මේ කතාව මං පුංචි කාලේ අහපු කතාවක්. මේ කතාව ගැන හිතන හැම වෙලේම මට ඒකේ වටිනාකම දැනේන්න ගත්තා. ඒ කියන්නේ සමහර කතා වගේ, සමහර මිනිසුන් වගේ, වයසින් වැඩෙද්දි තව සාර වෙනවා වගේ.
මං හිතනවා ඔය අය ගම්බද පැත්තක ජීවත් වෙලා ඉන්න ඇති කියලා. හිතන්න..ඔන්න තියෙනනා හුගක් පරණ අතු හෙවිලි කරපු ගොවි ගෙයක්. වහලේ උඩ පුංචි පුංචි ගස් කොලං වැවිලා. වහළ මුදුනෙම කොකෙක් තමන්ගේ කූඩුව හදලා. හරියට කොකා නැතිව වහල හදන්න බැරිව වගේ. ගෙයි බිත්ති ඇල වෙලා, ජනෙල් තියෙන්නෙත් හුගාක් පහතින්. ඒ මදිවට විවෘත කරන්න පුළුවන් වෙන්න තියෙන්නෙත් එක ජනේලයයි. ගිනි පෝරණුව බිත්තියට අල්ලල තියෙන්නේ හරියට මහත මිනිහෙක් බිත්තියට ඇලිල ඉන්නව වගේයි. වැටට හේත්තු වෙලා පරණ ගහක් තියෙනවා ඒකේ අතු බිමට පාත් වෙලා. වැටට අල්ලලා තියෙන්නෙ පොඩි ජල තටාකයක්. තාරාවෝ කීප දෙනෙක් ඒ තටාකේ ඇතුලේ ඔබමොබ යනවා. හැම එකකටම බුහ් බුහ් ගාලා බුරන දඩෝරියෙකුත් ඒ ළගම ඉන්නවා.
ඔන්න ඔය වගේ තමා ගොවි ගෙවල්. මේ ගෙදර හිටියේ වයසක උන්දැල දෙන්නෙක්. ගොවියෙක් හා ඔහුගේ වයසක බිරින්දෑ. ගේ වගේම ඒ අයගේ දේපලත් බොහොම පොඩ්ඩයි. ඔය අතරේ මේ අයට අශ්වයෙකුත් හිටියා. ඔය ගමනක් බිමනක් යන කොට එක්ක යනවා. නගරෙට යන කොට අශ්වයා පිටේ නැගල යනවා. ඒ අතරේ අහල පහල අයත් “අයියේ පොඩි වැඩකට යන්න මට අශ්වයා දෙනවද?“ කියල ඇහුවම නොදී බැරි නිසා අපේ උන්දැ අශ්වයව දෙනවා. ඉතිං ඒ මිනිස්සුත් වැඩේ කරගෙන ඔය පොඩි පොඩි දේවල් අපේ උන්දැට ගෙනැත් දෙනවා ඒකට හිලව් වෙන්න. ඒත් මේ දෙන්නා හිතුවා ඔය ලැබෙන සොච්චමට වැඩිය මේ අශ්වයා විකුණල හරි, මොකක් හරි වටිනා දේකට හරි මාරු කරල දානවා නං වඩා හොදයි කියලා. ඒත් මේ වටිනා දේ මොකක් වෙන්න පුළුවන්ද?
“අපේ මහත්තයෝ ඔයැයි දන්නවනේ මොකක්ද කරන්න ඕන කියලා“ ගම හාමිනේ කිව්වා.
“අද පොළ දවස නේ. ඉතිං පොළට ගිහිල්ලා මේ අස්පයාව දීලා කීයක් හරි අරගෙන එන්න නැත්නං මොකක් හරි කමක් නෑ වටින දේකට මාරු කරගන්න. ඔයැයි මොනව කරත් හරියි කියල මම දන්නවා. එහෙනං ගොහිල්ල එන්න“
ඉතිං ඇය අපේ උන්දැගේ කරේ දාලා තිබුන ලේන්සුව තද කරල ගැට ගැහුවා. අපේ උන්දැට වැඩිය හොදට එයැයිගේ ඔය ලේන්සුව ගම හාමිනේට ගැට ගහන්න පුළුවන්. ඇය ඒක ලස්සනට ගැට ගැහුවා. ඊට පස්සේ අපේ උන්දැගේ තොප්පිය අරගෙන වටේම පිහිදල දැම්මා එයාගේ අතින්. එයා අපේ උන්දැට හාදුවකුත් දුන්නා. ඉතිං ඒ පාර අපේ උන්දැ අශ්වයත් පැදගෙන පොළට යන්න පිටත් උනා. අපේ උන්දැ ටක්කෙටම දැනං හිටියා එයා මොකක්ද කරන්න ඕන කියලා.
එක වළාකුලක් වත් නැති නිල් ආකාහේ දෙබෑ කරගෙන හිරු එළිය තද සැරේට පොළවට පාත් වෙනවා. පාර පුරාම දුහුවිල්ල. පොළට යන මිනිස්සු නිසා දක්කන සත්තු නිසා මේ දුහුවිල්ල හොදටම ඇවිස්සෙනවා. ඉර එළියෙන් බේරෙන්න නං කිසිම විදියක් නැහැ.
ඔය මිනිස්සු අතරේ එක් කෙනෙක් එළදෙනක් පොළට දක්කගෙන යනවා. මේ එළදෙන හොද පෘෂ්ඨිමත් සතෙක්.
“මේ වැස්සි නං කිරි මන්ඩලයක්“ අපේ උන්දැ හිතුවා. “මයේ අස්පයාට මේ වැස්සිව මාරු කරා නං ආයේ දෙකක් නෑ..මේක හොද බිසිනොස් එකක් තමයි“
“ඒයි. ඔය වැස්සි දක්කං යන උන්දැ.. පොඩ්ඩක් ඉන්නවදෝ..“ අපේ උන්දැ කිව්වා.
“ඕං මට ඉන්නව බෝම වටින අස්පයෙක්.. ඔව් තමුන්ගේ ඔය වැස්සිට වැඩිය බෝම වටිනවා. ඒකට කාරි නෑ. ඔය වැස්සි මට වටිනවා. ඔහේ කැමති නැද්ද මේ බිසිනොස් එක කරන්න. මං කිව්වේ මගේ මේ අස්පයා අරන් ඔය වැස්සිව මට දෙනවා.“
“අහා.. ඒක හොදයි මං කැමතියි“ ඒ මිනිහා කිව්වා. ඉතිං බොහොම සාධාරණව ඒ හුවමාරුව සිද්ධ උනා. ඉතිං අපේ උන්දැ හැරිල ගෙදර යන්න එපැයි. කොහේද මේ මනුස්සයට හිතුනා මෙච්චර ආපු එකේ පොළ පැත්තේ පොඩි රවුමකුත් දාලා ගියා නං හොදයි කියල. ඉතිං අර එළදෙනවත් දක්කගෙන අපේ උන්දැ පොළට යන්න පිටත් උනා. එළදෙනව ඉස්සර කරගෙන අපේ උන්දැ දික් අඩි තිය තිය විගහට ගාටන්න ගත්තා. ඒ අතරේ පාරේ යනවා බැටළුවෙක් දක්කගෙන යන මිනිහෙක්. ඒකා නං තඩි බැටළුවෙක්. ඒ මදිවට හොද එකෙන්ම ලෝමත් තියෙනවා.
“මෙන්න මේ යකාව ගත්ත නං හරි“ අපේ උන්දැට නිකම්ම හිතුනා. “බැටළු තඩියට ඕන තරං තණකොළ අපේ වත්ත පිටියේ තියෙන එකේ හොදට කාලා හැදේවි. අනික සීත කාලේ ආවම අපේ කාමරේම උනත් තියාගන්න බැරියැ. බාග විට මේ වැස්සිට වැඩිය අර බැටළු තඩියා වටිනවා වෙන්න ඇහැකි.“
“අපි මේකා මාරු කරගමුද?“ අපේ උන්දැ ඇහුවා.
කියන කල් හිටියේ වගේ බැටළුවගේ අයිතිකාරයා වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං බැටළුවෙක් දක්කගෙන පාර දිගේ යනවා.
තව ඩිංගක් දුර යන කොට අපේ උන්දැට හමු උනා තඩි පාත්තයෙක් කිහිල්ලේ ගහගෙන පොළට යන මනුස්සයෙක්.
“අප්පට සිරි අන්න තඩි පාත්තයෙක්. ඌ තරං මහත පාත්තයෙක්.. මයේ ජීවිතේට දැකල නෑ. උගේ පිහාටු ටිකෙනුත් හොද වැඩක් ගන්න ඇහැකි. කකුලට ලණුවක් ගැට ගහල අපේ ටැංකියට දාලා තිබ්බ නං ඕකා හොදට බලාගන්න තිබුනා. අනේ හාමිනේ කොයි තරං සන්තෝස වෙයිද? ඒ උන්දැ මට කොයි තරං කියනවද “අනේ අපිට පාත්තයෙක්වත් හිටිය නං කියලා“ ඔව්. දැං උන්දැට පාත්තයෙක් දෙන්න මට ඇහැකි.“
“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිත් අපේ උන්දැ පුරස්නේ ඇහුවා.
අර මනුස්සයත්, නිකං දියට දැම්මම ඇන්නෑවයි කිව්ව වගේ වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං පාත්ත-හිමිකරුවෙක්.
මේ වෙන කොට අපේ උන්දැ පොළට හොදටම කිට්ටු කරල හිටියේ. මහපාර පුරාම සෙනඟ. මිනිස්සුයි සත්තුයි නිසා එතැන පොඩි තදබදයක්. ඒක නිසා පාරේ නෙමෙයි අහල පහල වැටවල් අයිනෙන් තමා මේ අයට යන්න උනේ. තදබදේ කොච්චරද කියනවනං පොළ ඉස්සරහම ගේට්ටුවේ ඉන්න තෝං එකතු කරන මනුස්සයගේ තක්කාලි පාත්තිය උඩිනුත් මිනිස්සු වගේ වගක් නැතිව යනවා. ඔය අතරේ තෝං කාරයගේ කුකුල් තඩියත් ලණුවකින් ගැට ගහල හිටියේ මොකද ඔය යන මිනිස්සු නිසා කුකුල් තඩියා බය වෙයි කියල හිතලා. බැරි වෙලා හරි නැති වෙන්න උනත් පුළුවන්නේ. මේ කුකුල් තඩියගේ පස්සේ පිහාටු ටික හරිම කෙටියි. උගේ ඇස් නිකං තරු වගේ බැබලනෙවා. බැලු බැල්මට උගේ අමුතු ගතියකුත් තියෙනවා. “කොක් කොක්“ කුකුළා හැඬලුවා. කුකුළා මොකක් හිතුවද කියල නං මං දන්නේ නෑ. ඒත් අපේ උන්දැ නං ඒක දැක්කා.
“අප්පා. මම මෙතුවක් කාලෙකට දැකල නෑ මේ වගේ එකෙක්. අර අල්ලපු ගෙදර පාර්කර් කාරයගේ ගොං කිකිළි මොකෙක්ද මූත් එක්ක බැලුවම. මට හිතනෙවා මේකව ගන්න. කෑම දෙන්න ඕන එකක්යැ. උන්ට ඔය මොකක් හරි කෑමක් අහුලගෙන කන්න ඇහැකි එකේ. අනික මුං බිත්තර දැම්මට පැටව් එනවා. එතකොට අපිට කුකුල් කොටුවක්ම තියේවි. මේ පාත්තයා දීල කුකුළව ගන්න එක තමා හොදම.. ඔව්.. ඒක හරි“
“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිමත් අර ප්‍රශ්නේ.
“මාරු කරන්න... ඔව් ඉතිං ඒකේ නරකකුත් නෑ“ තෝං කාරයා කිව්වා.
ඉතිං ආයිමත් ඒ වැඩේ සිද්ධ උනා. තෝං කාරයා පාත්තයා ගත්තා. අපේ උන්දැ කුකුළත් අරන් යන්න ගියා.
ඉතිං... අපේ උන්දැ පොළට එන ගමන් හොද හොද ගණුදෙනු ටිකක් කලා නෙව. දැං අපේ උන්දැට හොදටෝම මහන්සියි. ඒ මදිවට තිබහයි. මොනා හරි ඩිංගක් කාලා, බ්‍රැන්ඩි උගුරක් බිව්ව නං හොදයි කියල හිතිල අපේ උන්දැ හෙමීට ගියා තානායමට. තානායමට අඩිය තියන්න යන කොටම ඔන්න එනවා තානායමේ අශ්වයින් බලා ගන්නා කෙනා. දෙන්නා දොර ගාවදි හමු උනා. අර මනුස්සයා මොකක්ද ගෝනියක් කරේ තියාගෙනයි ආවේ.
“ඔය ගෝනියේ මොනවද තියෙන්නේ“ අපේ උන්දැ ඇහුවා.
“ආ. මේකේ තියෙන්නේ වේලිච්ච ඇපල් වගයක්.. උෟරොන්ට කන්න දෙන්න“
“මක්කා කිව්වා. ඒක මොන අපරාදයක්ද? මං කැමතියි ඔය ටික ගෙදර අරං යන්න. ගිහින් මයේ උන්දැට දෙන්න. පහු ගිය අවුරුද්දේ අපේ ගහේ එකම එක ගෙඩියයි හැදුනේ. ඉතිං ඒක මහා සම්පතක්ය කියල හිතාන මයේ උන්දැ ඒ ගෙඩිය පෙට්ටියක අරන් තිබ්බා ආරස්සාවට. මේ ගෝනිය ගොහිං දුන්නොත් කියයි නිධානයක් පහළ උනාය කියලා.. ඔව් මම මේ ඇපල් ගෝනිය උන්දැට ගොහිං දෙන්න ඕන.. මොකෝ කියන්නේ මට දෙනවැයි ඔය ඇපල් ගෝනිය“
“ඉතිං ඒකට මට මොනවද දෙන්නේ“
“මම තමුසෙට මේ කුකුල් තඩියා දෙන්නං. කැමතියි නේ“
ඉතිං වැඩේ කෙරුනා. වේලිච්චි ඇපල් ගෝනියත් අරන් අපේ උන්දැ තානායම ඇතුලට ගියා. ඊට පස්සෙ තානායම ඇතුලෙදි අපේ උන්දැ ඒක හෙමීට පෝරණූව උඩින් තිබ්බා. වැඩේ කියන්නේ මිනිහා දැනගෙන හිටියෙ නැහැ පෝරණුව ගිනියම් වේච්චි විත්තියක්.
එක එක ජාතියේ මහා ගොඩක් තානායම ඇතුලේ පිරිලා. ඒ අතරේ ඉංගිරිසි කාරයෝ දෙන්නෙකුත් හිටියා. බෝම පෝසත්. ඒ අයගේ සාක්කු පිපිරෙන්න තරම්ම පිම්බිලා රන් කාසි වලින්. ඕන නං ඉතිං ඒ අයට ඔට්ටු අල්ලන්නත් පුළුවන්. ඔන්න අහගන්න.
චිරිස් චිරිස්... අර පෝරණුවේ මොනවද තියෙන්නේ. අන්න ඇපල් ටික පිච්චනෙවා..
“ඒ මොකක්ද?“
“ඇයි..අහන්නේ? තමුසෙල දන්නවනං...“ අපේ උන්දැ කිව්වා.
ඉතිං අශ්වයගේ ඉදල ඇපල් වලට යනකම්ම වේච්චි සංහදිය කොනක ඉදලම දිග ඇරියා අපේ උන්දැ.
“හැක්.. තමුසෙට අද නං නෝනගෙන් ලැබෙන්න ඕන ටික හොද එකෙන්ම ලැබෙයි.. අපොයි කංකරච්චලේ ඉවරයක් නැති වේවි.. හැක් හැක්.“ ඉංගිරිසි කාරයෝ සමච්චලේට වගේ කිව්වා.
“මක්කයි කිව්වෙ.. මට.. එයැයි මට මොනව දෙන්නද..? ඕන නං එයැයි මාව ඉඹල මෙහෙම කියාවි. “අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි“ කියලා.. ඔව්“ අපේ උන්දැ කිව්වා.
“අම්මට හුඩු. ඒකත් එහෙමද? හා.. එහෙනං අපි ඔට්ටුවක් දාමුද? මොකද කියන්නේ.. අපි ඔට්ටුව දාමු රත්තරං කාසි හොන්ඩරයක්.. සෙල්ලංද?? හොන්ඩරේක රත්තරං“ ඉංගිරිසි කාරයෝ ඔට්ටුව දැම්මා.
“එච්චර ඕන නෑ..මට එක බුසලයක් ඇති.. හැබැයි මට ඔය ඔට්ටුවට දාන්න වෙන්නේ ඇපල් පුරෝපු බුසලයක් තමා.. තව ඕන නං මායි මගෙ උන්දැයි ඕකට දැම්මාම හොන්ඩරේ හරි යාවි.. හැක්“
“හරි හරි.. එහෙනං ඔට්ටුයි“
ඉතිං ඔට්ටුව ඇල්ලුවා. කට්ටියම, ඒ කිව්වේ ඉංගිරිසි කාරයෝ දෙන්නයි අපේ උන්දැයි තුන්දෙනාම තානායමේ කරත්තයක් අරන් අපේ උන්දැගේ ගෙදරට ආවා.
“ඉතිං කෝමෙයි මයේ හාමිනේ“
“කෝමෙයි ඉතිං අපේ උන්දැ“
“මම අස්පයා වික්කා“
“ඔව් ඉතිං ඔයැයි දන්නවා නේ කොහොමද ඒක වෙන්න ඕන කියලා“ හාමිනේ කිව්වා. ඒ කියන ගමන් අමුත්තෝ දෙන්න ගැනවත්, ගෝනිය ගැනවත් නිච්චියක් නැතිව හාමිනේ අපේ උන්දැව වැළදගත්තා.
“මම අස්පයා විකුණල වැස්සියෙක් ගත්තා.“ අපේ උන්දැ කිව්වා.
“බුදු අප්පොච්චියේ.. අපිට බඩ පැලෙන කං කිරි බොන්න ඇහැකි එහෙනං. අපිට ඕන තරං බටර්, චීස් උනත් ලැබෙයි නෙව. හොදටම ලාබයි හොදටම ලාබයි මේ බිසිනොස් එක“ හාමිනේ සන්තෝසෙන් කිව්වා.
“ඔව්.. ඒත් මං වැස්සි දීල බැටළු තඩියෙක් ගත්තා“
“හා.. ඒක වැඩිය හොදයි නෙව. ඔයැයි හැම වෙලේම මං ගැන හිතනවා නේද?? ඔය බැටළුවට කන්න ඇති තරං තණකොල වත්තේ තියෙන එකේ අපිට හොදට කිරියි, චීසුයි ලැබේවි. ඇයි බැටළු ලොං ඇති තරං ගන්න ඇහැකි. මරේ මරු. වැස්සි කොහේද ලොං දෙන්නේ ඕන නං උගේ අර කෙඳි ඩිංගක් කපාගන්න පුළුවන්. එච්චර නේ.. බැටළුවා තමා වටින්නෙ.. දෙකක් නෑ.. ඔයැය නං හරි දස්සයා“
“ඒත් මං බැටළු තඩියා දීල පාත්තයෙක් ගත්ත නෙව“
“එහෙමද?? හපොයි එහෙනං මේ අවුරුද්ද අපිට හොදටම සරුයි. අපිට අවුරුදු මේසෙදි උණු උණුවෙම, රෝස් කරපු පාත්ත මස් ටිකක් කන්න බැරියැ. ඔයැයි හැම වෙලේම මගේ සන්තෝසේ ගැනමයි හිතන්නේ.. මං ආදරෙයි ඔයැයිට. අපි ඒකාව තම්බල කන්න කලින් ඇති තරං මහත් වෙන කල්, ඔය ආරස්සාවට කකුලේ ලණුවක් ගැට ගහල අතෑරල දාමු..මක්ක හරි කාලා හැදෙන්නැතෑ නේද?“
“ඒත් මං පාත්තයා දීලා කුකුළෙක් ගත්තා“
“කුකුළෙක්.. ඒක වැඩිය හොදයි නේ. ඌ බිත්තර මහ ගොඩක් දාලා ඒවා රැක්කම අපි පැටව් රොත්තක් ඉදීවි. ඉතිං එතකොට අපිට කුකුල් කොටුවක්ම හදාගත්තෑකි නේ. අම්මේ.. ඔයැයිට කියන්න මම මේ හිත හිත හිටපු දෙයක් ඒක“
“වෙන්නැති. ඒත් මම කුකුළා දීලා වේලිච්චි ඇපල් ගෝනියක් ගත්තා“
“මක්කා කිව්වා.. මේ කරපු වැඩේට නං මට ඔයැයිව ඉඹින්න හිතෙනවා. අනේ මයේ මහත්තයෝ.. මං ඔයැයිට දෙයක් කියන්නද? අද උදේ ඔයැයි පොළට යන වෙලාවෙවත් ඔයැයිට හවසට කටට රහට මක්ක දෙනවද කියල නිච්චියක් නැතිවයි මං හිටියේ. පස්සේ මං හිතුවා හොද රහට කුරුඳු කොළ ටිකක් දාලා පෑන්කේක් ටිකක් හදල දෙන්න ඕන කියලා ඇයි ඉතිං බිත්තරයි, බේකනුයි ගෙදර තිබුන නෙව. ඒත් මට කුරුඳු කොළ තිබ්බේ නැති හන්දා මම ගියා ඉස්කෝලේ නෝනගේ ඉඩමට. පිට පොත්ත රතට තිබුනට ඒ ගෑනි නං මහ යස්සනියෙක්. මං නොවැන්දා විතරයි. ඒත් මේ ගෑනි මට කුරුඳු කොළ ඩිංගක් දුන්නෑ නෙව. ඕන නං ණයට දෙන්නං ලු. “ඔහේලයි ඉඩමේ මෙලොවක් වැවෙනවද? අඩු ගානේ වේලිච්ච ඇපල් ගෙඩියක් වත්“ ඔන්න ඔහොමයි මට නක්කලේට කිව්වේ. ඒ පාර කියනවා “ඉතිං ඒක නිසා මට ඔහේට අඩු ගානේ වේලිලිච්ච ඇපල් ගෙඩියක්වත් ණයට නං දෙන්න බැහැ“ කියලා. හහ්..හහ්..හා. දැං මට පුළුවන් ඒ ගෑනිට එක ඇපල් ගෙඩියක් නෙමෙයි ඇපල් ගෙඩි දහයක්ම දෙන්න.. නෑ ඕන නං ඇපල් ගෝනියක්ම උනත්.. ඔව්..මට දැං හරි සන්තෝසයි. මට ඉවසුම් නෑ මේ ගෑනිට පාඩමක් උගන්නන කං.. හහ් හහ් හා.“ මෙහෙම කියන ගමන් හාමිනේ මහා සද්දේට අපේ උන්දැට “උම්මා“ කියල හාදුවක් දුන්නා.
“අන්න හරි.. බෙල්ල ගැලවුනත් සන්තෝසනේ ඉන්නේ.. නියමයි. අන්න ඒකයි අපි ඔහේලට සල්ලි දෙන්නේ“ ඉංගිරිසි කාරයෝ දෙන්නා ඇස් උඩ තියං එක පාරට කිව්වා.
ඇති පදං ගෙදර උන්දැගෙන් බැනුම් පිට බැනුම් අසාවි යැයි සිතා සිටියත්, ඒ වෙනුවට බෝම ආදරෙන් හාදු ලැබුණු අපේ උන්දැට රත්තරං කාසි හොන්ඩරයක්ම ලැබුනා ඉංගිරිසි කාරයොන්ගෙන්.
ඔව්.. දැක්ක නේ ඒකට වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන හැමදේම හරි යැයි බිරිඳ සිතනවා නං ඒක තමා වටින්නේ.
ඉතිං කතාව ඇහුවා නේ. මං කිව්වේ.. මම මේ කතාව ඇහුවේ මං පුංචි සන්දියේ. ඉතිං ඔන්න ඔය අයත් මේ කතාව දැං දන්නවා. මේකත් දන්නවනේ “අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
Hans Christian Andersen
What the Old man does is always right
ප.ලි. - ඇපල් ටික වේලගන්න උදව් කරේ අපේ හැන්රියා තමා.. ඉතිං.