Showing posts with label හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්. Show all posts
Showing posts with label හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්. Show all posts

Wednesday, September 5, 2018

බුකි බුක් චැලෙන්ජ් (Book challenge in FB)

බුකියෙ විටින් විට එක එක ජාතියේ රැළි එනවා. අපි නං කැමති ලීක් වෙන රැළි වලට තමා. ඒ උනාට ඒවා කළුනික වගේ. හරීම කලාතුරකින් තමා එන්නේ. ඒ අතරේ එක එක චැලෙන්ජ් එනවා අයිස් බකට්, අමුමිරිස් වගේ ඒවත්. හරිම සන්තෝසෙන් කියන්නේ මං ඔය කිසිම චැලෙන්ජ් එකකට සහභාගී උනේ නෑ.

මේ වතාවේ නං බේරෙන්න බැරි උනා. බිත්තිය බ්ලොග් එක ලියන උතුම් පැතුම් හේරත් විසින් දවස් හතක් තුල අනං මනං නොකියා පොත් හතක පිට කවර දාලා දවස් හතට කවුරු හරි හාදයෙක් ජාවාරමට නම් කරන්න කියල ගියපු බුකි බුක් චැලෙන්ජ් එකට පැතුම්ගේ තුන්වෙනි දවසේ වෙන්ටෝනෙ මාව නොමිනේට් උනේ. සාහිත්‍ය මාසෙත් එන එකේ අන්න වැඩේ කියල මං බෝම සන්තෝසෙන් ඒ අභියෝගය බාර අරගෙන දවස් හතට පොත් හතක් දැම්මා. ඒ පොත් හත පොඩි කාලේ ඉදල මේ දවස් වෙනකම් මගේ පරිනාමයට අනුකූල වන පරිදි පිළිවෙලට දාන්නත් මං උනන්දු උනා.

කියන්න කනගාටුයි ඔය ජාවාරමට නම් කරපු කීප දෙනෙක්ම සද්ද වහල හිටියා. උන්ට නං ඕක් ලීයක් අරන් තඩි බාන්නේ අපේ වසන්තම් ලී කෙලි පටන් ගත්ත දවසක.

දවස් හතේ නම් කරපු ගෝතයන් ගැන විස්තර මුලින්ම


මේ මිතුරන් හත් දෙනා අතරින් කුෂාන් සහ ඉන්දික කොඩිතුවක්කු තවම අභියෝගය බාරගෙන නැහැ. ගල්මල් අයියා (මුබාරක් ඩීන්), රාමදාස, සොඳුරු සිත කියන මිත්‍රෙයා් ටික කුඩා ප්‍රමාණයකින් අභියෝගය බාර ගත්තා. ඒ වගේම ප්‍රදීප් චන්දන සහ තරිඳු යන දෙන්න සම්පූර්ණයෙන්ම අභියෝගය බාර ගෙන ඇති බවත් දැක්කා. හැමෝටම ස්තුතියි.

ඒ චැලෙන්ජ් එකේ හැටියට කව්රු හරි නම් කරල පොතේ පිට කවරෙ පින්තුරයක් දාලා නිකා ඉන්න ඕන. ඉතිං මට හිතුනා ඔච්චර කියන්න දේවල් තියෙද්දි නිකං ඉන්නේ මක්කටද කියලා. අන්න ඒ නිසා මම තීරණය කරා මම දාපු පොත් හත ගැන පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාලා ඉන්න ඕන කියලා. ඔන්න පහලින් ඒ විස්තරේ ඇති. ඊටත් පහළින් ඔහේලට දික් කරපු බුලත් කොළයක් ඇති ඒකත් අරගෙන යන්ට හොදේ.

පළවෙනි දවස





මං පොතක් කියල මුලින්ම කියවපු පොත මේක. මම අතට ගන්න කොට පොතේ පිට කවරයක් තිබ්බෙත් නෑ. මුල සහ අග පිටු කිහිපයක් තිබුනෙත් නෑ. මං එතකොට පහේ පන්තියේ විතර ඇති. අපේ ගෙදර තිබුනා සොල්දරයක්. ඕකේ පුරාම දාලා තිබුනේ ගෙදර තිබුන පරණ බඩුයි අරවයි මේවයි තමා. කාලයත් එක්ක සොල්දරේ ලෑලි හෙමත් දිරල තිබ්බ නිසා අම්මා අපිට සොල්දරේට යන එක තහනං කරල තිබුනේ. ඒ උනාට ඔය කාලේ හම්බෙච්චි ප්ලේබෝයි පින්තූර කෑලි හංගන්න තැනක් නැති නිසා මංතෝරගත්තෙ සොල්දරේ. අන්න එහෙම ඒ පින්තූර තියන්න තැනක් හොයන කොට තම මේ වගේ පොත් ගොඩක් හම්බුනේ. ඒ පොත් අතරින් ඉස්සෙල්ලාම අතට ගත්තෙ මේ කවර නැති පොත. ඒක ඇතුලෙ අර පින්තුර ටික දාල පරිස්සමට අරන් තිබ්බා පස්සේ ඕන වෙලාවක බලන්න හිතාගෙන. කෝම හරි ටික දවසක් යන කොට අර පින්තූර ටික යාලුවෙකුට දෙන්න වෙලා පොත අතට අරගෙන බලන කොට තමා ඒකේ අකුරු කියවුනේ. ඉස්සෙල්ලම දැක්කේ “සැමෝවාරය“ කියන වචනේ වගෙයි මතක. මොන කුනුහබ්බයක්ද මේ කියල ඒ සැමෝවාරේ කියන වචනය හොයන්න තවත් පේලි දෙක තුතක් කියව්වට ඒක තේරුනේ නෑ. ඒපාර තව පිටු දෙක තුනක් එහා මෙහා කියවන්න ගත්තම තමා තේරුනේ මේ මොකක්ද කියල එක. අන්න ඒ පළමු පියවර නිසා මට ඒ පොත කියවන්න හිතුනා. ඔය කපිතාන්ගේ දියණියෝ කියන කතාව තමා මං කියවගෙන ගිහින් තිබුනේ. ඒකත් එක්කම ඉස්කෝප්ප රැජින කතාවත් තිබුනා. ඒ කතාවත් කියෙව්වා. සමාර වචන තේරුම යනකං දෙතුන් පාර කියවන්න උනා මේ පොත. ඒ පොත කියවල ඉවර උනාම මං බැලුවා ඒ පොත් ගොඩේ තවත් මේ වගේ පොත් තියේද කියල. අන්න එතකොට හමුඋනා ගොගොල්ගේ හිමකබාය සහ තවත් කතා පොතක්. මේ සේරම රුසියන් පොත් කියල දැනගත්තට ඒ වෙනකම්ම මං දැනං හිටියේ නැ රුසියන් සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලවත්. අපේ අම්මලයි පුංචි මාමා තමාලු ලුමුම්බා සරසවියේ හිටපු සිංහල ආචාර්යවරයා. අම්මල ඔය කතාව පුරාජේරුවට දහ දොලොස් වතාවක් කියල තිබුනට මං නං සතේකට විස්වාස කරේ නැ. ඒ උනාට මේ රුසියන් පොත් එයාගේ කියල අම්මා පස්සේ කිව්වා. ඔන්න ඔතනින් තමා මං කියවන්න පටන් ගත්තේ. ආරම්භය නරකම නෑ නේද?



දෙවැනි දිනය




ඔය විදියට පටන් ගත්ත රුසියානූන්මාදය සෑහෙන්න කාලයක් එක දිගට අල්ලල හිටියා. ගෙදර සොල්දරේන් හම්බු උන හොඳ පොත් වගේම බාගෙට ගැලවුනු, ඉරුණු, වේයෝ කාපු පොත් හෙමත් අමාරුවෙන් කියෙව්වා. ඔව්ව කියවගෙන ඉන්න කොට මගේ වයස නිකම්ම ගියා. එතකොට මං හතේ අටේ විතර ඇති. දැං ගෙදර කියවන්න පොත් නැති නිසා මං අපේ ගමේ පුස්තකාලේට යන්න ගත්තා. හැන්දෑවට පුස්තකාලේට ගියාම ආයි ඒක වහනකම්ම රුසියන් පොත් අරන් කියෙව්වා. පුස්තකාලේ මට මතක විදියට හොද රුසියන් පොත් එකතුවක් තිබුනා. ඒ කාලේ අපිට පොත් ආවේ රාදුගා පබ්ලිෂර්ස්ලගෙන්. රාදුගා කියන්නේ දේදුන්න කියල මං රුසියන් වලින් තේරුමත් හොයාගත්තා. ඔය පොත් බොහොමයක් පරිවර්තනය කරල තිබ්බේ දැදිගම වී. රොද්‍රිෙගා් මහත්තයා නේ. අන්න ඒ පොත් වල රුසියන් බසින් පොතෙ නම, කතුවරයගේ නම සහ පරිවර්තකයගේ නමත් සඳහන් කරල තියෙනවා. ඒ අකුරු දිහා බලාගෙන තටම තටම රුසියන් හෝඩිය, අකුරු හදන ආකාරය, වචනයක් කියවන විදිය වගේ දේවලුත් මං කරා. ඒකෙන් පොත් වල තියෙන මේ වචන කීපය අමාරුවෙන් හරි කියවන්න පුලුවන් උනා තේරුම නොදැන උන්නට. ඇත්තටම හරිම රසවත් අත්දැකීමක් මට ඒක. මං ඒ දවස් වල ලස්සනට තියාගෙන හිටිය පරණ ඩයරි වල රුසියන් අකුරෙන් සිංහල ලිව්වා. එව්වට කියන්නේ සිංරුසියන් වෙන්ටැති. ඔන්නොහොම රුසියන් පොත් කියවන් ඉද්දි මට ආයෙත් වයස ගියා. දැං මං දහයේ විතර ඇති. පුස්තකාලේ තිබ්බ සියලුම පොඩි රුසියන් පරිවර්තන පොත් මං කියවල ඉවරයි. සමහර ඒවා දෙතුන් පාරත් කියවල තිබුනා. ඒ අතරින් ඉතිරි උනේ ගෝනි පොත් කීපයක් විතරයි. තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, දොස්තයෙව්ස්කිගේ අපරාදය හා දඩුවම, නිවටයා, කරමසෝ සහෝදරයෝ වගේ හෙන දඩාර් සයිස් පොත්. ඔව්වා මේ පොඩි එකා වෙච්චි මට උහුලන්න පුලුවන් පොත් නොවෙයි කියල මං හිත හදාගත්තා. ඒත් පුස්තකාලේ කියවන්න තවත් රුසියන් පොතු නැති කොට, අලුතෙන් පොත් එන්නෙත් නෑ. ඒක නිසා මං හිතහදාගෙන පුස්තකාලේ සාමාජිකත්වය ගත්තා. එහෙම අරගෙන නමෝ විත්තියෙන් ගෙදර අරන් ගියේ අපරාදය හා දඩුවම පොත. ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් පිටු තිහ හතළිහ කියවන කොට හිතුනා මොන කරුමක්කාර කමකට ගෙනාවද මේ පොත. ඇත්තටම මේ වගේ අපරාද පොතක් කියවන කොට ලැබෙන දඩුවම මේක තමා කියල හිත හිත තව ටික ටික කියෙව්වා. ඔන්න මැද හරියට යන කොට තමා ටික ටික තේරුනෙ මෙච්චර පිටු ගනන් එක දිගට විස්තර කරන්නේ රෝඩියෝ රෝමනෝවිවි රැස්කොල්නිකොව්ගේ චෛතසිකය කියන එක. ඒවයේ සිතුවිලි අකුරු වෙච්චි දිහා බැලුවම මට හිතුනා “යකෝ මාත් මේ වගේ හිතනවගේ මේ ෆකින් කතෘ කෝමද මේව්වා දන්නේ කියලා“. මේ උත්තේජනයත් එක්ක පොත සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ ඉවර කරල ටික දවසක් යනකම්ම හිත හොල්මන් වෙලා හිටි මම, විටින් විට මට ග්‍රහණය නොව්චිචි තැන් හොයාගෙන ආයි කියෙව්වා. ඒකෙන් මේකෙන් මට දැනෙන දේ වෙනස් වෙන්න සමහර විට දොස්තයෙව්ස්කි අදහස් කරන දේ මට තේරුම් යන්න ගත්තා. අන්න ඒකයි ටර්නිං පොයින්ට්. අපරාදය හා දඩුවම මට අල්ලල ගියා. ඔය පහුගිය කාලේ මං ලියපු කෙටි කතා වල එඩ්ගා ඇලන් පෝගේ ආභාෂයක් තියේය කියල අපේ නවාතැන් රාජ් එහෙම පස් කන්න හැදුවා. මොකද මං මේ වෙන කං ඇලන් පෝගේ පොතක් කියවල නෑ. අන්න එතැනදි අර පස් කාපු රාජ් කිව්වා හරි පෝගේ කතා කියවල නැති උනාට දොස්තයෙව්ස්කි කියවල තියේ නේ. දොස්තයෙව්ස්කිට පෝගේ ආභාෂය ලැබුන නිසා වක්‍රාකාරව මටත් පෝගේ ආභාෂය ලැබුණය කියල. මෙව්වා මහ පුදුම තර්ක හොදේ.. හැක්..

තුන්වෙනි දවස





මොකක් හරි හේතුවක් නිසා මට සුනිල් මාධවගේ ලියවිලි ප්‍රියයි. ඒ සමහර විට සත්‍යවාදියාගේ දිනපොත කොලම් එක නිසා වෙන්නත් පුලුවන්. මොකද මම නොවැරදීම කියවපු කොලමක් තමා ඒක. ඒ කොලමෙමද කොහේද තමා ස්ටීව් බිකෝ ගැන සඳහනක් තිබුනේ. මං එතකොට බිකෝ කව්ද කියලවත් දන්නෑ. හැබැයි සුනිල් මාධව බිකෝගේ කතාවක් “හඬනු මැන නිදහස“ කියල පරිවර්තනය කරල තියෙයි කියල දැනගන්න ලැබුනා. ඒ ආරංචිය ඔස්සේ මම පුස්තකාලයට ගිහිල්ලා මේ පොත හොයාගත්තා. මුල් කවරේ දැක්කම නං හරියට කාල් මාක්ස්ගේ පොතක් වගේ ඔක්කාරෙටත් ආවා. ඒ්ත් මගේ සිරිතක් තමා පොතේ පෙරවදනේ ඉදල තළු මර මර පොත කියවන එක. එ් කියවන කොට දැනුනා පොත හොද එකක් වෙයි කියල. මොකද වීරත්වය, පරාජිකත්වය, කාලකණ්ණී කම මේ හැම දෙයක්ම පොතේ ඇති කියල අනුමානෙන් තේරුනා. ස්ටිව් බිකෝ මොනා උනත් මට අල්ලල ගියේ ඩොනල්ඩ් වුඩ්ස්ගේ නිර්භීත කම. ඔහු නොවන්නට අද ස්ටීව් බිකෝ කෙනෙක් ගැන අපි දන්නෙත් නැ. එහෙන් බිකෝ කියන්නෙ නිකම්ම නිකම් සුදු අප්‍රිකානුවන් අතින් මිය ගිය කල්ලෙක් විතරයි. ඔය පොතේ බිකො එක්ක සාකච්ඡාවකදි සාමාජිකයො ්කියනනවා අපිට බලයක් ආපු දවසට අපිත් සුද්දන්ට හොදට සලකන්න ඕන කියලා. අන්න එතැනදි බිකෝ කියනවා “සහෝදර වරුනි, අපිට සලකපු විදියට සලකන්න අපිත් හදන්නේ ඒ සිස්ටම් එකම නම් මේ සිස්ටම් දෙකෙන් වඩාත් හොද මොකක්ද එහෙම සිස්ටම් එකක් මොකටද“ කියල. අන්න ඒ වචන ටික මට තාමත් හොදින් මතකයි. මේ පොත මම අඩු ගානේ හත් අට වතාවක් කියවන්න ඇති. බිකෝ මරපු කෘරත්වය පෙන්නුම් කරන පින්තූර පවා මේ පොතේ ඇතුලත් උනා. පුද්ගලයෙක් විදියට ප්‍රචණ්ඩත්වයට එහා ගියපු මිනිස්කම දකින්නේ කෝමද කියල මට පෙන්නුව මුල්ම පොත් වලින් එකක් මේක. ඒක නිසා මම මේ පොතට තාමත් කැමතියි.


හතර වෙනි දවස



මේ ප්‍රබුද්ධ කවි පොත මම සේකරගේ කවි වලට තියෙන ආසාව නිසාම හොයාගෙන කියවපු පොතක්. අපි ඉස්කෝලේ යන කාලේ හිතින් පෙම් කරල නොදැනීම සින්ගල් බූට් වැදුනම අමරදේව මාස්ටර් පිහිටට ආපු හැටි ලියපු Adios Master පෝස්ට් එකේ මේ ගැන කෙටි සටහනක් තියෙන නිසා ඒ පෝස්ට් එකේ විස්තරේ බලාගන්නත් එක්ක ඒකේ ලින්ක් එක මෙතැන දානවා. (කොටපියව් මේකට

සේකරගේ මට හිතුන විදියට හොදම කවි පොත ප්‍රබුද්ධ තමා.


පස් වෙනි දවස


ඔය විදියට පොත් කියවං ඉන්න මට හිතුනා මගේ ඇඟ ඇතුලෙත් දොස්තයෙව්ස්කි, ගොගොල්, තොල්ස්තොයි හැංගිල ඉන්නවයි කියලා. අන්න ඒ නිසා මාත් පටන් ගත්තා කවි ලියන්න, පොඩි කතා ලියන්න. එව්වා ලිව්වේ පිටු 80 කොටු රූල් පොත් වල. ඔය වගේ පොත් හත අටක්ම ඕ ලෙවල් කාලේ වෙන කොට මම ලියල තිබුනා. ඒව්ව බලල ස්වයං වින්දනයක් ලැබුවා විනා කිසිම පත්තරේකට ලියන්නවත් ඕන කමක් තිබුනේ නැහැ. හැබැයි ඒ කාලේ බ්ලොග් කියන එක තිබුනා නං අනිවා බ්ලොග් එකක් ලියාවි. ඔන්න ඔය නිර්මාණකරණය නිසා මටත් හිතුනා නිර්මාණ කරන්නේ කොහොමද මේව්වට අනුභූතින් ලැබෙන්නේ කොහෙන්ද චරිත මවාගන්නේ කෝමද කොලයක සටහන් කරන්නේ කෝමද කෙටි කතාවක සැලැස්ම හදාගන්නේ කෝමද වගේ අටෝරාසියක් ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒත් උත්තර හමුඋනේ නැ. ඒත් රන්රෝස කියන පොත මම ගත්තේ ඒකේ කතුවරයාට රුසියන් නමක් තිබ්බ නිසා විතරයි.  මුලින් මුලින් කියවන කොට එච්චර ආසාවක් නෑ. විකාර මාතෘකා තිබ්බේ ඕකේ පරිච්ඡේද වල. සොදුරු සිත ටීචර්ට පුලුවන් නං ඒ හෙඩිං වල නං ටික මට කියන්න.  කොහොම උනත් මෙන්න මේ පොතේ නිර්මාණකරණය කොහොම එකක්ද කියල සඳහන් වෙලා තිබුනා. (මේ පිට කවරේ මං කියවපු පිට කවරේ නෙමෙයි. ඒකේ තිබ්බේ රෝස මලක්ද කොහේද.. මම කියවපු එකේ තිබ්බේ නෑ “නිර්මාණ පිළිබඳ අත්පොතක්“ කියන කැල්ලත්. ) පව්ස්තවුස්කි කියන ලේඛකයා ලෝකය පුරාම අති විශාල ලේඛකයන් සමූහයක් ආශ්‍රය කරල තියෙනවා. තවත් බොහොමයක් ගැන කතා අහල තියෙනවා. අන්න ඒවා හරිම රසවත්. ගොගොල්, ෂොලහොව්, තෝල්ස්තොයි, මෝපසාන්, හාන්ස් ක්‍රිස්ටියන් වගේ විශාල ලේඛකයන් ප්‍රමාණයගේ සත්‍ය අත්දැකීම් මේ පොතේ තියෙනවා. ඒක නිසා මට මේ පොත වෙනම ලෝකයක් උනා. ඇත්තටම රන්රෝස් නිර්මාණකරණයට අත්පොතක් තමා. රණවීර මහත්තයා පස්සේ ඌණපූරණයක් ඇතුලත් කරන්න ඇත්තෙත් ඒ නිසා වෙන්ට ඇති. මේ පොත තරං මං කියවපු පොතක් තවත් නෑ. හාන්ස්ගෙ ඇස් පෙනීම ගැන, ඔහුගේ සංවේදි කම ගැන, සමහර ලේඛකයන් ලියන්න ගන්න කොලය ගැන අරව මේවා ගැන තිබ්බ කතා සේරම හරිම රසවත්. චිංගීස් අයිත්මාතව් පොතක් ලියන්න අනුභුතිය හොයාගත්ත අපූරු කතාවකුත් මට මතකයි. කරුමෙට ඒ පොතේ නම තමා මට මතක නැත්තේ. ඇත්තටම රසවත් පොතක්. ි නිර්මාණ කරන අයෙකුට මං නොපැකිළව නිර්දේශ කරන පොතක් තමා රන් රෝස. ආරිංවංශ රණවීර මහත්මයාගේ පරිවර්තනයන් ඉස්තරම්.


හය වෙනි දවස


ඔය විදියට පොත් කියවපු මං බ්ලොග් එක පටන් අරගෙන බුකියට ගිහිල්ලා රඟන්න ගත්තට පස්සේ හැදුනා පිස්සුවක්. සයිබරේ ලියන්නන් පල කරපු පොත් මිලදී ගන්න එක. දිනිති, තනුජා, පුසාද්, ටිම්රාන්, අරුණි කළුපහන වගේ සෑහෙන දෙනෙකුගේ පොත් මං ගත්තා. ඒ අතරේ ලැබුණ නිර්දේශයක් නිසා තමා රුවන් බන්දුජීවගේ මීළග මීවිත ගත්තේ. ඒකේ පෙරවදන ඉදලම අමුතුයි. මං අතරින් පතර කියෙව්වා. පුදුමයි. මුල ඉදල කියෙව්වා. පුදුමයි. හිත හිත කියෙව්වා. හරිම පුදුමයි. මං රුවන්ගේ කවි වල වැඩි පුරම දැක්කේ ස්වභාව ධර්මයේ නිමැවුම් අපූරු අයුරකින් දකින හැටි. ඒක ඇත්තටම පුදුමයි. මේ කාලේ කවියොන්ට ඔව්වා අහු වෙන්නැ. බතල වැල්, නියඟලා අල, තණකොල මල් ගැන රුවන් ලියපු කවි ඇත්තටම පුදුමයි. ඒ වගේ ස්වභාව ධර්මය දිහා බලල කතා ලියපු කෙනෙක් තමා හාන්ස් ක්‍රිස්ටියන්. ඒ සුරංගනා කතා වල හාන්ස් ලියන්නෙ පරිසරයේ ඔහු දකින දේවල් ලස්සන කෝණයකින් බලල. පුංචි ඩේසියා මල වගේ කතා වලින් ඒක හොදටම පැහැදිලි වෙනවා. අපේ කාලෙ හාන්ස් රුවන් තමා. ඒ කිව්වේ සුරංගනා කතා කියනවා කියන එක නෙමෙයි. ස්වභාව ධර්මය දිහා විශ්මයජනක කෝණයකින් බලන රුවන්ගේ ඇස මට නං තාමත් පුදුමයක්. මං තාමත් සතියකට සැරයක් රුවන්ගේ පොත කියවනවා. මට ඒ වෙලාවට පපුව පිම්බිල රුවන්ගේ හිත ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ. ස්වභාවධර්මයේ ක්‍රියාවන් සම්බන්ධව ඒ දැක්ම කවි වලට අපුර්වත්වයෙන් එක් කළ හැකි මැත කාලින කවියෙක් නම් මට මතක් වෙන්නේ නෑ. හරිම මිහිරි පොතක්.



හත් වෙනි දවස



හාන්ස්ගේ කතා අපි පුංචි කාලෙත් කියවල තියෙනවා. ඒත් බ්ලොග් එක කරන්න ගත්තට පස්සෙ මට ආසාවක් ඇති උනා හාන්ස්ගේ මට දැනිච්චි කතා පරිවර්තනය කරන්න. ඇත්තටම කිව්වොත් අනුවර්තන. ඒක නිසා මං මෑත කාලීනව එක කතාව හත් අට වතාව බැලුවේ මේ පොතේ තියෙන කතා. සමහර කතා වල යටින් දුවන දේශපාලනය, හාස්‍යය අල්ලගන්න ටිකක් අමාරු වෙනවා. සුංරගනා කතා අස්සේ හෙමින් සීරුවේ සමාජයට හිනාවෙන්නෙ කෝමද කියන එක හාන්ස් කියල දිපු නිසා මං හාන්ස්ගේ කතා වලට කැමතියි. ඒක නිසාම තමා හාන්ස්ගේ කතා දොළහක් විතර පරිවර්තනය කෙර්.

හරි එහෙනං මගේ ජිවිතේ ආස කරපු පොත් හතක් ගැන කරපු විචාරේ අවසානයි.

අවසාන වශයෙන් බුකි බුක් චැලෙන්ජ් එක කරපු පැතුම් හේරත්ට ඒ වගේම මං චැලෙන්ජ් කරපු හත් දෙනාටයි ඇතුලුව හැමෝටම ආරාදනා කරනවා මේ සාහිත්‍ය මාසෙ තමන්ගේ හිත ගත් පොත් ගැන අටුවාටීකා ලියල පෝස්ට් එකක් දාන්න කියලා. සාහිත්‍ය මාසේ සරු කරන්න බ්ලොග් ආයි කියවන්න අපි පුරුදු වෙමු. ඒක පට්ටයි හොදේ.

Tuesday, December 27, 2016

එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම අහිංසක කුඩා දරුවා දෙස බලා උන්නාය. ඒ මොහොතේ කිසිවෙකු දොරට තට්ටු කළ අතර, දුප්පත් මහළු මිනිහෙකු කාමරයට ඇතුලු විය. අශ්වයෙකුගේ පිට මත දමන විශාල රෙද්දක් වැනි යමක් ඔහු පොරවාගෙන සිටි අතර, මේ දැඩි ශිත කාලයේ එය ඔහු උණූසුම් කිරිම සඳහා භාවිතයට ගන්නා ආකාරයක් දිස් විය. මුළු රටෙහිම හිම හා අයිස් වලින් තට්ටු බැදී ඇති ශිතකාලයකි මෙය. හමනා අධිශීත සුලං රැල් ප්‍රවාහයන් කිසිවෙකුගේ මුහුණ කපා දැමිය හැකි මුවහත්කමකින් පවා යුක්ත විය. මේ මොහොතේ දරුවා කුඩා නින්දක පසු විය. ශිතයෙන් පීඩිතව මිනිසා ඇතුලට එනු දුටු මව නැගිට, ඔහුට උණූසුම් වීම සඳහා ගිණි උදුන අසලින් කුඩා බියර් ජෝගුවක් තැබුවාය. මහළු මිනිසා වාඩි වී තොටිල්ල පදවන්නට වූ අතර, මව ඔහු අසලින්ම වූ පුටුවෙහි වාඩි වූවාය. ඇය අපහසුවෙන් හා තදින් හුස්ම ගන්නා තම දරුවාගේ කුඩා අත අල්ලාගෙන මෙසේ ඇසුවාය.

“ඔබ හිතන්නේ මං ඔහුව බේරගන්න ඕන කියලද.. අපේ සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔහුව අපෙන් දුරස් කරන එකක් නෑ කියල මම හිතනවා“

ඇත්ත වශයෙන්ම මේ වන විටත් මැරුණු “මරණය“ මහළු මිනිසා එබස් අසා තම ඔලුව දෙපැත්තට පද්දන්නට වූයේ එයින් අදහස් වන්නේ ඔව් හෝ නෑ යන්න හදුනාගත නොහැකි අයුරිනි. තම දෙනෙතින් නැගි කදුළු කම්මුල් හරහා ගලා යද්දී ඇය තම දෙනෙත් පහතට හැරවුවාය. එවිට ඇයගේ හිස බර වනන්නට විය. මේ වන විටත් පුරා දින තුනක් ඇය තම ඇස් මොහොතකටවත් නොපියවා තිබිනි. මේ නිසා ඇයට ඉතා පුංචි වේලාවකට නිද්ද ගොස් තිබිනි. සීතලෙන් ගැහෙමින් ඊළග මෙහොතේ ඇය ඇස් අරින විට මහළු මිනිසා යන්නට ගොස් තිබිණි. කුඩා දරුවා.. ඔව් කුඩා දරුවාත් යන්නට ගොස්ය. මහළු මිනිහා කුඩා දරුවා රැගෙන ගොස් ඇත. කාමරයේ මුල්ලක තිබු බිත්ති ඔරලෝසුව ක්ර් ක්ර් නගිමින් අපසුවෙන් දුවන්නට විය.  බිත්තියේ එල්ලා තිබු එය දම් වැල් වලින් ගැලවී පොළවට වැටුනි.  වේලාව නැවතිනි. තම දරුවාට අඩ ගසමින් අසරණ මව කාමරයෙන් එළියට පැන දුවන්නට විය. එළියෙහි හිම මත වාඩි වී  සම්පුර්ණ කළු ඇදුමින් සැරසුන මහළු කාන්තාවක් මව අමතන්නට විය. 

“මරණය ඔබත් සමඟ කාමරයේ සිටියා නේද?? මම දැක්කා ඔහු ඔබගේ දරුවාත් කරපින්නාගෙන පැන දුවනවා. ඔහු සුළගටත් වඩා වේගයෙන් පැන දුවන නිසා, ඔහු රැගෙන ගිය යමක් නැවත ගෙනැවිත් දේ යැයි හිතන්න අමාරැයි.“

“අනේ මට ඒ මිනිහා ගිය පැත්ත විතරක් ිකියන්න.. මට පාර විතරක් කියන්න. මං මිනිහව හොයාගන්නං“ මව පින්සෙන්ඩු වූවාය. 

“මම දන්නවා පාර. හැබැයි මං ඔබට ඒක කියන්න කලින්, ඔබ දරුවා වෙනුවෙන් ගායනා කළ ඔක්කෝම සිංදු මට අහන්න ඕන. මං ඒවා අහන්න ආසයි. මම මීට කලින් ඒවා අහල තියෙනවා. මම රාත්‍රිය. මම දැක්කා ඔබ ඒ සිංදු කියන අතරේ ඔබගේ ඇස් වලින් ගලා ගිය කදුළුත්“ 

“අනේ මං ඒ ඔක්කෝම ඔයාට කියන්නං. ඒත් මාව වැඩි වෙලාවක් තියාගන්න එපා. මට එ් මිනිහව අල්ලගන්න ඕන. මගේ දරුවව හොයාගන්න ඕන.“ එහෙත් රාත්‍රි කාන්තාව නිහඩව හා නිශ්චලව සිටියාය. ඉතිං තම කඳුළු පිහ දමමින් හා තම අත් වේදනාවෙන් අඹරවමින් ඇයට ගී ගයන්නට සිදු විය. ගීත බොහොමයක් වූ අතර, ඊටත් වඩා කඳළු කැට විය. අවසානයේ රාත්‍රි කාන්තාව තම හඩ අවදි කලාය.

“දකුණු පැත්තට යන්න. ඔය ෆර් ගස් වලින් ගහන අදුරු වනාන්තරය තුලටම යන්න. මම දැක්කා මරණය ඔබේ දරුවාත් රැගෙන ඒ මාර්ගයේ පලා යනවා.“

වනාත්තර තුලදි මවට හරස් මාර්ගයක් හමු වූ අතර, කුමන මඟ ගත යුතු දැයි ඇය නොදැන සිටියාය. ඒ අසලම කටු පදුරක් නැගී සිටිය අතර, එහි මල්, කොළ හෝ කිසිවක් නොවූ අතර, ශිත කාලයේ ඇද හැලුනු හිම වලින් එහි අතු මිදී තිබිනි. “මගේ දරුවා අරගෙන මරණය මෙතැනින් යනවා ඔබ දුටුවාදැයි“ ඇය ප්‍රශ්න කළාය.

ඇය තම ලැම කටු පදුරේ අත්තක පොත්ත ස්පර්ශ වන ලෙස තැබුවා පමණකි එහි ඇති කටු ඇයගේ ළයා පසා කර දමන්නට විය. සිදුරු වූ ළැම තුලින් දැඩි ලෙස රුධිරය වහනය වූ අතර, එයින් පන ලබා කටු පදුරේ කොළ වැඩෙන්නට විය. අඳුරු ශීත කාලයෙහි රාත්‍රියක එහි මල් පිපෙන්නට විය. මල් පිපෙන්නට අවශ්‍ය උණූසුම දුකින් පෙලෙන අසරණ මවකගේ රුධිරය විය. එම නිසා කටු පදුර ඇය යා යුතු මාර්ගය ඇයට දන්වා සිටියේය. අවසානයේ ඇය විශාල විලක් අසබඩට පැමිණ සිටියාය. එහෙත් වැව තරණය කිරීම සදහා නැවක්, බෝට්ටුවක් හෝ කිසිදු උපකාරයක් එහි නොවීය. එහෙත් තමා දරුවා ලබා ගැනීමට නම්ඇ ය මෙම විළ තරණය කළ යුතුමය.  අහිමි වන්නට කිසිවක් නැති, එහෙත් එක් බලාපොරොත්තුවක් පමණක් තම ජීවිතය තුල ඇතැයි සිතට මේ දුකට පත් මව කිසිදා මනුෂ්‍ය ප්‍රාණියෙකුට කළ නොහැකි කාර්යයක් වන විලෙහි වතුර බී එය හිස් කිරීමට අදිටන් කර ගත්තාය. යම් ප්‍රාතිහාර්යයක් තමාට උදව් වනුැ ඇතැයි ඇය සිතුවාය. 

“ඔබට මෙය කිසිදා කළ නොහැකියි ඒක නිසා අපි වඩාත් ප්‍රථිපලදායක එකගතාවකට එමු“ විල පැවසුවේය.

“මම හරිම කැමතියි මුතු එකතු කරන්න. ඒ අතරින් ඔබේ ඇස් තමා මා දැක්ක පිරිසිදුම මුතු කැට. ඔබ ඒවා ගලවා කදුළුත් සමඟ විලට දමනවා නං, අර මරණය ජීවත් වෙන විසාල උෂ්ණාගාරයට මං ඔබව කැදවන් යනවා. එහි වැවෙන හැම ගහක් හා මලක්ම මනුෂ්‍ය ප්‍රාණියෙක්“

“අනේ මයේ දරුවා වෙනුවෙන් මට මොනවද දෙන්න බැරිි“ අඩමින් ඇය පවසන්නට වූවාය. ඒ කඳුළු අතරින් ඇයගේ ඇස් දෙක ගැලවී විලට වැටී මහාර්ෂ මුතු දෙකක් බවට පත් විය. ඉන්පසුව විල ඇයව ඔසවා ගෙන ගොස් ඉවුරේ අනෙක් පසින් තැබුවේය. සැතපුම් ගණනාවක් දිගට දිවෙනා මරණයේ නිවස පෙනෙන්නට විය. එය වන්න්තරෙයන් ගහන කන්දක්ද, එසේ නැතහොත් කැලයෙන් වට වූ ගල් ගුහාවක්ද නැතහොත් සාදන ලද ගොඩනැගිල්ලක්ද යන්න කිසිවෙකුට පැවසිය නොහැකිය. ඒත් මේ අසරණ මවට දැන් කිසිවක් දකින්නට ද නොහැකිය.

“මගේ දරුවා හොරකං කරගෙන ආපු මරණය කොහෙන්ද හොයාගන්නේ..“  ඇය විමසුවාය.

“ආහ්. එයා තාම ආවේ නැහැ. කව්ද උඹට මෙහාට එන්න පාර කියා දුන්නේ. කව්ද ඒකට උදව් කරේ??“ සුදු පැහැ කෙස් ඇති  මරණයේ පැළ තවාන් වලට වතුර ඉසිමින් සිටි මහළු කතක් ඇයට උත්තර ලබා දුන්නාය.

“දෙවියන් මට උදව් කරා. ඔහු හරිම කරුණාවන්තයි. ඔබත් කරුණාවන්ත නම් මට කියන්න මගේ දරුවා කොහොමද මං හොයාගන්නෙ කියල,, අනේ“ මව දුකින් පැවසුවාය.

“මම ඒ දරුවව දන්නෑ. උඹ අන්ධයි නේද? කොයි තරං මල්, ගස් අද වෙන කොට මැලවිලා ගිහිල්ලා තියෙනවාද? මරණය ඉක්මනින් ඇවිත් ඒවා ගලවල අලුත් පැල තවාන් දාවි. උඹ දන්නවද හැම මිනිහෙකු වෙනුවෙන්ම කැප වෙච්චි, හැම මිනිහෙක් වෙනුවෙන්ම වෙන් වුනු ජීවි පැලයක් හෝ මලක් තියෙන වග. ඒ හැම එකක්ම අනිත් ගස් හා මල් වගේමයි. නමුත් මේ හැම ගහකටම මලකටම ගැහෙන හදවතක් තියෙනවා. ළමයින්ගේ හදවත් පවා ගැහෙනවා. අන්න ඒක නිසා උඹට පුලුවන් වෙයි උඹගේ දරුවගේ හදගැස්ම අදුරගන්න. ඊළගට කරන්න ඕන දේ කිව්වොත් උඹ මට මොනවද දෙන්නේ“ මහලු කාන්තාව ගුගුරන්නට විය.

“අනේ මට දෙන්න කිසිම දෙයක් නැහැ. ඒත් මං ඔබ වෙනුවෙන් යන්න පුළුවන් ඕනම තැනක යන්නං“ අසරණ මව පවසා සිටියාය.

“උූඹ කොහේ මකබෑඋනත් මට ලැබෙන දෙයක් නෑ. හැබැයි උඹගේ ඔය කළු කොන්ඩය මට දෙන්න පුළුවන්. උඹ දන්නවා නේ ඒක කොච්චර ලස්සනද කියලා. මං ඒකට ආසයි. උඹ මගේ සුදු කොණ්ඩය ගනිං ඒ වෙනුවෙට. “ මහළු කාන්තාව වෙළාදාම කතා කළාය.

ඉතිං අසරණ මව ඒ හුවමාරුව කරගෙන දෙදෙනාම මරණයේ ඌෂ්ණාගාරය වෙත ගියහ. එහි ගස් හා මල් විශාල ප්‍රමාණයක් වවා තිබුණි.වීදුරු සීනු යට පිපෙන හයිසින්ත් මල්, දැඩිව වැවෙන විවිධ ශාක, අතිශය පිරිසිදු වතුර මල්, තිබුන මෙහි සමහර ඒවා වටා දිය නයි ගැවසෙති. අති විශාල ඕක් ගස්, විවිධ වර්ගයේ මල් වර්ග රාශිකයක් එහි තිබුනි. කොටින්ම පාථිවියේ ඇති සියළුම ශාකයන්, මල් එහි වගා කොට ඇත. හැම ගහකටම, මලකට නමක් තියෙනවා. ඒ හැම නමකින්ම මනුෂ්‍ය පාණියෙකු නියෝජනය වෙනවා. සමහර විශාල ගස් ඉතා කුඩා මල් පෝච්චි වල පැල කරලත් තියෙනවා. උෂ්ණාගාරයේ වහළ කඩා ගෙන යාමටත්, පොච්චිය කෑලි වලට කඩා දමන්නටත් එම ගස් බලා සිටිනවා වගෙයි. සමහර දුර්වල පැළැටි සරු පොළවක වැවුවන් ඒවායේ ආරක්ෂාව සඳහා ඉහලින්ම කටයුතු කරන බවක් තමා පේන්න තියෙන්නේ. දුකට පත් මව කුඩා පැළැටි වලට නැඹුරු වී ඒවායේ හද ගැස්ම බලන්නට උනා. ඒ මිලියන ගානක් වූ පැළැටි අතරින් තම දරුවාගේ හද ගැස්මට සමාන මලහොයාගන්න ඇය සමත් උනා.


“මෙන්න මේක.“ ඇයට කෑගැහුනා. රෝගීව බිමට බර වූ තම හිසින් යුතුව සිටි කුඩා කාබේරිය මලක් වෙත ඇය තම අත් දිගු කළා.

“මල අල්ලන්න එපා... නමුත් ඔබට මෙහි ඉන්න පුළුවන්. මරණය ආපු ගමන්, මම දැනුත් එයා එයි කියලයි බලාන ඉන්නේ. එයාට ඔය පැලෑටිය ගලවන්න ඉඩ දෙන්න එපා. හැබැයි මරණය මේ පැලෑටිය ගැලෙව්වොත් උඹ ඒකම අනිත් ඔක්කෝම පැළැටි වලටත් කරන බව කියල තර්ජනය කරන්න ඕන .මිනිහා ඒකට බය වේවි. මොකද මේ හැම පැලයක්, මලක් වෙනුවෙන්ම ඔහු අසිමිත ලෙස දෙවියන්ට වග කියන්න ඕන නිසා. කිසිම ගහක් ඔහුට නිසි අවසරයකින් තොරව ගලවන්න බෑ“ මහළු කාන්තාව මොර දුන්නා.

ඒ සමගම ඌෂ්ණාගාර පුරාම හිම මිදෙන සිතලක් ගලන්නට වුනා. මේ හේතුවෙන් අසරණ මවට දැනුනා මරණය දැන් මෙතැනට ඇවිත්  බව.

“උඹ කොහොමද මෙතනට ආවේ. අනික මටත් වඩා වේගෙන්“ මරණය ඇගෙන් ඇසුවා.

“මම මවක් ඒකයි“ ඇය උත්තර දුන්නා.

මරණය තම අත් වලින් අර කුඩා පැලය ගලවන්නට උත්සාහ කළත් අසරණ මව තම අත් වට කොට එය ආරක්ෂා කරමින් සිටියා. ඇය කොතරම් දැඩිව තම අත් තබා සිටියත්, මරණය හෙළු අයිස් වලටත් සීතල මුවහත් හුස්ම හේතුවෙන් ඇයගේ ශක්තිය නැතිව අත් පහලට කඩා හැලුනා.

“උඹට මාත් එක්ක තරග කර දිනන්න බෑ ගැනියේ“ මරණය පැවසුවා.

“ඒත් දෙවියන්ගේ කරුණාවන්ත කමට පුළුවන්“ මව උත්තර දුන්නා.

“මම කරන්නෙත් ඔහුගේ කැමැත්තම තමා. මම ඔහුගේ උයන් පල්ලා. මම ඔහුගේ සියළු පැලෑටි, මල් වර්ග බලාකියාගන්නවා, ඒවා අවශ්‍ය තැන් වල පැල කරනවා. සමහර විට ගලවා ඉවත් කරනවා. සමහර ඒවා පාරාදීසයේ උද්‍යාන වලත් පැළ කරනවා. හැබැයි මං උඹට කියන්නෙ නැහැ ඒ කොහේද කියලා.“

“මට මගේ දරුවා දියන්“ ඉකිගසමින් මව පවසන්නට විය.  ඒ අතර තුර උද්‍යානයෙ ්තිබු මල් දෙකක් අතර ගත් ඇය “මට නැති වෙන්න දෙයක් නෑ.. මේවා කෑලි කැලි වලට කඩල දානවා..මගේ දරුවා නොදුන්නොත්“

“අයියෝ.. එපා. ඒවා අල්ලන්න එපා..උඹ කිව්ව නේද උඹ කනගාටුවෙන් කියලා. ඉතිං අම්ම කෙනෙක් විදියට උඹට පුළුවන්ද තවත් අම්මල දෙන්නෙකුට උඹට දැනෙන දුකම දෙන්න.. උඹට පුලුවන්ද ඒක කරන්න“

“තවත් අම්මලට???“ ඇය අඩන්නට විය.තම අත තිබු මල් නැවත් සීරුවෙන් තැබීමට ඇය කටයුතු කළාය.

“මෙන්න උඹගේ ඇස් දෙක. වැවේ ගිලිල තියෙන කොට මං මේවා අරන් ආවේ උඹට දෙන්න. ඒවා දිප්තිමත්ව බැබලෙමින් තිබුනා. දැං ඒවා තිබුනටත් වඩා දීප්තිමත්. මේවා ආපහු ගන්න. මේකෙන් ඔබ අර ගැඹූරු ලිදෙහි වතුර දෙස බලන්න. අර ඔබ විනාශ කරන්න හදපු මල් දෙකේ මල් මම ඔබට කියන්නං. ඔබට එයින් දැකගන්න පුළුවන් ඒ මල් දෙකෙහි මනුෂ්‍ය ජිවය සම්පුර්ණයෙන්ම. ඔබ ඒවා විනාශ කරල හැමෝම දුකට දාන්නයි හැදුවේ“

ඇය ළිදට එබී බැලුවාය. ඇය දුටුවේ ඒක් මලක් ලෝකයටම වටිනා පුද්ගලයෙක් ලෝකයටම විශාල ආශිර්වාදයක් වන ආකාරයයි. ඔහු ලෝකය පුරාම සතුට පතුරමින් සිටියා. එහෙත් අනෙකා ඉතා ජරාජීර්ඛව, දරිද්‍රතාවයෙන් පීඩිතව, ඛේදජනක ලෙස තම ජිවිතය ගෙවන අයුරකුත් ඇය දැක්කේ.

“මේ දෙදෙනාම දෙවියන්ගේ කැමැත්තයි“ මරණය පැවසුවා.

“කනාගාටුදායක මල මොකක්ද? ආශිර්වාදලත් මල මොකක්ද“ ඇයි ඇසුවා

“මට ඒක ඔබට කියන්න බැහැ. එහෙත් ඔබ දැකගත් පරිදි ඒ මල් දෙකින් එකක් නියෝජනය වන්නේ ඔබගේ දරුවායි. එයයි ඔබගේ දරුවාගේ දෛවය. ඔබගේ දරුවාගේ අනාගතය“

ඉන්පසුව අසරණ මව දැඩි ලෙස බෙරිහන් දී අඩන්නට විය. 

‘ඒ දෙකින් මොකක්ද මගේ දරුවට උරුම. මට කියන්න ඒක.ආශිර්වාද නොලත්ඒ දරුවා ගේන්න. ඔහුව ඒ කාළකන්නිකමෙන් මුදවා ගන්න. ඔහුව එළියට රැගෙන යන්න. නැහැ ඔහුව සවර්ගයට රැගෙන යන්න. මගේ සියළු දුක් හා සුුසුම් අමතක කරන්න. මහ කරපු කියපු හැම දෙයක්ම අමතක කරන්න. ඔබ ඒක කරන්න“

“මට ඔබව තේරුම් ගන්න බැහැ. ඔබට නැවත ඔබගේ දරුවා ඕනද නැත්නම් ඔබ නොදන්නා ඒ තැනට මම දරුවා රැගෙන යන්නද?“ මරණය පුදුමයෙන් විමසා සිටියා.

තම අත් එකිනෙක අතුල්ලමින් බිම වාඩි වූ මව දෙවියන්ට යාඥා කරන්නට උනා.

“මගේ යාඥා පමණක් නොව, අනෙකටත් ඇහුන්කම් දෙනු මැනවි. එය හැමවිටම වඩා හොද වේවි. ඔහ්.. මට අැහුන්කම් දෙන්න දෙවියනි“ කියමින් ඇයගේ හිස ඇයගේ ළැමට කඩා වැටිනි.

ඉන්පසුව මරණය, දරුවා ඒ නොදන්නා භුමිය වෙත රැගෙන ගියේය.

The Story of a Mother - Hans Christian Andersen


A Cartoon


පලි- 2010 වර්ෂයේදී මේ කතාව පාදක කරගනිමින් ඉතාලි භාෂවෙන් කෙටි චිත්‍රපටයක් නිපදවා ඇති බව IMdb හි සඳහන්ය.

Wednesday, February 3, 2016

පොඩි උන්ට කතා!! සුරංගනා කතා..!

“තාත්තෙ කතාවක් කියන්නකෝ“ 

ගෙදරට වෙලා මං එනකල් හොඳට සෙල්ලං කරමින් ඉන්න පොඩි කොලුවට එක පාරටම හැදෙනවා තද නිදිමතක්, මම ඇඟපත හෝදගෙන ආපු ගමන්ම. ඕන්න ඒ වෙලාවට තමා කතාවක් කියන්නය කියල ඒ හාදයා මට දිගින් දිගටම කොනිත්තන්නේ. පොඩි වැඩක්යැ.. හුස්මක් කටක් ගන්න කලින්, තඩි පොල්ලකින් ගහනවා වගේ වැඩක් උනත් අපේ හාදයගෙන් බේරෙන්න නං බැහැ. ඉතිං කොහොම හරි කතාව කියන්නම ඕන. මේ වෙන දේවල් හිමිජ්ජා වගේ බලන් ඉන්න ලොකු එකත් ඉස්කෝලේ වැඩ පැත්තක තියල හෙමින් සීරුවේ ඕං එනවා මගේ ගාවට. ඉතිං දෙන්න මයේ දෙපැත්තෙන් හාන්සි වෙලා තාත්තා කතාව කියන කල් බලාගෙන ඉන්නවා. ඔහේල දන්නවා නේ මට ඉතිං පොඩි කාලේ නොතිබුන ආසාවක් මේ අවුරුදු කීපය ඇතුලෙදි සුරංගනා කතා සම්බන්ධව ඇති උනා කියල. ඒක ඇත්තටම උනන්දුවක්. මේ උනන්දුව ඇති කලේ ඉංගිරිසියට පරිවර්තනය කරල තිබුනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් සුරංගනා කතාකරුවගේ පොතක් හේතුවෙන්. ඒකේ තියෙන සමහර කතා කියෙව්වාම මට හිතුනා මේ අපේ ජනකතා නේද කියලා. කෝම කෝම හරි අවසානයට බලන කොට හැම රටකටම ආවේණික විදියට හැඩ ගැසුනු එකම ජාතියේ කතා තියෙනවා කියල අන්න ඒ අවස්ථාවේදි මට හොයාගන්න ලැබුනා හිටං.

ඒකට කාරි නෑ මම දැං ආවේ කතා කියන්න නේ. ඉතිං ඔය විදියට හාන්ස්ගේ කතා, ග්‍රිම්ස්ලගේ කතා හෙම, හැබැයි රජෝ පොඩියට තියෙන කතා අපේ හාදයෝ දෙන්නට කියන්න ගත්තම, දවස ගානේ කිසි බේරිල්ලක් නැති සොඳුරු කරදරයක් තමා මටත් විඳින්න උනේ. අන්තිමට අපේ පොඩි හාදයට බත් ඩිංග කවා ගන්නත් සුරංගනා කතා කියවන්න වෙනවා නේ.. ඔය විදියට කතා දුසිං දෙක තුනක් පොඩි උන් දෙන්නට කිව්වට තාමත් හැමදාම හැන්දෑවට ඇඳට වැටුන ගමන් පොඩි එකා කියන්නේ “අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව“ කියන්නකෝ කියලයි. 

මේ සිංදු කියන කුරුල්ලා කතාව මම පොඩි එවුන්ට කියල දුන්නේ අර මම මීට කලින් දාලා තිබුන පුංචි නයිටින්ගේල් කතාව ඇසුරෙනුයි. ඒත් මේ ජාතකයක් විතර විසාල කතාව ඇදබාන්ට මට අමාරු හින්දා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරල කතාව කෙටියෙන් එළිදක්වන්නට මට සිද්ද උනා. අහල බලන්නකෝ මගේ පුංචි නයිටින්ගේල් ගැන.

ඔන්න පුතේ එකෝමත් එක කාලෙක ලෝකෙ තිබුනා ලස්සන රටක්. ඒ රටේ හිටියා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. මේ රජතුමාගේ මාළිගාව හරිම ලස්සනයි. ඒ වගේම විසාල උද්‍යානයකුත් මාලිගාව වටේටම පිහිටල තිබුනා. ඉතිං මේ රට බලන්න එන සංචාරකයෝ රජතුමායි, රටයි, මාළිගාවයි වර්ණනා කරල බෝහොම ලස්සන කතා පතුරවල තිබුනා. ඒත් ඔන්න එක දවසක් මේ රජතුමාගේ යාළුවෙක් වෙච්චි තවත් රටක රජකෙනෙක් ඇවිත් රජතුමාට කිව්වා මෙන්න මෙහෛම.

“රජතුමනි. කා් අර ඔබතුමාගේ ලස්සනට සිංදු කියන කුරුල්ලා“ 

ඔන්න බලන්නකකෝ අපේ රජතුමා මේ වෙනකං එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර රජතුමාට හොඳටම තරහ ගිහිල්ල තමන්ගේ අගමැතිට වහාම එන්න කියල පණිවිඩයක් යැව්වා. රජතුමා එයාගෙන් මේ ගැන ඇහුවට එයාවත් ඒ ගැන දන්නේ නැහැ. ඒ පාර රජතුමා අණ කරා මේ කුරුල්ලා හොයාගන්න කියලා. ඉතිං අර අගමැතිතුමා මුළු මාලිගාවේම ඉන්න අයගෙන් සිංදු කියන කුරුල්ලා ගැන ඇහුවට කව්රුවත් දැනගෙන හිටියේ නෑ. අන්තිමට කව්ද දන්නවද ඒ ගැන දැනං හිටියේ. රජතුමාගේ කුස්සියේ උදව්වට ඉන්න පුංචි ළමයෙක්. එයා කිව්ව මම දන්නවා ඒ කුරුල්ලා ඉන්න තැන. එයා ඉන්නේ මේ මාලිගාව පහු කරගෙන ගියාම තියෙන කැලේ මැද්දට වෙන්නට තියෙන ලොකු ගහක කියලයි. ඉතිං පුතේ, දැං අර පුංචි ළමයත් අඩගහගෙන ඔක්කෝම අය කුරුල්ලා හොයන්න ගියා. ඔහොම කැලේ ඇතුලට යන කොට හරිම නිස්සද්දයි. ඒ වගේම ගස් වල කොළ හෙමින් හෙමින් හුළගට හෙල්ලෙන කොට සර සර ගාලා සද්දයක් ඇහෙනවා. ඈතින් ගලන දොළ පාරක සද්දයත් නිසා හැමෝම හරිම පුදුමෙන් වගේ කැලේ ඇතුලට ගියා. එහෙම ගිහිල්ලා කන්දක් මුදුනේ තිබුන ලොකූ ගහක් ගාව නතර වෙච්චි අර ළමයා කිව්වා අන්න අර ගහේ තමා මේ සිංදු කියන කුරුල්ලා ඉන්නේ කියලා. ඉතිං කව්රුත් කිව්වා ඔයානේ එයාව දන්නේ ඒක නිසා කතා කරන්න කියලා. ඒ පාර පුංචි ළමයා කුරුල්ලට කතා කලා.

‘පුංචි කුරුල්ලෝ.. මෙන්න ඔයා බලන්න කට්ටියක් ඇවිල්ලා. පොඩ්ඩක් එන්නකෝ එළියට“

ඔන්න ඔහොම කිව්ව විතරයි පුංචි කුරුල්ලා හෙමින් සැරේ පියාඹගෙන ඇවිත් පහළ තිබුන අත්තකට වැහුවා. එතකොට අර ළමයා කිව්වා..

“පුංචි කුරුල්ලෝ.. ඔයා සිංදු කියන හැටි අහන්න අපෙ රජතුමාට ආසයිලු. ඒක නිසා ඔයාට අද රාජමාළිගාවට එන්න කියල තියෙනවා“ කියලා. එතකොට කුරුල්ලා කිව්වා.

“අනේ පුංචි දරුවෝ.. රජතුමාට කියන්න අද නං බැහැ කියලා. මොකද මට දැං ගියොත් ආයිත් මගේ කුඩුවට එන්න වෙලා මදි වෙනවා ඒක නිසා මං හෙට උදේට නොවැරදීම එනවා කියල කියන්න“ කියලා.

ඉතිං කට්ටිය ආපහු ආවා. කිව්වත් වගේ පහුවෙනිදා උදේ පාන්දරම කිචි කිචි ගාගෙන අර පුංචි කුරුල්ලා රාජ මාළිගාටව ආවා. ඉතිං මේකට සතුටු වේච්චි රජතුමා කුරුල්ලට පළතුරු කන්න දීලා, කිර ිබොන්න දීල ඉවර වෙලා සිංදුවක් කියන්න කියල කිව්වා. කුරුල්ලා කොච්චර ලස්සනට සිංදුව කිව්වද කිව්වොත් රජතුමාට තවත් සිංදු අහන්න ඕන උනා. ඉතිං පුංචි කුරුල්ලට තව සිංදු ගොඩාක් කියන්න උනා. ඒ පාර රජතුමා ආයිත් පළතුරු, කිරි දීල කුරුල්ලට කිව්ව ඔයා අද මාළිගාවේ ඉන්න කියලා. කුරුල්ලා කිව්වා.

“අපෝ බෑ රජතුමනි. මගේ ගෙදර තියෙන්නේ අර ඇත කැලෑවේ නේ.. මට මගේ ගෙදර යන්න ඕන. අනික මට ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා මං අද ගිහිල්ල ආයි දවසක එන්නං“ කියලා. මේකට රජතුමාට තරහ ගියා. ඇයි ඉතිං එයා රටේ රජතුමානේ. ඕන කෙනෙක් එයා කියන දේ අහන්න එපැයැ.

“එහෙම කොහොමද.. මමයි රජතුමා.. ඔයා මම කියන දේ අහන්න ඕන“ කියල තරහින් කිව්වා. ඒත් කුරුල්ලා ඇහුවේ නැහැ. එයා යන්නම ඕන කියල කියල යන්න හදන කොට රජතුමාට හොදටම තරහ ගිහිල්ල රාජපුරුෂයන්ට කිව්වා වහාම කුරුල්ලව අල්ලගන්න කියල. ඉතිං ඒ අය කුරුල්ලව අල්ලගෙන කුඩුවක දාලා හිර කරල තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ රජතුමා කුරුල්ලට සිංදු කියන්න කියල කිව්වා. ඒ පාර කුරුල්ලා අඩනවා.

“අනේ රජතුමනි. මට ගෙදර යන්න දෙන්න. මට දැං ගෙදර යන්න ඕන“ කිය කිය මහ හයියෙන් අඩන්න ගත්තා. කමක් නෑ දැං ඔහොම ඉදල හවසට සිංදු කියන්න පුළුවන් කියල රජතුමා ගියා. ආයි හවස එනකොටත් කුරුල්ලා අඩනවා. කෑමට තිබ්බ කිසිම දෙයක් කාලත් නෑ. වතුර බීලත් නෑ. දිගටම අඩනවා ගෙදර යන්න ඕන කියලා. ඉතිං හවසත් සිංදු කියනන් බැරි උන නිසා හෙට උදෙට හරි සිංදු කියවමු කියල රජතුමා හිතාගත්තා. උදේත් රජතුමා ආවා. එතකොට කුරැල්ලට ඇගට පණත් නැ. ඇයි ඉති ඊයේ ඉදලම මුකුත්ම කාලවත් බිලවත් නෑනේ. ඒත් අඩනවා ගෙදර යන්න ඕන කියලා. කමක් නෑ හවසට හරි සිංදු ටික කියවගන්නවා කියල රජතුමා ආයිත් හවස ආවා. අනේ කුරුල්ලට දැන් නං හිටගෙන ඉන්නවත් පණ නැ. ඒත් ගෙදර යන්න ඕන කියල හොදටම අඩනවා. කිසිම දෙයක් කාලත් නැහැනේ. මේක දැක්කම රජතුමාට දුක හිතිලා රාජපුරුෂයන්ට කිව්වා කුඩුව අරින්න කියලා. ඒත් වැඩක් තියෙනවාද? ඇයි.?? ඔව්.. කුරුල්ලට යන්න පණ නෑනේ. ඉතිං රජතුමා කුරුල්ලට කන්න ආයි පළතුරු ගෙනැත් දීල කිරි දීල කිව්වා.

“අනේ පුංචි කුරුල්ලෝ.. ඔයා ගෙදර යන්න. ගිහිල්ල ආයිත් පුලුවන් දවසක ඇවිත් සිංදු කියන්න“ කියලා. කැමට ටිකක් කාලා කිරි ටිකක් බිව්වට පස්සේ කුරුල්ලට පණ ටිකක් ආවා. ඉතිං ඒ පාර එයා යන්න යනකොට රජතුමාට කිව්වා.

“බොහොම ස්තුතියි රජතුමනි. මම දවස් දෙකකින් විතර ඇයිත් එන්නං“ කියල පියාඹල යන්න ගියා.

දවස් දෙකක් නෙමෙයි හතරක්ම ගත උනාට කුරුල්ලා ආයි ආවේ නැති නිසා රජතුමාට හරිම දුකයි. රජතුමා හිතුවා කුරුල්ලා හරිම බොරු කාරයෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට ඔන්න පස් වෙනි දවසේ උදේම කිචි බිචි ගාගෙන කුරුල්ලා ආවා රාජමාළිගයට. ඉතිං රජතුමාට බෝම සතුටුයි. ඒ පාර පළතුරු කන්න දීලා, කිරි දීල කුරුල්ලත් එක්ක ටිකක් කතාත් කරල සිංදු කීපයකුත් අහගෙන ආයි එනවා කියල කුරුල්ලා යන්න ගියා. ඔය විදියට නිතරම කුරුල්ලා රජතුමා හමු වෙන්න ආපු නිසා එ දෙන්න ගොඩක් දේවල් කතා කරල හොද යාළුවෝ වෙලා බෝම සන්තෝසෙන් කාලය ගත කළා..


හම්මෝ ඔය කතාව සමහර වෙලාවට දවසට දෙපාර හෙමත් කියන්න වෙන නිසා තවත් කෙටි කරන අවස්ථා හෙම තියෙනවා. වැඩ අධික දවසක ඕං කියයි නේ අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව කියන්න කියලා. අන්න ඒ වෙලාවට කොයි වැඩ තිබුනත් අපේ පුත්තරයා නං ඒවා තඹේකට ගනං ගන්නෙ නැහැ. මිනිහට කතාව කියන්නම ඕන. අන්න එ් වගේ දවසට මෙන්න කතාව.

ඔන්න එක රටක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ලස්සන සිංදු කියන කුරුල්ලෙක් හිටියා. දවසක් ඒ කුරුල්ලට ගෙදර යන්න ඕන කිව්වම තරහ ගියපු රජතුමා එයාව කුඩු කරල තිබ්බා. ඉතිං කුරුල්ලා සිංදු නොකිය දවස් තුනක්ම අඩන්න ගත්තා. මුකුතුම කැවේ නැ. ඒ පාර කුරුල්ලට හිටගෙන ඉන්න පණ නැ. මේක දැක්ක රජතුමාට දුක හිතිල කුරුල්ලට යන්න දුන්නා පුලුවන් දවසක එනන කියලා. ඉතිං කුරුල්ල නිතරම රජතුමා හමු වෙනන ඇවිත් සිංදු කියල කතා බහ කරල ඒ දෙන්න හොද යාලුවො ්උනා එච්චරයි.

හැක්.. ඔය විදියට කතාව ඉවර කරල එච්චරයි කියල කිව්වට පස්සේ මේ යකා අහනවා නේ..

“ඊත පත්තේ“ කියලා.. හැක් හැක්..

Sunday, January 31, 2016

පුංචි නයිටින්ගේල්!! (The Nightingale)



ඔය කට්ටිය දන්නව නේ චීනයේ අධිරාජයා වෙන්නේ චීන ජාතිකයෙක්. ඒක නිසා එයා වටේ ඉන්න හැමෝමත් චීන ජාතිකයෝම තමා කියලා. මේ කතන්දරේ සිද්ධ වෙලා සෑහෙන්න කාලයක් උනත්, කාටත් අමතක වෙන්න කලින් මේක කියන්න ඕන නිසාමයි දැං මං කතාව කියන්න යන්නේ.

අධිරාජයාගේ මාළිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විශ්මිත නිර්මාණයක් කියල කියන්න හැකියි. උද්‍යානයේ පිපෙන්නේ ඉතාම දුර්ලභ මල් වර්ගයි. මේ අතරිනුත් ලස්සනම මල් වල මුදුනේ පුංචි රිදී සිනු සවි කරල තිබුන නිසා ඒ කන්කළු සීනු නාදය ඇසෙන තාක් කිසිම කෙනෙකුට මේ මල් දිහා නොබල එතනින් පා තබන්න සිදු වන්නෙ නැහැ. ඔව්. අධිරාජයාගේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම නියම සැළසුමකට අනුවයි සිද්ධ උනේ. කොහොම උනත් උයන්පල්ලවත් දැනං හිටියේ නෑ මේ උද්‍යානයේ දිග පළල හරියටම කොයි තරංද කියලා. ඒ තරං විශාලයි. කිසිවෙකු මේ උද්‍යානයේ ඇතුලටම ගමන් කරනවා නං එයාට දැකගන්න පුළුවන් උසට උසේ ගස් වැවුන, ගැඹුරු විල් තියෙන කැලෑවක්. මේ කැලෑව අවසන් වෙන්නේ නීල වර්ණ ගැඹුරු මුුහුදට. ඒක නිසා මේ මුහුදේ ගමන් කරන නැව් අර කලින් කිව්ව ගස් වල අතු වලට යටින් තමා ගමන් කරන්නේ. මෙන්න මේ විශාල ගස් උඩ එක නයිටින්ගේල් කුරුල්ලෙක් එය තමාගේ වාසබවන කරගෙන හිටියා. නයිටින්ගේල් කුරුල්ලගේ නාදය කොයි තරං ප්‍රීතිමත් ගීතයක්ද කිව්වොත්, මුහුදේ මාළු අල්ලන්න දැල් එළන්න යන කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා ඒ ගීත අහන්න නිතැතින්ම මොහොතක් නතර වෙනවා.

“කොයි තරං ඉමිහිරි නාදයක්ද?“ කියල කියන ධිවරයාට ඊළග මොහොතේදී නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව අමතක උනාට ඊට පහුවෙනිදා රෑට දැල් එළන්න යන කොටත් “කොයි තරං ඉමිහරි සංගීතයක්ද?“ කියල කියන්න නං අමතක වෙන්නෙ නැහැ.

ලෝකයේ විවිධ රටවල් වලින් දහස් ගණන් සංචාරයෝ එනවා අපේ අධිරාජයාගේ රටට, ඒ නගරයට. හැම සංචාරකයෙක්ම මේ නගරයේ ඇති විසිතුරු බව ගැන දැඩි ලෙස සතුටු වෙනවා. ඒ වගේම අරුම පුදුම මාලිගාව, විශාල උද්‍යානය දැකක්ම ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. ඒත් ඔවුන්ට අර නයිටින්ගේල් කුරුල්ලගේ ප්‍රීතිමත් ගීතය ඇහුනම ඔවුන් හැමෝම එක ලෙසින්ම කියන්නේ “මේ රටේ තියෙන හොදම දේ“ ඒ ගීතය කියලයි.

මේ සංචාරකායෝ ආපහු මව්රට ගියාම එකිනෙකාට නයිටින්ගේල් කුරුල්ලගේ ගිතය ගැන කියනවා. ඒ වගේම දැනුමැති සංචාරකයෝ චීන අධිරාජයා ගැන , එතුමාගේ මාලිගාව, රාජකීය උද්‍යානය ගැන මනරම් සංචාරක සටහන් ලියන කොට ඒ අයට කවදාවත් අමතක නොවෙන එක දෙයක් තමා අපේ නයිටින්ගේල් කුරුල්ලා ගැන ඉහලින්ම වර්ණනා කිරීම. එහෙම ලියපු දේවල් පොත් විදියට මුද්‍රණය වෙලා මුලු ලෝකේ පුරාම බෙදා හැරලත් තියෙනවා. ඒ අතරේ කවියන් අපේ නයිටින්ගේල් කුරුල්ලගේ ගීතය ගැන විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ පවා මුද්‍රණයෙන් නිකුත් කරල තියෙනවා.

මේ පොත් බොහොමයක් ලෝකේ පුරාම යනවා වගේම ඒවයින් කීපයක් චීනයටත් එනවා. තවත් පොත් කිහිපයක් අධිරාජයාගේ මාලිගාවටත් ලැබෙනවා. ඉතිං මෙහෙම ලැබෙන පොත්, කියවන අපේ අධිරාජයා එයාගේ රට, මාළිගාව, උද්‍යානය ගැන අනේකවිධ වර්ණනා කරල තියෙන හැටි දැක්කම සන්තේසයෙන් කුල්මත් වෙනවා. ඒත් මේ හැම දේටම වඩා වර්ණනා කරල තියෙන්නේ “නයිටින්ගේල් කුරුල්ලා“ ඇරත් මුද්‍රණය කරපු පොතක.

“මේ මොකක්ද... නයිටින්ගේල්“ අධිරාජයා පුදුම වෙනවා. “මේක වෙන්න පුලුවන්ද,. මගේම අධිරාජ්‍යයේ මගේම නගරයේ මගේම රාජකීය උද්‍යානයේ ඉන්න කුරුල්ලෙක් ගැන පිටරැටියෝ මෙච්චර වර්ණනා කරද්දී මං ඒ ගැන දන්නේ නැහැ. මට දැං ඒ ගැන හොයන්නම වෙනවා“ අධිරාජයා හිතන්න පටන් ගන්නවා.

ඉතිං මේ ගැන අහන්න අපේ අධිරාජයා තමන්ගේ වැඩ බලන සාමිවරයා කැඳෙව්වා. තමන්ට වැඩිය පහළ නිලයක ඉන්න කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ උඩගු සාමිතුමා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ.

“මේ මිනිස්සු කියනව නේ අරුම පුදුම සිංදු කියන නයිටින්ගේල් කුරුල්ලෙක් මගේ උද්‍යානයේ ඉන්නවා කියලා.. ඒ මදිවට මගේ අධිරාජ්‍යෙය් තියෙන වැදගත්ම දේත් ඒ කුරුල්ලලු. ඇයි මේ ගැන මාව දැනුවත් කරල නැත්තේ..??“ අධිරාජයා කෝපයෙන් විමසනවා.

“උතුමාණනි, ඔය කියන නම මම මීට කලින් අහල නැහැ. ඒ වගේම ඔය නයිටින්ගේල් කාරයා කවදාවත් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ“ අපේ සාමිවරයා උත්තර දෙනවා.

“මම අණ කරනවා අද හවස් වෙනකොට මේ කුරුල්ලා මගේ ඉදිරිපිටට පමුණුවල සිංදු කියවන්න ඕන කියලා. තේරුනාද.. අම්මප මේ ලෝකේ ඉන්න හැම එකාම මට වැඩිය දන්නව නෙව මට තියෙන දේවල් ගැන“ අධිරාජයා අණ නිකුත් කළා.

“උතුමාණෙනි, මා මේ ගැන හාංකවිසියක් නොදන්නවා උනාට ඔය නයිටින්ගේල් ව හොයල මං ඔය හාදයම උතුමාණන් ළග දන්ගස්සවනවා“ අපේ සාමි වරයා යටහත්ව උත්තර දෙනවා.

කොහෙන් කියන හොයන්නද? සාමිතුමා උඩට දුවනවා. පල්ලේහාට දුවනවා, මාලිගේ හැම කාමරයක් ගානේ කෝරිඩෝවක් ගානේම දුවනවා. ඒත් මේ නයිටින්ගේල් ගැන දන්න කිසිවෙක් එතුමාට හමු උනේ නැහැ. ඉතිං ඒක නිසා සාමිතුමා ආයිත් අධිරාජයා ගාවට දුවනවා. “අනේ උතුමාණනි, මේ කාගේ හරි බොරු කතාවක් වෙන්ටැති. එක්කෝ මේ පොත් කාරයෝ හිතිං මවාගත්ත එකක් වෙන්ටැති. නැත්නං මහා රහසක් වෙන්ටැති. සමා අවසර මට කිසිම හෝඩුවාවක් ලැබුනේ නැහැ උතුමාණනි“ දනින් වැටී අපේ සාමිතුමා තමන්ගේ විමර්ශනය ගැන අධිරාජයාට තොරතුරු දැනුම් දුන්නා.

“මේ පොත මගේ ආරණිය මිත්‍රයෙක් වෙන ජපන් අධිරාජයා එවපු පොතක්. ඒක නිසා මේක කොහෙත්ම බොරු ගොතාපු, මඩ පත්තර පොතක් වෙන්ඩ බැහැ. ඒක නිසා අද හවස් වෙද්දි මට මේ නයිටින්ගේල් හොයල ගෙනැත් දෙන්න ඕන. නැත්නං දන්නවා නේ මම අධිරාජයෙක්. මුළු රාජ සභාවෙම ඉන්න උන්ගේ බුරිය යටින් හිල් කරනවා. තේරුනාද.. යනවා දැං“ අපේ අධිරාජයාට බොහොම කේන්ති ගිහින්.

“ගැත්තාට අනුකම්පා කරත්වා උතුමාණනි“ කියමින් බයේ ගැහි ගැහි සාමිතුමා ආයිත් උඩට දිව්වා, කාමර ගානේ කොරිඩෝ ගානේ දුවන්න ගත්තා. ඒ පාර රජ සභාවෙන් බාගයක්ම සාමිතුමාත් එක්ක දුවන්න ගත්තා, ඇයි ඉතිං කව්ද කැමති බුරියට පහලින් හිලක් විදගන්න.

මේ නයිටින්ගේල් ගැන විශාල වශයෙන් ප්‍රශ්න කරන්න, සාක්කි කැඳවන්න කටයුතු කරල තිබුනා. මුලු ලෝකේම මිනිස්සු දැනගෙන හිිටියට තමන්ගෙ රටේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදි මේ ගැන යමක් දන්න කෙනෙක් ඔවුන්ට හමු උනා. ඇය කුස්සියේ වැඩ කරන දුප්පත් අහිංසක ගැනු ළමයෙක්.

“ආ. අපේ කුරුල්ලා.. මං එයාව හොදට දන්නවා. ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හැම හවසකම මම යනවා ලෙඩ වෙලා ඉන්න අපේ අම්මට මේ ඉතිරි පහද වෙච්චි කෑම ටික දීල එන්න. ඈ ඉන්නේ වෙරළ අයිනේ නේ. කැලේ මැද්දෙන් යන කොට මහන්සි නිසා මම අර උස ගස් තියෙන තැන නවතිනවා. ඔන්න එතකොට තමා මට ඒ සිංදුව ඇහෙන්නේ. ඒක ඇහුවම මගේ ඇහැට කඳුලුත් එනවා. ඒක හරියට අම්මා මාව ඉඹිනවා වගෙයි දැනේන්නේ“ අහිංසක දරුවා එහෙම කිව්වා.

“දරුවා. මං උඹව අද පටන් ජිවිතාන්තය දක්වාම ප්‍රධාන අරක්කැමියා විදියට පත් කරනවා. තව ඕන නං අධිරජ උතුමා අහර කිස කරන ආකාරයත් බලන්න දෙන්නං. හැබැයි මං එහෙම කරන්නේ ඔය ළමයා අපිව අර රාජ සභාව ඉදිරියේ පමුණුවන්න නියමිත නයිටින්ගේල් කාරයා ගාවට අරගෙන යනව නං විතරයි“ සාමිවරයා දැරියට කරුණාවෙන් මේ ටික කිව්වා.

ඉතිිං මේ කට්ටිය ඔක්කෝම නයිටින්ගේල් කුරුල්ලා හොයාගෙන කැලේට ගියා. ඒ අතරේ රාජ සභාවේ බාගක්ම බයටම කැලේට ගියා. ඒ යන අතරේ කැලේ මැදදි ගවයෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“ඕහ්.. අන්න ඇහුනද. ඒක තමයි. කොයි තරං බලසම්පන්න කටහඩක්ද පොඩි ඇගක් තිබුනට.. මං හිතන්නේ මට ඇහුනේ නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව“ එක සභිකයෙක් සතුටෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“අයියෝ නැ. ඒ හරකෙක් කෑ ගාන්නේ. අපි තව දුර යන්න ඕන“ පත්වීම් ලබන්න නියමිත ප්‍රධාන අරක්කැමියා කිව්වා.

ඊට පස්සේ පඳුරු අස්සේ ඉදල ගෙම්බෝ කෑ ගාන සද්දේ ඇහුනා.

“පුදුමයි. විශ්මයජනකයි. පල්ලියේ සීනුවා නාද වෙනවා වගේ මට දැං ඇහෙනවා“ තවත් සභිකයෙක් කියවන්න ගත්තා.

“අයියෝ ඒ ගෙම්බෝ බක බක ගාන්නේ.. තව ටික දුරයි“

ඔන්න එතකොටම නයිටින්ගේල් කුරුල්ලා සිංදු කියන සද්දේ ඇහෙන්න ගත්තා.

“අන්න ඒක“ පුංචි ගෑනු ළමයා කිව්වා. “සද්ද කරන්න එපා.. අහගෙන ඉන්න. අර අර ඈත වාඩි වෙලා ඉන්නේ“ ගහක අත්තක වාඩි වෙලා ඉන්න පුංචි අළුපාට කුරුල්ලෙකු දිහාට අත දිගු කරමින් ඇය ඔවුන්ට කුරුල්ලාව පෙන්නුවා.


“මේක වෙන්න පුලුවන්ද?“ සාමිතුමා මොර දෙනවා. “මම කවාදාවත් හිතුවේ නැහැ මෙයා මේ වගෙයි කියල. සමහර විට මේ ඇවිත් ඉන්න වැදගත් රාජ සභිකයෝ ටික දැක්කම මිනිහත් කළු වෙලා යන්න ඇති“ බෝම උඩගුවෙන් ඔහු කියන්න පටන් ගත්තා.

“පුංචි කුරුල්ලෝ.... අපේ ගරු අධිරාජ උත්මයන් වහන්සේට ඔයා කියන සිංදු අහන්න ඕනලු“ පුංචි දැරිවි කුරුල්ලට කිව්වා.

“හරිම සතුටුයි ඉන්න“ කියපු නයිටින්ගේල් තව ලස්සනට සිංදුව කියන්න ගත්තා.

“හරියට වීදුරු වලින් හදුපු සීනු වලිනි එන මිහිරි නාදය වගෙයි.. අර බලන්න උගේ පුංචි බෙල්ල වේගෙන් ගැහෙන හැටි. මට හරි පුදුමයි අපි මෙයා ගැන මීට කලින් අහල නැති එක ගැන.. කිසිම සැකයක් නෑ මෙයා රාජ සභාවෙදි ලස්සනට සිංදු කියාවි“ සාමි තුමා කිව්වා.

“අධිරාජ උතුමන් වෙනුවෙන් මං ආයිත් ගායන කරන්නද?“ නයිටින්ගේල් සතුටින් ඇහුවා.

“මගේ පුංචි කුරුලු පැටියෝ.. මම තමා ඔයාව උතුමාණන් ගාවට රැගෙන යන්න එවපු සාමිවරයා. ඔයා අද හවස රාජ සභාවේදි මේ දස්කම් දැක්විය යුතුයි. අපේ උතුමාණන් ඔබගේ මිහිරි නාදය නිසා බොහොම සතුටට පත්වේවි“ සාමිතුමා කිව්වා.

“මගේ සිංදු හොදට කියන්න පුලුවන් මේ කැලේ ඇතුලෙදි තමා.“ ඒත් අධිරාජයාගේ කැමැත්ත ඒකනං ඒකට ඉඩ දෙන්න ඕන කියල නයිටින්ගේල් මේ අයත් එක්ක රාජ මාළිගයට යන්න පිටත් උනා.

මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම මාළිගාව හොදින් සුදානම් කරල තිබුනා. පිගන් ගඩොල් බිත්ති, පොළව රන් පහන් දහස් ගානකින් නිකුත් කරන දීප්තිමත් කිරණ වැදිල දිලිසෙනවා. රිදී සීනු අමුණපු ලස්සන මල් පෝච්චි රාජ මාළිගය ඇතුලටම ගෙනැත් තිබුනා. මාලිගාවේ කොයි තරං කලබලයක් තිබුනද කිව්වොත් කව්රු හරි කතා කරනකම්ම එතැන නොයෙක් විදියට අර පුංචි සීනු අතොරක් නැතිව නාද වෙමින් පැවතුනා.

රාජ සභාව මැද්දෙම සිංහාසනයක් මත අධිරාජයා ආසනාරූඬ වෙලා හිටියා. නයිටින්ගේල් කුරුල්ල වෙනුවෙන් රනින් කළ ආසනයක් සකස් කරල තිබුනා. මුළු රාජසභාවම ඇවිත් හිටියා උනත් අර පුංචි දැරිය රාජසභාවේ දොර පිටුපසින් නවත්තලයි තිබුනේ. සාමිතුමා විසින් නිල වශයෙන් ඇය “රාජකීය තඩිබාන්නා“ විදියට පත් කරල තිබුනා. හොදින් ඇද පෑලඳගෙන හිටු සියල්ලෝම රජතුමාගේ අනුමැතිය ලැබෙන හිස සෙලවීමේ විධානය ලැබෙන තෙක් නයිටින්ගේල් දිහාම බලාගෙන හිටියා.

අධිරාජයගේ ඇහෙන් කඳුලු කැට කඩා හැලිලා ඒවා කම්මුල් දිගේ ගලා යන විදියටම කුරුල්ලා ලස්සන සිංදුවක් කිව්වා. ඊට පස්සේත් බොහොම මිහිරි සිංදු එයා කිව්වා. ඒකෙන් රජතුමාගේ හදවත හොදටම මෙළෙක් උනා. අධිරාජයා කොයි තරං සංවේදි උනාද කිව්වොත් තමන්ගේ රන් සෙරෙප්පුවක් නයිටින්ගේල් කුරුල්ලගේ බෙල්ලේ එල්ලන්න තරං හිත් උනා. තමන්ට මේ වෙනකොටත් ලැබුණ පිළිගැනීම ප්‍රමාණවත් කියල කුරුල්ලා ඒ තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කළා.



“උතුමාණන්ගේ ඇහෙන් කඳුලු ගලා යන හැටි මම දැක්කා. ඉතිං ඊට වඩා තැග්ගක් තවත් නැහැ. අධිරාජයෙකුගේ කඳුලු කියන්නේ බොහොම බලසම්පන්න ආයුධයක්. මට උවමනා දේ ලැබුනා තවත් දේ ඕන නැහැ“ කිව්ව නයිටින්ගේල් පුදුමාකාර ලස්සනට ආයිත් ගයන්න පටන් ගත්තා.

“මේ වගේ ප්‍රසංගයක් අපි කවදාවත් දැකල නැහැ“ ආදිපාදවරියෝ මුමුණන්ට උනා. නයිටින්ගේල් ගැන තරහක් තිබුන මේ අය තමන්ගේ කටේ වතුර පුරවන් හිටියේ බැරි වෙලා හරි කව්රු හරි කතා කළොත් ගර් ගර් ගාලා කතා කරන්න. කවාදාවත් සතුටු කරන්න බැරි හැම දෙනාමත් කුරුල්ලගේ සිංදු නිසා සතුටු උනා. මුළු රාජ සභාවම සතුටට පත් උනා. ඉතිං හැම දිනකම රාජ සභාවේ පෙනී හිටින්න නයිටින්ගේල්ට සිද්ධ උනා. එයාට වෙනම කුඩුවක්, වෙනම කකුලට ගැට ගහපු පටියක් ඒ පටිය අල්ලගත්ත මිනිස්සු දොළොස් දෙනෙක් ලැබුනා. දවසට දෙවරක් පටියේ දුරට ඇවිදින්නත් ලැබුනා. ඒ ඇවිදින කොට නං ඒ තරං සතුටක් ලබන්න අපේ කුරුල්ලට බැරි උනා.

නගරයේ ඉන්න හැමෝම මේ ගැන කතා උනා. කොටින්ම අන්ත් කෙනා “ගේල්“ කියන්න කලින් කිසිම කෙනෙකුට නයිට් කියල ඉවර කරන්න ලැබුනෙත් නැහැ. කෝම හරි ඌරු මරන්නන් එකොලොස් දෙනෙකුගේ ම දරුවන්ට “නයිටින්ගේල්“ යන නම තියල තිබුනට ඒ කාටවත් සිංදු නං කියන්න බැහැ.

එක දවසක් අපේ අධිරාජයාට පාර්සලයක් ලැබුනා. ඒකේ ලියල තිබුනේ “නයිටින්ගේල් කුරුල්ලා“ කියලයි.


“ආහ්. මේ අපේ කුරුල්ලා ගැන තවත් පොතක් වෙන්ටැති කියල හිතාගෙන පාර්සලේ කඩපු අධිරාජයාට දැක ගන්න පුලුවන් උනේ, තමන්ගේ ආදරණිය මිත්‍ර ජපන් අධිරාජයා එවපු අරුම පුදුම සෙල්ලං කුරුල්ලෙක්. හරියටම නයිටින්ගේල් කුරුල්ල වගේමයි. ඒකේ තිබුනා යතුරක් ඒක කරකවල වයින් කරල තිබ්බම හරියටම නයිටින්ගේල් වගේම නැත්නං ඊටත් ලස්සනට සිංදු කියනවා. මේ යකඩ කුරුල්ලගේ බෙල්ලේ මෙන්න මෙහෙම වැකියක් තිබුනා. “චින අධිරාජයාගේ නයිටින්ගේල් හා සම කරන්නේ නම් ජපන් අධිරාජයාගේ නයිටින්ගේල් කුරුල්ලා ඉතා කුඩා දෙයකි“

මාලිගාවේ හිටි හැමෝම යඩක කුරුල්ලා ලස්සනයි කියල කියන්න ගත්තා. අන්තිමේදි මේ පෙට්ටිය අරං ආපු කෙනාට නිල වශයෙන් “රාජකීය ප්‍රධාන නයිටින්ගේල් බලාගන්නා“ වශයෙන් පත් කළා.

“අපි දෙන්නම එකට තියල සිංදු අහමු. ඒක මොන වගේ වේවිද බලමු“ සභිකයෝ යෝජනා කළා. ඉතිං දෙන්නම එකට සිංදු කිව්වා. ඒක එච්චර හොදට තිබුනේ නං නැහැ. මොකද නියම නයිටින්ගේල් තමන්ගේ හිතට එන සිංදුවක් කිව්වට යකඩ නයිටින්ගේල් එකම සිංදුව කිව්ව නිසා.

“නෑ නෑ මේක අලුත් එක්කෙනාගේ වැරැද්දක් නමෛයි. එයා හරි විදියට තාල තියනවා. මං කියල දුන්න වගේම“ රාජකීය සංගීතඥයා විස්තර කරන්න ගත්තා. එයින් මෙයින් යකඩ කුරුල්ලා තනියම සිංදු කියන්න දැම්මා. නියම නයිටින්ගේල් සිංදු කියනව වගේම එතකොට යකඩ කුරුල්ලා සිංදු කිව්වා. කිසිම වෙහෙසක් නැතිම එක දිගට එකම සිංදුව තුන්සිය තිස් පාරක් ලස්සනට කියන්න මෙයාට පුලුවන් උනා. ඒත් රාජසභිකයන්ට තවත් ඒක අහන්න ඕන උනත්, අධිරාජයා කිව්වා දැං අපි නියම කුරුල්ලාට අවස්ථාව දෙන්න ඕන කියලා. කෝ එයා.. කිසිම කෙනෙක් දන්නෙ නැහැ. අර සිංදුවට වහ වැටුන වෙලාවේ මේ කුරුල්ලා කොහාට හරි ගිහින්. එයා ඇරල තිබුන කවුලුවෙන් පියාඹලා ආයිත් තමන්ගේ පුරුදු වනයටම ගියා.

“එයා මෙහෙම යන්න හේතුවක් තියෙන්න එපැයැ“ කියමින් අධිරාජයා උන්නා.

අන්න එතකොට රාජ සභිකයෝ නියම නයිටින්ගේල් ද්‍රෝහියෙක් බවත් කෙළහිගුණ නොදන්න සතෙක් බවටත් දෝස්මුර කිව්වා. ඒත් ඊට වඩා හොද කුරුල්ලෙක් අපිට ඉන්න නිසා සතුටු වෙන්න පුලුවන් කියල රජතුමාවත් අස් වස්සන්න මේ අය අමතක කලේ නැහැ. යඩක කුරුල්ලා හැම අතින්ම වටිනවා කියල තමා අන්තිමට තීරණය උනේ. මොකද එයාගේ මිහිරි සිංදු, ඇගේ තිබුන රන් ආලේපය, මැණික්, දියමන්ති නිසා දිලිසෙන ශරිරය, ඒවා නිසා යඩක කුරුල්ලා නියම කුරුල්ලට වඩා වැදගත් බව මේ අය තේරුම් ගත්තා.

“නෝනාවරුණි මහත්වරුණි.. ඔබට දකින්න පුලුවන් නේද සියලු රාජකීය දෙයින් හෝ නියම නයිටින්ගේල් කුරුල්ලාගෙන් බලාපොරෙත්තු විය නොහැකි ස්ථිර යමක් මේ කෘතිම කුරුල්ලා වෙතින් අපට ලැබෙන බව. මොකද ඒකේ හැම දෙයක්ම පෙර සැලසුමකට අනුවයි වෙන්නේ. ඒක නිසා අතරමග වෙනස් කම් දකින්න ලැබෙන්නේ නැහැ. පරිපුර්ණතාවය කියන්නේ මේකට තමා. හරියට අධිරාජයෙකුගේ ජිවිතය වගේ.. හෙට මම මෙය මහජන ප්‍රදර්ශනය සදහා තබන්න නියම කරනවා.‘ අධිරාජයා මෙහෙම කියල පහු වෙනිදා ඒ ප්‍රසංගය තිබුනම හැම මනුස්සයටම පුදුමෙන් “ඕහ්“ කිය කිය අත් දිගු කරමින් තම සතුට පල කරා. ඒත් අර දුප්පත ධිවරයට විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුනා. හැමදේම හොදයි.. සිංදුවත් හොදයි.. ඒත් ඒත් නියම නයිටින්ගේල් කුරුල්ලා ගායන කරන කොට තියෙන යම් දෙයක් මේ කුරුල්ලා තුල නැතිබව ඔහුට තේරුනා. ඒත් ඒ මොකක්ද කියල නිච්චියටම කියන්න ඒ අසරණයට පුලුවන් කමක් තිබුනේ නැහැ.

නියම කුරුල්ලා තම භූමියෙන් පලා ගොස් තිබු හෙයින් එතැන, ඒ රන් ආසනය යඩක කුරුල්ලට නිතැතින්ම හිමි උනා. පසුව ඌ රජතුමාගේ සයනාගාරයේ පසෙකින් තබා තිබූ අතර, නිල වශයෙන් “අධිරාජයා සැතැප්පවීමේ රාජකීය ගායකයා“ යන ගෞරව නාමය ලබා දී තිබුනා.

රාජකීය සංගීතඥයා විසින් වෙළුම් විසි පහකින් යුත් ග්‍රන්ථයක් පළ කරමින් යකඩ කුරුල්ලා වර්ණනාවට ලක් කර තිබුනා. කෝටි ගානක් සංයුක්ත චීන අකුරු තිබුනු මේ පොත කව්රුවත් හරියට කියවල නැති උනත් බුරියට පහලින් සිදුරු විඳගැනීමට ඇති නොකැමැත්ත නිසාම ඒ ග්‍රන්ථය මහතා වටිනා එකක් බවට අදහස් පල කරන්නට කිසිවෙකුත් පැකිලුනේ නැහැ.

යකඩ කුරුල්ලා ඇවිත් වසරක් ගත වන විට අධිරාජයත්, රාජ සභිකයන්, සාමිවරු ඇතුලු හැම දෙනෙක්ම මේ කුරුල්ලගේ පුංචි නාදයක් පවා කඩපාඩමින් දැන ගෙන උන්නා. අධිරාජයේ තුඩ තුඩ රැව්දුන් ජනප්‍රියම ගිතය උනේ මේ යකඩ කුරුල්ලගේ ගීතය තමා. කොටින්ම අධිරාජයා පවා එය ගායනා කලා.

ඒත් එක් අවාසනාවන්ත රාත්‍රියක, රජතුමාගේ සයනය ආසන්නේ මේ කුරුල්ලා තම ගීතය ගායනා කරමින් සිටින විට ට්‍රැං ට්‍රැං හඩක් එක්ක කුරුල්ලගේ බඩේ තිබ්බා මොකක් හරි එකක් කැඩුනා කියල අධිරාජයට තේරුනා. ඔක්කෝම දැති රෝද කැරකිල්ල නැවතිලා අර ලස්සන සංගිතයත් නැවතුනා. ඇදෙන් පැන්න අධිරාජයා මේක තමන්ගේ රාජකීය භෞත චිකිත්සක වෙත යොමු කලත් ඒ හාදයට කරන්න පුලුවන් දෙයක් තියේද? ඉතිං ඒ පාර ඔරලෝසු කාර්මිකයෙකු වෙතට මේ යකඩ කුරුල්ලා ගිහින් දෙන්න උනා. එයා මේක හොදට පරික්ෂා කරල කැඩිච්චි ඒවා හදලා ආයිත් දුන්නේ මේක හොදටම ගෙවිල ගිහින් නිසා අලුතෙන් කෑලි දාන්න වෙයි කියලයි. මේ හේතුව නිසා අවුරුද්දකට එක පාරක් පමණක් කුරුල්ලා සිංදු කිව යුතු යැයි තිරණය උනා. කොයි තරං නරක දෙයක්ද? ඒ තරං ඉවසන්න පුලුවන් කමකුත් නැහැනේ. අධිරාජයා හැමදාම නිදාගන්නේ කෝමද? මේ වෙලාවෙදි අළුත්වැඩියාව සම්බන්ධව චින අකුරු බර ගානක තමන්ගේ ඇගයීම් කතාව කරපු රාජකීය සංගීතඥයා නිසා යකඩ කුරුල්ලා පෙර තිබුන තත්වයටත් වඩා හොදට ඉන්නවා කියල අධිරාජයා තේරුම් ගත්තා.

සාමකාමී අවුරුදු පහක් චීනයට අවසන් උනා. ඊට පස්සේ රටට ඇත්තටම දුක්ඛදායි කාලයක් උදා උනා. සියලු චින ජාතිකයන් ආදරය කරපු අපේ අධිරාජයා ලෙඩ  ඇඳට වැටිලා. මරණාසන්නයි. කොයි එකටත් සුදානං වෙන්ට කියල හිතල අළුතෙන් අධිරාජයෙක් පවා නම් කරලයි තිබුනේ. මාළිගාව වට කරගෙන දුකින් පීඩිත වෙලා තමන්ගේ අධිරාජයා ගැන සොවින්ම රටේ මිනිස්සු අර සාමිතුමාගෙන් අධිරාජයාගේ තත්වය කොහොමද කියා විමසන්නට උනා. ඒත් දන්නව නේ එයා දෙන උත්තරයක් නැහැ කියලා.

රාජකීය සයනය මත සීතල, සුදුමැලි වෙච්චි අධිරාජයා සැතපිලා හිටියා. සියලු රාජසභියක් හිතුවෙ අධිරාජයා දැන්නං මැරිල ඇති කියලයි. ඒක නිසා ඒ අය අධිරාජයාට අවසන් ගෞරව දක්වන්න සැදි පැහැදි හිටියා. මේවා ගැන සෝදිසියෙන් හිටපු මාළිගාවේ සේවකයෝ  ඇති තරං ඕපාදුප පර්‍චාරය කරන්න ගත්තා. මුළු මාලිගාව පුරාම කාමර වලත් කොරිඩෝ වලත් පා තබන ශබ්දය නෑසේන විදියට මේට්ට අතුරල තිබුනා නිසා, මාළිගාවම අන්ධකාර නිශ්ශබ්දතාවයකයි තිබුනේ. ඒක හරියට මළ ගෙදරක වගේ. ඒත් අධිරාජයා තවම මිය ගිහින් නැහැ. සිනිඳු වෙල්වට් අතුරල, රන්වන් ටසල් වලින් අලංකාර  වූ රාජකීය සයනය මත අපහසුවෙන් සුදුමැලිව ඉන්න රජතුමා මතටත් ඔහුගේ  කෘතිම නයිටින්ගේල් කුරුල්ලා මතටත් විවෘතව තිබු කව්ලුවෙන් එබුනු සඳකැන් වැටී තිබුනා.

අසරණ අධිරාජයාට හුස්ම ගන්නත් අමාරුයි. හරියට කව්රු හරි මහත කෙනෙක් පපුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවක හුස්ම ගන්න තරම්ම අමාරුයි. අපහසුවෙන් ඇස් ඇරිය අපේ අධිරාජයා දැක්කේ ඒ වාඩි වෙලා ඉන්නේ, තමන්ගේම රාජකීය ආභරණ වලින් සැරසිලා, රාජකීය මුදාව එක අතකත්, රාජකීය අසිපත අනිත් අතිනුත් දරාගෙන ඉන්නා තමන්ගේම මරණය බවයි. සයනාගාරයේ රතු පැහැති වෙල්වට් තිර වලට මුවා වෙමින් ඉතා හුරුපුරුදු මුහුණු රාශියක් තමන් දිහා බලා සිටින බවත් අධිරාජයා දැක්කා. මරණය තමා අසලින්ම වාඩි වී සිටින මේ වෙලාවේ ඒ අයුරින් තමා දිහා බලා ඉදින්නේ තමන්ගේම වත්කම්, හොඳ හා නරක යන දේවල් බවයි අධිරාජයා දැක්කේ.

“ඔබට අමතකද?“ සතර අතින්ම ඒ අය ප්‍රශ්න කරන්න ගත්තා. “මතක නැතිද?“ අධිරාජයාගේ නළල පුරාම දහඩිය ගලන්න උනා. 

“නෑ නෑ මට මතක නැහැ. අනේ සංගීතය සංගීතය. කෝ.. ඔය සංගීතය.. මගේ පුංචි රත්තරන් කුරුල්ලෝ.. මම උඹට කොයි තරං තෑගි දුන්නද, මගේ රත්තරන් සෙරරෙප්පුවත් මම උඹගේ කරේ එල්ලුවා. ඒක නිසාවත් සිංදු කියපං“ අධිරාජයා මරු විකාරෙන් බෙරිහන් දුන්නා. ඒත් කුරුල්ලා නිහඩයි. උගේ යතුර කරකවන්නවත් කෙනෙක් අහල පහල නැහැ. මරණය කුරුල්ලා දිහාත් බලාගෙන හිටියා. ඒක නිසා කුරුල්ත් නිහඩයි. ඇත්තෙන්ම කුරුල්ලා මාරාන්තික නිහඩතාවයක.


එක පාරටම ජනේලය අද්දරින් සංගීත රාවයක් ඇහෙන්න ගත්තා. මේ අර නියම නයිටින්ගේල් කුරුල්ලා. ඌට අධිරාජයාගේ වේදනාත්මක අවසන් ඉල්ලිම ඇහුන නිසා අධිරාජයා වෙනුවෙන් පැමිණ තිබුනා. කුරුල්ලා ගීතය ගයද්දී, අර භූතාත්ම සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඒ අය සුදු මැලි වෙද්දි රජතුමාගේ සුදුමැලි සිරුර ඇතුලේ නාල වල හෙමින් හෙමින් ආයිත් රුධීරය ගලන්න පටන් ගත්තා. මේක දැකපු අධිරාජයගේ මරණයත් “අනේ අනේ තව සිංදුවක් කියන්න කුරුල්ලෝ“ කියමින් බෙරිහන් දෙන්නට ගත්තා.

“ඒත් රජතුමාගේ ඇඳුං ආයිත්තං ටිකයි, කඩුවයි, මුදාවයි ඔයා ආයි දෙනවද“ කුරුල්ලා මරණයෙන් ඇසුවා.

ඉති මේ ඔක්කෝම සිංදුවට හිලව්වට දෙන්න එයා පොරොන්දු උනා. නයිටින්ගේල් කුරුල්ලා සිංදුව කියද්දී පල්ලියේ උද්‍යනයේ තිබු සුදු රෝස මල් පිපිලා ඒවයින් සුවද විහිදෙන්න ගත්තා. ඒක නිසා මුළු පරිසරයට සුගන්දයෙන් පිරි‘තිලා තිබුනා .එ් සුවද හෙමින් සැරේ අැරපු කව්ලුවෙන් අධිරාජයාගේ සයනාගාරයත් ඇවිත්. උද්‍යානයේ තණකොළ ලස්සනට කොළපාට වෙලා. මේවා දැකපු මරණය ආයිත් තමන් හිටපු තැනටම යන්න ගියා. එයා ගියා විතරයි හරිම පහසු සිහින් සුළගක් මුළු කාමරය පුරාම පැතිරෙන්නට ගත්තා.

“අනේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ස්වර්ගයෙන් ආපු මගේ පුංචි කුරුල්ලෝ.. මං ඔයාව එළවගත්තා. ඒත් උඹ හරිම කරුණාවන්තයි. මාව මරණයෙන් ගලවාගන්න සිංදු කියන්න ආවා. මං උඹට සදා ණය ගැතියි මගේ පුංචි කුරුල්ලෝ“ අධිරාජයා මරණෙන් නැගිට කරුණාබරිතව කුරුල්ලට කිව්වා.

“උතුමාණනි ඔබතුමා දැනටමත් මට ඒ ණය ගෙවලා අවසානයි. ඔබට මතකද මම ඉස්සෙල්ලම දවසේ සිංදු කියද්දි ඔබගේ ඇස් වලින් කඳුලු ගලා ගියා.  කලාකාරයෙකුට ලෝකයේ තියෙන ලොකුම මැණික ටත් වඩා ඒ කඳුලු කැට වටිනවා. ඒක නිසා දැං නිදාගත්ත රජතුමණි. මම සිංදු කියන කොට ඔබතුමා තව තවත් ශක්තිමත් වේවි“ එසේ කියපු නයිටින්ගේල් කුරුල්ලා අධිරාජයාට නින්ද එන තෙක්ම ගායනය කළා.

අධිරාජයා නැවත ඇහෙරෙන කොට උදා හිරු හෙමින් හෙමින් ජනෙල් කව්ලුවෙන් එබෙමිනුයි හිටියේ. ඔහුට ඉතා පහසුවක් දැනුනා. අද උදේ නං අධීරාජයා මිය ගිහින් ඇතිය කියා සිතුට නිසාම එතුමාගේ කිසිම සේවකයෙකු මේ වෙනතුරුත් සයනාගාරයට ඇවිත් හිටියේ නැහැ. ඒත් තවමත් අපේ නයිටින්ගේල් කුරුල්ලා තමන්ගේ ගායනය කරමිනුයි හිටියේ.

“ඔබ හැමදාම මාත් එක්කම ඉන්න ඕන. ඔයාට සතුටු හිතෙන වෙලාවට මං වෙනුවෙන් සිංදු කියන්න. මේ යකඩ කුරුල්ලා මං කුඩු පට්ටං කරල දානවා“

“එපා. එයාට පුලුවන් උපරිමය නේ එයා කලේ. එහෙමම මේ වගේම ඉන්න අරින්න. මොකද මට මයේ කුඩුව මෙතනවත් මේ අහල පහළවත් හදන්න බැහැ. ඒ වගේම මට මාළිගාවකවත් මගේ කුඩුවේ තියෙන තරං සැපතක් නැහැ. ඒක නිසා මං කැමති වෙලාවට මට මෙහාට එන්න ඉඩ දෙන්න. අන්න එහෙම ආපු වෙලාවක අද වගේම ඔබතුමා සතුටු වෙන විදියට මේ ජනෙල් පඩිය උඩ ඉදගෙනම මම සිංදු කියන්නං. දුකෙන්, කළකිරීමෙන් ඉන්න අය ගැන මං කියන්නං. ඔබට නොපෙණෙන සියලු දේ ගැන මම ඔබට කියන්නං. මම පුංචිම පුංචි කුරුල්ලෙක් උනාට මට ඕනම ඈතකට පියාඹලා යන්න පුලුවන්. ගොවි ගෙදර, මාළුකාරයගෛ් ගෙදර වගේ ඔබතුමාට යන්න බැරි බොහෝ තැන් වලට මට යන්න හැකියි. මම ඔබතුමාගේ මේ ඔටුන්නට වැඩිය ඔබතුමාගේ හදවතට කැමතියි. ඔබ මට එක් දෙයක් පොරොනුදු වෙනව නං මම කැමතියි නැවත පැමිණ ඔබ වෙනුවෙන් ගායනය කරන්න“ පුංචි නයිටින්ගේල් කිව්වා.

“මේ හැම දෙයක්ම ඔබෙයි“ අධිරාජයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

“එකම දෙයයි උතුමාණනි. ඔබතුමා කිසිම කෙනෙකුට කවදාවත් කියන්න එපා මේ වෙන හැමදෙයක්ම ඔබට කියන පුංචි කුරුල්ලෙක් ඉන්නවා කියලා. කව්රු හරි ඒක දැනගත්තොත් ඔබතුමාව රවට්ටන්න මටත් වඩා හොදට මේවා තව වර්ණනා කරල කියන්න ගනීවි“ කියපු පුංචි කුරුල්ලා තමන් ආපු කව්ලුවෙන්ම ආපහු ඉගිල්ලිලා ගියා.

තමන්ගේ අධිරාජයාගේ මළ මිනිය දැකීමේ අටියෙන් සයනාගාරයට පැමිණි සේවකයන් එකත්පසව හිටගෙන බලාගෙන උන්නා. අන්න ඒ වෙලාවේ ඇස් අරල බලපු අධිරාජයා බොහොම සැහැල්ලුවෙන් හැමෝටම “සුභ උදැසනක් වේවා!“ කියල කිව්වා.

The Nightingale - Hans Christian Andersen

Monday, September 1, 2014

අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි!!

මේ කතාව මං පුංචි කාලේ අහපු කතාවක්. මේ කතාව ගැන හිතන හැම වෙලේම මට ඒකේ වටිනාකම දැනේන්න ගත්තා. ඒ කියන්නේ සමහර කතා වගේ, සමහර මිනිසුන් වගේ, වයසින් වැඩෙද්දි තව සාර වෙනවා වගේ.

මං හිතනවා ඔය අය ගම්බද පැත්තක ජීවත් වෙලා ඉන්න ඇති කියලා. හිතන්න..ඔන්න තියෙනනා හුගක් පරණ අතු හෙවිලි කරපු ගොවි ගෙයක්. වහලේ උඩ පුංචි පුංචි ගස් කොලං වැවිලා. වහළ මුදුනෙම කොකෙක් තමන්ගේ කූඩුව හදලා. හරියට කොකා නැතිව වහල හදන්න බැරිව වගේ. ගෙයි බිත්ති ඇල වෙලා, ජනෙල් තියෙන්නෙත් හුගාක් පහතින්. ඒ මදිවට විවෘත කරන්න පුළුවන් වෙන්න තියෙන්නෙත් එක ජනේලයයි. ගිනි පෝරණුව බිත්තියට අල්ලල තියෙන්නේ හරියට මහත මිනිහෙක් බිත්තියට ඇලිල ඉන්නව වගේයි. වැටට හේත්තු වෙලා පරණ ගහක් තියෙනවා ඒකේ අතු බිමට පාත් වෙලා. වැටට අල්ලලා තියෙන්නෙ පොඩි ජල තටාකයක්. තාරාවෝ කීප දෙනෙක් ඒ තටාකේ ඇතුලේ ඔබමොබ යනවා. හැම එකකටම බුහ් බුහ් ගාලා බුරන දඩෝරියෙකුත් ඒ ළගම ඉන්නවා.

ඔන්න ඔය වගේ තමා ගොවි ගෙවල්. මේ ගෙදර හිටියේ වයසක උන්දැල දෙන්නෙක්. ගොවියෙක් හා ඔහුගේ වයසක බිරින්දෑ. ගේ වගේම ඒ අයගේ දේපලත් බොහොම පොඩ්ඩයි. ඔය අතරේ මේ අයට අශ්වයෙකුත් හිටියා. ඔය ගමනක් බිමනක් යන කොට එක්ක යනවා. නගරෙට යන කොට අශ්වයා පිටේ නැගල යනවා. ඒ අතරේ අහල පහල අයත් “අයියේ පොඩි වැඩකට යන්න මට අශ්වයා දෙනවද?“ කියල ඇහුවම නොදී බැරි නිසා අපේ උන්දැ අශ්වයව දෙනවා. ඉතිං ඒ මිනිස්සුත් වැඩේ කරගෙන ඔය පොඩි පොඩි දේවල් අපේ උන්දැට ගෙනැත් දෙනවා ඒකට හිලව් වෙන්න. ඒත් මේ දෙන්නා හිතුවා ඔය ලැබෙන සොච්චමට වැඩිය මේ අශ්වයා විකුණල හරි, මොකක් හරි වටිනා දේකට හරි මාරු කරල දානවා නං වඩා හොදයි කියලා. ඒත් මේ වටිනා දේ මොකක් වෙන්න පුළුවන්ද?

“අපේ මහත්තයෝ ඔයැයි දන්නවනේ මොකක්ද කරන්න ඕන කියලා“ ගම හාමිනේ කිව්වා.

“අද පොළ දවස නේ. ඉතිං පොළට ගිහිල්ලා මේ අස්පයාව දීලා කීයක් හරි අරගෙන එන්න නැත්නං මොකක් හරි කමක් නෑ වටින දේකට මාරු කරගන්න. ඔයැයි මොනව කරත් හරියි කියල මම දන්නවා. එහෙනං ගොහිල්ල එන්න“

ඉතිං ඇය අපේ උන්දැගේ කරේ දාලා තිබුන ලේන්සුව තද කරල ගැට ගැහුවා. අපේ උන්දැට වැඩිය හොදට එයැයිගේ ඔය ලේන්සුව ගම හාමිනේට ගැට ගහන්න පුළුවන්. ඇය ඒක ලස්සනට ගැට ගැහුවා. ඊට පස්සේ අපේ උන්දැගේ තොප්පිය අරගෙන වටේම පිහිදල දැම්මා එයාගේ අතින්. එයා අපේ උන්දැට හාදුවකුත් දුන්නා. ඉතිං ඒ පාර අපේ උන්දැ අශ්වයත් පැදගෙන පොළට යන්න පිටත් උනා. අපේ උන්දැ ටක්කෙටම දැනං හිටියා එයා මොකක්ද කරන්න ඕන කියලා.

එක වළාකුලක් වත් නැති නිල් ආකාහේ දෙබෑ කරගෙන හිරු එළිය තද සැරේට පොළවට පාත් වෙනවා. පාර පුරාම දුහුවිල්ල. පොළට යන මිනිස්සු නිසා දක්කන සත්තු නිසා මේ දුහුවිල්ල හොදටම ඇවිස්සෙනවා. ඉර එළියෙන් බේරෙන්න නං කිසිම විදියක් නැහැ.

ඔය මිනිස්සු අතරේ එක් කෙනෙක් එළදෙනක් පොළට දක්කගෙන යනවා. මේ එළදෙන හොද පෘෂ්ඨිමත් සතෙක්.

“මේ වැස්සි නං කිරි මන්ඩලයක්“ අපේ උන්දැ හිතුවා. “මයේ අස්පයාට මේ වැස්සිව මාරු කරා නං ආයේ දෙකක් නෑ..මේක හොද බිසිනොස් එකක් තමයි“

“ඒයි. ඔය වැස්සි දක්කං යන උන්දැ.. පොඩ්ඩක් ඉන්නවදෝ..“ අපේ උන්දැ කිව්වා.

“ඕං මට ඉන්නව බෝම වටින අස්පයෙක්.. ඔව් තමුන්ගේ ඔය වැස්සිට වැඩිය බෝම වටිනවා. ඒකට කාරි නෑ. ඔය වැස්සි මට වටිනවා. ඔහේ කැමති නැද්ද මේ බිසිනොස් එක කරන්න. මං කිව්වේ මගේ මේ අස්පයා අරන් ඔය වැස්සිව මට දෙනවා.“

“අහා.. ඒක හොදයි මං කැමතියි“ ඒ මිනිහා කිව්වා. ඉතිං බොහොම සාධාරණව ඒ හුවමාරුව සිද්ධ උනා. ඉතිං අපේ උන්දැ හැරිල ගෙදර යන්න එපැයි. කොහේද මේ මනුස්සයට හිතුනා මෙච්චර ආපු එකේ පොළ පැත්තේ පොඩි රවුමකුත් දාලා ගියා නං හොදයි කියල. ඉතිං අර එළදෙනවත් දක්කගෙන අපේ උන්දැ පොළට යන්න පිටත් උනා. එළදෙනව ඉස්සර කරගෙන අපේ උන්දැ දික් අඩි තිය තිය විගහට ගාටන්න ගත්තා. ඒ අතරේ පාරේ යනවා බැටළුවෙක් දක්කගෙන යන මිනිහෙක්. ඒකා නං තඩි බැටළුවෙක්. ඒ මදිවට හොද එකෙන්ම ලෝමත් තියෙනවා.

“මෙන්න මේ යකාව ගත්ත නං හරි“ අපේ උන්දැට නිකම්ම හිතුනා. “බැටළු තඩියට ඕන තරං තණකොළ අපේ වත්ත පිටියේ තියෙන එකේ හොදට කාලා හැදේවි. අනික සීත කාලේ ආවම අපේ කාමරේම උනත් තියාගන්න බැරියැ. බාග විට මේ වැස්සිට වැඩිය අර බැටළු තඩියා වටිනවා වෙන්න ඇහැකි.“

“අපි මේකා මාරු කරගමුද?“ අපේ උන්දැ ඇහුවා.

කියන කල් හිටියේ වගේ බැටළුවගේ අයිතිකාරයා වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං බැටළුවෙක් දක්කගෙන පාර දිගේ යනවා.

තව ඩිංගක් දුර යන කොට අපේ උන්දැට හමු උනා තඩි පාත්තයෙක් කිහිල්ලේ ගහගෙන පොළට යන මනුස්සයෙක්.

“අප්පට සිරි අන්න තඩි පාත්තයෙක්. ඌ තරං මහත පාත්තයෙක්.. මයේ ජීවිතේට දැකල නෑ. උගේ පිහාටු ටිකෙනුත් හොද වැඩක් ගන්න ඇහැකි. කකුලට ලණුවක් ගැට ගහල අපේ ටැංකියට දාලා තිබ්බ නං ඕකා හොදට බලාගන්න තිබුනා. අනේ හාමිනේ කොයි තරං සන්තෝස වෙයිද? ඒ උන්දැ මට කොයි තරං කියනවද “අනේ අපිට පාත්තයෙක්වත් හිටිය නං කියලා“ ඔව්. දැං උන්දැට පාත්තයෙක් දෙන්න මට ඇහැකි.“

“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිත් අපේ උන්දැ පුරස්නේ ඇහුවා.

අර මනුස්සයත්, නිකං දියට දැම්මම ඇන්නෑවයි කිව්ව වගේ වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං පාත්ත-හිමිකරුවෙක්.

මේ වෙන කොට අපේ උන්දැ පොළට හොදටම කිට්ටු කරල හිටියේ. මහපාර පුරාම සෙනඟ. මිනිස්සුයි සත්තුයි නිසා එතැන පොඩි තදබදයක්. ඒක නිසා පාරේ නෙමෙයි අහල පහල වැටවල් අයිනෙන් තමා මේ අයට යන්න උනේ. තදබදේ කොච්චරද කියනවනං පොළ ඉස්සරහම ගේට්ටුවේ  ඉන්න තෝං එකතු කරන මනුස්සයගේ තක්කාලි පාත්තිය උඩිනුත් මිනිස්සු වගේ වගක් නැතිව යනවා. ඔය අතරේ තෝං කාරයගේ කුකුල් තඩියත් ලණුවකින් ගැට ගහල හිටියේ මොකද ඔය යන මිනිස්සු නිසා කුකුල් තඩියා බය වෙයි කියල හිතලා. බැරි වෙලා හරි නැති වෙන්න උනත් පුළුවන්නේ. මේ කුකුල් තඩියගේ පස්සේ පිහාටු ටික හරිම කෙටියි. උගේ ඇස් නිකං තරු වගේ බැබලනෙවා. බැලු බැල්මට උගේ අමුතු ගතියකුත් තියෙනවා. “කොක් කොක්“ කුකුළා හැඬලුවා. කුකුළා මොකක් හිතුවද කියල නං මං දන්නේ නෑ. ඒත් අපේ උන්දැ නං ඒක දැක්කා.

“අප්පා. මම මෙතුවක් කාලෙකට දැකල නෑ මේ වගේ එකෙක්. අර අල්ලපු ගෙදර පාර්කර් කාරයගේ ගොං කිකිළි මොකෙක්ද මූත් එක්ක බැලුවම. මට හිතනෙවා මේකව ගන්න. කෑම දෙන්න ඕන එකක්යැ. උන්ට ඔය මොකක් හරි කෑමක් අහුලගෙන කන්න ඇහැකි එකේ. අනික මුං බිත්තර දැම්මට පැටව් එනවා. එතකොට අපිට කුකුල් කොටුවක්ම තියේවි. මේ පාත්තයා දීල කුකුළව ගන්න එක තමා හොදම.. ඔව්.. ඒක හරි“

“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිමත් අර ප්‍රශ්නේ.

“මාරු කරන්න... ඔව් ඉතිං ඒකේ නරකකුත් නෑ“ තෝං කාරයා කිව්වා.

ඉතිං ආයිමත් ඒ වැඩේ සිද්ධ උනා. තෝං කාරයා පාත්තයා ගත්තා. අපේ උන්දැ කුකුළත් අරන් යන්න ගියා.

ඉතිං... අපේ උන්දැ පොළට එන ගමන් හොද හොද ගණුදෙනු ටිකක් කලා නෙව. දැං අපේ උන්දැට හොදටෝම මහන්සියි. ඒ මදිවට තිබහයි. මොනා හරි ඩිංගක් කාලා, බ්‍රැන්ඩි උගුරක් බිව්ව නං හොදයි කියල හිතිල අපේ උන්දැ හෙමීට ගියා තානායමට. තානායමට අඩිය තියන්න යන කොටම ඔන්න එනවා තානායමේ අශ්වයින් බලා ගන්නා කෙනා. දෙන්නා දොර ගාවදි හමු උනා. අර මනුස්සයා මොකක්ද ගෝනියක් කරේ තියාගෙනයි ආවේ.

“ඔය ගෝනියේ මොනවද තියෙන්නේ“ අපේ උන්දැ ඇහුවා.

“ආ. මේකේ තියෙන්නේ වේලිච්ච ඇපල් වගයක්.. උෟරොන්ට කන්න දෙන්න“

“මක්කා කිව්වා. ඒක මොන අපරාදයක්ද? මං කැමතියි ඔය ටික ගෙදර අරං යන්න. ගිහින් මයේ උන්දැට දෙන්න. පහු ගිය අවුරුද්දේ අපේ ගහේ එකම එක ගෙඩියයි හැදුනේ. ඉතිං ඒක මහා සම්පතක්ය කියල හිතාන මයේ උන්දැ ඒ ගෙඩිය පෙට්ටියක අරන් තිබ්බා ආරස්සාවට. මේ ගෝනිය ගොහිං දුන්නොත් කියයි නිධානයක් පහළ උනාය කියලා.. ඔව් මම මේ ඇපල් ගෝනිය උන්දැට ගොහිං දෙන්න ඕන.. මොකෝ කියන්නේ මට දෙනවැයි ඔය ඇපල් ගෝනිය“

“ඉතිං ඒකට මට මොනවද දෙන්නේ“

“මම තමුසෙට මේ කුකුල් තඩියා දෙන්නං. කැමතියි නේ“

ඉතිං වැඩේ කෙරුනා. වේලිච්චි ඇපල් ගෝනියත් අරන් අපේ උන්දැ තානායම ඇතුලට ගියා. ඊට පස්සෙ තානායම ඇතුලෙදි අපේ උන්දැ ඒක හෙමීට පෝරණූව උඩින් තිබ්බා. වැඩේ කියන්නේ මිනිහා දැනගෙන හිටියෙ නැහැ පෝරණුව ගිනියම් වේච්චි විත්තියක්. 

එක එක ජාතියේ මහා ගොඩක් තානායම ඇතුලේ පිරිලා. ඒ අතරේ ඉංගිරිසි කාරයෝ දෙන්නෙකුත් හිටියා. බෝම පෝසත්. ඒ අයගේ සාක්කු පිපිරෙන්න තරම්ම පිම්බිලා රන් කාසි වලින්. ඕන නං ඉතිං ඒ අයට ඔට්ටු අල්ලන්නත් පුළුවන්. ඔන්න අහගන්න.

චිරිස් චිරිස්... අර පෝරණුවේ මොනවද තියෙන්නේ. අන්න ඇපල් ටික පිච්චනෙවා..

“ඒ මොකක්ද?“

“ඇයි..අහන්නේ? තමුසෙල දන්නවනං...“ අපේ උන්දැ කිව්වා.

ඉතිං අශ්වයගේ ඉදල ඇපල් වලට යනකම්ම වේච්චි සංහදිය කොනක ඉදලම දිග ඇරියා අපේ උන්දැ.

“හැක්.. තමුසෙට අද නං නෝනගෙන් ලැබෙන්න ඕන ටික හොද එකෙන්ම ලැබෙයි.. අපොයි කංකරච්චලේ ඉවරයක් නැති වේවි.. හැක් හැක්.“ ඉංගිරිසි කාරයෝ සමච්චලේට වගේ කිව්වා.

“මක්කයි කිව්වෙ.. මට.. එයැයි මට මොනව දෙන්නද..? ඕන නං එයැයි මාව ඉඹල මෙහෙම කියාවි. “අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි“ කියලා.. ඔව්“ අපේ උන්දැ කිව්වා.

“අම්මට හුඩු. ඒකත් එහෙමද? හා.. එහෙනං අපි ඔට්ටුවක් දාමුද? මොකද කියන්නේ.. අපි ඔට්ටුව දාමු රත්තරං කාසි හොන්ඩරයක්.. සෙල්ලංද?? හොන්ඩරේක රත්තරං“ ඉංගිරිසි කාරයෝ ඔට්ටුව දැම්මා.

“එච්චර ඕන නෑ..මට එක බුසලයක් ඇති.. හැබැයි මට ඔය ඔට්ටුවට දාන්න වෙන්නේ ඇපල් පුරෝපු බුසලයක් තමා.. තව ඕන නං මායි මගෙ උන්දැයි ඕකට දැම්මාම හොන්ඩරේ හරි යාවි.. හැක්“

“හරි හරි.. එහෙනං ඔට්ටුයි“

ඉතිං ඔට්ටුව ඇල්ලුවා. කට්ටියම, ඒ කිව්වේ ඉංගිරිසි කාරයෝ දෙන්නයි අපේ උන්දැයි තුන්දෙනාම තානායමේ කරත්තයක් අරන් අපේ උන්දැගේ ගෙදරට ආවා.

“ඉතිං කෝමෙයි මයේ හාමිනේ“

“කෝමෙයි ඉතිං අපේ උන්දැ“

“මම අස්පයා වික්කා“

“ඔව් ඉතිං ඔයැයි දන්නවා නේ කොහොමද ඒක වෙන්න ඕන කියලා“ හාමිනේ කිව්වා. ඒ කියන ගමන් අමුත්තෝ දෙන්න ගැනවත්, ගෝනිය ගැනවත් නිච්චියක් නැතිව හාමිනේ අපේ උන්දැව වැළදගත්තා.

“මම අස්පයා විකුණල වැස්සියෙක් ගත්තා.“ අපේ උන්දැ කිව්වා.

“බුදු අප්පොච්චියේ.. අපිට බඩ පැලෙන කං කිරි බොන්න ඇහැකි එහෙනං. අපිට ඕන තරං බටර්, චීස් උනත් ලැබෙයි නෙව. හොදටම ලාබයි හොදටම ලාබයි මේ බිසිනොස් එක“ හාමිනේ සන්තෝසෙන් කිව්වා.

“ඔව්.. ඒත් මං වැස්සි දීල බැටළු තඩියෙක් ගත්තා“

“හා.. ඒක වැඩිය හොදයි නෙව. ඔයැයි හැම වෙලේම මං ගැන හිතනවා නේද?? ඔය බැටළුවට කන්න ඇති තරං තණකොල වත්තේ තියෙන එකේ අපිට හොදට කිරියි, චීසුයි ලැබේවි. ඇයි බැටළු ලොං ඇති තරං ගන්න ඇහැකි. මරේ මරු. වැස්සි කොහේද ලොං දෙන්නේ ඕන නං උගේ අර කෙඳි ඩිංගක් කපාගන්න පුළුවන්. එච්චර නේ.. බැටළුවා තමා වටින්නෙ.. දෙකක් නෑ.. ඔයැය නං හරි දස්සයා“

“ඒත් මං බැටළු තඩියා දීල පාත්තයෙක් ගත්ත නෙව“

“එහෙමද?? හපොයි එහෙනං මේ අවුරුද්ද අපිට හොදටම සරුයි. අපිට අවුරුදු මේසෙදි උණු උණුවෙම, රෝස් කරපු පාත්ත මස් ටිකක් කන්න බැරියැ. ඔයැයි හැම වෙලේම මගේ සන්තෝසේ ගැනමයි හිතන්නේ.. මං ආදරෙයි ඔයැයිට. අපි ඒකාව තම්බල කන්න කලින් ඇති තරං මහත් වෙන කල්, ඔය ආරස්සාවට කකුලේ ලණුවක් ගැට ගහල අතෑරල දාමු..මක්ක හරි කාලා හැදෙන්නැතෑ නේද?“

“ඒත් මං පාත්තයා දීලා කුකුළෙක් ගත්තා“

“කුකුළෙක්.. ඒක වැඩිය හොදයි නේ. ඌ බිත්තර මහ ගොඩක් දාලා ඒවා රැක්කම අපි පැටව් රොත්තක් ඉදීවි. ඉතිං එතකොට අපිට කුකුල් කොටුවක්ම හදාගත්තෑකි නේ. අම්මේ.. ඔයැයිට කියන්න මම මේ හිත හිත හිටපු දෙයක් ඒක“

“වෙන්නැති. ඒත් මම කුකුළා දීලා වේලිච්චි ඇපල් ගෝනියක් ගත්තා“

“මක්කා කිව්වා.. මේ කරපු වැඩේට නං මට ඔයැයිව ඉඹින්න හිතෙනවා. අනේ මයේ මහත්තයෝ.. මං ඔයැයිට දෙයක් කියන්නද? අද උදේ ඔයැයි පොළට යන වෙලාවෙවත් ඔයැයිට හවසට කටට රහට මක්ක දෙනවද කියල නිච්චියක් නැතිවයි මං හිටියේ. පස්සේ මං හිතුවා හොද රහට කුරුඳු කොළ ටිකක් දාලා පෑන්කේක් ටිකක් හදල දෙන්න ඕන කියලා ඇයි ඉතිං බිත්තරයි, බේකනුයි ගෙදර තිබුන නෙව. ඒත් මට කුරුඳු කොළ තිබ්බේ නැති හන්දා මම ගියා ඉස්කෝලේ නෝනගේ ඉඩමට. පිට පොත්ත රතට තිබුනට ඒ ගෑනි නං මහ යස්සනියෙක්. මං නොවැන්දා විතරයි. ඒත් මේ ගෑනි මට කුරුඳු කොළ ඩිංගක් දුන්නෑ නෙව. ඕන නං ණයට දෙන්නං ලු. “ඔහේලයි ඉඩමේ මෙලොවක් වැවෙනවද? අඩු ගානේ වේලිච්ච ඇපල් ගෙඩියක් වත්“ ඔන්න ඔහොමයි මට නක්කලේට කිව්වේ. ඒ පාර කියනවා “ඉතිං ඒක නිසා මට ඔහේට අඩු ගානේ වේලිලිච්ච ඇපල් ගෙඩියක්වත් ණයට නං දෙන්න බැහැ“ කියලා. හහ්..හහ්..හා. දැං මට පුළුවන් ඒ ගෑනිට එක ඇපල් ගෙඩියක් නෙමෙයි ඇපල් ගෙඩි දහයක්ම දෙන්න.. නෑ ඕන නං ඇපල් ගෝනියක්ම උනත්.. ඔව්..මට දැං හරි සන්තෝසයි. මට ඉවසුම් නෑ මේ ගෑනිට පාඩමක් උගන්නන කං.. හහ් හහ් හා.“ මෙහෙම කියන ගමන් හාමිනේ මහා සද්දේට අපේ උන්දැට “උම්මා“ කියල හාදුවක් දුන්නා.

“අන්න හරි.. බෙල්ල ගැලවුනත් සන්තෝසනේ ඉන්නේ.. නියමයි. අන්න ඒකයි අපි ඔහේලට සල්ලි දෙන්නේ“ ඉංගිරිසි කාරයෝ දෙන්නා  ඇස් උඩ තියං එක පාරට කිව්වා. 

ඇති පදං ගෙදර උන්දැගෙන් බැනුම් පිට බැනුම් අසාවි යැයි සිතා සිටියත්, ඒ වෙනුවට බෝම ආදරෙන් හාදු ලැබුණු අපේ උන්දැට රත්තරං කාසි හොන්ඩරයක්ම ලැබුනා ඉංගිරිසි කාරයොන්ගෙන්.

ඔව්.. දැක්ක නේ ඒකට වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන හැමදේම හරි යැයි බිරිඳ සිතනවා නං ඒක තමා වටින්නේ.

ඉතිං කතාව ඇහුවා නේ. මං කිව්වේ.. මම මේ කතාව ඇහුවේ මං පුංචි සන්දියේ. ඉතිං ඔන්න ඔය අයත් මේ කතාව දැං දන්නවා. මේකත් දන්නවනේ “අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen
What the Old man does is always right

ප.ලි. - ඇපල් ටික වේලගන්න උදව් කරේ අපේ හැන්රියා තමා.. ඉතිං.