Wednesday, April 10, 2013

බේබද්දාගේ මරණය!!!


විසේස දැන්වීමයි - පොරොන්දු උනාට ආයෙත් දවස් ගානක් ම මේ පැත්තේ පස් පාගන්න බැරි උනා... සමා වෙන්ටෝනේ ඒකට“

“එකදිගට බොන්න එපා මනුස්සයෝ“

“ඉතිං බං අපි ඔය පොඩ්ඩක් ගත්තම මක්ක වෙනවයි?“

“උඹල ගන්න පොඩ්ඩ.. බලපං අද උදේම පටන් අරගෙන. උඹ ආයි දවල්ටත් ගන්නවා. ගෙදර යනකොටත් ගන්නවා. නැත්ද මං අහන්නේ?“

“ඔය ඉතිං උඹ බයිල ගහනවනේ. යකෝ බිව්වත් අපි කන පැලෙන්න ගහන්නෑ නෙව“

“හරි උඹලට මේවා කියල වැඩකුත් නෑ. මොළයක් නැති යක්කු නේ“

“මොකක්ද බොල කිව්වේ“

“නෑ මුකුත් නෑ.. මම යනවා“

නන්දසේනට එසේ පවසමින් සිරිල් කාර්යාල කාමරයෙන් එළියට ගියේ හිතට ආපු තරහත් එක්කමයි.

සිරිල් නොබොන කෙනෙක් නොවුනත් මිනිහා කවදාවත් ඔපීසි එන කොට තොල ගාගෙන එන්නෙත් නෑ. අනික එක එක ලපයි සිපයි එක්ක වටේම තියෙන ගස් ගල් ගානේ බොන්න යන්නෙත් නෑ. නන්දසේන තමා සිරිල්ගේ හොදම මිත්‍රයා. අවංකව කියනවනං සිරිල් ලොකු දැනඋගත්තෙක් නොවුනත් ඔපීසියක කුරුටු ගාන්න තරං දැනුමක් අරගෙන තියෙනවා. ඒකටත් එක්ක නන්දසේන, මිනිහට ඉංගිරිසි, දෙමළ, සිංහල ඕනම භාසාවක් එක්ක තැක් ගැහෙන්න පුළුවන්. මිනිහා ඉංගිරිසියෙන් දෙයක් ලිව්වොත් ආයේ ලොක්කවත් හැරිල නොබල තමා අත්සන් කරන්නේ ලියුං කියුං වලට. ඒ වගේම තමා ඔය රාජකාරි නියෝග, වක්කරලේඛ, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදි එකි මෙකී නොයෙකුත් දේවල් ගැන පුදුම දැනුමක් හා මතකයක් තියෙන කොටින්ම කියනවනං කාර්යාලයේ ඉන්න පොරක්.

මේ පොරට තියෙන දැනුම හින්දම, මුලින් මුලින් එක එක වෘත්තිය සමිති වල උපදේශක තනතුරු හෙම හොබවල, දිනාගන්න ඕන ඉල්ලීම් මතින් ගොඩ යන විදිය ටක්කෙටම කස්ටියට කියල දීපු හින්දා නන්දසේන මහත්තයා මුළු ආයතනයේම ජනප්‍රිය උනා. මේ ජනප්‍රියතාවයත් එක්ක ඔය වෘත්තීය සමිති වල එක එක ජාතියේ නිලධාරීන් සෙට් වෙන පාටි වලට හෙම නන්දෙට යන්න උනා. මේ හාදයා ඒ වෙනකං කවදාවත් ඔපීසියේ බීල නොහිටියට ගෙදර යනකොට නං සමහර දවස් වල කුජීත වෙලා, කානු වල ගැඹුර බල බල තමා ගෙදර යන්නේ. ඒත් දෙයියනේ කියල ඒකෙන් කාටවත් කරදරයක් නෑ වගේම මිනිහට වෙන දේවල් සිරිල් ඇර වෙන කවුරුවත් දන්නේත් නෑ. ඔය කානු පතුල් බලන්න ගිහිල්ල කකුල් ලෙලි ගහගෙන ගියපු දවසට නන්දෙගේ ෆෝන් එකෙන්ම සිරිල්ට කතා කරන්නේ නන්දෙගේ බිරිද තමා.

“ඈ සිරිල් අයියේ.. ඔයාලා බලන්නේ නැත්ද මේ මනුස්සයා ගෙදර යනවද කියලවත්“

“ඇයි නංගි, අද මිනිහා බීලද ආවේ“

“ඔය ඉතිං විකාර අහන්නේ. අන්න බයිසිකලේ කානුවේ වැටිල දනහිස් දෙකම ලෙලි ගහගෙන.. ඒ මදිවට ඇහැ ගාවත් තුවාල කරගෙන“

“ඕ... මම දන්නෑ නංගි. මිනිහට අමාරුද?“

“ඔය කෙදිරි ගගා ඉන්නේ... අයියට කියන්න මට නං මේක තිත්ත වෙලා තියෙන්නේ. දරුවෙක්ගේ පොතක් පතක් බලල මොනා හරි කියල දෙන්නවත් පුළුවන් සිහියකින්යැ මෙයා එන්නේ. මම ගෙදර වැඩයි එයාගේ වැඩයි ළමයින්ගේ පොත් වල වැඩයි කියල කීයක් කරන්නද අයියේ... සිරිල් අයියවත් මෙයාට උපදේසයක් දෙන්නකෝ.. ම‍ට බෑ අප්පා තවත් මේ කරදර විදින්න “

“මේකයි නංගි, මම දැනගත්තොත් කොහොමත් මිනිහට හොදවයින් කියනවා. ඒක හින්දා මිනිහා ඔය වගේ දවසට මාව මග ඇරල තමා හවසට යන්නේ. කව්රුත් එක්ක බොනවද, අඩුම ගානේ තනියම බොනවද කියලවත් මම දන්නේ නෑ.. පහුවෙනිදා උදේට ගද ආවොත් මම කෑ ගහනවා. ඒත් ඉතිං ඔය හිනා වෙලා ඉන්නවා මිසක් වචනයක් කියන එකක්යැ“

ඔය විදියට නන්දෙ බීල ගෙදර යන දවසට සිරිල්ගේ ෆෝන් එකට, හැන්දෑවට නන්දෙගේ ෆෝන් එකෙන් එන කෝල් එක නන්දෙගේ වයිපරෙගේ විත්තිය දන්න හින්දා බොහොම කළාතුරකින් තමා සිරිල් උත්තර දෙන්නේ. හැබැයි උත්තර දුන්නත් නොදුන්නත් පහුවදා උදේට නන්දෙට කන පිරිල ඉතිරිල යන්නම සිරිල්ගෙන් හම්බ වෙනවා. ඒත් මොන දේ කිව්වත් නන්දෙ නෙමෙයි කටක් අරින්නේ. හ්ම් කිය කිය ඉන්නවා ඇර.

ඔය විදියට ගෙවී ගියපු නන්දෙගේ බේබදු ජීවිතේ එක පාරටම වෙනස් උනේ විප්‍රකාර වෘත්තිය කාරයොන්ගේ පාටි වලට සෙට් වෙන්න ගත්තම තමා. උන් වෘත්තිය සමිති කාරයෝ කිව්වට ඇත්තටම ඔපීසියට කෙලවන්නම බලන් ඉන්න, මහ සෙප්පඩවිජ්ජ, හොර දෙටුවෝ රැලක්. උන් ඔය පාටි දාන්නෙත් කොහෙන් හරි කොටාගත්ත හොර සල්ලි වලින් විත්තිය නන්දෙ කවදාවත් දැනගෙන හිටියේ නෑ. ඇයි ඉතිං මේ යක්කු කියන්නේ,

“නන්දසේන මහත්තයා .. අද අපිට පාටියක් තියෙනවා.. අර ඉල්ලීම් දිනාගත්ත අපේ සාමාජිකයා ගානේ.. මහත්තයා එන්නම ඕන හවසට“

ඔය විදියට එක එක දවසට එක එක කතා. මේ විදියට හවසට සෙට් වෙන එක, උදේටත් සෙට් වෙන්න පුරුදු උනේ නන්දෙ වෘත්තීය සමිතියක ලේකම් තනතුරකට තෝරගත්තට පස්සෙයි. ඒ කියන්නේ සමිතියේ කාරක සභා, අර සභා මේ සභා කිය කිය මුන් උදේ වරුවෙ හරි හවස් වරුවේ හරි පොදු කාමරේට එකතු වෙනවා මාසෙට දෙපාරක් තුන් පාරක් විතර. එහෙම එකතු උනාම ඉස්සෙල්ලම කට අරින්නේ අරක්කු බෝතලේ. ඊට පස්සේ තමා උංගේ කටවල් අරින්නේ. හුගක් වෙලාවට කට වහගෙන ඉන්න නන්දෙගේ කට ඇරෙන්නෙත් කට ඇරුන බෝතලේ බාගෙට හිස් උනාම තමා. එතකොට තමා බලන්න ඕන... ඉංගිරිසි වක්කඩ වගේ ගලනවා. චක්කරලේඛ අංකෙ, දිනේ ඉදල ඒවයේ ඡේද හිටං මතකෙන් කියවනවා, තමන්ගේ දරුවට අකුරක් කියල නොදෙන මේ තාත්තා. දරුවා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරුන්ගෙන් බැනුං අහනවා ගෙදර වැඩ වත් හරියට කර ගෙන එන්නේ නෑ කියල. ඒත් නන්දෙ, අර වෘත්තිය සමිතියේ හාදයොන්ට නං ගොඩ යන්න හොද හොද පොයින්ට් උගන්නවා.

ඔය විදියට ගත වෙන කාලෙ හින්දම, එකතු වෙච්ච පර මිත්තරයෝ හින්දම උන්ගේ ජාතියක් ජන්මයක් නැති පජාත පුරුදු වලටත් හුරු වෙන්න නන්දෙට සිද්ධ උනා ඔය බීම වෙනුවෙන්. රහස් කියන දේ හැමදාම තිබුනත්, ඒ රහස් වල කවර ගැලවෙන්න එක අරක්කු බෝතලයක් හරි දෙකක් හරි හොදටම ප්‍රමාණවත්. සද්ද වහල ඔපීසියේ සල්ලි ගහන ක්‍රම, පොඩි පොඩි මිලදී ගැනීම් වලින් ජරාව පෙරාගන්න විදිය, ලොකු වැඩ වලදී කොමිස් කියල දෙයක් හොයාගන්න විදිය, ඒ නැත්තං සැපයුම්කාරයන්ගෙන් බෝතලයක් හරි මරා ගන්න විදිය වගේ බොහෝම වැදගත් දේවල් මේ පජාතයෝ නන්දෙට උගැන්නුවා. නන්දෙත් දස්සයා නෙව. බොහොම ඉක්මනට ඒවා ඉගෙන ගත්තා. මොකද බොන්න තියෙන සාපිපාසාව එන්න එන්නම වැඩි වෙච්චි හින්දා. ඔය වගේ ක්‍රම වලින් ලැබිච්ච අසික්කිත වරප්‍රසාද හේතුවෙන් නන්දෙගේ අතේ ගැවසෙන සල්ලි උදේ පාන්දර හොර පොට් වලටයි, දවල්ට බාර් එකටයි, හවසට රෙස්ටොරන්ට් එකටයි දෙන්න නන්දෙ කටයුතු කලා. මදි පාඩුවට ගෙදර අඩුපාඩු පිරිමහගන්න තියෙන එකම දේ, පඩි පැකට්ටුවෙන් භාගයක් විතරත් එක්කාසු කර ගත්තා. ඔය විදියට පටන් ගත්ත බේබදු ජීවිතේ නන්දේ වෘත්තීය මට්ටමටම ළගා කරගන්න වැඩි කාලයක් ගත කරේ නෑ. මොනව උනත් ඔපීසියේ නන්දෙට තිබ්බ සැලකිල්ල නිසා ලොක්කෝ පවා අසරණයා කියන මානසිකත්වයෙන් මිනිහා දිහා බැලුවේ. උදේ පාන්දරම ගද ගස්සන කාර්යාලේ මිනිහගේ වචන වලිනුත් සමහර වෙලාවට ගද ගස්සන කොට, ලොක්කෝ හෙමින්ම කට්ට්ය දාල නන්දෙව ඔය කොහේ හරි නිදි කරවල, මත ඇරල දෙන්නේ, වෙන මොහොකටවත් නෙමෙයි ආයේ කෑම වෙලාවට කලිනුත් බාර් එකට ගිහිල්ල දෙක තුනක් නවා ගෙන එන්නය කියල ආරාධනා කරන තරමටම අනුකම්පාවෙන්.

හැම දේකින්ම, ඒ කියන්නේ කාලයක් තිස්සේ හොර වැඩ කරගෙන හිටියත්, අහුනොවෙන ජරාව පෙරලා ගත්තත්, තෑගි බෝතල් හෙමීට අරගෙන කටට හලා ගත්තත් ඔය කිසිම දෙයක් උඩට ගිහිල්ල නන්දේගේ රස්සාවට ප්‍රශ්නයක් උනේ නෑ, මිනිහා යස අගේට බේරිල හිටියා. ඒත් මේ හැම දේකින්ම බේරිච්චි නන්දෙට එක දේකින් බේරෙන්න බැරි උනා. අවුරුදු 49 ක් වෙචිච් නන්දෙ, එක දවසක හවස ගෙදර යන පාරේ, එයාගේ බයිසිකලේ උඩම මැරිලා වැටිලා හිටියා.

නන්දෙගේ මරණෙ වැඩ කටයුතු කරන්න අර වෘත්තිය සමිති කාරයෝ එකා වගේ ලක ලැහැස්ති උනා, මහන්සි උනා. ඔපීසියේ ලොකුම ලොක්කගේ ඉදල හැම ලොක්කමත්, සොක්කමත් නන්දෙගේ මරණෙට සහභාගී උනා. ඒ මරණය හැමෝටම කම්පනයක් ගෙනාවට හුගක් අය ඒ මරණය කොයි මොහොතේ හෝ බලාපොරොත්තුවෙන් හිටිය විත්තිය නන්දෙගේ පෙට්ටිය බලපු හුගක් අයගේ ඇස් වලින්ම එළියට පැන්නා. මොන දේ උනත් බොහොම වැදගත් විදියට මරණෙ අවසන් කටයුතු සිදු උනා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම හැම එකාටම කියන එකම හෑල්ලේ නම විතරක් රිප්ලේස් කරල යකඩ කටින් එළියට දාලා අනිත් අයගේ කන් වලට ගෙනැත් දැම්මා. ඒවා අහපු හුගක් අය පිටිපස්ස පැත්තෙන් හිනා වෙන්න ඇති කියල හිතෙන තරමට ම එතැන හිටි කස්ටියේ පස්සවල් නට නට ළග හිටි කෙනාගේ ඇගේ වදින්න උනා. හුග දෙනෙක් අතර පුදුමාකාර අයි කන්ටැක්ට්ස් හුවමාරු උනේ නිකං නක්කලේට වගේ. ඒත් ඔහේ වගේ වගක් නැතිව හාමුදුරුවෝ තමන්ගේ දේශනාව හමාර කරල ගිහි දේශන වලටත් ඉඩ පරස්තාව සැලසුවා. ඒකත් හාමුදුරුවන්ගේ අච්චුවේ ඒවටම වෙනස් නොවුනත් නන්දෙගේ මිත්තරයෙක් විදියට කතාව පවත්වන්න භාර දීල තිබ්බ සිරිල් ගේ කතාවෙන් මුළු මළගෙදරම කොටින්ම කිව්වොත් හාමුදුරුවෝ පවා ලැජ්ජා උනා.

“ගරුතර මහා සංඝරත්නයෙන් ද, නැදෑ හිත මිත්‍රයන්ගෙන්ද, විශේෂයෙන් උඩුකරුව සයනය කර සිටින නන්දසේන මහතාගේ පවුලේ උදවියගෙන්ද අවසරයි. නන්දසේන මහත්තයා කියන්නේ මට හිටිය හොදම මිත්‍රයෙක්. මට වැඩ කරන්න උනේ නන්දෙගේ මේසේ ගාවමයි. අළුතෙන් පත්වීමක් ගත්ත මට, ඔපීසියේ හුගක් අය කරුණු කාරණා කියල නොදෙන කොට, ඒ අයටත් බැන බැන උඹ මෙන්න මෙහෙම කරපං කියල මගේ මේසේ ළගට ඇවිත් අත් දෙක තියාගෙන කරුණු කාරණා කියා දුන්න විදිය මට දැනුත් මතක් වෙනවා. තමන්ට තිබ්බ දැනුම කිසිම අඩුවක් නැතිව ලොකු පොඩි බේදයකින් තොරව ඕනම කෙනෙකුට එක ලෙසටම දෙන්න මගේ මිත්‍රයා, නන්දේ පසුබට උනේ නැහැ. මම එහෙම කිව්වොත් වැරදියි මම හිතන්නේ නන්දේ හිතුවේ තමන් දන්න දේ තව කෙනෙකුට කියල දෙන එක එයාගේ ලොකු වගකීමක් විදියට වෙන්න ඇති. ඔය කාරණා නිසා මම නන්දෙගේ ආශ්‍රය බොහොම ප්‍රිය කළා. ඒ වගේම මම සෑහෙන්න දෙයක් නන්දෙගෙන් ඉගෙන ගත්තා වගේම, අවාසනාවට උනත් නන්දෙට ලැබෙන්න, ඕන තරං ඉඩ පරස්තා තිබුනු උසස් වීම් අවස්ථා නන්දෙට කලින් මට ගන්න පුළුවන් උනේ, ලෝභ කමක් නැතුව නන්දෙ මට හැම දේම කියල දුන්න හින්දයි. ඒ හින්දා මම මෙතැනදි හද පතුලෙන්ම සෝක වන අයගෙන් කෙනෙක් කියල කියන්න ඔබ මට අවසර දෙන්න ඕන. ඒ වගේම මේ මොහොතේ ඔහුගේ මරණය වෙනුවෙන් නොසෑහෙන්න සතුටු වෙන කෙනාත් මම වෙන්න ඇති කියල බය නැතිව කියනවා.“

අවමංගල සභවේ හැමෝගෙම ඇස් ජම්බෝල වෙන්නටත්, කසු කුසුවක් පැතිරෙන්නටත් වැඩි වෙලාවක් ගත උනේ නෑ. සිරිල් ඒ කසු කුසුව නිහඩ වන තෙක් තමන්ගේ වචන හංගාගෙනම හිටියා.

“ඔව් මම දන්නවා ඔය හැමෝම හිතනවා ඇති මට වැරදිලා මොකක් හරි කියවුනා කියලා. නෑ.. මම ඇත්තටමයි කිව්වේ. නන්දේ හොද කෙනෙක්. ඒ වගේම තව කාලයක් ජීවත් වෙලා සමාජයට උසස් සේවයක් කරන්න හිටිය කෙනෙක්. ඒක නිසා ඔහුගේ වියෝව මට දරාගන්න බෑ. ඒත් නන්දෙගේ ළගම හිටිය මිත්‍රයා විදියට මට ඔහුගේ මරණය සතුටක් ගෙන දෙන්නේ, ඔහුගේ මරණයෙන් අඩුම ගානේ එයාගේ පෙන්ෂන් එකවත් දරු පවුලට සම්පුර්ණයෙන්ම භුක්ති විදින්න පුළුවන් වෙන හින්දා.

නන්දේ මැරුණම මම දුක් වෙන්නේ නන්දේ තමන්ගේ අරක්කු බීම වෙනුවෙන් බැංකු වලින් අරගෙන තියෙන ණය ටික, මේ දරු පවුලට ගෙවන්න වෙන හින්දයි.

ඒ වගේම මම සතුටු වෙන්නෙ නන්දෙට හිමි එයාගේ සේවය වෙනුවෙන් හිමි වෙන්න ඕන පාරිතෝෂික, සංගම් වල මුදල් අඩුපාඩුවක් නැතිව දැං මේ දරු පවුලට ලැබෙන හින්දයි.

මම මේ මර‍ණෙ ගැන දුක් වෙන්නේ, වෘත්තිය සමිතියට හිටපු පතාක යෝදයෙක් නැති වෙච්ච හින්දයි. ඒත් සතුටු වෙන්නේ තව දුරටත් වෘත්තිය සමිති නිලධාරින්ගේ වංචා සහගත වැඩ වලට නන්දේ ගේ සහයෝගය නොලැබෙන හින්දයි.

මෙතැන දේශනා පවත්වපු අපේ හාමුරුවන් වහන්සේ ඇතුළු අනිත් උදවිය කියපු ඒවායින් හුගක්ම දේවල් බොරු කියල මම අවංකව කියනවා. මොකද නන්දෙ වැටිල ඉන්න වලෙන් ගොඩ ගන්න මම මට පුළුවන් උපරිම මහන්සිය ගත්ත හින්දා. ඒක නිසා මට නන්දේ ගැන බොරු කියන්න ඕන නෑ.. මම අදුරගත්ත නන්දේ හොද මිනිහෙක් ඒ උනත් මැරුණු නන්දේ නරක මිනිහෙක්. සමාජයට විතරක් නෙමෙයි ගෙදරටත්. දරුවන්ගේ ඉස්කෝලේ වැඩක්වත් කරල නොදෙන, ගෙදර වැඩක් පලක් දිහා ඇහැක් ඇරල නොබලන මිනිහෙක්ගෙන් ගෙදරට ඇති සෙතේ මොකක්ද? ඔව් මම දන්නවා නන්දෙගේ පඩියෙන් තමා මේ පවුල ජීවත් කරේ කියල කියන්න පුළුවන් කියල. ඒත් අවංකව බැලුවොත් නන්දේ එයාගේ පඩියෙන් කරේ බොන එක විතරයි. ගෙදර වියහියදම් වලට සල්ලි හොයාගත්තේ මේ අහිංසක කාන්තාව තමන්ගේ අතේ කරගැට එනකං ඇදුං මහල, එළවලු වවල, තවත් නොයෙකුත් අරගල කරල. ඉතිං එහෙම කෙනාට ලැබෙන්න ඕන ගෞරවයක් මෑත කාලීන නන්දෙට ලැබෙන්න කොහෙත්ම ඉඩක් නෑ.. මම තාම බැදල නෑ. මට දෙමාපියෙක් නෑ. මට කිසිම දේකින් බාදාවක් නෑ. ඒත් මොන නිදහස හෝ අවස්ථාව තිබුනත් මම සිටිය යුතු තැන මිස නොවැඩකට මගේ අත පොවන්නේ නෑ. ඒ හේතුව හින්ද, මගේ හිතාදර මිත්‍රයගේ වියෝව ඇත්තටම මට දරාගන්න අමාරුයි. ඊටත් වඩා මේ දරු පවුල තමන්ගේ ඉදිරි කටයුතු කරන විදිය ගැන මට සහතිකයක් දෙන්න විදියක් නෑ. ඒක නිසා මගේ හිතවත් මිත්‍රයා වෙනුවෙන් මම මේ රැකියාවෙන් අස් වෙනවා. මට ඒකෙන් ලැබෙන්න ඕන මක්කෝම සල්ලි ටික, මේ දරු පවුලට දීලා මම ආයේ ගමට යනවා. ආයේ රස්සාවක් හම්බ උනොත් කරගෙන ඉන්නවා. එච්චරයි. හුගක් අයට නන්දෙගේ ඇත්ත තත්වය තේරුම් ගියා නං, ජීවිතේ ගැන අවබෝධයක් ලැබුනනත්, මේ කතාව හින්දා මට හම්බ වෙන ගල් මුල් වලට වඩා ඒ දේ වටින බව කියමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!.

මුළු අවමංගල සභාවම ජීවයෙන් පිරුණු ස්ථානයක් බවට පත්වෙන්නේ මිනිසුන්ගේ පැහැදුනු සිත් හා මුහුණු වලින්. කතාව අවසන් කළ සිරිල් පාර දිහාට හෙමින් පිය නගින විදිය හැමෝම බලා හිටියේ පුදුමයෙන් වගේ.

නිමි.

40 comments:

  1. සිරිල්නං මාර මිනිහෙක් තමයි.

    'ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම හැම එකාටම කියන එකම හෑල්ලේ නම විතරක් රිප්ලේස් කරල යකඩ කටින් එළියට දාලා අනිත් අයගේ කන් වලට ගෙනැත් දැම්මා' ඒකත් ඉතිං බණ කියනව වගේ වැඩක්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ප්‍රසා.. තැන්කුයි..

      Delete
  2. යකෝ දිග වැඩි රැටම කියවන්නං

    ReplyDelete
    Replies
    1. ඇයි බොල රෑට දිග ඒවා විතරද අදින්නේ.. හැක්...

      Delete
  3. මේක ඇත්තම කතාවක්ද බන්?

    ReplyDelete
    Replies
    1. කව්ද බං අයියේ කිව්වේ ඇත්ත කතාවක්ය කියලා... හැක්...

      Delete
  4. @ දේශකයා

    මට එක පාරෙන් ගොඩ දාන්න අමාරුයි මේක ...
    තව අවස්ථා දෙකක් වත් දෙන්න මට ..:(


    @ අනෝ දේශකයා

    ඔයාට මේක අමතක උනාද ..?

    එන්න මේකටත්
    රසකතා

    ReplyDelete
    Replies
    1. අපොයි දෙන්නං ඕං මගේ මේ කෙහෙම්මල් බලගේම ගනිංකෝ හෙනං...

      Delete
  5. හදවත පතුලටම වැදුනා දේශකයා මේ කතාවනම්...මොකද ඔය කියන දේවල් මගේ අතිනුත් වෙන නිසා...

    ReplyDelete
    Replies
    1. වැදුනාට මදිය රත් වෙන්නද ඕනැය.. මගේ අතිනුත් සමහර දේ වෙනවා...

      Delete
  6. මළගෙවල්වල ඔය බොරු වර්ණනා කතා මටත් පේන්න බැහැ.කතා කරණ මිනිහටත් අන්තිමට මතක නැහැ කා ගැනද කතා වෙන්නෙ කියලා. පවුලේ සාමාජිකයෙක් පිටරටක හිටියොත් විනාසයි. පිටරට ඉන්නකෙනා ගැන තමා ඊලඟට කතා කරන්නෙ. ඇත්ත උනත් බොරුවුනත් මේ යාලුවගෙ කතාව නම් හරිම අපූරුයි :)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සෝන්යා.. අනිවා ඔයා කියනව හරි බර අත්තට තමා වැඩිය නැමෙන්නේ.. හාමුදුරුවොයි අරකයි මේකයි කියල වෙනසක් නෑ...

      Delete
  7. සිරිල්ගෙ කතාව නම් සුපිරියි...ඇත්තටම මල ගෙවල් වලදි නැති ගුණ ගායනා කරන කොට ඇත්ත දන්න අයට හිනා යනවා..ඒක මල මිනියටත් කරන අගෞරවයක්..හොඳ දේ නැත්නම් කතා නොකරම ඉන්නවා නම් ඒත් කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් කැමති නෑ බං ඔය බොරු විකාර කියවනවට. විකාරයක්ම නෙව ඒක..

      Delete
  8. අනේ ඇත්තමයි මටත් ඔය කතා නං අහගෙන ඉන්න බෑ අප්පා.. නලියනවා... වෙන එකක් නෙවෙයි මගේ වෙඩිම දවසේ අපේ සීයා කෙනෙක් කතාවක් පවත්තන්න පටන් ගත්තම මං හිනාව තදකරන් ඉන්න බැරුව දඟලනකොට අම්මා මට වැලමිටින් ඇන්නම, මට කඳුළුත් ආවා...

    “ ... මේ අපේ දුවත් බොහොම හොඳට ගෙදර දොර වැඩකටයුතු, මැහුම් ගෙතුම් එහෙම අම්මගෙන් ඉගෙන ගෙන.... ” කෑල්ලට තමයි මට හිනාව නවත්තගන්න බැරි උනේ... එතන හිටපු ඔක්කොම දන්නවා මම ජීවිතේට කුස්සියට කැමැත්තෙන් නම් ගියේ නැති එකෙක් කියලා.. අපේ නැන්දම්මත් දන්නවා... හි හි.... පොල් සම්බෝලයක් හදාගන්න විතරයි යන්තම් පුළුවන් කියලා අපේ අම්මලා ඒ කට්ටියට පළවෙනි දවසෙම කිව්වනේ.... ලේන්සුවක් වත් මහගන්න බැරි බවත් ඒ ඔක්කොම දන්නවා... අනේ ඉතිං මොනවා කරන්නද... සීයලානේ.... හි හි.... ( දැන් නම් ඔය ඔක්කොම පුළුවන් හරිද... හි හි)

    ඇත්තටම මට හරි ආසයි මේ වගේ තැනකදි මරුණ මනුස්සයගේ හොඳ, නරක ගැන අනිත් මිනිස්සුන්ටත් හිතන්න පුළූළුන් වෙන විදියට, ඇත්තම කතාවක් අහන්න.. ඒත් එහෙම තැනක් නම් මට තාම හම්බුවෙලා නෑ.. .

    ඊයේ පෙරේදා බණක් තිබ්බා...ආච්චිගෙයි සීයගෙයි දානෙට කලින් කියන බණ.. මතක බණ කියලද ඒවට කියන්නේ.. කො‌ෙහාම හරි ඒක තිබ්බේ පන්සලේ.. පවුලේ ළඟම අය විතරයි... ඇත්තටම ඒ වැඩේ හොඳයි කියලා මට හිතුනේ ගෙදරක ඔය පැයේ බණ අහන කට්ටියට වැඩිය ඉන්නේ එළියට වෙලා ඕපදූප කියවන අය නිසා ... හැබැයි කියපු බණ නම් ඉතිං ආයිත් කතා කරලා වැඩක් නෑ... මට හෙන ප්‍රශ්න ගොඩක් ආවා.. කොහෙද.. ඒවා අහන්න ගියා නම් කට්ටියවම පන්සලෙන් එලෝනවා හාමුදුරුවෝ.. ඒක නිසා හිනාව තද කරන්, කට පියං හිටියා... හි හි

    ReplyDelete
    Replies
    1. අපේ පුරාණ චාරිත්‍ර එහෙම තමා බං.. උඹට කියපු ඒවට ඒ වෙලාවෙම උඹ හිනා නොවුන එක තමා පුදුම..

      Delete
  9. ඔක්කටම ඉස්සෙල්ලා අපායේ යන්නේ ඔය ගුණ කතන කරන උන්..

    ReplyDelete
    Replies
    1. එහෙනං අවුලක් නෑ බං.. හැක්...

      Delete
  10. ගොතපු කතාවක් වුනත් යාලුවො වෙනුවෙන් ගොඩාක් කැපවෙලා ඉන්න අයට මෙය උපහාරයක් කියලයි මට හිතෙන්නෙ.සමහර යාලුවො ඉන්නවා ඇත්තටම තම යාලුවන්ව බීමෙන් මුදාගන්න ගොඩක් දේවල් කරන.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි...ඔව් අඩුවෙන් උනත් හොද යාළුවො ඉන්නවා ඒත් කරුමෙට අර හාදයොන්ට උන්ව පේන්නෙත් මරුවෝ වගේ...

      Delete
  11. හිතේ තිබ්බ ආවේගය එහෙම පිට කරලා.ඒත් මැරුණු යාළුවගේ රෙද්ද ගලවන්නේ නැතිව කරන දෙයක් රහසේ කරා නම් හොඳයි සිරිල් නිකම් එතන පොර වෙන්න හැදුවා.කව්ද දන්නේ ඔය කිව්වට මිනිහා රස්සාවෙන් අයින් වෙයිද කියලා?

    ReplyDelete
    Replies
    1. මචං ලෝකේම තියෙන්නේ මායාවයි බොරුවයි විතරයි. ඇත්තට තැනක් නෑ.. ඕං බලාපං මම හොදෙයි කියල උඹ කිව්වොත් මට හෙන හිනාවක් එනවා. ඒත් උඹ මම නරකෙයි කිව්වොත් මම රවනවා. ඒත් මම දන්නව නෙව මම නරකෙයි කියලා. ඒත් ඒක තමා හැටි අපි මායාවට අහුවෙච්චි පුහු අදහස් පුරවගත්ත අය බං... හැක්.. අර මිනිහා රස්සාවෙන් අස්වේවිද කියල ඉතිං මටම තමා බලන්න වෙන්නේ. හැක්...

      Delete
  12. කොන්ද කෙලින් තියෙන මිනිහෙක්......

    ReplyDelete
    Replies
    1. ඔව් බං මට හුගක් අය කියනවා මං කොන්ද කෙලින් තියාගෙන ඇවිදින එකෙක් ය කියල.. හැක්. හෙහ්. විහිළුවට අනේ.. තැන්කුයි..

      Delete
  13. කැප කිරීමක්.. ?

    උදේ හිට රෑ වෙනකල් බොන උන්ගේ තත්ත්වය නම් ඕක තමයි. මං දන්න ඔය වගේ කීප දෙනෙක් ඉන්නවා. උන්ගේ ගෙවල් වල අය පුදුම දුකක් විඳින්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා චන්දන. මිනිස්සු හරිම පුදුම විදියට ඕකට ඇබ්බැහි වෙනව නෙව.. හැම දේම අමතක කරල.. බැදීම් ඇති කරගත්තා නම් ඒ බැදීම් සමග ජීවත් වීමයි වෙන්න ඕන. නැතුව තමන්ගේ හිතුමතේට හැම දේම විනාශ කරන එක නෙමෙයි.. තැන්කුයි

      Delete
  14. දුකයි හොඳ මිනිසෙක් අකාලයේ නික්ම යෑම ගැන.

    නන්දෙ වගේ මිත්‍රයෙක් හිටියනං මාත් ඉක්මනමට මැරෙනවා,ඔව්, මැරිල බලමු!
    තව චූටි ප්‍රශ්නයක්?
    නන්දෙ මෙච්චර කල් බලං හිටියෙ ඇයි අර මිනිස්සු දුක් විඳිනකං කලින්ම අස්වෙලා සල්ලි ටික දීල යන්න තිබුන.

    නොබොන වෘත්තීය කාරයෙක් හොයා ගන්න නම් අමාරුතමයි.

    මරුන මින්සුන්ට දොස් නොකීම එක අපේ සංස්කෘතියෙ ලක්ශණයක් නිසා හාමුදුරුවරුන්ට ඇත්ත කියන්න අවසර නෑ. එහෙම උනොත් මිනිස්සු ඒ පන්සල වර්ජනය කරාවි

    ReplyDelete
    Replies
    1. කෙලින් කියන්න අවසර නෑ කියල ඔය හාමුදුරුවෝ හදාගත්ත බයිලයක් නෙව.. නැත්නං ඉතිං මුලික දේ මුසාවාද වේරමනි කියල නෙව බ්දු හාමුදුරුවෝ කිව්වේ...

      අම්මප උඹටත් නන්දෙට නෑ කමක් තියෙනවද???

      Delete
  15. යාලුවෙක් විදියට සිරිල් කල කතාව හරිම අගෙයි. හැම කෙනෙක්ම ඔහොම කලානම්, ඔය බොරු වර්ණනා ඉබේම නතර වෙනවා. සමහර මලගෙවල්වලට එන හාමුදුරුවරු පවා මියගිය අයගේ නම සහ පුදගලයා වරද්දගෙන කරපු කතා ගැනත් මම අහලා තියනවා.

    දේශකයා හිටපු හැටියේ නොපෙනී ගිහින් හිටපු හැටියේ උඩට එනවා නේද? :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නං ඇත්ත.. බයිල පටං ගත්තම තමා හාමුදුරුවන්ටත් මතක් වෙන්නේ හුටා මේ මැරිච්චි එකාගේ නම දන්නෑ කියලා.. හිනා කනවා. බොරු විකාර නෙව..

      උඩ යට යන එකට උත්තරයක් දෙන්නං බොලා අහන එකේ ඉවරයක් නැති හින්දා...

      Delete
  16. මල ගෙවල් වල කතා කිරිල්ල තරම් එපාවෙන දෙයක් තවත් නෑ.. ඇත්ත කියන්න බැරි නිසා. අර වගෙ මිනිස්සු යන එක නං ඉන්නවට වැඩිය හොඳයි තමා.

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත. උං යන එක හොදා තමා...

      Delete
  17. රැකියාවෙන් අස්වීම නං තේරුම්ගන්න බෑ.කොටින්ම ඒ කෑල්ල නැතිවුනානං හොඳයි. අනිත්ටික නං පංකාදුයි.

    කාර්යාල වල ඉස්සර නං හිටිය අනන්තවත් ඔයවගේ ඩයල්. දැං නං ටිකක් අඩුයි.

    ReplyDelete
    Replies
    1. රාජ් කිව්ව දේ මටත් හිතුනා.. ඇත්ත කියල හිතෙනවා බං මොකද මටත් තේරුනා සිරිල්ගේ හෘද සාක්ෂිය මීට වඩා වෙන විදියකට දාන්න තිබුනයි කියලා. තැන්කුයි වේවා අදහසට ආයේ ලියන කොට අනිවා උඹව මතක් වෙනවා මේ වගේ ගොං වැඩ වලදි...

      උඹල රජයේ හින්දා ඔය ගැන හුගක් දන්නවා ඇති. ඒත් අපිට පෙරිල එන්නේ ටිකයි නෙව..

      Delete
  18. හාමුදුරුවරු පටන් ගන්නෙ පන්සලට හිතැතිව හිටපු මේ උපාසක මහතා කියලා පස්සෙ මයික් එක වහල ලග ඉන්න කෙනෙක්ගෙන් මැරුන කෙනාගෙ නම අහනවා..

    ReplyDelete
    Replies
    1. මටත් උඹ කිව්ව එක මැවිල පෙනුනා මොකෝ කියන්නේ හැම තැනම වගේ මාත් ඒක දැකල තියෙනවා.. හැක්.. ලැජ්ජාවේ බෑ බං මැරුණට පස්සෙත්

      Delete
  19. උඹත් මෙරු මතුවෙනව වගේ මතුවෙලා නැතුව යනව නේද බං,යමක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න උඹට තියෙන හැකියාව හරිම අගෙයි.
    අර සිරිල්ව රස්සාවෙන් අස් නොකලා නං හොඳයි මොකද ඌ රස්සවෙන් අස්වුණාට අර පවුලට ලැබෙන අමුතු වාසියක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. හැලපයියා. රාජ්ට කිව්වා වගේ බොටත් තැන්කුයි අඩුපාඩුව පෙන්නුවට. මටත් ඒක පස්සේ හිතුනා.. ඒත් ඉතිං ගිල්ලට පස්සෙ වමාරන්න අපි හරක්යැ.. හැක්... මෙරු සීන් එකට උත්තරයක් දෙන්නංකෝ.. වදේ උඹලගෙන් බේරිල්ලක් නෑනේ...

      Delete
  20. නන්දේලා වගේම සිරිල්ලාත් මේ සමාජයේ ඉන්නවා බලන් ගියාම අහිමිවෙන්නේ ඒවගේ අයම තමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දයියා... (දයා+අයියා) හැක්..

      සමාජෙ වැඩියෙන්ම ඉන්නේ නන්දෙලා තමා. සිරිල්ල නැති හින්දා තමා අපි ඒ වගේ අය හොයන්නේ..

      Delete