
පියල් ගුරුවරයෙක්. ඔහු සිංහල භාෂාව පාසැලේ දරුවන්ට උගන්වන කොට දරුවෝ බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. පියල් මේ ඉස්කෝලේට ඇවිල්ල වැඩි කාලයක් උනේ නෑ. පියල්ට මීට අවුරුදු 5 ක ට ඉස්සෙල්ලා මුල් ගුරුපත්වීම, දුෂ්කර අම්පාර පළාතට ලැබුනා. මොන දුෂ්කරතාවය තිබුනත් රැකියාව කර ගැනීමේ තිබුන එකම අභිලාෂය හේතුවෙන්, ඇත්තම කිව්වොත් හුගක් අමාරුවෙන් තමා පියල් ගුරු දුෂ්කර සේවය කරේ. ඒ දවස් වල ගමන් බිමන් පහසුකම් උනත් දැං වගේ දියුණු වෙලා නෑ. ඒ කියන්නේ යුද්ධයෙන් පසුව අම්පාරට ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන් උනත්, යුද්ධය පැවති කාලයේ තමන්ට ඕන වෙලාවට මොන වාහනේකින්වත් මොනරාගල සියඹලාන්ඩුව පහු කරල ගමන් කරන්න, යුද හමුදාව ඉඩ දුන්නේ නෑ. මේ කරදර හින්දා අම්පාරට එන බස් හවස 6.00 වෙන කොට මොනරාගල පහු නොකරොත් එදා රෑ එළි වෙන කං ඉන්න වෙන්නේ එතැනම තමා. පහුවදා උදේ 5.00 ට ආයේ ගමන් ආරම්භ කරනකං බොහෝම කරදර විදගෙන ඉන්න වෙනවා. බඩට කරදරේ බඩගින්න, හිතට කරදරේ යුද්ධය, ගතට කරදරේ මදුරුවෝ, කනට කරදරේ හැම වෙලේම වැඩක් නැතිව කච බච ගාන බස් වල සනුහරේ. ඒ ඔක්කෝටම වඩා හපන් එතන බීල මහ රෑ විකාර කරන උන්ගේ කරදර. මේ සියළු කරදර ඉවසා වදාරා කටයුතු කළත්, යුද්දෙන් පස්සේ ඒ පැති වලට හොද කල දසාවක් ඇති උනා. බස් සේවය සෑහෙන්න දියුණු උනා. අඩුම ගානේ පැයකට වරක් වත් දුර ඉදල අම්පාරට එන බස් එකක් ඕන වෙලාවක තියෙන එක සෑහෙන පහසුවක් උනා. ඊටත් වඩා යුද්ධයට හිර වෙලා තිබුන හිත නිදහස් වීමම ලොකු සහනයක් උනා. මොනව උනත් අවුරුදු පහ ගත වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි පියල්ට තමන්ගේ ගමේ ඉස්කෝලෙකට මාරුව හදාගන්න හැකි උනා. ඒක දුෂ්කර සේවයෙන් ලැබුන තෑග්ගක් කියල පියල් හිතන්නේ, පයින් ඇවිදං යන්න පුළුවන් දුරක ජීවිතයයි රැකියාවයි දෙකම පිහිටල තිබුන හින්දයි.
පියල් ඉස්කෝලේ යන කාලේ ඉදලම බොහොම දස්සයා. ඕනම දෙයක් පිළිවෙලට කරන්න, ඕන දේක මූලිකත්වය ගන්න පියල්ට සහජ දක්ෂතාවයක් තිබුනා. ඒ කාලේ පන්තියේ මුල් තැන එයාට ලැබුනේ ගුරුවරුන්ගේ හිටන් විදුහල්පතිතුමා දක්වාම පැතිරිල තිබුන පියල්ගේ නිවිච්චි හැදියාව හින්දා. ඕන දේකදි අපහසුවෙන් උනත් දරාගෙන හිටීමේ ශක්තිය එයාට රැකුලක් උනා. ඒ ශක්තිය හින්දම අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න පවුලක තුන්වෙනි දරුවා විශ්වවිද්‍යාලයට ගියේ කලා අංශයේ උපාධියක් ගන්න. ඒ උපාධියත් අරගෙන කාගෙවත් පස්සේ නොගිහින් ගුරු පත්වීමක් නියම විදියට ලැබුනේ, දැං කාලේ එහෙම උනානං සහතිකේ නිල් පාට තියේද කියල ඇස් කරකවල බලල, එහෙම නැත්නං අයින් කරල දාන්න තරං කටයුතු කරන මහත්තුරුන්ගෙන් මයි. ඒත් දැං ඒ මහත්වරු වෙනස් වෙලා. කණ්නාඩියෙන් බලල තමා රස්සා දෙන්නේ. ඒකත් දෙන්න, මොන එකා උනත් පිටි මුට්ට ගානක පාප්ප හදන්න ඕන, පෝස්ටර් හොන්ඩර ගණන් කර තියාගෙන යන්න ඕන, රෑ එළි වෙන කං අනුන්ගේ වාහන වල සාටර් වෙවි බයියන්ගේ පෝස්ටර් ගහන්නත් ඕන, ඒ ඔක්කොම කොරලත් උන්දැ පැරදුනොත් ඔක්කොම කම්බස්. ඒ අතින් පියල් වාසනාවන්තයි. පියල් හිතුවේ ඒ දවස් වල සමාජය වාසනාවන්තයි කියලයි. ඒ මොකද කියනව නං අඩු තරමේ පොඩි සාදාරණ විදියකට හරි රැකියා ලබා දුන්නයි කියල හිතන්න පුළුවන් උන හින්දා. ඒත් අවුරුදු පහක් ගිය තැන මේ හැම දේකම කන පිට ගැහුන ක්‍රමය ගැන, මධ්‍යස්ථ දේශපාලන මතයක ඉන්න පියල් ගේ හිතේ විස්සෝපයක් තිබුනත්, ඒක එළිපිට පෙන්නුවේ නැත්තේ පොඩි කාලේ ඉදලම පියල් විසින් ගොඩනගා ගෙන තිබුනු ඉවසා වදාරීමේ ක්‍රමවේදය හින්දයි.
උදේ අම්මට වැදල ඉස්කෝලේට යන්න එළියට බැහැපු පියල් සර්, තමන් හැමදාම ගෙනියන, ටවුමෙන් ගත්ත රු. 500 පොඩි බෑග් එක පුරෝලා කෑම දෙකක් එක්කම පොත් පත්, ලේඛණ, පැන් පැන්සල් අරගෙන වම් කරින් ඒක එල්ලන් බොහොම පරිස්සමින් අඩිය තියල, සාමාන්‍යෙයන් වටපිට අඩුවෙන් බලල සීරුවට තමා ගමන් කරන්නේ. එක් වරම තමන් ඉදිරියෙන් අනිත් පැත්තෙන් ආපු මොකක් හරි වාහනයක් මහ සද්දෙන් පාරට හිටවන කොට, බරපතල ක්රීස් සද්දෙට ඕනම කෙනෙක් වගේ එක පාරට ඇස් උඩ තියාගෙන ඒ දිහා බලන්නේ තමන් දුවන්න ඕන දෙයක්ද උනේ කියලා. පියල් සර් දැක්කා කළුම කළු පාට අළුත් ජිප් එකක් (පැජරෝ එකක් කියල තමා ඕන කෙනෙක් කියන්නේ) පාරේ නවත්තල ඒකේ ඩ්‍රයිවර් දොර ඇරගන බහින්න හදනවා. ඒත් පියල් සර්ට කරදරයක් හෝ බාධාවක් නැති නිසාත් වෙන කෙනෙකුට අතුරු ආන්තරාවක් නැති හින්දත් තමන් ආපු ගමන පටන් ගන්න අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බ පියල් සර්ට පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා කව්රු හරි කතා කරනවා වගේ.
“පියල් අයියේ, පියල් අයියේ“
මේ සද්දේට පියල් එකපාරටම තමන්ගේ ඇග එක්කම බෙල්ල හරවල පස්ස බලන කොට සුදු කලිසමක් ඇදපු, බාගෙට පියවපු නිල් පාට ෂර්ට් එකක් ඇදගත්ත තරුණයෙක් එයාගේ පස්සෙන් එන බව පියල් දැක්ක හින්දා එහෙමම පාරේ ගල් උනා. පියල් නැවතුනේ මේ කව්ද කියල බලන්නත් එක්කයි. මිනිහා පියල් ඉස්සරහටම ඇවිල්ල හති පාරක් ඇරල, කට හොද එකෙන්ම ඇරල බොහොම කුළුපගව හිනා උනත් පියල්ට කිසිම අදහසක් නෑ කව්ද කියන එක ගැන.
“පියල් අයියේ, මාව මතක නැද්ද?“
“ඒක තමා බැලුවේ.. ම්හ්.. මට එච්චර නිච්චියක් නෑනේ“
“ඒකනේ පියල් අයියලට දැං අපි අමතකයි. මතකද ලොවි පිස්සා“
පියල් සර්, එක පාරටම අහසේ කෙටුව විදුලි ආලෝකයක් වගේ, එයාගේ මතකය ඒ පාර දිගේ අතීතයට අරන් ගියා. හ්ම්. එතකොට මේ සුරත් මලයාද, අපේ ගෙදර නැවතිල ඉස්කෝලේ ගියපු. ඔව් නේද ඒ අහිංසක මූනම තමා, ඇත්ත නේ මට ඔළුව ට ආවේ නැති උනාට ඒ හිනාවම තමා. පියල්ට අතීතය ආවර්ජනය උනා.
“අනේ මේ සුරත් මල්ලි ද, අයියෝ මට කොහොමවත් අදුරගන්න බැරි උනානේ. ඉතිං ඉතිං“
“ඒකනේ, අයියනං තාමත් ඒ විදියමයි. මම නං ඉතිං මහත් වෙලා, කළු වෙලා, වැඩ නේ බරටම“
“ඒකනං ඇත්ත, ඒ දවස් වල කොයි තරං කෙට්ටුද, ලොවි කතාව තාම මතකයි නේ“
“හෙහ්.. අයිය මට කරපු උදව් වගේම තමා ඒ කාලේත් තාම අමතක නෑ“
පියල් සර් ආයෙත් අතීතයට යනවා. පාසැල ඇරිල ගෙදර ආපු පියල්, අමුත්තෝ දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් පිරිමි කෙනෙක්. අනිත් කෙනා පොඩි දරුවෙක්. මේ කොල්ලා ඉස්කෝලේ ඇදුම ඇදගෙන, බෑග් එකත් වාඩි වෙලා හිටිය පුටුව ගාව බිමින් තියාගෙන, වතුර බෝතලේ කටේ තියන් වතුර බොනවා. පියල්ගේ අම්මා අර පිරිමි කෙනාත් එක්ක කතා කරනවා. ඒ අතරේ දොරේ උළුවස්සට හේත්තු වෙච්චි පියල්ගේ අයියා ඉස්කෝලේ ඇදුම පිටින්ම කන අත ගගා මේ සංවාදය අහන් ඉන්නවා. පියල් හෙමින් සංවාදේ යන අතරින් දොර ගාවට යනකොටම පියල්ගේ අම්මා අර පිරිමි කෙනාට කියනවා.
“සුනිල් අයියේ මේ මගේ බාල පුතා, පියල්, ඔය පාර මේ දරුවටත් පුළුවන් මෙයත් එක්කම ඉස්කෝලේ යන්න. එනකොට ටිකක් වෙලා ඉදල හරි මෙයත් එක්කම ආයේ එන්න පුළුවන් නේ.“
තමන්ගේ කහට ගැහිච්ච දත් ඇන්ද විලිස්සා බාගෙට ඉදුන උඩු රැවුල අතරින් සුනිල් අයියා හොදට හිනා වෙලා පියල් දිහා බලලා කෘතඥපුර්වක බැල්මකින් සංග්‍රහ කරාම, පියලුත් පොඩියට හිනාවකින් සංග්‍රහ කරල ගේ ඇතුලට ගියා. එතකොට තමා පියල් දැක්කේ තරහෙන් පුපුරු ගහන පියල්ගේ අක්කා, අතින් පියල්ට පලයං කියන්න වගේ සංඥා කරනවා. පියල් ඒක ගනන් ගන්නේ නැතිව එයාගේ කාමරේට ගිහින් පොත් බෑග් එක මේසෙ උඩින් තිබ්බ ගමන් අක්කා පිටිපස්සෙන් ඇවිත් පියල්ගේ ඔළුවට හිමීට ඇන්නාම පියල් ආපහු හැරිලා බැලුවා.
“මෝඩයා, උඹට දැං කාමරේ අරකත් එක්ක හවුලේ තමා ඉන්න වෙන්නේ. ඕං අම්මා එහෙම කිව්වා“
“ඒ මොකෝ අක්කේ“
“ඔය අම්මලගේ ගමේ නෑ කෙනෙක් කියන්නේ. අර කොල්ලා උඹලයි ඉස්කෝලේට අද දාල තියෙන්නේ, ඉතිං මිනිහා මෙහේ ඉදං තමා ඉස්කෝලේ යන්න හදන්නේ, දැං බොට හොදයි නේ, මී හරකා“
“ඉතිං අක්කේ එක ඇදයි නේ තියෙන්නේ, කොල්ල ඉන්නේ කොහේද“
“ඔවු ඔන්න බූරු ඇදක් ගෙනැත් දාන්නං කිව්වේ අර මිනිහා“
“අපරදේ පොඩි එකාට ඒකේ ඉන්න ඇහැකියැ??“
“මම දන්නෑ සල්ලි හම්බ උනාම වෙන ඇදක් ගේනවයි කියන්නේ“
“ඒක මිසක්, මට නං ඉතිං කමක් නෑ.. පොඩි එකෙක් නේ අක්කේ“
“ආ.. එහෙමද ඒනං තෝ හොදට සලකාගෙන ඉදිං කොල්ලට“
මොන ආරෝව දාගෙන පියල්ගේ අක්කයි, අයියයි හිටියත් අම්ම කියන වචනෙකට පිටින් ඒ කවුරුවත් යන්නේ නෑ. මොන තරං අමාරු කං ඇතිව හිටියත් සුනිල් මාමගෙන් සතයක් වත් ගන්න අම්ම කැමති නැති උනේ “අනේ මේ කිරි සප්පයෙකුට බත් කටක් දෙන එක මොකක්ද“ කියල කියන ගමන්මයි. ඒත් මාසෙකට සැරයක් සුනිල් මාමා සුරත්ව ගෙදර ඇන්න යන්න එනකොට ඔය මොනා හරි ජාති දෙක තුනක් ගමෙන් පෝර ගෝනියකට දාගෙන එන පුරුද්දක් තිබුනා. ඒ උනාට පියල්ගේ අම්මා ඒවා නං බොහොම ආසාවෙන් භාරගත්තා. “අනේ මොකට මහන්සි වෙනවයි“ කියල තමා ඒ හැම වෙලේම පියල්ගේ අම්ම කියන්නේ. ඔය විදියට කාලය ගත උනත්, සුනිල් මාමා පොරොන්දු වෙච්චි ඇද නං කවදාවත් පියල්ගේ කාමරේට වැඩියේ නෑ. ඒක වඩිනකං සුරත්ට පළවෙනි දවසේ ඉදල වෙන් කරල දීපු පියල්ගේ ඇද තාමත් සුරත්ගේ ඇද. සුරත් ආපු දවසෙම ගෙනාපු බුරු ඇද පියල්ගේ ඇද. ඒක වෙනස් උනෙත් නෑ. පියල්ට මතක් උනා ඒක තාමත් ගෙයි පිටිපස්සේ කොනක අඩු වලින් නිරුවත් වෙලා තියෙන විදිය.
“ඉතිං මල්ලි දැං මොකද කරන්නේ මම හිතන්නේ ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙම තමා මම ඔයාව දැක්කේ“
“ඔව් අයියේ, මට ඉතිං ඕ ලෙවල් වත් ගොඩ දාගන්න බැරි උන හින්දා ගෙදර ගිහින් වෙන වෙන වැඩ කරන්න උනා. එතකොට අපේ තාත්තත් කටේ පිලිකාවක් හැදිල නේ හිටියේ. “
“ඔව් මට මතකයි. එතකොට මම අම්පාරේ මට එන්න බැරි උනා මළගෙදර“
“තාත්තා මැරුනට පස්සේ මම එක එක දේවල් කරා. ඒත් ගොඩ යන්න බැරි උනා“
“දැං හොදයි වගේනේ.. වාහනේ මල්ලිගෙද?“
“ඔව් අයියේ මට දීල තියෙන්නේ. හැබැයි මගේ නෙමෙයි. ඒත් කව්රුවත් ගන්නෑ මගේ වගේම තමා“
“මල්ලි බිස්නස් ද කරන්නේ“
“පිස්සුද අයියේ අවුරුදු දෙක තුනක් බිස්නස් කරල මේවා ගන්න අපි කුඩු විකුණන්න ඕන, ෂික් මම නං ඒවා ගැන හිතන්නෙවත් නෑ“
“එහෙනං මොකක්ද කරන රස්සාව“
“මම ගියපාර චන්දෙදි අපේ රානාබේ ... දන්නවනේ අරයගේ පුතා“
“ඔව් ඔව්.. මොකෝ නොදන්නේ“
“මම ඉස්ම යන්න රානාබේ ට වැඩ කරා චන්දෙට. මිනී මැරුවේ නැති එක විතරයි අයියේ, හැම දහදුරා වැඩේම කරා. අපිත් කොහොම හරි ගොඩ යන්න එපායැ“
“ඉතිං මොකද උනේ“
“අපි දිස්ත්‍රික්කේ හැම තැනම පෝස්ටර් ගහගෙන, අනිත් උන්ගේ ඒවා ඉරාගෙන දවස් ගනන් නිදිමරාගෙන වැඩ කරා. අපරාදේ කියන්න හොදට සැලකුවා. අපිත් ඉතිං වෙන එකෙකුට ඇහැක්වත් ගහන්න දුන්නෑ තාප්ප වල“
“දැං එතකොට මල්ලි අමාත්‍යංශෙකද වැඩ“
“අපෝ නෑ අයියේ මම රානාබේ ගේ සම්බන්ධීකරන ලේකම් කෙනෙක්“
“ඇත්තට. හරි සන්තෝසයි“
“ඒක එච්චර දෙයක් නෙමෙයි අයියේ මං වගේ ලේකම්ල දුසිමක් විතර ඉන්නවා“
“කොහොම හරි ඔයා තැනකට ආව නේ. මට හරි සතුටුයි. ඉතිං මොනවද කරන්න තියෙන්නේ“
“මොනවද ඉතිං, දැං කරන්නේ ලංකාව පුරා පෝස්ටර් ගහනවයි, රානාබේ යන තැං වල පබ්ලිසිටි දෙන්න කස්ටිය එක්කං යනවයි, එයා කියන තැං වල බැනර් කටවුට් ගහන එකයි ඒවා තමා. මට ඒ පැත්ත භාර දීලා තියෙන්නේ. කෝල් එකක් දීල කිව්වම බඩු අරගෙන ලංකාවේම බෙදල වැඩේ කරන්න ඕන. ඒ යන තැං වල හෝටල් බුක් කරල තියෙන්නේ. අපිට තියෙන්නේ ගිහින් අපි මෙයාගේ කට්ටිය කියන්න විතරයි, ඔක්කොම විස්කි වගේ වැඩ“
“පඩි ගෙවන්නේ කව්ද“
“පඩි... පඩි මොකටද අයියේ ඒත් පොඩි ගතමනාවක් ලැබෙනවා නං තමා. අපි තමා ඔය එක එක කොන්ත්‍රාත් ගන්නේ, වැඩ කරන්නේ, ඒවයින් කොමිස් හම්බවෙනවා. අනික වාහනේ රෙපයාර්, තෙල්, කෑම බීම, ඉන්න හිටින්න සතයක් යන එකක් යැ“
සුසුමක් එක්කම “හ්ම්“ ගාපු පියල් සර්ට ආයි අතීතය මතක් වෙන එක නතර කරන්න බැරි වෙනවා.
සුරත් ඒ දවස් වල කොයි තරං අහිංසකද? පියල්ගේ ගෙදර තිබුන එකම ලොවි ගහේ හවස් වෙන කොට ගෙඩි හත අටක් වත් කඩාගෙන නොකෑවොත් මිනිහාට නින්ද යන්නැති ලෙඩක් තිබුන විත්තිය මතක් වෙනකොටත් පියල්ට හිනා එනවා. පොඩි කාලෙත් ඉගෙන ගන්න කම්මැලියා උනත් පියල් කොයි තරං පාඩං සුරත්ට කියල දෙනවද? හැමදාම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නේ පියල් එක්ක. පියලුත් කාලයත් එක්කම සුරත් තමන්ගේ මල්ලි ගානට දාලා වැඩ කලේ. සුරත් හිටන් එහෙමයි පියල් කිව්වොත් ඉන්න තැනිං අඩියක් වත් හෙල්ලුනේ නෑ. ඒත් දැං සුරත් ගේ තත්වෙ එක්ක බලන කොට පියල් ට එන කළකිරීම මොන විදියෙන්වත් පෙන්නුවේ නැති, පියල් සර් ආයේ සුරත්ගේ මූන බැලුවා.
“අයියේ මම දැනුත් මේ වැඩකට යන ගමන්. පස්සේ වෙලාවක ගෙදර එන්නං. අයියා දැක්ක හින්දයි කතා කරේ“
“ආ ආ.. ඒකට කමක් නෑ. සතුටුයි දැක්කට එහෙනං පස්සේ එන්නකෝ ගෙවල් පැත්තේ මම යන්නං“ කියමින් පියල් සර් අඩි දෙකක් විතර ඉස්සරහට යන කොට සුරත් අයේ කතා කරනවා.
“අයියේ... අයියේ.. ඕන දෙයක් තියේනං මට කියන්න. මෙන්න කාඩ් එක. මං කිව්වේ ඕන දෙයක්“
“තෑන්ක්ස් මල්ලි..ඕන උනොත් කියන්නංකෝ“
“අයියට හොද ඉස්කෝලයක් ඕන්නං මම හෙට වෙන කොට හදාල දෙන්නං. බඩු සුවර් මම කිව්වොත්“
“ආ ඕන්නෑ මල්ලි ගෙදර ළග ඉස්කෝලේ හොදයි. හරි හරි මම කතා කරන්නංකෝ පස්සේ.. එහෙනං මම යනවා“
“හරි අයියේ බුදු සරණයි!! මම යන්නං එහෙනං නැන්දත් මතක් කරා කියන්න“
“හ්ම්. හ්ම්“
එතකොට සුසුම් අතරින්, පියල් සර්ට මතකෙට ආවේ අධ්‍යාපන කන්තෝරු ගානෙයි, අමාත්‍යංශේ පැත්තෙයි අභියාචනා මල්ලත් අරන් මාරුව හදාගන්න අපා දුක් විදගෙන බඩ ගාපු අවුරුදු පහ..