Tuesday, April 23, 2013

අවුරුදු කාලේ බේබදු තාලේ

ඒ දවස් වල ඒ කියන්නේ 1996-2000 කාලේ මම කාල් ගෑවේ කටුබැද්ද බම්බලපිටිය පැත්ත. උදේම නැගිටිනවා සුරු සුරු ගාලා වතුර ටිකක් කටට දාල හොලවල කට හෝදල අමුවෙන්ම උදේම කරන්නේ සිගරට් එක උරන එක තමා. මොකෝ කියන්නේ අපි හිටිය බෝඩිං කෑල්ලේ ඉතිං තේ උගුරක් වත් දෙන එකක්යැ. ඔය විදියට වැඩේ කරගෙන යන කොට ඔන්න බණ්ඩිය රත් වෙනවා.. බොක්කට සැප ඕන වෙනවා. යනවා ටොයිලට්. 

සමහර උන් දැන් ටොයිලට් යන්න සිගරට් එකක් ඕන කිව්වම මට හිනාත් යනවා. ඒත් කරුමේ කියන්නේ තමන් ඒ කාලේ කොරපු දේවල් අමතක වෙලා වගේ අනුන්ට හිනා වෙන එක නේ. 

ඒකෙන් කාරි නෑ.. මුනකටත් හෝදගෙන ලක ලැහැස්ති වෙලා තියෙන එකම හම්පඩ බෑග් එකේ ලට්ට ලොට්ට දාගෙන එළියට බැස්සම, උදේ කටුබැද්දේ. හවස බම්බලපිටියේ. බෝඩිමට එන්නේ රෑ හත අට වෙලා තමා. ඒ එනකොට රු. 25 - 30 ක විතර ඉදිආප්ප හරි මොන මගුලක් හරි කාලා රු. 60 ක 70 ක සිගරට් අරන් එනවා. මොනව කරන්නෙයි ඉතිං නින්ද යනකං බොන්න.

ඔය විදියට හැමදාම එක විදියට ගෙවුනට අවුරුද්ද කිට්ටු වෙන කොට නිකං ඉන්න බැරි දවසක් එනවා. අපේ එකෙක් ඉන්නවා ගමේ ඉදල ඇවිත් හෝටලයක් දාගෙන ඉන්න එකෙක්. මිත්තරයෙක්. මිනිහට අපි කියන්නේ පැට්‍රෝල්. මගේ බාලාංසේ ඉදලම මිත්තරයා. මිනිහගේ කඩේ තිබ්බේ බෙලෙක් කඩේ හන්දියේ මාළු ලෑලි ඉස්සරහමයි. මම හිටපු ගමන් රෑ ට ගියාම ඔය මොනා හරි ටිකක් බඩට දාගෙන පොඩි ටෝකක් හෙම දාගෙන එනවා නං තමා. ඒත් අවුරුද්ද කිට්ටුව අනිවා යනවා ඌව හම්බ වෙන්න. මොනාද ඉතිං අවුරුදු සීසන් ඌට බිස්නස් සරු උනාම පොඩි අඩියක් හෙම ගහන්න හැකිනේ. 

අනේ ඉතිං මම හැන්දෑවේ හතට විතර බෙලෙක් කඩේ හන්දියෙන් බැහැල උගේ කඩේට ගිහිල්ල බලන් ඉන්නවා. ඔන්න ආප්ප දෙක තුනක් එනවා. ප්ලේන්ටියක් එනවා. සිගරට් එකත් ආවම ඒක අරගෙන කුස්සිය පැත්තට ගිහිල්ල උරල දාල ආයි එනවා. 

ආයි එනකොට මූ මට කියන්නේ හිටහං හිටහං අද මොනව හරි කරමු කියලා. හෙහ්.. මාත් ඉතිං බෑ කියනවා. පිස්සුද... ඒ වචනේ අහගන්න තමා මම යන්නේ. ඒක ඇහුනට පස්සේ ඉතිං මොකක්ද ඔළුව වනල මට තියෙන්නේ පුටුවක් රත් කරන්න විතරයි. ඉන්නවා ඉන්නවා දැං හතහමාරත් පහු වෙලා. අරෑ කියනවා පොඩ්ඩක් හිටහං. ඉතිං ඉන්නවා. දැං අටහමාරයි. මූ ඒත් කියනවා පොඩ්ඩක් හිටහං. මට තිත්ත වෙලා හැමදාම මේ සෙතේමයි. 

මූ එක්ක සෙට් වෙන්න හැදුවොත් යාන්තං නමය විතර වෙනකොට වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඒ කාලේ ඔය ලක්ෂපතිය හරිය හන්දියට කිව්වේ මොකක් හරි ලී මෝලක නමක් මට දැන් මතක නෑ. ඔතන තිබුනා විලිස් කියල් රෙස්ටෝ එකක්. පජාතයි තමා මොනව කරන්නද ඕකට තමා අපි යන්නේ. ගිහිල්ල හොද එකෙන් වයිට් ඩයමන්ඩ් බෝතලයක් අරගෙන ඒක ඉවර කරල නැගිටින කොට අඩුම ගානේ එකොළහටවත් කිට්ටු වෙනවා. ඒ වෙන කොට දොරවල් වහල. ඇරගෙන තමා යන්න වෙන්නේ.

එළියට බැස්ස මම දැං කටුබැද්දට යන්න හදන කොට අරූ කියනවා පොඩ්ඩක් හිටහං මං උඹත් එක්ක එන්නං කියලා.. ඉතිං බඩුනේ. මූ මාව දාන්න එනවා. දෙන්න එක්ක වැනි වැනි පයින් යනවා බෝඩිමට. තාප්පෙන් පැනල කාමරෙත් ඇරගෙන තව සිගරට් එකක් ගහල, හා මං යන්නං කියල මූ යන්න හදනවා. එතකොට මම කියනවා හිටහං හිටහං මාත් එන්නං හන්දියට කියලා. ඕං ඉතිං දෙන්න එක්ක හන්දියට යනවා. 

ඒ පාර ඌව හන්දියට දාල විතරක් එන එක හිතට මදි හින්දා වදෙන් පොරෙන් ඌත් එක්කම බස් එකේ නැගල යනවා බෙලෙක් කඩේ. පිස්සුද ඊට පස්සේ ඌ එන්නෑ. ඌ මාව පානදුර බස් එකකට නංගනවා. මම නැංගා සීට් තියෙනවා වාඩි උනා විතරයි මතක.. හැක්.. “මහත්තයා බහින්න බහින්න පානදුර“.. හික් හික්.. වෙරි බාගෙට හිදිලා මම බහිනවා. 

අනිත් පැත්තට මාරු වෙලා බස් හෝල්ට් එකේ ඉන්න කොට ඕං එනවා මාතර ඉදල කොළඹ යන එකක්. නැංග ඒකට. ගත්ත ටිකට් කටුබැද්දට. සීට් තියෙනව බොල.. වාඩි උනා.. ඇස් ඇරල බලන කොට යකඩෝ ගල්කිස්ස. මදෑ කොරා.. ගල්කිස්සෙන් බැස්සා.. පාර මාරු උනා.. නැංගා මොරටුවකම.. බෑනේ මේ මගුල කරන්න.. පානදුර වගේ ඒවයේ නැංගොත් කේස් නේ. 

අයියෝ වාඩි වෙලා ටිකට් ගත්ත විතරයි මතක.. බැස්සේ මොරටුවේ ස්ටේසම ගාව. දැං රෑ එකයි බොල.. මොකෑ කරන්නේ මේ සන්තෑසිය කරන්න හැකිය දිගටම.. හිතාගත්තා ඕන මගුලක් කියල කටුබැද්දට වැනි වැනි පයින් ගාටන්න. ගත්ත සිගරට් 10 ක් එකක් නිවෙන්න එකක් පත්තු කරා. කොහොම හරි හති හලාගෙන බෝඩිමට එනකොට සිගරට් හතරයි ඉතුරු. ඒ කියන්නේ සිගරට් හයක දුරක් පයින් ඇදල.. හැක්..

ඕං අවුරුදු ආතල්.. ඒකෙන් මේකෙන් ඔය වගේ පජාත සීන් කරන්නේ නෑ. පැට්‍රෝලයට ඔය සීන් එක කිව්ව දවසේ ඉදල ඌ රොයිටර් වගේ පත්තු කරාට පස්සේ මට ගිය කලදසාව ගැන හිතාගත්තැකි නෙවද???

මාතලංට වගේ මටත් තියෙන ඇම්ම වැඩි කමටම මේ පොඩි එකක් කෙටුවේ.. බ්ලොග් ඇම්ම නෙව

Friday, April 12, 2013

මීටර් මාරු වෙන්න පෙර!!!

එහෙනං ඉතිං මක්කැයි ඔහේල බලන්න ආවේ. අනේ මන්ද ඇස් විතරක් නෙමෙයි මෙන්න මේකගේ කටත් ඇරිලා. හා හා නිකටෙන් අත ගනිං. යකෝ නලියෝ ඔය වීදුරුව පොඩ්ඩක් පැත්තකින් තියහං. කීබෝඩ් එකට වැටෙයි අරව. හයියෝ තොපි මං දිහා කන්න වගේ බලන්නේ මොකටෙයි. හිනා යනවා. අනේ පලයල්ල යන්න බං. හෝ ගාලා වැඩ තියෙනවා. දැන් ඕං මේ අවුරුද්දෙත් මීටරේ මාරු වෙන්න නෙව යන්නේ. ඒකට සුදානං වෙන්නත් එපායැ.

මේ ටිකේ තොපි මට නොසෑහෙන්න දේවල් කිව්වා. තොපි මට බැන්නත් එක්ක. මගුල් බ්ලොග් එක පැත්තේ එන්නැති එකට. හැපලයියා මට මෙරු කතාවක් කිව්වා. පොඩ්ඩි කිව්වා උඩ යට යන එකෙක් කියලා. අනිත් අයත් දේවල් කිව්වා ඒවා ඔප්පු කරන්න බැරි නිසා කටවහං ඉන්නවා. නැත්නං දෙනවා හොදවැයින්.

ඕං බලහල්ලකෝ මාර්තු මැදදි ලොකු කොල්ලට හෙම්බත් එක්ක උණ ආවා. ඒක සතියක් විතර සහලෝලා තිබිල අඩු වෙලා ගියා. මේං දවසයි ගියේ පොඩි එකාට කේස්.. සහලෝලා උන.. ඒ ගමන ඒකා අරන් සල්ලි දික්කොරගෙන චැනල් ගානේ ගියා. දෙයියනේ කියල සතියකින් විතර අඩු උනා. මේන්න බං ආයි ලොකු එකාට සහලෝල උන.. ඔය විදියට යාන්තං පෙරේදා වෙනකං ම ඔය වැඩේ දිගටම උනා. රෑට නින්දක් නෑ මෙයා.. ඇඩෙනවා යකෝ.. උණ බලනවා බෙහෙත් දෙනවා.. සහලෝල උන හින්දා වතුරෙන් තෙමන්න ඕන. ඕඩිකොලෝන් ගාන්න ඕන. වතුර පොවන්න ඕන. වැඩ කප්පරයි. ඔය කරදර ජරමර අස්සෙත් උඹලගේ ඒවා පුළුවන් හැටියට බැලුවා. මගේ එකෙත් දෙක තුනක් කොටල දැම්මා. ඔව් ඔව් පිළිගන්නවා උත්තර දෙන්න ප්‍රමාද උනා. හෙහ්.. ඒ උනාට ඒවා බලාගන්න ඩුප්ලිකේටයා හිටියා නෙව. සන්තෝසේ බැරිවා. ඕං ඔහොමයි ඉතිං මේ මාසෙට බර ගානක් බෙහෙත් වලටත් වියදං කොරල, නිවාඩුත් දාලා, හරියට නින්දත් නැතුව ගෙවපු කාලේ මාර දුකක්. ඊට වඩා දුක පොඩි ඈයො දෙන්න උණ විකාරෙන් දගලන එක බලං ඉන්න එක. අන්තිමට ඉතිං ඔක්කෝම දැං හොද තත්වෙට එනවා.. මොකක්ද දන්නවැයි ලෙඩේ. වයිරල් ෆීවර් එකක්. හැබැයි මේක විටින් විට ඇති වෙනවා නැති වෙනවා. දැං යන්තං හොදා නිසා අද ඉදල අවුරුද්දට සුදානං.

දේශිකා අණ කොරල තියෙන්නේ අද ගේ මකුණු දැල් ටික කඩල හෝදල දාන්න ඕන. හවසට ගෑස් එක ගෙනැල්ල බඩු ටික ගෙනැල්ල දාන්න ඕන.. හෙට උදේට මාළු ගෙන්න යන්න ඕන. දවල්ට කැවිලි මොනා හරි හදන්න අත් උදව් දෙන්න ඕන. ඊට පස්සේ නැනී වෙන්න ඕන.. ඔන්න මට ගිය කල. ඉතිං බොලාත් අවුරුදු  කාල බීල හිටහල්ල. මාත් ඉතිං අවුරුද්ද කාල තමා එන්නේ.. හිටහල්ල පුළුවන් උනොත් මගින් ඇවිල්ල යන්නං. ඒත් විස්වාස කොරන්න බෑ ඒවා.. මගේ පැට්‍රල් නෙමෙයි නෙව.. හැක්..

හරි එහෙනං බොලාට ශ්‍රී සුභ නව වසරක් වේවා!! හැම දෙයක්ම සාර්ථකව කර ගන්න ධෛර්යය ශක්තිය ලැබේවා!! බොන උන් අඩුවෙන් බීපල්ලා. හා හා ගහ මරා ගන්නෙපා යකෝ බොදු බල සේනා තොපි ගැන අවදියෙන්..

Wednesday, April 10, 2013

බේබද්දාගේ මරණය!!!


විසේස දැන්වීමයි - පොරොන්දු උනාට ආයෙත් දවස් ගානක් ම මේ පැත්තේ පස් පාගන්න බැරි උනා... සමා වෙන්ටෝනේ ඒකට“

“එකදිගට බොන්න එපා මනුස්සයෝ“

“ඉතිං බං අපි ඔය පොඩ්ඩක් ගත්තම මක්ක වෙනවයි?“

“උඹල ගන්න පොඩ්ඩ.. බලපං අද උදේම පටන් අරගෙන. උඹ ආයි දවල්ටත් ගන්නවා. ගෙදර යනකොටත් ගන්නවා. නැත්ද මං අහන්නේ?“

“ඔය ඉතිං උඹ බයිල ගහනවනේ. යකෝ බිව්වත් අපි කන පැලෙන්න ගහන්නෑ නෙව“

“හරි උඹලට මේවා කියල වැඩකුත් නෑ. මොළයක් නැති යක්කු නේ“

“මොකක්ද බොල කිව්වේ“

“නෑ මුකුත් නෑ.. මම යනවා“

නන්දසේනට එසේ පවසමින් සිරිල් කාර්යාල කාමරයෙන් එළියට ගියේ හිතට ආපු තරහත් එක්කමයි.

සිරිල් නොබොන කෙනෙක් නොවුනත් මිනිහා කවදාවත් ඔපීසි එන කොට තොල ගාගෙන එන්නෙත් නෑ. අනික එක එක ලපයි සිපයි එක්ක වටේම තියෙන ගස් ගල් ගානේ බොන්න යන්නෙත් නෑ. නන්දසේන තමා සිරිල්ගේ හොදම මිත්‍රයා. අවංකව කියනවනං සිරිල් ලොකු දැනඋගත්තෙක් නොවුනත් ඔපීසියක කුරුටු ගාන්න තරං දැනුමක් අරගෙන තියෙනවා. ඒකටත් එක්ක නන්දසේන, මිනිහට ඉංගිරිසි, දෙමළ, සිංහල ඕනම භාසාවක් එක්ක තැක් ගැහෙන්න පුළුවන්. මිනිහා ඉංගිරිසියෙන් දෙයක් ලිව්වොත් ආයේ ලොක්කවත් හැරිල නොබල තමා අත්සන් කරන්නේ ලියුං කියුං වලට. ඒ වගේම තමා ඔය රාජකාරි නියෝග, වක්කරලේඛ, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදි එකි මෙකී නොයෙකුත් දේවල් ගැන පුදුම දැනුමක් හා මතකයක් තියෙන කොටින්ම කියනවනං කාර්යාලයේ ඉන්න පොරක්.

මේ පොරට තියෙන දැනුම හින්දම, මුලින් මුලින් එක එක වෘත්තිය සමිති වල උපදේශක තනතුරු හෙම හොබවල, දිනාගන්න ඕන ඉල්ලීම් මතින් ගොඩ යන විදිය ටක්කෙටම කස්ටියට කියල දීපු හින්දා නන්දසේන මහත්තයා මුළු ආයතනයේම ජනප්‍රිය උනා. මේ ජනප්‍රියතාවයත් එක්ක ඔය වෘත්තීය සමිති වල එක එක ජාතියේ නිලධාරීන් සෙට් වෙන පාටි වලට හෙම නන්දෙට යන්න උනා. මේ හාදයා ඒ වෙනකං කවදාවත් ඔපීසියේ බීල නොහිටියට ගෙදර යනකොට නං සමහර දවස් වල කුජීත වෙලා, කානු වල ගැඹුර බල බල තමා ගෙදර යන්නේ. ඒත් දෙයියනේ කියල ඒකෙන් කාටවත් කරදරයක් නෑ වගේම මිනිහට වෙන දේවල් සිරිල් ඇර වෙන කවුරුවත් දන්නේත් නෑ. ඔය කානු පතුල් බලන්න ගිහිල්ල කකුල් ලෙලි ගහගෙන ගියපු දවසට නන්දෙගේ ෆෝන් එකෙන්ම සිරිල්ට කතා කරන්නේ නන්දෙගේ බිරිද තමා.

“ඈ සිරිල් අයියේ.. ඔයාලා බලන්නේ නැත්ද මේ මනුස්සයා ගෙදර යනවද කියලවත්“

“ඇයි නංගි, අද මිනිහා බීලද ආවේ“

“ඔය ඉතිං විකාර අහන්නේ. අන්න බයිසිකලේ කානුවේ වැටිල දනහිස් දෙකම ලෙලි ගහගෙන.. ඒ මදිවට ඇහැ ගාවත් තුවාල කරගෙන“

“ඕ... මම දන්නෑ නංගි. මිනිහට අමාරුද?“

“ඔය කෙදිරි ගගා ඉන්නේ... අයියට කියන්න මට නං මේක තිත්ත වෙලා තියෙන්නේ. දරුවෙක්ගේ පොතක් පතක් බලල මොනා හරි කියල දෙන්නවත් පුළුවන් සිහියකින්යැ මෙයා එන්නේ. මම ගෙදර වැඩයි එයාගේ වැඩයි ළමයින්ගේ පොත් වල වැඩයි කියල කීයක් කරන්නද අයියේ... සිරිල් අයියවත් මෙයාට උපදේසයක් දෙන්නකෝ.. ම‍ට බෑ අප්පා තවත් මේ කරදර විදින්න “

“මේකයි නංගි, මම දැනගත්තොත් කොහොමත් මිනිහට හොදවයින් කියනවා. ඒක හින්දා මිනිහා ඔය වගේ දවසට මාව මග ඇරල තමා හවසට යන්නේ. කව්රුත් එක්ක බොනවද, අඩුම ගානේ තනියම බොනවද කියලවත් මම දන්නේ නෑ.. පහුවෙනිදා උදේට ගද ආවොත් මම කෑ ගහනවා. ඒත් ඉතිං ඔය හිනා වෙලා ඉන්නවා මිසක් වචනයක් කියන එකක්යැ“

ඔය විදියට නන්දෙ බීල ගෙදර යන දවසට සිරිල්ගේ ෆෝන් එකට, හැන්දෑවට නන්දෙගේ ෆෝන් එකෙන් එන කෝල් එක නන්දෙගේ වයිපරෙගේ විත්තිය දන්න හින්දා බොහොම කළාතුරකින් තමා සිරිල් උත්තර දෙන්නේ. හැබැයි උත්තර දුන්නත් නොදුන්නත් පහුවදා උදේට නන්දෙට කන පිරිල ඉතිරිල යන්නම සිරිල්ගෙන් හම්බ වෙනවා. ඒත් මොන දේ කිව්වත් නන්දෙ නෙමෙයි කටක් අරින්නේ. හ්ම් කිය කිය ඉන්නවා ඇර.

ඔය විදියට ගෙවී ගියපු නන්දෙගේ බේබදු ජීවිතේ එක පාරටම වෙනස් උනේ විප්‍රකාර වෘත්තිය කාරයොන්ගේ පාටි වලට සෙට් වෙන්න ගත්තම තමා. උන් වෘත්තිය සමිති කාරයෝ කිව්වට ඇත්තටම ඔපීසියට කෙලවන්නම බලන් ඉන්න, මහ සෙප්පඩවිජ්ජ, හොර දෙටුවෝ රැලක්. උන් ඔය පාටි දාන්නෙත් කොහෙන් හරි කොටාගත්ත හොර සල්ලි වලින් විත්තිය නන්දෙ කවදාවත් දැනගෙන හිටියේ නෑ. ඇයි ඉතිං මේ යක්කු කියන්නේ,

“නන්දසේන මහත්තයා .. අද අපිට පාටියක් තියෙනවා.. අර ඉල්ලීම් දිනාගත්ත අපේ සාමාජිකයා ගානේ.. මහත්තයා එන්නම ඕන හවසට“

ඔය විදියට එක එක දවසට එක එක කතා. මේ විදියට හවසට සෙට් වෙන එක, උදේටත් සෙට් වෙන්න පුරුදු උනේ නන්දෙ වෘත්තීය සමිතියක ලේකම් තනතුරකට තෝරගත්තට පස්සෙයි. ඒ කියන්නේ සමිතියේ කාරක සභා, අර සභා මේ සභා කිය කිය මුන් උදේ වරුවෙ හරි හවස් වරුවේ හරි පොදු කාමරේට එකතු වෙනවා මාසෙට දෙපාරක් තුන් පාරක් විතර. එහෙම එකතු උනාම ඉස්සෙල්ලම කට අරින්නේ අරක්කු බෝතලේ. ඊට පස්සේ තමා උංගේ කටවල් අරින්නේ. හුගක් වෙලාවට කට වහගෙන ඉන්න නන්දෙගේ කට ඇරෙන්නෙත් කට ඇරුන බෝතලේ බාගෙට හිස් උනාම තමා. එතකොට තමා බලන්න ඕන... ඉංගිරිසි වක්කඩ වගේ ගලනවා. චක්කරලේඛ අංකෙ, දිනේ ඉදල ඒවයේ ඡේද හිටං මතකෙන් කියවනවා, තමන්ගේ දරුවට අකුරක් කියල නොදෙන මේ තාත්තා. දරුවා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරුන්ගෙන් බැනුං අහනවා ගෙදර වැඩ වත් හරියට කර ගෙන එන්නේ නෑ කියල. ඒත් නන්දෙ, අර වෘත්තිය සමිතියේ හාදයොන්ට නං ගොඩ යන්න හොද හොද පොයින්ට් උගන්නවා.

ඔය විදියට ගත වෙන කාලෙ හින්දම, එකතු වෙච්ච පර මිත්තරයෝ හින්දම උන්ගේ ජාතියක් ජන්මයක් නැති පජාත පුරුදු වලටත් හුරු වෙන්න නන්දෙට සිද්ධ උනා ඔය බීම වෙනුවෙන්. රහස් කියන දේ හැමදාම තිබුනත්, ඒ රහස් වල කවර ගැලවෙන්න එක අරක්කු බෝතලයක් හරි දෙකක් හරි හොදටම ප්‍රමාණවත්. සද්ද වහල ඔපීසියේ සල්ලි ගහන ක්‍රම, පොඩි පොඩි මිලදී ගැනීම් වලින් ජරාව පෙරාගන්න විදිය, ලොකු වැඩ වලදී කොමිස් කියල දෙයක් හොයාගන්න විදිය, ඒ නැත්තං සැපයුම්කාරයන්ගෙන් බෝතලයක් හරි මරා ගන්න විදිය වගේ බොහෝම වැදගත් දේවල් මේ පජාතයෝ නන්දෙට උගැන්නුවා. නන්දෙත් දස්සයා නෙව. බොහොම ඉක්මනට ඒවා ඉගෙන ගත්තා. මොකද බොන්න තියෙන සාපිපාසාව එන්න එන්නම වැඩි වෙච්චි හින්දා. ඔය වගේ ක්‍රම වලින් ලැබිච්ච අසික්කිත වරප්‍රසාද හේතුවෙන් නන්දෙගේ අතේ ගැවසෙන සල්ලි උදේ පාන්දර හොර පොට් වලටයි, දවල්ට බාර් එකටයි, හවසට රෙස්ටොරන්ට් එකටයි දෙන්න නන්දෙ කටයුතු කලා. මදි පාඩුවට ගෙදර අඩුපාඩු පිරිමහගන්න තියෙන එකම දේ, පඩි පැකට්ටුවෙන් භාගයක් විතරත් එක්කාසු කර ගත්තා. ඔය විදියට පටන් ගත්ත බේබදු ජීවිතේ නන්දේ වෘත්තීය මට්ටමටම ළගා කරගන්න වැඩි කාලයක් ගත කරේ නෑ. මොනව උනත් ඔපීසියේ නන්දෙට තිබ්බ සැලකිල්ල නිසා ලොක්කෝ පවා අසරණයා කියන මානසිකත්වයෙන් මිනිහා දිහා බැලුවේ. උදේ පාන්දරම ගද ගස්සන කාර්යාලේ මිනිහගේ වචන වලිනුත් සමහර වෙලාවට ගද ගස්සන කොට, ලොක්කෝ හෙමින්ම කට්ට්ය දාල නන්දෙව ඔය කොහේ හරි නිදි කරවල, මත ඇරල දෙන්නේ, වෙන මොහොකටවත් නෙමෙයි ආයේ කෑම වෙලාවට කලිනුත් බාර් එකට ගිහිල්ල දෙක තුනක් නවා ගෙන එන්නය කියල ආරාධනා කරන තරමටම අනුකම්පාවෙන්.

හැම දේකින්ම, ඒ කියන්නේ කාලයක් තිස්සේ හොර වැඩ කරගෙන හිටියත්, අහුනොවෙන ජරාව පෙරලා ගත්තත්, තෑගි බෝතල් හෙමීට අරගෙන කටට හලා ගත්තත් ඔය කිසිම දෙයක් උඩට ගිහිල්ල නන්දේගේ රස්සාවට ප්‍රශ්නයක් උනේ නෑ, මිනිහා යස අගේට බේරිල හිටියා. ඒත් මේ හැම දේකින්ම බේරිච්චි නන්දෙට එක දේකින් බේරෙන්න බැරි උනා. අවුරුදු 49 ක් වෙචිච් නන්දෙ, එක දවසක හවස ගෙදර යන පාරේ, එයාගේ බයිසිකලේ උඩම මැරිලා වැටිලා හිටියා.

නන්දෙගේ මරණෙ වැඩ කටයුතු කරන්න අර වෘත්තිය සමිති කාරයෝ එකා වගේ ලක ලැහැස්ති උනා, මහන්සි උනා. ඔපීසියේ ලොකුම ලොක්කගේ ඉදල හැම ලොක්කමත්, සොක්කමත් නන්දෙගේ මරණෙට සහභාගී උනා. ඒ මරණය හැමෝටම කම්පනයක් ගෙනාවට හුගක් අය ඒ මරණය කොයි මොහොතේ හෝ බලාපොරොත්තුවෙන් හිටිය විත්තිය නන්දෙගේ පෙට්ටිය බලපු හුගක් අයගේ ඇස් වලින්ම එළියට පැන්නා. මොන දේ උනත් බොහොම වැදගත් විදියට මරණෙ අවසන් කටයුතු සිදු උනා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම හැම එකාටම කියන එකම හෑල්ලේ නම විතරක් රිප්ලේස් කරල යකඩ කටින් එළියට දාලා අනිත් අයගේ කන් වලට ගෙනැත් දැම්මා. ඒවා අහපු හුගක් අය පිටිපස්ස පැත්තෙන් හිනා වෙන්න ඇති කියල හිතෙන තරමට ම එතැන හිටි කස්ටියේ පස්සවල් නට නට ළග හිටි කෙනාගේ ඇගේ වදින්න උනා. හුග දෙනෙක් අතර පුදුමාකාර අයි කන්ටැක්ට්ස් හුවමාරු උනේ නිකං නක්කලේට වගේ. ඒත් ඔහේ වගේ වගක් නැතිව හාමුදුරුවෝ තමන්ගේ දේශනාව හමාර කරල ගිහි දේශන වලටත් ඉඩ පරස්තාව සැලසුවා. ඒකත් හාමුදුරුවන්ගේ අච්චුවේ ඒවටම වෙනස් නොවුනත් නන්දෙගේ මිත්තරයෙක් විදියට කතාව පවත්වන්න භාර දීල තිබ්බ සිරිල් ගේ කතාවෙන් මුළු මළගෙදරම කොටින්ම කිව්වොත් හාමුදුරුවෝ පවා ලැජ්ජා උනා.

“ගරුතර මහා සංඝරත්නයෙන් ද, නැදෑ හිත මිත්‍රයන්ගෙන්ද, විශේෂයෙන් උඩුකරුව සයනය කර සිටින නන්දසේන මහතාගේ පවුලේ උදවියගෙන්ද අවසරයි. නන්දසේන මහත්තයා කියන්නේ මට හිටිය හොදම මිත්‍රයෙක්. මට වැඩ කරන්න උනේ නන්දෙගේ මේසේ ගාවමයි. අළුතෙන් පත්වීමක් ගත්ත මට, ඔපීසියේ හුගක් අය කරුණු කාරණා කියල නොදෙන කොට, ඒ අයටත් බැන බැන උඹ මෙන්න මෙහෙම කරපං කියල මගේ මේසේ ළගට ඇවිත් අත් දෙක තියාගෙන කරුණු කාරණා කියා දුන්න විදිය මට දැනුත් මතක් වෙනවා. තමන්ට තිබ්බ දැනුම කිසිම අඩුවක් නැතිව ලොකු පොඩි බේදයකින් තොරව ඕනම කෙනෙකුට එක ලෙසටම දෙන්න මගේ මිත්‍රයා, නන්දේ පසුබට උනේ නැහැ. මම එහෙම කිව්වොත් වැරදියි මම හිතන්නේ නන්දේ හිතුවේ තමන් දන්න දේ තව කෙනෙකුට කියල දෙන එක එයාගේ ලොකු වගකීමක් විදියට වෙන්න ඇති. ඔය කාරණා නිසා මම නන්දෙගේ ආශ්‍රය බොහොම ප්‍රිය කළා. ඒ වගේම මම සෑහෙන්න දෙයක් නන්දෙගෙන් ඉගෙන ගත්තා වගේම, අවාසනාවට උනත් නන්දෙට ලැබෙන්න, ඕන තරං ඉඩ පරස්තා තිබුනු උසස් වීම් අවස්ථා නන්දෙට කලින් මට ගන්න පුළුවන් උනේ, ලෝභ කමක් නැතුව නන්දෙ මට හැම දේම කියල දුන්න හින්දයි. ඒ හින්දා මම මෙතැනදි හද පතුලෙන්ම සෝක වන අයගෙන් කෙනෙක් කියල කියන්න ඔබ මට අවසර දෙන්න ඕන. ඒ වගේම මේ මොහොතේ ඔහුගේ මරණය වෙනුවෙන් නොසෑහෙන්න සතුටු වෙන කෙනාත් මම වෙන්න ඇති කියල බය නැතිව කියනවා.“

අවමංගල සභවේ හැමෝගෙම ඇස් ජම්බෝල වෙන්නටත්, කසු කුසුවක් පැතිරෙන්නටත් වැඩි වෙලාවක් ගත උනේ නෑ. සිරිල් ඒ කසු කුසුව නිහඩ වන තෙක් තමන්ගේ වචන හංගාගෙනම හිටියා.

“ඔව් මම දන්නවා ඔය හැමෝම හිතනවා ඇති මට වැරදිලා මොකක් හරි කියවුනා කියලා. නෑ.. මම ඇත්තටමයි කිව්වේ. නන්දේ හොද කෙනෙක්. ඒ වගේම තව කාලයක් ජීවත් වෙලා සමාජයට උසස් සේවයක් කරන්න හිටිය කෙනෙක්. ඒක නිසා ඔහුගේ වියෝව මට දරාගන්න බෑ. ඒත් නන්දෙගේ ළගම හිටිය මිත්‍රයා විදියට මට ඔහුගේ මරණය සතුටක් ගෙන දෙන්නේ, ඔහුගේ මරණයෙන් අඩුම ගානේ එයාගේ පෙන්ෂන් එකවත් දරු පවුලට සම්පුර්ණයෙන්ම භුක්ති විදින්න පුළුවන් වෙන හින්දා.

නන්දේ මැරුණම මම දුක් වෙන්නේ නන්දේ තමන්ගේ අරක්කු බීම වෙනුවෙන් බැංකු වලින් අරගෙන තියෙන ණය ටික, මේ දරු පවුලට ගෙවන්න වෙන හින්දයි.

ඒ වගේම මම සතුටු වෙන්නෙ නන්දෙට හිමි එයාගේ සේවය වෙනුවෙන් හිමි වෙන්න ඕන පාරිතෝෂික, සංගම් වල මුදල් අඩුපාඩුවක් නැතිව දැං මේ දරු පවුලට ලැබෙන හින්දයි.

මම මේ මර‍ණෙ ගැන දුක් වෙන්නේ, වෘත්තිය සමිතියට හිටපු පතාක යෝදයෙක් නැති වෙච්ච හින්දයි. ඒත් සතුටු වෙන්නේ තව දුරටත් වෘත්තිය සමිති නිලධාරින්ගේ වංචා සහගත වැඩ වලට නන්දේ ගේ සහයෝගය නොලැබෙන හින්දයි.

මෙතැන දේශනා පවත්වපු අපේ හාමුරුවන් වහන්සේ ඇතුළු අනිත් උදවිය කියපු ඒවායින් හුගක්ම දේවල් බොරු කියල මම අවංකව කියනවා. මොකද නන්දෙ වැටිල ඉන්න වලෙන් ගොඩ ගන්න මම මට පුළුවන් උපරිම මහන්සිය ගත්ත හින්දා. ඒක නිසා මට නන්දේ ගැන බොරු කියන්න ඕන නෑ.. මම අදුරගත්ත නන්දේ හොද මිනිහෙක් ඒ උනත් මැරුණු නන්දේ නරක මිනිහෙක්. සමාජයට විතරක් නෙමෙයි ගෙදරටත්. දරුවන්ගේ ඉස්කෝලේ වැඩක්වත් කරල නොදෙන, ගෙදර වැඩක් පලක් දිහා ඇහැක් ඇරල නොබලන මිනිහෙක්ගෙන් ගෙදරට ඇති සෙතේ මොකක්ද? ඔව් මම දන්නවා නන්දෙගේ පඩියෙන් තමා මේ පවුල ජීවත් කරේ කියල කියන්න පුළුවන් කියල. ඒත් අවංකව බැලුවොත් නන්දේ එයාගේ පඩියෙන් කරේ බොන එක විතරයි. ගෙදර වියහියදම් වලට සල්ලි හොයාගත්තේ මේ අහිංසක කාන්තාව තමන්ගේ අතේ කරගැට එනකං ඇදුං මහල, එළවලු වවල, තවත් නොයෙකුත් අරගල කරල. ඉතිං එහෙම කෙනාට ලැබෙන්න ඕන ගෞරවයක් මෑත කාලීන නන්දෙට ලැබෙන්න කොහෙත්ම ඉඩක් නෑ.. මම තාම බැදල නෑ. මට දෙමාපියෙක් නෑ. මට කිසිම දේකින් බාදාවක් නෑ. ඒත් මොන නිදහස හෝ අවස්ථාව තිබුනත් මම සිටිය යුතු තැන මිස නොවැඩකට මගේ අත පොවන්නේ නෑ. ඒ හේතුව හින්ද, මගේ හිතාදර මිත්‍රයගේ වියෝව ඇත්තටම මට දරාගන්න අමාරුයි. ඊටත් වඩා මේ දරු පවුල තමන්ගේ ඉදිරි කටයුතු කරන විදිය ගැන මට සහතිකයක් දෙන්න විදියක් නෑ. ඒක නිසා මගේ හිතවත් මිත්‍රයා වෙනුවෙන් මම මේ රැකියාවෙන් අස් වෙනවා. මට ඒකෙන් ලැබෙන්න ඕන මක්කෝම සල්ලි ටික, මේ දරු පවුලට දීලා මම ආයේ ගමට යනවා. ආයේ රස්සාවක් හම්බ උනොත් කරගෙන ඉන්නවා. එච්චරයි. හුගක් අයට නන්දෙගේ ඇත්ත තත්වය තේරුම් ගියා නං, ජීවිතේ ගැන අවබෝධයක් ලැබුනනත්, මේ කතාව හින්දා මට හම්බ වෙන ගල් මුල් වලට වඩා ඒ දේ වටින බව කියමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!.

මුළු අවමංගල සභාවම ජීවයෙන් පිරුණු ස්ථානයක් බවට පත්වෙන්නේ මිනිසුන්ගේ පැහැදුනු සිත් හා මුහුණු වලින්. කතාව අවසන් කළ සිරිල් පාර දිහාට හෙමින් පිය නගින විදිය හැමෝම බලා හිටියේ පුදුමයෙන් වගේ.

නිමි.

Friday, April 5, 2013

පිස්සු බුවෙක්!! (සිතුවිලි බුවා නොවේ)


මම ඉස්සර හෙන බුවෙක්ය. ඒ කාලේ මට තිබුනේ කෙලි පැටික්කි පිස්සුවය. ඒක හොද කරගන්න බැරි උන මට විභාග පිස්සුවද ඇති විය. පසුව විභාග බියද ඇති විය. 

මෙසේ කල් ගත වෙද්දී මට ඇති වු පිස්සුව වන්නේ සර්කිට් පිස්සුවය. කොයි ලෝකේ තිබුනත් ස්ර්කිට් පොත් හොයාගෙන ඇවිත් අයිසී, රෙසිස්ටර්, ට්‍රාන්සිස්ටර්, ඩයොඩ්, වයර් කෑලි ගෙන එක එක විජ්ජුම්බර සර්කිට් හදන එකය, හොදම පිස්සුවක්ය. ඒ දවස් වල නැගලම ගියේ නයිට් රයිඩර් ලයිට් පේලිය හැදීමය. ඒකටත් පසුව බුදුරැස් ලයිට් වැල් හදන්නටත්, වෙසක් එකට එල්ඊඩී බල්බ් වලින් රෙසිස්ටර් අරගෙන වයර් ඇද ගේ වටේ ලයිට් වැල් අදින්නටත් පිස්සුව තදම විය. ඒ පිස්සුව එසේම තිබියදී, මට ඇන්ටෙනා පිස්සුවක් හැදුනේය. ඒක එසේ මෙසේ ඇන්ටනා පිස්සුවක් නොව උතුරට වහින කාලයට අපට දුරදර්ශන් බලන්න හැකි පරිදි පැරබොලික් ඇන්ටනාවක් හදන්නටය. එස්ලෝන් බට අරව මේවා, ඇලුමීනියම් යකඩ තහඩු ගෙන දත විකාගෙන තඩි පැරබොලික් ඇන්ටනාවක් හැදුවත් අහුවෙච්චි දුර්දර්ශනයෙක් නැත්තේය. ඒක වත්තට විසික් කොට වීඑච්එෆ් නිකං ඇන්ටනාව දමා ටීවී බලද්දී, මෙන්න බොලේ ටියුං කරන විට කරුමෙට දුරදර්ශන් ලාවට පේනවාය. අර ලඩියට වියදං කොරපු සල්ලි මතක් වී ආපු සන්තෝසෙට එවෙලේම ගොස් වත්ත පුරා විසිරෙන ලෙස ඒකා කුඩේ කුඩු කර දැම්මේය. මොනා උනත් ඒකෙන් එක දෙයක් ඉගෙන ගත්තේය. බැරබොලික් ඇන්ටනාවට ඒ දවස් වල කළු සුදු ටීවී තිබ්බ අපි පාවිච්චි කළ පටි ඇන්ටනා වයරය ගැලපෙන්නේ නැති බවය. ඒක තේරුං ගත්තාම ඇතිය. ඊට එහා යන්නට තවත් සල්ලි තිබුනේද නැත. ඒත් පිස්සුව හොද උනේද නැත.

සබීතාගේ මුණට තිබූ මාගේ ඒකපාර්ශ්වික ප්‍රේම පිස්සුවට පින්සිදු වන්නට, පාරේදි දැක්ක සබීතාට ටිකක් අහලින් යන නෑම්ඹියෙක්ගේ මූන දැකීමෙන් මාගේ කෙලි පැටික්කි පිස්සුව නැවත ඇති වී උත්සන්න විය. පිස්සුව කොයි තරං ද යත්, ලොවෙත් උදේ පහට අවදි නොවෙන දේශකයා, පාන්දර පහට අවදි වී, එක්සයිස් කොරන්නට ග්‍රවුන්ඩ් යනවා කියා අම්මා රවටා, අර නෑම්ඹිය ඉස්කෝලේ යනවා බලන්නට බයිසිකල් කටුවෙන් ගාටන්නේය. ඒ අතරේ එක්සයිස් පාරක්ද ලාවට දාගෙන කෙල්ල එන්නට වෙලාව ඇත්නං ඉස්ටේසම ළග ඇති කැද ලෑල්ලෙන් කැද වීදුරුවක්ද සීනි හකුරු කෑල්ලක් සමග හලා ගන්නේය. ඒක නං හෙනට ඇගට පනකද එන බීමක්ය. අපේ මහ වෙදනලා ඒවා හදන හැටි අපට කියා දෙන්නේද නැත. ඒක නිසා කවුරු හෝ හදලා දුන්නොත් පමණක් බොන්නේය. නැත්නං නිකං ඉන්නේය. ආ.. මට කැද පිස්සුවක්ද ළාවට තිබුනේය. ඒ අර නෑම්ඹිය සමහර දවසට මා කූජීත වෙන තරං පරක්කු වී ඉස්ටේසමට එන නිසාය. 

ඔය කෙලි පිස්සුව යාන්තං හොද කරගන්නට ලියුං කරදහි ලිව්වේය. අන්ඩර්වර්ල්ඩ් ගේම් ගැහුවේය. කැමතියි අකමැතියි සෙයියාවක් දුටුවේය. එහෙත් කැමති විත්තිය හොදටම දැන ගෙන හිටියේය. ඒ හන්දා ෆලෝ පාර එළටම දුන්නේය. මා දත කා ලියු පෙම් හසුන තාප්පයක් උඩ තබා දුවන විට පන්තියේම ඇඹලයෙක් ඒක අරගෙන මගේ චෑන්ස් එක නැති කොට මා නැතිභංගස්ථාන කොට දැම්මේය. ඒකා සමග ආ තරහ කියල නිම කරන්නට බැරිය. ඌට වගේ ගොං පිස්සුවක් මට නොතිබූ නිසා කෙලි පිස්සුව ටික දවසකට හොද කරගත්තේය. නැතහොත් නෑම්ඹිය මට කැමති උනේය. මම සුරලොව දොර ගාව කිහිප දොහක්ම ගත කලේය. ඔය අතරේ ද කෙලි පිස්සුව තිබුනේය. ඒක වෙන වෙන පැති කරා දිව්වේය. පෝය දා රෑට පන්සල් ගානේ හොල්මන් නෑම්ඹියන්ටද අසුවුනේය. ඒ ගැන පස්චත්තාප වි හිටියේය. හිටි ගමන් කවියක් ලියා ඒ පිස්සුවද හොද කර ගත්තේය.

ඔය විභාග පිස්සුව ඔළුවට ගැසුවේය. විභාගයට දින නියම උනේය. ඒක නිසා අනෙක් පිස්සු වලට ආගිය අතක් නොමැති වන්නේය. ඒකායන බලාපොරොත්තුව ඩී අටක්ම ගැනීමය. ඒක නිසා පස්ස උඩ තියාගෙන මාස දෙකක්ම පාඩං කොලේය. පාඩං කොලේය. පිස්සු ද හැදුනේය. නින්දෙන් ඉලක්කං ඇවිත් මට කොචොක් කරන හීන ද දුටුවේය. එකේ ඉලක්කම වරක් හෙල්ලයක් වේසෙන් පැමිණ මා ගෙල බින්දෙය. අටේ ඉලක්කම මට මාංචු දැම්මේය. හයේ ඉල්ක්කම මාව බාල්කයේ එල්ලුවේය. මා මැරුනේ නැතිය. ඒවා හුදු හීන පමණක්මය. ඒකේන්ම විභාග පිස්සුවේ හැටි තේරෙන්නේය. 

පිස්සුව තද වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී විභාගය ලිව්වේය. ඔක්කෝම ලිව්වේය. මාර සන්තෝසෙකින් ගෙදර අවේය. ඒ ආපු දාම බේබදු පිස්සුව ගැසුවේය. එදා රෑම අම්මාට කනිපින්දං කියා පන්සියක් හදි ගහගෙන ගොස් කොල්ලන් සමග බේබදු පිස්සුව ඇරඹුවේය. එළි වෙන කං බිව්වේය. වැල්ල පුරා කබර දමා දමා නිදා ගත්තේය. රෑ දෙකට පමණද යාන්තං ඇස් දෙක ඇරිය විට බෝතල් කාලක් පමණ අත පොවන මානයේ තිබී කටට හලා ගත්තේය. ඒකෙන් මස්තබාල්දු වී ගියේය. පහුවදා උදේ මිත්තරයෝ ටික මාව උස්සගෙන මුදට දමා නවා යාන්තං වත්තං කොරගෙන අවුත් නාවා දෙහි ගා ලෙමනේඩ් පොවා පියවි සිහිය ගත්තෝය. ඒකෙන් මේකෙන් දවස් තුන හතරකට බේබදු පිස්සුව හොද විය. 

මිත්තරයන්ගේ මළ ගෙවල් පිස්සුවක් ඊළගට ආවේය. ගමේ මරණ හතේ කතාව ඇත්ත උනේය. එක දිගට සති ගානක් මළ ගෙවල් වල නිදි වැරුවේය. බිව්වේය. ඒ දවස් වල ගාන අඩු නිසා මළ ගෙවල් වල බ්‍රිස්ටල් දුන්නේය. අපටද සල්ලි නැති නිසා යාන්තං බ්‍රිස්ටල් පැකට් එකක් දෙකක් උස්සා සැනසුනේය. තාප්ප උඩ, බෝක්කු උඩ බ්‍රිස්ටල් එක දෙක පත්තු කලේය. දවස් දෙක තුනක් මේක කොරද්දී බ්‍රිස්ටල් පිස්සුවක් අවේය. විනාඩි විස්සකට තිහකට සැරයක් බ්‍රිස්ටල් එකක් නොබීම බැරි වෙන තරම ට පිස්සුව තද උනේය. කොල්ලන්ට කනිපින්දං කියා උංගේ මළගෙවල් වල මාමලා, අයියලා අන්දා බ්‍රිස්ටල් පැකට් ගත්තේය. එක හුස්මට බිව්වේය. මට වගේම තව දෙතුන් දෙනෙකුටම බ්‍රිස්ටල් පිස්සුව ගැසුවේය. ඒත් ඒකේ කප් එක ගත්තේ මමය. මුළු වීදිය පුරාම බ්‍රිස්ටල් බ්‍රිස්ටල් නමින් මා හදුන්වන්නට ගත්තේය. අවුරුදු විස්සක් පමණ අතීතය පරණ වුවද, ඉද හිට වීදියේ පරණ බුවාලා මා දුටු විට බ්‍රිස්ටල් යැයි ආඩම්බරයෙන් ආමන්ත්‍රණය කරන්නේය. තනියම යන නිසා හොදය. පවුල පිටින් ගියානං කන්නට වෙන්නේ වහය. ඒක ඒ තරංම පිස්සුවක් වූවේය. 

අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කා, දොරවල් වසා කාමරේ තබා, වේල් දෙක තුනක් කන්න නොදි තියා, කාමරේ ඇර ආදරයෙන් වටහා දුන්නාට පසුව බ්‍රිස්ටල් පිස්සුවට තිත තිබ්බේය. අම්මාද ආඩම්බර වුවාය. බේබදු පිස්සුවට ද එසැනින්ම තිත තිබ්බේය. ඒ විදියට අම්මා උජාරුවෙන් මම එයාගේ පුතා බවත්, මේ මුළු ගමේම එයාගේ පුතා තරං ගුණ ගරුක පුතෙකු නොමැති බවටත් හැමෝටම පාරම් බෑවේය. ලැජ්ජාවට ඉවසා ගෙන හොද ළමයෙක් උනේය. ඒක නිසා ගමේ උන්දැලාද දේශක කොලුව හරිම සත්ගුණවත් (සිරා?????) එකෙක් බව ප්‍රතිරාවය කලේය. ඒක නිසා මට ගමේ හෙන ගැම්මක් තිබ්බේය. ආසාව තිබ්බත් අර පිස්සු දෙක කොරන්නට විදියක් තැති වන්නේය. එහෙම හිතුවාම වැරදිය. අවුරුදු දෙකකට වඩා ඉවසා ඉන්නට බැරි විය. හොරෙන් හොරෙන් ලාවට පිස්සුව පටන් ගත්තේය. පහු පහු වෙන කොට ජයටම පිස්සුව හැදුනේය. ගමේ මට තිබු තත්වය නැති උනේය. ඒක වලපල්ලට ගියේය. දේශක කොලුවා පජාත වුවේය. ඒ මදිවාට අනේ කිව්වට හරිද මන්ද, නොසන්ඩාලයෙකු ලෙස හංවඩුද ගැසුනේය. ඔය අල්ල පනල්ලේ විස්සවිද්‍යාලෙට තෝරන විභාග පිස්සුවද ඇති උනේය. කොයි තරං පිස්සු තිබුනත් ඒක නං ගොඩ දාගත්තේය. මම පිස්සා උනත් කටපාඩං කොරන දේට පිස්සෙකු නොවන්නේය. ඒක නිසා ගොඩ ගියේය.

ඔය පරණ පිස්සු නිසා ඉද හිට මට තාම පිස්සු හැදෙන්නේය. ඒත් හිරේ දැම්මාට පසුව කෙලි පැටික්කි පිස්සුව ස්වයංක්‍රීයවම හොද විය. පිස්සුද?? ඒ පිස්සුව ගොඩ එන්න බැරි විදියටම යටට ගිහිල්ලාය. දැං පැටික්කියෝ පනහක් එක්ක උනත් සතියක් දෙකක් මේකා තිව්ව හැකිය. මේකාට මුකුත් වූවත් මේකා අතින් කාටවත් වරදක් නොවන්නේය. නෝටි පෝට් වෙන විට වෙන දේ දැම්ම කිව නොහැකිය. නෝට් පෝටිද පට්ට පිස්සුවක්ය. ඒක හැදිච්චි උන් තනිකර පිස්සු කෙලින්නේය. ඒවා බලා අපටද පිස්සු තද වෙන්නේය. අනේ අනිච්චං කියවෙන්නේය. අපටද ඕක ම වේදැයි කියන්නට නොදන්නේය. ඒක නිසා කටවහගන්නේය. අනෙක් පිස්සු නං තාමත් ලාවව තියෙන්නේය. ඒවා කවදාවත් හොද වෙන්නේද නැතිය. බෙහෙත්ද නැතිය. බෙහෙත් තිබුනත් ගන්නේද නැතිය. මාගේ අනන්‍යතාවය ඒ පිස්සු නිසා රැකෙන්නේය. ඒ නිසා ඒ පිස්සු වල මං කැමතිය. ඔය ගොල්ලා මොනා කිව්වත් මට පාන්ද???

මට හැදිච්චි බ්ගොග් පිස්සුව ගැන කතා කිරීම වැඩක් නැත්තේය. ඒ බව හැමෝම දන්නවාය. ඒත් මගේ බ්ලොග් කටුවේ ඇනෝ ඇවිත් උත්තර ලියන ඇනෝ දේශකයාත් මා වගේම පිස්සෙක්ය. ඒකාට වැඩ නැතිය. ඒකට මං මක්ක කරන්නද? ඒත් මාවම කන්නේය. ඌට පිස්සුය.

හුටා... මාතලං දැක්කොත් මට කෙලින්නේය. කන හරහා ගහන්නේය. පස්සෙන් එළවන්නේය. තෝම්බුව එළටම දෙන්නේය. නිකමට ට්‍රයි කොරලා බැලුවේය. මං හරි ආසම ලියන විදිය මාතලංගේය. කියවන්න කියවන්න ආසා ඇති වන්නේය. ඒක නිසා කනගාටුවෙන් උනත් මංකොල්ලකාරයාගේ ශෛලිය මං+කොල්ල කෑවේය. ඒක මට හෙන ආතල්ය. මාතලං ටද ආතල් විය හැක. ඒ නිසා දුකක් නං නැත්තේය. ගැහුවත් ඉවසන්නේය. ඒකා මට සප් එක දුන් හොද එකාය. නරුමයා වගේ උනත් හිත හොද එකාය. මම යන්නේය. කියන්නට තියෙන දෙයක් ඔය යටින් කොටල යන එකක් ඇත්තේය. අනේ මන්ද මම මේක මොකට ලිව්වාද කියා තාම නොදන්නේය. ඒක නිසා මේක මඤ්ඤං දේශනයක් වන්නේය.

Tuesday, April 2, 2013

ඇයි දෙයියො මාව කන්න හදන්නේ!!! (Why me, Lord??)

මට හරි ආසයි මිනිස්සු තමන් ගැනම නැතිව අනිත් මිනිහා ගැනත් පොඩ්ඩක් හිතනවනං. ඕං බලන්නකෝ කෝච්චියට නගින්න ගියාම එතැන බඩදරු අම්මෙක් හිටියත් නගින එකා අර මනුස්සගේ බඩ උඩින් හරි නැගගෙන සීට් එකට පනිනවා. ජීවිතේ කවදාවත් වාඩි වෙලා හිටියේ නැති එකෙක් වගේ තමා උන් සීට් අල්ලන්න පනින්නේ. අපේ ඩුඩෙ නං දවසක් එහෙම එකෙකුට ඉස්ම යන්න චැලෙන්ජ් එකක් දීලා තිබුනා, හරිම සංවේදි විදියට.

මිනිස්සු එක විදියටම ඇයි අප්පා ආත්මාර්තකාමි වෙන්නේ. මොකක් හරි ඇහුවොත් මම දන්නෙ නෑ. මම දැක්කේ නෑ. ඒ මදිවට ඕන දෙයක් මම කරේ නෑ. මම කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඕං ඔහොමයි කතාව. 

එක දවසක් මම ගියපු බස් එකේ විදේශික කාන්තාවක් එක්ක, එයාගේ පුංචි පුතා හිටියා. බස් එක ගජරාමෙට යනවා. ඒ අතරේ බිස්කට් කකා හිටී කොල්ලා ඒක ඉවර වෙලා බිස්කට් කවරේ, වීදුරුවෙන් එළියට විසි කරා. මේක දැක්ක ඒ කාන්තාව ඇස් උඩ තියාගෙන එක පාරටම නැගිටල, වට පිට බල බල හරිම ලැජ්ජාවෙන් ඇඹරෙනවා. ඒ අතරේ කොල්ලටත් බනිනවා. මේ කාන්තාව ජනේලෙන් ඔළුව දාලත් බැලුවා මොකක් හරි උනාද හෙම කියලත්. කොල්ලට බනින කොට කොල්ලා කියනව මට ඇහුනා “ඇයි මමී.. ඊයේ අපිත් එක්ක ගියපු සුරාජ් (ගයිඩ් කෙනෙක් වෙන්න ඕන) එයා කාලා ඉවර වෙච්චි ගමන් හිස් පැකට් එක එළියට දැම්මේ“ කියලා.. ඕං ඕකයි තරම. අපේ එකෙක්ම තමා මේ දේ පොඩි එකාට කියල දීල තියෙන්නේ. උන්ගේ රටක උනානං ආයේ දෙකක් නෑ.. බඩු බනිස්ම තමා. අන්න ඒකයි තියෙන වෙනස මහ  ලොකු සිංහලයා සහ විදේශිකයන් අතර. අපේ නෑනේ ඔය කිසිම තැකීමක් මම ඇර වෙන එකෙක් වත් ගැන. මම බිස්කට් පැකට් එක කාල කොලේ පාරේ දැම්මත් මොකෝ මගේ පාරයැ.. එහෙම තමා හිතන්නේ.

ජපනාට ඇත්තටම පුදුම විදියේ ස්වයං විනයක් තියෙනවා. ජපනා කොහේ හරි යනවනං අනිවාර්යයෙන් පොඩි ග්‍රොසරි බෑග් එකක් අරගෙන යනවා.. මගදි ඔය විසි කරන්න වෙන ටොපි කොල, ටිකට් එහෙම දාගෙන ඉන්න. මිනිහා කාපු ටොපි කොලේ දවසක් උනත් සාක්කුවේ තියාගෙන ඉදීවි කසල බදුනක් ලැබෙන කං. ඒත් අපේ මිනිස්සු මොන වාහනේ ගියත්, පයින් ගියත් හැම දේම ලෝභ නැතුව බැහැර කරන්නේ පාරට තමා. ඔය හිස් කිරි පැකට්, බිස්කට් කොළ, මාළු පාං කෑලි ආදි දේවල් ඕන තරං වාහන වල ජනෙල් වලින් එළියට එනවා. ඒකට බස් එකද, කාර් එකද, පැජරෝ එකද කියල වෙනසක් නෑ. එහෙම බැලුවම පේනවා මොන වාහනේ ගියත් මොන තත්වෙක හිටියත් හැම මිනිහම එකම ජාතියේ කියල. 

තමන් කාපු ටොපි කොලේ සාක්කුවේ දාගෙන එන එකෙක් ඉන්නවද කසල බදුනට දාන්න කියල හිතාගෙන. නැහැනේ. වැඩිම ප්‍රතිශතය ටොපිය කාපු ගමන් කොලේ ඕන තැනක බිම දාන්න තමා ලෑස්තිය. ඔය විදියට ටොපි කොල දාස් ගානක් පාරේ තිබිල වතුරට අහුවෙලා කානු හිර උනාම මේ යක්කු කෑ ගහන්නේ අන්න ගලනවා. මුන්ට කානුවක් වත් සුද්ද කර ගන්න බැහැ කියලයි. ඒත් තමන් දාපු ටොපි කොලේත් ඒකට උදව්වක් වෙච්චි විත්තිය මේ ආත්මාර්තකාමි මිනිස්සු අමතක කරනවා.

හුගක් අය පරිසරයට ආදරෙයි. ඒක බොක්කෙන්ම විත්තිය ලෝකෙටම පෙන්නුවත් ඇත්තටම කරන්නේ බොරුව. ඔය ලොකු ලොකු මහත්තුරු කුණු දාන්න එක එක ජාතියේ විප්ලව කරනව නෙව පාරේ. රහස් ව්‍යාපාර.. ඔව්.. හොර රහසේ තමන්ගේ ගෙදර කුණු ටික බැහැර කරගන්න කූට ක්‍රම හොයනවා. ඒත් මොන ප්‍රශ්නේ තිබුනත් තමන්ට කුණු දාන්න තැනක් නොතිබුනත් ඒක කොහේ හරි තැනක රෙනවා වගේ දාන එක හරිද මන්ද? මිනිස්සු ඇයි ඒ තරං මෝඩ. එකෙක් කුනු බෑග් එකක් දැම්මම ඇති එළිවෙන කොට එතන කුණු ගොඩක් වෙන්න. එක කුණු බෑග් එකක් දාපු තැනක් කුණු දාන්න නීතියෙන් අවසර දීපු තැනක් විදියටම මේ මිනිස්සුන්ගේ ඔළුවට වදිනවා. අර කුණු බෑග් එක දැක්ක ගමන් අනිත් උන් බලන්නේ කොහොම හරි එතනටම කුණු ටික දාල යන්න තමා. ඉතිං එහෙම උනාම අවට මිනිස්සුන්ට සිද්ද වෙනවා එතැන ගහන්න. “කුණු දැමීම බල්ලන්ට පමණයි“ කියලා.

මොන විදියට සෝබන දාගෙන හිටියත්, මොන සමාජ සත්කාර කරත් හැම මිනිහම ආත්මාර්තකාමියි. ඒක වලක්වන්න බෑ. ඒත් තමන් හැර තවත් අය සිටී කියන පොඩි හරි අදහසක් මිනිහෙක්ගේ හිතේ තියෙන එක කොයි තරං දෙයක් වෙනවද කියන එක අදට වඩා අපට හෙටයි තේරෙන්නේ.

ප/ලි

හිතවත් ඇනෝ දේශකයා වෙත,

ඔබ විසින් මා නොමැති දින වල මාගේ පෝස්ට්කටු කෙරෙහිම වූ ඒකායන සද්භාවයෙන් යුතුව එහි සදහන් ප්‍රතිචාර සදහා පිළිතුරු සැපයීම පිළිබදව අතිශයින් ස්තුතිවන්ත වෙමි. ඔබ විසින් ඇනෝවෙකු ලෙස දැඩි හික්මීමකින් යුතුව ප්‍රතිචාර පළ කිරීම දැඩි ලෙස අගය කරමි. ඒත් මගේ පුංචි සුදු බෝලයෝ... මම ලියපු ඒවට උත්තර දෙන්න මටත් පොඩි ඉඩක් දුන්නානං හොදයි නේද.. බුදු සරණයි ඔයාට. ගිහිං එන්නං.

Thursday, March 28, 2013

මල් ගෝමර, පෙති ගෝමර, ගෝමර, ගෝමර

ඕං පහුගිය ටිකේ වෙච්ච අලකලංචි ටිකක් හින්දා සතියක් විතර එක දිගටම ජංජාල වෙච්චි මගේ ඔළුව ජාලගත කර ගන්නට බැරි උනා නෙව. වැඩක් නෑ.. එක දිගටම කරදර.. කරදර. මොන විදියෙන් වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.. ඉතිං ඒ ඔක්කෝටම හරියන්න, අතෑරිච්ච, කියවන්න බැරි වෙච්චි හැම දේකටම ආයුබෝවන් කියල, මං නැති ටිකේ මාව හොයා බලා කටයුතු කරපු සහෘදයනුත් විශේෂයෙන්ම, නයා අතෑරල බ්ලොගේ පාළුවට අතෑරිය වෙලාවේ, මම නැති අඩුපාඩුව මගහරවන්න කටයුතු කරපු මගේ ඇනෝ දේශකතුමාටත් ස්තූතිය පුද කරන ගමන්, ඕං හයියෙන් ඈනුමක් හෙම ඇරල ආයේ වැඩ අල්ලන්නයි හදන්නේ.

අද උදේ දේශකයා තමන්ගේ ගුබ්බෑයමේ ඉදල, මාසේ අන්තිමට පඩි ගෙවන තැනට දවස් ගානකට පස්සේ යන්න කියල කල එළි බැහැල නැග්ග බස් එකකට. හුහ්.. සෑහෙන්න කාලෙකින් හොද සිංදු ටිකක් දාපු බස් එකක් තමා ඒක. නැත්නං අර අසරණයගේ යාළුවා නෙව ඔය බස් ඔක්කෝටම වග කියන්නේ.. ආ.. ඔව් පොර අළුතින් එකකුත් ගහල..

කාලයක් තිස්සේ හිතේ කෑකෑරමින් තිබුන අදහසක් එක පාරටම සුරුස් ගාලා ඉහට ඇද්ද ටී එම් ජයරත්න ගායනා කරන මෙන්න මේ ගීතය අහපුවම.

පෙති ගෝමර ඉහුණු බදට
රිදී මාල පළදන්නට
පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා
ඔබේ සිනා ගම්මානෙන් සැගවී යනවා


ඕං අහගන්න ඕන අය අහගන්න එකයි ඇත්තේ. ඔය සින්දුව පටන් ගන්නෙම ගෝමර ගැන කියල නෙව. අපේ සාහිත්‍යය තුල ඔය පෙති ගෝමර, මල් ගෝමර එහෙම කාන්තාවකගේ ඉනවට, බදවට, ළමැදේ තියෙන බව දැක්ක ගමන් කවියා, ගේය පද රචකයාට තමන්ගේ නිර්මාණය බිහිකරන්න බිහිදොරක් වෙලා තියෙන අපුරුව පොඩි කාලෙ ඉදලම දැකගන්න පුළුවන් උනා. ඒ වගේම පෙති ගෝමර කියල පරණ චිත්තරපටියකුත් තිබුන විත්තිය මතක් වෙලා ඒක ගැන හොයන්න ගත්තත්, මට හොද තොරතුරක් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් විස්තර කියුවනං හෙම..

ඒ කාලේ කලා ඇසකින් කාන්තාවක් දැක්කම, එයාගේ පෙති ගෝමර තියෙන එක අනිවාර්යය අංගයක් උනේ ඒකෙන් ඒ කාන්තාව කොච්චර ලස්සනද කියන එක පෙන්නන්න පුළුවන් තරමේ වර්ණනාවක් විදියටයි. අපේ කවියන්ට ඔය පෙති ගෝමර, මල් ගෝමර හෙම පෙන්නන්න බෑ.. මොකද ඕවා ගැල්ලමයෙක්ගේ කොහේ අරි ගෑවිලා තිබුනොත් අනිවා කවියක් හරි ගීතයක් හරි එළියට එනවාමයි. මමත් ආසම සින්දුවක් තියෙනවා. බිනර මලී

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සද
....
පුංචි බදේ පෙති ගෝමර සිහියට එනවා

ඕං සින්දුව

ඔය අතරේ කවි කාරයන් ඔය පෙති ගෝමර එක එක මානයන් වලට අරන් ගිහිල්ල තියෙනවා. අපිත් අඩු වැඩි නැතිව ඕව බලල, ගැල්ලමයින්ගේ බදේ පෙති ගෝමර තියෙනවද කියල හෙම හොයා බලල තියෙනවා.

සුනිල් එදිරිසිංහයන් ගායනා කරන කුඩා ගමේ මද්දහනේ ගීතයත් මම ආසම ගීතයක්. ඒකේ සුමට ගලා යාමට තමා මම වැඩියෙන්ම කැමති. ඒකෙත් ඔය මල් ගෝමර ගැන කතා කරනවනේ.

කුඩා ගමේ මද්දහනේ අව්රස්මිය නිවා
කූලි කමතේ ඒ දඩුමං දිගේ ගියා මෙමා
....
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිම් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් පළදන්නට වරම් නැතිව ගියා


ඒ වගේම සුනිලයන්ගේ රෑ වැඩ මුරය ගීතයෙත් පෙති ගෝමර ගැන සදහන් කරල තියෙනවනේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් අඩන්නේ


හද ගී පොත ලියන තිස්ස දොඩංගොඩයන් ගෝමර ගාවගත්ත බොහොම ලස්සන ගීතයක් දාලා තිබුනා. ඒක නං අහන්නම ඕන සින්දුවක්.  හැබැයි මේකෙදි නං ගෑවිල තියෙන්නේ රන් ගෝමර වගයක් තමා.

මල් මදහස රැදුනි තොලේ
රන් ගෝමර ඉසුනු බදේ
ගල් අමුණෙන් පැන්න ලදේ
සිරියා කත ඔබය ගමේ

සින්දුව දාන්නේ නෑ.. කැමති අය මේකෙන් ගොහිං හද ගී පොතට ගොඩ වදින්න..

ඔය ගෝමර ගාගත්ත සත්තු හෙම ජාති ඉන්නවා. හා හා ගෑල්ලමයි නෙමෙයි.



ගෝමර පිළිහුඩුවා


ගෝමර සිටිබිච්චා

මට හොයාගන්න පුළුවන් උනේ ඔය දෙන්න විතරයි. තව කස්ටිය ඇති මයේ හිතේ.. ඒ උනත් ගෝමර තනි ඇතින්නක් ගැන කියපු සින්දුවකුත් තියෙනවා. හැබැයි ගීතය හොයාගන්න අමාරුයි.. සයිලන්ට් සහන් උදව් කරාවි ඒකට නං..

මත වර පරසිදුන්ට
මන බැදි සකිසදුන්ට
...
ඇත් කුණ්ඩලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
තනි යහනක නිදන්න
දින ගනිතැයි කියන්න

ඔය වගේම කවිය අවියක් කරගත්ත අපේ ඩෝල්ටන් අල්විස් කවියත් ප්‍රේමය ගැන බොහොම ලස්සනට කතා කළා වගේම දේශය ගැනත් අවධානය යොමු කළා. ඔහු ලියපු මේ ගීතය ගැන වරක් සුනිල් ආරියරත්නයන් ඩෝල්ටන් අල්විස් සමරු දේශනයකදීත් කිව්වා. ඩෝල්ටන් කොල්ලෝ කුඹුර ට බස්සන්නේ ගොයං නෙලන කෙල්ලෝ පෙන්නලයි කියලා..

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවද කැන්දු කැන්දු
ගතිනි හලා ගයමු
රන් ගොයමේ සින්දු සින්දු
.....
රන්වන් කෙත නෙළන ළියේ
රන් ගෝමර පැළදි ළියේ


ඔය විදියට අමරදේව මහත්තයත් කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ කියලත් කිව්ව නෙව.. අහන්ටකෝ බලන්න ඒකත්.

හා.. හා.. ඔය මාතර ඈයෝන්ට නං ඒ දවස් වල ඉදලම ගෝමර තිබිල තියෙනවා..

මාතර ගගේ සිටිනා කිඹුලිගේ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවනා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුළිගේ පැටියා

ඔය කවිය නං ඉතිං දෙයියනේ කියල ඉස්කෝලේ ගියපු එකෙක් නං නාහා ඉන්න විදියක් නෑ නෙව..

ඔය වේදිකා නාට්‍ය වලටත් ගෝමර බෝ නොවුනාම නෙමෙයි. ලූෂන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යෙය් මේ ගීතයත් රන් ගෝමර වැටිලා හැඩ උනා.

හඩන්නෙපා හඩන්නෙපා
මගේ රන් මැණිකෝ
මගේ කළු මැණිකෝ
....
සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ළමැද ගගේ
සුසුම් සලා රගන සැටී
මගේ කෝමලියේ



ඇත්තටම මේ රන් ගෝමර, පෙති ගෝමර, මල් ගෝමර, ගෝමර කියල කියන්නේ තරුණ ගැටිස්සියන්ගේ  තරුණ කාලේදි පිටේ ඇති වෙන ලප හෝ අලුහම් ලප නොවන චර්ම රෝගයක් කියලයි වෛද්‍යවරු නං කියන්නේ . ඔය ලෙඩේට කියන්නේ Prograchive Midline Mature hyper pigmentation කියල තමා. ඕවා ඇති වෙන්න හේතුවක් අදුරගෙන නැතෙයි කියන උන්නැහෙල කියන්නේ මේවා ඇති වෙන්න හේතු වෙන්නෙත් කුරූලෑ ඇති කරන බැක්ටීරියාවමයි කියලා. හරි කොහොම හරි මේ ලප, ලපයි සිපයි කාලේ පහු වෙච්චි ගමන් ඉබේම නැති වෙලා යනව. ඕං ගෝමරයක් දාන්න ගිහිල්ල තොපි තෝමර අවුරන් එනවා නොවේ මේ පැත්තේ.. එහෙනං හෙට ඉදල ජංජාලේ කාල් ගාන්න බලාපොරොත්තු වෙනවා. මේකේ සින්දු දාන්න ගිහිල්ල වෙච්චි සන්තෑසිය දෙයියෝ බලල, ඕඩියෝ ෆයිල් එකක් එකතු කර ගන්න විදිය ගැන කියල දෙනවනං අනේ පිං.....


Thursday, March 21, 2013

Snake Bites, Treated here!!!

මා ඉපදුනේ රන් තැලියක් අතින් රැගෙනය. එසේ කීමට සිදුවන්නේ මා උපදින දවසේම, අපේ මහපොච්චි විසින් විසින් මා හට කිරි එරවා තැබීම සදහා අම්මා හට රනින් කල කුඩා තැලියක් ලබා දීම නිසාය. ලොරි 20 ක පමණ හිමිකරුවෙකු වූ ඔහු, ලංකාවේ හැම පැත්තකම වාගේ ඉඩකඩම්, හරකාබාන තිබූ උසස් කුලයකින් පැවතෙන වංශක්කාරයෙකි. ඔහු කිසි දිනෙක විවාහයක් ගැන නොසිතා ඇත්තේ, මේ ගැන මා දැන ගත්තේ, ඒ වන විට අපේ මහප්පොච්චිට ගැලපෙන තරමේ යුවතියක් මුළු ලංකාවේම නොසිටි බැවින් යැයි ඇය විහිළුවෙන් මෙන් මට කියා දුන් නිසාය. එහෙත් පසුව මා එය විශ්වාස කරේ, ඔහු විසින්ම පසුව කරන ලද පාපොච්චාරණයක් හේතුවෙනි.

ඉස්තරම්ම වර්ගයේ විස්කී වීදුරුවක්, අඩියට හලාගෙන සැතපෙන පුටුවේ ඇදි දෙකද දික් කර ඒ මත ඔහුගේ මනරම් ලෙස පැහැපත් වූ කකුල් දෙක තබා ගෙන, චීනයෙන් ඔහු මාස දෙකකට සැරයක් රැගෙන එන ඉතාම සිනිදු චීන සරම දණහිසෙනුත් ඉහල කැහිපට ගසා ගෙන බොහෝම උජාරුවෙන් එය තොල ගායි. අප ඒ අවස්ථාවේ ඔහු ඇසුරේ ගැවසෙන්නේ නම්, හා ඔහුගේ තොල කට ලෙව කෑම වීදුරු තුනකට අඩුවෙන් සිදු වී ඇත්නම්, අහලින් පහලින් ඔහුගේ ඇස ගැටෙන්නට ඇවිදින අපට හඩ ගසා, “කොල්ලෝ.. මේ බැදපු බැටළු මස් කෑල්ල ගනිං“ කියා මහා විසාල, ඒ කාලේ හැටියට මගේ අල්ල පිරෙන තරං පුළුටු මස් කෑල්ලක් අතට වඩම්මයි. එය රැගෙන සියළු රාජ්‍යයන් දිනු නිරිදෙකු සේ ඔහු අසලම බිමින්, වැරන්ඩාවේ වාඩි වී හතර අතට කරකවමින් එය රස කරන්නට ගන්නා විට ඔහු කොක් හඩලා සිනා වෙයි. “හොහ්.. හොහ්. බලාපං උඹේ කටට ඕක ඔබාගන්නවත් බැරි එකේ පොඩ්ඩ පොඩ්ඩ කාපං“. ඒ බස හැමදාම අසා පුරුදු මා ඉන්පසුව කෙලින්ම දුවන්නේ එළියටය. කපා ඔප මට්ටම් කල ගල් අල්ලා ඇති ඉස්තෝප්පු මිදුලේ පඩි පෙල මත දිගාවී අහස බලාගෙන කකුල් දෙකද උඩ දමාගෙන අර මස් කෑල්ල පැය භාගයක් විතර මට්ටු කිරීම ඉන් පසුව කළ හැකි වන්නේය.

මහප්පොචිගේ කාමරයට යාබදව ඇති වීදුරු දොරක් සවි කල කුඩා කාමරය කවදත් අප හට තහනම්ය. එයට දවසට තෙවරක් පමණ ඇතුල්වීම මහප්පොච්චි ගෙදර ඉන්නේ නම් ඔහු විසින් කරන ලබන අනිවාර්ය අංගයකි. කාමරයේ සිට රැගෙන එන විවිධ පාට වලින් යුත් වීදුරු මූඩියක් සවි කල පැනි බීම බෝතල් දෙස ඇස ගසා සිටියද, එය අතික්‍රමණය කිරීමේ කිසිදු අවස්ථාවක් අප හට නොලැබිණි. එය ඔහුගේම බුදලයක් මෙන් රැකගත් අතර, ඔහුට තිබූ අනෙකුත් සියළු දේපල සදහාවත් මෙවන් ඇල්මක් නොතිබිණි. ඔහු ගෙදර සිටින්නේ නම්, වෛවාරන වාහන වලින් පැමිණෙන උස මහත මාමාලා කිසිදු වග විභාගයකින් තොරව එම කාමරය එබෙන්නේ නිතැතිනි. එය ඔවුන්ගේ බූදලයක් බවට ඉන් පසු පත් වේ. ඔවුන් පැමිණි විටක මහප්පොච්චිගේ සැතපෙන පුටුව අපට ලියා දුන්නාක් වැනිය. අවශ්‍ය නම් නිදාගැනීමට පවා අවකාශ අප හට තියෙන්නේ හදිසියකටවත් චූ කරන්නවත් ඔහු හා උස මහත අංකල්ලා එළියට නොඑන බැවිනි. 

අපේ අම්මා ඔය කාමරේ ඇති පැනි බීම ගැන වෙන අයට රස කර කර කියනු මා අසා ඇත්තෙමි. “මාග්‍රට්. ඔයා හිතනවද මේ පළාතෙවත් අපේ සෑම් අයියගේ මිනි බාර් එකට වඩා හොද එකක් තියෙනවැයි කියල“ එතකොට මාග්‍රට් ඇන්ටීද අත් වැල් අල්ලමින් කියන්නේ, “ඔව් සැන්ඩ්‍රා... ජීඕබී එකේ බාර් එකවත් මේ වගේ ලස්සන නැතියි“ කියාය.

දිනක් මහප්පොච්චි නැති අවස්ථාවක මා ඔහුගේ කාමරයට වැද එහි ඇති කරුවල ලීයෙන් කැටයම් දමා ඇති පත මේසය මතට නැගි, එහි තබා ඇති ඔහුගේ මැණික් මංජුසාව (මෙම මංජුසාව ද රනින් කල එකක් වේ) රැගෙන මේසය මතට එහි තිබු ගල් කෑලි ටික විසි කර දමා එහි අඩියේම ඇති, අර කාමරයේ යතුර රැගෙන අම්මාටද නොදැනෙන ලෙස ඒ කාමරයට ඇතුල් වීමි. වීදුරු සවි කර ඇති මුත් එළියේ සිට බලද්දී එහි දොරෙන් ඇතුලත කිසිවක් අපට නොපෙනුනත්, කාමරයේ ඇතුලත සිටියදී ඒ වීදුරු වලින් පිටත හැම දේම පෙනෙන්නට වීම ගැන මා ඉමහත් පුදුම වූවෙමි. මා එවැනි වීදුරු කණ්නාඩි දැක ඇත්තේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල ඩිටේයිනීස්ලාගෙන් ප්‍රශ්න කරන කාමර දිහා ඒජන්ත වරුන් බලා ඉන්නා රූපරාමු වල පමණි. එවැනි අරුම පුදුම වීදුරු කණ්නාඩි ඇත්ත වශයෙන්ම ඇති බවක් නොදැන සිටි මා පුදුම වීම අරුමයක් නොවේ. අම්මා කිව්වා මෙන් පැනි බීම අල්මාරිය දිලිසි දිලිසී කාමරයේ හරි මැදම ඇති අතර, අල්මාරිය ඉදිරියෙන් කවුන්ටරයක් වැනි අඩ කවයෙන් යුත් අඩි 4 ක් පමණ උසැති මේසයක් ඇත. ඒ මේසයට ඉදිරියෙන් කුෂන් කරන ලද අළුත්ම දිගු අඩු සහිත ලී බංකු හතරක් ඇත. අල්මාරිය පසු පසින් බාබකිව් ග්‍රිල් එකක් ඇති අතර, ඊට පිටු පසින් ඇත්තේ තඩි ගෑස් ලිප් දෙකකි. එයට සවි වූ අඩි 6 ක් පමණ උස වූ නිල් පාට ගෑස් ටැංකි දෙකක් වූ අතර, එම ගෑස් ටැංකි දෙක, වසා ඇති ජනේලය ආසන්නයේ සිටුවා තිබුනි. මෙතැන කුස්සියක් වන්නට ඇතැයි මා සිතුවේ මහප්පොච්චිට ඕන කරන කිසිම මස් කෑල්ලක් චෙෆ් අංකල් අපේ ව්‍යවහාර කිචනයේදී පිසිනු මා දැක නොමැති බැවිනි. මේ කාමරයේ සිට චෙෆ් අංකල් එළියට යන අයුරු දැක ඇතත්, ඔහු යන විට දොර ඇරගෙන එය මුර කරන්නේ මහප්පොච්චි බැවින් ඇතුලේ වන ගිනිවිජ්ජුම්බරයන් කිසිදා මා දැක නැත. ආහ්.. එතකොට බයිට් ටික හදන්නෙත් මෙතැන වෙන්ටැති කියා පුංචි මට සිතුනු එක ගැන ආඩම්බරයක් පහල විය. 

කාමරයේ දකුණූ පැත්තට වෙන්නට පත අයිස් පෙට්ටියක් ඇත. එහි පියන අති විසාල වන අතර එය උඩට ඇරිය යුතුය. හජ්ජියාර්ගේ අයිස්ක්‍රීම් කඩයේ එවැනි අයිස් පෙට්ටි දෙකක්ම ඇති බව මා දැක් ඇත්තෙමි. හජ්ජියාර්ද අයිස්ක්‍රීම් පෙට්ටි සතියකට වරක් අපේ ගෙදරට එයාගේම වාහනයෙන් ගෙනැත් දෙන නිසා මා ඔහු හදුනයි. එහෙත් මහප්පොච්චිගේ බූදල් කාමරයට ඔහු කිසිදා යන්නේ නැත. මහප්පොච්චිම ගොස් ඒවා අර අයිස් පෙට්ටියේ දමා, හජ්ජියාර් ලබන සතියේ එනකොට පෙට්ටි හතරක් අඩුවෙන් ගේන්නයැයි හැමදා කිව්වත් ගේන අයිස්ක්‍රීම් පෙට්ටි වල අඩුවක් නම් මා දැක නැත. එයා එහෙම කියන එක පුරුද්දක් වන්නාක් මෙන්ම හජ්ජියාර් අංකල් එයාගේ බඩු ගෙන ඒමද පුරුද්දක් විය.

රන් තැලිය ගිය දුරක්.. මම කියන්නට ගියේ මහප්පොච්චිට ඇති දේපල ගැන නොවේද? ඔහු දිනක් මන්නාරමේ කරවල වාඩියේ හිටියි. ඊළග දවසේ නුවරඑළියේ බංගලාවේ ඉන්නා ඔහු, ඊට පසු දින කුරුණෑගල පොල් වත්තේ හිදීමටද ඉඩ ඇත. සතියක එක දවසක් වත් යන්නට බැරි වෙන, නුවර පිහිටි හෝටලය, වත්තල ඇති තට්ටු දෙකේ රෙදි කඩය, දික්වැල්ලේ පොල් ඉඩම, වැල්ලවායේ රටකජු වගාව ආදි තැන් වලට මාසයකට වරක් හෝ යෑම ඔහුගේ පුරුද්දකි. එසේ නොයා ඉන්නේ නම් අනිවාර්යෙයන්ම ඒ තැන් වල ඉන්නා මැනේජර් අංකල්ලා අපේ ගෙදරට පැමිණිය යුතුය. එසේ එන විට මහප්පොච්චිගේ නමේ මුල් අකුරු වන එස් අකුර ලොකුවටත් අනිත් ඒ අකුර හා එම් අකුරු පොඩියටත් කොටුවක් තුල ලියා දොරේ ගසා ඇති වාහනයකින් පැමිණිම සිදු වීම සාමාන්‍ය දෙයකි. පසුව එළියට බැස වාහනය දිහා බලා, එහි ඇති අඩුපාඩු රියදුරු අංකල්ගෙන් දැනගෙන, වාද්දුවේ පිහිටා ඇති මහප්පොච්චිගේ වාහන ගැරේජයට එය දැමීමට දිනයක් දී එහි ඇති වාහනයක්, මහප්පොච්චිට  පෙන්වා අරගෙන යන ලෙසත් නියෝග කරයි. එහෙත් අප කිසිදු දවසක ඔය අකුරු ගසා ඇති වාහනයක ගොස් නැත. අපට ගමනක් යාමට අවශ්‍ය වන්නේ නම්, අප කැමති රියදුරු අංකල් හෝ වාහනය හෝ තෝරාගැනීමේ අවස්ථාව උපරිමයෙන්ම දී තිබුනි.

කාලය මෙසේ ගත වෙද්දී මහප්පොච්චි තමන්ගේ බිස්නස් ආදිය සියල්ල විකුණා දමා ඒ සල්ලි බැංකුවේ දැමු බවත්, එයාට සල්ලි ඕන වූ විට බැංකුවෙන් වාහනයක් පැමිණ මුදල් දී අත්සන් ගැනීම සිදු වීමත් සුලභ දසුනක් විය. ඒ සල්ලි වලින් සෑහෙන්න ප්‍රමාණයක් පළාතේ පන්සල්, පාසැල්, එක එක සමිති වලට දුන් බව මට හොද හැටි මතක් වන්නේ ඔය තැන් වල තියෙන උත්සව වල ප්‍රධාන ආරාධිතයා හැටියට සහභාගී වෙන මහප්පොච්චිගේ පස්සෙන් මාද ගාටන බැවිනි. මොන දේ උනත් එයා ළගින්ම ස්ටේජ් එකේ ලොකු පුටුවක වාඩි වී උජාරුවෙන් පහල ඉන්නා ඔළු ගෙඩි දිහා බලා හිදිම මට නං ලොකු ආස්වාදයක් විය. ඔවුන් කටවල් ඇරගෙන මා දිහා බලා ඉන්නා විදිය දුටු විට හිනා පහල වීම නවත්වා ගැනීමට නොහැකි වුවද, හිත තුලින් එන ගර්වය නිසා, එය මැඩගෙන මහප්පොච්චිගේ මුනට සමාන ලෙසම මගේ මුහුණද පුප්පා ගෙන සිටියෙමි.

මහප්පොච්චි මැරුණ දා සිට වළදාන දවස වෙනකං ආපු ජන ගංගාව හා වාහන කන්දරාව මුළු පළාතම වසා ගෙන තත්තපරයක් ගානේ පැවතීම හේතු කොට ගෙන ඒ අවට ප්‍රෙද්ශය සම්පුර්ණයෙන්ම පොලිස් මාමාල යොදවා හසුරුවන්නට සිදු විය. රටේ ලෝකයේ ඉහලම අය ශෝක ප්‍රකාශ, බැනර්, මල් වඩම් නොසෑහෙන්න එවා තිබු අතර, හැම පැය දෙක තුනකටම වරක් සාලේ පිරෙන මල් වඩම් අයින් කොට පසු පස ඇති වාහන හයක් සදහා වෙන් කර ගරාජය පුරවන්නට සිදු විය. අවසාන දිනයේදි ලොරි දෙකක් යොදවා මෙම මල් වඩම් ඉවත් කරන ලද අතර, පරවී තිබු මල්, තට්ටුවක් ලෙසින් ගරාජ බිම පුරා එකාකාරයෙන් පැතීරී තිබුනි. එයින් පසුව තුන් මාස දානය, අවුරුද්දේ දානය සදහා මහ සෙනගක් ආවද, ඊට පසුව නෑදැයන් පමණක් දානමාන වලට සහභාගී වන්නට වූයේ අර මහා සේනාවට එන්න එපා යැයි අපිම කීවාදැයි සැක හිතෙන තරම් දෙයක් සිදු වී ඇති සෙයියාවෙන්ය.

මහප්පොච්චිගේ මරනෙන් පසුව පිරිස් බලය, සිවිල් බලය හා ධන බලය ද එකලෙස අවම වීම හේතුවෙන් එතරම් කාලයක් සමාජයෙන් ලැබ තිබු තත්වය අපට අහිමි විය. ලොකු මහත් වී මා ඉගෙන ගත් සුපිරි පාසැලෙන් අධ්‍යාපන කටයුතු හමාර කොට උසස් අධ්‍යාපන කටයුතුද නිම කොට මා හට සමාජයේ හිමි ස්ථාවරය ගොඩ නගා ගත්තද පෞද්ගලිකව මා හට බලපාන කරුණු/ගැටළු කිහිපයකට කුමන හේතුවක් නිසා හෝ පිළිතුරු සොයා ගැනීමට නොහැක. මේ හේතුව මත මෙම ගැටළු වලට සාදාරණ පිළිතුරු ඔබගෙන් ලබා ගැනීම උදෙසා ඒවා පහතින් දක්වමි.


මා විසින් මේ කාලය තුල තැන්පත් හා සුරුකුම් වශයෙන් තබා ගෙන සිටින මුල්‍ය වත්කම් අභිබවා මා විසින් ඇච්ඇස්බීසී නම් බැංකුවකින් ලබා ගත් ප්ලැටිනම් වර්ගයේ මස්තබාල්දු ක්‍රෙඩිට් කාඩ් දෙකක් හේතු කොට ගෙන මිලියන ගණනක අයිරාවක් ඇත. ඒවා පියවීම සදහා කටයුතු කළ හැකි වුවත් ඕවා ට ගෙවා මාගේ කීර්ති නාමය නැවත ලබා ගැනීම කෙලෙසවත් කළ නොහැක. සිහ්. සල්ලිද මනුස්සකමද යන්න අතර මා දෝලනය වේ. මීට විසදුමක් තිබේද???

මා භාවිතා කරනු ලබන වාහන සංඛ්‍යාව ඉතා අල්ප වුවත් ඒවා නිසි පරිදි අළුත්වැඩියා කිරීමට ලංකාවේ සුඛෝපභෝගි වාහන ඒජන්තවරුන් කටයුතු නොකරන හෙයින්, මෙම වාහන අළුත්වැඩියාව සදහා වෙනත් රටකට යොමු කිරීමේ හැකියාවක් ඇතිද??

මහ නගර සභාවේ අනුමැතියකින් තොරව මාගේ ව්‍යාපාරික ස්තානය හා බංගලාව එකම ගොඩනැගිල්ලක මහල් පහකින් යුක්තව ඉදි කර ඇති අතර, දැනට සිදු වන පෙත්සම් ආදි කරුණු කාරණා හේතුකොට ගෙන මෙම ගොඩනැගිල්ල සදහා ආබාධිත පුරවැඩියන් සදහා ප්‍රවේශ මාර්ගයක් සකස් කරන ලෙසත්,  ගොඩනැගිල්ල සදහා විසි දෙනෙකුට එක වර ගමන් කළ හැකි සෝපානයක් ස්ථාපිත කරන ලෙසත් නාගරික කොමසාරිස් විසින් මා වෙත දැනුම් දී ඇත. කියා ඇති කරුණු දෙක ඉටු කිරිම මා හට ටොයිස් වැඩක් වූවද, මාගේ සිවිල් තත්වයට ඇතිවන හානිය සලකා එය කිසිසේත්ම ඉටු කල නොහැක.ඔහු රවටා මෙම කාර්යය යට ගැසීමේ ක්‍රමයක් තිබේද??? .

ඕං ඔය ප්‍රශ්න තුනට උත්තර දෙන ගමන්, මේවා විස්වාස නොකරන යම් කිසිවෙකු වේ නම් ඔහුට මානසික ව්‍යාධියක් ඇති බව නොපැකිලිව සදහන් කරමි. මා සදහන් කරන කාරණා ඔබ පිළිනොගන්නේ, අවංකව ඔබට හීන්නෝන්මාදය (Schizophrenia)  වැලදී ඇති නිසා බවත්, මේ සදහා වහාම ප්‍රතිකාර ලබා ගත යුතු බවත් සදහන් කරමි. (මහවෙදනා මීට සමත්කම් දක්වයි)

*********************************************************************************
ප/ලි

අර පොඩි කුමාරිහාමි කියල කෙනෙක් ඉන්නවා නේ.. එයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

I am unconditionally and irrevocably in love with you (මේකට කොටන්න)


තව ඉන්නේ නදිනි කියල සාස්තරකාරියෙක්. එයා ට කියන්න තියෙන්නේ

ඔයා දේශපාලනේට ගියාට අර ඝණත්වය වැඩි නොවෙන විත්තිය තමා.. පව් අනේ.. හික්..(මේකට කොටන්න)