එක රිදී කාසියක් තිබුනා. අලුත් කාසි මැෂිමෙන් ඒ රිදී කාසිය ලස්සනට ලස්සනේ දිලිහි දිලිහි එළියට පැන්නා. ඒ එන ගමන් එයා මහ හයියෙන් සද්දෙට මෙහෙම කිව්වා. “අම්මෝ.. ඇති යාන්තං.. දැං ඉතිං මට ලෝකේ වටේම යන්න ඇහැකි“. ඒ කිව්වත් වගේ අපේ රිදී කාසිය ලෝකේ වටේම යන්න පටන් ගත්තා.
කුඩා ළමයෙකු එයාගේ සිනිඳු සියුමැලි ඇගිලි වලින්, මහ පෙරේත මිනිහෙක් එයාගේ තද, සීතල, තෙත් උනු ඇගිලි වලින් රිදී කාසිය අල්ලගෙන හිටියා. කාසිය අතේ තිබුන මහළු මිනිහා ඒක ආයිත් දෙන්න කලින් කීප වතාවක්ම කාසිය පෙරල පෙරල බැලුවේ නිකං දුකෙන් වගෙයි. රිදී කාසිය අතේ තිබුන තරුණයා නං කිසි කතාවක් නෑ ඉක්මනටම කාසිය දීල දැම්මා. මේ කාසිය රිදී වලින් හැදුවට බෝම ඩිංගක් තඹ වලින් හදලා තිබුනා. ඉතිං අපේ රිදී කාසිය අවුරුද්දක්ම ඒක හදපු රට වටේ කරක් ගහමින් තමයි හිටියේ.
ඒත් එක දවසට මේ රිදී කාසිය විදේශ සංචාර සදහා ගමන් ආරම්භ කළා. විදේශගත වන දේශිය සංචාරකයෙකුගේ පසුම්බිය තුල ඉතිරි උන එකම දේශීය කාසිය විදියට මේ රිදී කාසිය පත් කරලයි තිබුනේ. ඒත් මේ සංචාරකයා ඔය රිදී කාසිය තමන්ගේ අතට එනකම්ම දැනගෙන හිටියේ නෑ තමන්ගේ පසුම්බියේ එක කාසියක් ඉතිරි වෙලා තිබුන බව.
“කොහොමද අපේ රටේ කාසියක් මගේ පර්ස් එකට ආවේ.. කමක් නෑ.. මාත් එක්කම ගියාවේ එහෙනං“ කියල ඔහු කිව්වා. ඉතිං කාසිය පසුම්බියට දාපු ගමන්ම අපේ රිදී කාසිය බෝම සන්තෝසෙන් උඩ පැන්නා. ඉතිං විදේශීය මිතුරන් එක්ක මෙයාටත් ඉන්න උනා. ඒත් මේ විදේශීය මිතුරන් අනිත් අයට ඉඩ දෙමින් නිතරම ආවා ගියා. ඒත් මේ තමන්ගේ රටේ කාසිය මොන වෙලේත් පසුම්බියෙන් එළියට යවන්න ඔහු කටයුතු කරේ නැහැ. ඒක නිකං හරියට ගෞරව නාමයක් දුන්න වගේ.
සතී කීපයක් ගත උනා. අපේ රිදී කාසිය ලෝකේ බොහොම දුරක් ගමන් කලා. ඒත් තමන් ඉන්නේ කොහේද කියලවත් රිදී කාසියට දැනගන්න විදියක් නැහැ. මොකක් උනත් අනිත් කාසි කියන කතා නං එයාට ඇහුනා. ඒ අය ප්‍රංස, ඉතාලි අය බවයි කතාවෙන් තේරුනේ. සමහර අය තමන් ආපු නගරය මොකක්ද කියලත් කියනව අපේ රිදී කාසිය අහගෙන හිටියා. තවත් සමහර අය එක එක තැන් වල නම් හිටන් කිව්වා. ඒත් අපේ දුප්පත් රිදී කාසියට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ නෙව. කව්රු හරි ගෝනියක් ඔළුවට දාගෙන හිටියොත් එයාට මොනවද පේන්නේ.. මොනවත්ම නෑ.. ඔන්න ඔය සන්තෑසියම තමා අපේ දුප්පත් රිදී කාසියටත් වෙලා තියෙන්නේ.
ඔය විදියට හැංගිල ඉන්න කොට එක දවසක් එයා දැක්කා පසුම්බිය බාගෙට ඇරිල තියෙන විත්තිය. ඉතිං මෙයා හොරා වගේ හෙමින් හෙමින් උඩට ආවා. කොහොම උනත් එයා ඒක නොකරන්නයි තිබුනේ. එයාට තිබුන ආසාව, කුතුහලය නිසාමයි මේ දේ කලේ. මෙහෙම කරන හුගක් අයට ඒකෙන් විදවන්න වෙනවා.
උඩට ආවට පස්සේ එයා හෙමින් සීරුවේ කලිසම් සාක්කුවට පැන්නා. ඔක්කෝම ඇදුම් ටික රාක්කයේ එල්ලුවට පස්සේ මෙයා බිමට වැටුනා. ඒත් ඒක කිසිම කෙනෙක් දැක්කෙවත් නෑ.. මෙයා වැටෙන සද්දේ කාටවත් ඇහුගෙනවත් නෑ.
පහු වෙනිදා උදේ ඇදුම් ටික ආයිත් ඇදගෙන සංචාරකයා ආයිත් ඇවිදින්න ගියා. රිදී කාසිය තනියම පාලුවේ සාක්කුවට වෙලා හිටියා. ඒත් එයාව හමු උනා. දැං එයාගේ රාජකාරි වේලාව. ඔව් අපේ දුප්පත් රිදී කාසිය තවත් කාසි තුනක් එක්ක එළියට ගියා.
“මගේ ලෝකය මොන වගේද කියල දැකගන්න මං හරිම ආසයි“ රිදී කාසිය හිතුවා. “දැං ඉතිං මට පුළුවන් එක එක ජාතියේ මිනිස්සු, දේවල් දැක බලාගන්න.“ එතකොටම එයාට ඇහුනා කෙනෙක් මෙහෙම බෙරිහන් දෙනවා.
“මේ මොන දහජරා කාසියක්ද?.... මේක හොද කාසියක් නෙමෙයි හොර එකක්. කිසි වැඩකට නැති එකක්“
ඔන්න ඉතිං කාසියේ නියම කතාව දැන් තමා පටන් ගන්නේ එයා කියපු විදියටම.
“හොර එකක්. කිසි කමකට නැහැ.“ මේ වචන නිසා දුක හිතුන රිදී කාසිය කියවන්න ගත්තා.
“අයියෝ මට නං දුකේ බෑ මේවා ඇහෙන කොට. මං හොද රිදී කාසියක්.. මාව හදල තියෙන්නේ හොදම රිදී වලින්. මගේ වටේම හොද රාමුවක් දාල නියම වටිනාකම ලස්සනට ගහල තියෙද්දී නේ මේ මිනිස්සු මට බනින්නේ. ඒ ගොල්ල මාව අදුරන්නේ නැහැ. නෑ. ඒ අය මාව අදුරගත්තා වෙන්නැති. මට තමා කිව්වේ වැඩකට නැති හොර කාසියක් කියලා.“
“මේ දහදුරා කාසිය කළුවරේ කාට හරි දීලා දාන්න ඕන“ මගේ අයිතිකාරයා කියනවා මට ඇහුනා. ඉතිං මාව එදා රෑම මාරු කලා. ආයිත් දවල් කාලේදි මට ඒ වචනම ඇහුනා.
“හොර එකක්. කිසි කමකට නැහැ.. ඉක්මනට මේ ගොං කාසිය කාට හරි දෙන්න ඕන“
“අනේ මං මොන තරං කාලකන්නි මිනිහෙක්ද? මගේ රිදී ටිකෙන් ඇති වැඩේ මොකක්ද? අඩු ගානේ මගේ ගානෙන් වත්... මගේ ගහල තියෙන ගානෙන් වත්.. වැඩක් නෑ ඉතිං මේ මොකක්වත් ඒගොල්ල සලකන්නේ නැතිනං..“ සමාජය ඔබට යම් වටිනාකමක් දෙන්නේ ඔවුන් එය තෝරාගන්න විදියටයි. ඇත්තටම දුෂ්ඨ හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීම බොහොම බියකරු අත්දැකීමක්. ඒක හරියට අපායේ පාර දිගේ යනවා වගේ. මං කොයි තරං අහිංසකද? මට මාව දැක්කම හිතෙනවා මං කාලකන්නියෙක්මයි කියලා..“
“හැම වෙලාවෙම හැම කෙනාම මාව අතට ගත්තම මම බයෙන් තමා ඒ අයගේ ඇස් දිහා බලන්නේ. මොකද මම දන්නවා ඒ අය මොන වෙලාවේ හරි මාව බොරු කාරයෙක්, වංචාකාරයෙක් කියල කවුනටරේට විසි කරල දානව කියලා.
“එක පාරක් මම දුප්පත් ගෑනු කෙනෙකු ගාව හිටියා. එයාට මාව හමු උනේ දවසක්ම මහන්සි වෙලා දාඩිය දාගෙන වැඩ කරාට පස්සෙදියි. ඒ ගෑනු කෙනාට මාව දාලා යන්න බැරි උනා. කව්ද ඉතිං මාව බාරගන්නේ. අන්තිමේ ඒ ඇත්තිට මං මහා දුකක් තමා දුන්නේ.“
“කොහොම හරි කාගේ හරි ඇගේ මේ කාසිය ගහන්න ඕන“ කියල ඒ ගෑනු කෙනා කිව්වා. “මං කොහොමද මේ වැඩකට නැති කාසිය තියාගන්නේ. මං මේක අපේ බේකරි කාරයට දීල පාං ගන්නවා. මිනිහ වගේ පෝසතෙකුට ඉතිං ඔය පාඩුව ඉවසගන්න බැරියැ.. මං වගේ නෙමෙයි නේ. මං දන්නවා මේක හොද වැඩක් නෙමෙයි කියලා. ඒත් මං මොනව කරන්නද“ දුප්පත් ගෑනු කෙනා කිව්වා.
“අයියෝ මේ මනුස්සයට මං කොයි තරං බරක් වෙලාද?“ රිදී කාසිය සුසුම් හෙලමින් සිතන්නට උනා. “මම ඇත්තටම දැං වෙනස් වෙලාද? මම පරණ කෙනා නෙමෙයිද?“
දුප්පත් ගෑනු කෙනා බේකරියට ගිහින් මාව දීලා පාං ගන්නයි හැදුවේ. ඒත් කට්ට බේකරි අයිතිකාරයා එක පාරටම මාව අදුරගත්තා. මිනිහට පුළුවන් ඕනම කාසියක් සුටුස් ගාලා අදුරගන්න. ඉතිං මාව අරගෙන අර දුප්පත් මන්ස්සයගේ මූණටම දමල ගැහුව නේ. මට බැරි උනා ඇයට පාන් අරන් දෙන්න. මට පුදුම කළකිරීමක් ඇති උනේ හැමෝටම මම බරක් වෙච්චි එක ගැන. මම තරුණ කාලේ මම ගැන කොයි තරං ආඩම්බර උනාද? දිලිසෙන පාටින් මාව කොච්චර ලස්සනට පෙනුනද? කව්රුවත් බාර නොගන්න දුක්ඛිත තත්වෙකට මාව පත් උනේ කොහොමද? ඒත් අර දුප්පත් ගෑනු කෙනා මාව ගෙදර අරන් ගියා. එයා මං දිහා හරිම අනුකම්පාවෙන් වගේම අවංකවම මිත්‍රශිලීව බැලුවා. ඊට පස්සේ මෙහෙම කිව්වා.
“නෑ මං මේක දීල තව කාටවත් පාඩුවක් කරන්නෑ. මං මේක මැදින් සිදුරක් විදිනව. අන්න එතකොට හැමෝම දකිනවා මේක වැඩකට නැති එකක් කියලා. ඒත් මට හිතෙන්නේ මේක හරිම වාසනාවන්ත කාසියක් කියලා. ඔව් මට එහෙම විශ්වාසයක් තියෙනවා. මට පුදුම විදියට නේ ඒක දැනෙන්නෙ.. මම මේකේ සිදුරක් විදල, ඒකට නූලක් දාලා අල්ලපු ගෙදර පුංචි එකාගේ කරේ දානවා.. හරියට වාසනාවන්ත කාසි මාලයක් වගේ.“
“ඉතිං එයා මගේ හරි මැදින්ම සිදුරක් විද්දා. මගේ ඇඟ තුලින් සිදුරක් විදින එක සතුටක් නෙමෙයි. ඒත් හොද අරමුණකින් කරන දේකට කොහොම හරි සහයෝගය දෙන්න අපිට සිද්ධ වෙනවා. සිදුර මැද්දෙන් නූලක් දාලා මාව අර දරුවගේ කරේ එල්ලුවා. එතකොට හරියට පදක්කමක් පැලදගෙන ඉන්නව වගේයි මාව පෙනුනේ. ඒ දරුවා මගේ දිහා බලල හිනා වෙලා මාව ඉම්ඹා. ඉතිං මං ඒ දරුවගේ උණුහුම් පුංචි පපුව උඩ මුලු රෑම නිදාගත්තා.“
“පහුවෙනිදා උදේ අර දරුවගේ අම්මා ඇවිත් මාව අතට ගත්තා. එයාට නං මං ගැන වෙන මොකක් හරි හිතිල වගේයි. කතුරක් ගෙනැල්ල නූල කපල මාව අතට ගත්ත නේ ඉතිං“
“මේක නං වාසනාවන්ත කාසියක්.. අපි බලමුකෝ.“ දරුවගේ අම්මා එහෙම කිව්වා.
“පස්සේ එයා මාව විනාකිරි වල පෙගෙන්න තිබ්බා. ටික වෙලාවක් යද්දි මං කොළ පාටට හැරුනා. පොටි ටිකක් දාලා සිදුරත් වැහුවා. ඊට පස්සේ මාව ටිකක් අතුල්ල දාලා එදාම හවස ලොතරැයි කූඩුවට මාව අරන් ගියා. මාව දීල ලොතරැයියක් ගත්තම එයාට වාසනාව ලැබෙයි කියලයි එයා හිතුවේ“
“මට ඇති වෙච්චි දුක කියන්න තේරෙන්නෙ නෑ. මගේ ඇතුලේ පුරවපු ඒවා නිසා මාව දෙකට කැඩෙයි කියලයි මට හිතුනේ. මං දැනගෙන හිටියා මාව වැඩකට නැති මෝඩයෙක් ගානට අනිත් අය (කාසි) ඉස්රහම එළවල දාන විත්තිය. ඒත් මේ වෙලාවේ මං බේරුනා. මොකද ඔපිසියේ හිටපු අයට වැඩ වැඩි වෙලා හුස්ම ගන්න බැරි තරමට. ඉතිං මාව අනිත් කාසි තිබුන පෙට්ටියටම දැම්මා. මාව දීල ගත්ත ලොතරැයිය ඇදනද නැද්ද කියල මං දන්නේ නැති උනත්, පහු වෙනිදා උදේට නං මට අර පුරුදු සන්තෑසියම වෙනවා කියල නං මං හොදට දන්නවා. හොද කෙනෙකුට මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකක්. ඒත් කාටවත් ඒක වලක්වන්න බෑ.“
“ඉතිං මේ විදියට මං අවුරුදු ගානක් ගෙයක් ගෙයක් ගානේ, අතින් අතට මාරු උනා. ඒ හැම වෙලාවෙම මං වැඩකට නැති කෙනෙක් විදියයි හංවඩු ගැහුවේ. කව්රුවත් මාව පිළිගත්තේ නැහැ. කව්රුවත් මාව විශ්වාස කරේ නෑ. ඉතිං අන්තිමේ මට සසර කළ කිරුනා. ජීවිතේ අමරුම කාලය තමයි ඒක. එක දවසක් ආපු සංචාරකයෙකුගේ අතට පුරුදු විදියටම මාව දීල දැම්මා. එයා මාව හොද කෙනෙක් විදියට බාර ගත්තා. ඒත් එයා මාව තව කාට හරි දෙන්න හදනකොට ආයිත් අර වේදනාකාරි කතාව මට ඇහුනා.
“හොර එකක්. කිසි කමකට නැහැ“
“ඉතිං මං මේක නියම කාසියක් විදියට නේ බාර ගත්තේ.“ සංචාරකයා කියන්න උනා. ඒ ගමන්ම එයා මාව කිට්ටුවට අරගෙන බැලුවා. ඊට පස්සේ එයා කට පුරෝල හිනා උනා. කවදාවත් මාව හොදට ලං කරල බලපු කිසිම කෙනෙක් මේ වගේ හිනා වෙලා නැති නිසා මං පුදුම උනා.
“ඇයි ඇයි.. මොකද?“ අනිත් කෙනා කිව්වම සංචාරකයා මෙහෙම කිව්වා.
“අයියෝ මේ මගේ රටේ කාසියක් නේ.. බලන්නකෝ අපේ රටෙන් ආපු නියම කාසියක් මේක.. ඒත් කව්රු හරි මේකේ සිදුරක් විදල නේ.. ඒකනේ වැඩකට නැති එකක් වෙලා තියෙන්නේ. මේක නං මහ පුදුම ලැබීමක් නේ.. කමක් නෑ මං මේක තියාගන්නං. මං මේක මගේ රටට අරගෙන යනවා.“
“මාව සතුටින් වෙව්ලල ගියා ඒක ඇහුනම. මං හොද කාසියක් කියල නේ කිව්වෙ. ඇති යන්තං දැං මට ගෙදර යන්න ඇහැකි. ඔව් ඕනම කෙනෙක්ට මාව අදුරගන්න පුළුවන් තැනට මං ආයිත් යනවා. මට දැනුනේ සන්තෝසෙ නිසා මගේන් ගිනි පිට වෙනවා වගෙයි. ඒත් ගිනි පුලිඟු එන්නේ යකඩ වලින් මිසක් රිදී වලින් නෙමෙයි නේ“
“මාව පිරිසිදුු සුදු කඩදාසියකට ලස්සනට එතුවා. ඊට පස්සේ අනිත් අයත් එක්ක මුහු නොවෙන්නත් නැති නොවෙන්නත් මාව තිබ්බා. ඔන්න මගේ රටේම කට්ටිය එකතු වෙන සමහර දවස් වලට එයා සීරුවට මාව එළියට අරගෙන හැමෝටම පෙන්නනවා. ඒ අය හැමෝම මං ගැන හොද කියනවා එතකොට. ඒ අය හිතුවේ මං බෝහොම අගේ ඇති කෙනෙක් කියලයි. ඒක මට නං හරිම පුදුමයි.. එක වචනයක්වත් කතා නොකර කොහොමද මම අගේ ඇති කෙනෙක් වෙන්නේ“
“ඔන්න ඉතිං අන්තිමේ මම ගෙදර ආවා. ඔක්කෝම කරදර ටික ඉවර උනා. මම දැන් ඇත්තටම සතුටින් ඉන්නේ. මං දන්නවා මාව හදල තියෙන්නේ හොදම රිදී වලින් කියල, ඒ වගේම මගේ පපුවේ මං කොච්චර වටිනවද කියලත් ලස්සනට ගහල තියෙනවා නේ. මගේ ඇග මැදින් සිදුරක් ගහල තියෙනව නං තමා. ඒත් ඒක ඒ තරං දෙයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අවංක කෙනෙක් කියල දන්නව නං. පොඩ්ඩක් අන්තිම වෙනක් බලන් ඉන්න. හැමදෙයක්ම ටක්කෙටම හරි යාවි. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්“ රිදී කාසිය කිව්වා.
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
Hans Christian Andersen - The Silver Shilling