අපේ
කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා
කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට
බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම
කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං
මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට
කියන්න තියෙනනේ. කවිය බත් පිඟානක් නම් ඒකේ විවිධාකාරයේ කවි වර්ග තියෙන්න පුලුවන්.
සමහර විට රසය වැඩිය දැනෙන්නේ කට්ට සම්බෝලෙක වෙන්නත් පුලුවන්. හරියට කන කෙනා ඩිංග
ඩිංග රස කර කර පිඟානම කන්න පුලුවන් වගේම කන්න බැරි එකා තක්කාලි කෑලී, මිරිස්
කෑලි පිඟානේ ඉතිරි කරන්නත් පුලුවන්. ඒත් පොඩි කාලේ ඉදලම තඩි බත් කටවල් හනිකට ගිලල
පිඟාන හෝදල දාන උන්ට නං පිඟානේ තියෙන විවිද දේවල් වල නොයෙකුත් රසයන් විදින්න බැරි
වෙනවා. අවසානෙදි බත් කාපු ඒ පත මෝල්ලු තමන් කෑවේ මොනාද ඒකේ රස මොන වගේද කියලවත්
නොදනී.
කවි ගැන
විචාරයත් ඒ වගේ. තමන්ට ගැලපෙන ආකාරයටත් බත් ටික කන්නේ. ඒක නිසා කවි විචාරය තමන්ටම
පක්ෂග්රාහි වේච්චි දෙයක්. දෘෂ්ඨියට හසු වූවාට රසයට හසු නොවන කවි
ඕනෑ තරම් තියෙනවා. සමාර විට ජනප්රිය කවි වල ඇති චිත්ත රූප මැවීමේ හැකියාවක් ඒවාට නැති වෙන්න
පුලුවන්. ඒත් කවියක් විඳිනවා කියන්නේ ඇත්තෙන්ම ඒ දිහා ස්වාධීනව බැලීමක්. මම සාමාන්යෙයන්
එළිසමයක් තියෙන කවි වලට කැමතියි. එක දිගට ගලාගෙන යන කවි කොළ වලට කැමතියි. හයිකු
එකක් දෙකක් කියල මොලේ ටිකක් මොරොන්දම් වෙනවට කැමතියි. ඒ කෙසේ වෙතත් කවියෙකු තමන්ගේ
නිර්මාණයෙන් කියන්න හදන දේ තේරුම් ගන්නට, ස්වාභාවික ඥාණයට අවස්ථාව නොදෙන
කෙනෙකුට කවි වල විවිධ වර්ග, ගුරුකුල, බ්රාහ්මණ කුළ, පදිරි කුල තියෙන්න පුලුවන්. අපි ඒ අයට සුභ පතමු.
රුවන්
බන්දුජීව මට හිතෙන විදියට ස්වභාව ධර්මයේ ඉතා කුඩා කිසිවෙකුට නොපෙණන තැන් තමන්ට
රිසි අයුරින් උකහාගෙන ඒවාට සම්බන්ධකම් හදා දෙන්න දක්ෂ කෙනෙක්. ඔහුගේ අනෙකුත් කවි
ආදරය ගැන, සමාජ අසාධාරනකම්, අධම කම් ගැන කතා කරත් මට
විශේෂයෙන් කැමැත්තක් තියෙන්නෙ රුවන් අප අවට පරිසරයේ ඇති විවිධ අංශුන් එක මිටට
ගන්නා ආකාරයට.
මේක මීළග
මීවිකේ 27 පිටුවේ කවියක්
රම්ය ජලකර
පුෂ්ප ගලවා
මතස්ය දියකා
පිරිස පලවා
ඉර මෙවර තව
වැවක් හිසකර
පාර අයිනක
තිබුනි රදවා
මේ වගේ
කවි දැක්කම ඔය බහු චින්තකයෝ කියන්නේ මේව්වා මේ නිකං වාග් ප්රලාප නේ
කියලයි. ඒත් ඒ අයට තමන් බස් එකේ යනකොට දකින පොළව පැලිච්චි වේලුණු වැව දැක්කට වතුර
නැති විත්තිය විතරයි පේන්නේ. එහෙම නැත්නං කියාවි මාර පෑවිල්ල නේද ගිය පාර මං එනකොට
හොදට වතුර තිබුනා කියලා. ඒත් මේ කවියේ මුඛ්ය පරමාර්ථය සිඳුන වැවක ශෝකාලාපය
කියාපාන්නටයි. රුවන්, පේන්න නැති කාටවත් දකින්න නැති ගොඩාක් දේවල් එකට අමුණල
හිඳිච්ව වැව පාර අද්දරට ගෙනැත් තියෙන ආකාරය දැක්කම මට කියන්න තියෙන්නේ අපූර්වයි
කියල විතරයි.
මේ කවිය
මම බොහොම කැමති කවියක්. මේකත් නිකං වාග් ප්රලාපයක්
තමා. හැක්
සහෝදර
තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස
මියුරු වූ පල
පසෙහි
මුසුවී තිබුණු වස විස
උරා
බොන්නැති නියඟලා වැල
(මීළග
මීවිත පිටුව 25)
කැලේ
ඇතුලක එහෙම නැත්නං දඩු වැල් තියෙන වැටක උඩින් පේන රතු කහ මල් ටික දැකල අනිත් ගස්
වැල්, ගෙඩි දිහා බලන මේ අපූර්ව කවියාගේ මනස කොයි තරම් සියුම්ද කියල
අපට පේනවා. මේ ලෝකේ තියෙන සේරම ගහකොළ, මල්, ගෙඩි
තියෙන්නෙ නියඟලා වැල නිසාද කියල හිතෙන අන්දමට මේ කවිය නිර්මාණය වෙලා තියෙනවා. සමහර
විට මේකේ අනුභූතිය කහ රතු නියඟලා මලක් විතරක් වෙන්න ඇති. ඒත් ඒ මල නිසා පරිසරයේ
තියෙන සියලු ගහ කොළ එක මිටට ගන්න රුවන්ට ඇති හැකියාව උපරිමයි. මම බොහෝ පොත් පත්
කියවා ඇති අයෙකු නොවුනන් මා කියැවු ලේඛකයන් අතුරින් එවැනි හපන්කමක්, සියුම්
දැකීමක් ඇති අයෙකු තමා හා්න්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු
ලියන්නේ සුරංගනා කතා උනාට ඒ සුරංගනා කතා අස්සේ කුරුල්ලෝ, පුංචි
පුංචි මල්, වීථි ලාම්පු, යකඩ පෙට්ටි ආදී එකී නොකි
දේවල් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතනෙවා. මතක ඇති නේද අයිඩාගේ පුංචි මල කතාව.
ඒකේ තියෙන්නෙ එක එක ජාතියේ මල් රාශියක් එකතු කරගෙන ඒ චර්යාවන්, පෙනුම
ආදිය මිනිස්සුන්ගේ පෙනුම, හැසිරීම චර්යාව එක්ක එකට එකතු කරල සිත්තම් කරපු අපූරු
කතාවක්. ටියුලිප් මල් අනිත් මල් වලට වඩා උඩින් තමන්ගෙ බෙල්ල හරව හරව ආඩම්බරෙන් ඉන්න
හැටි කියන කොට මට හරි ලස්සනට පරිසරය මැවිල පේනවා. අන්න ඒ වගේ හාන්ස්ටත් පුදුම
හැකියාවක්, තියුණු ඇහැක් තිබුනා කියල කියනවා. ඒ කියන්නෙ දුරක තියෙන ගහක
පොත්තක කුඩා කැපුමකුත් එ් අසල ඉන්නා පුංචි කුහුඹුවෙකුත් හරියටම අදුරගන්න හැකි
ආකාරයේ. රුවනුත් ඒ වගේ අපි දකින් කිසිම වැදගැම්මකට නැති දේවල් සිතුවිලි ආධාරයෙන්
එකට එකතු කරල ඔහු අපිට දෙනවා ඉමිහිරි නිර්මාණයක්. අදටත් නියඟලා මලක් දැක්කම රුවන්
කියපු දේ මට මතක් වෙලා නියඟලා වැල ගැන පුංචි හැගීමක් ඇති වෙනවා.
මීළග
මීවිත 14 පිටුවේ තියෙන මේ කවියත් ඒ වගේ.
ඇළ
ඇළ හොඳින්
ඇඳ පැළඳ
ඇවිද යයි
කුඹුරු මැද
වැව අරෙහෙ
නිදි නැතිව
මේ ඇඳුම්
මහපු බව
කිසිම වී
කරලකට
ඇළ කියා නැත
තවම
මේකත්
නිකම්ම නිකම් වාග ප්රලාපයක් තමා. ඒත් නිලට නිලේ දිලෙන හුළගට එක පෙලට ගමන් යන
කුඹුරු යායක් දැක්කට මට නං එහෙම හිතෙන්නේ නෑ. ඒක තමා තියුණු දැකීම කියන්නේ. ඉතාම
සරල කුඩා දෙයක් උනත් කව්රුවත් නොදැකපු ආකාරයෙන් දකින එක තමා නිර්මාණකරණය කියන්නේ.
මම නෙමෙයි කිව්වේ කොන්ස්තන්තීන් පව්ස්තව්ස්කි කිව්වේ. ඒ කියමන අපට සනාථ වෙනවා
රුවන්ගේ කවි (වාග් ප්රලාප) කියෙව්වාම. පුලුවන් නං තවත් විදියටකට ඇළ දිහා බලන්න
ඔන්න අවස්ථාව. අප දන්න අකුරු, අපි දන්න වචන හැබැයි හැඟිම් අකුරු, වචන
වලින් මනින්න බෑ. ඒක අකුරු, වචන වලින් වියුත්පන්න වෙච්චි දෙයක්. සමාර විට දැං හිතන්න
බලන්න අපි යමක් දිහා හිතන්නේ වචන වලින්ද සංකේත වලින්ද කියන එක. ටිකක් පැටලිලි
සහගතයි නේද? ඔව් ඒ උනත් තමන් දකින දේ අකුරු, වචන වලට
පෙරලගන්න එක අමාරුවක් නැතිව කරන රුවන් බන්දුජීව වැනි කවියන් ගැන සමාජ මාධ්යයයෙන්
එපිටදී මීට වඩා කතා වෙන්න ඕන. ඒ නිර්මාණාත්මක වේශය හදුනාගන්න ඕන. බත් පිඟානේ තියෙන
තක්කාලි කෑල්ල කාලා බලන්න ඕන. මිරිස් කෑල්ල ගොටු කොළයත් එක්ක හැපෙන රස විදින්න ඕන.
නැත්නම් අඩු ගානේ බත් ගුලියට පරිප්පු ඇටයක් දාගෙන බඩ පිරෙනකල් ගිලල පුටුවක් උඩ පත
බැවිලා රාම තෙල් ඇර ඇර කාපු බතටම කුණුහරුපෙන් බැන බැන ඉන්න බඩ තඩියෙක් වගේ නොවී
ඉන්ටෝනි.
