Wednesday, November 26, 2014

දියතාලිය!!

බියකරු රූං හඬක් නගමින් තම නිවසට ඉහළින් හමා යන දැඩි සුළං ප්‍රවාහය කෙරෙහි සිරිමලීගේ සිත යොමු වූයේ තරමක බියක් හා තැති ගැන්මක් ඇය අත් විදින කල්හිය. ජීවිත කාලයේ දී මතක ඇති දිනයක මෙවන් රූං හඩක් සහිතව කෝඩයක් හමනු ඇය දැන නොසිටියාය. වහලය මත ඇති දුර්වර්ණ වී ගිය තහඩු වල දිස්නයක් නැති වුවද, සුලං නිසා ඩග් ඩග් යනුවෙන් කෙටි ශබ්ද නගමින් ඒවා සෙලවෙන අයුරු ඇය දුටුවාය. විනාඩි දෙකක් පමණ විටින් විට නැගුන සුළං ශබ්දය ඈතට ගසා ගෙන ගිය බව සැක හැර දැන ඇය එළියට පැමිණ බැලුවාය. සිදුවූ මහත් විපතක් නොවූවද වටින් පිටින් වූ ඇඹරී ගිය ගස් වල අතු කිහිපයක් බිදී වැටී ඇති බවත් ඇය දුටුවාය. නිවසේ පසු පසට වන්නට ඇති පස් කන්දේ ඉහලින්ම ඇති විශාල ගස පිළිබඳව වූ ඇයගේ සිත තුල තිබු භයානක හැගීම දැන් පහව ගොස්ය. එහෙත් නැවත රූං රූං නගමින් මොන වෙලේක කෝඩයක් පාත් වේදැයි යන අනියත බිය ඇයගේ සිත වෙලා තිබුනේය.

“අනේ සෝමේ.. අපි අර කන්දේ උඩ තියන ගහ කපල දාමු.. බයේ බෑ අනේ.. “

“මාත් ඕක හිතල කොච්චර දවස්ද? ඒත් තාම එකෙක් වත් හොයාගන්න බැරි උනා නේ ඕක කපල දාන්න“

“අද කෝඩෙත් එක්ක මම නං හිතුවෙම ගහ කඩං වැටේවි කියලයි..“

“ඔව් අප්පා මහ භයානක හුළගක් නෙව ඒක“

“ඒක නෙමෙයි සෝමෙ.. අපි ගහ කපල දාමු ඉක්මනට. ඕක මහ භයානකයි“

ගෙයි පිටුපසට ගොස් පස් කන්ද දෙස බැලූ සෝමේ හට අඩි සියයක් පමණ උසැති බරසාර ගස පැහැදිලිව දර්ශනය විය. එඩිතරව නැගී සිටින දැවැන්තයෙකු සේ පෙනෙන ගසෙහි ස්වරූපයෙහි යම් ගාම්භීර බවක් ඇතැයි සෝමෙට කල්පනා විය. අනෙකුත් සියළු ගස් අභිබවා උසින් නැගී සිටින මෙම ගසෙහි නම වත් සෝමේ දැන සිටියේ නැත. ගම් පියසක හැදී වැඩුනද, සෝමේ කොහොමටත් ගස් කොළං ගැන විස්සෝප වූ අයෙකු නොවේ. සිරිමලී ඇන්න පැමිණි පසු අඩු මුදලකට නගරයට කිට්ටුවෙන් මිලදී ගත් මෙම නිවස සෝමෙගේ හා සිරිමලීගේ කැදැල්ල බවට පත්ව තවමත් මාස කිහිපයක් පමණි.

“බන්දු අයියේ... අපේ ගෙට උඩහ කන්දේ තියෙන ගහ කපාගන්න ඕන.. වෙලාවක එනවද බලන්න“

“මොන ගහද මල්ලියේ.. අර කන්දේ තියෙන මහ ගහද??“

“ඔව් ඔව් අර උස ගහ.. හුළං සැර දවසට ඒක භයානක විදියට පැද්දෙනවා“

“හම්මොච්චියේ.. මලයෝ.. ඕක කපන්න නං මට බෑ.. මම දන්න කාලේ ඉදල කව්රුවත් කියල නෑ මට ඔය ගහ කපන්න කියලා“

“ඇයි ඒක අමාරු වැඩක්ද?“

“ඔව් ඔව් ඕක අමාරු වැඩක් තමා.. දැනටම ඔය ගහට පොරෝ පාරක් ගහපු එකෙක් බඩ කැපිල මැරිලා ගියා.. ඒකත් උගේ නොදන්න කමට වෙච්චි දෙයක්“

බන්දුගේ කතාවෙන් පසුව මේ ගස මොන ගසක්දැයි සොයා බැලිය යුතුයැයි සෝමේට අවබෝධ විය. බන්දු වැනි ගස් කප්පිත්තෙකු මේ ගස කපා දැමිය නොහැකි යැයි පවසන්නේ බැරෑරුම් කාරණයක් නිසා බව ඔහුට අවබෝධ විය.

තමා ගේ නිවසට යාබදව ඇත්තේ තව එක් නිවසක් පමණක් වන අතර ගෙවල් දෙකටම පිටුපසින් ඇත්තේ අඩි පනහක් පමණ උසැති කන්දය. කන්ද පුරාම රෑස්සව වැඩුනු නොයෙකුත් ගස් කොලන් අතර තමන්ගේ ගේ පිටුපසින් තනියම විරාජමානව නැගී සිටිනා කඳ සුදු පැහැති මෙම ගසෙහි උස කන්ද මත ඇති අනෙකුත් ගස් පරයමින් ඉහලට නැගී ඇත. ගසේ මුදුනට වන්නට කුඩා රොදක් මෙන් එකටම ඇලී මෙන් පවතින අතු ඉති කිහිපය හැරුනු විට මුළු ගසෙහිම ඇත්තේ සුදු පැහැති කඳක් පමණි. පෙනුමෙන් අඩි සීයකට වඩා උස් වූ මෙම ගසෙහි අවටින් වෙනත් ගසක් ඒ උසට යාන්තමින් හෝ සරිලන ලෙස නොපවතින හේතුව ඔහුට පැහැදිලි නොවීය.

වැඩි ඇයි හොදයියක් තමා සමඟ නැති වුවද, කිසිඳු ගස් කපන්නෙකු මේ ගස දෙස තළු මරමින් නොබලන හේතුව දැනගැනීමට සෝමෙට උවමනා විය. මොන හේතුවක් මත හෝ අයිතිකරුවෙකු නොමැති විශාල ගස තම නිවස මතට පත බෑවුනහොත් සිදු වන විනාශය ඔහුට සිතා ගත නොහැක. කෙසේ වෙතත් හේතු සොයාගැනීමට නොහැකි වූවා සේම ගස කපා දැමීමට කිසිවෙකුත් හෝ සොයා ගැනීමට සෝමෙට නොහැකි විය. මේ නිසා තමා පදිංචි ගම් පියසට ගොස් හඳුනන කෙනෙකු කැටුව ඒමට ඔහුට සිදු විය.

උදෑසනින්ම පැමිණි සුගතන්, ගස දෙස බලා නෝක්කාඩු ස්වරූපයෙන් තම පිටි අත්ලෙන්, රත් පැහැ ගැන්වුනු කට පිහිදා කෙළ තල්ලියක් බිම හෙලමින් කතා කරන්නට විය.

“ඈ බං සෝමේ.. මේක මහ රූස්ස ගහක් නේ. මේක දියතාලිය ගහක්.. මෙලෝ රහක් නෑ.. බඩ පුරාම වතුර විතරයි මේ කදේ තියෙන්නෙ.. උස එකයි අවුල.. යට ගෙවල් දෙක නැත්නං දෙපාරින් බිමට දාන්න තිබුනා.“

“දියතාලිය.. මම ඔය ඇහුවමයි ඒ නම.. කොහොම හරි කමක් නෑ මේක කපල දාමු.. මහ භයානක ගහක් බං මේක“

“හිටහං.. උඩට නැගල බලමු.. ගහ යට හෙලක් නැත්නං අමාරුවක් නැතිව එහාට බාවන්න පුළුවන්. ඒත් බං මේ වතුර බඩේ අනිත් ඒවා වගේ නෙමෙයි කිසි විස්වාසයක් නෑ.. යමංකෝ උඩට“

ගස මුල දෙසට අපහසුවෙන් තණකොල අල්ලාගෙන කන්ද නැග ගිය දෙදෙනා ටික වෙලාවක් හති අරින්නට විය. ඒ අතරතුර අවට දෙස බැලීමේදි පැහැදිලි වූයේ, කන්ද බෑවුම නිවස දෙසට තිබුනද, අනෙක් පසින් එක සීරුවට තැනිතලා බිමක් පවතින බවය. කන්ද මත අනෙකුත් තැන් වලට වඩා මෙම කොටසෙහි තණකොළ, පඳුරු වැඩීම පවා අබල දුබල වී ඇති අයුරු දුටුවද එහි අරුමයක් ඔවුන් දුටුවේ නැත. ගසෙහි අඩි පහක් පමණ වන තෙක් යම් යම් පළුදු වූ තැන් තිබුනද, මස් දමා තිබු කඳ හේතුවෙන් බොහොමයක් පැල්ලම් මකා දමා තිබුනි.

“ඈ බං සෝමේ.. මේක අඩි සීයක් හමාරක් උසයි.. කෑලි පහකටවත් බිම දාගන්න එක තමා හොදම දේ.. උඹ ලණුව මම දුන්නම අර තියෙන ඇලස්ටෝනියා ගහේ පට දෙකක් දාලා අල්ලගනිං.. මම කිව්වම විතරක් ඇදහං.. හරිද?“

“හරි සුගතං අයියේ.. මට මේවට පුරුදුයි නේ. ඒක නිසා අවුලක් නෑ“

“එහෙනං මං නැග්ගා ගහට.. බුදු සරණයි“

ගම්මානය සිසාරා පැය තුන හතරක් මුලුල්ලේ කොට්ටෝරුවකු කොටන ශබ්දය ඇසුන හෙයින් ගම්වැසියෝ තම බෙල්ල හරවා, හිස හරවා. ඇස් කරකවා කොට්ටෝරුවා කව්දැයි විපරම් කළද, තරමක් ඈතින් ඇසෙන ශබ්දය සොයා යෑමේ උවමනාවක් නොවු අය වූහ. විටින් විට මහා හඩින් තග් තග් නගමින් නැගුණ ශබ්දයෙන් මිනිසුන් නැවත තම විමර්ශන ආරම්භ කළද එයද තත්පර ගණනකට පමණක් සීමා විය. තමන්ගේ වැඩ කටයුතු අස්සේ කොට්ටෝරුවන්ගේ වැඩ කටයුතු හබා යාමට තරම් වෙලාවක් නොතිබුන හෙයින් සැවොම කරබා තම වැඩෙහිම නිරත වූහ.

“පුහ්.. අමාරු කෝස් එකක් බං.. හොද ගණං“

ගස් ගඳින් හා සුදු පැහැති රොඩු වලින් ශරීරයම පිරි, පපුවේ මයිල්ද කිදා බසිමින් දහදියෙන් තෙමී පපුවටම ඇලුනු සුදු පැහැයෙන් යුතුව හයියෙන් හති අරිමින් බිම වාඩි වී සිටි සුගතන්, තම තොප්පිය අතට ගෙන ඒ මේ අතට පද්දමින් මුහුණට සුලං පුරවමින් සිටියේය.

“යන්තං ඇති බං.. ඒ කරදරෙත් ඉවරයි.“

“මගේ නං හොද පණ ගියා සෝමේ. මේක ආංබාං කරන්න අමාරු වරිගේ ගහක්.“

“බලපං සුගතේ.. කද නිකං කෙහෙල් බඩේ වගේ නේ.. මෙලෝ දෙයක් නෑනේ ගහේ සයිස් එකේ හැටියට“

“ඒක නේන්නං මම කිව්වේ.. තනිකර වතුර බඩක් තියෙන්නේ.. මොලෝ වැඩක් නැති ගහක්“

“අඩුගානේ දරට දාගන්නවත් ගන්න බෑනෙ“

“ඔන්න ඔහොම තියෙන්න ඇරහං. ටික දවසක් ගියාම උඹට ඔය කදේ පොතු කෑලි ටික විතරයි ගන්න ඇහැක් වෙන්නේ“

“සුගතං අයියේ.. මොකෝ කියන්නේ. තාම දොළහ පහු උනෙත් නෑ.. කාලම යමු නෙහ්..“

“අනේ බෑ බං.. විගහට ගියපු තරමට මට ලේසියි.“

“මේ මොන කතාද? ඉදහං මම ගල් බෝතලයක් ගෙනැත් තිබ්බා“

“හප්පට.. උඹ ඒවත් ගෙනාවද? හිටිං එහෙනං ඇගපත තෙමාගෙන එමු හෙනං“

ගෙයි පිළිකන්නේ කණ්ඩිය මත වාඩිවී සුගතං හා සෝමේ අරක්කු බෝතලය හිස් කරන්නට විය. වෙලාව ගත වෙනවා නොදැනුනද බෝතලයේ අඩිය පෙනෙන්ට තිබියදී, සුගතංගේ සිහිය අතුරුදහන් වී ඇත. කටින් පිටවන වචන මොන බර කමකටදෝ නිසි පරිදි කටින් එලියට පිට නොවීය. රතු පැහැති බොර ඇස් වල විශ්මයක් ගැබ් වී තිබුණි. කෑමට ආරාධනා කළද, තව දුරටත් අරක්කු ඩිංගක් හෝ තමාට උගුරට හලා ගත නොහැකි බව දැන සිටි සුගතං, සෝමේ විසින් අතමිට මොලවන ලද රුපියල් පන්සීයද රැගෙන සාක්කුවේ රුවාගෙන, දෙපසට වැනෙමින් මහ මහට පිළිපැන්නේය.

“අයියේ...“

“ක්ක්...කව්ද..“

“අයියේ.. හ්හ්.. අර මෙහේ ඉදල ගියේ එක්කෙනෙක්.. හ්හ් හ්හා“

“ඔව්වොව්.. අපේ සුගතං..අයියා “

“අන්න එයා බස් එකකට යට උනා.. ලේ ගොඩයි“

“අනේ බුදු අප්පු්ච්චියේ.. “

“මගේ ඉස්සරහින් නේ මිනිහා ගියේ.. හ්හ් හ්හා... මිනිහා එක පාරටම මහ පාරට පැන්නා මේ පාරේ ඉදල.. හ්හ් හ්හා.. වේගෙන් ආපු කොළඹ බස් එකක තමා වැදුනේ.. මං හිතන්නෙ එතනමයි“

“අනේ අම්මේ... සිරිමලී.. මට වතුර එකක් ගෙනෙං“

****************************************************

“කව්ද බං මේ ගහ කපන්නේ.. දන්න එකෙක් නං කපයියැ.. බලහං ඔය පත්තිනි මෑනියන්ගේ සාපේ..“

“අනේ අනිච්චේ.. ඉස්සර පත්තිනි දේවාලේ තිබ්බ ගහ.. පස්සේ එ් ගෑනි මැරුනම දේවාලේ වැහුව නෙව“

“මතකයිනේ.. එක පාරක් ගහට පොරෝ පාරක් ගහපු එකා බඩ කැපිල මැරුනා.. ඕවා දේව සාප“

“මේ අලුත ආපු උන් ඕවා දන්න එකක්යැ. ඔය ගහෙන් තමා පත්තිනි මෑණියන්ගේ සළඹ පහල වෙලා තියෙන්නේ. ඒ දවස් වල අවුරුද්දට සැරයක් මහා කිරි දානයක් දෙනවා ඔය ගහ පාමුල.. අනේ අර ගෑනි හිටියනං තාමත් ඔතන පත්තිනි දේවාලේ නෙව“

“ඒකනේ බං අපි ගහට අත තියන්නැත්තේ. දේවාලේ මෑණියන්ගේ අතට මහ රෑක රත්තරන් සළඹ පාත් වෙන හැටි අපේ තාත්තා ඇස් දෙකටම දැකල තියෙනවා. මේවා අනුහස් තියෙන තැන්“

Monday, November 24, 2014

මාළුකාරයාගේ දේශපාලනය!!

රේන්ද පොළ ළග හැන්දෑවේ
මහ සද්දෙන් ලේ මස් විකිනේ
අත තියන්ටෙපා එක බල්ලෙක්වත්
එ් ගොඩ ගත්තේ මම සද්දෙන්

සීතල වතුරට අතැගිලි ඇඹරේ
ලේ බොර වැදිලා සීතල නොසැලේ
ගල් උන හිත මගේ අද සන්තෝසේ
අහුලයි සීතල ගල් උන මස් ලේ

විධායකේ මොන යකෙක්ද අපිලට
ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට

පාර දෙපැත්තේ සුදු ඉරි ගානේ
ලේ පැල්ලම් එක දෙක මතු වන්නේ
සීතල සියල්ල නැති උන මොහොතක
හදවත උණුහුම් වී ගෙන එන්නේ

පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි
ලොකු කෙලීට උණු බනිසයි, කැවුමයි
හාමිනේට කොළ, තුණපහ ඩිංගයි
හැන්දෑවට මට සිකැරට් දෙකකුයි

ඔක්කොම කරන්නේ මේ ටික ගන්නයි
නින්දට යද්දිම ඔක්කොම ඉවරයි
උදේට තෙමිලා පින්නට නිරතුරු
මොළ ඩිංගක් මට පිහිටල නැතිවා

මොන බහුබූතද මේ ලොකු කරදර
අපිට නොවෙයිදෝ සියලුම ජරමර
හෙට උදේට මට යන්නට හැකි නං
කුමකට පතනුද මෛත්‍රී පරපුර

Sunday, November 9, 2014

දියරකුසා, අකු දත්, අගසව් හා ලංකාවේ සමාගම්!!

ඉස්කෝලේ යන පොඩි දරුවන්ට සමහර වෙලාවට කොයි තරං දේවල් කියල දුන්නත් ඒ හාදයෝ ඒවා කනකට මායිම් කරන්නෑ. අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව නං ඒක වෙන්නේ මෙහෙමයි. දරුවෙක් පන්තියේ වාඩි වෙලා ඉගෙන ගන්නවා කියල පුටුවේ වාඩි උනාට, හුරුකමක් නැති කමින් ඒ ළමයා ගුරුවරයාගෙන් නික්මෙන වචන වල තේරුම මොළයට ගන්නේ නැහැ. ළමයා අහගෙන හිටියට ඒ වචන වලින් කියවෙන අදහස ගෙඩි පිටින්ම මොළය තුලට ගමන් නොකරන නිසා තමා ඔය අධ්‍යාපනවේදියෝ කියන හාදයෝ විටින් විට නොයෙක් උපක්‍රම භාවිතා කරමින් අධ්‍යයන ක්‍රම වෙනස් කරන්නේ. පෙළපොත් වෙනස් කරන්නේ. ඒවයේ පිළිවෙල වෙනස් කරන්නේ. කෝම උනත් පාසැලට බාර දීලත් අවුරුදු දෙක තුනක් යනකං ළමයයෙකුට නිසි පරිදි මානසික සංවර්ධනයක් සිදු වෙමින් පවතින නිසා බහුතරයකගේ ඇහුන්කම් දීම, තේරුම් ගැනීම තරමක් දුරුවල මට්ටමකයි පවතින්නේ.. 

ඒකට අපි. අපිට පොඩි කාලේ කියල දීපු ඕන දෙයක් එක පාරින් මතක හිටිනවා. කරුමෙට දැං තමා කොටල පෙව්වත් මෙලෝ දෙයක් මතක නොහිටින්නෙ. රජයේ සේවකයන්ටත් ඔය තත්වය වෙන්ටැති සිද්ධ වෙලා තියෙන්නෙ. ඒකනේ ඔය රාජ් වගේ හාදයොන්ට මොන වැඩේ බාර දුන්නත්, දහ දොළොස් පාරක් ඇවිත් ඇගිල්ලෙන් අනින්න ඕන ඒක මතක් වෙන්න.. හැක්..

ළමයින් යම් යම් දේ නිසි පරිදි තේරුම් නොගැනීම නිසා සිදු වේචිචි සත්‍ය සිද්ධි කිහිපයක් මටත් අහන්න ලැබුනා.

මේ ළමයා ඉන්නේ හතර වසරේ. මටත් මතක නෑ ඒ පන්තියේ තියෙනවලු දිය රකුසා කියල පාඩමක්. ඉතිං විභාගෙට මෙන්න මේ විදියේ ප්‍රශ්නයක් ඇවිත්.

පහත සදහන් වගන්ති කියවා ඊට ගැලපෙන අයුරින් වාක්‍ය පහක් ලියන්න.

“ඊයේ සිටම චුරු චුරු හඩින් වැසි ඇද හැලෙමින් තිබුනි. අද දිනයේදීද උදේ පටන්ම වැස්ස තිබූ හෙයින් හොදහැටි රෙද්දක් පොරවාගෙන මම උදේ සිට හවස් වන තුරුම නිදාගත්තෙමි. හවස මා ඇැහැරුනේ අම්මා විසින් මහා හඩින් කරන ලද බෙරිහන් දීමෙනි. සාලයේ දොර ඇරගෙන බැලු විට අම්මා දැක ඇත්තේ දිය රකුසා සෙමින් සෙමින් අපගේ ගෙය වට කර ගෙන සිටින බවයි.“

ඕං ඕක තමා කතාවේ මුල් ටික. ඉතිං ප්‍රශ්න පත්තරයේ හැටියට ළමයෙක් මේ ඉතිරි ටික සම්පුර්ණ කරන්න වාක්‍ය පහක් ලියන්න ඕන.. මම කියන මේ ළමයා ලියපු වාක්‍ය පහ බලන්නකෝ.

මම මහා හයියෙන් “තාත්තේ තාත්තේ“ කියා කෑ ගැසුවෙමි.
මගේ කටහඩ ඇසී තාත්තාද සරම ගනිමින් විගහය මා ළගට දුවගෙන ආවේය.
වහාම ඇදෙන් ලොකු පොල්ලක් අරගෙන තාත්තා අපේ ගේ වට කර සිටින දිය රකුසාට පහර පිට පහර දුන්නේය.
තාත්තා දුන් වැර පහරවල් වලින් බේරීමට දිය රකුසා පැන දිව්වේය.
ඒ නිසා අපට අම්මා දිය රකුසාගෙන් බේරාගැනීමට හැකි විය.

මේ ළමයා හිතාගෙන ඉදල තියෙන්නේ අර බුද්ධාගම පොතේ කියන විදියේ දිය රකුසෙක් ගෙදරට ඇවිත් කියලයි. ඉතිං එහෙම හිතන එකත් වැරදි නෑනේ.

තවත් ළමයෙක් අපේ දත් වර්ග හතර නම් කරන්න කියල දීපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මේකයි.

කිරි දත්
නල දත්
පොල් දත්
අකු දත්

මෙතැනදි, පස්සේ අම්මා අහල තියෙනවා මොනවද දුවේ අකුදත් කියන්නේ කියල. ඉතිං ළමයා උත්තර දීල තියෙන්නේ අකු දත් කියන්නේ අර බුදු හාමුදුුරුවන්ටත් තිබුනා කියල මේ ළගදි පන්සලේ පෙන්නුවේ ඒවා කියලයි. හැබෑට බලන කොට පන්සලේ ධාතු ප්‍රදර්ශනයක් තිබිල “අකු ධාතු“ පෙන්නල තියෙනවා. ළමයා හිතල තියෙන්නෙ දන්ත ධාතුව වගේ අකු ධාතුවත් දතක් තමයි කියලා.

මේ දෙකේ පන්තියේ ඉන්න ළමයෙක් දහම් පාසැලේදී “බුදු හාමුදුරුවන්ගේ අගසව් දෙනම නම් කරන්න?“ කියල දීපු ප්‍රශ්නෙකට දීපු උත්තරේ.

එළුවා සහ හරකා.

සමහර විට මේ ළමයා අගසව් දෙනම කියන වචනේ අහන්න ඇත්තෙත් එදාමයි. ඒක නිසා කිසිම දෙයක් හිතාගන්න බැරිව ළමයා මොකක් හෝ දෙයක් ගැන කල්පනා කරල මේ උත්තරේ දෙන්න ඇති.

මේ කතාව නං මට කිව්වෙ කව්ද කියල මතක නැති උනත් තිලකෙගේ ජේසු කියෙව්වාමයි මතක් උනේ.

ලංකාවේ තිබෙන සමාගම් දෙකක් නම් කරන්න..?

උත්තරය
කතං සමාගම
මාමේ බාල සමාගම

මේ වගේ දේවල් වලදි අපි ළමයට තරවටු කරන්න හොද නෑ. ඒ ළමයා ප්‍රශ්නයට උත්තරය දීම අභියෝගයක් විදියට අරගෙන වැරදුනත් උත්තරයක් දීල තියෙනවා. ඒක නිසා හොද ම දේ එයා ලියපු දේ වැරදියි මෙන්න මේකයි උත්තරය කියල හැකි නම් ඊට අදාළ සාක්ෂිත් එක්ක කියල දෙන එකයි. නැතිව සමහර දෙමාපියන් වගේ “ඌරා.. ගොං හරකා.. “ වැනි වදන් භාවිතය නොවෙයි.

Monday, November 3, 2014

සෝර්බා නම් ග්‍රීකයා!!

සෝර්බා..
උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා 
උඹ හොයාගෙන...

මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්

ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා

පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ

උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා

උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්

ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න

ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි

සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..

අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..


ස්තුතිය - තටු නැති පිටු