Monday, December 9, 2013

තම්බි කඩේ (2)


මම ඉස් ඉස්සෙල්ලාම හරක් මස් කෑල්ලක් රහ බැලුව වස්තරේ ගැන තමා උඩින් ලියල තියෙන්නේ.. ඒකත් කියවලාම බලන්ටකෝ එහෙනං.

හැමදාම ගෙදරට උස්සන් ඇවිල්ල හොරෙන් කන්න බැරි හින්දා මස් රොටිය තම්බිගේ කඩේ තියාගෙනම තළු  මරන්න තීරණය කරල, රොටියත් අරන් කඩේ තියෙන මේස හතරෙන් එකක තිබුන පුටුවක මම වාඩි උනා. මේස වල එක එක ජාතියේ උන්දැල වාඩි වෙලා අරව මේවා කන විදිය මාත් අර මස් රොටිය හප කරන ගමන්ම බලං හිටියා. මගේ මේසෙම ඉස්සරහ ඉන්න එකා, මේසේ පුරාම පාං රොඩු ගෑලි හලාගෙන මස් හොදිත් එක්ක රොස් පාං කනවා. ඊට එහා පැත්තේ ඉන්න එකා, බීඩියකුත් උරන ගමන් පොඩි වීදුරුවට දාපු ප්ලේන්ටිය බොනවා. 

මට දකුණු පැත්තේ තියෙන මේසේ ඉදගෙන හිටියේ තුන් දෙනයි. තුන්දෙනාම මොනවා හෝ ඉල්ලල ඒක ලැබෙන කං ආතක් පාතක් නැතිව කතාව. කතාවේ හැටියට නං එකෙක් මාළු විකුණන පොරක්. අනිකා ත්‍රීවිල් කාරයෙක්. අනිකා ගැන නිච්චියක් නැති උනත් ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා. 

ඊට පිටිපස්සේ මේසෙ ඉන්න දෙන්නත් මොනවා හරි ජාතියක්, පිගානක දාගෙන හැන්දෙන් බොනවා. අර යක්කු තුන්දෙනාගේ දැගලිල්ලට ඒ මොකක්ද කියල බලා ගන්න අමාරු උනත් දුං දාන මක්ක හරි බොන විත්තිය නං මම දැක්කා. ඔහොම ඩිංග වෙලාවෙක් ඉන්න කොට, වඳුරු වේටර් තැන, දුං දාන පිගානක් අරන් අර තුන්දෙනා ගාවට ඇවිල්ල ඒක මේසේ උඩින් තිබ්බා. ඒ පිගාන හරියට මූද මැද තියෙන ගොඩබිමක් වගේ තමා මට පෙනුනේ. පිගානට වඩා සෑහෙන්න උසට මොනවා හරි දාලා තිබුනා. අප්පට සිරි දුං යන අස්සේ මම ඒක දැක්කා. ඒ මොනවත් නෙමෙයි හොද තඩි හරක් මස් කටු දෙකක්. බුදු අම්මේ මේවත් කනවද මේ යක්කු කියල මම හිතද්දීම අනෙක් පිගන් දෙකත් මේසෙට සැපත් උනා. ඒවයෙත් අර වගේම කදු වගේ මස් කටු පුරවලා. 

මේ හාංකවිසියක්වත් නොදැන මගේ කට බාගෙට ඇරිලා ඒ අතරෙත් මම මගේ මස් රොටි රාජයා හෙමින් හපනවා.. අර පළවෙනි මස් කෑල්ල. ඒක ඉතිං එක පාරට කාලා ඉවර කරල හරියන්නැති නිසා මම බොහොම පොඩි කෑලි කටින් කඩාගෙන පෙරේත කමින් තමා ඒක කන්නේ.

අර හාදයෝ අරගෙන තියෙන්නේ සුප්.. මම ඒක දැනගත්තෙත් එදාමයි. ඉතිං මේ ප්‍රසංගය මොකක්ද කියල මම හොදට බලාගෙන හිටියා. ඒ යක්කු රෝස්පානුත් අරගෙන, කෑලි කඩාගෙන සුප් එකේ පොගවගෙන කනවා. ඊට පස්සේ හැන්දෙන් සුප් බොනවා. අන්තිම හරියෙදි මස් කටු ටික අරගෙන හරියට වනමුරුගයෝ වගේ හතර වටේම ලෙව කකා මස් කෑලි උළුප්පන් කනවා. ඒ අතරේ එකෙක් දඩං දඩං ගාලා මස් කටුවකට ඉස්තරම් තට්ටුවකුත් දැම්මා. ඒක බලන් හිටපු මම විකාරෙන් වගේ බැලුවා. මොකද ඌ මස් කට්ට කඩාගෙන කන්න තරං ආසාවෙන් තමා ඔය තට්ටුව දැම්මේ..

මාත් කොහොම හරි මස් රොටියට වාඩුව ගෙවලා හීන දකිමින් ආවේ ඊළග දවසේ නං රොටි නෙමෙයි සුප් එකක් තමා බොන්නේ කියල හිතලා.

ඒ පාර දවස් දෙක තුනකට පස්සේ මම හොදට සුදානං වෙලා සල්ලි එහෙමත් හදාගෙන තම්බිගේ කඩේට ගියා. ඇයි ඉතිං ඕකේ ගානක් දන්න එකක්යැ. ගිහිල්ල හොද හැටි හරි බරි ගැහිලා වාඩිවෙලා සුප් එකක් ඉල්ලුවා පුරුදු කාරයා වගේ. ඔන්න එනවා මගේ රජා දුං දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ. සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ. 

හෙන උසට හරක් මස් කටු දෙකක් තිබුනා. ඒ මස් කටු වල අතරින් පතර හොදට තැම්බිලා දුඹුරු පාට ගැහිච්චි මස් කෑලි ඇලිල තියෙනවා. ආසාවේ බෑ මෙච්චර මස් කට්ටක් මම ජීවිතේටම දැක්කමයි. අර කලින් දවසේ හාදයෝ තුන්දෙනා කරා වගේ මාත් ගෙන්න ගත්තා රෝස් පාං දෙකක්. හැන්ද අරන් සුප් හැන්දක් කටට ගත්තා. තොල ගාවට කිට්ටු කරන කොට තොල පිච්චිලා ගියා. ඒ තරං රස්නෙයි ඒක. ඒ පාර පුස් ගාලා පොඩ්ඩක් නිවල කටට එබුවා ඩිංගක්. එක පාරටම දිව්‍ය ලෝකේ භෝජනාගාරේ ඉදගෙන අමෘතය රස විදිනව වගේ රසයක් මට දැනුවා. ඒක නං පුදුම රසයක්. අවේණික මුසල්මානු බිරියානි සුවදත් එක්ක සුප් එකේ රසය එන බව මම පස්සෙයි දන්නේ. හැදි දෙක තුනක් තොල ගාලා, රෝස්පාං දෙකම කෑලි වලට කඩාගෙන මම සුප් පිගානේ පොගවං කෑවා. 

ඊට පස්සේ ඉතිං සුප් එක ටිකක් නිවිලා නිසා සාගතෙන් ඉන්න එකා වගේ හැන්දෙන් ඉවර වෙනකං බීගෙන ගියේ වෙන මොකටවත් නෙමෙයි අර මස් කටු දෙක ලොවන්න තිබ්බා ආසාවට. අත් දෙක හොදල එක මස් කට්ටක් අතට අරගෙන හතර වටේ පෙරල පෙරල මස් ටික සූප්පු කරල මම ඒක සුද්ද කරල, අත ළගම තිබ්බ පොඩි ප්ලාස්ටික් අත හෝදන බේසමට දැම්මා. ඊට වඩා අලි මස් කටුවත් අතට අරගෙන ඒකත් සුද්ද කරා. ඒ උනත් ඒ අන්ඩේ කුහරේ ඇතුලේ මස් වගයක් හිර වෙලා තියෙනවා. අන්න එතකොට තමා මීටර් උනේ අර යක්කු දඩං බඩං ගාලා කට්ට්ට සාත්තු කරේ මොකද කියලා. ඇතුලේ හිරවෙලා තියෙන ටික එළියට අදින්න තමා. මාත් කට්ට් අරගෙන දඩං ගාලා ගැහුවා විතරයි ඩෝං ගාලා ගිහිල්ල ඒක පිගානේ වැදුනා. හැමෝම මං දිහා නිකං අමුතු සතෙක් විදියට බැලුවම මම ඒ වැඩේ අතඅරින්නයි ලෑස්ති උනේ. ඒ උනත් මගේ මේසේ ඉස්සරහ හිටි එකා ඒ මස් ටික ගන්න හැටි මට කියල දුන්නා.

“මල්ලි ඔය කටුව යටි පැත්ත හරවල තියාගෙන, අනිත් අත හරහට උඩින් තියල උඩ අතින් යට අතට වදින විදියට හයියෙන් ගහන්න. එතකොට ඔය ඇතුලේ තියෙන වැදැල්ල පිගානට වැටේවි.“

මාත් ඒ කියන විදියට කරල බැලුවා. අඩේ මාර ක්‍රෙම් නේ. මෙන්න බඩු එනව හරියට බොග දානව වගේ හෙමින්. ඒකත් පිගානට වැටුනම කාලා අහවර වෙලා දුං දාන ප්ලේන්ටියකුත් එක්කම දුමකුත් ඇදලම මම කඩෙන් මාරු උනේ රුපියල් පනහක් ගෙවලා.

එදා මේ මගේ සොයාගැනිල්ල නමය වසරේ හිටි අපේ ගැන්ග් එකටම හදුන්වා දීලා, සතියකට සැරයක් විතර දහ දෙනෙක් විතර එකතු වෙලා තම්බිගේ කඩේට ගිහිල්ල අපි සුප් බිව්වා. ඊට පස්සේ ඒක පුරුද්දක් විදියට තිබුනා ඉහළ කෑලැසියේ ඉගෙන ගන්න යනකම්ම. කොහොම හරි නිවාඩු හම්බ වෙලා ගෙදරට ආවාම අනිවා කරන විෂ් ලිස්ට් එකේ තියෙන එකක් තමා තම්බිගේ සුප් බොන්න යන එක. තාමත් මම අඩු ගානේ මාසෙකට දවසක්වත් ඔය සුප් එක බොන්න වරුවක නිවාඩුවක් දාලා හරි යනවා. ඉස්සර නං සුප් කඩ හතරක් විතර තිබුන හින්දා අපි හොදම මස් කටු දෙන සුප් කඩේ මොකක්ද කියල දන්නවා. අපි පුරුද්දට එන නිසා උං වැඩිපුර මස් කටුවක් දෙන්න උනත් පසු බාන්නේ නැහැ. හැබැයි දැං ඒ හරියේ තියෙන එකම සුප් කඩේ තාමත් තම්බිගේ කඩේ විතරයි. අවුරුදු 20 ක් විතර කල් ගිහිල්ලත් ඒ රසය නොනැසි ඒ විදියටම සුප් එක දෙන එක ගැන ඉතිං කියන්න දෙයක් නෑ..

Sunday, December 8, 2013

තම්බි කඩේ..... (Short Eats)

මම ඉස්කෝලේ යන කාලේ හවසට බඩගිනි වෙලා අඩන කොට අම්මාට දුක හිතෙනවා. පොළොවේ පස් කන්න අඩන, මේ දැනුත් ජිල්බෝල ගහපු එකා ඒ ඩිංගට බඩගිනි වෙලා කියල කෑගහන කොට දෙන්න මෙලෝ දෙයක් ගේ ආතක පාතක නැති අම්මා ඇඹරෙනවා. මම ඉතිං ඒක දැනගෙනම ඇඩිල්ල නවත්නන්නේ නෑ. මොකද කොහෙන් හරි තියෙන පුස්කාච්චි සල්ලි කොලයක් මොන වෙලේ හරි මගේ ඇස් දෙක ඉස්සරහ ලෙල දෙන විත්තිය හැමදාම වගේ මම දන්න හින්දා. “ඉදා මේක අරං කඩෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනැත් එකක් කාලා අනිත් එක මල්ලිල දෙන්නට තියපං. ආ..“ ඔන්න ඔය වචන සැට් එක ඇහෙන කං මම ඉතිං මොන ලෙසකින්වත් මගේ බෑගිරිය නවත්තන්නේ නැහැ. ඊට පස්සේ රූං කුරුල්ලා වගේ බයිසිකල් කටුවේ නැගිලා ඉස්පාසුවක් නැතිව මම දුවනව ටවුමට. 

බයිසිකල් කටුවේ වේගය පාලනය කරගන්නත් බැරි තරමට මම යන්නේ හැටට හැටේ. ඒ කාලේ කාඩ කමටම, ටයි බොත්තමට පල්ලෙහා බොත්තමත් ඇරගෙන තමා ඕන තැනක යන්නේ. ඉතිං අර වේගෙත් එක්ක පපුව පිරෙන්න හුළං වදිනවා. එහෙම හුළං වැදුනම මගේ කමිසේ උඩ සාක්කුවේ ඉන්න අර ලෙලදීපු කාසි කොලේ බ්ර් බ්ර් ගානවා හුළං පාරට නිකං දැගලිල්ල හැදිල වගේ. කෝකටත් නිතරම හුළගට බ්ර් බ්ර් ගාන කාසි කොලේ දිහා මගේ ඇස් දෙක දුවනවා. ඇයි කියන්නේ ඕක හුළගට ගහගෙන ගියොත් ආයේ අල්ලන්නයැ.

ස්ටෑන්ඩ් එකක් නැති බයිසිකල් කටුව සිමෙන්ති ගැට්ටකට පැටල් එක තියල හේත්තු කරල මම දුවනවා තම්බිගේ කඩේට. හවස් ජාමේට එතන ගජරාමේට සෙනග පිරිලා. එක එක ජාතියේ වෛවාරණ මිනිස්සු පුටු වල වාඩි වෙලා, මේස ගාව හිටගෙන, ආප්ප බාස් එක්ක කදේ දාගෙන, මුදලාලාගේ කූඩුව ගාව පරණ පත්තර ගොඩ උඩින් වාඩි වෙලා, කළු ගැහැච්ච තේ කූඩුව ගාව ඉදගෙන රොටි කනවා, තේ බොනවා, රෝස් පාං එකක් ප්ලේන්ටියක් එක්ක කනවා, ඒ අතරේ කතා කරනවා. සමහරු මහබූත කුනුහරුප කියනවා. තේ හදන වපර බාස්ට තෝ මහ හිගන්නෙක් කියල බනිනවා. ඒකට හේතුව නං තම්බි මුදලාලිගේ උපදෙසට අර යකා කෝප්පේ පිරෙන්නම ප්ලේන්ටිය නොදාන එක තමා. ඒ අල්ල පනල්ලේ මුළු ඇගේම දුං බැදිල, ඒ උඩින් දාඩිය පොල්ල දාලා, ඒකට උඩින් ආයෙත් දුං බැදිල කළු ගැහිල කුනු පොල් ගෙඩියක් වගේ පේන කුස්සි බාස්ගේ ගෝලයා එළියේ ඉදල එක එක සයිස් එකට කපාපු මහ දර කෑලි ටිකක් කිහිල්ලේ ගහගෙන කඩේ මැදින්ම කුස්සියට යනවා. “හේයි හේයි“ මිනිහගේ හෝන් එක. ඒ සද්දේ ඇහෙන කොට හැමෝම මුණු හරවල බලල හෝන්කාරයට යන්න ඉඩ දෙන්නේ ඇනුනොත් හෙම අර දර කෝටුවක් උණ ගන්න විත්තිය දන්න හින්දමයි. ඒ දර ටිකත් අරං කුස්සියට රිංගන හෝන්කාරයා ආයෙත් එළියට බහින්නේ පැය බාගෙකට පස්සේ විතර තමා.

මම තම්බි මුදලාලිගෙන් බනිස් ඉල්ලුවම අද බනිස් නෑ දරුවෝ කියල කියාපි. දැං මොකෝ කරන්නේ කියල කල්පනා කරන්න හදන කොටම මුදලාලි අඩව් ඇල්ලුවා.

“ඔන්න දැං දාපු රොටි තියෙනවා උණු උණූවෙම ඒවා ගන්න“

“කීයද එකක්??“

“එකක් දහයයි“

“හා එහෙනං දෙකක් දෙන්න“ කියල කට වහගන්න කොටම තම්බි මුදලාලි සිංහලෙන්ම කියනවා “මස් රොටි දෙකක් පාර්සල්“ කියලා. තව චුට්ට වෙලාවක් යද්දි හම්පඩ වෙච්ච් රේස් පත්තර වලින් හදාපු කඩදාසි බෑග් එක පුරවලා මගේ පාර්සලේ එනවා. ඒකත් අරන් සුරුස් ගාලා මම ගෙදර ගිහිල්ල එක රොටියක් කන්න ගන්නවා. කන්න ගන්න කොටම මොකවත් නෑ පිටි රොටි විතරයි. හැබැයි තව ඩිංගක් කන කොට එළවලු මික්සරේ හැපෙනවා. අන්න එතකොට රොටිත් එක්ක ඒ රස එකතු උනාම ගතියක් එනවා. තව ඩිංගක් කන කොට ගොරක කෑල්ලක් වගේ එකක් හැපුනා. හැබැයි ඇඹුල් රස නැහැ. තව පාරක් හපල බැලුවා. යකඩෝ මාළු කෑල්ලක් වැටිලද අහම්බෙන්වත්. ඒත් මාළු නං කැඩෙන්න එපායැ හපන කොට. මේක හැපිල වෙන් වෙන්නේ නැහැ. මොකක් උනත් තුන් හතර පාර හැපුවම.. සහ්. මාර රහයිනේ.. මේ මස් කෑල්ලක්. ආ ඔව්නේ මස් රොටි කියල නේ දුන්නේ. හැබෑට එතකොට මුං මස් රොටි කිව්වම ඒවට මස් දානවා. මස් මස්.. හත්දෙයියනේ මම මේ තම්බි මස්ද කෑවේ එතකොට. ඔව් ඔන්න මතක් උනා ඇත්ත නේන්නං හරක් මස් කෑල්ලක්. ඒකත් නරකම නැහැ පට්ට රසයිනේ කියල මම රස කර කර කෑවා. රොටියේ අන්තිම හරියෙදි ආයෙත් පොඩි මස් කෑල්ලක්. ඒකත් කාලා ඉවර උනාම, දිව්‍ය බෝජනයක් කෑවා වගේ සනීපයි.

කරුමේ කියන්නේ අපේ ගෙදර තිබ්බ පහත් බෞද්ධ (???) මානසිකත්වය හින්දා හරක් මස් කෑල්ලක් උපන්තේකට අම්මා ගෙට ගේන්න දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ. ඉතිං අපිත් හරක් මස් වර්ජනේ. හැබැයි රහක් නොදැන නිකම්ම වර්ජනේ. හරියට අර විස්සවිජ්ජාල කොල්ලෝ වගේ...උන් දන්නේ නායකයෝ කියන ඕන එහෙකට දියව් දියව් කියල කෑමොර දෙන්න විතර නේ. හැක් හැක්. මේක රහ වැටුනට අම්මට කියත හැකිය මම හරක් මස් කාපු විත්තියක්. ඉතිරි රොටිය තියන්නත් බෑ. ඇයි අනිත් යක්ස පැටව් දෙන්න මේක කාලා හරක් මස් කියල වැඩේ පත්තු කරොත් හෙම මගේ පස්ස පැත්තට තමා පත්තු වෙන්නේ කියල හිතුන නිසා හිමින් සීරුවේ කාමරේට ගිහින්න අනිත් රාජබෝජනේටත් කොටල දැම්මා. ඒකත් කෑවට පස්සේ නිවන් ගියා වගේ කට සැරට දනවත් එක්ක. ඒකෙන් ආපු ගතිය සෑහෙන වෙලාවක් තිබ්බා. මම නිකං අර රැටටුයිල් එකේ මී චෙෆ්පා වගේ මුළු හදින්ම ඒ රහ වින්දා. ඒක හිතට වදින්න වදින්න මට ආවේ එකම සිතුවිල්ලයි. “තව කාපං තව කාපං හරක් මස්“ කියලා.. 

ඔන්න ඕක තමා මම හරක් මස් කන්න අත්පොත් තිබ්බ කතන්දරේ. ඒකෙන් පස්සේ මම කවදාවත් ඔය හරක් මස් නොකන වර්ජනේට සහාය දැක්කුවේ නැහැ. ෂේප් නියායෙන් සතියට එකක් හරි මස් රොටි ගිල ගිල හිටියා. මේ මස් රොටි හැමදාම ගෙදරට ගෙනැල්ල කන්න බැරි නිසා මම තීරණය කලා තම්බි මුදලාලිගේ ගෝරනාඩු කඩේම පුටුවකින් වාඩි වෙලා හිමින් සීරුවේ රොටිය ගිලල එන්න. එහෙම තීරණයක් අරන් මම කඩේ වාඩි වෙලා මස් රොටියක් කාපු දවසෙම මට සිද්ද උනා මහ නස්පැත්තියක්. 

ආ ඒක පසුවට....

Thursday, December 5, 2013

Nudity, Naturism (නිරුවත, ටොප්ලස් etc..)

මා සේවය කළ ස්ථානය කොළඹ අග නගරය තුල පිහිටි මහල් සතරකින් (බිම් මහලද සමග) යුත් ගොඩනැගිල්ලකි. එය නගරයේ සුප්‍රසිද්ධ අතුරු මාර්ගයකට මුහුණ ලා තිබුනි. එක එල්ලේ බැලු විට පාර අනෙත් පසින් දිස් වන්නේ සුපිරි නිවාස පේලියක් හා ජාත්‍යන්තර පාසැලකි. මාගේ කියුබිකලය හරි කෙලින්ම ඇත්තේ තට්ටු දෙකක නිවාසයක් වන අතර, එම නිවසේ විදේශික යුවලක් පදිංචිව සිටී. ඔවුන් උදෑසන පිටව ගිය පසු නැවත නිවසට පැමිණෙන්නේ හවස හය පසු වීමෙන් අනතුරුවය. එතෙක් නිවසේ වැඩ කටයුතු බලා කියා ගැනීම සදහා ලාංකික කාන්තාවක් සිටින අතර, ඔවුන් පැමිණීමෙන් පසුව මෙම කාන්තාව ඉහළ මහලේ සේවය නිමවා පහළ තට්ටුවට යනවා විය යුතුය.

ඉහත සදහන් කාරණා ටක්කෙටම දන්නා හේතුව නම් මෙම නිවසේ උඩ තට්ටුවේ විවෘත පෙදෙසක් පැවතීම හා යුවළගේ නිදන කාරමය හා ඊටම බද්ධව පවත්නා නාන කාමරයේ ජනෙල් දහවල් කාලයේ “හායි“ ගා ඇර තැබීම හෝ තිර රෙදි මෑත් කර තැබීමය. එවිට සකලමනාව රිසිසේ දිස් වේ. යුවළ සැන්දෑ වරුවේ නිවසට පැමිණෙද්දී බොහෝ විට අඩ අඳුර පවතින අතර, ඒ වන විටත් මාර්ග වල වීථි පහන් දැල්වී ඇත. නිවසට පැමිණි වහා විදුලි බල්බ දල්වා කාමරයද නානකාමරයද ඒකාලෝක කරන ඔවුන් තිර රෙදි වසා දැමිමට කිසිදු උත්සාහයක් ගන්නේ හෝ ඒ පිළිබද සැළකිල්ලක් හෝ දක්වන්නේ නැත.

දිනක් මා කියුබිකයේ සිට අනෙක් කොටසට පැමිණ බලද්දි, ඒ වේලාවේදි කාර්යාලයේ රැදි සිටී දෙතුන් දෙනෙක් ඉතා ප්‍රවේසමෙන් ජනෙල් වල වර්ටිකල් බ්ලයින්ඩ් තිර කොටස් මෑත් කර උනන්දුවෙන් යම් කිසිවක් දිහා ඇස් දල්වා සිටින බව දුටුවෙන්, ශබ්ද නෑසෙන සේ ඔවුන් සමීපයට ගොස් මේ කුමක්දැයි කියා විමසිල්ලෙන් බැලීමි. මා පැමිණි බවක් නොදන්නා මේ පිරිස අතිශය සතුටකින් යුතුව කිසිවක් නරඹන බව පෙනී ගියේය. මා ද හෙමින් සීරුවේ ඒ කුමක්දැයි බැලිමී.

විස්මයකි.. නිදන කාමරයේ සිටින පිරිමියා ඇදුම් සම්පුරුණයෙන් ගලවා සිටි අතර, කාමරය පුරා කිසිදු චකිතකින් තොරව ඔබ මොබ යමින් වෙනත් කරුණු කාරණා ඉටු කරනු කාමරයේ ඇති පැහැදිලි ආලෝකයෙන් දුටු මා එක් වරම අනෙක් පස දුටු දෙයින් කීරි ගැසී ගියෙමි. නාන කාමරයට වැදී උන් කාන්තාව (විදේශික) සම්පුරුණ නිරුවතින් ස්නානය කරනුත් ඒ අතරම, ඇදුම් ආදිය සේදීම සදහා රෙදි සෝදන මැසිමට  දමනු පවා මා දුටිමි. මේ කිසිම කරුණකදි ඔවුන් චකිතයකින් යුතුව කටයුතු කරනු මා දුටුවේ නැත. අනෙක් ප්‍රේක්ෂකයින්ට නොදැනෙන සේ කියුබිකලයට ගිය මා පසු දින මොවුන් තිදෙන ගෙන්වා ප්‍රශ්න කිරීමේදි හෙලි වුයේ විදේශික යුවල නිරුවතින් සිටිම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන් එදිනෙදා වැඩ කටයුතු එනම් දුරකතන ඇමතුම් ගැනීම, රෙදි අල්මාරි වල දැමිම, ඇදුම් මැදීම, ආදි සියළු සාමාන්‍ය ගේදොර කටයුතු නිරුවතින් සිදු කරන බවයි. මෙම සංහදිය, අහම්බෙන් දුටු අයෙක් දුන් ඔත්තුවක් නිසා දැන් මෙය සියළු දෙනා හට විවෘත වූ දිනපතා රාත්‍රි දර්ශන වාරයක් බව මා හට ප්‍රත්‍යක්ෂ විය.

ඔන්න ඕකයි කාරනේ. ඉතිං අපේ ඈයෝ උඩ පැනගෙන දැඩි කරගෙන මේ හෙළුවෙන් ඉන්න ජෝඩුව දිහා ආසාවෙන් බලා හිටියට, කාලයක් යද්දි උන්ටත් ඒක අති සාමාන්‍ය දෙයක් ගානටම දැනුන බවත්, වැඩි කල් නොයා මේ යක්කු ඒක උනන්දුවෙන් බලන එක නවත්තන හැටිත් මම දැක්කා. හැබැයි එකෙක් විතරක් සෙවල පෙරාගෙන ඕක හැමදාම බැලුවා. මේ සිද්ධියත් එක්ක මට මතක් උනා මම පොඩි කාලේ කියවපු සඟරාවක තිබුන නිරුවත් පාසලක් ගැන ඇමරිකාවේ. ඒක ඇත්තටම තිබුනද කියල මම දන්නේ නැති උනත්, මුල්ම පංතියට මුල්ම ගුරුතුමී විදියට ඇවිත් තිබුනේ පස් මස් ගැබිණියක් කියලයි ලියල තිබුනේ. ඔය වගේ කරුණු කාරණා ගැන කාලයක් තිස්සේ යම් කිසි දැනුම්වත් වීමක් තිබුන හින්දා මට මේක ඒ තරං අරුමයක් උනේ නැහැ.

අපේ සංස්කෘතිය තුලත් ටොප්ලස් ගැහැණු පුරාණ කාලේ ඉදලම හිටියා. ඇයි මතකද රට ඇරල පන ඇරල ආපු සුද්දෝ ආයි ඒ රටට ගිහිල්ල ලංකාවේ රොඩී කාන්තාවෝ ගැන පින්තූර හෙම දාල පොත් ලිව්වේ. ං හිතන්නේ ඔන්න ඕක දැකල තමා සුද්දොන්ටත් ටොප්ලස් වෙන්න ආසාව ඇති වෙන්න ඇත්තේ. ඇයි අපේ විතරද, අප්‍රිකාවේ බොහොමයක් රට වල කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුම තාමත් ටොප්ලස් කිට් එකක්. ඒ විතරද ඈත අතිතයේ ඉදලම ඉන්දියාවේ ජුන්ඩ එළියේ දාපු ජෛනයන් හිටි බවත්, තාමත් අමු නිරුවතින් ජබොස් ගා ගංගා වතුරට පනින හින්දු පුජකයන් ඉන්න බවත් අපි දන්නව නෙව.

Nudity කියන්නේ මොකක්ද? ඒක සරලව කිව්වොත් ඉතිං ඇඳුං නැතිව ඉන්න එක තමා. හැබැයි ඕකෙත් පැති කිහිපයක් තියෙනවා අර්ධ නග්න, නිරුවස්ත්‍ර වගේ. අපි ටොප්ලස් කියන්නේ අර්ධ නග්න ස්වරුපයක් තමා. ඇත්තටම මේ නිරුවත කියන එක හා සමඟ ලිංගිකත්වය බැදුනට, ලිංගිකත්වයෙන් තොර නග්නත්වයක් පැවතිය යුතු බව අපිට දේශන පවත්වන යුරෝපීයයන්ට හිතුනේ එක්දාස් අටසිය බර ගනන් වල ඉදලමයි. හැබැයි ඔවුන් අළුත් ප්‍රවණතාවයක් විදියට ලෝකයට අරන් එන්න හදපු නග්නත්වය (ස්වාභාවිකත්වය) කියන දේ ලෝකයේ බොහෝ රටවල් හි කාලාන්තරයක් තිස්සේ තිබු සාමාන්‍ය දෙයක්. අපි දන්න විදියට ඒක තාමත් අප්‍රිකාවේ සාමාන්‍ය දෙයක්. ඇයි මෙහෙම නිදහසක් පතා යුරෝපියන් අතික්‍රමික විප්ලවයක් ආරම්භ කරේ. ඒක ගැන කියන කොට මුල්න්ම කියන්න වෙන්නේ naturism කියන සංකල්පය හරහා ලෝකය තුල නවමානයක් ඇති උනා. සාමාන්‍ය සමාජය තුල නිරුවතින් සිටිම වෙනුවෙන් නැගී සිටි කල්ලි යුරෝපය තුල බිහි වෙන්නටත් ඒ මගින් සමාජමය හා ස්වභාවිකත්වය නිරුවතට ආරෝපණය කොට එය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්නත් කටයුතු කිරීම එහි අරමුණු උනා.

ඇත්තටම දැං පවතින ක්‍රමය තුල බලන විට ඔවුන්ගේ ව්‍යායාමය සාර්ථකයි කියන්න පුළුවන්. නිර්වස්ත්‍රත්වය සමාජයේ කුලකයක් වන තරමටම සමාජය තුල ස්ථාන ගත වී වැඩි ඇති බවට ඕනැ තරම් සාක්ෂි දැන් අපි සතුව තියෙනවා. ලෝකය පුරාම බොහෝ රටවල් නිර්වස්ත්‍ර කලාප හදුන්වා දී තියෙනවා. ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තතය ආදි රටවල් ඒ අතරින් ප්‍රම්‍රඛ උනත් අඩු වැඩි වශයෙන් හැම රටකම පාහේ නිරුවත් ක්‍රියාකාරිකයන් සදහා වෙන් වු ස්ථාන ඇති. නිරුවත් වෙරළවල්, නිරුවත් නාන තටාක, නිරුවත් ක්‍රිඩා උත්සව, නිරුවත් උද්ඝෝෂණ ආදි එකි මෙකි නොයෙකුත් ක්‍රම මගින් නිරුවත ස්වභාවික සංසිද්ධියක් බවට පත් කරන්නට මොවුන් සමත් වී තියෙනවා. ටොප්ලස් වැල්ලවල් කොච්චර ලංකාවේ තියෙනවාද? ඒ වගේම නිරුවත ප්‍රසිද්ධියේ පෙන්වීම වැඩි පුරම තහනම් වූ දකුණු ආසියානු කලාපය තුලත් නිර්වස්ත්‍රභාවය නැමැති සංකල්පය දෙකකුලින් නැගී සිටින වග පේන්න තියෙනවා. වැඩිය ඕන නැහැ ඔය ගෝවේ බීච් එකෙත් එහෙම කලාප වෙන් කරල තියෙන්නේ.

යුරෝපය තුල වැඩි වශයෙනුත් අනෙත් රටවල් තුල සාපේක්ෂව අඩුවෙනුත් naturist family තියෙනවා. එහිදි පවුලේ සියළු දෙනාම එකතු වන තැන, උදාහරණයක් විදියට ගෙදර සියල්ලන්ම නිරුවතින් තම සාමාන්‍ය කටයුතු වල යෙදීම සිදු කරනු ලබනවා. දෙමව්පියන් එසේ සිටියදී කුඩා කල සිටම මෙම දේ වෙත හුරු වන කුඩා දරුවාද නිරන්තරයෙන්ම එය නැචුරිස්ට් ෆැමිලි එකක් බවට පත් කරනවා. ඒ විදියට මේ වගේ පවුල් කිහිපයක් එක් වෙලා පවත්වන ප්‍රිය සම්භාෂණ, බීච් පාටි ආදිය වේනම් එහිදි සියල්ලන්ම නිරුවත් වී සිටීම විශේෂයෙන් සිදු වන දෙයක්. ඇත්තටම එහි ඇති විශේෂත්වකුත් නැහැ. හැබැයි මම දකින ආකාරයට එවැනි සමාජයක් තුල ලිංගිකත්වය එහා ගිය දෙයක් පවතිනවා. එහිදි ලිංගිකත්වය තරමක් අප්‍රාණික පාණියෙක් පමණයි. ඒ අනුව ලිංගික හිංසනය, පීඩාව හෝ බලපෑම් නිරුවත් සමාජයක් තුල ප්‍රමාණාත්මකව අඩු බව කියන්න පුළුවන්.

ප්‍රාමාණිකව අපේ කාන්තාවොත් ගෙදරදි අඩ නිරුවතින් නෙව ඉන්නේ. ගෙදර ඉන්න උන්දැ උදේ සාරිය අදින්න කලින් බොඩිය විතරක් (??? නෑ නෑ යට කෑල්ල අවුලක් නෑ) ඇදගෙන අරව මේවා හොයන්න ගේ පුරාම දුවනවා මාත් දැකලා තියෙනවා. මේකේදි මතක් වෙන්නේ හුචක්කු දේශක සරත් විජේසුරිය මහත්මයාව. කොහොම උනත් සාමාන්‍යෙයන් මිනිසුන් තුල හුදකලා වීමේදි හෝ නිරුවතින් සිටීමේ ආසාවක් හෝ අත්‍යාවශතාවයක් නොමැති අවශ්‍යතාවයක් ලෙස හෝ පවතිනවා. මට මතකයි මාත් ඔය මාලිගාවත්තේ තිබ්බ අපේ ලොකු අම්මගේ ගෙදර තනියම ඉන්න දවසට ජොකා පිටින් විතරක් ටීවී බලපු, කෑම කාපු නිදාගත්තු දවස් තිබුනා. එතෙනදි මනසට පොඩි නිදහසක් නොදැනුනාමත් නෙමෙයි. ඒ වගේ අපි අතර, නිරුවත තුල ස්වාධීන වීමේ ආශාවක් හා උවමනාවක් තියෙනවා. සමහර විට පරිසරය තුල ලැබෙන නිදහසත් එක්ක නිරුවත් වීම එතරම් ප්‍රශ්නයක් නොවෙනවා වෙන්න ඇති. ඒ කියන්නේ හුදකලාව ඉන්න කෙනෙක් නිරුවතින් හෝ අඩ නිරුවතින් හිටියා කියල එතන මොන ලබ්බක්වත් නැහැනේ. ඒක එයාගේ පෞද්ගලිකත්වය හා නිදහස. මාත් කැමතියි ඒ විදියට නිදහස සමරන්න. මොකද එතනදි ලිංගිකත්වය කියන දේ යටපත් වූ නිදහස් මොනෝපොලියක් ඇති වෙනවා.  

ඉතිං හෙළුවෙන් වැනීම රාවණා කල පටන්ම සුරු වූ අපට හෙළුවෙන් සිටිම කජ්ජක්ද?

Friday, November 22, 2013

එක පෙන්නා තුනම දැමීම!!

මේක නං මාර සීන් එකක්.. අන්තිමට හරිම මාන්දමික කේස් එකක්.

එක දවසක් දරුවා ඉස්කෝලේට ගියා, නමුත් එදා දවල්ට ස්කූල් වෑන් එක නෑ කියලා වෑන් අංකල් කාරයා කෝල් කරපු නිසා, මට සිද්ධ උනා කොල්ලව ගෙදර අරන් යන වැඩේ කරන්න. අවුල කියන්නේ මගේ ඔපීසිය ලගම මේ හාදයගේ ස්කෝලේ තිබ්බට, ඔපිසියට ගෙනැල්ල තියාගන්න අමාරුයි. මොකද එක තැනක ඉන්න එකෙක් නෙමෙයි නේ.. මට හැම වෙලේම ඒකා පස්සේ ඇහැගහගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙම උනාම අනිත් සැට් එකත් එක්ක මේකා සෙට් වෙලා රට වටේම දුවනවා. පැය බාගයක කේක් මීටිමකට ගිහිල්ල එනකොට මූව අල්ලන්න දැලක් දාන්න ඕන..

“අනුපම්.. කෝ පුතා“ මම ගෝලයගෙන් ඇහුවම “ආ එයා සරීනා මිස් එක්ක අල්ලපු බ්‍රාන්ච් එකට ගියානේ“ කියල කියනවා. ඊට පස්සේ මම අනිත් බ්‍රාන්ච් එකට කෝල් එකක් අරන් සරීනට කතා කරනවා.

“සරීනා.. මම දේශා.. කෝ පුතා“

“ආහ්.. අන්න දැං ටිකකට කලින් කැන්ටිමට ගියා පබෝදත් එක්ක“

“හරි මම තව ටිකකින් කෝල් එකක් දෙන්නං එහෙනං“ කියල ෆෝන් එක තියල ආයේ විනාඩි 10 කින් විතර කෝල් එක දුන්නා.

“මාර වැඩේ නේ... පුතා අන්න කැන්ටිමට ආපු ඩීඩී සර්ගේ අතේ එල්ලිල එයාගේ කැබින් එකට ගියා.. සර් කිව්වා පියල් අත එහාට එවන්නං කියලා“

මේක පුදුම කරදරයක් නේ කියල හිතාගෙන මම ඩීඩීගේ කැබින් එකට කෝල් එකක් දුන්නා ටික වෙලාවක් බලල. මමත් වැඩ අස්සේ රත් වෙලා ඉන්න කොට මේ හාදයා මාව පුච්චන්න හදනව නෙවද කියල මට තරහකුත් ආවා.

“මිස්ට අරූන්.. මම දේශා.. පුතා ඔතනට ආවා කියල පබෝදා කිව්වා“

“ආ ඔව්. ඔව් මිස්ට දේශා. ෂෝක් කොලු පැටියා.. ඔන්න මගේ බෑග් එක අවුස්සලා චොකලට් එකකුත් හොයාගෙන කකා හිටියා. හක් හක්.. කියුට් බෝයි“

“දැන් කෝ ඔතන ඉන්නවද?“

“මොන මේකා එක තැන තියාගන්න පුළුවන් එකෙක් නෙමෙයි වගේ. අර සුමනසිරි.. ඉලෙක්ට්‍රිෂියන් ආවා බල්බ් එකක් දාන්න. අන්න ඒ පාර මිනිහගේ අතේ එල්ලිල දැං මේන්ටෙනන්ස් එක පැත්තට ගියා“

“හරි හරි තැන්ක්ස් මිස්ටර් අරූන්“

මට දැං හොද එකෙන්ම මල. මේකා ගියේ කොහේද අන්තිමට ඉන්නේ කොහේද? තවත් බලං ඉදල හරියන්නෑ. අනික කව්රුවත් යවල හරියන්නෙත් නෑ. මොකද ඒ එන අතරමග තව කව්රු හරි අතින් අල්ලන් මේකා කොහේ එක්කන් යාවිද කියල මට සැකයි. ඒ පාර මම ගියා එතනට. යනකොට මිනිහා මේන්ටෙනන්ස් ඉලෙක්ට්‍රිකල් ස්ටාෆ් එකම වට කරගෙන පැණි බෙදනවා. මිනිහගේ අත පිරෙන්න ටෙස්ටර්, වයර් කෑලි අරව මේවා. ඒ අස්සේ වටේම ගිහින් කාපු ටොපි, චොකලට් නාවර කට පුරාම, අත පුරාම. සුදු ෂර්ට් එක පිරෙන්න චොකලට් පැල්ලං. මේකාගෙන් ගන්න දෙයක් නැහැ. අන්තිමට බලෙන් වගේ එක්කන් ආවේ. “තාත්තේ ඉන්නකෝ පොඩ්ඩක් මේ ලයිට් එක චෙක් කරන කං කියලා“ නාහෙන අඩද්දි. ඊට පස්සේ ඇවිල්ල ඇග පත හෝදවල අර නාවර ඇදුම්ම ආයිත් අන්දවල ගෙදරට දක්කන් යන්න උනා. ඒකෙන් මගේ පැයක විතර වැඩ කටයුතු හබක්. ඉතිං මෙහෙම පුත්තරයෝ ඔපීසි වල තියාගන්න පුළුවන්ද? බෑනේ අන්න ඒකයි මම කැමති නැත්තේ මේකා මං ඉන්න තැනක තියාගන්න. (මං ඉන්න තැනක ඉන්න එකක්යැ මේකා)

රායිට් ආයි මාතෘකාවට.....

කොල්ලව එක්කන් ගෙදර ගිහිල්ල ආයේ එනකොට එස්ටිමේට් එක අනුව නං පැය දෙකහමාරක් වත් යනවා. එතකොට මම එනකොට අඩුම තරමේ 3.00 ට කිට්ටු වේවි. හප්පොච්චියේ දෙකහමාරට තියෙන කේක් මීටිම. මට කේක් කන්න බැරි වෙනවා නේ එතකොට. දැං මම කල්පනා කරනවා මේකට මොකක්ද කරන්නේ කියලා. දේශිකා කොට්ටාවේ ඉදල මෙතනට ආවොත් වැඩේ හරි කියල හිතාගෙන මම එයාට කෝල් එකක් දුන්නා.

“මාර කේස් එක. අද වෑන් එක නෑ.. මොකද කරන්නේ“

“ඉතිං ඔයා එයත් එක්ක එන්න ගෙදර“

“පිස්සුද හලෝ අද බැහැ.. මට හවස මිටින් එකක් අද“

“දැං ඉතිං මොකද කරන්නේ“

“මම කියන්නද ඔයා එන්න දැං.. ඇවිත් කොල්ලව ගන්න“

“පිස්සුද අනේ අද නං කොහොමත් බෑ. මම මේ ෂෙඩුල්ස් හදනවා.. අද පේමන්ට්ස් වලට. හෙල්ලෙන්නවත් බෑ. ඔයා මොකක් හරි හිතල මට කෝල් එකක් දෙන්න. බායි“

ෆෝන් එක දෙකට කැඩෙන්න දෙන්න හිතෙනවා මුන්ගේ අහංකාර කමට. දැං ඉතිං දානේ මටම වළදන්න වෙනවා නෙව. තව පැයක් වත් නෑ ස්කෝලේ ඇරෙන්න.. එතකොටම මට කල්පනාවට ආවා අද උදේ නුගේගොඩ එනවයි කිව්ව මගේ අතිජාත මිත්‍ර පැට්‍රල් කාරයව. හැබැයි මූ යන්නේ මහරගමට විතරයි නේ.. ඒත් කමක් නෑ සමහර විට මූ කොල්ලව ගෙදරට එක්කන් යයි කියල මම කෝල් එකක් දුන්නා.

“අඩේ පැට්.. උඹ කොහේද??“

“මම බං ජුබිලි කනුව ගාව. ඇයි?“

“උඹ කීයටද ෂොප් එකට යන්නේ“

“මචං තව පැයකින් විතර යනවා.. “

“වාහනේද??“

“නෑ ඕයි ඒක කැඩිලා.. බස් එකේ ආවේ“

“මළ මගුලයි... මේ වැඩක් කරගන්න බං කතා කරේ“

“මොකක්ද?“

“අඩේ අද කොල්ලගේ වෑන් එක නෑ බොට බැරිද ඌව ගෙදරට දාන්න මම නුගේට ගේන්නං ඒකව“

“අද නං බැහැ බං මම ෂොප් එකට එනවා කියල කස්ටමර් කෙනෙකුට දැං ප්‍රොමිස් උනා විතරයි. අපොයි අපොයි ඕකව එහේ තියාගන්න නං මට බෑ. උඹට හපන් ඌ. වෙන ඕන දෙයක් කියපං.“

“එහෙමද? එහෙනං තොට බැරිද කොල්ලව මහරගමට ගෙනිහිල්ල දේශිකාට දෙන්න.. දේශිකා එතනට ඒවි“

“රායිටෝ සිම්පල් මචං.. මට කියහං එහෙනං වෙලාවට... මම ටක් ගාලා එන්නං“

ටිකක් කූල් ඩවුන්. ඒකෙන් යන්තං වැඩෙන් බාගයක් ගොඩ. ඉතුරු බාගේ ගොඩ දාන්න තමා දැං තියෙන්නේ. ගත්තා කෝල් එකක් දේශිකාට ආයෙත්.

“මේ හලෝ ලක්මාල් කොල්ලව මහරගමට ගෙනේවි. ඔයා මහරගමින් කොල්ලව අරන් යන්නකෝ ප්ලීස්“

“මට බෑ අනේ.. මම ෆුල් බිසී නේ“

“මොකක්ද කිව්වේ. බෑ.. ඒවා හරියන්නෑ. මට එන්න විදියක් නෑ. ඌව තියාගන්නත් බෑ. ඕන මලදානයක් තමුසේ කරගන්නවා එහෙනං. මම තියනවා“ මලපැනපු රගපෑමෙන් මම ෆෝන් එක තිබ්බම අනේ මෙන්න අනිත් පැත්තට කෝල් එක එනවා.

“හරි මම ගන්නං මහරගමින් එහෙනං“ හරිම සාන්ත දාන්ත තීන්ත කුප්පිය විලාසෙන් දේශිකා කතා කරා. හැක් හැක්..

“හරි. මෙහෙම කරන්න. මහරගමට ඇවිල්ල පැට් ට... නෑ නෑ ලක්මාල් ට රින්ග් කට් එකක් ගහන්න. ඔයා ස්ටැන්ඩ් එක ගාවම ඉන්න. මිනිහා එතනට කිට්ටු වෙන කොට ඔයාට රින්ග් කට් එකක් දාවි. ඔළුවත් එළියට දාවි. බලල ඒකටම නගින්න. හරිනේ එහෙනං.“

“හරි හරි..“ අම්මේ දැං වැඩේ ගොඩ වගේ කියල හිතාගෙන මම පැට් ට කෝල් කරා.

“පැට්.. මචං මම නුගේ කිට්ටු කරල උඹට රින්ග් කට් එකක් දෙන්නං උඹ හෝල්ට් එකට වරෙන්. උඹ ආවාම මට රින්ග් කට් එකක් දාපං. මම මූන දාන්නං එලියට. උඹ ඒකට නැගහං හරිනේ..  දේශිකා මහරගමට ඇවිත් බොට රින්ග් කට් එක දේවි. මහරගම කිට්ටු වෙලා උඹ දේශිට රින්ග් කට් එක දියං. වෙලාවට වැඩේ කරපං මතක ඇතිව. උඹට බස් එකට නැග්ගම මංඤ්ඤං වෙන හින්දයි කියන්නේ. දේශි ඒ බස් එකටම නගීවි උඹ ඔළුව දාලා සිග්නල් එක දීපං හරිනේ. එහෙනං ෆිට් තමා“

යන්තං හුස්ම ටිකක් ගත්න ඇහැකි දැං. මනමාලයා වගේ මම නැකතට එළියට බැහැල කොල්ලව ඉස්කෝලෙන් ගත්තා. අරගෙන නන්ද මෝටර්ස් එක ගාවින් 138 කොට්ටාවක නැග්ගා. ටිකට් ගන්න ආවම

“කොට්ටාව එකයි බාගයක්“ කියල ටිකට් ගත්තා. මතක තියගනිල්ලා කොට්ටාව.. 

නුගේ කිට්ටු වෙලා පැට්ට රින්ග් කට් එක දුන්නා. තව ටිකකින් පැට් සිග්නල් එක දුන්නා.. මම හන්දියෙදි ඔළුව එළියට දාලා පැට්ව ගත්තා බස් එකට. කොල්ලා ගාවින් වාඩි කරවල මම බැස්සා. හැබැයි බහින්න කලින් මෙහෙම කරා.

“මචං මෙන්න ටිකට් එක. උඹ ආයි ටිකට් ගන්න ඕන නෑ. දේශි නැග්ගම ඒකිට දීපන් මේ ටිකට් එකම.. මම ගියා“

දේශිකා කොල්ලව ගෙදරට දාලා කෝල් එකක් දුන්නා. මිෂන් ඇකොම්ප්ලිෂ්ඩ් කියලා. ඒත් තව වැල්වටාරං වගයක් කිව්වා.

“මොනවද දේශා මේ කරන වැඩ. කොට්ටාවට එනකං කොන්දෝස්තර මට ඔරවනවා. ළගින් යනකොට අනං මනං කියනවා. එක ටිකට් එකෙන් තුන් දෙනෙක්ම බස් ඒකේ ආවයි කියලා. මහ විකාරයක්. ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැද්ද? මට මහරගමින් ටිකට් එක ගන්න තිබුනනේ. ඕක මොකක්ද? ඒක නං මාර පිස්සුවක්. ලක්මාල් ටිකට් එක මට දුන්න නිසා කොන්දා ළගට ආවම මම කිව්වා ටිකට් ගත්තා කියලා. ඇත්තනේ මිනිහට මතකයි නේ මම මහරගමින් නැග්ගා. ෂික් මාර ලැජ්ජාව අදනං“

“අයියෝ ගනං ගන්න එපා.. ඔයාට ලේසියක් නේ මං කරේ.. හැක් හැක්“ කියලා ෆෝන් එක තිබ්බා. ඒ සැනින්ම පැට් ගේ කෝල් එක එනවා.

“මොකද්ද යකෝ අර කරපු කුප්ප වැඩේ. කොන්දා ටිකට් ගන්නලු ගන්නලු.. මම ටිකට් එක පෙන්නුවම ඌ හොදට බලල ඔරවල ගියේ. මං අහගෙන ඉස්සරහ ටිකට් දෙන කොට මිනිහා කියනවා ස්පෙෂල් ටිකට් නෑ. නෝර්මල් ටිකට් කිය කිය. වස ලැජ්ජාව බං.. උඹට ඇත්තට පිස්සුද?? මොකෝ මට ඔය ටිකට් එක ගන්න බැරුවද?? උඹට මෝංගල්ද? .. හැබෑට බීපු තරමට උඹේ මොලේ කුරවල් වෙලාද?“

“හැක් හැක්.. බලහං බොට ලේසියක් නේ මං කරේ. ඔය කතන්දරේ දැං දේශිත් කිව්වා. ඉතිං යකෝ කොට්ටාවට තියෙන ටිකට් එකේ කව්රු ගියාම මොකද? කොහොම කරත් ඒ ටිකට් එකෙන් එක වෙලාවට එකයි නේ යන්නේ. මොකෝ අර කෝච්චි ටිකට් එකේ වගේ අන්සතු කළ නොහැක කියල තියෙන එකක්යැ. හැක් හැක්“

“රෙද්ද.. තෝ සෙට් වෙයන්කෝ හවසට... පෙරේත පැටියා.. හාක හාක හා“

ප.ලි. - පහුගිය පෝස්ට්කටුවට උත්තර නැවත පැමිණි විට දෙන්නෙමි.. පාළුව යන්න ස්වයංක්‍රිය අප්ඩේට් වීමකි මෙය....

Thursday, November 14, 2013

“බලුප් එක“

සුදු පාට මීදුම් ගලාලා“ ගීතය වෙරි මරගාතේ දෙපැත්තට වැනෙමින් තොල් දෙක බරු කරගනිමින් හයියෙන් ගායනා කරන ගමන්, සයිමන් ගෙට ගොඩ උනා. වෙනද වගේම දොර අඩවන් කරල තිබ්බ නිසා දොරට අත තිබ්බම මත්පැන් බලයෙන් දොර දඩාං ගාලා බිත්තියේ වැදිල, තුවාල වෙච්චි බිත්තියෙන් හුණු කුඩු බිමට වැටුනා. හැමදාම උදේට ගේ අතුගාන සයිමන්ගේ හාමිනේ, බිමට වැටිල තියෙන හුනු ප්‍රමාණය, සයිමන්ගේ බීමත්කම මනින ඒකකය විදියට භාවිතා කරා. 

රෑට පුස්පාට් දාන සයිමන්, උදේට කොස්ස අතේ තියන් පුස්පාට් දාන නෝනගේ කතා යන්තරෙන් චොර චොර ගාලා වැගිරෙන එක වචනයක්වත් කනකට ගන්නේ නැහැ. ඇහුන නෑහුන ගානට කාමරේටම වෙලා බිල්ල වගේ ඉන්න එක තමා සයිමන්ගේ පක්ෂපාතිත්වය.

හුණු වැටෙන ගානට ඉස්සරහ දොර ඇරපු සයිමන්, උළුවස්සෙන් ලී කුඩු හැලෙන ගානටම ඩෝං ගාලා ආයිත් දොර වහල, ගෙයි ඇතුලට ආවා. රවුමක් ඇතුලේ ඕන සෙල්ලමක් කියනව වගේ, ගෙයි ඉස්සරහ දොරයි පස්සේ දොරයි ඇරුනම එක කාමරේකටවත් දොරක් නැහැ. හැබැයි පුදුමෙකට වගේ සයිමන්ගේ කාමරේ දොර රෙද්දක් තියෙනවා. ඒකට හේතුව රෑට විකාර කරන සයිමන්ගේ සරම උදේට ඇදේ අහලකවත් නැති නිසයි. මේ වැඩේ හින්දා සයිමන්ගේ හාමිනේ ඒකට දොර රෙද්දක් දාලා තිබුනට සයිමන්ට නින්ද යනකං කියවන විකාර ඇහෙන එක නං ඒකෙන් නවත්තන්න බැහැ.

කාමරේ දොර රෙද්ද මෑත් කරගෙන ඇතුලට ආපු සයිමන් ‍යන්තං අතපත ගාලා ස්විච් එක දැම්මා. මොන ටකස් ටකස් සද්දෙන් දෙතුන් පාරක් ඒක උඩට යටට දැම්මත් පත්තු වෙන පාටක් නැහැ.

“මොන රෙද්දක්ද?? මේ යකා කොහේ ගිහින්ද?“ සයිමන් බිත්ති හෙලවෙන්නම ගුගුරනවා. ආයෙත් උත්සාහ කරල ස්විච් එක කැඩෙන තරමටම දහ දොළොස් පාරක් දැම්මත් ඒක නං පත්තු උනේ නැහැ.

“ඇයි යකෝ මූ මොන එහෙකට එළියට ගියාද... දැං කෝ මගේ සරම?? රෙද්ද“

“මම ගියපු තැනක් නෑ යකෝ“

මහ සද්දෙන් ආපු ඒ ගෝරනාඩුවට කොච්චර බීල හිටියත් සයිමන් බය උනා. කළුවරේ මොන දෙයක්වත් පේන්නේ නැහැ. හැබෑටම මොකෙක් හරි කාමරේට රිංගලාද සයිමන් කල්පනා කරා. බීපු වෙරි ටිකක් බැස්සත් එක්ක බය වැඩි කමටම..

“ක් ක්... කව්ද මේ?“

“ඇයි ඕයි මේ මම.. මම“

“මම මම කියන්නේ වදේ මට තමුසෙව පේන එකක්ද“

“ඔව් තමුසෙට මාව පේන්නැතිව ඇති.. මට හොදට පේනවා තමුසෙව නං“

“දෙයියන්ගේ නාමෙට මොකාද මේ.. කියහංකෝ“ සයිමන් පින්සෙන්ඩු වෙනවා.

“ඉස්සෙල්ල සරම ඇදගන්නවා ඉතිං.. තමුසෙගේ වම් පැත්තේ තියෙන පුටුව උඩ ඔය සරම තියෙන්නේ.. ගන්නවා ඒක“

අන්ධයෙක් වගේ වම් අතින් අවකාශය අතගා පුටුව උඩ තිබ්බ සරම අරගෙන කිසි සද්දයක් නැතිව ඒක ඇගට දාගන්නයි සයිමන් ලැහැස්ති වෙන්නේ. ඉස්සෙල්ලම කමිසෙ ගලවල අර පුටුව උඩින්ම තියල, ට්විට් රේද්ද ගැට ගහල තිබ්බ හම් පටිය ගලවල ඒකත් පුටුව උඩින් තිබ්බා. ඊට පස්සේ අතේ තිබ්බ සරම රෝල් කරල ඔළුවට උඩින් දාගෙන අන්තර් මාරුවක් කරන්නයි ලැහැස්තිය.

“අනේ ඕයි.. තමුසෙගේ ඔය රෙද්ද මම දැකල තියෙනවා. ආයේ ලමිස්සියෙක් වගේ ඕක අදින්න දෙයක් නෑ.. ඕක ගලවල එක පාරට ඇදල දානව. තමුසෙ හෙළුවෙන් ඉන්නව මම ඕන තරං දැකල තියෙන එකේ ඕක ලොකු දෙයක් නෙමෙයි.. හා හා ගලවනවා පුරුදු විදියටම“

මේ අණත් එක්ක සයිමන් ගේ ලේ ගමනාගමනය වැඩි උනා. ඒ උනත් මේ දෙන විධාන වල හැටියට ඒක නොකරත් බැහැ සයිමන්ගේ හිත කියනවා. හැම දේටම කලින් මිනිහගේ මත ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. 

“හරි ඕන රෙද්දක්“ කියල සරම කඩල බිමට දාලා ඒක ආයිත් අරන් පුටුව උඩින් තිබ්බට පස්සේ කරේ තිබ්බ සරම හෙමින් සීරුවේ සයිමන් ඇදගත්තා.

“දැං හරිද... කියනවා ඉතිං තමුසේ කව්ද??‘

“වාඩිවෙයන් මිනිහෝ.. මට තමුසෙත් එක්ක කතා කරන්න ඕන“

“තමුසෙ මගෙං හොරකං කරන්න නං යන්නේ.. ඒවා සුම්මා කියල හිතාගන්නවා“

“අනේ තමුසෙගේ මගුල.. මම දන්නව නෙව තමුසේ ගාව තියෙන ඒවා.. බලනවා තමුසෙගේ සාක්කුවේ තියෙන්නේ රුපියල් විස්සයි“

“තමුසේ කොහොමද ඒක දන්නේ... “

“ඇයි සයිමෝ තමුසේ එළියට ගියේ රුපියල් පන්සියක් අරන් නේ.. මම ඒක දැක්කා“

හත්දෙයියනේ මේකා අද දවසෙම මෙහෙද හිටියේ එතකොට. සයිමන් හිතන්න ගත්තා. ඒ එක්කම තමන්ගේ හාමිනේත් මතක් නොවුනම නෙමෙයි. මේ ගෑනි මේ වෙනකං මට ඒක කිව්වේ නැත්තේ ඇයි. සැකයේ බීජ අහිංසක සයිමන්ගේ හිතේ ගොඩගැහෙන්නට විය.

“අම්මට කෙලින්නැතිව කව්ද කියපං ඔය“

“ඇයි සයිමෝ උඹ මට මොනව කරන්නද.. වාඩි වෙයං යකෝ .. .තව තියෙනවා අපිට කතා කරන්න දේවල්“

“මම තොගේ ලබ්බ කඩනවා කියපං මොන බල්ලද මේ“ සයිමන් ද තර්ජනය කරයි.

“ඇයි ඕයි මේ මම ඉන්නේ.. බලනවා උඩ“

“මොන තමුසේ වහලෙද ඉන්නේ...“

“නැහැ ඕයි තමුසෙට අඩි ගානක් විතර උඩින්“

“එතකොට තමුසෙද බේ බලුප් එක පැන්නුවේ“

“පන්නන්න ඔය යස අගේට තියෙන්නේ“

“එහෙනං ඇයි ඒක පත්තු නොවෙන්නේ“

“ඒක තමයි මම තමුසෙට කියන්න හැදුවේ සයිමෝ“

සයිමන් කට ඇද කර උඩින් එන සද්දයට ඇහුන්කන් දෙයි.

“මම තමුසෙට මීට කලිනුත්, සිග්නල් දුන්නා බලුප් එක පිච්චෙන්න ලගයි කියලා. කොහේද තමුසෙගේ කටේ හැම වෙලේම අර ජරාව නේ.. ඉතිං කොහේද ඔළුවක්.. දැං ඉතිං කරන්න දෙයක් නෑ.. බලුප් එක පිච්චුනා. මම මේ තමුසෙට ඒක කියන්න නෙව හැදුවේ.. ඇයි ඕයි අර ස්විච් එක තමුසේ කඩනවා නෙව තව ටිකෙක්“

“හැක් හැක්.. එතකොට තමුසේ... ඕයි ඕයි.. තමුසේ ස්ව්ච් එකද???“

“නැහැ ඕයි.  මේ මම. පිච්චුන එකා..“


“හිටපිය තොට පරයා....“ සරම කැහිපට ගහගත් සයිමන් වේගෙන් පුටුව ඇද, කළුවරේම බල්බ් එක ගාවින් එය තබා උඩට නැග බල්බ් එක ගලවා ඒ සැනින් පොලවේ ගසා දමයි.

“තෝ.. ආවා මට රැස්පොට් දාන්න.. ගැහිච්ච බලුපා.. මදනයකා.. දැක්කනේ මං තොට කරපු වැඩේ“

චිරි චිරි හඩින් කකුලට පැගුන විදුරු කටු ඇනී රිදුම් දෙන කකුල් ගැනද සැලකිල්ලක් නොමැතිව සයිමන් ඇදට වැටී ගොරව ගොරවා නිදන්නට විය.

Wednesday, November 13, 2013

සංවෘත වක්‍රයක හිටගෙන නෑම (යෑම)

තෙමෙන්න හිතෙන්නේ නැති තරමට වැහි මන්දාරම මෝදු වෙලා, සර සර ගාලා බිමට වැටෙන සද්දේ අහගෙන මම බලාන හිටියා වැහි ඉරටි දිහා. ඒක එක විදියකට සොකයක් ගෙන දෙන්නේ නොහිතපු වෙලාවක වැටුනු මේ වැස්ස මම කරන්න හිටිය ඔක්කෝම වැඩ ටික එක මොහොතකින් අඩපන කරල දාපු හින්දයි. වැස්සෙන් වැගිරෙන වතුර ටික, හොදටම පේන්නේ වහලට වැටිලා ඒක වහල කොනෙන් බිමට වැටෙන විටයි. ඉබේම මා වැස්සෙන් මැවුනු සිරකුටියක සිරකරුවෙකු වී සිටිමි. යකඩ පොලු දමා නැති ජනෙල් පියන්පතට එහායින් වතුර ඉරටියෙන් මැවුනු වතුර පොලු සිර ගෙයක මා සිරගතව සිටිමි. තවදුරටත් ඉදිරියක් නොමැතිව මා නිසොල්මනේ බලා සිටිමි. විටෙක මන්දනය වී විටෙක වැඩිවන මේ වැස්ස කුමන කරුණක් අරභයා මෙසේ වැටෙනවාදැයි නිනව්වක් නැතිව කල්පනාවෙන් සිටියෙමි.

“උඹ ගැන මට ආරංචියක් ආවා දේශා.. ඒක එච්චර හොද එකක් නං නෙමෙයි“

“ඇයි ඇයි මොකක්ද ඒ“

“උඹ බය වෙන්න එපා මම කියන දේට.. හරිනේ“

ලබ් ඩබ් ගාමින් හදවත මුරදෙද්දී සනිල මේ පවසන්නට කැසකන්නේ කුමක්දැයි ලෝකය පුරාම එක හුස්මට හිතින් ගොස් බැලුවෙමි. හැබෑටම මම අවුලක් වෙන්න දෙයක් කරාද? මෙයා කොහොමද ඒවා දන්නේ. අද නං කිසිම අවුලක් ඇති දෙයක් කරපු විත්තියක් මට මතක නැති කොට මේ මිනිහා මොකක් ගැනද මේ කියන්නේ. හිත එක්ක ආපස්සට යද්දි මට මතකෙට එනවා එක දෙයක්. ඒක අහඹු සිද්ධියක්. පහුගිය සතියේ දොහක කඩෙන් බඩු ගද්දි, ඉතුරු සල්ලි කියල වැඩිපුර පන්සියක් මට ආපහු දීපු එක මුදලාලි සනිලයට කියලද? ඒ කියන්නේ මුදලාලිට අහුවෙලාද ඒක.. ඉදල හමාරයි..වස ලැජ්ජාවයි.. ඇත්තට මම ඒක ඒ වෙලාවේ දැක්ක නිසා මට තිබුනා මනුස්සයෙක් විදියට වැඩිපුර දීපු සල්ලි ටික දීලා එන්න. ඇයි මම ඒක ගැහෙන හදවතින් උනත් ගත්තේ. මට ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නැති නිසාද? මෙච්චර කාලයක් කඩතුරාවෙන් වහංගු වෙච්චි මගේ කළු ප්‍රතිරෑපය පේන්න ගන්නේ දැන් වෙන්ටැති. හැබැයි සතියකටත් පස්සේ මේක මුදලාලිට මතක් උනේ කොහොමද? වෙන්න බෑ ඒක ගැන නෙමෙයි සනිලය කියන්නේ. එහෙනං මොන එකක්ද මේ. මගේ හිත ආයෙත් පස්සට යනවා.

පහුගිය දවසක වැඩට යද්දි, බස් එකේ පාපුවරුවේ එල්ලිල ඉන්දැද්දි මගේ ඉස්සරහින් පාවපුවරුවේ හිටිය කෙල්ල, වැනෙන පැද්දෙන බස් එකේ විදියට පැද්දෙන කොට, ඒ පැද්දිල්ල මගේ සරීර කුඩුව ගාවින් මම නතරකරගත්තේ උවමනාවෙන්මයි. ඒක ටිකක් දරදඩු විදියට කරන්නත් උනා කියල මතකයි. හත් දෙය්යනේ සනිලයට කව්රුහරි ඒක කිව්වද? කව්ද ඒක දැක්කේ... මමත් මෝඩයෙක් වගේ කිසිම දෙයක් නොබල කෙල්ල වැනෙන එක නැවැත්තුවේ. දැං ඉතිං මොකද කරන්නේ. සනිලය ඔය ගැන තමා මගේත් එක්ක කතා කරන්න යන්නේ. කමක් නෑ දැං ඉතිං ලැජ්ජාවේ ඇඹරෙන්න තමා වෙන්නේ. මෙච්චර දවසක් පොරවන් හිටිය උතුරු සළුව ගලවල කටේ ඔබා ගන්න තමා වෙන්නේ. හැබැයි ඒක වෙන්න විදියකුත් නෑ පා පුවරුවේ හිටිය උන්දැලට ඒව බලන්නවත්, ඇතුලේ හිටිය අයට මේ විකාර පේන්නවත් කිසිම ඉඩක් තිබ්බේ නැතෙයි කියල මට හොදටෝම මතකයි. සනිලය කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි. මට විශ්වාසයි. එතකොට මොකක් ගැනද මේ කියන්නේ. තවත් හිතන්න වෙනවා.  

මෙහෙම හිතන්න හිතන්න මම කරපු වැරදි ඔක්කෝම එළියට ඒවිද? එතකොට මම කරපු හොද වලට මොකද වෙන්නේ. එකින් එකට මේවා පෙන්නල දෙන්න ගත්තොත් කොතනින්ද නතර වෙන්නේ. මාව තනිකරම සමාජයෙන් කොන් කරල දාවි. ඔව් අද ඉදලවත් ඉතිං හොදට හැදෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවොත් දේශනා කරන්නේ රහසින්වත් පව් කරන්න එපා කියල නෙව. ඔව් මම හොද ළමයෙක් වෙනවා හෘද සාක්ෂියට එකගව අවංකව ඉන්නවා. දැං ඉතිං වෙච්චි දේට කරන්න දෙයක් නෑ ඕන දේකට මූන දෙනවා.

“ඔව් ඉතිං කියහං මොකක්ද කියලා“

“මොකක්වත් නෙමෙයි ඩෝ. උඹ මොකටද ඔච්චර බය වෙලා?“

“මම නෑ නෑ මම මොකටද බය වෙන්නේ“

“හහ්.. අන්න උඹ දාපු ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා. දුක තමා රංගනී“

“අප්පට සිරි ඒකත් එහෙමද??“

මුහුණේ මැවුන සෝභාවත් මන්දස්මියත් එක්ක ඈතට ගිහින් තිබ්බ ඇස් දෙක මං ගාවට ඇවිත් ආයේ නතර වෙන කොට තමා දැක්කේ මම සිරෙන් නිදහස් වෙලා කියලා.. ඈතින් පේන ආකාසෙන් තවත් වැහි මන්දාරමක් මෝදු වෙනවද මන්දා???

Monday, November 4, 2013

බුරූ පුතා!!! (බුරු බබා නෙමෙයි)

සාමාන්‍යෙයන් හැමදාම උදේට මාලක්කු පාලම පහුකරන් එන කොට, පාලමේ බාගයක් පහු කරද්දිම මට හැදෙනවා සන්සිදුවාගත නොහැකි සාපිපාසාව. කොයි තරං උත්සාහ කරත් අනේ මන්දා, ඒක නං සන්සිදුවන්න බැරි තරං මම දුර්වලයි. අවුලක් නැහැ මොනා කරන්නද කියල හැමදාම උදේට මාලක්කු පාලමෙන් එගොඩ තියෙන පොඩි කඩේට බැහැල ප්ලේන්ටි බාගයක් ගහනවා. ඒත් ඒක බොන්න වෙන්නේ අගුවට ඇවිත් හිටගෙනම තමා, මොකද එතැන ප්ලේන්ටියක් බොන්න වාඩි වෙනවා කියන එක කඩේ අයිතිකාර ජෝති අයියට කරන පාඩුවක්.

අද උදේ මම තේ එක රස විද විද ඉන්න කොට, පාරේ දකුණූ අත පැත්තේ ඉදලා ටිකක් වයසක ජෝඩුවක් ආවා.. මම හිතන්නේ මොකක් හරි ටෙස්ට් එකක් කරගන්න ඉස්පිරිතාලෙට යනවා වෙන්න ඇති. සාරියක් ඇදල හිටිය ගැහැණු මනුස්සයගේ අතේ හැන්ඩ් බැග් එකක තිබ්බා. එ වගේම පිළිවෙලට ඇදල හිටිය එයාගේ මහත්තයත් පොඩි බෑග් එකක් කරේ දාගෙන හිටියා. කඩේ ගාවට ඇවිත් පාරේ නතර උන මේ දෙන්නා තත්පර ගානක කතාවකින් අනතුරුව ප්‍රියම්බිකාව තනිකොට කඩේ පැත්තට එන්න අඩි දෙක තුනක් ඉදිරියට ආවා. ඒ එක්කම “මේ“ කියපු ප්‍රියම්බිකාව, මනුස්සයට හැන්ඩ් බෑග් එකෙන් ගත්ත රුපියල් පනහක් දුන්නා. ඒකත් අරන් ගිහින් ටිකකින් කඩදාසි බෑග් එකක දාගෙන මොකක් හරි කෑමක් අරන් ආවා.. මම දැක්කේ ඒක මාළු පාං ගෙඩියක් වගේ. දැන් මාව පහුකරගෙන යන ගමන් අර මනුස්සයා දීපු කඩදාසි බෑග් එක ප්‍රියම්බිකාව හැන්ඩ්බෑග් එකට දාගත්තා. ඉස්සරහින් යන එයාගේ මනුස්සයා පිටිපස්සවත් නොබල අත දිගු කරල ඉතුරු රුපියල් විස්ස නෝනට දුන්නා. 

*****************************************************

බස් එකට නැග්ග තරුණ යුවල ආසන නැති නිසා මා අසලම ආසනයේ පොළු බදාගෙන හිටගෙන යනවා. ඒ අතරේ කොන්දොස්තර උන්නැහේ දැං බස් එකට නැගපු තක්කඩි ටික හොයමින් ඉස්සරහ ඉදල උකුසු ඇස් කර කව කව එනවා. ඒ එන අතරේ මම දැක්කා ඒ උකුසු ඇසට අහු නොවේච්ච ගැටව් දෙන්නෙක්ම. ඒක දැක්කම මට හිනා ගියා. මොකද උන් දෙන්න තැන් දෙකකට වෙලා කිසිම දෙයක් නොදන්න ගානට එළිය බලං ඉන්න කොට, කොන්දා උන්නැහේ රබර් ඇහැ දාලා වටේ කැරකුනත් අර හාදයෝ කිසිම ප්‍රතිචාරයක් නැති කොට, තේරුං ගන්නේ ටිකට් ගත්ත අය කියල නේ. මොකද ටිකට් ගත්ත අයට කොන්දගේ තට්ටු වලට බය වෙන්න දෙයක් නැහැ. ටිකට් නොගත්ත අය කොන්දගේ තට්ටුව එනකං ඩග් ඩග් ගාමින් පපුව ගැහි ගැහි ඉන්නවා. ඒ අතරේ තට්ටුව ලැබුනත් ගණන් නොගෙන ඉන්න තරං ගටක් තියෙන ඈයෝ නොමිලේම ගමනාත්තය දක්වා අරන් යන්න කොන්දා කටයුතු කරනවා.

ඒ අතරේ මම ඉන්න තැන ජෝඩුව ගාවට ආපු කොන්දා උන්නැහේ ටිකට් නිකුත් කරන්නයි කල්පනාව. සාමාන්‍යෙයන් දෙන්නෙක් ඉන්නවනං එතන පිරිමියගෙන් ටිකට් ගන්න කියන ඉල්ලීම කරන එක නේ සාමාන්‍ය දේ. ඒ විදියටම ඒ දේ වෙන බව දන්න කොල්ලා, කෙල්ලගෙන් ටිකට් ගන්න විදිය ගැන ඇහුවම ඔළුව හොල්ලල කෙල්ල හැන්ඩ් බෑග් එක ඇරල ටිකට් ගන්න අවශ්‍ය වෙන මුදල කොල්ලා අත තිබ්බා. ඒකත් අරන් උගේ වගේ සාක්කුවේ දාගෙන ඉදල, ළගට ආපු කොන්දට සල්ලි දීලා ටිකට් ගත්තා. ඉතුරු වෙච්චි රුපියල් දහය දඩස් ගාලා සාක්කුවට දාගත්ත කොල්ලා, කොහේන්දෝ ආපු විධානයක ඇස් බැල්මට යටත් වෙලා ඒ රුපියල් දහය ආයිත් කෙල්ල අතට දුන්නා. කෙල්ලා දඩස් ගාලා ඒක හැන්ඩ් බෑග් එකේ දාගත්තා. හැබැයි එකක් ෂුවර් මේ කපල් එක හොර එකක් වත් ලව් එකක් වත් නෙමෙයි. රියලි මැරිඩ් කපල් එකක්ම තමා.. මන් දන්නැත්ද ඕවා.

******************************************************

ගිය සතියේ බඩු වගයක් ගන්න මට සිද්ධ උනා දේශිකාත් එක්ක සුපර් මාර්කැට්ටුවකට යන්න. ඒක මේ මාළු මාර්කැට්ටුව වගේ නෙමෙයි නේ. ඒසී කරලා, නිළ ඇදුම් ඇදගත්ත කොල්ලෝ කෙල්ලෝ රාජකාරි කරන බොහොම සුකුරුත්තං වැඩ කෑලි තියෙන තැනක් නේ.. ඉතිං මමත් බඩු ටික අරගෙන දේශිකාත් එක්ක කවුන්ටරේ දිහාට කිට්ටු කරන කොට සබන් දාලා තියෙන රාක්ක ගාව නවතින්න සිද්ධ උනා. මොකද සබන් කැට තුනක් ගන්න කං පොඩ්ඩක් ඉන්න කියල මට නියෝග කරපු නිසා. ඉතිං මටත්, අර සබන් කැට දෙතුන්සීය පීරල බොහොම අමාරුවෙන් දෙතුන් පාරක් ගණං කරල දේශිකා සබන් කැට තුන අර ගන්නකං විනාඩි ගානක්, පුත්තලං බුරුවෙක් වගේ එතනට වෙලා බෑග් එක උස්සගෙන ඉන්න උනා. පුත්තලං බූරුවෙක්ය කියන්නේ, බෑග් එක බිම තියාගෙන ඉදල, දේශිකා හැරෙන කොටම බෑග් එක උස්සල සීරුවෙන් ඉන්න තිබුන නෙව. මොනව කරන්නද හමුදාවේ නීතියට අපි යටයි නේ.

සබන් තියෙන රාක්කේ තමා කවුන්ටරේට කලින් තියෙන අවසාන තේරුම් ස්ථානය. කිහිප දෙනෙක්ම එතැන පහු කරන් කවුන්ටරේට ගියත් සමහර අය එතැන නතර වෙනවා ටික වෙලාවකට. සබන් ගන්නද?? නෑ.. එතනදි ඔක්කෝම බෑග් ටික හබියට හරි පුත්තලං බූරුවට හරි දීලා, බිරින්දෑවරු තමන්ගේ හැන්ඩ් බෑග් එකෙන් පර්ස් එක අරගෙන ඒ බඩු වලට අවශ්‍ය මුදල ප්‍රමාණය බූරුවගේ අතට දෙනවා. අන්න ඊට පස්සේ තමා බූරුවා කඳ කරගහගෙන කවුන්ටර් එක ළගට යන්නේ. නෝනා ආතල් එකේ ඔළුව කර කව කව ඉස්සරහට වෙලා ඉන්නවා. මේ විදියට බුරු පොරවල් තුනක්ම ඒ විනාඩි ගානට මම දැක්කා. ඒ කියන්නේ එතැනදීත් අපි වගේ කෙලින් වැඩ කරන අය අඩුයි කියල පෙන්නුම් කරා. 

අමාරුවෙන් තෝරගත්ත සබන් කැට ටිකත් ඔබාගෙන බෑග් එක උස්සන් මමත් ගියා කවුන්ටර් එක ළගට. මගේ වාරේ ආවම එතැන හිටි කොල්ලා බෑග් එක කකුල් දෙකෙන් උස්සල පොලවේ ගහනවා වගේ මේසේ උඩ බඩු ටික ඔක්කෝම හැළුවා. ඊට පස්සේ රීඩර් එක අරන් ඒ හැම එකටම අල්ලල කීක් ගැවට පස්සේ මේසේ අනිත් පැත්තට දැම්මා.  මේ හැම දේම මගේ පිටුපස්සට වෙලා තමන්ගේ කම්ප්ලීට් ස්කෑනර් දෙනෙතින් දේශිකා බලන් හිටියා. ඒ වගේම ඒ වෙන කොටත් හිතින් ඒ ඒ ගණන් හදන කැල්කියුලේටර් එකත් ක්‍රියාත්මක වන බව මට පුරුද්දෙන්ම කියන්න පුළුවන්. දොරෙන් එළියට යද්දී භුත වෙලා කීං කීං ගාන සමහර බඩු වල හයි කරපු කළු ගුලි ටිකත් මේසේ හිලෙන් ඇතුලට දාලා අවසාන බිල්පත නිකුත් කරන්න ගෙවිය යුතු ගාන කැෂීයර් මට කිව්වා. එතකොට මම ගෙවන්න ඕන ගාන 1765 යි. 

මම ටක් ගාලා පර්ස් එක ඇදල පර්ස් එක පුරෝලා තිබ්බ දාහේ දෙදාහේ පන්දාහේ කොළ අතරින් දෙදාහේ කොළයක් ඇදල අරන් බිල් එක ගෙවලා ඉතිරි සල්ලි ටිකත් පර්ස් එකට දාගෙන ගාම්බීර විදියට එතැනින් පිටත් උනා.

ඒක ඉතිං හීනෙං තමා... මොන.. දේශිකා පර්ස් එක ඇරල 1800 ක් ගණං කරල මගේ අතට සල්ලි දුන්නම මම බයෙන් බයෙන් ඒක අරන් සල්ලි ගෙවල, දොරෙන් එළියට යන්නත් කලින් බිල් එකත් එක්ක ඉතුරු සල්ලි එයාගේ අතට දීලා ඇඩ්වාන්ස් එක සැටල් කරා. නැත්නං ඔය අපේ රාජ් බයියල වැඩ කරන තැන් වල වගේ හැරෙන තැපෑලෙන් ඔඩිඩ් ක්වේරීස් එන්න පුළුවන්නේ. එහෙම උනොත් උත්තර නොදී ඉදල අන්තිමට ෆයිනල් ඔඩිට් රිපෝට් එක ආවම ඔළුම ගලේ හප්පගන්න තමා වෙන්නේ..

ප.ලි - අර සල්ලි ගෙවපු අනිත් බුරු පුත්තු පවා එළියෙදි ඇඩ්වාන්ස් සැටල් කරන හැටි මම දැක්කා.

ප.ප.ලි - අද උදේ දැක්ක සිද්ධිය ඇත්තටම අද උදේ වෙච්ච දෙයක්. ඒ වෙලාවේ ඒක හිතට වැදිල මම සියළු රිවයින්ඩ් වැඩ ටික කරගෙන ඇවිත් කම්පීතර් තඩිය ළග වාඩි උනා නේ.. මෙන්න මේ යකත් මම ලියන්න හිටිය වගේ එකක්ම ලියලා.. හිතගිය තැන මාළිගාව