Tuesday, February 23, 2016

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)

නිකොලා ටෙස්ලා - හැඳින්වීම

අපි පහුගිය හැඳින්වීම වෙලාවේ නැවැත්තුවේ ඔහේලට Tesla කියල ගූගල් කරල බලන්න කියල නේ.. කිව්වත් වගේ කීප දෙනෙක්ම ඒක කරල උත්තරය දීල තිබුනා. ටෙස්ලා කියල හෙව්වම මුලින්ම එන්නේ වර්තමාන ලෝකයේ මෑඩ් සයන්ටිස්ට් ලෙස හදුන්වන එලොන් මුස්ක් හට අයිත් කැලිෆෝනියා තම මුලස්ථානය කරගත්ත Tesla Motors ආයතනය තමා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා ඒ ටෙස්ලා හා මේ ටෙස්ලා යන නම් දෙකම එකම අරමුණ වෙනුවෙන් තිබුනට, ඒ කිව්වේ ටෙස්ලා කියන නාමය වෙනුවෙන් පෙනී සිටියට, හැබෑටම වෙලා තියෙන්නේ ඔරිජිනල් ටෙස්ලා යට ගිහිල්ලා මුස්ක්ගේ  ටෙස්ලා සර්ච් එන්ජින් වල උඩට ඒමයි. ඒකේ මම දකින වැරැද්දක් නැහැ. මොකද එලොන් මුස්ක් තමන්ගේ කම්පැනියේ නමට කවදාවත් අහල නැති ටෙස්ලද කව්ද නමක් දාලා තියෙන්නේ කියල මිනිස්සු හිතන්න පෙළඹෙනවා. විසි එක් වෙනි ශත වර්ෂයේදි ටෙස්ලා නාමය ප්‍රචලිත කිරීමට අති දැවැන්ත ව්‍යාපාරයක් වන ටෙස්ලා කොම්පැනියෙන් ලැබෙන සහාය උපරිමයි. ඔනන් ටෙස්ලා බැටරියකුත් අපේ රසිකල ඉන්න පලාතට හදුන්වා දෙනවා මේ අවුරුද්දේ. මුස්ක්ගේ කම්පැනියේ නම ටෙස්ලා වීමත් වැදගත් කතාවක්.

2003 වර්ෂයේදි පටන් ගත්ත ටෙස්ලා මෝටර්ස් සමාගම ආරම්භකයා එලෝන් මුස්ක් නෙමෙයි. නමුත් එහි ආරම්භකයන් විසින් සමාගමේ නමට මයිකල් ෆැරඩේ හෝ නිකොලා ටෙස්ලා යන නාමය යෝජනා කර තිබුනේ ඒ නම් දෙකෙන් හැදින්වුන විශිෂ්ටයන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි. අවසානයේ විශිෂ්ටතමයා නොහොත් වඩාත් ගෞරවය පිදිය යුත්තේ නිකොලා ටෙස්ලාට බව ඔවුන් තීරණය කිරීමෙන් පසුව ටෙස්ලා මෝටර්ස් ලෙස එම සමාගම නම් කලා. ඊට පසුවයි එලෝන් මුස්ක් මෙම සමාගම මිලදී ගත්තේ. (එලෝන් මුස්ක් = ඉලෝන් මුස්ක්, ඔහු 21 වෙනි ශත වරුසෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙක් නෙමෙයි.. මොකද ටෙස්ලා විසි වෙනි ශත වර්ෂෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙකුත් නෙමෙයි නේ)

ඒ සම්බන්ධය අපි දැං ඉවර කරල දාමුකෝ.. බැහැ එහෙමත් බැහැ. මුස්ක් කියන්නේ ටෙස්ලා කෙරෙහි දැඩි ගෞරවයක් ඇති කෙනෙක්. පසුව සාකච්ඡා කරනු ලබන  ටෙස්ලාගේ විශිෂ්ටතම නිර්මාණය වීමට ඉඩ තිබූ පර්යේෂණ භූමිය සංවර්ධනය සදහා මේ මෑතකදි මුස්ක් මහත්තයා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබෙන බවත් සදහන් කරන්නේ මේවා මතක තියාගන්න කියල කියන්නයි. (එලොන් මුස්ක් ගැන නොදන්නා අය ටෙස්ලා මෝටර්ස් හරහා ගොස් හෝ දැන කියා ගන්නවා නං බෝම හොදයි)

හැඳින්වීම වෙලාවෙදි මං කිව්වා නේ ටෙස්ලා ඉපදුනේ 1856 කියලා. හැබැයි ඒ වෙලාවේදි මං කිව්වේ නැහැ කොහේද ඉපදුනේ කියලා. ඒක කියන එකත් අමුතුයි. එවකට ඔස්ට්‍රියන් හංගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා(Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක්.

කොහේද යන්නේ මල්ලේ පොල් වගේ නේද?? ඔව්.. ටෙස්ලා ගැන පර්යේෂණයක් කරනව නං මේ හැම දෙයක් ගැනම ලොකු දැනුමක් ගන්න වෙනවා. පුද්ගලිකව මම හිතන දෙයක් තමා නිකොලා ටෙස්ලා කියන්නේ කුඩා කාලේ ඉදලම අමුතු කෙනෙක් කියලා. එහෙම කියන්නේ තමන්ගේ චරිතාපදානය ලියපු වෙලාවේ ටෙස්ලාම කියනවා තමන්ගේ මේ හැසිරීම් වර්ධනය වීමට තමන්ගේ ලමා කාලයේ ලැබු අත්දැකීම් වැදගත් උනාය කියලා. අපි බලමු ටෙස්ලා තමන් ගැන කියන විදිය. මම කියවපු ඒ පොතේ ටෙස්ලා ගැන දැනගැනීමට ඇති හොදම හා වැදගත්ම කොටස මේක කියලයි මට හිතුනේ. මොකද සිහින දකින්නෙකුගේ හා සාමාන්‍ය නවනිර්මාණ කරුවෙකු අතර වෙනස ඉතා පැහැදිලිවම මෙතනදි දැක ගන්න පුලුවන්.

“මගේ ක්‍රමය වෙනස්.. හිතුන ගමන් වැඩේ කරන්න යන්නෙ නැහැ. මට යම් අදහසක් හිතන ආපු සැනින්, මම එය හිතින් ගොඩ නගනවා. එහි වෙනස්කම් කරනවා. වැඩිදියුණු කිරීම් කරලා, මගේ මනසින්ම මම ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මට එතැනදි මගේ යන්ත්‍රය හිතින් දුවනවාද නැත්නං මගේ පර්යේණාගාරය තුල දුවවනවද යන්න ගැටලුවක් නෙමෙයි. ඒ යන්ත්‍රය ක්‍රියා කිරීමේදි යම් අඩුවක් ඇතිනම් ඒකත් මට හදුනා ගත හැකියි. ඒ වගේ මම හිතින් හදපු යන්ත්‍රයයි, මගේ අවසාන භෞතික ප්‍රථිපලයයි අතර කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. මේ ක්‍රමයට මට ඉතාම ඉක්මනින් කිසිදු යාන්ත්‍රික මෙවලමක් භාවිතයෙන් තොරවම පරිපුර්ණ යන්ත්‍රයක් තැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ඕනැම නව යන්ත්‍රයක් මම අවසානය කරාම සිතින් ගොඩ නගද්දි එහි තව උවමනා වැඩිදියුණු කිරීම් කරන්න තියේනම් කිසිම දෝෂයක් ඇති නොවන පරිදි ඒවා වෙනස් කරන්නත් පුලුවන්. මෙන්න මේ සිතින් වැඩි දියුණු කරපු අවසානම ක්‍රියාකාරි යන්ත්‍රය මගේ මොළය තුල ක්‍රියා කළ ආකාරයටම, කිසිම වෙනසක් නැතිව භෞතිකව නිර්මාණය කිරීමේදි මට මොනම ගැටලුවක් වත් මතු වන්නේ නැහැ. ක්‍රියාකාරිත්වය ඒ ආකාරමයි. මම කරපු අත්හදාබැලීම් පවා ඒ යන්ත්‍රය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන්නෙ මා සිතු ආකාරයටම තමා. අවුරුදු විස්සක් තිස්සේම මේ ක්‍රමයෙන් බාහිරව මම කටයුතු කරල නැහැ. ඉතිං වෙන ක්‍රමයක් මොටද? ඉතිං මේ වගේ වැඩ වලදි මුදල්, ශක්තිය, වෙලාව එක එක අත්හදාබැලීම් වලට අසීමිතව යොදවන්න මට සිද්ධ වෙන්නේ නැහැ.“

ටෙස්ලා තමන් ගැන කියපු දේ වලින් මට ඔහුගේ මනසේ විචිත්‍රත්වය කොපමණදැයි තේරුම් ගැනීමට මෙන්න මේ ජේදය පමණක් ප්‍රමාණවත්.

කුඩා කාලයේ පටන්ම ටෙස්ලාට, සාමාන්‍ය මනුෂයෙකුට නොමැති තරමේ දෘෂ්ඨි රසයක්(ඈ. ලව්පුසා) නෑ නෑ හොද ඇස් පෙනීමක් හා කන් ඇසීමේ අපුරු හැකියාවක් තිබු බව කියන්න පුලුවනි. ඉතා ප්‍රසිද්ධ කරුණක් තමා ගොඩනැගිල්ලක කාමර තුනක් එහායින් තියෙන බිත්ති ඔරලෝසුවට ටික් ටික් හඩ උනත් පැහැදිලිව ඇසීමේ හැකියාවක් ටෙස්ලාට තිබූ බව. තව වාෂ්ප එන්ජිමක් හැතපුම් තිහ හතලිහක් ඈතින් එනකොට ටෙස්ලට ඇහෙනවා. තමන් දකින ඕනම දෙයක්, මෙන්න මේකයි කියල සංවේදනය වෙච්චි ගමන් ඒ දේ ටෙස්ලගේ මනසේ තමන් ඒක දැකපු ආකාරයටම විද්‍යාමාන වෙනවා. මේ තත්වය ඉතාමත් නරක විදියට ටෙස්ලට කරදරයක් උනා කියල එයා කියන්නේ මේ වගේ හිතන හැම දෙයක්ම එහි නාමය සිහියට නැගුණු සැනින්, එහි රෑපයක් නිතැනික්ම ඔහුගේ මනසේ පිළීබිඹු වෙන්න ගන්න එකයි. බෝම අමාරුවෙන් වසර ගානක් මහන්සි වෙලා මේ හිත ඇතුලේ දෘෂ්‍යමාන වන පින්තුර හිතෙන් පලවා හරින්න ටෙස්ලා සමත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ හේතුන් නිසා ටෙස්ලාගේ සිතිමේ ශක්තිය රිසිසේ වැඩුනු බවයි ඔහු නම් කියන්නේ.

ඔය කොච්චර සමත් කම් තිබුනත් පුජකයෙක් වෙචිචි ටෙස්ලගේ පියාට ඕන උනේ ටෙස්ලත් ඒ පාරටම ගන්න. ඒත් ටෙස්ලට පැහැදිලිවම ඕන උනේ ඉංජිනේරුවෙක් වෙන්න. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. අන්න එතකොට ටෙස්ලා කිව්වේ “මම මේ ලෙඩේ සනීප කරගන්නවා නං තාත්තා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන“ කියලයි. අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොවෙයි. සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යන්නත් උදව් කරනවා.

ඉතිං ටෙස්ලා පුතා මොකද කරන්නෙ කියල අපි ලබන සතියෙදි බලමු..

Saturday, February 13, 2016

නිකොලා ටෙස්ලා (The best underdog) - හැදින්වීම

දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. (බිලියන කියන දේ ගැන ගාණක් නැති අය මේක බලන්න.) ඉතිං ඔච්චර වෑසක විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කියන අපේ ඒරියා එකේ වයසත් අවුරුදු බිලියන හතරාහමාරක් වත් වෙනවා. ඒ කාලයත් එක්ක බැලුවම පෘථිවියේ ජීවය හට ගෙන දැනට අවුරුදු මිලියන කිහිපයක් වෙන්ටැති. එතකොට සත්තු, මිනිස්සු ජීවය හට ගැනීමට ඒ මිලියන ගාණෙනුත් කොටසක් වැය වෙන්ටැති. දැනට හොයාගෙන තියෙන ආදී මානවයාගේ ජීවත් වෙච්චි කාලය අවුරුදු මිලියන හයක් විතර වෙද්දී, නුතන මානවයා පාථිවිය මත ජීවත් වූ කාලය පිළිබඳ කාබන් නිර්ණ සාක්ෂිය අවුරුදු ලස්ස දෙකක් විතර වෙන කොට අපි දන්නා සියලු ශිෂ්ඨාචාරයන් හි වයස අවුරුදු හයදාහක් විතර වෙනවා. 

ඒ අතරිනුත් නුතන ලෝකය පරිවර්තනය වීමට පටන් අරගෙන, ඒ කියන්නේ කාර්මීකරණය වන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙසිය පනහක් විතර වෙනවා. පේනවද එතකොට අපේ ජීවිත කාලයක් කියන්නේ මේ විශ්වයේ අල්පෙනෙත්ති තුඩකටවත් සමාන කරන්න බැහැයි කියන එක. 


ඔය උඩ තියෙන පින්තුරේ බැලුවම හිතාගන්න පුලුවනි පාථිවිය ඇති වීම, ජීවය ආරම්භ වීම හා මානවයා පරිණාමය වීම පිළිබඳ කාළවකවානූ වල අසීමිත කම. එතකොට අපි දන්නා නුතන ඉතිහාසය, පෘථිවියේ වයසෙන් සොච්චමක් වෙද්දී, නුතන මිනිසාගේ අධිවර්ධනය ඒ කිව්වේ කාර්මීකරණය විම ආරම්භ වීම කොයි තරං සුළු කාලයක්ද කියලත් හඳුනාගන්න පුලුවන්. 

ඔය විදියට මම මේ කතා කරන්න යන දේ ගැන පොඩි කළ එළි බැසීමක් කරන්න්ටයි හැදුවේ. අපි දන්නවා ඉතිහාසය ඉගෙන ගෙන තියෙන නිසා කාර්මික විප්ලවය එක්දාස් හත්සිය බර ගණන් වල, හරියටම කිව්වොත් 1750 වගේ කාලෙකදී බ්‍රිතානයෙන් ආරම්භ වූ බව. පර සුද්දාගෙන් පටන් ගත් මේ කාර්මික විප්ලවය යුරෝපය පුරාම පැතිරිලා යන අතරේ ඇමරිකාව තුලටත් ඇතුලු උනා. කාර්මිකරණය දැනට පවතින තත්වයට ඉක්මනින් එසවීමේ වැඩි ගෞරවය ඇමරිකානුවන්ට හිමි වෙන්න ඕන. ඒක නිසාම සියලු යුරෝපිය රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වන්නන් ප්‍රමාණය ලක්ෂ ගණන් වෙන්නට ගත්තා. හරි අපි ඔය කාර්මික විප්ලවය වගේ දේවල් කිව්වට ඕවා මේ 2016 අවුරුද්දේ ගත කරන හුගාක් අයට තේරුම් ගන්න අමාරුයි. මොකද තාක්ෂණය හා බද්ධ වී සිටින දැන් කාලේ අයට 1600 - 1700 කාලේ ජිීවිත මොන වගේද කියල හිතට නගා ගන්න අමාරුයි.

අපි මෙහෙම හිතමු. කාර්මික විප්ලවය කියන දේ ආරම්භ වීමට කලින් යුරෝපයේ, ඇමරිකාවේ ජීවිත කොයි වගේ ගෙවෙන්න ඇද්ද? කාර්මික විප්ලවයට පෙර ඇමරිකානුවන් බහුතරය ජීවත් උනේ එක්කෝ ගොවිපොළවල්, ගම් හෝ කුඩා නගර වලයි. ඒ කාලේ ඇමරිකානුවන්ගෙත් ප්‍රධානම ජිවනෝපාය උනේ වගාවන්. වෙළදාම කියන දේත් බහුලව සිදු නොවුන ඒ කාලේ හුවමාරු ක්‍රමයන් තමා වැඩිපුරම තිබුනේ. සාමාන්‍යෙයන් ගොවියා තම වගාවන්ට අමතරව සපත්තු මැසීම, ලාඩං ගැසීම වගේ හස්ත කර්මාන්ත වල ප්‍රවීණත්වයක් ලබා සිටි අයයි. ගෙවිලියන් සබන් හදන්න, ඉටිපන්දම් හදන්න තමන්ගේ කාලය වැය කලා. මේ හැම දෙයක්ම තමන්ගේ අතින් තමන්ගෙම ගෙදරදි සිද්ධ කරන්න උනේ ඒ කාලේ දැං වගේ කර්මාන්ත ශාලා හෙම නොතිබුන නිසානේ. ඔය විදියට ගෙවල් වල හදාපු නොයෙකුත් භාණ්ඩ ආහාර සදහා හුවමාරු උන සරල ජීවන ක්‍රමයක් තමා ඔවුනටත් තිබුනේ. දන්නවා නේ ඒ කාලේ අපිත් එහෙම තමා. එහෙම ජිවත් වෙන අතරේ තමන්ගේ වගා පාලු, මාරාන්තික ලෙඩ රෝග, මන්දපෝෂණය වගේ දේවල් ඉතා පොදු දේවල් උනා. ඔන්න ඔය අතරෙදි 1700 වගේ කාලේ, වාෂ්ප එන්ජිම හොයාගැනීමත් එක්ක නොසිතු විරු විදියට බොහෝ දේ වෙනස් වන්ට උනා. වාෂ්ප එන්ජිම තව දුරටත් වර්ධනය කිරීමේදි, යන්ත්‍ර භාවිතා කොට භාණ්ඩ නිපදවීම සදහා කර්මාන්ත ඇතීවීමේ මුලික අඩිතාලම වැටුනා. ඔහොම වර්ධනය වෙමින් පැවති කාර්මිකරණය වසර 1850 වෙන කොට ඇමරිකාවට සංක්‍රමණය වීම නිසා අසාමාන්‍ය වර්ධනයක් වෙන්ට පටන් ගත්තා. බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් පදුරක් පදුරක් ගානේ මතු වෙන්නට ගත්තා. නොයෙකුත් තර්ක, මත, සංකල්ප, සිද්ධාන්ත, කල්පිත, යන්ත්‍ර ඕසෙට මතු වෙන්න උනා. මේ හේතුවෙන් අති විශාල කාර්මික සංවර්ධනයක් සදහා ඇමරිකාව තුලදි අඩිතාලම වැටුනා.

දැං අපි දන්නවා නේ විදුලි බුබුල හොයාගත්තේ කව්ද? තෝමස් එඩිසන් නෙව. කොච්චර විතර නව නිපැයුම් කරාද? අම්මෝ දාස් ගාණක්. ඔය ප්‍රශ්න වලට ඔය විදියටම උත්තර දෙන්න බහුතරයකට පුළුවන්. ඇත්ත.. තෝමස් එඩිසන් විසින් විදුලි බුබුල හොයාගැනීමත් එක්කයි බොහෝ විප්ලවයන් සිදු වෙන්නට උනේ. ඒ කිව්වේ විදුලිය කියන සිද්ධාන්තය ප්‍රාෙයා්ගිකව ප්‍රෙයෝජනයට ගැනීමේ අති වැදගත් අවස්ථාව විදුලි බුබුල තමා. ඒ අනුව බැලුවම ලෝකේ හැම රටකම පොත් වල කාර්මික විප්ලවය සදහන් කිරීමේදි අමතක නොකරන නමක් තියෙනවා නම් ඒ තෝමස් එඩිසන්. අපි දන්නේ තෝමස් අල්වා එඩිසන්. 

හැබැයි අපිට, මුලු ලෝකෙටම අමතක වෙච්චි නැත්නං බලෙන් අමතක කරල දාපු, එහෙමත් නැත්නං උවමනාවෙන්ම පැත්තකට දාපු විද්‍යාඥයන් ඉන්නවද? හපොයි මොකද නැත්තේ. ඕන තරං ඉන්නවා. ඒ අතරිනුත් තවමත් ලෝකයේ බහුතරයක් දෙනා නොදන්න, ඒත් බහුතරයක් දෙනා ඔහු විසින් සොයාගත් දේ භාවිතා කරන වටපිටාවක ඔහු ගැන කතා කරන්න ඕනැයැයි මට හිතුනා. මේ අදහස ඇවිත් දැනට අවුරුද්දක් හෝ ඊට වැඩියි. ඒත් මමත් වැඩියෙන් දැනන් හිටියේ නැති නිසා ඔහු ගැන කියවන්න පටන් ගත්තා. මේ කාලය ඇතුලත අන්තර්ජාලයෙන් පෙරාගෙන කියවපු වැඩිම ලිපි ගානක කතා නායකයා වන්නේ ඔහුයි. ඉතිහාසයෙන් බලෙන් අතු ගා දැමු, අමතක කළ නොහැකි නිසාම ඉතිහාසය තුල ඉතා සුළු හැදින්වීමක් පමණක් අයිති වූ මේ මිනිසා සම්භාව්‍ය ඇමරිකානු පුරවැසියෙක්. තමන්ගේ රටේම පෙළ පොත් වලදි ඔහු ගැන සදහන් කොට තිබුනේ මෙපමණයි.

“The man who invented the 20th Century"

ඉතිං මම මේ තෙපර බබා කියන්න යන්නේ විසි වෙනි ශත වර්ෂය අතින් ඇදල අපට අරගෙන දුන්න ප්‍රධානම පුද්ගලයා වෙච්චි නිකොලා ටෙස්ලා (Nikola Tesla) පිළිබඳවයි. අපි, මුළු ලෝකයම අද දක්වා භාවිතා කරනු ලබන විදුලි පද්ධතියේ ආරම්භකයා ඔහුයි. ඔය උඩ තියෙන ෆැන් එක බලන්න. ගෙදරට වතුර අදින මෝටරේ බලන්න. මේ සියල්ලේ ආරම්භකයා ඔහුයි. තවත් බොහෝ දේ කියන්න තියෙනවා නමුත් අපි ඒවා පසුවට තබමු. යම් අදෘෂ්‍යමාන හේතුවක් හෝ හේතුන් කිහිපයක් නිසා ටෙස්ලා යන නාමය ලෝකයට විවෘත උනේ සාමාන්‍ය  ජිවිතයේදි කව්රුවත් භාවිතා නොකරන චුම්බක ක්ෂේත පරිමාවන් මැනීම සදහා නම් කර ඇති සම්මත ඒකකය වන ටෙස්ලා විදියටයි. නමුත් කාර්මික විප්ලවයේ උපරිමය වන මේ අවසාන වසර එකසිය පනහ වගේ කාලය අතරින් අවුරුදු හැටක් පමණ ටෙස්ලාට අයිතියි. ඒ කිව්වේ ටෙස්ලා ඉපදුනේ 1856 දී. මිය ගියේ 1943 දී. මිය යන කොට ඔහුත් සමග වැලලී ගිය ටෙස්ලා ජීවය ලබන්නේ ඉතා මැත ඉතිහාසය තුලයි. ඒ ඉතිහාසය සොයා බලා තම නැණ නුවනින් විශිෂ්ටයා කව්රුන්දැයි සොයා බැලු මිනිසුන් නිසයි. ටෙස්ලා.. මං කිව්වට Tesla කියල ගූගල් කරන්න. ඔබට මම මේ කියන නිකොලා ටෙස්ලා පළමු තිරයෙන්ම හමු වේවිද??

Wednesday, February 3, 2016

පොඩි උන්ට කතා!! සුරංගනා කතා..!

“තාත්තෙ කතාවක් කියන්නකෝ“ 

ගෙදරට වෙලා මං එනකල් හොඳට සෙල්ලං කරමින් ඉන්න පොඩි කොලුවට එක පාරටම හැදෙනවා තද නිදිමතක්, මම ඇඟපත හෝදගෙන ආපු ගමන්ම. ඕන්න ඒ වෙලාවට තමා කතාවක් කියන්නය කියල ඒ හාදයා මට දිගින් දිගටම කොනිත්තන්නේ. පොඩි වැඩක්යැ.. හුස්මක් කටක් ගන්න කලින්, තඩි පොල්ලකින් ගහනවා වගේ වැඩක් උනත් අපේ හාදයගෙන් බේරෙන්න නං බැහැ. ඉතිං කොහොම හරි කතාව කියන්නම ඕන. මේ වෙන දේවල් හිමිජ්ජා වගේ බලන් ඉන්න ලොකු එකත් ඉස්කෝලේ වැඩ පැත්තක තියල හෙමින් සීරුවේ ඕං එනවා මගේ ගාවට. ඉතිං දෙන්න මයේ දෙපැත්තෙන් හාන්සි වෙලා තාත්තා කතාව කියන කල් බලාගෙන ඉන්නවා. ඔහේල දන්නවා නේ මට ඉතිං පොඩි කාලේ නොතිබුන ආසාවක් මේ අවුරුදු කීපය ඇතුලෙදි සුරංගනා කතා සම්බන්ධව ඇති උනා කියල. ඒක ඇත්තටම උනන්දුවක්. මේ උනන්දුව ඇති කලේ ඉංගිරිසියට පරිවර්තනය කරල තිබුනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් සුරංගනා කතාකරුවගේ පොතක් හේතුවෙන්. ඒකේ තියෙන සමහර කතා කියෙව්වාම මට හිතුනා මේ අපේ ජනකතා නේද කියලා. කෝම කෝම හරි අවසානයට බලන කොට හැම රටකටම ආවේණික විදියට හැඩ ගැසුනු එකම ජාතියේ කතා තියෙනවා කියල අන්න ඒ අවස්ථාවේදි මට හොයාගන්න ලැබුනා හිටං.

ඒකට කාරි නෑ මම දැං ආවේ කතා කියන්න නේ. ඉතිං ඔය විදියට හාන්ස්ගේ කතා, ග්‍රිම්ස්ලගේ කතා හෙම, හැබැයි රජෝ පොඩියට තියෙන කතා අපේ හාදයෝ දෙන්නට කියන්න ගත්තම, දවස ගානේ කිසි බේරිල්ලක් නැති සොඳුරු කරදරයක් තමා මටත් විඳින්න උනේ. අන්තිමට අපේ පොඩි හාදයට බත් ඩිංග කවා ගන්නත් සුරංගනා කතා කියවන්න වෙනවා නේ.. ඔය විදියට කතා දුසිං දෙක තුනක් පොඩි උන් දෙන්නට කිව්වට තාමත් හැමදාම හැන්දෑවට ඇඳට වැටුන ගමන් පොඩි එකා කියන්නේ “අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව“ කියන්නකෝ කියලයි. 

මේ සිංදු කියන කුරුල්ලා කතාව මම පොඩි එවුන්ට කියල දුන්නේ අර මම මීට කලින් දාලා තිබුන පුංචි නයිටින්ගේල් කතාව ඇසුරෙනුයි. ඒත් මේ ජාතකයක් විතර විසාල කතාව ඇදබාන්ට මට අමාරු හින්දා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරල කතාව කෙටියෙන් එළිදක්වන්නට මට සිද්ද උනා. අහල බලන්නකෝ මගේ පුංචි නයිටින්ගේල් ගැන.

ඔන්න පුතේ එකෝමත් එක කාලෙක ලෝකෙ තිබුනා ලස්සන රටක්. ඒ රටේ හිටියා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. මේ රජතුමාගේ මාළිගාව හරිම ලස්සනයි. ඒ වගේම විසාල උද්‍යානයකුත් මාලිගාව වටේටම පිහිටල තිබුනා. ඉතිං මේ රට බලන්න එන සංචාරකයෝ රජතුමායි, රටයි, මාළිගාවයි වර්ණනා කරල බෝහොම ලස්සන කතා පතුරවල තිබුනා. ඒත් ඔන්න එක දවසක් මේ රජතුමාගේ යාළුවෙක් වෙච්චි තවත් රටක රජකෙනෙක් ඇවිත් රජතුමාට කිව්වා මෙන්න මෙහෛම.

“රජතුමනි. කා් අර ඔබතුමාගේ ලස්සනට සිංදු කියන කුරුල්ලා“ 

ඔන්න බලන්නකකෝ අපේ රජතුමා මේ වෙනකං එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර රජතුමාට හොඳටම තරහ ගිහිල්ල තමන්ගේ අගමැතිට වහාම එන්න කියල පණිවිඩයක් යැව්වා. රජතුමා එයාගෙන් මේ ගැන ඇහුවට එයාවත් ඒ ගැන දන්නේ නැහැ. ඒ පාර රජතුමා අණ කරා මේ කුරුල්ලා හොයාගන්න කියලා. ඉතිං අර අගමැතිතුමා මුළු මාලිගාවේම ඉන්න අයගෙන් සිංදු කියන කුරුල්ලා ගැන ඇහුවට කව්රුවත් දැනගෙන හිටියේ නෑ. අන්තිමට කව්ද දන්නවද ඒ ගැන දැනං හිටියේ. රජතුමාගේ කුස්සියේ උදව්වට ඉන්න පුංචි ළමයෙක්. එයා කිව්ව මම දන්නවා ඒ කුරුල්ලා ඉන්න තැන. එයා ඉන්නේ මේ මාලිගාව පහු කරගෙන ගියාම තියෙන කැලේ මැද්දට වෙන්නට තියෙන ලොකු ගහක කියලයි. ඉතිං පුතේ, දැං අර පුංචි ළමයත් අඩගහගෙන ඔක්කෝම අය කුරුල්ලා හොයන්න ගියා. ඔහොම කැලේ ඇතුලට යන කොට හරිම නිස්සද්දයි. ඒ වගේම ගස් වල කොළ හෙමින් හෙමින් හුළගට හෙල්ලෙන කොට සර සර ගාලා සද්දයක් ඇහෙනවා. ඈතින් ගලන දොළ පාරක සද්දයත් නිසා හැමෝම හරිම පුදුමෙන් වගේ කැලේ ඇතුලට ගියා. එහෙම ගිහිල්ලා කන්දක් මුදුනේ තිබුන ලොකූ ගහක් ගාව නතර වෙච්චි අර ළමයා කිව්වා අන්න අර ගහේ තමා මේ සිංදු කියන කුරුල්ලා ඉන්නේ කියලා. ඉතිං කව්රුත් කිව්වා ඔයානේ එයාව දන්නේ ඒක නිසා කතා කරන්න කියලා. ඒ පාර පුංචි ළමයා කුරුල්ලට කතා කලා.

‘පුංචි කුරුල්ලෝ.. මෙන්න ඔයා බලන්න කට්ටියක් ඇවිල්ලා. පොඩ්ඩක් එන්නකෝ එළියට“

ඔන්න ඔහොම කිව්ව විතරයි පුංචි කුරුල්ලා හෙමින් සැරේ පියාඹගෙන ඇවිත් පහළ තිබුන අත්තකට වැහුවා. එතකොට අර ළමයා කිව්වා..

“පුංචි කුරුල්ලෝ.. ඔයා සිංදු කියන හැටි අහන්න අපෙ රජතුමාට ආසයිලු. ඒක නිසා ඔයාට අද රාජමාළිගාවට එන්න කියල තියෙනවා“ කියලා. එතකොට කුරුල්ලා කිව්වා.

“අනේ පුංචි දරුවෝ.. රජතුමාට කියන්න අද නං බැහැ කියලා. මොකද මට දැං ගියොත් ආයිත් මගේ කුඩුවට එන්න වෙලා මදි වෙනවා ඒක නිසා මං හෙට උදේට නොවැරදීම එනවා කියල කියන්න“ කියලා.

ඉතිං කට්ටිය ආපහු ආවා. කිව්වත් වගේ පහුවෙනිදා උදේ පාන්දරම කිචි කිචි ගාගෙන අර පුංචි කුරුල්ලා රාජ මාළිගාටව ආවා. ඉතිං මේකට සතුටු වේච්චි රජතුමා කුරුල්ලට පළතුරු කන්න දීලා, කිර ිබොන්න දීල ඉවර වෙලා සිංදුවක් කියන්න කියල කිව්වා. කුරුල්ලා කොච්චර ලස්සනට සිංදුව කිව්වද කිව්වොත් රජතුමාට තවත් සිංදු අහන්න ඕන උනා. ඉතිං පුංචි කුරුල්ලට තව සිංදු ගොඩාක් කියන්න උනා. ඒ පාර රජතුමා ආයිත් පළතුරු, කිරි දීල කුරුල්ලට කිව්ව ඔයා අද මාළිගාවේ ඉන්න කියලා. කුරුල්ලා කිව්වා.

“අපෝ බෑ රජතුමනි. මගේ ගෙදර තියෙන්නේ අර ඇත කැලෑවේ නේ.. මට මගේ ගෙදර යන්න ඕන. අනික මට ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා මං අද ගිහිල්ල ආයි දවසක එන්නං“ කියලා. මේකට රජතුමාට තරහ ගියා. ඇයි ඉතිං එයා රටේ රජතුමානේ. ඕන කෙනෙක් එයා කියන දේ අහන්න එපැයැ.

“එහෙම කොහොමද.. මමයි රජතුමා.. ඔයා මම කියන දේ අහන්න ඕන“ කියල තරහින් කිව්වා. ඒත් කුරුල්ලා ඇහුවේ නැහැ. එයා යන්නම ඕන කියල කියල යන්න හදන කොට රජතුමාට හොදටම තරහ ගිහිල්ල රාජපුරුෂයන්ට කිව්වා වහාම කුරුල්ලව අල්ලගන්න කියල. ඉතිං ඒ අය කුරුල්ලව අල්ලගෙන කුඩුවක දාලා හිර කරල තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ රජතුමා කුරුල්ලට සිංදු කියන්න කියල කිව්වා. ඒ පාර කුරුල්ලා අඩනවා.

“අනේ රජතුමනි. මට ගෙදර යන්න දෙන්න. මට දැං ගෙදර යන්න ඕන“ කිය කිය මහ හයියෙන් අඩන්න ගත්තා. කමක් නෑ දැං ඔහොම ඉදල හවසට සිංදු කියන්න පුළුවන් කියල රජතුමා ගියා. ආයි හවස එනකොටත් කුරුල්ලා අඩනවා. කෑමට තිබ්බ කිසිම දෙයක් කාලත් නෑ. වතුර බීලත් නෑ. දිගටම අඩනවා ගෙදර යන්න ඕන කියලා. ඉතිං හවසත් සිංදු කියනන් බැරි උන නිසා හෙට උදෙට හරි සිංදු කියවමු කියල රජතුමා හිතාගත්තා. උදේත් රජතුමා ආවා. එතකොට කුරැල්ලට ඇගට පණත් නැ. ඇයි ඉති ඊයේ ඉදලම මුකුත්ම කාලවත් බිලවත් නෑනේ. ඒත් අඩනවා ගෙදර යන්න ඕන කියලා. කමක් නෑ හවසට හරි සිංදු ටික කියවගන්නවා කියල රජතුමා ආයිත් හවස ආවා. අනේ කුරුල්ලට දැන් නං හිටගෙන ඉන්නවත් පණ නැ. ඒත් ගෙදර යන්න ඕන කියල හොදටම අඩනවා. කිසිම දෙයක් කාලත් නැහැනේ. මේක දැක්කම රජතුමාට දුක හිතිලා රාජපුරුෂයන්ට කිව්වා කුඩුව අරින්න කියලා. ඒත් වැඩක් තියෙනවාද? ඇයි.?? ඔව්.. කුරුල්ලට යන්න පණ නෑනේ. ඉතිං රජතුමා කුරුල්ලට කන්න ආයි පළතුරු ගෙනැත් දීල කිරි දීල කිව්වා.

“අනේ පුංචි කුරුල්ලෝ.. ඔයා ගෙදර යන්න. ගිහිල්ල ආයිත් පුලුවන් දවසක ඇවිත් සිංදු කියන්න“ කියලා. කැමට ටිකක් කාලා කිරි ටිකක් බිව්වට පස්සේ කුරුල්ලට පණ ටිකක් ආවා. ඉතිං ඒ පාර එයා යන්න යනකොට රජතුමාට කිව්වා.

“බොහොම ස්තුතියි රජතුමනි. මම දවස් දෙකකින් විතර ඇයිත් එන්නං“ කියල පියාඹල යන්න ගියා.

දවස් දෙකක් නෙමෙයි හතරක්ම ගත උනාට කුරුල්ලා ආයි ආවේ නැති නිසා රජතුමාට හරිම දුකයි. රජතුමා හිතුවා කුරුල්ලා හරිම බොරු කාරයෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට ඔන්න පස් වෙනි දවසේ උදේම කිචි බිචි ගාගෙන කුරුල්ලා ආවා රාජමාළිගයට. ඉතිං රජතුමාට බෝම සතුටුයි. ඒ පාර පළතුරු කන්න දීලා, කිරි දීල කුරුල්ලත් එක්ක ටිකක් කතාත් කරල සිංදු කීපයකුත් අහගෙන ආයි එනවා කියල කුරුල්ලා යන්න ගියා. ඔය විදියට නිතරම කුරුල්ලා රජතුමා හමු වෙන්න ආපු නිසා එ දෙන්න ගොඩක් දේවල් කතා කරල හොද යාළුවෝ වෙලා බෝම සන්තෝසෙන් කාලය ගත කළා..


හම්මෝ ඔය කතාව සමහර වෙලාවට දවසට දෙපාර හෙමත් කියන්න වෙන නිසා තවත් කෙටි කරන අවස්ථා හෙම තියෙනවා. වැඩ අධික දවසක ඕං කියයි නේ අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව කියන්න කියලා. අන්න ඒ වෙලාවට කොයි වැඩ තිබුනත් අපේ පුත්තරයා නං ඒවා තඹේකට ගනං ගන්නෙ නැහැ. මිනිහට කතාව කියන්නම ඕන. අන්න එ් වගේ දවසට මෙන්න කතාව.

ඔන්න එක රටක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ලස්සන සිංදු කියන කුරුල්ලෙක් හිටියා. දවසක් ඒ කුරුල්ලට ගෙදර යන්න ඕන කිව්වම තරහ ගියපු රජතුමා එයාව කුඩු කරල තිබ්බා. ඉතිං කුරුල්ලා සිංදු නොකිය දවස් තුනක්ම අඩන්න ගත්තා. මුකුතුම කැවේ නැ. ඒ පාර කුරුල්ලට හිටගෙන ඉන්න පණ නැ. මේක දැක්ක රජතුමාට දුක හිතිල කුරුල්ලට යන්න දුන්නා පුලුවන් දවසක එනන කියලා. ඉතිං කුරුල්ල නිතරම රජතුමා හමු වෙනන ඇවිත් සිංදු කියල කතා බහ කරල ඒ දෙන්න හොද යාලුවො ්උනා එච්චරයි.

හැක්.. ඔය විදියට කතාව ඉවර කරල එච්චරයි කියල කිව්වට පස්සේ මේ යකා අහනවා නේ..

“ඊත පත්තේ“ කියලා.. හැක් හැක්..