Friday, November 24, 2017

මන්සා මියුසා (Mansa Musa I)

ලෝකේ ඉන්න ලොකුම ධනපතියා වෙන්න පුළුවන් නං නියමයි නේ. ඒ වගේ පිනා චෑන්ස් එකක් අපේ ඇමේසන් ඩොට් කොම් එකේ අයිතිකාර ජෙෆ් උන්නැහේට ලැබුණා. ඒ කියන්නේ ලෝකේ දහතුන් වෙනි දනපතියා වෙච්චි ජෙෆ් අයියා එක පාරටම පළවෙනියා උනේ එයැයිගේ සමාගමේ කොටස් වල මිල එකපාරටම 13% කින් ඉහළ ගියපු නිසයි. ඒ නිසා ජෙෆ්ගේ ආදායම ඩොලර් බිලියන් 90 ඉක්මවලා ගියා. ප්‍රථම වතාවට තමා එක් අයෙකුගේ ආදායම ඩොලර් බිලියන අනූව ඉක්මවලා ගියේ. (බිලියන වලට බිංදු කීයද කියල මෙතනින් බලාගන්න.)

ඈ. එතකොට ඩොලර් බිලියන අනූව පන්නපු කව්රුවත් මේ ලෝක තලේ උන්නෙම නැද්ද? සියඹලා ගෙනැල්ලම නැද්ද?

බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පෘථිවිය මත ජීවත් වූ පොහොසත්ම පුද්ගලයා ඔය අපි හිතන බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා,  වොරන් බෆට් අංකල්ලා අතරින් කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ තෙල්නිධි හිමි ජෝන් ඩී රොක්ෆෙලර් තමා නූතන ලෝකයේ හිටිය පොහොසත්ම පුද්ගලයා. ඔහුගේ ආදායම ඩොලර් බිලියන 336 ක් විතර. කෝමද ඒ ගාන. බිල් ගේට්ස්ලා පස් හය දෙනෙක් ගන්න පුළුවන් ඒ සල්ලි වලින්. ඉතිං එතකොට එයාද මේ ලෝකේ ජිවත් වෙච්චි පෝසත්ම කෙනා. ඒත් නෑ අනේ. මෙච්චර කාලෙකට ජීවත් වෙචිචි පෝසත්ම පුද්ගලයා අපිට හමු වන්නේ ක්‍රි.ව. 1300 කාලේ බටහිර අප්‍රිකානු කලාපයෙන්. කොටින්ම කිව්වොත් ක්‍රි.ව. 1312 ඉදල ක්‍රි.ව. 1337 වෙනකල් අවුරුදු විසිපහක්ම මාලි රාජ්‍යෙය් අධිරාජයා වශයෙන් හිටියා මියුසා අධිරාජයා තමා මේ ලෝකේ ජීවත් වෙච්චි පොහොසත්ම පුද්ගලයා විදියට නිල වශයෙන් පිළිගන්නේ. මේ කරුණ 2012 දී විතර තමාටයිම්ස් සඟරාව තහවුරු කරල තිබුණේ. හැබැයි මේ කරුණ තරමක් විවාදසම්පන්නයි. බොහෝ ආර්ථික විද්‍යාඥයින් මේ කරුණට එකඟ වන නමුත් තවත් සමහරක් දෙනා ඒකට විරුද්ධයි. ඉතිං අපි එකඟයි කියන තැන ඉදල මේ කතාව කරගෙන යමු.

අන්තර්ජාලයෙන් මොහු ගැන සොයනවා නම් ඔබට පහසුවෙන්ම Mansa Musa කියල සෙවීමෙන් සොයාගන්න පුළුවන්. මන්සා කියල කියන්නෙ පැරණි භාෂා අනුව “රජතුමා“, “අධිරාජයා“ කියන එකයි. මන්සා මියුසා කියා හදුන්වන මේ අධිරාජයා දහ හතර වෙනි ශත වර්ෂයේදී මාලි අධිරාජ්‍යය පාලනය කළ බව සඳහන් වගේම ඔහු අවුරුදු විසි පහක් රජකම් කළ බවත් සඳහන්. නමුත් ඔහු මිය ගිය වර්ෂය සහ පාලනය කළ වර්ෂයන් නිසි පරිදි තහවුරු වී නොමැති බැවින් එක් තැනක ක්‍රි. ව. 1331 මිය ගිය බවත් තවත් තැනක ක්‍රි.ව. 1337 දී මිය ගිය බවත් සඳහන් වෙනවා. පුරාණ මාලි අධිරාජ්‍යය ස්වාභාවික සම්පත් අතින් පොහොසත් විශාල භූමි බාගයක පැතිරුණ රාජ්‍යයක්. දැනට අපි නම් වශයෙන් හදුනන සෙනගල්, ගැම්බියාව, ගිනිවා, අයිවරි කෝස්ට්, මාලි, නයිගර් කියන රටවල් වල භූමි කලාපය මේ අධිරාජ්‍යය ලෙස හදුනාගෙන තිබෙනවා. දහ හතර වැනි ශත වර්ෂයේදී වෙළදාම සහ මුදල් හුවමාරුව යන සියල්ල භාණ්ඩ හුවමාරුව හරහා සිදු වූ බව අපි දන්නවා. මාලි අධිරාජ්‍යය ලුණු සහ රත්රන් ආකර වලින් ගහන කලාපයක් වූ නිසාම නිසි ලෙස කළමණාකරණය කලේ නම් සෞභාගයේ හිනි පෙත්තටම ලං වන්නට හැකියාව තිබු රාජ්‍යයක් තමා මාලි අධිරාජ්‍යය. අද කාලයේ ලුණු වලින් පෝසත් වෙන්න පුලුවන්ද කියල හිතුනට ඒ කාලේ, ලුණු සහ රත්රන් තමා සියළු ගණුදෙනු වලදි මුදල් විදියට හුවමාරු උනේ. අපි කතා කරමින් ඉන්න කාලයේදී ලෝකයේ ලුණු සහ රත්රන් අවශ්‍යතාවයෙන් හරි අඩක්ම සැපයීමේ හැකියාව මාලි අධිරාජ්‍යයට තිබූ බව සදහන්. මේ කරුණ නිසා එහි පාලකයා පෝසතෙක් වීම අරුමයක් නෙමෙයි.

දැනට ගණන් බලා ඇති හැටියට කාලානුරූප උද්ධමන අනුපාතයන් සැලකිල්ලට ගත් විට මන්සා මියුසාගේ වර්තමාන ආදායම අවම වශයෙන් ඩොලර් බිලියන 400 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තියෙනවා. මේ ගණන ආසන්න වශයෙන් කිට්ටු වන්නේ නූතන ලෝකයේ පොහොසත්ම පුද්ගලයා වෙච්චි ඇමරිකානු ජාතික රොක්ෆෙල්ර්ට පමණයි. අනෙකුත් සියළු දෙනා මේ අහලකින් වත් තියන්න බැහැ. කලාපය තුල මාලි අධිරාජ්‍යයට ජලය පාලනය කිරීමේ අති විශේෂ හැකියාවක් තිබුනා. මොකද ලෝකයේ බටහිර අප්‍රි්කාවේ විශාලතම ගංගාව ලෙස සැලකෙන නයිගර් ගංගාවේ විශාල කොටසක් මාලි අධිරාජ්‍යය හරහා වැටී තිබීම මත ජලයේ බලයත් මාලි අධිරාජ්‍යය සතු උනා.


බ්‍රිතාන්‍යය ඇතුලු සියළු යුරෝපීය ජාතීන් දහ හතර වෙනි ශතවර්ෂය වෙද්දී දරිද්‍රතාවයෙන් සහ කුරිරු සිවිල් යුද්ධ වලින් මිරිකිල ඉදිද්දී, අප්‍රිකාවේ එක් කෙළවරක අධිරාජ්‍යයක් සාමයෙන් සමගියෙන් සහ සෞභාග්‍යෙයන් යුත්ව පැවතීමත්, දහ හත් වෙනි ශත වර්ෂය වෙද්දී මේ තත්වය මාරු වෙන්නටටත් දහ නම වන ශත වර්ෂය වෙද්දි බොබ් මාලේ ට I shot the Sherriff, Get up stand up for your rights වගේ ගීත කියන්නට සිදු වීමත් අහඹුවක් නෙමෙයි.

ලෝකයේ කිසිවෙකුත් නොදැන සිටි මාලි අධිරාජයාගේ තරම දැන ගන්නට හැකි වන්නේ හැත්ප්ම තුන්දාහකට එහා පිහිටි මක්කම වන්දනාව සදහා මන්සා මුසා පිටත් වූ දවසෙයි. ඒක වන්දනාවක් නෙමෙයි නයිල් නදිය අනිත් පැත්තට හැරුණා වගේ තියෙන්න ඇති.

මන්සා මියුසා රජකමට පත්වීමත් අපූරු කතාවක්. එකල මාලි අධිරාජයා වූ දෙවැනි අබුබකාරි රජු තම පිරිවරත් සමග මක්කම වන්දනාවේ සහ තවත් ඈතට ලෝකය ගවේශනය කරන්න යන්නේ ඔහුගේ දෙවැනියා වූ මියුසා කේයිටා හට තාවකාලිකව බලය පවරා දෙමින්. දැං කාලේ ජනාධිපති රට යනකොට අගමැතිට වැඩ බලන්න දීල යනව වගේ වැඩක් තමා ඒකත්. නමුත් කාලයක් ගත උනත් අබුබකාරි රජු නැවත නොපැමිණීම නිසා මියුසා කෙයිටා, පළමු මන්සා මියුසා වශයෙන් අධිරාජයා හැටියට පත් වෙනවා. පළමු වෙනි මන්සා මියුසා මාලි අධිරාජ්‍යෙය් දහ වෙනි මන්සා එහෙම නැත්නං අධිරාජයා විදියට සැලකෙනවා. ඔය රජකම කියන එක මියුසාගේ ඇගේම තියෙන්න එකම හේතුව තමා, මාලි අධිරාජ්‍යය බිහිකරපු සුන්ඩියාටා කේයිටා (Sundiata Keita) අධිරාජයා ඔහුගේ ළගම ඥාතියෙකු විම. ලේ වලට පාලන බලය එකතු වෙන හැටි නේද? 

කලින්කි ව්වත් වගේ මොහු භක්තිමත් මුසල්මානුවෙක්. ඒ නිසා හිතක් පහළ වෙනවා ශුද්ධ වූ මක්කම වන්දනාවේ යන්න ඕනය කියලා. ඉතිං දැං කාලේ වගේ හිතුන ගමන් ප්ලේන් එකක නැගල යන්න බැහැ මක්කම ඒ කාලේ. මේකට අඩුම ගානේ මාස හතරක් පහක් වත් ගත වෙනවා. සහරාව, ඊජිප්තුව පසු කරමින් හැතැප්ම තුන්දාහට අධික දුරක් ගෙවා දමමින් ඔටුවන් පිට මේ ගමන යන්න සිදු වෙනවා. මේ වන්දනාව සඳහා ඔහු සුදානම් වන්නේ මෙහෙමයි.

ක්‍රි.ව. 1324 දී ඔහු මාලි අධිරාජ්‍ය අගනුවර වන නියානි නුවරින් ගමන ආරම්භ කරන්නේ. (වර්තමානයේ ගිනියා රටේ තමා මේ නගරය තියෙන්නේ) ඔහුගේ ආවතේවකං කිරීමට හා ගමනට අවශ්‍ය බඩුභාණ්ඩ ගෙන යාම සඳහා හැට දහසක සේනාවක්,  රත්රන් කිලෝ දෙක බැඟින් රැගෙන යන වහලුන් හත්දාස් පන්සීයක්, එකෙකුට කිලෝ 130 කට බරිකින් යුතු රත්තරන් ගෙනියන ඔටුවන් සියයක් වශයෙන් මහා විශාල සේනාවක් එක්කයි ඔහු මේ ගමන පිටත් වන්නේ. ඊට අමතරව පූජකයන්, වෛද්‍යවරුන්, කෝකියන් ඇතුලු තමන්ට අවශ්‍ය සියළු අවශේෂ සේවා සපයන්නත් විශාල ප්‍රමාණයකුත් මීට සහභාගී වෙනවා. එතකොට හිතල බලන්න මියුසා රජු මේ ගමනට ගෙනියන රත්තරන් ප්‍රමාණය ටොන් එකහමාරකටත් වැඩියි. 

ඊජිප්තුව හරහා මේ ගමන යද්දී, ඔහු සිකුරාදා දිනයේ නවතින හැම තැනකදීම මුස්ලිම් පල්ලියක් ඉදි කරපු විත්තියකුත් සඳහන් වෙනවා. එතකොට පල්ලි විස්සක් විසි පහක් වත් හදන්න ඇති. ඔය අතරේ ඊජිප්තුවේ කයිරෝ නුවරට ටිකක් කලින් මේ මහා සේනාව ආපු නිසා ටික දවසක් කයිරෝවේ නවතිනවා. ටික දවසක් කිව්වට මාසයක් වත් ඉන්න ඇති මයේ හිතේ. ඔය අතරෙදි තමා මියුසා රජතුමා තමන් කව්ද කියන එක ලෝකෙට පෙන්නන්න ගත්තේ.

අර ගෙනාපු රත්තරන් පොලු අතරමගදිත් දුප්පත් මිනිස්සුන්ට බෙද බෙද ආපු මියුසා රජතුමා, කයිරෝවේ බොහෝ දුප්පතුන්ට කෙලින්ම රත්තරං පොල්ල ගානේ තෑගි දුන්නා. ඒ මදිවට පොඩි ආලවට්ටම් කෑලි ගන්න, කයිරෝව මතක හිටින්න කිසිම වටිනාකමක් නැති සිහිවටන ගන්න හෙමත් අර රත්තරන් පොල්ලම තමා භාවිතා කරේ. ඔයින් මෙයින් බෙදපු රත්තරං ප්‍රමාණය ඇස් අදහාගන්නට වත් බැරි තරං. ගියපු කට්ටිය කයිරෝවේ කඩවල් ගානේ ගිහිල්ල වියදං කරපු අති විශාල රත්තරං ප්‍රමාණයක් එක්ක කයිරෝව වැටුවේ හද්ද අමාරුවක. මියුසා රජතුමා බෙදපු රත්තරං වල ආනුභාවයෙන් මෑතකදි සිම්බාබ්වේ රාජ්‍යයට වෙච්චි අලකලංචියම කයිරෝවත් සිද්ධ උනා. හදිස්සියට දෝසි කෑල්ලක් ගන්න ගියත් දෝසි කෑල්ලට ගෙවන්න රත්තරං පොල්ලක්වත් ඕන වෙන සයිස් එකටම රත්තරං වල වටිනාකම අවප්‍රමාණය වෙන්න ගත්තා. මියුසා රජතුමා මක්කම වැදල ආයි එන කොට මේ වෙච්චි දේ දැකල, කයිරෝවේ වෙළෙන්දන්ගෙන් හිතාගන්නවත් බැරි ගණං වලට තමන්ම දීපු රත්තරං ටිකෙන් සෑහෙන්න ප්‍රමාණයක් ආයි අරන් ආවය කියලයි කියන්නේ. ඒ කියන්නේ හැට දහසක සේනාවට ආපහු අරන් යන්න පුළුවන් ප්‍රමාණයක රත්තරං ආයිත් මිලට අරගත්තලු. ඔයින් මෙයින් කයිරෝවේ වෙළදාම, ආර්ථිකය දරුණු පසු බැමකට ලක් උනා. අවුරුදු දොළහක් පහු ගිහිල්ලත් මේ වෙළදපොළ තත්වය නිසි තත්වයට පත් උනේ නැහැ. ඒ අනුව බලන කොට ඉතිහාසඥයින් කියන්නේ එක් පුද්ගලයෙකු විසින් රටක ආර්ථිකයට කරපු ලොකුම බලපෑම කරල තියෙන්නෙත් මියුසා රජතුමාය කියලයි.

මියුසා රජතුමා ආයිත් ගම්බිම් බලා යද්දි, මුස්ලිම් රටවල් වල හිටිය ඉස්ලාම් ආචාර්යවරුන්, ගෘහනිර්මාණ ශිල්පීන් ඇතුලු බොහෝ දෙකේ මාලි අධිරාජ්‍යයට කැඳවා ගෙන ගොස් ටිම්බුක්ටු නම් නගරයේ බොහෝ ඉස්ලාම් අධයාපන ආයතන, මුස්ලිම් පල්ලි හෙම ගොඩ නගල ඉස්ලාමය ප්‍රචලිත කරන්න සෑහෙන්න වැඩ කොටසක් කරල තියෙනවා. 

කොහොමින් කොහොම හරි ලෝකය නොදැන සිටි මහා ධනවතෙකු පිළිබඳව මුල් වරට යුරෝපය, අප්‍රිකාව වගේම අරාබියත් දැනගන්නවා. මියුසා රජතුමාගේ ධනවත් බව, පරිත්‍යාගශිලී බව වගේ බොහෝ දේවල් ගැන ලෝකය පුරා මිනිස්සු කතා වෙනවා. මට හිතෙන විදියට දහ හත් වන ශත වර්ෂයේදී පමණ තමන්ට පුළුවන් වෙච්චි වෙලාවක මාලි රාජ්‍යය ආක්‍රමණය කරල මේ වස්තු කොල්ල කන්න යුරෝපීයන් කටයුතු කරන්නෙත් ඔය හේතුව නිසාම වන්නට ඇති.

මියුසා රජු විසින් ඉඳි කරපු පල්ලී. විද්‍යාල අවුරුදු හත් අට සීයක් ගත වෙලත් තවමත් ටිම්බුක්ටු නුවර තියෙනවා. මේවායින් සමහර ස්ථාන යුනෙස්කෝව විිසින් පෞරාණික ස්ථාන ලෙස නම් කරල තියෙන අතරේ 2012 වර්ෂයේදි පමණ ටිම්බුක්ටු නගරය අත්පත් කරගත් නිහීන ඉස්ලාම් අන්තවාදීන් විසින් සමහර පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරල දාලා. ඒ අතරින් Sankore University නමින් තිබෙන පුරාවිද්‍යාත්මක පරිශ්‍ර යේ තිබූ පුරාණ අත්පිටපත් ලක්ෂ ගාණක් පුළුස්සා ඇති බවත් සඳහන්.

වසර විසි පහක් හොදින් පවත්වාවෙන ගිය මාලි අධිරාජ්‍යය, මියුසා රජුගේ ඇවෑමෙන් තවත් පරම්පරා දෙකක කාලයක් තුලදි අර කලින් කිව්ව යුරෝපීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරලි හේතුවෙන් විනාශයට පත් වෙනවා. මාලි අධිරාජ්‍යය අප්‍රි්කානු හා අරාබි වෙළද මාර්ගයේ සුවිශේෂම ස්ථානයක් වගේම, කලින් සඳහන් කරපු ටිම්බුක්ටු නගරය ප්‍රධාන වෙළද මර්මස්ථානයක් බවටත් පත් කරන්නට මේ රජතුමාට හැකි වෙනවා. සියල්ල අනිත්‍යයි කියන දේ වසර සියයක දෙසීයක ඇවෑමෙන් මාලි රාජ්‍යය විනාශ වීමෙන්ම අපට පැහැදිලි වෙනවා.

හරිනේ. දැං ඉතිං පොඩ්ඩක් තමන් හිතන විදිය වෙනස් කරගන්න වෙනවා. මේ ලෝකේ ජීවත් වෙච්චි පෝසත්ම මනුස්සයා කව්ද කියල ඇහුවොත් අපි දන්න අයට උඩින් පළමු වෙනි මන්සා මියුසා කෙයිටා රජතුමා ඉන්න බව අමතක කරන්න එපා.


මන්සා මියුසා රජුගේ යැයි සැළකෙන නූතන සිතුවමක්



පුරාණ සිතියමක මන්සා මියුසා රජුගේ රූපය සටහන් වී ඇති අයුරු (1375 Catalan Atlas)




Sankore Madrasa - සැන්කෝර් විශ්වවිද්‍යාලය

පලි - වැරදි, නිවරැදි කිරීම් සන්තෝසයෙන් භාරගනු ලැබේ.

References 
https://en.wikipedia.org/wiki/Musa_I_of_Mali
https://quizlet.com/10021963/islamic-empires-spread-of-islam-flash-cards/
https://en.wikipedia.org/wiki/Mali_Empire
http://www.blackpast.org/gah/musa-mansa-1280-1337
https://en.wikipedia.org/wiki/List_of_wealthiest_historical_figures
http://aplus.com/a/mansa-musa-is-richer-than-you-thought?no_monetization=true
https://www.jetpunk.com/blog/mansu-musa-not-the-richest-person-ever
https://www.dailystar.co.uk/news/latest-news/606334/billionaire-richest-man-earth-video-money-millionaire-cash-Mansa-Musa-gold-Mali-footage
http://www.softschools.com/facts/world_history/mansa_musa_i_facts/2208/
http://interestingfacts.tv/celebrities-facts/interesting-facts-about-mansa-musa-i-the-richest-man-of-all-time/
https://www.celebritynetworth.com/articles/billionaire-news/mansa-musa-the-richest-person-in-history-lived-a-pretty-bad-ass-life-heres-what-it-was-like-to-be-him/

40 comments:

  1. කොන්ක්‍රීට් වර්ක්ස් වලින් එහෙම වුන එක්කෙනෙක්ගේ පින්තූරයක්ද දාල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මං සා ප්‍ර සා

      Delete
    2. මිනිහා ගොඩගියේ ටෙස්ලගෙන්...හැක්

      Delete
    3. නෑ බොල ප්‍රින්ටරෙන්

      Delete
    4. පරණ ලඩි ඩුප්ලෝ එකෙන් නේද?? හැක්

      Delete
  2. ඕක තමයි බබරේ වැල්ලේ කැරකෙනවා කියන්නේ පිනාට රජවෙලා ලෝකේ ලුම කෝටිපතියා වෙන්න වාසනාව තිබුණා එහෙනම් හැක්. මන් හිතුවේ දේශකයතුමා ලියන එක නවත්තලා දැන් ප්‍රතිචාර විතරයි ලියන්නේ කියලා කොහොම උනත් බරසාර ලිපියක්.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේක ගැන කියෙව්වම ලියල දාන්න ඕන කියල හිතුනා මොකද සිංහලෙන් අන්තර්ජාලේ මේ ගැන ලියවෙච්චි දේවල් නැති නිසා.. ස්තුතියි

      Delete
  3. කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ රජා ගැන නම්. පුළුවන් නම් අර රොක්ෆෙලර් ගැනත් ලියපන්කො..උඹ නියමෙට මේවා ලියනවා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ හරියට ලියවුනේ නෑ කියලයි පැතුම්.. සංෂිප්ත කරගන්න තේරෙන්නෑ.. ස්තුතියි ලොක්කා

      Delete
  4. රජු මේ ගමනට ගෙනියන රත්තරන් ප්‍රමාණය ටොන් එකහමාරකටත් වැඩියි. ////////////// ammatasiri

    ReplyDelete
    Replies
    1. මෙතන මට වැරදීමක් වෙලා රුවන්. ටොන් 16 ක් වත් වෙන්න ඕන දළ වශයෙන්..

      Delete
  5. / ඒ කියන්නේ හැට දහසක සේනාවට ආපහු අරන් යන්න පුළුවන් ප්‍රමාණයක රත්තරං ආයිත් මිලට අරගත්තලු. / මොනවා දීලද ඒවා ආපසු ගත්තේ, ලුණු?

    ReplyDelete
    Replies
    1. වැරදුන, එය මුලින් ගත්ත කමකට නැති සිහිවටන ගත්තට වඩා වැඩි මිලකට ආපසු ඔවුන්ටම විකුණගන්න ඇති.

      Delete
    2. ඔව් ඇණයා. බෙදුවයි කිව්වට ඔක්කෝම බෙදල නෑ තව මොනා හරි එන ගමන් අරන් එන්නත් ඇතිනේ..

      Delete
  6. දැක්ක නිසා නිකමට මුල ටික කියවල බලනව කියල කියවන්න ආවට මොකද දන්නෙම නැතුව ලිපියම කියවල ඉවර වුනා. උඹේ ලිපියක් කියෙව්වෙ සෑහෙන දවසකින් ලොක්කා. ඔන්නොහෙ කියවපු නිසා දැන් මේකත් කොටලම යනව.

    ෂෙහ්ඃ බලහං ඒ දවස්වල අරුන් කියපු කෙප්ප. මහ විශාල ජම්බො දූත පිරිසක් එක්ක විදෙස් සංචාර ගියපු එකම රජතුමා විදියට මම අහල තිබුනෙ වෙන කෙනෙක් ගැන. ඒ මොනාද බං, ඕං යනව නම්.

    කියවගෙන යද්දි මටත් එකපාරටම හිතුනෙ රජා ආයෙත් රත්තරන් මිලදී ගත්තෙ මොනව දීල වෙන්න ඇත්ද කියල. ඒකම ඔය ඇණයත් උඩින් අහල තියෙන්නෙ, සමහර විට එයා ගෙදර යන ගමන් නිසා ඔය මහ සේනාවට කෑමට බීමට - වෙනත් අවශ්‍යතාවලට ගෙනල්ල ඉතුරු වෙයි කියල හිතුනු දේවල් හුවමාරු කරගන්නත් ඇති. සමහර විට මක්කමදි හරි අතරමැද වෙනත් වෙළඳ නගරවලදි මිලදී ගත්ත භාණ්ඩ හරි නැත්නම් වහල්ලු උනත් හුවමාරු ද්‍රව්‍ය විදියට පාවිච්චි කරන්නත් ඇතිය කියල හිතෙනව.

    //එක් පුද්ගලයෙකු විසින් රටක ආර්ථිකයට කරපු ලොකුම බලපෑම කරල තියෙන්නෙත් මියුසා රජතුමාය කියල//

    හෙහ් හෙහ් හෙහ්... ඒකනේ කියන්නෙ, ඔය මහා ලොකු සල්ලිකාරයොන්ට අධෝවාතයක් ගියත් හින්නිකිතර ආර්ථිකයක් තියෙන රටවල්වලට හොඳට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මදුරු නාසකේ දැකීමත් සතුටක්. මම හිතන්නේ ඔය මියුසා ගේ සෙට් එක තමන් ගෙනාපු සියල්ල වියදං කරගන්නේ නැතිව ඇති. අතරමගදි ඕන උනොත් කියලත් තව රන් ටොන් තුන හතරක් වත් අතේ තියාගන්න ඇති.. හැක්.

      උඹ නිකමට වගේ ගුගල් කරල බලහං. මේ ආර්තිකයට කරපු බලපෑම හුගක් ආර්ථික විද්‍යාඥයෝ සඳහන් කරනවා.. ජය වේවා පුතී

      Delete
  7. මහතුනි කීම ගියේ බුකිය හැර දමා... පාලු යැ එතැන ඔබ නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ගියේ නැ බං යැව්වා.. යැව්වා.. හැක්..

      Delete
  8. අගේ ඇති ලියමනක්, ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩීන් අයියා

      Delete
  9. කලින් කියවලා තිබුණත් බොහොම හොඳ ලියමනක් දේශකතුමෝ, මාලි ගැන මම මුලින්ම දැන ගත්තේ කලින් වැඩකරපු කන්තෝරුවෙන් මාලි වල රඳවලා හිටිය එක්සත් ජාතීන්ගේ හමුදා වලට (UN) අහාර පාන සපයපු නිසා. ඒ දවස් වල මේ ගොයිය ගැන සහ රටේ තොරතුරු මමත් හෙව්ව.

    මාලි වලට යන්න බොහොම කැමැත්තෙන් කකුලක් එලියට දාගෙන සුදානමින් හිටියත් අපේ ලොක්ක ඒ වෙනුවට මාව ඇෆ්ගනිස්ථානෙට පැටෙව්ව නිසා වැඩේ අවාසනාවකට "ජස්ට් මිස්ඩ් බයි වන් කෙස් ගස්". එහෙම අද වෙනකොට කොයිතරම් ස්වාභාවික සම්පත් තිබුනත් අභ්‍යන්තර මරා ගැනීම් තියන බොහොම දුප්පත් රටක් !

    මම දන්නා තරමින් මේ හාදයාගේ නම උච්චාරණය කරන්නේ "මූස" කියල. කුරානයට අනුව මූසා, මොහමඩ් සහ ඊසාට කලින් හිටපු අනාගතවක්තෘ (Prophet). ඉස්ලාම්ය වගේම එයට පැරණි එබ්‍රහැමික ආගමක් (Abrahamic Religion) වන ක්‍රිස්තියානියට අනුව "ඊසා" කියන්නේ යේසුස් තුමන්ට (Jesus), එතකොට "මූසා" කියන්නේ බයිබලයේ පැරණි තෙන්ස්තමෙන්තුවේ (Old Testament) විදිහට ෆෙරෝවරුන්ට (Pharoh) කොකා පෙන්නපු "මෝසෙස්" (Moses). එතකොට මූසා කියන්නේ "මෝසෙස්"(Moses) කියන නමේ අරාබි වර නැගීම.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා කියන එක ඇත්ත. මමත් මුලින් කියෙව්වේ මුසා කියලයි. නමුත් උච්ඡාරණය පරික්ෂා කිරීමෙදි එය මියුසා ලෙස තිබු නිසා ඒ විදියට බාවිතා කරා. දැන් නං මාලි කියන්නේ අපායක්..

      ස්තුතියි කණ්ඩා

      Delete
  10. මෙච්චර ලොකු සල්ලි කාරයෙක් ගැන දැනගත්තේ දැන් තමයි මාමේ.ස්තුතියි මේ විස්තරේට.

    ReplyDelete
  11. රාජ්‍ය ධනය අවබාවිතය දාපිය නඩු ... ;)

    ReplyDelete
    Replies
    1. පොලේ ගොහිං උපවාස කරමු..

      Delete
  12. වැරැදි නිවැරැදි කිරීම් සන්තෝෂයෙන් කරනු නොලැබේ..

    මම හිතන් හිටියේ ලෝකේ පොහොසත්ම මනුස්සයා මම යි කියලා...😂😂

    බලහන්කො ඒකෙත් හැටි. මාලි ගෙ අද තත්ත්වේ සෝචනීයයි නේද ?

    ReplyDelete
    Replies
    1. මාලියේ අද තත්වය ඛේදජනකයි සෙන්නා.

      උඹත් හොද පෝසතෙක් තමා බං. හැක්.. මොකද කුරුන්දේ වැඩ අප්සැට්ද දැං?

      Delete
    2. අප්සැට් කියන්නේ ෆුල් අප්⁣සැට්...

      Delete
    3. පෝර ටිකක් හදාගනිං ඉස්සෙල්ලා. ඊට පස්සේ වපුරමු ටික ටික..

      Delete
  13. /* මියුසා රජතුමා මක්කම වැදල ආයි එන කොට මේ වෙච්චි දේ දැකල, කයිරෝවේ වෙළෙන්දන්ගෙන් හිතාගන්නවත් බැරි ගණං වලට තමන්ම දීපු රත්තරං ටිකෙන් සෑහෙන්න ප්‍රමාණයක් ආයි අරන් ආවය කියලයි කියන්නේ. ඒ කියන්නේ හැට දහසක සේනාවට ආපහු අරන් යන්න පුළුවන් ප්‍රමාණයක රත්තරං ආයිත් මිලට අරගත්තලු. */

    ඒ රත්තරං ආපසු ගත්තේ මොනවා දීලා ද? ගමන යනකොට වගේ රත්තරං දිලා වෙන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් රසික. පුරාවෘත්ත අනුව ඔහු ආපසු එන ගමනෙදි තිබුණ රත්තරං ඉවර වෙලා තිබුන නිසා අසල්වාසී රාජ්‍යයන්ගේන් විශාල ණය ප්‍රමාණයක් අරගෙන තමා කයිරෝ වලදි නැවත රත්තරං විශාල මිලකට මිලදී ගෙන තිබුනේ. ඒකත් ඔහුගේ කරුණාබරිත බව කියලයි ඒ අය කියන්නේ..

      Delete