Wednesday, October 31, 2012

ආයේ ආවෙමි (දේශක කවි)

නැවත පැමිණියෙමි,

ළංව තිබූ මාගේ අතීතයට...

සිතුවිලි අකුරු කරන්නට..

කාළය ගෙවී ගියා වේගෙන්..

සිතුවිලි හද පතුලටම ගිහින්...

ආයෙත් ඒවා මතුකරන්නට.... මට පුළුවන් වෙයි

මක් නිසාද යත්!

වෙනස් වූ දේ බලා

මගේ සිත නොවෙනස් වූ බැවිනි

Thursday, October 25, 2012

මොනවද දන්නේ?



ඊයේ හැන්දාවේ දේශකයාගේ වේලාවට ම ඔපීසියෙන් එළයට බැහැල ඔන්ට ගුබ්බෑයමට යන්ට යනවා. එතකොටම කලිසමේ දකුණු පැත්තේ සාක්කුවේ යටටම හිරවෙලා හිටි මගේ සෙලා මලයා පුංචි සද්දයක් දානවා. මේ කාලේ රෙඩි මේඩ් කලිසං නිකං මහ ගෑනු දරුවන්ගේ ස්ට්‍රෙච් ඩෙනිම් වගේ ඇලෙනව නෙව කකුලටම. ඉතිං ඇගිලි ටික දැම්මය කියල මලයා (සෙලා මලයා) එළියට ගන්ට අමාරුයි. එතකොට තව ටිකක් ඇතුලට දමල සාක්කුවට මුලු අතම කම්බස් උනාට පස්සේ ඔන්න අමාරුවෙන් හෙමිහිට ඒක එළියට එනවා. 

සමහර වෙලාවට ඔහොම කරන්ට ඕන නෑ. බස් එකෙදී නං ටිකක් වාඩිවෙලා ඉන්න ඉරියව්ව අඩ ඉරියව්වට වෙනස් කරල සාක්කුවේ අන්තිම ගැට්ටේ ඉදල එළියෙන් ඇගිලි වලින් තල්ලු කරාම ඒකා හෙමීට ගැරඩියා වගේ ඇදෙනවා උඩට. හැබැයි සන්තෝ බවලතෙක් එහා අයිනේ හරි බරි ගැහිල ඉන්ට වේලාවක ඕක පරිස්සමින් කරන්න මෙතුමා නොදන්න හින්ද, අර මුලින් කිව්ව ක්රමේ තමා වැඩි පුර භාවිතා කොරන්ට වෙන්නේ. ඉතිං ඔන්න ඒ ක්‍රමේ ට මලය එළියට එන කොට ඒකට ආපු සංඥාවත් පොජ්ජ වෙලා ගිහිල්ල. 

දැං ඉතිං දාපු ලොක් එක ගලවල බැලුව මොකාටද එන්නේ කියලා. අඩේ අතිජාත චේතනආසන්න මිත්තරයෙක් නෙවැ සංඥා කොරල තියෙන්නේ. ඉතිං ඒක දැකල ආපු සන්තෝසෙටම අනික් පැත්තට යැව්වා සංඥාව.

ආ.. දේශකයා උඹ කොහේද ඉන්නේ

මම බං බස් එකේ ඉන්නේ.. උඹ කොහෙද... ඇයි කතා කරේ

අද බං මොනව හරි කරමුද මගේ නඩත්තුව නං ගත්තා.. මේ දැං බැංකුවට දාල තිබුන

පිස්සුද බං මට තාම හම්බ උනේ නෑනේ. මේ යක්කු තාම චෙක් පෝස්ටින් කරල නෑ

ඒකට කමක් නෑ.. උඹ #@%^& ස්ටෑන්ඩ් එකෙන් බැහැපං.. මං එතන ඉන්නං

අට්ටට්ටා.. මොන සැපද මේ වගේ දවසක් ආයේ කවද එයිද කියල දෙයියොවත් දනීද මන්ද? ඇයි අප්පේ මේකාට වෙනද හීන් සිරුවේ අඩිය හරියට පොළොවෙ වදින්නැති වෙන කොට, මට තමයි රෙස්ටුරන්ට් එකේ බිලත් ගෙවන්න වෙන්නේ. පස්සේ ගාන කඩාගන්න එක වෙනම දෙයක්. ඉතිං ඔය විදියට අහම්බෙන් ආපු ඉන්විටේෂන් එක සාදරයෙන් බලා කියා ගෙන, දෙන්න එක ගජරාමෙට අති විශේෂ මිලි ලීටර් 750 කුත් වග කියන්න ගත්තේ ගෙදර උන්දැට හැමදාම ඔය වගේ සීන් වලට දාන කෙප්පයක් අතැරල තමයි. වැඩේ කියන්නේ ගෙදර උන්දැත් ලැජ්ජ නැතිව හැමදාම දාන විශේෂිත වූ කෙප්ප වලට එක පාරටම අහුවෙනවා. ඕක අහුවෙන්නේ ගෙදර ගියාම නිසා පුරස්නෙකුත් නෑනේ ටිකක් කට ගලවල දාල වගේ ඉන්ට කොට නිකංම එයාගේ කටත් ගලවල දාල ඔන්න ඔහේ හොද බුදියා දැමිල්ලක් දානවා. ඒ බුදියාගැනිල්ල ඉතිං සුනාමි ආවත් එළිවෙනකං ඉවත් නොවෙන එකක්...........


මම දැං ඉන්නේ දොර ගාව. ඒක දොරක් කිව්වට ලස්සන බිල්ඩිමක තියෙන වීදුරු වලින් වටකරපු කියුබිකල්  එකක ස්ලයිඩින් දොරක්. වටේටම සෑන්ඩ් බ්ලාස්ට් පාරවල් ගහල තියෙන හින්දම දොරටත් ඒකම කරල යාන්තං අගල් දෙකක විතර දෘෂ්‍ය පටියක් ඉතුරු කරල තියෙන්නේ ඇතුල බලන්න. ඒකෙන් බලන්නත් වීදුරුවට උම්මා දෙක තුනක්ම දෙන්න වෙනවා.

සෑන්ඩ් බ්ලාස්ට් කරල තියෙන අකුරු වලින් දොරේ ගහල තියෙනවා ලංකා බ්ලොක් ගල් සංසදයකියලා. කියන්න අමතක උනානේ මම මේ ඇවිල්ල ඉන්නේ මම අළුතින් පටන් ගත්ත මගේ බ්ලොගය ගැන අදාළ නිලධාරීන්ට සැලවෙලා මාව මස්තබාල්දු කරන්ට එන්ටය කියලා දිනේ නියෝග කොරලා ඊතලයක් මගේ ජීමේලයට එව්ව හින්දයි. මමත් ඉතිං කිලෝමීටර් සිය ගණනක් පහු කරගෙන යාන්තං අටවගත්ත බ්ලොගේ පොස්ට්කටු වල දෘඩ පිටපත් ටිකත් අරගෙන ලා කොලපාට ක්ලියර් ෆයිල් එකක දාල බස් කටුවක නැගී ආවා නෙව එතැන්ට. එතැන පිළිගැනීමේ නිලධාරිනිය විදියට හිටියේ සිත්තමී , මං ඒක දැක්කේ හෙළ බ්ලොක් ගල් සංසදයේ අච්චු කරපු මාලේ එයා එල්ලගෙන හිටිය නිසා.

“සුභ උදැසනක් මිසී, මම දේශකයා (ඊයේ පිටපත පෙන්වමින්) අද තියෙන පරික්ෂනේට ආවේ“

“ආ.. ඔයාද දේශකයා. මමත් ලියන කියන ඒවා බලල හෙම තියෙනවා. දන්නවනේ අපේ ලොකු අයියලත් එක්ක සෙල්ලං බෑ. ඔයා මොනා හරි කට කැඩෙන කතාවක් එහෙම දැම්මද? නැතිනං එහෙම ගෙන්නන්නේ නෑ“

සිත්තමී මං ලියපු ඒවා කියෝල තියෙනවයි කිව්වම ආපු සතුට එයාගේ සීඝගාමී ඉතුරු වචන ටිකෙන්ම දිය වෙලා ගිහිල්ල මාරාන්තික සාපිපාසාවකුත් එක්ක බයකුත් දැනුනා.

“මම... ඒකනං හරියටම කියන්න බෑ.. ඒත් ඒක තමයි මාත් බැලුවේ මොකටද මාව තකහනියේ ගෙන්නුවේ කියලා“

“ආ ඒක අමතක කරල දැං යන්න හොදට මුහුණ දෙන්න අයියල බලන් ඉන්නේ දේශකයා එනකං... අයියෝ... ඔන්න දැනුත් මට මේල් එකක් එවලා දේශකයා ආවද අහල.. ඉක්මනට යන්න. සුභ ගමන්“ සිත්තමී තමන්ට පුරුදු නිහතමානා කමින්ම කිව්වා.


මෙච්චර දුරක් ආපු එකේ, බස් එකේ නෙමෙයි මේ ජීවිතේදී, ප්‍රශ්න පත්තර පිට ප්‍රශ්න පත්තර වලට උත්තර දීලා සමහර ඒවට උත්තර දෙන්නේ නැතිවත් මම තාම ජීවත් වෙනවනේ. ඉතිං මොකටද මම බය වෙන්නේ. මේ වෙලාවෙදි මට මතක් උනේ මැට්රික්ස් චිත්තරපටියේ මෝර්පෙස් තම ජනතාවට වදාළ දේශනයේ හොදම කොටස “Do you know which matters the most… W...e.. are... sti...ll... here....”, කට්ටයගේ චියර් සද්දේ එක්කම මගේ ඔළුව පුරා රැව්දෙන හඩ මටම ඇහෙනවා වගේ.

ඉතිං මෙතුමා ඉක්මන් කොරලා පඩිපෙලත් නැගගෙන පළවෙනි තට්ටුවට ඇවිල්ල එතන තිබුන කියුබිකල් එකේ දොර ගාවට ආවම තමා මුලින් කිව්ව ටික දැක්කේ.

එතන එළියේ දොර ගාව ඉන්නව හැන්ඩි කොල්ලෙක්. මිනිහා ඇදල ඉන්න ජේත්තුකාර නිල් ඩෙනිම දැක්කම මට හිතුනා මේකා ටිකක් කළු උනත් හොද ජේත්තුකාරයෙක් කියල. මිනිහගේ අතේ අයිපෑඩ් එකකුත් තියෙනවා. ඕව නං මං දැකලත් නෑ ඒත් අර පිටිපස්සේ තියෙන බාගෙට කාපු සුලු ඇපල් ගෙඩිය හින්ද ඒක අදුරගන්න පුළුවන්.

මම හෙමින් හෙමින් මිනිහට කිට්ටු වෙන කොට පොර මගෙන් අහනවා.

“Hello.. Very Good Morning.. Are you Deshakaya”

අප්පේ මේකගේ ඉංගිරිසි ටික මට තේරුනාට පුරුදු නැති හින්ද එක පාරටම ඔව් කියල ඒක කිව්වත් එක්කම යර්ස් යර්ස් කියල කිව්වේ. අපරාදේ කියන්න බෑ මිනිහට තේරුනා මම ඉන්න තත්වේ.

“ඔයා දේශකයානේ.. මම ඩූඩ් දන්නවනේ අර බ්ලොග්වෝර්කර් නිල්ඩෙනිමා

අප්පට සිරි දාගෙන ආපු හීන් දාඩිය ටික කොහෙන් ආපු මද පවනකටද මන්ද හෝස් ගාලා ගෙවිල ගියා. අවංකව ම පොඩි ගැම්මක් ආවා හිතට “අඩේ මේ මං දන්න එකානේ. ඊයෙත් මම ඩුඩෙගේ පෝස්ට්කටුවකට කොමනේකටුවක් දැම්මනේ“ කියලා. ඒ පාර ඩුඩෙ කියනවා. (ඩුඩ් ඩුඩ් කොච්චර හිතුවත් කියවෙන්නෙම ඩුඩෙ කියල)

“මමත් ඔයා ලියන ඒවා කියවනවා. හොදයි කරගෙන යන්න. හැබැයි දැන්නං ඇතුලේ ඉන්න අයියල අහන දේවල් වලට හොදට ෆේස් කරන්න මොනව අහයිද දන්නෑ. හාර්ඩ් කොපීස් එහෙම ගෙනාව නේ..

ඔව් ඔව්“ කියල මම කිව්වේ ටිකක් හරි නිවුන නිසා. නැත්නං මෙතනම පන යනවා එතන තියෙන ගැඹුරු නිහඩතාවය නිසා. මගේ ජීවිතේටම ඒ වගේ නිහඩතාවක් දැකල තියෙන්නේ උත්සන්නම අවස්තාවක, චිත්තරපටිශාලවේ මිනිස්සු හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්නෙ නැති සීන් එකක් යන වෙලාවට තමයි. 

දැං ඇතුලට යන්න කියල ඩුඩෙ කිව්වම මම නොදැනෙන ගානට දොර හෙමීට තල්ලු කලා. කිසිම සද්දයක් නෑ ජෙලි කෑල්ලක් හැන්දෙන් කඩනවා වගේ ඒක බොහොම සුමටව ඇරෙනවා. දොර ටික ටික ඇරෙන්න, ඇතුලේ තියෙන ෆ්ලුරොසන්ට් ලයිට් එළිය මගේ මූනටත් වැටෙන ගානට. (මේක හදපු ඉංජිනේරුවෝ අප්පා සීඑෆ්එල් ටිකක් වත් දාලා නැති දහදුරා ඉංජිනේරුවොය කියල ඒ වෙලාවේ හිතුනා) 

තව ඇරෙන කොට මට පේනව හොදට පොලිෂ් කරපු මහ දැවැන්ත රවුම් මේසයක්. ඒක වටේටම ඒ වගේම දිලිසෙන ලී පුටු තියල මම ඒ වගේ පුටු දැකල තියෙන්නේ පාරේ යනකොට පේන ඔය සුපිරි ලී බඩු සාප්පු වලදි තමයි. (ඒවට කියන්නේ ලී බඩු සාප්පුද කියල පස්සේ හොයාගන්ට ඕන) කියුබිකල් එකේ තියෙන්නේ ඒ මේසෙම විතරයි. ඈත කොනකට වෙන්න තුන්දෙනෙක් ඉන්න බව දැක්කා. ඒ ගොල්ලො හොද කයි පැදුරක් හලා දමා ඉන්න බව පෙනුනත්, ඒ සැනෙකින්ම ඒක ගාම්භිර විදියට ඉන්න ස්වරූපෙකට ආවේ ඇහි පිහ ගහන වේගෙන් මම දැක්ක ගමන්මයි. 

ආයේ හිතන්න ඕන නෑ ඔය ඉන්නේ සිත්තමී කිව්ව අයියලය කියල මට එක පාරටම මීටර් උනා. මං හිමින් සීරුවේ අවිඥානිකව මට හිමි ස්ථානය කරා ස්වයංක්‍රියව ගමන් කරන කොට මගේ දකුණූ පැත්තට වෙන්න තවත් පොඩි කියුබිකල් එකක් තියෙනවා දැක්ක. ඒ විතරයැ ඒකේ ටිකක් කෙට්ටු පොරක් මොකක්ද මන්ද නාට්ටියක නමක් තියෙන පොතක් කියවනවත්, මම හෙමින් ඇවිදගෙන එන විදිය ඒ තත්පරේට මිනිහ දැක්ක බවත් මට දැනුනා.


මේක වෙන්නැති මට හිමි තැන කියල හිතාගෙන,

“සුභ උදෑසනක් වේවා මහත්වරුනි“ කියලා මම යාන්තමට වගේ දෙකට නැමිල කිව්ව. ජපනෙක් එහෙම හිටියනං අහනව සිකුරුයි කොන්දේ සැත්කමක් කොරපු ගමන්ද ආවේ කියලා. කමක් නෑ ඕක ලංකා ක්රමය නේ.

ටිකක් කළු වුනත් ටිකක් දැකල පුරුදු මුහුණක් තියෙන මැදින් ඉන්න අයියා, එයාගේ ඔක්කෝම ස්කෑන් කරල තත්පරෙන් රිපෝට් දෙනව වගේ තියෙන ඇස් දෙකෙන් නහර විදියට මං දිහා බලලා දකුණු අත පොඩ්ඩක් උස්සල දෙපාරක් විතර අත පහත් කරද්දි මට තේරුනේ වාඩි වෙන්න කියනව වගේ. ආයේ මොකද කියල මම ඉතිං ආසන්නම පුටුවක කරුව තිබ්බා. ඒ ඩිංගට මං කල්පනා කරේ මේකා  මට දැකල පුරුදුයි නේ. මොකාද ... මොකාද... මොකාද.. ඔය විදියට දහපාරක් විතර හිතන කොට ආකිමිඩිස් ආවා ඔළුවට. අට්ටට්ටා මේ මාරය්යා නේ. කොහොම අදුරගන්නද අර බ්ලොගේ දාල තියෙන කළු කුමාරයා වහල වගේ ඉන්ට  පින්තූරේ තියෙන මූණු පොජ්ජත් එක්ක. අනික මම හිතාගෙන හිටියෙම මේකට ඔළුවක් මිසක් අත පය හතරක් කදක් බඩක් නැතිය කියල. ඇයි අප්පේ දන්න දවසේ ඉදලම දැක්කේ මාරයගේ අග්ගලේ වගේ මූන හින්ද හිතුනෙම මේකා ඔළුවෙන් විතරක් වැඩ කරන එකෙක් කියලමයි. ඇයි මිනිහගේ පිටුවේ විස්තරේ විදියටත් හුදකලා බුවෙක් නේ. මේවා හිතෙන කොට මාරයට තියෙන ආදරේටම මගේ මූනේ ලාවට හිනාවක් ඇදිල ඒක මාරයා දිහාවට පොඩ්ඩක් යැව්වා. ම්හු. මේකා හිනාවෙන්නැති මහ ගෙම්බරයෙක් කියල හිතල මම යවපු එක විගහට මංම ඇදල ගත්තා.

ඔන්න එතකොට තමා අනිකා දැක්කේ මාරයියට දකුණු පැත්තෙන් ඉන්න. එයා ගැනනං කිසිම දෙයක් මට හිතෙන්නේ නැති උනාට නිකං සුද්දංගෙන් ඉල්ලගෙන දිනපතා පුයර ගාන එකෙක් වගේ තමයි මූන තියෙන්නේ, ඒ මදිවට කොන්ඩෙත් සුද්දන්ගේ ජෙල් ගාලද කොහේද. එයා පොඩි හිනාවක් දාල මාව පිළිගත්ත බව පෙන්නුවත් මං හිමීට මාරයගේ වම් පැත්තට මාරු උනා.

මගේ ඇස් දෙකට පළමු සංවේදනයෙන්ම සංඥා ආවා.. ඔය තමයි රාජ් කියලා. අර බ්ලොග් ලියන්නේ මටත් ඉස් ඉස්සෙල්ලම කොමෙන්කටුවකින් කොටල දැම්මෙ රාජ් නෙවැ. ඉතිං මට රාජ්ව කොහොමත් අමතක වෙන්නේ නෑ. අනික දැන්ටත් මම මගේ බ්ලොග් රෝලට වඩා රාජ්ගේ පිටුව ඇරගෙන ඒකේ බ්ලොග් රෝලෙන් නේ අනික් බ්ලොක් වලට යන්නේ එහෙම බැලුවම මගේ සින්ඩිය රාජ්ගේ බ්ලොග් රෝල තමයි. රාජ්ගේ මූනු කෑල්ල නං යස අගේට දැකල තියෙන හින්ද මම දන්නවා එයා හරි නිහතමානි හොද කෙනෙක් කියලා. ඒ වගේම කවදාවත් එයා දාන කොමෙන්කටුවක් ද්වේශසහගතව නොදාපු විත්තයත් සහසුද්දෙන්ම දන්න නිසා මට රාජ් යාළුවෙක්ගේ ගානට තමා හිතිල තිබුනේ. ඇත්තටම රාජ් හොද සුන්දර හිනාවක් දාලා චුට්ටක් පරක්කු උනා නේද කියල කාරුණිකව ඇහුවම මෙච්චර වෙලාවක් ඔළුව නිකං ඩීසල් ත්‍රීවිල් හත අටක් පස්සෙන් යනකොට තියෙන කම්මල් සද්දෙට අහුවෙලා තිබිල නිදහස් උනා වගේ දැනුනා. දැං මං ආයෙමත් සාමාකාමියි. නිසංසලයි. මට හිතෙනවා මං දැං උත්තර දෙන්න ලෑස්තියි කියල, ඒ වගේම කියන්ට දෙයක් නෑ ප්‍රශ්න ටික දෙසා බාන්ටත් ලෑස්තිය කියලා පොඩි ගැස්මකුත් එක්ක ඔළුවට වැදුනා.


“මම තමයි රාජ්. දන්නවනේ රාජ්ගේ නවාතැන ලියන්නේ“  (මම ඔව් ඔව් කියන්න වගේ ඔළුව වැනුවා)

“මේ මගේ වම් පැත්තෙන් ඉන්නේ මාරයාගේ හෝරාව ලියන මාරයියා. හොදට අහල ඇතිනේ.“ (මොනව කියනවද මන්ද, මේ අළුතින් ආපු මම බ්ලොගයා හිතං ඉන්නේ මම දන්න බ්ලොග් වැඩකරුව මාරය කියලනේ.) “එතකොට මාරයියට එහාපැත්තෙන් ඉන්නේ මාතලං අයියා.. මාතලං ලියනව වගේම මාතලං සින්ඩිය කරන්නේත් මෙයා තමයි. ඒක නං දන්නව ඇති දේශකයත් ඒ සින්ඩියට ඇඩ් කරන නේද මාතලං අයියේ?“ කියල රාජ් කියන කොට තමා මට මීටරේ අතටම අහුඋනේ.

එතකොට මේ මාතලං අයියා මට නිකං ඇඩෙන්න වගේ ආවා එයා රාජ්ගේ ප්‍රශ්නෙට “යර්ස්“ කියලා කියන කොට.

ඇයි ඉතිං මං දන්නවනේ මම පෝස්ට් කටු තුන හතරක් ලියල තියල ගේ ඇරං හිටියත් කස්ටිය නොදැක්ක ගානට යනකොට  අහම්බෙන් රාජ් ගේ රෝලෙන් මාතලං ගිහිල්ල ඒකෙන් සින්ඩිය දැකල සින්ඩියේ වැඩේ මොකක්ද කියල දැන කියාගෙන happyjay65@gmail.com කියන මාතලංගේ ඊයට මගේ විස්තර යැව්වේ සින්ඩියට දාගන්නටය කියල. ඒක දැම්මෙත් ෂුවර් නැතිව. මොකද මම සිංහල බ්ලොක් සංසදයට එල්ලෙන්ට හිතාගෙන විස්තර දුන්නම ඒකෙන් අහපු ප්‍රශ්න පත්තරේට මොලේ පැත්තක්ම අකර්මන්‍ය වුනා ඒ වගේම මොකක්ද ආර් එස් එස් එකක් තියෙන්ට ඕනැය කියල දැක්කම අකර්මන්‍ය වෙච්චි මොල කෑල්ලත් අරගෙන මං ඉක්මනට මාරු උනා. මොනා උනත් මට මොළයක් තියෙන්ට එපායැ කියලා හිතලා. ඉතිං මට මතක් වෙනව හැරෙන තැපෑලෙන්ම මාතලං අයියා මට ඊයක් එවලා තිබ්බ ඩොං කියල එච්චරයි. ටික වෙලාවක් යනකං තේරුනෙත් නෑ. අප්පට සිරි ඒ කියන්නේ ඩොං නෙමෙයි done.. හරි .. මාව මාතලං සින්ඩියට දාලා කියන එක ටියුබ්ලයිට් මනසට විදුලිය ලැබුනම තේරුනා. ඉතිං එදා ඉදල මහ ගොඩක් නෙමෙයි ටික දෙනෙක් හරි මාතලං ගේ සින්ඩිය හින්ද මාව කියවන්න ගත්තා. ඒක මට හෙන උපකාරයක් නෙවැ. එහෙම නොවුනනං මගේ බ්ලෙගෙත් සුසාන භුමියක යට කොරල ටික දවසක් වෙනවා. ඉතිං එහෙම උදව් කරපු මාතලං අයියව දැක්කම නිකත් ඇඩෙන්න වගේ එන එක අරුමයක්යැ..

“හරි අපි පටන්ගමු“ කියල මාරයියා සිංහ සෙයියාවෙන් ඒ වගේම සිරියස් විදියට වැඩේට බැස්සා.

ආ කියන්න අමතක උනානේ රාජ් කිව්වා එයාට රාජ් කියල කිව්වහම ඇතිය අනෙක් දෙන්නට අයිය කෑල්ල අන්තිමට දාන්නය කියලා. (කොහොමත් වැඩ කිඩ වයස බැලුවම අයියල නේ. ලාංකික අපේ කම ට කොහොමත් අයියා කෑල්ල නිතතින්ම එකතු වෙනවා)

දේශකයා.. කොහොමද ඔය නම තෝරගත්තේ?

මම එහෙම විසේස විදියකට හිතුවේ නෑ. එක පාරටම ඔළුවට ආපු නම දැම්මා. ඒක එවේලබල් (available) කිව්වම ආයේ බැලුවේ නෑ ඒකම ගත්තා

ආ.. හොදයි“ (මගේ පළමුවැනි උත්තරයට අයියල තෘප්තිමත් කියලා දැනිල මටත් නිකං පොඩි සතුටක් ආවා. අංක එක ඉවරයි ඊට පස්සේ දෙක කියලා)

හරි.. දැං කියන්න කොහොමද බ්ලොග් ලියන්න පෙලඹුනේ.“ (මගේ වාර්තා බලමින්) “මේකේ හැටියට 2008 නේ රෙජිස්ටර් කොරල තියෙන්නේ නමුත් ලියන්න අරන් තියෙන්නේ මේ බොහොම මෑතකදී නෙව.. එහෙම නේද?

ඔව් මාරයියේ.. මට ඒ දවස් වල ඔය බ්ලොගර් කිව්වට මෙලෝ හසරක් තේරුනේ නෑ. ඒ උනාට නොදැනම රෙජිස්ටර් වෙලා තිබුනේ. ඒ කිව්වේ මට ඒ දවස් වල ඉදලම ජීමේල් තිබුනේ. කොහොම හරි නිකං ඉන්න වෙලාවක ගූගල් කරපු දොහකදී අනිවාර්තේ මම කොටල තිබුන වර්ගපූර්ණිකාව කියල පිටුවකට. ඒක සිංහල නිසා පොඩ්ඩක් බැලුවා. ඒකේ උඩින්ම තිබ්බෙ රාවණා 2012 අන්තිමට නැගිටිනවය කියල. දැං තමයි මාත් දන්නේ මම හෙළුවෙක් කියලා, ඒක නොදැනත් ඉස් මිස් නැතිව එක උගුරට ඒක හලාගත්තා. රසේ වැටුනම වර්ගපුර්ණිකාව එහෙම් පිටිම් ම ගිලලා. ටික දවසක් යනකං පෑ විසි හතරෙම ඕක බලන්ට ගත්තා. ඊට පස්සේ තමයි බ්ලොගර් ගැන අයිඩියා ආවේ, සිංහල ලියන අය තව ඉන්නවයැ කියල. ඒකේ රෝලෙන් තමා රාජ්ව අල්ලගත්තේ. එහෙම එහෙම මාරයියා, වෙබ් ආලෝචනා, වෙද ගෙදර, පොඩි කුමාරිහාමි, මාතලං, කතන්දර කාරයා එහෙම කියවන්න ගත්තේ.

හොදයි.. තමුන් අර පිටිපස්සේ තියෙන කාමරේ ඉන්න මහත්තයව දැක්කද?

“ඔව් මං එනකොට මගේ දිහා බැළුව දැක්කා“

“එයා තමයි අපේ ලොක්කා කකා.. කියන්නේ කතන්දර කාරයා..“

අඩේ අප්පා මට ඕක කලින්ම හිතන්න තිබුන නෙව කියල දැං හිතුන. ඒක තමයි ඔච්චර රැස්පොට්. ඇයි ළගදි මිලියනයක් ඒකට කොටල තිබුන මදිවට ඒකා පෝස්ට් කටු දාහකුත් කොටා දාලා තිබුනනේ. මගේ නං ඒ තරං පැහැදීමක් නෑ. මිනිහා දැං දැක්ක වගේම බ්ලොග් එකේදීත් ටිකක් අහංකාරද මන්ද???

දැං කතා කරන්නේ මාතලං අයියා

“හරි අපි දැං බලමු ඔයාගේ පෝස්ට් ටික.. දෙන්න ඔය හාඩ් කොපීස් ටික.. ආ.. තෑන්ක්ස්.. ෆර්ස්ට් වන්.. ප්‍රථම ආමන්ත්‍රණය.. “

දැං මාරයා (සමාවෙන්ට මාරයියා)

“මේ මොකක්ද ඕන පොඩි එකෙකුට හැකිය මේ වගේ දෙයක් ලියන්න. අනික නෙට් එකේ මේවා තියෙනවා එහෙම නේද?“

(ආයෙත් දාඩිය හීනියට දානවා. අප්පේ මේකගේ සැර) “ඔව් මාරයියේ ආසාවට ලියන නිසා නෙට් එකෙන් ගත්ත එකක් තමයි සිංහලනේ ලියුවේ“

“ඉතිං කෝ සෝස් එක“

“ඒක දැම්මේ නෑ මාරයියේ මගේ වගේ පෙන්නන්ට ඕන උන නිසා. අනික මම ඒ වෙනකොට හරියට පුවරුවට කොටන්න දන්නෙත් නෑ. සොරි අයේ එහෙම කරන්නේ නෑ“

අම්මේ මෙන්න මාරයට මේ වෙලාවේ කින්ඩි හිනාවක් ගියා. ඇයි මිනිහා මගේ හොරේ අල්ලගත්තනේ. ඒ උනාට එතනිං එහාට මුකුත් ඒ ගැන කිව්වේ නෑ. ආයෙත් මාතලං අයියා

“නම්බර් ටූ... ජෝ වයිටලේ“ දැං මාරයා මාතලං දෙසට හැරී,

“ඈ බං ඒ මොකක්ද. දියං බලන්න.. ආ ඇමෙරිකන් කාරයෙක් නේ.. දේශකයා ඔන්න මට තරහ යනවා. වර්ගපූර්ණිකාව පිහිටෙන් ඇවිල්ල දැං පර සුද්දෝ ගැන ලියනව එහෙනං..??“

“නෑ මාරයියේ. වයිටාලේ කියන්නේ සුපිරි පොරක්. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම දේශන දෙක තුනකුත් කියවලා තියනෙව. ඒවා මැක්ස. Laws of Attraction, Energy of Universe, How to attract money වගේ ඒවා.“

“ආ හරි මාතලං ඔයි ටික මට දෙන්න...තුන ලංකාව වටේ ට්‍රිප් එකක් යන්න.. ආ.. මට මතකයි ඔය ගැන මගේ බ්ලොග් එකේ ඔයා කමෙන්ට් එකක් දාලා තිබුනා. මමත් කිව්වේ ඔය කඩු තියෙන තැං වලට යන්ට බැරිය කියලා.. හරි . ඊළගට හතර... චූංපාං.. මං බැලුවා ඒක නං මෙලෝ රහක් නෑ. පහ.. හය.. හත...“

....... (මට මතකයි ඒ දෙකම ඉංගිරිසි හෙඩින් කිව්වත් වගේ මේකා කඩු තුඩක් වත් තියෙන තැනකින් යන්නෙත් නෑ. අම්මප එතනිං ලිස්සපු හැටි)......

“බෙහෙත් නැති රෝහල.. ඒකත් අර වයිටාලේ වගේ කතාවක්. එච්චර ගතියක් නෑ“

මොනා කරන්නද මේ ඉතිං අපේ අයියලනේ. හොද නැතිනං බලෙන් කට ඇරවල හොදයි කියන්නයැ. දැං මගේ මිත්තරයා වගේ ඉන්න රාජ් මාරයාගෙන් කොල ටික අර ගන්නව දැක්කම පොඩි රිලැක්ස් ගතියක් ආවා. දැං පරීක්ෂනේ මෙහෙයවන්නේ රාජ්.

“අට.. ෆක් වචනය වල්ද.. ආ ඒක හොද පෝස්ටුවක්. මමත් කමෙන්ට් කරා.. බලන්න මාරයියේ ඒකේ දාලා තියෙනවා සෝස් ටික.. අන්න එහෙම තමයි වැඩ කරන්න ඕන. හොදයි. නමය.. අර සල්ලි කතන්දරේ. ඒකත් එච්චර හරිනෑ. ඩිවෝස් බයික් ඒක නං හොදයි...“ 

දැං මාතලං අයියාටය කොළ ටික. අනේ මේ කොළ ටික විදන වදයක්, තුන්දෙනෙක් ම හයිරං කොරනවනේ. සමාවෙයං. මගේ ලියුං කියුං හින්ද නේ උඹල දුක් විදින්නේ. දැං ආයෙත් මාතලං අයියා පටන් ගන්ට යනවා. මිනිහා කොළ එකින් එක පෙරලනවා මිසක් මුකුත් කියන්නෙත් නෑ. දැං උඩ කොළේටත් ආවා. මට ඒක මතකයි. මම මයිකල් නයිට්, 2040 දී. වැහුව කොළ ටික පිළිවෙලකට තිබ්බ මේසය උඩ. හිමීට මාරය දිහා බැලුවා. දැං මාරයා වැඩ පෙන්නන්නද යන්නේ. අයියෝ මගේ ඔළුව. ආයෙත් ඩීසල් ත්‍රීවිල් තිහ හතලිහක් යනවා වගේ.


“අපි දැං තමුන්ගේ බුද්ධිය බලන්න යන්නේ.. මොකද අපිට පේනවා දැං ටිකක් බ්ලොගේ දුවනවා කියල. හිට්ස් ටූතවුසන්ඩ් විතර නේද? හරියට ලියන්න ඕනැනේ. කියවන අය හුගක් බුද්ධිමත්. ඒක නිසා නියම උත්තරය ඕන. හරිය“ කියල පොඩි සුන්දර තගකුත් දාපියකෝ එතකොට.

“තමා සිංහල භාෂාව පරතෙරටම දන්නවද?“

“දන්නේ නෑ“

“එතකොට සාහිත්‍යය හොදටම දන්නවද?“

“දන්නේ නෑ“

“තාක්ෂණය ගැන“

“දන්නේ නෑ“

“වෛද්‍ය විද්‍යාව“

“ලොවෙත් දන්නෑ“

“පරිගණක විද්‍යාව. මේ. නිකං කොටනවා නෙමේ බහුශ්‍රැත දැනුම“

“දන්නේ නෑ“

“යාන්ත්‍රික විද්‍යාව“

“දන්නේ නෑ“

....
.......
..........
............
..............

“එතකොට අන්තිම එක අහන්නෙ. අයියෝ මටනං තිත්ත වෙලා තියෙන්නේ. මගේ එකෙක් උනානං එහෙම මෙලහකට එළවලා.. භූගෝල විද්‍යාව“

“ඇත්තටම දන්නේ නෑ“

මාරාවේස වී මහසද්දෙන් පුටුව පිටුපසට දමා යක්ෂාවේස මුහුණ මැවේ මාරයාගේ. රාජුත් මාතලනුත් කලබල වී ඇති සෙයකි. කාමරයේ ඉන්න කකාද පොත පැත්තක තියලාය. මාරයා තම තඩි කට ඇරියා මතකය.

“Get out, Get out, bloody stupid, go away fucking deshakaya”

මෙහෙම කිව්වම මගේ අම්ම මුත්ත කිව්වත් එතන ඉදල මට පුරුදු නැත. සිතට ආ තඩි යකඩ බෝල වැනි මාගේ ආවේගය... තරහව පුපුරා ගියේ නං එතැන ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වූ ස්ථානයක් වැනි වේ යැයි මට සිතේ. එහෙත් මුවින් නොදොඩා ඉක්මනින් මා එළියට එන්නට පටන් ගත්තෙමි. සිත්තමී හිටියට එයාගේ මූන බලන්නවත් මට හිතක් තිබුනේ නෑ. ආපු ආවේගටම පැනපු ගමන් පාරේ හිටෝපු බස් එකකට නැගල ඉඩ තිබ්බ නිසා වීදුරුවක් අයිනට වී හෙමීට චිත්ත වේගය පාලන කර ගන්නට විය.

ඒක පාලනය කර ගන්නට නොහැකි බව මට දැන් තේරේ.

“අඩෝ මාරයෝ උඹ දන්නේ නෑ මම කව්ද කියලා. මමත් හූනා වගේ හිටියට මහ නහර එකා හරිය. මට ඕන්නං උඹේ පාස්වර්ඩ් හැක් කරල තෝ ලියල තියෙන ඔක්කොම මකල දාන්ට හැකියි. ඔව්... කකා ගේ මිලියනයටත් වැඩේ දෙනවා. දැක්ක නේ බ්ලොගර් ලගදී පිස්සු කලේ පැය ගාණකට. මම ඒක සදාකාලික කරනවා. නිස්ටඹුවෙදි උඹව උස්සනවා. ඒ වගේම තොගේ බයිසි මොටෝවත් උස්සනවා. කෑලි කෑලි වලට කපනව යකෝ මට සද්දේ දැම්මට. තොපි මාව කොහේ නවත්තන්ද.. මං තව ලියනව බොල.. තව ලියනවා...“

දඩාස් ගා සද්දයක් ඇසී ඇහැ ඇර බලන විට අයියෝ ඔළුව බස් එකේ ජනෙල් වීදුරුවේ වැදිලා රිදුම් දෙනවා. අනේ අම්මේ ඒ අස්සේ මගේ අත තදින් හොලවනවා නෙව. ජනෙල් වීදුරුවේ වැදුන මුහුණින් යුතුව මා පැත්තට හැරී ඇස් අරින කොට ගෙදර උන්දෑ තදින් මගේ අත් දෙක හොලවන එක මට මහ අප්‍රභංසයක් විය. එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටද එය බසය නොව මා රාත්‍රියේ රහමෙර පානය කර පැමිණ සැතපුන යහනාවම බව පසක් විය.

“ අනේ ඇත්තට දේශෝ. ඊයේ රෑ පුදුම දැගලිල්ලක් නේ. එහාට දගලනවා. මෙහාට දගලනවා. සුසුම් හෙලනවා. අත පය ගහනවා. කකුලෙන් ගහනවා. මොකක්ද මන්ද පොඩි උන් දෙන්නගේ ඇග උඩට පෙරලෙනවා. මේ ආයෙත් ඔය බීම බිල එනවනං අන්න දෙයියනේ කියලා පැදුර තියෙනවා සාලෙට වෙලා නිදාගන්නව හොදයි. දරුවෝ දෙන්නටවත් නිදාගන්න දෙන්නේ නෑ. මම එපාය ඉතිං එළි වෙන කං නැගිටල ඉන්න“

දැන් දැන් හිරු දුටු පිණි මෙන් මගේ මතකය පැහැදිලි වෙයි. පුදුම ආශ්චර්යමත් දෙයකි. මා ද්විත්ව සිහිනයකින් එක් වරම අවදිව සිටිමි. තවමත් මනස අපැහැදිලිය... ඒත් දැනෙන්නේ මා තාමත් පුවරුවකට කොට කොටා ඉන්නා බවකි.

Wednesday, October 24, 2012

මම මයිකල් නයිට්, 2040 දී



 අපි 1980 ගණන් වල ඉදලම එක දිගටම කට ඇරගෙන අපිට තිබුණු පරණ කළු සුදු රූපවාහිනියෙන් නයිට් රයිඩර් කථා මාලාව බැලුව පුදුම ආසාවකින්. ඒ කාලේ ඉතිං කාර් එකක් තියා බයිසිකල් කට්ටක් වත් හරියට දැකල නැති අපිට මයිකල් නයිට් ගේ කිට් දාන වැඩ සුපිරි උනා වගේම අදහාගන්නට බැරි විස්මයජනක අත්දැකීමක් උනා. ටයි මහත්තයාගේ උනන්දුව නිසා ඉංගිරිසි නොදන්න අපි සිංහල සබ්ටයිටල් වලින් ඒ කතා මාලාව සෑහෙන්න රස වින්දා. ඒ විදියට අපි කිට්ව දැක්කේ මේ ලෝකේ තියෙන සුපිරිම කාරය කියල. හැබැයි කිට්ගේ වැඩ කෑලි පට්ට බොරුවක් බව අපි හැමෝම හිතින් දන්නවා. ඔන්න දැං අසූ ගණන් පහුවෙලා විසි එක් වෙනි සතවරුසෙන් කාලක් විතර ගෙවෙන්න ලං වෙලා තියෙන කොට මෙන්න බොලේ කිට්ලා වැඩ පෙන්නනවා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක මෝටර් රථ එක් එක් ආකාරයෙන් වෙනස් කම් වලට භාජනය වෙන්න පටන් ගත්තා. පරිගණක චිප් මගින් පාලනය වෙන මෝටර් රථ නිෂ්පාදනය නම් දැං කිසිම අළුත් දෙයක් නෙමෙයි. ඒ වගේම වේග පාලනයන්, හදිසි තිරිංග යෙදීම්, අනතුරකදී ඇති වෙන ස්වයංක්‍රිය පාලනයන් දැං තියෙන කාර් වල අනිවාර්ය අංගයන්. 

මේ අටුවාව ලියන්න වෙන්නේ ඊළග පරපුරේ මෝටර් රථ නිෂ්පාදනය වානිජ මට්මමින් ආරම්භ කිරීමට කටයුතු සියල්ල සුදානං වෙලා තියෙන හින්දයි.

මේ කාර් වලට කියන්නේ රොබෝ කාර් කියලා නොහොත් සවයංක්‍රීය කාර්. ලෝකයේ ප්‍රමුඛව මෝටර් රථ නිෂ්පාදකයෝ වන කැඩිලැක්, අවුඩි, බී එම් ඩබ් වැන ආයතන දැනටමත් රොබෝ කාර් නිෂ්පාදනයට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර තිබෙනවා. ඒ අනුව 2015 වන විට සම්පුර්ණයෙන් ස්වයංක්‍රිය රොබෝ කාර් වානිජ මට්මමින් නිෂ්පාදනය වේවි කියලා පර්යේෂකයන් පවසනවා.

මොකක්ද රොබෝ කාර් එකක් කියන්නේ?

ඔබ දන්නවද ගූගල් සමාගම තමා වැඩිම වේගයකින් යුතුව ස්වයංක්‍රීය කාරයක් නිෂ්පාදනය කිරීමේ කටයුත්ත සිදු කරන්නේ. අති විශේෂ මෘදුකාංග, ජීපීඑස් තාක්ෂණය, විවිධ ඉලෙක්ට්‍රොනික සංවේදක, අධෝරක්ත කිරණ කැමරා, ලේසර් කිරණ ආදී එකී මෙකි නොකී විවිධ උපකරණ හා මෘදුකාංග භාවිතා කරමින් සම්පුර්ණයෙන්ම රියදුරු පාලනයෙන් තොර කාර් රථයක් නිපදවා තිබෙනවා. ඇත්තටම ඒක ටොයෝටා ප්‍රියස් හයිබ්‍රිඩ් එකක්. 



මේ වන විට ඇමරිකාව පුරාම එම වර්ගයේ කාර් රථ කරක් ගහනවා. (අරුණි නං ඕක දැකල ඇති) 2012 මැයි මාසය වෙන කොට මේ රියදුරු රහිත කාරයට ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් ධාවනය සදහා අවශ්‍ය අනුමැතිය ලබා ගෙන තියෙනවා. ඒ වගේම මීට දින කිහිපයකට ඉස්සෙල්ලා කැලිෆෝනියාවෙත් අදාළ අනුමැතිය ලබා දුන්නා. දැං බලමුද කොහොමද මේක යන්නේ කියලා. ඔන්න වීඩියෝවක් පහලින් එල්ලල තියෙනවා. ඒ හාදයෝ කියන ෆක් කියල කිව්වට ගනන් ගන්න එපා හොදේ.

video

කොහොමද වැඩ.. ගූගල් එකේ ප්‍රධාන විධායක නිලධාරියා වෙච්ච බ්‍රිට් මහත්තයා කියනවා “සම්පුර්ණයෙන් ස්වයංක්‍රීය කාරයක් දැං සිහිනයක් නෙමෙයි. තව අවුරුදු පහක් ඇතුලත සාමාන්‍ය ජනතාවට එහි පාරිභෝජන අයිතියත් ලැබෙනවා“ කියලා.

මේ වන කොට ගූගල් කාරය කිලෝමීටර් ලක්ෂ තුනකට වැඩිය ආබාධයකින් තොරව ධාවන කරල තියෙනවා. නමුත් මෑතකදී එකම එක සුළු අනතුරක් වෙලා තියෙනවා ගූගල් කාරය නිසා, ඒකත් මානව දෝෂයක් හේතුවෙන්. 

එහෙම බැලුවම අනාගතයේදී අපේ ගමන් බිමන් වඩාත් ආරක්ෂිත වේවි කියල හිතන්න පුළුවන්. ඒ වෙන කොට පාරේ දුවන හැම වාහනයක් ම එකිනෙකා සමග ඉලෙක්ට්‍රොනික අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම සිදුවෙනවා නියතයි. එහෙම උනාම කොහොමත් අනතුරු සිදු වෙන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා.


එතකොට මට මයිකල් නයිට් කෙනෙක් වෙන්න 2040 වෙනකං ඉන්ට ඕනෙත් නෑ වගේයි..

Saturday, October 20, 2012

පෙර පෙමක්

දුටුවෙමි අහඹු ලෙස
නුඹ එනු ඉදිරියට
පෙර මෙන්ම
සිත බමන්නට විය
වියරු විය රුහිරු හිරු
සැඩ විය පවන
විසිරුවා දූවිලි දසත
නුඹ ඒමට පෙර ගැයූ ගීයම
ගැයුවෙමි
නුඹ ඉවතට යනතෙක්ම
හීන් මදහසින්
පුදුමාකාර නිසංසල බවකින් (බොරුවට)
හද තුලින් තැති ගෙන
කෑලි කැඩෙන්නට මෙන්
නොපෙන්වූයෙමි එය
වීය මා සාමාන්‍යයයෙකු
නුඹ අභියස ඒ මොහොතේ
නැත කිසි අමුත්තක් නුඹෙත්
සිනහවේ අඩුවක් හැරෙන්නට
පෙර මෙන්ම
සිනාව හා දෑසෙහි හමුවීම
වචන දහසක් පවසයි
නොකියවූ දේ
දැනෙන්නට
නුඹටත් මටත් පමණකි
රාහුලයෙකු නිසයි
ශක්තිය දියවී ගියේ
නුඹ හා දොඩන්නට ඇති........... සමාව

දේශකයාගේ නියම කවිය

ගියපාර පෝස්ට් කටුව කොටාගෙන කොටාගෙන යදිදි වැඩේ කියන්නේ හෙඩිම ට අදාළ නැතුව කටයුතු කොලාය කියල අපේ පැට්රියට් මලයා මට කොලොප්පමක් දැම්මනේ. මගේ අර බ්ලොග නොලියන යාළුවා ගයාන් ඒකත් මට කින්ඩියක් දාලා ගියා. සම්බෝල කරන්න කියල හිතල කොරාද මන්ද? පැට්රියට් මලයා තාම තරාදිය උස්සගත්ත ගමන් මයි. දැං ඕක බිමින් තියල තව එකක් කොටා දාපියෝ. 

ඔන්න කවිය. මොනවද ඔට්ටු


තරුවක්.....
නූපන් තරුවක්.....
දිලුනා සේ ඈත රෑ නිල් අහස් තලේ

සදවත....
ආදරණිය සදවත...
සිනාසුනා සේ හිස් අහසට

මා...
නූපන් තරුවක් වෙමි...
ආදරණීය සදවතක් වෙමි..

සිත ඇතත්..
සිත නොදුන් දයාබර වූ ඔබට...

තව දෙන්නංකෝ ඉදිරියට. ජය

Friday, October 19, 2012

දේශකයාගේ කවි

ඔන්න අපේ සිහින සිත්තම් නිසා මටත් කවි දෙක තුනක් ලියන්න ආස හිතුනා. ආසාව තිබුනට වැඩක් නෑනේ, හැකියාව නැත්නං. එහෙම කිව්වට මේකා ඉස්කෝලේ යන කාලේ හෙන කවි කාරයා. 10 පන්තියේ ඉදිද්දී ඔය ලියාපු කවි සංකල්පනා කීපයක්ම සිළුමිණ, දිවයින පත්තර වල කවි පිටු වල පල උනා. ඒවා ටික පත්තරෙන් කපල හාල්ෆ් ෂිට් වල අලවල ලස්සන තියාගෙන හිටිය මතකයි. ඒත් ඒවා නැතිවෙලා. නැතිවෙලාය කියන එක අරුමයක් නෙමෙයි මොකද දේශකයාගේ ඉස්කෝලේ අස්වීමේ සහතිකේ ඉදල ඔය ක්‍රීඩා සහතික එහෙමත් ඔක්කොම නැති වෙලා. ඒකෙන් පාඩුව මටම තමයි. ඇයි ඉතිං උඹ ඉස්කෝලේ තාප්පෙවත් දැකපු නැති එකෙක් ය කියල සමහර උන්දලැ හයිරං කරන කොට ඔප්පු කොරාන්ට තිබ්බ එකම සාක්ෂියත් ඒකනේ.

මොන විදියට බැලුවත් ඉස්කෝලේ ගිය කාලේ තරම් සිත පිනා යන කාලයක් මේ ජීවිත ගමනෙදි ආයෙ හමුවෙන්නේ නෑ. ඒකටත් එක්ක මොරටුවේ වේලස් කුමාරයේ සීයල වගේ ළමයි එක දවසක් ඉස්කෝලේ යන විදිය ගැන විස්තරයක් ගොස්ප් ලංකා එකේ තිබුනම ඒක දැකල මටත් හෙන ආස හිතුන ඒ විදියට හරි ආයේ යන්න තිබුනනන් හොදය කියලා. එහෙම උනාට ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ඒක තියෙනවද කියලවත් බලපු නැති එකෙක්ට ආයේ ඉස්කෝලේ පස් පාගන්න දෙයියැ මේ දැං ඉන්න කොලු බාප්පලා. ඒක කිව්වමයි මතක් උනේ අර වේල්ස් කුමාරයේ සිද්ධියට දේශකයා බැරි මරගාතේ දේශනා කරපු කයියක් පෝස්ට් කටුවක දාල තිබුන. 

සමහරු පාරේ නිදති
රතු දැක්කම ඉගිලෙති

අද උදේ දේශකයාත් හීන් සීරුවේ වැඩට එන වෙලාවේ කොළඹ ඉදලා කතරගම යන එන් ඒ 4040 සී ටී බී බස් එකේ පිටිපස්සේ වින්ස්ක්‍රින් එකේ වම් පැත්තට වෙන්න අලවල තිබුන ස්ටිකරයේ තිබුන වැකියක්. මේක දෙතුන් පාරක් කියෙව්වත් තේරුණෙ නැති නිසා පොඩ්ඩක් හිතල බලන්න උනා. අප්පට සිරි එතකොටනේ වැඩේ තේරුනේ.

ආ. ආයේ අමතක වුනා කවි ලියන්ට නේ ගියේ. ඒ උනාට වෙන කොහේද නෙව ගියේ. බලන්ටකෝ ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුය කියන්නේ ඒකනේ.

ඒ පාර තව එකක්. ඔය ප්‍රස්තාව පිරුළේ ඉතිහාස කතාව පොඩ්ඩක් මොඩිෆයි වෙලා අහන්න ලැබුන මාතර පැත්තේ මිත්තරයෙක්ගෙන්. ඔන්න කතාව

මාතර, හක්මන, තිහගොඩ පැත්තේ තියෙනවා රණවීර වලව්ව කියල තඩි වලව්වක්. ඒකේ ඉන්න වලව්වේ හාමුදුරුවෝ වෙන හාමුදුරුවො වගේ නෙමෙයි. ටිකක් හොදයි. වලව්ව නං බැරිය. වලව්ව වටේම තියෙන්නේ සාරෙට වැඩුනු පොල් ඉඩම. ගමේ ඉන්න ගෑනුන්ට වෙන වැඩක් නැති හින්ද ඔය පොල් නෙලන වෙලාවට ඩිංගක් උදව් පදව් කරල පොල් ගෙඩියක්, පොල් කොළයක්, කොළපුවක් (සමහරු කියන්නේ පොල් හනස්ස කියලයි. ඒකත් අර නුවර උන්දැල බස් නවත්වනවට කියන බස් හිටෝනවා කියනව වගෙයි) එහෙමත් අරගෙන යනවා. නැති බැරි වෙලාවට උන්දැලට සිලිමක් දෙකක් එහෙමත් දෙනවා. 

එක දවසක් වත්ත බලාගන්න ඉන්න බණ්ඩ වලව්ව පැත්තට යනකොට හිමිදිරියේ වලව්වේ හාමුදුරුවෝ දන්නවනේ අර සැප පහසු හාන්සි පුටුවක දපල කම්මුලේ අතකුත් තියාගෙන කල්පනා කරනවා.


“හාන්දුනේ. සමා අවසර. අද මොකෝ මේ පාන්දරම ලොකු දුකකින් වගේ ඉන්නේ, මොකක් හරි අසනීපෙයක්ද හාන්දුනේ“

“නෑ බොල බණ්ඩෝ මං මේ කල්පනා කොලේ මේ ගමේ ගෑනුංගේ තියෙන දහදුරාකම, අම්මපා මුං මහ පාහර ගෑනු නෙව“

“උං හාන්දුරුවොන්ට මොකෑ හරි කිව්වයැ අපේ හාන්දුනේ“

“උං කිව්ව කෙං ගෙඩියක් නෑ බොලං, මම මුන්ට නැති වෙලාවට පොල් ගෙඩිය දෙක දෙනවා. ඒ මදිවට ඔය පොල් කොලේ ඉදලා දෙනවා. ඒත් මුං හැමදාම ඉර මුහුන් වෙන්න කලිං එකා දෙන්න ඇවිල්ල මගේ ඉඩමේ වැටෙන පොල් ටික අහුලං යනවනේ අර කඩුල්ල පැනල ඇවිල්ල. මුං වගේ ලැජ්ජ නැති උං“

“ ඉතිං හාන්දුනේ.. අපි උංගේ මිනිහලට දෙහි කපල ඕක නවතල දාන්ට හැකි නෙවැ“

“නෑ බොල මම උන්ට දෝසාරෝපනේ කරාට මුං ඒක නැවැත්තුවේ නැහැනේ. ඇයි බොලං මං මුංට හොද වැඩියි නේ ඒකයි“

බණ්ඩා තරමක් වේලාවක් කල්පනා කර හිස කසමින් හාමු ළගට පැමිණ දෙකට නෑමි කනට කිට්ටු වෙයි.

“ හාන්දුනේ මං ගාව ඕකට තියෙනවා හොද පරතිකරුමෙයක්. හාන්දුන්ගේ අමනාපයක් නැතිව අහවර නං මට හැකිය ඕක නවත්තල දාන්ට ආයිබොවන්ඩ“

“ ඈ යකෝ උඹට හැකිය එතකොට ඕක නතර කොරන්ට. මාත් මේ හිත හිත හිටියේ මොකද්ද කරන්නේ කියල තමයි, ආ කියපං කෝ බලන්ට උඹ මොකක්ද කරන්ට යන්නේ කියලා“

“හාන්දුනේ මං වැඩේ කිරි ගහට ඇන්න වගේ කොරල දෙන්නං, ඒ උනාට ඒ කොරමේ කියන්ට නං බෑ ආයිබෝං“

“හා .. හා.. ඒකට කමක් නෑ. උඹට ඕන දෙයක් කරල මුං මගේ වත්තේ කඩුල්ල පනින එක නවත්තපංකෝ“


ඉතිං බණ්ඩත් හාමුට පොරොන්දුවක් දීලා පහුවෙනිදා හිමිදිරියෙම ගියා වත්තට. ගිහිල්ල වලව්වේ හාමු ජටාව ගහන විදියට ජටාව ගැටගහගෙන ඇදගෙන හිටපු සරම ගලවල වැටේ එල්ලුවා. ඔන්න ටික වෙලාවක් යනකොට එක ගෑනියෙක් එනවා බණ්ඩ දැක්ක. මේකා හනි හනිකට ගෑනි එන ඉස්සරහට ගියා. නස්පැත්තිය දැක්ක ගෑනි බය වෙලා ආපස්සට හැරිල දුවන කොට මේකත් දුවනවා. ඔය වගේ කීප දෙනෙකුටම මේකා දවස් දෙක තුනක් ඔය වැඩේ කොරා. සතියක් විතර යනකොට ගමේ ගෑනු කඩුල්ල පනිනවා තියා වලව්ව දිහා බලන්නෙත් බයෙන්. ඔය අතරේ ගමේ කතාවක් පැතිරෙනවා හාමුට ඔළුවේ අමාරුවක් හැදිලය පාන්දරට ගෑනු දිහා බලාගෙන ඉදල සරම කඩා දානවය කියලා


බණ්ඩ මොකෑ කලත් හාමු ට තේරුනා දැන්නං ගෑනු කඩුල්ල පනින්ට එන්නේ නැතෙයි කියලා. ඒ උනාට ගමේ තියෙන විස්තර ලැබෙන්නේ නෑනේ. 

ඉතිං ඔහොම ගිහිල්ල ගමේ මිනිස්සු කඩ පිල් ගානේ කියන්න ගත්තා (හාමු ලෙඩ වෙලා හිටිය උනත්) “ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි“ කියලා. කතාව අවසානයි. ආ දැං දේශකයාගේ වේලාව



Wednesday, October 17, 2012

සියැට්ල් ප්‍රකාශනය

වර්ෂ 1850 පමණ කාලයේදී කෘර ම්ලේච්ඡ පිරිසක් වශයෙන් ඇමරිකානු සුදු ජාතිකයන් විසින් සලකනූ ලැබූ රතු ඉන්දියානුවන් ගේ එවක නායකයා වූ නූතන අධ්‍යාපන ක්‍රම හෝ අක්ෂර පිළිබද නොදැන සිටි සියැට්ල් (විටින් විට වෙනස් වී පාරිභාෂිතයට පැමිණ ඇත්තේ මෙම නාමයයි) විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගැනීම උ‍දෙසා කරන ලද මහත් වූ අරගලය අවසා‍නයේ එකගතාවයකට පැමිණීමෙන් පසුව කරන ලද ප්‍රකාශයක් සියැට්ල් ප්‍රකාශනය වශයෙන් ප්‍රචලිත වී ඇත. තමා ජීවත් වන භූමිය, වටපිටාව පිළිබදව, මෙම ම්ලේච්ඡයෙකු ලෙස සැලකු සියැට්ල්ගේ දැනුම කොතරම් අගනේදැයි ඔහුගේ ප්‍රකාශය පරිවර්තනය කරන ලද ආචාර්ය හෙන්රි ස්මිත් විසින් 1887 දී එය පලකරන තුරුම කිසිවෙකුත් දැන ‍සිටියේ නැත.

දේශකයා මීට වසර 15 කට පෙර ලෙනාඩ් කුමාර ගමගේ මහතා විසින් පරිවර්තනය කරන ලද ඉහත ප්‍රකාශනය සහිත කුඩා පොත් පිංචක් කියවීමට ලැබීමෙන් ඉමහත් අභිරුචිය‍ට පත්ව එයම නැවත ආසාවෙන් පිටපත් කර තවමත් සන්තකයේ තබා ගෙන ඇත. වැදගත්ම දේ නම් මෙම ප්‍රකාශය චාල්ස් ඩාවින් සිය පරිනාමවාදය ඉදිරිපත් කිරීමට වසර හතරකට පමණ එපිටදී සිදු කර තිබීමයි. එවැනි විශිෂ්ට අදහසක් පල කිරීමට හැකි සන්නද්ධ වූ මනසක් සියැට්ල් සතුව තිබූ බව සිතීම පවා උගහටය. තමාගේ භුමිය බලයෙන් අත්පත් කරගන්නා විට, එම සටනේදි තමාට ජය ගනු නොහැකි බව ප්‍රත්‍යක්ෂ වී ඇති විට තමා ජීවත් වූ භුමිය කොතරම් වටිනවාද යන්න මොනවට පැහැදිලි කරන යෙදුම් මෙම ප්‍රකාශයේ ගැබ් වී ඇත.


අප ඒ සන්දියේදි මෙවැනි ස්වභාවධර්මය අගේ කරන දේ පිළිබද උනන්දු වුනද වර්තමාන පරම්පරාව ඒ පිළිබද උනන්දුවක් නොදැක්වීම අතිශය කනගාටුදායකය. සියැට්ල් විසින් ප්‍රකාශ කල සමහර සත්‍යයන් පසක් වීමට ශත වර්ෂයකට අධික කාලයක් ගත වී ඇත. කාර්මික කරනය නිසා සුදු ජාතිකයා තම භූමිය පමණක් නොව, අනෙකුත්ගේ භූමින්ද කෙටියෙන් පවසන්නේ නම් මුළු මහත් පෘථිවියමද විනාශ කරන ආකාරය එදා සියැට්ල් දැක ඇති ආකාරය විස්මිතය. අසීමිත වන විනාශය ලොව නිසරු මුඩු බිමක් කරන ආකාරය සියැට්ල් එදා දැක්කේ කෙසේදැයි ඇත්තට‍ම සිතා ගත නොහැක.

කාල ය ගත වුනද එම ප්‍රකාශයේ ඇති සත්‍යතාවය අදටද වලංගු බව එය කියවීමෙන් වටහාගත හැක. සමහර විට ඔබ එය කියවා ඇති. නමුත් කියවා නොමැති කෙනෙකු වේ නම් එය අනිවාර්යයයෙන්ම කියවා බැලිය යුතු ධාරණය කර ගත යුතු ප්‍රකාශයකි.


මා මෙම පුකාශය සම්පූර්ණයෙන්ම පරිගණක ගත කිරීමට උත්සාහ ගන්නා විට අහම්බෙන් බ්‍‍ලොගයක ඇති සිංහල පරිවර්තනයක් දුටු නිසා එහි බ්ලොග් කරුටද ‍ගෞරවයක් ලෙස එහි ලින්කටුව මේ සමග යොදමි. එහෙත් මෙහි ඉංග්‍රීසි අනුවාදය වඩාත් සිත්ගන්නා සුළු අතර ඉතා සංවේදී වෙයි. මුලින්ම මා මෙය කියවීමට ගත් පොත් පින්ච සැකසූ ලෙනාඩ් කුමාර ගමගේ මහතාටද ගෞරවය ලැබිය යුතුය.



Monday, October 15, 2012

අපගේ විශ්වාසයන්

ශ්‍රි ලාංකිකයන් වශයෙන් අප සාමුහිකව පිළිගනු ලබන විශ්වාසයන් කොපමණද? එනයින් ලැබෙන උත්ප්‍රෙරකයන් මගින් මිනිසුන් විසින් කාලයක් තිස්සේ ලබාගෙන ඇති ප්‍රගතිය කුමක්ද?

ලාංකිකයන් ඈත අතිතයේ සිටම එක් එක් විශ්වාසයන්, මතවාදයන් මත තමන්ගේ ආත්මය, ජීවිතය ගොඩනගා ගත්තවුන් වෙයි. වරෙක යක්ෂයන් ද වරෙක පරිනාමයට භාජනය වූ මිනිසෙකු ලෙසද කාලානූරූපව සමාජය තුල ඇති කලාවූ ප්‍රභල බලපෑම් හේ‍තුවෙන් මේ වන විටත් සමාජය තුල නෂ්ඨාවශේෂ වී නොහොත් දැනට පවතින විශ්වාසයන්, ඇදහිලි පිළිබදව මධ්‍යස්ථව සිතා බැලුවිට පෙනෙන එකම කරුණ නම් කාලයක් පැවතුනු නිසාම පිළිගත් හෝ කිසිවෙකු විසින් ඉටු කළ නිසා අත්හදා බලන ලද හෝ ජීවත් වන සමාජය තුල වැඩි වශයෙන් ස්ථාපිත වී තිබීම නිසා හෝ ඉ‍ටු කරන කාර්යයක් බවයි.


මෙම අටුවාටීකාව සපයන්නට වන්නේ එම ක්‍රමයද අභිබවා යමින් වි‍දේශිය මිත්‍යාමත අප සමාජය තුල ව්‍යාප්ත වන වේගය පිළිබද සංවේගයක් ඇති වූ නිසාය.

කළකට ඉහතදී මෛත්‍රි බුදුන් ද වැඩ සිටියා මතකද? ඒ වගේම දැන් රාවණාගේ නංගීද පැමිණ සිටි. අලි මදිවාට හරක් කිව්වා සේ මාස්ටර්ගේ පෙන්ෂුයි පිස්සන් රැලක්ද සැම තැනම වසුරු පිඩ හලමින් සිටී. පුරාණ චීන ශාස්ත්‍රයකට නිගාදීම මෙහි අරමුණ නොවුනත් ලංකාව චීනය නොවන බව මේ පණ්ඩිත මාස්ටර්ලා තේරැම් නොගන්නේ තමන්ගේ මඩියේ ප්‍රමාණය නිසාය. ලංකාව පුරා ඉන්න මාස්‍ටර්ගේ අනුගාමිකයන් උදේට ගණදෙවි වන්දනා ස්ත්‍රෝත තමන්ගේ ප්ලේයරයේ හෝ පරිගණකයේ ආධාරයෙන් වාදනය කරනු ලබයි. ඔවුන් කියන්නේ ලෝඩ් ගනේෂ් කියාය. අපට නං නිකංම ගණ දෙවියන්ය. අප ඇදහුයේ බුද්ධියට අධිපති දෙවියෙකු ලෙසය. එහෙත් මෙම චීන ශාස්ත්‍රයේ ගණදෙවියන් වඩිනා තැන කියන්නට මේ කාටවත් නොහැක. පිලීපින ජාතික ගායිකාවක් විසින් ගායනා කරනු ලබන "රතන සූත්‍රය" පට්ට යැයි කියමින් රස විදින්නේද මෙම සහචරයන්ය. ගෙයි සාලේ බඩ මහත රත්තරං පාට ගෑ චීන ගොයියෙක් තබාගෙන, රතුපාටින් සරසා ගෙන, ඒ මදිවාට බිත්ති වල විකාර පින්තූර එල්ලා, ගෙට එළිය එන්ට යැයි කියා පළිගු එල්ලා ගෙන තවත් මදි නං ඇගේ ගෑවුනාම ටිං ටිං ගාන යකඩ පතුරු එල්ලා‍ගෙන සිටින්නේ ‍සෞභාග්‍යය චීනයේ සිට පටවන තෙක් බලා ඉදින්නාක් මෙනි.

දැං මාස්ටර්ගේ මඩිය තරකරන හොදම ක්‍රමය වන්නේ චීන මාලිමාවකින් ගෙදර සියළු දෝෂ කියා දෙන අපූරු ශාස්ත්‍රයයි. එතුමාට ගෙදරක හොදම කාලය කියන්නටත් ඒකෙන් හැකිය. ගෙදර ට සිරිකත වඩින ආකාරයෙන් ගෙම්බන්, කාසි දාපු හට්ටි, වතුර වීදුරු විතරක් නෙමෙයි මිදුලේ සැමදා පල්වෙන වතුර ටැංකි හදන ආකාරයත් ටක්කෙටම ඒකෙන් කියා දිය හැකිය. ඒ විතරක්ද ගෙයක් අවුරුදු 150 ක් විතර කල් පවතින ලෙස තබාගන්නට උපදෙස් දෙන්නට‍ද මේ බලගතු මාලිමාවට හැක. එක ගෙයක් බලන්නට මාස්ටර්ගේ ගෝලයෝ දෙන්නෙක් එයි. ඒකට දහසින් බැදි පියලි දිය යුතුය. 

මිනිසුන් මෝඩයන් කිරීමද පාපයකි. අපි මේක අඩුවට දෙනවා කියා කීමම වෙළදාමකි. රටේ තැනින් තැන දේශන පවත්වා තවත් මඩිය තර කර ගෙන තවත් මෝඩයන්ට අන්දන්නේ අපේම මිනිසුන්ය. 

අප මෙපමණ කලක් අපගේම නක්ෂත්‍රයකට අනුව කටයුතු කළෙමු. මාස්ටර් දැන් ඒක ගිලිමින් සිටී. අප කුමක් කරමුද?


Wednesday, October 10, 2012

දේශකයාගේ වෙලාව


කට්ටිය ටිකක් විතර ඇවිල්ල හොයල බලල යනවා. ඒක සතුටක්. ඒත් ම‍ගේ මිතුරෙක් වෙන ගයාන් වීරසිංහ (බ්ලොග නොලීවත්) අහනවා ඇයි මේ දවස් වල පෝස්ට් කටු දා‍න්නේ නැත්තේ කියාල. 

ඒක ඉතිං ඒ තරං දෙයක් නෙමේය කියල මම කිව්වට ඇත්තටම ඒකට වේලාවක් සොයාගන්න ටිකක් අමාරුයි. ඔන්ට බලන්නටකෝ මගේ දිවා පැය 8 ක රාජකාරි කාලය බෙදෙන හැටි. 

ඉතිං ඔය වගේ කාර්යක්ෂමව වැඩ කරන දේශයකයාට ලියන්ට කියන්ට ඉඩහසරක් ලැබෙන්ට‍ තියෙන පරස්තාව සෑහෙන්ට අඩුයි නෙව. ඒ උනාට දවසට පැය 8 යැ තියෙන්නේ නේද? වැඩේ තියෙන්නේ දේශකයාත් අර අධ්‍යාපන ඇමතිගේ ‍2500 න් විතරක් ගිලල ඉන්න හාදයෙක් නිසා, ඔය අනං මනං වැඩ වලට සල්ලි වලට ගන්න, විදුලිය භාවිතා කරන්න ඕනැයි. 

අනික 2500 ප්‍රශ්නේ නිසා රෑට ලයිට් දා‍න්නෙම නෑ. (දේශයකයාගේ ගුබ්බෑයමේ ජාල පහසුකම් නැතෙයි කීවානං ඉවරනේ නේද)

ඔන්න එහෙනං පැය 8 ක කාලය බෙදා කියා ගන්නා හැටි

සාමාන්‍ය රාජකාරි වේලාව උදේ 8.15 සිට හවස 4.15 දක්වා

01
උදේ 7.45
රාජකාරියට පැමිණීම
මොනා උනත් හොද එකා උදේම වැඩට එනවා
02
උදේ 7.45 – 8.30
පරිගණකය දැමීම, මේල් චෙක් කර උත්තර යැවීම, බ්ලෝගර් යෑම, ඉන්පසුව රෝලේ ඇති බ්ලෝග ටික බැලීම, අවශ්‍යනම් කමෙන්ට් කටු දැමීම, අළුතින් කියවීම සදහා බ්ලොග සොයා ගැනීම
ඔය ටික කරන කොට නිකංම බඩගිනි වෙනවා.
03
උදේ 8.30 – 9.15
පාතාරසය ගැනීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
04
උදේ 9.15 – 10.00
කාර්යාලයේ කටයුතු කිරීම, ඒ අතරත් බ්ලොග බැලීම, පොඩි පොඩි යූ ටියුබ් කෑලි බැලීම, ඇයි දුරකනත ඇමතුම් ඒවත් නිකං වැල් වගේ ඒවත් තියෙනවා
ඔය ටික ‍කොරන කොට සාපිපාසාව ඇති වෙනවා නොවැ
05
උදේ 10.00 – 10.30
කෙටියෙන් කිව්වොත් ‍තේ බීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී ද පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
06
උදේ 10.30 – 11.00
කාර්යාලයේ කටයුතු, දිනපතා පුවත්පත් තොරතුරු දැනගැනීමේ අවස්ථාව
තොරතුරු දැනගැනීම මානව හිමිකමක් නොවැ
07
උදේ 11.00 – 11.30
දේශකයාට අවශ්‍ය පොත් පත් ගෙන ඒම සදහා පුස්තකාලයට යෑම
ඕකට කියන්නේ ප්‍රංශ මාරුව කියලයි. පුස්තකා‍ලයේ පිහියෙන් දේශකයා මාරු වීම
08
උදේ 11.30 පස්වරු 1.30
කෑම (දෙ)පැය
කාර්යාලයෙන් බැහැරට යාම
09
පස්වරු 1.30 – 1.50
සත්‍ය ලෙසම දිවා ආහාර ගැනීම
ඇත්තටම වේලාව මදි හින්දා කෑම කන්නේ නෑ ගිලල දානවා මේ අහිංසකයා
10
පස්වරු 1.50 – 2.00
දුර්ලභව ගන්නා දුම්පතාගේ පානය ගැනීම
ඒකට පොඩි වෙලාවයි නේ යන්ටෙ නේද
11
පස්වරු 2.00 – 3.00
ආයෙත් බ්ලොගර් යෑම, කියන්ට ඕනැනෑනේ අංක 4 පුනරූපනය ය කිරීම
උදේ බලපු ඒවා දවල් වෙනකොට ආයේ අළුත් කරනවා නේ මේ හා‍දයෝ ටික. ඉතිං බලන්ටම එපායැ. මිත්තරයො ‍නේ.
12
පස්වරු 3.00 – 3.30
කෙටියෙන් කිව්වොත් ‍තේ බීම සදහා ආපනශාලාවට යෑම
මේ අවස්ථාවේදී ද පොඩි පොඩි තෙපර බෑම් සදහා සුළු කාලයක් ගතවේ.
13
පස්වරු 3.30 – 4.00
කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කිරීම, ආයෙත් ලැබී ඇති මේල් බලා උත්තර සැපයීම
ඔය මේල් බලනවා කියන්නේ රාජකාරි ඒවා එහෙම නෙමෙයි හොදේ. රාජකාරි කරන්ට පුළුවනෑ මේල් වලින්.
14
පස්වරු 4.00 - 4.15
ගුබ්බෑයමට යන්ට සුජානං වීම
ටිකක් හැඩ වෙලා එළියට යන්ට ඕනනේ
15
පස්වරු 4.16
දේශකයාගේ නැට්ටවත් අල්ලා ගැනීමට නොහැක.

මේ විදියට රාජකාරි අවංකව කොරන දේශකයාට ඉතිං කොහේද පෝස්ට්කටු ලියන්ට තව වෙලාවක්. ගැත්තෝ කමා කරත්වා..