Friday, June 24, 2016

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..!! (See updates below)

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..



හිතවත් යම රජජුරුවන් වහන්සේ වෙතයි,



ඔබතුමාගේ රාජධානිය වෙත පැමිණිමේ නිවේදන නිකුත් කර ඇති සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා සම්බන්ධවයි.


පසුගිය අඟහරුවාදා දින පෘථිවියේ සිංගප්පුරුව නම් ස්ථානයේ ස්ථාපනය කර ඇති ඔබතුමාට විරුද්ධ ආයතනයක නේවාසිකව ඔබතුමාට විරුද්ධව කටයුතු කරනු ලබන සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා හට සමාව ප්‍රදානය කරන මෙන් ආයාචනා කර සිටිමි. එම ගැත්තා කට මැත දෙඩවුවාට ඔබතුමා හට හානිකර කිසිදෙයක් ප්‍රකාශ කර හෝ සිදු කර නොමැති බවට “මේ වනතෙක් අවසන් පැමිණිමේ නිවේදන“ නිකුත් කොට නොමැති මා ඉතා කාරුණිකව දන්වා සිටිමි. සරත් ගැත්තාගේ මෙම සියලු ක්‍රියාවන් ඔබතුමාට විරුද්ධව සිදු නොකරන බව ඔහු පෙන්වා ඇති ප්‍රතිශත ගනන් වලින් ඔබතුමාට තේරුම් ගනු හැකි වෙතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.




තවද, ඔබ වහන්සේගේ මනදොළ සපුරනු වස්, ඒ ගැත්තා හට තවත් බොහෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට ඇති බවත්, එමගින් ඔබ වසන්සේ මුසපත් වී සරත් ගැත්තා හට අවසන් පැමිණිමේ නිවේදන බොහෝ සතුටෙන් යුතුව නිකුත් කළ හැකි බවත් යටහත් පහත්ව දන්වා සිටිමි.

එසේ හෙයින්, ඔබතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන එම ස්ථානයේ කටයුතු කඩාකප්පල් නොකර, තව ටික කාලයක් හෝ සරත් ගැත්තා හට තම ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය අවකාශය, අවසරය ලබා දෙන මෙන් ආයාචනා කර සිටිමි.



මෙයට විශ්වාසී,



ඔබගේ ඇමතුමට සැනෙන් පැමිණීමට නියමිත,

දේශක ගැත්තා.

හැක්




Link to the Terrorist විරුවෙකු නොවූ රණවිරුවා




ඇත්තටම මේ හාදයා බේරිල නෙව.. හැක්






Sarath Wimalasuriya මේපාරත් කොලේ වැටුනෙ මගේ පැත්තට...
UnlikeReply1412 hrs





Tuesday, May 24, 2016

නිකොලා ටෙස්ලා (Tesla in America)

මුලින් ලියපු ඒවා


**************************************************


නිකොලා ටෙස්ලා මහතා විදුලි පහන ස්පර්ශ කිරීමෙන් අනතුරුව එහි දීප්තිය යළි ප්‍රකෘති තත්වයට පත් විය. මා හට ඉස්පාසුවක් නැතත්, ඔහු එතරම් කලබල නොවන හැඩය.

මම
ඉතිං ටෙස්ලා මහත්මයා,, ඔබ කොහොමද ඇමරිකාවට ආවේ..??

නිකොලා ටෙස්ලා

ඒක තරමක දීර්ඝ කතාවක්. ඔබට එය අසා සිටින්නට සිදු වේවි.. කලින් ඔබගේ සටහනේ තිබුනා වගේ මම හංගේරියාවේ බුඩාපේස්ට් නුවර තිබුන දුරකතන හුවමාරු සමාගමක සේවය කළා. නමුත් මා එහි යන විටත් එම සමාගම ඉඳිකිරීම් මට්ටමෙයි තිබුනේ.. මම එතැනට පත් උනේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් විදියට. නමුත් මාස කිහිපයක් යන කොට සමාගම වැඩ පටන් ගත්තා. හැබැයි ඒ වෙන කොට මම ප්‍රධාන විදුලි කාර්මික විදියටයි එහි වැඩ කලේ. අන්න එතැනදි මේ පද්ධතීන් වැඩි දියුණු කරන්නත්, අත්‍යාවශය වෙනත් උපාංග නිපදවන්නත් මම උත්සුක උනා. ඔබ දැන් දන්නා මුල්ම ශබ්ද වාහිනිය නැත්නං කව්රුත් දන්නා ඇමිලිෆයර් එක හදන්න මට පුළුවන් උනා. ඒ වගේම ඒ පද්ධතීන් වල තිබු ඉතා විශාල අඩුපාඩු නිවරැදි කරන්නත් මට හැකියාව ලැබුනා. ඔය 1881 දී. එතකොට මා සමග මිතුරෙකු වශයෙන් සිටි ඇන්තනි සිගෙට් මහත්මයාටත් මටත්, පැරිස් නගරයේ අලුතෙන් පිහිටවපු කන්ටිනෙන්ටල් එඩිසන් සමාගමේ සේවය සදහා යෑමට අවස්ථාවක් ලැබුනා. මේ සමාගම ඔබ හොදින් දන්නා තෝමස් එඩිසන්ට අයිති සමාගමක්. මේ අවස්ථාව ලැබුනේ මම අර දුරකතන සමාගමේ පද්ධතීන් වැඩි දියුණු කිරීමට ගත්ත උත්සාහය නිසයි. ඉතිං අප එය පිළිඅරගෙන පැරිසියට ගියා. එහිදි අපට වැඩ කිරිමට සිදු උනේ චාර්ල්ස් බැචිලර් කියන මහත්මයා යටතේ තිබූ විදුලි පහන් කර්මාන්තශාලාවකයි. මම යනවිට පැරිසියේ තිබු තත්වය ඔබට මේ පින්තුරයෙන් බලාගත හැකියි.

එතනදි මට කරන්න ලැබුන හොදම වැඩ දෙකක් තමා පැරිස් ඔපෙරා හවුස් හා බැවේරියා පිහිටි නර්තන ශාලාවක ආලෝක පද්ධතිය ස්ථාපනය කිරිම. නමුත් මෙම කටයුතු වලදි මම දැක්කා එඩිසන්ගේ විදුලි ඩයිනමෝ වල ඇති පැහැදිලි දුර්වලතා. ඒ අනුව මගේ ප්‍රධානියා වෙත මෙම ඩයිනමෝ වැඩි දියුණු කිරීම සදහා වන සියළු විස්තර ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කරා. එය අනුමත උනා. ඉතින් මම එඩිසන්ගේ ඩයිනමෝ වල තිබු මුලික අඩුපාඩු නිවරැදි කර ඒවා කාර්යක්ෂම අයුරින් ක්‍රියා කළ හැකි ආකාරයට වැඩි දියුණු කලා.

අපට ලැබිල තිබුනා ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් ජර්මන් ලයිටින් සමාගම ආලෝකකරණය කිරීමට. ඒ කිව්වේ විදුලිය සැපයීම. එඩිසන් ඔක්කෝම හදල තිබුනත් පරික්ෂණ වාරයකදි සියල්ල අවුල් උනා. සියළු යන්ත්‍ර ගිනි ගත්තා. ඒ නිසා මට සිද්ධ උනා ඒ වගකීමත් ගන්න. ස්ට්‍රැස්බර්ග් වලට මට හනික යන්න සිද්ධ උනා. එහි අළුත්වැඩියාවන් මා සිදු කලා පමණක් නෙමෙයි. ජර්මානුවන් එක්ක වැඩ කළ යුතු ආකාරයත් ඉගෙන ගත්තා. හා හා. ජර්මානුවන් කියන්නේ හරියට දෙයක් තීරණය නොකරන අයයි. කෙනෙක් ගෙන් දෙයක් ඇහුවම ඒකට උත්තර සොයන්න ඉහලම නිළධාරියා දක්වා යනවා. අන්තිමට පහළම නිලධාරියා දීපු උපදෙස තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒත් මේකට ගත වන කාලය.. ඒක අති විශාලයි. මට හොද අත්දැකීමක් තියෙනවා ඒ ගැන.

මම
ඔය කාලයේදි නේද ඔබ පළමු ඉන්ඩක්ෂන් මෝටරය හදලා ප්‍රදර්ශනය කලේ.

නිකොලා ටෙස්ලා
ඔව් ඔබ හරි.. 1883 දී මම මෝටර් එක හදලා ව්‍යාපාරික පිරිසකට එය ප්‍රදර්ශනය කලා. නමුත් ඒ කෙරෙහි කිසිවෙකු උනන්දුවක් දැක්වූයේ නැහැ. ඉතිං ඒක නිසා මගේ කටයුත්ත ලත් තැනම ලොප් උනා.

මම
ඉතිං ඔබ ඇමරිකාවට ආවේ කවද්ද?

නිකොලා ටෙස්ලා
ඇමරිකාවට යන්න මට තිබුන උනන්දුව නිසාම මගේ ප්‍රධානියා වෙච්චි බැචිලර් මහත්මයා මට රෙකමදාරු ලිපියක් දුන්නා තෝමස් එඩිසන් හමු වෙලා දෙන්න කියලා. ඉතිං මම ඒකත් අරගෙන මගේ අඩුම කුඩුම ටිකත් පටවගෙන ඇමරිකාවට එන්න පිටත් උනා නැවෙන්. මම ඇමරිකාවට ආවේ 1884 ජුනි හත් වෙනිදා. ඊට පහු වෙනිදාම මම එඩිසන් හමුවෙන්න ඔහුගේ කාර්යාලයට ගියා. අර ලිපියත් ඔහුට දුන්නා. ඒ ලිපිය දිහා බලපු ඔහු කට කොනකින් අවඥාසහගත සිනාවක් පාමින් ඊට පසුදා සිට ඔහුගේ සමාගමේ රැකියාවට එන්න යැයි දැනුම් දුන්නා.

මම
ඒ ලිපියේ තිබුනේ කුමක්ද කියා ඔබ දන්නවද?

නිකොලා ටෙස්ලා
ඔව් මම දන්නවා. එහි මෙහෙමයි තිබුනේ.

Dear Mr Edison

I know two great men.One is you, and the Other one is this young man


Charles Batchelor


මම
ඇයි ඔබට ඇමරිකාවට පැමිණිමට මේ තරම් උනන්දුවක් තිබුනේ.

නිකොලා ටෙස්ලා
ඒක මෙහෙමයි. මම කුඩා කාලයේදි පාසැලේදි දැක්කා මනස්කාන්ත නයගරා දිය ඇල්ලේ පින්තුරයක් .එහි යෝධ ජල කඳ දුටුවම මට සිත් උනා කවදා හෝ දිනෙක ඒ මහා ජල කඳ මගින් ගලා හැලෙන අසීමිත ශක්තියෙන් වැඩක් ගත යුතු බව. එය මගේ සිතේ තදින්ම කාවැදි තිබු දෙයක්. ඉතිං ඇමරිකාවේ එඩිසන් යටතේ වැඩ කරන්න ලැබුන මුල්ම අවස්ථාව ප්‍ර යෝජනයට ගෙන මම ඇමරිකාවට පැමිණියා. අමතක කරන්න එපා තෝමස් එඩිසන් කියන්නේ ඒ දින වල ලෝකයේ සිටි ප්‍රභලම අයෙක්. ඒ වගේම ඔහුව හඳුන්වා දුන්නෙත් මෙන්ලෝ උද්‍යානයේ මායාකරු හැටියටයි.

මම
මට කියන්න ඔබ එඩිසන් යටතේ මොනවාද කලේ කියන එක?

නිකොලා ටෙස්ලා
නිව් ජර්සි වල පිහිටි එඩිසන්ගේ පර්යේෂණාගාරයේ වැඩ කරන්න මට ලැබුනා. එතැන තනිකරම සරල ධාරා විදුලි බලය උත්පානය කිරීම සදහා අවශ්‍ය ඩයිනමෝ සහ වෙනත් උපකරණ නිෂ්පාදනය කරන තැනක්. ප්‍රංශයෙදි වගේම මට මෙතැනදිත් සිද්ධ උනා එඩිසන්ගේ ඩයිනමෝ වල තිබුන විශාල දුර්වලතා නිවරැදි කරන්න. අවසානයේ එඩිසන්ට සිද්ධ උනා ඔහුගේ ක්‍රමය පසෙක ලා මා විසින් වැඩි දියුණු කරන ලද ක්‍රමයන් එම ඩයිනමෝ සදහා ආදේශ කරන්න. මෙතැනදි මට පැහැදිලි උන දෙයක් තමා විදුලි බලය නිපදවීම හා සම්ප්‍රෙෂණය කිරීමේදී සරල ධාරාව අතිශය ආකාර්යක්ෂමයි කියන එක. ඒක මම පැහැදිලිවම එඩිසන්ට කිව්වා. එතැනදි ඔහු මගෙන් විමසුවෙ ඊට සුදුසු විකල්පය කුමක්ද කියලයි. ඔබ දන්නවා නේ මට තිබු එකම විකල්පය ප්‍රත්‍යාවර්ත විදුලිය භාවිතය කියන එක කියලා. නමුත් ඒ වෙනකොටත් එඩිසන් සරල ධාරා විදුලිය ජනනයට අවශ්‍ය ඩයිනමෝ සහ අනෙකුත් සියලුම උපාංග වාණිජ මට්ටමින් නිපදවීම සදහා ඉතා විශාල ප්‍රාග්ධනයක් වැය කරලයි තිබුනේ. ඒ සදහා ආයෝජකයන් වෙතින් ඔහු අති විශාල ආයෝජනයන් ලබා ගෙන තිබුනා. ඉතිං මේ හේතුව මත ඔහුට නැවත හැරිමට නොහැකි තත්වයක් තිබුනා. ඒ අනුව කිසි ලෙසකින් වත් ප්‍රත්‍යාවර්ත විදුලිය නිපදවීම ලාභදායි හා පහසු දෙයක් ලෙස සැලකීමට ඔහුට හැකියාවක් සහ අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් ඒ කාලේ තිබු සරල ධාරා ජනනය කිරීම ඔබ දුටුවා නම් පුදුමයට පත් වේවි. ඉතා විශාල යන්ත්‍ර මගින් පොසිල ඉන්ධන දහනයෙන් ජනනය කරපු මේ විදුලිය නගරය තුල සම්ප්‍රේෂණය කිරිමට විශාල වියදමක් දැරීමට සිදු උනා. ඒ කෙසේ උනත් සරල ධාරාව සමේපේෂණය කිරීම අතිශය අපහසු කාර්යයක් . ඇයි එය ඉතා අකාර්යක්ෂම නිසා. වැඩි විෂ්කම්භයකින් යුත් තඹ රැහැන් දිගේ ගෙන යන මේ විදුලිය, සැතපුමක් යද්දි අර්ධයකටත් වඩා හානි වෙනවා. ඉතිං එඩිසන්ට සිද්ධ උනා සැතපුමක් ගානේ සරල ධාරා විදුලි උත්පාදන යන්ත්‍ර ස්ථාපනය කරන්න.


මේ බලන්න ඒ කාලේ සරල ධාරා විදුලිය රැහැන් දිගේ ගෙන ගිය ආකාරය



හා හා. හිසට ඉහලින් මකුළු දැල් බැඳලා වගේ නේද?? ඔන්න ඔබට මම අවස්ථාවක් සලසා දෙනවා සරල ධාරාව භාවිතා කරන විට පැවති තත්වයත්, ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතා කළ විට ඒ ස්ථානීය ස්වරූපයත් හඳුනාගන්න අවස්ථාවක් ලබා දෙන්න.



ඔය සරල ධාරා විදුලි ජනක යන්ත්‍ර කියන්නෙත් මහා දුම් ගොඩක් පරිසරයට මුදා හරින, සේවකයන් කිහිප දෙනෙකු දුම් කෝච්චියට මෙන් ගල් අඟුරු දමන යන්ත්‍රයක්.



A massive Edison dynamo from the Pearl St. New York Station

ඉතිං ඔවැනි යන්ත්‍ර නගරයක හැතපුමක් ගානේ තිබුනම, කොච්චර වියදං කරල කොච්චර මුදල සොයාගත්තත් ඇති පලය කුමක්ද?? ඉතාම අකාර්යක්ෂම ක්‍රමයක් මේක. ප්‍රධානම දේ එඩිසන්ගේ මුලිකත්වය, බලය නිසා ඇමරිකාව තුල විදුලිය සැපයීමේ සම්මතය සරල ධාරාව බවට නම් කරගෙන තිබුනා .එ් තත්වය මත එඩිසන් යොදවපු මුදල් ආපසු ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඉතා විශාල බලපෑමක් ආවා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇමරිකාව තුල ප්‍රචලිත කිරීමේදි. නමුත් මා නම් කිසි විටෙකත් ප්‍රත්‍යාවර්ත ධාරාව යොදා ගැනීම සම්බන්ධව පැකිලීමක් තිබුනේ නැහැ. ඊට සරිලන උපකරණ, උපාංග නිර්මාණය කරමින් මා වැඩ කටයුතු කළා.

මම
War of Currents කියන විදුලිය සම්බන්ධ යුද්ධය ඇති උනේ ඒ නිසාද?

නිකොලා ටෙස්ලා
මේ ගැන විශාල ලෙස කතා කළ යුතුයි. ඔබට ඊට අදාළ නිසි පැහැදිලි කිරීම් මා කළ යුතුම දෙයක්. නමුත් ඔබ ඇහුවේ නැහැනේ මම එඩිසන්ගෙන් අයින් උනේ ඇයි කියලා.. ?? ඇයි ඒ..?? හා හා

මම
ඇත්තෙන්ම.. විදුලි යුද්ධය ගැන දැනගැනීමට ප්‍රථම තවත් කරුණු ඔබගෙන් දැනගත යුතුයි. මේ කාල සීමාව ඔබගේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඇති නේද?

නිකොලා ටෙස්ලා
හරියට හරි.. ඇමරිකාවට මා පැමිණීමේ මූලික අරමුණ ඉෂ්ඨ කරගැනීමේ මුල්ම අඩිතාලම වැටුනේ ඔය කාලයේදි තමා. ඒ ගැන තොරතුරු කියන්න කලින් අපි කෝපි කෝප්පයක් බොමුද??

Saturday, May 7, 2016

නිකොලා ටෙස්ලා හමුවීම!! (Finally I met the legend NIKOLA TESLA - Induction Motor)

නිකොලා ටෙස්ලා හැඳින්වීම

ළමාවිය

අධ්‍යාපනය

නිදි දෙව්දුව තුරුලේ සිටි මාගේ උරපත්තට යම් කිසිවෙකු විසින් ඉතා මෘදුව හා සමාන කාල පරාසයන් සහිතව සිදු කරන ලද තට්ටුකිරීම හේතුවෙන් මාගේ නිදිමත ගතිය පහව යන්නට විය. පැය ගණනක් තිස්සේ වසා සිටි දෙඇස්, ආලෝකයට හුරු වීමට කල් ගත කරන බැව් මා දන්නා මුත්, තවමත් කාමරය තිබෙන්නෙ දිගු අඳුරක බව මට පැහැදිලි විය. එහෙත් මා ඇස් හැරි මොහොතේම, කළින් දැනුනු තට්ටු කිරිම නතර වී තිබිණි. සෙමින් අත උරපත්ත මතට ගෙන එතැන අතගා බැලුවේ මේ සැබෑවක්ද හීනයක්ද යන්න නිසි ලෙස පහදා ගැනීමටයි. ඒ නිමේෂයේ මගේ ඇස්, මාගේ ඉහට ඉහළින් ඇති යම් ඡායාවක් වෙතට යොමු වූ අතර, මනසට සංවේදනය වූයේ යම් උස් සිරුරක් සහිත කළු පැහැ ඇඳුම් ඇඳි අයෙකු මා ඉහ ඉද්දරින් සිටිනා‘යුරකුයි. වික්ෂිප්ත වූ මා වහාම ඇද මත වාඩීවීමට උත්සාහ ගනිද්දි, මගේ හුස්ම ගැනීමේ වේගය සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් මගේ හෘද කම්පනය කම්මලක ශබ්දයක් මෙන් මට ඇසෙන බවත් පසක් විය. නොසෙල්වී මා දිහා බලා සිටින ඒ රෑපකාය වෙතින් කිසිදු චලිතයකුදු නොමැති වුවද, දීප්තිමත් වෙමින් පවතින යමක දෘෂ්ඨි ග්‍රහණයට මා නතුව ඇත බවත් තත්පර දෙක තුනක කාලයකදි එය කිසියම් අයෙකුගේ දෙඇස් බවත් ප්‍රත්‍යක්ෂ විය. මෙම දර්ශනය හේතුවෙන් භීතියෙන් හිරි වැටී සිටි මාගේ මුවින් එකඳු වචනයක් හෝ පිටකරගත නොහැකිව සිිටියෙමි. ඉතා අපහසුවෙන් හා භයෙන් ත්‍රස්තව මුව හා දෑස් අයා සිටින විට, ඉතා දුර්වල වූ නීල වර්ණ එළියක් එම රෑපකාය පුරාම පැතිරෙන බව දැකීම මාගේ බිය දෙගුණ තෙගුණ කිරිමට සමත් විය. මේ දකින්නේ සිහිනයක් නොවන බැව් නම් සහතිකය. එහෙත් කිසිදු කරදරයක් නොකර නිසොල්මනේ ඉන්නා මේ පුද්ගලයා පිළිබඳව මා තුල ඇති වූ භීතිය මරණීය සිතුවිලි නැංවීමට සමත් විය. මා භීතියට පත් කරමින් ඒ නීල වර්ණය ඔහුගේ ශරීරය පුරා විහිදෙන්නට පටන් ගෙන ඇත. සිහිනයක්ද එසේ නොමැති නම් සැබෑවක් දැයි සිතා ගත නොහී බලා සිටින මා එම නීල වර්ණ එළියෙන් ඒ කව්දැයි නිශ්චිතව හඳුනාගත්තෙමි. මේක වෙන්න පුළුවන් දෙයක්ද?? නිකොලා ටෙස්ලා.. මගේ ඇඳ ඉහපත්තේ ඉන්නවා. මේ 2016. එයා මැරුණේ 1943.. මේක කොහොමද වෙන්නේ.. මගේ සිහිය විකල් වෙලාද?


“පුතා.. කලබල වෙන්න එපා.. දැං ඔයා මාව අඳුරගත්තා නේද?“

“ඔව්.. ටෙ ටෙ.. නිකොලා ටෙස්ලා මහත්තයා“

“ඔබ බයට පත් වෙච්චි විත්තියක් තමා මම දැක්කේ. ඒක එහෙමද?“

“ආයිත් අහනවා. බය උනා නෙමෙයි තව ටිකෙන් හදවත ගැහිලම මං මැරෙනවා.. මේක හීනයක් නෙමෙයිද එතාකොට“

“හහ් හහ් හා.. සමා වෙන්න.. හිතල හිනා උනා නෙමෙයි. ඔබ හීනයක් කියල කියන්නේ මොකක්ද?“

“නිදාගන්න කොට පේන හීන“

“ඔබ හිතන්නේ අපිට හීන පේන්නේ නිදාගන්න කොට විතරයි කියලද?“

“මම දන්නෙ නැහැ“

“ඔබ දැං මා දිහා බලා හිටියට ඔබ හිතනවා ඔබ අනාගතයේ ඉදිද්දි මම අතීතයෙන් ඇවිත් කියලා“

“මට ඒක හිතාගන්න බෑ. අනන්තයෙන් ආ තරු කුමාරා වගේද කව්ද දන්නේ“

“හහ් හහ්.. අර කොරියානු දීර්ඝ ටෙලිය වෙන්නැති ඔබ අදහස් කරේ. ඒ වගේ කතා නං එමටයි නේ“

“එහෙනං ඔබ කව්ද ඇත්තටම“

“මම නිකොලා ටෙස්ලා.. මට හිතුනා ඔබ හමුවීම වැදගත් වෙයි කියලා. ඒත් මම දන්නවා ඔබ දැන් මා පැමිණි ආකාරය ගැන සැකයක සිටින බව. හොදයි මෙහෙම හිතන්න. ඔබ පෘතීවිය මත ඉන්න කොට ඔබ හිතනවා ඔබ තමා වර්තමානය... ඒ කිව්වේ ඔබ මේ දැන් සිද්ධ වන දේ දකින කෙනෙක් විදියටයි ඔබ සිතන්නේ. නමුත් ඒක එහෙම නැහැ. ඔබ උදේට සුර්යාලෝකය දැං පෘථිවියට පතිත වු සේ දකිනවා.. ඔබේ වෙලාව උදේ 6 විතර වෙද්දි. ඒත් ඔබ දන්නව ඇති නේද ඒ ආලෝකය ඊට විනාඩි අටකටත් එහාදි සුර්යයාගෙන් නික්මුණ ආලෝකය බව. ඉතිං ඔබ සිටින මොහොත ගැන දැන් ඔබට අදහසක් තියෙනවද?“

“පොඩ්ඩක් ඉන්න මහත්තයා. මට පැහැදිලි නැහැ.“

“ඔබ අහල තියෙනවා නේද ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයාගේ සාපේක්ෂතාවාදය ගැන.. ඔව්.. ඒ වගේ මේ විශ්වය මත කාලය කියන දේ සාපේක්ෂයි. සමහර විට ඔබ නොදන්නව උනාට ඔබ දිහා, කාලය හරහා බලන කෙනෙකු ඔබගෙන් මතු අනාගතය දකිනවා වෙන්න පුළුවන්. සමහර අය ඔබගේ අතීතය දකිනවා වෙන්න පුළුවන්. ඒ කාල පරාසය ජය ගත හැකි අයෙකු වේනම් ඔහුට එක මොහොතකදි අනාගතයත්, අතීතයත් වර්තමානයත් දකින්න පුළුවන්“

“ඒ කියන්නේ ඔබ අනාගතයෙන්ද පැමිණියේ..“

“නැහැ. මට ඒ ගැන මේ වෙලාවේ ඔබට නිශ්චිතව ඒ ගැන සදහන් කරන්න බැහැ. නමුත් මා ආවේ ඔබට වෙනත් යෝජනාවක් කරන්න. ඔබ කැමති නැද්ද ඔබ දන්නා නිකොලා ටෙස්ලා සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න. මොකද මම දන්නවා ඔබ මාගේ ජිවිතය ගැන බ්ලොග් පෝස්ට් තුනක් පළ කරපු විත්තිය. ඒවායේ සමහර දේවල් ගැන ඔබගේ මතය නිවරැදි යැයි කියන්න බැහැ. ඒක නිසා ඔබගේ භාෂාව පරිශිලනය කරන පාඨකයන් හට නිකොලා ටෙස්ලා යනු කවරෙක්ද යන්න පහදා දීම යුතුකමක් සේ මා සලකනවා. ඔබ ඊට එකඟද?“

“ටෙස්ලා මහත්තයා. මට ඒක ගෞරවයක්.. මටත් ඔබගෙන් අහන්න බොහෝ ප්‍රශ්න තියෙනවා. මොකද මේ හැම දේම අපි අන්තර්ජාලයෙන් ලබා ගන්න තොරතුරු නිසා“

“හොදයි. මා කැමතියි ඔබට උදව් කරන්න. හැබැයි එක දෙයක් පිළිබඳව මගෙන් ප්‍රශ්න කිරිම ඔබ සිදු නොකරනු ඇතියි මා සිතනවා. එනම් ඔබට බැහැ මේ පෘථිවිය මතින් මා නික්ම ගිය දිනට පසු දිනයන් හි මගේ ජිවිතයත් ඒ හා සම්බන්ධ තොරතුරුත් විමසන්න. ඔබ බුදුදහම අනුගමනය කරන කෙනෙක් නිසා බුදුන් පැවසු දේ අසා ඇතැයි සිතනවා. “කිසි විටෙක මේ විශ්වය ගැන තොරතුරු සොයන්න වෙහෙසෙන්න එපා“ යන්න“

“ගැටලුවක් නැහැ ටෙස්ලා මහත්තයා. ඇත්තටම මේක හීනයක්ද මන්දා.. අපි කවද්ද ඒ වැඩේ පටන් ගන්නේ.“

“මේ දැන්ම.. මොකද මට ඔබට දිය හැකි වෙලාව හා ගැටළුවක් තිබෙනවා. පුතා ඔය විදුලි පහන් අවශය නැහැ.. මා ගාව ස්වයංව දැල්වී අවකාශයේ රැඳි තිබෙන ආලෝක ධාරා තිබෙනවා. අපිට පුළුවන් එයින් මේ කාර්යයට සහායක් ලබා ගන්න. ඔබ මෙතැනින් ඉදගන්න. අර වැල් පුටුව මට ලැබුනනම් ඇති. ඒ අනුව මට ඒ මත හිඳගත්තා වැනි හැගීමක් ලබා ගත හැකියි.“

“ස්තුතියි ටෙස්ලා මහත්තයා.. “

“හොදයි.. ඔබ ආරම්භ කරන්න. මම සුදානම් ඔබට සත්‍ය ලෙසම පිළිතුරු දෙන්න“

මම
ටෙස්ලා මහත්තයා... මම මුලින්ම කැමතියි දැනගන්න ඔබ විද්‍යාඥයෙක්ද
, නව නිර්මාපකයෙක්ද කවුරුන්ද කියල?


නිකොලා ටෙස්ලා
ඔබ දැනටමත් දන්නවා ඇති බොහෝ ලිපි ලේඛණ වලදි මාව හඳුන්වල දෙන්නේ විදුලි ඉංජිනේරුවරයෙකු විදියටයි. ඒ මම හිතන්නේ මම විදුලිය සම්බන්ධ ඉගෙන ගත්ත නිසාම නොවෙයි, විදුලිය සම්බන්ධ පරික්ෂණ හා නිර්මාණයන් ඉදිරිපත් කරපු නිසා බවයි මගේ හැගීම. හැබැයි මට හිතෙන්නෙ මම නව නිර්මාණකරුවෙක් කියලයි.

මම
ටෙස්ලා මහත්තයා.. ඔබතුමා ගැන මම මේ වන කොටත් බ්ලොග් පෝස්ට් තුනක්  ඉදිරිපත් කරල තියෙනවා. ඔබට ඒවා කියවීමට සැලැස්වීමට පුළුවනි.. ඒ මම කියපු දේවල් වලින් වැරදි යැයි හැගෙන යමක් තිබෙනවද යන්න දැන ගැනීමට මම කැමතියි.

නිකොලා ටෙස්ලා
ස්තුතියි. අවශ්‍ය නැහැ. මං මේ වෙන කොට ඒ සියල්ල කියවා අවසන්. එහි පළමු, දෙවනු සටහන් වල ඇති අඩුපාඩු ඔබ දන්නා පරිදි නිවරැදියි. නමුත් තෙවැති සටහනේදි ඉන්ඩක්ෂන් මෝටර් එක හඳුන්වාදීමේදි ඔබ යම් අපහසුතාවයකට පත් උනා නේද පාඨකයන් ප්‍රශ්න කිරීම නිසා??

මම
ඔව් ඔව් රූපසටහන් අනුව ග්‍රැම් ඩයිනමෝව සම්බන්ධ ගැටළුකට මුහුණ දුන්න නම් තමා. ඔබ මොකක්ද කියන්නේ ඒ ගැන?

නිකොලා ටෙස්ලා
මේ තියෙන්නේ ඔබ දැන් පවසන පරිදි ඒ කාලේ තිබු හොදම ඩයිනමෝවක්.



ඔබට පේනවා ඇති නේද ඒකේ භ්‍රමනය වීම සදහා තිබෙන කොටස. එතැනදි මහාචාර්ය පෝෂ්ට මම කිව්වේ (Prof. Poeschl) ඔය උපකරණයේ තිබෙන දුර්වල සන්නායක වලින් නිර්මිත commutator කොටස් නැතිවත් උපකරණය වැඩ කරන්න පුළුවන් කියලයි. නමුත් ඔහු ඒ බව පිළිගන්නට මැළි කමක් දැක්වූ නිසා අවසානයේ මගේ උපාධියේ වැඩත් ඩයිනමෝව නිසාම නතර උනා. හා හා හා

මම
ඒ කියන්නේ ඔබ තුල යම් අදහසක් තිබුනද කමියුටේටර් එකක් ඇතිලෙන්නේ නැතිව ඒක භ්‍රමනය කරවන්න??

නිකොලා ටෙස්ලා
ඇත්තෙන්ම මට ඒ ගැන නිශ්චිතව කීමට නොහැකියි. නමුත් මගේ චිත්ත අභ්‍යන්තරය මගින් සංවේදනය වී මට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් තමා එහි නිදහස් භ්‍රමනය උදෙසා යම් කිසි ක්‍රමයක් තිබිය යුතුයි කියන එක. ඒත් ඒ කුමක්ද යන්න ගැන මට කුඩා හෝ ඉඟියක් තිබුනේ නැහැ මගේ මහාචාර්යතුමාට ඉදිරිපත් කරන්නට.

මම
මම කියනවා ඔබ ඉන්ඩක්ෂන් මෝටරයේ ක්‍රියාකාරිත්වය හොයාගත්තේ ඒ වෙනුවෙන් කියලා?

නිකොලා ටෙස්ලා
ඔබ කියන එක හරි. වසර ගණනක් තිස්සේ අර ඩයිනමෝවේ චලිතය පිළිබඳව සිතින් විසදුම් සෙව් මට අවසානයේ, අර ඔබගේ තෙවැනි පෝස්ටුවේ සඳහන් ආකාරයට ගොතේ ගේ කවියෙන් අදහස් වන අප වටා සුර්යයා භ්‍රමනය වෙමින් බැස යන ආකාරය සිතට දැඩි බලපැමක් කළ නිසා එයින් මගේ සිත තුල එක් වරම විදුලියක් කෙටු අයුරින් ඒ අදහස පිළිසිද ගත්තා. ඒ කිව්වේ කොටසක් ස්ථාවරව තියෙද්දි ඒකට සපයන විදුලි සැපයුමෙන්, කිසිදු ඝට්ඨනයකින් තොරව යමක් කරකැවිය හැකියි කියන එක. මේක තනිකරම චුම්බකත්වය හා බැඳුනු දෙයක්.

මම
ඉන්ඩක්ෂන් මෝටරයේ ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීමට කැමතියි.

නිකොලා ටෙස්ලා
ඔව් මම කැමතියි ඒ ගැන ඔබව දැනුවත් කරන්න. ඉන්ඩක්ෂන් මෝටරය කියන්නේ ඔබ මේ ජීවත් වෙන, ඔබ කියන අයුරින් 2016 වර්ෂය වෙද්දිත් පෘථිවිය පුරා බොහෝ සෙයින් එක් එක් ආකාර වලින් භාවිතා වන මෙවලමක්. සමහර විට ඔබගේ නිවසේ ඉන්ඩක්ෂන් මෝටර් යෙදූ උපකරණ කිහිපයක් තිබිය හැකියි. එකක් ඔබගේ විදුලි පංකාව, අනෙක වතුර මෝටරය, තව ඔබගේ කුස්සියේ තියෙන බ්ලෙන්ඩරය. මීට අමතරව කම්ප්‍රෙෂර්, විදුලි සෝපාන, එලවේටර්, රෝලර් ඩෝර්ස්, කොටින්ම චලිතය මගින් කාර්යයන් කරගන්නා බොහෝ යන්ත්‍ර සුත්‍ර වල ඇත්තේ අප මේ කියන ඉන්ඩක්ෂන් මෝටර් තමා. එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සරල පැහැදිලි කිරීමක් දීමට පුළුවන්.



ඔබට දැන් පෙන්වු දර්ශන වල පරිදි, ස්ථාවර කොයිල් කොටසට, අපි කියන්නේ ඒකට ස්ටේටර් කියලා, ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයුවාම ඒ කොටස මත චුම්බක ක්ෂේත්‍රයක් උපදිනවා. චුම්බකයක් කිව්වම අපි දන්නවා ඒකේ "N" සහ "S" කියන චුම්බක ධ්‍රැව දෙක. ස්ටේටරය තුල දැං මේ ධ්‍රැව දෙකම (Pole) ක්‍රියාත්මක වන නිසා නිදහසේ භ්‍රමනය වීම සදහා සකසා ඇති රොටර් එක, ඒ චුම්බක බලය, මත විකර්ශනයට ලක් වෙනවා. එ් කිව්වේ එක පසකට ආකර්ශනය වෙනවා. මේ හේතුව නිසා රොටර් එක භ්‍රමනයට ලක් වෙනවා ස්ටේටර් එක තුල. හැබැයි රොටර් එක දිගින් දිගටම විදුලිය සැපයුවාට පසුව භ්‍රමනය වීමට හැකි වන්නේ අප විසින් සපයනු ලබන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවේ ඇති සුවිශේෂි ගුණයක් නිසයි.

මම
මට හිතෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාව ගැනත් දැනගැනීමට අවශ්‍ය වෙයි කියලා.

නිකොලා ටෙස්ලා
හා හා... මම හිතුවා ඒක එහෙම වෙයි කියලා. ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට මම එක දෙයක් කියන්නං. ඔබ දැන් මම ගැන තොරුතුරු හැකි ප්‍රමාණයක් ගන්නේ අන්තර්ජාලයෙන් නොවැ. නමුත් ඒ තොරුතුරු ඉදිරිපත් කරන අයගෙන් 90% ක් විතරම කියන්නේ මම ප්‍රත්‍යාවර්ත ධාරාව සොයාගත් බවයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මා සොයාගත් ධාරාවක් නැහැ. නමුත් මා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇසුරේ විවිධ පර්යේෂණ සිදු කළා. ඔය ඔබ දැනටත් මා දිහා බලා සිටින්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් නිපදවුනු ආලෝයක් නැත්නම් විදුලි බුබුලක් නිසා වෙන්න ඇති. මම තමා ප්‍රත්‍යාවර්ත ධාරාව සම්ප්‍රේෂණය කරන ආකාරය මුල් වරට සොයාගත්තේ. ඒක ඇත්ත. නමුත් ප්‍රත්‍යාවර්ත ධාරාව මා සොයාගත්තා කියා තිබෙන ප්‍රකාශන සාවද්‍යයි.

හොදයි. කොපමණ හොදින් සකස් කළත්, ඉන්ඩන්ෂන් මෝටර් එකේ රොටර් එක භ්‍රමනය වීම සදහා අවශ්‍ය වන හැකියාව අපට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ තිබෙන ඉතා සුවිශේෂි ගුණයක් නිසයි. මම මෙහෙම කියන්නං. ඔබගේ ජීවිතය අරන් බලන්න. නැත්නං වෙනත් අයෙකුගේ ජීවිතයක් අරන් බලමුකෝ. එයා ඉපදෙනවා.. එතකොට එයා බිංදුවේ. ඔහොම කාලය ගත වෙලා එයා සාර්ථක වෙනවා උපරිම අයුරින්. අන්න එයා උඩින්ම ඉන්නවා. තව ටික දවසක් යද්ද හෙමින් සීරුවේ එයා අසාර්ථක වෙනවා. බිංදුවටම වැටෙනවා. නැහැ. මහා විශාල ණය ප්‍රමාණයක් අරගෙන එයා පතුලටම යනවා. අන්න අපි කියනවා එතකොට එයා ලිං පතුලේ කියලා. තව ටික දවසක් යද්දි හෙමින් සීරුවේ එයා ණය ගෙවාගෙන මුලටම එනවා. ඔන්න ඔය ක්‍රියාව බලන්න. නගිනවා බහිනවා. මේක තමා ප්‍රත්‍යාවර්ත ධාරාවේ සිද්ධාන්තය. ඇති නැති වෙන ආකාරය. බලන්න මේ පින්තුරය. ඒකේම තියෙනවා සරල ධාරාව කියල අපි හදුන්වන, එහෙම නැතිනම් කෝෂ මගින් නිපදවන ධාරාව ගමන් කරන ආකාරය ගැනත්.



කොළ පාටින් දැක්වෙන්නේ අපි නිවෙස් වල භාවිතා කරන ඒසී විදුලිය හැසිරෙන ආකාරය. රතු පාටින් දැක්වෙන්නෙ කෝෂ විදුලිය නැතිනම් සරල ධාරාව ගමන් කරන ආකාරය. එහි දැක්වෙන ඇති නැති වෙන ස්වභාවය නිසා තමා ස්ටේටර් එක තුල ක්ෂණිකව චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන්නේ. "N" ධ්‍රැවය තිබු තැන, ඇසිල්ලකින්, "S" ධ්‍රැවය වෙනවා. මේක ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. ඔබ නිවසේ භාවිතා කරන විදුලියේ මෙම ඇති නැති වෙන චක්‍රය තත්පරයට 50 - 60 වාරයක වේගයකින් තමා සිද්ධ වෙන්නෙ. ඒකට අපි කියන්නේ සංඛ්ත‍යාය කියලයි. සංඛයාතය මනින්නේ Hertz (Hz) කියන ඒකකය මගින්. මෙම ඒකකය නම් කර තිබෙන්නේ, පෘථිවිය මත වාසය මා සිටී කාලයේ මගේ සමකාලිනයෙකු වෙච්චි, ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ හෙන්රික් රැඩොල්ෆ් හර්ට්ස් මහත්මයා සිහි වීම සදහායි. මැක්ස්වෙල් විසින්, තාර්කිකව ගොඩ නැගූ ආලෝකයේ විද්‍යුත් චුම්බකත්වය කියන අදහස මුලින්ම නිවරැදි බවට ඔප්පු කර පෙන්වුයේ හර්ට්ස් මහතායි. 

හොදයි. අන්න ඒ ධාරාවේ ස්වභාවය නිසා අපි කතා කරමින් ඉන්න ඉන්ඩක්ෂන් මෝටර් එකේ නිපදවෙන චුම්බක ක්ෂත්‍රෙය ක්ෂණිකව වෙනස් වෙනවා. මේ නිසා තමා රොටර් එක එක දිගටම වේගයෙන් කැරකෙන්නේ. ඔබට එය අර මම කලින් කිව් විඩියෝව බලල තේරුම් ගත හැකියි. සරල ධාරාවට බැහැ මේ කාර්යය කරන්න. එයා යන පාරේ ඔහේ යනවා මිසක්කා වෙන වැඩක් කරන්න බැහැ.

මම
මම අහල තියෙනවා එක එක විදියේ ඉන්ඩක්ෂන් මෝටර් තියෙනවා කියලා.

නිකොලා ටෙස්ලා
කොහොම නමුත් මුලධර්මය එකයි. ඔබට ඒ ගැන තව සොයා බැලිය හැකියි. මෙන්න මෙතැන තියෙනවා ඒ ගැන හොද විස්තරයක්. නමුත් ලෝකයේ බොහෝ කාර්යයන් ඉතා පහසුවෙන් කරගැනීම සදහා නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයක් බව නම් පැහැදිලිවම කියන්න පුළුවන්. ඔබ දාඩිය දාලා ඉන්න වෙලාවටත් ඒක ඕන. වාහනේ හුලං ගියත් ඒක ඕන. ගෙදර වතුර නැති උනත් ඒක ඕන. කම්මලිකින් වැඩක් කරගන්න ගියත් ඒක ඕන. ඉන්ඩක්ෂන් මෝටර් එක නැතිව නම් ඔබට ජිවත් වෙන්න බැරි වේවි. හා හා. අමතක උනා. ලන්ඩන් වල සිටින ඔබගේ මිතුරන්ට ඕනැ නම් පුළුවන් මා විසින් මුලින්ම නිර්මාණය කළ ඉන්ඩක්ෂන් මෝටර් එකක් දැකගන්න. ඒක තියෙන්නේ, බ්‍රිතාන්‍ය විද්‍යා කෞතුකාගාරයේයි. (British Science Museum) 



මම
ඒක පැහැදිලියි. නමුත් ඔබ ඉන්ඩක්ෂන් මෝටර් එකේ පේටන්ට් බලපත්‍රය කිසිවෙකුට විකිණුවාද?

නිකොලා ටෙස්ලා
ඔව් මම ඒක මගේ ව්‍යාපාර සහකරු ජෝර්ජ් වෙස්ටිංහවුස් මහත්මයාට විකිණුවා.

මම
ඇයි ඔබ ඒක විකිණුවේ.. ඔබට තිබුනා නේ මේ මෝටරය නිෂ්පාදනය කරන්න.

නිකොලා ටෙස්ලා
ව්‍යාපාර කරන එක ව්‍යාපාර කරන අයගේ වැඩක්. මම ව්‍යාපාරිකයෙක් නොවෙයි නේ. මම කරන්නේ මගේ සිතේ ඇති වන අදහස් ක්‍රියාවට නංවල ඒකෙන් මානව සංහතියේ දියුණුව සදහා, පහසුව සදහා යම් යම් උපකරණ නිර්මාණය කිරීම. ඒකයි මගේ ජිවිතයේ මට ලැබී තියෙන ඉල්ක්කය. ඉතිං මම ඒක කරනවා. මම නිර්මාණය කරපු දේට ලබා ගත් පේටන්ට් පත්‍රය මම ඔවුන්ට විකුණනවා. ඒකේ ගැටළුවක් නැහැනේ.

මම
නැහැ මම කිව්වේ ඔබ සොයාගත් දෙය නිෂ්පාදනය කරල ඔබට පුළුවන් නේ හොද මුදලක් සොයාගන්න?

නිකොලා ටෙස්ලා
Why should I do that? ඔබට පැහැදිලි නැතිව ඇති. මගේ අභිප්‍රාය උනේ යම් නිර්මාණයක් ඉදිරිපත් කිරිම මිසක් ඒක විකුණා මුදල් සොයා ගැනීම නෙමෙයි. මම පේටන්ට් මුදලට විකුණන්නේ, එදිනෙදා මගේ ජිවන වියදම් පියවා ගැනීමටත්, මගේ පර්යේෂණාගාර පවත්වෙන යාමටත්, ඉදිරි පර්යේෂණ සදහා අමුද්‍රවය/සේවා සපයාගැනිමට අවශ්‍ය මුදලත් සොයා ගැනීමට පමණයි. මා එතැනින් මතු දෙයක් සිතා නැහැ. මම හිතන්නේ අද ගැන පමණයි. මට කවදාවත් බැහැ ව්‍යාපාරිකයෙක් වන්න. මට ඕන උනේ නව නිර්මාපකයෙක් වන්න පමණයි. ඒකයි මගේ අරමුණ. මගේ අරමුණ සදහා අවශ්‍ය මුදල තමා පේටන්ට් විකිණිමෙන් මම ලබා ගන්නේ. ව්‍යාපාරිකයන් ඉතිරි දේ කරාවි.. හා හා.

මම
ඔබ මේ ඉන්ඩක්ෂන් මෝටරය සොයාගත්තේ 1888 දීද?

නිකොලා ටෙස්ලා
මට එහි පේටන්ට් අයිතිය ලැබුනේ1888 මැයි පළවෙනිදායි. ජුලි මාසේ වෙනකොටම මම ඒක වෙස්ටිංහවුස් මහත්මයාට විකිණුවා. මං ඒ වෙනකොට හිටියේ මගේ නිව්යෝක් පිහිටි පර්යේෂණාගාරයේයි..



මම
ඔබ නිව්යෝක් ගැන කිව්වමයි මට මතක් උනේ. මට අමතක උනා නේ ඔබ ඇමරිකාවට පැමිණි ආකාරය ගැන අහන්න.

නිකොලා ටෙස්ලා
හා හා. ඒකේ ඇති ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ සාකච්ඡාව අවසන් වීමෙන් පසුව, මගෙන් කොයි තරම් දේ අහන්න බැරි උනාද කියල හිතල ලතැවෙන ප්‍රමාණය ගැන ඇත්තටම මට දුකයි.

මම
ඔබ කියන්නේ මේ සියළු කාරණා ගොනු කරගන්න මට බැහැ කියලද?

නිකොලා ටෙස්ලා
අපොයි නැහැ. නමුත් මා කියන්න කැමතියි. මේ නිකොලා ටෙස්ලා කියන නාමය ඇත්තටම එකපාරටම ලෝකෙට විවෘත උනේ 2003 වර්ෂයෙන් පසුවයි. මේ ගත වූ කාලය තුල, ඔබට ඇති තරම් නිකොලා ටෙස්ලා තැන තොරතුරු සොයාගත හැකියි. ඒකට ලොකුම බලපැම ඇති උනේ ටෙස්ලා මෝටර්ස් හරහා කියලයි මගේ විශ්වාසය. එතෙක් විදුලි ක්ෂේත්‍රෙය් සුළුතරයක් හැර අනෙක් අය නිකොලා ටෙස්ලා ගැන දැන සිටියේ නැහැ. ටෙස්ලා මෝටර්ස් හරහා මොකක්ද මේ ටෙස්ලා ටෙස්ලා කියන දේ ගැන මිනිස්සු හොයන්න පෙළඹුනා. තවත් හේතුවක් තියෙනවා. එනම් පෘථිවිය මත මත මා ඉපදුනු ජුලි 10 දිනය, 2002 දී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර නිකොලා ටෙස්ලා දිනය විදියට නම් කිරීමයි. මා සිටි කාලයේදී පිස්සෙකු, විකාරකාරයෙකු විදියට ප්‍රචලිත වූ මගේ නමත්, මගේ නිර්මාණත් ලෝකය වෙනස් කිරිම සදහා එහෙම නැත්නම් මනුෂ්‍ය වර්ගයා ගේ යහපත වෙනුවෙන් කටයුතු කලාය කියන හැගීම ජාත්‍යන්තර වශයෙන් යහපත්ප්‍ ලෙස ප්‍රචාරනය වීමට මෙම හේතු බලපාන්න ඇති කියල කිව හැකියි.

මම
ඔබගේ ඇමරිකානු ජීවිතය ගැන දැනගැනීමට කැමතියි. ඔබ ඒකට කැමති නැද්ද?

නිකොලා ටෙස්ලා
හා හා. මොකද නැත්තේ මම කැමැත්තෙන් උත්තර දෙන්නං. මට තත්පරයක් දෙන්න. මොකද මේ මගෙ අවකාශිත විදුලි පහණ දැන් දිප්තිය අඩු වෙලා. මට පේන්නේ පෘථිවිය මා සිටි කාලයට වඩා බොහෝ සෙයින් දුර්වල වෙලා වගෙයි.. හා හා.. ටිකක් ඉන්න... අපි ඒක හදා ගනිමු.

Thursday, May 5, 2016

අල වගේද හබරල???

පිදුම
ඉයං අඩවියං උපද්දානං
මාතලං හේ ප්‍රචාරකං
හබරල කාව්‍යං ජාතං
යාන්තං මාත් ගැටගහං

හැක් හැක්..


ගුණ කතන
මැරිච්ච දවසට
මතක එයි
මිනිසුන්ට
ඉපදුනාට
ජිවත් උනාට වැඩිය



ප්‍රති ගුරුත්වය
වැහැපන් වැහැපං කිව්වම
වහින්නෙම පොළවට
වැහැපංකෝ අභ්‍යවකාසෙටම


නොපෙනෙන ලස්සන
තණකොළ මල් පාගගෙන
දරුවා ගියා දුවගෙන
ලස්සන රෝස මලක්
අල්ලලා බලන්නට


ඇඩුම්
ඊයම් බරු......
ගිල්ලලා හදවතේ
කවදාද සැනසීම
කියාපං මට


කුහකයෝ
රොඩී ගමක්.. ආං.. ඇවිත් අලුතෙන්
උදේ පාන්දරම
ඒ ගමේ උන්
ඩෙනිම් ඇදං එනවා පාරට
යන්න බස් එකේ..
ඇයි එතකොට අවුල්ද ඔහෙලට?


නෝ ලයිප්
කන් දෙකේ ගුම් ගුම්
පයිප්පෙන් පොහ් පොහ්
පංකාව නෑ හුම්..
විදවපං ඇති තරං..


සමනලයාගේ කසාදය
මල්වත්ත වටේටම
එක මලක් වත් නෑර
උඹ අහපු පුරස්නෙට
නෑ නේද උත්තර
පුංචි සමනලයෝ
හෙහ් හෙහ්..
“මාව බදිනවද?“
දිපංකෝ උත්තර


අපි හිටං දන්නවා
අන්න ඔබාමා යනවලු
මයික් කඩනවලු
“Obama Out" කිව්වලු
මාර සතුටෙන්ලු..
අපිටත් සතුටුයි
පොඩ්ඩක් හෝව්..
ඊයේ ලේ හලාගත්තලු
පාර්ලිමන්ටුවේ
මං දැක්කේ පත්තරෙන් හිටං


සාපේක්ෂතාවය
හිස් කොළයක්ද හොඳ??
අකුරක් ලියපු එකක්ද??

නිමි..

Wednesday, April 27, 2016

බ්ලුක්ස් හා නෝනා මහත්වරු!!

අපේ එක්කෙනෙක් හිටියා නක්සත්‍රය අනුවම වැඩකටයුතු කරන. එයාට පොඩි කාලේම එහෙම කෙනෙක් කියල තිබුනලු “මේ කොලුවා ලෝකේ වටේ සවාරියකුත් යාවි.. පොතකුත් ලියාවි“ කියලා.. ඒ කිව්වත් වගේ මේ හාදයා ඒ දෙකම කරගත්ත බව නං ආරංචියි. ඒ මදිවට එකට දෙකක් වෙන්න තව පොතක් ලියනවයි කියලත් හාහුවක් යනවා. හැබෑටම මක්කටද මේ පොත් ලියන්නේ. අපි දන්න කියන ලේඛකයෝ ඔක්කෝම පොත් ලියනවා. එහෙනං අහවල් එකටද මේ බ්ලොග් වල ඉන්න ඈයෝ ඒවයේ ලියන තුණ්ඩු ටික එකතු කරගෙන පොත් ගහන්නේ.. මට නං තේරෙන්නේ නෑ මේවා.

හොදා. බ්ලොග් ලියනවයි කියමුකෝ. පොතුත් ලියනවා කියමුකෝ.. බ්ලොග් වල ඉන්න කී දෙනෙක් පොත් ලියල තියේද කියල හරියටම කියන්න පුළුවන්ද? මට නං බෑ.. මං දන්නෙත් නෑ ඒවයේ ගණං හිලව්. නීට්ටැවන් හීනෙන් පේන පුද්ගලයෙකුගේ පොතක් සිංහලෙන් පළ කරන්න තව කෙනෙක් දත කනවය කියලත් ආරංචි ලැබිල අවුරුදු දෙකක් විතර වෙනවා මයේ හිතේ. තාම පිට කවරේ ඉවර කරගන්න බැරිද දන්නෑ. 

කොහොම උනත් මෙන්න මගේ සත පහ.. මම දන්නා තරමින් අන්තර්ජාලේ සැරි සරමින් පොත් ලියපු අයගේ ලැයිස්තුව. මේකේ ගොඩාක් අඩුපාඩු තියෙන නිසා ඔය නෝනා මහත්වරුන්ගේ උදව් අවශ්‍යයි මේ ලැයිස්තුව පුර්ණ ලැයිස්තුවක් කරගන්න. තව එකක් තියෙනවා.. අර රසික කියලා දැං මානව කියල බ්ලොග් ලියන මහත්තයා වගේ අය නං පොත් ලියල බ්ලොග් වලට ආපු අය. නොකී කතාත් එහෙමයි. මම නං හිතන්නේ ඒක හොද ප්‍රවණතාවයක්. 

තම තමන් දන්නා අන්තර්ජාල සම්බන්ධයක් ඇති අයගේ පොත්පත් සම්බන්ධ තොරුතුරු එක් තැනකට එක් රැස් කිරීමට මං මීට කලින් මුණුපොතේදි මහා ව්‍යාපාරයක් ආරම්භ කලා. ඒත් මගේම කරුමෙට ඒක යාවත්කේකාලිනව පවත්වාගෙන යාමේ තාක්ෂණික දැනුම මද කම නිසා වැඩේ අතරමගම හබක් උනා. එහෙනං හැමෝම හොද අත්පුඩියක් ගහල වැඩේට එන්ටර් වෙමු.. 

මම මිලදී ගත් අනුපිළිවෙල අනුව මුල් පොත් කිහිපය පෙලගස්වා තියෙන්නේ. 



ඊට පස්සේ මෙන්න මේ ටික මං ගාව නැති මං දන්න ඒවා

  • සිව් වසරක් මරදානේ - රසික සුරියආරච්චි (රසිකොලොජිස්ට්)
  • ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි (බස්සිගේ නවාතැන)
  • ශාස්තෘ - අජිත් පැරකුම් ජයසිංහ (W3lanka)
  • අාලවක ආලිංගන - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
  • පොල්කට්ටෙන් එපිටට  - අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා)
  • සමනලයා මියෙද්දෙන් - දිනේෂ් උමගිලිය (වර්ණ අඩවිය)


* රතු පාට එ්වා බ්ලුක් නෙමෙයි නෙහ්..

ඉතිරි ටික සම්පුර්ණ කරමු නේද? මේ විස්තර එක තැනක ගොඩ ගහන්න වෙන ක්‍රමයක් යොදා ගත හැකි අයෙකු සිටීනම් එය මීට වඩා වටිනවා..

හැබැයි එකක් කියන්න ඕන.. නොකී කතා (හෙන්රි වර්ණකුලසූරිය), ටිම්රාන් කීර්ති, ජගත් ජේ එදිරිසිංහ (මානව අඩවිය), වෛද්‍ය රුවන් එම් වීරතුංග (ට්‍රාන්සිල්වේනියා) වැනි අය පොත් ලියමින් සමාජ ජාල අඩවි වල හිටියත්, එ අඩවි වලින් ගෙන පල කළ බ්ලුක්ස් නැති බවයි මම හිතන්නේ.. මංජුල වෙඩිවර්ධන මෙතැනදි මම අමතක කරා. 

පලි - සංකිර්ණ වැඩක් වෙයිද මන්දා???

Tuesday, April 26, 2016

අනුකරණය හා ආර්ථිකමය කුහකකම!!

බ්ලොග් වසන්තයාට ඛේටය වේවා !!

ලෝකයේ කොනක, ඕනැම අහුමුල්ලක මනුෂ්‍යයන් වශයෙන් ජිවත් වන බොහෝ ප්‍රාණින්, තම ජීවිතයේ කවර හෝ දවසක, කිසිවෙකුගේ අනුකරණයක් සිදු කර නොමැත්තේ නම් එය අහඹුවක් වීමට පිළිවන.

මට මතකයි මං පුංචිම කාලේ තාත්තා දාගෙන ආපු සපත්තු දෙක හැන්දෑවට මගේ වගේ දාගෙන ගෙනියන්න පුළුවන් මොකක් හරි මල්ලකුත් අතේ තියාගෙන කලිසං මාල්ල පිටින් ගේ පුරා ඇවිදපු හැටි. එහෙම ඇවිදින කොට මට ඕන උනේ හැම කෙනාම “පුතා කොහේද යන්නේ“ කියල අහන එක විතරයි. එතකොට මම දෙන උත්තරේ “මං ඔපිස් යනවා“ කියන එකයි. එතැනදි කුඩා දරුවෙකු විදියට මට උවමනා වෙන්නේ, තාත්තාව අනුකරණය කරන්නයි. නමුත් මොන විදියෙන් හරි තාත්තව ජොබ එකෙන් අයින් කරල ඒ වෙලාවෙදිම ඒ ජොබ මම ගත්ත නං තාත්තා මට ගහයිද බැට් එකෙන්..??

බොහෝ විට ඊට පසුවත් මම සමහර දේවල් අනුකරණය කරන්න ගත්තා. ලොකු පන්ති වලට යද්දිත්, පොඩි පන්ති වල ඉද්දිත්, අරයා ගෙනාපු පෙට්ටිය වගේ එකක්, එහෙම නැත්නං අර වගේ පැන්සලක්, ඒ වගේ පාට පැන්සල් පෙට්ටියක් ඕන කියල කියපු වාර ඕන තරං ඇති. කොහොම උනත් ආර්ථික වාසියක් ඇති, වාත්තිය ට සම්බන්ධ අනුකරණයකදි මේ කියපු දේවල් ඒ තරං අහිංසක විදියට පේන්නේ නැත්තේ අැයි?

මැත කාලයේ හොදම උදාහරණ කිහිපයක් කලා ලෝකයෙන්ම ගන්න පුළුවන්. සිරස සුපර් ස්ටාර් වලින් කරළියට ආපු අමිලා නදීෂානී, ඇන්ජලින්ටත් වඩා ලගන්නාසුළු විදියට වේදිකා වල ඇන්ජලින්ගෙ ගීත ගායනා කරන කොට, පත්තර වල ඇන්ජලින් අමිලාට කියපු දේවල් බැලුවම හොදින්ම පැහැදිලියි. කෙනෙක්, තවත් ජනප්‍රිය අයෙකුගේ වෘත්තිය ජීවිතය හා උපයාගැනීම් හා බැඳනු දෙයක් අනුකරණය කිරීමේදි, ඒ උපයාගැනීම් හා ජනප්‍රියතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අනුකරණය කරන්නා ඩැගැහන්නවා කියන කටුක යථාර්ථයක් අන්වාර්යෙන්ම ඒ තුල ගැබ් වෙලා තියෙනවා. කොටින්ම කියන වං තමන් කාලා ඇදල ඉන්න ජොබට වෙන එකෙක් ඒ විදියට කෙලින්න හදන කොට ඔරිජිනල් උපයන්නාගේ හිත තුල ඇති වෙන්නේ මොන හැගීමක්ද? ඔව් පැහැදිලිවම ආර්ථික යුද්ධයක්. නමුත් ආර්ථික යුද්ධයේ නාමෙන් ඇන්ජලින්ගේ කටින්, අමිලා ගැන නැගි අවලාද, අවසානයේ නතර වන්නේ ප්‍රවීණයෙකු හැල්ලුවට ලක් කළ නවකයෙකු විදියටයි. ඇන්ජලින් නුල ඇද්ද තැන ඉදලා නුල ගහනතුරුම මොන රඟපෑමෙන් හිටියත් නූල යටින් තියෙන්නේ තමන් කඩා ගන්නා ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක්  බවයි මගේ හැගීම.

ඔය විදියටම ප්‍රියා සුරියසේනත් එක්තරා රූපවාහිනි වැඩසටහනකදි මම අහගෙන හිටියා කියනවා. මේ අර සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාර ගැන. “මාව අනුකරණය කරමින් ලංකාව පුරාම ස්ටේජ් ගානේ සිංදු කියන ඔය පුද්ගලයාට අනුකම්පා කරණවයි“ කියලා. හැබැයි එතැනදි ප්‍රියා සමස්ථයක් විදියට නිහඩව හිටියා කියල මම පිළිගන්නවා. නමුත් ඇත්ත තත්වේ වෙනස්. අජිත් එක ෂෝ එකකට ප්‍රියාගේ සිංදු කියල අය කරන ගාන සමහර විට ප්‍රියාට මිනිහගේ සිංදු පනහක් කිව්වත් එක ෂෝ එකකදි හොයාගන්න බැරි වෙනවා. මෙතැනදි ඒ විදියට බැලුවම අවසානයේ ප්‍රවිණ-නවක ගැටුම මතින් දුවන්නෙත් මුදල් තමා.

අපට මේ ළගදි අහන්න සිද්ධ වුන නඩු හබ ගියපු හොදම කේස් එක තමා එම් ජී ධනුෂකයි, ප්‍රනාන්දු පවුලයි අතර අවුල. එම් එස් ගේ ගීත වලට ඇත්තටම සතත ජනප්‍රියතාවයක් තියෙනවා සමාජය තුල එක්තරා ප්‍රමාණයකින්. නමුත් ධනුෂ්ක එම් එස් ගේ සිංදු කියන්න ගත්තට පස්සේ විශේෂයෙන් අර හිස් ටින් එකක් ගීතයෙන් පස්සේ නවක පරම්පරාව තුල, ධනුෂ්කගේ හඩින් එම් එස් ගේ පැරණි ගීත අහන්න අති විශාල උවමනාවක් ඇති උනා. මේ හේතුව නිසා එම් එස් ගේ පුතා ස්ටේජ් එකේ තුට්ටු දෙකට කියන ගීත අහන්න කෙනෙක් නැති උනත්, ධනුෂ්කට ෂෙෘ් එකක් කරන ගානටම ගෙවලා එම් එස් ගේ සිංදු අහගන්න සිද්ධ උනා. මේ හේතු නිසා අන්තිමට නඩු හබ වලට මැදිහත් වෙච්චි ධනුෂ්කට එම් එස්  ගේ සිංදු කියන එක තහනං උනා නේ. ඒ උනත් මෑතක් වෙන තුරුම මොන නඩු තීන්දු තිබ්බත් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් අහක දාන්න ධනුෂකට බැරි උනා. ඒ සිංදු කියන්න උනා. ඔන්න ඔය අලකලංචිය ආයිත් උසාවි ගියා. එම් එස් ගේ පුතා ඇඩු කඳුලෙන් කිව්වෙ “එපා කිව්වට මෙයා තාම ඒ සිිංදු කියනවා අනේ ඉහි ඉහි“ කියලයි. ඇත්ත තම තමන්ගේ බත්පතට වහපු හෙනහුරා පන්නන එක කොයි තරං වැදගත්ද කියල හිතෙන්නේ ඒ තත්වටෙ පත් උනාම තමා.

අලුත්ම කේස් එක බංදු සහ බිංදු. බන්දුත් නඩු දැම්මා. බිංදු බෝතලේගම රඟපෑ චිත්‍රපටි තුනක් ප්‍රදර්ශනය අත් හිටෙව්වා මං හිතන විදියට. අවසානයේදි නඩුව සමථයකට පත් කරගන්න නං බංදු කියන තියෙන්නේ “බිංදු මගෙන් සමාව අරන් ආයේ මේ වගේ දෙයක් කරන්නෑ“ කියල පොරොන්දු වෙනව නං නඩුව අහක් කරගන්නවා කියලයි. මේ නඩු කියල වැඩක් නෑ. මගේ ජොබට කෙලවිලා කියල නේද බංදු කියන්නේ.

මෙතැනදි මට හිතෙන විදියට ඉපැයුම් ප්‍රභවය තවත් කෙනෙකු සමග බෙදා හදා ගැනීම නිසා තමන්ගේ ඉපැයුම් සිඝ්‍ර ලෙස අඩු වෙන නිසා, කාලයත් එක්ක අනුකරණය ඉල්පී ප්‍රවීනයා යට යතැයි කියන අධික භිතිය මේ සියළු කාරණා වලදිම සිදු වෙලා ඇතැයි සිතෙනවා. ඒ කියන්නෙ කලාකරුවා කියන පුද්ගලයා තවත් එක් වෙළද සංකේතයක් කියන එක තමා පැහැදිලි වන්නේ. ඒ තුලින් පැන නගින මුදල මත නිමැවු ගැටළු, යුද්ධ බවට පත් වී අවසානයේ නවතින්නේ ප්‍රවිණයන්ට ගරු නොකරන ආධුනිකයන්ගේ ගොඩටයි.

අවසානයේදි ආර්ථිකමය කුහකකම යුද්ධයක් බවට පත් වෙනවා. මේ යුද්ධයේ අනුකම්පාව නිතැතින්ම ප්‍රවිණයාට හිමි උනත් ආධුනිකයා පැරදි පළා යාවිද? ඒක ගැටළුවක් වෙන්න අවශ්‍ය නැහැ. මම නං හිතන්නේ ආර්ථිකමය කුහකකම පැත්තකින් තියල ආධුනිකයාට යම් උපකාරයක් කරල ඒ කියන්නේ බංදුට නං තියෙන්නේ දෙන්න එක්ක එකට රඟපානන්නයි, ඇන්ජලින්ට තියෙන්නේ සිංදු දෙක තුනක් අමිලාට දෙන එකයි, ධනුෂ්කට අර හිස් ටින් එක දීල සද්ද වහගන්න එකයි කරා නං දෙගොල්ලන්ටම පැවැත්මක් ඇතෙයි කියලායි. එහෙම උනානං තමන්ට වඩා අරයා හොයනවා කියන මානසිකත්වය නිසා ඇති වෙන ඉරිසියාව පාලනය කරගන්න බැරි වෙනවා. ඒක නිසා අවසානයේ ප්‍රවීණ කලාකරුවා මහා කුහකකරුවෙක් වෙනවා. තීරණය මිනිසුන් අතේය.

පලි- මේක තව පැති දෙක තුනකින් බලන්න ඇහැක් නං හොදා..

Thursday, March 24, 2016

නෙළුං යාය බ්ලොග් සම්මාන වර්ජනය කළ යුත්තේ ඇයි!

රසික අද ලියල තිබුනා එයා බ්ලොග් ලියන්නේ ඇයි කියල. ඒකේ තියෙන කරුණු කාරණා දිහා බැලුවම බොහෝ පිරිසක් බ්ලොග් ලියන්නෙ තමන්ගේ උවමනාවට හා තෘප්තියට කියල කියන්න පුළුවන්. අනිත් එක රසික නං සිනුවර විත්තියි එයාගේ කෙස් නැති ජීවිතෙ ගැනයි විස්තර කියන්න බ්ලොග් එක භාවිතා කරනවා කියන එක ආයි අහන්න දෙයක් යැ. ලංකාවේ ඉපදිල ලංකාවට වඩා සිනුවර හොදයි කියල හිතන එකම කෙනා රසික වෙන්ටත් බැරි නෑ.

කොහොම උනත් මේ බ්ලොග් වලට සම්මාන දෙන්න, සල්ලි දෙන්න දත කන කට්ටියක් නිසා සිංහල බ්ලොග්කාරයෝ හරියට අර සම්මාන බලාගෙන පොත් ලියන ලේඛකයෝ ගානට වැටිලද මන්දා. පහුගිය සතියේ ඉදල බලන බලන තැන නෙලුං යාය, නෙලුං යාය බ්ලොග් සම්මාන, නෙලුං යාය බයිලා වගේ එක එක විකාර දදා අපේ මනස් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න හදන්නෙ ඒ සම්මාන උළෙලේ සම්මාන වලට නිර්දේශ වෙච්චි අය විත්තිය මම හොදටම දැක්කා. අනිත් අයට ඔය සම්මාන ( ඒ කිව්වේ විකාර වලට නිර්දේශ නොවුන අය) අනං මනං මොකවත් ඕන නැති විදියට බ්ලොග් ලියනවා.

මට හිතෙන විදියට ඔය නෙලුං සම්මාන දෙන්න යන දෙවැනි වතාව මේක. පළවෙනි වතාව තිබුනේ ගිය අවුරුද්දේ මාරුතු 26. කරුමෙට ඒකේ දෙවැනි දිගුව මේ අවුරුද්දේ මාරුතු 26 ටම දාලා. මේවා කුමන්ත්‍රණ. නැත්නං දනන කෙනෙක් කියන්න බලන්න හරියටම අවුරුද්දකට පස්සෙත් ඒ දවසම අරගෙන ඒ තැනම නොමිලේ උත්සව තියන්න කාටද පුළුවන්. අඩුම ගානේ අවුරුද්දකට කලින්වත් පැලැන් ගහපු ඔස්තාර්ලගේ වැඩක් තමා මේක.

හරි මං කියන්න ආවේ ඇයි මේ බ්ලොග් සම්මාන උළෙල වර්ජනය කළ යුත්තේ කියල නේ. ඔව් මං කියන්න ආවේ ඔය හැම සම්මානයකම එක, දෙක හෝ තුන ස්ථාන ලබා ගැනීමේ විශාල සම්භාවිතාවක් දේශකයා කියන මට තිබුන බව මම ඉඳුරාම විශ්වාස කරන නිසයි. එහෙම විශ්වාස කරන්න මට පුළුවන් උනේ ඔය මණ්ඩලේ කචල් පොරවල්ගෙන් මට ලැබුන විශ්වාසදායක තොරතුරු නිසයි. කැටගරි බර ගානක් යටතේ සම්මාන දෙන කොට, එයින් බහුතරයක සම්මාන මට ලැබෙන්න නියමිතව තියෙද්දිත් මේ ඉරිසියාකාර නෙලුං යායේ අජිත් කියල හඳුන්වන පුද්ගලයා, කළු මහත මල්ලි කෙනෙක් ඇතුලු බොහෝ දෙනෙක් සම්මාන නිර්දේශ වලින් මගේ නම එක පාරටම හලන්න තීරණය කරල තියෙන්නේ බරපතල කුමන්ත්‍රණයකින් පස්සෙයි. විනිශ්චය මණ්ඩල වල හිටිය අනෙකත් වැදගත් මහත්වරුන් සල්ලි වලට නම්මාගෙන ඒවා වෙනස් කිරීම විලිලැජ්ජාසහතිකයි. ඒක නිසා මේ වතාවේ නෙමෙයි ගිය පාරත් මට ඔය වැඩේ මේ අය කරපු බව කියන්නේ විශ්වාසෙන්මයි.

ඕන නං බලාගන්න ගියපාර ඔය සම්මාන මට නොලැබුන නිසා මම දාපු පෝස්කටුව.


ඒක නිසා මගේ සභෘදයන්, මං වෙනුවෙන් පණ දෙන්න උනත් ලැහැස්ති සුවහසක් වූ මාගේ ආදරණීය ෆලෝවර්ස්ලාගෙන් මම ඉල්ලා සිටින්නේ එකම දෙයයි.

එංගලන්තෙන් ඇවිල්ලා, අපිව නොමග යවන්න උත්සාහ කරන මේ නිව්ස් වෙබ් කණ්ඩායමත් එක්ක එකතු වෙච්චි නෙළුං යාය සංගමය 2016 මාර්තු 26 හැන්දෑවේ කිරුළපණ පාරේ හෝ්ල් එකක තියන්න යන මොකක්ද කියන සම්මාන උළෙල වර්ජනය කරන්න කියල අති මහත් භක්තියෙන් ඉල්ලා සිටිනවා. හොදින් නං හොදින් නරකින් නං නරකින්.

එකෙක් හරි ඔය හෝල් එක තියෙන හරියට ආවොත් මඩු වල්ගෙන් ගහල පන්නන්න ඒකේ ගේට්ටුව ගාව මං රැකගෙන ඉන්නවා හරිය. ඒක ඉවර වෙලා ඊට පස්සේ ගල්කිස්සේ බීච් යන උන්ට නෙලන්නත් මනෝජ් ප්‍රනාද්දු ඇතුළු මැර පිරිසක් ඒ ආසන්නයේ ස්ථාන ගත කරල තියෙන විත්තියත් කියන්නෙ කරුණාවෙන්මයි. හොදද..

ප.ලි. - බබී උඹත් ඒකට එන්න හදනවා කියල මට ආරංචියි. බැරි වෙලා හරි අර පිස්සු පත්තරයත් එක්ක ආවොත් හෙම ආයි උඹට බබී කියන්න කටක් ඉතිරි කරන්නෑ හොදද??