Wednesday, September 5, 2018

බුකි බුක් චැලෙන්ජ් (Book challenge in FB)

බුකියෙ විටින් විට එක එක ජාතියේ රැළි එනවා. අපි නං කැමති ලීක් වෙන රැළි වලට තමා. ඒ උනාට ඒවා කළුනික වගේ. හරීම කලාතුරකින් තමා එන්නේ. ඒ අතරේ එක එක චැලෙන්ජ් එනවා අයිස් බකට්, අමුමිරිස් වගේ ඒවත්. හරිම සන්තෝසෙන් කියන්නේ මං ඔය කිසිම චැලෙන්ජ් එකකට සහභාගී උනේ නෑ.

මේ වතාවේ නං බේරෙන්න බැරි උනා. බිත්තිය බ්ලොග් එක ලියන උතුම් පැතුම් හේරත් විසින් දවස් හතක් තුල අනං මනං නොකියා පොත් හතක පිට කවර දාලා දවස් හතට කවුරු හරි හාදයෙක් ජාවාරමට නම් කරන්න කියල ගියපු බුකි බුක් චැලෙන්ජ් එකට පැතුම්ගේ තුන්වෙනි දවසේ වෙන්ටෝනෙ මාව නොමිනේට් උනේ. සාහිත්‍ය මාසෙත් එන එකේ අන්න වැඩේ කියල මං බෝම සන්තෝසෙන් ඒ අභියෝගය බාර අරගෙන දවස් හතට පොත් හතක් දැම්මා. ඒ පොත් හත පොඩි කාලේ ඉදල මේ දවස් වෙනකම් මගේ පරිනාමයට අනුකූල වන පරිදි පිළිවෙලට දාන්නත් මං උනන්දු උනා.

කියන්න කනගාටුයි ඔය ජාවාරමට නම් කරපු කීප දෙනෙක්ම සද්ද වහල හිටියා. උන්ට නං ඕක් ලීයක් අරන් තඩි බාන්නේ අපේ වසන්තම් ලී කෙලි පටන් ගත්ත දවසක.

දවස් හතේ නම් කරපු ගෝතයන් ගැන විස්තර මුලින්ම


මේ මිතුරන් හත් දෙනා අතරින් කුෂාන් සහ ඉන්දික කොඩිතුවක්කු තවම අභියෝගය බාරගෙන නැහැ. ගල්මල් අයියා (මුබාරක් ඩීන්), රාමදාස, සොඳුරු සිත කියන මිත්‍රෙයා් ටික කුඩා ප්‍රමාණයකින් අභියෝගය බාර ගත්තා. ඒ වගේම ප්‍රදීප් චන්දන සහ තරිඳු යන දෙන්න සම්පූර්ණයෙන්ම අභියෝගය බාර ගෙන ඇති බවත් දැක්කා. හැමෝටම ස්තුතියි.

ඒ චැලෙන්ජ් එකේ හැටියට කව්රු හරි නම් කරල පොතේ පිට කවරෙ පින්තුරයක් දාලා නිකා ඉන්න ඕන. ඉතිං මට හිතුනා ඔච්චර කියන්න දේවල් තියෙද්දි නිකං ඉන්නේ මක්කටද කියලා. අන්න ඒ නිසා මම තීරණය කරා මම දාපු පොත් හත ගැන පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාලා ඉන්න ඕන කියලා. ඔන්න පහලින් ඒ විස්තරේ ඇති. ඊටත් පහළින් ඔහේලට දික් කරපු බුලත් කොළයක් ඇති ඒකත් අරගෙන යන්ට හොදේ.

පළවෙනි දවස





මං පොතක් කියල මුලින්ම කියවපු පොත මේක. මම අතට ගන්න කොට පොතේ පිට කවරයක් තිබ්බෙත් නෑ. මුල සහ අග පිටු කිහිපයක් තිබුනෙත් නෑ. මං එතකොට පහේ පන්තියේ විතර ඇති. අපේ ගෙදර තිබුනා සොල්දරයක්. ඕකේ පුරාම දාලා තිබුනේ ගෙදර තිබුන පරණ බඩුයි අරවයි මේවයි තමා. කාලයත් එක්ක සොල්දරේ ලෑලි හෙමත් දිරල තිබ්බ නිසා අම්මා අපිට සොල්දරේට යන එක තහනං කරල තිබුනේ. ඒ උනාට ඔය කාලේ හම්බෙච්චි ප්ලේබෝයි පින්තූර කෑලි හංගන්න තැනක් නැති නිසා මංතෝරගත්තෙ සොල්දරේ. අන්න එහෙම ඒ පින්තූර තියන්න තැනක් හොයන කොට තම මේ වගේ පොත් ගොඩක් හම්බුනේ. ඒ පොත් අතරින් ඉස්සෙල්ලාම අතට ගත්තෙ මේ කවර නැති පොත. ඒක ඇතුලෙ අර පින්තුර ටික දාල පරිස්සමට අරන් තිබ්බා පස්සේ ඕන වෙලාවක බලන්න හිතාගෙන. කෝම හරි ටික දවසක් යන කොට අර පින්තූර ටික යාලුවෙකුට දෙන්න වෙලා පොත අතට අරගෙන බලන කොට තමා ඒකේ අකුරු කියවුනේ. ඉස්සෙල්ලම දැක්කේ “සැමෝවාරය“ කියන වචනේ වගෙයි මතක. මොන කුනුහබ්බයක්ද මේ කියල ඒ සැමෝවාරේ කියන වචනය හොයන්න තවත් පේලි දෙක තුතක් කියව්වට ඒක තේරුනේ නෑ. ඒපාර තව පිටු දෙක තුනක් එහා මෙහා කියවන්න ගත්තම තමා තේරුනේ මේ මොකක්ද කියල එක. අන්න ඒ පළමු පියවර නිසා මට ඒ පොත කියවන්න හිතුනා. ඔය කපිතාන්ගේ දියණියෝ කියන කතාව තමා මං කියවගෙන ගිහින් තිබුනේ. ඒකත් එක්කම ඉස්කෝප්ප රැජින කතාවත් තිබුනා. ඒ කතාවත් කියෙව්වා. සමාර වචන තේරුම යනකං දෙතුන් පාර කියවන්න උනා මේ පොත. ඒ පොත කියවල ඉවර උනාම මං බැලුවා ඒ පොත් ගොඩේ තවත් මේ වගේ පොත් තියේද කියල. අන්න එතකොට හමුඋනා ගොගොල්ගේ හිමකබාය සහ තවත් කතා පොතක්. මේ සේරම රුසියන් පොත් කියල දැනගත්තට ඒ වෙනකම්ම මං දැනං හිටියේ නැ රුසියන් සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලවත්. අපේ අම්මලයි පුංචි මාමා තමාලු ලුමුම්බා සරසවියේ හිටපු සිංහල ආචාර්යවරයා. අම්මල ඔය කතාව පුරාජේරුවට දහ දොලොස් වතාවක් කියල තිබුනට මං නං සතේකට විස්වාස කරේ නැ. ඒ උනාට මේ රුසියන් පොත් එයාගේ කියල අම්මා පස්සේ කිව්වා. ඔන්න ඔතනින් තමා මං කියවන්න පටන් ගත්තේ. ආරම්භය නරකම නෑ නේද?



දෙවැනි දිනය




ඔය විදියට පටන් ගත්ත රුසියානූන්මාදය සෑහෙන්න කාලයක් එක දිගට අල්ලල හිටියා. ගෙදර සොල්දරේන් හම්බු උන හොඳ පොත් වගේම බාගෙට ගැලවුනු, ඉරුණු, වේයෝ කාපු පොත් හෙමත් අමාරුවෙන් කියෙව්වා. ඔව්ව කියවගෙන ඉන්න කොට මගේ වයස නිකම්ම ගියා. එතකොට මං හතේ අටේ විතර ඇති. දැං ගෙදර කියවන්න පොත් නැති නිසා මං අපේ ගමේ පුස්තකාලේට යන්න ගත්තා. හැන්දෑවට පුස්තකාලේට ගියාම ආයි ඒක වහනකම්ම රුසියන් පොත් අරන් කියෙව්වා. පුස්තකාලේ මට මතක විදියට හොද රුසියන් පොත් එකතුවක් තිබුනා. ඒ කාලේ අපිට පොත් ආවේ රාදුගා පබ්ලිෂර්ස්ලගෙන්. රාදුගා කියන්නේ දේදුන්න කියල මං රුසියන් වලින් තේරුමත් හොයාගත්තා. ඔය පොත් බොහොමයක් පරිවර්තනය කරල තිබ්බේ දැදිගම වී. රොද්‍රිෙගා් මහත්තයා නේ. අන්න ඒ පොත් වල රුසියන් බසින් පොතෙ නම, කතුවරයගේ නම සහ පරිවර්තකයගේ නමත් සඳහන් කරල තියෙනවා. ඒ අකුරු දිහා බලාගෙන තටම තටම රුසියන් හෝඩිය, අකුරු හදන ආකාරය, වචනයක් කියවන විදිය වගේ දේවලුත් මං කරා. ඒකෙන් පොත් වල තියෙන මේ වචන කීපය අමාරුවෙන් හරි කියවන්න පුලුවන් උනා තේරුම නොදැන උන්නට. ඇත්තටම හරිම රසවත් අත්දැකීමක් මට ඒක. මං ඒ දවස් වල ලස්සනට තියාගෙන හිටිය පරණ ඩයරි වල රුසියන් අකුරෙන් සිංහල ලිව්වා. එව්වට කියන්නේ සිංරුසියන් වෙන්ටැති. ඔන්නොහොම රුසියන් පොත් කියවන් ඉද්දි මට ආයෙත් වයස ගියා. දැං මං දහයේ විතර ඇති. පුස්තකාලේ තිබ්බ සියලුම පොඩි රුසියන් පරිවර්තන පොත් මං කියවල ඉවරයි. සමහර ඒවා දෙතුන් පාරත් කියවල තිබුනා. ඒ අතරින් ඉතිරි උනේ ගෝනි පොත් කීපයක් විතරයි. තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, දොස්තයෙව්ස්කිගේ අපරාදය හා දඩුවම, නිවටයා, කරමසෝ සහෝදරයෝ වගේ හෙන දඩාර් සයිස් පොත්. ඔව්වා මේ පොඩි එකා වෙච්චි මට උහුලන්න පුලුවන් පොත් නොවෙයි කියල මං හිත හදාගත්තා. ඒත් පුස්තකාලේ කියවන්න තවත් රුසියන් පොතු නැති කොට, අලුතෙන් පොත් එන්නෙත් නෑ. ඒක නිසා මං හිතහදාගෙන පුස්තකාලේ සාමාජිකත්වය ගත්තා. එහෙම අරගෙන නමෝ විත්තියෙන් ගෙදර අරන් ගියේ අපරාදය හා දඩුවම පොත. ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් පිටු තිහ හතළිහ කියවන කොට හිතුනා මොන කරුමක්කාර කමකට ගෙනාවද මේ පොත. ඇත්තටම මේ වගේ අපරාද පොතක් කියවන කොට ලැබෙන දඩුවම මේක තමා කියල හිත හිත තව ටික ටික කියෙව්වා. ඔන්න මැද හරියට යන කොට තමා ටික ටික තේරුනෙ මෙච්චර පිටු ගනන් එක දිගට විස්තර කරන්නේ රෝඩියෝ රෝමනෝවිවි රැස්කොල්නිකොව්ගේ චෛතසිකය කියන එක. ඒවයේ සිතුවිලි අකුරු වෙච්චි දිහා බැලුවම මට හිතුනා “යකෝ මාත් මේ වගේ හිතනවගේ මේ ෆකින් කතෘ කෝමද මේව්වා දන්නේ කියලා“. මේ උත්තේජනයත් එක්ක පොත සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ ඉවර කරල ටික දවසක් යනකම්ම හිත හොල්මන් වෙලා හිටි මම, විටින් විට මට ග්‍රහණය නොව්චිචි තැන් හොයාගෙන ආයි කියෙව්වා. ඒකෙන් මේකෙන් මට දැනෙන දේ වෙනස් වෙන්න සමහර විට දොස්තයෙව්ස්කි අදහස් කරන දේ මට තේරුම් යන්න ගත්තා. අන්න ඒකයි ටර්නිං පොයින්ට්. අපරාදය හා දඩුවම මට අල්ලල ගියා. ඔය පහුගිය කාලේ මං ලියපු කෙටි කතා වල එඩ්ගා ඇලන් පෝගේ ආභාෂයක් තියේය කියල අපේ නවාතැන් රාජ් එහෙම පස් කන්න හැදුවා. මොකද මං මේ වෙන කං ඇලන් පෝගේ පොතක් කියවල නෑ. අන්න එතැනදි අර පස් කාපු රාජ් කිව්වා හරි පෝගේ කතා කියවල නැති උනාට දොස්තයෙව්ස්කි කියවල තියේ නේ. දොස්තයෙව්ස්කිට පෝගේ ආභාෂය ලැබුන නිසා වක්‍රාකාරව මටත් පෝගේ ආභාෂය ලැබුණය කියල. මෙව්වා මහ පුදුම තර්ක හොදේ.. හැක්..

තුන්වෙනි දවස





මොකක් හරි හේතුවක් නිසා මට සුනිල් මාධවගේ ලියවිලි ප්‍රියයි. ඒ සමහර විට සත්‍යවාදියාගේ දිනපොත කොලම් එක නිසා වෙන්නත් පුලුවන්. මොකද මම නොවැරදීම කියවපු කොලමක් තමා ඒක. ඒ කොලමෙමද කොහේද තමා ස්ටීව් බිකෝ ගැන සඳහනක් තිබුනේ. මං එතකොට බිකෝ කව්ද කියලවත් දන්නෑ. හැබැයි සුනිල් මාධව බිකෝගේ කතාවක් “හඬනු මැන නිදහස“ කියල පරිවර්තනය කරල තියෙයි කියල දැනගන්න ලැබුනා. ඒ ආරංචිය ඔස්සේ මම පුස්තකාලයට ගිහිල්ලා මේ පොත හොයාගත්තා. මුල් කවරේ දැක්කම නං හරියට කාල් මාක්ස්ගේ පොතක් වගේ ඔක්කාරෙටත් ආවා. ඒ්ත් මගේ සිරිතක් තමා පොතේ පෙරවදනේ ඉදල තළු මර මර පොත කියවන එක. එ් කියවන කොට දැනුනා පොත හොද එකක් වෙයි කියල. මොකද වීරත්වය, පරාජිකත්වය, කාලකණ්ණී කම මේ හැම දෙයක්ම පොතේ ඇති කියල අනුමානෙන් තේරුනා. ස්ටිව් බිකෝ මොනා උනත් මට අල්ලල ගියේ ඩොනල්ඩ් වුඩ්ස්ගේ නිර්භීත කම. ඔහු නොවන්නට අද ස්ටීව් බිකෝ කෙනෙක් ගැන අපි දන්නෙත් නැ. එහෙන් බිකෝ කියන්නෙ නිකම්ම නිකම් සුදු අප්‍රිකානුවන් අතින් මිය ගිය කල්ලෙක් විතරයි. ඔය පොතේ බිකො එක්ක සාකච්ඡාවකදි සාමාජිකයො ්කියනනවා අපිට බලයක් ආපු දවසට අපිත් සුද්දන්ට හොදට සලකන්න ඕන කියලා. අන්න එතැනදි බිකෝ කියනවා “සහෝදර වරුනි, අපිට සලකපු විදියට සලකන්න අපිත් හදන්නේ ඒ සිස්ටම් එකම නම් මේ සිස්ටම් දෙකෙන් වඩාත් හොද මොකක්ද එහෙම සිස්ටම් එකක් මොකටද“ කියල. අන්න ඒ වචන ටික මට තාමත් හොදින් මතකයි. මේ පොත මම අඩු ගානේ හත් අට වතාවක් කියවන්න ඇති. බිකෝ මරපු කෘරත්වය පෙන්නුම් කරන පින්තූර පවා මේ පොතේ ඇතුලත් උනා. පුද්ගලයෙක් විදියට ප්‍රචණ්ඩත්වයට එහා ගියපු මිනිස්කම දකින්නේ කෝමද කියල මට පෙන්නුව මුල්ම පොත් වලින් එකක් මේක. ඒක නිසා මම මේ පොතට තාමත් කැමතියි.


හතර වෙනි දවස



මේ ප්‍රබුද්ධ කවි පොත මම සේකරගේ කවි වලට තියෙන ආසාව නිසාම හොයාගෙන කියවපු පොතක්. අපි ඉස්කෝලේ යන කාලේ හිතින් පෙම් කරල නොදැනීම සින්ගල් බූට් වැදුනම අමරදේව මාස්ටර් පිහිටට ආපු හැටි ලියපු Adios Master පෝස්ට් එකේ මේ ගැන කෙටි සටහනක් තියෙන නිසා ඒ පෝස්ට් එකේ විස්තරේ බලාගන්නත් එක්ක ඒකේ ලින්ක් එක මෙතැන දානවා. (කොටපියව් මේකට

සේකරගේ මට හිතුන විදියට හොදම කවි පොත ප්‍රබුද්ධ තමා.


පස් වෙනි දවස


ඔය විදියට පොත් කියවං ඉන්න මට හිතුනා මගේ ඇඟ ඇතුලෙත් දොස්තයෙව්ස්කි, ගොගොල්, තොල්ස්තොයි හැංගිල ඉන්නවයි කියලා. අන්න ඒ නිසා මාත් පටන් ගත්තා කවි ලියන්න, පොඩි කතා ලියන්න. එව්වා ලිව්වේ පිටු 80 කොටු රූල් පොත් වල. ඔය වගේ පොත් හත අටක්ම ඕ ලෙවල් කාලේ වෙන කොට මම ලියල තිබුනා. ඒව්ව බලල ස්වයං වින්දනයක් ලැබුවා විනා කිසිම පත්තරේකට ලියන්නවත් ඕන කමක් තිබුනේ නැහැ. හැබැයි ඒ කාලේ බ්ලොග් කියන එක තිබුනා නං අනිවා බ්ලොග් එකක් ලියාවි. ඔන්න ඔය නිර්මාණකරණය නිසා මටත් හිතුනා නිර්මාණ කරන්නේ කොහොමද මේව්වට අනුභූතින් ලැබෙන්නේ කොහෙන්ද චරිත මවාගන්නේ කෝමද කොලයක සටහන් කරන්නේ කෝමද කෙටි කතාවක සැලැස්ම හදාගන්නේ කෝමද වගේ අටෝරාසියක් ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒත් උත්තර හමුඋනේ නැ. ඒත් රන්රෝස කියන පොත මම ගත්තේ ඒකේ කතුවරයාට රුසියන් නමක් තිබ්බ නිසා විතරයි.  මුලින් මුලින් කියවන කොට එච්චර ආසාවක් නෑ. විකාර මාතෘකා තිබ්බේ ඕකේ පරිච්ඡේද වල. සොදුරු සිත ටීචර්ට පුලුවන් නං ඒ හෙඩිං වල නං ටික මට කියන්න.  කොහොම උනත් මෙන්න මේ පොතේ නිර්මාණකරණය කොහොම එකක්ද කියල සඳහන් වෙලා තිබුනා. (මේ පිට කවරේ මං කියවපු පිට කවරේ නෙමෙයි. ඒකේ තිබ්බේ රෝස මලක්ද කොහේද.. මම කියවපු එකේ තිබ්බේ නෑ “නිර්මාණ පිළිබඳ අත්පොතක්“ කියන කැල්ලත්. ) පව්ස්තවුස්කි කියන ලේඛකයා ලෝකය පුරාම අති විශාල ලේඛකයන් සමූහයක් ආශ්‍රය කරල තියෙනවා. තවත් බොහොමයක් ගැන කතා අහල තියෙනවා. අන්න ඒවා හරිම රසවත්. ගොගොල්, ෂොලහොව්, තෝල්ස්තොයි, මෝපසාන්, හාන්ස් ක්‍රිස්ටියන් වගේ විශාල ලේඛකයන් ප්‍රමාණයගේ සත්‍ය අත්දැකීම් මේ පොතේ තියෙනවා. ඒක නිසා මට මේ පොත වෙනම ලෝකයක් උනා. ඇත්තටම රන්රෝස් නිර්මාණකරණයට අත්පොතක් තමා. රණවීර මහත්තයා පස්සේ ඌණපූරණයක් ඇතුලත් කරන්න ඇත්තෙත් ඒ නිසා වෙන්ට ඇති. මේ පොත තරං මං කියවපු පොතක් තවත් නෑ. හාන්ස්ගෙ ඇස් පෙනීම ගැන, ඔහුගේ සංවේදි කම ගැන, සමහර ලේඛකයන් ලියන්න ගන්න කොලය ගැන අරව මේවා ගැන තිබ්බ කතා සේරම හරිම රසවත්. චිංගීස් අයිත්මාතව් පොතක් ලියන්න අනුභුතිය හොයාගත්ත අපූරු කතාවකුත් මට මතකයි. කරුමෙට ඒ පොතේ නම තමා මට මතක නැත්තේ. ඇත්තටම රසවත් පොතක්. ි නිර්මාණ කරන අයෙකුට මං නොපැකිළව නිර්දේශ කරන පොතක් තමා රන් රෝස. ආරිංවංශ රණවීර මහත්මයාගේ පරිවර්තනයන් ඉස්තරම්.


හය වෙනි දවස


ඔය විදියට පොත් කියවපු මං බ්ලොග් එක පටන් අරගෙන බුකියට ගිහිල්ලා රඟන්න ගත්තට පස්සේ හැදුනා පිස්සුවක්. සයිබරේ ලියන්නන් පල කරපු පොත් මිලදී ගන්න එක. දිනිති, තනුජා, පුසාද්, ටිම්රාන්, අරුණි කළුපහන වගේ සෑහෙන දෙනෙකුගේ පොත් මං ගත්තා. ඒ අතරේ ලැබුණ නිර්දේශයක් නිසා තමා රුවන් බන්දුජීවගේ මීළග මීවිත ගත්තේ. ඒකේ පෙරවදන ඉදලම අමුතුයි. මං අතරින් පතර කියෙව්වා. පුදුමයි. මුල ඉදල කියෙව්වා. පුදුමයි. හිත හිත කියෙව්වා. හරිම පුදුමයි. මං රුවන්ගේ කවි වල වැඩි පුරම දැක්කේ ස්වභාව ධර්මයේ නිමැවුම් අපූරු අයුරකින් දකින හැටි. ඒක ඇත්තටම පුදුමයි. මේ කාලේ කවියොන්ට ඔව්වා අහු වෙන්නැ. බතල වැල්, නියඟලා අල, තණකොල මල් ගැන රුවන් ලියපු කවි ඇත්තටම පුදුමයි. ඒ වගේ ස්වභාව ධර්මය දිහා බලල කතා ලියපු කෙනෙක් තමා හාන්ස් ක්‍රිස්ටියන්. ඒ සුරංගනා කතා වල හාන්ස් ලියන්නෙ පරිසරයේ ඔහු දකින දේවල් ලස්සන කෝණයකින් බලල. පුංචි ඩේසියා මල වගේ කතා වලින් ඒක හොදටම පැහැදිලි වෙනවා. අපේ කාලෙ හාන්ස් රුවන් තමා. ඒ කිව්වේ සුරංගනා කතා කියනවා කියන එක නෙමෙයි. ස්වභාව ධර්මය දිහා විශ්මයජනක කෝණයකින් බලන රුවන්ගේ ඇස මට නං තාමත් පුදුමයක්. මං තාමත් සතියකට සැරයක් රුවන්ගේ පොත කියවනවා. මට ඒ වෙලාවට පපුව පිම්බිල රුවන්ගේ හිත ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ. ස්වභාවධර්මයේ ක්‍රියාවන් සම්බන්ධව ඒ දැක්ම කවි වලට අපුර්වත්වයෙන් එක් කළ හැකි මැත කාලින කවියෙක් නම් මට මතක් වෙන්නේ නෑ. හරිම මිහිරි පොතක්.



හත් වෙනි දවස



හාන්ස්ගේ කතා අපි පුංචි කාලෙත් කියවල තියෙනවා. ඒත් බ්ලොග් එක කරන්න ගත්තට පස්සෙ මට ආසාවක් ඇති උනා හාන්ස්ගේ මට දැනිච්චි කතා පරිවර්තනය කරන්න. ඇත්තටම කිව්වොත් අනුවර්තන. ඒක නිසා මං මෑත කාලීනව එක කතාව හත් අට වතාව බැලුවේ මේ පොතේ තියෙන කතා. සමහර කතා වල යටින් දුවන දේශපාලනය, හාස්‍යය අල්ලගන්න ටිකක් අමාරු වෙනවා. සුංරගනා කතා අස්සේ හෙමින් සීරුවේ සමාජයට හිනාවෙන්නෙ කෝමද කියන එක හාන්ස් කියල දිපු නිසා මං හාන්ස්ගේ කතා වලට කැමතියි. ඒක නිසාම තමා හාන්ස්ගේ කතා දොළහක් විතර පරිවර්තනය කෙර්.

හරි එහෙනං මගේ ජිවිතේ ආස කරපු පොත් හතක් ගැන කරපු විචාරේ අවසානයි.

අවසාන වශයෙන් බුකි බුක් චැලෙන්ජ් එක කරපු පැතුම් හේරත්ට ඒ වගේම මං චැලෙන්ජ් කරපු හත් දෙනාටයි ඇතුලුව හැමෝටම ආරාදනා කරනවා මේ සාහිත්‍ය මාසෙ තමන්ගේ හිත ගත් පොත් ගැන අටුවාටීකා ලියල පෝස්ට් එකක් දාන්න කියලා. සාහිත්‍ය මාසේ සරු කරන්න බ්ලොග් ආයි කියවන්න අපි පුරුදු වෙමු. ඒක පට්ටයි හොදේ.

68 comments:

  1. අනික් දේවල් ගැන කතාකරනවට වඩා පොත් ගැන කතා කරනකොට අපේ හිත් ඇතුළේ හැංගිලා තියන දේවල් එළියට එනවද මන්දා!

    මොනවා වුණත් අපූරු පෝස්ටුව. ඒ වගේම ස්තූතියි මාව මේ වළට තල්ලු කොළාට.

    ReplyDelete
    Replies
    1. ඔව් බං එදා කිව්ව වගේ මං මේවා හිතේ තියාගෙන හිටියා කොටන්න වෙලාවක් එනකං. පැය දෙකක් විතර ගියා බං වැඩේට. දැං පුරුදු නෑ ඉස්සර වගේ ඉක්මනට කොටන්නත්. හැක්. ඇත්තටම පොඩි කික් එකක් එනවා පොතක් කියවපු මතකෙත් එක්ක හිත දුවන කොට.

      උඹට ස්තුතියි වැඩේ පිළීවෙලට කරගෙන යනවට. උඹල සේරම අතෑරියනං අද මේ පෝස්ට් එකත් නෑ.. ජය

      Delete
  2. Replies
    1. ඔව් ඔබට “මොරටුවට අයිස් කැට වැස්සක්“ පොත යථා කාලයේදී තැපෑලෙන් ලැබෙනු ඇත. හැක්

      Delete
  3. පැතුම මුලිංම ඕකට පටලෝල තිබුණෙ මාව. ඒත් ඉතිං උඹ වගේ වගේම ඔය පොත් දාන ගොඩක් එවුවො වගේ අපි ඉතිං සාරගර්භ බරසාර පොත් කියෝල නෑනෙ ඔය මඩොල් දූව, සර්ලොක්කගෙ පොතක් ඇරෙන්න. ඉතිං මං මේ තාමත් කම්පනා කොරන්නෙ මම දාන පොත් මොනවද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇක්සයිස් පොත් දාපන් අයියේ. හැක්

      Delete
    2. පැතුම් බලල තිබුනේ කතා නොකරන එකෙක් කතා කරවන්න. කොහේද ඉතිං කොන්ක්‍රිට් කඩන්න ලොකු ඩිමෝලිෂන් හැමර් එකක් ඕන නෙව. ඔව්. අපි ලොකු ලයින් තමයි උඹට අවුල්ද?? o|o හැක්

      Delete
    3. බැන්කුවේ පාස් පොතයි චෙක් පොතයි දාපන් මචෝ............

      Delete
    4. ඒවත් උකස් කරල තියෙන්නේ.. හැක්

      Delete
  4. ඔයයි මායි වෙනස් වෙන්නේ මං ලියන්නෙ නැති එකෙන් විතරයි. මගෙත් ෆේවරිට් ලිස්ට් එකේ පොත් කීපයක්ම මේ ලිස්ට් එකේ තියෙනවා .

    ReplyDelete
    Replies
    1. චූලෝදර බ්‍රෝ දැක්කේ කාලෙකින්. සන්තෝසයි මං කැමති ඒවට කැමති අයත් ඉන්නවා කියල ඇහුවම. ජය

      Delete
  5. බයික් එකේ පොත තමා දාන්ට වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මතකද අර සඳරුවා බයික් එකේ ලයිසන් එකෙන් රොකට් ඇරියා.. හැක්

      Delete
    2. කවුද සද‍රැ කියන්නේ???????????????????????????????????

      Delete
    3. සඳරු කියන්නේ රටක් වටිනා බ්ලොග් පුත්‍රයෙක්. කියවලාම බලන්න...
      https://hisahasa.blogspot.com

      Delete
    4. චැ...ඒ මොන ජාරාවක්ද? ඔවාටද බ්ලොග් ලියනවා කියන්නේ....මමනම් ඔය හිස් අහස කියවලත් නැහැ කියවන්නේත් නැහැ...
      දේශා..ඔය සදරු කියන එකාට කියපන් ඔකා ලියන ඒවා අපි කියවන්නේ නැහැ..ආය ලියලා තිබුනොත් දිගාමඩුල්ලට ඇවිත් මායාරන්ජන්ගෙයි උගෙයි අඩු කඩනවා කියලා..

      Delete
    5. හිටාං මං කියල එන්නං.. හැක්

      Delete
  6. පහේ පන්තියේ ඉන්න ගමන් ප්ලේබෝයි පින්තූර එකතු කරලා තියෙන්නේ .උඹ ඔය කියලා තියෙන එක පොතක්වත් මම කියවලා නැහැ.හැබැයි අර මුලින්ම තියෙන පොත් දෙක නම් කියවන්න ආසයි.සේකරගේ කියවලා තියෙන්නෙත් "තුං මං හන්දිය" විතරයි.

    ReplyDelete
    Replies
    1. පහේ පන්තියෙදි තමා අපිට උණ හැදුනේ ඒකයි ඒ.. හැක්. මීළග මීවිත කියවහං පුතේ

      Delete
  7. තමුසේ ලගදි හරක් මස් ශුප් බිව්වේ නැද්ද? දානවකෝ කාපු,බීපු ඒවා ගැන කතාවක් අපිටත් බලන්න අයිසේ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ශුප් එක නිතර මතක් වෙනවා. ඒත් දැං ඒ වගේ ශුප් එකක් බොන්න තැනක් අපේ ගං අහලකවත් නෑ. මං කඩෙන් ඇහුවම කිව්වේ ඔය සුප් එක දාපු භාජන හොදන්න යන කට්ටත් එක්ක බැලුවම නොදෙන එක හොදය කියල. කාපු බීපු ඒවා දැම්මම මුං බයිනව නේ.. බේබද්දෝ කියලා.. හැක්

      Delete
  8. Good one Machang, we all had time to read good books once upon a time. Arrr good old days.

    ReplyDelete
  9. දේශා, ඔයා එල කොල්ලෙක් නේ.. අර වාන් පතුල් රවියා තමා මාව ඕකට ඇදල දැම්මේ. මටත් වැඩේ අල්ලලා ගියා. උඹ දැන් ඒ වැඩේ තව ලෙවල් එකකට ගෙනල්ල. මමත් හෙට අනිද්දට එකක් ලියන්නම්. සභාපති තුමා ඔය කියවපු පොත් මොනවා හරි දාපන් බං. පොත් වල කොහෙද ලොකු පොඩි කමක්. හැම පොතේම තියෙනවා මොනවා හරි අපි නොදන්නා දෙයක්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. නියමයි.. සභාපති තුමාගේ කට අරවන එක තමා අමාරු. ඌ කට අරින්නේ බඩු වල ගාන කියන්න විතරයිලු.. හැක්

      Delete
    2. හාල්පොත හරි දාන්න බලන්නං.

      Delete
    3. සබාපතිතුමාට බඩුපොට් එකක් තියේද? හැක්

      Delete
    4. සභාපති තුමා නිකං හාල් පොත් වගේ ඉන්න මැලේසිටන් කොල්ලන්ට පදිරි වෙන්ඩ එපා. දාන්න පොටෝකොපි මැසින් වල පොත් සේරම.. ඉදගෙන

      Delete
    5. අඩේ කිවුවත් වගේ ඔය තියෙන්නෙ මෙච්චරකල් මොකෙක්වත් දාපු නැති පොත්.

      Delete
    6. තව ඩුප්ලෝ මැසින්, කම්පීටර් පොත් හෙමත් ගන්න පුලුවන් නේ අයියට..

      Delete
    7. අනේ නිකන් හිටහන් සබාපතියා බඩු වල ගනන් කියන්නවත් කට අරින්නේ නැහැ...එකට ප්‍රියමනාප ගැහැනු දරුවෙක් තියලා ඉන්නේ

      Delete
    8. නයා විස්වාසබල්ද?

      Delete
  10. කියන්න සතුටුයි (ලැජ්ජයි) කියවලා තියෙන්නේ ඔය ලිස්ට් එකෙන් ප්‍රබුද්ධ විතරයි. මොන මගුලක්ද මන්දා රුසියානු පොත් සෙට් වෙන්නෙම නෑ. බුකියේ විතරක් පිනුම් නොගහ බ්ලොග් එකෙත් ඉඳලා හිටලා මෙහෙමවත් ලියන එක හොඳයි!

    ReplyDelete
    Replies
    1. දැන්නං බුකියේ වැඩිය දගලන්නැ. කට ඇවිස්සෙනවා තමා ඒත් පාලනය කරන් ඉන්නවා.. මොකටද බං නේද?



      සහ්. රුසියන් වලට ආසා එකෙකුට ඒ ආසාව නවත්ගන්න බෑ බං.. ජය වේවා

      Delete
  11. සැක්.. උඹ ඔය කියන පොත් වලින් මීළඟ මීවිතයි, ප්‍රබුද්ධයි ඇරෙන්න අනික්වා කියෝලා නෑ නෙව මං... මගේ බ්ලොගේ සාහිත්‍ය ශානරයට අයිති නැති නිසා මං බුකියෙ ලියන්නං. මං ඉස්සර නිතරම මං කියවන පොත් ගැන පුංචි සටහනක් පොත් කියවන අය ගෘප් එකට දානවා. අර බුක්හබ් කේස් එකෙන් පස්සෙ මං ඒකෙං එළවලා නිසා මං ඒකට ලියපු එකක්වත් මට බලාගන්න හැටියක් නෑ...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං බුකියේ හරි ලියහං. මං උඹව නොමිනේට් කරන්නත් හදලා නිකං හිටියේ උඹ බුක්හබ් නිසා පොත් එපා වෙලා ඇතෙයි කියල හිතල. හැක්..

      Delete
    2. කොච්චර මොනව වුණත් අපේ පුකේ අමාරු ලේසියෙං හොඳ වෙන්නෑනෙ බං... ඕං ඒපාර හොස්පිටල් වල බුක්හබ් පටං ගන්නවා ඒකටත් මොකෙක් හරි කොක්කක් දානකං හැක්

      Delete
    3. ඔය පාර නං ඒක උස්සන්නේ සුවපතියා. හැක්.. නිකං ඉන්නවට වඩා මොනව හරි කරන එක තමා වටින්නේ. නිකං ඉන්න එපා ඇලි බලහං හබ් දමහං.. ජය

      Delete
    4. "ඒකටත් මොකෙක් හරි කොක්කක් දානකං"
      ඇයි අරකට නඩුවක් වැ‍ටුනද?

      Delete
  12. පොත්නම් ඉතින් නොකා නොබී කතා කළෑකි නේද මෙයා...

    කොච්චර පොත් කියවන්න ඇබ්බැහිවෙලා හිටියද කිව්වොත් අන්තිමට පුස්තකාලේ පොත් හොරකම් කරගෙනත් ඇවිත් කියවන්න ගත්තා ඕන්.. අපි එහෙමයි...

    සෙන්කොට්ටං එහෙම කියෙව්වෙ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. සෙංකොට්ටං කියෙව්වා. ඒත් ඒකේ මොනා තිබ්බද කියලවත් දැං මතක නෑ. හැක්

      ඉස්සර මාත් එහෙමයි කන්න ගියත් පොතේ.. සෙන්න(?) ගියත් පොතේ. දැං එහෙම කරන්න බෑ.

      Delete
  13. මගේ පොත් දහයක්ම නන්ගි ඉල්ලගෙන ගියා..පොත් ටික ගෙනල්ලා ඩිපු ගමන් පොටෝ එක්ක දානවා

    ReplyDelete
    Replies
    1. පුස්තක ගත්තඃ ගතං ගතං....

      Delete
    2. ඒකනේ හෙළ බොදු පොත් පත් වල ඔව්ව සඳහන් කරල තියෙන්නේ. හැක්.

      Delete
    3. ඇත්ත සෙන්නා..උන් මලාට සල්ලි දිලා පොතක් ගන්නේ නැහැ...ඒ උනාට අනුන් සල්ලි දිලා ගන්න පොත් කියවන්න හරි රුසියෝ...

      Delete
    4. මගේ පොත් ඉල්ලන් ගිය උන් හුඟක්, ආයේ ඒවා රිටර්න් කරලා නෑ. මරු වැඩේ කියන්නේ ජීවිතේට පොතක් අතින් නාල්ලන උනුත් පොත් තියනවා දැක්කම උස්සගෙන යනවනේ.. ඒ ගෙනිහින් ඒවා තැන් තැන් වල විසි කරලා තියනවා මගේ ඇස් දෙකටම දැකලා තියනවා.. මම දැන් පොත් සල්ලි දීලා ගන්න එක නවත්තලා තියෙන්නේ.

      Delete
    5. පොත් විතරක් නෙමෙයි බං හුගක් එවා එහෙමයි. ඉස්සර කැසට් පීස්. ඩෙක් පීස්, ඊට පස්සේ සීඩී ඩීවිඩී. ඔක්කෝම නැති උනා

      Delete
  14. දරුමකීර්ති මහත්තය මට චැලෙන්ජ්කරා. ඊට පස්සෙ මතක් කලා. මං ඉතිං එවෙලෙම පොත් 9 ක් දාලා මහත්තයව ටැග් කලා. ඊලඟ දවසෙත් ඕනෙද ඇහුවා මහත්තය කිව්වා එපෝ කියල. එච්චරයි

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා.. ස්ටෝ.........ප් කියල දරුමකීර්ති මහත්තයා ඇඩුව නේද

      Delete
    2. මමත් ප්‍රා.ජේ ව ටැග් කළා. මම මේ තාම බලං ඉන්නවා පොත් හත දානකම්

      Delete
    3. බලාපොරාත්තුව ඉන්න එහෙනං. ස්ටෝටෛා්ටෛා්ප් කියනකං පොත් දාවි.. හැක්

      Delete
  15. ඇත්ත නේන්නම් මුකුත්ම නොකිය පිට කවරෙ විතරක් දාලා ඇතෑ... මේක නියමයි.1, 2, මමත් අවුරුදු පහලවෙදි වගේ කියෙව්වෙ.ප්‍රබුද්ධයි මී විතයි නම් ඉතින් දැනුත් පොත් රාක්කෙ ඉදන් මා දිහා බලා ගෙන හිනා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මීවිත නං දැනුත් මේසේ උඩ තියෙනවා. තව ටිකකින් බොනවා.. හැක්..

      ස්තුතියි

      Delete
  16. පඩි දවසට නම් මිවිත අපි දිහාත් බලලා හිනා වෙනවා

    ReplyDelete
  17. සාහිත්‍ය මාසෙට පිං සිද්ධ වෙන්න හරි ඔබතුමාගේ් ලිපියක් දැකීම සතුටට කරුණක්. පොත් කියවන මිනිස්සු එහි යහගුණ දැන්නවා . වර්තමාන පරම්පරාව පොත්වලින් හුගක් ඈතට ගිහිග්ලා තියෙන්නේ. එ්ක හැදුවෙ නැත්තන් රොබෝලා ටිකක් තමයි ඉතිරිවන්නේ. පුනරුදයක් ඇතිවුනේ පොත්වලින්. නමුත් වර්තමාන පරම්පරාවට පාර පෙන්නන්න කවුරුත් නෑ.
    විචාරත දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් දැං පුරුද්දක් විදියට ලියන්නැති සයිස් එකක් තමා තියෙන්නේ. පොතක් පතක් ගහක් කොලක් දිහා බලන්නැතිනං ඒක රෝබෝ ජීවිතයක් තමා.. මොකද දැං ලියන්නේ නැත්තේ?

      Delete
    2. මම පෝසට් එකක් දාලා තියනවා ඔබතුමා ප්‍රතිචාර දක්වලා නෑ මගේ බ්ලොග්එකේ තාක්ෂනික දෝෂ ටිකක් තියනවා කියලා හිතනවා උදව්වට ගන්න කවුරුත් නෑ
      විචාරක දියණිය

      Delete
    3. ඒක බලන්නං.. ස්තුතියි

      Delete
  18. මේකෙ ටයිටලේ වෙනස් කිරීම ගැන අපේ බලවත් මෙව්වා එක... හැක්

    ReplyDelete
    Replies
    1. හෙ හෙ. මට හිතුනා ඒක නිකං මදි වගේ කියලා.. ඒකයි

      Delete
  19. මමත් දැන් අවුරුදු දෙකකට කලින් ඔහොම එකක් කළා. හඬනු මැන නිදහස සහ සුනිල් මාධව පරිවර්තන වලට මමත් මාර කැමතියි. මම මේකේ චිත්‍රපටිය රුපියල් 1500 කට ගත්තේ. ඒ කාලේ ගෙදර උන්දා ඒක කැම්පස් ලෙචෙකුට පුදලා. ඉන් පස්සේ මගේ කලෙක්ෂන් එක ලොකර් එකකට යොමු කළා.

    <a href="https://awidda-paya.blogspot.com/2014/09/ten-of-most-favorite-books-i-read.html>මගේ පොස්ට් එක</a>

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එකේ කමෙන්ට් එකටත් මම දාලා තියෙන්නේ මේ පෝස්ට් එකේ බිකෝගේ වචන ටිකමයි. බලහං ඒ ටික කොච්චර සැරට මට වැදිලද කියලා. ස්තුතියි සුදීක අතීතය මතක් කරල දුන්නට

      Delete
  20. ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි විවිධ විෂයන් හරහා අපි එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .

    ReplyDelete