Tuesday, April 23, 2013

අවුරුදු කාලේ බේබදු තාලේ

ඒ දවස් වල ඒ කියන්නේ 1996-2000 කාලේ මම කාල් ගෑවේ කටුබැද්ද බම්බලපිටිය පැත්ත. උදේම නැගිටිනවා සුරු සුරු ගාලා වතුර ටිකක් කටට දාල හොලවල කට හෝදල අමුවෙන්ම උදේම කරන්නේ සිගරට් එක උරන එක තමා. මොකෝ කියන්නේ අපි හිටිය බෝඩිං කෑල්ලේ ඉතිං තේ උගුරක් වත් දෙන එකක්යැ. ඔය විදියට වැඩේ කරගෙන යන කොට ඔන්න බණ්ඩිය රත් වෙනවා.. බොක්කට සැප ඕන වෙනවා. යනවා ටොයිලට්. 

සමහර උන් දැන් ටොයිලට් යන්න සිගරට් එකක් ඕන කිව්වම මට හිනාත් යනවා. ඒත් කරුමේ කියන්නේ තමන් ඒ කාලේ කොරපු දේවල් අමතක වෙලා වගේ අනුන්ට හිනා වෙන එක නේ. 

ඒකෙන් කාරි නෑ.. මුනකටත් හෝදගෙන ලක ලැහැස්ති වෙලා තියෙන එකම හම්පඩ බෑග් එකේ ලට්ට ලොට්ට දාගෙන එළියට බැස්සම, උදේ කටුබැද්දේ. හවස බම්බලපිටියේ. බෝඩිමට එන්නේ රෑ හත අට වෙලා තමා. ඒ එනකොට රු. 25 - 30 ක විතර ඉදිආප්ප හරි මොන මගුලක් හරි කාලා රු. 60 ක 70 ක සිගරට් අරන් එනවා. මොනව කරන්නෙයි ඉතිං නින්ද යනකං බොන්න.

ඔය විදියට හැමදාම එක විදියට ගෙවුනට අවුරුද්ද කිට්ටු වෙන කොට නිකං ඉන්න බැරි දවසක් එනවා. අපේ එකෙක් ඉන්නවා ගමේ ඉදල ඇවිත් හෝටලයක් දාගෙන ඉන්න එකෙක්. මිත්තරයෙක්. මිනිහට අපි කියන්නේ පැට්‍රෝල්. මගේ බාලාංසේ ඉදලම මිත්තරයා. මිනිහගේ කඩේ තිබ්බේ බෙලෙක් කඩේ හන්දියේ මාළු ලෑලි ඉස්සරහමයි. මම හිටපු ගමන් රෑ ට ගියාම ඔය මොනා හරි ටිකක් බඩට දාගෙන පොඩි ටෝකක් හෙම දාගෙන එනවා නං තමා. ඒත් අවුරුද්ද කිට්ටුව අනිවා යනවා ඌව හම්බ වෙන්න. මොනාද ඉතිං අවුරුදු සීසන් ඌට බිස්නස් සරු උනාම පොඩි අඩියක් හෙම ගහන්න හැකිනේ. 

අනේ ඉතිං මම හැන්දෑවේ හතට විතර බෙලෙක් කඩේ හන්දියෙන් බැහැල උගේ කඩේට ගිහිල්ල බලන් ඉන්නවා. ඔන්න ආප්ප දෙක තුනක් එනවා. ප්ලේන්ටියක් එනවා. සිගරට් එකත් ආවම ඒක අරගෙන කුස්සිය පැත්තට ගිහිල්ල උරල දාල ආයි එනවා. 

ආයි එනකොට මූ මට කියන්නේ හිටහං හිටහං අද මොනව හරි කරමු කියලා. හෙහ්.. මාත් ඉතිං බෑ කියනවා. පිස්සුද... ඒ වචනේ අහගන්න තමා මම යන්නේ. ඒක ඇහුනට පස්සේ ඉතිං මොකක්ද ඔළුව වනල මට තියෙන්නේ පුටුවක් රත් කරන්න විතරයි. ඉන්නවා ඉන්නවා දැං හතහමාරත් පහු වෙලා. අරෑ කියනවා පොඩ්ඩක් හිටහං. ඉතිං ඉන්නවා. දැං අටහමාරයි. මූ ඒත් කියනවා පොඩ්ඩක් හිටහං. මට තිත්ත වෙලා හැමදාම මේ සෙතේමයි. 

මූ එක්ක සෙට් වෙන්න හැදුවොත් යාන්තං නමය විතර වෙනකොට වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඒ කාලේ ඔය ලක්ෂපතිය හරිය හන්දියට කිව්වේ මොකක් හරි ලී මෝලක නමක් මට දැන් මතක නෑ. ඔතන තිබුනා විලිස් කියල් රෙස්ටෝ එකක්. පජාතයි තමා මොනව කරන්නද ඕකට තමා අපි යන්නේ. ගිහිල්ල හොද එකෙන් වයිට් ඩයමන්ඩ් බෝතලයක් අරගෙන ඒක ඉවර කරල නැගිටින කොට අඩුම ගානේ එකොළහටවත් කිට්ටු වෙනවා. ඒ වෙන කොට දොරවල් වහල. ඇරගෙන තමා යන්න වෙන්නේ.

එළියට බැස්ස මම දැං කටුබැද්දට යන්න හදන කොට අරූ කියනවා පොඩ්ඩක් හිටහං මං උඹත් එක්ක එන්නං කියලා.. ඉතිං බඩුනේ. මූ මාව දාන්න එනවා. දෙන්න එක්ක වැනි වැනි පයින් යනවා බෝඩිමට. තාප්පෙන් පැනල කාමරෙත් ඇරගෙන තව සිගරට් එකක් ගහල, හා මං යන්නං කියල මූ යන්න හදනවා. එතකොට මම කියනවා හිටහං හිටහං මාත් එන්නං හන්දියට කියලා. ඕං ඉතිං දෙන්න එක්ක හන්දියට යනවා. 

ඒ පාර ඌව හන්දියට දාල විතරක් එන එක හිතට මදි හින්දා වදෙන් පොරෙන් ඌත් එක්කම බස් එකේ නැගල යනවා බෙලෙක් කඩේ. පිස්සුද ඊට පස්සේ ඌ එන්නෑ. ඌ මාව පානදුර බස් එකකට නංගනවා. මම නැංගා සීට් තියෙනවා වාඩි උනා විතරයි මතක.. හැක්.. “මහත්තයා බහින්න බහින්න පානදුර“.. හික් හික්.. වෙරි බාගෙට හිදිලා මම බහිනවා. 

අනිත් පැත්තට මාරු වෙලා බස් හෝල්ට් එකේ ඉන්න කොට ඕං එනවා මාතර ඉදල කොළඹ යන එකක්. නැංග ඒකට. ගත්ත ටිකට් කටුබැද්දට. සීට් තියෙනව බොල.. වාඩි උනා.. ඇස් ඇරල බලන කොට යකඩෝ ගල්කිස්ස. මදෑ කොරා.. ගල්කිස්සෙන් බැස්සා.. පාර මාරු උනා.. නැංගා මොරටුවකම.. බෑනේ මේ මගුල කරන්න.. පානදුර වගේ ඒවයේ නැංගොත් කේස් නේ. 

අයියෝ වාඩි වෙලා ටිකට් ගත්ත විතරයි මතක.. බැස්සේ මොරටුවේ ස්ටේසම ගාව. දැං රෑ එකයි බොල.. මොකෑ කරන්නේ මේ සන්තෑසිය කරන්න හැකිය දිගටම.. හිතාගත්තා ඕන මගුලක් කියල කටුබැද්දට වැනි වැනි පයින් ගාටන්න. ගත්ත සිගරට් 10 ක් එකක් නිවෙන්න එකක් පත්තු කරා. කොහොම හරි හති හලාගෙන බෝඩිමට එනකොට සිගරට් හතරයි ඉතුරු. ඒ කියන්නේ සිගරට් හයක දුරක් පයින් ඇදල.. හැක්..

ඕං අවුරුදු ආතල්.. ඒකෙන් මේකෙන් ඔය වගේ පජාත සීන් කරන්නේ නෑ. පැට්‍රෝලයට ඔය සීන් එක කිව්ව දවසේ ඉදල ඌ රොයිටර් වගේ පත්තු කරාට පස්සේ මට ගිය කලදසාව ගැන හිතාගත්තැකි නෙවද???

මාතලංට වගේ මටත් තියෙන ඇම්ම වැඩි කමටම මේ පොඩි එකක් කෙටුවේ.. බ්ලොග් ඇම්ම නෙව

Friday, April 12, 2013

මීටර් මාරු වෙන්න පෙර!!!

එහෙනං ඉතිං මක්කැයි ඔහේල බලන්න ආවේ. අනේ මන්ද ඇස් විතරක් නෙමෙයි මෙන්න මේකගේ කටත් ඇරිලා. හා හා නිකටෙන් අත ගනිං. යකෝ නලියෝ ඔය වීදුරුව පොඩ්ඩක් පැත්තකින් තියහං. කීබෝඩ් එකට වැටෙයි අරව. හයියෝ තොපි මං දිහා කන්න වගේ බලන්නේ මොකටෙයි. හිනා යනවා. අනේ පලයල්ල යන්න බං. හෝ ගාලා වැඩ තියෙනවා. දැන් ඕං මේ අවුරුද්දෙත් මීටරේ මාරු වෙන්න නෙව යන්නේ. ඒකට සුදානං වෙන්නත් එපායැ.

මේ ටිකේ තොපි මට නොසෑහෙන්න දේවල් කිව්වා. තොපි මට බැන්නත් එක්ක. මගුල් බ්ලොග් එක පැත්තේ එන්නැති එකට. හැපලයියා මට මෙරු කතාවක් කිව්වා. පොඩ්ඩි කිව්වා උඩ යට යන එකෙක් කියලා. අනිත් අයත් දේවල් කිව්වා ඒවා ඔප්පු කරන්න බැරි නිසා කටවහං ඉන්නවා. නැත්නං දෙනවා හොදවැයින්.

ඕං බලහල්ලකෝ මාර්තු මැදදි ලොකු කොල්ලට හෙම්බත් එක්ක උණ ආවා. ඒක සතියක් විතර සහලෝලා තිබිල අඩු වෙලා ගියා. මේං දවසයි ගියේ පොඩි එකාට කේස්.. සහලෝලා උන.. ඒ ගමන ඒකා අරන් සල්ලි දික්කොරගෙන චැනල් ගානේ ගියා. දෙයියනේ කියල සතියකින් විතර අඩු උනා. මේන්න බං ආයි ලොකු එකාට සහලෝල උන.. ඔය විදියට යාන්තං පෙරේදා වෙනකං ම ඔය වැඩේ දිගටම උනා. රෑට නින්දක් නෑ මෙයා.. ඇඩෙනවා යකෝ.. උණ බලනවා බෙහෙත් දෙනවා.. සහලෝල උන හින්දා වතුරෙන් තෙමන්න ඕන. ඕඩිකොලෝන් ගාන්න ඕන. වතුර පොවන්න ඕන. වැඩ කප්පරයි. ඔය කරදර ජරමර අස්සෙත් උඹලගේ ඒවා පුළුවන් හැටියට බැලුවා. මගේ එකෙත් දෙක තුනක් කොටල දැම්මා. ඔව් ඔව් පිළිගන්නවා උත්තර දෙන්න ප්‍රමාද උනා. හෙහ්.. ඒ උනාට ඒවා බලාගන්න ඩුප්ලිකේටයා හිටියා නෙව. සන්තෝසේ බැරිවා. ඕං ඔහොමයි ඉතිං මේ මාසෙට බර ගානක් බෙහෙත් වලටත් වියදං කොරල, නිවාඩුත් දාලා, හරියට නින්දත් නැතුව ගෙවපු කාලේ මාර දුකක්. ඊට වඩා දුක පොඩි ඈයො දෙන්න උණ විකාරෙන් දගලන එක බලං ඉන්න එක. අන්තිමට ඉතිං ඔක්කෝම දැං හොද තත්වෙට එනවා.. මොකක්ද දන්නවැයි ලෙඩේ. වයිරල් ෆීවර් එකක්. හැබැයි මේක විටින් විට ඇති වෙනවා නැති වෙනවා. දැං යන්තං හොදා නිසා අද ඉදල අවුරුද්දට සුදානං.

දේශිකා අණ කොරල තියෙන්නේ අද ගේ මකුණු දැල් ටික කඩල හෝදල දාන්න ඕන. හවසට ගෑස් එක ගෙනැල්ල බඩු ටික ගෙනැල්ල දාන්න ඕන.. හෙට උදේට මාළු ගෙන්න යන්න ඕන. දවල්ට කැවිලි මොනා හරි හදන්න අත් උදව් දෙන්න ඕන. ඊට පස්සේ නැනී වෙන්න ඕන.. ඔන්න මට ගිය කල. ඉතිං බොලාත් අවුරුදු  කාල බීල හිටහල්ල. මාත් ඉතිං අවුරුද්ද කාල තමා එන්නේ.. හිටහල්ල පුළුවන් උනොත් මගින් ඇවිල්ල යන්නං. ඒත් විස්වාස කොරන්න බෑ ඒවා.. මගේ පැට්‍රල් නෙමෙයි නෙව.. හැක්..

හරි එහෙනං බොලාට ශ්‍රී සුභ නව වසරක් වේවා!! හැම දෙයක්ම සාර්ථකව කර ගන්න ධෛර්යය ශක්තිය ලැබේවා!! බොන උන් අඩුවෙන් බීපල්ලා. හා හා ගහ මරා ගන්නෙපා යකෝ බොදු බල සේනා තොපි ගැන අවදියෙන්..

Wednesday, April 10, 2013

බේබද්දාගේ මරණය!!!


විසේස දැන්වීමයි - පොරොන්දු උනාට ආයෙත් දවස් ගානක් ම මේ පැත්තේ පස් පාගන්න බැරි උනා... සමා වෙන්ටෝනේ ඒකට“

“එකදිගට බොන්න එපා මනුස්සයෝ“

“ඉතිං බං අපි ඔය පොඩ්ඩක් ගත්තම මක්ක වෙනවයි?“

“උඹල ගන්න පොඩ්ඩ.. බලපං අද උදේම පටන් අරගෙන. උඹ ආයි දවල්ටත් ගන්නවා. ගෙදර යනකොටත් ගන්නවා. නැත්ද මං අහන්නේ?“

“ඔය ඉතිං උඹ බයිල ගහනවනේ. යකෝ බිව්වත් අපි කන පැලෙන්න ගහන්නෑ නෙව“

“හරි උඹලට මේවා කියල වැඩකුත් නෑ. මොළයක් නැති යක්කු නේ“

“මොකක්ද බොල කිව්වේ“

“නෑ මුකුත් නෑ.. මම යනවා“

නන්දසේනට එසේ පවසමින් සිරිල් කාර්යාල කාමරයෙන් එළියට ගියේ හිතට ආපු තරහත් එක්කමයි.

සිරිල් නොබොන කෙනෙක් නොවුනත් මිනිහා කවදාවත් ඔපීසි එන කොට තොල ගාගෙන එන්නෙත් නෑ. අනික එක එක ලපයි සිපයි එක්ක වටේම තියෙන ගස් ගල් ගානේ බොන්න යන්නෙත් නෑ. නන්දසේන තමා සිරිල්ගේ හොදම මිත්‍රයා. අවංකව කියනවනං සිරිල් ලොකු දැනඋගත්තෙක් නොවුනත් ඔපීසියක කුරුටු ගාන්න තරං දැනුමක් අරගෙන තියෙනවා. ඒකටත් එක්ක නන්දසේන, මිනිහට ඉංගිරිසි, දෙමළ, සිංහල ඕනම භාසාවක් එක්ක තැක් ගැහෙන්න පුළුවන්. මිනිහා ඉංගිරිසියෙන් දෙයක් ලිව්වොත් ආයේ ලොක්කවත් හැරිල නොබල තමා අත්සන් කරන්නේ ලියුං කියුං වලට. ඒ වගේම තමා ඔය රාජකාරි නියෝග, වක්කරලේඛ, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදි එකි මෙකී නොයෙකුත් දේවල් ගැන පුදුම දැනුමක් හා මතකයක් තියෙන කොටින්ම කියනවනං කාර්යාලයේ ඉන්න පොරක්.

මේ පොරට තියෙන දැනුම හින්දම, මුලින් මුලින් එක එක වෘත්තිය සමිති වල උපදේශක තනතුරු හෙම හොබවල, දිනාගන්න ඕන ඉල්ලීම් මතින් ගොඩ යන විදිය ටක්කෙටම කස්ටියට කියල දීපු හින්දා නන්දසේන මහත්තයා මුළු ආයතනයේම ජනප්‍රිය උනා. මේ ජනප්‍රියතාවයත් එක්ක ඔය වෘත්තීය සමිති වල එක එක ජාතියේ නිලධාරීන් සෙට් වෙන පාටි වලට හෙම නන්දෙට යන්න උනා. මේ හාදයා ඒ වෙනකං කවදාවත් ඔපීසියේ බීල නොහිටියට ගෙදර යනකොට නං සමහර දවස් වල කුජීත වෙලා, කානු වල ගැඹුර බල බල තමා ගෙදර යන්නේ. ඒත් දෙයියනේ කියල ඒකෙන් කාටවත් කරදරයක් නෑ වගේම මිනිහට වෙන දේවල් සිරිල් ඇර වෙන කවුරුවත් දන්නේත් නෑ. ඔය කානු පතුල් බලන්න ගිහිල්ල කකුල් ලෙලි ගහගෙන ගියපු දවසට නන්දෙගේ ෆෝන් එකෙන්ම සිරිල්ට කතා කරන්නේ නන්දෙගේ බිරිද තමා.

“ඈ සිරිල් අයියේ.. ඔයාලා බලන්නේ නැත්ද මේ මනුස්සයා ගෙදර යනවද කියලවත්“

“ඇයි නංගි, අද මිනිහා බීලද ආවේ“

“ඔය ඉතිං විකාර අහන්නේ. අන්න බයිසිකලේ කානුවේ වැටිල දනහිස් දෙකම ලෙලි ගහගෙන.. ඒ මදිවට ඇහැ ගාවත් තුවාල කරගෙන“

“ඕ... මම දන්නෑ නංගි. මිනිහට අමාරුද?“

“ඔය කෙදිරි ගගා ඉන්නේ... අයියට කියන්න මට නං මේක තිත්ත වෙලා තියෙන්නේ. දරුවෙක්ගේ පොතක් පතක් බලල මොනා හරි කියල දෙන්නවත් පුළුවන් සිහියකින්යැ මෙයා එන්නේ. මම ගෙදර වැඩයි එයාගේ වැඩයි ළමයින්ගේ පොත් වල වැඩයි කියල කීයක් කරන්නද අයියේ... සිරිල් අයියවත් මෙයාට උපදේසයක් දෙන්නකෝ.. ම‍ට බෑ අප්පා තවත් මේ කරදර විදින්න “

“මේකයි නංගි, මම දැනගත්තොත් කොහොමත් මිනිහට හොදවයින් කියනවා. ඒක හින්දා මිනිහා ඔය වගේ දවසට මාව මග ඇරල තමා හවසට යන්නේ. කව්රුත් එක්ක බොනවද, අඩුම ගානේ තනියම බොනවද කියලවත් මම දන්නේ නෑ.. පහුවෙනිදා උදේට ගද ආවොත් මම කෑ ගහනවා. ඒත් ඉතිං ඔය හිනා වෙලා ඉන්නවා මිසක් වචනයක් කියන එකක්යැ“

ඔය විදියට නන්දෙ බීල ගෙදර යන දවසට සිරිල්ගේ ෆෝන් එකට, හැන්දෑවට නන්දෙගේ ෆෝන් එකෙන් එන කෝල් එක නන්දෙගේ වයිපරෙගේ විත්තිය දන්න හින්දා බොහොම කළාතුරකින් තමා සිරිල් උත්තර දෙන්නේ. හැබැයි උත්තර දුන්නත් නොදුන්නත් පහුවදා උදේට නන්දෙට කන පිරිල ඉතිරිල යන්නම සිරිල්ගෙන් හම්බ වෙනවා. ඒත් මොන දේ කිව්වත් නන්දෙ නෙමෙයි කටක් අරින්නේ. හ්ම් කිය කිය ඉන්නවා ඇර.

ඔය විදියට ගෙවී ගියපු නන්දෙගේ බේබදු ජීවිතේ එක පාරටම වෙනස් උනේ විප්‍රකාර වෘත්තිය කාරයොන්ගේ පාටි වලට සෙට් වෙන්න ගත්තම තමා. උන් වෘත්තිය සමිති කාරයෝ කිව්වට ඇත්තටම ඔපීසියට කෙලවන්නම බලන් ඉන්න, මහ සෙප්පඩවිජ්ජ, හොර දෙටුවෝ රැලක්. උන් ඔය පාටි දාන්නෙත් කොහෙන් හරි කොටාගත්ත හොර සල්ලි වලින් විත්තිය නන්දෙ කවදාවත් දැනගෙන හිටියේ නෑ. ඇයි ඉතිං මේ යක්කු කියන්නේ,

“නන්දසේන මහත්තයා .. අද අපිට පාටියක් තියෙනවා.. අර ඉල්ලීම් දිනාගත්ත අපේ සාමාජිකයා ගානේ.. මහත්තයා එන්නම ඕන හවසට“

ඔය විදියට එක එක දවසට එක එක කතා. මේ විදියට හවසට සෙට් වෙන එක, උදේටත් සෙට් වෙන්න පුරුදු උනේ නන්දෙ වෘත්තීය සමිතියක ලේකම් තනතුරකට තෝරගත්තට පස්සෙයි. ඒ කියන්නේ සමිතියේ කාරක සභා, අර සභා මේ සභා කිය කිය මුන් උදේ වරුවෙ හරි හවස් වරුවේ හරි පොදු කාමරේට එකතු වෙනවා මාසෙට දෙපාරක් තුන් පාරක් විතර. එහෙම එකතු උනාම ඉස්සෙල්ලම කට අරින්නේ අරක්කු බෝතලේ. ඊට පස්සේ තමා උංගේ කටවල් අරින්නේ. හුගක් වෙලාවට කට වහගෙන ඉන්න නන්දෙගේ කට ඇරෙන්නෙත් කට ඇරුන බෝතලේ බාගෙට හිස් උනාම තමා. එතකොට තමා බලන්න ඕන... ඉංගිරිසි වක්කඩ වගේ ගලනවා. චක්කරලේඛ අංකෙ, දිනේ ඉදල ඒවයේ ඡේද හිටං මතකෙන් කියවනවා, තමන්ගේ දරුවට අකුරක් කියල නොදෙන මේ තාත්තා. දරුවා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරුන්ගෙන් බැනුං අහනවා ගෙදර වැඩ වත් හරියට කර ගෙන එන්නේ නෑ කියල. ඒත් නන්දෙ, අර වෘත්තිය සමිතියේ හාදයොන්ට නං ගොඩ යන්න හොද හොද පොයින්ට් උගන්නවා.

ඔය විදියට ගත වෙන කාලෙ හින්දම, එකතු වෙච්ච පර මිත්තරයෝ හින්දම උන්ගේ ජාතියක් ජන්මයක් නැති පජාත පුරුදු වලටත් හුරු වෙන්න නන්දෙට සිද්ධ උනා ඔය බීම වෙනුවෙන්. රහස් කියන දේ හැමදාම තිබුනත්, ඒ රහස් වල කවර ගැලවෙන්න එක අරක්කු බෝතලයක් හරි දෙකක් හරි හොදටම ප්‍රමාණවත්. සද්ද වහල ඔපීසියේ සල්ලි ගහන ක්‍රම, පොඩි පොඩි මිලදී ගැනීම් වලින් ජරාව පෙරාගන්න විදිය, ලොකු වැඩ වලදී කොමිස් කියල දෙයක් හොයාගන්න විදිය, ඒ නැත්තං සැපයුම්කාරයන්ගෙන් බෝතලයක් හරි මරා ගන්න විදිය වගේ බොහෝම වැදගත් දේවල් මේ පජාතයෝ නන්දෙට උගැන්නුවා. නන්දෙත් දස්සයා නෙව. බොහොම ඉක්මනට ඒවා ඉගෙන ගත්තා. මොකද බොන්න තියෙන සාපිපාසාව එන්න එන්නම වැඩි වෙච්චි හින්දා. ඔය වගේ ක්‍රම වලින් ලැබිච්ච අසික්කිත වරප්‍රසාද හේතුවෙන් නන්දෙගේ අතේ ගැවසෙන සල්ලි උදේ පාන්දර හොර පොට් වලටයි, දවල්ට බාර් එකටයි, හවසට රෙස්ටොරන්ට් එකටයි දෙන්න නන්දෙ කටයුතු කලා. මදි පාඩුවට ගෙදර අඩුපාඩු පිරිමහගන්න තියෙන එකම දේ, පඩි පැකට්ටුවෙන් භාගයක් විතරත් එක්කාසු කර ගත්තා. ඔය විදියට පටන් ගත්ත බේබදු ජීවිතේ නන්දේ වෘත්තීය මට්ටමටම ළගා කරගන්න වැඩි කාලයක් ගත කරේ නෑ. මොනව උනත් ඔපීසියේ නන්දෙට තිබ්බ සැලකිල්ල නිසා ලොක්කෝ පවා අසරණයා කියන මානසිකත්වයෙන් මිනිහා දිහා බැලුවේ. උදේ පාන්දරම ගද ගස්සන කාර්යාලේ මිනිහගේ වචන වලිනුත් සමහර වෙලාවට ගද ගස්සන කොට, ලොක්කෝ හෙමින්ම කට්ට්ය දාල නන්දෙව ඔය කොහේ හරි නිදි කරවල, මත ඇරල දෙන්නේ, වෙන මොහොකටවත් නෙමෙයි ආයේ කෑම වෙලාවට කලිනුත් බාර් එකට ගිහිල්ල දෙක තුනක් නවා ගෙන එන්නය කියල ආරාධනා කරන තරමටම අනුකම්පාවෙන්.

හැම දේකින්ම, ඒ කියන්නේ කාලයක් තිස්සේ හොර වැඩ කරගෙන හිටියත්, අහුනොවෙන ජරාව පෙරලා ගත්තත්, තෑගි බෝතල් හෙමීට අරගෙන කටට හලා ගත්තත් ඔය කිසිම දෙයක් උඩට ගිහිල්ල නන්දේගේ රස්සාවට ප්‍රශ්නයක් උනේ නෑ, මිනිහා යස අගේට බේරිල හිටියා. ඒත් මේ හැම දේකින්ම බේරිච්චි නන්දෙට එක දේකින් බේරෙන්න බැරි උනා. අවුරුදු 49 ක් වෙචිච් නන්දෙ, එක දවසක හවස ගෙදර යන පාරේ, එයාගේ බයිසිකලේ උඩම මැරිලා වැටිලා හිටියා.

නන්දෙගේ මරණෙ වැඩ කටයුතු කරන්න අර වෘත්තිය සමිති කාරයෝ එකා වගේ ලක ලැහැස්ති උනා, මහන්සි උනා. ඔපීසියේ ලොකුම ලොක්කගේ ඉදල හැම ලොක්කමත්, සොක්කමත් නන්දෙගේ මරණෙට සහභාගී උනා. ඒ මරණය හැමෝටම කම්පනයක් ගෙනාවට හුගක් අය ඒ මරණය කොයි මොහොතේ හෝ බලාපොරොත්තුවෙන් හිටිය විත්තිය නන්දෙගේ පෙට්ටිය බලපු හුගක් අයගේ ඇස් වලින්ම එළියට පැන්නා. මොන දේ උනත් බොහොම වැදගත් විදියට මරණෙ අවසන් කටයුතු සිදු උනා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම හැම එකාටම කියන එකම හෑල්ලේ නම විතරක් රිප්ලේස් කරල යකඩ කටින් එළියට දාලා අනිත් අයගේ කන් වලට ගෙනැත් දැම්මා. ඒවා අහපු හුගක් අය පිටිපස්ස පැත්තෙන් හිනා වෙන්න ඇති කියල හිතෙන තරමට ම එතැන හිටි කස්ටියේ පස්සවල් නට නට ළග හිටි කෙනාගේ ඇගේ වදින්න උනා. හුග දෙනෙක් අතර පුදුමාකාර අයි කන්ටැක්ට්ස් හුවමාරු උනේ නිකං නක්කලේට වගේ. ඒත් ඔහේ වගේ වගක් නැතිව හාමුදුරුවෝ තමන්ගේ දේශනාව හමාර කරල ගිහි දේශන වලටත් ඉඩ පරස්තාව සැලසුවා. ඒකත් හාමුදුරුවන්ගේ අච්චුවේ ඒවටම වෙනස් නොවුනත් නන්දෙගේ මිත්තරයෙක් විදියට කතාව පවත්වන්න භාර දීල තිබ්බ සිරිල් ගේ කතාවෙන් මුළු මළගෙදරම කොටින්ම කිව්වොත් හාමුදුරුවෝ පවා ලැජ්ජා උනා.

“ගරුතර මහා සංඝරත්නයෙන් ද, නැදෑ හිත මිත්‍රයන්ගෙන්ද, විශේෂයෙන් උඩුකරුව සයනය කර සිටින නන්දසේන මහතාගේ පවුලේ උදවියගෙන්ද අවසරයි. නන්දසේන මහත්තයා කියන්නේ මට හිටිය හොදම මිත්‍රයෙක්. මට වැඩ කරන්න උනේ නන්දෙගේ මේසේ ගාවමයි. අළුතෙන් පත්වීමක් ගත්ත මට, ඔපීසියේ හුගක් අය කරුණු කාරණා කියල නොදෙන කොට, ඒ අයටත් බැන බැන උඹ මෙන්න මෙහෙම කරපං කියල මගේ මේසේ ළගට ඇවිත් අත් දෙක තියාගෙන කරුණු කාරණා කියා දුන්න විදිය මට දැනුත් මතක් වෙනවා. තමන්ට තිබ්බ දැනුම කිසිම අඩුවක් නැතිව ලොකු පොඩි බේදයකින් තොරව ඕනම කෙනෙකුට එක ලෙසටම දෙන්න මගේ මිත්‍රයා, නන්දේ පසුබට උනේ නැහැ. මම එහෙම කිව්වොත් වැරදියි මම හිතන්නේ නන්දේ හිතුවේ තමන් දන්න දේ තව කෙනෙකුට කියල දෙන එක එයාගේ ලොකු වගකීමක් විදියට වෙන්න ඇති. ඔය කාරණා නිසා මම නන්දෙගේ ආශ්‍රය බොහොම ප්‍රිය කළා. ඒ වගේම මම සෑහෙන්න දෙයක් නන්දෙගෙන් ඉගෙන ගත්තා වගේම, අවාසනාවට උනත් නන්දෙට ලැබෙන්න, ඕන තරං ඉඩ පරස්තා තිබුනු උසස් වීම් අවස්ථා නන්දෙට කලින් මට ගන්න පුළුවන් උනේ, ලෝභ කමක් නැතුව නන්දෙ මට හැම දේම කියල දුන්න හින්දයි. ඒ හින්දා මම මෙතැනදි හද පතුලෙන්ම සෝක වන අයගෙන් කෙනෙක් කියල කියන්න ඔබ මට අවසර දෙන්න ඕන. ඒ වගේම මේ මොහොතේ ඔහුගේ මරණය වෙනුවෙන් නොසෑහෙන්න සතුටු වෙන කෙනාත් මම වෙන්න ඇති කියල බය නැතිව කියනවා.“

අවමංගල සභවේ හැමෝගෙම ඇස් ජම්බෝල වෙන්නටත්, කසු කුසුවක් පැතිරෙන්නටත් වැඩි වෙලාවක් ගත උනේ නෑ. සිරිල් ඒ කසු කුසුව නිහඩ වන තෙක් තමන්ගේ වචන හංගාගෙනම හිටියා.

“ඔව් මම දන්නවා ඔය හැමෝම හිතනවා ඇති මට වැරදිලා මොකක් හරි කියවුනා කියලා. නෑ.. මම ඇත්තටමයි කිව්වේ. නන්දේ හොද කෙනෙක්. ඒ වගේම තව කාලයක් ජීවත් වෙලා සමාජයට උසස් සේවයක් කරන්න හිටිය කෙනෙක්. ඒක නිසා ඔහුගේ වියෝව මට දරාගන්න බෑ. ඒත් නන්දෙගේ ළගම හිටිය මිත්‍රයා විදියට මට ඔහුගේ මරණය සතුටක් ගෙන දෙන්නේ, ඔහුගේ මරණයෙන් අඩුම ගානේ එයාගේ පෙන්ෂන් එකවත් දරු පවුලට සම්පුර්ණයෙන්ම භුක්ති විදින්න පුළුවන් වෙන හින්දා.

නන්දේ මැරුණම මම දුක් වෙන්නේ නන්දේ තමන්ගේ අරක්කු බීම වෙනුවෙන් බැංකු වලින් අරගෙන තියෙන ණය ටික, මේ දරු පවුලට ගෙවන්න වෙන හින්දයි.

ඒ වගේම මම සතුටු වෙන්නෙ නන්දෙට හිමි එයාගේ සේවය වෙනුවෙන් හිමි වෙන්න ඕන පාරිතෝෂික, සංගම් වල මුදල් අඩුපාඩුවක් නැතිව දැං මේ දරු පවුලට ලැබෙන හින්දයි.

මම මේ මර‍ණෙ ගැන දුක් වෙන්නේ, වෘත්තිය සමිතියට හිටපු පතාක යෝදයෙක් නැති වෙච්ච හින්දයි. ඒත් සතුටු වෙන්නේ තව දුරටත් වෘත්තිය සමිති නිලධාරින්ගේ වංචා සහගත වැඩ වලට නන්දේ ගේ සහයෝගය නොලැබෙන හින්දයි.

මෙතැන දේශනා පවත්වපු අපේ හාමුරුවන් වහන්සේ ඇතුළු අනිත් උදවිය කියපු ඒවායින් හුගක්ම දේවල් බොරු කියල මම අවංකව කියනවා. මොකද නන්දෙ වැටිල ඉන්න වලෙන් ගොඩ ගන්න මම මට පුළුවන් උපරිම මහන්සිය ගත්ත හින්දා. ඒක නිසා මට නන්දේ ගැන බොරු කියන්න ඕන නෑ.. මම අදුරගත්ත නන්දේ හොද මිනිහෙක් ඒ උනත් මැරුණු නන්දේ නරක මිනිහෙක්. සමාජයට විතරක් නෙමෙයි ගෙදරටත්. දරුවන්ගේ ඉස්කෝලේ වැඩක්වත් කරල නොදෙන, ගෙදර වැඩක් පලක් දිහා ඇහැක් ඇරල නොබලන මිනිහෙක්ගෙන් ගෙදරට ඇති සෙතේ මොකක්ද? ඔව් මම දන්නවා නන්දෙගේ පඩියෙන් තමා මේ පවුල ජීවත් කරේ කියල කියන්න පුළුවන් කියල. ඒත් අවංකව බැලුවොත් නන්දේ එයාගේ පඩියෙන් කරේ බොන එක විතරයි. ගෙදර වියහියදම් වලට සල්ලි හොයාගත්තේ මේ අහිංසක කාන්තාව තමන්ගේ අතේ කරගැට එනකං ඇදුං මහල, එළවලු වවල, තවත් නොයෙකුත් අරගල කරල. ඉතිං එහෙම කෙනාට ලැබෙන්න ඕන ගෞරවයක් මෑත කාලීන නන්දෙට ලැබෙන්න කොහෙත්ම ඉඩක් නෑ.. මම තාම බැදල නෑ. මට දෙමාපියෙක් නෑ. මට කිසිම දේකින් බාදාවක් නෑ. ඒත් මොන නිදහස හෝ අවස්ථාව තිබුනත් මම සිටිය යුතු තැන මිස නොවැඩකට මගේ අත පොවන්නේ නෑ. ඒ හේතුව හින්ද, මගේ හිතාදර මිත්‍රයගේ වියෝව ඇත්තටම මට දරාගන්න අමාරුයි. ඊටත් වඩා මේ දරු පවුල තමන්ගේ ඉදිරි කටයුතු කරන විදිය ගැන මට සහතිකයක් දෙන්න විදියක් නෑ. ඒක නිසා මගේ හිතවත් මිත්‍රයා වෙනුවෙන් මම මේ රැකියාවෙන් අස් වෙනවා. මට ඒකෙන් ලැබෙන්න ඕන මක්කෝම සල්ලි ටික, මේ දරු පවුලට දීලා මම ආයේ ගමට යනවා. ආයේ රස්සාවක් හම්බ උනොත් කරගෙන ඉන්නවා. එච්චරයි. හුගක් අයට නන්දෙගේ ඇත්ත තත්වය තේරුම් ගියා නං, ජීවිතේ ගැන අවබෝධයක් ලැබුනනත්, මේ කතාව හින්දා මට හම්බ වෙන ගල් මුල් වලට වඩා ඒ දේ වටින බව කියමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!.

මුළු අවමංගල සභාවම ජීවයෙන් පිරුණු ස්ථානයක් බවට පත්වෙන්නේ මිනිසුන්ගේ පැහැදුනු සිත් හා මුහුණු වලින්. කතාව අවසන් කළ සිරිල් පාර දිහාට හෙමින් පිය නගින විදිය හැමෝම බලා හිටියේ පුදුමයෙන් වගේ.

නිමි.

Friday, April 5, 2013

පිස්සු බුවෙක්!! (සිතුවිලි බුවා නොවේ)


මම ඉස්සර හෙන බුවෙක්ය. ඒ කාලේ මට තිබුනේ කෙලි පැටික්කි පිස්සුවය. ඒක හොද කරගන්න බැරි උන මට විභාග පිස්සුවද ඇති විය. පසුව විභාග බියද ඇති විය. 

මෙසේ කල් ගත වෙද්දී මට ඇති වු පිස්සුව වන්නේ සර්කිට් පිස්සුවය. කොයි ලෝකේ තිබුනත් ස්ර්කිට් පොත් හොයාගෙන ඇවිත් අයිසී, රෙසිස්ටර්, ට්‍රාන්සිස්ටර්, ඩයොඩ්, වයර් කෑලි ගෙන එක එක විජ්ජුම්බර සර්කිට් හදන එකය, හොදම පිස්සුවක්ය. ඒ දවස් වල නැගලම ගියේ නයිට් රයිඩර් ලයිට් පේලිය හැදීමය. ඒකටත් පසුව බුදුරැස් ලයිට් වැල් හදන්නටත්, වෙසක් එකට එල්ඊඩී බල්බ් වලින් රෙසිස්ටර් අරගෙන වයර් ඇද ගේ වටේ ලයිට් වැල් අදින්නටත් පිස්සුව තදම විය. ඒ පිස්සුව එසේම තිබියදී, මට ඇන්ටෙනා පිස්සුවක් හැදුනේය. ඒක එසේ මෙසේ ඇන්ටනා පිස්සුවක් නොව උතුරට වහින කාලයට අපට දුරදර්ශන් බලන්න හැකි පරිදි පැරබොලික් ඇන්ටනාවක් හදන්නටය. එස්ලෝන් බට අරව මේවා, ඇලුමීනියම් යකඩ තහඩු ගෙන දත විකාගෙන තඩි පැරබොලික් ඇන්ටනාවක් හැදුවත් අහුවෙච්චි දුර්දර්ශනයෙක් නැත්තේය. ඒක වත්තට විසික් කොට වීඑච්එෆ් නිකං ඇන්ටනාව දමා ටීවී බලද්දී, මෙන්න බොලේ ටියුං කරන විට කරුමෙට දුරදර්ශන් ලාවට පේනවාය. අර ලඩියට වියදං කොරපු සල්ලි මතක් වී ආපු සන්තෝසෙට එවෙලේම ගොස් වත්ත පුරා විසිරෙන ලෙස ඒකා කුඩේ කුඩු කර දැම්මේය. මොනා උනත් ඒකෙන් එක දෙයක් ඉගෙන ගත්තේය. බැරබොලික් ඇන්ටනාවට ඒ දවස් වල කළු සුදු ටීවී තිබ්බ අපි පාවිච්චි කළ පටි ඇන්ටනා වයරය ගැලපෙන්නේ නැති බවය. ඒක තේරුං ගත්තාම ඇතිය. ඊට එහා යන්නට තවත් සල්ලි තිබුනේද නැත. ඒත් පිස්සුව හොද උනේද නැත.

සබීතාගේ මුණට තිබූ මාගේ ඒකපාර්ශ්වික ප්‍රේම පිස්සුවට පින්සිදු වන්නට, පාරේදි දැක්ක සබීතාට ටිකක් අහලින් යන නෑම්ඹියෙක්ගේ මූන දැකීමෙන් මාගේ කෙලි පැටික්කි පිස්සුව නැවත ඇති වී උත්සන්න විය. පිස්සුව කොයි තරං ද යත්, ලොවෙත් උදේ පහට අවදි නොවෙන දේශකයා, පාන්දර පහට අවදි වී, එක්සයිස් කොරන්නට ග්‍රවුන්ඩ් යනවා කියා අම්මා රවටා, අර නෑම්ඹිය ඉස්කෝලේ යනවා බලන්නට බයිසිකල් කටුවෙන් ගාටන්නේය. ඒ අතරේ එක්සයිස් පාරක්ද ලාවට දාගෙන කෙල්ල එන්නට වෙලාව ඇත්නං ඉස්ටේසම ළග ඇති කැද ලෑල්ලෙන් කැද වීදුරුවක්ද සීනි හකුරු කෑල්ලක් සමග හලා ගන්නේය. ඒක නං හෙනට ඇගට පනකද එන බීමක්ය. අපේ මහ වෙදනලා ඒවා හදන හැටි අපට කියා දෙන්නේද නැත. ඒක නිසා කවුරු හෝ හදලා දුන්නොත් පමණක් බොන්නේය. නැත්නං නිකං ඉන්නේය. ආ.. මට කැද පිස්සුවක්ද ළාවට තිබුනේය. ඒ අර නෑම්ඹිය සමහර දවසට මා කූජීත වෙන තරං පරක්කු වී ඉස්ටේසමට එන නිසාය. 

ඔය කෙලි පිස්සුව යාන්තං හොද කරගන්නට ලියුං කරදහි ලිව්වේය. අන්ඩර්වර්ල්ඩ් ගේම් ගැහුවේය. කැමතියි අකමැතියි සෙයියාවක් දුටුවේය. එහෙත් කැමති විත්තිය හොදටම දැන ගෙන හිටියේය. ඒ හන්දා ෆලෝ පාර එළටම දුන්නේය. මා දත කා ලියු පෙම් හසුන තාප්පයක් උඩ තබා දුවන විට පන්තියේම ඇඹලයෙක් ඒක අරගෙන මගේ චෑන්ස් එක නැති කොට මා නැතිභංගස්ථාන කොට දැම්මේය. ඒකා සමග ආ තරහ කියල නිම කරන්නට බැරිය. ඌට වගේ ගොං පිස්සුවක් මට නොතිබූ නිසා කෙලි පිස්සුව ටික දවසකට හොද කරගත්තේය. නැතහොත් නෑම්ඹිය මට කැමති උනේය. මම සුරලොව දොර ගාව කිහිප දොහක්ම ගත කලේය. ඔය අතරේ ද කෙලි පිස්සුව තිබුනේය. ඒක වෙන වෙන පැති කරා දිව්වේය. පෝය දා රෑට පන්සල් ගානේ හොල්මන් නෑම්ඹියන්ටද අසුවුනේය. ඒ ගැන පස්චත්තාප වි හිටියේය. හිටි ගමන් කවියක් ලියා ඒ පිස්සුවද හොද කර ගත්තේය.

ඔය විභාග පිස්සුව ඔළුවට ගැසුවේය. විභාගයට දින නියම උනේය. ඒක නිසා අනෙක් පිස්සු වලට ආගිය අතක් නොමැති වන්නේය. ඒකායන බලාපොරොත්තුව ඩී අටක්ම ගැනීමය. ඒක නිසා පස්ස උඩ තියාගෙන මාස දෙකක්ම පාඩං කොලේය. පාඩං කොලේය. පිස්සු ද හැදුනේය. නින්දෙන් ඉලක්කං ඇවිත් මට කොචොක් කරන හීන ද දුටුවේය. එකේ ඉලක්කම වරක් හෙල්ලයක් වේසෙන් පැමිණ මා ගෙල බින්දෙය. අටේ ඉලක්කම මට මාංචු දැම්මේය. හයේ ඉල්ක්කම මාව බාල්කයේ එල්ලුවේය. මා මැරුනේ නැතිය. ඒවා හුදු හීන පමණක්මය. ඒකේන්ම විභාග පිස්සුවේ හැටි තේරෙන්නේය. 

පිස්සුව තද වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී විභාගය ලිව්වේය. ඔක්කෝම ලිව්වේය. මාර සන්තෝසෙකින් ගෙදර අවේය. ඒ ආපු දාම බේබදු පිස්සුව ගැසුවේය. එදා රෑම අම්මාට කනිපින්දං කියා පන්සියක් හදි ගහගෙන ගොස් කොල්ලන් සමග බේබදු පිස්සුව ඇරඹුවේය. එළි වෙන කං බිව්වේය. වැල්ල පුරා කබර දමා දමා නිදා ගත්තේය. රෑ දෙකට පමණද යාන්තං ඇස් දෙක ඇරිය විට බෝතල් කාලක් පමණ අත පොවන මානයේ තිබී කටට හලා ගත්තේය. ඒකෙන් මස්තබාල්දු වී ගියේය. පහුවදා උදේ මිත්තරයෝ ටික මාව උස්සගෙන මුදට දමා නවා යාන්තං වත්තං කොරගෙන අවුත් නාවා දෙහි ගා ලෙමනේඩ් පොවා පියවි සිහිය ගත්තෝය. ඒකෙන් මේකෙන් දවස් තුන හතරකට බේබදු පිස්සුව හොද විය. 

මිත්තරයන්ගේ මළ ගෙවල් පිස්සුවක් ඊළගට ආවේය. ගමේ මරණ හතේ කතාව ඇත්ත උනේය. එක දිගට සති ගානක් මළ ගෙවල් වල නිදි වැරුවේය. බිව්වේය. ඒ දවස් වල ගාන අඩු නිසා මළ ගෙවල් වල බ්‍රිස්ටල් දුන්නේය. අපටද සල්ලි නැති නිසා යාන්තං බ්‍රිස්ටල් පැකට් එකක් දෙකක් උස්සා සැනසුනේය. තාප්ප උඩ, බෝක්කු උඩ බ්‍රිස්ටල් එක දෙක පත්තු කලේය. දවස් දෙක තුනක් මේක කොරද්දී බ්‍රිස්ටල් පිස්සුවක් අවේය. විනාඩි විස්සකට තිහකට සැරයක් බ්‍රිස්ටල් එකක් නොබීම බැරි වෙන තරම ට පිස්සුව තද උනේය. කොල්ලන්ට කනිපින්දං කියා උංගේ මළගෙවල් වල මාමලා, අයියලා අන්දා බ්‍රිස්ටල් පැකට් ගත්තේය. එක හුස්මට බිව්වේය. මට වගේම තව දෙතුන් දෙනෙකුටම බ්‍රිස්ටල් පිස්සුව ගැසුවේය. ඒත් ඒකේ කප් එක ගත්තේ මමය. මුළු වීදිය පුරාම බ්‍රිස්ටල් බ්‍රිස්ටල් නමින් මා හදුන්වන්නට ගත්තේය. අවුරුදු විස්සක් පමණ අතීතය පරණ වුවද, ඉද හිට වීදියේ පරණ බුවාලා මා දුටු විට බ්‍රිස්ටල් යැයි ආඩම්බරයෙන් ආමන්ත්‍රණය කරන්නේය. තනියම යන නිසා හොදය. පවුල පිටින් ගියානං කන්නට වෙන්නේ වහය. ඒක ඒ තරංම පිස්සුවක් වූවේය. 

අම්මාගෙන් නොසෑහෙන්න ගුටි කා, දොරවල් වසා කාමරේ තබා, වේල් දෙක තුනක් කන්න නොදි තියා, කාමරේ ඇර ආදරයෙන් වටහා දුන්නාට පසුව බ්‍රිස්ටල් පිස්සුවට තිත තිබ්බේය. අම්මාද ආඩම්බර වුවාය. බේබදු පිස්සුවට ද එසැනින්ම තිත තිබ්බේය. ඒ විදියට අම්මා උජාරුවෙන් මම එයාගේ පුතා බවත්, මේ මුළු ගමේම එයාගේ පුතා තරං ගුණ ගරුක පුතෙකු නොමැති බවටත් හැමෝටම පාරම් බෑවේය. ලැජ්ජාවට ඉවසා ගෙන හොද ළමයෙක් උනේය. ඒක නිසා ගමේ උන්දැලාද දේශක කොලුව හරිම සත්ගුණවත් (සිරා?????) එකෙක් බව ප්‍රතිරාවය කලේය. ඒක නිසා මට ගමේ හෙන ගැම්මක් තිබ්බේය. ආසාව තිබ්බත් අර පිස්සු දෙක කොරන්නට විදියක් තැති වන්නේය. එහෙම හිතුවාම වැරදිය. අවුරුදු දෙකකට වඩා ඉවසා ඉන්නට බැරි විය. හොරෙන් හොරෙන් ලාවට පිස්සුව පටන් ගත්තේය. පහු පහු වෙන කොට ජයටම පිස්සුව හැදුනේය. ගමේ මට තිබු තත්වය නැති උනේය. ඒක වලපල්ලට ගියේය. දේශක කොලුවා පජාත වුවේය. ඒ මදිවාට අනේ කිව්වට හරිද මන්ද, නොසන්ඩාලයෙකු ලෙස හංවඩුද ගැසුනේය. ඔය අල්ල පනල්ලේ විස්සවිද්‍යාලෙට තෝරන විභාග පිස්සුවද ඇති උනේය. කොයි තරං පිස්සු තිබුනත් ඒක නං ගොඩ දාගත්තේය. මම පිස්සා උනත් කටපාඩං කොරන දේට පිස්සෙකු නොවන්නේය. ඒක නිසා ගොඩ ගියේය.

ඔය පරණ පිස්සු නිසා ඉද හිට මට තාම පිස්සු හැදෙන්නේය. ඒත් හිරේ දැම්මාට පසුව කෙලි පැටික්කි පිස්සුව ස්වයංක්‍රීයවම හොද විය. පිස්සුද?? ඒ පිස්සුව ගොඩ එන්න බැරි විදියටම යටට ගිහිල්ලාය. දැං පැටික්කියෝ පනහක් එක්ක උනත් සතියක් දෙකක් මේකා තිව්ව හැකිය. මේකාට මුකුත් වූවත් මේකා අතින් කාටවත් වරදක් නොවන්නේය. නෝටි පෝට් වෙන විට වෙන දේ දැම්ම කිව නොහැකිය. නෝට් පෝටිද පට්ට පිස්සුවක්ය. ඒක හැදිච්චි උන් තනිකර පිස්සු කෙලින්නේය. ඒවා බලා අපටද පිස්සු තද වෙන්නේය. අනේ අනිච්චං කියවෙන්නේය. අපටද ඕක ම වේදැයි කියන්නට නොදන්නේය. ඒක නිසා කටවහගන්නේය. අනෙක් පිස්සු නං තාමත් ලාවව තියෙන්නේය. ඒවා කවදාවත් හොද වෙන්නේද නැතිය. බෙහෙත්ද නැතිය. බෙහෙත් තිබුනත් ගන්නේද නැතිය. මාගේ අනන්‍යතාවය ඒ පිස්සු නිසා රැකෙන්නේය. ඒ නිසා ඒ පිස්සු වල මං කැමතිය. ඔය ගොල්ලා මොනා කිව්වත් මට පාන්ද???

මට හැදිච්චි බ්ගොග් පිස්සුව ගැන කතා කිරීම වැඩක් නැත්තේය. ඒ බව හැමෝම දන්නවාය. ඒත් මගේ බ්ලොග් කටුවේ ඇනෝ ඇවිත් උත්තර ලියන ඇනෝ දේශකයාත් මා වගේම පිස්සෙක්ය. ඒකාට වැඩ නැතිය. ඒකට මං මක්ක කරන්නද? ඒත් මාවම කන්නේය. ඌට පිස්සුය.

හුටා... මාතලං දැක්කොත් මට කෙලින්නේය. කන හරහා ගහන්නේය. පස්සෙන් එළවන්නේය. තෝම්බුව එළටම දෙන්නේය. නිකමට ට්‍රයි කොරලා බැලුවේය. මං හරි ආසම ලියන විදිය මාතලංගේය. කියවන්න කියවන්න ආසා ඇති වන්නේය. ඒක නිසා කනගාටුවෙන් උනත් මංකොල්ලකාරයාගේ ශෛලිය මං+කොල්ල කෑවේය. ඒක මට හෙන ආතල්ය. මාතලං ටද ආතල් විය හැක. ඒ නිසා දුකක් නං නැත්තේය. ගැහුවත් ඉවසන්නේය. ඒකා මට සප් එක දුන් හොද එකාය. නරුමයා වගේ උනත් හිත හොද එකාය. මම යන්නේය. කියන්නට තියෙන දෙයක් ඔය යටින් කොටල යන එකක් ඇත්තේය. අනේ මන්ද මම මේක මොකට ලිව්වාද කියා තාම නොදන්නේය. ඒක නිසා මේක මඤ්ඤං දේශනයක් වන්නේය.

Tuesday, April 2, 2013

ඇයි දෙයියො මාව කන්න හදන්නේ!!! (Why me, Lord??)

මට හරි ආසයි මිනිස්සු තමන් ගැනම නැතිව අනිත් මිනිහා ගැනත් පොඩ්ඩක් හිතනවනං. ඕං බලන්නකෝ කෝච්චියට නගින්න ගියාම එතැන බඩදරු අම්මෙක් හිටියත් නගින එකා අර මනුස්සගේ බඩ උඩින් හරි නැගගෙන සීට් එකට පනිනවා. ජීවිතේ කවදාවත් වාඩි වෙලා හිටියේ නැති එකෙක් වගේ තමා උන් සීට් අල්ලන්න පනින්නේ. අපේ ඩුඩෙ නං දවසක් එහෙම එකෙකුට ඉස්ම යන්න චැලෙන්ජ් එකක් දීලා තිබුනා, හරිම සංවේදි විදියට.

මිනිස්සු එක විදියටම ඇයි අප්පා ආත්මාර්තකාමි වෙන්නේ. මොකක් හරි ඇහුවොත් මම දන්නෙ නෑ. මම දැක්කේ නෑ. ඒ මදිවට ඕන දෙයක් මම කරේ නෑ. මම කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නෑ. ඕං ඔහොමයි කතාව. 

එක දවසක් මම ගියපු බස් එකේ විදේශික කාන්තාවක් එක්ක, එයාගේ පුංචි පුතා හිටියා. බස් එක ගජරාමෙට යනවා. ඒ අතරේ බිස්කට් කකා හිටී කොල්ලා ඒක ඉවර වෙලා බිස්කට් කවරේ, වීදුරුවෙන් එළියට විසි කරා. මේක දැක්ක ඒ කාන්තාව ඇස් උඩ තියාගෙන එක පාරටම නැගිටල, වට පිට බල බල හරිම ලැජ්ජාවෙන් ඇඹරෙනවා. ඒ අතරේ කොල්ලටත් බනිනවා. මේ කාන්තාව ජනේලෙන් ඔළුව දාලත් බැලුවා මොකක් හරි උනාද හෙම කියලත්. කොල්ලට බනින කොට කොල්ලා කියනව මට ඇහුනා “ඇයි මමී.. ඊයේ අපිත් එක්ක ගියපු සුරාජ් (ගයිඩ් කෙනෙක් වෙන්න ඕන) එයා කාලා ඉවර වෙච්චි ගමන් හිස් පැකට් එක එළියට දැම්මේ“ කියලා.. ඕං ඕකයි තරම. අපේ එකෙක්ම තමා මේ දේ පොඩි එකාට කියල දීල තියෙන්නේ. උන්ගේ රටක උනානං ආයේ දෙකක් නෑ.. බඩු බනිස්ම තමා. අන්න ඒකයි තියෙන වෙනස මහ  ලොකු සිංහලයා සහ විදේශිකයන් අතර. අපේ නෑනේ ඔය කිසිම තැකීමක් මම ඇර වෙන එකෙක් වත් ගැන. මම බිස්කට් පැකට් එක කාල කොලේ පාරේ දැම්මත් මොකෝ මගේ පාරයැ.. එහෙම තමා හිතන්නේ.

ජපනාට ඇත්තටම පුදුම විදියේ ස්වයං විනයක් තියෙනවා. ජපනා කොහේ හරි යනවනං අනිවාර්යයෙන් පොඩි ග්‍රොසරි බෑග් එකක් අරගෙන යනවා.. මගදි ඔය විසි කරන්න වෙන ටොපි කොල, ටිකට් එහෙම දාගෙන ඉන්න. මිනිහා කාපු ටොපි කොලේ දවසක් උනත් සාක්කුවේ තියාගෙන ඉදීවි කසල බදුනක් ලැබෙන කං. ඒත් අපේ මිනිස්සු මොන වාහනේ ගියත්, පයින් ගියත් හැම දේම ලෝභ නැතුව බැහැර කරන්නේ පාරට තමා. ඔය හිස් කිරි පැකට්, බිස්කට් කොළ, මාළු පාං කෑලි ආදි දේවල් ඕන තරං වාහන වල ජනෙල් වලින් එළියට එනවා. ඒකට බස් එකද, කාර් එකද, පැජරෝ එකද කියල වෙනසක් නෑ. එහෙම බැලුවම පේනවා මොන වාහනේ ගියත් මොන තත්වෙක හිටියත් හැම මිනිහම එකම ජාතියේ කියල. 

තමන් කාපු ටොපි කොලේ සාක්කුවේ දාගෙන එන එකෙක් ඉන්නවද කසල බදුනට දාන්න කියල හිතාගෙන. නැහැනේ. වැඩිම ප්‍රතිශතය ටොපිය කාපු ගමන් කොලේ ඕන තැනක බිම දාන්න තමා ලෑස්තිය. ඔය විදියට ටොපි කොල දාස් ගානක් පාරේ තිබිල වතුරට අහුවෙලා කානු හිර උනාම මේ යක්කු කෑ ගහන්නේ අන්න ගලනවා. මුන්ට කානුවක් වත් සුද්ද කර ගන්න බැහැ කියලයි. ඒත් තමන් දාපු ටොපි කොලේත් ඒකට උදව්වක් වෙච්චි විත්තිය මේ ආත්මාර්තකාමි මිනිස්සු අමතක කරනවා.

හුගක් අය පරිසරයට ආදරෙයි. ඒක බොක්කෙන්ම විත්තිය ලෝකෙටම පෙන්නුවත් ඇත්තටම කරන්නේ බොරුව. ඔය ලොකු ලොකු මහත්තුරු කුණු දාන්න එක එක ජාතියේ විප්ලව කරනව නෙව පාරේ. රහස් ව්‍යාපාර.. ඔව්.. හොර රහසේ තමන්ගේ ගෙදර කුණු ටික බැහැර කරගන්න කූට ක්‍රම හොයනවා. ඒත් මොන ප්‍රශ්නේ තිබුනත් තමන්ට කුණු දාන්න තැනක් නොතිබුනත් ඒක කොහේ හරි තැනක රෙනවා වගේ දාන එක හරිද මන්ද? මිනිස්සු ඇයි ඒ තරං මෝඩ. එකෙක් කුනු බෑග් එකක් දැම්මම ඇති එළිවෙන කොට එතන කුණු ගොඩක් වෙන්න. එක කුණු බෑග් එකක් දාපු තැනක් කුණු දාන්න නීතියෙන් අවසර දීපු තැනක් විදියටම මේ මිනිස්සුන්ගේ ඔළුවට වදිනවා. අර කුණු බෑග් එක දැක්ක ගමන් අනිත් උන් බලන්නේ කොහොම හරි එතනටම කුණු ටික දාල යන්න තමා. ඉතිං එහෙම උනාම අවට මිනිස්සුන්ට සිද්ද වෙනවා එතැන ගහන්න. “කුණු දැමීම බල්ලන්ට පමණයි“ කියලා.

මොන විදියට සෝබන දාගෙන හිටියත්, මොන සමාජ සත්කාර කරත් හැම මිනිහම ආත්මාර්තකාමියි. ඒක වලක්වන්න බෑ. ඒත් තමන් හැර තවත් අය සිටී කියන පොඩි හරි අදහසක් මිනිහෙක්ගේ හිතේ තියෙන එක කොයි තරං දෙයක් වෙනවද කියන එක අදට වඩා අපට හෙටයි තේරෙන්නේ.

ප/ලි

හිතවත් ඇනෝ දේශකයා වෙත,

ඔබ විසින් මා නොමැති දින වල මාගේ පෝස්ට්කටු කෙරෙහිම වූ ඒකායන සද්භාවයෙන් යුතුව එහි සදහන් ප්‍රතිචාර සදහා පිළිතුරු සැපයීම පිළිබදව අතිශයින් ස්තුතිවන්ත වෙමි. ඔබ විසින් ඇනෝවෙකු ලෙස දැඩි හික්මීමකින් යුතුව ප්‍රතිචාර පළ කිරීම දැඩි ලෙස අගය කරමි. ඒත් මගේ පුංචි සුදු බෝලයෝ... මම ලියපු ඒවට උත්තර දෙන්න මටත් පොඩි ඉඩක් දුන්නානං හොදයි නේද.. බුදු සරණයි ඔයාට. ගිහිං එන්නං.