ජීවිතයේ බොහොම සුන්ර මතකයන් එක්කල බ්ලොග් ලෝකයේ සැරිසරයන් අතරේ ඉතාම තරණ වයසින් බ්ලොග් ලෝකයට පිවිස අල්තයීර් නමින් (ඊට පෙර කරූගේ ලෝකය දැයි කුකුසක් පවතී) අල්තයීර්ගේ ලෝකය නම් බ්ලොගය පවත්වාගෙන ගිය බුද්ධි ප්රබෝධ කරුණාරත්න මිත්රයා ඊයේ හදිසියේම අප අතරින් වෙන්ව ගොස් බව අද උදෑසන දැන ගැනීමෙන් ඇති වූ දැඩි පීඩනය මා මඟ හරවා ගත්තේ වසර දහයක පමණ සිට පවතින අපේ දුරස්ථ මිතුදමේ සැමරුම් ඩන්හිල් තුනකින් පිරවීමෙනි. තම තරුණ කාලයේ අසීමිත ජවයකින් බොහෝ දේ කල බුද්ධි අප මෙන්ම ෆෙස්බුක් ලෝකයට අවතී්ණ වීමෙන් බ්ලොග් අමතක කර දැමුවද, ඔහුගේ ජවය බුකිය පුරා පැතිරුණේ අවංක, විනෝදකාමි, රැඩිකල් තරුණයෙකු ලෙසයි.
ඔහුට මා ඊරෂ්යා කල කරුණු දෙකක් සඳහන් කරන්නේ නම් හිතුමනාපෙට දුවන ඔහුගේ රෝද දෙකේ ගමන් සහ ඔහුගේ මිත්ර සමාගමයයි. කතා බහ නොකලද ඔහුගේ මනරම් ඡායාරූප, ගමන් විස්තර සහිත බුකි පෝස්ට් කියවීම ඉතා රුචි කරුණකි.
එහෙත් නොසිතු නොපැතු ලෙස හදිසියේ අප හැර ගිය (ඒවා ගැන කියන්නට මා කිසිවක් නොදනී) අල්තයීර් මිතුර, ඔබට සුභ ගමනක්ම වේවා!
ඔහුගේ බ්ලොගයේ ආරම්භක කවිය පහතින් දැක්වේ.
ලදලු නා මල් සැලුන අතු අග..
උසුළ පිනි කැට විසිර ගියා..
විසිරි පිනි බිඳු ගැටුණ මද නල
එක්ව මිතුරුව පැතිර ගියා...
විසිරි පිනි පිරි තුහින මෙන් සිරි
හරිත තණ අග වැතිර ගියා..
තුහින පිණි බිව් හරිත තණ පත
මගේ නෙතගින් ඉතිර ගියා..