපු අංකල් ගේ පාන් පැල ඒ කාමරේ ළගමයි තිබුනේ. දවසට තුන් පාරක් පාං පත්තු කරල අංකල් වදිනවා. රෑ නමයට, උදේ හයට, දවස් දොළහට. ඒක මතක් වෙලා රාමයා කිව්වා.
“ඒයි බං අපි මරු වැඩක් කරමුද“
“මොකක්ද බං“
“පාං පැලේ බුද්ධ පින්තූර ටිකක් තියමු“
“ඔය තියෙන්නේ බං. තව මොකටද?
“හැක්.. ඒවා නෙමෙයි යකෝ මේවා ටිකක් අලවමු“ රාමයා ඇද යට තිබිලා බ්ලු පොටෝ ටිකක් එළියට ගත්තා. සැප කනේ ඒ වෙලාවේ ඒක දැක්කම. කස්ටියම හරි හරි කියල හෙමින්ම කාමරේ දොර ඇරල අංකල් නැති බව සැක හැර දැනගෙන පාං පැල ගාවට ගියා. ඒකේ තිබුනා මැදින් බුද්ධ පින්ත්රේ .දෙපැත්තේ කතරගම දෙයියයි, සරස්වතී දේවියයි ඉන්න පින්තුර. ඒ ටික වැහෙන්න අමු හෙළුවෙන් ඉන්න කෙල්ලෝ තුන්දෙනෙක්ගේ පින්තූර අපි ඇලෙව්වා. අලවල පස්ස පැත්තෙන් හිනා වෙවි අංකල් එනකං බලං හිටියා. හරියටම නමයට පොර ඇවිත් මල් පහන් තියල විනාඩි 10 ක් විතර වදිනවා. අපිට හිනා වෙන්නත් බෑ ඇස් වල ඒ තරං කදුලු. මේ මනුස්සයා වදින වැදිල්ල දැකලා..
ඔය සිද්ධීය නිසා කෝම හරි එළී වෙන්න කිට්ටු වෙනකම්ම පාටිය නැගල ගියා. වසන්ත බෑග් එකත් අරන් උදේ තුනට විතර ගෙදර යන්න ගියා. මං ඒ එක්කම බඩු ටිකත් අරගෙන පිස්සගේ කාමරෙන් වසන්තගේ ඇදට සම්ප්‍රාප්ත උනා. ඇවිත් හොදට නිදාගත්තා.
“වේස බල්ලෝ. මුං නවත්තගන්නවට මට මඩු වලිගෙන් ගහන්න ඕන. පාහරයෝ. මුං වගේ වේස බල්ලෝ ජාතියක්.. රාමනායක... දේශකයා.. සමන්...“
ඔය සද්දෙටයි නම අඩගහන ටකරං සද්දෙටයි මං එකපාරම ඇහැරුනා. එතකොටත් රාමයා අතිත් කට තද කරං ඇද උඩ වාඩි වෙලා ඉන්නවා. අංකල් නම් කියල කතා කරාම නොගිහින් පුළුවනෑ. දොර ඇරගෙන අපි ගියා එළියට.
“රාමනායක.. කව්ද මේ අලුගුත්තේරු වැඩේ කරේ.. තමුසෙල තමා මේක කරේ. මං දැක්කා ඊයේ රෑ එළිවෙන කං කාමරේ ලයිට් පත්තු වෙනවා. තොපි මහ වේස බල්ලෝ ජාතියක්. අදම පලයල්ල යන්න. උඹලගේ ඇඩ්වාන්ස් එකත් මං දෙනවා. අදම පලයල්ල“
“ඇයි ඇයි අංකල්.. මොකක්ද අවුල. අපි රෑ පාඩං කරානං තමා අද විභාගේ නිසා“
“කව්ද යකෝ මේ පාං පැලේ හෙළුවැලි පින්තුර ඇලෙව්වේ.. තොපි තමා මේක කරේ.. මං අතාරින්නෑ.. තොපි යවනවා මේකෙන් එලියට“
“අනේ අංකල්.. අපි දන්නෑ.. අපි ඕවා බලන්නෙත් නෑ. කෝ බලන්න“
රාමනායක හෙමින් පැලට එබී බලන කල අංකල් පාන පත්තු කර වන්දනා කරන පින්තුර දිහා බලා ලැජ්ජාවෙන් මෙන් ඇඹරුනා.
“සිකේ අංකල්.. මේක මහ සහගහන අපරාදයක් නේ.. කව්රු මේ වගේ පඩත්තර වැඩ කරනවද මන්දා.. අංකල් දන්නවනේ අපි ඕවා කරන්නෑ කියලා“
“ඒකනේ ඒකනේ... කව්ද මේක කරේ. මට අර ටෙක් එකේ ඉන්න කොල්ලෝ තුන් දෙනත් විස්වාස නෑ. උං අද උදෙන්ම ගිහිල්ලා“
“අා. අංකල්. අද වසන්ත උදේම ගියා ගෙදර..ආයි එන්නෑ කිව්වා“
“මේ මේ වසන්ත.. මිනිහා ගියා. මට කිව්වෙවත් නෑ. අඩු ගානේ මේ මාසේ සල්ලි දුන්නෙත් නෑ“
“එහෙමද අංකල්. අපි දන්නෑ. මිනිහා කිව්ව අංකල්ට මාස දෙකකම සල්ලි දුන්නයි කියල“
“පර බල්ලා.. එහෙනං මේ වසන්ත තමා මේක කරන්න ඇත්තේ. ඌට අනුකම්පා කරලයි මං මෙතැන ඉන්න දුන්නේ. අන්තිමට ඌ මටම අත හොදල යන්න ගියා.. මෙහෙමත් වසවර්තියෝ“
රාමනායකගේ පාවාදීමත් එක්ක අපි යන්නං ෂේප් උනා. නැත්නං වසන්නයැ. අංකල් ඊට පස්සේ තරහෙන් අර පින්තුර ටික ගලවල එළීයට විසි කරා. බුද්ධ පින්තුරත් එක්කම. පස්සේ අපි ඒවා ඇහිද ගෙන බුද්ධ පින්තුර විසි කරලා අනිත් ටික ආයි අරන් ඇද යටින් ගිහින් තියාගත්තා.