Saturday, June 28, 2014

පුන්ප්‍රියා!!

පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක.. 

එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.

කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.

“සුරේකා.. චුට්ටක් ඉන්න“

“ඇයි“

“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“

“හරි. කියන්න මොකක්ද ඉතිං“

“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“

“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“

“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“

“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“

“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“

“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“

“හෑ....“

ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?

ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා


ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..

අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා 
තනිකර එළියේ

මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.

එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා

ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.

කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා. 

නිකං ඉන්න එකේ පරණ සිංදු දෙක තුනක් අහලම බලමු නේද?

යු ටියුබ් සිංදු


Wednesday, June 25, 2014

බිලියන්!! (One Billion)

සමහර දේවල් ගැන මිනිස්සු අහල තියෙන දේ හෝ තමන් හරි කියල හිතාගෙන විශ්වාස කරගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද කියල හිතෙන්නේ, ඒවා වැරදියි කියල ඔප්පු කරලම පෙන්නුවම තමා. මිනිස්සු විෂමාකාර චරිත උනේ, එකිනෙකාට මොන විදියෙන්වත් සමාන නොවුනේ මේ සිතුවිලි වල, විශ්වාසයන්, ඉගැන්වීම් වල වෙනස් කම් නිසා වෙන්නැති.

මං දන්න කියන සමහර අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නේ තමන්ගේ හිතට මොකක් හරි දෙයක් ගැන අදහසක් ආව නං ඒ හිතට ආපු අදහස පරම සත්‍යය කියලා. ආයි මොන විදියෙන්වත් තමන් හිතපු දේ වරදින්න විදියක් නෑ කියල ඒ හාදයෝ ඉස්තීරෙටම කියනවා.

ඔය වගේ එක්කෙනෙක් තමා අපේ දේශිකා. එයා හිතන් ඉන්නෙත් එයාට මොකක් හරි දෙයක් හිතුනොත්.. අබ සරණයි.. ඒක හරිම කියල තමා. ආයිත් දෙකක් නෑ ඒ විදියටම තමා ඒක වෙන්න ඕන.

එක දවසක් පාටියකට ගිහිල්ල මම රෑ උනා ගෙදර එන්න. ඔය පාටි වලට ගියාම බස් වල එනව නං මට මගදි ටිකක් නින්ද යන නිසා සමහර දවසට බහින්න ඕන ස්ටෑන්ඩ් එකේ නෙමෙයි වෙන ස්ටෑන්ඩ් වල බහිනවා. හැබැයි ආපහු බස් එකක නැගල හරි ගෙදරට ම යනවා. ඒකයි ඇත්ත කතාව. එදා මං රෑ උනාම දේශිකා කෝල් කරල ඇහුවා කොහේද කියලා. හොදටම රෑ වේච්චි හින්දා මම කිව්වේ මේ දැං බස් එකට නගින්නයි මං ඉන්නේ කියලා. ඒත් මොන.. මම වීදුරුව ආයි පුරවල ෂොට් එකක් හලාගත්තා කටට. අලුත ගෙන බෝතලෙන්ම. පැයක් එකහමාරක් ගියාමත් මට කෝල් එකක් ආවා. එතකොටත් මම කිව්වේ බස් එකක් නෑ තාම කියලා. ඔය විදියට තව පාරක් කෝල් එකක් එනකොට මං ඇත්තටම බස් එකේ.. තව ටිකකින් බහිනවා විනාඩි පහෙන් ගෙදර කියල පෝන් එක තිබ්බා. කිව්ව වගේම විනාඩි පහෙන් ගෙදර ගියා. 

හැබැයි මේ දැරිවි හිතාගෙන ඉදල තියෙන්නේ මම බීල ඉවර වෙලා අර මුලින් කිව්ව වෙලාවටම බස් එකේ නැගල එන්න පිටත් උනාය කියල තමා. ඊට පස්සේ පරක්කු වෙනකොට එයැයි හිතුවලු මට නින්ද ගිහිල්ල බහින තැන පහු කරන් හුගක් දුර ගිහින් ආයි බස් එකක නැගල තමා එනවා ඇත්තේ කියලා. මම මොන විදියට දහං ගැට දාලා ඒක තේරුං කරත් එයැයි නෙමෙයි එයැයි හිතපු දේ වැරදියි කියල පිළිගන්නේ. ෆෝන් එකෙන් කතා කරදිදි කිසිම සද්දයක් බද්දයක් නැති වෙච්චි නිසා ඒකත් සාක්කියට අරන් තමන්ගේ මතය තහවුරු කරලම තමා දේශිකා පස්ස බැලුවේ. මොනා කරන්න ද මාත් ඉතිං ඔව් ඔයා හරි කියල හොදට බුදියගත්තා..හැක්

තව තව සිද්ධි තියෙනවා ඔය වගේ වෙච්චි. ඒවා පස්සේ කියන්නංකෝ.

මේකත් මේ අපේ දේශිකා වගේ එකියෙක්ගේ කතාවක්.

අපේ ඔපීසියට අලුතෙන් ආපු මේ දැරිවි බෝම ලස්සනට වැඩේ කරන් යනවා. ගණං හිලව් හොදට හදාගෙන වැඩ ටික කරන නිසා මම නං කිව්වේ තෝ මොන වෙලාවක හරි එකේ ඉලක්කමක් ඔළුවේ ඇනිලා මැරේවි කියලා. පොඩි අවුලක් තියේ. අපි හදන ගණං වල ඉතිං මිලියන් ගණං හෙමත් තියෙනවා නේ. සාමාන්‍යෙයන් මිලියන 34.5, 23.7 ඔන්න ඔය වගේ ගණං තමා අපි කියන්නේ. ඒත් දවසක් එක ගාණක් ලියල තිබුනේ මිලියන 124.8 ක් කියලා. අපි කව්රුවත් ඕක ගැන ඒ තරං සැලකුවේ නැහැ. මොන මගුලක්ද මිලියන 124 ක්.. කොළඹ ගිහිල්ල ගෙයක් ගන්නවත් ඇහැක.. 

කෝම හරි ඔය ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකක් හදන්න මේ දැරිවිට භාර දුන්නා. ඒකේ කොන්‍ත්‍රාත් මුදල විදියට මේ දැරිවි කීයද දන්නවද ලියල තිබුනේ.

බිලියන 12.48 යි.

රිපෝට් එක බලපු මගේ ඇස් උඩ ගියා. යකෝ ජීවිත කාලේම මේ වගේ ගානක් එකතු වෙන්නෑ කරපු වැඩ ටික බැලුවත්. එහෙව් එකේ මේකි මොකක්ද මේ කරපු පාහර වැඩේ කියල මම බැලුවා.

සිටාරි.. මෙහේ එනවා. මොකක්ද මේ බිලියන 12.48 කියන්නේ.

ඇයි අනේ දේශා.. මං ඒක කෙටියෙන් ලිව්වේ.

ඉතිං හරිද.. ගාන..

ඇයි වැරදිද.. මිලියන් වන් ටුවෙන්ටි ෆෝ.. බිලියන් උනාම ටුවෙල් පොයින්ට් ගානක් නේ..

හැබෑට සිටාරියො. උඹගේ මොලේ ඉලක්කං මාරු වෙලාද මේ ටිකේ..

නිකා ඉන්න අංකල්.. මම ගාන හරියට ලිව්වා හොදද?? ඕන නං බොස්ගෙන් අහමු..

බොස්ගෙන් අහල පීචං නොවී මං කියන එක අහපිය. මිලියන කීයක්ද බිලියනයක් කියන්නේ??

ඕක මොකක්ද? ටෙන් මිලියන් ඉක්වල්ස් ටු වන් බිලියන්.. ෂුවර්..

ෆක් ද මිලියන්ස්.. යකෝ කව්ද බොට ගණං කියල දුන්නේ.. අම්මප මෙච්චර කල් කොහේද වැඩ කරේ?

ඇයි ඇයි දේශා. ගාන වැරදිද?

වැරදි නෙමෙයි.. ස්ට්‍රොක් එකක් ඇවිල්ලයි මැරෙන්නේ මේවා බලලා. ගොං හරකියෝ.. බිලියන් එකක් කියන්නේ ලේසි පාසු ගානක් නෙමෙයි. ඔය සිංහලෙන් ලක්ස දහය මිලියනයයි.. මිලියන දහය කෝටියයි කියනව වගේ ඒවයින් පයිත්තියං වෙලාද ඔය විදියට ගණං හදන්නේ.. මෝඩ වැඳිරි.. බිලියන් එකක් කියන්නේ මිලියන දාහකට.

ඇත්තද.. ආ.. අයියෝ මං මෙච්චර කල් හිතාන උන්නේ මිලියන දහය බිලියන් එකයි කියල නේ.. අයියෝ සැහ්.. තැන්කුයි දේශා..

ඔන්න ඕමයි වැඩේ උනේ.. මේ යක්කු තමන් දැනං ඉන්න දේ ඉස්තීරෙටම හරියි කියල හිතන් ඉන්නේ කිසිම විචක්ෂණශිලි, විචාරශිලී ගුණයකින් තොරව නේ.. ඒකයි අවුල. 

Monday, June 16, 2014

සැනසෙමු සුදෝ...!!

වෙන්න තියෙන දේ වෙනවා ඒකේ ඉතිං ඇදක් කුදක් තියෙන එකක්යැ.. මේ පාර මාත් බාගෙට මැරුනා.. ඒක නිසාම මාස භාගයක්.. බුදු අම්මේ.. එච්චර කාලයක් බ්ලොග් අනං මනං සීමාසහිතව භාවිතා කලා. එපමණයි.. ඒත් වැඩේ කියන්නේ මේ අවකාසේ ඉන්න එක එක මිත්තරයෝ වේසෙන් ඉන්න කුම්භාණ්ඩයෝ නොයෙකුත් අවලාද.. අපහාස මට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එල්ල කරල තිබුනා. ඒවට නියම කලට වැසි වගේ හෙන වදින්නම දෙන්නංකෝ බඩු හරිය... හැක් හැක්.

හැබෑට අර නානසාර කතාකරන රැස්වීම් වල පුකවල් උඩ දදා අප්පුඩි ගහන උන් දැක්කම මට මතක් වෙන්නේ පරණ රෝමයේ කොලෝසියම. එතනත් එහෙම නේ. වටේ ඉන්න පනස් දාහක් අසුදාහක් විතර කෑමොර දෙන විදියට තමා සත්තු හරි මිනිස්සු හරි මරල දාන්නේ. එහෙම බැලුවම නානසාරයත් ග්ලැඩියේටර් කෙනෙක් හරි... සත්තු කොටවන්නෙක් හරි වෙන්න ඇති පෙර ආත්ම භවයක. 

මුං මේ කරන පඩත්තර වැඩ හින්දා අපට නැති වෙන්නේ අපේ රට බව පුක උඩදාගෙන අත්පුඩි ගහන උන් නොදැන ඉන්න එකයි අරුමේ. මං කිව්වේ අපේ රට කියල,.. මේක සිංහල රටක් කියල නෙමෙයි. මේක අපේ රට.. නැතිව එක එක පදුරු සිංහලයන්ගෙවත්.. මුස්ලිම් කාරයන්ගෙවත් දෙමලගෙවත් රටක් නෙමෙයි. අපේ රට. තමන්ගේ රටේම ඉහේ ඉදගෙන කඩුවෙන් බෙල්ලට කොටන නරුමයෝ ඉන්න රටක තව දුරටත් ජීවත් වෙනවද කියල හිතන්න වටිනවා.

නීතියත් නීතිය ක්‍රියාත්මක කිරීමත් මේ තරම්ම විහිළුවකට පාත්‍ර වෙච්චි කාලයක් ගැන ආයෙත් හිතන්නවත් බැහැ. ඒ වගේමයි රට තුල ඇති බිඳවැටීම.. හැම අතින්ම.. එක එක සංදර්ශන.. විකාර විවාද.. ප්‍රකාශ වලින් හංගන්න හැදුවත් එතැන තියෙන අති භයානක බිඳවැටීම වහංගු කරන්න නං ලේසි නැහැ. කරුමෙට මේ සාමාන්‍ය ජනයා කියන අන්ධභූත ආත්ම මේ තත්වයන් තේරුම් නොගන්න එක පුදුම අවාසනාවක්. පාලං උඩින් පැනල දරුවොත් එක්ක මැරෙන්න හදන මිනිස්සු ගැන අනුකම්පාවෙන් පාලං ගැට්ට උස් කරන්න කතා කරන බුරු පුත්‍රයන්ට තේරෙන්නෑ එක්කෝ තේරුම් කරල දෙන්න උවමනාවක් නැහැ.. රටේ තියෙන ආර්ථික පරිහානිය තමා ඒවයින් පෙන්නුම් කරන්නේ කියල. 

එක එක විදියේ අපරාධ.. හොරකම්.. මිනීමැරුම් ආදිය උනත් අධික ලෙස වර්ධනය වීමට හේතුව මේ අපට නොපෙණන ආර්ථික අවපාතය. ඇත්තටම බැලුවොත් අපිට දැං ආර්ථීකයක් නැහැ. ණයට අරන් ජෝගි නටල ඒ ණය පියවන්න තවන් ණය අරගෙන අර ණය නොපියවා මේකෙනුත් තවත් ජෝගි නටල, පළවෙනි ණය පියවන්න තුන් පාරක් ණය ගන්න රටක ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන කුමන කතාද?

වේදිකාව ලස්සනට සරසල, කොඩි වැල් දාලා සද්දේ ලොකුවට දාලා තිබුනට ටකරං ටික රත් වෙලයි තියෙන්නේ. මොන වෙලාවක හරි ඉස් මස් ලේ පුපුරාවි. ඒත් එතකං ඉන්න බෑ. මේ වගේ අරාජික, නීතියක් නැති නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති විලිලැජ්ජා නැති පාලකයෝ ඉන්න රටක හෙට මට වෙඩි තියල මැරුවත් ඒක සාධාරණයි. 

Tuesday, May 27, 2014

Photoshop Wedding!!

එන්න එන්න.. වාඩි වෙන්න.. මොකද අපෙන් වෙන්න ඕන...

මේකයි අයියේ.. අපි කසාද බදින්නයි ඉන්නේ..

හා හා සන්තෝසයි.. ඉතිං ඉතිං

අපිට ඕන ඇල්බම් එක හදාගන්න.. පෙන්නන්නට එපැයි ඒක..

අවුලක්..නෑ.. සුළු දෙයක්නේ කියමු කියමු.. දැං කතාව..

අපිට ඕන හරි ලස්සන පොටෝ ටිකක් පංකාදු පහට තියෙන..

උඩරටින්ද පහත රටද.. යුරෝපියන්... ඉන්දියන්ද ඇදුම් ඕන??

උඩරට නං වඩා හොදයි. ගොයිං එවේ.. ඉන්දියන් හොදයි.

එතකොට ගෘෘප් එකට කී දෙනාද?

බ්‍රයිස් මේඩ්. බෙස්මන් හා පුංචි ළමයි දෙතුන් දෙනෙක්..

හරි එහෙනං එහෙම කරමු.. සෙටි බැක් එක කොහොමද ඕන??

ලස්සන අලුත් ඩිසයින් එකක් තමා කැමති

මේ ඩිසයින් වලින් එකක් තෝරගන්න..කේක් ස්ට්‍රක්චර් එක මොන වගේද??

කප් කේක් එකක් දාමුද? ඒක හොදයි නේද අයියේ..

හරි එහෙනං මේක දාපු.. අලුත ආපු ප්‍රෙෂ් ඩිසයින්.. පොටෝ වලට ලෝකේෂන් හෙම මොනවද?

මං නං කැමතියි සීගිරියට, යාපහුවට.. මෙයා කැමති නුවර එළිය.. තලවකැලේ

සුළු දෙයක් නේ ඕක ඉතිං. කැමති නැද්ද හයි වේ එක.. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.. හයි වේ එක හරිම මැදින්.. ගෘෘප් පොටෝ එකක් දාමු..

අවුලක් නෑ..අයියා ඉතිං දන්නවා නේ..

වෙඩින් හොල් එක කොහේද.. හිල්ටන් හරි සිනමන් ග්‍රැන්ඩ් හරි.. තව ඕන නං පිට තැනක් හරි..

එක දවසක් ගියා මමත් නුවර තියෙන ක්වීන්ස් එකට. ඒකත් මරු හෝල් එකට..

ඊට වැඩිය හොදයි මල්ලි.. අපි අල්ලමු වෝටර්ස් එජ්...

අප්පා ඔව් අමතක උනා. ඒක හොදයි ඒක හොදයි.

වෙඩින් කාර් එකට ඉතිං ලිමොසින් එකක්ම ගමු.

ඔව් අයියේ මං ආසයි රතු පාටට.තියෙනවාද ඒ පාටම

මොකද අනේ බැරි.. සුදු පාටයි දැං තියෙන්නේ.. රතු පාටට කරන්න හැකි

අම්මට හුඩු. එළම තමා..තව මොනවද ඕන කියල අයියම හිතල හදන්නකෝ.. අපි මොකටද ඕවට වොරි. ඔයා ඉතිං පොපෙෂනල්නේ..

හහ් හහ්. හා.. ඔව් ඔව්.. ඔය වගේම ඇල්බම් නං කරලා ඇති අම්බානක. කස්ටර්මර්ට ඕන කරන නියම විදියටම දෙනවා.. ආයි ඉතිං බලන කෙනෙක් සිරාවටම බය හිතෙනවා. ඇත්ත එකක් වගේ තමයි..

ගණං හිලව් කොහොම වේද?

වැඩි ගාණක් නෑ මල්ලි. වෙඩින් එකක් ගත්තා නං ඔයාට යයි මිලියන් වත්. අපි නං නෑ වැඩිය ගන්නේ ඕනම නං  පෝටි තව්සන්ඩ්. ඇඩ්වාන්ස් එකක් අදම දෙන්න.

හරි එහෙමනං එහෙම කරමු.. මෙන්න ගන්න ඇඩ්වාන්ස්. එක.

තැන්කුයි .තැන්කුයි එහෙනං. ලබන සතියේ කෝල් එකක් දීල එන්න මේක ගන්න. හරියට ඇති වෙඩින් එකක් හිල්ටන් වල ගත්ත සේම.. අපි එළිකිරි වැඩ කාරයෝ.. 

බායි අනේ අපි යන්නං. කෝල්එකක් දී එන්නං..



(නරි බෑනා මතක් උනා කියල හෙම කියන්න ඔට්ටු නෑ ඕං)

Tuesday, May 20, 2014

නදීගේ කතාව!!ර්‍ (දිග කෙටි කතාව)

අව් රැල්ල මෝදු වෙමින් එද්දී, නදී රේල් පාර දිගේ ගොස් දුම්රිය වේදිකාවට ගොඩ නැගුනාය. තම නිවසේ සිට අඩි තිහක් හතලිහක් පමණ දුරින් වූ දුම්රිය නැවතුම්පළ වෙත අද දින ඇය පැමිණි ගමන, පැය ගණනක වෙහෙසක් ඇයට ගෙන දී ඇත. විටින් විට හිස උස්සා බලමින් සීරුවට අඩිය තබන ඇයගේ සාරි පොටේ දවටා ඇති රීදි පැහැති දම් වැල සිලි සිලි හඩින් දෙපැත්තට පැද්දෙන්නේ ඇය යන තාලයටමය. වෙනදා දකින කිසිවෙකු වුවද නදීගේ මුහුණේ රැඳි ශෝකි ස්වරූපය හදුනාගන්නවා නිසැකය. එහෙයිනි ඇය වඩාත්ම බියට පත් වූයේ. වෙනදා මෙන් කෙළිදෙළෙන් කට හඩ අවදි කරන්නට හෝ නෙතු අගින් ගිනි පුළිඟු වන් කිරණ කදම්බයන් මුදා හැර හඩ නංවා සිනා සෙන්නට ඇය වෙර ගත්තී, කිසිදු වෙනසක් නොපෙන්වා සිටිමේ අරමුණ ඇතිවය.

තවත් ස්වල්ප මොහොතකින් වේදිකාවට පැමිණි කෝචිචියේ ඇත්තේ මැදිරි තුනක් පමණි. එයින් අවසාන මැදිරියේ පුරුද්දක් ලෙස ගමන් ගන්නා ඇය දැන හදුනන බොහෝ පිරිසක් දැන් එම මැදිරියේ සිටිති. මැදිරියේ අවසාන භාගය පමණක් මගීන්ගේ ගමනාගමනය සදහා වෙන් කර ඇති එහි ඉදිරි කොටස දුම්රිය නියාමක හට අයිති කොටස වේ. ඒ අනුව වෙනත් මැදිරියකට සිට මෙම මැදිරිය වෙතට පැමිණීමට නම් වේදිකාවෙන් බැස මෙම කොටසට ගොඩ විය යුතුමය. එහෙයින් දිනපතා ගමන් ගන්නා මගීන්ට අමතරව මෙහි ගමන් කරන්නේ අතලොස්සකි.

තමාට හුරු පුරුදු ආසනය වෙනදා මෙන්ම නිසොල්මනේ තමා එනතෙක් බලා සිටින වග දන්නා, නදී එතැන හීන් සීරුවේ වාඩි වූවාය. ඇයට අනෙක් පසින් ඇයගේ යෙහෙළිය වන කුමුදු වාඩි වී සිටි. කුමුදුට ඉදිරිපස ආසනයේ කව්ළුව අද්දරට වන්නට පුරුදු පරිදිම ශ්‍යාමල් වාඩිී වී සිටින අතර, ඊළග නැවතුමේහිදි තවත් සගයෙක් හා යෙහෙළියක් සමාගමයට එක් වන්නට සුදානම්ය.

“මොකෝ බං අද මූණ එල්ලං. කෝ උඹේ වෙනද තියෙන සිරික්කිය ඈ??“ කුමුදු මහා සද්දෙන් නදීගෙන් ඇසූයෙන් ශ්‍යාමල්ද තම නෙත් විසල් කොට ඒ දෙස බැලුවේය.

“ඔව් නේනං.. මොකෝ නදී නංගි.. අසනීපයක්ද?“

“අනේ නෑ ශ්‍යාම් අයියා.. මේ කුමුදුට පිස්සු නේ“

“අනේ පලයං යන්න නදී. උඹට මොකක් හරි අවුලක් තියේ අද නං“

“නෑ නෑ. එහෙම අවුලක් නෑ..ඊයේ රෑ වෙනකං ෆිල්ම් එකක් බැලුවා“

“හා හා.. හබියා ආපු නිසා බොලා ෆිල්ම් එකක් ඇට් කරාද කව්ද දන්නේ“

“හොක් හොක්.. කුමුදු නංගි. පව් නේ නදී ඔහොම විහිළු කරන්න එපා“

“හරි හරි සොරි සොරි... හරි නදී ෆිල්ම් එකක් බලල දැං නිදි මතයි නේ.. නිදාගනිං පැටියෝ එහෙනං“

නදීගේ සිත තුල කැකෑරෙන වේදනාව නැවත දනි පනි ගා නැගිටින්නට වෙර දරයි. ඇය අපහසුවෙන් පැය ගණනක් ආපස්සට සිත ගමන් කිරීම වළක්වන්නට තැත් කරද, කුමුදුගේ වදන් තුලින් පන්නරය ලබා සිත ඉබාගාතේ පියාඹා යයි.

රාත්‍රි අට පමණ වෙද්දි කිසිදු දැනුම් දීමකින් තොරවම සුමාල් නිවසට පැමිණියේය. ඔහුගේ බඩී ට්‍රක් රථය ගේට්ටුව පසු කොට වැරෙන්ඩාව දෙසට එද්දී එහි ශබ්දය ඇයට ඇසුනේ. ගල්කිස්සේ කරවල කඩයක් පවත්වාගෙන යන ඔහු දැන් කරවල වෙළදාමේ නිපුණයෙකි. මුලින්ම ගල්කිස්සට ඔහු ගොඩ බැස්සේ හිතවතකුගේ කරවල ව්‍යාපාරයකට උදව් දෙන්නටය. එහෙත් කාලය විසින් සුමාල්, කරවල දෙසටම තල්ලු කරන්නට වූයේ එහි ඇති අමිහිරි ගන්ධයත්, අපහසුවත් ඉක්මවා පැමිණෙන ලාභයේ පිහිටෙනි. ඒ අනුව තමා විසින්ම කරවල වෙළදාමක් පටන් ගන්නා විට සුමාල්ගේ වයස යන්තම් අවුරුදු දහ නමයක් වන්නට ඇත. වසර පහකින් පසුව සුමාල් ගල්කිස්ස නගර සීමාව තුල ප්‍රසිද්ධ කරවල මුදලාලි කෙනෙකු විය. රට වටේම කරවල තොග රැගෙන යාමත්, රැගෙන ඒමත් ඔහු සතු ලොරි රථ දෙකකින් සිදු කරන ලද අතර, ඔහුගේ පහසුවට තබා ගත් බඩී ට්‍රක් රථයද කරවල ගෙන ඒම සදහාම යොදවන ලදි.

නදී, සුමාල්ගේ පාසල් පෙම්වතියකි. පාසැල් කාලයේ සියළු පෙම්වතුන් මෙන් ඔහුද නදීගේ රුවට වශී විය. බාලිකා විද්‍යාලයේ එම වසරේ සිටි රෑමත්ම බාලිකාව නදී බවට කිසිවෙකුටවත් සැකයක් නොතිබුනි. නදීගේ බැල්මට හසු වනු වස් සිය ගණනක් ඇයගේ නෙත් මානයේ පෙළහර පෑවද, අවසානයේ ජයග්‍රාහකයා සුමාල් විය. නදීගේ පහසෙහි වෙලුන මුල් දිනයෙහි තමා කෙතරම් වාසනාවන්ත වීදැයි ඔහුට සිතුනි. ඒ සිතුවිල්ල මතින් නදී කෙරෙහි ඇති ආකර්ශනය තිව්ර වූයෙන් අවසන නදී, සුමාල් යුග දිවියට එළඹියේ නෑදැ සනුහරයන්ගේ පූර්ණ කැමැත්ත ඇතිවය.

පාසැල් කාලයේ සිටම කෙළිලොල් කම උපරිම අයුරින් තිබූ නදීගේ සිනහව, වක්කඩ කැඩුවාක් මෙන් පිට වන කට හඩ සීනුවක් මෙන් පාසැල් කාමරය තුලත්, පිටතත් රැව් දෙන්නට විය. ඇයගේ සූසැට මායම් අසංඛය විය. නදීගේ සිරුරේ ලාලිත්‍යෙයන් පාසැලේ ගුරුවරුන් පවා අමන්දානන්දයට පත් වූ බවට ඕනෑ තරම් සාක්ෂි විය. ඒ කෙසේ වෙතත් නදීගේ චර්යාව දගකාර හැසිරීමක්ම පමණි. කිසිදු විටක යුවතියකට නොගැලපෙන දේ ඇය සිදු කලේ නැත. තම පෙම්වතා සමගින් අනන්තයේ දොරකඩ ගී ගැයුවා විනා ඉන් එහා ලෝකයක් ගැන ඇය නොතැකුවාය.

සියළු දේ තීරණය වන්නේ කාලය මතින් බව බොහෝ දාර්ශනිකයන් පවසා ඇති වදන් සත්‍ය වන්නේ යැයි අපද විශ්වාස කරන්නේ එම වචන වලින් ගම්‍ය වන යථාර්ථයට පිටු පෑ නොහැකි නිසාය. හෙමින් සීරුවේ වැඩෙන ගසක්, අතු ඉති උස් මහත් කරමින් වැඩෙන්නේ පරිසරයෙන් එයට ලැබෙන අංශුමාත්‍ර හෝ වූ සහයෝගය නිසාය. සුවදින් පිරිණු කාමරයක් තුල ඒ සුවද අංශුවක් අංශුවක් ගානේ ගමන් නොකරන්නේ නම් එහි ගන්ධය අප හට නොදැනේ.

උදේ හවස එකම දුම්රියේ එකම ආසනය මත ගමන් ගන්නා ශ්‍යාමල්ගේ විනීතකම නදීගේ සිත් ගත්තේය. ඔහුගේ නිරහංකාර කතා බහත් හැසීරිමත් සියළු දෙනා තුලම ඔහු පිළිබද ගෞරවයක් ඇති කරලීමට සමත් විය. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ශ්‍යාමල් මාර්ග සංවර්ධන අධිකාරයේ සේවය කරයි. ශ්‍යාමල් පිළිබදව දුම්රිය මැදිරියේ සගයන් තුල ඇත්තේ ඉතා චාම්. ප්‍රියමනාප, සැහැල්ලු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු ගේ ස්වරූපයය.

ශ්‍යාමල් ගේ ඇදුම් වලින් නිකුත් වන ඉමිහිරි සුගන්ධය නදීගේ සිත කිති කැවීමට පටන් ගනිද්දී එය නහය උඩට ඔසවා නහය තුලටම ඔබා ගත හැකි නැවුම් සුවදක් බව ඇයට දැනිනි. නදී මෙන්ම අනෙක් අයද ශ්‍යාමල් වෙතින් නික්මුණ ඒ සුවදට ඇලුම් කළහ. එහෙත් මාසකට පමණ සැරයක් හිටි ගමන් ගෙදරට කඩා පාත් වන තම ස්වාමි පුරුෂයා, තම පෙම්වතා පිළිබදව සිතෙද්දී නදීගේ නහය හැකිලී යන්නට විය. මෙපමණ කලක් බැරෑරැම් ලෙස නොදැනුනු කරවල වල අමිරිහි ගන්ධය විටින් විට නදීගේ නහය හකුලුවා ලන්නේ ශ්‍යාමල් වෙතින් නික්මෙන  සුවද පරදවමිනි. එය තමන්ගේ සිත තුල නැගුනු හිස් බව වේයැයි ඇය සිතන්නට ගත්තාය. එහෙත් තවත් ටික කලක් ගත වෙද්දී, කරවල සුවද තමා කෙරෙන් ඈත් කර තබන්නට ඇය ඉතා සතුටු වූවාය.

නිවසේ ගත කරන මොහොතක ඇයට, පෙර සුමාල් සිහිවී කඳුළු නැගෙන්නට විය. ඇයගේ නෙතින් ගිලිහුණු කදුල සැටියේ වෙල්වට් ආවරණය මත වැටී මල් රටා මවමින් විසිර යන අයුරු නැන්දා බලා සිටියාය. සුමාල්ගේ අම්මා හට, නැන්දම්මා හෝ අම්මා ලෙස ඇමතීමට නදීගේ සිත තවමත් සුදානම් නොමැත. නිවසට පැමිණි දා පටන් නැන්දා සමග කුළුපගව කටයුතු කරන නදීගේ සෙල්ලක්කාර, දගකාර හැසීරිම්, මද සිනහවකින් යුතුව ඉවසා වදාරන්නට නැන්දා නිතරම කටයුතු කළාය. ඇයට නදී තව දුරටත් ලේලියක් නොව තම දියණියක්ම විය. බොහෝ දේ, තම අම්මා සමග පවා නොකී දේ නැන්දා සමග පවසා සිටින්නට නදීට හැකි විය. එක ගෙදර සිටින කාන්තාවක් දෙදෙනෙකු තුල එවන් උසස් මිත්‍රශිලී සමාගමයක් පැවතීම ජීවත් වීමට කදිම පහසුවකි.

“නදී. මොකද දුවේ ඔයා අඩන්නේ“

“නෑ නැන්දේ.. මට සුමාල් ඉස්සර හිටිය විදිය මතක් උනා ඒකයි“

“ඇයි දැං සුමාල් වෙනස්ද?“

“අනේ නැහැ නැන්දේ.. ඉස්සර වගේම තරහ යනව එහෙම තමා. ඒත් ලොකු වෙනසක් නං නැහැ. මේ බිස්නස් එක නවත්තල වෙන එකක් කරමු කියල මං දවස් කීපයක්ම කිව්වා. එයා කැමති නෑනේ නැන්දේ මං කියන ඒවා අහන්න. මට ඒ ගඳ උහුලන්න බෑ“

“අපොයි. වැඩක් නෑ කියලා. මිනිහා ට්‍රක් එකේ ගෙදර ආපු දවසට මුළු ගේම නිකං කරවල වාඩියක් වගේ. හැබෑට දුවේ සුමාල් නෑවත් ඔය ගද එයාගෙන් එනවා ඇති නේද?“

“හා හා.. නැන්දේ.. පුතාට කියන්න එහෙනං හොදට නාගන්න කියලා. නැන්දට ගදක් ආවද සුමාල්ගෙන්??“

“මොකෝ නැත්තේ.. පුතා ගාව පුදුම ගන්දස්කාරයක් එන්නේ. වෙලාවකට මට ඔක්කාරෙත් එනවා. රෑට ආවත් ඔය වතුර ඩිංගක් හලාගත්තට හොදට නාගන්න එකක්යැ. අනේ මන්දා දුවේ.. මේ හාදයා සල්ලි පස්සෙම විතරයි නේ දුවන්නේ.. වෙන එකෙක් නං මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක් දාලා යාවියැ දුරකට... නැද්ද?“

“අපෝ නැන්දේ මං ලස්සනයැ... සුමාල් කියන්නේ දැං මං මහත් වෙලායි කියල නේ“

“මොකෝ නැත්තේ.. කට ඇති පුතයි. රුව ඇති දුවයි කියල කිව්වට මට ඉන්නේ ඒ දෙකට එකට තියෙන දුවෙක් නේ“

කඳුල සැටියේ දියවී වේලී යද්දී, නැන්දා හා නදී අතර කතාබහෙන් කඳුල පිළිබද කතාවද යටපත් විය. එහෙත් නැවත කඳුළු මතු වන්නට වැඩි දවසක් ගත වූයේ නැත. නදීගේ ඒකාකාර ඉල්ලීම වූ කරවල ව්‍යාපාරය නැවැත්වීම පිළිබදව සුමාල් ගේ සිත කෝප ගන්නවන්නට විය. නදී තමන් මුදල් සොයනා ආකාරය පිළිබදව නොදන්නා බවත් ඇයට එහි කිසිදු වගකීමක් නොමැති බවත් ආණ්ඩුවේ සොච්චං පඩියකට කම්මැලි රස්සාවක් කරන ඇයට තමා ගේ මහන්සියෙහි කිසිදු වටිනාකමක් නොමැති බවත් සිතට නැගීමෙන් සුමාල්ගේ කෝපය තීව්ර වන්නට විය. ඔහුගේ කෝපය හදිසියේ පුපුරා ගියේ, හදිස්සියේම නිවසට ගියදා රාත්‍රි කාලයේදීය.

තම කාමරයේ සයනය මත සුමාල් වැතිර සිටියේ ආසාවෙන් මුසපත් වී නදීගේ පැමිණීම අපේක්ෂාවෙනි. එහෙත් කණ්නාඩි මේසය ඉදිරියෙන් වාඩි වී කෙස් රැලි දිග හරිමින් නදී අනවශ්‍ය ලෙස කාලය කා දමන්නේ යැයි ඔහුට දැනින.

“ඒයි.. නදී.. ඉක්මනට එනවකෝ.. මං උදේ යන්නත් ඕන“

“පොඩ්ඩක් ඉන්න.. තව චුට්ටයි“

“තව ඉන්න බෑ.. මාස බාගෙකින් ගෙදර ආවමත් ගැණිගේ නෑනේ කිසිම සැලකිල්ලක්“

“අපෝ සලකන්න.. ගොම්බෙලි කරවල ගදයි මුළු කාමරේම.. මට නං වමනේ එන්න වගේ..“

“මොකද්ද කිව්වේ.. “ සැනින් ඇදෙන් බිමට බට සුමාල් කණ්නාඩිය දෙස වියරුවෙන් බලමින් ගොරවන්නට විය.

“අනේ සුමාල්.. මං කිව්වේ මං කිව්වේ.. “

“නෑ නෑ මට තේරුනා. කියනව බලන්න.. ආයිත්“

“අනේ ප්ලීස් සුමාල්.. මට ඒක නිකම්ම කියවුනා“

“එහෙම නෙමෙයි. ඔයාගේ හිතේ තියෙන දේ තමා එළියට ආවේ.. මට පේනවා. තමුසෙට දැං මාව කරවලයෙක් වගේ ගදයි නේ“

“මං එහෙම එකක් කිව්වේ නෑ නේ.. ඔයා වැරදියට ගන්නවා නේ“

“මම මේ ටිකේම දැක්කා.. තමුසේ මාව මගඅරින්න හැදුවේ.. ගිය පාර ආවම තමුසේ අපේ අම්මගේ කොන්දේ තෙල් ගාන්න ගියා. අඩු ගානේ උදේට තේ එකවත් මට හදල දුන්නෑ.. “

“ඉතිං ඒ ඔයාගේ අම්ම නේ.. එයාට අමාරු නිසා මං එතැන හිටියේ.. නැතිව වෙන කෙහෙම්මලකටද?“

“නදී මේ.. තමුසේ මාව අවුස්සගන්න එපා.. තමුසේ අම්මටත් කියල තිබුනා මං ගාව හඩු ගදයි කියලා.. තමුසේ දැනගන්නවා මේ නාවර පෙරං ඔක්කෝම කරන්නේ අපේ අනාගතේ වෙනුවෙන් හරිද??“

“මං ඔයාට මුකුත් කිව්නේ නෑනෙ. සුමාල්. ඇයි ඔයා මාත් එක්ක බොරුවට පැටලෙන්නේ“

“පැටලෙන්නෑ. මට අල්ලන්නෑ දැං තමුසෙගේ වැඩ ටික... ඉන්නවා මං හොයාගන්නං“

මහා සද්දෙන් කෙරුනු මේ සංවාදය සුමාල්ගේ මවද අසා සිටියා විනා ඒ මැද්දට පැනීමට ඇයට අවශ්‍යතාවයක් නොවීය. නදී පවසන දේ සත්‍ය බව ඇය දනී. එහෙත් තමා කියන දේ පවා විමසුමකට ලක් නොකරන සුමාල්ගේ අති ධාවනකාරී ක්‍රියාකලාපය සමග ඇයට හෙට්ටු වීමට නොහැක. පැයක් පමණ ඇදුන මේ යුද්ධයේ අතුරු පලයක් ලෙස නදී සුමාල්ගෙන් පළමු වරට පහර කෑමට ලක් වූවාය. කෙටි කාල පරාසයක් තුලදී නදී කිහිප වතාවක්ම සුමාල්ගේ පහර කෑමට ලක් වූයෙන්, ඒ පිළිබදව ඔවදන් දීමට ඇයට සිදු විය. ඒ සෑම විටම නදීගේ වෙනස් වීමක් පිළිබදව කරුණු දක්වන සුමාල්ගේ අදහස් වෙනස් කිරීමට අම්මා වුවද ඇයට හැකියාවක් නොමැති විය.

සිංහල නව වසර පසුවී එළබී පළමු වැඩ කරන දිනයේදී නදී තම කාර්යාලයේ සේවය සදහා ගියාය. එදින දුම්රිය මැදිරිය තුල ගමන් කළේ ශ්‍යාමල් හා තවත් දෙදෙනෙකු පමණි. නිහඩවම කව්ළුවෙන් එපිට බලමින් ගමන් කළ ශ්‍යාමල්, නදී සමග මුළු ගමනටම වචන කිහිපයක් කතා කරන්නට ඇත. එහෙයින් ඇයද නිසොල්මනේ ගමන් කරන්නට විය. 

සවස් වෙද්දී කළු වළාකුලු පැමිණෙමින් අහසේ සැරි සරන්නට විය. විටින් විට අඳුරු පැහැ පරිසරය තුල වියළි සුළං හමන්නට වුයෙන් වර්ෂාව අත ළඟ බැව් පෙනෙන්නට විය. හරියටම කාර්යාලය නිම වී එළියට බට මොහොතේම ඇද හැලුනු ධාරාණීපාත වර්ෂාව හා තද සුළං හේතුවෙන් නදී හට දුම්රිය ස්ථානය කරා වේගයෙන් ගමන් කිරීම අපහසු විය. පාර පුරා ගමන් කළ මඩ වතුර පාරවල් දෙබෑ කරමින් ඇයගේ කුඩා පාද පොළව ස්පර්ශ කරද්දී එයින් කැලතුනු මඩ වතුර ඇයගේ සාරියෙහි යට කෙළවර පැල්ලම් ඇති කළේය. හමනා සුළං පහරට ඔරොත්තු නොදුන් සැහැල්ලු කුඩය වරක් නොව දෙවරක්ම කන පිට ගැසුනේය. එයින් හෙම්බත් වී සිටි ඇයට වර්ෂාවෙන් නික්මුනු දැඩි පහරවල් ඉවසා සිටින්නට සිදු විය. කෙමෙන් කෙමෙන් දුම්රිය ආරම්භ වන වේලාව කිට්ටු වෙද්දී තමාට එයට ගොඩ වීමට නොහැකි වනු ඇතැයි සැක කළ නදී තම ගමන වේගවත් කළාය. දුම්රිය වේදිකාව පෙනෙන මානයේදී දුම්රිය ආරම්භ කිරීම සදහා සංඥාව ලැබී එන්ජිමෙන් නළා හඩ නිකුත් වන්නට විය. තවත් මොහොතකින් දුම්රිය ගමන් ආරම්භ කරන බව දත්, නදී කුඩය අකුලාගෙන වේගයෙන් දිව විත් වේදිකාවට ගොඩ විය. මොරසූරන වැස්සේ ප්‍රධාන ලාම්පු දල්වා තිබූ එන්ජිමෙහි නළා හඩ නැවත වාතලයට මුසු වෙද්දි හෙමින් සීරුවේ එය ඉදිරියට ඇදෙන බව ඇය දුටුවාය. තවත් අඩි කිහිපයක් දිව විත් එන්ජිමේ අර්ධයක් පසු කරද්දී දුම්රිය තවත් වේගය වැඩි කර තිබුනි. 

වසා තිබූ කව්ළුව තුලින් නදීගේ දිවයාම දුටු ශ්‍යාමල්, ඇයට මේ මොහොතේ නම් උදව්වක් අවශ්‍ය බව හැගී ගියෙන් තත්පරක් ඉක්ම යන්නටත් පෙර ඔහු මැදිරි දොරටුව දෙසට දිව ගියේය. සැනෙකින් දොර හැරගත් ඔහු යට පඩියට පැන නදීට ඉක්මනින් පැමිණ ගොඩවන්නැයි කෑ ගෑවේය. එයින් පන්නරය ලද නදී වේගයෙන් පැමිණියද ඇයට ධාවනය වන දුම්රිය පඩියට අඩිය තැබීම ඉතා අපහසු විය. පොදු කාන්තා බියෙන් සලිත වී සිටි ඇයට පාදය ඔසවා අඩිය තැබීම ඉතා දුෂ්කර හා බියජනක අත්දැකීමක් විය. තම අත අල්ලා ගන්නා ලෙස පවසා සිටි ශ්‍යාමල් දොර පඩිය වෙත ආසන්නයෙන් දුවමින් හැරෙමින් සිටි නදීව එක් වරම් තම අත් දෙකම නදීගේ බද වටා දවටා පුළුන් රොදක් මෙන් ඇය ඔසවා මැදිරිය තුලට ගත්තේය. වර්ෂා ජලයෙන් නැහැවී සිටි නදීගේ මුළු සිරුරම තෙමී ඇලි තිබුණි. ඇයගේ බය බිරාන්ත වීම ඇයගේ හෘද ස්පන්දය අතිශය වේගවත් කර ඇත. මැදිරියේ දොර අභියස නදීගේ බඳ වටා තම අත් දෙක දවටා සිටින ශ්‍යාමල්ගේ පපුවෙහි ගෑවෙන නොගෑවෙන ලෙස නදීගේ පපු පෙදෙස වේගයෙන් උස් පහත් වෙන අයුරු ඔහු දුටුවේය. තෙමී ඇති සාරි හැට්ටයත්, සාරි පටත් එකට ඇලී ඇයගේ වතෙහිම කොටසක් ලෙස පැවතීයේය. හිසකෙස් අතරින් දෝරේ ගලන ජලයෙන් පෝෂීත වී ඇයගේ රත් පැහැ දෙතොල් පෙගී යම්තමින් වේවිලන අයුරු දුටු ඔහු සැනෙකින් ඉවත බැලුවේය. එහෙත් නදීගේ තෙත් වූ සාරි පොට මැදිරියට ගලා එන සුළං පහරට හසුවී සරුංගලයක් මෙන් පාවෙන අයුරු දුටු ඔහු නදීගේ උරපත්ත එක් අතකින් තද කොට අනෙක් අතින් ඇයගේ සාරි පොට දොරෙන් ඇතුලට ඇද ගැනීමට වෙර දැරුවේය. එම අවසරයෙන් නදීගේ තෙමුන ගැහෙන පියවුරු තම පපු පෙදෙසේ ස්පර්ශ වී තම කමීසයද තෙත් කරනු ඔහුට දැනුනි. සාරි පොට ගෙන නදීගේ අනෙක් උරපත්තේ වෙලු ඔහු දීප්තිමත් දෑසින් නදී දෙස බැලුවේය. මුවැත්තියක සේ තෙමී අසරණව සිටි නදීගේ නිතර දිළිසෙන ඇස් යුග වෙනදාටත් වඩා දැන් පළිගු මෙන් දිලිසෙන්නේයැයි ඔහුට සිතුණි. වතුරෙන් පෙගුනු දෙතොල් මතින් සිහින් ජල බිංදු ඇයගේ නිකට මතට ගමන් කරනු ඔහු දුටුවේ නිරායාසයෙනි. මදක් විවර ඔහු නදීගේ රතු පැහැ දෙතොලේ ඝණකම ඔහු කුල්මත් කලේය. තවමත් තම පපුවෙහි ගැටී උස් පහත් වන නදීගේ පියවුරු වල දෝංකාරය ඔහුගේ සිරුර අඹරවා දමන්නට විය. සියල්ල අමතක කළ ඔහු එක් වරම නදීගේ දෙතොල මත තම උණුසුම් දෙතොල් තබදිදී, මහා කම්පනයක් සිදු වූ අයුරින් නදී එක වරම පසු පසට අඩියක් ගත්තෙන් බිය වූ ශ්‍යාමල් ඇය තම අත් දෙකින්ම වට කොට බදා ගත්තේය. කිටි කිටියේ තද වූ ඇයට ඔහුගේ උණුසුම, සුවද දැනෙන්ට විය. ඒ් අයුරින්ම තත්පර කිහිපයක් එකට වෙලී සිටි නදීගේ සිත තුල දෝංකාර දුන් සිතුවිලි කුමන බරකින් යුක්ත වීදැයි ඇයම නොදනී. එක් වරම සිහින ලොවක දොරටු හැරී එහි විල්ලුද පොළව මත ගමන් කරනා ආකාරයේ තෘප්තියක් ඇය තුල විය. තත්පර ගණකට උණුසුමෙන් කුල්මත් වූ නදී නිසොල්මන්ව සිටියදී, ශ්‍යාමල් නැවත ඇයගේ දෙතොල් තම දොතොලින් තෙත් කරන්නට සමත් විය. දිලිසෙන ඇස් අතරින් නික්මුණ කිරණ සමුහය පවසන වදන් කොරතම් දැයි ගණන් කළ නොහී. 

ඇයගේ අත අල්ලගෙන පැමිණී ශ්‍යාමල් ඇයව ආසනයේ වාඩි කර වීය. මුළු මැදිරිය තුලම ඔවුන් දෙදෙනා හැර අන් කිසිවෙකුත් නොමැති බව දුටු නදී දැඩි ලෙස බියට පත් විය. එම බිය ඇයගේ සිරුරම සලිත කරෙන් එම හැගීම ශ්‍යාමල්ට දැනිනි. ඇය අසලින්ම වාඩි වී ඇයගේ දකුණට තම දකුණතින් අල්ලා ගත් ශ්‍යාමල් ඇයගේ උර මත තම වම් අත තැබුවේය.

“බය වෙන්න එපා. නදී.. මට සමාවෙන්න“

එහෙත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. ඇයගේ ඇස් යුග තම අත රැදි ඔහුගේ අත කෙරේ යොමුව තිබුනි.

“අනේ වෙරි සොරි නදී. මට වෙච්චි දේ ගැන හරිම අප්සෙට්.. මං හිතුවේ නැති දෙයක් උනේ.. තරහ වෙන්න එපා නදී... මං ඇත්තටම ඔයාට උදව් කරන්න විතරයි හැදුවේ. ඒත් ඒත්.. මට තේරෙන්නෑ මං මොකක්ද කලේ කියලා.. අයිම් රියලි සොරි නදී“

තවත් මොහොතක් ගත වෙද්දී ඔහු තම දකුණතින් ඇයගේ අත ඔසවන්නය විය.

“අනේ ප්ලීස් නදී.. ඔයා තරහද.. මට කියන්න.. ඔයා තරහද?“

“ප්ලිස් කතා කරන්නකෝ.. නැත්නං මං නෙක්ස්ට් ස්ටේෂන් එකෙන් බැහැල යනවා. ආයි මේකේ මං එන්නෙත් නෑ..“

එම වදනින් නදීගේ සිතුවිලි එක් රැස් වන්නට විය. ප්‍රකෘතිය, ආවේගය ඉක්මවා වැඩෙන්නට විය. සෙමින් තම ඇස් ඔසවා තමා ළග සිටි ශ්‍යාමල්ගේ මුුහුණ දෙස බැලූ ඇයගේ බැලුම තුල පුදුමාකාර නිසසල බවක් තිබුණි. ඔහු තම අත නදීගේ උරය මතින් ඉවත් කර ගත්තේය. එහෙත් තවම දකුණත් එකට වෙලී පවතී. මොහොතක් ඔහු දෙස බලා සිටි නදීගේ මුවගින් නැගුනු මන්දස්මිය ශ්‍යාමල් කැලඹීමට පත් කළේය. වැහි වතුරෙන් පෙගී සිටි ඇයගේ සිරුරේ රෝම කූප කෙලින් වී තිබු බව ඔහු දුටුවේය. ඇයගේ වත කමලේ මේ තරම් සුන්දර බවක් ඔහු මෙතුවක් දැක නොතිබුණි. වර්ෂාව අඩු වූ සෙයක් නොමැත. පට පට ගා කව්ළු වීදුරුව මත විශාල වැහි බිංදු වේගයෙන් වදිමින් විසිර යයි. කෝච්චි තට්ටුවෙන් මතු වන ඩක ඩක ශබ්දය පරයා දෙදෙනාගේම හෘද ස්පන්දය වැඩි වී ඇත. මනසින් ව්‍යාකූල වූවත් තමා තවමත් සිහින ලෝකයක සැරි සරන බවත්, තමා මෙතුවක් ආසාවෙන් නහයට උරා ගත් ඒ සුවද දැන් තමා අසලම දැවටී සිටින බවත් කුල්මත් සිතින් සංඥා ලෙසින් නදීට දැන්වීය. එයින් පහසුවක් ලද ඇය තම දකුණතේ ඇගිලි තද කරමින් ඔහුගේ අත තද කළේය. ශ්‍යාමල්ද එලේසම තම ඇගිලිද තද කලෙන් තරමක් වේදනාවෙන් නදීගේ කට ඇද විය.

සෙමින් ඔහුගේ උරපත්ත මත තම හිස තැබු නදී ඇයගේ දෑස් පියා ගත්තාය. කර වටා තම අත දැමු ශ්‍යාමල් ඇයව හොදින් තුරුළු කර ගත්තේය.

මාස ගණනක ඇසුරකින් අනතුරුව නදීගේ හා ශ්‍යාමල්ගේ සම්බන්ධය වර්ධනය විය. අවිවාකයෙකු වූ ශ්‍යාමල් හට කිසිදු සමාජිය හෝ පවුල් බරක් නොවුයෙන් ඔහු සතුටට පත් විය. නදීගේ විස්මිත වූ ඇසුරින් ශ්‍යාමල් අළුත් ජීවිතයක් පටන් ගත්තේය. ඒ ලෝකය තුල නදීත් ඔහුත් හැරුණු කළ අන් කිසිවෙකුත් නොවීය.

කාලය ගෙවී යද්දී සුමාල්ගේත් නදීගෙත් අරගලය දැඩි විය. නදීද වෙනදා මෙන් නොව සුමාල් සමග කරට කර සිටීම හේතුවෙන් ඇයට පහර දීමට තැත් කිරීමට සුමාල් තුල පවා චකිතයක් විය. මේ සියළු කරුණු සාවධානව බලා සිටි නැන්දා කිසිවෙකුගේ පැත්තක් නොගත්තාය. එහෙත් යම් ප්‍රභල භූමිකම්පාවක් අත ළගම ඇති බව ඇයට දැනිනි.

රාත්‍රි නවය වෙත්දී නදී තම කාමරයට සක්මන් කලේ නැන්දාට වේලාසනින් නින්දට ගිය බැවිනි. එය අද වැනි දවසක කෙතරම් වටනේදැයි සිතු ඇයට සිනහ මතු විය. කාමරයේ ඇද යට තිබූ ට්‍රැවලින් බෑගය අතට ගෙන එය දොර කඩ තබා තව මොහොතක් නිසොල්මනේ පුටුවක් මත වාඩි වී සිටි ඇය හරියටම දහය පසු වෙද්දි ලහි ලහියේ තම ඇදුම් මාරු කරන්නට විය. පැයකට අධික කාලයක් ගත වී ඇති හෙයින් නැන්දා නිදිදෙව්දුව තුරුලට වී ඇති බැව ඇයට සැකයක් නොමැත. සෙමින් කාමරයෙන් පිටතට පැමිණි ඇය හඩ නොනැගෙන සේ සාලයට පැමිණ දොර සෙමින් විවෘත කරගෙන එළියට පැමිණියේය. කලින්ම විවෘත කර තිබු ගේට්ටුවට උඩින් සෙල්පෝනයක ටෝච් එළිය එහාට මෙහාට වන්නට වූයෙන්, තම ගමන ස්ථිර බව ඇයට හැගිනි. ගේට්ටුවට අත තබන්නට ඔන්න මෙන්න තිබියදී නැගුනු හඩින් නදී දැඩි ලෙස කැළඹුනාය.

“දුවේ.. උඹ යනවා නේද?? මං දන්නවා උඹට ඉන්න බැහැ කියලා.. ශ්‍යාමල් මාත් එක්ක මේ කතාව කිව්වා. මං දැනගෙන හිටියා අද ඔයා යන විත්තිය“

“අනේ නැන්දේ.. මට සමාවෙන්න.. මට ඒක කියාගන්න බැරි උනා.“

“ශ්‍යාමල්.. ඇතුලට එන්න. දුවේ. උඹ කරන දේට මට විරුද්ධ වෙන්න බෑ. ඒක උඹේ තීරණය. සුමාල් තමා දැනගන්න ඕන ඔයාව රැකගන්න. මට කරන්න දෙයක් නෑ දුවේ.. පරිස්සමින් යන්න. අනේ පුතේ මයේ දුව හොදට බලාගන්න... එයාට දුකක් දෙන්න එපා.. මටයි පාළු. මේ කෙල්ලගේ කෝලං බලාගෙන තමා මං මෙච්චර කලක් ජීවත් උනේ ටිකක් හරි හිනා වෙලා.“

“අනේ අම්මේ මට සමාවෙන්න. මට අම්මව උනත් තේරුං ගන්න බැරි උනා“

“හොදයි පුතේ.. ගිහින් එන්න“

දෙපසට පැද්දෙන ටෝච් එළිය රේල් පීලි මත වැටී දිස්නයක් දෙන්නට විය. කළුවරේ වුවද එකිනෙක් පැටලී ඇති අත් වල රැදි ඔරලෝසු දෙකෙහි රිදී පැහැය පැහැදිලිව පෙනෙන්නට විය. ගේට්ටුව වැසිනි.

Monday, May 19, 2014

චිත්‍ර ශිල්පියා!!

හීතල හිරිකඩ, විවෘත වූ ජනෙල් කවුළුව සිසාරා මාගේ දුප්පත් කාමරය තුල කැරකෙයි. එයින් නැගෙන සීතල දරා ගත නොහී මා සිත මෙන්ම ගතද භීතියට පත්ව ඇත. කවුළු තිර රෙදි මදින් මද සෙලවෙමින් හිරිකඩ කාමරය තුලට යොමු කරන අන්දම දුටු මා සිත තුල තෙරපෙන්නේ කෝපයකි. එයින් සවිමත් වූ සිත, ගත ජනෙල් කවුළුව වෙත යොමු කරන්නේ එයින් මිදීමේ අටියෙනි. දහසක් ශබ්ද, ඈතින් පෙනෙන රළු මුහුදෙන් නැග ඒ. එහි ශබ්දය කනට ඉතා හුරු පුරුදු වුවද, අද දින එහි යම් කන්දොස්කිරියාවක් ඇති බැව් මා හට දැනේ. ඝෝෂාකාරි ශබ්දය මා මනස බොහෝ සේ වියවුලට පත් කොට ඇත. 

ජනෙල් කවුළුව අසලට ගොස් එහි තිර රෙදි යම්තම් මෑත් කොට මා කවුළු පියන් පත් දෙක, අත් දෙකෙන් දෙපැත්තෙන් ම අල්ලා වසා දැමීමට තැත් කිරීමේදී නොසීතූ ලෙස බිම් මහල දෙස බැලීමට මා හට සිදු වීම වාසනාවක්ද අවාසනවාක්ද යන්න නිසි ලෙස මා හට නොවැටහේ.

යම්තම් කරුවල වී ඇති පරිසරය තුල, කනිපින්දම් දොඩමින් හිරු අවරට යමින් ඇත. එයින් මුක්ත වූ රන්වන් තැඹිලි පැහැ ආලෝකය තව දුරටත් වර්ණවත් නොවේ. එය අඳුරට මුහු වෙමින් පවතී. හිරුගේ වියෝවෙන් පන්නරය ලැබු මා ඇස් යුග අඳුරට ක්‍රමයෙන් හුරු වී ඇති අරුමය සැනෙකින් මා අවබෝධ කර ගතිමි.

ඇය සිටියේ පහල මාලයේ මිදුලෙහිය. එහි මායිම් තාප්පයට ඉතා ආසන්නව ඇති සිමෙන්තියෙන් වට කොට තිබෙන ළිදෙන් වතුර අදිමින් ස්නානය කරන ඇයගේ මල් වැටුන චීත්ත රෙදි වතුරෙන් පෙගී ශරීරයට මුළුමනින්ම ඇලී ගොස් ඇත. පනිට්ටුවෙන් හිසට වැටෙන ජල කඳ දරාගත නොහී ඇයගේ හිස පහළට නැවෙන්නේය. මට මුහුණ පා ස්නානය කරන ඇයගේ ඉරියව් තුල ඇත්තේ විස්තර කළ නොහී අපුරු වූ සුන්දරත්වයකි. හිසෙන් පහලට රෑටන ජල කද, හිසෙන් දෙබෑ වී ඇයගේ ශරිරය තෙමමින් පහලට වැටෙන්නේය. එයින් ඉක්බිති හිසෙන් වැටෙනා වතුර බිදු නිකට තෙක් වැටී, එයින් පසු කෙලින්ම ඇයගේ පපු පෙදෙස ස්පර්ශ කරමින්, මල් චීත්තය පසා කරමින් අැයගේ සිරුර තුලට කා වැදී අතුරුදන් වෙයි. එකින් එක වැටෙන පනිට්ටුවෙන් නික්මෙන ජල පහරින් ඇය තම සිරුර තෙමා ගනිද්දී, තෙත් නොවු මාගේ දෑස හැලහොල්මනක් නැතිවම ඒ දෙස තම කිරණ විිදිමින් තත්පරෙයන් දහයෙන් පංගුවක් පවා හසු කර ගැනීමට තැත් කරයි.

විඩාවට පත් නොවූ මා නෙතින් ලැබෙනා විධානය පරිදි මා හට කිසි ලෙසකින්වත් කවුළු පියන් පත් වසා දැමිය නොහැකිය. හීතල හිරිකඩ මා ගත වටා දැවටෙන වගක් මට සිහි නොවේ. ඇයගේ තෙතබරිත සිරුරින් දිස් වන මනා අගපසගෙහි ඇති මනස්කාත්තභාවය මා දැහැනකට පත් කොට ඇත. ඇයගේ නිරුවත් පා යුග හා උර පෙදෙස මද ආලෝකයෙන් දිස්නය දෙන්නේ වතුර බිඳු ඇයව සිපගන්නා හෙයිනි. කුමක් කරම් දැයි නොදත් මා නිසොල්මනේ ඇය දෙසම බලා සිටිමි. මා සිටිනා බවක් නොදක්නා ඇය, තම අගපසග හසුරුවමින් පිරිසිදු කරමින් සිටින්නීය. කලවා පෙදෙස චීත්තයෙන් මතු කරමින්, වරෙක තම පියවුරු අත ගාමින් ඇය ස්නානය කරනු අයුරු දකින මා සිත ආශාවෙන් වල්මත් වී ඇත. කිසි ලෙසකින් වටහාගත නොහැකි ලෙස, මාගේ සිත පාෂාණිභූත වී ඇත්තේය. ඉහල මහලේ සිට පැන ගොස් එක් වරම ඇයගේ තෙතබරිත සිරුර වෙලා ගැනීමට මගේ සිත බල කරයි. එසේ නැතහොත් මා මිය යනු ඇතැයි සිතන තරමට මගේ ගත වෙවුලුම් කයි. තව දුරටත් මෙම සිතුවිලි දරා ගත නොහැක. 

මීට පෙර කිසිදු දිනක මා ඇය මෙම ළිද අසලදී දැක නැත්තේ ඇයි දැයි විටින් විට මා සිත ප්‍රශ්න කරයි. අවශේෂ හේතුවකින් තොරවම එය මාගේ නොසැලකිල්ල බව මා විශ්වාස කරමි. 

ඉන් පසු දිනපතාම පාහේ ඇයගේ රෑ සපුව දැකීම මා හට තිබු එකම ආශාව විය. එයින් පිබිදෙන මා, ඇය බලාපොරොත්තුව පැය ගණන් කව්ළුව අසල ගැවසෙමි. එහෙත් ඒ කිසිදු දිනක ඇය මා දුටු බවක් නොදකින මා සැනසුම් සුසුම් හෙළමි. එය මද අස් වැසිල්ලකි. තව දුරටත් ඇයගේ පහස ලැබීමේ ආශාවක් මා තුල නොමැත. කවුළුවෙන් පැන ගොස් එක වරම ඇයව කිටිකිටියේ වෙලා ගැනීමේ මා ආශාව යටපත් වී ඇත. ඇයගේ සිරුරේ ලාලිත්‍යෙයන් ඔකඳ වූ මා මනස එයින්ම සෑහිමකට පත්ව ඇති සේය. 

ඇය දුට පළමු දවසේ මා සිතින් මතුවු සිතුවිලි සමුදාය තව දුරටත් ගලා නොඑන්නේ මන්දැයි තව දුරටත් මා හට ප්‍රශ්නයක් නොවේ. ඇයට මා පෙම් කරමි. එහෙත් ඒද ඇය ළිද අසල ගැවසෙද්දි පමණය. ඉන් තොර අනාගතයක් මා හට නොමැති බව පසක් වීමෙන් විටෙක සිත කඩා වැටුනද, ලාලිත්‍යෙයන් සපිරි ඇයගේ තෙමුනු සිරැර නැවත දුටු වනම එම සිතුවිලි කීති කීතු ඉරී බිමට පතිත වේ.

නැවත අවස්ථාවක් එළබෙන්නේ නැත. මේ අනර්භ දසුන මා අත රැදි පින්සල මත ඒ අයුරින්ම සටහන්ව තිබේදැයි සැක හැර දකින මා  හට, සිතුවම ගැන මතු වන්නේ ඉමහත් සතුටකි..

Tuesday, May 13, 2014

ඇටයක් උඩ කුමාරියක්!! (The Princess on the Pea)

එකෝමත් එක කාලෙක කුමාරයෙක් හිටියා. මෙයාට ඕන වෙලා තිබුනේ වෙන කව්රුවත් නෙමේ ඇත්තම ඇත්ත නියම කුමාරිකාවක්වම කසාද බදින්නයි. ඔය අදහස සපුරගන්න මේ කුමාරයා මුළු ලෝකේ වටේම කරක් ගැහුවා, හැම තැනකම ගියා. ඒත් මොකක් හරි අඩුපාඩුවක් නිසා කොතනදීවත් මේ කුමාරයට ඇත්තම ඇත්ත කුමාරියෙක් හොයාගන්න බැරි උනා. කොච්චර කුමාරියෝ හිටියත් ඒ අය ඇත්තම කුමාරියෝද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කුමාරයට කවදාවත් ලැබුනේ නැහැ. ඒ හැම වෙලේම මොකක් හරි දෙයක වැරැද්දක් තියෙන විත්තිය තමා කුමාරයා දැක්කේ. ඉතිං අන්තිමේ කුමාරයා බෝම දුකින් ආපහු තමන්ගේ මාළිගාවට ආවා. අනේ එයා ඇත්තම කුමාරියෙක් සරණපාවාගන්න කොයි තරං නං හීන දැක්කද?

එක දවසක් හැන්දෑවක මහ භයානක කුනාටුනක් ඇති උනා. මහ සද්දෙට හෙන පුපුරුන්න ගත්තා ඒ හෙන වලින් විදුලි එළි මතු උනා. වැස්ස බෝම නරක විදියට අහසින් කඩා වැටුනා. මේ නිසා ඒ වෙලාව හරිම දරුණු වෙලා තිබුනේ. ඔන්න මේ වෙලාවේදිම මාලිගාවේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. මහළු රජතුමා ගිහින් දොර ඇරල බැලුවා.

දොර ගාව හිටගෙන හිටියේ කුමාරිකාවක්. ඒත්, පව්.. ධාරානිපාත වරුසාවෙනුයි, කරුම කාලගුණයෙනුයි ඇය හොදටම බැට කාලා හිටියේ. තාමත් ඇයගේ කෙස් වැටියේ ඉදල පහලට ඇගේ ඇදුමට වතුර බිංදු වැටෙනවා. ඒවා ඇයගේ සපත්තු වල ඇගිලි හරියටම වැටුනා. මේ මොනව උනත් ඇය තමා කුමාරිකාවක් කියල තමා හදුන්වා දුන්නේ.

“හා එහෙමද?? හරි අපිට ඉක්මනට දැනගන්න පුළුවන් වේවි“ මහළු රැජින එහෙම හිතුවා. ඒත් ඇය මුකුත්ම කිව්වේ නැහැ. රැජින හෙමින් සීරුවේ නිදන කාමරයට ගිහින් ඇද තට්ටුවේ මැදින් පුංචි බීජ ඇටයක් තිබ්බා. ඊට පස්සේ ඒක උඩින් සුවපහසු මෙට්ට විස්සක්ම දැම්මා. ඊටත් පස්සේ සිනිදු පිහාටු වලින් යුත් සුවදායක ඇද ඇතිරිලි විස්සක්ම ඒ උඩින් දැම්මා.


මේ ඇදේ තමා අර කුමාරියට මුළු රෑම නිදාගන්න සිද්ධ වෙන්නේ ඉතිං. පහුවදා උදේ උනාම රැජින ගිහිල්ල කුමාරියගෙන් ඇහුවා “කොහොමද ඊයේ හොදට නිදාගත්තද කුමරිය“ කියලා.

“අහෝ මොන තරං අවාසනාවක්ද? මේ මුළු රෑම මට ඇහැ ඩිංගක් වත් පියවන්න ලැබුනේ නැහැනේ. මේ අැදට මොනා වෙලාද කියල දෙයියෝ තමා දන්නේ. මට දැනුනේ මොකක් හරි තද දෙයක් උඩ මම ඇල වෙලා ඉන්නවා කියලයි. මේ බලන්න මගේ මුළු ඇගම ගෙඩි ගැහිලා. ඊයේ රෑ නං මහ පුදුම රැයක් මට“ කුමාරිය තමන්ගේ අදෝනාව කියන්න ගත්තා.


ඉතිං ඔන්න මේ අය ඔක්කෝම මේ සිද්ධිය නිසා, දැන ගත්තා ඇය ඇත්තම කුමාරිකාවක් කියලා. කාටද දැනනේනේ මෙට්ට විස්සකුයි, පිහාටු ඇද ආවරණ විස්සකුයි අතුරල තියෙන ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්. ඇත්තටම ඉතිං නියම කුමාරියකට විතරයි ඒක දැනේනනේ.

අර කුමාරයා, මේ නියම කුමාරිකාව සරණපාවා ගත්තා. ඔහුට තේරුම් ගියා දැන්නං අැත්තටම ඇත්ත නියම කුමාරිකාවක් තමා තමන්ට ලැබුනේ කියලා. අර වටිනා බීජ ඇටේ.. ආ ඒක.. කෞතුකාගාරයේ තැන්පත් කරා. සමහර විට මොකෙක් හරි එකෙක් ඒක හොරකං කරල නැත්නං තාම එතැනම ඒක ඇති.

ඔන්න බලන්න... මේක ඇත්ත කතාවක් හොදේ.


හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Princess on the Pea - Hans Christian Andersen