Monday, August 4, 2014

රිදී කාසිය!! (The Silver Shilling)

එක රිදී කාසියක් තිබුනා. අලුත් කාසි මැෂිමෙන් ඒ රිදී කාසිය ලස්සනට ලස්සනේ දිලිහි දිලිහි එළියට පැන්නා. ඒ එන ගමන් එයා මහ හයියෙන් සද්දෙට මෙහෙම කිව්වා. “අම්මෝ.. ඇති යාන්තං.. දැං ඉතිං මට ලෝකේ වටේම යන්න ඇහැකි“. ඒ කිව්වත් වගේ අපේ රිදී කාසිය ලෝකේ වටේම යන්න පටන් ගත්තා.

කුඩා ළමයෙකු එයාගේ සිනිඳු සියුමැලි ඇගිලි වලින්, මහ පෙරේත මිනිහෙක් එයාගේ තද, සීතල, තෙත් උනු ඇගිලි වලින් රිදී කාසිය අල්ලගෙන හිටියා. කාසිය අතේ තිබුන මහළු මිනිහා ඒක ආයිත් දෙන්න කලින් කීප වතාවක්ම කාසිය පෙරල පෙරල බැලුවේ නිකං දුකෙන් වගෙයි. රිදී කාසිය අතේ තිබුන තරුණයා නං කිසි කතාවක් නෑ ඉක්මනටම කාසිය දීල දැම්මා.  මේ කාසිය රිදී වලින් හැදුවට බෝම ඩිංගක් තඹ වලින් හදලා තිබුනා. ඉතිං අපේ රිදී කාසිය අවුරුද්දක්ම ඒක හදපු රට වටේ කරක් ගහමින් තමයි හිටියේ.

ඒත් එක දවසට මේ රිදී කාසිය විදේශ සංචාර සදහා ගමන් ආරම්භ කළා. විදේශගත වන දේශිය සංචාරකයෙකුගේ පසුම්බිය තුල ඉතිරි උන එකම දේශීය කාසිය විදියට මේ රිදී කාසිය පත් කරලයි තිබුනේ. ඒත් මේ සංචාරකයා ඔය රිදී කාසිය තමන්ගේ අතට එනකම්ම දැනගෙන හිටියේ නෑ තමන්ගේ පසුම්බියේ එක කාසියක් ඉතිරි වෙලා තිබුන බව.

“කොහොමද අපේ රටේ කාසියක් මගේ පර්ස් එකට ආවේ.. කමක් නෑ.. මාත් එක්කම ගියාවේ එහෙනං“ කියල ඔහු කිව්වා. ඉතිං කාසිය පසුම්බියට දාපු ගමන්ම අපේ රිදී කාසිය බෝම සන්තෝසෙන් උඩ පැන්නා. ඉතිං විදේශීය මිතුරන් එක්ක මෙයාටත් ඉන්න උනා. ඒත් මේ විදේශීය මිතුරන් අනිත් අයට ඉඩ දෙමින් නිතරම ආවා ගියා. ඒත් මේ තමන්ගේ රටේ කාසිය මොන වෙලේත් පසුම්බියෙන් එළියට යවන්න ඔහු කටයුතු කරේ නැහැ. ඒක නිකං හරියට ගෞරව නාමයක් දුන්න වගේ.

සතී කීපයක් ගත උනා. අපේ රිදී කාසිය ලෝකේ බොහොම දුරක් ගමන් කලා. ඒත් තමන් ඉන්නේ කොහේද කියලවත් රිදී කාසියට දැනගන්න විදියක් නැහැ. මොකක් උනත් අනිත් කාසි කියන කතා නං එයාට ඇහුනා. ඒ අය ප්‍රංස, ඉතාලි අය බවයි කතාවෙන් තේරුනේ. සමහර අය තමන් ආපු නගරය මොකක්ද කියලත් කියනව අපේ රිදී කාසිය අහගෙන හිටියා. තවත් සමහර අය එක එක තැන් වල නම් හිටන් කිව්වා. ඒත් අපේ දුප්පත් රිදී කාසියට මේවා ගැන කිසිම වැටහීමක් නැහැ නෙව. කව්රු හරි ගෝනියක් ඔළුවට දාගෙන හිටියොත් එයාට මොනවද පේන්නේ.. මොනවත්ම නෑ.. ඔන්න ඔය සන්තෑසියම තමා අපේ දුප්පත් රිදී කාසියටත් වෙලා තියෙන්නේ.

ඔය විදියට හැංගිල ඉන්න කොට එක දවසක් එයා දැක්කා පසුම්බිය බාගෙට ඇරිල තියෙන විත්තිය. ඉතිං මෙයා හොරා වගේ හෙමින් හෙමින් උඩට ආවා. කොහොම උනත් එයා ඒක නොකරන්නයි තිබුනේ. එයාට තිබුන ආසාව, කුතුහලය නිසාමයි මේ දේ කලේ. මෙහෙම කරන හුගක් අයට ඒකෙන් විදවන්න වෙනවා.

උඩට ආවට පස්සේ එයා හෙමින් සීරුවේ කලිසම් සාක්කුවට පැන්නා. ඔක්කෝම ඇදුම් ටික රාක්කයේ එල්ලුවට පස්සේ මෙයා බිමට වැටුනා. ඒත් ඒක කිසිම කෙනෙක් දැක්කෙවත් නෑ.. මෙයා වැටෙන සද්දේ කාටවත් ඇහුගෙනවත් නෑ.

පහු වෙනිදා උදේ ඇදුම් ටික ආයිත් ඇදගෙන සංචාරකයා ආයිත් ඇවිදින්න ගියා. රිදී කාසිය තනියම පාලුවේ සාක්කුවට වෙලා හිටියා. ඒත් එයාව හමු උනා. දැං එයාගේ රාජකාරි වේලාව. ඔව් අපේ දුප්පත් රිදී කාසිය තවත් කාසි තුනක් එක්ක එළියට ගියා.

“මගේ ලෝකය මොන වගේද කියල දැකගන්න මං හරිම ආසයි“ රිදී කාසිය හිතුවා. “දැං ඉතිං මට පුළුවන් එක එක ජාතියේ මිනිස්සු, දේවල් දැක බලාගන්න.“ එතකොටම එයාට ඇහුනා කෙනෙක් මෙහෙම බෙරිහන් දෙනවා. 

“මේ මොන දහජරා කාසියක්ද?.... මේක හොද කාසියක් නෙමෙයි හොර එකක්. කිසි වැඩකට නැති එකක්“

ඔන්න ඉතිං කාසියේ නියම කතාව දැන් තමා පටන් ගන්නේ එයා කියපු විදියටම.

“හොර එකක්. කිසි කමකට නැහැ.“ මේ වචන නිසා දුක හිතුන රිදී කාසිය කියවන්න ගත්තා.

“අයියෝ මට නං දුකේ බෑ මේවා ඇහෙන කොට. මං හොද රිදී කාසියක්.. මාව හදල තියෙන්නේ හොදම රිදී වලින්. මගේ වටේම හොද රාමුවක් දාල නියම වටිනාකම ලස්සනට ගහල තියෙද්දී නේ මේ මිනිස්සු මට බනින්නේ. ඒ ගොල්ල මාව අදුරන්නේ නැහැ. නෑ. ඒ අය මාව අදුරගත්තා වෙන්නැති. මට තමා කිව්වේ වැඩකට නැති හොර කාසියක් කියලා.“

“මේ දහදුරා කාසිය කළුවරේ කාට හරි දීලා දාන්න ඕන“ මගේ අයිතිකාරයා කියනවා මට ඇහුනා. ඉතිං මාව එදා රෑම මාරු කලා. ආයිත් දවල් කාලේදි මට ඒ වචනම ඇහුනා.

“හොර එකක්. කිසි කමකට නැහැ.. ඉක්මනට මේ ගොං කාසිය කාට හරි දෙන්න ඕන“

“අනේ මං මොන තරං කාලකන්නි මිනිහෙක්ද? මගේ රිදී ටිකෙන් ඇති වැඩේ මොකක්ද? අඩු ගානේ මගේ ගානෙන් වත්... මගේ ගහල තියෙන ගානෙන් වත්.. වැඩක් නෑ ඉතිං මේ මොකක්වත් ඒගොල්ල සලකන්නේ නැතිනං..“ සමාජය ඔබට යම් වටිනාකමක් දෙන්නේ ඔවුන් එය තෝරාගන්න විදියටයි. ඇත්තටම දුෂ්ඨ හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීම බොහොම බියකරු අත්දැකීමක්. ඒක හරියට අපායේ පාර දිගේ යනවා වගේ. මං කොයි තරං අහිංසකද? මට මාව දැක්කම හිතෙනවා මං කාලකන්නියෙක්මයි කියලා..“

“හැම වෙලාවෙම හැම කෙනාම මාව අතට ගත්තම මම බයෙන් තමා ඒ අයගේ ඇස් දිහා බලන්නේ. මොකද මම දන්නවා ඒ අය මොන වෙලාවේ හරි මාව බොරු කාරයෙක්, වංචාකාරයෙක් කියල කවුනටරේට විසි කරල දානව කියලා.

“එක පාරක් මම දුප්පත් ගෑනු කෙනෙකු ගාව හිටියා. එයාට මාව හමු උනේ දවසක්ම මහන්සි වෙලා දාඩිය දාගෙන වැඩ කරාට පස්සෙදියි. ඒ ගෑනු කෙනාට මාව දාලා යන්න බැරි උනා. කව්ද ඉතිං මාව බාරගන්නේ. අන්තිමේ ඒ ඇත්තිට මං මහා දුකක් තමා දුන්නේ.“

“කොහොම හරි කාගේ හරි ඇගේ මේ කාසිය ගහන්න ඕන“ කියල ඒ ගෑනු කෙනා කිව්වා. “මං කොහොමද මේ වැඩකට නැති කාසිය තියාගන්නේ. මං මේක අපේ බේකරි කාරයට දීල පාං ගන්නවා. මිනිහ වගේ පෝසතෙකුට ඉතිං ඔය පාඩුව ඉවසගන්න බැරියැ.. මං වගේ නෙමෙයි නේ. මං දන්නවා මේක හොද වැඩක් නෙමෙයි කියලා. ඒත් මං මොනව කරන්නද“ දුප්පත් ගෑනු කෙනා කිව්වා.

“අයියෝ මේ මනුස්සයට මං කොයි තරං බරක් වෙලාද?“ රිදී කාසිය සුසුම් හෙලමින් සිතන්නට උනා. “මම ඇත්තටම දැං වෙනස් වෙලාද? මම පරණ කෙනා නෙමෙයිද?“

දුප්පත් ගෑනු කෙනා බේකරියට ගිහින් මාව දීලා පාං ගන්නයි හැදුවේ. ඒත් කට්ට බේකරි අයිතිකාරයා එක පාරටම මාව අදුරගත්තා. මිනිහට පුළුවන් ඕනම කාසියක් සුටුස් ගාලා අදුරගන්න. ඉතිං මාව අරගෙන අර දුප්පත් මන්ස්සයගේ මූණටම දමල ගැහුව නේ. මට බැරි උනා ඇයට පාන් අරන් දෙන්න. මට පුදුම කළකිරීමක් ඇති උනේ හැමෝටම මම බරක් වෙච්චි එක ගැන. මම තරුණ කාලේ මම ගැන කොයි තරං ආඩම්බර උනාද? දිලිසෙන පාටින් මාව කොච්චර ලස්සනට පෙනුනද? කව්රුවත් බාර නොගන්න දුක්ඛිත තත්වෙකට මාව පත් උනේ කොහොමද? ඒත් අර දුප්පත් ගෑනු කෙනා මාව ගෙදර අරන් ගියා. එයා මං දිහා හරිම අනුකම්පාවෙන් වගේම අවංකවම මිත්‍රශිලීව බැලුවා. ඊට පස්සේ මෙහෙම කිව්වා. 

“නෑ මං මේක දීල තව කාටවත් පාඩුවක් කරන්නෑ. මං මේක මැදින් සිදුරක් විදිනව. අන්න එතකොට හැමෝම දකිනවා මේක වැඩකට නැති එකක් කියලා. ඒත් මට හිතෙන්නේ මේක හරිම වාසනාවන්ත කාසියක් කියලා. ඔව් මට එහෙම විශ්වාසයක් තියෙනවා. මට පුදුම විදියට නේ ඒක දැනෙන්නෙ.. මම මේකේ සිදුරක් විදල, ඒකට නූලක් දාලා අල්ලපු ගෙදර පුංචි එකාගේ කරේ දානවා.. හරියට වාසනාවන්ත කාසි මාලයක් වගේ.“

“ඉතිං එයා මගේ හරි මැදින්ම සිදුරක් විද්දා. මගේ ඇඟ තුලින් සිදුරක් විදින එක සතුටක් නෙමෙයි. ඒත් හොද අරමුණකින් කරන දේකට කොහොම හරි සහයෝගය දෙන්න අපිට සිද්ධ වෙනවා. සිදුර මැද්දෙන් නූලක් දාලා මාව අර දරුවගේ කරේ එල්ලුවා. එතකොට හරියට පදක්කමක් පැලදගෙන ඉන්නව වගේයි මාව පෙනුනේ. ඒ දරුවා මගේ දිහා බලල හිනා වෙලා මාව ඉම්ඹා. ඉතිං මං ඒ දරුවගේ උණුහුම් පුංචි පපුව උඩ මුලු රෑම නිදාගත්තා.“

“පහුවෙනිදා උදේ අර දරුවගේ අම්මා ඇවිත් මාව අතට ගත්තා. එයාට නං මං ගැන වෙන මොකක් හරි හිතිල වගේයි. කතුරක් ගෙනැල්ල නූල කපල මාව අතට ගත්ත නේ ඉතිං“

“මේක නං වාසනාවන්ත කාසියක්.. අපි බලමුකෝ.“ දරුවගේ අම්මා එහෙම කිව්වා.

“පස්සේ එයා මාව විනාකිරි වල පෙගෙන්න තිබ්බා. ටික වෙලාවක් යද්දි මං කොළ පාටට හැරුනා. පොටි ටිකක් දාලා සිදුරත් වැහුවා. ඊට පස්සේ මාව ටිකක් අතුල්ල දාලා එදාම හවස ලොතරැයි කූඩුවට මාව අරන් ගියා. මාව දීල ලොතරැයියක් ගත්තම එයාට වාසනාව ලැබෙයි කියලයි එයා හිතුවේ“

“මට ඇති වෙච්චි දුක කියන්න තේරෙන්නෙ නෑ. මගේ ඇතුලේ පුරවපු ඒවා නිසා මාව දෙකට කැඩෙයි කියලයි මට හිතුනේ. මං දැනගෙන හිටියා මාව වැඩකට නැති මෝඩයෙක් ගානට අනිත් අය (කාසි) ඉස්රහම එළවල දාන විත්තිය. ඒත් මේ වෙලාවේ මං බේරුනා. මොකද ඔපිසියේ හිටපු අයට වැඩ වැඩි වෙලා හුස්ම ගන්න බැරි තරමට. ඉතිං මාව අනිත් කාසි තිබුන පෙට්ටියටම දැම්මා. මාව දීල ගත්ත ලොතරැයිය ඇදනද නැද්ද කියල මං දන්නේ නැති උනත්, පහු වෙනිදා උදේට නං මට අර පුරුදු සන්තෑසියම වෙනවා කියල නං මං හොදට දන්නවා. හොද කෙනෙකුට මේ වගේ දේවල් වෙන එක ඇත්තටම දුකක්. ඒත් කාටවත් ඒක වලක්වන්න බෑ.“

“ඉතිං මේ විදියට මං අවුරුදු ගානක් ගෙයක් ගෙයක් ගානේ, අතින් අතට මාරු උනා. ඒ හැම වෙලාවෙම මං වැඩකට නැති කෙනෙක් විදියයි හංවඩු ගැහුවේ. කව්රුවත් මාව පිළිගත්තේ නැහැ. කව්රුවත් මාව විශ්වාස කරේ නෑ. ඉතිං අන්තිමේ මට සසර කළ කිරුනා. ජීවිතේ අමරුම කාලය තමයි ඒක. එක දවසක් ආපු සංචාරකයෙකුගේ අතට පුරුදු විදියටම මාව දීල දැම්මා. එයා මාව හොද කෙනෙක් විදියට බාර ගත්තා. ඒත් එයා මාව තව කාට හරි දෙන්න හදනකොට ආයිත් අර වේදනාකාරි කතාව මට ඇහුනා. 

“හොර එකක්. කිසි කමකට නැහැ“

“ඉතිං මං මේක නියම කාසියක් විදියට නේ බාර ගත්තේ.“ සංචාරකයා කියන්න උනා. ඒ ගමන්ම එයා මාව කිට්ටුවට අරගෙන බැලුවා. ඊට පස්සේ එයා කට පුරෝල හිනා උනා. කවදාවත් මාව හොදට ලං කරල බලපු කිසිම කෙනෙක් මේ වගේ හිනා වෙලා නැති නිසා මං පුදුම උනා.

“ඇයි ඇයි.. මොකද?“ අනිත් කෙනා කිව්වම සංචාරකයා මෙහෙම කිව්වා.

“අයියෝ මේ මගේ රටේ කාසියක් නේ.. බලන්නකෝ අපේ රටෙන් ආපු නියම කාසියක් මේක.. ඒත් කව්රු හරි මේකේ සිදුරක් විදල නේ.. ඒකනේ වැඩකට නැති එකක් වෙලා තියෙන්නේ. මේක නං මහ පුදුම ලැබීමක් නේ.. කමක් නෑ මං මේක තියාගන්නං. මං මේක මගේ රටට අරගෙන යනවා.“

“මාව සතුටින් වෙව්ලල ගියා ඒක ඇහුනම. මං හොද කාසියක් කියල නේ කිව්වෙ. ඇති යන්තං දැං මට ගෙදර යන්න ඇහැකි. ඔව් ඕනම කෙනෙක්ට මාව අදුරගන්න පුළුවන් තැනට මං ආයිත් යනවා. මට දැනුනේ සන්තෝසෙ නිසා මගේන් ගිනි පිට වෙනවා වගෙයි. ඒත් ගිනි පුලිඟු එන්නේ යකඩ වලින් මිසක් රිදී වලින් නෙමෙයි නේ“

“මාව පිරිසිදුු සුදු කඩදාසියකට ලස්සනට එතුවා. ඊට පස්සේ අනිත් අයත් එක්ක මුහු නොවෙන්නත් නැති නොවෙන්නත් මාව තිබ්බා. ඔන්න මගේ රටේම කට්ටිය එකතු වෙන සමහර දවස් වලට එයා සීරුවට මාව එළියට අරගෙන හැමෝටම පෙන්නනවා. ඒ අය හැමෝම මං ගැන හොද කියනවා එතකොට. ඒ අය හිතුවේ මං බෝහොම අගේ ඇති කෙනෙක් කියලයි. ඒක මට නං හරිම පුදුමයි.. එක වචනයක්වත් කතා නොකර කොහොමද මම අගේ ඇති කෙනෙක් වෙන්නේ“

“ඔන්න ඉතිං අන්තිමේ මම ගෙදර ආවා. ඔක්කෝම කරදර ටික ඉවර උනා. මම දැන් ඇත්තටම සතුටින් ඉන්නේ. මං දන්නවා මාව හදල තියෙන්නේ හොදම රිදී වලින් කියල, ඒ වගේම මගේ පපුවේ මං කොච්චර වටිනවද කියලත් ලස්සනට ගහල තියෙනවා නේ. මගේ ඇග මැදින් සිදුරක් ගහල තියෙනව නං තමා. ඒත් ඒක ඒ තරං දෙයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම අවංක කෙනෙක් කියල දන්නව නං. පොඩ්ඩක් අන්තිම වෙනක් බලන් ඉන්න. හැමදෙයක්ම ටක්කෙටම හරි යාවි. මම ඒක තදින්ම විශ්වාස කරන දෙයක්“ රිදී කාසිය කිව්වා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

Hans Christian Andersen - The Silver Shilling

Thursday, July 31, 2014

කාල විපර්යාස!!!

1
“හෙට වෙනකං ඉවසන්නකෝ“

“බෑ බෑ අදම ඕන... හෙට වෙනකං ඉන්න බෑ“

“අද නං කෝමවත් කරන්න බෑ අනේ“

“ඔයා කියන්නේ පුදුම කතානේ.. මම දැං කොච්චර කාලෙකට කලින්ද මේක ඔයාට කිව්වෙ“

“ඒක මං දන්නවා අනේ.. ඒත් මට නං බැහැ අද ඒක කරන්න“

“මාර වැඩක්නේ මේක... දැං ඔයාම තමා කිව්වේ අද එන්න කියලා“

“හරි හරි.. මං කිව්ව තමා ඒත් දවස් දෙකකට කලින් නේ“

“ඇයි එතකොට දවස් දෙකකට කලින් කියපු එක මං විස්වාස කරන්න එපාද?“

“අයියෝ. ඔයාට තේරෙන්නෑ.. මං එහෙම එකක් කිව්වේ නෑනේ“

“මොකද නැත්තේ.. ඔයා ඒක තමා කියන්නේ“

“මට තේරෙන්නෑ ඔයාට කොහොම කියන්නද කියලා.. මාව විස්වාස කරන්නකෝ“

“හුහ්... මේ වෙනකං නං විස්වාස කරා තමා.. ඒත් දැන්නං නෑ“

“මොකක්ද අනේ ඔය තරං පුප්පන්නේ...ඔයා හරියට යකෙක් වගේ නේ“

“ඔයා හදන්නේ මගේ යකා අවුස්සගන්න තමා“

“අනේ මං නොදන්න යකා..“

“හුහ්... යනවා යන්න... මාව මෙතන අවුස්සන්න නේද හදන්නේ“

“අවුසන්න.. කුනු ගොඩක්ද“

“හා හා.. කුනු අවුස්සල හරි කමක් නෑ වැඩේ කෙරෙනව නං“

“ඒයි මේ මං ඇත්තටමයි කිව්වේ අද නං බෑ“

“ඔන්න ඉතිං ආයි බොරුව පටන් ගත්තා.. ලොකු පාට් නැතිව එනවා යන්න“

“අයියෝ බෑ අනේ.. තේරුං ගන්නකෝ..“

“මොනා තේරුං ගන්නද? මම දවස් දෙකක් නිවාඩු දාලාම ආවේ ඔයා කිව්ව නිසානේ.. ඇයි දැං මෙහෙම කියන්නේ“

“ඒකට හේතුවක් තියෙනවා.. ඒකයි මං බෑ කිව්වේ“

“මොකක්ද හේතුව“

“පොඩි හේතුවක්.. ඔයාට කියන්න බෑ“

“ඒක පුදුම කතාවක් නේ.. මට ඇත්ත නොකිව්වොත් මං තමුසෙව උස්සගෙන හරි යනවා“

“චිකේයියා.. උස්සන් ගිහින් ඔයා පැනල දුවාවි ෂුවර් එකටම“

“පැනල දුවන්න.. ඇයි ඔයා හිතුවේ මං බය වෙයි කියලද?“

“නෑ නෑ.. පිරිමි උනත් දුවයි පන කඩාගෙන.. ඒකනේ මං අද බෑ කියන්නේ“

“තමුසේ මාර බඩුවක් ඕයි... මං නිවාඩු දාන්න කලින් කිව්ව නං ඉවරයිනේ.. බලනවකෝ මං කොච්චර දේවල් හිතාගෙනද ආවේ.. සික් විතරක්“

“දුක තමයි ඉතිං. මටාත් එහෙමයි.. මං කියල මොනා කරන්නද අනේ.. “

“කියනව බලන්න මොකක්ද ඇත්ත කියලා..“

“ඒක ඔයාට කියන්න බෑ.. මම කලින් කිව්ව නේ අනේ. අහන්න එපා.. මට බෑ.. කරදර කරන්න එපා. මං යනවා“

“යනවා ඉතිං මට මොකද? මම නං ආයි තමුසෙට කතා කරන්නේ නෑ“

“එහෙම කරන්න එපා අයියේ...ඔයා පොඩ්ඩිත්තක් තේරුං ගන්නකෝ.. අනේ මං කියන එක අහන්න“

“නෑ මම යනවා යන්න.. තමුසෙල විස්වාස කරන්න බැරි ගෑනු...“

“මං බොරුවක් නෙමෙයි අයියේ කිව්වේ.. අනේ ඇත්තමයි.. ඔයාට උනත් මේක කියන්න බෑ... කාටවත් කියනව හෙම නෙමෙයි හරිද?? අද මං ලෙඩ වෙලා“

“ලෙඩ වෙලා.. ඔය යස අගේට ඉන්නේ..“

“එහෙම ලෙඩක් නෙමෙයි අනේ.. මේක මේ මාසෙකට සැරයක්...... හැදෙන පොඩි ලෙඩක්“

“ආහ්.. ඒකද?? කියන්න එපායැ.. ඕක.. හරි හරි.. යමු යමු එහෙනං.. ඕකනේ කියන්නේ.. කෙලින්ම කිව්ව නං ඉවරයිනේ.. තව ටිකෙන් මට තමුසෙව එපා වෙනවා.. හික් හික්“

**************************************************
2

“ඩාලිං... විල් යු කම් ටුමාරෝ..“

“යර්ස් හනී.. වට් ද් ප්‍රොබ්...“

“අ ලිට්ල් ප්‍රොබ් ඩාලිං. අයිම් රෙඩ් ෆ්ලැග්ඩ්...“

“ඕහ්.. ඕකේ.. දෙන් ෂැල් වී මීට් නෙක්ස්ට් සන්ඩේ“

“ඉට්ස් ෆයින්...ලව් යු ඩාලිං.. බායි“

“බායි හනී“


Monday, July 14, 2014

මාමයිට් වහ!!!

අපිට ඒ දවස් වල කාලා බීලා ඉන්න තරං ලොකු සල්ලියක් තිබුනේ නැහැ. ඒ කොහොම උනත් අම්මා අපිව බඩගින්නේ තියන්න නං ඉඩ දුන්නේ නැහැ. උදේට පාං කෑල්ලක්, නෙස්ප්‍රේ පිටි කෝප්පෙක පොඟවල හරි කන්න දෙනවා. දවල්ට බත් ඩිංගයි, ලුණුවිල කොළ ඩිංගයි එක්ක හරි කන්න දෙනවා.. ඉදල හිටල දවසක මේ දවල් කෑම එකට කරවල කෑල්ලක්, හාල්මැස්සෙක් එහෙමත් නැත්නං කටුමැස්සෙක් හරි එකතු වෙනවා. කටු මැස්සගේ මාළු වලට වැඩිය තියෙන්නේ කටු උනත් ඉදහිට ලැබෙන මේ රසම රස මාළු කෑල්ල කන්න අපි උගේ තියෙන ඔක්කෝම කටු ටික තුප් තුප් ගාලා ඇග වටේම බිමට දානවා. රෑටත් ඉතිං ඉතිරි වේච්චි බත් ඩිංක එක්ක පොල්සම්බල් ටිකක් හරි ගලේ අඹරලා කන්න දීලා තමා නිදි කරවන්නේ. ඔය සියළු සිද්ධින් ඒ දවස් වල දුකක් විදියට නෙමෙයි අනිවාර්ය අංගයක් විදියටයි මට හිතුනේ. කවදාවත් එළවලු මාර්කැට්ටුවකට ගිහින් නෑ මම ඒ කාලේදි.

මාර්කට් යන්න සල්ලි තියෙන එකක්යැ. ඒක නිසා ඔය කොහේ හරි වත්ත පිටියක, නැත්නං ලදු කැලෑවක තියෙන අලයක් කොළයක් අරන් ඇවිත් තමා අපි වේල සරි කරගත්තේ. මේවා කියන්නේ මේ අපි ගමේ ඉදල බෝම දුක් විදල හැදිච්ච මිනිස්සු කියල කියන්න නෙමෙයි. ඇත්තටම අම්මට අපිට කන්න බොන්න දෙන්න හරියට ඇඳුමක් අරන් දෙන්න, පොතක් පතක් කලට වෙලාවට අරන් දෙන්න හැකියාවක් තිබුනේ නැහැ තමයි. ඒත් ඒ දවසෙදී මට කවදාවත් හිතුනේ නැහැනේ අපි මේ විදියට කෑම කන්නේ, පරණ ඇදුම් අදින්නේ, පරක්කු වෙලා පොත් අරගන්නේ සල්ලි නැති නිසාය කියලා. මට හිතුනෙම මේ හැමදෙයක්ම වෙන්න ඕන විදියට වෙනවා කියල විතරයි. සෙල්ලං බඩුවක් අරන් දෙන්න උනත් මම අම්මට කරදර කරන්නෑ. මොකද සෙල්ලං බඩු කියන එකක් අපිට අදාළ නැති දෙයක් විදියටයි මට ඒත්තු ගැන්විල තිබුනේ.

කොහොම හරි මාසෙකට විතර සැරයක් අමාරුවෙන් පෙරුම් පුරල අම්මා අරන් එනවා කහපාට පොඩි පෙට්ටියක් දාපු කළු පාට කුප්පියක් ඒකේ පියනත් කහ පාටයි. අම්මා බෑග් එක ඇරල ඒ පෙට්ටිය අතට අරන් මට පෙන්නන කොට මට පේනවා අම්මගේ ඇස්වල දිලිසෙන ධෛර්යය. “බොලාට මේ වගේ කෑමත් මං අරන් දෙනවා“ කියල කියනවා කියලයි අම්මගේ ඇස් දැක්කම මට හිතෙන්නේ. ඒත් මට.... ඒ කහ පාට පෙට්ටිය දැක්ක වෙලාවේ ඉදල ඔළුව කැරකෙන්න ගන්නවා. දැං ඉතිං දෙයියනේ කියල සතියක් දෙකක් අපා දුකක් විදින්න එපායැ කියල හිතලා.

දන්නවනේ ඔය කහ පෙට්ටියේ කහ පියන ඇතිව එන කළු කුප්පිය මොකක්ද කියලා. ඒක තමා මාමයිට් කුප්පිය. කුප්පිය ගෙනාපු දාම හවසට අම්මා වතුර උණු කරල ඒකට අර කුප්පියෙන් ඩිංගක් දාලා හොදට කළතවල, ගෙයි පිටිපස්සේ තියෙන කරපිංච ගහෙන් කොළ දෙක තුනකුත් ගෙනැත් හෝදල අර කෝපපෙට දාලා ප්ලාස්ටික් පිඟානෙන් වහල ටික වෙලාවක් තියෙන්න අරිනවා. ඊට පස්සේ ඒ කෝප්පේ තියෙන ටික අර පිඟානටම දාලා තත්පර දහයක් විතර තිබුනට පස්සේ කෝප්පෙට දාලා මට දෙනවා.

“බීපං පුතේ.. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.“

අම්මා දෝතින්ම දෙන සල්ලිකාර ආඩම්බර කාර මාමයිට් කෝප්පේ මගේ අතට ආවම මං හරියට කරුමක්කාරයෙක් අතට වැඩියා වගේ තෝන්තුවෙන් ඒ දිහා බලාගෙන ඉන්නේ අම්මා ඩිංගක් එහාට මෙහාට වෙනකං. ඔය කෝප්පේ කැලතුන මාමයිට් තල්ලිය දිය වෙලා උණුවතුරේ තැම්බුනාට පස්සේ හුමාලෙත් එක්ක එන ගන්දස්කාරේ ඉවසගන්න බෑ. ඒක හරියට ලැට් එක පිටිපස්ස පැත්තට යනකොට එන ගඳ වගේ කියල මම හිතාගෙන හිටියා. ඔය හේතුව නිසා නහයට කිට්ටුවෙන්වත් මම මාමයිට් කෝප්පේ තියාගන්නේ නැහැ. දුං දාමින් නිවෙමින් යන අර කෝප්පේ විනාඩි ගානක්ම මගේ අතේ දුරින් තියෙන කොට, අම්මා ඒ කිට්ටුවෙන් ගියොත් ඉතිං ආයිත් උපදේශයක් දෙන්න පටන් ගන්නවා.

“ඕක බීල හිටිං පුතේ. ඔක්කෝම ටික බීපං.. ඩිංගක් වත් විසික් කරන්න එපා“

මමත් හා හා අම්මේ කියල අර කෝප්පේ දිහාම බලාන ඉන්නේ ආයිත් අම්මා අන්තරස්දාන වෙනකං. අම්මා ගියාම මම හරියට ෂර්ලොක් හෝම්ස් වගේ සියළු කාරණා හිතින් කිරල මැනල බලනවා. පොළවේ සිමෙන්තිය හෙල්ලනෙවනං අම්මා ගෙයි මට කිට්ටුව තැනක මොකක් හරි වැඩක්. ඒක නිසා මොන වෙලේ එයිද දන්නෑ. ලිදෙන් එක වතුර පනිට්ටුවක් ඇදල අනිත් එක අදින්න පරක්කු වෙනවා කියන්නේ අම්මා ළග ළගම කුස්සියේ බාල්දියට පුරවන්න වතුර එකක් අරන් එනවා කියන එකයි. ඒත් කිසිම සද්දයක් නැතිව විනාඩි දෙක තුනක් කල් ගත වෙන කොට නං හිතාගත්තෑකි අම්මා ටිකක් ඈතකට ගිහිල්ලා කියලා. අන්න ඒ වෙලාව තමා හොදම වෙලාව. මම හොර පූසෙක් වගේ ඇගිලි තුඩු වලින් කුස්සි දොර ගාවට ඇවිත් වට පිට බලනවා. අවට පරිසරය නිහඩයි නිසසලයි නං හෙමින් සීරුවේ අනිත් දොරින් පස්සා පැත්තට ගාටනවා. ඊට පස්සේ පාර මාරු වෙන්න වගේ ආයිත් දෙපැත්ත, තුන් හතර පාරක් බලල දුවනවා වැට අයිනේ තිබුන කෙසෙල් පදුර ගාවට. එතැන ඕන තරං ඉඩ තියෙනවා කෝප්ප නෙමෙයි බැරල් පිටින් උනත් හලන්න. ඉතිං සනීපෙට පෝර ටික ගහ මුලට හලල මම කෝප්පේ ගෙනැත් කුස්සි මේස කෑල්ල උඩින් තියල පියාඹල යනවා. 

මොන වෙලාවක හරි කුස්සියට එන අම්මා හිස් කෝප්පේ විතරක් තියෙනවා දැක්කම බෝම සන්තෝසෙන් මට කියනවා. 

“අන්න හරි හොදයි. මේවා හොද ගුණයි.. මොලේ වැඩෙනවා.. ඔක්කෝම බීලා.. හොද ළමයා“

ඔය හොද ළමයා කියන කතාව පැත්තකට දාන්න තිබුන අකමැත්ත හින්දම අමාරුවෙන් උනත් අම්මා දෙන මාමයිට් කෝප්පේ උස්සන් ඉන්නේ ඔක්කාරේ එන්න ඔන්න මෙන්න තියෙද්දීයි. එහෙම නේ ආදරේ ඇති ළමයි කරන්නේ. කොහොමෙන් කොහොම හරි වැට අයිනේ කෙහෙල් පදුර හොදට වැඩෙන්න ගත්තා. නෑ වඳ පීදුනු කෙහෙල් මොටි නං ආවේ නෑ. මොකද අම්මා කිව්වත් වගේ ඔය මාමයිට් කියන දහදුරාව හොද ඇති ගුණ ඇති කියල එකෙන්ම මට තේරුනා ඒ කෙහෙල් පදුරේ වර්ධනය දැක්කම. හැක් හැක්..

ඔය විදියට කාලයක් ගිහිල්ලා අම්මට එපා වෙනකම්ම මට දීපු මාමයිට් ටික කෙහෙල් පදුර බිව්වා. අන්තිමට අම්මා තේරුං ගත්තා මේ යක්කුන්ට මාමයිට් නෙමෙයි අලුතෙන් මොලයක් ගෙනැල්ල දුන්නත් වැඩක් නැතෙයි කියලා.

පොඩි එකාට දැන් අවුරුදු තුනහමාරයි නෙව. ඒකා බෝම කේඩෑරි නිසා මාත් අරන් ගියා මාමයිට් එකක්. දෙහි ඉස්ම ඩිංගක් දාලා, කරපිංච කොළ දෙක තුනක් දාලා රහට හදල දුන්නොත් ඔය යකා බෝවිය කියල හිතාගෙන. හවස ගිහින් මාමයිට් එක ගැන විස්තරේ රහ කරල කියල බොන්න ආසාව ඇති කරල ටිකක් නිවෙන්න ඇරල බොන්න දුන්නා. අතේ තියාගෙන තොල ගගා හිටිය නිසා මම හිතුවා මිනිහා ඒකේ රස අදුරගෙන ඇතියි කියල. ඒත් එක්කම මොකක් හරි වැඩකට මම පොඩ්ඩක් එහාට ගිහිල්ල කෝකටත් හැරිල බලන කොට කොල්ලා හිටී තැන නැහැ. තාත්තා කට්ටයා නේ.. ටක් ගාලා දුවල ගිහිල්ල බැලුවා කෝ මේකා කියලා. කියන්න සන්තෝසයි.. තාත්තා නං කෙහෙල් පදුරටවත් හැලුවා.. මේකා කෙලින්ම සින්ක් එකට ගෙඩිය පිටින්ම අතෑරල කෝප්පේ තියල අත් දෙකත් පිහිදගත්තා. හැරිල බලන කොට මාව දැකල මෙන්න මෙහෙම කියාපි..

“අරී ලතයි. අරී ලතයි. ඔත්තොම බිව්වා.. “

Monday, July 7, 2014

පෑන සහ තීන්ත කූඩුව!! (The Pen and Inkstand)

කවියෙකුගේ කාමරයේ ඇති ඔහුගේ මේසය මත තීන්ත කූඩුව මේසය මත නොසෙල්වී සිටියා. එහෙම ඉන්න ගමන් තීන්ත කූඩුව මෙහෙම කියන්න ගත්තා. “තීන්ත කූඩුවක් තුලින් මොන තරම් විස්මිත දේවල් එළියට එනවද? ඊළගට එන්නේ මොකක්ද කියල හිතාගන්නවත් පුළුවන්ද? මේක නං විස්මිතයි“

“ඔව් ඇත්තටම“ තීන්ත කූඩුව කිව්වා. “ඒක අසාමාන්‍යයි. ඒකනේ මං නිතරම කිව්වේ“ ඔහු පෑන සහ ඔහු කියන දේ ඇසෙන මානයේ මේසය උඩ ඇති හැමදේටම ඇසෙන පරිදි එහෙම කිව්වෙ ලොකු උජාරුවකින්. 

“විස්මයජනකයි කියන්නේ මේකට තමා. මොන තරං දේවල් මගෙන් මතු කරගන්න පුළුවන්ද? ඒක විස්මයජනකයි නේද? මේ මනුස්සයා මාව ඔබ ඔබ ඉන්න කොට, අඩු ගානේ මම වත් හාංකවිසියක් දන්නෑ ඊළගට මොකක්ද එළියට එන්නේ කියල. මගෙන් ගත්ත එක තීන්ත බිංදුවක් ඇති එයාට පිටු භාගයක්ම ලියන්න. ඉතිං ඒ පිටු බාගේ මොනව තියෙන්න බැරිද? කවියා කරන හැමදෙයක්ම මගෙන් තමයි එළියට එන්නේ. ඔය මිනිස්සුන්ගේ හිතිවිලි, ඒ අය දකින මිනිස්සු, ගැඹුරු සිතුවිලි, උපහාසය, ස්වභාවධර්මයේ මනස්කාන්ත දර්ශන.. ඇත්තටම මේ හැමදෙයක්ම මාතුලයි තියෙන්නේ. මගෙන් තමා මේ හැමදෙයක්ම ඉදිරියට එන්නේ. සුකොමල කුමාරියන්, නිර්භීත නයිට්වරුන්, අප්‍රසන්න දේවල්, නොපෙනෙන දේවල්.. තව මොනවද? තව මොනව තියේද කියල මමවත් දන්නෑ. මං ඔයගොල්ලොට සහතික වෙනවා මං ඔය කිසිම දෙයක් හිතන්නෑ කියලා“

“ආහ්.. ඔය කිව්වේ.“ පෑන කිව්වා. “ඔය තමන් කලාය කියන කිසිම දෙයක් ගැන ඔයා මොන දෙයක්වත් හිතන්නෑ. මට කියන්න පුළුවන් ඔයා කරන්නේ ඔයාගේ ඇගේ තියෙන තීන්ත ටික අරගෙන දෙනවා කියල විතරයි. ඔයා මට තීන්ත ටික දෙනවා. ඉතිං මට කරන්න පුළුවන් හැමදේම මම කරල පෙන්නනවා. පෑන තමයි හැමදේම ලියන්නේ. කිසිම මිනිහෙක් ඒක අවිස්වාශ කරනවද? නෑ.. ඔය හුගක් මිනිස්සුන්ට තියෙන මොලේ තරම තමා මේ වගේ පරණ තීන්ත කූඩුවකට උනත් කියන්නේ“

“ඔව් ඔයාටත් පුළුවන්. ඒත් අත්දැකීම් කොච්චර අඩුද?“ තීන්ත කූඩුව පිළිතුරු දුන්නා. “හැක් හැක්.. ඔයාට අඩුගානේ සතියක්වත් එක දිගට ඔය වැඩේ කරන්න පුළුවන්ද? බලනවා ඔහේ දැනටමත් බාගයක්ම ගෙවිල ඉවරයි. ඔහේ විහිළුවටද මට කිව්වේ තමුන් කවිකාරයෙක් කියලා.. හැක්? දැනගන්නවා, ඔයා කියන දේ කරන සේවකයෙක් විතරයි. ඔයා මෙහාට එන්න කලින් මං ඔයා වගේ අය කී දෙනෙක් ගැන දැනගෙන හිටියද, සමහර අය මෝඩ පහේ පරණ අය, සමහර අය ජේත්තුකාර ඉංගිරිසි කාරයෝ. මට බොරු කරන්න බෑ මම හොදට දන්නවා පිහාටු පෑන මොකක්ද පවුන්ටන් පෑන මොකක්ද කියල. ඔය හුගක් දෙනෙක් මං ගාව වැඩ කරා. ඔන්න බලන්න එයා එනකොට මට තව පෑන් හුගක් අරන් ඒවි. මිනිහා කරන්නේ මං වෙනුවෙන් එයාගේ සංඥා ක්‍රියාත්මක කරන එක විතරයි. මගෙන් මතුවෙන දේවල් තමා එයා ඔය ලියන්නේ. මම ඇත්තටම කැමතියි දැනගන්න මිනිහා ඊළගට මගෙන් මතු කරගන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න.“

“තීන්ත බඩා“ පෑන බෙරිහන් දුන්නා.

හොදටම හවස් වෙලා කවියා ගෙදර ආවා. කවියා ප්‍රසංගයකට ගිහිල්ලා. ඒ ප්‍රසංගයේදී වයලීන් වාදකයා මොන තරම් අගේට තම වයලීනය වාදනය කලාද කියන එක ගැන ඉමහත් ප්‍රෙමා්දයෙන් ඔහු සිටියේ. හිතාගන්නවත් බැරි තරම් ඉමිහිරි වාදනයක් තමා ඔහු වයලීනයෙන් නැගුවේ. සමහර වෙලාවට ඒ නාදය කිංකිණි නංවන වතුර බිංදු වගේ, නැත්නං පෙරලීගෙන එන මුතු ඇට වගේ, නැත්නං ලස්සන සිංදු කියන කුරුළු නාදයක් වගේ, ඒ විතරක්ද ෆර් ගස් මුදුන් වලින් හමන සුළං සැර වගේ. කවියාට මේ ගැන හිතද්දී තමන්ගේම හෘද ස්පන්දනය ඇහුනා ඒකත් හරියට ලස්සන සංගීත නාදයක් වගේමයි ඔහුට ඇහුනේ, එහෙමත් නැත්නං කාන්තාවකේ මිහිරි කටහඩක් වගේ. කවියා සම්පුර්ණ්යෙන්ම වාදනය ගැන මත් වෙලයි හිටියේ. වයලීනයේ තත් විතරක් නෙමෛයි මුලු වයලීනයම වාදනයට එකතු උනා කියලයි ඔහු සිතුවේ. ඒක විස්මය ජනක වාදනයක් කියා ඔහු සිතුවා. වයලීනයේ අලුව, එහි තත් හා ස්පර්ශ වෙද්දී, එහි ඇතිල්ලෙන, එහාට මෙහාට යන උඩට පහලට යන රිදිමය අනුව වයලීනයෙන් ඉමිහිරි නාද පිට උනා. හරියට වාදනය කරපු වාදකයා නොදැනුවත්වම වයලීනය මේ ඔක්කෝම වාදනය ඉදිරිපත් කලා වගේ. ප්‍රේක්ෂකාගාරයේ හිටි අයටත් අමතක උනා මාස්ටර් වාදනය කරන බව. හැමෝම වයලීනය දිහා විස්මයෙන් බලා හිටියේ. එයින් නැගෙන නාදය ඔවුන් සියල්ල අමතක කොට රස වින්දා. සමහර අයට අමතක උනා අඩු ගානේ හුස්ම ගන්නවත්. මාස්ටර් අමතක උනා. නමුත් කවියාට ඔහුව අමතක උනේ නැහැ. ඔහු මාස්ටර් නමින් ඔහුගේ සිතෙන් මතු වූ කවි සිතුවිලි අකුරු කරන්න ගත්තා.

“ඒක මොන තරං ලැජ්ජ නැති වැඩක්ද? වයලීන් එකයි අලුවයි විතරක් ඉස්සිලා ආචාර කරන්නේ හරියට ඒ අය මේ වාදනය කලා වගේ“ ඒත් අපි මිනිස්සු විදියට තාමත් හිතන්නෙ එහෙමනේ. කවියෝ, කලාකාරයෝ, ජනරාල්වරු, විද්‍යාඥයෝ. මේ හැමෝම හිතන්නේ ඔය විදියට තමා. අපිත් හරියට සංගීත භාණ්ඩ වගේ දෙවියන්ට ඕන විදියට වාදනය වෙන. හැමදේකම උත්තමාචාර ඔහුට විතරයි. අපිට ආඩම්බර වෙන්න සතුටු වෙන්න කිසිම දෙයක් නැහැ.“ කවියා එහෙම හිතන්න ගත්තා.

ඇත්තටම කවියා ඒක තමා ලිව්වේ. ඔහු කතා ශෛලියෙන් ඒක ලිව්වා. මෙහෙමයි ඒක ඔහු හදුන්වලා තිබුනේ. “මාස්ටර් සහ වාදකයෝ“

“අක්කේ.. ඔන්න ඕක තමා ඔයාට ලැබෙන්නේ“ පෑන තීන්ත කූඩුවට කිව්වේ ආයෙත් හුදකලා උනාට පස්සේ. “ඔයැයිට ඇහුන නේද ඔහු මම ලිව්ව දේ හයියෙන් කියවනවා“

“ඔව් ඇහුනා. මං ඔයාට ලියන්න දීපු දේ නේ ඒ“ තීන්ත කූඩුව ඔලොක්කුවට මෙන් පෑනට කිව්වා. “ඒක මං ඔහේටයි කිව්වේ. ඔයැයිගේ ඔය බොරු අහංකාරේ නිසා. අඩුගානේ ඔහේට තේරෙනවද මං ඒක ලිව්වේ ඔහේට අපහාස කරන්නෙයි කියලා. මම මේ පොඩ්ඩයි කිව්වේ මම දන්නවා මටත් ඕන උපහාසයක් කරන්න පුළුවන් කියලා.“

“තීන්ත කේතලයා“ පෑන හයියෙන් කිව්වා.

“ලියන කූරා“ තීන්ත කූඩුව උත්තර දුන්නා.

මේ දෙන්නට දෙන්න තම තමන් හිතාගෙන හිටියා තමන් දීපු උත්තරේ හරියටම හරි කියලා. තමා ඉතා හොදම උත්තරයක් දීපු බව දෙන්නම අවබෝධ කරගෙනයි හිටියේ. ඒ ස්ථිර විශ්වාසය හොදටම ඇති සනීපෙට නිදාගන්න තරම්ම. ඉතිං ඒක නිසා දෙන්නම නින්දට ගියා. ඒත් කවියාට නිදාගන්න බැරි උනා. ඔහුට නින්ද ගියේ නැහැ. ඔහුගේ සිත තුල සිතුවිලි පොදි ගැහෙන්න ගත්තා, හරියට වයලීනයේ නාදයන් වගේ, මුතු කැට වැටෙනවා වගේ, එහෙම නැත්නං ඝණ කැලයේ තුරුහිස් මතින් දෝංකාර දෙමින් කුණාටුවක් හමනවා වගේ. ඔහු මේ සිතුවිලි මතින් තමන්ගේම හදවත තේරුම් ගත්තා. එක්වරම දෙවියන් විසින් පෙන්නුම් කලාක් මෙන් ඔහුට යමක් අවබෝධ උනා.

“මේ හැමදේකම ගෞරවය යන්න ඕන මාස්ටර්ට!!“

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Pen and Inkstand - Hans Christian Andersen

Saturday, June 28, 2014

පුන්ප්‍රියා!!

පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක.. 

එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.

කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.

“සුරේකා.. චුට්ටක් ඉන්න“

“ඇයි“

“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“

“හරි. කියන්න මොකක්ද ඉතිං“

“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“

“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“

“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“

“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“

“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“

“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“

“හෑ....“

ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?

ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා


ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..

අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා 
තනිකර එළියේ

මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.

එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා

ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.

කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා. 

නිකං ඉන්න එකේ පරණ සිංදු දෙක තුනක් අහලම බලමු නේද?

යු ටියුබ් සිංදු


Wednesday, June 25, 2014

බිලියන්!! (One Billion)

සමහර දේවල් ගැන මිනිස්සු අහල තියෙන දේ හෝ තමන් හරි කියල හිතාගෙන විශ්වාස කරගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද කියල හිතෙන්නේ, ඒවා වැරදියි කියල ඔප්පු කරලම පෙන්නුවම තමා. මිනිස්සු විෂමාකාර චරිත උනේ, එකිනෙකාට මොන විදියෙන්වත් සමාන නොවුනේ මේ සිතුවිලි වල, විශ්වාසයන්, ඉගැන්වීම් වල වෙනස් කම් නිසා වෙන්නැති.

මං දන්න කියන සමහර අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නේ තමන්ගේ හිතට මොකක් හරි දෙයක් ගැන අදහසක් ආව නං ඒ හිතට ආපු අදහස පරම සත්‍යය කියලා. ආයි මොන විදියෙන්වත් තමන් හිතපු දේ වරදින්න විදියක් නෑ කියල ඒ හාදයෝ ඉස්තීරෙටම කියනවා.

ඔය වගේ එක්කෙනෙක් තමා අපේ දේශිකා. එයා හිතන් ඉන්නෙත් එයාට මොකක් හරි දෙයක් හිතුනොත්.. අබ සරණයි.. ඒක හරිම කියල තමා. ආයිත් දෙකක් නෑ ඒ විදියටම තමා ඒක වෙන්න ඕන.

එක දවසක් පාටියකට ගිහිල්ල මම රෑ උනා ගෙදර එන්න. ඔය පාටි වලට ගියාම බස් වල එනව නං මට මගදි ටිකක් නින්ද යන නිසා සමහර දවසට බහින්න ඕන ස්ටෑන්ඩ් එකේ නෙමෙයි වෙන ස්ටෑන්ඩ් වල බහිනවා. හැබැයි ආපහු බස් එකක නැගල හරි ගෙදරට ම යනවා. ඒකයි ඇත්ත කතාව. එදා මං රෑ උනාම දේශිකා කෝල් කරල ඇහුවා කොහේද කියලා. හොදටම රෑ වේච්චි හින්දා මම කිව්වේ මේ දැං බස් එකට නගින්නයි මං ඉන්නේ කියලා. ඒත් මොන.. මම වීදුරුව ආයි පුරවල ෂොට් එකක් හලාගත්තා කටට. අලුත ගෙන බෝතලෙන්ම. පැයක් එකහමාරක් ගියාමත් මට කෝල් එකක් ආවා. එතකොටත් මම කිව්වේ බස් එකක් නෑ තාම කියලා. ඔය විදියට තව පාරක් කෝල් එකක් එනකොට මං ඇත්තටම බස් එකේ.. තව ටිකකින් බහිනවා විනාඩි පහෙන් ගෙදර කියල පෝන් එක තිබ්බා. කිව්ව වගේම විනාඩි පහෙන් ගෙදර ගියා. 

හැබැයි මේ දැරිවි හිතාගෙන ඉදල තියෙන්නේ මම බීල ඉවර වෙලා අර මුලින් කිව්ව වෙලාවටම බස් එකේ නැගල එන්න පිටත් උනාය කියල තමා. ඊට පස්සේ පරක්කු වෙනකොට එයැයි හිතුවලු මට නින්ද ගිහිල්ල බහින තැන පහු කරන් හුගක් දුර ගිහින් ආයි බස් එකක නැගල තමා එනවා ඇත්තේ කියලා. මම මොන විදියට දහං ගැට දාලා ඒක තේරුං කරත් එයැයි නෙමෙයි එයැයි හිතපු දේ වැරදියි කියල පිළිගන්නේ. ෆෝන් එකෙන් කතා කරදිදි කිසිම සද්දයක් බද්දයක් නැති වෙච්චි නිසා ඒකත් සාක්කියට අරන් තමන්ගේ මතය තහවුරු කරලම තමා දේශිකා පස්ස බැලුවේ. මොනා කරන්න ද මාත් ඉතිං ඔව් ඔයා හරි කියල හොදට බුදියගත්තා..හැක්

තව තව සිද්ධි තියෙනවා ඔය වගේ වෙච්චි. ඒවා පස්සේ කියන්නංකෝ.

මේකත් මේ අපේ දේශිකා වගේ එකියෙක්ගේ කතාවක්.

අපේ ඔපීසියට අලුතෙන් ආපු මේ දැරිවි බෝම ලස්සනට වැඩේ කරන් යනවා. ගණං හිලව් හොදට හදාගෙන වැඩ ටික කරන නිසා මම නං කිව්වේ තෝ මොන වෙලාවක හරි එකේ ඉලක්කමක් ඔළුවේ ඇනිලා මැරේවි කියලා. පොඩි අවුලක් තියේ. අපි හදන ගණං වල ඉතිං මිලියන් ගණං හෙමත් තියෙනවා නේ. සාමාන්‍යෙයන් මිලියන 34.5, 23.7 ඔන්න ඔය වගේ ගණං තමා අපි කියන්නේ. ඒත් දවසක් එක ගාණක් ලියල තිබුනේ මිලියන 124.8 ක් කියලා. අපි කව්රුවත් ඕක ගැන ඒ තරං සැලකුවේ නැහැ. මොන මගුලක්ද මිලියන 124 ක්.. කොළඹ ගිහිල්ල ගෙයක් ගන්නවත් ඇහැක.. 

කෝම හරි ඔය ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකක් හදන්න මේ දැරිවිට භාර දුන්නා. ඒකේ කොන්‍ත්‍රාත් මුදල විදියට මේ දැරිවි කීයද දන්නවද ලියල තිබුනේ.

බිලියන 12.48 යි.

රිපෝට් එක බලපු මගේ ඇස් උඩ ගියා. යකෝ ජීවිත කාලේම මේ වගේ ගානක් එකතු වෙන්නෑ කරපු වැඩ ටික බැලුවත්. එහෙව් එකේ මේකි මොකක්ද මේ කරපු පාහර වැඩේ කියල මම බැලුවා.

සිටාරි.. මෙහේ එනවා. මොකක්ද මේ බිලියන 12.48 කියන්නේ.

ඇයි අනේ දේශා.. මං ඒක කෙටියෙන් ලිව්වේ.

ඉතිං හරිද.. ගාන..

ඇයි වැරදිද.. මිලියන් වන් ටුවෙන්ටි ෆෝ.. බිලියන් උනාම ටුවෙල් පොයින්ට් ගානක් නේ..

හැබෑට සිටාරියො. උඹගේ මොලේ ඉලක්කං මාරු වෙලාද මේ ටිකේ..

නිකා ඉන්න අංකල්.. මම ගාන හරියට ලිව්වා හොදද?? ඕන නං බොස්ගෙන් අහමු..

බොස්ගෙන් අහල පීචං නොවී මං කියන එක අහපිය. මිලියන කීයක්ද බිලියනයක් කියන්නේ??

ඕක මොකක්ද? ටෙන් මිලියන් ඉක්වල්ස් ටු වන් බිලියන්.. ෂුවර්..

ෆක් ද මිලියන්ස්.. යකෝ කව්ද බොට ගණං කියල දුන්නේ.. අම්මප මෙච්චර කල් කොහේද වැඩ කරේ?

ඇයි ඇයි දේශා. ගාන වැරදිද?

වැරදි නෙමෙයි.. ස්ට්‍රොක් එකක් ඇවිල්ලයි මැරෙන්නේ මේවා බලලා. ගොං හරකියෝ.. බිලියන් එකක් කියන්නේ ලේසි පාසු ගානක් නෙමෙයි. ඔය සිංහලෙන් ලක්ස දහය මිලියනයයි.. මිලියන දහය කෝටියයි කියනව වගේ ඒවයින් පයිත්තියං වෙලාද ඔය විදියට ගණං හදන්නේ.. මෝඩ වැඳිරි.. බිලියන් එකක් කියන්නේ මිලියන දාහකට.

ඇත්තද.. ආ.. අයියෝ මං මෙච්චර කල් හිතාන උන්නේ මිලියන දහය බිලියන් එකයි කියල නේ.. අයියෝ සැහ්.. තැන්කුයි දේශා..

ඔන්න ඕමයි වැඩේ උනේ.. මේ යක්කු තමන් දැනං ඉන්න දේ ඉස්තීරෙටම හරියි කියල හිතන් ඉන්නේ කිසිම විචක්ෂණශිලි, විචාරශිලී ගුණයකින් තොරව නේ.. ඒකයි අවුල. 

Monday, June 16, 2014

සැනසෙමු සුදෝ...!!

වෙන්න තියෙන දේ වෙනවා ඒකේ ඉතිං ඇදක් කුදක් තියෙන එකක්යැ.. මේ පාර මාත් බාගෙට මැරුනා.. ඒක නිසාම මාස භාගයක්.. බුදු අම්මේ.. එච්චර කාලයක් බ්ලොග් අනං මනං සීමාසහිතව භාවිතා කලා. එපමණයි.. ඒත් වැඩේ කියන්නේ මේ අවකාසේ ඉන්න එක එක මිත්තරයෝ වේසෙන් ඉන්න කුම්භාණ්ඩයෝ නොයෙකුත් අවලාද.. අපහාස මට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එල්ල කරල තිබුනා. ඒවට නියම කලට වැසි වගේ හෙන වදින්නම දෙන්නංකෝ බඩු හරිය... හැක් හැක්.

හැබෑට අර නානසාර කතාකරන රැස්වීම් වල පුකවල් උඩ දදා අප්පුඩි ගහන උන් දැක්කම මට මතක් වෙන්නේ පරණ රෝමයේ කොලෝසියම. එතනත් එහෙම නේ. වටේ ඉන්න පනස් දාහක් අසුදාහක් විතර කෑමොර දෙන විදියට තමා සත්තු හරි මිනිස්සු හරි මරල දාන්නේ. එහෙම බැලුවම නානසාරයත් ග්ලැඩියේටර් කෙනෙක් හරි... සත්තු කොටවන්නෙක් හරි වෙන්න ඇති පෙර ආත්ම භවයක. 

මුං මේ කරන පඩත්තර වැඩ හින්දා අපට නැති වෙන්නේ අපේ රට බව පුක උඩදාගෙන අත්පුඩි ගහන උන් නොදැන ඉන්න එකයි අරුමේ. මං කිව්වේ අපේ රට කියල,.. මේක සිංහල රටක් කියල නෙමෙයි. මේක අපේ රට.. නැතිව එක එක පදුරු සිංහලයන්ගෙවත්.. මුස්ලිම් කාරයන්ගෙවත් දෙමලගෙවත් රටක් නෙමෙයි. අපේ රට. තමන්ගේ රටේම ඉහේ ඉදගෙන කඩුවෙන් බෙල්ලට කොටන නරුමයෝ ඉන්න රටක තව දුරටත් ජීවත් වෙනවද කියල හිතන්න වටිනවා.

නීතියත් නීතිය ක්‍රියාත්මක කිරීමත් මේ තරම්ම විහිළුවකට පාත්‍ර වෙච්චි කාලයක් ගැන ආයෙත් හිතන්නවත් බැහැ. ඒ වගේමයි රට තුල ඇති බිඳවැටීම.. හැම අතින්ම.. එක එක සංදර්ශන.. විකාර විවාද.. ප්‍රකාශ වලින් හංගන්න හැදුවත් එතැන තියෙන අති භයානක බිඳවැටීම වහංගු කරන්න නං ලේසි නැහැ. කරුමෙට මේ සාමාන්‍ය ජනයා කියන අන්ධභූත ආත්ම මේ තත්වයන් තේරුම් නොගන්න එක පුදුම අවාසනාවක්. පාලං උඩින් පැනල දරුවොත් එක්ක මැරෙන්න හදන මිනිස්සු ගැන අනුකම්පාවෙන් පාලං ගැට්ට උස් කරන්න කතා කරන බුරු පුත්‍රයන්ට තේරෙන්නෑ එක්කෝ තේරුම් කරල දෙන්න උවමනාවක් නැහැ.. රටේ තියෙන ආර්ථික පරිහානිය තමා ඒවයින් පෙන්නුම් කරන්නේ කියල. 

එක එක විදියේ අපරාධ.. හොරකම්.. මිනීමැරුම් ආදිය උනත් අධික ලෙස වර්ධනය වීමට හේතුව මේ අපට නොපෙණන ආර්ථික අවපාතය. ඇත්තටම බැලුවොත් අපිට දැං ආර්ථීකයක් නැහැ. ණයට අරන් ජෝගි නටල ඒ ණය පියවන්න තවන් ණය අරගෙන අර ණය නොපියවා මේකෙනුත් තවත් ජෝගි නටල, පළවෙනි ණය පියවන්න තුන් පාරක් ණය ගන්න රටක ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන කුමන කතාද?

වේදිකාව ලස්සනට සරසල, කොඩි වැල් දාලා සද්දේ ලොකුවට දාලා තිබුනට ටකරං ටික රත් වෙලයි තියෙන්නේ. මොන වෙලාවක හරි ඉස් මස් ලේ පුපුරාවි. ඒත් එතකං ඉන්න බෑ. මේ වගේ අරාජික, නීතියක් නැති නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති විලිලැජ්ජා නැති පාලකයෝ ඉන්න රටක හෙට මට වෙඩි තියල මැරුවත් ඒක සාධාරණයි.