Thursday, March 24, 2016

නෙළුං යාය බ්ලොග් සම්මාන වර්ජනය කළ යුත්තේ ඇයි!

රසික අද ලියල තිබුනා එයා බ්ලොග් ලියන්නේ ඇයි කියල. ඒකේ තියෙන කරුණු කාරණා දිහා බැලුවම බොහෝ පිරිසක් බ්ලොග් ලියන්නෙ තමන්ගේ උවමනාවට හා තෘප්තියට කියල කියන්න පුළුවන්. අනිත් එක රසික නං සිනුවර විත්තියි එයාගේ කෙස් නැති ජීවිතෙ ගැනයි විස්තර කියන්න බ්ලොග් එක භාවිතා කරනවා කියන එක ආයි අහන්න දෙයක් යැ. ලංකාවේ ඉපදිල ලංකාවට වඩා සිනුවර හොදයි කියල හිතන එකම කෙනා රසික වෙන්ටත් බැරි නෑ.

කොහොම උනත් මේ බ්ලොග් වලට සම්මාන දෙන්න, සල්ලි දෙන්න දත කන කට්ටියක් නිසා සිංහල බ්ලොග්කාරයෝ හරියට අර සම්මාන බලාගෙන පොත් ලියන ලේඛකයෝ ගානට වැටිලද මන්දා. පහුගිය සතියේ ඉදල බලන බලන තැන නෙලුං යාය, නෙලුං යාය බ්ලොග් සම්මාන, නෙලුං යාය බයිලා වගේ එක එක විකාර දදා අපේ මනස් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න හදන්නෙ ඒ සම්මාන උළෙලේ සම්මාන වලට නිර්දේශ වෙච්චි අය විත්තිය මම හොදටම දැක්කා. අනිත් අයට ඔය සම්මාන ( ඒ කිව්වේ විකාර වලට නිර්දේශ නොවුන අය) අනං මනං මොකවත් ඕන නැති විදියට බ්ලොග් ලියනවා.

මට හිතෙන විදියට ඔය නෙලුං සම්මාන දෙන්න යන දෙවැනි වතාව මේක. පළවෙනි වතාව තිබුනේ ගිය අවුරුද්දේ මාරුතු 26. කරුමෙට ඒකේ දෙවැනි දිගුව මේ අවුරුද්දේ මාරුතු 26 ටම දාලා. මේවා කුමන්ත්‍රණ. නැත්නං දනන කෙනෙක් කියන්න බලන්න හරියටම අවුරුද්දකට පස්සෙත් ඒ දවසම අරගෙන ඒ තැනම නොමිලේ උත්සව තියන්න කාටද පුළුවන්. අඩුම ගානේ අවුරුද්දකට කලින්වත් පැලැන් ගහපු ඔස්තාර්ලගේ වැඩක් තමා මේක.

හරි මං කියන්න ආවේ ඇයි මේ බ්ලොග් සම්මාන උළෙල වර්ජනය කළ යුත්තේ කියල නේ. ඔව් මං කියන්න ආවේ ඔය හැම සම්මානයකම එක, දෙක හෝ තුන ස්ථාන ලබා ගැනීමේ විශාල සම්භාවිතාවක් දේශකයා කියන මට තිබුන බව මම ඉඳුරාම විශ්වාස කරන නිසයි. එහෙම විශ්වාස කරන්න මට පුළුවන් උනේ ඔය මණ්ඩලේ කචල් පොරවල්ගෙන් මට ලැබුන විශ්වාසදායක තොරතුරු නිසයි. කැටගරි බර ගානක් යටතේ සම්මාන දෙන කොට, එයින් බහුතරයක සම්මාන මට ලැබෙන්න නියමිතව තියෙද්දිත් මේ ඉරිසියාකාර නෙලුං යායේ අජිත් කියල හඳුන්වන පුද්ගලයා, කළු මහත මල්ලි කෙනෙක් ඇතුලු බොහෝ දෙනෙක් සම්මාන නිර්දේශ වලින් මගේ නම එක පාරටම හලන්න තීරණය කරල තියෙන්නේ බරපතල කුමන්ත්‍රණයකින් පස්සෙයි. විනිශ්චය මණ්ඩල වල හිටිය අනෙකත් වැදගත් මහත්වරුන් සල්ලි වලට නම්මාගෙන ඒවා වෙනස් කිරීම විලිලැජ්ජාසහතිකයි. ඒක නිසා මේ වතාවේ නෙමෙයි ගිය පාරත් මට ඔය වැඩේ මේ අය කරපු බව කියන්නේ විශ්වාසෙන්මයි.

ඕන නං බලාගන්න ගියපාර ඔය සම්මාන මට නොලැබුන නිසා මම දාපු පෝස්කටුව.


ඒක නිසා මගේ සභෘදයන්, මං වෙනුවෙන් පණ දෙන්න උනත් ලැහැස්ති සුවහසක් වූ මාගේ ආදරණීය ෆලෝවර්ස්ලාගෙන් මම ඉල්ලා සිටින්නේ එකම දෙයයි.

එංගලන්තෙන් ඇවිල්ලා, අපිව නොමග යවන්න උත්සාහ කරන මේ නිව්ස් වෙබ් කණ්ඩායමත් එක්ක එකතු වෙච්චි නෙළුං යාය සංගමය 2016 මාර්තු 26 හැන්දෑවේ කිරුළපණ පාරේ හෝ්ල් එකක තියන්න යන මොකක්ද කියන සම්මාන උළෙල වර්ජනය කරන්න කියල අති මහත් භක්තියෙන් ඉල්ලා සිටිනවා. හොදින් නං හොදින් නරකින් නං නරකින්.

එකෙක් හරි ඔය හෝල් එක තියෙන හරියට ආවොත් මඩු වල්ගෙන් ගහල පන්නන්න ඒකේ ගේට්ටුව ගාව මං රැකගෙන ඉන්නවා හරිය. ඒක ඉවර වෙලා ඊට පස්සේ ගල්කිස්සේ බීච් යන උන්ට නෙලන්නත් මනෝජ් ප්‍රනාද්දු ඇතුළු මැර පිරිසක් ඒ ආසන්නයේ ස්ථාන ගත කරල තියෙන විත්තියත් කියන්නෙ කරුණාවෙන්මයි. හොදද..

ප.ලි. - බබී උඹත් ඒකට එන්න හදනවා කියල මට ආරංචියි. බැරි වෙලා හරි අර පිස්සු පත්තරයත් එක්ක ආවොත් හෙම ආයි උඹට බබී කියන්න කටක් ඉතිරි කරන්නෑ හොදද?? 

Saturday, March 12, 2016

සුභ ගමන් මහාචාර්යතුමනි!!

හදිසියේ අප අතරින් සමුගත්, කැළණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකු වූත්, සිංහල සාහිත්‍යයට මහගු සේවාවක් ඉටු කළා වුත්, කෙටි කතාවට නවමු ආඛ්‍යානයක් ඉදිරිපත් කලා වූත්, නවකතාව පරයේෂණන් හා සතත අභ්‍යාසන්හි නිමවුමක් බවටත් අපට පසක් කළ, මහාචාර්ය සුසන්ත මහඋල්පත මහතාට සුභ ගමන්!

ඔබ වැනි උගතෙකු, පර්යේෂකයෙකු, නවකාතවේ නවමං එළි පෙහෙළි කළ, ඉතිහාසය පර්යේෂන මගින් සාධාරණිකරණය කළාවුත් අනෙකෙකු මේ කාලයේ සිටියේ නම් ඒ ඔබම පමණි. ඔබගේ සාකච්ඡා කිහිපයක්ම මා පුවත්පත් වලින් කියවා ඇති නිසා, ඔබගේව්‍යායාමය කුමක් දැයි හොදින්ම දැන සිටියෙමි.

මෙවන් අරුම නරුම රටක ඔබගේ අභාවය ගැන හෝ සදහනක් නොමැති පුවත්පත්, ලේ වැකුණු පින්තුර හුවමාරු කරන ගොසිප් සයිට්, නිව්ස් සයිට් දැක අප්‍රමාණ කළකිරීමක් ඇති විය.
සුභ ගමන් ආචාර්යතුමනි...




Tuesday, March 1, 2016

ඉලක්කය කරා (Nikola Tesla - Education & First Job)

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)

ගෙදරදි ඉගෙන ගත්ත දේවල් මදි වෙච්චි නිසා, තාත්තා, ටෙස්ලව යවනවා කාර්ල්ස්ටැඩ් වල පිහිටි Higher Real Gymnasium කියන උසස් අධ්‍යාපන ආයතනයට. ඔහුගේ ගම් පළාතට දුරින් පිිහිටි මේ ඉස්කොලේ යන්න, ටෙස්ලා නවතින්නේ ඔහුගේ ඥාතියෙකු වේචිච නැන්ද කෙනෙකුගේ ගෙදර. මේ ගෙදර ඉදගෙන ඉස්කොලේ යන ටෙස්ලා අවුරුදු හතරක් වේචිච පාඨමාලාව අවුරුදු තුනකින්ම අහවර කරල දාන්න තරං සුරුවිරුකම් ඇත්තෙක් උනා. ඉස්කෝලේ උගන්නපු මාටින් කියල ගුරුවරයෙක් තමා ටෙස්ලට ගණිත ශාස්ත්‍රයයි, භෞතික විද්‍යාවයි කියල දෙන්නේ. ඒ ගුරුවරයත් ටෙස්ලගේ හැකියාවන් පිළිබඳව වටහාගන්නවා උනත්, සමහර ගුරුවරු නං, ටෙස්ලා මනෝමයෙන් හදන විශාල පුුර්ණ සංඛ්‍යා එකතු කිරීම් විශාල පුදුමයක් උනා. බොහෝ විට ඒ අය කිව්වේ මේ ටෙස්ලා බොරුවක් කරනවා කියලයි. ඔය කාලෙදි ඉස්කොලේ තිබුන පින්තුරෙක නයගරා ඇල්ල ඇදහැලෙනවා දැක්ක ටෙස්ලා, “කවදාහරි මම ඇමරිකාවට ගිහිල්ලා මේ ඇල්ලේ තියෙන ශක්තිය අල්ලගන්නවා“ කියලා ගෙදර මාමාට කියල තියෙනවා. ඔයින් මෙයින් ටෙස්ලට තමන්ගේ ගමන් මාර්ගයේ ඉලක්කය මොකක්ද කියන එක පළිගුවක් වගේම පැහැදිලව පේන්න ගන්නවා. ඒත් ඉතිං කලින් කිව්වත් වගේ ටෙස්ලට ඕන පාරේ යන්න තාත්තගෙන් අවසර නැති නිසා, අවුරුදු හතරේ උපාධියත් අරගෙන ආයි ගං දොර බලා ආපු ටෙස්ලට පහුගිය පොස්ට් එක ඉවර කරපු වෙලාවේ හැදුන කොලරාව හැදිල ඕන කරන වැඩේ කරගන්න පුලුවන් වෙනවා. සෙල්ලං නෙමෙයි මාස නමයක්ම බරපතල විදියට ලෙඩ වෙලා ඇඳටම වෙලා හිටිය ටෙස්ලට තමන්ගේ මාර්ගය පැහැදිලි වෙන්නේ ඊට පස්සේ තමා.

උත්සාහ වන්තයා ජයගන්නවයි කියනවා වගේ, ටෙස්ලා තමන්ට විරුද්ධ වෙච්චි තාත්තගේ පිහිටෙන්ම ග්‍රැස් (Graz) නගරයේ පිහිටි ඔස්ටියාන්‍ර පොලිටෙක්නික් කොලිජියේ ඉංජිනේරු විද්‍යාව හදාරන්න ශිෂ්‍යත්වයක් දිනාගන්නවා. ඉතිං ඒකට ඇතුලත්වෙනවා. හහ් හහ්.. එහෙම කොහොමද වෙන්නේ තව වැඩ තියෙනවා.

ඒ කාලේ ඕනම තරුණ කෙනෙකුට අවුරුදු 3 ක අනිවාර්ය හමුදා සේවයක් නියම වෙලා තිබුනා. කොළරාව හැදිල මැරෙන්න ඔන්න මෙන්න හිටපු ටෙස්ලා ඒකෙන් බේරෙන්න ඕන කමට වෙන පළාතකට පැනල ගියා. එහෙම ගිහිල්ලා පොත් “කඳු“ අරන් කඳු අස්සේ හැංගි හැංගි කාලේ ගත කරපු විත්තියක් තමා දැනගන්න ලැබුනේ. ඔය 1874 වගේ කාලේ. ඒ කිව්වේ ටෙස්ලට අවුරුදු 18 ක් විතර නේ. කොහොම උනත් ටෙස්ලා පසුව ප්‍රකාශ කරල තිබුනා එයාගේ ශාරීරික හා මානසික ශක්තිය ප්‍රභලව වැඩිමට ඒ කාලය තුල පරිසරයත් එක්ක දැඩි ලෙස ගැටීම ඉවහල් උනාය කියලා.

කොහොම හරි ටෙස්ලා තරුණයා පොලිටෙක්නික් එකට ඇතුල් උනා. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද එකම දේශනයක් වත් අත නොහැර හොදට ඉගෙන ගෙන ඒ අවුරුද්දේ හොදම ප්‍රථිපලත් ගත්තා. ඔය අවුරුද්දෙම සර්බියානු සංස්කෘතික සංගමයක් පිහිටවපු ටෙස්ලා ඒකෙත් හොදට වැඩ කරා. ටෙස්ලා පතපොත පරිශිලනය කරපු කෙනෙක් නිසා, ඔහු තුල කවියෙකුත් ජීවත්ව සිට තියෙනවා.

දෙවෙනි අවුරුද්දේ අලකලංචියක් ඇති උනා. භෞතික විද්‍යා පාඩමේදි ටෙස්ලගේ පන්තියටම අලුතෙන් හදාපු ඩයිනමෝ එකක් පෙන්නපු මහාචාරය වරයා, ඒකට විදුලිය සැපයුවාම එක් පැත්තට කරකැව්වොත් ඒක මෝටරයක් විදියටත්, අනෙක් පැත්තට කරකැව්වොත් ඒක ජෙනරේටර් එකක් විදියටත් භාවිතා කරන්න ඇහැක කියල පෙන්නල දුන්නා. ඔන්න ඔයි ඩයිනමෝව දිහා හොදට ඇහැ ගහගෙන හිටපු ටෙස්ලා මහාචාරයවරයත් එක්ක මත ගැටුමක් ඇති උනා. ඩයිනමෝ එකක් කියන්නේ යම් බලයක් සපයලා ඒකේ යාන්‍රික ශක්තියෙන් කොයිල් එකක්, චුම්බක ක්ෂෙත්‍රයක් ඇතුලේ කරකවලා විදුලි බලය උපදවාගන්නා එකක් නෙව. ඉතිං ඕකේ අර පැත්ත මාරු කරන්න කොමියුටේටර් කියල ගැජට් එකක් තියෙනවා සපයන බලය ප්‍රතිමාරු කිරීමට. ඒ කාලේ ඩයිනමෝ, මෝටර් වල ඔය කොමියුටේටර් කියන පරිවර්තකය අනිවාර්යයෙන් ම තියෙනවා. තමන්ගේ දැනුමේ තරම පෙන්නන්න ටෙස්ලා කිව්වේ කමියුටේටර් නැතිව මේ ඩයිනමෝව වැඩ කරවන්න පුලුවන් කියලා. ඔන්න ඔය කතන්දරේ ඒ කාලේ හැටියට කොහොමත් පිළිගන්න බැරි නිසාත්, ගුරුවරුන් තමන්ගේ දැනුම සීමාවක ඉන්න නිසාත් අන්තිමේ උනේ මුළු සභාව ඉස්සරහම ටෙස්ලාව ලැජ්ජාවට පත් කිරීමයි. ගුරුවරයා කිව්වේ “මේ ටෙස්ලා හදන්න යන්නේ කවදාවත්ම හදන්න බැරි සදාකාලිකවම දුවන ඩයිනමෝවක්ය කියලා.“ කෝම හරි කැම්පස් එකේ දෙවැනි අවුරුද්ද ඉවර ‍වෙන කොට ටෙස්ලට ලැබිච්චි ශිෂයත්වෙත් නොලැබී ගියා. මේ හේතුව නිසා අසීමිතව සුදු කෙලින්න ගියපු විත්තියත්, තාත්තා කීප වතාවක්ම ඒකට දෝස්මුර දාපු විත්තියත් ටෙස්ලම කියනවා. තාත්තා මොනවා කරත්, අන්තම වතාවට කියල අම්මා සල්ලි වගයක් හොයල දීල “ෆන්“ එකක් අරන් වරෙන් කිව්ව දවසේ ටෙස්ලා සුදු ගහලා එදාම ඒ සුදුව නවත්තල දැම්මා. තුන්වෙනි අවුරුද්ද වෙන කොට උපාධිය හබක් කියල ආයි කියන්න ඕන නෑනේ.

ඔන්න ඔහොමයි ටෙස්ලා ගැන තියෙන වෙබ්සයිට් බෝමයක තියෙන්නේ. නමුත් ටෙස්ලාංගේ ස්වයං චරිතාපදානයට අනුව නම් ටෙස්ලා පොලිටෙක්නික් එකේ අධයාපන කටයුතු හමාර කළ බව සදහන් වෙනවා. 

//After finishing the studies at the Polytechnic Institute and University I had a complete nervous breakdown and while the malady lasted I observed many phenomena strange and unbelievable.//

ආෆ්ටර් ෆිනිෂින් කියන්නේ කම්ප්ලිටිංද කියන ප්‍රශ්නය ඇති උනත් අපි ඔය ගැන වැඩිදුර හොයන එකේ වැදගත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ.

තමන්ගේ රටින් පිට වෙන ටෙස්ලාගේ පළමු ගමනාත්තය වෙන්නේ ස්ලෝවේනියාව. මැරිබෝර් නගරයේ ඉංජිනේරු ආයතනයක Draftsman තනතුරක සේවයට එක් වෙන ටෙස්ලා, ඔහුගේ පියා විසින් නැවත ගම්බිම් කරා එන්නැයි කරන ඉල්ලීමටත් ඇහුංකං දෙන්නෙ නැහැ. තාත්තා කියපු දේ ඇහුව නැති ටෙස්ලට තවත් අලකලංචියක්. නිත්‍යානුකූල පුරවැසිබාවය නොතිබුන නිසා පොලෝසියට අල්ලගෙන ගිහිල්ල පොලිස් පරික්ෂණ කරල අවසානයේ, පොලිසිය විසින්ම ටෙස්ලව ආයිත් ගමට පිටුවහල් කරනවා. ඔය 1879 අවුරුද්ද මාර්තු. 1878 මාර්තු වලදි තමා ටෙස්ලගේ තාත්තා ආවේ කුදලං යන්න. ඒක නිසා මේක නං කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මට හිතුන දෙයක්. ටෙස්ලව ගෙදර ට ගෙන්නගන්න තාත්තම ටිප් එකක් දුන්නද කියන සැකේ මට ආවා. මොකද ටෙස්ලගේ තාත්තත් එක විදියට අයෙක් නෙව. ටෙස්ලා පිටුවහල් කරන්නේ 1879 මාර්තු 24. ටෙස්ලගේ තාත්තා හදුනානොගත් රෝගයක් නිසා අප්‍රෙල් 17 මිය යනවා. අවමගුල් දේව මෙහෙයෙදි ටෙස්ලගේ පියාව ශාන්තුවරයෙක් ලෙස උසස් කරනු ලබනවා. එතකොට හිතාගත්තැකි නේද ටෙස්ලගේ තාත්තා යම් ආගමක ඉහලම ආත්මාර්ථයේ හිටියා කියන එක. හරියට නාට්ටියක් වගෙයි නේ.

ටික කාලයක් ගුරුවරයෙක් ලෙස වැඩ කරන ටෙස්ලා, ඊට පස්සේ තමන්ගේ මාමාගේ පිහිටෙන් සල්ලි හොයාගෙන ප්‍රාග් වල තියෙන කාර්ල් ෆර්ඩිනැන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න යනවා. හොදටම පරක්කුයි. ටෙස්ලාට ඇතුල් වෙන්න බැරි වෙනවා. අන්තිමට ටෙස්ලගේ ඉරණම් මග එළිකර දෙන, හංගේරියාවේ බුඩාපේස්ට් වල තියෙන දුරකතන සමාගමක ප්‍රධාන විදුලි කාර්මික ලෙස වැඩ කරනවා. එතනදි දුරකතන පද්ධතිය සදහා අලුත් උපාංග හඳුන්වාදීමටත් කටයුතු කරනවා. හවසක ඇවිදින්න යන ටෙස්ලා බැහැගෙන යන ඉර දිහා බලාගෙන මුමුණපු කවියක් නිසා ඉන්ඩක්ෂන් මෝටර් එකේ Rotating Magnetic Field කියන සංකල්පය හිතට ආවා කියලයි සදහන් වන්නේ. ඔය 1882 අවුරුද්ද. ගොතේ ගේ කවියකින් තමා ක්ෂණයකින් ටෙස්ලට මේ අදහස පහල වෙන්නේ. කාලයක් තිස්සේ ජීව්තේ කළකිිරෙන ගානට ඒසී මෝටර් ගැන හිතපු ටෙස්ලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ ඔය විදියටයි. ඒ මොහොතෙම ඉන්ඩන්ෂන් මෝටර් එකේ දළ සැලැස්ම, කෝටුවකින් වැල්ලේ ඇන්දා කියලයි සදහන් වෙන්නේ.

ගොතේ කවියාගේ නාට්ටියක තිබුන කවියක් තමා භෞතික විද්‍යාවේ විශිෂ්ඨතම සිද්ධාන්තයක් එළියට එන්න මුලික උනේ එහෙනං. ඔන්න කවිය.



"She moves and yields, the day of toil now done, 
there she hurries and explores new fields of life. 
Ah, that no wing can lift me from the ground 
to closely follow her and soar! 

A beautiful dream! Though now the glories fade. 
Alas, the wings which lift the mind so lightly 
can find no bodily counterpart!"
Johann Wolfgang von Goethe “Faust Parts I & II“

මක්කද මේ ඉන්ඩක්සොං මෝටර් කියල ඊළග කොටසෙං බලමු.

Tuesday, February 23, 2016

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla - The childhood)

නිකොලා ටෙස්ලා - හැඳින්වීම

අපි පහුගිය හැඳින්වීම වෙලාවේ නැවැත්තුවේ ඔහේලට Tesla කියල ගූගල් කරල බලන්න කියල නේ.. කිව්වත් වගේ කීප දෙනෙක්ම ඒක කරල උත්තරය දීල තිබුනා. ටෙස්ලා කියල හෙව්වම මුලින්ම එන්නේ වර්තමාන ලෝකයේ මෑඩ් සයන්ටිස්ට් ලෙස හදුන්වන එලොන් මුස්ක් හට අයිත් කැලිෆෝනියා තම මුලස්ථානය කරගත්ත Tesla Motors ආයතනය තමා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා ඒ ටෙස්ලා හා මේ ටෙස්ලා යන නම් දෙකම එකම අරමුණ වෙනුවෙන් තිබුනට, ඒ කිව්වේ ටෙස්ලා කියන නාමය වෙනුවෙන් පෙනී සිටියට, හැබෑටම වෙලා තියෙන්නේ ඔරිජිනල් ටෙස්ලා යට ගිහිල්ලා මුස්ක්ගේ  ටෙස්ලා සර්ච් එන්ජින් වල උඩට ඒමයි. ඒකේ මම දකින වැරැද්දක් නැහැ. මොකද එලොන් මුස්ක් තමන්ගේ කම්පැනියේ නමට කවදාවත් අහල නැති ටෙස්ලද කව්ද නමක් දාලා තියෙන්නේ කියල මිනිස්සු හිතන්න පෙළඹෙනවා. විසි එක් වෙනි ශත වර්ෂයේදි ටෙස්ලා නාමය ප්‍රචලිත කිරීමට අති දැවැන්ත ව්‍යාපාරයක් වන ටෙස්ලා කොම්පැනියෙන් ලැබෙන සහාය උපරිමයි. ඔනන් ටෙස්ලා බැටරියකුත් අපේ රසිකල ඉන්න පලාතට හදුන්වා දෙනවා මේ අවුරුද්දේ. මුස්ක්ගේ කම්පැනියේ නම ටෙස්ලා වීමත් වැදගත් කතාවක්.

2003 වර්ෂයේදි පටන් ගත්ත ටෙස්ලා මෝටර්ස් සමාගම ආරම්භකයා එලෝන් මුස්ක් නෙමෙයි. නමුත් එහි ආරම්භකයන් විසින් සමාගමේ නමට මයිකල් ෆැරඩේ හෝ නිකොලා ටෙස්ලා යන නාමය යෝජනා කර තිබුනේ ඒ නම් දෙකෙන් හැදින්වුන විශිෂ්ටයන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි. අවසානයේ විශිෂ්ටතමයා නොහොත් වඩාත් ගෞරවය පිදිය යුත්තේ නිකොලා ටෙස්ලාට බව ඔවුන් තීරණය කිරීමෙන් පසුව ටෙස්ලා මෝටර්ස් ලෙස එම සමාගම නම් කලා. ඊට පසුවයි එලෝන් මුස්ක් මෙම සමාගම මිලදී ගත්තේ. (එලෝන් මුස්ක් = ඉලෝන් මුස්ක්, ඔහු 21 වෙනි ශත වරුසෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙක් නෙමෙයි.. මොකද ටෙස්ලා විසි වෙනි ශත වර්ෂෙට ගැලපෙන අදහස් තියෙන කෙනෙකුත් නෙමෙයි නේ)

ඒ සම්බන්ධය අපි දැං ඉවර කරල දාමුකෝ.. බැහැ එහෙමත් බැහැ. මුස්ක් කියන්නේ ටෙස්ලා කෙරෙහි දැඩි ගෞරවයක් ඇති කෙනෙක්. පසුව සාකච්ඡා කරනු ලබන  ටෙස්ලාගේ විශිෂ්ටතම නිර්මාණය වීමට ඉඩ තිබූ පර්යේෂණ භූමිය සංවර්ධනය සදහා මේ මෑතකදි මුස්ක් මහත්තයා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර තිබෙන බවත් සදහන් කරන්නේ මේවා මතක තියාගන්න කියල කියන්නයි. (එලොන් මුස්ක් ගැන නොදන්නා අය ටෙස්ලා මෝටර්ස් හරහා ගොස් හෝ දැන කියා ගන්නවා නං බෝම හොදයි)

හැඳින්වීම වෙලාවෙදි මං කිව්වා නේ ටෙස්ලා ඉපදුනේ 1856 කියලා. හැබැයි ඒ වෙලාවේදි මං කිව්වේ නැහැ කොහේද ඉපදුනේ කියලා. ඒක කියන එකත් අමුතුයි. එවකට ඔස්ට්‍රියන් හංගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා(Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක්.

කොහේද යන්නේ මල්ලේ පොල් වගේ නේද?? ඔව්.. ටෙස්ලා ගැන පර්යේෂණයක් කරනව නං මේ හැම දෙයක් ගැනම ලොකු දැනුමක් ගන්න වෙනවා. පුද්ගලිකව මම හිතන දෙයක් තමා නිකොලා ටෙස්ලා කියන්නේ කුඩා කාලේ ඉදලම අමුතු කෙනෙක් කියලා. එහෙම කියන්නේ තමන්ගේ චරිතාපදානය ලියපු වෙලාවේ ටෙස්ලාම කියනවා තමන්ගේ මේ හැසිරීම් වර්ධනය වීමට තමන්ගේ ලමා කාලයේ ලැබු අත්දැකීම් වැදගත් උනාය කියලා. අපි බලමු ටෙස්ලා තමන් ගැන කියන විදිය. මම කියවපු ඒ පොතේ ටෙස්ලා ගැන දැනගැනීමට ඇති හොදම හා වැදගත්ම කොටස මේක කියලයි මට හිතුනේ. මොකද සිහින දකින්නෙකුගේ හා සාමාන්‍ය නවනිර්මාණ කරුවෙකු අතර වෙනස ඉතා පැහැදිලිවම මෙතනදි දැක ගන්න පුලුවන්.

“මගේ ක්‍රමය වෙනස්.. හිතුන ගමන් වැඩේ කරන්න යන්නෙ නැහැ. මට යම් අදහසක් හිතන ආපු සැනින්, මම එය හිතින් ගොඩ නගනවා. එහි වෙනස්කම් කරනවා. වැඩිදියුණු කිරීම් කරලා, මගේ මනසින්ම මම ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මට එතැනදි මගේ යන්ත්‍රය හිතින් දුවනවාද නැත්නං මගේ පර්යේණාගාරය තුල දුවවනවද යන්න ගැටලුවක් නෙමෙයි. ඒ යන්ත්‍රය ක්‍රියා කිරීමේදි යම් අඩුවක් ඇතිනම් ඒකත් මට හදුනා ගත හැකියි. ඒ වගේ මම හිතින් හදපු යන්ත්‍රයයි, මගේ අවසාන භෞතික ප්‍රථිපලයයි අතර කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. මේ ක්‍රමයට මට ඉතාම ඉක්මනින් කිසිදු යාන්ත්‍රික මෙවලමක් භාවිතයෙන් තොරවම පරිපුර්ණ යන්ත්‍රයක් තැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ඕනැම නව යන්ත්‍රයක් මම අවසානය කරාම සිතින් ගොඩ නගද්දි එහි තව උවමනා වැඩිදියුණු කිරීම් කරන්න තියේනම් කිසිම දෝෂයක් ඇති නොවන පරිදි ඒවා වෙනස් කරන්නත් පුලුවන්. මෙන්න මේ සිතින් වැඩි දියුණු කරපු අවසානම ක්‍රියාකාරි යන්ත්‍රය මගේ මොළය තුල ක්‍රියා කළ ආකාරයටම, කිසිම වෙනසක් නැතිව භෞතිකව නිර්මාණය කිරීමේදි මට මොනම ගැටලුවක් වත් මතු වන්නේ නැහැ. ක්‍රියාකාරිත්වය ඒ ආකාරමයි. මම කරපු අත්හදාබැලීම් පවා ඒ යන්ත්‍රය සම්බන්ධයෙන් සිදු කරන්න වෙන්නෙ මා සිතු ආකාරයටම තමා. අවුරුදු විස්සක් තිස්සේම මේ ක්‍රමයෙන් බාහිරව මම කටයුතු කරල නැහැ. ඉතිං වෙන ක්‍රමයක් මොටද? ඉතිං මේ වගේ වැඩ වලදි මුදල්, ශක්තිය, වෙලාව එක එක අත්හදාබැලීම් වලට අසීමිතව යොදවන්න මට සිද්ධ වෙන්නේ නැහැ.“

ටෙස්ලා තමන් ගැන කියපු දේ වලින් මට ඔහුගේ මනසේ විචිත්‍රත්වය කොපමණදැයි තේරුම් ගැනීමට මෙන්න මේ ජේදය පමණක් ප්‍රමාණවත්.

කුඩා කාලයේ පටන්ම ටෙස්ලාට, සාමාන්‍ය මනුෂයෙකුට නොමැති තරමේ දෘෂ්ඨි රසයක්(ඈ. ලව්පුසා) නෑ නෑ හොද ඇස් පෙනීමක් හා කන් ඇසීමේ අපුරු හැකියාවක් තිබු බව කියන්න පුලුවනි. ඉතා ප්‍රසිද්ධ කරුණක් තමා ගොඩනැගිල්ලක කාමර තුනක් එහායින් තියෙන බිත්ති ඔරලෝසුවට ටික් ටික් හඩ උනත් පැහැදිලිව ඇසීමේ හැකියාවක් ටෙස්ලාට තිබූ බව. තව වාෂ්ප එන්ජිමක් හැතපුම් තිහ හතලිහක් ඈතින් එනකොට ටෙස්ලට ඇහෙනවා. තමන් දකින ඕනම දෙයක්, මෙන්න මේකයි කියල සංවේදනය වෙච්චි ගමන් ඒ දේ ටෙස්ලගේ මනසේ තමන් ඒක දැකපු ආකාරයටම විද්‍යාමාන වෙනවා. මේ තත්වය ඉතාමත් නරක විදියට ටෙස්ලට කරදරයක් උනා කියල එයා කියන්නේ මේ වගේ හිතන හැම දෙයක්ම එහි නාමය සිහියට නැගුණු සැනින්, එහි රෑපයක් නිතැනික්ම ඔහුගේ මනසේ පිළීබිඹු වෙන්න ගන්න එකයි. බෝම අමාරුවෙන් වසර ගානක් මහන්සි වෙලා මේ හිත ඇතුලේ දෘෂ්‍යමාන වන පින්තුර හිතෙන් පලවා හරින්න ටෙස්ලා සමත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ හේතුන් නිසා ටෙස්ලාගේ සිතිමේ ශක්තිය රිසිසේ වැඩුනු බවයි ඔහු නම් කියන්නේ.

ඔය කොච්චර සමත් කම් තිබුනත් පුජකයෙක් වෙචිචි ටෙස්ලගේ පියාට ඕන උනේ ටෙස්ලත් ඒ පාරටම ගන්න. ඒත් ටෙස්ලට පැහැදිලිවම ඕන උනේ ඉංජිනේරුවෙක් වෙන්න. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. අන්න එතකොට ටෙස්ලා කිව්වේ “මම මේ ලෙඩේ සනීප කරගන්නවා නං තාත්තා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන“ කියලයි. අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොවෙයි. සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යන්නත් උදව් කරනවා.

ඉතිං ටෙස්ලා පුතා මොකද කරන්නෙ කියල අපි ලබන සතියෙදි බලමු..

Saturday, February 13, 2016

නිකොලා ටෙස්ලා (The best underdog) - හැදින්වීම

දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. (බිලියන කියන දේ ගැන ගාණක් නැති අය මේක බලන්න.) ඉතිං ඔච්චර වෑසක විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කියන අපේ ඒරියා එකේ වයසත් අවුරුදු බිලියන හතරාහමාරක් වත් වෙනවා. ඒ කාලයත් එක්ක බැලුවම පෘථිවියේ ජීවය හට ගෙන දැනට අවුරුදු මිලියන කිහිපයක් වෙන්ටැති. එතකොට සත්තු, මිනිස්සු ජීවය හට ගැනීමට ඒ මිලියන ගාණෙනුත් කොටසක් වැය වෙන්ටැති. දැනට හොයාගෙන තියෙන ආදී මානවයාගේ ජීවත් වෙච්චි කාලය අවුරුදු මිලියන හයක් විතර වෙද්දී, නුතන මානවයා පාථිවිය මත ජීවත් වූ කාලය පිළිබඳ කාබන් නිර්ණ සාක්ෂිය අවුරුදු ලස්ස දෙකක් විතර වෙන කොට අපි දන්නා සියලු ශිෂ්ඨාචාරයන් හි වයස අවුරුදු හයදාහක් විතර වෙනවා. 

ඒ අතරිනුත් නුතන ලෝකය පරිවර්තනය වීමට පටන් අරගෙන, ඒ කියන්නේ කාර්මීකරණය වන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙසිය පනහක් විතර වෙනවා. පේනවද එතකොට අපේ ජීවිත කාලයක් කියන්නේ මේ විශ්වයේ අල්පෙනෙත්ති තුඩකටවත් සමාන කරන්න බැහැයි කියන එක. 


ඔය උඩ තියෙන පින්තුරේ බැලුවම හිතාගන්න පුලුවනි පාථිවිය ඇති වීම, ජීවය ආරම්භ වීම හා මානවයා පරිණාමය වීම පිළිබඳ කාළවකවානූ වල අසීමිත කම. එතකොට අපි දන්නා නුතන ඉතිහාසය, පෘථිවියේ වයසෙන් සොච්චමක් වෙද්දී, නුතන මිනිසාගේ අධිවර්ධනය ඒ කිව්වේ කාර්මීකරණය විම ආරම්භ වීම කොයි තරං සුළු කාලයක්ද කියලත් හඳුනාගන්න පුලුවන්. 

ඔය විදියට මම මේ කතා කරන්න යන දේ ගැන පොඩි කළ එළි බැසීමක් කරන්න්ටයි හැදුවේ. අපි දන්නවා ඉතිහාසය ඉගෙන ගෙන තියෙන නිසා කාර්මික විප්ලවය එක්දාස් හත්සිය බර ගණන් වල, හරියටම කිව්වොත් 1750 වගේ කාලෙකදී බ්‍රිතානයෙන් ආරම්භ වූ බව. පර සුද්දාගෙන් පටන් ගත් මේ කාර්මික විප්ලවය යුරෝපය පුරාම පැතිරිලා යන අතරේ ඇමරිකාව තුලටත් ඇතුලු උනා. කාර්මිකරණය දැනට පවතින තත්වයට ඉක්මනින් එසවීමේ වැඩි ගෞරවය ඇමරිකානුවන්ට හිමි වෙන්න ඕන. ඒක නිසාම සියලු යුරෝපිය රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වන්නන් ප්‍රමාණය ලක්ෂ ගණන් වෙන්නට ගත්තා. හරි අපි ඔය කාර්මික විප්ලවය වගේ දේවල් කිව්වට ඕවා මේ 2016 අවුරුද්දේ ගත කරන හුගාක් අයට තේරුම් ගන්න අමාරුයි. මොකද තාක්ෂණය හා බද්ධ වී සිටින දැන් කාලේ අයට 1600 - 1700 කාලේ ජිීවිත මොන වගේද කියල හිතට නගා ගන්න අමාරුයි.

අපි මෙහෙම හිතමු. කාර්මික විප්ලවය කියන දේ ආරම්භ වීමට කලින් යුරෝපයේ, ඇමරිකාවේ ජීවිත කොයි වගේ ගෙවෙන්න ඇද්ද? කාර්මික විප්ලවයට පෙර ඇමරිකානුවන් බහුතරය ජීවත් උනේ එක්කෝ ගොවිපොළවල්, ගම් හෝ කුඩා නගර වලයි. ඒ කාලේ ඇමරිකානුවන්ගෙත් ප්‍රධානම ජිවනෝපාය උනේ වගාවන්. වෙළදාම කියන දේත් බහුලව සිදු නොවුන ඒ කාලේ හුවමාරු ක්‍රමයන් තමා වැඩිපුරම තිබුනේ. සාමාන්‍යෙයන් ගොවියා තම වගාවන්ට අමතරව සපත්තු මැසීම, ලාඩං ගැසීම වගේ හස්ත කර්මාන්ත වල ප්‍රවීණත්වයක් ලබා සිටි අයයි. ගෙවිලියන් සබන් හදන්න, ඉටිපන්දම් හදන්න තමන්ගේ කාලය වැය කලා. මේ හැම දෙයක්ම තමන්ගේ අතින් තමන්ගෙම ගෙදරදි සිද්ධ කරන්න උනේ ඒ කාලේ දැං වගේ කර්මාන්ත ශාලා හෙම නොතිබුන නිසානේ. ඔය විදියට ගෙවල් වල හදාපු නොයෙකුත් භාණ්ඩ ආහාර සදහා හුවමාරු උන සරල ජීවන ක්‍රමයක් තමා ඔවුනටත් තිබුනේ. දන්නවා නේ ඒ කාලේ අපිත් එහෙම තමා. එහෙම ජිවත් වෙන අතරේ තමන්ගේ වගා පාලු, මාරාන්තික ලෙඩ රෝග, මන්දපෝෂණය වගේ දේවල් ඉතා පොදු දේවල් උනා. ඔන්න ඔය අතරෙදි 1700 වගේ කාලේ, වාෂ්ප එන්ජිම හොයාගැනීමත් එක්ක නොසිතු විරු විදියට බොහෝ දේ වෙනස් වන්ට උනා. වාෂ්ප එන්ජිම තව දුරටත් වර්ධනය කිරීමේදි, යන්ත්‍ර භාවිතා කොට භාණ්ඩ නිපදවීම සදහා කර්මාන්ත ඇතීවීමේ මුලික අඩිතාලම වැටුනා. ඔහොම වර්ධනය වෙමින් පැවති කාර්මිකරණය වසර 1850 වෙන කොට ඇමරිකාවට සංක්‍රමණය වීම නිසා අසාමාන්‍ය වර්ධනයක් වෙන්ට පටන් ගත්තා. බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් පදුරක් පදුරක් ගානේ මතු වෙන්නට ගත්තා. නොයෙකුත් තර්ක, මත, සංකල්ප, සිද්ධාන්ත, කල්පිත, යන්ත්‍ර ඕසෙට මතු වෙන්න උනා. මේ හේතුවෙන් අති විශාල කාර්මික සංවර්ධනයක් සදහා ඇමරිකාව තුලදි අඩිතාලම වැටුනා.

දැං අපි දන්නවා නේ විදුලි බුබුල හොයාගත්තේ කව්ද? තෝමස් එඩිසන් නෙව. කොච්චර විතර නව නිපැයුම් කරාද? අම්මෝ දාස් ගාණක්. ඔය ප්‍රශ්න වලට ඔය විදියටම උත්තර දෙන්න බහුතරයකට පුළුවන්. ඇත්ත.. තෝමස් එඩිසන් විසින් විදුලි බුබුල හොයාගැනීමත් එක්කයි බොහෝ විප්ලවයන් සිදු වෙන්නට උනේ. ඒ කිව්වේ විදුලිය කියන සිද්ධාන්තය ප්‍රාෙයා්ගිකව ප්‍රෙයෝජනයට ගැනීමේ අති වැදගත් අවස්ථාව විදුලි බුබුල තමා. ඒ අනුව බැලුවම ලෝකේ හැම රටකම පොත් වල කාර්මික විප්ලවය සදහන් කිරීමේදි අමතක නොකරන නමක් තියෙනවා නම් ඒ තෝමස් එඩිසන්. අපි දන්නේ තෝමස් අල්වා එඩිසන්. 

හැබැයි අපිට, මුලු ලෝකෙටම අමතක වෙච්චි නැත්නං බලෙන් අමතක කරල දාපු, එහෙමත් නැත්නං උවමනාවෙන්ම පැත්තකට දාපු විද්‍යාඥයන් ඉන්නවද? හපොයි මොකද නැත්තේ. ඕන තරං ඉන්නවා. ඒ අතරිනුත් තවමත් ලෝකයේ බහුතරයක් දෙනා නොදන්න, ඒත් බහුතරයක් දෙනා ඔහු විසින් සොයාගත් දේ භාවිතා කරන වටපිටාවක ඔහු ගැන කතා කරන්න ඕනැයැයි මට හිතුනා. මේ අදහස ඇවිත් දැනට අවුරුද්දක් හෝ ඊට වැඩියි. ඒත් මමත් වැඩියෙන් දැනන් හිටියේ නැති නිසා ඔහු ගැන කියවන්න පටන් ගත්තා. මේ කාලය ඇතුලත අන්තර්ජාලයෙන් පෙරාගෙන කියවපු වැඩිම ලිපි ගානක කතා නායකයා වන්නේ ඔහුයි. ඉතිහාසයෙන් බලෙන් අතු ගා දැමු, අමතක කළ නොහැකි නිසාම ඉතිහාසය තුල ඉතා සුළු හැදින්වීමක් පමණක් අයිති වූ මේ මිනිසා සම්භාව්‍ය ඇමරිකානු පුරවැසියෙක්. තමන්ගේ රටේම පෙළ පොත් වලදි ඔහු ගැන සදහන් කොට තිබුනේ මෙපමණයි.

“The man who invented the 20th Century"

ඉතිං මම මේ තෙපර බබා කියන්න යන්නේ විසි වෙනි ශත වර්ෂය අතින් ඇදල අපට අරගෙන දුන්න ප්‍රධානම පුද්ගලයා වෙච්චි නිකොලා ටෙස්ලා (Nikola Tesla) පිළිබඳවයි. අපි, මුළු ලෝකයම අද දක්වා භාවිතා කරනු ලබන විදුලි පද්ධතියේ ආරම්භකයා ඔහුයි. ඔය උඩ තියෙන ෆැන් එක බලන්න. ගෙදරට වතුර අදින මෝටරේ බලන්න. මේ සියල්ලේ ආරම්භකයා ඔහුයි. තවත් බොහෝ දේ කියන්න තියෙනවා නමුත් අපි ඒවා පසුවට තබමු. යම් අදෘෂ්‍යමාන හේතුවක් හෝ හේතුන් කිහිපයක් නිසා ටෙස්ලා යන නාමය ලෝකයට විවෘත උනේ සාමාන්‍ය  ජිවිතයේදි කව්රුවත් භාවිතා නොකරන චුම්බක ක්ෂේත පරිමාවන් මැනීම සදහා නම් කර ඇති සම්මත ඒකකය වන ටෙස්ලා විදියටයි. නමුත් කාර්මික විප්ලවයේ උපරිමය වන මේ අවසාන වසර එකසිය පනහ වගේ කාලය අතරින් අවුරුදු හැටක් පමණ ටෙස්ලාට අයිතියි. ඒ කිව්වේ ටෙස්ලා ඉපදුනේ 1856 දී. මිය ගියේ 1943 දී. මිය යන කොට ඔහුත් සමග වැලලී ගිය ටෙස්ලා ජීවය ලබන්නේ ඉතා මැත ඉතිහාසය තුලයි. ඒ ඉතිහාසය සොයා බලා තම නැණ නුවනින් විශිෂ්ටයා කව්රුන්දැයි සොයා බැලු මිනිසුන් නිසයි. ටෙස්ලා.. මං කිව්වට Tesla කියල ගූගල් කරන්න. ඔබට මම මේ කියන නිකොලා ටෙස්ලා පළමු තිරයෙන්ම හමු වේවිද??

Wednesday, February 3, 2016

පොඩි උන්ට කතා!! සුරංගනා කතා..!

“තාත්තෙ කතාවක් කියන්නකෝ“ 

ගෙදරට වෙලා මං එනකල් හොඳට සෙල්ලං කරමින් ඉන්න පොඩි කොලුවට එක පාරටම හැදෙනවා තද නිදිමතක්, මම ඇඟපත හෝදගෙන ආපු ගමන්ම. ඕන්න ඒ වෙලාවට තමා කතාවක් කියන්නය කියල ඒ හාදයා මට දිගින් දිගටම කොනිත්තන්නේ. පොඩි වැඩක්යැ.. හුස්මක් කටක් ගන්න කලින්, තඩි පොල්ලකින් ගහනවා වගේ වැඩක් උනත් අපේ හාදයගෙන් බේරෙන්න නං බැහැ. ඉතිං කොහොම හරි කතාව කියන්නම ඕන. මේ වෙන දේවල් හිමිජ්ජා වගේ බලන් ඉන්න ලොකු එකත් ඉස්කෝලේ වැඩ පැත්තක තියල හෙමින් සීරුවේ ඕං එනවා මගේ ගාවට. ඉතිං දෙන්න මයේ දෙපැත්තෙන් හාන්සි වෙලා තාත්තා කතාව කියන කල් බලාගෙන ඉන්නවා. ඔහේල දන්නවා නේ මට ඉතිං පොඩි කාලේ නොතිබුන ආසාවක් මේ අවුරුදු කීපය ඇතුලෙදි සුරංගනා කතා සම්බන්ධව ඇති උනා කියල. ඒක ඇත්තටම උනන්දුවක්. මේ උනන්දුව ඇති කලේ ඉංගිරිසියට පරිවර්තනය කරල තිබුනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් සුරංගනා කතාකරුවගේ පොතක් හේතුවෙන්. ඒකේ තියෙන සමහර කතා කියෙව්වාම මට හිතුනා මේ අපේ ජනකතා නේද කියලා. කෝම කෝම හරි අවසානයට බලන කොට හැම රටකටම ආවේණික විදියට හැඩ ගැසුනු එකම ජාතියේ කතා තියෙනවා කියල අන්න ඒ අවස්ථාවේදි මට හොයාගන්න ලැබුනා හිටං.

ඒකට කාරි නෑ මම දැං ආවේ කතා කියන්න නේ. ඉතිං ඔය විදියට හාන්ස්ගේ කතා, ග්‍රිම්ස්ලගේ කතා හෙම, හැබැයි රජෝ පොඩියට තියෙන කතා අපේ හාදයෝ දෙන්නට කියන්න ගත්තම, දවස ගානේ කිසි බේරිල්ලක් නැති සොඳුරු කරදරයක් තමා මටත් විඳින්න උනේ. අන්තිමට අපේ පොඩි හාදයට බත් ඩිංග කවා ගන්නත් සුරංගනා කතා කියවන්න වෙනවා නේ.. ඔය විදියට කතා දුසිං දෙක තුනක් පොඩි උන් දෙන්නට කිව්වට තාමත් හැමදාම හැන්දෑවට ඇඳට වැටුන ගමන් පොඩි එකා කියන්නේ “අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව“ කියන්නකෝ කියලයි. 

මේ සිංදු කියන කුරුල්ලා කතාව මම පොඩි එවුන්ට කියල දුන්නේ අර මම මීට කලින් දාලා තිබුන පුංචි නයිටින්ගේල් කතාව ඇසුරෙනුයි. ඒත් මේ ජාතකයක් විතර විසාල කතාව ඇදබාන්ට මට අමාරු හින්දා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරල කතාව කෙටියෙන් එළිදක්වන්නට මට සිද්ද උනා. අහල බලන්නකෝ මගේ පුංචි නයිටින්ගේල් ගැන.

ඔන්න පුතේ එකෝමත් එක කාලෙක ලෝකෙ තිබුනා ලස්සන රටක්. ඒ රටේ හිටියා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. මේ රජතුමාගේ මාළිගාව හරිම ලස්සනයි. ඒ වගේම විසාල උද්‍යානයකුත් මාලිගාව වටේටම පිහිටල තිබුනා. ඉතිං මේ රට බලන්න එන සංචාරකයෝ රජතුමායි, රටයි, මාළිගාවයි වර්ණනා කරල බෝහොම ලස්සන කතා පතුරවල තිබුනා. ඒත් ඔන්න එක දවසක් මේ රජතුමාගේ යාළුවෙක් වෙච්චි තවත් රටක රජකෙනෙක් ඇවිත් රජතුමාට කිව්වා මෙන්න මෙහෛම.

“රජතුමනි. කා් අර ඔබතුමාගේ ලස්සනට සිංදු කියන කුරුල්ලා“ 

ඔන්න බලන්නකකෝ අපේ රජතුමා මේ වෙනකං එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර රජතුමාට හොඳටම තරහ ගිහිල්ල තමන්ගේ අගමැතිට වහාම එන්න කියල පණිවිඩයක් යැව්වා. රජතුමා එයාගෙන් මේ ගැන ඇහුවට එයාවත් ඒ ගැන දන්නේ නැහැ. ඒ පාර රජතුමා අණ කරා මේ කුරුල්ලා හොයාගන්න කියලා. ඉතිං අර අගමැතිතුමා මුළු මාලිගාවේම ඉන්න අයගෙන් සිංදු කියන කුරුල්ලා ගැන ඇහුවට කව්රුවත් දැනගෙන හිටියේ නෑ. අන්තිමට කව්ද දන්නවද ඒ ගැන දැනං හිටියේ. රජතුමාගේ කුස්සියේ උදව්වට ඉන්න පුංචි ළමයෙක්. එයා කිව්ව මම දන්නවා ඒ කුරුල්ලා ඉන්න තැන. එයා ඉන්නේ මේ මාලිගාව පහු කරගෙන ගියාම තියෙන කැලේ මැද්දට වෙන්නට තියෙන ලොකු ගහක කියලයි. ඉතිං පුතේ, දැං අර පුංචි ළමයත් අඩගහගෙන ඔක්කෝම අය කුරුල්ලා හොයන්න ගියා. ඔහොම කැලේ ඇතුලට යන කොට හරිම නිස්සද්දයි. ඒ වගේම ගස් වල කොළ හෙමින් හෙමින් හුළගට හෙල්ලෙන කොට සර සර ගාලා සද්දයක් ඇහෙනවා. ඈතින් ගලන දොළ පාරක සද්දයත් නිසා හැමෝම හරිම පුදුමෙන් වගේ කැලේ ඇතුලට ගියා. එහෙම ගිහිල්ලා කන්දක් මුදුනේ තිබුන ලොකූ ගහක් ගාව නතර වෙච්චි අර ළමයා කිව්වා අන්න අර ගහේ තමා මේ සිංදු කියන කුරුල්ලා ඉන්නේ කියලා. ඉතිං කව්රුත් කිව්වා ඔයානේ එයාව දන්නේ ඒක නිසා කතා කරන්න කියලා. ඒ පාර පුංචි ළමයා කුරුල්ලට කතා කලා.

‘පුංචි කුරුල්ලෝ.. මෙන්න ඔයා බලන්න කට්ටියක් ඇවිල්ලා. පොඩ්ඩක් එන්නකෝ එළියට“

ඔන්න ඔහොම කිව්ව විතරයි පුංචි කුරුල්ලා හෙමින් සැරේ පියාඹගෙන ඇවිත් පහළ තිබුන අත්තකට වැහුවා. එතකොට අර ළමයා කිව්වා..

“පුංචි කුරුල්ලෝ.. ඔයා සිංදු කියන හැටි අහන්න අපෙ රජතුමාට ආසයිලු. ඒක නිසා ඔයාට අද රාජමාළිගාවට එන්න කියල තියෙනවා“ කියලා. එතකොට කුරුල්ලා කිව්වා.

“අනේ පුංචි දරුවෝ.. රජතුමාට කියන්න අද නං බැහැ කියලා. මොකද මට දැං ගියොත් ආයිත් මගේ කුඩුවට එන්න වෙලා මදි වෙනවා ඒක නිසා මං හෙට උදේට නොවැරදීම එනවා කියල කියන්න“ කියලා.

ඉතිං කට්ටිය ආපහු ආවා. කිව්වත් වගේ පහුවෙනිදා උදේ පාන්දරම කිචි කිචි ගාගෙන අර පුංචි කුරුල්ලා රාජ මාළිගාටව ආවා. ඉතිං මේකට සතුටු වේච්චි රජතුමා කුරුල්ලට පළතුරු කන්න දීලා, කිර ිබොන්න දීල ඉවර වෙලා සිංදුවක් කියන්න කියල කිව්වා. කුරුල්ලා කොච්චර ලස්සනට සිංදුව කිව්වද කිව්වොත් රජතුමාට තවත් සිංදු අහන්න ඕන උනා. ඉතිං පුංචි කුරුල්ලට තව සිංදු ගොඩාක් කියන්න උනා. ඒ පාර රජතුමා ආයිත් පළතුරු, කිරි දීල කුරුල්ලට කිව්ව ඔයා අද මාළිගාවේ ඉන්න කියලා. කුරුල්ලා කිව්වා.

“අපෝ බෑ රජතුමනි. මගේ ගෙදර තියෙන්නේ අර ඇත කැලෑවේ නේ.. මට මගේ ගෙදර යන්න ඕන. අනික මට ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා මං අද ගිහිල්ල ආයි දවසක එන්නං“ කියලා. මේකට රජතුමාට තරහ ගියා. ඇයි ඉතිං එයා රටේ රජතුමානේ. ඕන කෙනෙක් එයා කියන දේ අහන්න එපැයැ.

“එහෙම කොහොමද.. මමයි රජතුමා.. ඔයා මම කියන දේ අහන්න ඕන“ කියල තරහින් කිව්වා. ඒත් කුරුල්ලා ඇහුවේ නැහැ. එයා යන්නම ඕන කියල කියල යන්න හදන කොට රජතුමාට හොදටම තරහ ගිහිල්ල රාජපුරුෂයන්ට කිව්වා වහාම කුරුල්ලව අල්ලගන්න කියල. ඉතිං ඒ අය කුරුල්ලව අල්ලගෙන කුඩුවක දාලා හිර කරල තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ රජතුමා කුරුල්ලට සිංදු කියන්න කියල කිව්වා. ඒ පාර කුරුල්ලා අඩනවා.

“අනේ රජතුමනි. මට ගෙදර යන්න දෙන්න. මට දැං ගෙදර යන්න ඕන“ කිය කිය මහ හයියෙන් අඩන්න ගත්තා. කමක් නෑ දැං ඔහොම ඉදල හවසට සිංදු කියන්න පුළුවන් කියල රජතුමා ගියා. ආයි හවස එනකොටත් කුරුල්ලා අඩනවා. කෑමට තිබ්බ කිසිම දෙයක් කාලත් නෑ. වතුර බීලත් නෑ. දිගටම අඩනවා ගෙදර යන්න ඕන කියලා. ඉතිං හවසත් සිංදු කියනන් බැරි උන නිසා හෙට උදෙට හරි සිංදු කියවමු කියල රජතුමා හිතාගත්තා. උදේත් රජතුමා ආවා. එතකොට කුරැල්ලට ඇගට පණත් නැ. ඇයි ඉති ඊයේ ඉදලම මුකුත්ම කාලවත් බිලවත් නෑනේ. ඒත් අඩනවා ගෙදර යන්න ඕන කියලා. කමක් නෑ හවසට හරි සිංදු ටික කියවගන්නවා කියල රජතුමා ආයිත් හවස ආවා. අනේ කුරුල්ලට දැන් නං හිටගෙන ඉන්නවත් පණ නැ. ඒත් ගෙදර යන්න ඕන කියල හොදටම අඩනවා. කිසිම දෙයක් කාලත් නැහැනේ. මේක දැක්කම රජතුමාට දුක හිතිලා රාජපුරුෂයන්ට කිව්වා කුඩුව අරින්න කියලා. ඒත් වැඩක් තියෙනවාද? ඇයි.?? ඔව්.. කුරුල්ලට යන්න පණ නෑනේ. ඉතිං රජතුමා කුරුල්ලට කන්න ආයි පළතුරු ගෙනැත් දීල කිරි දීල කිව්වා.

“අනේ පුංචි කුරුල්ලෝ.. ඔයා ගෙදර යන්න. ගිහිල්ල ආයිත් පුලුවන් දවසක ඇවිත් සිංදු කියන්න“ කියලා. කැමට ටිකක් කාලා කිරි ටිකක් බිව්වට පස්සේ කුරුල්ලට පණ ටිකක් ආවා. ඉතිං ඒ පාර එයා යන්න යනකොට රජතුමාට කිව්වා.

“බොහොම ස්තුතියි රජතුමනි. මම දවස් දෙකකින් විතර ඇයිත් එන්නං“ කියල පියාඹල යන්න ගියා.

දවස් දෙකක් නෙමෙයි හතරක්ම ගත උනාට කුරුල්ලා ආයි ආවේ නැති නිසා රජතුමාට හරිම දුකයි. රජතුමා හිතුවා කුරුල්ලා හරිම බොරු කාරයෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට ඔන්න පස් වෙනි දවසේ උදේම කිචි බිචි ගාගෙන කුරුල්ලා ආවා රාජමාළිගයට. ඉතිං රජතුමාට බෝම සතුටුයි. ඒ පාර පළතුරු කන්න දීලා, කිරි දීල කුරුල්ලත් එක්ක ටිකක් කතාත් කරල සිංදු කීපයකුත් අහගෙන ආයි එනවා කියල කුරුල්ලා යන්න ගියා. ඔය විදියට නිතරම කුරුල්ලා රජතුමා හමු වෙන්න ආපු නිසා එ දෙන්න ගොඩක් දේවල් කතා කරල හොද යාළුවෝ වෙලා බෝම සන්තෝසෙන් කාලය ගත කළා..


හම්මෝ ඔය කතාව සමහර වෙලාවට දවසට දෙපාර හෙමත් කියන්න වෙන නිසා තවත් කෙටි කරන අවස්ථා හෙම තියෙනවා. වැඩ අධික දවසක ඕං කියයි නේ අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව කියන්න කියලා. අන්න ඒ වෙලාවට කොයි වැඩ තිබුනත් අපේ පුත්තරයා නං ඒවා තඹේකට ගනං ගන්නෙ නැහැ. මිනිහට කතාව කියන්නම ඕන. අන්න එ් වගේ දවසට මෙන්න කතාව.

ඔන්න එක රටක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ලස්සන සිංදු කියන කුරුල්ලෙක් හිටියා. දවසක් ඒ කුරුල්ලට ගෙදර යන්න ඕන කිව්වම තරහ ගියපු රජතුමා එයාව කුඩු කරල තිබ්බා. ඉතිං කුරුල්ලා සිංදු නොකිය දවස් තුනක්ම අඩන්න ගත්තා. මුකුතුම කැවේ නැ. ඒ පාර කුරුල්ලට හිටගෙන ඉන්න පණ නැ. මේක දැක්ක රජතුමාට දුක හිතිල කුරුල්ලට යන්න දුන්නා පුලුවන් දවසක එනන කියලා. ඉතිං කුරුල්ල නිතරම රජතුමා හමු වෙනන ඇවිත් සිංදු කියල කතා බහ කරල ඒ දෙන්න හොද යාලුවො ්උනා එච්චරයි.

හැක්.. ඔය විදියට කතාව ඉවර කරල එච්චරයි කියල කිව්වට පස්සේ මේ යකා අහනවා නේ..

“ඊත පත්තේ“ කියලා.. හැක් හැක්..

Sunday, January 31, 2016

පුංචි නයිටින්ගේල්!! (The Nightingale)



ඔය කට්ටිය දන්නව නේ චීනයේ අධිරාජයා වෙන්නේ චීන ජාතිකයෙක්. ඒක නිසා එයා වටේ ඉන්න හැමෝමත් චීන ජාතිකයෝම තමා කියලා. මේ කතන්දරේ සිද්ධ වෙලා සෑහෙන්න කාලයක් උනත්, කාටත් අමතක වෙන්න කලින් මේක කියන්න ඕන නිසාමයි දැං මං කතාව කියන්න යන්නේ.

අධිරාජයාගේ මාළිගාව, ලෝකේ තිබ්බ අරුම පුදුම තැනක්. ඉතාම වටින, සියුමැලි පිඟන් ගඩොලින් සම්පුර්ණයෙන්ම නිම කර තියෙන මේ මාලිගාව විශ්මිත නිර්මාණයක් කියල කියන්න හැකියි. උද්‍යානයේ පිපෙන්නේ ඉතාම දුර්ලභ මල් වර්ගයි. මේ අතරිනුත් ලස්සනම මල් වල මුදුනේ පුංචි රිදී සිනු සවි කරල තිබුන නිසා ඒ කන්කළු සීනු නාදය ඇසෙන තාක් කිසිම කෙනෙකුට මේ මල් දිහා නොබල එතනින් පා තබන්න සිදු වන්නෙ නැහැ. ඔව්. අධිරාජයාගේ උද්‍යානයේ තියෙන හැම දෙයක්ම නියම සැළසුමකට අනුවයි සිද්ධ උනේ. කොහොම උනත් උයන්පල්ලවත් දැනං හිටියේ නෑ මේ උද්‍යානයේ දිග පළල හරියටම කොයි තරංද කියලා. ඒ තරං විශාලයි. කිසිවෙකු මේ උද්‍යානයේ ඇතුලටම ගමන් කරනවා නං එයාට දැකගන්න පුළුවන් උසට උසේ ගස් වැවුන, ගැඹුරු විල් තියෙන කැලෑවක්. මේ කැලෑව අවසන් වෙන්නේ නීල වර්ණ ගැඹුරු මුුහුදට. ඒක නිසා මේ මුහුදේ ගමන් කරන නැව් අර කලින් කිව්ව ගස් වල අතු වලට යටින් තමා ගමන් කරන්නේ. මෙන්න මේ විශාල ගස් උඩ එක නයිටින්ගේල් කුරුල්ලෙක් එය තමාගේ වාසබවන කරගෙන හිටියා. නයිටින්ගේල් කුරුල්ලගේ නාදය කොයි තරං ප්‍රීතිමත් ගීතයක්ද කිව්වොත්, මුහුදේ මාළු අල්ලන්න දැල් එළන්න යන කිසිම දෙයක් නොදන්න ධිවරයන් පවා ඒ ගීත අහන්න නිතැතින්ම මොහොතක් නතර වෙනවා.

“කොයි තරං ඉමිහිරි නාදයක්ද?“ කියල කියන ධිවරයාට ඊළග මොහොතේදී නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව අමතක උනාට ඊට පහුවෙනිදා රෑට දැල් එළන්න යන කොටත් “කොයි තරං ඉමිහරි සංගීතයක්ද?“ කියල කියන්න නං අමතක වෙන්නෙ නැහැ.

ලෝකයේ විවිධ රටවල් වලින් දහස් ගණන් සංචාරයෝ එනවා අපේ අධිරාජයාගේ රටට, ඒ නගරයට. හැම සංචාරකයෙක්ම මේ නගරයේ ඇති විසිතුරු බව ගැන දැඩි ලෙස සතුටු වෙනවා. ඒ වගේම අරුම පුදුම මාලිගාව, විශාල උද්‍යානය දැකක්ම ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. ඒත් ඔවුන්ට අර නයිටින්ගේල් කුරුල්ලගේ ප්‍රීතිමත් ගීතය ඇහුනම ඔවුන් හැමෝම එක ලෙසින්ම කියන්නේ “මේ රටේ තියෙන හොදම දේ“ ඒ ගීතය කියලයි.

මේ සංචාරකායෝ ආපහු මව්රට ගියාම එකිනෙකාට නයිටින්ගේල් කුරුල්ලගේ ගිතය ගැන කියනවා. ඒ වගේම දැනුමැති සංචාරකයෝ චීන අධිරාජයා ගැන , එතුමාගේ මාලිගාව, රාජකීය උද්‍යානය ගැන මනරම් සංචාරක සටහන් ලියන කොට ඒ අයට කවදාවත් අමතක නොවෙන එක දෙයක් තමා අපේ නයිටින්ගේල් කුරුල්ලා ගැන ඉහලින්ම වර්ණනා කිරීම. එහෙම ලියපු දේවල් පොත් විදියට මුද්‍රණය වෙලා මුලු ලෝකේ පුරාම බෙදා හැරලත් තියෙනවා. ඒ අතරේ කවියන් අපේ නයිටින්ගේල් කුරුල්ලගේ ගීතය ගැන විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ පවා මුද්‍රණයෙන් නිකුත් කරල තියෙනවා.

මේ පොත් බොහොමයක් ලෝකේ පුරාම යනවා වගේම ඒවයින් කීපයක් චීනයටත් එනවා. තවත් පොත් කිහිපයක් අධිරාජයාගේ මාලිගාවටත් ලැබෙනවා. ඉතිං මෙහෙම ලැබෙන පොත්, කියවන අපේ අධිරාජයා එයාගේ රට, මාළිගාව, උද්‍යානය ගැන අනේකවිධ වර්ණනා කරල තියෙන හැටි දැක්කම සන්තේසයෙන් කුල්මත් වෙනවා. ඒත් මේ හැම දේටම වඩා වර්ණනා කරල තියෙන්නේ “නයිටින්ගේල් කුරුල්ලා“ ඇරත් මුද්‍රණය කරපු පොතක.

“මේ මොකක්ද... නයිටින්ගේල්“ අධිරාජයා පුදුම වෙනවා. “මේක වෙන්න පුලුවන්ද,. මගේම අධිරාජ්‍යයේ මගේම නගරයේ මගේම රාජකීය උද්‍යානයේ ඉන්න කුරුල්ලෙක් ගැන පිටරැටියෝ මෙච්චර වර්ණනා කරද්දී මං ඒ ගැන දන්නේ නැහැ. මට දැං ඒ ගැන හොයන්නම වෙනවා“ අධිරාජයා හිතන්න පටන් ගන්නවා.

ඉතිං මේ ගැන අහන්න අපේ අධිරාජයා තමන්ගේ වැඩ බලන සාමිවරයා කැඳෙව්වා. තමන්ට වැඩිය පහළ නිලයක ඉන්න කවුරු ප්‍රශ්නයක් ඇහුවත් මේ උඩගු සාමිතුමා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ.

“මේ මිනිස්සු කියනව නේ අරුම පුදුම සිංදු කියන නයිටින්ගේල් කුරුල්ලෙක් මගේ උද්‍යානයේ ඉන්නවා කියලා.. ඒ මදිවට මගේ අධිරාජ්‍යෙය් තියෙන වැදගත්ම දේත් ඒ කුරුල්ලලු. ඇයි මේ ගැන මාව දැනුවත් කරල නැත්තේ..??“ අධිරාජයා කෝපයෙන් විමසනවා.

“උතුමාණනි, ඔය කියන නම මම මීට කලින් අහල නැහැ. ඒ වගේම ඔය නයිටින්ගේල් කාරයා කවදාවත් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ“ අපේ සාමිවරයා උත්තර දෙනවා.

“මම අණ කරනවා අද හවස් වෙනකොට මේ කුරුල්ලා මගේ ඉදිරිපිටට පමුණුවල සිංදු කියවන්න ඕන කියලා. තේරුනාද.. අම්මප මේ ලෝකේ ඉන්න හැම එකාම මට වැඩිය දන්නව නෙව මට තියෙන දේවල් ගැන“ අධිරාජයා අණ නිකුත් කළා.

“උතුමාණෙනි, මා මේ ගැන හාංකවිසියක් නොදන්නවා උනාට ඔය නයිටින්ගේල් ව හොයල මං ඔය හාදයම උතුමාණන් ළග දන්ගස්සවනවා“ අපේ සාමි වරයා යටහත්ව උත්තර දෙනවා.

කොහෙන් කියන හොයන්නද? සාමිතුමා උඩට දුවනවා. පල්ලේහාට දුවනවා, මාලිගේ හැම කාමරයක් ගානේ කෝරිඩෝවක් ගානේම දුවනවා. ඒත් මේ නයිටින්ගේල් ගැන දන්න කිසිවෙක් එතුමාට හමු උනේ නැහැ. ඉතිං ඒක නිසා සාමිතුමා ආයිත් අධිරාජයා ගාවට දුවනවා. “අනේ උතුමාණනි, මේ කාගේ හරි බොරු කතාවක් වෙන්ටැති. එක්කෝ මේ පොත් කාරයෝ හිතිං මවාගත්ත එකක් වෙන්ටැති. නැත්නං මහා රහසක් වෙන්ටැති. සමා අවසර මට කිසිම හෝඩුවාවක් ලැබුනේ නැහැ උතුමාණනි“ දනින් වැටී අපේ සාමිතුමා තමන්ගේ විමර්ශනය ගැන අධිරාජයාට තොරතුරු දැනුම් දුන්නා.

“මේ පොත මගේ ආරණිය මිත්‍රයෙක් වෙන ජපන් අධිරාජයා එවපු පොතක්. ඒක නිසා මේක කොහෙත්ම බොරු ගොතාපු, මඩ පත්තර පොතක් වෙන්ඩ බැහැ. ඒක නිසා අද හවස් වෙද්දි මට මේ නයිටින්ගේල් හොයල ගෙනැත් දෙන්න ඕන. නැත්නං දන්නවා නේ මම අධිරාජයෙක්. මුළු රාජ සභාවෙම ඉන්න උන්ගේ බුරිය යටින් හිල් කරනවා. තේරුනාද.. යනවා දැං“ අපේ අධිරාජයාට බොහොම කේන්ති ගිහින්.

“ගැත්තාට අනුකම්පා කරත්වා උතුමාණනි“ කියමින් බයේ ගැහි ගැහි සාමිතුමා ආයිත් උඩට දිව්වා, කාමර ගානේ කොරිඩෝ ගානේ දුවන්න ගත්තා. ඒ පාර රජ සභාවෙන් බාගයක්ම සාමිතුමාත් එක්ක දුවන්න ගත්තා, ඇයි ඉතිං කව්ද කැමති බුරියට පහලින් හිලක් විදගන්න.

මේ නයිටින්ගේල් ගැන විශාල වශයෙන් ප්‍රශ්න කරන්න, සාක්කි කැඳවන්න කටයුතු කරල තිබුනා. මුලු ලෝකේම මිනිස්සු දැනගෙන හිිටියට තමන්ගෙ රටේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදි මේ ගැන යමක් දන්න කෙනෙක් ඔවුන්ට හමු උනා. ඇය කුස්සියේ වැඩ කරන දුප්පත් අහිංසක ගැනු ළමයෙක්.

“ආ. අපේ කුරුල්ලා.. මං එයාව හොදට දන්නවා. ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හැම හවසකම මම යනවා ලෙඩ වෙලා ඉන්න අපේ අම්මට මේ ඉතිරි පහද වෙච්චි කෑම ටික දීල එන්න. ඈ ඉන්නේ වෙරළ අයිනේ නේ. කැලේ මැද්දෙන් යන කොට මහන්සි නිසා මම අර උස ගස් තියෙන තැන නවතිනවා. ඔන්න එතකොට තමා මට ඒ සිංදුව ඇහෙන්නේ. ඒක ඇහුවම මගේ ඇහැට කඳුලුත් එනවා. ඒක හරියට අම්මා මාව ඉඹිනවා වගෙයි දැනේන්නේ“ අහිංසක දරුවා එහෙම කිව්වා.

“දරුවා. මං උඹව අද පටන් ජිවිතාන්තය දක්වාම ප්‍රධාන අරක්කැමියා විදියට පත් කරනවා. තව ඕන නං අධිරජ උතුමා අහර කිස කරන ආකාරයත් බලන්න දෙන්නං. හැබැයි මං එහෙම කරන්නේ ඔය ළමයා අපිව අර රාජ සභාව ඉදිරියේ පමුණුවන්න නියමිත නයිටින්ගේල් කාරයා ගාවට අරගෙන යනව නං විතරයි“ සාමිවරයා දැරියට කරුණාවෙන් මේ ටික කිව්වා.

ඉතිිං මේ කට්ටිය ඔක්කෝම නයිටින්ගේල් කුරුල්ලා හොයාගෙන කැලේට ගියා. ඒ අතරේ රාජ සභාවේ බාගක්ම බයටම කැලේට ගියා. ඒ යන අතරේ කැලේ මැදදි ගවයෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“ඕහ්.. අන්න ඇහුනද. ඒක තමයි. කොයි තරං බලසම්පන්න කටහඩක්ද පොඩි ඇගක් තිබුනට.. මං හිතන්නේ මට ඇහුනේ නයිටින්ගේල් කුරුල්ලගේ සිංදුව“ එක සභිකයෙක් සතුටෙන් බෙරිහන් දෙන්න ගත්තා.

“අයියෝ නැ. ඒ හරකෙක් කෑ ගාන්නේ. අපි තව දුර යන්න ඕන“ පත්වීම් ලබන්න නියමිත ප්‍රධාන අරක්කැමියා කිව්වා.

ඊට පස්සේ පඳුරු අස්සේ ඉදල ගෙම්බෝ කෑ ගාන සද්දේ ඇහුනා.

“පුදුමයි. විශ්මයජනකයි. පල්ලියේ සීනුවා නාද වෙනවා වගේ මට දැං ඇහෙනවා“ තවත් සභිකයෙක් කියවන්න ගත්තා.

“අයියෝ ඒ ගෙම්බෝ බක බක ගාන්නේ.. තව ටික දුරයි“

ඔන්න එතකොටම නයිටින්ගේල් කුරුල්ලා සිංදු කියන සද්දේ ඇහෙන්න ගත්තා.

“අන්න ඒක“ පුංචි ගෑනු ළමයා කිව්වා. “සද්ද කරන්න එපා.. අහගෙන ඉන්න. අර අර ඈත වාඩි වෙලා ඉන්නේ“ ගහක අත්තක වාඩි වෙලා ඉන්න පුංචි අළුපාට කුරුල්ලෙකු දිහාට අත දිගු කරමින් ඇය ඔවුන්ට කුරුල්ලාව පෙන්නුවා.


“මේක වෙන්න පුලුවන්ද?“ සාමිතුමා මොර දෙනවා. “මම කවාදාවත් හිතුවේ නැහැ මෙයා මේ වගෙයි කියල. සමහර විට මේ ඇවිත් ඉන්න වැදගත් රාජ සභිකයෝ ටික දැක්කම මිනිහත් කළු වෙලා යන්න ඇති“ බෝම උඩගුවෙන් ඔහු කියන්න පටන් ගත්තා.

“පුංචි කුරුල්ලෝ.... අපේ ගරු අධිරාජ උත්මයන් වහන්සේට ඔයා කියන සිංදු අහන්න ඕනලු“ පුංචි දැරිවි කුරුල්ලට කිව්වා.

“හරිම සතුටුයි ඉන්න“ කියපු නයිටින්ගේල් තව ලස්සනට සිංදුව කියන්න ගත්තා.

“හරියට වීදුරු වලින් හදුපු සීනු වලිනි එන මිහිරි නාදය වගෙයි.. අර බලන්න උගේ පුංචි බෙල්ල වේගෙන් ගැහෙන හැටි. මට හරි පුදුමයි අපි මෙයා ගැන මීට කලින් අහල නැති එක ගැන.. කිසිම සැකයක් නෑ මෙයා රාජ සභාවෙදි ලස්සනට සිංදු කියාවි“ සාමි තුමා කිව්වා.

“අධිරාජ උතුමන් වෙනුවෙන් මං ආයිත් ගායන කරන්නද?“ නයිටින්ගේල් සතුටින් ඇහුවා.

“මගේ පුංචි කුරුලු පැටියෝ.. මම තමා ඔයාව උතුමාණන් ගාවට රැගෙන යන්න එවපු සාමිවරයා. ඔයා අද හවස රාජ සභාවේදි මේ දස්කම් දැක්විය යුතුයි. අපේ උතුමාණන් ඔබගේ මිහිරි නාදය නිසා බොහොම සතුටට පත්වේවි“ සාමිතුමා කිව්වා.

“මගේ සිංදු හොදට කියන්න පුලුවන් මේ කැලේ ඇතුලෙදි තමා.“ ඒත් අධිරාජයාගේ කැමැත්ත ඒකනං ඒකට ඉඩ දෙන්න ඕන කියල නයිටින්ගේල් මේ අයත් එක්ක රාජ මාළිගයට යන්න පිටත් උනා.

මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම මාළිගාව හොදින් සුදානම් කරල තිබුනා. පිගන් ගඩොල් බිත්ති, පොළව රන් පහන් දහස් ගානකින් නිකුත් කරන දීප්තිමත් කිරණ වැදිල දිලිසෙනවා. රිදී සීනු අමුණපු ලස්සන මල් පෝච්චි රාජ මාළිගය ඇතුලටම ගෙනැත් තිබුනා. මාලිගාවේ කොයි තරං කලබලයක් තිබුනද කිව්වොත් කව්රු හරි කතා කරනකම්ම එතැන නොයෙක් විදියට අර පුංචි සීනු අතොරක් නැතිව නාද වෙමින් පැවතුනා.

රාජ සභාව මැද්දෙම සිංහාසනයක් මත අධිරාජයා ආසනාරූඬ වෙලා හිටියා. නයිටින්ගේල් කුරුල්ල වෙනුවෙන් රනින් කළ ආසනයක් සකස් කරල තිබුනා. මුළු රාජසභාවම ඇවිත් හිටියා උනත් අර පුංචි දැරිය රාජසභාවේ දොර පිටුපසින් නවත්තලයි තිබුනේ. සාමිතුමා විසින් නිල වශයෙන් ඇය “රාජකීය තඩිබාන්නා“ විදියට පත් කරල තිබුනා. හොදින් ඇද පෑලඳගෙන හිටු සියල්ලෝම රජතුමාගේ අනුමැතිය ලැබෙන හිස සෙලවීමේ විධානය ලැබෙන තෙක් නයිටින්ගේල් දිහාම බලාගෙන හිටියා.

අධිරාජයගේ ඇහෙන් කඳුලු කැට කඩා හැලිලා ඒවා කම්මුල් දිගේ ගලා යන විදියටම කුරුල්ලා ලස්සන සිංදුවක් කිව්වා. ඊට පස්සේත් බොහොම මිහිරි සිංදු එයා කිව්වා. ඒකෙන් රජතුමාගේ හදවත හොදටම මෙළෙක් උනා. අධිරාජයා කොයි තරං සංවේදි උනාද කිව්වොත් තමන්ගේ රන් සෙරෙප්පුවක් නයිටින්ගේල් කුරුල්ලගේ බෙල්ලේ එල්ලන්න තරං හිත් උනා. තමන්ට මේ වෙනකොටත් ලැබුණ පිළිගැනීම ප්‍රමාණවත් කියල කුරුල්ලා ඒ තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කළා.



“උතුමාණන්ගේ ඇහෙන් කඳුලු ගලා යන හැටි මම දැක්කා. ඉතිං ඊට වඩා තැග්ගක් තවත් නැහැ. අධිරාජයෙකුගේ කඳුලු කියන්නේ බොහොම බලසම්පන්න ආයුධයක්. මට උවමනා දේ ලැබුනා තවත් දේ ඕන නැහැ“ කිව්ව නයිටින්ගේල් පුදුමාකාර ලස්සනට ආයිත් ගයන්න පටන් ගත්තා.

“මේ වගේ ප්‍රසංගයක් අපි කවදාවත් දැකල නැහැ“ ආදිපාදවරියෝ මුමුණන්ට උනා. නයිටින්ගේල් ගැන තරහක් තිබුන මේ අය තමන්ගේ කටේ වතුර පුරවන් හිටියේ බැරි වෙලා හරි කව්රු හරි කතා කළොත් ගර් ගර් ගාලා කතා කරන්න. කවාදාවත් සතුටු කරන්න බැරි හැම දෙනාමත් කුරුල්ලගේ සිංදු නිසා සතුටු උනා. මුළු රාජ සභාවම සතුටට පත් උනා. ඉතිං හැම දිනකම රාජ සභාවේ පෙනී හිටින්න නයිටින්ගේල්ට සිද්ධ උනා. එයාට වෙනම කුඩුවක්, වෙනම කකුලට ගැට ගහපු පටියක් ඒ පටිය අල්ලගත්ත මිනිස්සු දොළොස් දෙනෙක් ලැබුනා. දවසට දෙවරක් පටියේ දුරට ඇවිදින්නත් ලැබුනා. ඒ ඇවිදින කොට නං ඒ තරං සතුටක් ලබන්න අපේ කුරුල්ලට බැරි උනා.

නගරයේ ඉන්න හැමෝම මේ ගැන කතා උනා. කොටින්ම අන්ත් කෙනා “ගේල්“ කියන්න කලින් කිසිම කෙනෙකුට නයිට් කියල ඉවර කරන්න ලැබුනෙත් නැහැ. කෝම හරි ඌරු මරන්නන් එකොලොස් දෙනෙකුගේ ම දරුවන්ට “නයිටින්ගේල්“ යන නම තියල තිබුනට ඒ කාටවත් සිංදු නං කියන්න බැහැ.

එක දවසක් අපේ අධිරාජයාට පාර්සලයක් ලැබුනා. ඒකේ ලියල තිබුනේ “නයිටින්ගේල් කුරුල්ලා“ කියලයි.


“ආහ්. මේ අපේ කුරුල්ලා ගැන තවත් පොතක් වෙන්ටැති කියල හිතාගෙන පාර්සලේ කඩපු අධිරාජයාට දැක ගන්න පුලුවන් උනේ, තමන්ගේ ආදරණිය මිත්‍ර ජපන් අධිරාජයා එවපු අරුම පුදුම සෙල්ලං කුරුල්ලෙක්. හරියටම නයිටින්ගේල් කුරුල්ල වගේමයි. ඒකේ තිබුනා යතුරක් ඒක කරකවල වයින් කරල තිබ්බම හරියටම නයිටින්ගේල් වගේම නැත්නං ඊටත් ලස්සනට සිංදු කියනවා. මේ යකඩ කුරුල්ලගේ බෙල්ලේ මෙන්න මෙහෙම වැකියක් තිබුනා. “චින අධිරාජයාගේ නයිටින්ගේල් හා සම කරන්නේ නම් ජපන් අධිරාජයාගේ නයිටින්ගේල් කුරුල්ලා ඉතා කුඩා දෙයකි“

මාලිගාවේ හිටි හැමෝම යඩක කුරුල්ලා ලස්සනයි කියල කියන්න ගත්තා. අන්තිමේදි මේ පෙට්ටිය අරං ආපු කෙනාට නිල වශයෙන් “රාජකීය ප්‍රධාන නයිටින්ගේල් බලාගන්නා“ වශයෙන් පත් කළා.

“අපි දෙන්නම එකට තියල සිංදු අහමු. ඒක මොන වගේ වේවිද බලමු“ සභිකයෝ යෝජනා කළා. ඉතිං දෙන්නම එකට සිංදු කිව්වා. ඒක එච්චර හොදට තිබුනේ නං නැහැ. මොකද නියම නයිටින්ගේල් තමන්ගේ හිතට එන සිංදුවක් කිව්වට යකඩ නයිටින්ගේල් එකම සිංදුව කිව්ව නිසා.

“නෑ නෑ මේක අලුත් එක්කෙනාගේ වැරැද්දක් නමෛයි. එයා හරි විදියට තාල තියනවා. මං කියල දුන්න වගේම“ රාජකීය සංගීතඥයා විස්තර කරන්න ගත්තා. එයින් මෙයින් යකඩ කුරුල්ලා තනියම සිංදු කියන්න දැම්මා. නියම නයිටින්ගේල් සිංදු කියනව වගේම එතකොට යකඩ කුරුල්ලා සිංදු කිව්වා. කිසිම වෙහෙසක් නැතිම එක දිගට එකම සිංදුව තුන්සිය තිස් පාරක් ලස්සනට කියන්න මෙයාට පුලුවන් උනා. ඒත් රාජසභිකයන්ට තවත් ඒක අහන්න ඕන උනත්, අධිරාජයා කිව්වා දැං අපි නියම කුරුල්ලාට අවස්ථාව දෙන්න ඕන කියලා. කෝ එයා.. කිසිම කෙනෙක් දන්නෙ නැහැ. අර සිංදුවට වහ වැටුන වෙලාවේ මේ කුරුල්ලා කොහාට හරි ගිහින්. එයා ඇරල තිබුන කවුලුවෙන් පියාඹලා ආයිත් තමන්ගේ පුරුදු වනයටම ගියා.

“එයා මෙහෙම යන්න හේතුවක් තියෙන්න එපැයැ“ කියමින් අධිරාජයා උන්නා.

අන්න එතකොට රාජ සභිකයෝ නියම නයිටින්ගේල් ද්‍රෝහියෙක් බවත් කෙළහිගුණ නොදන්න සතෙක් බවටත් දෝස්මුර කිව්වා. ඒත් ඊට වඩා හොද කුරුල්ලෙක් අපිට ඉන්න නිසා සතුටු වෙන්න පුලුවන් කියල රජතුමාවත් අස් වස්සන්න මේ අය අමතක කලේ නැහැ. යඩක කුරුල්ලා හැම අතින්ම වටිනවා කියල තමා අන්තිමට තීරණය උනේ. මොකද එයාගේ මිහිරි සිංදු, ඇගේ තිබුන රන් ආලේපය, මැණික්, දියමන්ති නිසා දිලිසෙන ශරිරය, ඒවා නිසා යඩක කුරුල්ලා නියම කුරුල්ලට වඩා වැදගත් බව මේ අය තේරුම් ගත්තා.

“නෝනාවරුණි මහත්වරුණි.. ඔබට දකින්න පුලුවන් නේද සියලු රාජකීය දෙයින් හෝ නියම නයිටින්ගේල් කුරුල්ලාගෙන් බලාපොරෙත්තු විය නොහැකි ස්ථිර යමක් මේ කෘතිම කුරුල්ලා වෙතින් අපට ලැබෙන බව. මොකද ඒකේ හැම දෙයක්ම පෙර සැලසුමකට අනුවයි වෙන්නේ. ඒක නිසා අතරමග වෙනස් කම් දකින්න ලැබෙන්නේ නැහැ. පරිපුර්ණතාවය කියන්නේ මේකට තමා. හරියට අධිරාජයෙකුගේ ජිවිතය වගේ.. හෙට මම මෙය මහජන ප්‍රදර්ශනය සදහා තබන්න නියම කරනවා.‘ අධිරාජයා මෙහෙම කියල පහු වෙනිදා ඒ ප්‍රසංගය තිබුනම හැම මනුස්සයටම පුදුමෙන් “ඕහ්“ කිය කිය අත් දිගු කරමින් තම සතුට පල කරා. ඒත් අර දුප්පත ධිවරයට විතරක් පොඩි ප්‍රශ්නයක් තිබුනා. හැමදේම හොදයි.. සිංදුවත් හොදයි.. ඒත් ඒත් නියම නයිටින්ගේල් කුරුල්ලා ගායන කරන කොට තියෙන යම් දෙයක් මේ කුරුල්ලා තුල නැතිබව ඔහුට තේරුනා. ඒත් ඒ මොකක්ද කියල නිච්චියටම කියන්න ඒ අසරණයට පුලුවන් කමක් තිබුනේ නැහැ.

නියම කුරුල්ලා තම භූමියෙන් පලා ගොස් තිබු හෙයින් එතැන, ඒ රන් ආසනය යඩක කුරුල්ලට නිතැතින්ම හිමි උනා. පසුව ඌ රජතුමාගේ සයනාගාරයේ පසෙකින් තබා තිබූ අතර, නිල වශයෙන් “අධිරාජයා සැතැප්පවීමේ රාජකීය ගායකයා“ යන ගෞරව නාමය ලබා දී තිබුනා.

රාජකීය සංගීතඥයා විසින් වෙළුම් විසි පහකින් යුත් ග්‍රන්ථයක් පළ කරමින් යකඩ කුරුල්ලා වර්ණනාවට ලක් කර තිබුනා. කෝටි ගානක් සංයුක්ත චීන අකුරු තිබුනු මේ පොත කව්රුවත් හරියට කියවල නැති උනත් බුරියට පහලින් සිදුරු විඳගැනීමට ඇති නොකැමැත්ත නිසාම ඒ ග්‍රන්ථය මහතා වටිනා එකක් බවට අදහස් පල කරන්නට කිසිවෙකුත් පැකිලුනේ නැහැ.

යකඩ කුරුල්ලා ඇවිත් වසරක් ගත වන විට අධිරාජයත්, රාජ සභිකයන්, සාමිවරු ඇතුලු හැම දෙනෙක්ම මේ කුරුල්ලගේ පුංචි නාදයක් පවා කඩපාඩමින් දැන ගෙන උන්නා. අධිරාජයේ තුඩ තුඩ රැව්දුන් ජනප්‍රියම ගිතය උනේ මේ යකඩ කුරුල්ලගේ ගීතය තමා. කොටින්ම අධිරාජයා පවා එය ගායනා කලා.

ඒත් එක් අවාසනාවන්ත රාත්‍රියක, රජතුමාගේ සයනය ආසන්නේ මේ කුරුල්ලා තම ගීතය ගායනා කරමින් සිටින විට ට්‍රැං ට්‍රැං හඩක් එක්ක කුරුල්ලගේ බඩේ තිබ්බා මොකක් හරි එකක් කැඩුනා කියල අධිරාජයට තේරුනා. ඔක්කෝම දැති රෝද කැරකිල්ල නැවතිලා අර ලස්සන සංගිතයත් නැවතුනා. ඇදෙන් පැන්න අධිරාජයා මේක තමන්ගේ රාජකීය භෞත චිකිත්සක වෙත යොමු කලත් ඒ හාදයට කරන්න පුලුවන් දෙයක් තියේද? ඉතිං ඒ පාර ඔරලෝසු කාර්මිකයෙකු වෙතට මේ යකඩ කුරුල්ලා ගිහින් දෙන්න උනා. එයා මේක හොදට පරික්ෂා කරල කැඩිච්චි ඒවා හදලා ආයිත් දුන්නේ මේක හොදටම ගෙවිල ගිහින් නිසා අලුතෙන් කෑලි දාන්න වෙයි කියලයි. මේ හේතුව නිසා අවුරුද්දකට එක පාරක් පමණක් කුරුල්ලා සිංදු කිව යුතු යැයි තිරණය උනා. කොයි තරං නරක දෙයක්ද? ඒ තරං ඉවසන්න පුලුවන් කමකුත් නැහැනේ. අධිරාජයා හැමදාම නිදාගන්නේ කෝමද? මේ වෙලාවෙදි අළුත්වැඩියාව සම්බන්ධව චින අකුරු බර ගානක තමන්ගේ ඇගයීම් කතාව කරපු රාජකීය සංගීතඥයා නිසා යකඩ කුරුල්ලා පෙර තිබුන තත්වයටත් වඩා හොදට ඉන්නවා කියල අධිරාජයා තේරුම් ගත්තා.

සාමකාමී අවුරුදු පහක් චීනයට අවසන් උනා. ඊට පස්සේ රටට ඇත්තටම දුක්ඛදායි කාලයක් උදා උනා. සියලු චින ජාතිකයන් ආදරය කරපු අපේ අධිරාජයා ලෙඩ  ඇඳට වැටිලා. මරණාසන්නයි. කොයි එකටත් සුදානං වෙන්ට කියල හිතල අළුතෙන් අධිරාජයෙක් පවා නම් කරලයි තිබුනේ. මාළිගාව වට කරගෙන දුකින් පීඩිත වෙලා තමන්ගේ අධිරාජයා ගැන සොවින්ම රටේ මිනිස්සු අර සාමිතුමාගෙන් අධිරාජයාගේ තත්වය කොහොමද කියා විමසන්නට උනා. ඒත් දන්නව නේ එයා දෙන උත්තරයක් නැහැ කියලා.

රාජකීය සයනය මත සීතල, සුදුමැලි වෙච්චි අධිරාජයා සැතපිලා හිටියා. සියලු රාජසභියක් හිතුවෙ අධිරාජයා දැන්නං මැරිල ඇති කියලයි. ඒක නිසා ඒ අය අධිරාජයාට අවසන් ගෞරව දක්වන්න සැදි පැහැදි හිටියා. මේවා ගැන සෝදිසියෙන් හිටපු මාළිගාවේ සේවකයෝ  ඇති තරං ඕපාදුප පර්‍චාරය කරන්න ගත්තා. මුළු මාලිගාව පුරාම කාමර වලත් කොරිඩෝ වලත් පා තබන ශබ්දය නෑසේන විදියට මේට්ට අතුරල තිබුනා නිසා, මාළිගාවම අන්ධකාර නිශ්ශබ්දතාවයකයි තිබුනේ. ඒක හරියට මළ ගෙදරක වගේ. ඒත් අධිරාජයා තවම මිය ගිහින් නැහැ. සිනිඳු වෙල්වට් අතුරල, රන්වන් ටසල් වලින් අලංකාර  වූ රාජකීය සයනය මත අපහසුවෙන් සුදුමැලිව ඉන්න රජතුමා මතටත් ඔහුගේ  කෘතිම නයිටින්ගේල් කුරුල්ලා මතටත් විවෘතව තිබු කව්ලුවෙන් එබුනු සඳකැන් වැටී තිබුනා.

අසරණ අධිරාජයාට හුස්ම ගන්නත් අමාරුයි. හරියට කව්රු හරි මහත කෙනෙක් පපුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවක හුස්ම ගන්න තරම්ම අමාරුයි. අපහසුවෙන් ඇස් ඇරිය අපේ අධිරාජයා දැක්කේ ඒ වාඩි වෙලා ඉන්නේ, තමන්ගේම රාජකීය ආභරණ වලින් සැරසිලා, රාජකීය මුදාව එක අතකත්, රාජකීය අසිපත අනිත් අතිනුත් දරාගෙන ඉන්නා තමන්ගේම මරණය බවයි. සයනාගාරයේ රතු පැහැති වෙල්වට් තිර වලට මුවා වෙමින් ඉතා හුරුපුරුදු මුහුණු රාශියක් තමන් දිහා බලා සිටින බවත් අධිරාජයා දැක්කා. මරණය තමා අසලින්ම වාඩි වී සිටින මේ වෙලාවේ ඒ අයුරින් තමා දිහා බලා ඉදින්නේ තමන්ගේම වත්කම්, හොඳ හා නරක යන දේවල් බවයි අධිරාජයා දැක්කේ.

“ඔබට අමතකද?“ සතර අතින්ම ඒ අය ප්‍රශ්න කරන්න ගත්තා. “මතක නැතිද?“ අධිරාජයාගේ නළල පුරාම දහඩිය ගලන්න උනා. 

“නෑ නෑ මට මතක නැහැ. අනේ සංගීතය සංගීතය. කෝ.. ඔය සංගීතය.. මගේ පුංචි රත්තරන් කුරුල්ලෝ.. මම උඹට කොයි තරං තෑගි දුන්නද, මගේ රත්තරන් සෙරරෙප්පුවත් මම උඹගේ කරේ එල්ලුවා. ඒක නිසාවත් සිංදු කියපං“ අධිරාජයා මරු විකාරෙන් බෙරිහන් දුන්නා. ඒත් කුරුල්ලා නිහඩයි. උගේ යතුර කරකවන්නවත් කෙනෙක් අහල පහල නැහැ. මරණය කුරුල්ලා දිහාත් බලාගෙන හිටියා. ඒක නිසා කුරුල්ත් නිහඩයි. ඇත්තෙන්ම කුරුල්ලා මාරාන්තික නිහඩතාවයක.


එක පාරටම ජනේලය අද්දරින් සංගීත රාවයක් ඇහෙන්න ගත්තා. මේ අර නියම නයිටින්ගේල් කුරුල්ලා. ඌට අධිරාජයාගේ වේදනාත්මක අවසන් ඉල්ලිම ඇහුන නිසා අධිරාජයා වෙනුවෙන් පැමිණ තිබුනා. කුරුල්ලා ගීතය ගයද්දී, අර භූතාත්ම සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඒ අය සුදු මැලි වෙද්දි රජතුමාගේ සුදුමැලි සිරුර ඇතුලේ නාල වල හෙමින් හෙමින් ආයිත් රුධීරය ගලන්න පටන් ගත්තා. මේක දැකපු අධිරාජයගේ මරණයත් “අනේ අනේ තව සිංදුවක් කියන්න කුරුල්ලෝ“ කියමින් බෙරිහන් දෙන්නට ගත්තා.

“ඒත් රජතුමාගේ ඇඳුං ආයිත්තං ටිකයි, කඩුවයි, මුදාවයි ඔයා ආයි දෙනවද“ කුරුල්ලා මරණයෙන් ඇසුවා.

ඉති මේ ඔක්කෝම සිංදුවට හිලව්වට දෙන්න එයා පොරොන්දු උනා. නයිටින්ගේල් කුරුල්ලා සිංදුව කියද්දී පල්ලියේ උද්‍යනයේ තිබු සුදු රෝස මල් පිපිලා ඒවයින් සුවද විහිදෙන්න ගත්තා. ඒක නිසා මුළු පරිසරයට සුගන්දයෙන් පිරි‘තිලා තිබුනා .එ් සුවද හෙමින් සැරේ අැරපු කව්ලුවෙන් අධිරාජයාගේ සයනාගාරයත් ඇවිත්. උද්‍යානයේ තණකොළ ලස්සනට කොළපාට වෙලා. මේවා දැකපු මරණය ආයිත් තමන් හිටපු තැනටම යන්න ගියා. එයා ගියා විතරයි හරිම පහසු සිහින් සුළගක් මුළු කාමරය පුරාම පැතිරෙන්නට ගත්තා.

“අනේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ස්වර්ගයෙන් ආපු මගේ පුංචි කුරුල්ලෝ.. මං ඔයාව එළවගත්තා. ඒත් උඹ හරිම කරුණාවන්තයි. මාව මරණයෙන් ගලවාගන්න සිංදු කියන්න ආවා. මං උඹට සදා ණය ගැතියි මගේ පුංචි කුරුල්ලෝ“ අධිරාජයා මරණෙන් නැගිට කරුණාබරිතව කුරුල්ලට කිව්වා.

“උතුමාණනි ඔබතුමා දැනටමත් මට ඒ ණය ගෙවලා අවසානයි. ඔබට මතකද මම ඉස්සෙල්ලම දවසේ සිංදු කියද්දි ඔබගේ ඇස් වලින් කඳුලු ගලා ගියා.  කලාකාරයෙකුට ලෝකයේ තියෙන ලොකුම මැණික ටත් වඩා ඒ කඳුලු කැට වටිනවා. ඒක නිසා දැං නිදාගත්ත රජතුමණි. මම සිංදු කියන කොට ඔබතුමා තව තවත් ශක්තිමත් වේවි“ එසේ කියපු නයිටින්ගේල් කුරුල්ලා අධිරාජයාට නින්ද එන තෙක්ම ගායනය කළා.

අධිරාජයා නැවත ඇහෙරෙන කොට උදා හිරු හෙමින් හෙමින් ජනෙල් කව්ලුවෙන් එබෙමිනුයි හිටියේ. ඔහුට ඉතා පහසුවක් දැනුනා. අද උදේ නං අධීරාජයා මිය ගිහින් ඇතිය කියා සිතුට නිසාම එතුමාගේ කිසිම සේවකයෙකු මේ වෙනතුරුත් සයනාගාරයට ඇවිත් හිටියේ නැහැ. ඒත් තවමත් අපේ නයිටින්ගේල් කුරුල්ලා තමන්ගේ ගායනය කරමිනුයි හිටියේ.

“ඔබ හැමදාම මාත් එක්කම ඉන්න ඕන. ඔයාට සතුටු හිතෙන වෙලාවට මං වෙනුවෙන් සිංදු කියන්න. මේ යකඩ කුරුල්ලා මං කුඩු පට්ටං කරල දානවා“

“එපා. එයාට පුලුවන් උපරිමය නේ එයා කලේ. එහෙමම මේ වගේම ඉන්න අරින්න. මොකද මට මයේ කුඩුව මෙතනවත් මේ අහල පහළවත් හදන්න බැහැ. ඒ වගේම මට මාළිගාවකවත් මගේ කුඩුවේ තියෙන තරං සැපතක් නැහැ. ඒක නිසා මං කැමති වෙලාවට මට මෙහාට එන්න ඉඩ දෙන්න. අන්න එහෙම ආපු වෙලාවක අද වගේම ඔබතුමා සතුටු වෙන විදියට මේ ජනෙල් පඩිය උඩ ඉදගෙනම මම සිංදු කියන්නං. දුකෙන්, කළකිරීමෙන් ඉන්න අය ගැන මං කියන්නං. ඔබට නොපෙණෙන සියලු දේ ගැන මම ඔබට කියන්නං. මම පුංචිම පුංචි කුරුල්ලෙක් උනාට මට ඕනම ඈතකට පියාඹලා යන්න පුලුවන්. ගොවි ගෙදර, මාළුකාරයගෛ් ගෙදර වගේ ඔබතුමාට යන්න බැරි බොහෝ තැන් වලට මට යන්න හැකියි. මම ඔබතුමාගේ මේ ඔටුන්නට වැඩිය ඔබතුමාගේ හදවතට කැමතියි. ඔබ මට එක් දෙයක් පොරොනුදු වෙනව නං මම කැමතියි නැවත පැමිණ ඔබ වෙනුවෙන් ගායනය කරන්න“ පුංචි නයිටින්ගේල් කිව්වා.

“මේ හැම දෙයක්ම ඔබෙයි“ අධිරාජයා සැහැල්ලුවෙන් උත්තර දුන්නා.

“එකම දෙයයි උතුමාණනි. ඔබතුමා කිසිම කෙනෙකුට කවදාවත් කියන්න එපා මේ වෙන හැමදෙයක්ම ඔබට කියන පුංචි කුරුල්ලෙක් ඉන්නවා කියලා. කව්රු හරි ඒක දැනගත්තොත් ඔබතුමාව රවට්ටන්න මටත් වඩා හොදට මේවා තව වර්ණනා කරල කියන්න ගනීවි“ කියපු පුංචි කුරුල්ලා තමන් ආපු කව්ලුවෙන්ම ආපහු ඉගිල්ලිලා ගියා.

තමන්ගේ අධිරාජයාගේ මළ මිනිය දැකීමේ අටියෙන් සයනාගාරයට පැමිණි සේවකයන් එකත්පසව හිටගෙන බලාගෙන උන්නා. අන්න ඒ වෙලාවේ ඇස් අරල බලපු අධිරාජයා බොහොම සැහැල්ලුවෙන් හැමෝටම “සුභ උදැසනක් වේවා!“ කියල කිව්වා.

The Nightingale - Hans Christian Andersen