Friday, November 6, 2015

කෙටි කවි!! (කම්මැලි කමට)

1
ප්‍රමාද ද වූ කාර්යාල සේවකයා

නගර ගානේ
වෙලාව බෙදන
කෝච්චිය
මට දුන්නේ
එපාම කරපු
වෙලාවක්


2
සුද්දය

හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට

කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී 
හොද හැටියට


3
පැණි තිබ්බම කරදරේ

ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ 
කරදරේ


4
මිනිස්සු

හීන් හඩ
පුදුම ඔබරිය
හරිම කරුණාව
ඔපිසියට...
ගෙදරට..??? 


5
ඇම ගිලීම

කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න

Friday, October 23, 2015

ලේඛකයා!!

සම්පුර්ණයෙන් අඳුරෙන් පිරී ඇති කුඩා කාමරය තුල අලුත් පොත් හා පැරණි පොත් පුසුඹ මුසු වීමෙන් එහි වාතාශ්‍රය අමුතුම ආකාරයේ විඳිමක් බවට පත් කර ඇත. කාමරය පුරා බිත්ති දිගේ තබා ඇති පොත් රාක්ක තුනක එකතුවක් ලෙස බිම් මට්ටමේ සිට අඩි පහක් පමණ උසක් වැසෙන සේ අසුරා ඇති පොත් ප්‍රමාණය අඩුම වශයෙන් දෙදහසක් පමණවත් වනු ඇතැයි අනුමාන කළ හැක. කාමරය මැද්දට ආසන්නයෙන් කුඩා ලී මේසයක් ඇත. එම මේසයේ හතර කොනම සුමට අයුරින් තබා ඇත්තේ කාමරය භාවිතා කරන්නාගේ නොසැලිකිලිමත් ගමණකදී ජනනේද්‍රිය ප්‍රෙද්ශයට දැඩි බලපෑමක් ඇති නොවන අයුරින්ය. මේසය එක් පසෙකින් ඇති සාමාන්‍ය ලී ඇදි පුටුවෙහි වර්ණය බොහෝ සේ දුර්වර්ණ වී ඇත. අලුත ගෙනෙන විට එහි තිබු දිස්නය හෝ පොලිෂ් සුවඳ දැන් කිසිදු අයුරකින් විරාජමාන නොවේ. පුටුව ඉදිරිපස ඇති මේසයේ යට දාරය පුරා කාලයක් තිස්සේ තැන්පත් වූ ඉටි වැනි යමක් නිසා දැඩි ලෙස කළු ගැහී ඇති අතර, ඒ අපගේ කතා නායකයා දවස මුලුල්ලේ තම නහයෙන්, ඔළුවෙන්, ඇගිල්ලෙන් ගෙන ඉවත් කරන නොවැදගත් දේ නිසාය. වැල් පුටුවේ මුදුනත ඔහුගේ ඔළුව ගැටෙනා තැන තනි කළු පාටින් අඳුරු වී ඇත. පුටුවේ අත් වාරු මතද තැනින් තැන කළු පැහැ ගැන්වී ඇති අතර, මේස යට දාරයේ තිබෙන අයුරින්ම තවත් ඉටි තට්ටු පුටුවේ අත් රදවනය කොනින් යට දෙපැත්තේද එකී ආකාරයටම ඇත. කිසිදා වෙනස් නොවනා, කිසිවෙකු අත පත නොගාන ඔහුගේ එකම සන්තකය මේ කාමරය තුල සිර වී ඇති සේය.

දවසින් වැඩිම කාලයක් මේ කාමරය තුල ගත කරන අපගේ කතා නායකයා ලේඛකයෙකි. විචාරකයන් විසින් හදුන්වා දෙන පරිදි කෘතහස්ත ලේඛකයෙකි. නමුදු අපගේ ලේඛකයා එම විචාරයන්ගෙන් නොසැලී තව තවත් ඔප් නැංවූ පොත් පත් ලිවීමෙ කාර්යයෙහි නිදි වරා යෙදෙමින් සිටියි. විචාරක ප්‍රේමය කෙසේ වෙතත්, පාඨක ප්‍රේමය නම් ඔහුට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව ඔහු කිසිවෙකුටත් කියා නොමැත. මුග්ධ විචාරකයන් පවා නයිටින්ගේල් කුරුල්ලන් මෙන් ඔහුට ප්‍රශස්ති ගී ගයා ඇත. එහෙත් පොතක් ප්‍රකාශයට පත් කරවා ගැනීම සදහා තමාගේ ප්‍රකාශකයා වෙත යන හැමදාකම ලේඛකයා අගුටුමිටිටෙකු වී ප්‍රකාශකයා යෝධයෙකු මෙන් ඔහුට හිරිහැර කරනා බව දන්නේ ඔහුම පමණි.

“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා. ගිය පාර පොතෙන් ගහපු කොපි දාහෙන් අඩුගාන පන්සියක් වත් තාම විකිණිලා නෑ.“

“මං මොනවා කරන්නද ඉතිං.. මට පුලුවනෑ අඩල දොඩල පොත් විකුණන්න“

“දැං ගිය පාර කොපි සීයක් මහත්තයා ගත්තා. පුස්තකාල වලටය කියල තව තිහක් දුන්නා. පොත පිට කරපු දවසේ යන්තං පොත් අසූ පහක් ද කොහේද නේ ගියේ. දාපු පොත් වලින් පවා තාම ඇවිල්ල තියෙන්නේ සුළු ගාණයි.“

“හරි.. මං ඔහේගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.“

“ඒක වෙනම කාරණයක් නේ මහත්තයෝ... මේකයි.. බොරුවට සල්ලි යට කරල අවුරුදු ගානක් බලං ඉන්න මට බෑ.. මං මහත්තයට මේ උදව් කරන්නෙත් මහත්තයා මොන දේ උනත් මං ගාවට එන නිසා. අනික ඔය පත්තර වල මහත්තයගේ පොත් ගැන වර්ණනා ගියාට මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“

නෑසු කන්ව සිටිය යුතුදැයි, නැතහොත් යමක් කිව යුතුදැයි නිනව්වක් නොමැතිව ලේඛකයා ඔහු දිහාම ඇස් නොසෙල්වා බලා සිටියේය. තත්පර තිහක හතලිහක මෙම නාඩගම දුටුවේ නම් ශෂිකා නිසංසලා ගයන අලුත්ම ගීතයේ එකම පදය “මා ඇසි පිහි නොහෙලා බැලුවා ඔබ දෑස දිහා“ ලෙස වෙනස් කරන්නට පවා එහි රචකයා කටයුතු කරනු ඇත. මේසය මත තිබු අත් පිටපත තමා වෙතට ඇදගත් ලේඛකයා මහා බරක් මෙන් එය කිහිල්ලට ගෙන නැවත යාමට හැරුණි.

“වීරතුංග මහත්තයා.. අමනාප වෙන්න එපා.. අපි තව ටික දවසකින් බලමු“

“නෑ කිසි අමනාපයක් නෑ. මං ගොහින් එන්නං“

“මහත්තයා. රුපියල් දාහක් විතර දෙන්නද? පස්සේ කපා ගන්න“

“නෑ ඕනි නෑ... මං යන්නං“


වීරතුංග මහතාගේ මනසෙහි ගොර ගොරය දැඩි වන්නට ගත්තෙ පොත් සාප්පුවෙන් එළියට බට කල්හිය. සීතල වී තිබු කුටියෙන් එපිට අව් රස්මිය එක වරම ගතට දැනීමෙන් ඔහුගේ රෝම කූපයන් වේදනාවට පත් විය. රෝම කූප පරායා යමින් සමෙහි ක්ෂුද්‍ර සිදුරු හරහා හෝස් ගා එක් වරම සිරුරට ඇතුල් වූ රස්නයෙන් විපරිත වී ගිය සිරුර පරදා ඔහුගේ සිතද උණුසුමකට ලක්ව ඇති සේය. ප්‍රශ්නය පටන් ගන්නේ මේ මොහොතේ බව ඔහුට හැගෙන්නට විය. වසර ගණකාවක් නොඒසේ නම් දශකයක් පමණ කාලයක් තිස්සේ තමාගේ පොත් ප්‍රකාශයට පත් කළ ඒ තක්කඩියා මෙපමණ කලක් තමන් රවටා ඇති බව ඔහු දැන සිටියට, අලුත් පොත භාර ගැනීමට නොහැකි යැයි කිසිදු දිනෙක පවසනු ඇතැයි ඔහුගේ සිතෙහි අබමල් රේණුවක පමණින් වන් කුකුසක් නොතිබුණි. එක් වරම කඩා පාත් වූ මේ හෙණය කුමක්දැයිඑයින් ගොඩ වන්නේ කෙසේ දැයි ඔහුට නිනව් නැති විය. අවට පරිසරය උණුසුම් කරමින් හිරු රශ්මිය කාපට් කරන ලද මහා මාර්ගයේ වැදි තමා දෙසටම පරාවර්තනය වී එහි ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

ප.ලි. - මේක පතරංග ජාතකයක් තරං දික් වෙන්න තිබුන කතාවක්.. ලියන්න කම්මැලියි .අදහස් නෑ. නිදහස් නෑ.. ලියපු ටික අතෑරියා..

යෝජිත අවසානය.. (01)

කොන්දොස්තර ළමයාගේ කෑ ගැසීම එක වරම දැඩි වුයෙන් වීරතුංග මහත්තයා දෑස් විවර කර බැලුවේ හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි . කුඩා කරගත් දෑස විසල් නොකරම කන්නාඩිකුට්ටම නාසයේ ඉහල දාරය මත රැඳවූ ඔහු වටපිට බැලුවේ මේ කොතනදැයි හරියටම දැනගනු පිණිසය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ... පාර දෙපස යෝධ ධජ පතක වලින් අලංකාර වූ සැණකෙළි සිරිය දෙස ඔහු බැලුවේ උදාසීන මනස සහ මසැස ඒකාත්මික කරමිනි ...

අත් අල්ලාගත් පෙම්වතුන් , කිචි බිචි ගාමින් රංචු ගැහුණු කුඩා දැරිවියන් ..මව් පියන්ගේ අතේ එල්ලුණු කුඩා දරුවන් ... උනන්දුවෙන් මෙන් ඇදෙමින් තිබුනේ ඒ ප්‍රතාපවත් යෝධ ශාලාව දෙසටය .

" සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි . 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නම් පුවරුව යටින් කුහුඹු රැලක් මෙන් දෙපසටම ඇදෙන ජන ගංගාව දෙස වීරතුංග මහතා හිස් බැල්මෙන් බලා සිටියේය. 

"“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා.,මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“" පොත් ප්‍රකාශකයාගේ වදන් නැවත සවනතර රැව් පිළිරැව් දෙයි ..

ඔය බී එම් අයිසී එච් නැග්ග අය සල්ලි ගන්න .. හරි යං හරී......ගලන ජන ගගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය .. 


(ඉවාන් පව්ලුෂා - උඹේ තත්පර ගානක මහන්සියක ප්‍රතිභාව ගැන මට කඳුළු අතරින් හිනාවක් ආවා බං අම්මපයි)


යෝජිත අවසානය (02)

ගෙදරට ගොඩ වූ සැනින් වෙනදා මෙන් සිය අඳුරු කාමරයට ගොඩ නොවූ ලේඛකයා ඉස්තෝප්පුවේ ඉඳගෙනම පාලු වී ගිය ඇනෙක්සිය දෙස මද වෙලාවක් බලා සිටියේය. නීතා ජීවත්ව සිටි කාලයේ මේ අනෙක්සියෙන් ලැබුණ කුලියෙනුත් මැහුම් ගෙතුම් වැඩ වලිනුත් ගෙදර වියදමත් තම ගමන් බිමන් ලියකියවිලි ගාස්තුත් සියල්ල පිරිමසා ගත් හැටි සිහිපත්ව ඔහුට හීල්ලුනේය. ඒ කාලේ පොත් ප්‍රකාශකයෙක් ලඟට වුනත් තමන් ගොඩ වුනේ මීට වඩා ආත්ම විශ්වාසයකින් හා පෞරුෂයකින් බව ඔහුට නිශ්චිත විය . එකෙනෙහිම ඔහුට සිහිපත් වුයේ කන්කරච්චලය වැඩි යැයි කියා මාස ගණනකට පෙර එළවාගත් දරුපවුලේ මෙන්ම අද පොත් ප්‍රදර්ශනය බලන්නට පැමිණ සිටි දරුපවුල්වලත් ජීවිත තමන්ට මග හැරී ඇති බවකි. නරුම අසුබවාදී ලේඛනවල දැවටී දැවටී අර මූසල කාමරයට වී සිටීම මොන තරම් මුග්ධ කමක්දැයි වීරතුංග නම් මහා ලේඛකයා මුල්වරට හිතන්නට පටන් ගත්තේය. ඊට සමාන්තරව පාරේ යනෙන වාහනවල නලා හඬ පරදා අසල්වැසි ගෙවල මිදුලෙන් ඇසුණු පොඩි වුන්ගේ සිනා හඬ මෙන්ම සයානාගාරවලින් ඇසුණු අඹු සැමියන්ගේ මුණු මුනුව පවා ඔහුට ඇසෙන්නටත් දැනෙන්නටත් පටන් ගත්තේය.

ප්‍රතික්ෂේප වූ අත් පිටපතට ප්‍රාණවත් ජීවිතය ඔබ්බවා අලුතින් ලියන්නටත් වඩා හොඳ ප්‍රකාශකයෙකු හොයාගෙන යන්නටත් තරම් ඔහුගේ හිතට දිරියක් ඇති වී තිබිණි. කල්පනාව අස්සේම කැබිනට් ලාච්චුව අත ගෑ ඔහුට ඇනෙක්සිය කුලියට දෙන දැන්වීම පත්තරේට දමන්නට තරම් මුදලක්ද තවත් අමතර සිල්ලර ගණනක්ද හොයාගන්නට පුළුවන් විය. එසේ ඉතිරි මුදල් හා කාසි ටික ගනිද්දී බීර බෝතලයක අලුත් මිල ගැන අදහසක් නැති වීම ගැන ඔහු අවන්කවම කණගාටු වුනේය .


තිලක සිත (ඒකේ අන්තම වාක්‍යය නං ඉස්තරම්මයි)


යෝජිත අවසානය (03)
වීරතුංග තීරණයකට එලැබිනි...

හැමදාම එක එකාට නෝන්ඩි වෙන්න බෑ... ජනතාවට ලිය ලිය ඉඳලා හරියන්නෙත් නෑ...

වීරතුංගට මීට ටික කළෙකට පෙර අහම්බෙන් හමු වූ ඇමතිවරයා කී දෙය මතකයට නැඟුනි....

වීරතුංග මහත්තයා... ඔබ තුමා කැමති නම් මට පුළුවන් මගේ ජනමාධ්‍ය ඒකකයේ රැකියාවක් දෙන්න.. එහෙම නැත්නම් අමාත්‍යංශයේ මොකක් හරි සෙට් කරලා දෙන්නම්....

බොහෝම ස්තූතියි ඇමතිතුමා.... ඒ උනාට ඇමති තුමා ඔබ තූමාටත් හොඬටම කැපිලි කෙටිලි නේද...? මේවා ඔබ තුමත් අමාරුවේ වැටෙන වැඩ..

කමක් නෑ මහත්තයා කල්පනා කරලා බලන්නකෝ... ඕන වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න...

මේ සැරේ සාහිත්‍ය උළෙලට ජනාධිපති තුමත් එනවා කියන්නේ වීරේ..

ඒකත් එහෙමද... මම එතුමව ඇමති කාළේ නම් හම්බ වෙලා තියෙනවා... බොහොම නිහතමානී මනුස්සයා...

එහෙනම් ඉතින් නොවරදවාම උත්සවේට යමු... වීරෙත් බොහෝම අමාරුවෙන් නේ මේ දවස්වල ඉන්නේ..

ඒක තමයි.. එතුමට කතා කරන්න හම්බ උනොත් උපකාරයක් ගන්න බැරි වෙන එකක් නෑ..


මාතලං (වීරතුංග එන පොට හරි නෑ. .හැක්. ස්තුතියි මාතේ)


යෝජිත අවසානය (04)

වීරතුංගට එක් වරම තද බඩගින්නක් දැණුනි. උදේ සිට කිසිවක් කා නොතිබුණු බව ඔහුට මතක් වූයේ එවිටය. කැරකැවිල්ලක් සේ දැණුනු බැවින් අසල තිබූ විදුලි කුළුනක බරදී මොහොතක් කල්පනා කරන්නට විය. "මොකද සර් සනීප නැහැ වගේ නේද?" යයි කවුදෝ අසන හඬක් ඔහු යළිත් පියවි ලොවට ගෙනාවේය. හැරී බලනවිට එහි සිටියේ පියකරු සිනහවකින් පිරි කඩල විකුණන්නෙකි."ඔව් පොඩි කැරකිල්ලක් ආවා" යැයි පිළිතුරක් දී කීයද ඔය කඩල ගොට්ටක් යැයි ඇසුවේ බඩගින්නට කඩල ටිකක් කෑමත් හොඳ බැවිනි. වෙනදා වීරතුංග කඩල කරුවන් දැක තිබුණේ හවස් යාමයේය. මොහෝවිට වීරතුංග කඩල ගන්නේ හවසට මදු විතට හොඳම බයිට් එකක් බැව් අත්දැකීමේන් දන්න නිසාය. මෙ මහ දවල් කඩල ගන්නා මිනිසුන් ඉන්නවාදැයි අසන්නට සිතුනත් ඔහු මුවින් නොබැන සිටියේ කවුරුත් ගන් නැතිනම් මොහු කඩල කරත්තයක් තල්ලු කරගෙන නොයන බව වටහා ගැනීමෙනි.

ඉක්මනිනම ගිල දැමූ කඩල ටික ඔහුට දැණුනේ දිව්‍යභෝජනයකින් සප්පායම් වූවාක් මෙනි. අසල වූ බංකුවක හිඳගත් ඔහු කඩල ඔතා තිබූ කොළය දිහා බැලුවේ එහි ලියා තිබූ මුතු කැට වැනි අකුරු නිසාය. වෙලඳ කළමනාකරණය කරන අයකුගේ සටහන් කොලයක් යැයි සිතුනේ එහි ලියා තිබූ පාරිභෝගික නැඹුරුවීම හෙවත් Customer Orientation ගැන ලියා තිබූ දෙයකි. කොලය අසල ඇති කානුවකට විසිකර දැමූ වීරතුංග ඔහු ලියනා දෙය ඔහුගේ පාරිභෝගිකයන් වන පාඨකයන් නොකියවන්නේ මන්දැයි සිතන්නට විය.

පෝටිකෝවේ නැවතුනු නවීනතම මර්සිඩීස් බෙන්ස් E300 රථයෙන් බැස ඔහු වෙත දිව ආවේ දැන් ජාත්‍යන්තර පාසැලක ඉගෙනගන්නා වීරතුංගගේ දහතුන් වියැති දියණියයි. ඔහු ලියනා දේ දුව දකීවි යන බියෙන් ලැප්ටොප් එක වසා දැමූ ඔහු ඇයට හාද්දක් දුන්නේය. වසර තුනකට හතරකට පෙර ඔහුගේ අසාව වූයේ දියණියත් ඔහුගේ අඩිපාරේ විත් සම්මානනීය ලේඛකයෙකු වෙනු ඇත කියාය. එදා කඩල කොළයෙන් පාරිභෝගික නැඹුරුව ගැන සිතා මල් පත්තර වලට කථා ලිවූ වීරතුංග එවැනි පත්තර දෙකකම හිමිකරුවෙකි. අද ඔහුගේ හිතට දිවා රෑ වදදෙන ප්‍රශ්ණයනම් දියණිය ඔහුගේ අලුත් ලියවීම් ගැන දැනගත්දාට ඇය තම පියා ගැන කුමක් සිතනු ඇත්ද යන්නයි. ලාච්චුව හැර ලොව වටා මාසයක සංචාරයට ගත් ටිකට් පත් දෙක අතට ගත් වීරතුංග දුව සොයා ගියේ ඒවා දියණියට පෙන්නා ඇය සතුටෙන් ඉපිලයනු දැකීමට ඇතිවුන ආසාව නිසාය. 


ඉයන් (අන්න වීරතුංගට මොලේ ඇවිත්.. හැක්)

යෝජිත අවසානය (05)

අච්චු කන්තෝරුවේදී තමන් විසින්ම ව්‍යාජයෙන් කල් දමන ලද පසුතැවිල්ල හා අහිමිවීම ඔහු හඹා පැමිණ මුහුණට මුණ ගැසුනේ පාර අයිනේ වූ මාර ගස් සෙවනේදීය. මෙතැන් සිට දවසේ ඉතිරි පැය කීපය, මාසයේ ඉතිරි දින කීපය සේම අවුරුද්දේ ඉතිරි මාස කීපයද ඔහුගේ වම් පස මාර්ගයේ වේගයෙන් තමා වෙත ඇදෙනු ඔහු බලා සිටියේ භීතියෙනි. පසුතැවිල්ල හා අහිමිවීම තම දෙකොපුල් දෙපසින් නැගී දෙලවන් දවමින් හිස කරා නැගෙනු ඔහුට හොඳ හැටි දැනුනේය. ඒ දුර්මුඛ භාවය මග යනෙන්නන්ගෙන් වසන් කලද, තමා එන තෙක් මග බලා හිඳින දීපිකාගෙන් වසන් කරනා මගක් සොයමින් හේ සිය දෑස් අවට සිසාරා යොමු කලේය. ඉදිරි පැය, දින, මාස නොකඩවා දෙපසින්ම ඔහු කරා එළඹෙනු දුටු ඔහුට කළාතුරකින් කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතක අධි වේගයෙන් පැමිණෙන විනාඩියක්, තත්පරයක් ඉදිරිපිටට පැන සිය දිවි නහගන්නට පවා සිත්විය.

ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය. යලි මවගේ අත අතැර පාර අයිනේ වැටී තිබූ වර්ණවත් යමක් අහුලන්නට යත්න දරන්නීය. එවිට ඇගේ එක් අතකින් අල්ලා පරඬැලක් මෙන් ඇදගන්නා මව මොනවාදෝ වදන් වැලක් හඬ නගා පවසන්නීය. දැරිය නෝක්කාඩු මුහුණක් මවාගෙන තරමක් දුරට ඇදි ඇදී අවුදින් යළිත් සිය මව වැළඳ ගන්නීය.
දින ගණනක් පුරා ‘කින්ඩර් ජෝයි‘ ඉල්ලනා ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු ඈ කෙරෙන් දුටුවේය. පොත් මේසයටත් වඩා දශක කීපයක් පැරණි එකම අල්මාරියේ ඇති එකම ලාච්චුව තුල කොනට වෙන්නට ගුලි ගැසී සැඟවුණු මදටිය පාට, නිල්පාට කොළ කැබලි ඇයගේ සිහිනය සැබෑ කරන්නට කිසිසේත් මදි බව ඔහුත් දීපිකාත් මැනවින් පසක් කර සිටියෝය. 
“දවාලට උයන්න විතරයි හාල් තියෙන්නෙ. ආතගෙ කඩෙන් හාල් පොඩ්ඩක් ගේන්නද මං ණයටවත්?“ 
උදෑසන තමන් නගරයට යන්නට සැරසෙද්දී, කාමරයේ පඬු පැහැ ගැහුණු දොර රෙද්ද මෑත් කර උළුවස්සට හේත්තු වූ දීපිකා එසේ අසද්දී,
“ආනෙ අම්මෙ කින්ඩජෝයි එකකුත්....“ කියමින් ඇයගේ බඳ වටා දැවටුණු ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු මේ සිඟිත්තියගෙන් මනාව දුටුවේය. 

තුන් රෝද රියකට අඬගසා එයට නැගුණු ඔහු තමන් යා යුතු තැන මේ යැයි කෙඳිරි ගෑවේ රියදුරුට පමණක් ඇසෙන්නටය. අඩ හෝරාවක් හෝ එවැනි කාලයකට පසු හෙතෙම රියදුරුට මදක් රැඳෙන ලෙස පවසා පොත් ප්‍රකාශකයා ඉදිරිපිට පෙන්වූ ආත්මාභිමානය රිය තුලම තබා අසල වූ පොත් කඩයකට රිංගුවේ ගැරඬියෙක් සේ හිස මදක් ඔසවා නාම පුවරුව දෙස දෙවරක් බලමිනි. 
“අම්මට උඩු! වීරතුංග මහත්තයා...ඉතිං ඉතිං... කොයිබෙයි මේ?“
“මුදලාලි, පොඩි හදිසියකට අවේ. උදව්වක් ඉල්ලගන්න.“
“මහත්තයෝ, සල්ලි ඇර ඕනි උදව්වක්...මේ දවස්වල බිස්නස් අන්තිමයිනේ...“
“නෑ...මේකයි. අපේ දුවට මේ ටිකේම උණ. කන්න බෑ කිසිම දෙයක්. වමනෙත් යනවා. ළමයා හොඳටම දුර්වල වෙලා. පාමසියෙන් ගන්න බේත් වගයක් තියෙනවා ටිකක් ගණන්. මුදලාලි මට තරහා නැතිව රුපියල් දෙදාහක් දෙන්න. මගේ අළුත් පොත .......... බාරගත්තනෙ. ඇඩ්වාන්ස් ගන්න අනිද්දට එන්න කිව්වා. ඒක ගත්තු ගමන් ගෙනත් දෙන්නං. ඕනිනං පොලියකුත් ගත්තට කමක් නෑ.“
“ළමයෙක්ගෙ අසනීපෙකට බේත් ගන්න පොළියට සල්ලි දෙන්නෙ මොකාද මහත්තයො. ම්... එහෙනං නොවැරදීම අනිද්දට ගෙනත් දෙන්න. ආ..... පුළුවන් කමකට නෙමේ. මේ දවස්වල බිස්නස් අන්තිමයි“.
“අනේ....පිං සිද්ද වෙනවා! ලොකු දෙයක්! මම අනිද්දට නොවැරදීම... නොවැරදීම ගෙනත් දෙන්නං“
අනේක වාරයක් පින් දුන් වීරතුංග නැවත රියට නැගී තම නිවස පිහිටි ඉසව්ව කෙඳිරීය. 

නිවසට හැරෙන හන්දිය පෙනි පෙනී වම් පසට පහලට විහිදුනු පාරට හරවන ලෙස අණකල හෙතෙම එම කෙටි පාර අගිස්සේ වූ අවන්හල අසලින් බැස රියදුරු තැනට කොළපාට මුදල් නෝට්ටුවක් දිගු කලේ තමා අසල අසුන්ගෙන සිටි ආත්මාභිමානය අනෙක් අතින් ගනිමිනි.


(මදාවියා - මට හිතෙන්නේ වීරතුංග පශ්චත්තාපයෙන් විඳවන්න හදනවා කියලයි.. උඹටත් හොද හැටියට මාගල් අතාරින්න ඇහැකි නේ බං.. හැක්.. ස්තුතියි මධු)


යෝජිත අවසානය (06)

ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

* * * 

ප්‍රවීන ලේඛක වීරතුංග ඉදිරිපස දොරෙන් පිටත්ව පදික වේදිකාවේ නොපෙනී යනතුරුම සීසීටීටී තිරයෙන් බලා සිටි සම්මානනීය පොත් ප්‍රකාශක කලාමාන්‍ය ධනියගෝපාල තම මේසය අසල තිබූ දුරකතනයෙන් අභ්‍යන්තර අංකයක් ඇමතුවේය.

සුජී, අර වීරතුංග මාස්ටර් ගේ පොත්වල සේල් කොහොමද?

හොඳට යනවා සර්්, අර අලුත්ම පොතේ අපි ගහපු දෙවෙනි මුද්‍රණයත් මේ පාර පොත් ප්‍රදර්ශණයේ දී ඉවර වෙන්නම විකුණුුනා. 

එහෙනං ප්‍රෙස් එකට කියන්න තව දෙදාහක් ගහන්ණ කියලා. හැබැයි ප්ලේට් වෙනස් කරන්න එපා. පළමු මුද්‍රණයේ ප්ලේට්ම පාවිච්චි කරන්න කියන්න.

හොඳයි සර්.

සුජී ඔය ෆොන් එක දෙන්න චංචලාට.

හොඳයි සර්.

* * * 

සර්?

චංචලා මට හොඳ උණු තේ කෝපපයක් ගෙන්න. මේ ඒ.සී. එක හරිම සීතල වැඩියි.


රසිකොලොජිස්ට් (ෂිහ්.. චාමරත් ආව නං හරි.. හැක්.. බෙහෙවින්ම ස්තුතියි රසික)


යෝජිත අවසානය (07)

ලේඛකයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. විකුණන්න බෑ..... ඉල්ලන්නෙ නෑ..... ඉල්ලුම.... සැපයුම.... ආර්ථිය..... කලාව..... සාහිත්‍ය..... කිරිපිටි....... හාල්...... කොපි පොත්...... ටියුෂන්......

මිලි තත්පරයකට තලයන් එක බැගින් වූ විවිධ දර්ශනයන් ඔහුගේ දෑසට දර්ශනය වී අන්තර්ධානය වන්නට විය......

"කොහේද %$$^3% යන්නෙ! අපිටත් පවු දෙන්න" 

තුන්සක රියකින් මතුවූ හිසක් තුලින් ඇසෙන්නට විය. පාරේ මධ්‍යයට ආසන්න වී සිටි ලේඛකයා පියවි ලොවට එලඹිනි.

 
හොරෙන්ම නිවසට ඇතුළු වූ ඔහු කාමරයට වැදී සෙමෙන් දොර වසාගත්තේය. වසර හතලිස් ගණනක් ලේඛණයෙන් උපයාගත් ආර්ථික වටිනාකමක් නැති, සම්මාන-කුසලතා-සහතික ඔහුට විරිත්තන්නාක් සේය. යාන්ත්‍රිකව මෙන් පුටුවට වැටුනු ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බලා සිටින්නේ මහල්ලා සහ මුහුද පොත් කවරයේ සිටින අර්නස්ට් හෙමිංවේය.

"ඉඳල වැඩක් නෑ..... වෙඩි තියාගනිං.... ඔලුවටම! ඔලුවටම තියාගනිං.... විඳවන්න ඕන නෑ! හරියට මං කලා වගේම....."

"ඔව්! වෙන කරන්න දෙයක් නෑ..... පුච්චලදානව මේ ඔක්කොම..... ඊට පස්සෙ මම නිදහස්..... නිදහස්..... නෑ නෑ පුච්චන්න ඕන නෑ.... ඊට කලින්....." 

ලේඛකයාගේ ඇස ගැටුනේ බිත්තියේ කෙලවරට වන්නට පිහිටි රාක්ක දෙක එක්කොට බැඳ තිබූ තංගුස් ලණුවයි. සෙමෙන් එය ලිහාගත් ඔහු අසල තිබූ බාල්කයේ ගැටගසන්නට විය. ගෙතුලින් අපැහැදිලි හඬ කිහිපයක් නැගිනි.... 

"හරි හෙට දෙන්නං.... තාත්ත ඇඩ්වාන්ස් එකක් අරං එයිනෙ....."

ලේඛකයාගේ උගුර සිරවනු දැනිනි. බාල්කයේ ගැටගැසූ ලණුව අල්ලාගත් ඔහු කල්පනාවට වැටිනි. 

"වීරතුංග මහත්තයල අපිට කිසි සපෝට් එකක් නෑනේ..... එන්නකො අපිත් එක්ක වැඩ කරන්න..... ඔය පොතක් දෙකක් පාසල් විශය නිර්දේශයටත් දාගත්ත නං ඒකම ඇතිනේ..... ඕන නං පොතක් ගහන්න ඕනවුනාම මෙහෙං ගහගන්න බැරිය......" 

අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී සංස්කෘතික ඇමතිවරයා හා කල අල්ලාප සල්ලාපය ඔහුට සිහි වන්නට විය.

"වීරතුංග මහත්තයා උදව්වක් ඕන නං කතා කරන්න කරදර වෙන්න එපා, මෙන්න කාඩ් එක.....කෙලිංම මට කතා කරන්න....."

ලණුව ලිහා දැමූ ඔහු මේස මත තිබූ නාම පත් ගොඩ අවුස්සන්නට විය.



නවාතැනේ රාජ් (උඹත් මාතලං වගේ අවසානය දේශපාලන දෘෂ්ඨියකට ගෙනාවා.. ස්තුතියි රාජ් මහන්සියට හා කාලය වෙනුවෙන්)



යෝජිත අවසානය (08)


හදිසියේම නිවසට යාමේ සිතුවිල්ල වෙනස් කල ඔහු නව ජවයක් ලැබුවාක් මෙන් නගරයේ රික්ෂෝ ගාල වෙත පිය මැන්නේය..

"ආ .. වීරතුංග මහත්තයනේ.. එන්න එන්න"

ඔහුව දුටුවනම ටැක්සි රියදුරන් හඳුනා ගත්තේ ඔහු රටේ ජනප්‍රිය ලේඛකයෙකු වූ නිසාවෙනි.. මුවින් නොබිණු වීරතුංග මහතා ටැක්සියකට ගොඩ විය.

"කොහෙටද මහත්තයා ?"

- "බේකර් විදියට"

ටක්සිකරුගේ දෙනෙත් විසල් වුයේ යමෙකු බේකර් විදියට යන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ එහි වෙසෙන විශේෂිත පුද්ගලයා හමු වීමට බව සක් සුදක් සේ දන්නා නිසාවෙනි..

ඔව් සත්‍ය වශයෙන්ම වීරතුංග මහතාට අවශ්‍ය වුවේද බේකර් විදියේ වෙසෙන ඒ විශේෂිත පුද්ගලයා, ෂර්ලොක් හෝම්ස් මහතා මුණ ගැසී තමන්ගේ උසස් කෘති නොවිකිනිමේ අභිරහස විසඳා ගැනීමටයි..

-----
වීරතුංග මහතාට ශරලොක් හෝම්ස් මුණ ගැසේවිද ?
ඔහුගේ අභිරහස කෙසේ විසදේවිද ?

ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

Yasith.Net (හේ හේ. කාලෙකින් ආව උනත් බොටත් අවසානයක් දෙන්න හිතුන එකම මදෑ.. හැක්.. ස්තුතියි යසියා)


යෝජිත අවසානය (09)

වීරතුංග යන තුරු බලාසිට ප්‍රකාශකයා වහා දුරකතන ඇමතුමක් ගත්තේය.

****
ලංකාද්වීපයේ සිරි බුදුරැස් අසපුවේ විචිත්‍රවූද නන් වැදෑරුම් කුසුමින්ද පලතුරු පිරි තුරුවදුලෙන්ද මලින් මලට පියඹන මී මැසි හා සමනල යින්ගෙන්ද පිරි මහා අංගනයට අභිමුඛව නැගි මහ මන්දිරයේ ඇතුලු මහා ධර්මශාලාවේ මධ්‍යයේ තබා ඇති රනින් කල බඳු සීලිමේ එල්ලෙන දැවැන්ත පොකුරු පහනේ එළිය වැටී දිලිසෙන සිංහාසයනක් බඳු මහා ආසනයේ වැඩ සිටි කල්ප රහතන් වහන්සේගේ පශ්චාත්භාගය උණුසුම් වනු සංවේදීව සිය දිව්‍ය චක්ෂූෂය වහා මෙහෙයවා කුමන තැනක කිනම් මනුස ප්‍රාණියෙකුට විපතක්දැයි ව්පරම් කරන්නේ වීරතුංග නැමති මහා ප්‍රාඥයා රුපියල් කොල කීපයක් නිසා පීචංප්‍රාප්ත වීමට ඇති ඉඩ කඩ වහා ග්‍රහනය කොට වීරතුන්ගයානෝ ඉදිරිපිට පෙනී සිටියහ. 

හිමියනි ඔබ මෙහි වැඩියේ..?

වීරතුංගයානනි මට ඔබට කාරනාවක් කීමට ඇත, ඔබ නිසාම පැමිණියෙමි.
කල්ප හිමියෝ සිය මර්සිඩිස් රතය ගැන සිතුවා පමණි.
එය රථාචාර්යා සමගම ඉදිරියේ දක්නට ලැබුනි.

වීරතුංගයානනි, කරුණාකර නගින්න.

දෙදෙනාම පිටුපස අසුනට ගොඩ වූහ

වීරතුංගයානනි ඔබට මට කාරණාවක් කියන්නට තිබේ
මීට වසර බොහෝමයකට පෙර මාද ඔබ මෙන් ලේඛකයෙකි. එමෙන්ම මාද දන්නේ අනෙක් හැම දන්න බුද්ධාගමය. මා රහත් වෙන්නත් මාලිගාවල ජීවත් වෙන්නත් අනෙක් අය හිටිය විදියට ඉන්නත් හේතුව ඔබ සොයා බැලුවාද? මං දෙසන්නේ උපාසික උපාසිකාවන්ට ඕනෑ බණ මිස මට ඕනෑ බණ නොවේ.. 
මා ආ අනෙක් විශේෂ කාරනය මේකයි. 
ජනපති තුමා එවල තියෙනව ලැප් ටොප් එකකුයි, 
අලුත්ම ෆෝන් එකකුයි ඔබට දෙන්න කියල.
ඕනෑ වේලාවක එතුමාට කෙලින්ම කතාකරන්න පුලුවන් 
මේ හෑන්ඩ් ෆෝන් එකෙන්. බිල් ඔක්කොම ගෙවන්නේ එහෙන්. 

ඔබගේ එකවුන්ට් නොම්මරේ මට දෙන්න!



දයල් බතී (හැබෑටම මේක ඉන්ද්‍රජාලික යථාර්ථයක් ද බං.. ස්තුතියි දයාල්)

Tuesday, September 1, 2015

අම්මා!!

හුණ්ඩු තුන හතරක
පුසුඹ හමන සම්බා බත් හට්ටියද
කුරුඳු පොතු විසිරුවා
කට තෙත් වන අල බැදුමද
හැමදාම කා ඇතත්
තෙල් දැමු පරිප්පුද
ඊට සරිලන ලෙසින්
පොඩි කීරමින් බැදුමද
මතක් විය මහ දවල්

අව් රැල්ල හරියටම
ඔලුව උඩ ලගින කොට
බඩ පනුවෝ කෑගසා
ගෙදරටම ගෑටුවා

හොදට බත් පිණි එක්ක
දෙතුන් දෙන කඳු ගසා
බත් මුට්ටි හිස් කළා
මාළු පිණි මදි උනා
කාපු බඩ උස්සගෙන
රාම තෙල් අරින කොට
හිත ඇතුලේ සන්තෝසේ
ඔඩු දුවන්නම උනා..

පිපුන බඩ ගෙඩියකට
දිරවන්න ඕන විට
උණු වතුර ඩිංගකට
කුස්සියට ඇදුන දින
මිරිස් ගල පාමුලම
කළු ගැහුණු හිරමනේ
අඩලෙටම තියාගෙන
දංකොඩේ බත් එක්ක..
ඉතුරු හොදි ඩිංගකින්
අල බැදුම් භාජනේ
අම්මා බත් වළදද්දි
කාපු ටික වමාරා
බඩ හිස් කරන්නට

සිත් උනා මට එදා

ප. ලි.. - මේවා කවිද කියා ඇසීම තහනං. හැක්

Friday, August 14, 2015

නාකි සුල්තාන්! (Old Sultan)

එක ගොවියෙකුට හිටියා සුල්තාන් කියල ඔහුට ඉතාම ලැදි වයසට ගියපු බල්ලෙක්. මේ බල්ලගේ එක දතක් වත් නෑ කටේ, ඉතිං මෙලොව දෙයක් ඌට හරියට අල්ලගන්නවත් බෑ. එක දවසක් ගම හාමිනේත් එක්ක දොරකඩ ඉන්න වෙලාවක ගොවියා මෙහෙම කිව්වා.

“මං හෙට මේ නාකි සුල්තානය වෙඩි තියල මරල දානවා. ඒ යකාගෙන් දැන් කිසිම වැඩක් නෑ“

ඒත් වයසට ගියපු අහිංසක බලු තඩියා ගැන අනුකම්පාවක් ආපු ගොවි හාමිනේ මෙහෙම කිව්වා.

“අනේ ඉතිං උගේ තරුණ කාලේ ඌ අපි මත්තෙම නැහුන එකා. අනේ ඔන්න ඕකට පාඩුවේ ඉන්න දෙන්ට“

“මක්ක කිව්වා“ ගොවියා පුදුමෙන් වගේ කිව්වා.“ඔහේට මේවා තේරෙන්නෑ. ඒ යකාට එක දත් කෑල්ලවත් නැති එකේ හොරෙක්වත් මූට බය වෙයිද? දැං මූට යන්න කාලේ හරි. ඒකා කරපු සේවෙට හරියන්න අපි ඌට කන්න දුන්න එකම මදෑ“

ගෙට කිට්ටුවෙන්ම මිදුලේ දපල හිටිය සුල්තාන්ට මේක ඇහුනා බෝම පැහැදිලිවම. “අයියෝ එහෙනං මගේ ජිවිතේ අන්තිම දවස හෙටයි“ කියල හිතාගෙන ඌ දුකසේ බලා හිටියා. හැබැයි සුල්තාන්ට හිටියා හොද යාලුවෙක් ඌ වෘකයෙක්. සුල්තාන් හැන්දැ කරේ හෙමින් සීරුවේ කැලේ ඇතුලට වැදිල යාළුවා හමුවෙලා තමන්ට වෙන්ට යන නස්පැත්තිය අකුරක් නෑර විස්තර කළා. මේක අහල වෘකයා බෙරිහන් දෙන්න ගත්තා.

“පිස්සු.. මේ අහගන්නවා යාළුවා. ඉන්නවකො කොල්ලෙක් වගේ. මං තමුසෙට මේ මරාලෙන් ගැලවෙන්න උදව් කරන්නං. අහගන්නවා මට තියෙනවා හොද ප්ලෑනක්. තමුසෙගේ ලොක්කා, හාමිනේත් එක්ක හෙට උදෙන්ම පිදුරු ගෙන්න යනවා නේ.. ඉතිං දවල් කාලේ ගෙදර කව්රුත් නැති හින්දා පොඩි එකාවත් අරගෙන යනවා නේ. ඔය ගියාම පොඩි එකාව කොතන හරි පඳුරක් ගාව තියල තමුසෙවත් ඉන්දල නේ යන්නේ එතන. ඔන්න ඉතිං මං එනවා කැලෙන් එක පාරටම, ඇවිල්ල අර පොඩි එකාව ඩැහැගෙන යනවා. අන්න එතකොට තමුසේ ටාර් ගාලා මගේ පස්සෙන් පන්නනවා. ඊට පස්සේ තමුසේ මට ගැහුවම පොඩි එකා දාලා මම දුවනවා. අාන්න එතකොට තමුසේ පොඩි එකාවත් අරගෙන ආපහු යනවා ලොක්කා ගාවට. හරිද,.. ඔන්න බලනවා තමුසෙගේ හොද කාලේ ලබන්නේ. ආයි මොනාද සැපට කාලා බීලා කූල් එකේ ඉන්නයි තියෙන්නේ. ආයිත් නං ඉතිං තමුසෙට වෙඩි තියන්න හිතන එකක් නෑ තමුසෙගේ ලොක්කා. කොහොමද මගේ වැඩේ“

සුල්තාන් මේ සැලැස්මට බෝම සතුටු උනා.  හිතපු විදියට හැමදේම උනා. ගොයි මහත්තයා මරහඩ තලන්න ගත්තා වෘකයා පොඩි එකා අල්ලගන්න කොට. ඒත් නාකි සුල්තාන් ආයිත් පොඩි එකා බේරගෙන එන කොට ගොයි මහත්තයට සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා නාකි සුල්තාන්ව ආදරෙන් අතගාලා මෙහෙම කිව්වා. “ආයි මොන ජගතෙක්ටවත් මං උඹගේ මයිලක් වත් ගලවන්න ඉඩ තියන්නෑ. සත්තමයි. උඹ ජීවත් වෙලා ඉන්නකං මගෙන් කාලා හොදට හිටපං මගේ පැටියා.. හාමිනේ..දුවල ගිහිල්ලා අපේ සුල්තාන්ට පාං සුප් එකක් හදන්න. මොකද සුල්තාන්ට විකන්න බෑ නේ. ආ.. එන ගමන් මගේ කොට්ටෙත් අරන් එන්න. මං ඒක සුල්තාන්ට දෙනවා නිදාගන්න“

ඔන්න ඉතිං ඊට පස්සේ නාකි සුල්තාන් ඇත්තම සුල්තාන් කෙනෙක් වගේ ජීවත් උනා.

ඔය සිද්ධිය අහවර වෙලා යාළු වෘකයා ආවා සුල්තාන් හමු වෙන්න. “ආව් ආව්.. තමුසෙට හරි ගියා එහෙනං. හොදා හොදා. හැබැයි තමුසේ ඇහැ ගහගෙන ඉන්නවා. ඕං බලනවා මට චැන්ස් එකක් ලැබුන ගමන්ම මම උස්සනවා තමුසෙගෙ ලොක්ක ගාව ඉන්න තඩි බැටලුවා.. හැක් හැක්“

“තමුසේ ඒ ගැන හිතන්නවත් එපා“ සුල්තාන් උත්තර දුන්නා. “මම මගේ ලොක්කට විරුද්ධව තඹේක දෙයක් කරන්නෑ. ඕක කරන්න දෙන්න බෑ“

සුල්තාන් විහිලුවට මේක කියන්න ඇති කියල හිතාගෙන රෑ ජාමෙට වෘකයා කැලෙන් එළියට ඇවිත් ගොවිපලට වැදුනා. වැඩේ කියන්නේ සුල්තාන් කලින්ම මේ ගැන ගොවියට කියල තිබුනා නිසා රැකල හිටියා ගොවියා දඩයක්කාර වෘකයව අල්ලගෙන ඇති වෙනකං කසෙන් තැලුවා. හැබැයි එළවල දාන්න කලින් වෘකයා සුල්තාන්ට සද්දයක් දැම්මා. “අසමජ්ජාතියා. බලං හිටපං. මං උඹව සම්බුව දෙනවා.“


පහු වෙනිදා උදේ පාන්දරම සුල්තාන් හම්බ වෙන්න වෘකයගේ ඉල්ලීම පිට වල්ඌරා ආවා. මේ ප්‍රශ්නේ බේරුං කරගන්න කැලේට එන්න කියල තමා පණිවිඩේ දිල තිබුනේ. අනේ ඉතිං අපේ දුප්පත් සුල්තාන්ට කොහේද මේවට ගහ මරාගන්න යන්න හැඩි දැඩි අය. යන්තං හොයාගන්න පුලුවන් උනේ පූසෙක් විතරයි. ඒ මදිවට ඒකට කකුල් තුනක් විතරයි තියෙන්නේ. ඔය යන ගමන් කකුල් තුනේ පූසා වේදනාවෙන් කුන්දු ගහගෙන යනකොට වේදනාව වැඩි කමටම වලිගේ පුරු පුරු ගාලා පුම්බන්න ගත්තා.

කලින් ගිවිසගත්ත විදියට වෘකයයි එයාගේ යාලුවයි නියම තැන හිටියා. මෙහෙම බලන් ඉන්න කොට සුල්තාන් එනවා දුරදිම දැකල මුන් දෙන්න බය උනා. උන් හිතුවේ සුල්තාන් හොද වක් කඩුවක් වන වන එනවා කියලයි. අර පූසගේ පිම්බුන වලිගෙටයි මේ අය රැවටුනේ. ඒ මදිවට කකුල් තුනෙන් අමාරුවෙන් එන පූසා, පනින වාරයක් පාසා ලොකු ගලක් අරන් ගහන්න හදනවාය කියල මේ දෙන්න සෑහෙන්න බය උනා. කොච්චර බය උනාද කියනනං මහ ලොකු වල් ඌරා කැලේට පැනල දුවද්දී. වෘකයා යන්තං ගහකට නැගගත්තා. 


නියම තැනට ආපු සුල්තාන් තාම වෘකයා ඇවිත් නැතිය කියල පුදුම උනා. කොච්චර උනත් වල් උෟරා කැලේ හැංගිල තිබුනේ බාගෙට. උගේ එක කනක් හොදටම පේන්න තිබුනා. තුන් කකුල් පූසා විමසිල්ලෙන් අවට බලද්දී. ඌරා තමන්ගෙ කන හෙලෙව්වා. මේක දැකපු පූසා මීයෙක් කියල හිතාගෙන එක පාරට පැනල කන හයියෙන් හැපුවා. ඌරු නාම්බා වේදනාව කාගෙන බෙරිහන්දී ගෙන කැලේට පැන්නා. “අන්න වංචාකාරයා අර ගහ උඩ“

දෙන්නම දැක්කා වෘකයා ගහ උඩ ඉන්න හැටි. තමන්ගේ නිවට කම මේ දෙන්න දැක්කා නිසා ලැජ්ජාවට පත් වෙච්චි වෘකයා ආයිත් සුල්තාන් එක්ක යාලු උනා.

Brothers Grimm - Old Sultan

පලි - මාර ලව් ලෙටර් එකක් නේ අප්පා යහපාලන ලොක්කා තමන්ගේ සගයට යවල තියෙන්නේ. හැක්

Saturday, July 18, 2015

වැස්ස...!! (Is it going to rain?)

උදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත. එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.

එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය. 

“බලහල්ලකෝ. අපේ සනුදි මැඩම් නිස්සද්ද විලියොං වගේ නේ“

කාර්යාලයේ වැඩ කරන කට හැකර පියන් කොලුවා මගේ සිතුවිලි, ලෝකය හදුනාගත්තාක් මෙන් මා එහි සේවයට ගොස් දින දෙකක් ඉක්ම යන්නට පෙර මගේ සිතුවිලි නහර ස්පන්දනය වෙනස් කිරීමට සමත් විය. එයට කොක්සන් දී පිළිතුරු දුන් අනෙකුත් අයගේ ලෝකය පෙරලෙන සිනහවන්ගෙන් බිරන්තට්ටු වූ, ඒ කිසිවක් නුපුරුදු මගේම සිතුවිලි අතරංමං වෙද්දී, සාමාන්‍ය ලෝකය තුල ජීවත් විය යුත්තේ මේ ආකාරයට වන්නට ඇතැයි නවමු සංඥා මගේ මොළයට ගමන් කරද්දී ඒ අනුව කටයුතු කිරීමට සිදු විය. මුලින්ම සිහින් සිනාවක්ද, පසුව වචන දෙක තුනක්ද, ඉන් පසුව එකතුව ගත් දවල් කෑමක්ද හේතුවෙන් කලින් කී පාලු ලෝකය බිදී යන්නට විය. 

තවමත් නොතෙමුනු තාර පාරෙ තැනින් තැන වැටී ඇති දුහුවිලි අංශු වාහන මගින් තෙරපෙන සුළගින් පවා ඉහලට එස වෙන්නට වෙර දරන බව දකින මගේ මුවට මදහස් නැගිනි. මම තරමක් වෙනස් වී සිටිමි. ඔව්.. මම මෙපමණ කලක් ජීවත්ව ඇත්තේ අඳුරුම අඳුරු ලෝකයකය. එහි ආලෝකයක් ඇති බව මෙපමණ කලක් තිස්සේ මා නොදුටු බව සිහිපත් වී අතීතය දෙස හැරී බැලීම පවා කෝපය ඇති කරවන්නක් විය. ගෙවී ගිය කාලය අපරාධසහගත කාලයක් බව මට පසක් විය.


අපොස උසස් පෙළ ලියා මා බලා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය මා හට ලැබෙනු ඇතැයි කියාය. එහෙත් ප්‍රතිඵල පැමිණි විට මා වික්ෂිප්ත වීමි. යන්තම් සමත් වී සිටියා විනා ඒ අසලකටවත් යාමට මට ඉඩක් නැතිය. දෙවැනි වරකට හෝ උනන්දු වීමට ආසාවක්, උනන්දුවක් නැතිව මගේ පාලු ලෝකයේම හුදකලාව ජීවත් වූ මා හට රැකියාවක් සොයා ගැනීමට සිදු වූයේ, අම්මාගේ තිබූ බලවත් පෙරැත්තය නිසාවෙනි. 

“උඹ කාමරේට වෙලා හැංගිල හිටියට වැඩක් නෑ දුවේ.. උඹට ජීවත් වෙන්න වෙන්නේ ඔය කාමරෙන් එළියෙ තමයි ඉතිං“

එවන් විටක මා ඇයට සැරපරුෂ වචන කියු බව දැනුදු සිහිපත් කරන්නේ අසීමිත වේදනාවකිනි. යම් ව්‍යාධියක් මා තුල තිබෙන්නට ඇත. එය පිළිගන්නට හෝ දැනුම්වත් වීමට පවා නොහැකි උද්දච්ච හිතක් මට හිමිව තිබෙන්නට ඇත. කාමරයෙන් එළියට ගෙන දොරපත්තෙන් එළියට තල්ලු කර දැමීමට අම්මා දැරූ සියලු උත්සාහයන් මගේ සැරපරුෂ බව නිසා අත් හැර දැමීමට සිදු විය. තාත්තාද නැතිව ඇය මා රැක බලා ගෙන සිටියා නොවේදැයි කිසිදු වෙලාවක මට කල්පනා නොවීය. මට වැදගත් වූ එකම දෙය මනෝ ලෝකයක්, සිහින ලෝකයක්, නැත... මට අයිති මගේම ලොව තුල සැරි සැරීමට පමණි. එහෙත් මට අවසන ඇයට කීකරු වීමට සිදු විය. ළග ළගම පැමිණෙන විපත්තියක් තේරුම් ගත් මුව දෙනක සේ මම එක් වරම රැකියා සදහා අයදුම් පත් යැවීමට පටන් ගත්තෙමි. සම්මුඛ පරික්ෂණ සදහා වන කැදවීම් රාශියක් මගේ ඇඳ මෙට්ටය තුල සුරැකිව තිබුනද, එකම එක වරක් එළියට ගත් කැඳවීම් ලිපියකින් මගේ අරමුණ වෙනස් විය. අද මා රැකියාව කරන්නේ එතැනය.

කණ්නාඩියකින් මුහුණ බැලීම මට ඉතා අප්‍රසන්න දෙයකි. වම් කම්මුලේ කන අසලට වන්නට ඇති කලු පැහැ සබන් කුට්ටියක් තරම් විශාල උපන් ලපය මගේ ජීවිතයේ මා දකින්නට වඩාත්ම අකමැතිම දෙය විය. එයින් මිදෙන්නට, එය නොදැක ඉන්නට පාසැල් කාලයෙ සිටම දැරෑ සියලු වෙර නිශ්පල විය. උපන් ලපය නිසාම පාසැලේ මට තිබු විහිලු නම් ප්‍රමාණය අඩුම ගානේ හත අටක් වත් විය. කිසිවෙකු හෝ ඊට සමාන වචනයක් කියනු මට ඇසුන විටක, එතැන නොරැදී හැකි ඉක්මනින් පලා යාමට මම පසුබට නොවුයෙමි. උසස් පෙල ටියුෂන් වලදී මේ තත්වය ඉතා දරුණු විය. සුදු මුණේ කළු වලා නමින් හැදින්වු මට, නොයෙක් විට අන්ඩ කොල්ලන්ගේ උසුලු විසිලු දරාගැනීමට සිදු විය. ඒවා දරාගත නොහැකි තැන ටියුෂන් යාම නවතා දැමීමට මට සිදු විය. 

එහෙත් අලුත පැමිණි කාර්යාලය තුලදී මගේ උපන් ලපය හෝ මගේ නිශ්ශබ්ද බව හෝ කිසිවෙකු මායිං නොකිරීම සිතා ගත නොහැකි තරම් පුදුමයක් විය. කුමන මෙහොතක හෝ ඒ පිළිබඳව ඔවුන් රහසින් හෝ කතා කරන්නේ දැයි දැන ගැනීමට මගේ ඉන්ද්‍රියන් නිරන්තරව සුදානම්ව දස දිසාවටම පැතිර තිබුණි. සතියක් දෙකක් කල් ගත වුවද එවැන්නක් ඇසට, කනට නොවැටීමෙන් උපන් ලපය කාර්යාලයේදී දියවී යන්නට විය. දවස් දෙකක් ඉක්ම යන්ට පෙර එකතුව ගත් දහවල් ආහාරය උත්තේජකයක් වී තනිකම පලා යන්නට විය. මේ අවසරයෙන් විවෘතව මගේ ඇස් යොමු කොට පුද්ගලයන් හා අනෙකුත් දේ පිළිබදව වඩ වඩාත් සැලකිලිමත් වන්නට මට හැකි විය.

ඔහුගේ බැල්මට මා හසු වූ බව දින කිහිපයක් යන තෙක්ම මා දැන නොසිටියෙමි. ඔහු අප අංශයේ ප්‍රධානියාය. තරුණ විය ඉක්මවා හතලිස් වසරට ආසන්නව ඇතැයි මා ගණන් හදා බැලුවද, ඔහුගේ වයස අවුරුදු තිස් අටකට වැඩි නොවන වග සගයන්ගේ කතා බහින් දැන ගන්නට හැකි විය. විටින් විට කාර්යාල කාමරයට මා ගෙන්වා ගෙන මගේ අතපසුකම් කරුණාවෙන් පෙන්වා දෙන ඔහු අනෙකුත් අයට එවැනි වරදකදී චන්ඩ ලෙස හැසිරෙන බව මා දුටිමි. එවැනි චන්ඩ බවක් මට පෙන්වා තිබුනේ නම් එය වාසනාවක්ද නැතහොත් අවාසනාවක්ද යන්න තේරුම් බේරුම් කර ගැනීමට මා නොදනිමි. එය එසේ වූයේ නම් මා නැවත කිසි විටෙක රැකියාවක් නොකරන්නට ද ඉඩ තිබුනි.

වටින් පිටින් වළාකුලු එකතු වෙමින්, වියරුවෙන් දැවෙන හිරුගේ කදම්බයන් මුවා කරද්දී හමා යන සුළගක් නිසා ඉපදෙන සිහින් සීතලෙන් හැකිලී තව තවක් එකතු වී පෙන කැටි වන් වළා රොද යන්මින් කළු පැහැ වන්නේ කුමකට ද යන්න පෘතිවි තලයේ ජීවත් වන සියලු සත්තවයන් ස්වයං අධ්‍යයනයෙන්ම දැන සිටිති. තව තවත් වළාකුලු එක් රොක් වී සුර්යාලෝකය පලවා හැර අවට අඳුරු කොට සිහින් සුලං හමන්නේ වැඩි හොදකට නොවන බව දන්නා සැවොම, ආරක්ෂාකාරී වන්නට කටයුතු කරන්නේ කෙසේද, එලෙසම කටයුතු කළ යුතු අවස්ථාවක් මා ඉදිරියේ ක්ෂණයකින් මතු විය. සියලු දෙනා වැස්සෙන් ආරක්ෂා වීමට සිතද්දී, මා වැස්සේ තෙමීමට ආසා කළෙමි. කුඩා කාලයේ දී පවා වැටෙන වැස්සට කාමරයේ ජනේලයෙන් අත දික් කොට අත දිගේ බේරෙන වැහි ජලයෙන්, අත මත පොලා පනින වැහි බින්දුවෙන් සතුටට පත් වීමට දැඩිම ඇලුම් කළෙමි. චිරි චිරි ගා අත්ලට වැටෙන වැහි බිංදු දෙක තුනට කැඩී මගේ මුහුණත මත සිහින් හිරියක් ගෙනෙද්දී එය අත් විදීමට මම ආසා කළෙමි. වැහිමන්දාරම් අතරේ කෙතරම් අකුණූ කෙටීම් තිබුනද කිසිම දිනෙක ඒවාට බය වී මම අත ඇතුලට ඇද ගෙන නොමැත්තෙමි.

එක් වරම ඔහු කළ යෝජනාව ඇත්තෙන්ම භූමිකම්පාවක් මෙන් මගේ හදවත තුල පැතීරී හදවත කිහිප පොලකින්ම පුපුරා යන්නට ඇතැයි සිතෙන තරම් වේදනාකාරී විය. පුටුව තල්ලු කොට නැගිට ඔහුගේ කම්මුල හරහා අතුල් පහර එක පිට එක එල්ල කළ යුතු යැයි පසක් වුවද එලෙස කිරීමට තරම් ශක්තියක් ශරීරය තුල කුලුගැන්වී නොතිබිනි. ඔහුගේ දිහාවට ඇස් යොමු කර ගත නොහැකිව සිටියදී, මේසය මතින් වීදුරුවේ රැදි ඔහුගේ රෑපකාය දෙස බලා සිටි මගේ ව්‍යාකූල තත්වයන් වෙනස් වන්නට විය. හරියට මේසය වැස්සට තෙමී ඇත්තාක් සේය. උඩින් එල්ලෙන ප්ලුරෛාසන්ට් බල්බයේ එළි වැදී ඇස එහාට මෙහාට වන ඩිංගට එහි ආලෝක කදම්බය සෙල්ලම් දමන්නට පටන් ගති. එය නතර කිරීමට මම නොසෙල්වී සිටියදී, සුලගට පැද්දී ආලෝකය සෙල්ලම් කරන බව දැක මට නැගි සිනහව නතර කර ගැනීමට නොහැකි විය. එය ඉතා කුඩාම කුඩාම සිනහවක් වුවද, ඔහු එය ග්‍රහණය කරගෙන ඇත.

“මං නිකමට කිව්වේ.. අපි කොහේ හරි රවුමක් ගහල එමු මයේ කාරෙකේ.. සීතල පලාතක... වැස්සට තෙමිලා.. අපි ඇවිදිමු“

සීතල පලාතක.... ඒ මදිවට වැස්සට තෙමිලා... හතර අතින්ම මම ඔහුට නතුව ඇත. මට එක්කෝ පිස්සු හැදී ඇතැයි සිතෙන්නට විය. අම්මා අද සිටියා නම්.. ඔව් ඇයට වචන වලින් පහර දී මම කැමති දේම කරනු ඇත. තව දුරටත් සිතීමට නොහැකිය.. මම ඔහු දෙස බැලූ නිමේශයේ මගේ සියලු සිතුවිලි, පැරණි සිතුවිලි ගිනිබත්ව ඇත. අලුත් ඉරක් දෙස බලන්නාක් මෙන් මම ඔහු දෙස බලා සිටියෙමි..

අප විටින් විට වැස්සට තෙමුනෙමු. විටෙක මුරුගසන් වරුසා වැස, චන්ඩ මාරුත හමා යන්නට විය. වළාකුලු අළු පැහැවී තිබෙන්නට විය. සිතල සුලං හමන්නට විය. කාලයක් පුරාම එක දිගට වැසි වසින්නට විය. මට ඒ ගැන නිනව් නැති විය. අප යන නොතැන සිහින් පොදක් හෝ වැටෙන්නට විය. මම එයට ආසා කළෙමි. එහෙත් ඒ වැස්ස නිම වන්නට, නැතහොත් විටින් විට වහින්නට විය. මට වැස්ස ඇති වෙනත් ගෙයකට යන්නට සිදු විය. එහි වැස්ස අර තරම් සෝබමාන නැතැයි දහස් වර සිතුනද, වැස්සට හසුව එක් බීජයක් රෝපනය වී කුඩා පැලයක් මතු විය. කුඩා පැලයට මාස හයක් පමණ වන විට නැවතත් පරණ වැස්ස විටින් විට වසින්නට විය.

එදා, පරණ වැස්ස වසින්නට නියමිත දිනයක් විය. පුරුදු පරිදි මම ස්වාමි පුරුෂයාට බොරුවක් කීවෙමි. විශේෂ රැස්වීමක් සදහා ලොක්කා සහ තවත් අය සමග දුරකට යන හෙයින් මම ප්‍රමාද වීමට ඉඩ ඇතැයි යන්න එම බොරුවය. ඔහු මගේ ප්‍රධානියා දැඩි ලෙස විශ්වාස කළේය. අප අතර ඉතා දැඩි සුහදත්වයක් ඇති බව ප්‍රධානියා මගුල් දිනයේදී ඔහුගේ මුහුණටම පවසා සිටි අතර, නිතර නිතර අපගේ නිවසට පැමිණෙන්නට ද විය. මේ නිසා ප්‍රධානියා සමග යන කිසිදු ගමනක් පිළිබඳව ඔහුට කුකුසක් නොවීය. ඇරත් මට වඩා වසර විස්සක් පමණ වයසැති තල්ස්තැනී කෙනෙකු දිහා එසේ කුකුසකින් යුතුව බැලීමද කළ නොහැක. මටත් වඩා මගේ ප්‍රධානියා ඔහු සමග කුළුපග බව ඉදුරාම විශ්වාස කළ ඔහුගේ විශ්වාසය පලුදු කිරීමට මට උවමනාවක් නොවීය.

වැස්ස වසින්නේ ඔහුගේ තනිකඩ නිල නිවාස කාමරය තුලය. පැහැදිලි අහස හවස් වෙද්දී වලාකුලු මෝදු වී කළුවර ගැහෙන්ට විය. විටින් විට සීතල මද නල හමා මගේ සිරුර ආහ්ලාදයෙන් කීරි ගැසී යද්දී, වැස්සෙ ප්‍රභවය මගේ සිරුර මත ගැටී සිරුර මැද හරියෙන් දැඩි ලෙස කැළඹෙන්නට විය. මගේ තොල් මතද වැහි බිදු පතිත වෙද්දී සිරුර මැද හරියේ වන කැළමිල්ල චන්ඩ වන්නට විය. මා ආසාවෙන් බලා සිටියාක් මෙන් කුඩා තෙරපුමකුදු අඩු නොවීමට ඉඩ දීමට නොහැකිව තව තවත් ඉඩ හසර ලබා දෙමින් සිටින අතරතුර, මගේ මුහුණ මත තෙරපෙන දැඩි සුළං ධාරාවන් වැස්ස අවසන් වීමට ආසන්නව ඇති බවට එළි දැල්වීය. එහෙත් එක් වරම ඔහුගේ මුහුණ මගේ මගේ වම් කන අසලින් කොට්ටය මතට පතිත වී බරැති සිරැර මගේ සිරුර මත කඩා වැටුන නිමේශයේ ආහ්ලාදය උපරිම නොවී වැස්ස අහවර වී ඇති බව සක් සුදක් සේ පැහැදිලි විය. එහෙත් මා ආදරයෙන් ඔහුගේ කෙස් වැටිය පීරමින් සිටියෙමි. මගේ සුසුම් වල ඝෝෂාවෙන් ඔහුගේ සුසුම් වල ඝෝෂාව වැසී ඇතැයි මා සිතුවද, ඔහු නිකරුනේ මගේ සිරුර මත නිසොල්මනේ සිටින්නේ යැයි හට ගත් බොරු කෝපයකින් ඔහුගේ පිටට ගැසුවද, ඔහුගේ සෙලවීමක් නොමැත. මගේ සිරුර මතින් ඉවත් වන්ට යැයි හඩ ගසා කීවද ඔහු වගේ වගක් නැතිව සිටිනු දැක යම් බියක් ජනිත විය. සැනෙකින් ඔහුව පෙරලා ඇද මත දැමූ මා ඔහු දෙස බලද්දී හොදින් ඇස් හැර සිටිනු දුටුවෙන් මේ කරන්නේ විහිලුවක් බව දැනී අත්ලෙන් පපුවට පහරක් ගැසුවද ඇසිපිය සෙලවීමක් නොමැත. සියලු ගැගීම් අභිබවා විදුලියක් මෙන් සිත දැඩි බියකින් සලිත විය. විනාඩියකට පෙර දගකාරයෙකු සේ සිටි ඔහු දැන් නිසොල්මනේ,. ඇරත් ඇස් දෙකත් ඇර මා දිහාම බලා සිටිද්දී භිතියෙන් ඇලලී ගියෙමි. අතට මුහුණට කම්මුට ගසා බැලුවද ඔහුගේ චලනයක් නොමැති වීමෙන් සිදු විය හැකි භයානකම සිදුවීමක් අභිමුව මා සිටින බව පසක් වී කෑමුර දෙන්නට කට ඇරියද ශබ්දයක් නිකුත් නොවීය. කළ හැකි කිසිවක් නොමැත. වැස්සේ අයිතිකාරයා ඔහුගේම ඇදමත මියැදී සිටියේය. මගේ හදවත එළීයට පනින්ට තරමින් ගැහෙන බව දැනී කුමක් කළ යුතු දැයි සිතා ගත නොහී මම කාමරෙය් මුල්ලකට වී ගුලිව සිටින විට, ශරීරය ගිනියම් ව ඇති බව මට දැනිනි. එහෙත් කුමක් කරන්නද?? කිසිවෙකුටත් හඩ ගැසිය නොහැකිය. මටද ඔහුව වත්තම් කොට ඉස්පිරිතාලයට ගෙන යා නොහැකිය. මගේ පාලු ලෝකය තුලම මා සිටියා නම් මෙය සිදු නොවන බව සිහිව මට හැඩුම් එන්නට විය. කඳුලි රැලි ගලා යමින් තොල් මතින් පසු බසිද්දී ප්‍රකෘතිය ආරෝපනය වන බව මට දැනිනි. කළ හැකි එකම දෙය මගේ පාලු ලෝකයට නැවත පලා යාමය. කිසිවෙකුටත් නොදැනේනට, කිසිවෙකුටත් නෙපෙන්න්ට මෙතනට ආ මට එලෙසින්ම නැවත මගෙ පාලු ලෝකයට පළායාමට සිදුව ඇත. කාමරයේ ජනේලයෙන් එපිට, කෝපයෙන් දැවෙමින් හිරු රැස් විදින බව මා දුටුවෙමි.