Wednesday, January 10, 2018

I, Daniel Blake


බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්‍රශ්නය තියෙනවා. මම මාසෙට දවස් කීයක් අතේ එක රුපියල් සීයක් නැතිව ඉදල තියෙනවද? ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. ඔන්න අද උදේ නැගිට්ට වෙලාවේ ඉදල අතේ කීයක් වත් නෑ. (අපේ අතේ නෑ කියන්නේ බැංකුවෙත් නෑ කියන එක තමා) සමාර වෙලාවට එදාට ප්ලේන්ටියක් බොන්නවත් සල්ලි නැති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට මේ ජීවිතේ මොකක්ද මේ විදින දුක මොකක්ද කියල පපුව හිර වෙලා ඇස් රත් වෙන හැගීම කී දෙනෙක්ට නං දැනිල ඇත්ද? මිනිස්සු නං කියාවි තොපි ඉතුරු කරන්න දන්නේ නැති එකට, ජීවත් වෙන්න නොදන්න එකට, සැලැස්මකට අනුව ජීවිතේ ගොඩනගාගන්න බැරි එකට අපි පලිද කියලා. ඒත් දුප්පත්කම, බඩගින්න කියන්නේ වචන වල හිර උන ජීවිත අවදානමක්. ඒක මිහිපිට විඳවීමක්. මම නං ඒ වගේ විදවල තියෙනවා හදවත ඉරිලා ඇතුලෙන් ලේ ගලනවා කියල හිතෙන ගානටම.

ලංකාවේ මිනිස්සු නං ඒ අතිං වාසනාවන්තයි. පුහ්.  කන්න බොන්න නැති දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුව සුභසාධන කටයුත්තක් විදියට මාසෙකට ලොකූ සල්ලි මල්ලක් හරි බඩු මල්ලක් හරි දෙනවා. මොන බොරුද කියල අහවි. නෑ ඇත්තටම රුපියල් දෙදාහක් උනත් හාල් දහයක මල්ලක් උනත් මොනවත්ම නැති කෙනෙකුට මහ මෙරක් වගේ බර උදව්වක්. කව්ද ඇත්තටම හොයල බලන්නේ ඒ වගේ මිනිස්සු සමෘදියෙන් දෙන සොච්චමෙන් ජීවත් වෙන විදිය. ඒ මිනිස්සුන්ට තව උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ආණ්ඩු මොනාද කරන්නේ. උන්ට ඕන නැති එකාගෙන්ම බදු ටික අයකරගෙන නැති එකාම කම්බස් කරල දාන්න තමා. ලොකු එකා බදු වංචා කරගෙන බෝම ලස්සනට ජීවත් වෙනවා. කව්ද මේවට නැගී හිටින්නේ?

අපි හිතනවා මේ තත්වය දියුණු රටවල් වල සෑහෙන්න අඩුය කියලා. ඇත්තටම එහෙම නෑ. ලෝකේ හැම තැනම එකම අපායක්. එංගලන්තේ විරැකියා ප්‍රතිශතය 1975 ට පස්සේ අඩුම ප්‍රතිශතයට ඇවිල්ලය කියල ඒ ආණ්ඩු පාරම් බානවා. ඒ රටේ ආණ්ඩු උනත් මින්ස්සුන්ගේ සුභසාධනයට, කන්න අදින්න, ඉන්න තැනක් නැති අයට සහන සපයන්න අතේ ඇට කඩ කඩ අමාරුවෙන් කටයුතු කරනවා.

ගිය අවුරුද්දේ ඇවිත් තිබුනා එංගලන්තේ සුභසාධනය මොන වගේ තැනක හිරවෙච්චි අධිරාජ්‍යවාදී, අමානුෂික එකක්ද කියල ලෝකෙටම පෙන්නන චිත්‍රපටියක්. ඒකේ නම I, Daniel Blake. චිත්‍රපටයේ කතාව මේ වගෙයි.

අවුරුදු පනස් නමයක් වෙච්චි ඩැනියෙල් බ්ලේක් කියන වැන්දඹු මනුස්සයා වඩු කාර්මිකයෙක්. ඒත් හදිසියේ ඇති වෙච්චි හෘද රෝගි තත්වයක් හේතුවෙන් වැඩ පල වලින් ඉවත් වෙලා විවේක ගන්න සිදු වෙනවා. නමුත් වෙනත් ආදායම් මාර්ග නැති ඩැනියෙල්ට සිද්ධ වෙන්නේ රජයෙන් දෙන සුභසාධන මුදලින් යැපෙන්නයි. නමුත් රජයෙන් ඔහුට කියනවා රැකියාවට යන්න කියලා. නමුත් ඩැනියෙල්ගේ වෛද්‍යවරු ඔහු රැකියාවට යාම අනුමත කරන්නේ නැහැ. මෙන්න මේ තත්වය ඒ කියන්නේ රජය ඩැනියෙල්ගේ සුභසාධන මුදල කපා හරින්න සෑහෙන්න ඕන කමින් කටයුතු කරද්දී අතිශය දරුණ විදියට රජයේ සේවයේ ගොදුරක් බවට පත් වෙන්නටත් ඊට අනුකූලව ඔවුන් කියන දේවල් කරමින් තමන්ට ලැබෙන ඩෝලය ආරක්ෂා කර ගැනීමටත් ඩැනියෙල් දරන වෙහෙස මේ චිත්‍රපටයේ ඉතා වේදනාකාරි ලෙස ඉදිරිපත් කරල තියෙනවා. මේ චිත්‍රපටයේ තවත් චරිතයක් කේටි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් නමුත් රැකියාවක් ඉන්නට හිටින්නට තැනක් නැතිව ජීවත් වෙන කෙනෙක්. මේ චිත්‍රපටය පුරාම දරිද්‍රතාවය මොකක්ද කොච්චර දැනෙනවද කියන එක පෙන්වන්නෙ කේට්ගේ චරිතය හරහා. අවසානයේදී තමන්ගේ අභියාචනය විභාග කරන අවස්ථාවේදී ඩැනියෙල් හාට් එකකින් මැරෙනවා.

මේ චිත්‍රපටයෙදි එංගලන්තේ සුභසාධන වැඩපිළිවෙලත් එහි තිබෙන යල් පැන ගිය දෘඩ, අමානුෂික ක්‍රමයත් පැහැදිලිවම සාකච්ඡාවට බදුන් කෙරෙනවා. චිත්‍රපටයේ කියන තරම් යකා කලු නැතත්, දහස් ගණනක් මිනිසුන් මේකෙන් පීඩාවට පත් වෙලා පාරට වැටිල එහෙම නැත්නං සේරම හරියද්දි ඒ මනුස්සයා මැරිල හරි තියෙනවා.

දුප්පත්කම ඩැනියෙල් බ්ලේක්ට වත්, කේටි ටවත් මටවත් විතරක් නෙමෙයි තවත් මිලියන ගානක මිනිස්සුන්ට අයිති දෙයක් කියල මේ චිත්‍රපටය බැලුවම තේරෙවි. මට නං මේක Heart touching movie එකක්. 

ඩවුන්ලෝඩ් කරගන්නවනං මෙන්න ලින්ක් එක.


Trailer