Wednesday, November 26, 2014

දියතාලිය!!

බියකරු රූං හඬක් නගමින් තම නිවසට ඉහළින් හමා යන දැඩි සුළං ප්‍රවාහය කෙරෙහි සිරිමලීගේ සිත යොමු වූයේ තරමක බියක් හා තැති ගැන්මක් ඇය අත් විදින කල්හිය. ජීවිත කාලයේ දී මතක ඇති දිනයක මෙවන් රූං හඩක් සහිතව කෝඩයක් හමනු ඇය දැන නොසිටියාය. වහලය මත ඇති දුර්වර්ණ වී ගිය තහඩු වල දිස්නයක් නැති වුවද, සුලං නිසා ඩග් ඩග් යනුවෙන් කෙටි ශබ්ද නගමින් ඒවා සෙලවෙන අයුරු ඇය දුටුවාය. විනාඩි දෙකක් පමණ විටින් විට නැගුන සුළං ශබ්දය ඈතට ගසා ගෙන ගිය බව සැක හැර දැන ඇය එළියට පැමිණ බැලුවාය. සිදුවූ මහත් විපතක් නොවූවද වටින් පිටින් වූ ඇඹරී ගිය ගස් වල අතු කිහිපයක් බිදී වැටී ඇති බවත් ඇය දුටුවාය. නිවසේ පසු පසට වන්නට ඇති පස් කන්දේ ඉහලින්ම ඇති විශාල ගස පිළිබඳව වූ ඇයගේ සිත තුල තිබු භයානක හැගීම දැන් පහව ගොස්ය. එහෙත් නැවත රූං රූං නගමින් මොන වෙලේක කෝඩයක් පාත් වේදැයි යන අනියත බිය ඇයගේ සිත වෙලා තිබුනේය.

“අනේ සෝමේ.. අපි අර කන්දේ උඩ තියන ගහ කපල දාමු.. බයේ බෑ අනේ.. “

“මාත් ඕක හිතල කොච්චර දවස්ද? ඒත් තාම එකෙක් වත් හොයාගන්න බැරි උනා නේ ඕක කපල දාන්න“

“අද කෝඩෙත් එක්ක මම නං හිතුවෙම ගහ කඩං වැටේවි කියලයි..“

“ඔව් අප්පා මහ භයානක හුළගක් නෙව ඒක“

“ඒක නෙමෙයි සෝමෙ.. අපි ගහ කපල දාමු ඉක්මනට. ඕක මහ භයානකයි“

ගෙයි පිටුපසට ගොස් පස් කන්ද දෙස බැලූ සෝමේ හට අඩි සියයක් පමණ උසැති බරසාර ගස පැහැදිලිව දර්ශනය විය. එඩිතරව නැගී සිටින දැවැන්තයෙකු සේ පෙනෙන ගසෙහි ස්වරූපයෙහි යම් ගාම්භීර බවක් ඇතැයි සෝමෙට කල්පනා විය. අනෙකුත් සියළු ගස් අභිබවා උසින් නැගී සිටින මෙම ගසෙහි නම වත් සෝමේ දැන සිටියේ නැත. ගම් පියසක හැදී වැඩුනද, සෝමේ කොහොමටත් ගස් කොළං ගැන විස්සෝප වූ අයෙකු නොවේ. සිරිමලී ඇන්න පැමිණි පසු අඩු මුදලකට නගරයට කිට්ටුවෙන් මිලදී ගත් මෙම නිවස සෝමෙගේ හා සිරිමලීගේ කැදැල්ල බවට පත්ව තවමත් මාස කිහිපයක් පමණි.

“බන්දු අයියේ... අපේ ගෙට උඩහ කන්දේ තියෙන ගහ කපාගන්න ඕන.. වෙලාවක එනවද බලන්න“

“මොන ගහද මල්ලියේ.. අර කන්දේ තියෙන මහ ගහද??“

“ඔව් ඔව් අර උස ගහ.. හුළං සැර දවසට ඒක භයානක විදියට පැද්දෙනවා“

“හම්මොච්චියේ.. මලයෝ.. ඕක කපන්න නං මට බෑ.. මම දන්න කාලේ ඉදල කව්රුවත් කියල නෑ මට ඔය ගහ කපන්න කියලා“

“ඇයි ඒක අමාරු වැඩක්ද?“

“ඔව් ඔව් ඕක අමාරු වැඩක් තමා.. දැනටම ඔය ගහට පොරෝ පාරක් ගහපු එකෙක් බඩ කැපිල මැරිලා ගියා.. ඒකත් උගේ නොදන්න කමට වෙච්චි දෙයක්“

බන්දුගේ කතාවෙන් පසුව මේ ගස මොන ගසක්දැයි සොයා බැලිය යුතුයැයි සෝමේට අවබෝධ විය. බන්දු වැනි ගස් කප්පිත්තෙකු මේ ගස කපා දැමිය නොහැකි යැයි පවසන්නේ බැරෑරුම් කාරණයක් නිසා බව ඔහුට අවබෝධ විය.

තමා ගේ නිවසට යාබදව ඇත්තේ තව එක් නිවසක් පමණක් වන අතර ගෙවල් දෙකටම පිටුපසින් ඇත්තේ අඩි පනහක් පමණ උසැති කන්දය. කන්ද පුරාම රෑස්සව වැඩුනු නොයෙකුත් ගස් කොලන් අතර තමන්ගේ ගේ පිටුපසින් තනියම විරාජමානව නැගී සිටිනා කඳ සුදු පැහැති මෙම ගසෙහි උස කන්ද මත ඇති අනෙකුත් ගස් පරයමින් ඉහලට නැගී ඇත. ගසේ මුදුනට වන්නට කුඩා රොදක් මෙන් එකටම ඇලී මෙන් පවතින අතු ඉති කිහිපය හැරුනු විට මුළු ගසෙහිම ඇත්තේ සුදු පැහැති කඳක් පමණි. පෙනුමෙන් අඩි සීයකට වඩා උස් වූ මෙම ගසෙහි අවටින් වෙනත් ගසක් ඒ උසට යාන්තමින් හෝ සරිලන ලෙස නොපවතින හේතුව ඔහුට පැහැදිලි නොවීය.

වැඩි ඇයි හොදයියක් තමා සමඟ නැති වුවද, කිසිඳු ගස් කපන්නෙකු මේ ගස දෙස තළු මරමින් නොබලන හේතුව දැනගැනීමට සෝමෙට උවමනා විය. මොන හේතුවක් මත හෝ අයිතිකරුවෙකු නොමැති විශාල ගස තම නිවස මතට පත බෑවුනහොත් සිදු වන විනාශය ඔහුට සිතා ගත නොහැක. කෙසේ වෙතත් හේතු සොයාගැනීමට නොහැකි වූවා සේම ගස කපා දැමීමට කිසිවෙකුත් හෝ සොයා ගැනීමට සෝමෙට නොහැකි විය. මේ නිසා තමා පදිංචි ගම් පියසට ගොස් හඳුනන කෙනෙකු කැටුව ඒමට ඔහුට සිදු විය.

උදෑසනින්ම පැමිණි සුගතන්, ගස දෙස බලා නෝක්කාඩු ස්වරූපයෙන් තම පිටි අත්ලෙන්, රත් පැහැ ගැන්වුනු කට පිහිදා කෙළ තල්ලියක් බිම හෙලමින් කතා කරන්නට විය.

“ඈ බං සෝමේ.. මේක මහ රූස්ස ගහක් නේ. මේක දියතාලිය ගහක්.. මෙලෝ රහක් නෑ.. බඩ පුරාම වතුර විතරයි මේ කදේ තියෙන්නෙ.. උස එකයි අවුල.. යට ගෙවල් දෙක නැත්නං දෙපාරින් බිමට දාන්න තිබුනා.“

“දියතාලිය.. මම ඔය ඇහුවමයි ඒ නම.. කොහොම හරි කමක් නෑ මේක කපල දාමු.. මහ භයානක ගහක් බං මේක“

“හිටහං.. උඩට නැගල බලමු.. ගහ යට හෙලක් නැත්නං අමාරුවක් නැතිව එහාට බාවන්න පුළුවන්. ඒත් බං මේ වතුර බඩේ අනිත් ඒවා වගේ නෙමෙයි කිසි විස්වාසයක් නෑ.. යමංකෝ උඩට“

ගස මුල දෙසට අපහසුවෙන් තණකොල අල්ලාගෙන කන්ද නැග ගිය දෙදෙනා ටික වෙලාවක් හති අරින්නට විය. ඒ අතරතුර අවට දෙස බැලීමේදි පැහැදිලි වූයේ, කන්ද බෑවුම නිවස දෙසට තිබුනද, අනෙක් පසින් එක සීරුවට තැනිතලා බිමක් පවතින බවය. කන්ද මත අනෙකුත් තැන් වලට වඩා මෙම කොටසෙහි තණකොළ, පඳුරු වැඩීම පවා අබල දුබල වී ඇති අයුරු දුටුවද එහි අරුමයක් ඔවුන් දුටුවේ නැත. ගසෙහි අඩි පහක් පමණ වන තෙක් යම් යම් පළුදු වූ තැන් තිබුනද, මස් දමා තිබු කඳ හේතුවෙන් බොහොමයක් පැල්ලම් මකා දමා තිබුනි.

“ඈ බං සෝමේ.. මේක අඩි සීයක් හමාරක් උසයි.. කෑලි පහකටවත් බිම දාගන්න එක තමා හොදම දේ.. උඹ ලණුව මම දුන්නම අර තියෙන ඇලස්ටෝනියා ගහේ පට දෙකක් දාලා අල්ලගනිං.. මම කිව්වම විතරක් ඇදහං.. හරිද?“

“හරි සුගතං අයියේ.. මට මේවට පුරුදුයි නේ. ඒක නිසා අවුලක් නෑ“

“එහෙනං මං නැග්ගා ගහට.. බුදු සරණයි“

ගම්මානය සිසාරා පැය තුන හතරක් මුලුල්ලේ කොට්ටෝරුවකු කොටන ශබ්දය ඇසුන හෙයින් ගම්වැසියෝ තම බෙල්ල හරවා, හිස හරවා. ඇස් කරකවා කොට්ටෝරුවා කව්දැයි විපරම් කළද, තරමක් ඈතින් ඇසෙන ශබ්දය සොයා යෑමේ උවමනාවක් නොවු අය වූහ. විටින් විට මහා හඩින් තග් තග් නගමින් නැගුණ ශබ්දයෙන් මිනිසුන් නැවත තම විමර්ශන ආරම්භ කළද එයද තත්පර ගණනකට පමණක් සීමා විය. තමන්ගේ වැඩ කටයුතු අස්සේ කොට්ටෝරුවන්ගේ වැඩ කටයුතු හබා යාමට තරම් වෙලාවක් නොතිබුන හෙයින් සැවොම කරබා තම වැඩෙහිම නිරත වූහ.

“පුහ්.. අමාරු කෝස් එකක් බං.. හොද ගණං“

ගස් ගඳින් හා සුදු පැහැති රොඩු වලින් ශරීරයම පිරි, පපුවේ මයිල්ද කිදා බසිමින් දහදියෙන් තෙමී පපුවටම ඇලුනු සුදු පැහැයෙන් යුතුව හයියෙන් හති අරිමින් බිම වාඩි වී සිටි සුගතන්, තම තොප්පිය අතට ගෙන ඒ මේ අතට පද්දමින් මුහුණට සුලං පුරවමින් සිටියේය.

“යන්තං ඇති බං.. ඒ කරදරෙත් ඉවරයි.“

“මගේ නං හොද පණ ගියා සෝමේ. මේක ආංබාං කරන්න අමාරු වරිගේ ගහක්.“

“බලපං සුගතේ.. කද නිකං කෙහෙල් බඩේ වගේ නේ.. මෙලෝ දෙයක් නෑනේ ගහේ සයිස් එකේ හැටියට“

“ඒක නේන්නං මම කිව්වේ.. තනිකර වතුර බඩක් තියෙන්නේ.. මොලෝ වැඩක් නැති ගහක්“

“අඩුගානේ දරට දාගන්නවත් ගන්න බෑනෙ“

“ඔන්න ඔහොම තියෙන්න ඇරහං. ටික දවසක් ගියාම උඹට ඔය කදේ පොතු කෑලි ටික විතරයි ගන්න ඇහැක් වෙන්නේ“

“සුගතං අයියේ.. මොකෝ කියන්නේ. තාම දොළහ පහු උනෙත් නෑ.. කාලම යමු නෙහ්..“

“අනේ බෑ බං.. විගහට ගියපු තරමට මට ලේසියි.“

“මේ මොන කතාද? ඉදහං මම ගල් බෝතලයක් ගෙනැත් තිබ්බා“

“හප්පට.. උඹ ඒවත් ගෙනාවද? හිටිං එහෙනං ඇගපත තෙමාගෙන එමු හෙනං“

ගෙයි පිළිකන්නේ කණ්ඩිය මත වාඩිවී සුගතං හා සෝමේ අරක්කු බෝතලය හිස් කරන්නට විය. වෙලාව ගත වෙනවා නොදැනුනද බෝතලයේ අඩිය පෙනෙන්ට තිබියදී, සුගතංගේ සිහිය අතුරුදහන් වී ඇත. කටින් පිටවන වචන මොන බර කමකටදෝ නිසි පරිදි කටින් එලියට පිට නොවීය. රතු පැහැති බොර ඇස් වල විශ්මයක් ගැබ් වී තිබුණි. කෑමට ආරාධනා කළද, තව දුරටත් අරක්කු ඩිංගක් හෝ තමාට උගුරට හලා ගත නොහැකි බව දැන සිටි සුගතං, සෝමේ විසින් අතමිට මොලවන ලද රුපියල් පන්සීයද රැගෙන සාක්කුවේ රුවාගෙන, දෙපසට වැනෙමින් මහ මහට පිළිපැන්නේය.

“අයියේ...“

“ක්ක්...කව්ද..“

“අයියේ.. හ්හ්.. අර මෙහේ ඉදල ගියේ එක්කෙනෙක්.. හ්හ් හ්හා“

“ඔව්වොව්.. අපේ සුගතං..අයියා “

“අන්න එයා බස් එකකට යට උනා.. ලේ ගොඩයි“

“අනේ බුදු අප්පු්ච්චියේ.. “

“මගේ ඉස්සරහින් නේ මිනිහා ගියේ.. හ්හ් හ්හා... මිනිහා එක පාරටම මහ පාරට පැන්නා මේ පාරේ ඉදල.. හ්හ් හ්හා.. වේගෙන් ආපු කොළඹ බස් එකක තමා වැදුනේ.. මං හිතන්නෙ එතනමයි“

“අනේ අම්මේ... සිරිමලී.. මට වතුර එකක් ගෙනෙං“

****************************************************

“කව්ද බං මේ ගහ කපන්නේ.. දන්න එකෙක් නං කපයියැ.. බලහං ඔය පත්තිනි මෑනියන්ගේ සාපේ..“

“අනේ අනිච්චේ.. ඉස්සර පත්තිනි දේවාලේ තිබ්බ ගහ.. පස්සේ එ් ගෑනි මැරුනම දේවාලේ වැහුව නෙව“

“මතකයිනේ.. එක පාරක් ගහට පොරෝ පාරක් ගහපු එකා බඩ කැපිල මැරුනා.. ඕවා දේව සාප“

“මේ අලුත ආපු උන් ඕවා දන්න එකක්යැ. ඔය ගහෙන් තමා පත්තිනි මෑණියන්ගේ සළඹ පහල වෙලා තියෙන්නේ. ඒ දවස් වල අවුරුද්දට සැරයක් මහා කිරි දානයක් දෙනවා ඔය ගහ පාමුල.. අනේ අර ගෑනි හිටියනං තාමත් ඔතන පත්තිනි දේවාලේ නෙව“

“ඒකනේ බං අපි ගහට අත තියන්නැත්තේ. දේවාලේ මෑණියන්ගේ අතට මහ රෑක රත්තරන් සළඹ පාත් වෙන හැටි අපේ තාත්තා ඇස් දෙකටම දැකල තියෙනවා. මේවා අනුහස් තියෙන තැන්“

Monday, November 24, 2014

මාළුකාරයාගේ දේශපාලනය!!

රේන්ද පොළ ළග හැන්දෑවේ
මහ සද්දෙන් ලේ මස් විකිනේ
අත තියන්ටෙපා එක බල්ලෙක්වත්
එ් ගොඩ ගත්තේ මම සද්දෙන්

සීතල වතුරට අතැගිලි ඇඹරේ
ලේ බොර වැදිලා සීතල නොසැලේ
ගල් උන හිත මගේ අද සන්තෝසේ
අහුලයි සීතල ගල් උන මස් ලේ

විධායකේ මොන යකෙක්ද අපිලට
ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට

පාර දෙපැත්තේ සුදු ඉරි ගානේ
ලේ පැල්ලම් එක දෙක මතු වන්නේ
සීතල සියල්ල නැති උන මොහොතක
හදවත උණුහුම් වී ගෙන එන්නේ

පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි
ලොකු කෙලීට උණු බනිසයි, කැවුමයි
හාමිනේට කොළ, තුණපහ ඩිංගයි
හැන්දෑවට මට සිකැරට් දෙකකුයි

ඔක්කොම කරන්නේ මේ ටික ගන්නයි
නින්දට යද්දිම ඔක්කොම ඉවරයි
උදේට තෙමිලා පින්නට නිරතුරු
මොළ ඩිංගක් මට පිහිටල නැතිවා

මොන බහුබූතද මේ ලොකු කරදර
අපිට නොවෙයිදෝ සියලුම ජරමර
හෙට උදේට මට යන්නට හැකි නං
කුමකට පතනුද මෛත්‍රී පරපුර

Sunday, November 9, 2014

දියරකුසා, අකු දත්, අගසව් හා ලංකාවේ සමාගම්!!

ඉස්කෝලේ යන පොඩි දරුවන්ට සමහර වෙලාවට කොයි තරං දේවල් කියල දුන්නත් ඒ හාදයෝ ඒවා කනකට මායිම් කරන්නෑ. අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව නං ඒක වෙන්නේ මෙහෙමයි. දරුවෙක් පන්තියේ වාඩි වෙලා ඉගෙන ගන්නවා කියල පුටුවේ වාඩි උනාට, හුරුකමක් නැති කමින් ඒ ළමයා ගුරුවරයාගෙන් නික්මෙන වචන වල තේරුම මොළයට ගන්නේ නැහැ. ළමයා අහගෙන හිටියට ඒ වචන වලින් කියවෙන අදහස ගෙඩි පිටින්ම මොළය තුලට ගමන් නොකරන නිසා තමා ඔය අධ්‍යාපනවේදියෝ කියන හාදයෝ විටින් විට නොයෙක් උපක්‍රම භාවිතා කරමින් අධ්‍යයන ක්‍රම වෙනස් කරන්නේ. පෙළපොත් වෙනස් කරන්නේ. ඒවයේ පිළිවෙල වෙනස් කරන්නේ. කෝම උනත් පාසැලට බාර දීලත් අවුරුදු දෙක තුනක් යනකං ළමයයෙකුට නිසි පරිදි මානසික සංවර්ධනයක් සිදු වෙමින් පවතින නිසා බහුතරයකගේ ඇහුන්කම් දීම, තේරුම් ගැනීම තරමක් දුරුවල මට්ටමකයි පවතින්නේ.. 

ඒකට අපි. අපිට පොඩි කාලේ කියල දීපු ඕන දෙයක් එක පාරින් මතක හිටිනවා. කරුමෙට දැං තමා කොටල පෙව්වත් මෙලෝ දෙයක් මතක නොහිටින්නෙ. රජයේ සේවකයන්ටත් ඔය තත්වය වෙන්ටැති සිද්ධ වෙලා තියෙන්නෙ. ඒකනේ ඔය රාජ් වගේ හාදයොන්ට මොන වැඩේ බාර දුන්නත්, දහ දොළොස් පාරක් ඇවිත් ඇගිල්ලෙන් අනින්න ඕන ඒක මතක් වෙන්න.. හැක්..

ළමයින් යම් යම් දේ නිසි පරිදි තේරුම් නොගැනීම නිසා සිදු වේචිචි සත්‍ය සිද්ධි කිහිපයක් මටත් අහන්න ලැබුනා.

මේ ළමයා ඉන්නේ හතර වසරේ. මටත් මතක නෑ ඒ පන්තියේ තියෙනවලු දිය රකුසා කියල පාඩමක්. ඉතිං විභාගෙට මෙන්න මේ විදියේ ප්‍රශ්නයක් ඇවිත්.

පහත සදහන් වගන්ති කියවා ඊට ගැලපෙන අයුරින් වාක්‍ය පහක් ලියන්න.

“ඊයේ සිටම චුරු චුරු හඩින් වැසි ඇද හැලෙමින් තිබුනි. අද දිනයේදීද උදේ පටන්ම වැස්ස තිබූ හෙයින් හොදහැටි රෙද්දක් පොරවාගෙන මම උදේ සිට හවස් වන තුරුම නිදාගත්තෙමි. හවස මා ඇැහැරුනේ අම්මා විසින් මහා හඩින් කරන ලද බෙරිහන් දීමෙනි. සාලයේ දොර ඇරගෙන බැලු විට අම්මා දැක ඇත්තේ දිය රකුසා සෙමින් සෙමින් අපගේ ගෙය වට කර ගෙන සිටින බවයි.“

ඕං ඕක තමා කතාවේ මුල් ටික. ඉතිං ප්‍රශ්න පත්තරයේ හැටියට ළමයෙක් මේ ඉතිරි ටික සම්පුර්ණ කරන්න වාක්‍ය පහක් ලියන්න ඕන.. මම කියන මේ ළමයා ලියපු වාක්‍ය පහ බලන්නකෝ.

මම මහා හයියෙන් “තාත්තේ තාත්තේ“ කියා කෑ ගැසුවෙමි.
මගේ කටහඩ ඇසී තාත්තාද සරම ගනිමින් විගහය මා ළගට දුවගෙන ආවේය.
වහාම ඇදෙන් ලොකු පොල්ලක් අරගෙන තාත්තා අපේ ගේ වට කර සිටින දිය රකුසාට පහර පිට පහර දුන්නේය.
තාත්තා දුන් වැර පහරවල් වලින් බේරීමට දිය රකුසා පැන දිව්වේය.
ඒ නිසා අපට අම්මා දිය රකුසාගෙන් බේරාගැනීමට හැකි විය.

මේ ළමයා හිතාගෙන ඉදල තියෙන්නේ අර බුද්ධාගම පොතේ කියන විදියේ දිය රකුසෙක් ගෙදරට ඇවිත් කියලයි. ඉතිං එහෙම හිතන එකත් වැරදි නෑනේ.

තවත් ළමයෙක් අපේ දත් වර්ග හතර නම් කරන්න කියල දීපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මේකයි.

කිරි දත්
නල දත්
පොල් දත්
අකු දත්

මෙතැනදි, පස්සේ අම්මා අහල තියෙනවා මොනවද දුවේ අකුදත් කියන්නේ කියල. ඉතිං ළමයා උත්තර දීල තියෙන්නේ අකු දත් කියන්නේ අර බුදු හාමුදුුරුවන්ටත් තිබුනා කියල මේ ළගදි පන්සලේ පෙන්නුවේ ඒවා කියලයි. හැබෑට බලන කොට පන්සලේ ධාතු ප්‍රදර්ශනයක් තිබිල “අකු ධාතු“ පෙන්නල තියෙනවා. ළමයා හිතල තියෙන්නෙ දන්ත ධාතුව වගේ අකු ධාතුවත් දතක් තමයි කියලා.

මේ දෙකේ පන්තියේ ඉන්න ළමයෙක් දහම් පාසැලේදී “බුදු හාමුදුරුවන්ගේ අගසව් දෙනම නම් කරන්න?“ කියල දීපු ප්‍රශ්නෙකට දීපු උත්තරේ.

එළුවා සහ හරකා.

සමහර විට මේ ළමයා අගසව් දෙනම කියන වචනේ අහන්න ඇත්තෙත් එදාමයි. ඒක නිසා කිසිම දෙයක් හිතාගන්න බැරිව ළමයා මොකක් හෝ දෙයක් ගැන කල්පනා කරල මේ උත්තරේ දෙන්න ඇති.

මේ කතාව නං මට කිව්වෙ කව්ද කියල මතක නැති උනත් තිලකෙගේ ජේසු කියෙව්වාමයි මතක් උනේ.

ලංකාවේ තිබෙන සමාගම් දෙකක් නම් කරන්න..?

උත්තරය
කතං සමාගම
මාමේ බාල සමාගම

මේ වගේ දේවල් වලදි අපි ළමයට තරවටු කරන්න හොද නෑ. ඒ ළමයා ප්‍රශ්නයට උත්තරය දීම අභියෝගයක් විදියට අරගෙන වැරදුනත් උත්තරයක් දීල තියෙනවා. ඒක නිසා හොද ම දේ එයා ලියපු දේ වැරදියි මෙන්න මේකයි උත්තරය කියල හැකි නම් ඊට අදාළ සාක්ෂිත් එක්ක කියල දෙන එකයි. නැතිව සමහර දෙමාපියන් වගේ “ඌරා.. ගොං හරකා.. “ වැනි වදන් භාවිතය නොවෙයි.

Monday, November 3, 2014

සෝර්බා නම් ග්‍රීකයා!!

සෝර්බා..
උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා 
උඹ හොයාගෙන...

මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්

ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා

පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ

උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා

උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්

ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න

ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි

සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..

අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..


ස්තුතිය - තටු නැති පිටු

Tuesday, October 14, 2014

විප්ලව සල්ලි!!

“තමුසෙලා.. මේ ඉස්කෝලෙත් කාලා.. තමුසෙලත් වැනසිල මේ රටත් විනාස කරන්නද හදන්නේ යකුනේ“

පන්තිය තුල ගිගිරුම් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ වචන, කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, ඊට මුහුණ දීගත නොහැකි අන් සියළුම ශබ්ද අංශුන් හැංගෙන්නට විය. කෙනෙකුගේ ආශ්වාසය-ප්‍රාශ්වාසය පවා ඒ හඩින් බියෙන් වේව්ලුම් කා දුර්වල වී හෝ අමතක වී ඇති සේය.

“තොපි තමා මේන් හෝල් එකට රතිඤ්ඤ වැල තිබ්බේ.. මට නෑ කියන්න එපා.. තොපිගෙන් දෙන්නෙක් ඒක හඳුන්කූරට පත්තු කරල ස්ටේජ් එක උඩ තිබුන කොහුමෙට්ටෙ අස්සේ හංගනවා දැකපු දෙන්නෙක්ම ඉන්නවා. ඉතිං තමුසෙල ඉවරයි.. මැරෙන්නද යකෝ හදන්නේ.. ප්‍රින්සිපල් සර් මේක පොලීසියට කිව්වොත් ඔක්කෝම ඉවරයි.. තොපි ඉන්නේ ටයර් එකක උඩ හෙට උදේ..ට.. ගොං තඩියෝ“

නැවත නැවතත් බෙරිහන් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ මුවට කුමන රසායනකයක් හෝ යොදා කට වැසීමට ඇත්නම් යයි එක් අයෙකු කල්පනා කලේය. තවෙකෙකු ගුරුවරයාගේ කටට පාං කඩ ඔබා අත් පිටුපසට කොට බැඳ පන්තියේ බිම ඉන්දවිය යුතුයැයි කල්පනා කලේය. එහෙත් අන් කිසිවෙකුත් තුල එවැනි අදහසක් නොවීය. මේ සිදු වන මහා ලතෝනිය තවත් එක කණකොකා හැඩීමක්ම බව අන් සියළු දෙනාගේම මතය විය.

මේ සියළු සිද්ධින් 1989 මහා කලබල කාලයේ එක්තරා ප්‍රධාන පිරිමි පාසැලක උසස් පෙළ පන්ති කාමරයේදී සිදු වූ දේය. වසර දහයක් එපිටදී කලබලකාරයන් පාසැලෙන් පිටවී තවත් කලබල කාරයන් පාසැලට ඇතුලු වී සිටියද, පාසැලේ ප්‍රධාන ශාලාවේ නැවත අනුමැතියකින් තොරව රතිඤ්ඤ කරල් පත්තු වීමක් නම් සිදූ වූයේ නැත.

****************

“උඹට කියන්නේ බං.. එදා සර් බැනපු විදිය මට තාම ඒ වගේම මතකයි“

“අනේද කිය්නනේ.. මිනිහා අපි ගැන බය උනා නේ බං.. ඒකයි අර විදියට කෑ ගැහුවේ“

“මොන මගුලක්ද බං.. ඒ යකා කෑ ගැහුවට අපි බය උනායැ“

“ඔව් ඉතිං. ඒත් බලහං අපිට අවුරුදු පහක් විතර හැංගෙන්න උනා නේ“

“ඒකට කමක් නෑ.. දැං කියහං මොකක්ද අද ප්ලෑන් එක“

“ඔන්න ගම්පහ වීරමුණි සහෝදරයා මට පණිවිඩයක් එවලා තිබුනා අපේ රන්දෙනිය සහෝදරයා අතේ.. අද රෑට දාහේ මිටි පහක් එනවලු.. හෙට එළිවෙන කොට කළුතර ඒරියා එක කවර් වෙන්න ඕනලු.“

“ඉතිං බං පන්දාහෙන් බැහැනේ. කළුතර කවර කරන්න. ඕන නං මතුගම ටවුමට දුවන්න පුළුවන්. දැං බලහං කළුතර ටටුමේ ඉදල බැලුවත් අපේ පොයින්ට් කීයක් වැඩි වෙලා තියේද කියලා“

“අවුලක් නෑ බං... අළුත්ගම, දර්ග ටවුන් ඉදල යටදොළට, අවිත්තාවට, බේරුවල, කළුතර ටවුන් දෙක, නාගොඩ, ඊට පස්සේ කටුකුරුන්දේ ඉදල පුළුවන් තරං සෙට් කරමු.. මට හිතෙන්නේ අපිට මතුගමට ඇදගන්න පුළුවන් බං.“

“ඔය ලයින් එක කවර් කරන්න අඩු ගානේ මිටි හයක් ඕන.. පොඩ්ඩක් වැඩි උනත් ඒක ලොකු ලයින් එකකින් ඉවර කරන්න පුළුවන් බං මතුගමදි“

“හරි එහෙනං. උඹ අපේ කට්ටිය සෙට් කරහං. මම අපේ උන් ටික සෙට් කරන්නං. දෙසීය ගානේ මිටි කරල මං උඹට හවසට මිටි තුනක් එවනවා. ඉතිරි දෙක මං කරන්නං.. එහෙනං.. මම ගියා අපිට ජය“

“ජය වේවා මචෝ..“

************************

පසුදා පහන් වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් අඩක්ම අපුරු හැඩැති එකම වර්ගයේ පෝස්ටරයකින් ආලෝකමත් වී තිබුණි. කටුකුරුන්ද හන්දියේ තිබූ පැරණි අඩි දහයක් පමණ උසැති තාප්පය පුරා එවැනි පෝස්ටර් සියයක් දෙසීයයක් පමණ එක පේලියට මුළු තාප්පයම වැසෙන සේ අලවා තිබු අයුරු දුටු මහජනයා එම කාර්යය පිළිබඳව කුල්මත් සිතින් පසු වූහ.

“මේ කොල්ලෝ නං යක්කු.. අපි එළිවෙන කං ගැහුවත් ඔය ටික මේ වගේ අගේට අලවගන්න බෑ..“

“ඒක නං ඇත්ත. මතුගම ගියපු අර බස් එකේ සුදා කිව්වෙත් එක දිගටම මේ පෝස්ටර් එක ගහලලු. “

“මුන්ට එළිවෙන කොට ලංකාවෙම උනත් අලවන්න පුළුවන් නෙව.. ඒක නං පුදුම සංවිධානයක්.. කෝම කරනවද මන්දා මේ වැඩ“

“මං හිතන්නේ එක එක ගමට එකා දෙන්න වෙන්න ඇති. ටික ටික දුන්නම ඔක්කෝම ඒවා අලවනවා ඇති“

“ඉතිං ඕවා ඔක්කෝම එක දවසින් හැම අහටම යවන්නේ කොහොමද?“

“ඒකටත් උන්ට ක්‍රමයක් ඇති.. මොකද උන්ගේ වැඩත් හරියට ග්‍රාමසේවක වගේ නේ.. මේ කොට්ටාසෙන් එහා කොට්ටාසෙට දෙනවා. ඒකෙන් අනිත් එකට දෙනවා. අන්තිමට බැලුවම පොඩි කාරණයක්..“

“ඒකටත් එක්ක අපි රත්තරංට පෝස්ටර් ගැහුව විදිය.. හැක් හැක්.. පෝස්ටර් දහ දාහක් වෑන් එකේ.. ඒ මදිවට මහා පාප්ප බාල්දිය. අර හොදට බීපු ප්‍රනාන්දුවා ඔය පාප්ප හැලියටත් බෝතලයක් හැලුව නෙව.. “

“ඉතිං ඒ පෝස්ටර් ඔක්කෝම ගැහුවද??“

“පිස්සුද... රෑ වෙන කොට අඩි ගහල කට්ටියට කෙලින් ඉන්නවත් බෑ.. කොහේ ගහන්නද, අපි අළුත්ගම ගිහිල්ලා, ඊට පස්සේ දර්ග ටවුන් ගියා. කොහේ ගහන්නද,, අපේ අදුරන කෙනෙක් හිටියා ඔය අඹගහ හන්දියේ ඉස්කෝලේ ගාව. පෝස්ටර් ටික එහාට දීල පාප්ප බාල්දියත් ඔය කාණුවට හලල අපි නිදාගත්තා.. හයියෝ. ඊට පස්සේ උදේ ලොක්කලැයි ගෙදර ගියා උදේ කෑම කන්න..“

“ඒ හාදයා දිනුව එකයි පුදුමේ...“

“ඔය මල විකාර පෝස්ටර් ටිකක් වැදුනත් ඇති. මිනිස්සු මෝඩයි නෙ.. නිකම්ම ඒ අංකෙට දානවා. ඒකනේ දිනන්නේ“

*********************************
කුඩා පොල් වත්තකින් වට වූ සුදු වරිච්චි බිත්ති ඇති සිංහල උළු හෙවිලි කල කුඩා නිවෙසක බිම් කණ්ඩියේ වාඩි වී සිටින තරුණයන් කිහිප දෙනෙකි. ඔවුන් සියළු දෙනාම ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි. ඇතැමෙක් අඩනින්දේ බිම් කණ්ඩිය මතම දිගා වී සිටිද්දී. ඉතිරි කිිහිප දෙනා යම් බර සාකච්ඡාවකට නිරතව සිටී.

“සහෝදරයා.. උඹල කියන ඔක්කෝම හරි. ඒ උනත් අපේ රට යන්නේ අපිට ඕන පාරේ නෙමෛයි. ඒකයි විජේවීර සහෝදරයා හැමදාම කිව්වේ.“

“ඒවා දැං වැඩක් නෑ සහෝදරයා. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. දුර්දාන්ත පාලකයන් ඡන්දෙන් පරද්දන්න ඕන. නැතිව අපිට ජනතාවට සෙතක් කරන්න බෑ“

“මාක්ස්වාදය කියන එක මිනිස්සුන්ගේ හිතට ඇතුල් කරන්න ඕන. නැත්නං කව්රුවත් ඕවා අහන්නෙ නෑ. ප්‍රාග්ධනය බංග කරපු රටක මොන නැගී හිටීමක්ද සහෝදරයා.. අපි ඒ වෙනස ඇති කරන්නයි මහන්සි වෙන්න ඕන“

තරුණයන් ඉතා උනන්දුවෙන් කියවන මේ විකාර වචන වල සමහර බරසාර වචනද ඇත. ඒවා වචනයේ කියවීමෙන් බර වූවද, කටින් පිටවූවට පසු එහි බර ඔහුට දැනේනේ නැත. මන්ද ඒ බර වචන කියෙව්වාට, ඔවුන් එම වචනයන් හි තේරුමවත් හරි හැටි නොදන්නා ගිරා පෝතකයන් පිරිසක් බැවිනි.

**************************

මුහුදු වෙරළට ඉතා සමීපව පිිහිටි කුඩා නිවෙසක කාමරයේ ඇති අපිරිසිදු ඇඳක් මත ජංගම දුරකතනයක් වේව්ලමින් හඩ තලද්දී ඒ කුමක් නිසා ඇති වූ දෙයක් දැයි සැක හැර දැන ගැනීමට ඇද මත පතබාවා සිටි තරුණයා සුදානම් විය.

“හලෝ...“

“හලෝ... රුවන්.. මම ශෙනුල්...“

“අප්පට බොල. තොපිට දැං සහෝදරයා කෑල්ලත් අමතක වෙලා..“

“උඹ මොකද කරන්නේ“

“අඩේ ඊයේ පොඩි ගමණක් ගියා. රෑ බියර් දෙකක්ම ගැහුවා. මං ඉතිං ටිකක් ඇලවෙලා හිටියා බං“

“ඒක නෙමෙයි බං.. අපේ කෙමිස්‍රට්‍රි සර් මතකනේ“

“ඔව් ඔව්.. අපෝ අර අපේ විරුද්ධවාදියා නේ“

“පොර මට වැඩක් බාර දුන්නා බං“

“මොකක්ද බං“

“මිනිහගේ ක්ලාස් එකේ පෝස්ටර් ටික ගහන්න“

“කොච්චරද?“

“තුන්දාහක්“

“ලයින් එක මොකක්ද?“

“අළුත්ගම, කළුතර ටවුන්... බේරුවල... දර්ග ටවුන්.. ඊට පස්සේ මතුගම, අගලවත්ත“

“ඔය ටිකේ තුන්දාහක් වැඩියි නේ බං. ඕන නං දෙදාහක් යයි. ඔක්කෝම පොයින්ට් වල අත දිගෑරල ගැහුවොත්“

“හරි බං.. මිනිහා ඒක දන්න එකක්යැ. අපි ලයින් ටික කවර් කරාම මිනිහට ඒක නෝට් වෙන්නෑනේ“

“උම කීයද ගාන කිව්වේ..“

“එකකට දොළහයි බං“

“එළ එළ. එහෙම හොදා.. කවද්ද ඕන කියන්නේ“

“දවස් තුනකින්“

“හරි මෙහෙම කරමු. පක්ෂෙ බඩු වගයකුත් හෙට එනවා. එ් ගමන්ම ඕකත් කරමු.. එතකොට හරිනේ“

“හරි මචං. එහෙනං මං උඹට දාහේ මිටියයි.. සල්ලියි එවන්නං. ඉතුරු දාහ මම කරන්නං. විසී කරන දාහෙන් අපි අනිද්දට සෙට් වෙමු.. හරිනේ“

“ඕකේ මචං.. මං තිබ්බා එහෙනං“

*************************

“සර්. මේ පාර අපි පෝස්ටර් ගහන්නේ නැද්ද ක්ලාස් එකට.. අනිත් අයනං වැඩේ කරගෙන යනවා“

“මේ පාර තමුසෙල නෙමෙයි මමයි ගහන්නේ“

“ඇයි සර්.. ඒ“

“ගියපාර මතකද.. තමුසෙලා පෝස්ටර් පන්දාහක් ගහන්න ගිහිල්ලා හැත්තෑවක් විතර තට්ටු උනා. ඒ මදිවට තමුසෙල වාහනේ හප්පලා ඒක හදන්නත් මට පනහක් විතර ගියා.. නිකං පාඩු විතරයි“

“අවුලක් නෑ. සර් ඉතිං කොහොමද පෝස්ටර් සීන් එකෙන් ගොඩ යන්නේ“

“තමුසෙට කියන්න. මගේ ඉස්කොලේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටියා ඒ කාලේ ජේවීපී කොල්ලෙක්. මම ඌට බාර දුන්නා වැඩේ“

“හප්පට සිරි. උන් මේ වගේ පෝස්ටරුත් ගහනවද?“

“කව්ද ඕයි සල්ලි වලට වැඩ නොකරන්නේ.. එක පොස්ටරේට පහළොවයි.. එතකොට තුන්දාහට හතලිස් පහයි.. වැඩේ ගොඩ. අනික තමුසෙල අර මෝඩ බාබර් කොණ්ඩේ කැපුව වගේ නෙමෙයි උන්.. රියල් විදියටම ඒරියා එක කවර් කරල ලස්සනට වැඩේ කරනවා..“

“ඉතිං සර්. ඔය ජේවීපී කාරයෝ සල්ලි වලට වැඩ කරනවාද“

“මොකද නැත්තෙ.. උන් දැන් බොනවත් එක්ක.. මම බෝතලයකුත් දුන්නා. උන් මාත් එක්ක ඒ දවස් වල තරහයි. මොකද මම ඔය විප්ලව කාරයොන්ට විරුද්ධ නිසා.. දැං ඉතිං මොකක්ද.. උනුත් එකයි අපිත් එකයි.. හහ් හහ් හා“

ස්තුතිය - ශානුක සහ මහේෂ් ට..

Saturday, October 11, 2014

දෙක!!

කෑම කඩේ හතර වටේ
දුවපු මගේ දෙක
නැති උනාම මල වදේය
අහපු මගේ දෙක

හුවමාරුව කරගත්තම
නැති උන මගෙ දෙක
හැක්ස් එකට මයිලේඩිට
මාරු කරපු දෙක

අතේ සතේ නැති වෙන කොට
එකතු කරපු දෙක
ඒක අරන් ස්ලාං ගාලා
වීසි කරපු දෙක

එක බල්ලට එකක් ගානේ
හොයල බලපු දෙක
මට කවදත් අතට නාපු
මගේම වූ දෙක

හිත ඇත්නම් මොන කතාද
සාක්කුවෙයි දෙක
රණ්ඩු කරල, යෂ්ඨි දමල
ඉල්ලගත්ත දෙක

අඩල අඩල ඇති් උනාම
නිකං දුන්න දෙක
නැතිය කියල වැලපුනොතින්
දෙවියෝ දීපු දෙක

ගෙදර වටේ කැටේ පුරා
පිරිල තිබ්බ දෙක
මල මගුලක් එකක් නෑනේ
දැං ඒකේ දෙක

ඉදල හිටල ලැබුනා උනත් 
මගේ තමයි දෙක
මුලලාලියා පෝසත් උනේ
අරන් මගේ දෙක

ආයේ ඉතිං ඕන නෑනේ
මගේ පුංචි දෙක
රවුං කරල වැටයුවාම
ඉවරයි නෙව දෙක

Monday, September 29, 2014

ප්‍රසංගය!!

අවලම්භිත සියුම් විදිලි එළි දීලීමෙන් රංග ශාලාව තුල මිහිරි අදුරක් මවා පා ඇත. ආසන පේලි සියල්ලම පාහේ පිරි ඇති අතර, පිරෙමින් පවත්නා පේලි අතර මුණුමුණුවක් නැගෙන්නේ පුටු වල යකඩ පා, බිම ඇතිල්ලීම හේතුවෙනි. උත්සවය අවසන් වීමෙන් පසුව එය මොන තරං කන්දොස්කිරියාවක් වේදැයි යන්න දන්නේ දන්නෝම පමණි. ශාලාවේ එළිය ගලන සියලු තැන් අඳුරු කොට ඇත. විටින් විට දැල්වෙන දැඩි දීප්ත පහනක් දෙකක් වේදිකාව මතම පරවී යයි. තවත් විටෙක පාට පාට විදුලි එළි බමන මතින් වේදිකාව පුරාම දුවන්නට පටන් ගනී. ප්‍රසංගය ආරම්භයට, තවත් වේලාව විනාඩි පහළොවක් පමණ ඉතුරු වී ඇතත් දැනටම ශාලාව සම්පුර්ණයෙන්ම හිස් ගොඩක් බවට පත්ව ඇත.

*****************************************

වේදිකාව කෙළවර වන්නට තිර රෙද්ද මෑත් නොවන ස්ථානයකින් පිහිටුවා ඇති වීදුරු දොරෙන් ඇතුලු වී පඩිපෙළ බැස ගියපසු තවත් කුඩා ශාලාවකට ඇතුල් විය හැක. ඒ තුල සුවපහසු පුටු රාශියක් පවතින අතර, ඊටත් එහායින් විශාල මේසයක් වටා තවත් කුෂන් පුටු විස්සක් පමණ  තබා ඇත. මේසයේ කෙළවරකට වන්නට සංගීත ආම්පන්න කිහිපයක් රැගත් ශිල්පීහු යම් කාර්යයක නිරත වී සිටිති. ඒ අතරතුර අනෙක් අය, වාඩී වී සිටින කිහිප දෙනා දෙස කුකුසෙන් යුක්තව  බලා සිටින අයුරක් දිස් වේ.

“අයියේ.. මම තමුසෙට කිව්ව නේ.. ඔය මලදානේ නැතිව වෙන එකක් ගේන්න කියලා“

“මේකනේ මාස්ටර්.. මට මේක තමා හරියන එක“

“බලනවා ඕයි.. තමුසේ මාව කනවා. තව විනාඩි දහයයි තියෙන්නෙ.. දිව්‍ය ලෝකෙන් හරි කමක් නෑ වයලීන් එකක් ගෙනෙං. මාව මිනීමරුවෙක් කරන්න එපා ඕයි“

“හරි හරි මාස්ටර්. තව පොඩ්ඩයි. චින් ගාඩ් එක නැතිව හරි මං ඒක ප්ලේ කරන්නං“

“තමුසෙලා යනවා. මේ මිනිහා ඕක හදාගෙන ඒවි. තමුසෙලගේ ඉන්ස්ට්‍රමන්ට් ටික ළගට යනවලා.. දැං අනවනුන්සින්... යනවා ඕයි ඉක්මනට. මම කැමති නෑ තත්පරයක් වත් ලේට් වෙන්න“

සියළු දෙනාම වේදිකාවට ගොඩ වෙද්දී වයලීනය අත රැදී ශිල්පියා තම ඇස්, ඉස්, මස්, ලේ නියමාකාරව අනුගත කරමින් වයලීනයට මුවා වී සිටියේය. ඔහු ළගට පැමිණි, මෙතෙක් වේලා වහසි බස් දෙඩු තෙමේ යමක් ඔහුගේ කනට කෙදීරීමත් සමගම විසල් වූ ඇස් ඇතිව වයලීනය දෙකට කඩන තරම් කෝපාග්නියකින් යුක්තව වයලීන් වාදන ශිල්පියා, ඔහු දෙස බලා සිටියේය.

“හු*ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“

*****************************************

“ස්තුතියි. මේ සියළු අත්පොළසන් අපගේ අද්විතීය කළාකරු, ජනතාවගේ දුක හදුනන, ජනතාව සමගම වෙසෙන යුගයේ නිදහසේ ප්‍රකම්පිත හඩ පෞරුෂය වන් ජනතාවාදී කළාකරුවා වෙනුවෙන් උපන් හෘදයාංගම ආමන්ත්‍රණය බව මා දනිමි. අප තවත් ප්‍රමාද නොවෙමු. ඔහු අපව අවදි කරන්නට, අපව අමතන්නට සැදී පැහැදි සිටින බව මා ඔබට නොකියමනාය. අපි ඔහුට අඩගසමු.. සහෘද හදවත් එකලු කරන්නට. මේ ගායන ශිල්පී, විශාරද චන්ද්‍රරත්න වන්නිනායක“

නැවතත් ශාලාව පුරා බිත්ති පුුපුරා හැලෙන අයුරින් අත්පොළසන් නාදය පැතිරී යන්නට විය. වේදිකාවේ පසෙකින් වම් පසට ඉලක්ක කොට දැල්වුනු විදිලි ආලෝකය, සුදු පැහැති ඇදුම් හැදි ගායන ශිල්පියාගේ ඍජු වූත්, අවංක වුත් රූපකාය අනුගමනය කරමින් දැල්වෙද්දී ඔහු විදුලි ආලෝකයට පිටුපා වේදිකාව ඉදිරියට පැමිණ, ප්‍රේක්ෂකාගාරය හට හිස පාත්  කොට තම ගෞරවය හා ස්තුතිය පිරිනෑමීය. එක්වරම වේදිකාවේ විදුලි පහන් සියල්ලම දැල්වීමෙන් ගායකයාගේ මුහුණ නැගී ඇති මන්ස්තමිය හා ඔහුගේ තෙත් ඇස් ඔහු කෙතරම් අවිහිංසක ජනතාවාදී කලාකරුවෙක්ද යන්න මොනවට පෙන්වූ කැඩපතක් ම විය. 

*****************************************

පළමු හා දෙැවැනි ගීත එක දිගටම ගායනා කළ ඔහුගේ මධුර කටහඩින් වශීකෘත වූ ප්‍රේක්ෂකාගාරය සිහිසුන්ව සිටි රෝගියෙකු මෙන් සිටියේය. යමක් දැනුනද ප්‍රේක්ෂකාගාරයේ කිසිවෙකුගේ ඇගිලි තුඩකුදු නොසෙල්වෙන මනාය. ප්‍රේමයට අත වැනූ පළමු ගී දෙකෙන් අනතුරුව ඔහු එළබෙන්නේ තම ජනතාවාදී හඩ අවදි කිරීමටය. මේ අවස්ථාවේදී ඔහු යම් දැහැනකට සම වැදුනාක් මෙන් ගීතයට යොමු වේ. ගීතයේ මුල්ම සංගීත කොටස වාදනය කරනු ලබන්නේ වයලීනයේ දැඩි ඉක්මන් වාදනයකිනි. එයින් ප්‍රේක්ෂකාගාරයේ පපු කැනිති හාරා අවුස්සා හැගීම් එළියට ගනු ලබන බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.

නිකට තම දිලිසෙන වයලීනයේ බඳ මත තැබූ ශිල්පියා තම උච්චතම අවස්ථාව දැන් එළඹ ඇති බව සිහිවී යම් ආතතියකට පත්ව සිටියේය. දැඩි වාදනයකදි වයලීන් බඳ එහා මෙහා නොයන පරිදි රඳවා තබා ගැනීම තරමක් අපහසු වන්නේ, තමාට මෙතෙක් උදව් දුන් එම රඳවනය වයලීනයෙන් ගැලවී, වේදිකාවෙන් පහළ ශාලාවේ නැවතී සිටින නිසාය. ඒ අතරම ගැස්මෙන් ආතුර වූ ඔහුගේ හදවත පළමු වරට ප්‍රේක්ෂකාගරයක් ඉදිරිපිට සිටින්නෙකුගේ තරමටම ඔහුව නවකයෙකු කොට ඇත. ඒ සියළු අපහසුකම් මැඩගෙන තම රාජකාරිය සදහා වයලීනය දැඩි ලෙස අල්ලා ගත් ඔහුට අවසන් මොහොතේ තම කන මත වේව්ලුම් කෑ වචන මතක් විය.

//“හු**ගන්නෙ නැතිව ඕක අරන් වරෙන්“//

තම හදවත කෝපයට පත්ව දගලන අයුරක් ඔහුට දැනිනි. තමාට ඉදිරියෙන් සිටින නොසරුප් බස් දොඩන්නා හට මහා වේදිකාවක්, විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිටදී බැන වැදිය යුතුයැයි ඔහුගේ දරදඩු හදවත ඔහුව පොළඹාලීය. එහෙත්, මේ නොසරුප් බස් දොඩන්නා තමා මෙන් කිහිප ගුණයක් සැම අතින්ම විශාල බව දැනී ශිල්පීයාගේ ශරීරය වක ගැහෙන්නට විය. තවත් තත්පර තුනකින් මුළු ලෝකයම නිහඩව සිටියදී තමා ශබ්දය උත්පානදය කළ යුතු බව ඔහු දනියි. නිහඩ ලෝකයේ පියාසලන එකම සමනලයා තමා බව දැනී ඔහු නැවත ප්‍රකෘතිමත් විය.

විනාඩියක් පමණ පවතින මිහිරි වයලීන් වාදනය ක්‍රමක්‍රමයෙන් මුහුදු රළ නැගී වෙරලේ හැපෙන්නාක් මෙන් දොංකාර දෙන්නට පටන් ගති. ටිකින් ටික වර්ධනය වී නැගෙන වයලීන් නාදය සටන් භූමියක තුර්යවාදනයක් සේ මිනිසුන්ගේ හිත් තුල දෝංකාර දෙන විට සමහරෙකුගේ රෝම කූප කෙලින් වන්නට විය. එය ඒ තරම්ම හැගීම් දනවන සුළු ජයග්‍රාහි වාදනයකි. එයින් ඇලලුනු බෝහෝ අයගේ භාවයන් සතුරු හමුදාවට මේ දැන් පහර දීමට තමන්ට අණ ලැබෙතැයි යන ඒකායන බලාපොරොත්තුවෙන් උන් නිර්භීත සෝල්දාදාවන් හා සමය. 

එහෙත් වයලීන් වාදනය අවසන් වීමට තත්පර දෙක තුනක් තිබියදී එක් වරම ශාලාව භයානක ලෙස නිහඩ විය. වයලීන් වාදන ශිල්පියා ඉලක්ක කොට දැල්වුනු සියළු විදිලි පහන් තුෂ්නීම්භූතව ඔහු දෙසම බලා සිටියහ. ඒවයේ රස්නය වැදීමෙන්දෝ වාදන ශිල්පියාගේ පටු නළල මත දාහය තැන්පත් වී අයුරකි. ඔහු නිසොල්මන්ව සිටියේ තම වයලීනය උරපත්තෙන් පැන අවට වාතලයට පියාඹා යාම නිසාය. සිදු වූයේ කුමක් දැයි ඔහු නොදන්නේ ඔහුගේ මුළු ආත්මයම වාදනයෙන් නික්මුණ හඩ තුල රැදී තිබු නිසාය. කලබලය පටන් ගත්තේ දැන්ය. ගායන ශිල්පියාගේ හස්ත සංඥාවක් හේතුවෙන් මුළු වේදිකාවම කළු ගුලියක් විය. 

සැනෙකින් තම අත දැඩිව රැදුන වයලීනය, කිසිවෙකු විසින් ග්‍රහණය කොට ඉවතට තල්ලු කළ බව දැනෙන මොහොතේම වාදන ශිල්පියා සිහි එලවා ගත්තේය. දකුණතේ රැදි අලුව තම අතින් ගිලිහී වේදකාවේ පිටුපස බිත්තියේ නිහඩවම ගැටෙද්දි, තම උර මත තද වූ යකඩ අත් දෙකින් වේදනාබරිතව සිටි ඔහුගේ වම් කන මත නැවත සුපුරුදු මුණුමුණුව ඇසෙන්නට විය.

“තෝ. පර බල්ලා. මාව කෑවා.. තොගේ අම්මට.. බැහැපං එළියට බල්ලා“

*****************************************

විනාඩි දෙක තුනක පමාවෙන් නැවතත් වේදිකාව ආලෝකමත් විය. වරදක් සිදු වූ කලෙක මෙන් ‍ශෝකබරිත දෙනෙතින් බිම බලා හුන් අසරණ ජනතාවාදී ගායන ශිල්පියාගේ රතු වූ මුහුණ සෙමින් එසවී මයික්‍රෙපා්නය වෙත සේන්දු විය.

“ප්‍රිය මිතුරනි, මට සමාව දෙන්න. අපගේ හිතවත් වයලීන් වාදන ශිල්පියා හදිසියේම රෝගාතුර වීම නිසයි මෙම තත්වය ඇති වූයේ. එයට මා ඔබගෙන් නැවත නැවතත් සමාව ඉල්ලනවා. ඔහුගේ රෝගී තත්වය නිසා මට කෙලෙසවත් නැවත වාදනය කරන ලෙස ඔහුට ආයාචනා කළ නොහැකියි. මා කෙදිනවත් මිනිස්කම් අභිබවා යන්නේ නැහැ. ඔහුගේ හදිසි රෝගී තත්වය මාද දැඩි ලෙස කම්පාවට පත් කලා. එහෙයින් අප ඔහුව හැකි ඉක්මනින් අදාළ පරික්ෂාවන් සදහා රෝහල් ගත කළා. මටද මේ අවස්ථාවේ ඔහු සමග යන්නට අවැසි උනා. ඒත් මා කෙසේද ඔබ තනිකර යන්නේ. ඔහුට ඉක්මන් සුවය පතා අප මේ ප්‍රසංගය දිගටම කරගෙන යමු. වයලීන් වාදනය සදහා මා අාධුනිකයෙකු වන ගීත් මහතාව යොදා ගන්නවාට ඔබ අකැමැති නොවේයැයි සිතනවා. කුමන බාධා ආවත් මාගේ ජනතාවාදී කාර්යභාරය මා නොපිරිහෙලා ඉටු කරන බවට ඔබට තවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු නැතියි මා සිතනවා“

කිසිම දිනෙක ඇසී නොමැති මහා ඝෙෘ්ෂාකාරි තාලමය ශබ්දය රංගන ශාලාව පසු කොට පාරේ ගමන් ගත් සිය ගණනක් වූ මිනිසුන්ගේ පුදුමයට හේතු විය.

Thursday, September 25, 2014

කළල වර්ධනය නවතී!!

මඳ මඳ දුරස් වූ,
සියළු දේ මිටි කොට...
හිත තුරුල්ලට ගතිමි.

එහෙත්...

ටික දවසක සිට..

හිත ව්‍යාජයි..
නොසන්සුන්..
දුටු හැමදේම ව්‍යාජයි.

කවදාක දකීද යළි
වැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
සන්තෝසයේ මහා වේදනාව

හැමදේම ව්‍යාජයි
හැමදේම සාමාන්‍යයි
මගේ හිතත් සාමාන්‍යයි
සිතුවිලි...??

ඒවා ටිකක් වල්..


Saturday, September 20, 2014

මා ඔබත් එක්ක සිංදු ඇනෝ..!!

ළගකදි ගොඩ බැස්ස අර ඇනෝල... හරි හරි කුනුහරුප කියනන් ඕන නෑ. ඒත් අපි වගේම මිනිස්සු නෙව. මැෂින් නෙවෙයි නේ. ඒ උනත් අපි හොදට දන්න සිංදු ඇනෝ ගැන කවර කතාද? මම කීප තැනකම දැක්කා මිනිහා සුරුස් ගාලා ඕන කතාවකට, සිද්ධියකට ගැලපෙන සිංදුවක් දෙනවයි කියලා. කොහොම උනත් බ්ලොග් කමෙන්ට් කලාවේ සැමදාමත් ඉදිරියෙන් හිටියේ ප්‍රසන්න, තිසර වගේ අය. (මං කිව්වේ බ්ලොග් තිබිලත් මළ ඉලව් නොලියන අය)

ඒ අතරේ කිසිම මල දානයක් නැති විදානේ කාරයෙක් ඇවිත් හෙමින්ම බ්ලොගක් අටවගෙන දැං පෙම් කෙලිනවා. කකා ගාව නං කැපිටල් ඇනෝ, පිල්ලි වගේ නොයෙකුත් බුවාලා සැට් එකක්ම හිටියා. 

ඔය අතරේ ඉතාලියේ ඉන්න කමකට නැති ෂවුත්තු කොල්ලෙක් යාළු්‍වෙක්ගේ යාළුවෙක්ගේ පිටි එකට උදව් කරන්න කියල අනුන්ගේ පිංතුරයක් හොරකං කරගෙන බ්ලොග් වල කැකුණ තලන්න ආවා. අනිත්මට පින්තුරෙටත් බැනුං අහල, යාළුවගේ යාළුවට උදව් කරන්න ගියපු සාන්ත දාන්ත ලෝක නැටුම් අනාථයන්ගෙන් හොදවයින් අහගත්තා. ඒ එපිසෝඩ් එක ඉවර වෙන කොට පත්තරයා කියල වෙනම අයිකොන් එකක් බ්ලොග් තුල මතු උනා. උගේ කමෙන්ට් කොයි තරං රහයිද කියනවනං මිනිහගේ ජන්මාන්තර වෛරක්කාරයොත් දැං රෑට ඒවා මතක් වෙලා හිනා වෙනවා. හැක් හැක්.

ඔය අතරේ මනෝෂ් ගෙනාපු සිංදු විචාර (ඒවා අජපල්) වලට අබ සරණයි කියල ඇනෝවෙක් බැස්සා සිංදු වලින්ම උත්තර දෙන. මිනිහගේ සිංදු වැඩේ බෝම නැගල ගියා. මාත් උපන්තේකට අහල නැති එක එක සිංදු අහන්න ගත්තා. වැඩේ කියන්නේ ඔය කමකට නැති ඇනෝ කාරයා සිංදුව දාන්නේ තුන්දෙනාගෙම නම් හෙමත් දාලා එහෙම නැත්නං සිංදුව අහන්න බලන්න තියෙන සෝස් එකත් එක්ක. මේ රැල්ලට අහු උනා ජීවිතේට සිංදු අහල නැති ඉවාන්ලා,  ප්‍රියාලා ඒ වගේම අර පඩත්තර පත්තරයත්. අන්තිමට සමහර බ්ලොග් පෝස්ට්කටු සිංදු සාගරයක් වෙද්දී මේ ගල් බමුණා “සිංදු ඇනෝ“ කියල පොරපයිල් එකක් කුද ගහගත්තා. එතැනින් පස්සේ ඕනම බ්ලොග් එකකදී කතාවට හෝ සිද්ධියට අදාළව ඉතාම සමීප ගීතයකින් එතැන සරසන්න අපේ මිතුරු සිංදු ඇනෝට හැකි උනා. මේ හේතුවෙන් හුගක් අයට සිංදු වි‍ශේෂයෙන් පරණ සිංදු වලට ඇල්මක් ඇති උනා. කපුගේගේ ඔක්කෝම සිංදු අහල තියෙයි කියල පට්ටපල් බොරු කියපු බ්‍රැසියර් මෙන්ඩටත් අන්තිමට පිළිගන්න උනා මිනිහා අහපු නැති කපුගේගේ සිංදු තියෙයි කියල අපේ සිංදු ඇනෝ නිසා. 

පොඩි හරි දැනුමක්, වින්දනයක් ලැබෙනනවං ඒක කොයි තරං දෙයක්ද මේ බ්ලොග් වලදී. මට පේන විදියට නං සිංදු ඇනෝ ඒ කාර්යය හොදින්ම කළ බවට මාතේ, උපේ, අරූ, හැලපේ හෙම උත්තර බදිවී. හරිම සන්තෝසයි. ඒක නිසා සිංදු ඇනෝට මගේ ගෞරවය හා ස්තුතිය පුද කරනවා අපේ ම කොටසක් වීමට කටයුතු කිරීම පිළිබදව. ඕං ඒක නිසා මං සිංදු ඇනෝට ලව් හොදේ.. උම්මා.

දැං ඉතිං කියහල්ල ඔය කැහුට්ටා ගැන බොලාට කියන්න තියෙන දේවල්.. කෙලින්ම කියන්න. ආයේ රෙදි මොකටෙයි... හැක්.. හැක්.. yela yela''


මේ ගීතය අපේ සිංදු ඇනෝට උපහාරය හා මගේ ලව් එක පිණිසයි


මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් 
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා 
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා 
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා 
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක් 
වරදක් නැහැ කියනා 
කවුරුත් නොම එයි සිතෙනා 
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා 
එන්න අහනවා 

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Friday, September 19, 2014

ගොබ්බ මුදලාලි!!

ඔන්න බලන්නකෝ වැඩේ එක හොර ගෙඩියෙක් කරපු දහදුරා වැඩක් ගැන කිව්වම වටේම ඉන්න ශ්‍රද්ධාවන්ත සොරුන්ට තමන්ගේ අතීතය මතක් වෙන්න ගන්නවා. මටත් ඒක උනා. අර තිලක සිත කියන හොරගෙඩියා “ගොබ්බ කැෂියර්“ කියල කතාවක් දාලා තිබුනේ ඒකේ නමනං පස්සේ ඩීසන්ට් උනා මට මතක හැටියට. ඕං ඒක නිසා මටත් මතක් උනා ඒ කාලේ හොරෙන් කාපු හැටි.

මම මේ කියන්නේ සාමාන්‍ය පෙළ කරන කාලේ කරපු වැඩ ගැන. මම කලිනුත් කිව්වා අපිට ඒ දවස් වල මර්ඩර් හවුස් (ඕක අර රවි කියන මාගල් කාරයාගේ වචනයක්) ගැන ආරංචි පුදුම විදියට ලැබෙන්නේ. අපේ සැට් එකේ ඉන්න හාදයෙක්ගේ යාළුවෙක්ගේ යාළුවෙකුගේ ආච්චි කෙනෙක් මැරුනත් ඒක අපේම මර්ඩර් හවුස් එකක් විදියට තමා අපි සලකන්නේ. ආරංචිය ලැබුන සැනින් එහාට දුවල, තියෙන වැඩ පල ටිකක් කරල දීල හෙම, ආ ඔව් ඒ ආනුභාවයෙන් ඔය බ්‍රිසිටල් දෙක තුනකුත් ලැබෙනවා... ඒකත් උරල කරල ගෙදර එන්නේ ක්ලාස් යන්න එපායැ. ඉතිං ක්ලාස් ගිහිල්ල හැන්දෑවේ හතට විතර ආයි කස්ටිය සැට් වෙලා යනවා මර්ඩර් ගෙදරට. එක්කෝ බයිසිකල් කටු වලින් නැත්නං පයින්. ටිකක් දුර නං බස් වලින්. 

මර්ඩර් හවුස් එක හවුස්ෆුල් වෙනවා රෑ අට නමය වෙද්දී. කලින් ආපු අපි ගැන කාටවත් එතකොට ගානක් නෑ. අනික අපි හරි අහිංසක සුට්ටි කොල්ලෝ නෙව. අහිංසක කම නලල දිගේ බේරෙන ගානට තෙල් ගාලා කොණ්ඩේ චප්ප වෙන්නම පීරල දෙපැත්තට දාලා ඉන්න මේ ගිරහෙනි කොල්ලෝ ටික කාගේ කව්ද කියල බලන්නවත් මර්ඩර් හවුස් අයිතිකාරයන්ට උවමනාවක් නෑ. ඒකට කාරි නෑ මර්ඩර් හවුස් එකේ අපේ නියෝජිතයෙක් ඉන්නවා නේ. ඒ මදෑ. අපේ පොඩි පොඩි අවශ්‍යතා සැට් එකේ යාළුවා හරහා කෙලින්ම උගේ යාළුවගේ යාළුවටම කතා කරන්න පුළුවන්. ඉතිං කියන සුනංගුවෙන් බ්‍රිස්ටල් පැකට් එක, තේ ඩිංග පාං පෙත්ත හෙම ලැබෙනවා. අපි ඉතිං හවුස් ෆුල් උනාම සයිඩ් ගහනවා. ඉන්න හිටින්න තැනක් නැති සරණාගතයෝ විදියට අපි කරන්නේ ඒ කිට්ටුව කොහේ හරි තාප්පයක්... හැබැයි ඉතිං ටිකක් කළුවර තැනක් වෙන්ටත් ඕන.. උඩට වෙලා පන්දං පත්තු කරමින් කාලය ගත කරන එක තමා. ඒ කාලේ මගේ පන්දං පාලියේ තරම දැක්ක නිසා වටේ පිටේ අනිත් හැම සැට් එකක්ම මට දාලා තිබුන කාඩ් එක “බ්‍රිස්ටල්“. නොදන්න කෙනෙක් නෑ අප්පා ඒ නම කිව්වම නං. ඒත් අපි අහිංසක අය.

රෑ දොළහ විතර වෙද්දි නං මර්ඩර් හවුස් එකේ අතේ ඇගිලි ගානටවත් සෙනග නැහැ. ඔන්න ඉතිං අපිත් වැදගත් කියල හිතල අයිතිකාරයෝ පාරේ ඉන්න අපිට වැදල වගේ කතා කරන්නේ. “එන්න පුතාලා ඇතුලට. මොකද මේ එළියට වෙලා හිටගෙන. වාඩි වෙන්න වාඩි වෙන්න.. තේ බොන්න“ ඔන්න ඔහොමයි සැලකිල්ල. පව් නේ ඒ මිනිස්සු අසරණ කරන්න හොද නෑ කියල අපි ගිහින් වාඩි උනාට, පැය බාගයක් යන්න මත්තෙන් අපේ හිත් වල තියෙන භයානක ගතිය නැති වෙනවා. සැන්ඩා කියන හාදයා තමා ඇම්ඩා කතා වලට බෝම ප්‍රසිද්ධ. ඌ ඒවා කියන කොට මර්ඩර් වෙච්චි හාදයා උනත් නැගිටල එන තරමට තමා මේ අහිංසක කම බේරෙන පොඩි කොල්ලන්ගේ හිනාව. ඔය හිනාව දෙපාරක් තුන්පාරක් ගේ වනසන්න ගානට යන කොට තමා අයිතිකාරයොන්ට පුෂ්පය විකසිත වීගෙන එන්නේ. අන්න ඒ වෙලාවට අපිට පණිවිඩ කාරයෙක් එවනවා. “යකෝ තොපේ ටිංකිරි හිනාව නවත්තගනිල්ල.. මේක මළගෙයක්“ කියලා. ඔය පණිවිඩේ දෙතුන් පාරක් එනකම්ම අපිව එළවනව බොරු. ඇත්ත කියන්න එපායැ.. කටවහගෙන ඉන්නවනං හිටු. නැත්නං පල කියල බෝම ආදරෙන් මතක් කරාම අපි නැගිටල ආයි පරණ පුරුදු තැනට යනවා. ඔතනදී හිනා වෙන්නේ අහල ගම්මානේම ඇදන් උඩ යන්න. ඉතිං කොහේද විසුමක්.. රෑ දෙක පහු වෙන කොට නං ඔන්න වෙන අයිඩියා එකක් එනවා. මෙතැන චාටර් උනා දැං මදෑ කියල කට්ටියම ඒ අයිඩියා එක පස්සේ එල්ලෙනවා.

“ඒයි මචං අපි යමං නානගේ බේකරියට..“

“යමල්ලා යමල්ලා. සල්ලි කීයක් තියේද බලහල්ලෘ“

ඔය විදියට ආඬින්ගේ පොකැට් හිස් කරන්න ගන්නවා. එතකොට වැඩිම උනොත් එකෙක්ගේ අතේ රුපියල් පනහක් තිබුනොත් උගේ සිහි විකල් වෙලා කියල තමා හිතන්න වෙන්නේ. මාත් උපන්තේකට ඔය කැඳහැලියට රුපියල් දහයකට වඩා දාලා නෑ.

ඔහොම එකතු කරගන්න ඔක්කෝම සල්ලි වැඩිම උනොත් රුපියල් එකසිය පණහක් විතර වේවි නැත්නං ඊටත් අඩු වේවි. සල්ලි ටික එකෙකුගේ අතේ තියෙද්දී කස්ටියම යනවා බේකරියට.

ඕකේ අයිතිකාරයා මුස්ලිම් මුදලාලි කෙනෙක්. මිනිහගේ හෝටලේ පිටිපස්සේන් තමා බේකරිය තියෙන්නේ. අළුත් පාර, පරණ පාර කියල හදුන්වන පාරවල් දෙකින් හෝටලය පරණ පාරට මූණ දාලා ටවුමේ තියෙද්දී බේකරියට යන්න තියෙන පහසුම පාර තමා අළුත් පාරෙන් ඇවිත් පටු පාර දිගේ ටික දුරක් යන එක. බේකරියේ පෝරණු වලට හරි හරියට වැඩ නං මොන කතාද අලුත් පාර ගාව ඉදලම එන නැව්ම් සුවද අපි ගිලිනවා තියෙන ආසාවටම.

එක පාරට සැට් එකම යන්නෑ. තුන්දෙනයි යන්නේ.

“මුදලාලි.. මුදලාලි.. “

“කව්ද මාත්තියා“

“මුදලාලි. මේ අපි මළගෙදර අය.. බනිස් ටිකක් ගන්න ආවේ.. බනිස් බෑවද?“

“ෂරි ෂරි.. මේ දැං බෑවේ.. මාත්තියා ඔය ලැයිට් එක පේන ජනේලේ ගාවට එන්න“

මිනිහා බේකරිය ඇතුලේ ඉදන් බෙරිහන් දෙනකොට හිමීන් අපි ජනේලේ ගාවට ඇදෙනවා. අම්මෝ ජනේලේන් ඇතුලේ ලෝකය එකම කෑම ගංගාවක්. තැටි වල දාපු බනිස්, මාළුපාං, බිත්තරපාං, සීනි බනිස්, කිඹුල බනිස් හෙම පුරෝලා. උණු උණුවේ තියෙන මේවයින් නට නට කැරකි කැරකි උඩ නගින දුං ටික දැක්කම ආසාවේ බෑ. 

ජනේලෙ කිට්ටුවට එන මුදලාල‍ි අපි දැක්කම මූන වෙනස් කරගන්නවා.

“අයියෝ මේ මල්ලිලා ද ආවේ.. හා කමක් නෑ බනිස් කීයක්ද“

“අපිට බනිස් දහයයි.. ප්ලේනිටි තියේද මුදලාලි..එහෙනං ප්ලේනිටි පහකුයි. තව ගෝලීප් පහකුයි දෙන්න“

“ඉන්න මල්ලි.. කාලා යනවාද ගෙනියන්නද“

“නෑ කාලාම යනවා.. නැත්නං ප්ලේන්ටි අරන් යන්නත් එපායැ“

ඔන්න ඕම තමා වැඩේට එන්ටර් වෙන්නේ. හෙමින් හෙමින් එකා දෙන්නා ජනේලේ ගාවට සැට් වෙනවා. බේකරියේ වැඩ කරන අයට හදපු තේ ඩිංගත් මුදලාලියා අපිට විකුණන නිසා මිනිහට සන්තෝසයි. අපිට ඊටත් සන්තෝසයි පොර ඩිංගක් එහාට මෙහාට දුවන එකට. ඔන්න බනිස් දහය නං තැටියක දාලා ගිණි උනුවට ජනේලෙන්ම අපිට එනවා. අපි ජනේලේ ළග ඉදගෙන එක පාරට බඩු ටික බඩට දාගන්නවා.  ඊට පස්සේ තමා පොරේ. හැම එකාටම ජනේලෙන් එක පාර අත දාන්න එපායැ. අත දිග උන් වැඩි පුර දිනනවා. අත කොටාලා පස්සෙන් එනවා. ප්ලේන්ටි ටික එනකොට අහිංසක ළමයි ටික තමන්ගේ බනිසේ අන්තිම ඩිංග ආසාවෙන් කන විත්තිය තමා මුදලාලිට පේන්නේ. ප්ලේන්ටි තැටිය දීල හැරුනා විතරයි ඔන්න ආයිත් ජනේලේට පයිට් එක.

මුදලාලි මේ වැඩ් මේ විදියට වෙනවා කියල දැනගන්නකොට ගමන් තුන හතරක්ම මර්ඩර් හවුස් පාටි වලදි අපි මේ වැඩේ කරා. කෝම හරි අපි අන්තිම වතාවට බනිස් කන්න ගියපු වෙලාවේ මුදලාලිය තමන්ගේ සීසීටීව් ඇස් දෙක අපි ගාව තියල වැඩ කරල තියෙන්නේ. මිනිහට සැකයක් තියෙන්න ඇති. ඇයි යකඩෝ පෝරණුවෙන් බාන බඩු වලට මොකක්ද වෙන්නේ කියල දැනගන්න එයාටත් අයිතියක් තියෙනවා නෙව. ඕක ඉතිං අපි දන්න එකක්යැ. ජනෙල් සෙල්ලම වැඩි වෙලාවක් කරන්න උනේ නෑ.

“පර වේෂිගේ පුතාලා. තොපි තමා එහෙනං මෙච්චර දවස් හොරෙන් කෑවේ. හිටපියව් තොපිට“

ඔන්න වේරම්භ වාතයක් වගේ පොර දොර පොල්ලක් අරන් බේකරියේ දොර ඇරගෙන ඇවිත් අපිට තඩි බාන්නයි ලැහැස්තිය. ඒකටම හරියන්න බේකරියේ බුවාලත් සැට් වෙලා. තව මොහොතකින් ලැබෙන සංග්‍රහය හොද හැටි තේරුං ගත්ත අපි හැල්මේ සීසී කඩ දුවල බේරුනා. ඒත් කියන්න කනගාටුයි. හැම එකාගේම අතේ බනිස් දෙක තුනක් වත් ඇලිල තිබුනා හති අරිද්දි. එදායින් මෙදායින් නං නානාගේ බේකරියේ අපි පස් පෑගුවේ නැහැ.

මේ ළගදිත් මම නානාගේ හෝටලේට ගියා. යනකොටම කැෂීයර් කූඩුවේ ඉදගෙන බෝම සාන්ත දාන්ත විදියට “එන්න මහත්තයා. ඉදගන්න.. මොනවද කන්නේ“ කියල මගෙන් ඇහුවම අර තඩි පොල්ල අරන් මගේ පස්සේ පන්නපු නානාව සිහි වෙලා හිනාවක් ගියත් එක්ක.

ආහ්. අමතක උනා නෙව පළවෙනි දවසේ හොර වැඩේ එකවුන්ට් එක කියන්න.


මුදල් වලට ගත් භාණ්ඩ වලට අමතරව ලැබී තිබූ ආධාර හා පරිත්‍යාග. මේකට ඉතිං අපේ නානා මුදලාලිට ඇර කාට ස්තුති කරන්නයැ.

බනිස් ගෙඩි 27 යි.
ගල් බනිස් 8 යි.
කිඹුලා බනිස් 16 යි.
මාළු පාන් 12 යි.
බිත්තර පාං 5 යි.
රෝස් පාං 6 යි.
පාං ගෙඩි 3 යි.
බයිසිකලේ එල්ලල තිබුන පාං ගෙඩි 2 යි.
ජනෙල් පට්ටම උඩ තිබුන රුපියල් දෙකේ කාසියයි. බීඩි කොටයයි.

හැක් හැක්...

Monday, September 1, 2014

අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි!!

මේ කතාව මං පුංචි කාලේ අහපු කතාවක්. මේ කතාව ගැන හිතන හැම වෙලේම මට ඒකේ වටිනාකම දැනේන්න ගත්තා. ඒ කියන්නේ සමහර කතා වගේ, සමහර මිනිසුන් වගේ, වයසින් වැඩෙද්දි තව සාර වෙනවා වගේ.

මං හිතනවා ඔය අය ගම්බද පැත්තක ජීවත් වෙලා ඉන්න ඇති කියලා. හිතන්න..ඔන්න තියෙනනා හුගක් පරණ අතු හෙවිලි කරපු ගොවි ගෙයක්. වහලේ උඩ පුංචි පුංචි ගස් කොලං වැවිලා. වහළ මුදුනෙම කොකෙක් තමන්ගේ කූඩුව හදලා. හරියට කොකා නැතිව වහල හදන්න බැරිව වගේ. ගෙයි බිත්ති ඇල වෙලා, ජනෙල් තියෙන්නෙත් හුගාක් පහතින්. ඒ මදිවට විවෘත කරන්න පුළුවන් වෙන්න තියෙන්නෙත් එක ජනේලයයි. ගිනි පෝරණුව බිත්තියට අල්ලල තියෙන්නේ හරියට මහත මිනිහෙක් බිත්තියට ඇලිල ඉන්නව වගේයි. වැටට හේත්තු වෙලා පරණ ගහක් තියෙනවා ඒකේ අතු බිමට පාත් වෙලා. වැටට අල්ලලා තියෙන්නෙ පොඩි ජල තටාකයක්. තාරාවෝ කීප දෙනෙක් ඒ තටාකේ ඇතුලේ ඔබමොබ යනවා. හැම එකකටම බුහ් බුහ් ගාලා බුරන දඩෝරියෙකුත් ඒ ළගම ඉන්නවා.

ඔන්න ඔය වගේ තමා ගොවි ගෙවල්. මේ ගෙදර හිටියේ වයසක උන්දැල දෙන්නෙක්. ගොවියෙක් හා ඔහුගේ වයසක බිරින්දෑ. ගේ වගේම ඒ අයගේ දේපලත් බොහොම පොඩ්ඩයි. ඔය අතරේ මේ අයට අශ්වයෙකුත් හිටියා. ඔය ගමනක් බිමනක් යන කොට එක්ක යනවා. නගරෙට යන කොට අශ්වයා පිටේ නැගල යනවා. ඒ අතරේ අහල පහල අයත් “අයියේ පොඩි වැඩකට යන්න මට අශ්වයා දෙනවද?“ කියල ඇහුවම නොදී බැරි නිසා අපේ උන්දැ අශ්වයව දෙනවා. ඉතිං ඒ මිනිස්සුත් වැඩේ කරගෙන ඔය පොඩි පොඩි දේවල් අපේ උන්දැට ගෙනැත් දෙනවා ඒකට හිලව් වෙන්න. ඒත් මේ දෙන්නා හිතුවා ඔය ලැබෙන සොච්චමට වැඩිය මේ අශ්වයා විකුණල හරි, මොකක් හරි වටිනා දේකට හරි මාරු කරල දානවා නං වඩා හොදයි කියලා. ඒත් මේ වටිනා දේ මොකක් වෙන්න පුළුවන්ද?

“අපේ මහත්තයෝ ඔයැයි දන්නවනේ මොකක්ද කරන්න ඕන කියලා“ ගම හාමිනේ කිව්වා.

“අද පොළ දවස නේ. ඉතිං පොළට ගිහිල්ලා මේ අස්පයාව දීලා කීයක් හරි අරගෙන එන්න නැත්නං මොකක් හරි කමක් නෑ වටින දේකට මාරු කරගන්න. ඔයැයි මොනව කරත් හරියි කියල මම දන්නවා. එහෙනං ගොහිල්ල එන්න“

ඉතිං ඇය අපේ උන්දැගේ කරේ දාලා තිබුන ලේන්සුව තද කරල ගැට ගැහුවා. අපේ උන්දැට වැඩිය හොදට එයැයිගේ ඔය ලේන්සුව ගම හාමිනේට ගැට ගහන්න පුළුවන්. ඇය ඒක ලස්සනට ගැට ගැහුවා. ඊට පස්සේ අපේ උන්දැගේ තොප්පිය අරගෙන වටේම පිහිදල දැම්මා එයාගේ අතින්. එයා අපේ උන්දැට හාදුවකුත් දුන්නා. ඉතිං ඒ පාර අපේ උන්දැ අශ්වයත් පැදගෙන පොළට යන්න පිටත් උනා. අපේ උන්දැ ටක්කෙටම දැනං හිටියා එයා මොකක්ද කරන්න ඕන කියලා.

එක වළාකුලක් වත් නැති නිල් ආකාහේ දෙබෑ කරගෙන හිරු එළිය තද සැරේට පොළවට පාත් වෙනවා. පාර පුරාම දුහුවිල්ල. පොළට යන මිනිස්සු නිසා දක්කන සත්තු නිසා මේ දුහුවිල්ල හොදටම ඇවිස්සෙනවා. ඉර එළියෙන් බේරෙන්න නං කිසිම විදියක් නැහැ.

ඔය මිනිස්සු අතරේ එක් කෙනෙක් එළදෙනක් පොළට දක්කගෙන යනවා. මේ එළදෙන හොද පෘෂ්ඨිමත් සතෙක්.

“මේ වැස්සි නං කිරි මන්ඩලයක්“ අපේ උන්දැ හිතුවා. “මයේ අස්පයාට මේ වැස්සිව මාරු කරා නං ආයේ දෙකක් නෑ..මේක හොද බිසිනොස් එකක් තමයි“

“ඒයි. ඔය වැස්සි දක්කං යන උන්දැ.. පොඩ්ඩක් ඉන්නවදෝ..“ අපේ උන්දැ කිව්වා.

“ඕං මට ඉන්නව බෝම වටින අස්පයෙක්.. ඔව් තමුන්ගේ ඔය වැස්සිට වැඩිය බෝම වටිනවා. ඒකට කාරි නෑ. ඔය වැස්සි මට වටිනවා. ඔහේ කැමති නැද්ද මේ බිසිනොස් එක කරන්න. මං කිව්වේ මගේ මේ අස්පයා අරන් ඔය වැස්සිව මට දෙනවා.“

“අහා.. ඒක හොදයි මං කැමතියි“ ඒ මිනිහා කිව්වා. ඉතිං බොහොම සාධාරණව ඒ හුවමාරුව සිද්ධ උනා. ඉතිං අපේ උන්දැ හැරිල ගෙදර යන්න එපැයි. කොහේද මේ මනුස්සයට හිතුනා මෙච්චර ආපු එකේ පොළ පැත්තේ පොඩි රවුමකුත් දාලා ගියා නං හොදයි කියල. ඉතිං අර එළදෙනවත් දක්කගෙන අපේ උන්දැ පොළට යන්න පිටත් උනා. එළදෙනව ඉස්සර කරගෙන අපේ උන්දැ දික් අඩි තිය තිය විගහට ගාටන්න ගත්තා. ඒ අතරේ පාරේ යනවා බැටළුවෙක් දක්කගෙන යන මිනිහෙක්. ඒකා නං තඩි බැටළුවෙක්. ඒ මදිවට හොද එකෙන්ම ලෝමත් තියෙනවා.

“මෙන්න මේ යකාව ගත්ත නං හරි“ අපේ උන්දැට නිකම්ම හිතුනා. “බැටළු තඩියට ඕන තරං තණකොළ අපේ වත්ත පිටියේ තියෙන එකේ හොදට කාලා හැදේවි. අනික සීත කාලේ ආවම අපේ කාමරේම උනත් තියාගන්න බැරියැ. බාග විට මේ වැස්සිට වැඩිය අර බැටළු තඩියා වටිනවා වෙන්න ඇහැකි.“

“අපි මේකා මාරු කරගමුද?“ අපේ උන්දැ ඇහුවා.

කියන කල් හිටියේ වගේ බැටළුවගේ අයිතිකාරයා වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං බැටළුවෙක් දක්කගෙන පාර දිගේ යනවා.

තව ඩිංගක් දුර යන කොට අපේ උන්දැට හමු උනා තඩි පාත්තයෙක් කිහිල්ලේ ගහගෙන පොළට යන මනුස්සයෙක්.

“අප්පට සිරි අන්න තඩි පාත්තයෙක්. ඌ තරං මහත පාත්තයෙක්.. මයේ ජීවිතේට දැකල නෑ. උගේ පිහාටු ටිකෙනුත් හොද වැඩක් ගන්න ඇහැකි. කකුලට ලණුවක් ගැට ගහල අපේ ටැංකියට දාලා තිබ්බ නං ඕකා හොදට බලාගන්න තිබුනා. අනේ හාමිනේ කොයි තරං සන්තෝස වෙයිද? ඒ උන්දැ මට කොයි තරං කියනවද “අනේ අපිට පාත්තයෙක්වත් හිටිය නං කියලා“ ඔව්. දැං උන්දැට පාත්තයෙක් දෙන්න මට ඇහැකි.“

“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිත් අපේ උන්දැ පුරස්නේ ඇහුවා.

අර මනුස්සයත්, නිකං දියට දැම්මම ඇන්නෑවයි කිව්ව වගේ වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං පාත්ත-හිමිකරුවෙක්.

මේ වෙන කොට අපේ උන්දැ පොළට හොදටම කිට්ටු කරල හිටියේ. මහපාර පුරාම සෙනඟ. මිනිස්සුයි සත්තුයි නිසා එතැන පොඩි තදබදයක්. ඒක නිසා පාරේ නෙමෙයි අහල පහල වැටවල් අයිනෙන් තමා මේ අයට යන්න උනේ. තදබදේ කොච්චරද කියනවනං පොළ ඉස්සරහම ගේට්ටුවේ  ඉන්න තෝං එකතු කරන මනුස්සයගේ තක්කාලි පාත්තිය උඩිනුත් මිනිස්සු වගේ වගක් නැතිව යනවා. ඔය අතරේ තෝං කාරයගේ කුකුල් තඩියත් ලණුවකින් ගැට ගහල හිටියේ මොකද ඔය යන මිනිස්සු නිසා කුකුල් තඩියා බය වෙයි කියල හිතලා. බැරි වෙලා හරි නැති වෙන්න උනත් පුළුවන්නේ. මේ කුකුල් තඩියගේ පස්සේ පිහාටු ටික හරිම කෙටියි. උගේ ඇස් නිකං තරු වගේ බැබලනෙවා. බැලු බැල්මට උගේ අමුතු ගතියකුත් තියෙනවා. “කොක් කොක්“ කුකුළා හැඬලුවා. කුකුළා මොකක් හිතුවද කියල නං මං දන්නේ නෑ. ඒත් අපේ උන්දැ නං ඒක දැක්කා.

“අප්පා. මම මෙතුවක් කාලෙකට දැකල නෑ මේ වගේ එකෙක්. අර අල්ලපු ගෙදර පාර්කර් කාරයගේ ගොං කිකිළි මොකෙක්ද මූත් එක්ක බැලුවම. මට හිතනෙවා මේකව ගන්න. කෑම දෙන්න ඕන එකක්යැ. උන්ට ඔය මොකක් හරි කෑමක් අහුලගෙන කන්න ඇහැකි එකේ. අනික මුං බිත්තර දැම්මට පැටව් එනවා. එතකොට අපිට කුකුල් කොටුවක්ම තියේවි. මේ පාත්තයා දීල කුකුළව ගන්න එක තමා හොදම.. ඔව්.. ඒක හරි“

“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිමත් අර ප්‍රශ්නේ.

“මාරු කරන්න... ඔව් ඉතිං ඒකේ නරකකුත් නෑ“ තෝං කාරයා කිව්වා.

ඉතිං ආයිමත් ඒ වැඩේ සිද්ධ උනා. තෝං කාරයා පාත්තයා ගත්තා. අපේ උන්දැ කුකුළත් අරන් යන්න ගියා.

ඉතිං... අපේ උන්දැ පොළට එන ගමන් හොද හොද ගණුදෙනු ටිකක් කලා නෙව. දැං අපේ උන්දැට හොදටෝම මහන්සියි. ඒ මදිවට තිබහයි. මොනා හරි ඩිංගක් කාලා, බ්‍රැන්ඩි උගුරක් බිව්ව නං හොදයි කියල හිතිල අපේ උන්දැ හෙමීට ගියා තානායමට. තානායමට අඩිය තියන්න යන කොටම ඔන්න එනවා තානායමේ අශ්වයින් බලා ගන්නා කෙනා. දෙන්නා දොර ගාවදි හමු උනා. අර මනුස්සයා මොකක්ද ගෝනියක් කරේ තියාගෙනයි ආවේ.

“ඔය ගෝනියේ මොනවද තියෙන්නේ“ අපේ උන්දැ ඇහුවා.

“ආ. මේකේ තියෙන්නේ වේලිච්ච ඇපල් වගයක්.. උෟරොන්ට කන්න දෙන්න“

“මක්කා කිව්වා. ඒක මොන අපරාදයක්ද? මං කැමතියි ඔය ටික ගෙදර අරං යන්න. ගිහින් මයේ උන්දැට දෙන්න. පහු ගිය අවුරුද්දේ අපේ ගහේ එකම එක ගෙඩියයි හැදුනේ. ඉතිං ඒක මහා සම්පතක්ය කියල හිතාන මයේ උන්දැ ඒ ගෙඩිය පෙට්ටියක අරන් තිබ්බා ආරස්සාවට. මේ ගෝනිය ගොහිං දුන්නොත් කියයි නිධානයක් පහළ උනාය කියලා.. ඔව් මම මේ ඇපල් ගෝනිය උන්දැට ගොහිං දෙන්න ඕන.. මොකෝ කියන්නේ මට දෙනවැයි ඔය ඇපල් ගෝනිය“

“ඉතිං ඒකට මට මොනවද දෙන්නේ“

“මම තමුසෙට මේ කුකුල් තඩියා දෙන්නං. කැමතියි නේ“

ඉතිං වැඩේ කෙරුනා. වේලිච්චි ඇපල් ගෝනියත් අරන් අපේ උන්දැ තානායම ඇතුලට ගියා. ඊට පස්සෙ තානායම ඇතුලෙදි අපේ උන්දැ ඒක හෙමීට පෝරණූව උඩින් තිබ්බා. වැඩේ කියන්නේ මිනිහා දැනගෙන හිටියෙ නැහැ පෝරණුව ගිනියම් වේච්චි විත්තියක්. 

එක එක ජාතියේ මහා ගොඩක් තානායම ඇතුලේ පිරිලා. ඒ අතරේ ඉංගිරිසි කාරයෝ දෙන්නෙකුත් හිටියා. බෝම පෝසත්. ඒ අයගේ සාක්කු පිපිරෙන්න තරම්ම පිම්බිලා රන් කාසි වලින්. ඕන නං ඉතිං ඒ අයට ඔට්ටු අල්ලන්නත් පුළුවන්. ඔන්න අහගන්න.

චිරිස් චිරිස්... අර පෝරණුවේ මොනවද තියෙන්නේ. අන්න ඇපල් ටික පිච්චනෙවා..

“ඒ මොකක්ද?“

“ඇයි..අහන්නේ? තමුසෙල දන්නවනං...“ අපේ උන්දැ කිව්වා.

ඉතිං අශ්වයගේ ඉදල ඇපල් වලට යනකම්ම වේච්චි සංහදිය කොනක ඉදලම දිග ඇරියා අපේ උන්දැ.

“හැක්.. තමුසෙට අද නං නෝනගෙන් ලැබෙන්න ඕන ටික හොද එකෙන්ම ලැබෙයි.. අපොයි කංකරච්චලේ ඉවරයක් නැති වේවි.. හැක් හැක්.“ ඉංගිරිසි කාරයෝ සමච්චලේට වගේ කිව්වා.

“මක්කයි කිව්වෙ.. මට.. එයැයි මට මොනව දෙන්නද..? ඕන නං එයැයි මාව ඉඹල මෙහෙම කියාවි. “අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි“ කියලා.. ඔව්“ අපේ උන්දැ කිව්වා.

“අම්මට හුඩු. ඒකත් එහෙමද? හා.. එහෙනං අපි ඔට්ටුවක් දාමුද? මොකද කියන්නේ.. අපි ඔට්ටුව දාමු රත්තරං කාසි හොන්ඩරයක්.. සෙල්ලංද?? හොන්ඩරේක රත්තරං“ ඉංගිරිසි කාරයෝ ඔට්ටුව දැම්මා.

“එච්චර ඕන නෑ..මට එක බුසලයක් ඇති.. හැබැයි මට ඔය ඔට්ටුවට දාන්න වෙන්නේ ඇපල් පුරෝපු බුසලයක් තමා.. තව ඕන නං මායි මගෙ උන්දැයි ඕකට දැම්මාම හොන්ඩරේ හරි යාවි.. හැක්“

“හරි හරි.. එහෙනං ඔට්ටුයි“

ඉතිං ඔට්ටුව ඇල්ලුවා. කට්ටියම, ඒ කිව්වේ ඉංගිරිසි කාරයෝ දෙන්නයි අපේ උන්දැයි තුන්දෙනාම තානායමේ කරත්තයක් අරන් අපේ උන්දැගේ ගෙදරට ආවා.

“ඉතිං කෝමෙයි මයේ හාමිනේ“

“කෝමෙයි ඉතිං අපේ උන්දැ“

“මම අස්පයා වික්කා“

“ඔව් ඉතිං ඔයැයි දන්නවා නේ කොහොමද ඒක වෙන්න ඕන කියලා“ හාමිනේ කිව්වා. ඒ කියන ගමන් අමුත්තෝ දෙන්න ගැනවත්, ගෝනිය ගැනවත් නිච්චියක් නැතිව හාමිනේ අපේ උන්දැව වැළදගත්තා.

“මම අස්පයා විකුණල වැස්සියෙක් ගත්තා.“ අපේ උන්දැ කිව්වා.

“බුදු අප්පොච්චියේ.. අපිට බඩ පැලෙන කං කිරි බොන්න ඇහැකි එහෙනං. අපිට ඕන තරං බටර්, චීස් උනත් ලැබෙයි නෙව. හොදටම ලාබයි හොදටම ලාබයි මේ බිසිනොස් එක“ හාමිනේ සන්තෝසෙන් කිව්වා.

“ඔව්.. ඒත් මං වැස්සි දීල බැටළු තඩියෙක් ගත්තා“

“හා.. ඒක වැඩිය හොදයි නෙව. ඔයැයි හැම වෙලේම මං ගැන හිතනවා නේද?? ඔය බැටළුවට කන්න ඇති තරං තණකොල වත්තේ තියෙන එකේ අපිට හොදට කිරියි, චීසුයි ලැබේවි. ඇයි බැටළු ලොං ඇති තරං ගන්න ඇහැකි. මරේ මරු. වැස්සි කොහේද ලොං දෙන්නේ ඕන නං උගේ අර කෙඳි ඩිංගක් කපාගන්න පුළුවන්. එච්චර නේ.. බැටළුවා තමා වටින්නෙ.. දෙකක් නෑ.. ඔයැය නං හරි දස්සයා“

“ඒත් මං බැටළු තඩියා දීල පාත්තයෙක් ගත්ත නෙව“

“එහෙමද?? හපොයි එහෙනං මේ අවුරුද්ද අපිට හොදටම සරුයි. අපිට අවුරුදු මේසෙදි උණු උණුවෙම, රෝස් කරපු පාත්ත මස් ටිකක් කන්න බැරියැ. ඔයැයි හැම වෙලේම මගේ සන්තෝසේ ගැනමයි හිතන්නේ.. මං ආදරෙයි ඔයැයිට. අපි ඒකාව තම්බල කන්න කලින් ඇති තරං මහත් වෙන කල්, ඔය ආරස්සාවට කකුලේ ලණුවක් ගැට ගහල අතෑරල දාමු..මක්ක හරි කාලා හැදෙන්නැතෑ නේද?“

“ඒත් මං පාත්තයා දීලා කුකුළෙක් ගත්තා“

“කුකුළෙක්.. ඒක වැඩිය හොදයි නේ. ඌ බිත්තර මහ ගොඩක් දාලා ඒවා රැක්කම අපි පැටව් රොත්තක් ඉදීවි. ඉතිං එතකොට අපිට කුකුල් කොටුවක්ම හදාගත්තෑකි නේ. අම්මේ.. ඔයැයිට කියන්න මම මේ හිත හිත හිටපු දෙයක් ඒක“

“වෙන්නැති. ඒත් මම කුකුළා දීලා වේලිච්චි ඇපල් ගෝනියක් ගත්තා“

“මක්කා කිව්වා.. මේ කරපු වැඩේට නං මට ඔයැයිව ඉඹින්න හිතෙනවා. අනේ මයේ මහත්තයෝ.. මං ඔයැයිට දෙයක් කියන්නද? අද උදේ ඔයැයි පොළට යන වෙලාවෙවත් ඔයැයිට හවසට කටට රහට මක්ක දෙනවද කියල නිච්චියක් නැතිවයි මං හිටියේ. පස්සේ මං හිතුවා හොද රහට කුරුඳු කොළ ටිකක් දාලා පෑන්කේක් ටිකක් හදල දෙන්න ඕන කියලා ඇයි ඉතිං බිත්තරයි, බේකනුයි ගෙදර තිබුන නෙව. ඒත් මට කුරුඳු කොළ තිබ්බේ නැති හන්දා මම ගියා ඉස්කෝලේ නෝනගේ ඉඩමට. පිට පොත්ත රතට තිබුනට ඒ ගෑනි නං මහ යස්සනියෙක්. මං නොවැන්දා විතරයි. ඒත් මේ ගෑනි මට කුරුඳු කොළ ඩිංගක් දුන්නෑ නෙව. ඕන නං ණයට දෙන්නං ලු. “ඔහේලයි ඉඩමේ මෙලොවක් වැවෙනවද? අඩු ගානේ වේලිච්ච ඇපල් ගෙඩියක් වත්“ ඔන්න ඔහොමයි මට නක්කලේට කිව්වේ. ඒ පාර කියනවා “ඉතිං ඒක නිසා මට ඔහේට අඩු ගානේ වේලිලිච්ච ඇපල් ගෙඩියක්වත් ණයට නං දෙන්න බැහැ“ කියලා. හහ්..හහ්..හා. දැං මට පුළුවන් ඒ ගෑනිට එක ඇපල් ගෙඩියක් නෙමෙයි ඇපල් ගෙඩි දහයක්ම දෙන්න.. නෑ ඕන නං ඇපල් ගෝනියක්ම උනත්.. ඔව්..මට දැං හරි සන්තෝසයි. මට ඉවසුම් නෑ මේ ගෑනිට පාඩමක් උගන්නන කං.. හහ් හහ් හා.“ මෙහෙම කියන ගමන් හාමිනේ මහා සද්දේට අපේ උන්දැට “උම්මා“ කියල හාදුවක් දුන්නා.

“අන්න හරි.. බෙල්ල ගැලවුනත් සන්තෝසනේ ඉන්නේ.. නියමයි. අන්න ඒකයි අපි ඔහේලට සල්ලි දෙන්නේ“ ඉංගිරිසි කාරයෝ දෙන්නා  ඇස් උඩ තියං එක පාරට කිව්වා. 

ඇති පදං ගෙදර උන්දැගෙන් බැනුම් පිට බැනුම් අසාවි යැයි සිතා සිටියත්, ඒ වෙනුවට බෝම ආදරෙන් හාදු ලැබුණු අපේ උන්දැට රත්තරං කාසි හොන්ඩරයක්ම ලැබුනා ඉංගිරිසි කාරයොන්ගෙන්.

ඔව්.. දැක්ක නේ ඒකට වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන හැමදේම හරි යැයි බිරිඳ සිතනවා නං ඒක තමා වටින්නේ.

ඉතිං කතාව ඇහුවා නේ. මං කිව්වේ.. මම මේ කතාව ඇහුවේ මං පුංචි සන්දියේ. ඉතිං ඔන්න ඔය අයත් මේ කතාව දැං දන්නවා. මේකත් දන්නවනේ “අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen
What the Old man does is always right

ප.ලි. - ඇපල් ටික වේලගන්න උදව් කරේ අපේ හැන්රියා තමා.. ඉතිං.