Friday, October 23, 2015

ලේඛකයා!!

සම්පුර්ණයෙන් අඳුරෙන් පිරී ඇති කුඩා කාමරය තුල අලුත් පොත් හා පැරණි පොත් පුසුඹ මුසු වීමෙන් එහි වාතාශ්‍රය අමුතුම ආකාරයේ විඳිමක් බවට පත් කර ඇත. කාමරය පුරා බිත්ති දිගේ තබා ඇති පොත් රාක්ක තුනක එකතුවක් ලෙස බිම් මට්ටමේ සිට අඩි පහක් පමණ උසක් වැසෙන සේ අසුරා ඇති පොත් ප්‍රමාණය අඩුම වශයෙන් දෙදහසක් පමණවත් වනු ඇතැයි අනුමාන කළ හැක. කාමරය මැද්දට ආසන්නයෙන් කුඩා ලී මේසයක් ඇත. එම මේසයේ හතර කොනම සුමට අයුරින් තබා ඇත්තේ කාමරය භාවිතා කරන්නාගේ නොසැලිකිලිමත් ගමණකදී ජනනේද්‍රිය ප්‍රෙද්ශයට දැඩි බලපෑමක් ඇති නොවන අයුරින්ය. මේසය එක් පසෙකින් ඇති සාමාන්‍ය ලී ඇදි පුටුවෙහි වර්ණය බොහෝ සේ දුර්වර්ණ වී ඇත. අලුත ගෙනෙන විට එහි තිබු දිස්නය හෝ පොලිෂ් සුවඳ දැන් කිසිදු අයුරකින් විරාජමාන නොවේ. පුටුව ඉදිරිපස ඇති මේසයේ යට දාරය පුරා කාලයක් තිස්සේ තැන්පත් වූ ඉටි වැනි යමක් නිසා දැඩි ලෙස කළු ගැහී ඇති අතර, ඒ අපගේ කතා නායකයා දවස මුලුල්ලේ තම නහයෙන්, ඔළුවෙන්, ඇගිල්ලෙන් ගෙන ඉවත් කරන නොවැදගත් දේ නිසාය. වැල් පුටුවේ මුදුනත ඔහුගේ ඔළුව ගැටෙනා තැන තනි කළු පාටින් අඳුරු වී ඇත. පුටුවේ අත් වාරු මතද තැනින් තැන කළු පැහැ ගැන්වී ඇති අතර, මේස යට දාරයේ තිබෙන අයුරින්ම තවත් ඉටි තට්ටු පුටුවේ අත් රදවනය කොනින් යට දෙපැත්තේද එකී ආකාරයටම ඇත. කිසිදා වෙනස් නොවනා, කිසිවෙකු අත පත නොගාන ඔහුගේ එකම සන්තකය මේ කාමරය තුල සිර වී ඇති සේය.

දවසින් වැඩිම කාලයක් මේ කාමරය තුල ගත කරන අපගේ කතා නායකයා ලේඛකයෙකි. විචාරකයන් විසින් හදුන්වා දෙන පරිදි කෘතහස්ත ලේඛකයෙකි. නමුදු අපගේ ලේඛකයා එම විචාරයන්ගෙන් නොසැලී තව තවත් ඔප් නැංවූ පොත් පත් ලිවීමෙ කාර්යයෙහි නිදි වරා යෙදෙමින් සිටියි. විචාරක ප්‍රේමය කෙසේ වෙතත්, පාඨක ප්‍රේමය නම් ඔහුට ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව ඔහු කිසිවෙකුටත් කියා නොමැත. මුග්ධ විචාරකයන් පවා නයිටින්ගේල් කුරුල්ලන් මෙන් ඔහුට ප්‍රශස්ති ගී ගයා ඇත. එහෙත් පොතක් ප්‍රකාශයට පත් කරවා ගැනීම සදහා තමාගේ ප්‍රකාශකයා වෙත යන හැමදාකම ලේඛකයා අගුටුමිටිටෙකු වී ප්‍රකාශකයා යෝධයෙකු මෙන් ඔහුට හිරිහැර කරනා බව දන්නේ ඔහුම පමණි.

“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා. ගිය පාර පොතෙන් ගහපු කොපි දාහෙන් අඩුගාන පන්සියක් වත් තාම විකිණිලා නෑ.“

“මං මොනවා කරන්නද ඉතිං.. මට පුලුවනෑ අඩල දොඩල පොත් විකුණන්න“

“දැං ගිය පාර කොපි සීයක් මහත්තයා ගත්තා. පුස්තකාල වලටය කියල තව තිහක් දුන්නා. පොත පිට කරපු දවසේ යන්තං පොත් අසූ පහක් ද කොහේද නේ ගියේ. දාපු පොත් වලින් පවා තාම ඇවිල්ල තියෙන්නේ සුළු ගාණයි.“

“හරි.. මං ඔහේගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.“

“ඒක වෙනම කාරණයක් නේ මහත්තයෝ... මේකයි.. බොරුවට සල්ලි යට කරල අවුරුදු ගානක් බලං ඉන්න මට බෑ.. මං මහත්තයට මේ උදව් කරන්නෙත් මහත්තයා මොන දේ උනත් මං ගාවට එන නිසා. අනික ඔය පත්තර වල මහත්තයගේ පොත් ගැන වර්ණනා ගියාට මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“

නෑසු කන්ව සිටිය යුතුදැයි, නැතහොත් යමක් කිව යුතුදැයි නිනව්වක් නොමැතිව ලේඛකයා ඔහු දිහාම ඇස් නොසෙල්වා බලා සිටියේය. තත්පර තිහක හතලිහක මෙම නාඩගම දුටුවේ නම් ශෂිකා නිසංසලා ගයන අලුත්ම ගීතයේ එකම පදය “මා ඇසි පිහි නොහෙලා බැලුවා ඔබ දෑස දිහා“ ලෙස වෙනස් කරන්නට පවා එහි රචකයා කටයුතු කරනු ඇත. මේසය මත තිබු අත් පිටපත තමා වෙතට ඇදගත් ලේඛකයා මහා බරක් මෙන් එය කිහිල්ලට ගෙන නැවත යාමට හැරුණි.

“වීරතුංග මහත්තයා.. අමනාප වෙන්න එපා.. අපි තව ටික දවසකින් බලමු“

“නෑ කිසි අමනාපයක් නෑ. මං ගොහින් එන්නං“

“මහත්තයා. රුපියල් දාහක් විතර දෙන්නද? පස්සේ කපා ගන්න“

“නෑ ඕනි නෑ... මං යන්නං“


වීරතුංග මහතාගේ මනසෙහි ගොර ගොරය දැඩි වන්නට ගත්තෙ පොත් සාප්පුවෙන් එළියට බට කල්හිය. සීතල වී තිබු කුටියෙන් එපිට අව් රස්මිය එක වරම ගතට දැනීමෙන් ඔහුගේ රෝම කූපයන් වේදනාවට පත් විය. රෝම කූප පරායා යමින් සමෙහි ක්ෂුද්‍ර සිදුරු හරහා හෝස් ගා එක් වරම සිරුරට ඇතුල් වූ රස්නයෙන් විපරිත වී ගිය සිරුර පරදා ඔහුගේ සිතද උණුසුමකට ලක්ව ඇති සේය. ප්‍රශ්නය පටන් ගන්නේ මේ මොහොතේ බව ඔහුට හැගෙන්නට විය. වසර ගණකාවක් නොඒසේ නම් දශකයක් පමණ කාලයක් තිස්සේ තමාගේ පොත් ප්‍රකාශයට පත් කළ ඒ තක්කඩියා මෙපමණ කලක් තමන් රවටා ඇති බව ඔහු දැන සිටියට, අලුත් පොත භාර ගැනීමට නොහැකි යැයි කිසිදු දිනෙක පවසනු ඇතැයි ඔහුගේ සිතෙහි අබමල් රේණුවක පමණින් වන් කුකුසක් නොතිබුණි. එක් වරම කඩා පාත් වූ මේ හෙණය කුමක්දැයිඑයින් ගොඩ වන්නේ කෙසේ දැයි ඔහුට නිනව් නැති විය. අවට පරිසරය උණුසුම් කරමින් හිරු රශ්මිය කාපට් කරන ලද මහා මාර්ගයේ වැදි තමා දෙසටම පරාවර්තනය වී එහි ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

ප.ලි. - මේක පතරංග ජාතකයක් තරං දික් වෙන්න තිබුන කතාවක්.. ලියන්න කම්මැලියි .අදහස් නෑ. නිදහස් නෑ.. ලියපු ටික අතෑරියා..

යෝජිත අවසානය.. (01)

කොන්දොස්තර ළමයාගේ කෑ ගැසීම එක වරම දැඩි වුයෙන් වීරතුංග මහත්තයා දෑස් විවර කර බැලුවේ හිරු රැසින් කරනා අනේකවිධ බාධා අතරිනි . කුඩා කරගත් දෑස විසල් නොකරම කන්නාඩිකුට්ටම නාසයේ ඉහල දාරය මත රැඳවූ ඔහු වටපිට බැලුවේ මේ කොතනදැයි හරියටම දැනගනු පිණිසය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ... පාර දෙපස යෝධ ධජ පතක වලින් අලංකාර වූ සැණකෙළි සිරිය දෙස ඔහු බැලුවේ උදාසීන මනස සහ මසැස ඒකාත්මික කරමිනි ...

අත් අල්ලාගත් පෙම්වතුන් , කිචි බිචි ගාමින් රංචු ගැහුණු කුඩා දැරිවියන් ..මව් පියන්ගේ අතේ එල්ලුණු කුඩා දරුවන් ... උනන්දුවෙන් මෙන් ඇදෙමින් තිබුනේ ඒ ප්‍රතාපවත් යෝධ ශාලාව දෙසටය .

" සාහිත්‍යයේ වසත් සමය " , කියවීම මිනිසා සම්පූර්ණ කරයි ..නොයෙක් වැකි රැගත් නානාප්‍රකාර අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම පුවරු වලින් පරාවර්තනය වෙන හිරු කිරණ නැවත වරක් වීරතුංග මහතාගේ දෙනෙත් නිලංකාර කලේ හිත්පිත් නැති පරිද්දෙනි . 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නම් පුවරුව යටින් කුහුඹු රැලක් මෙන් දෙපසටම ඇදෙන ජන ගංගාව දෙස වීරතුංග මහතා හිස් බැල්මෙන් බලා සිටියේය. 

"“වීරතුංග මහත්තයා. මේ පොත නං ගහන්න බෑ.. පාඩුයි අප්පා.,මට මතක ඇති කාලෙකින් කව්රුවත් ඇවිත් නෑ මහත්තයගේ පොතක් හොයාගෙන.. අම්මපා“" පොත් ප්‍රකාශකයාගේ වදන් නැවත සවනතර රැව් පිළිරැව් දෙයි ..

ඔය බී එම් අයිසී එච් නැග්ග අය සල්ලි ගන්න .. හරි යං හරී......ගලන ජන ගගඟට ප්‍රති විරුද්ධ දෙසට බසය සෙමෙන් සෙමනේ නැවත ධාවනය වන්නට විය .. 


(ඉවාන් පව්ලුෂා - උඹේ තත්පර ගානක මහන්සියක ප්‍රතිභාව ගැන මට කඳුළු අතරින් හිනාවක් ආවා බං අම්මපයි)


යෝජිත අවසානය (02)

ගෙදරට ගොඩ වූ සැනින් වෙනදා මෙන් සිය අඳුරු කාමරයට ගොඩ නොවූ ලේඛකයා ඉස්තෝප්පුවේ ඉඳගෙනම පාලු වී ගිය ඇනෙක්සිය දෙස මද වෙලාවක් බලා සිටියේය. නීතා ජීවත්ව සිටි කාලයේ මේ අනෙක්සියෙන් ලැබුණ කුලියෙනුත් මැහුම් ගෙතුම් වැඩ වලිනුත් ගෙදර වියදමත් තම ගමන් බිමන් ලියකියවිලි ගාස්තුත් සියල්ල පිරිමසා ගත් හැටි සිහිපත්ව ඔහුට හීල්ලුනේය. ඒ කාලේ පොත් ප්‍රකාශකයෙක් ලඟට වුනත් තමන් ගොඩ වුනේ මීට වඩා ආත්ම විශ්වාසයකින් හා පෞරුෂයකින් බව ඔහුට නිශ්චිත විය . එකෙනෙහිම ඔහුට සිහිපත් වුයේ කන්කරච්චලය වැඩි යැයි කියා මාස ගණනකට පෙර එළවාගත් දරුපවුලේ මෙන්ම අද පොත් ප්‍රදර්ශනය බලන්නට පැමිණ සිටි දරුපවුල්වලත් ජීවිත තමන්ට මග හැරී ඇති බවකි. නරුම අසුබවාදී ලේඛනවල දැවටී දැවටී අර මූසල කාමරයට වී සිටීම මොන තරම් මුග්ධ කමක්දැයි වීරතුංග නම් මහා ලේඛකයා මුල්වරට හිතන්නට පටන් ගත්තේය. ඊට සමාන්තරව පාරේ යනෙන වාහනවල නලා හඬ පරදා අසල්වැසි ගෙවල මිදුලෙන් ඇසුණු පොඩි වුන්ගේ සිනා හඬ මෙන්ම සයානාගාරවලින් ඇසුණු අඹු සැමියන්ගේ මුණු මුනුව පවා ඔහුට ඇසෙන්නටත් දැනෙන්නටත් පටන් ගත්තේය.

ප්‍රතික්ෂේප වූ අත් පිටපතට ප්‍රාණවත් ජීවිතය ඔබ්බවා අලුතින් ලියන්නටත් වඩා හොඳ ප්‍රකාශකයෙකු හොයාගෙන යන්නටත් තරම් ඔහුගේ හිතට දිරියක් ඇති වී තිබිණි. කල්පනාව අස්සේම කැබිනට් ලාච්චුව අත ගෑ ඔහුට ඇනෙක්සිය කුලියට දෙන දැන්වීම පත්තරේට දමන්නට තරම් මුදලක්ද තවත් අමතර සිල්ලර ගණනක්ද හොයාගන්නට පුළුවන් විය. එසේ ඉතිරි මුදල් හා කාසි ටික ගනිද්දී බීර බෝතලයක අලුත් මිල ගැන අදහසක් නැති වීම ගැන ඔහු අවන්කවම කණගාටු වුනේය .


තිලක සිත (ඒකේ අන්තම වාක්‍යය නං ඉස්තරම්මයි)


යෝජිත අවසානය (03)
වීරතුංග තීරණයකට එලැබිනි...

හැමදාම එක එකාට නෝන්ඩි වෙන්න බෑ... ජනතාවට ලිය ලිය ඉඳලා හරියන්නෙත් නෑ...

වීරතුංගට මීට ටික කළෙකට පෙර අහම්බෙන් හමු වූ ඇමතිවරයා කී දෙය මතකයට නැඟුනි....

වීරතුංග මහත්තයා... ඔබ තුමා කැමති නම් මට පුළුවන් මගේ ජනමාධ්‍ය ඒකකයේ රැකියාවක් දෙන්න.. එහෙම නැත්නම් අමාත්‍යංශයේ මොකක් හරි සෙට් කරලා දෙන්නම්....

බොහෝම ස්තූතියි ඇමතිතුමා.... ඒ උනාට ඇමති තුමා ඔබ තූමාටත් හොඬටම කැපිලි කෙටිලි නේද...? මේවා ඔබ තුමත් අමාරුවේ වැටෙන වැඩ..

කමක් නෑ මහත්තයා කල්පනා කරලා බලන්නකෝ... ඕන වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න...

මේ සැරේ සාහිත්‍ය උළෙලට ජනාධිපති තුමත් එනවා කියන්නේ වීරේ..

ඒකත් එහෙමද... මම එතුමව ඇමති කාළේ නම් හම්බ වෙලා තියෙනවා... බොහොම නිහතමානී මනුස්සයා...

එහෙනම් ඉතින් නොවරදවාම උත්සවේට යමු... වීරෙත් බොහෝම අමාරුවෙන් නේ මේ දවස්වල ඉන්නේ..

ඒක තමයි.. එතුමට කතා කරන්න හම්බ උනොත් උපකාරයක් ගන්න බැරි වෙන එකක් නෑ..


මාතලං (වීරතුංග එන පොට හරි නෑ. .හැක්. ස්තුතියි මාතේ)


යෝජිත අවසානය (04)

වීරතුංගට එක් වරම තද බඩගින්නක් දැණුනි. උදේ සිට කිසිවක් කා නොතිබුණු බව ඔහුට මතක් වූයේ එවිටය. කැරකැවිල්ලක් සේ දැණුනු බැවින් අසල තිබූ විදුලි කුළුනක බරදී මොහොතක් කල්පනා කරන්නට විය. "මොකද සර් සනීප නැහැ වගේ නේද?" යයි කවුදෝ අසන හඬක් ඔහු යළිත් පියවි ලොවට ගෙනාවේය. හැරී බලනවිට එහි සිටියේ පියකරු සිනහවකින් පිරි කඩල විකුණන්නෙකි."ඔව් පොඩි කැරකිල්ලක් ආවා" යැයි පිළිතුරක් දී කීයද ඔය කඩල ගොට්ටක් යැයි ඇසුවේ බඩගින්නට කඩල ටිකක් කෑමත් හොඳ බැවිනි. වෙනදා වීරතුංග කඩල කරුවන් දැක තිබුණේ හවස් යාමයේය. මොහෝවිට වීරතුංග කඩල ගන්නේ හවසට මදු විතට හොඳම බයිට් එකක් බැව් අත්දැකීමේන් දන්න නිසාය. මෙ මහ දවල් කඩල ගන්නා මිනිසුන් ඉන්නවාදැයි අසන්නට සිතුනත් ඔහු මුවින් නොබැන සිටියේ කවුරුත් ගන් නැතිනම් මොහු කඩල කරත්තයක් තල්ලු කරගෙන නොයන බව වටහා ගැනීමෙනි.

ඉක්මනිනම ගිල දැමූ කඩල ටික ඔහුට දැණුනේ දිව්‍යභෝජනයකින් සප්පායම් වූවාක් මෙනි. අසල වූ බංකුවක හිඳගත් ඔහු කඩල ඔතා තිබූ කොළය දිහා බැලුවේ එහි ලියා තිබූ මුතු කැට වැනි අකුරු නිසාය. වෙලඳ කළමනාකරණය කරන අයකුගේ සටහන් කොලයක් යැයි සිතුනේ එහි ලියා තිබූ පාරිභෝගික නැඹුරුවීම හෙවත් Customer Orientation ගැන ලියා තිබූ දෙයකි. කොලය අසල ඇති කානුවකට විසිකර දැමූ වීරතුංග ඔහු ලියනා දෙය ඔහුගේ පාරිභෝගිකයන් වන පාඨකයන් නොකියවන්නේ මන්දැයි සිතන්නට විය.

පෝටිකෝවේ නැවතුනු නවීනතම මර්සිඩීස් බෙන්ස් E300 රථයෙන් බැස ඔහු වෙත දිව ආවේ දැන් ජාත්‍යන්තර පාසැලක ඉගෙනගන්නා වීරතුංගගේ දහතුන් වියැති දියණියයි. ඔහු ලියනා දේ දුව දකීවි යන බියෙන් ලැප්ටොප් එක වසා දැමූ ඔහු ඇයට හාද්දක් දුන්නේය. වසර තුනකට හතරකට පෙර ඔහුගේ අසාව වූයේ දියණියත් ඔහුගේ අඩිපාරේ විත් සම්මානනීය ලේඛකයෙකු වෙනු ඇත කියාය. එදා කඩල කොළයෙන් පාරිභෝගික නැඹුරුව ගැන සිතා මල් පත්තර වලට කථා ලිවූ වීරතුංග එවැනි පත්තර දෙකකම හිමිකරුවෙකි. අද ඔහුගේ හිතට දිවා රෑ වදදෙන ප්‍රශ්ණයනම් දියණිය ඔහුගේ අලුත් ලියවීම් ගැන දැනගත්දාට ඇය තම පියා ගැන කුමක් සිතනු ඇත්ද යන්නයි. ලාච්චුව හැර ලොව වටා මාසයක සංචාරයට ගත් ටිකට් පත් දෙක අතට ගත් වීරතුංග දුව සොයා ගියේ ඒවා දියණියට පෙන්නා ඇය සතුටෙන් ඉපිලයනු දැකීමට ඇතිවුන ආසාව නිසාය. 


ඉයන් (අන්න වීරතුංගට මොලේ ඇවිත්.. හැක්)

යෝජිත අවසානය (05)

අච්චු කන්තෝරුවේදී තමන් විසින්ම ව්‍යාජයෙන් කල් දමන ලද පසුතැවිල්ල හා අහිමිවීම ඔහු හඹා පැමිණ මුහුණට මුණ ගැසුනේ පාර අයිනේ වූ මාර ගස් සෙවනේදීය. මෙතැන් සිට දවසේ ඉතිරි පැය කීපය, මාසයේ ඉතිරි දින කීපය සේම අවුරුද්දේ ඉතිරි මාස කීපයද ඔහුගේ වම් පස මාර්ගයේ වේගයෙන් තමා වෙත ඇදෙනු ඔහු බලා සිටියේ භීතියෙනි. පසුතැවිල්ල හා අහිමිවීම තම දෙකොපුල් දෙපසින් නැගී දෙලවන් දවමින් හිස කරා නැගෙනු ඔහුට හොඳ හැටි දැනුනේය. ඒ දුර්මුඛ භාවය මග යනෙන්නන්ගෙන් වසන් කලද, තමා එන තෙක් මග බලා හිඳින දීපිකාගෙන් වසන් කරනා මගක් සොයමින් හේ සිය දෑස් අවට සිසාරා යොමු කලේය. ඉදිරි පැය, දින, මාස නොකඩවා දෙපසින්ම ඔහු කරා එළඹෙනු දුටු ඔහුට කළාතුරකින් කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතක අධි වේගයෙන් පැමිණෙන විනාඩියක්, තත්පරයක් ඉදිරිපිටට පැන සිය දිවි නහගන්නට පවා සිත්විය.

ඒ සෑම කාල මානයක්ම අතරින් පාරේ අනෙක් පස සිය මවගේ සුරතේ එල්ලී ඇයගේ පියවර මෙන් දෙගුණයක් පියවර තබමින් විටෙක උඩ පනිමින් ගමන් ගන්නා සිඟිත්තියකගේ කෙළිලොල් හැසිරීම ඔහු සිත් පැහැර ගත්තේය. දැරිය විටෙක සිය මවගේ ගමනට බාධා කරමින් ඇයගේ අැඟේ එල්ලී වැළඳ ගන්නීය. යලි මවගේ අත අතැර පාර අයිනේ වැටී තිබූ වර්ණවත් යමක් අහුලන්නට යත්න දරන්නීය. එවිට ඇගේ එක් අතකින් අල්ලා පරඬැලක් මෙන් ඇදගන්නා මව මොනවාදෝ වදන් වැලක් හඬ නගා පවසන්නීය. දැරිය නෝක්කාඩු මුහුණක් මවාගෙන තරමක් දුරට ඇදි ඇදී අවුදින් යළිත් සිය මව වැළඳ ගන්නීය.
දින ගණනක් පුරා ‘කින්ඩර් ජෝයි‘ ඉල්ලනා ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු ඈ කෙරෙන් දුටුවේය. පොත් මේසයටත් වඩා දශක කීපයක් පැරණි එකම අල්මාරියේ ඇති එකම ලාච්චුව තුල කොනට වෙන්නට ගුලි ගැසී සැඟවුණු මදටිය පාට, නිල්පාට කොළ කැබලි ඇයගේ සිහිනය සැබෑ කරන්නට කිසිසේත් මදි බව ඔහුත් දීපිකාත් මැනවින් පසක් කර සිටියෝය. 
“දවාලට උයන්න විතරයි හාල් තියෙන්නෙ. ආතගෙ කඩෙන් හාල් පොඩ්ඩක් ගේන්නද මං ණයටවත්?“ 
උදෑසන තමන් නගරයට යන්නට සැරසෙද්දී, කාමරයේ පඬු පැහැ ගැහුණු දොර රෙද්ද මෑත් කර උළුවස්සට හේත්තු වූ දීපිකා එසේ අසද්දී,
“ආනෙ අම්මෙ කින්ඩජෝයි එකකුත්....“ කියමින් ඇයගේ බඳ වටා දැවටුණු ආමන්දිගේ අපේක්ෂාවෙන් සලිත දෑස ඔහු මේ සිඟිත්තියගෙන් මනාව දුටුවේය. 

තුන් රෝද රියකට අඬගසා එයට නැගුණු ඔහු තමන් යා යුතු තැන මේ යැයි කෙඳිරි ගෑවේ රියදුරුට පමණක් ඇසෙන්නටය. අඩ හෝරාවක් හෝ එවැනි කාලයකට පසු හෙතෙම රියදුරුට මදක් රැඳෙන ලෙස පවසා පොත් ප්‍රකාශකයා ඉදිරිපිට පෙන්වූ ආත්මාභිමානය රිය තුලම තබා අසල වූ පොත් කඩයකට රිංගුවේ ගැරඬියෙක් සේ හිස මදක් ඔසවා නාම පුවරුව දෙස දෙවරක් බලමිනි. 
“අම්මට උඩු! වීරතුංග මහත්තයා...ඉතිං ඉතිං... කොයිබෙයි මේ?“
“මුදලාලි, පොඩි හදිසියකට අවේ. උදව්වක් ඉල්ලගන්න.“
“මහත්තයෝ, සල්ලි ඇර ඕනි උදව්වක්...මේ දවස්වල බිස්නස් අන්තිමයිනේ...“
“නෑ...මේකයි. අපේ දුවට මේ ටිකේම උණ. කන්න බෑ කිසිම දෙයක්. වමනෙත් යනවා. ළමයා හොඳටම දුර්වල වෙලා. පාමසියෙන් ගන්න බේත් වගයක් තියෙනවා ටිකක් ගණන්. මුදලාලි මට තරහා නැතිව රුපියල් දෙදාහක් දෙන්න. මගේ අළුත් පොත .......... බාරගත්තනෙ. ඇඩ්වාන්ස් ගන්න අනිද්දට එන්න කිව්වා. ඒක ගත්තු ගමන් ගෙනත් දෙන්නං. ඕනිනං පොලියකුත් ගත්තට කමක් නෑ.“
“ළමයෙක්ගෙ අසනීපෙකට බේත් ගන්න පොළියට සල්ලි දෙන්නෙ මොකාද මහත්තයො. ම්... එහෙනං නොවැරදීම අනිද්දට ගෙනත් දෙන්න. ආ..... පුළුවන් කමකට නෙමේ. මේ දවස්වල බිස්නස් අන්තිමයි“.
“අනේ....පිං සිද්ද වෙනවා! ලොකු දෙයක්! මම අනිද්දට නොවැරදීම... නොවැරදීම ගෙනත් දෙන්නං“
අනේක වාරයක් පින් දුන් වීරතුංග නැවත රියට නැගී තම නිවස පිහිටි ඉසව්ව කෙඳිරීය. 

නිවසට හැරෙන හන්දිය පෙනි පෙනී වම් පසට පහලට විහිදුනු පාරට හරවන ලෙස අණකල හෙතෙම එම කෙටි පාර අගිස්සේ වූ අවන්හල අසලින් බැස රියදුරු තැනට කොළපාට මුදල් නෝට්ටුවක් දිගු කලේ තමා අසල අසුන්ගෙන සිටි ආත්මාභිමානය අනෙක් අතින් ගනිමිනි.


(මදාවියා - මට හිතෙන්නේ වීරතුංග පශ්චත්තාපයෙන් විඳවන්න හදනවා කියලයි.. උඹටත් හොද හැටියට මාගල් අතාරින්න ඇහැකි නේ බං.. හැක්.. ස්තුතියි මධු)


යෝජිත අවසානය (06)

ගිණි පුපුරු වලින් ඔහුගේ ඇස් රිදුම් දෙන්නට පටන් ගත්තේය. එයින් මිදීමට යම්තම් ඇස් මිරිකාගත් ඔහු ආ මාර්ගය දිගේම නැවත නිවසට යාමට පිටත් විය.

* * * 

ප්‍රවීන ලේඛක වීරතුංග ඉදිරිපස දොරෙන් පිටත්ව පදික වේදිකාවේ නොපෙනී යනතුරුම සීසීටීටී තිරයෙන් බලා සිටි සම්මානනීය පොත් ප්‍රකාශක කලාමාන්‍ය ධනියගෝපාල තම මේසය අසල තිබූ දුරකතනයෙන් අභ්‍යන්තර අංකයක් ඇමතුවේය.

සුජී, අර වීරතුංග මාස්ටර් ගේ පොත්වල සේල් කොහොමද?

හොඳට යනවා සර්්, අර අලුත්ම පොතේ අපි ගහපු දෙවෙනි මුද්‍රණයත් මේ පාර පොත් ප්‍රදර්ශණයේ දී ඉවර වෙන්නම විකුණුුනා. 

එහෙනං ප්‍රෙස් එකට කියන්න තව දෙදාහක් ගහන්ණ කියලා. හැබැයි ප්ලේට් වෙනස් කරන්න එපා. පළමු මුද්‍රණයේ ප්ලේට්ම පාවිච්චි කරන්න කියන්න.

හොඳයි සර්.

සුජී ඔය ෆොන් එක දෙන්න චංචලාට.

හොඳයි සර්.

* * * 

සර්?

චංචලා මට හොඳ උණු තේ කෝපපයක් ගෙන්න. මේ ඒ.සී. එක හරිම සීතල වැඩියි.


රසිකොලොජිස්ට් (ෂිහ්.. චාමරත් ආව නං හරි.. හැක්.. බෙහෙවින්ම ස්තුතියි රසික)


යෝජිත අවසානය (07)

ලේඛකයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. විකුණන්න බෑ..... ඉල්ලන්නෙ නෑ..... ඉල්ලුම.... සැපයුම.... ආර්ථිය..... කලාව..... සාහිත්‍ය..... කිරිපිටි....... හාල්...... කොපි පොත්...... ටියුෂන්......

මිලි තත්පරයකට තලයන් එක බැගින් වූ විවිධ දර්ශනයන් ඔහුගේ දෑසට දර්ශනය වී අන්තර්ධානය වන්නට විය......

"කොහේද %$$^3% යන්නෙ! අපිටත් පවු දෙන්න" 

තුන්සක රියකින් මතුවූ හිසක් තුලින් ඇසෙන්නට විය. පාරේ මධ්‍යයට ආසන්න වී සිටි ලේඛකයා පියවි ලොවට එලඹිනි.

 
හොරෙන්ම නිවසට ඇතුළු වූ ඔහු කාමරයට වැදී සෙමෙන් දොර වසාගත්තේය. වසර හතලිස් ගණනක් ලේඛණයෙන් උපයාගත් ආර්ථික වටිනාකමක් නැති, සම්මාන-කුසලතා-සහතික ඔහුට විරිත්තන්නාක් සේය. යාන්ත්‍රිකව මෙන් පුටුවට වැටුනු ඔහුගේ මුහුණ දෙස කෙලින්ම බලා සිටින්නේ මහල්ලා සහ මුහුද පොත් කවරයේ සිටින අර්නස්ට් හෙමිංවේය.

"ඉඳල වැඩක් නෑ..... වෙඩි තියාගනිං.... ඔලුවටම! ඔලුවටම තියාගනිං.... විඳවන්න ඕන නෑ! හරියට මං කලා වගේම....."

"ඔව්! වෙන කරන්න දෙයක් නෑ..... පුච්චලදානව මේ ඔක්කොම..... ඊට පස්සෙ මම නිදහස්..... නිදහස්..... නෑ නෑ පුච්චන්න ඕන නෑ.... ඊට කලින්....." 

ලේඛකයාගේ ඇස ගැටුනේ බිත්තියේ කෙලවරට වන්නට පිහිටි රාක්ක දෙක එක්කොට බැඳ තිබූ තංගුස් ලණුවයි. සෙමෙන් එය ලිහාගත් ඔහු අසල තිබූ බාල්කයේ ගැටගසන්නට විය. ගෙතුලින් අපැහැදිලි හඬ කිහිපයක් නැගිනි.... 

"හරි හෙට දෙන්නං.... තාත්ත ඇඩ්වාන්ස් එකක් අරං එයිනෙ....."

ලේඛකයාගේ උගුර සිරවනු දැනිනි. බාල්කයේ ගැටගැසූ ලණුව අල්ලාගත් ඔහු කල්පනාවට වැටිනි. 

"වීරතුංග මහත්තයල අපිට කිසි සපෝට් එකක් නෑනේ..... එන්නකො අපිත් එක්ක වැඩ කරන්න..... ඔය පොතක් දෙකක් පාසල් විශය නිර්දේශයටත් දාගත්ත නං ඒකම ඇතිනේ..... ඕන නං පොතක් ගහන්න ඕනවුනාම මෙහෙං ගහගන්න බැරිය......" 

අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී සංස්කෘතික ඇමතිවරයා හා කල අල්ලාප සල්ලාපය ඔහුට සිහි වන්නට විය.

"වීරතුංග මහත්තයා උදව්වක් ඕන නං කතා කරන්න කරදර වෙන්න එපා, මෙන්න කාඩ් එක.....කෙලිංම මට කතා කරන්න....."

ලණුව ලිහා දැමූ ඔහු මේස මත තිබූ නාම පත් ගොඩ අවුස්සන්නට විය.



නවාතැනේ රාජ් (උඹත් මාතලං වගේ අවසානය දේශපාලන දෘෂ්ඨියකට ගෙනාවා.. ස්තුතියි රාජ් මහන්සියට හා කාලය වෙනුවෙන්)



යෝජිත අවසානය (08)


හදිසියේම නිවසට යාමේ සිතුවිල්ල වෙනස් කල ඔහු නව ජවයක් ලැබුවාක් මෙන් නගරයේ රික්ෂෝ ගාල වෙත පිය මැන්නේය..

"ආ .. වීරතුංග මහත්තයනේ.. එන්න එන්න"

ඔහුව දුටුවනම ටැක්සි රියදුරන් හඳුනා ගත්තේ ඔහු රටේ ජනප්‍රිය ලේඛකයෙකු වූ නිසාවෙනි.. මුවින් නොබිණු වීරතුංග මහතා ටැක්සියකට ගොඩ විය.

"කොහෙටද මහත්තයා ?"

- "බේකර් විදියට"

ටක්සිකරුගේ දෙනෙත් විසල් වුයේ යමෙකු බේකර් විදියට යන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ එහි වෙසෙන විශේෂිත පුද්ගලයා හමු වීමට බව සක් සුදක් සේ දන්නා නිසාවෙනි..

ඔව් සත්‍ය වශයෙන්ම වීරතුංග මහතාට අවශ්‍ය වුවේද බේකර් විදියේ වෙසෙන ඒ විශේෂිත පුද්ගලයා, ෂර්ලොක් හෝම්ස් මහතා මුණ ගැසී තමන්ගේ උසස් කෘති නොවිකිනිමේ අභිරහස විසඳා ගැනීමටයි..

-----
වීරතුංග මහතාට ශරලොක් හෝම්ස් මුණ ගැසේවිද ?
ඔහුගේ අභිරහස කෙසේ විසදේවිද ?

ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වන්න...

Yasith.Net (හේ හේ. කාලෙකින් ආව උනත් බොටත් අවසානයක් දෙන්න හිතුන එකම මදෑ.. හැක්.. ස්තුතියි යසියා)


යෝජිත අවසානය (09)

වීරතුංග යන තුරු බලාසිට ප්‍රකාශකයා වහා දුරකතන ඇමතුමක් ගත්තේය.

****
ලංකාද්වීපයේ සිරි බුදුරැස් අසපුවේ විචිත්‍රවූද නන් වැදෑරුම් කුසුමින්ද පලතුරු පිරි තුරුවදුලෙන්ද මලින් මලට පියඹන මී මැසි හා සමනල යින්ගෙන්ද පිරි මහා අංගනයට අභිමුඛව නැගි මහ මන්දිරයේ ඇතුලු මහා ධර්මශාලාවේ මධ්‍යයේ තබා ඇති රනින් කල බඳු සීලිමේ එල්ලෙන දැවැන්ත පොකුරු පහනේ එළිය වැටී දිලිසෙන සිංහාසයනක් බඳු මහා ආසනයේ වැඩ සිටි කල්ප රහතන් වහන්සේගේ පශ්චාත්භාගය උණුසුම් වනු සංවේදීව සිය දිව්‍ය චක්ෂූෂය වහා මෙහෙයවා කුමන තැනක කිනම් මනුස ප්‍රාණියෙකුට විපතක්දැයි ව්පරම් කරන්නේ වීරතුංග නැමති මහා ප්‍රාඥයා රුපියල් කොල කීපයක් නිසා පීචංප්‍රාප්ත වීමට ඇති ඉඩ කඩ වහා ග්‍රහනය කොට වීරතුන්ගයානෝ ඉදිරිපිට පෙනී සිටියහ. 

හිමියනි ඔබ මෙහි වැඩියේ..?

වීරතුංගයානනි මට ඔබට කාරනාවක් කීමට ඇත, ඔබ නිසාම පැමිණියෙමි.
කල්ප හිමියෝ සිය මර්සිඩිස් රතය ගැන සිතුවා පමණි.
එය රථාචාර්යා සමගම ඉදිරියේ දක්නට ලැබුනි.

වීරතුංගයානනි, කරුණාකර නගින්න.

දෙදෙනාම පිටුපස අසුනට ගොඩ වූහ

වීරතුංගයානනි ඔබට මට කාරණාවක් කියන්නට තිබේ
මීට වසර බොහෝමයකට පෙර මාද ඔබ මෙන් ලේඛකයෙකි. එමෙන්ම මාද දන්නේ අනෙක් හැම දන්න බුද්ධාගමය. මා රහත් වෙන්නත් මාලිගාවල ජීවත් වෙන්නත් අනෙක් අය හිටිය විදියට ඉන්නත් හේතුව ඔබ සොයා බැලුවාද? මං දෙසන්නේ උපාසික උපාසිකාවන්ට ඕනෑ බණ මිස මට ඕනෑ බණ නොවේ.. 
මා ආ අනෙක් විශේෂ කාරනය මේකයි. 
ජනපති තුමා එවල තියෙනව ලැප් ටොප් එකකුයි, 
අලුත්ම ෆෝන් එකකුයි ඔබට දෙන්න කියල.
ඕනෑ වේලාවක එතුමාට කෙලින්ම කතාකරන්න පුලුවන් 
මේ හෑන්ඩ් ෆෝන් එකෙන්. බිල් ඔක්කොම ගෙවන්නේ එහෙන්. 

ඔබගේ එකවුන්ට් නොම්මරේ මට දෙන්න!



දයල් බතී (හැබෑටම මේක ඉන්ද්‍රජාලික යථාර්ථයක් ද බං.. ස්තුතියි දයාල්)

Tuesday, September 1, 2015

අම්මා!!

හුණ්ඩු තුන හතරක
පුසුඹ හමන සම්බා බත් හට්ටියද
කුරුඳු පොතු විසිරුවා
කට තෙත් වන අල බැදුමද
හැමදාම කා ඇතත්
තෙල් දැමු පරිප්පුද
ඊට සරිලන ලෙසින්
පොඩි කීරමින් බැදුමද
මතක් විය මහ දවල්

අව් රැල්ල හරියටම
ඔලුව උඩ ලගින කොට
බඩ පනුවෝ කෑගසා
ගෙදරටම ගෑටුවා

හොදට බත් පිණි එක්ක
දෙතුන් දෙන කඳු ගසා
බත් මුට්ටි හිස් කළා
මාළු පිණි මදි උනා
කාපු බඩ උස්සගෙන
රාම තෙල් අරින කොට
හිත ඇතුලේ සන්තෝසේ
ඔඩු දුවන්නම උනා..

පිපුන බඩ ගෙඩියකට
දිරවන්න ඕන විට
උණු වතුර ඩිංගකට
කුස්සියට ඇදුන දින
මිරිස් ගල පාමුලම
කළු ගැහුණු හිරමනේ
අඩලෙටම තියාගෙන
දංකොඩේ බත් එක්ක..
ඉතුරු හොදි ඩිංගකින්
අල බැදුම් භාජනේ
අම්මා බත් වළදද්දි
කාපු ටික වමාරා
බඩ හිස් කරන්නට

සිත් උනා මට එදා

ප. ලි.. - මේවා කවිද කියා ඇසීම තහනං. හැක්

Friday, August 14, 2015

නාකි සුල්තාන්! (Old Sultan)

එක ගොවියෙකුට හිටියා සුල්තාන් කියල ඔහුට ඉතාම ලැදි වයසට ගියපු බල්ලෙක්. මේ බල්ලගේ එක දතක් වත් නෑ කටේ, ඉතිං මෙලොව දෙයක් ඌට හරියට අල්ලගන්නවත් බෑ. එක දවසක් ගම හාමිනේත් එක්ක දොරකඩ ඉන්න වෙලාවක ගොවියා මෙහෙම කිව්වා.

“මං හෙට මේ නාකි සුල්තානය වෙඩි තියල මරල දානවා. ඒ යකාගෙන් දැන් කිසිම වැඩක් නෑ“

ඒත් වයසට ගියපු අහිංසක බලු තඩියා ගැන අනුකම්පාවක් ආපු ගොවි හාමිනේ මෙහෙම කිව්වා.

“අනේ ඉතිං උගේ තරුණ කාලේ ඌ අපි මත්තෙම නැහුන එකා. අනේ ඔන්න ඕකට පාඩුවේ ඉන්න දෙන්ට“

“මක්ක කිව්වා“ ගොවියා පුදුමෙන් වගේ කිව්වා.“ඔහේට මේවා තේරෙන්නෑ. ඒ යකාට එක දත් කෑල්ලවත් නැති එකේ හොරෙක්වත් මූට බය වෙයිද? දැං මූට යන්න කාලේ හරි. ඒකා කරපු සේවෙට හරියන්න අපි ඌට කන්න දුන්න එකම මදෑ“

ගෙට කිට්ටුවෙන්ම මිදුලේ දපල හිටිය සුල්තාන්ට මේක ඇහුනා බෝම පැහැදිලිවම. “අයියෝ එහෙනං මගේ ජිවිතේ අන්තිම දවස හෙටයි“ කියල හිතාගෙන ඌ දුකසේ බලා හිටියා. හැබැයි සුල්තාන්ට හිටියා හොද යාලුවෙක් ඌ වෘකයෙක්. සුල්තාන් හැන්දැ කරේ හෙමින් සීරුවේ කැලේ ඇතුලට වැදිල යාළුවා හමුවෙලා තමන්ට වෙන්ට යන නස්පැත්තිය අකුරක් නෑර විස්තර කළා. මේක අහල වෘකයා බෙරිහන් දෙන්න ගත්තා.

“පිස්සු.. මේ අහගන්නවා යාළුවා. ඉන්නවකො කොල්ලෙක් වගේ. මං තමුසෙට මේ මරාලෙන් ගැලවෙන්න උදව් කරන්නං. අහගන්නවා මට තියෙනවා හොද ප්ලෑනක්. තමුසෙගේ ලොක්කා, හාමිනේත් එක්ක හෙට උදෙන්ම පිදුරු ගෙන්න යනවා නේ.. ඉතිං දවල් කාලේ ගෙදර කව්රුත් නැති හින්දා පොඩි එකාවත් අරගෙන යනවා නේ. ඔය ගියාම පොඩි එකාව කොතන හරි පඳුරක් ගාව තියල තමුසෙවත් ඉන්දල නේ යන්නේ එතන. ඔන්න ඉතිං මං එනවා කැලෙන් එක පාරටම, ඇවිල්ල අර පොඩි එකාව ඩැහැගෙන යනවා. අන්න එතකොට තමුසේ ටාර් ගාලා මගේ පස්සෙන් පන්නනවා. ඊට පස්සේ තමුසේ මට ගැහුවම පොඩි එකා දාලා මම දුවනවා. අාන්න එතකොට තමුසේ පොඩි එකාවත් අරගෙන ආපහු යනවා ලොක්කා ගාවට. හරිද,.. ඔන්න බලනවා තමුසෙගේ හොද කාලේ ලබන්නේ. ආයි මොනාද සැපට කාලා බීලා කූල් එකේ ඉන්නයි තියෙන්නේ. ආයිත් නං ඉතිං තමුසෙට වෙඩි තියන්න හිතන එකක් නෑ තමුසෙගේ ලොක්කා. කොහොමද මගේ වැඩේ“

සුල්තාන් මේ සැලැස්මට බෝම සතුටු උනා.  හිතපු විදියට හැමදේම උනා. ගොයි මහත්තයා මරහඩ තලන්න ගත්තා වෘකයා පොඩි එකා අල්ලගන්න කොට. ඒත් නාකි සුල්තාන් ආයිත් පොඩි එකා බේරගෙන එන කොට ගොයි මහත්තයට සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා නාකි සුල්තාන්ව ආදරෙන් අතගාලා මෙහෙම කිව්වා. “ආයි මොන ජගතෙක්ටවත් මං උඹගේ මයිලක් වත් ගලවන්න ඉඩ තියන්නෑ. සත්තමයි. උඹ ජීවත් වෙලා ඉන්නකං මගෙන් කාලා හොදට හිටපං මගේ පැටියා.. හාමිනේ..දුවල ගිහිල්ලා අපේ සුල්තාන්ට පාං සුප් එකක් හදන්න. මොකද සුල්තාන්ට විකන්න බෑ නේ. ආ.. එන ගමන් මගේ කොට්ටෙත් අරන් එන්න. මං ඒක සුල්තාන්ට දෙනවා නිදාගන්න“

ඔන්න ඉතිං ඊට පස්සේ නාකි සුල්තාන් ඇත්තම සුල්තාන් කෙනෙක් වගේ ජීවත් උනා.

ඔය සිද්ධිය අහවර වෙලා යාළු වෘකයා ආවා සුල්තාන් හමු වෙන්න. “ආව් ආව්.. තමුසෙට හරි ගියා එහෙනං. හොදා හොදා. හැබැයි තමුසේ ඇහැ ගහගෙන ඉන්නවා. ඕං බලනවා මට චැන්ස් එකක් ලැබුන ගමන්ම මම උස්සනවා තමුසෙගෙ ලොක්ක ගාව ඉන්න තඩි බැටලුවා.. හැක් හැක්“

“තමුසේ ඒ ගැන හිතන්නවත් එපා“ සුල්තාන් උත්තර දුන්නා. “මම මගේ ලොක්කට විරුද්ධව තඹේක දෙයක් කරන්නෑ. ඕක කරන්න දෙන්න බෑ“

සුල්තාන් විහිලුවට මේක කියන්න ඇති කියල හිතාගෙන රෑ ජාමෙට වෘකයා කැලෙන් එළියට ඇවිත් ගොවිපලට වැදුනා. වැඩේ කියන්නේ සුල්තාන් කලින්ම මේ ගැන ගොවියට කියල තිබුනා නිසා රැකල හිටියා ගොවියා දඩයක්කාර වෘකයව අල්ලගෙන ඇති වෙනකං කසෙන් තැලුවා. හැබැයි එළවල දාන්න කලින් වෘකයා සුල්තාන්ට සද්දයක් දැම්මා. “අසමජ්ජාතියා. බලං හිටපං. මං උඹව සම්බුව දෙනවා.“


පහු වෙනිදා උදේ පාන්දරම සුල්තාන් හම්බ වෙන්න වෘකයගේ ඉල්ලීම පිට වල්ඌරා ආවා. මේ ප්‍රශ්නේ බේරුං කරගන්න කැලේට එන්න කියල තමා පණිවිඩේ දිල තිබුනේ. අනේ ඉතිං අපේ දුප්පත් සුල්තාන්ට කොහේද මේවට ගහ මරාගන්න යන්න හැඩි දැඩි අය. යන්තං හොයාගන්න පුලුවන් උනේ පූසෙක් විතරයි. ඒ මදිවට ඒකට කකුල් තුනක් විතරයි තියෙන්නේ. ඔය යන ගමන් කකුල් තුනේ පූසා වේදනාවෙන් කුන්දු ගහගෙන යනකොට වේදනාව වැඩි කමටම වලිගේ පුරු පුරු ගාලා පුම්බන්න ගත්තා.

කලින් ගිවිසගත්ත විදියට වෘකයයි එයාගේ යාලුවයි නියම තැන හිටියා. මෙහෙම බලන් ඉන්න කොට සුල්තාන් එනවා දුරදිම දැකල මුන් දෙන්න බය උනා. උන් හිතුවේ සුල්තාන් හොද වක් කඩුවක් වන වන එනවා කියලයි. අර පූසගේ පිම්බුන වලිගෙටයි මේ අය රැවටුනේ. ඒ මදිවට කකුල් තුනෙන් අමාරුවෙන් එන පූසා, පනින වාරයක් පාසා ලොකු ගලක් අරන් ගහන්න හදනවාය කියල මේ දෙන්න සෑහෙන්න බය උනා. කොච්චර බය උනාද කියනනං මහ ලොකු වල් ඌරා කැලේට පැනල දුවද්දී. වෘකයා යන්තං ගහකට නැගගත්තා. 


නියම තැනට ආපු සුල්තාන් තාම වෘකයා ඇවිත් නැතිය කියල පුදුම උනා. කොච්චර උනත් වල් උෟරා කැලේ හැංගිල තිබුනේ බාගෙට. උගේ එක කනක් හොදටම පේන්න තිබුනා. තුන් කකුල් පූසා විමසිල්ලෙන් අවට බලද්දී. ඌරා තමන්ගෙ කන හෙලෙව්වා. මේක දැකපු පූසා මීයෙක් කියල හිතාගෙන එක පාරට පැනල කන හයියෙන් හැපුවා. ඌරු නාම්බා වේදනාව කාගෙන බෙරිහන්දී ගෙන කැලේට පැන්නා. “අන්න වංචාකාරයා අර ගහ උඩ“

දෙන්නම දැක්කා වෘකයා ගහ උඩ ඉන්න හැටි. තමන්ගේ නිවට කම මේ දෙන්න දැක්කා නිසා ලැජ්ජාවට පත් වෙච්චි වෘකයා ආයිත් සුල්තාන් එක්ක යාලු උනා.

Brothers Grimm - Old Sultan

පලි - මාර ලව් ලෙටර් එකක් නේ අප්පා යහපාලන ලොක්කා තමන්ගේ සගයට යවල තියෙන්නේ. හැක්

Saturday, July 18, 2015

වැස්ස...!! (Is it going to rain?)

උදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත. එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.

එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය. 

“බලහල්ලකෝ. අපේ සනුදි මැඩම් නිස්සද්ද විලියොං වගේ නේ“

කාර්යාලයේ වැඩ කරන කට හැකර පියන් කොලුවා මගේ සිතුවිලි, ලෝකය හදුනාගත්තාක් මෙන් මා එහි සේවයට ගොස් දින දෙකක් ඉක්ම යන්නට පෙර මගේ සිතුවිලි නහර ස්පන්දනය වෙනස් කිරීමට සමත් විය. එයට කොක්සන් දී පිළිතුරු දුන් අනෙකුත් අයගේ ලෝකය පෙරලෙන සිනහවන්ගෙන් බිරන්තට්ටු වූ, ඒ කිසිවක් නුපුරුදු මගේම සිතුවිලි අතරංමං වෙද්දී, සාමාන්‍ය ලෝකය තුල ජීවත් විය යුත්තේ මේ ආකාරයට වන්නට ඇතැයි නවමු සංඥා මගේ මොළයට ගමන් කරද්දී ඒ අනුව කටයුතු කිරීමට සිදු විය. මුලින්ම සිහින් සිනාවක්ද, පසුව වචන දෙක තුනක්ද, ඉන් පසුව එකතුව ගත් දවල් කෑමක්ද හේතුවෙන් කලින් කී පාලු ලෝකය බිදී යන්නට විය. 

තවමත් නොතෙමුනු තාර පාරෙ තැනින් තැන වැටී ඇති දුහුවිලි අංශු වාහන මගින් තෙරපෙන සුළගින් පවා ඉහලට එස වෙන්නට වෙර දරන බව දකින මගේ මුවට මදහස් නැගිනි. මම තරමක් වෙනස් වී සිටිමි. ඔව්.. මම මෙපමණ කලක් ජීවත්ව ඇත්තේ අඳුරුම අඳුරු ලෝකයකය. එහි ආලෝකයක් ඇති බව මෙපමණ කලක් තිස්සේ මා නොදුටු බව සිහිපත් වී අතීතය දෙස හැරී බැලීම පවා කෝපය ඇති කරවන්නක් විය. ගෙවී ගිය කාලය අපරාධසහගත කාලයක් බව මට පසක් විය.


අපොස උසස් පෙළ ලියා මා බලා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය මා හට ලැබෙනු ඇතැයි කියාය. එහෙත් ප්‍රතිඵල පැමිණි විට මා වික්ෂිප්ත වීමි. යන්තම් සමත් වී සිටියා විනා ඒ අසලකටවත් යාමට මට ඉඩක් නැතිය. දෙවැනි වරකට හෝ උනන්දු වීමට ආසාවක්, උනන්දුවක් නැතිව මගේ පාලු ලෝකයේම හුදකලාව ජීවත් වූ මා හට රැකියාවක් සොයා ගැනීමට සිදු වූයේ, අම්මාගේ තිබූ බලවත් පෙරැත්තය නිසාවෙනි. 

“උඹ කාමරේට වෙලා හැංගිල හිටියට වැඩක් නෑ දුවේ.. උඹට ජීවත් වෙන්න වෙන්නේ ඔය කාමරෙන් එළියෙ තමයි ඉතිං“

එවන් විටක මා ඇයට සැරපරුෂ වචන කියු බව දැනුදු සිහිපත් කරන්නේ අසීමිත වේදනාවකිනි. යම් ව්‍යාධියක් මා තුල තිබෙන්නට ඇත. එය පිළිගන්නට හෝ දැනුම්වත් වීමට පවා නොහැකි උද්දච්ච හිතක් මට හිමිව තිබෙන්නට ඇත. කාමරයෙන් එළියට ගෙන දොරපත්තෙන් එළියට තල්ලු කර දැමීමට අම්මා දැරූ සියලු උත්සාහයන් මගේ සැරපරුෂ බව නිසා අත් හැර දැමීමට සිදු විය. තාත්තාද නැතිව ඇය මා රැක බලා ගෙන සිටියා නොවේදැයි කිසිදු වෙලාවක මට කල්පනා නොවීය. මට වැදගත් වූ එකම දෙය මනෝ ලෝකයක්, සිහින ලෝකයක්, නැත... මට අයිති මගේම ලොව තුල සැරි සැරීමට පමණි. එහෙත් මට අවසන ඇයට කීකරු වීමට සිදු විය. ළග ළගම පැමිණෙන විපත්තියක් තේරුම් ගත් මුව දෙනක සේ මම එක් වරම රැකියා සදහා අයදුම් පත් යැවීමට පටන් ගත්තෙමි. සම්මුඛ පරික්ෂණ සදහා වන කැදවීම් රාශියක් මගේ ඇඳ මෙට්ටය තුල සුරැකිව තිබුනද, එකම එක වරක් එළියට ගත් කැඳවීම් ලිපියකින් මගේ අරමුණ වෙනස් විය. අද මා රැකියාව කරන්නේ එතැනය.

කණ්නාඩියකින් මුහුණ බැලීම මට ඉතා අප්‍රසන්න දෙයකි. වම් කම්මුලේ කන අසලට වන්නට ඇති කලු පැහැ සබන් කුට්ටියක් තරම් විශාල උපන් ලපය මගේ ජීවිතයේ මා දකින්නට වඩාත්ම අකමැතිම දෙය විය. එයින් මිදෙන්නට, එය නොදැක ඉන්නට පාසැල් කාලයෙ සිටම දැරෑ සියලු වෙර නිශ්පල විය. උපන් ලපය නිසාම පාසැලේ මට තිබු විහිලු නම් ප්‍රමාණය අඩුම ගානේ හත අටක් වත් විය. කිසිවෙකු හෝ ඊට සමාන වචනයක් කියනු මට ඇසුන විටක, එතැන නොරැදී හැකි ඉක්මනින් පලා යාමට මම පසුබට නොවුයෙමි. උසස් පෙල ටියුෂන් වලදී මේ තත්වය ඉතා දරුණු විය. සුදු මුණේ කළු වලා නමින් හැදින්වු මට, නොයෙක් විට අන්ඩ කොල්ලන්ගේ උසුලු විසිලු දරාගැනීමට සිදු විය. ඒවා දරාගත නොහැකි තැන ටියුෂන් යාම නවතා දැමීමට මට සිදු විය. 

එහෙත් අලුත පැමිණි කාර්යාලය තුලදී මගේ උපන් ලපය හෝ මගේ නිශ්ශබ්ද බව හෝ කිසිවෙකු මායිං නොකිරීම සිතා ගත නොහැකි තරම් පුදුමයක් විය. කුමන මෙහොතක හෝ ඒ පිළිබඳව ඔවුන් රහසින් හෝ කතා කරන්නේ දැයි දැන ගැනීමට මගේ ඉන්ද්‍රියන් නිරන්තරව සුදානම්ව දස දිසාවටම පැතිර තිබුණි. සතියක් දෙකක් කල් ගත වුවද එවැන්නක් ඇසට, කනට නොවැටීමෙන් උපන් ලපය කාර්යාලයේදී දියවී යන්නට විය. දවස් දෙකක් ඉක්ම යන්ට පෙර එකතුව ගත් දහවල් ආහාරය උත්තේජකයක් වී තනිකම පලා යන්නට විය. මේ අවසරයෙන් විවෘතව මගේ ඇස් යොමු කොට පුද්ගලයන් හා අනෙකුත් දේ පිළිබදව වඩ වඩාත් සැලකිලිමත් වන්නට මට හැකි විය.

ඔහුගේ බැල්මට මා හසු වූ බව දින කිහිපයක් යන තෙක්ම මා දැන නොසිටියෙමි. ඔහු අප අංශයේ ප්‍රධානියාය. තරුණ විය ඉක්මවා හතලිස් වසරට ආසන්නව ඇතැයි මා ගණන් හදා බැලුවද, ඔහුගේ වයස අවුරුදු තිස් අටකට වැඩි නොවන වග සගයන්ගේ කතා බහින් දැන ගන්නට හැකි විය. විටින් විට කාර්යාල කාමරයට මා ගෙන්වා ගෙන මගේ අතපසුකම් කරුණාවෙන් පෙන්වා දෙන ඔහු අනෙකුත් අයට එවැනි වරදකදී චන්ඩ ලෙස හැසිරෙන බව මා දුටිමි. එවැනි චන්ඩ බවක් මට පෙන්වා තිබුනේ නම් එය වාසනාවක්ද නැතහොත් අවාසනාවක්ද යන්න තේරුම් බේරුම් කර ගැනීමට මා නොදනිමි. එය එසේ වූයේ නම් මා නැවත කිසි විටෙක රැකියාවක් නොකරන්නට ද ඉඩ තිබුනි.

වටින් පිටින් වළාකුලු එකතු වෙමින්, වියරුවෙන් දැවෙන හිරුගේ කදම්බයන් මුවා කරද්දී හමා යන සුළගක් නිසා ඉපදෙන සිහින් සීතලෙන් හැකිලී තව තවක් එකතු වී පෙන කැටි වන් වළා රොද යන්මින් කළු පැහැ වන්නේ කුමකට ද යන්න පෘතිවි තලයේ ජීවත් වන සියලු සත්තවයන් ස්වයං අධ්‍යයනයෙන්ම දැන සිටිති. තව තවත් වළාකුලු එක් රොක් වී සුර්යාලෝකය පලවා හැර අවට අඳුරු කොට සිහින් සුලං හමන්නේ වැඩි හොදකට නොවන බව දන්නා සැවොම, ආරක්ෂාකාරී වන්නට කටයුතු කරන්නේ කෙසේද, එලෙසම කටයුතු කළ යුතු අවස්ථාවක් මා ඉදිරියේ ක්ෂණයකින් මතු විය. සියලු දෙනා වැස්සෙන් ආරක්ෂා වීමට සිතද්දී, මා වැස්සේ තෙමීමට ආසා කළෙමි. කුඩා කාලයේ දී පවා වැටෙන වැස්සට කාමරයේ ජනේලයෙන් අත දික් කොට අත දිගේ බේරෙන වැහි ජලයෙන්, අත මත පොලා පනින වැහි බින්දුවෙන් සතුටට පත් වීමට දැඩිම ඇලුම් කළෙමි. චිරි චිරි ගා අත්ලට වැටෙන වැහි බිංදු දෙක තුනට කැඩී මගේ මුහුණත මත සිහින් හිරියක් ගෙනෙද්දී එය අත් විදීමට මම ආසා කළෙමි. වැහිමන්දාරම් අතරේ කෙතරම් අකුණූ කෙටීම් තිබුනද කිසිම දිනෙක ඒවාට බය වී මම අත ඇතුලට ඇද ගෙන නොමැත්තෙමි.

එක් වරම ඔහු කළ යෝජනාව ඇත්තෙන්ම භූමිකම්පාවක් මෙන් මගේ හදවත තුල පැතීරී හදවත කිහිප පොලකින්ම පුපුරා යන්නට ඇතැයි සිතෙන තරම් වේදනාකාරී විය. පුටුව තල්ලු කොට නැගිට ඔහුගේ කම්මුල හරහා අතුල් පහර එක පිට එක එල්ල කළ යුතු යැයි පසක් වුවද එලෙස කිරීමට තරම් ශක්තියක් ශරීරය තුල කුලුගැන්වී නොතිබිනි. ඔහුගේ දිහාවට ඇස් යොමු කර ගත නොහැකිව සිටියදී, මේසය මතින් වීදුරුවේ රැදි ඔහුගේ රෑපකාය දෙස බලා සිටි මගේ ව්‍යාකූල තත්වයන් වෙනස් වන්නට විය. හරියට මේසය වැස්සට තෙමී ඇත්තාක් සේය. උඩින් එල්ලෙන ප්ලුරෛාසන්ට් බල්බයේ එළි වැදී ඇස එහාට මෙහාට වන ඩිංගට එහි ආලෝක කදම්බය සෙල්ලම් දමන්නට පටන් ගති. එය නතර කිරීමට මම නොසෙල්වී සිටියදී, සුලගට පැද්දී ආලෝකය සෙල්ලම් කරන බව දැක මට නැගි සිනහව නතර කර ගැනීමට නොහැකි විය. එය ඉතා කුඩාම කුඩාම සිනහවක් වුවද, ඔහු එය ග්‍රහණය කරගෙන ඇත.

“මං නිකමට කිව්වේ.. අපි කොහේ හරි රවුමක් ගහල එමු මයේ කාරෙකේ.. සීතල පලාතක... වැස්සට තෙමිලා.. අපි ඇවිදිමු“

සීතල පලාතක.... ඒ මදිවට වැස්සට තෙමිලා... හතර අතින්ම මම ඔහුට නතුව ඇත. මට එක්කෝ පිස්සු හැදී ඇතැයි සිතෙන්නට විය. අම්මා අද සිටියා නම්.. ඔව් ඇයට වචන වලින් පහර දී මම කැමති දේම කරනු ඇත. තව දුරටත් සිතීමට නොහැකිය.. මම ඔහු දෙස බැලූ නිමේශයේ මගේ සියලු සිතුවිලි, පැරණි සිතුවිලි ගිනිබත්ව ඇත. අලුත් ඉරක් දෙස බලන්නාක් මෙන් මම ඔහු දෙස බලා සිටියෙමි..

අප විටින් විට වැස්සට තෙමුනෙමු. විටෙක මුරුගසන් වරුසා වැස, චන්ඩ මාරුත හමා යන්නට විය. වළාකුලු අළු පැහැවී තිබෙන්නට විය. සිතල සුලං හමන්නට විය. කාලයක් පුරාම එක දිගට වැසි වසින්නට විය. මට ඒ ගැන නිනව් නැති විය. අප යන නොතැන සිහින් පොදක් හෝ වැටෙන්නට විය. මම එයට ආසා කළෙමි. එහෙත් ඒ වැස්ස නිම වන්නට, නැතහොත් විටින් විට වහින්නට විය. මට වැස්ස ඇති වෙනත් ගෙයකට යන්නට සිදු විය. එහි වැස්ස අර තරම් සෝබමාන නැතැයි දහස් වර සිතුනද, වැස්සට හසුව එක් බීජයක් රෝපනය වී කුඩා පැලයක් මතු විය. කුඩා පැලයට මාස හයක් පමණ වන විට නැවතත් පරණ වැස්ස විටින් විට වසින්නට විය.

එදා, පරණ වැස්ස වසින්නට නියමිත දිනයක් විය. පුරුදු පරිදි මම ස්වාමි පුරුෂයාට බොරුවක් කීවෙමි. විශේෂ රැස්වීමක් සදහා ලොක්කා සහ තවත් අය සමග දුරකට යන හෙයින් මම ප්‍රමාද වීමට ඉඩ ඇතැයි යන්න එම බොරුවය. ඔහු මගේ ප්‍රධානියා දැඩි ලෙස විශ්වාස කළේය. අප අතර ඉතා දැඩි සුහදත්වයක් ඇති බව ප්‍රධානියා මගුල් දිනයේදී ඔහුගේ මුහුණටම පවසා සිටි අතර, නිතර නිතර අපගේ නිවසට පැමිණෙන්නට ද විය. මේ නිසා ප්‍රධානියා සමග යන කිසිදු ගමනක් පිළිබඳව ඔහුට කුකුසක් නොවීය. ඇරත් මට වඩා වසර විස්සක් පමණ වයසැති තල්ස්තැනී කෙනෙකු දිහා එසේ කුකුසකින් යුතුව බැලීමද කළ නොහැක. මටත් වඩා මගේ ප්‍රධානියා ඔහු සමග කුළුපග බව ඉදුරාම විශ්වාස කළ ඔහුගේ විශ්වාසය පලුදු කිරීමට මට උවමනාවක් නොවීය.

වැස්ස වසින්නේ ඔහුගේ තනිකඩ නිල නිවාස කාමරය තුලය. පැහැදිලි අහස හවස් වෙද්දී වලාකුලු මෝදු වී කළුවර ගැහෙන්ට විය. විටින් විට සීතල මද නල හමා මගේ සිරුර ආහ්ලාදයෙන් කීරි ගැසී යද්දී, වැස්සෙ ප්‍රභවය මගේ සිරුර මත ගැටී සිරුර මැද හරියෙන් දැඩි ලෙස කැළඹෙන්නට විය. මගේ තොල් මතද වැහි බිදු පතිත වෙද්දී සිරුර මැද හරියේ වන කැළමිල්ල චන්ඩ වන්නට විය. මා ආසාවෙන් බලා සිටියාක් මෙන් කුඩා තෙරපුමකුදු අඩු නොවීමට ඉඩ දීමට නොහැකිව තව තවත් ඉඩ හසර ලබා දෙමින් සිටින අතරතුර, මගේ මුහුණ මත තෙරපෙන දැඩි සුළං ධාරාවන් වැස්ස අවසන් වීමට ආසන්නව ඇති බවට එළි දැල්වීය. එහෙත් එක් වරම ඔහුගේ මුහුණ මගේ මගේ වම් කන අසලින් කොට්ටය මතට පතිත වී බරැති සිරැර මගේ සිරුර මත කඩා වැටුන නිමේශයේ ආහ්ලාදය උපරිම නොවී වැස්ස අහවර වී ඇති බව සක් සුදක් සේ පැහැදිලි විය. එහෙත් මා ආදරයෙන් ඔහුගේ කෙස් වැටිය පීරමින් සිටියෙමි. මගේ සුසුම් වල ඝෝෂාවෙන් ඔහුගේ සුසුම් වල ඝෝෂාව වැසී ඇතැයි මා සිතුවද, ඔහු නිකරුනේ මගේ සිරුර මත නිසොල්මනේ සිටින්නේ යැයි හට ගත් බොරු කෝපයකින් ඔහුගේ පිටට ගැසුවද, ඔහුගේ සෙලවීමක් නොමැත. මගේ සිරුර මතින් ඉවත් වන්ට යැයි හඩ ගසා කීවද ඔහු වගේ වගක් නැතිව සිටිනු දැක යම් බියක් ජනිත විය. සැනෙකින් ඔහුව පෙරලා ඇද මත දැමූ මා ඔහු දෙස බලද්දී හොදින් ඇස් හැර සිටිනු දුටුවෙන් මේ කරන්නේ විහිලුවක් බව දැනී අත්ලෙන් පපුවට පහරක් ගැසුවද ඇසිපිය සෙලවීමක් නොමැත. සියලු ගැගීම් අභිබවා විදුලියක් මෙන් සිත දැඩි බියකින් සලිත විය. විනාඩියකට පෙර දගකාරයෙකු සේ සිටි ඔහු දැන් නිසොල්මනේ,. ඇරත් ඇස් දෙකත් ඇර මා දිහාම බලා සිටිද්දී භිතියෙන් ඇලලී ගියෙමි. අතට මුහුණට කම්මුට ගසා බැලුවද ඔහුගේ චලනයක් නොමැති වීමෙන් සිදු විය හැකි භයානකම සිදුවීමක් අභිමුව මා සිටින බව පසක් වී කෑමුර දෙන්නට කට ඇරියද ශබ්දයක් නිකුත් නොවීය. කළ හැකි කිසිවක් නොමැත. වැස්සේ අයිතිකාරයා ඔහුගේම ඇදමත මියැදී සිටියේය. මගේ හදවත එළීයට පනින්ට තරමින් ගැහෙන බව දැනී කුමක් කළ යුතු දැයි සිතා ගත නොහී මම කාමරෙය් මුල්ලකට වී ගුලිව සිටින විට, ශරීරය ගිනියම් ව ඇති බව මට දැනිනි. එහෙත් කුමක් කරන්නද?? කිසිවෙකුටත් හඩ ගැසිය නොහැකිය. මටද ඔහුව වත්තම් කොට ඉස්පිරිතාලයට ගෙන යා නොහැකිය. මගේ පාලු ලෝකය තුලම මා සිටියා නම් මෙය සිදු නොවන බව සිහිව මට හැඩුම් එන්නට විය. කඳුලි රැලි ගලා යමින් තොල් මතින් පසු බසිද්දී ප්‍රකෘතිය ආරෝපනය වන බව මට දැනිනි. කළ හැකි එකම දෙය මගේ පාලු ලෝකයට නැවත පලා යාමය. කිසිවෙකුටත් නොදැනේනට, කිසිවෙකුටත් නෙපෙන්න්ට මෙතනට ආ මට එලෙසින්ම නැවත මගෙ පාලු ලෝකයට පළායාමට සිදුව ඇත. කාමරයේ ජනේලයෙන් එපිට, කෝපයෙන් දැවෙමින් හිරු රැස් විදින බව මා දුටුවෙමි.

Wednesday, June 10, 2015

අපේ කාලයේ මිනිසෙක්!! (Grigori Yakovlevich Perelman)


මොකක් හරි ගණිත ගැටලුවක් විසදීම හේතුවෙන් කාට හරි ඇමරිකන් ඩොලර් මිලියනයක් ලැබුනොත් ඒක එපා කියල කියන්නේ කව්ද?? සමහර විට එහෙම කරන කෙනෙක් ඇති.. ඒ තමා ග්‍රිගොරි පෙරෙල්මාන්.

මීට අවුරුදු පහකට ටිකක් වැඩි කලකදී, අති දක්ෂ රුසියානු ගණිතඥයෙකු වූ ග්‍රිගෝරිට සහශ්‍රකයේ ගැටලුව ලෙසින් සැලකූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගණිත ගැටලුවක් විශිෂ්ඨ අන්දමින් විසදීම හේතු කොට ගෙන Clay Mathematics Institute නම් ආයතනයක් විසින් මේ ඩොලර් මිලියනකට මුදල ප්‍රදානය කරන්නට යෙදුනා. ඔහු විසදූ මේ ගැටලුව 1904 වර්ෂයේ සිටම විවිධ ගණිතඥයන් විසින් විසදිමට ප්‍රයත්න දරා තිබුනා.

කොහොම උනත් අවසානයේ ග්‍රිගෝරි එම ගැටලුව විසදා ඇති බව ඔහුට දැනුම් දී අදාළ තෑගි මුදල පිළිබදව මතක් කිරීමෙන් අනතුරුව, ඔහු විසින් ඉතාම නිහතමානීවත්, තර්කානුකූල ලෙසත්, නිල මට්ටමින් එම ත්‍යාගය භාර ගත නොහැකි බව දැනුම් දුන් බව ඉහත ආයතනය ප්‍රකාශ කර සිටියා. ග්‍රිගොරි මෙම ත්‍යාගය තමාට අයත් නොවන දෙයක් ලෙසත්, තමා මෙම ගැටලුව විසදීම සදහා භාවිතා කරනු ලැබුයේ වෙනත් අයෙකු විසින් අනුගමනය කළ ක්‍රමයක් බවත් ඉතා අවධාරනයෙන් පවසා සිටියා. මොහු අසාමාන්‍ය බලයක් හා අසීමිත නිර්මාණ්‍ශිලිත්වයක් සහිත පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි බවයි Clay ආයතනයේ සභාපතිවරයා සදහන් කර සිටියේ.. (ඩොලර් මිලියනේ නොගත්ත නිසා නං වෙන්න බෑ.. හැක්)

ඔහු විසින් මෙසේ විසදා තිබෙන්නේ කිසිදාක විසදිය නොහැකියි කියා සිතූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගැටලුවක් වූ Poincare Conjecture (පොන්කාරේ ඌහනය)නමින් හදුන්වන ගණිත ගැටලුවයි. “හැම කෙනෙක්ම තව කාගේ හෝ මාර්ගයක්/ක්‍රමයක් භාවිතා කළත්, එය භාවිතා කොට විශ්ෂ්ඨත්වය කරා යා හැක්කේ අති දක්ෂයෙකුටම පම්‍ණක් බවයි ඉහත කියූ සභාපතිවරයා සදහන් කර සිටියේ.

කුමන හෝ මොහොතක පෙරල්මාන් විසින් අදාළ ත්‍යාගය ලබා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරනු ඇතැයි ඔවුන් බලා සිටියත්, මීට පෙරත් ඔහු විසින් මෙවැනි අන්තර්ජාතික ත්‍යාගයන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ම පෙරල්මාන් විසින් මෙම ත්‍යාගයද ලබා නොගන්නා බව ඔවුන්ට පැහැදිලි උනා. මෙම ගැටලුව විසදීමෙන් අනතරුව ඊට අදාළ විද්‍යාත්මක සමාලෝචනයක් කිරීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු මෙය විසදූ පියවර තුන කිසිම කොන්දේසියකින් තොරව අන්තර්ජාලයට එක් කිරිමට පියවර ගෙන තිබුනා. ඒ 2003 දී.



කොහොම හරි අනෙකුත් සියලුම ගණිතඥයන්ට ඔහු විසින් එය නිවරැදිව විසදා ඇතැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වී තිබුනා. පෙරල්මාන් සුලුවෙන් තැකිය හැකි පුදුගලයෙක් නොවන වගට සමාජයේ පිළිගැනීමක් තිබු හෙයින්, පෙරල්මාන්ගේ ක්‍රියා කිසි ලෙසකින්වත් සුලු කොට තකන්නට ඔවුන් කටයුතු කලේ නැහැ. ඇත්තටම ඔහු යම් දෙයක් කරනවා නම්, එය බහුතරයක් දෙනා කරන ක්‍රමයට හාත්පසින්ම වෙනස් ආකාරයකට කරන්නයි කටයුතු කර තිබුනේ.

පෙරල්මාන්ගේ මෙම පියවරයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇමරිකාවේ පිළිගත් ආයතන වල දේශන සදහා ආරාධනා ලැබුනා. එහිදි ඔහු ඉතා චතුර ලෙස ඉංග්‍රිසියෙන් එම දේශන පවත්වා තිබුනා. මේ අවස්තා වලදී, ඊමේල් මගින්, ඔහුගේ සගයන් හා තොරතුරු හුවමාරු කරගැනීමටත්, ඔහුගේ කටයුතු පිළිබදව දැනුම් දීමටත් පෙරල්මාන් එකග වී සිටියත්, අවුරුදු කිහිපයකින් ඒ සියල්ල නතර කර දමා ශාස්ත්‍රිය ලෝකයෙන් පලා ගොස් තිබුනා. 

මේ ගැන සොයා බලන්නට පීටර්ස්බුගයට ගියපු අයෙකුට, ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න හැකි උනා. ඉතිං මේ යහලුවා හමුවන්නට උවමනා බව ප්‍රකාශ කර සිටි අවස්ථා)වේදී, පෙරල්මාන් දන්වා ඇත්තේ “මේ අවස්ථාවේ ඔබව මුණ ගැසීම අනවශ්‍ය දෙයක්“ බවයි.


පෙරල්මාන් තමන්ගේ මහළු මව සමග පීටර්බර්ග් වල අඩක් නිම කරන ලද තට්ටු නිවාසයක ඉතා දුකසේ ජීවත් වෙනවා. කැරලි ගැහුන දිග කොණ්ඩයකින් යුත්  තනිකමටම හුරු වූ මිනිසා ඔහුගේ ඡායාරූප වලදි ඉතා දැඩි ගාම්භීර පෙනුමක් සහිතව සිටින අයුරු දැකගන්න පුලුවන්. කොහොම උනත් ඒ වෙන කොට පෙරල්මාන් තමන්ගේ පර්යේෂණ කටයුතු වලින් සහ රුසියාවේ පිහිටි ඉහළම ආයතනයක රැකියාවෙන් පවා ඉවත්ව ගොස් තිබුනා. ඒ වගේම වෙනත් රැකියාවක් සදහාවත් ඔහු ගේ උවමනාවක් නොතිබුන බවයි සදහන් වන්නේ.

ගණියයේ එවරස්ට් කන්ද ලෙස හැදින්වුන මේ “පොන්කාරේ ඌහනය“ ප්‍රංශ ගණිතඥයෙකු වූ හෙන්රි පොන්කාරේ නමින් නම් කෙරුනේ පොන්කාරේ ජ්‍යාමිතික වස්තූන් හා ඒවායේ ක්ෂේත්‍රයන් විවරණය කිරීමේලා දැඩි උනන්දුවෙන් කටයුතු කිරීම හේතුවෙන්.

මෙම ඩොලර් මිලියනයේ ත්‍යාගය හදුන්වා දුන්නේ කේම්බ්‍රිජ් සරසවිය කේන්දු කරගත් Clay Mathematics Institute ආයතනය විසිනුයි. සහශ්‍රකයේ ගණිත ගැටලු ලෙස ඔවුන් විසින් හදුනාගත් දීර්ඝ කාලයක් මුලුල්ලේ නොවිසදුනු ගැටලු හතක් මේ සදහා ඉදිරිපත් කර තිබු අතර, ඒ අතරින් මුලින්ම විසදනු ලැබුවේ මෙම ගැටලුවයි. 

43 හැවිරිදි පෙරල්මාන් 2010 ජුනි මාසයේ පැරිසීයේදි පැවැත්වුනු මෙම ත්‍යාග ප්‍රදානොත්සවය සදහා සහභාගී වුනේ නැහැ. ඔහුගේ චරිතාපදානය ලියු ලේඛිකා මාෂා ගසන්, ත්‍යාග ප්‍රදානෝත්සව කමිටුව වෙත කලින්ම දැනුම් දි තිබිල තියෙනවා පෙරල්මාන් මෙයට සහභාගී නොවන බව.

ඉන් අනතුරුවත් පෙරල්මාන්ට ලැබුන ත්‍යාගයක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුන අතර, එහිදීත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් තව කව්රුන් විසින් හෝ අනුගමනය කරන ලද ක්‍රමයක් භාවිතා කළ හෙයින් එහි අයිතියක් ඔහුට නොමැති බවයි. මෙම ගණිත ගැටලුව විසදීම සදහා මාර්ගයක් ඇති බව සදහන් කළ ඇමරිකානු ගණිතඥයා හා තමා අතර කිසිම වෙනසක් නැති බවයි ඔහු සදහන් කර සිටියේ.

ඇත්තටම පෙරල්මාන් කියන ගණිතඥයාගේ පර්යේෂණ වලින් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ගණිතඥයන් ගණිතය ඉගෙන ගත් බවත් ඔහුගේ හිතේ ශක්තියත්, අධ්‍යාත්මික භක්තියත්, පැවැත්මත් බොහො දෙනෙකුට ජීවිතය දිහා නැවත හැරී බැලිමට ඉඩ සලසන කැඩපතක් වන බවත් සදහන් කළ හැකියි.

Washington Post ආශ්‍රයෙනි.

Wednesday, May 20, 2015

ශ්වේත වර්ණ දේදුන්නක්!! (පාට් ටූ)

පරිගණක තිරයේ එළිය මිසක කාමරයේ දැල් වූ විදුලි ලාම්පුවක් නොමැත. අතරින් පතර පාරේ ගමන් කරන වාහනයක ශබ්දයත්, නළා හඩත් සඳුන් ට ඇසේ. තව තවත් ඇහුන්කන් දෙන විට තරමක් ඈතින් විවිධ කුරුල්ලන් ශබ්ද නගනු ඔහුට ඇසුන නමත්, එම කුරුලු නාද තමාට මේතාක් ඇසුනේ නොමැති බව පසක්ව සඳුන් තරමක් වික්ෂිප්ත විය. යමක් දෙස උවමනාවෙන් බැලුවහොත්, නිරික්ෂණය කළහොත් කොයි තරම් දේ දැකිය හැකිද? එසේ නැත්නම් අවට පරිසරයට හොඳින් ඇහුන්කන් දෙන්නෙ නම් වෛවාරණ ශබ්ද පරිසරය තුල තිබේද හා කනට හා මනසට සංවේදනය වන්නේ ඉන් කොතරම් සුළු ප්‍රමාණයක්ද යන්න ගැන සඳුන් කල්පනා කරන්නට විය. නිවෙස තුල වෙනත් ශබ්ද ඇතිදැයි සඳුන් හොදින් අැහුන්කන් දුන්නද එසේ විශේෂ ශබ්දයක් ඔහුට ඇසුනේ නැත. එරන්දි නාන කාමරයේ නම් වතුර වැටෙන සිරිසිරිය ඇසිය යුතුයැයි ඔහු කල්පනා කළද, වසා ඇති දොරකින් මෙපිටට පැන දඩි බිඩිගා කාමරයට පැමිණීමට තරම් එම දුර්වල ශබ්දය සමත් නොවන බවට සඳුන් පසක් කරගත්තේය. නිල්පාට තිරයේ හරි මැදින් තමාගේ කාර්යය නිමා කොට නික්ම යාමට කොතරම් වෙලාවක් ගත වේදැයි දළ අදහසක් ඔහු තුල තිබුනේය. තවමත් ප්‍රතිශතය සියයට තිස් තුනක් වන අතර, සියයට තිස් හතර ලැබීමට තත්පර කීයක් ගත වේදැයි ඔහු අත රැදි ඔර්ලෝසුව හා සංසන්ධනය කර බැලීය. ඉන් අනතුරුව සියයට තිස් හතර හා තිස් පහ අතර කාලය ඔහු මැන්නේය. එම කිසිම අංකයක් සමාන කාල පරාසයන් නොගත් බව සිතමින් ඔහු ඉන්නා විට එක් වරම කර්ණ සංවේදනයන් රතු එළියක් දල්වන්නට විය.

“ඩිග් ඩිග් ඩිග්“ යමෙකු දොරකට වැරෙන් හා වේගයෙන් පහර දෙන අයුරු ඔහුට ඇසුනේය. එහෙත් එය ලී දොරකට නොවන තඩිබෑමක් බව කල්පනා වූවද, මදක් නැගිට ප්‍රධාන දොර දෙසට ඔහු නෙත් හෙලීය. කිසිදු වෙනසක් නැතිව දොර එලෙසම විවෘතව පවතී.

“ඩිග් ඩිග් ඩිග් ඩිග්... අම්මා... අම්මා“

මෙවර නම් ඊටත් වඩා දැඩිව ඇසුන තඩි බෑමේ ශබ්දයත් සමග ගැහැණු කෑගැමක්ද ඇසීමෙන් භීතියට පත් සඳුන් පුටුව මත එලෙසම ගල් විය. මෙතරම් සැරෙන් බෙරිහන් දෙන්නේ කව්රුන්දැයි සිතත්ම, නිසැකවම එය එරන්දිගේ කටහඩ බව සිහිවී ඔහු ඉද්ද ගැසුවාක් මෙන් පුටුවෙන් නැගිට්ටුනේය.

“ඩිග් ඩිග් ඩිග්.. අයියෝ අම්මා“

යම කලබැගෑනියක සේයාවක් එරන්දිගේ වේව්ලන ස්වරයේ තිබුනද, මේ පිස්සු කෙල්ල නාන්නට ඕනැ වන සබන් කෑල්ල ඉවර වී මෙලෙස බෙරිහන් දෙන බව සඳුන්ට පසක් විය. කුඩා කාර්යයකට අතගැසුවද අමතක වූ යමක් වේ නම් එය රැගෙන එන තුරු නාහෙන් අඩන කාර්යාලයේ සිටින එරන්දි ඔහුට සිහි විය. මුලු ලෝකයම කඩා වැටුනාක් මෙන් කුඩා දේවල් පසු පස හඹා යමින්, සියලු වැඩයන් නතර කොට එය රැගෙන එන තුරු හතර අතට දුරකතන ඇමතුම් දෙමින්, එකිනෙකාට පින්සෙන්ඩු වෙමින්, අඩමින්, ලතැවෙමින් සිටිනා අසරණ එරන්දිගේ මුහුණ සිහිවී නැගුන මන්දස්තමිය ද රැගෙන සඳුන් කාමරයෙන් පිට වී කොරිඩෝව දිගේ කෙළවරටම ගොස් වමට හැරී එතැනින් කුස්සිය පසු කොට නානකාමරයේ දොර අසලට සේන්දු විය. මේ අතර වාරයේදීද දෙතුන් වරක් එරන්දිගේ බෙරිහන් දීම ඇසුනද නිශ්ශබ්දව හා කලබලයකින් තොරව ඔහු දොර අසලට කිට්ටු විය.

“එරන්දි.. මොකද ඕයි.. බෙරිහන් දෙන්නේ.. අම්මා තාම ආවේ නෑ“


“අනේ අනේ.. සඳුන්. සඳුන්.. මාව බේරගන්න.. අයියෝ. ඉක්මනට ඔය දොර අරින්නකෝ..“

“පිස්සුද ඕයි තමුසේ නානවා බලන්න මට බෑ“

“මං මැරෙයි සඳුන්.. ඉක්මනට ඉක්මනට.. මට දොර අරින්න බෑ ලොක් වෙලා“

“බෑ බෑ.. තමුසෙට ඕන නං එනවා“

“අනේ සඳුන්... කොමඩ් එක ගාව පොළගෙක්.. දොර කඩල හරි මාව ගන්න.. මට බයයි.. අනේ.. අනේ.. අයියෝ... ඌ වැටුනා ටයිල් එක උඩට... අනේ ඉක්මනට“

මෙවර නම් සඳුන්ගේ ඇග සීතල වී ගොස් ඔලුව කැරකෙන්නට තරම් ලේ ගමනාගමනය වැඩිවිය. ඔහුගේ ගෙර නානකාමරයේ ඇති ප්ල්සිටික් දොරෙහි අගුලද සමහර විට ඇතුලතින් අගුල් වැටෙන බවත්, නැවත දොර ඇරීමට නම් එළියේ ඇති යතුරෙන් එය විවෘත කළ යුතු බවත් ඔහුට සැනෙකින් කල්පනා විය. ඊටත් වඩා, සර්පයන්, කැරපොත්තත්, හූනන් අරඹයා එරන්දිගේ ඇති දැඩි භීතිය සිහිවී සඳුන්ගේ පියවි සිහිය විකල් විය. දිනෙක කාර්යාලයේ මිදුලේ විශාල ගැරඩියකු බඩ ගාමින්, කාර්යාලය දෙසට ආ බව ආරංචි වී පුටුව මතට නැගී හූ කියමින්, අඩමින් සිටි අසරණ එරන්දිව සිහිව සඳුන් නැවත සිහිය එලවාගත්තේය. සැනෙකින් දොර ළගට පිවිසි ඔහු බාල ඇලුමිනියම් වලින් සකස් කර ඇති බෝල අගුලේ මධ්‍යෙය් තිබූ යතුර කරකවන්නට විය. යතුර යන්තමින් කැරෙකෙද්දී එරන්දිගේ අත දොර මත තිබු බවට කළු පැහැති තද ගතියෙන් ඔහු තේරුම් ගත්තේය. දොර යන්තමින් විවර වූ සැනින් “බුදු අම්මෝ“ කියමින් එළියට පිනූ එරංගි සඳුන්ට මුවා වී පිටුපසට පැන්නාය. ඇය වැරෙන් ඔහුගේ බාහු දෙකින් අල්ලාගෙන ඔහුගේ පිටුපසට වී සැගවුනද, දොර අැරුන මොහොතේ පටන්, නාන කාමරයේ දැල්වුන විදුලි බුබුලේ ආලෝකය සඳුන්ගේ ඇසට පැමිණි නිමේෂය සේව වේගයෙන්, දොරෙන් එළියට පිනූ එරන්දි දැක සිහි එලවාගැනීමටත් පෙර ඇය ඔහුගේ පිටුපස සැගවුන මොහොතේ ඔහු බයෙන් ත්‍රස්ත වී ගියේය. අති විශාල ගිනි කන්දක් තමා දෙසට කඩා පාත් වු සෙයක්ය ඔහුට හැගුනේ. නැවතත් කුමක් කරම් දැයි සිතන තත්පරය තුල පිටුපස සැගවී සිටින ඇය තමාගේ බාහු දෙක දැඩිව ග්‍රහණය කර සිටින බවත්, ඇය යමක් පවසනුත් සිහිනෙන් මෙන් ඔහුට ඇසුනේය. ඒ සැනෙකින්ම නාන කාමරය දෙස නෙත් හෙලු ඔහුට කොමඩය අසල ටයිල් පොලවේ වකුටු වී දගලන දිලිසෙන සර්පයා දැක ගැනීමට හැකි විය. සර්පයා පොළගෙකු බව ඔහු පසක් කරගත්තේය. එහෙත් සර්පයා එලවීමට ප්‍රථම කළ යුතු යම් දෙයක් ඇති බව ඔහුගේ කල්පනාවට ආවේය.


“එරන්දි.. එරන්දි.. තමුසෙට පිස්සද ඕයි.. ඉක්මනට ටවල් එක වත් ඇදගන්නවා. තමුසේ අමු හෙලුවෙන්“

“අනේ අනේ.. අන්න... ඒයි ස...ඳු..න්.. ඌ එනවා මේ පැත්තට. මට බෑ දුවමු දුවමු.."

‘මේ.. ඕයි. කව්රු හරි අවොත් ඉවරයි තමුසේ.. ඉන්නවා ටවල් එක අරන් දෙන්න. අතඅරිනවා මාව“

“අනේ බෑ.. අනේ මට ඉන්න දෙන්නකෝ.. මට කලන්තේ වගේ..අයියෝ“

“තමුසේ පොඩි ලමයෙක් වෙන්න හදනවා.. ඕයි.. ආච්චිට හාල් ගරන්නද හදන්නේ.. මං කියන දේ අහනවා“

“අන්නෝ.. අයියෝ .ඌ මෙහාට එනවා.. ඒයි.. මාව බේරගන්ඩෝ.. බුදු අම්මෝ.. මට බයයි..“

“මොකද මොකද ලමයෝ මේ බෙරිහන් දෙන්නේ.. දූ.. කොහේද?“

මුලු ලෝකයම එක් වරම තම භ්‍රමනය නතර කොට විරුද්ධ පැත්තට භ්‍රමනය කිරීමට ආරම්භ වූවා වැනිය. වේගයෙන් කැරකෙන පෘතිවිය තමා වටා කැරකෙන වේගය එක් වරම බිංදුවට ගෙන පෙර පැවති වේගයටම අනිත් පැත්තට භ්‍රමණය වන්නට පටන් ගන්නා නිමේෂයේ මේ ලෝකයට කුමක් වේද? එවන් හැගීමක් සදුන් හා මේ දැං නිවසට පැමිණි එරන්දිගේ අම්මා දැකීමෙන් ඇති විය. එසේ නොමැති නම් වේගයෙන් ගමන් ගත් රථයක් එක් වරම පිටුපසට ධාවනය කරන ගියරය මාරු කරහොත් ඇති වන තත්වය කුමක් වේද? ක්ෂණික හා මහා භයානක කීරි ගෑමක්...

“එරංගි.. උඹ පර බැල්ලි.. තෝ මේකයි එහෙනං මට කොලේ වහල කරේ.. පර බල්ලා.. මම තෝව මරනවා අද“ 

එළවලු මල්ල සීසීකඩ යන සේ බිම දැමු ඇය එක පිම්මට එරන්දි වෙත කඩා පැන්නාය. ඒ හා සමගව වැරෙන් ඉවතට ඇදගත් එරන්දි තමා අසල සිටියදී, ගැහැණියකට එල්ල කළ හැකි උපරිම පහරක් සඳුන්ගේ පිට හරහා එල්ල කරෙන් ඔහු ඉදිරියට විසි වී ගියේය. නාන කාමරයේ දොර තුලින් එක් වරම නාන කාමරයට විසි වේයැයි යන අනියත බිය හේතුවෙන් සඳුන්ගෙ අත් දෙකම බිත්තිය අල්ලා ගත් හෙයින් ඔහු නොවැටී බේරුනේය. ඒ සමගම චට චටාස් හඩින් එරන්දිගේ කම්මුල් පැලී යන තරමේ පහර කිහිපයක් අම්මා එල්ල කර බව සඳුන්ට ඇසුනේය. ඔහු මළ මිනියක් සේ බිත්ති දෙක අල්ලාගෙන සිටි අතර, සිතල වී තිබු සිරුර හා මනස ඔහු තව දුරටත් ප්‍රාණියෙකු නොවන බව සනිටුහන් කලේය.

“තොට ලැජ්ජ නැද්ද. මේ වගේ දෙයක් කරන්න. ඔක්කෝම විනාසයි.. පර බල්ලා... තෝ අදින් පස්සේ ඉදල ඉවරයි. ඔව්.. උඹ ඉදල ඉවරයි. උඹ මැරුං කන්නේ මේ අහිංසක ගැනිගෙන්. උඹ මගේ දරුවා විනාස කරා. ඇයි දෙයියනේ මම තොපිට ඉඩ දුන්නේ.. මාව මරපං. එරන්දි. උඹට ඉන්න ඕන නං මාව මරපං. නැන්තං තොපි දෙන්නවම මං මරණවා.. අනේ දෙයියනේ. මොකක්ද මේ උනේ“ එසේ කියමින් කොතන හෝ අසලක තිබු පැරණි චිත්ත රෙද්දක් ගෙන එරන්දිගේ සිරුර වසා දැම්මාය. එසේ නොව සිරුරට අලාවා තැබුවාය.

“අනේ.. අම්මේ.. මොකක්ද මේ කියන්නේ..“

“තෝ කතා කරන්න එපා බැල්ලි.. “ චට චටාස් හඩින් නැවතත් පහර පිට පහර වැදෙද්දී සඳුන් තවමත් බිත්තිය අල්ලාගෙන නාන කාමරය දෙසම බලා සිටියේය.

“අම්මේ... මං කියන එක අහන්න.. මං නාද්දි“

“පලයං යන්න බැල්ලි. තෝ දැං සාක්කි කියන්න එනවද“ නැවත එරන්දිගේ කම්මුල් මත ලේ පහර වැකිණි.

“අම්මේ.. අම්මේ. බාත්රූම් එකේ පොළගෙක්.. මං බය උනා.. දොර ලොක් උනා“

“තෝ බොරු කියන්නේ.. තෝ බොරු කියන්නේ. ඉදපං බලන්න“ අම්මා නැවතත් දැඩි පහරක් එල්ල කොට නාන කාමරයේ දොර ආවරණය කර ගෙන සිටි සඳුන්ව වම් පසට තල්ලු කර දැමීය. එසේ තල්ලු කර දමා ඇය නාන කාමරය පුරාම ඇස් යොමා සෝදිසි කර බැලුවාය.

පැයකට ආසන්න කාලයකට පසුව එරන්දිගේ හා සඳුන්ගේ ඇස් එකිනෙක හමු විය. එහෙත් ඒ ඇස් දෙස එක එල්ලේ බැලීමේ තරමක දුෂ්කරතාවයක් සදුන්ගේ සිත තුල තිබුනේ තවමත් ඔහුගේ කරදර ආරම්භ නොවු බව සිහි වීමෙනි.

“මොන සර්පයෝද??? මාව රවට්ටන්න එපා එරන්දි. උඹටයි ඒ පාපේ..කෝ මේ බල්ලා.. තෝ මගේ දරුවා විනාස කරා... මගෙන් බේරිල්ලක් නෑ.. යමං පොලිසි.. නවනිංගිරාව බල්ලට ගිය දෙන්. තෝ වගේ මදාවියෙක් ගෙට දාගත්ත මටයි ගහන්න ඕන.. වල් බල්ලා“ අම්මා දැඩි ලෙස සඳුන්ගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් ඔහුට පහර පිට පහර දෙන්නට විය. කටේ කෙල පවා සිදී කුමක් වන්නේ දැයි නිනව් නැතිව මමියක් සේ සිටින සඳුන්ගේ සුළු හෝ චලනයක් නොමැති විය. පහර පිට පහර එල්ල කරමින් සාලය කරා අම්මා ඔහුව ඇදගෙන යමින් සිටියාය. සඳුන්ගේ දෙපා ඉදිරියට යාම ප්‍රතික්ෂේප කරමින් අයිස් කුට්ටියක් සේ සිටීම නිසා හරකෙකු ඇදගෙන යන්නාක් මෙන් පහර පිට පහර දෙමින් ඇය ඔහුව දක්කන්නට විය. මේ මොහොතෙහි තත්පර කිහිපයකට අතුරුදන් වූ එරන්දි දම් පැහැති බ්ලව්සයක් හා කළු පැහැති සායක් අදිමින් හනික දිව එද්දී, අම්මා දක්කන් යන සදුන්ව අල්ලා ගත්තාය. දැඩි ආවේගයෙන් යුතුව දකුණතින් එරන්දිව තල්ලු කර “පල බැල්ලි අහකට“ ලෙස අම්මා බැන වැදුනාය. තල්ලු කිරීමෙන් අඩපන වු එරන්දි විසී වී ගොස් අඩි කිහිපයක් එහායින් බිම වැටුන නමුදු, ඒ ක්ෂණයකින්ම නැවත නැගිට විත් අම්මා අල්ලා ගත්තාය.

“අම්මා.. සඳුන් වැරදි නෑ. සඳුන්ට මොකක් හරි කරොත් මං දැම්ම ලිදට පැනල මැරෙනවා. “ එසේ කියමින් ඇය පිටු පසට හැරී කුස්සිය දෙසට දිව යන්නට විය. මේ සිදු වන්නේ කිසිසේත්ම සිදු විය නොහැකි දෙයක් බව අම්මාට ඉවෙන් මෙන් තේරුම් යන්නට විය. පිටුපස ඇති බඹ ගණනක් ගැඹුරු ලිදට ප්‍රවේශ විය හැකි ආසන්නතම ස්ථානය කුස්සියයි. එයින් පිටට පැන අඩි පහළොවක් ගිය තැන ලිද පිහිටා ඇත. එසේ සිතත්ද්දීම එරන්දි කුස්සියටද ඇතුලු විය. වහාම සඳුන්ව අතැර දැමු අම්මා සිතා ගත නොහී වේගයකින් ඇය හඹා යන්නට විය.

සිදු වීමට යන්නේ කුමක්දැයි නිනව්වක් නැතිව සිටි සඳුන්ටද එරන්දි ලිදට පැන මැරෙන්නට යන්නේ යැයි සංවේදනයක් ඇති විය. ඔහුද සැනෙකින් ඇයව හඹා යන්නට විය. අම්මා කුස්සියට ඇතුලු වෙද්දී, එරන්දි ලිද අසලට දිව ගොස් ලිං ගැට්ටෙන් බිමට පනින්නට ඇවැසි කාල වේලාව ලබා ගෙන ඇති බව ඇයට හොදින්ම දැනිනි.

“අයියෝ මගෙ දරුවෝ. දුවන්න එපා ඔහොම හිටිං.. අනේ රත්තරනේ.. එපා එපා“ බෙරිහන් දෙමින් අම්මා කුස්සිය පසු කල නොහැකිව දැඩි සෝකයෙන් යුතුව වේගය බාල කර සිටියාය. තව තත්පරෙන් සියයෙන් එකක ඇතුලත “ජබොක්“ ශබ්දය ඇසෙන බවත් ඒ තත්පරෙන් පංගුව ඇයට ආවරණය කළ නොහැකි බවත් අම්මාට සිහි වී ගතින් දාඩිය වැගිරෙනමින්, ඒ හා සමානවම කඳුළු ඇස් දෙකෙන් වගුරවමින් සිටියාය. එහෙත් අම්මා කුස්සි දොරෙන් අඩි කිහිපයක් එහාට, එළියට පැන ලිද දෙසට ඇස් යොමු කර සිටියාය. එහෙත් එරන්දි එතැන නැත.

“අනේ මගේ දරුවා.. අයියෝ මගේ දරුවා“ අම්මා එතැනම වැටි මරහඩ දෙන්නට වූයේන්, මෙතෙක් වේලා නිවසේ ඇසුණු ශබ්දය පිටතින් ඇසීමත්, යම් මාරාන්තික දෙයක් සිදු වන්නේ යැයි උපකල්පනය කරමින් දිව යාමට දැඩි සුදානමකින් පසු වූ අසල් වැසියන් මීමැස්සන් සේ රොක් වී තාප්ප වලින් එබී බලන්නට විය. කුස්සි දොර අසල සිටගෙන සිටි සඳුන්, අම්මා වැලපෙමින් සිටින ආකාරය දුටුවාය. එහෙත් ලිද දෙස බලද්දී ඒ අසල එරන්දි නොමැති නමුත් ඊට අඩි කිහිපයක් මෙහායින් නාන කාමරයේ ෆෑන් ලයිට් එක සවි කොට ඇති බිත්තිය අසල යමෙකු වැටී සිටින බව දුටුවේය. දම් පැහැති බ්ලවුසය සම්පුරුණයෙන්ම අනෙක් බිත්තියෙන් වැසී තිබුන අතර, කළු පැහැති සාය ඇයගේ කලවා නිරාවරණය කරමින් එසවී තිබිනි. සඳුන් දිව යන්නට විය. සඳුන් දිව යන ශබ්දය ඇසීමෙන් හා පොළවෙහි දෙදරීම දැනීමෙන්, කඳුලු අතරින් ඇස් ඔසවා බැලු අම්මාද එරන්දි වැටී සිටින අයුරු දුටුවාය. ඒ හා සමගම නැගී සිටි ඇය සඳුන් හඹා යන්නට විය. 

යම් අන්ධකාරයක් පරිසරය තුල මෝදුවෙමින් පවතින බවක් සඳුන්ට හැගිනි. එය කුමන අයුරකින් වේදැයි, වළාකුලු අන්ධකාර වී දැයි ඔහු නොදත්තේ වුවද, නාන කාමරයේ දිලිසෙමින් කුරු ගැහි සිටි පොළගා එරන්දිගේ වම් කකුල යටින්, නාන කාමරයේ බිත්තිය දෙසට ගමන් කරනු ඔහු දුටුවේය. ඒ වෙලාවෙහිම එතැනට පැමිණි අම්මද පොළගා දැකීමෙන් බයෙන් ත්‍රස්ත වී ගියෙන්, ඇය එක් වරම සඳුන්ගේ පිටුපසට වී ඔහුගේ බාහු දෙක අල්ලා ගත්තාය.

නිමි නිමි.. තව නෑ.. හැක් හැක්..


Sunday, May 17, 2015

ශ්වේත වර්ණ දේදුන්නක්.. (පාට් වන්)

“හලෝ“

“කොහේද බං ඉන්නේ. කී පාරක් කෝල් කරාද?“

“මම පොඩි ගමනක් යනවා. කකුල වෙව්ලන්න ගත්තේ දැං. ඉතිං ඉස්සුවා.. හැක්“

“ඒක නෙමෙයි බං.. අද වැඩක් කරල දියංකො හවසට.. ප්ලීස්“

“මොකක්ද උඹත් එක්ක නිදාගන්නද?“

“පල යන්න නරි හොටා.. තෝ වගේ හරකෙක් එක්ක නිදි වදින්න වල් සතෙක්වත් කැමති වෙන්නෑ.. ඒක නෙමෙයි බං.. වැඩේ කරල දෙනවද? ප්ලීස් ප්ලීස්“

“හරි හරි.. මොකක්ද වැඩේ“

“බලාහංකෝ.. කම්පියුටර් එක ඔන් වෙන්නෑ නේ.. ලෝඩින් වින්ඩෝස් තමා පැය ගාණක්.“

“සිස්ටම් සොෆ්ට්වෙයා ක්‍රැක් වෙලා ඇති“

“මං දන්න ඉලව්වක් නෑ. අනේ පැටියෝ පැයකට ඇවිත් පලයං. උදේ අපේ අම්මත් මතක් කරා සඳුන් පුතා ටික දවසකින් ආවේ නෑ කියලා.. එනවා නේ.. මං බලං ඉන්නවා හොදේ.. බායි.. හවස තුනට ෂුවර් ආ.. එච්චරයි. බායි... අනේ එන්න ඕන හොදේ... ප්ලීස්.. ඔයාට මං සස කෑමක් හදල තියන්නං.. එන්න හොදේ.. මගේ චූටි බබා නේ.. ප්ලීස්.. එහෙනං බායි“

“අපොයි තමුසෙගේ බටර්.. බායි“

එරන්දි හා සඳුන් දෙදෙනා එකම කාර්යාලයක වෙනත් අංශ දෙකක සේවය කළ ලිපිකාරිණියක හා පරිගණක පද්ධති විශ්ලේෂකයකු වෙති. දැන් ඉතා කුළුපග මිතුරන් දෙදෙනෙකු ලෙසින් කතා බහ කලද, එරන්දි සේවයට පැමිණි දා පටන් සඳුන්ගේ වචනයක් තමන් අරභයාම ඔහුගේ මුවින් පිටවූයේ සේවයට පැමිණ වසරකුත් ඉක්ම ගිය පසුය. නොයෙකුත් පරිගණක දෝෂයන් ඇති උන විටදී අංශ ප්‍රධානීන් නිතැතින්ම සඳුන් ගේ සේවය ලබා ගන්නා හෙයින් කාර්යාල වල බොහෝ දෙනෙකු ගේ සමීපතමයෙකු ලෙස සඳුන් හැදින්වීමට හැක. එහෙත් එරන්දි හා ඔහු කිසිදු දවසක සිනහවක් හෝ විසි කර නොමැත්තේ දෙදෙනාම ඉතා ආසන්න ප්‍රෙද්ශ දෙකක පදිංචි කරුවන්ව සිටියදීය. රැකියා ස්ථානය සැතපුම් 100 කට වඩා වැඩි වුවද, ගමේ කමට හෝ මේ ආඩම්බරකාරයා තමා හා සිනා වෙනු ඇතැයි එරන්දි උදක්ම බලාපොරොත්තු වූවාය. කාර්යාලයට පැමිණි විට අනෙකුත් සියලු ලදුන්ගේ මන දොළ පිනවන වදන් කියා සිනහ ගස්වන ඔහු, තමා කිසිදු ආකාරයකින් නොතැකීම පිළිබදව එරන්දිගේ සිතු තුල තිබුනේ කුතුහලය හා මුසු වූ දැඩි කෝපයකි. එහෙයින් ඇයද එකට එක කිරීමක් ලෙස සිනහ වීමට හෝ ඔහුගේ මුහුණ බැලීමට කිසිදු දිනක ප්‍රථමයා නොවීය.

සති අන්තය සදහා සිකුරාදා දිනයේ බස් රථයක් හෝ දුම්රියක් සොයා දෙදෙනාම වෙන් වෙන්ම කාර්යාලයෙන් ඉගිලුනද, එරන්දි හෝ සඳුන් එකම බසයක හෝ එකම දුම්රිය මැදිරියක ගමන් ගත් දිනයක් නිර්මාණය වී නොතිබුනි. එහෙත් යම් දිනෙක ඉතා හදිසි රාජකාරියක් හේතුවෙන් නියමිත වේලාවට කාර්යාලයෙන් නික්මී කොළඹ කොටුවට ගොස් ආසනයක් ගත හැකි බසයකට ගොඩ වීමට එරන්දිට හැකියාවක් නොලැබිණි. ප්‍රමාද වී කාර්යාලයෙන් පිට වූ ඇය කොටුවේ සිට පැමිණෙන බසයකට අත දමා එයට ගොඩ වූවාය. එහෙත් පසු පස දොරින් ඇතුලු වීමටවත් ඉඩකඩක් නොතිබුන බස් රථයේ ඇය සිටියේ ඉතා අපහසුවෙනි. කෙසේ හෝ තිරිංග පහරවල්, තල්ලූ කිරීම්, කොන්දොස්තරගේ කන්කරච්චල් හේතුවෙන් ඇයට බලෙන් හෝ බස් රථයේ ඇතුලට යාමට සිදු විය. ඒ මේ අත තෙරපෙමින් ආසන දෙකක යකඩ අත් දඩු අල්ලා ගත් ඇය ආසන්තම ආසනය දෙස නෙත් යොමද්දී ඇයගේ ඇස් විසල් විය. නිදිකිරමින් ඔරලෝසු බට්ටෙකු මෙන් හෙමිහිට පැද්දෙමින් සිටි මහා ආඩම්බරකාරයා අසලම ආසනය ළගම ඇය නැවතී ඇති බවක් දුටුවෙන් බසයෙන් පැණ දිවීමට තරම් සිතක් ඇයට විය. මොන මොහොතක හෝ මේ ආඩම්බරකාරයා නැගිට තමා දුටුවහොත් ඔහුගේ හපුටු මුහුණ දැකීමට සිදු වීමම අවාසනාවක් ලෙස ඇය සැලකුවාය. එසේ හෙයින් යම් තම් හෝ තෙරපමින් ඉන් ඉදිරියට යාමට හෝ අනික් පැත්ත හැරීමට ඇයගත් සියලු උත්සාහයන් ව්‍යර්ත විය. බස් රථයේ පැද්දීමට ඔරොත්තු දෙමින් මහා කරදරකාරයාගේ ඇගෙහි අංශුවක් නොගෑවි සිටීම ඇයගේ එකම අදිටන විය. අහෝ... කිලෝමීටර් විසි පහක් තිහක් පමණ ගිය තැන මේ ආඩම්බරකාරයා අවදිව තම ජංගම දුරකතනය ඔබන්නට විය. දැන් දැන් තමාව දකිතැයි එරන්දි සිතුවද, ආඩම්බරකාරයා අසල අසුනේ වාඩි වී සිටි තලතුනා කාන්තාව දෙස හෝ ඇස් ඇර නොබැලීමෙන්ම ගමේ ආඩම්බරකාරයාගේ තරම ඇයට සිහි විය. මෙතැනින් පලා යන්න අවස්ථාවක් සැලසුනහොත් ඊට සරිලන ලෙස අපායට යාමට පවා ඇයගේ සිත් දැඩිව පැවතිනි. මෙවැනි ඔලුව උදුම්මාගත් පුද්ගලයන් දෑසට දැකීමද ඇයට පිළිකුලකි.


කුමන මොහොතක තමා දෙස ඔහු බලාවිදැයි සැකයෙන් සිටිනා එරන්දිගේ ඇස් නිතරම ඔහු දිහාවට යොමු විය. විනාඩියක් පාසා සඳුන් දෙස බලන ඇය තව තවත් සැගවෙන්නට උත්සාහ ගනියි. බස් රථයකදී කිසිවෙකු හෝ තමා දෙස බලා සිටින්නේයැයි යන හැගීමක් බොහෝ අයට ඇති වන්නේ ඇයි දැයි නොදන්නේ වුවද, දිගින් දිගටම අසල සිටින යමෙකු තමා ගැන අවධානය යොමු කරයි නම් එය අනෙක් පුද්ගලයාට දැනීමෙ සම්භාවිතාව ඉතා ඉහලය. ඒ හැගීමෙන්ම සඳුන් එක වරම තමා අසල සිටගෙන සිටින්නේ කව්ද යන්න ගැන හිස ඔසවා බැලීය. ඒ එක් බැලීමෙන්ම ඇයගේ නෙත් හා ගැටුනු ඔහුගේ නෙත් සැනෙකින් බිමට පාත් විය. නිදහසේ බස් රථයට ගොඩ වූ තමාට වුයේ මොන විජ්ජුම්බරයක් දැයි සඳුන් කල්පනා කරන්නට විය. කාර්යාලයේ සිටින තමා නොරුස්සනම අයෙකු ගෙන් එකියක ලෙස හදුනා ගෙන සිටි කෙනෙකු තමා අසලට වී සිටින්නේය. ඊටත් වඩා තව කොපමණ දුරක් මේ දුතිකාව තමා අසල සිටීදැයි ඔහු සහසුද්දෙන්ම දැන සිටියේය. සිකුරාදා දිනයක් වූ අද ගමනින් හතරෙන් තුනක් ගත වූවද සිටගෙන සිටින කිසිම අයෙකුට ආසනයක් නොලැබෙන බව ඒකාන්තය. එහෙත් එරන්දි වැනි තම ගමට ආසන්න කෙනෙකුම තමා මෙතරම් නොසලකා සිටින බව සිතීමම ඔහුට වදයක් විය. එරන්දිගේ ආඩම්බරකම ඕනවට වඩා වැඩි ග්‍රාම්‍ය එකක් ලෙස ඔහු සිතුවේ කලකට පෙරදීමය. ඒ හේතුවෙන්ම ඇයගෙ සිනහවක් හෝ බැලීමක් ලැබීමට ප්‍රථම කිසිම අයුරකින් තමා ප්‍රථමයා නොවීමට සඳුන් සිතා සිටියේය.


සඳුන්ට හිස ඔසවා බැලිය නොහැකි වුවද ඇයගේ ශරිරාංගයන් තමාට වම් පසින් විටින් විට දෝලනය වනුත්, ආසනයේ සීමාව දැන විටින් විට ඇයගේ ශරීරය ඉදරිපස හා තම ආසනයේ වදිනුත් ඔහු බලා සිටියේය. කිටි කිටියේ සිර වී ඇති බස් රථයේ සිටගෙන සිටින විට ඇති වන අපහසුතාවය ඔහු හොදින්ම දන්නා නිසා මේ දෝලනයක් ශරීරයට ඉමහත් දුකක් බව දැන සිටියේය. එහෙත්.... සඳුදා වැඩට යාමෙන් පසුව එරන්දි මේ ගැන අනෙක් අයට පැවසුවහොත්, තමන් ගැහැණියක වූ එරන්දිට ආසනය ටිකකට හෝ නොදී හැතැප්ම සියයක් පමණ පහසුවෙන් වාඩි වී සිටිය බව දැනගතහොත්, උරචක්‍රමාල වැනි තමාගේ හිතෛශිවන්තියන් තමාට දෝස්මුර තබනු ඇතැයි ඔහුට එක් වරම සිහි විය. “අපොයි සඳුන් මල්ලි. උඹ පිරිමියෙක්“ දැයි තඩි මහත නන්දනී අක්කා විමසුනු ඇත. “හැබෑට ඔයැයිට එරන්දි ගැන දුක හිතුනේ නැත්දැයි“ කටකාර ෂෙහාරා අසන බව ඒකාන්තය. “කැත වැඩේ හොදේ. අපේ එරන්දිට සීට් එකෙන් කෑල්ලක්වත් දීල නෑ ඔයා.. හරි නරකයි“ යනුවෙන් අහිංසක ප්‍රමුදි පවසන බව සඳුන්ට ඒකාන්තය. එසේ හෙයින් පාඩුවේ වාඩි වී යාමට වඩා, ටිකකට හෝ ආසනය මේ කරදරකාරියට පිදීම යහපත් බව ඔහුට හැගිනි. එහෙත් කෙසේ එය එරන්දිට පැවසිය යුතුදැයි ඔහු විපිලිසර විය. පුරුෂ ශක්තිය ඉහලට ඔසවා කුමන අයුරකින් හෝ ආසනය පූජා කිරීම සිදු කළ යුතු බවත් ඊට අවැසි අවසන් අවස්ථාව උදා වී ඇති බවත් රතු ලේ ගමන් කරන ඔහුගේ මොළයට සංඥා පිට සංඥා නිකුත් කරන්නට විය. එක් වරම ආසනයෙන් නැගිට සිටි සඳුන් අභිනයෙන් එරන්දිට අසුන් ගන්නා ලෙස සැල කල සිටියේය. එහෙත් කිසිවක් නොදුටු අයුරකින් එරන්දි යන්තමින් අහක බලා සිටි කල, තවත් යක්ෂ සේනාවක්ම දත් විලිස්සමින් තමා ගේ ආසනය ඩැහැ ගැනීමට කැස කවන බව දැකීමෙන් ඔහු භීතියට පත් විය. වෙන කළ හැකි දෙයක් නොවූ ඔහු, තම දකුණතින් ඇයගේ වම් අතට සිහින් තට්ටුවක් දමා නැවත අභිනයෙන් ආරාධනාව කලේය. මෙවර නම් කෙටි සිනහවක් පා ඇය ආසනය කරා පැමිණි හෙයින් සඳුන්ටද කෙටි සිනහව ඉක්මවූ සිනහවක් නැගිනි. ඊට ප්‍රතිපලයක් ලෙස හෘදයාංගම සිනහවක් පා ඇය “තැන්ක්ස්“ යනුවෙන් ස්තුතු කොට ආසනයේ වාඩි විය. අති ප්‍රභල ද්වන්ධ යුද්ධයක් අවසන් වීයැයි යන පැහැදිලි හැගීමෙන් සඳුන් හුස්ම ගන්නට විය. ආරම්භය එලෙස විය. එහෙත් දිනෙන් දින සිනහව අතු ඉතිලා වැඩී කතා ගසක් වැවී මහා විශාල වෘක්ෂයක් විය. අවසන ඉතා සමීපතම මිතුරන් දෙදෙනෙකු ලෙසින් සඳුන් හා එරන්දි මිත්‍රෙයා් වූහ. එය පිරිමි - ගැහැණු ඉක්මවා ගිය ගැහැණු - පිරිමි ඉක්මවා ගිය කොලු මිත්‍රත්වයක්ම විය. දෙදෙනාම සති අන්තයේ එකටම බස් රථයේ හෝ දුමිරියේ ගමන් කළ අතර, එක් අයෙකුට කොටුවට යා නොහැකි නම් දෙදෙනාම කාර්යාලය අසලින් බස් රථයට ගොඩ විය. කල් යෑමේදී සඳුන්, එරන්දිගේ නිවසේ සමීපතමයෙකු වූ අතර, එය ඉතා දැඩි මිත්‍රත්වයක් බව එරන්දිගේ නිවසේ සැවම දැන සිටියහ.


“හා මේ සඳුන් පුතානේ.. එන්න එන්න.. දුවා. මෙන්න සඳුන් පුතා ඇවිත්... ඉතිං හුග දවසකින් නේ ආවේ. දැං වැඩිය ගමේ එන්නේ නැද්ද?“

“නෑ ඇන්ටි.. එනවා ඒත් නිවාඩු දවස් දෙකේ එක එක වැඩ“

“අපේ දුවා කිව්වා දැං පුතාගේ වෙඩින් එක ලගයි කියලා. අපිටත් කියනවා නේද? හිකිස්“

“හැක් හැක්.. අපෝ තව මාස දෙකකට වැඩිය තියෙනවා ඇන්ටි. ඇන්ටිට කිව්වත් අර මෝඩි ට නං කියන්නෑ“

“ඇයි ඒ... අපේ දුවා ඇත්තටම කව්රුවත් එක්ක වැඩිය කතා කරන්නේ.. ඔයා වගේ හොද ලමයෙක් යාලුවෙක් උනාම, එයා නිකං වක්කඩ කැඩුවා වගේ කියවනවා ඇති නේද?“

“අපොයි ඔව්.. බස් එකේ කොළඹ ඉදල එනකම්ම කච කචේ.. මුලු ඔපිස් එකේම සතියේ ස්ටෝරිය බහින්න කලින් කියනවා“

“අනේ මේ යනවා යන්න.. අනිත් දවසේ මම බස් එකේ නිදාගන්නවා. බහින තැනදි ඇහැරවන්න ආ.. අම්මා මෙයා කියන ඒවට අහු වෙන්න එපා.. මෙයත් මේ කොල්ල වගේ හිටියට ඕපදුප අහද්දී නං හරියට.... එක්කෝ ඕන නෑ“

“මේ ළමයෝ හැම වෙලේම ඔය කට කැඩිච්චි කතා කියන එක නතර කරනවා. දැං සඳුන් පුතා ආවේ කොම්පීටර් එක හදාගන්න නේ.. යන්න ගිහින් ඒක හදාගන්න.. ආ.. මේ.. දුවා.. මම යනවා මාර්කැට් එකට.. සඳුන් පුතාට තේ එකක් හදල දෙන්න හොදද? මම යනවා පුතා“

අම්මා යන තෙක් සිටි එරන්දි ඇස් ලොකු කොට දිව ඇද සඳන්ට විසුළු පාන්නට විය.

“තමුසෙ නං පල් මෝඩියෙක් ඕයි“

“තමුසේ. ඕයි.. මං කියල තියෙනවා නේ මට ඔය වචන දෙක අප්පිරියයි කියලා.. ගහෙන් බැහැල කතා කරනවකෝ.. ඔය මහ ලොකු සඳුන් මහත්තයගේ ගෙවල් පැත්තේ බාසාව වෙන්ටැති නේ“

“අනේ බම්පු ගහගන්නවා ඕයි.. මට ඕන එක  නේ මම කියන්නේ“

“ඔන්න ඉතිං ආයි ගහට නැග්ගා. අනේ මේ...ප්ලීස්. ඕයි බෝයි ගාන එක නවත්න්නකෝ.. මට ඇහෙන කොටත් නිකං කව්රු හරි තරහෙන් මට බනිනවා වගේ ඇහෙන්නේ. අනේ මන්දා ඔයාට තේරෙන්නෑ නේ.. එදා බස් එකෙත් ඔියි ගාන කොට අර එහා පැත්තේ හිටිය මනුස්සයා ඔයාට එරෙව්වා මතකද? හැදෙනවකෝ හලෝ ඕව දැකලවත්‘

“හරි හරි මැඩම්. දැං ඉතිං යං ආපු වැඩේ කරල මට ඉක්මනට මාරු වෙන්න ඕන..“

“ඇයි ගර්ල් ප්‍රෙන්ඩ් කිව්වට මෙහෙ වැඩි වෙලා ඉන්න එපා කියලා.. හිකිස්“

“එයාට කිව්ව නං එන්න දෙන්නෙත් නෑ.. මොකද චැටර් බොක්ස් එක කන පුරවල එවන නිසා ඕපදූප“

“ඇත්තට මං ඕප දුප කියන එකක්යැ.. මං නිකං මේ හැමදේම කියන්නේ මට ඕවාබොරුවට හිතේ තියාගෙන ඉදල වැඩක් නැති නිසා“

“එහෙනං ඉතිං මොකටෙයි ඔය ඔක්කෝම මගේ කනට පුරවන්නේ“

“අනේ සුදෝ. ඉතිං ඔයා විතරයි නේ ඒවා අහගෙන හුං හුං ගගා වත් ඉන්නේ.. හි හි“

“සිහ්.. අර තරහකාරයෝ වගේ හිටියනං මේ කිසි කරදරයක් නෑ නේ.. පුදුම වදයක් අප්පා තියෙන්නේ..“

“අනේ යනවා මෝඩයා යන්න..යං යං කාමරේට“

සාලය පසු කොට මද දුරක් යන විට හමුවන පැසේජය දිගේ යද්දී හමු වන දකුණු පසට වන්නට ඇති කාමරය එරන්දිගේය. වම් පසට වන්නට ඇති කාමරය එරන්දිගේ මල්ලීගේ වන අතර, අම්මා සිටින්නේ මුළුතැන්ගෙයට අල්ලා ඇති කාමරයේය. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හදාරණ මල්ලි ගෙදර සිටින්නේ එහෙමත් දවසකය. කෙසේ වූවත් රාත්‍රියේදී ඇඳ තනි නොකිරීම ඔහුගේ පුරුද්දකි.


“ඔන්න ඕන් කරා..“

“ඉතිං මේ ලෝඩ් වෙන්නේ“

“බලං හිටු.. බලං හිටු“

“ඇත්ත තමා. තමුසේ.. වැරදුනා හලෝ මේක කෑවද.. සිස්ටම් ක්‍රැක් වෙලා සුවර් එකටම“

“මං මොකටද ඕවා කන්නේ.. අච්චර කන්න දේවල් ගෙදර තියෙද්දී.. ඒක නෙමෙයි අනේ හදාලා දෙන්න පුලුවන්ද“

“වෙලාවට මං පෙන් එක ගෙනාවා.. හිතලම... දැං ඉතිං සිස්ටම් එක ආයි රිඉන්සිටෝල් කරන්න වෙනවා. හපෝ පැයක් දෙකක් යනවා ඉතිං“

“දවසක් ගියත් කමක් නෑ හදල දෙන්න. හොද ලමය නේ“

“පෙන් එක දෙන්නං.. ඔයා කරගන්න“

“ඕන්න ඉතිං ආයි පන්ඩිතයා වෙන්න හදනවා.. මෝඩයා. හිකිස්“

“හරි හරි.. දැං තමු..සොරි සොරි ඕයි.. ගහන්න එපා හලෝ ඔලුවට... ඔක්කෝම තියෙන්නේ ඔලුවේ නේන්නං. “

“නෑ අං ඇවිල්ලද කියලයි බැලුවේ.. අඩේ බං.. මේ ඇත්තටම දැං කොන්ඩේ ඉදෙන්න අරන් නේ.. මෙන්න බලන්න මෙතන ගස් දෙකක්ම සුදු වෙලා.. ගලවල දාන්නද“

“කෝ බලන්න.. ඌයි.. හෙමින් අදිනවා මෝඩයෝ.. ඌයි.. දෙකම ගැලෙව්වද?? අප්පට සිරි... කොන්ඩ ගස් දෙකම ඉදිලා... මම දැක්කේ නෑනේ.. තැන්කුයි හලෝ..තව නැ්දද ඉදිච්චි ඒවා...නෑ.... එහෙනං කමක් නෑ.. හරි... මේක කොපි කරගන්නකං පැය බාගයක් විතර යාවි. අර අම්ම කිව්ව තේ එක හදන් එන්න.. මට තිබහයි“

“පැය භාගයක් යනවද? එහෙනං මම ටාර් ගාලා නාගෙන තේ එකත් හදාගෙනම එන්නං.. කමක් නෑ.. ද... තනියම ඉන්න බය නෑ නේ ඔය ළමයා. කව්රු හරි දොරට තට්ටු කරොත් සද්ද නැතිව හිටිං හරිය.. හික්ස්“


“කමක් නෑ...“

එරන්දි තම උරයට තට්ටුවකුත් දමමින්, සුජාතා අත්තනායකගේ ගීතයක් මුමුණමින්ද කාමරෙයන් දිව යනු සඳුන්ට දැනින. එසේ වන්නේ ඔහු තම ඇස් දෙක පරිගණක තිරය දිහාටම පමණක් යොමු කරගෙන සිටි නිසාය. ගිගා බයිට් ගණනක දත්තයන් සමුහයක්, පරිගණකයේ දෘඩ තැටියට ගබඩා වෙන තුරු ඔහු නිල් තිරයේ ප්‍රතිශතය ගනින්නට විය. ඒ අතර රතු පැහැති කැරගෙන පුටුවේ සිට හෙමිහිට දෙපැත්තට පැද්දෙමින් කාමරය පුරා ඇස් යොමන්නට ඔහු අමතක නොකලේය. කාමරයේ බිත්ති මත පෝස්ටර් දෙකක් අලවා ඇත. එකක් කළු හා සුදු මිශ්‍රිත බුදු රුවකි. අනෙක වෛර්ණ වූ කුඩා දරුවෙකුගේ සිනහ වෙන පින්තූරයකි. හරියටම පුටුව පිටුපසින් ඇඳ තිබෙන අතර, ඇදට එපිටින් ඇදුම් රාක්කය තබා තිබිණි. පරිගණක මේසයේ පැත්තකට වන්නට ඇති පොත් රාක්කය, එරන්දිගේ විවිධ පොත්, හැන්ඩ් බෑගය හා කොළඹ සිට එන විට ගෙන එන ඇදුම් මල්ල තැබීමට සකස් කර තිබෙන එකක්ම බව පෙනීමෙන් සඳුන්ට සිනහ පහල විය. “මේකි ට නං අම්මප පිස්සු.. අර ඇදුං මල්ල ඇද යට තියන්න බැරියැ...“