Wednesday, December 18, 2013

පොඩි කළුවයි තඩි කළුවයි!!

එක ගමක් මිනිස්සු දෙන්නෙක් හිටියා. කරුමෙට මේ දෙන්නගේ නං එක සමානයි. නම කළු. ඒත් එක්කෙනෙකුට අශ්වයෝ හතර දෙනෙක් හිටියට අනෙකට හිටියේ එක අශ්වයෙක් විතරයි. ගමේ උන්දැලට මේ හාදයෝ දෙන්න අදුරගන්න බැරි නිසා මෙන්න මෙහෙමයි නම් දැම්මේ. අශ්වයෝ හතරක් ඉන්න කෙනා තඩි කළුවා, එක අශ්වයෙක් ඉන්න කෙනා පොඩි කළුවා. අපි දැං බලමු මේ කළුවෝ දෙන්නට මොකෑ උනේ කියල හැබෑටම, මොකෝ කියන්නේ මේක ඇත්ත කතාවක්..

පොඩි කළුවා හරියට නීතියෙන් බැදිල උන්න වගේ තමන්ට හිටිය තනි අශ්වයාව තඩි කළුවගේ කුඹුරු හාන වැඩ වලට දීලයි තිබුනේ. ඒකට හරියන විදියට තඩි කළුවා පොඩි කළුවට උදව් කරා. ඒ කොහොමද?? තමන්ගේ අශ්වයෝ හතර දෙනා පොඩි කළුවගේ වැඩ වලට දීලා. හැබැයි ඒ සතියකට සැරයක්.. ඒත් නිවාඩු දවසක. හයියෝ.

ඉතිං පොඩි කළුවාට ඒ දවස මගුල් වගේ. එදාට අර අශ්වයෝ සැට් එක, මේ මගේය, මගේමය කියල හිතාගෙන දෙනවා බැටේ කසෙන් හොද එකෙන්ම. හිරු දීප්තිමත්ව බැබලුනා, පල්ලියේ සීනු ඔක්කෝම හැඩවෙනවා, එතකොට අර යාඥා පොතක් කිහිල්ල අස්සේ ගහගෙන හොදට ඇද පැලද ගත් ගමේ උන්දැල පල්ලියට යනවා, පාදිලිතුමාගේ යාඥාවට කන් දෙන්න. අන්න එතකොට මේ අය දැක්කා පොඩි කළුවා අස්පයෝ පස් දෙනා දක්කගෙන හාන හැටි. ඒ උනත් පොඩි කළුවා හරිම සන්තෝසෙන් හිටියේ තමන්ගේ අස්වයෝ පස් දෙනාටම එක පිට එක පිට කසෙන් තලමින්. ඒක මිනිහාගේ සන්තෝසේත. ඒ මදිවට මිනිහා කෑමොර දෙනවා. “නැගටපිය මගේ පංච මහ බලවේගේ“ කියලා.

“තමුසේ ඔහොම කෑගාන්න එපා, මොකද ඔතන ඉන්නේ තමුසෙගේ එක අස්පයෙක් විතරයි නෙව“ තඩි කළුවා කිව්වා.

හැබැයි ඒ අහලින් කව්රුවත් නොයන වෙලාවක පොඩි කළුවට අර උපදේසේ අමතක උනා. මිනිහා ආයෙමත් හරම බෙරිහන් දුන්නා. “නැගිටපිය ගෙරි පංච මහ බලවේගේ“

“මම තමුසෙට වැදල කියන්නං උන්ට ඉන්න දෙනවා පාඩුවේ“ තඩි කළුවා කෝපයෙන් කිව්වා, “හැබැයි උඹ ආයේ ඔය කතාව කියනව ඇහුනොත් අම්මප මං තමුසෙගේ අස්පයට ඔළුවට දෙනව එකක් මැරිල වැටෙන්න. එතකොට ඉවරයි ඔක්කෝම“

ඒත් ඊට පස්සේ අහලින් පහලින් යන මිනිස්සු “සුභ දවසක්“ කියල කියන කොට පොඩි කළුවා නලියන්න ගත්තා. අරක අමතන උනා ඒ පාර සුපුරුදු සද්දේ දැම්මා.



“හිටපිය බොට“ තඩි කළුවා කෝපයෙන් ආවා, කෙටේරිය අරගෙන දුන්නා එකක් පොඩි කළුවගේ අස්පයට මැරිල වැටෙන්නම. “අයියෝ කෝ දැං මට අස්පයෙක්“ පොඩි කළුවා විලාප දෙන්න ගත්තා. ඊට පස්සේ අස්පයව හම ගහල අස්ප හම අරගෙන වේලෙන්න දාලා තිබ්බා. ඊට පස්සේ අස්ප හම අරගෙන පෝර උරේක දාගෙන ඒක කරේ තියං නගරෙට ගියා මේක විකුණගන්න බලාගෙන.

නගරෙට යනවනං අම්මප හෙන දුරක් යන්න ඕන ඒ මදිවට මහ රූස්ස කැලේ මැදින් තමා යන්න වෙන්නේ. නරක කාලගුණයක් තිබ්බ නිසා පොඩි කළුවට පාර වැරදුනා. කොහොම හරි අන්තිමට හරි පාරට වැටෙන කොට හැන්දෑ වෙලා, මොන විදියෙන්වත් රෑ වෙන්න කලින් එක්කෝ නගරෙට හරි ආපහු ගෙදරට හරි යන්න බෑ.

පාරට කිට්ටුව තිබුනා  ලොකු ගෙයක් ගොවියෙකුගේ. ජනෙල් පියන් වහල තිබුනට ගේ ඇතුලෙන් පෙරිල එන ලාම්පු එලිය පැහැදිලිව පේන්න තිබුනා. “මට මෙහේ අද රෑ ඉන්න පුළුවන් වේවි“ පොඩි කළුවා හිතල දොරට තට්ටු කරා. ගෙවිලිය ඇවිත් දොර ඇරියම පොඩි කළුවා තමන්ගේ උවමනාව එයාට කිව්වම “බෑ.. මෙහෙන් යන්න. මොකද මගේ මහත්තයා ගෙදර නෑ මේ වෙලාවේ, ඒක නිසා අමුත්තෝ වැද්දගන්න මට කොහෙත්ම බෑ“ කියලා ගෙවිලිය කිව්වම “එහෙනං මං දැනට එළියෙන් ඉන්නං“ කියල පොඩි කළුවා කිව්වා. ඒක ඇහුන ගමන් හරියට මුණට දමල ගහනවා වගේ ගෙවිලිය ගෙයි දොර දඩාං ගාලා වහල දැම්මා.

හැබැයි කිට්ටුවම තිබුන උස පිදුරු ගොඩක්. ඒ අතරේ පිදුරු හෙවිලි කරපු පොඩි ගෙයක් තිබුවා ගොවි ගෙදරට අල්ලලාම. “අහා. අර පිදුරු වහලේ මට ඉන්න ඇහැකි“ කියල හිතාගෙන පොඩි කළුවා ඒක පරික්ෂා කරා. “අප්පට සිරි මේක රජ ඇදක් නෙහ්. හැබැයි කොක්කු ඇවිත් මගේ කකුල් නොකෑවොත් නං එළ“ තමයි කියල හිතල මිනිහා වහලට නැග්ගේ මොකද වහලේ උඩ කොකෙක් හිටියා කූඩුවක් හදාගෙන.

මඩුවට නැග්ග පොඩි කළුවා හොද තැනක් බලල නිදාගන්න තැනක් හදාගත්තා. හප්පට සිරි, උඩින් බලන කොට නේ වැඩේ. අර ජනෙල් පටි වලින් ඇතුල පේනව නේ ලකේට. මුළු කාමරේ ඇතුලම හොදට පේනවා. කාමරේ තිබුන ලොකු මේසයක් ලස්සනට රෙද්දක් දාලා, මේසේ උඩ වයින්, රෝස් කරපු මස්, කටට කෙල උනන මාළු එහෙමත් තිබුනා. ගොවිපලේ ලියන මහත්තයයි ගොවියගේ බිරිදයි දෙන්න ඒ මෙසේ එක ළග පුටු දෙකක වාඩි වෙලා හිටියා හැබැයි වෙන කව්රුවත් පේන්න නැහැ. කාන්තාව වයින් වීදුරුව පුරවනවා, ලියන මහත්තයා එයා ආසම මාළුවා ගෑරුප්පුවෙන් ඇන ඇන ආසාවෙන් දෙසා බානවා.

“මටත් ඒකෙන් ඩිංගක් තිබ්බනං“ කියල හිතල පොඩි කළුවා ජනේලේ ගාවට හෙමින් සුරුස් ගාලා ලෙස්සල ආවා. හප්පච්චියේ එතන තිබ්බ තඩි කේක් එක දැක්කා විතරයි මිනිහට කියවුන මේක නං පනහකට උනත් කන්න පුළුවන්නේ කියලා.

එතකොටම පොඩි කළුවට ඇහුනා පාර කොනෙන් ටක ටක සද්දයක්. ඔව් ඒ එන්නේ ගොවියා තමා. මිනිහා තරමක් හොද කෙනෙක් තමා. ඒත් මිනිහගේ අමුතු පෙනුම නිසා මොන විදියෙන්වත් ලියන මහත්තයා තමන්ගේ ගෙයි ඇතුලේ ඉන්න එක දකින්න නං අකමැති වේවි. මොකද මිනිහගේ ඉස්සරහට ලියන මහත්තයා ආවොත් ගොවියා ට මරුමුස් වගේම තරහා යනවා. 

අන්න ඒක නිසා තමයි මේ අහිංසක ලියන මහත්තයා ගොවියා ගාවට නොගිහින් එයැයිගේ හාමිනේට “ගුඩ් නයිට්“ කියන්න ගෙදරට ගිහින් තියෙන්නේ.  ඉතිං ගෙදරට ආපු අයට නොසලකා හැකිය ඒ නිසා මේ යහපත් කාන්තාව ගෙදර තියෙන හොදම කෑම බීම දිල තමන්ගේ අමුත්ත වෙච්චි ලියන මහත්තයට හොදට සැලකුවා. හරි හොද මිනිස්සු. ඒත් ගොවියා ගෙදරට එන සද්දේ ඇහුනම දෙන්නම බයබිරාන්ත වෙලා ගියා. 

ගෙවිලිය ලියන මහත්තයට වැදල කිව්වා අනේ අර හිස් පෙට්ටියවත් රිංගනවකෝ කියල. ඉතිං මිනිහා එහෙම කරා. ඊට පස්සේ දනිපනි ගාලා ගෙවිලිය අර අඩුම කුඩුම සේරම ටික අරගෙන පෝරනුවට දැම්මා. වයින් බෝතල් ටික පෝරනුව පිටි පස්සේ හැංගුවා. ඒවා දැක්කනං ගොවියා අනිවාර්යෙන් අහනවා මේ කෑම ජාති මොන එහෙකටද කියලා. මඩුව උඩ හිටිය පොඩි කළුවාට අර කෑම හංගපු විත්තිය දැක්කම “ආහ්. ඒකත් එහෙමද“ කියල නිකම්ම ඇහුනා. 

“කව්ද ඔතන උඩ ඉන්නේ“ ගොවියා පොඩි කළුවා දිහා හැරිල ඇහුවා. 

“තමුසේ මොකද ඔතන කරන්නේ, මාත් එක්ක ඇතුලට යන්න එනවල“ කියල කිව්වම පොඩි කළුවා ආවා. ඇවිත් තමන්ට වෙච්චි සිද්ධිය කිව්වා ඒ කිව්වේ පාර වැරදුන එක. ඉතිං ඒක නිසා අද රෑට නවතින්න දෙන්න බැරිද ඇහුවම ගොවියා “අපොයි පුළුවන්“ කියල ගත් කටටම කිව්වා. “හැබැයි ඊට කලින් මක්ක හරි කාලා හිටිමු“

ගෙවිලිය දෙන්නවම බොහොම හොදට පිළිඅරගෙන, ලොකු මේසෙට රෙද්ද දාලා, ඕට් වලින් හදපු ලොකු කැඳ තසිමක් ගෙනැත් තිබ්බා. ගොවියට හොදටම බඩගිනි නිසා එක හුස්මට කෑවට පොඩි කළුවට මේක කන්න මොකක්ද වගේ. මිනිහට මතක් වෙන්නෙම අර පෝරනුවේ හංගපු නියමෙට රෝස් කරපු මස්, තඩි මාළුවයි වයින් බෝතලුයි විතරයි. පොඩි කළුවගේ කකුල් දෙක පාමුල අර අස්ප හම දාපු ගෝනිය තිබුනා, අපි දන්නවනේ මිනිහා ඒක විකුනන්න නගරෙට යන ගමන් මේ කියලා. පොඩි කළුවට මේ අජර කෑම එක කන්න හිත දෙන්නෙම නෑ. ඒ පාර මිනිහා ගෝනියේ ගැටේ ලිහන්න ගත්තා එතකොට වේලිච්ච අස්ප හමෙන් ලොකු සිරි බිරි සද්දයක් ආවා.

“ඈ බොල ඒ මොකෙක්ද? ගෝනියේ මක්කද“ ගොවියා ඇහුවා. “ආහ්.. එයා මැජික්කාරයෙක්“, “එයා කියන්නෙ අපි මේ ජරාව කන්න ඕන නැතිලු. මොකද පෝරනුව පිරෙන්න එයා කේක්, රෝස් කරපු මස්, මාළු මැව්වලු“ පොඩි කළුවා කිව්වා.

“අම්මප. මාරයිනේ“ විස්මයෙන් කියන ගමන් ගොවියා පෝරනුව ඇරියා, එතකොට ගොවියා දැක්කා තමන්ගේ මායියා මේකේ හංගපු ඔක්කෝම රස කෑම ගොඩ, ඒත් ඉතිං මිනිහා හිතන්නේ මේවා අර මැජික්කාරයගේ වැඩ කියල නෙව. මායියා වගේ වගක් නැතිව ඔහේ හිටියා, පස්සේ අර කෑම ටික අරන් මේසේ උඩින් තිබ්බා. වෙන කරන්න දේකුත් නැනේ. ඔන්න ඊට පස්සේ දෙන්න එකතු වෙලා මේ කෑම ටිකට වැඩේ දුන්නා. පොඩි කළුවා ආයෙත් අර මල්ල අතගාලා සිරි සිරි සද්දේ දැම්මා.

“ඒ පාර මොකද?“ කියල ගොවියා ඇහුවා පොඩි කළුවා උත්තර දුන්නා.

“එයා කියනවා...අපි දෙන්නට වයින් බෝතල් තුනකුත් දැං මැව්වලු. ඒක අර පෝරනුව පිටිපස්සේ ඇතිය කියලා“. ඔන්න ඒ පාර නං ගෙවිලිය පැකිලීමක් නැතිව ගිහිල්ල තමන් හංගපු වයින් බෝතල් තුන ගෙනැල්ල බොන්න තිබ්බා. මේක බීල ඉවර වෙලා ගොවියා සුරලෝකේ පාවෙන්න ගත්තා. මිනිහටත් මාර ආසාවක් ආවා පොඩි කළුවා වගේ මැජික්කාරයගේ වැඩ ගැන.

“මෙයාට යක්සයාව උනත් මවන්න ඇහැකිද,... මම බීල ඉන්න නිසා මං කැමතියි ඕන යකෙක් බලන්න උනත්“ ගොවියා පැද්දි පැද්දි කිව්වා.

“මොකෝ අනේ බැරි,... මගේ මැජික්කාරයට පුළුවන් මම කියන ඕනම දෙයක් කරන්න., එහෙම නේද?“ මිනිහ මල්ල හෙලෙව්වම “ඔව්“ කියනව වගේ මල්ල සිරි බිරි ගෑවා. “එයා කියනවා, යක්ෂයව බලන්න එපාලු මොකද මිනිහ මහ කැතම කැත රාකෂයෙක්ලු.“

“මගේ ඇති බයක් නැහැ අපි බලමු මිනිහා මොන වගේද කියලා“

“ඇයි කිව්වොත්.. යක්ෂයා හරියටම ඔහේගේ ලියන මහත්තයා වගේම වේවි. ඒකයි මම කිව්වේ“

“හා...!!! ඒකා නං මජරයෙක්.. .තම්මුෂෙ දන්නවද මට ඔය ලියන්නව දෑහැට පේන්න බෑ. කමක් නැහැ මං දන්නව නේ මේ යක්ෂයමයි කියලා, ඒක නිසා මම හිත හදාගන්නං. හැබැයි ඒ යකාට කියන්න මගේ අහලටවත් එන්න එපැයි කියලා.. හරිද“

“හරි ඉන්න මං කියන්න“ පොඩි කළුවා මල්ලට කිට්ටු වෙලා මොකක් හරි කියනව වගේ හිටියා.

“ආ එයා කියනවා අර මුල්ලේ තියෙන පෙට්ටිය ඇරල බලන්නලු. ඒකේ ගුලි වෙලා යක්ෂයා ඉන්නවලු. හැබැයි පියන අල්ලන් ඉන්න ඕනලු නැත්නං ඒකා පැනල යාවිලු“

“තමුසේ මට උදව් කරනවකෝ ඉතිං“ ගොවියා පෙට්ටියට එබිල බැලුවම මිනිහට “හෑ“ ගෑවුනා. “හහ්.. මම දැක්කා. ඇත්ත නේ හරියටම අර ගොබිල ලියන්න වගේමයි නේහ්“

ඊට පස්සේ ඉතිං බොන්නම එපැයැ. දෙන්න එක්ක මහරෑ ජාමේ වෙනකං බිව්ව ඒ පාර. 

“තමුසේ මට ඔය විජ්ජාකාරය විකුණනවා, තමුසේ ඕන දෙයක් ඉල්ලනවා. මම තමුසෙට කට පිරෙන්නම සල්ලි බුසලක් දෙන්නං මොකෝ කියන්නේ“

“ඒක කරන්න බෑ. හිතනවා මට ඒක කොයි තරං වටිනවද කියලා, අම්මප මං ඒකට පට්ට කැමතියි“ ඔන් ඊට පස්සේ ගොවියා ඒක දෙන්නෙයි කියල අඩන්න ගත්තා. 

“හ්ම් කමක් නැහැ. තමුසේ හොද මිනිහා. මොකද අද මට මෙහේ ඉන්නත් දුන්න නෙව. එහෙනං තමුසේ ඒක තියාගන්නව මට ඒකට කට කපල සල්ලි බුසලක් දෙනවා එහෙනං“

“අන්න එහෙම එනවකෝ.. හැබැයි තමුසේ තව එකක් කරන්න ඕන අර පෙට්ටයත් අරන් යනවා. කව්ද දන්නේ අර යකා තාම ඒකේ ඉන්නවද කියලා තේරුනාද“ ගොවියා කිව්වා.

වෙළදාම උනා. ගොවියා අස්ප හම ගත්තා. පොඩි කළුවා ගොවියා දීපු ට්‍රන්ක පෙට්ටියක අර කට කපපු සල්ලි බුසලයි පෙට්ටියයි පටවන් යන්න ගියා.

කැලේට එහා පැත්තෙන් මහ ගැඹුරු ගගක් ගලාගියා. ඒකේ පීනන්ත හිතන්නවත් බෑ. අළුත හදපු ලස්සන පාලම ගාව නැවතුන පොඩි කළුවා මහ හයියෙන් පෙට්ටියේ ඉන්න ලියන්නට ඇහෙන්න මෙහෙම කිව්වා.

“අනේ අම්මේ. මේ වැඩකට නැති පෙට්ටිය උස්සන් යන්න මට පිස්සුද? මේක ඇදං ගිහිල්ල මට එපා වෙලා. දානව මේක ගගට, එක්කෝ අපේ ගෙදරට වර නැත්නං සුන්නත්දූලි වෙලා පල කියල“ පෙට්ටිය පොඩ්ඩක් උස්සල ගගට දාන්න වගේ කරා ඒ පාර.

“අනේ එපා.. ඔහොම ඉන්න.. මාව ඉස්සෙල්ල එළියට ගන්න“ පෙට්ටියේ හිටිය ලියන්නා බෙරිහන්දුන්නා.

“බුදු අප්පොච්චියේ යකා තාම ඇතුලේ.. දැන්නං ඉක්මනට මේක ගගට විසික් කරන්න ඕන මේකා ගිලිල මැරෙන්නම“ පොඩි කළුවා හරියට බයෙන් වගේ කිව්වා.

“එපා එපා.. අනේ එපා.. මං ඔයාට පුරවල සල්ලි බුසලක් දෙන්නං ආනේ මට යන්න දෙන්න“ ලියන්නා කිව්වා.

“ආහ්.. ඒක වෙනම කතාවක්“ කියල පොඩි කළුවා පෙට්ටිය ඇරියම දඩ බඩ ගාලා ලියන්න එළියට ඇවිත් පයින් ගහල පෙට්ටිය ගගට විසි කරලා කෙලින්ම මිනිහගේ ගෙදරට ගියා. ඒ පාර පොඩි කළුවට තවත් සල්ලි බුසලක් ලැබුනා. දැං පුරවපු සල්ලි බුසල් දෙකයි.

“ඔන්න එහෙනං මම අස්ප හම විකුන්නා.. හහ් හහ්“ පොඩි කළුවා ගෙදර ගිහින් අර සල්ලි ටික ඔක්කෝම කාමරේ මැද කන්දක් වගේ ගොඩ ගැහුවා. අර මදාවි තඩි කළුවා දැනගත්තොත් මම කොච්චර පෝසත්ද කියල.. අනේ මට උගේ මූන බලාගන්න ආසයි එතකොට. ඌට මුකුත් කියන්න නාකයි“

පොඩි කළුවා හිස් කුරුනියක් අරන් එන්න කියල කොලු ගැටයෙක්ව තඩි කළුවා ගාවට පිටත් කරා. මේ මොකක්ද කියල නොදන්න තඩි කළුවා කෝකටත් කියල ඒකේ පතුලේ මැලියං ටිකක් ගාලා තමා දුන්නේ. එතකොට දැන ගන්න පුළුවන් නේ මොනවද මේකා මේ තරං මනින්නේ කියල.

වැඩේ හරියටම හරි. තඩි කළුවා හිතුව වගේම කාසි වගයක් කුරුණියේ ඇලිලා. මේක දැක්කම මිනිහට ඇස් අදහගන්නත් බෑ දුවල ගියා පොඩි කළුවා ගාවට.

“තමුසෙට කොහෙන්ද මෙච්චර සල්ලි ගොඩක් කියනව මට“

“ආහ්. ඒ අර මගේ අස්ප හං කෑල්ලට. මං ඒක ඊයේ වික්කා“

“අප්පට සිරි හොද ගානක් ලැබිල නේ ඒ වහුකුනට“ එහෙම කියපු තඩි කළුවා මිනිහගේ ගෙදරට දුවල ගිහිල්ල, කෙටේරිය අරන් තමන්ගේ අස්පයෝ හතරදෙනාම මරල හම අරගෙන වේලලා ටවුමට අරන් ගියා විකුණන්න.

“අස්ප හං අස්ප හං“



මේක ඇහුනම සපත්තු කාරයොයි හම් මහන්නොයි ආවා ගාන අහන්න. “සල්ලි බුසලක් දෙන්න“ කඩි තළුවා කිව්වම “මේ යකාට පිස්සු කියලා“ අර කට්ටිය කිව්වා. ඒත් මේකා සල්ලි බුසලක්ම ඉල්ලන හින්දා මූ පිස්සෙක්ය කියල අර කට්ටිය තමන්ගේ අතේ තිබ්බ හම්පටි වලින් ගහ ගහ තඩි කළුවව එළවල දැම්මා.

“මම ඕකව මරනවා පොඩි කළුවා. ඌ මාව කෑවා“ කෝපෙන් පුපුරමින් තඩි කළුවා පොඩි කළුවගේ ගෙරදට දිව්වා.

හරියටම මේ වේලාවේ පොඩි කළුවගේ සැරපරුස ආච්චි ආන්ත්‍රා වෙලා. තමන්ට ගැහුව බැන්නත් ආච්චි ගැන දුකක් තිබ්බ නිසා ලස්සනට ඇදුං අන්දල ආයි කවද බලන්නද මයේ ආච්චියේ කියල, මළමිනිය පොඩි කළුවා නිදාගන්න ඇදේ පතබාවල, මිනිහා ඇද ගාව තිබුන පුටුවක තමා වාඩි වෙලා හිටියේ. මේ වෙලාවෙම කෙටේරිය අරං ගෙට පැනපු තඩි කළුවා ඇද උඩ ඉන්න පොඩි කළුවගේ ඔළුවට කෙටුවා. මොකද මිනිහා දන්නවා පොඩි කළුවා නිදාගන්න ඇද තියෙන තැන. ආයි දෙකක් නෑ පොඩි කළුව මැරුනයි කියල හිතාගෙන තඩි කළුවා මෙහෙම කිව්වා. “ආන් දැක්ක නෙ..තමුසෙට ආයි මාව මෝඩයේ කරන්න නං බෑ.“ මිනිහා යන්න ගියා.

“ඒ නං මහ නරක මිනිහෙක්“ පොඩි කළුවා කිව්වා. “මිනිහට ඕන උනේ මාව මරන්න. වෙලාවට ආච්චි මැරිල හිටියේ. නැත්නං මේකා ආච්චිවයි මරන්නේ“ ඊට පස්සේ ආච්චිට එයාගේ හොදම ඇදුම් ටික අන්දවල අසල්වැසියෙක්ගෙන් ගත්ත අස්ප කරත්තෙක පිටිපස්ස ආසනේ වාඩි කරවගෙන කරත්තේ පැදගෙන යන්න ගියා. කොහොම හරි ඉර නැගෙන කොට මේ අය ලොකු තානායමක් ඉස්සරහ හිටියේ.

දැඩි පිපාසෙන් හිටිය පොඩි කළුවා කරත්තෙන් බැහැල  තානායම ඇතුලට ගියා. ගිහිල්ල තානායම්පල්ලට මෙහෙම කිව්වා.

“මම ආච්චිත් එක්ක නගරෙට යන ගමන්. එයා කරත්තේ ඉන්නවා. එයාව මෙහාට එක්ක එන්න අමාරුයි. එයාට ඔය ටිකක් සැර පැණි බීමක් ගිහින් දෙන්න කරත්තෙට. හැබැයි හයියෙන් කතා කරන්න මොකද එයාට ඇහෙන්නේ නැහැ“

එහෙම කරන්නං කියපු තානායම් පල්ලා හොද වයින් වීදුරුවකුත් අරන් කරත්තෙ ගාවට ගිහිල්ල කීප වතාවක්ම බෙරිහන් දීලා කෑගහුවත් පළාතක බලපු නැති ආච්චි ගැන තරහ ගියා. මොකද හැම වෙලේම ගිනි පෙලෙල්ල අතේ තියන් ඉන්න එකෙක් තමා මේ තානායම්පල්ලා. මේකට තරහ ගියපු නිසා වීදුරුව අරන් ආච්චිගේ මුනට විසී කරාම වීදුරුවේ තිබ්බ වයින් ටික ආච්චිගේ නහය දිගේ බේරුනා. ඒ එක්කම ආසනේ උඩ වාඩි වෙලා හිටිය ආච්චි පිටි පස්සට වැටුනා ඇයි ඉතිං එයා නිකං එහෙම හිටියා විතරයි නේ ගැට ගහල නැහැනේ.

“ඒයි යකෝ.“ පොඩි කළුවා දුවගෙන ආවා. ඇවිත් තානායම්බල්ලව බෙල්ලෙන් උස්සල කෑ ගැහුවා. “තෝ මගේ ආච්චිව මැරුවා එහෙනං, බලපං අර නලලෙ තියෙන තුවාලේ“

“අයියෝ මේක මගේ කරුමේ... මගේම කරුමේ, මගේ ඉවසිල්ලක් නැති කම තමා මේ ඔක්කෝටම මුල. අනේ පොඩි කළුවා මහත්තයෝ මං ඔයාට සල්ලි බුසලක්ම දෙන්නං. මගේ පවුලේ කෙනෙක් වගේ මේ ආච්චිව අපේ සෙහොන් බිමේම භුමදාන කරන්නං. හැබැයි මේක කාටවත් කියන්න එපා එහෙම උනොත් මං ගස්.. රත්තරනේ “

ඉතිං පොඩි කළුවට තවත් සල්ලි බුසලක් ලැබුනා. තානායම්පල්ල එයාගේ වියදමින්ම ආචිචිව වල දැම්මා. ආයි ගෙදර ආපු පොඩි කළුවා හිස් බුසලක් ගේන්න කොළුවව යැව්වා. 

“මොකා.. මිනිහ මැරිල නෑ.. මේක හරියන්නෑ මමම ගිහිල්ල බලන්න ඕන“ කියල හිස් බුසල අරන් තඩි කළුවා ගිය එහෙට.

“ඒ පාර තමුසෙට කොයින්ද මෙච්චර සල්ලි“ පිස්සුවෙන් වගේ ඇස් ලොකු කරගත් තඩි කළුවා ඇහුවේ කාමරේ මැද්දට වෙන්න තිබ්බ සල්ලි ගොඩ දැකලා.

“හැක් හැක්.. තමුසේට මාව මරන්න බැරි උනා ඒත් තමුසේ මගේ ආච්චිව මැරුවා. මම ආච්චිව විකුණුවා ඉතිං මට සල්ලි බුසලක්ම ලැබුනා“

“ඒක මාර සෙල්ලමනේ“ කියාගෙන තඩි කළුවා දිව්ව ගෙදරට. කෙටේරිය අරන් එයාගේම ආච්චිව මරල දැම්මා. ඊට පස්සේ කරත්තෙක පටවගෙන දිස්පැන්සරියට ගිහිල්ලා ඇහුව සල්ලි වලට මිනී ගන්නවද කියල.

“කව්ද ඒ. තමුසෙ කොහෙන්ද ඕක හොයාගත්තේ“ බේත් ශාලාවේ අයිතිකාරයා ඇහුවා.

“ඒ මගේ ආච්චි. මං එයාව මැරුවා එයාව විකුණල සල්ලි බුසලක් ගන්න හිතාගෙන“

“අහෝ දෙවියනි. උඹ නං තුච්ඡයෙක්. තමුසෙට අමු කැවිලද මේ විකාර කියවන්නේ.“ දිස්පැන්සරියේ අයිතිකාරයා ඇත්තටම කියල දුන්න තඩි කළුවට මීනිමැරුමක් කරාම ඇති වන භයානක තත්වය. මොකද මනුෂ්‍ය ඝාතනයක් කියන්නේ සාපරාධි අපරාධයක් කියන එක. මේක අහල තඩි කළුවා හොදටම බය වෙලා උඩ පැනල කරත්තෙට නැගල එක වේගෙට අස්පයන්ට තලමින් ගෙදර යන්න ගියා. මේක දැක්ක මිනිස්සු හිතුවා මිනිහට පිස්සු නිසා ඕන දෙයක් කරගත්තාවේ අපි සද්ද නැතිව ඉමු කියලා.

“උඹට මේකට නං සෝම්බුව දෙනවා මං.“ පාරේ යන ගමන් තඩි කළුවා හිතුවා. ගෙදර ගිහිල්ල, ගෙදර තිබුන ලොකුම පෝර මල්ල අරගෙන පොඩි කළුවගේ ගෙදර ගිහිල්ල මිනිහව අරගෙන ගෝනියට දාලා ගැට ගැහුවා. “තෝ මාව ආයෙත් මෝඩයා කරා. මම මගේ අස්පයෝ මැරුවා. දැං ආච්චිව මැරුවා. මේවා උඹේ වැරදි. ආයි උඹට එහෙම කරන්න ලැබෙන්නෑ. මං තෝව ගඟට දානව ගිලිල මැරියන්“

ගඟ ගාවට යන්න සෑහෙන දුරක් තියෙනවා, ඒ මදිවට පොඩි පොඩි කිව්වට මේ පොඩි කළුවා හෙන බරයි. තඩි කළුවා පල්ලිය ගාවට ගියා. ඒ වෙලාවේ පල්ලියේ අගේට මිහිරියට මිනිස්සු ගීතිකා ගායනා කරන හඩ ඇහුනම තඩි කළුවට හිතුවා මේකා මරන්න යන එකේ පිනක් දහමක් කරගන්න ඕන කියලා. ඒ පාර පල්ලියේ දොර ගාව මල්ල තියලා තඩි කළුවා ගීතිකා අහන්න පල්ලියට ගියා. 

“දැං තමා වෙලාව“ කියල පොඩි කළුවා ගැටේ ලිහන්න හැදුවත් ඒක කරන්න බැරි උනා.

මෙන්න මේ වේලාවේදිම එතනින් යනවා සුදු හිස කෙස් ඇති අතේ ලොකු කෝටුවක් තියෙන ගොපල්ලෙක්. මිනිහා විශාල ගොං බානක් දක්කන් යනවා. ඒත් සත්තු යන පාර අවහිර වෙන විදියට තඩි කළුවා ගෙනාපු මල්ල තිබ්බ නිසා සතුන්ගේ පා පහරවල් වැදිලා මල්ල විසික් වෙලා ගියා.

“අයියෝ මං කොල්ලෙක් වෙලත් අදම දෙව්ලොවට වඩින්නයි හදන්නේ“ පොඩි කළුවට කියවුනා දුකෙන්.

“ඇයි ඕයි මට.. මම වයසක මිනිහා. ඇයි මට බැරි. මේච්චර වයසට ගිහිල්ලත් මට ඕකට යාගන්න විදියක් නැහැ.“ ගොපල්ලා කිව්වා මේ සද්දේ ඇහිලා.

“මල්ල අරින්න, මේ මල්ලට බහින්න. ඔයාට එක පාරින්ම දෙව්ලොවටම වඩින්න පුළුවන්“ පොඩි කළුවා කිව්වා.

“අම්මප ඇත්තද? මම කැමතියි. හැබැයි මගේ ගොං බාන ඔයා බලාගන්නව නේද?“ කිව්ව මහල්ලා ගැටේ ලිහල පොඩි කළුවව එළියට අරගෙන මිනිහම මල්ලට බැස්සා. ඊට පස්සේ තදට ගැටේ ගහල, මල්ල දොර ගාවින් තියල, පොඩි කළුවා අර ගොං බාන දක්කන් යන්න ගියා.

ටික වෙලාවකින් ආපු තඩි කළුවා මල්ල කරට ගත්තම ඒකේ බාගයක්ම බර අඩු වෙලා තියෙනවා දැනුනම, ඒ අර අහපු ගීතිකා නිසා දෙවියෝ කරපු දෙයක්ය කියල හිතල සන්තෝසෙන් මල්ල උස්සන් ගිහිල්ල ගඟ මැද්දට අතෑරියා ඒ පොඩි කළුවයි කියල හිතාගෙන. “දැක්කනේ දැං ඕකට වෙලාම හිටපං.. උඹට ඉතිං මාව ගොනා කරන්න බෑ ආයෙත්“ කියල ගෙදරට යන්න පිටත් උනා.

හැබැයි ගඟ පහුකරගෙන හන්දියට එන කොට මෙන්න එනවා මහා ගොං බානක් දක්කගෙන පොඩි කළුවා, තඩි කළුවා පුදුමෙන් බැලුවා. “මේ මොකාද? එතකොට තමුසේ මැරුනේ නැද්ද“ භීතියෙන් තමා ඒක ඇහුවේ.

“ඔව් තමුසේ මාව පැය බාගෙකට කලින් ගඟට විසික් කරා නං තමා“

“ඉතිං තමුසෙට කොයින්ද මෙච්චර ගොං බානක්. කොහෙන්න ලැබුනේ“

“මේ සත්තු නිකං උන් නෙමෙයි දිය ගොනුන්.. හරි මං කියන්නං තමුසෙට විස්තරේ.. තමුසේ මාව ගඟට විසි කරල ලොකු උදව්වක් කරේ. දැං මම තමා පෝසත්. බලනවා මං හුගක් පෝසත්. තමුසේ මාව ගෝනියට දාලා අරන් යන කොට මං හොදටම බය උනා. තමුසේ මාව ගඟට විසි කරාම ඒ හුලං පාරට මාව කීරි ගැහිල ගියේ ආයේ දෙකක් නෑ. මම පතුලටම ගිලුනා. පතුලේ තිබ්බ මාර සිනුදු තණ කොල නිසා මට කිසිම දෙයක් දැනුනේ නැහැ. ඔන්න එක පාරටම මල්ල ඇරුනා. එතකොට මම දැක්කේ සුදුම සුදු පාට ලස්සන ඇදුම් ඇදගෙන එයාගේ තෙත කොන්ඩේ මල් මාලයක් දාගෙන හිටපු දිය කිදුරියක්. එයා මාව එක්කන් ගියා. මට මෙහෙම කිව්වා.“

“එන්න මගේ පුංචි කළු පැටියෝ. ඔයා මේ පොඩි හරක් බාන අරගන්න. මේවා මං දෙන්නේ. තව හැතැක්මක් ගියාම මේ ගඟ දිගේ, ඔයාට මීට වඩා ලොකු ගොං බානක් ලැබේවි.“

ඔන්න එතකොට මම දැක්කා අර ගඟ එක පාරටම තඩි තාර පාරක් වෙනවා. ඒක දිගටම ගඟ පටන් ගන්න තැන ඉදල මූද දක්වාම තියෙනවා. පාර දෙපැත්තේ ලස්සන මල් පිපිලා, ලස්සන තණනිලි, ඒ වගේම මාළුවෝ. උන් හරියට අර කුරුල්ලෝ වගේ මගේ කන ගාවින් ගියේ. ඒ මිනිස්සු නං හරිම හොදයි. ඒ බිම් වල කොයි තරං හරක් බාන් ඉන්නවද ඇත්තට සූ ගාලා..“

“ඉතිං තමසෙ මක්කටෙයි ආයේ මෙහට ආවේ. මම උනා නං හෙම එහෙම නවතිනවා. ඔව් නවතිනවා“ තඩි කළුවා කිව්වා.

“ඇයි.. මම දන්නවා. .තමුසෙට ඇහුන නේ මං කිව්ව අර දිය කිදුරිගේ කතාව. ඊට හැතැක්මක් එහා තියෙන ලොකු ගොං බාන ගැන. ඒ අයට ඒක පාරක් වගේ උනාට අපි දන්නව නෙව ගඟක හැටි. අර පැත්තට යනවා මේ පැත්තට යනවා. ඉතිං කොහොමද මං හරියටම පාර හොයාගන්නේ.. අපි දන්න විදිය නේ මේක. මම ගොඩට ආවේ එතන හොයාගෙන යන්න තමා. ඔය ගඟ දිගේ කරක් ගහනවට වැඩිය පුරුදු පාරෙන් ගිහිල්ල එතැන හොයාගන්න එක ලේසියි නෙව.. මේ වැඩේ නිසා මට යන්න තියෙන දුර හැතැක්ම බාගයක් විතරයි අඩු උනා. ඉතිං පුළුවන් තරං ඉක්මනට මම මගේ දිය ගොං රෑන වැඩි කරගන්න තමා මේ හදන්නේ“

“අනේ අම්මප උඹ වගේ වාසනාවන්තයෙක්,.. තමුසෙ හිතනවද මං ගියොත් මටත් ඔය වගේ ගොං බානක් ගන්න ඇහැක් වේවි කියලා.. කියනවකෝ ඕයි“ තඩි කළුවා ඇහුවා.

“ඇයි අනේ බැරි. පුළුවන්. ඒත් මට තමුසෙව ගෝනියක දාගෙන ගඟ ගාවට උස්සන් යන්න බෑ. තමුසේ එතනට ගිහිල්ල තමුසෙම ගෝනියට බැස්සොත් ඔන්න මම උදව්වක් විදියට තමුසෙව සන්තෝසෙන් ගඟට විසික් කරන්නං“ පොඩි කළුවා මෙහෙම කිව්වම ඒකට තඩි කළුවා කැමති උනා. හැබැයි ගඟ පතුලට ගිහිල්ල ආයේ එද්දී අර කිව්ව වගේ ලොකු හරක් බානක් ලැබුනේ නැත්නං ආපහු ඇවිත් ඉස්තීරෙටම පොඩි කළුවා මරණවයි කියලත් කිව්වා.

“අනේ එච්චර දරුණූ වෙන්න එපා අයියා“ කියල ගඟ ගාවට ගියා දෙන්නම අර ගොං බානත් එක්කම. වතුර පිපාසෙන් හිටිය හරක් ටික ගඟ දැක්ක විතරයි කඩා බිදගෙන වතුරට දුවන්න ගත්තා. මේක බලන් හිටිය පොඩි කළුවා මෙහෙම කිව්වා.

“දැක්කනේ.. මුන්ට වතුරට පනින්න තියෙන ආසාවක තරම.. උන්ට ඒ තරං හදිස්සියි ගං පතුලට යන්න හැක් හැක්“

“අනේ. ඒකට කමක් නෑ. තමුසේ ඉස්සෙල්ලා මට උදව් කරනවා, නැත්නං මං බොට නෙලනවා හරිද“

මීහරකෙකුගේ පිටේ ගැට ගහල තිබ්බ ලොකු උරේකට නැගපු තඩි කළුවා “ඒයි තව ගලකුත් දානවා.. බැරි වෙලා හරි මාව ගිලුන්නැති උනොත්“ කියල කිව්වා. ලොකු ගලක් මල්ලට දාලා මල්ල තදින් ගැට ගහපු පොඩි කළුවා එක පාරටම ඒක ගඟට තල්ලු කරා. අපේ තඩි කළුවා කිසි කතාවක් නෑ එක පාරටම ගං පතුලේ.

“මට බය තඩි කළුවට බැරි වෙලා හරි ගොං බාන හොයාගන්න බැරි වෙයිද හක් හක්“ කියල කියමින්, තමන්ගේ ගොං බානත් අරන් පොඩි කළුවා ආයි ගෙදර යන්න පිටත් උනා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - Little Claus and Great Claus

83 comments:

  1. මේක ඇන්ඩගෙද බං? මම දන්න තරමින් රුසියන් ජන කතාවක් තියනව. ගව්රිලෝ සහ දනිලෝ කියන චරිත දෙක තියන කතාව. මේකම තමයි. එක්කෝ ඇන්ඩ කොපි කලා ඒක.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩගේ තමා බං.. මේ කතාව ලියල තියෙන්නේ 1835 වෙන්න ඕන...මේකයි බං අර කතාවේ මුලත් එක්ක බැලුවනං හරි. කාල පරතරය.. මම හිතන විදියට ඇන්ඩට මුකුත්ම කොපි කරන්න කිසිම උවමනාවක් නැහැ මොකද මිනිහට ඇල්පෙන්ති තුඩක් වැටුනත් ඇති කතාවක් ලියන්න. ඒ තරං දක්ෂ කෙනෙක්...

      Delete
  2. මම 2ක ද දිග වැඩි පස්සෙ කියවනවා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් උඹ 2 තමා.. කියවන්න අමාරුනං අතෑරහං බං.. අවුලක් නැහැ..

      Delete
    2. දිග වැඩි වුනාට මම කියෙව්වා ..දියුණු වෙන්න තමන්ගෙ නුවණ පාවිච්චියට ගන්න ඕනි ..මහන්සියෙන් කියෙව්වා හැබැයි පස්සෙ ලියපු කෙනාගේ නහය කිති කවන්න හිතුනෙ නෑ ..නියමයි ...

      Delete
    3. ස්තුතියි සහෝදර.. අමරුවෙන් හරි කියවපු එකට.. පොඩි හරි රසයක් තිබ්බ නං මං ඒකට සතුටුයි..

      Delete
  3. බොහොම ස්තූතියි දේශකයෝ ............. මේ මහන්සිය අපතේ යන්නේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සහන්.. උඹල නිසා නේ මේ දුක් විදගෙන මේවා කොප්ප ගහන්නේ.. හැක් හැක්.. සන්තෝසයි..

      Delete
  4. සෑහෙන්න දිග කතාවක්නෙ :)
    මෙතන මට පොඩ්ඩක් අවුල් වගේ//....තඩි කළුවා නිදාගන්න ඇද උඩ සතපවල තිබ්බා. තඩි කළුවා ඇද ගාව තිබුන පුටුවක තමා වාඩි වෙලා හිටියේ. මේ වෙලාවෙම කෙටේරිය අරං ගෙට පැනපු තඩි කළුවා ඇද උඩ ඉන්න පොඩි කළුවගේ ඔළුවට කෙටුවා//

    කොහොම උනත් කතාව ආසාවෙන් කියෙව්වා දේශකයෝ :)

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි චාම්ස්. ඊයේ හමස මේක දාද්දි මට වෙලාවක් තිබ්බේ නැහැ ආයේ කියවන්න ඒකයි වෙන්න ඇත්තේ. අතපසුවීම ගැන කනගාටුයි. ඔන්න මම හැදුවා. තව අවුල් තිබ්බොත් කියනන් හොදේ...

      Delete
  5. බාගයක් කියෙව්වා ඉතිරි බාගේ රැට කියවන්නම්

    ReplyDelete
    Replies
    1. හා හා උඹට ඕන හැටියකට කියවපං රාලේ.. මේක දෙකට කඩන්නත් හිතුවා. ඒත් රහ නැති වෙනවා. ඒකයි උනේ.. තැන්ක්ස් රාලේ..

      Delete
  6. නියමයි. ආච්චි මරපු තැන තඩි කලුවයි පොඩි කලුවයි පැටලිලා ඒක හදහන්. හාන්ස් ක්‍රිස්ටියන් ගේ කතා කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ, උඹ එක ලියලා තියෙන විදිහ තවත් මරු

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං...

      Delete
    2. බොරු කිව්වේ මේ රෙද්ද කියවද්දී නිදි මත හැදෙන එක.

      Delete
    3. @ ඉවාන්.

      ස්තුතියි මචෝ. ඒක හැදුවා.. ඇන්ඩගේ කතාවලට මම මනාපයි ඒකයි මේවා දාන්නේ..මේ කතා හරියට අපේ ජනකතා වගේ ඇහුවම වෙනම ලෝකෙකට යනවා. අනිත් දේවල් අමතක වෙනවා..

      Delete
    4. @ කෙන්ජා

      බොට නිදිමතනං කරන්න තියෙන්නේ නැගිටල ඇවිල්ල එකක් නමාගෙන කියවන එක තමා.. හැක් හැක්..

      Delete
  7. මා ගලක් වැනිය.
    මගේ ප්‍රිය හිතවතාට බොරු අකුරු ලිවිය නොහැක.
    පේලි කීපයකදී කම්මැලි ගතියක් දැනිණි.
    හිතුනොත් පසුව කියවමි.
    තරහ ද ඇත්ත කිව්වට... :) ?

    ReplyDelete
    Replies
    1. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතා තියෙන්නේ පොඩි ළමයින්ට මේ අපි වගේ. ඔයාට ඉතින් මේක කම්මැලි වගේ ඇති ඔයා කියවන්න් පන්සීය පනස් ජාතකය. හැක හැක හැක

      Delete
    2. ඉවාන් මල්ල,දේශයි මමයි හෙන වලියක ඉන්නෙ බං :)
      උඹ මැදට පනින්න එපා යකෝ :) :) .

      Delete
    3. ඉතින් කලින් කියන්න එපයි ....:D

      Delete
    4. @ කෙන්ජා

      පිස්සුවක් ඇතෑ. උඹේ ඇග ගලක් උනාට හිත වෙරළු මලක් කියල මම දන්නවා.. පස්සේ කියවහං.. එච්චරයි..

      Delete
    5. @ ඉවාන්.

      මේකා පරණ වෛරයක් පිරිමහන්න හදන්නේ.. උඹ අහුවෙන්න එපා මම අහුවෙන්නෙත් නැහැ.. මිනිහට ඔය ජපානේ ඉදගෙන ඕන එකක් කරගත්තාවේ. අපි පොඩි ළමයි මේවා කියවමු බං.. හැක්..

      Delete
  8. ඔක්කම කියෙව්වා..පට්ට දේශකයෝ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකෝ.. සසිදුවෝ.. හැක්..

      Delete
  9. අන්තිම තේරුනේ නෑ වගේ. ආයේ පාරක් කියවලා ආයේ කමෙන්ට් කරන්නම්...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දිග වැඩියා තමා ඒත් මං මොනා කරන්නද බං ඇන්ඩ නෙව ඔච්චර හැල්ලක් ලියල තියෙනනේ..

      Delete
  10. දැන් මේ වගේ කතා කියවන්න, අහන්න, වෙලාව තියෙන්නේ අපිට විතරද මන්දා. මේ වගේ රසවත් සාහිත්‍යය අද පරපුරේ ළමයින්ගෙන් ඈත්වෙලා. මීට වඩා කොච්චර හොඳද 'ඇන්ග්‍රී බර්ඩ්' ගැහුවනම් කියලා කියයි මේ කතාව ඇහුවට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක.. ළමයි පොත් කියවන්න හරිම කම්මැලියි දැං. අනික මේ වගේ ලස්සන කතා විදින්න බැරි ඒක නිසාම තමා... එක්කො අති පන්ඩිතයි නැත්නං මෝඩයි. මේවයේ තියෙන පරිසරය, මිනිසුන්, සිද්ධී ගැන හිතුවම නිකම්ම සමාජය විනිවිද දකින්න පුළුවන්.. ස්තුතියි විචාරක තුමා

      Delete
  11. හොඳ පරිවර්ථනයක් දේශක තුමා. රස වින්ඳා. පොඩි කළුවගේ ආච්චි මැරැණ තැන ආයිත් පොඩ්ඩක් බලපං. පොඩි වැරදීමක් වෙලා වගේ. කථාවෙන් උගතහැකි පාඩම් ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුනේ. මං ඒක හැදුවා.. අවුලක් නං ආයෙත් කියහං.. හැබෑව පාඩං නං තියෙනවා තමා ඉගෙනගන්න..

      Delete
  12. පෝස්ට් එක අක්කරයක් දිග උනත් දේශාගෙ පරිව‍ර්තන මහන්සිය වත් අපේ කියවපු මහන්සිය වත් අපතෙ ගියෙ නෑ. එළ දේශෝ.

    පොඩි කළුවට මාර මොලයක්නෙ බොල තියෙන්නෙ. මටත් අර මැජික් කාරයෙක් ගන්න හිතුනා. දන්න කියන තැනක් තියෙනවා නම් කියහන්.

    ReplyDelete
    Replies
    1. පොඩි කළුව මෝඩයා ඒකනේ අර අස්පයා නැති කරගත්තේ. ඒත් අනිත් මිනිස්සු පොඩි කළුවට වැඩිය මෝඩයි. ඒකනේ උං මිනිහට අහු උනේ.. තමන්ගේ වැඩේ කරගන්න අනිත් මිනිස්සුන්ට ඕන දෙයක් උනත් කමක් නෑ කියන ගොඩට අයිති වෙන්නෙත් පොඩි කළුවලම තමා.. ස්තුතියි ප්‍රියා..

      Delete
  13. මටත් හිතුණේ මේක නම් රුසියන් ජන කතාවක් මයි කියලා. ලස්සන වසිලිස්සා පොතේ මේ වගේ කතා ගොඩාක් තියනවා. අනික ඇන්ඩර්සන්ගේ කතා ගොඩාක් වෙලාවට රළු වෙන්නේ නැනේ. ඒත් මම වැරදියි වගේ. මොනවා උණත් ලස්සන කතාව.

    ReplyDelete
    Replies
    1. නැහැ ඇන්ඩර්සන්ගේ රළු කතා තියෙනවා කිහිපයක්ම.. නැත්තේ නැහැ.. මේක ඇත්තටම ඇන්ඩර්සන්ගේ කතාවක්.. මම මේක කියවන්නේ H.W. Dulcken ගේ පරිවර්තකයක් මේක 1865 දී ප්‍රකාශනය කරපු පොතක්.. ස්තුතියි යක්ෂයා

      Delete
  14. දැං කියවන්න වෙලාවක් නෑ බොල. හෙට ඇවිල්ල කියවන්නං.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රිය මිත්‍රය මේකනං නියම කතාවක්මය.
      මම පොඩිකාලෙ ඉස්කෝලෙ පොතකද කොහෙද තිබුණ සිටිහාමිද මොකක්ද කියන චරිතයක් එක්ක මේ වගේ කතාවක්.

      උඹ දන්න තැනක අස්සයෙක් එහෙම ගන්න නැද්ද බොල.

      Delete
    2. අස්පයෝ නැහැ මොකටද?? හැක්..

      තැන්කුයි ප්‍රසා.. මටත් පොඩි මතකයක් තියෙනවා උඹ කිව්ව කතා ගැන. ඒත් මතකය නිවරැදි නැහැ.

      Delete
  15. දීලා තියනවා ආයෙ ඇට්ටි හැලෙන්න.. ආයෙ දෙකක් නෑ.. උඹ කතාවට ගැලපෙන භාෂාව අපූරුවට තෝරගෙන තියනවා. ( එකම භාෂාව මෙහෙම එක එක විදිහට හසුරුවන්න පුළුවන්කම අනිත් භාෂාවලත් තියනවද කියලා මේ දැන් මට පැණයක් මතු වුනා)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සෙන්නා.. මට අඩු පාඩුවක් උනා.. මම මේක එක දිගට කරගෙන ගියාට කියෙව්වේ නැහැ. ඒක නිසා රසය අඩු වෙලා ටිකක් රළු වෙලා කතාව.. දැං ඉතිං හදල වැඩකුත් නැහැ. ඒත් ඩිංගක් හැදුවා කරන්න දෙයක් නැති කමටම.. හැක් හැක්..

      Delete
    2. ඇත්ත සෙන්නා. දැන් දේශකතුමා සුරංගනා කතා කියවන්න පටන් අරන් ද කොහෙද :-)

      Delete
  16. හප්පේ බොලං මේකෙ දිග...දෙකට කඩන්න කියන්නත් බෑ...එතකොට රසයත් දෙකට කැඩෙන හින්දා...මොනවා උනත් කාලෙකින් කියවපු අගේ ඇති සුරංගනා කථාව...අපේ ජනාධිපති බවට පොඩි කලුවා පත්කර ගත්තා නම් එක අවුරුද්දකින් අපි තමා ලෝකෙටම ලොක්කො....දැන් දේශකයා අපි වෙනුවෙන් සුරංගනා ලොවක් මවාගෙන මවාගෙන යනවා...ඉතාම අගේ ඇති වැඩක්...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවා මම දිගටම මවනව සුංගනා කතා බොලාට එක්කෝ එපා වෙන්න නැත්නං කියනන්න හිතෙන්න. දෙකෙන් ඕන එකක්.. හැක්.. තැන්කුයි සිරා..

      Delete
  17. මෙහෙමත් ගොං අලියෙක්.........හය්යූ.........

    ආදර්ශමත් කතාවක් ඈ

    ReplyDelete
    Replies
    1. මම ගොං අලියෙක්ද.. හයියු.. හැක්..

      තැන්කුයි රෙහානියෝ..

      Delete
  18. හරිම සාර්ථක පරිවර්තනයක් දේශකතුමා ...

    මේක මම පුංචි කාලේදි කියවලා තියෙනවා. කතාවේ රස එදාට වඩා අද හොඳින්ම දැනුනා... හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි තුෂානි.. අඩුපාඩු ටිකක් වෙලා තියෙනව මගේ අතින්.. කතාව රස වින්දා නං මට හරිම සන්තෝසයි...

      Delete
  19. patta deshakayo uba patta mahnsiyak arn wage meka liyanna

    ReplyDelete
    Replies
    1. ඔව් බොරළු මේක නිකං භාවනාවක් වගේ තමා කරන්න ඕන ඩිංග මිස් වෙච්ච ගමන් මයින්ඩ් එක අවුල් වෙනවා. ජය වේවා. ස්තුතියි.

      Delete
  20. දේශා......නියමයි.නියමයි.නියමයි!!!

    මේ කතාවට වරහන් ඇතුලේ තියෙන සෙරිලැක් කියන වචනේ කෘතිම ගතියක් ගේනවා. ඕට් වලින් හදලා දීසියක දාලා කන්න පුළුවන් කෑම වර්ගය තමයි porridge . උඹ හරි ඒක සෙරිලැක් වගේම තමයි. නමුත් මේ පොරිජ් වේලක් පිරිමහන්න ඉස්සර සුද්දෝ කාලා තියෙනවා. මේකට ලඟින්ම යන සිංහල වචනය කැඳ. මම නිකමට කිව්වේ.

    ReplyDelete
    Replies
    1. අන්න බං මම ඒක දැම්මා.. කැද කියන එක අපි කටට තියල බොනව මිසක්කා කන්නේ නැහැනේ ඒකයි මම එහෙම දැම්මේ. පොරිඩ්ජ් කියන වචනේ දැම්මනං තේරෙන්නෑ බං කතාව නිකං අහසින් වැටුනා වගේ වෙනවා ඒකයි එහෙම කරේ. ඒත් උඹ කිව්වම මට හිතුවා ඒ කෑම එකේ දුප්පත් කම කැඳ කියල දැම්මම දැනෙයි කියලා. ස්තුතියි නිවරැදි කිරීමට. ඒ වගේම හුගක් ස්තුතියි කියෙව්වට.

      Delete
  21. Replies
    1. මෙන්න කාලෙකින් ඇවිල්ලා. ඒ පාර සිංහලත් අමතක වෙලා.. වෙල්කම් බැක් සන්ජීව...

      Delete
  22. දිග වැඩිද මන්ද?අවුලක් නැහැ කියෙව්ව..හතර රියන් සහ දෙරියන් වගේ..

    ReplyDelete
    Replies
    1. දිග වැඩියි තමා බං.. ඇත්ත... තැන්කුයි කියෙව්වට..

      Delete
  23. උබේ ඔය ඇන්ඩගෙ පොත කොච්චර ලොකුද බන්. . . .

    ReplyDelete
    Replies
    1. පුංචි අකුරු සහිත පිටු 404 යි.. මොකෝ කියන්න්...

      Delete
  24. කතාව දිගයි..හිමීට කියවන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචා. හරි හරි හිමින් කියවන්නකෝ එහෙනං..

      Delete
  25. දේශකයා ස්තුතියි... සාර්ථක පරිවර්තනයක්. දීර්ඝ වුවත් හරිම රසවත්..

    ReplyDelete
  26. පොස්ට් එක දිග වැඩි වුනත් අවුලක් නැහැ බං අයියේ නියමෙටම තියෙනවා රස ඇතුව.දෙකට කැඩූවනම් අප්සට් යන්නත් තිබුණා.මම කැමතිම මේක දේශා ස්ටයිල් එකට පරිවර්තනය කරලා තියෙන එකට.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මනෝජ්... දෙකට කැඩුවනං වැඩක් නැහැ ඒකයි දිගට දැම්මේ...

      Delete
  27. වැඩේ හොඳයි,සුරංගනා කතාවලට විතරක් සීමා නොවී වැඩිහිටියන්ට කියවන්න කතා කීපෙකුත් දාපං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි හැමෝටම තමා මේවා... හරි හරි. 18+ කතා ටිකකුත් මග එනවා.. ඒත් මනස නිරවුල් නැහැ මේ දවස් වල ඒකයි අවුල.. තැන්ක්ස් හැලපයියා...

      Delete
  28. මාත් සෑහෙන්න ආසයි මේ ජාතියේ කතා කියවන්න...
    පොඩි කලුවයි තඩි කලුවයි.... හරියට පොඩි අතුලයි ලොකු අතුලයි වාගේ නෙහ් ! :)
    ඒක නෙමේ... බොලා දන්නවද තල්ලී පොල්ලී කතාව ??

    ReplyDelete
    Replies
    1. නැහ්.. කියපං බලන්න..

      Delete
  29. සෑහෙන ගේමක් දීලා ඔපිස් එකේ ඉඳන් ම කියෙව්වා. තල්ලී පොල්ලී කතාව නම් මමත් අහලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තට බං උඹ දැක්කම එන සන්තෝසේ. චප්ප කරල තලල මරන්න හිතෙනවා අම්මපා.. ඇයි බං කාලය හරස් වෙලාද?? ඉතිං ඉදල ඉදල ඇවිත් මම දාපු ලොකුම ජාතකේ තමා බොට කියවන්න උනේ.. කනගාටුයි ඉතිං ඒ ගැන..

      Delete
  30. කිසිම ගානක් නැතිව එක හුස්මට ඇරලා දැම්මා. ඒ තරම් රසවත්. මේක අද කාලෙට ගැලපෙන්න සංශෝදනය කරලා නිසා කියවන්න ආස හිතුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක මාමේ... දිග උනත් මේ කතාව හොදයි කියල හිතුනා ඒකයි දැම්මේ..

      Delete
  31. මරු කතා පොඩ්ඩ :D මේ වගේම කතාවක් කියවලා තියෙනවා වගේ මතකයක් තියෙයි හැබැයි හරියටම මොකක්ද කියලා මතක් වෙන්නේ නෑ හදිසියට.

    ReplyDelete
    Replies
    1. හදිස්සියට එහෙම තමා බං සිංදුවෝ.. වෙල්කම් වේවා.. මරු කතා පොඩ්ඩ.. හැක් හැක්..

      Delete
  32. වෙන වෙනම කියෝල තිබ්බ කතා ගොඩක් මේ කතාවෙ තියෙනවනෙ... නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත පරිකල්පන. අපි මේ කතාවේ කොටස් වෙනම කියවල තියෙනවා මොකද මේකෙන් කොටස් අරගෙන වෙනම කතා උනත් හදාපු නිසා. ඒ උනත් මේක තමා ඇත්තම කතාව ඇන්ඩ ලියපු.. ස්තුතියි..

      Delete
  33. ආසාවෙන් කියෙවුවා.....
    ස්තූතියි අයියේ මේක අමාරුවෙන් ලිවුවාට.....
    කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ..

    මම.....
    උමා(දසුන්)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බං මම බැලුවා මොකද නැත්තේ කියලත්.. ජය වේවා...

      Delete
  34. හම්බේ බං මේක දිග ..
    උබට මම කියන්නෙ කතා ටික එකතු කරල ගහපන් පොතක් ...

    ReplyDelete
    Replies
    1. ටිකක් දිගයි තමා බං.. පොත් මොකටද උඹල කියවද්දි..

      Delete
  35. ඔන්න මාත් එක දිගටම කියෙව්වා දේශකයා.........
    අලිබබා සහ හොරු හතලිහෙත් ඔය සල්ලි මනින කුරනියක් ගැනයි ඒකේ මැලියම් අලවන විස්තරයකුයි තිබ්බා..........
    ස්තූතියි බෙදා ගත්තට.................

    ReplyDelete
  36. ස්තුතියි රුක්ෂිලා.. මම මේක පස්සේ දැක්කේ සමාවෙන්න

    ReplyDelete