Saturday, May 3, 2014

කවිකාරකම්!!

කවියක් ලියනව කියන්නේ ලේස් වැඩක් නෙමෙයි. මොකද ඒකට හොද ශබ්ද කෝෂයක්, කරුණා කාරණා පිළිබඳ දැනීමක් තියෙන්නම ඕන. කතාවක් ලියනවට වඩා සෑහෙන්න අමාරුයි එක කවියක් ලියන එක.මාත් ඒ දවස් වල කවි ලියන එකම තමා කරේ. මං ඒකට කැමතියි. ඒත් ඉස්කෝලේ යන කාලේ, අවුරුදු දෙක තුනක් තිස්සේ ලිව්ව විරහ කවි මොන තරං තුප්පහි මට්ටමේ ඒවද කියල මට තේරුනේ ඊටත් අවුරුදු දෙකකට විතර පස්සෙයි.

ඇත්තටම ඒ දවස් වල අර බෑගිරි ගහ ගහ අඩනවා වගේ තමා මම ලියපු කවි සේරම. ඒවයේ වචන දැක්කම දැන්නං පොළව පලාගෙන යන්න හිතෙනවා. සමහර කවි අර විරහ කියන එකම අච්චුවේ වෙනස් විදියට පුච්චපු පාං වගේ තමා. මෙලෝ රහක් නැහැ. 

සිංහල බ්ලොග් අවකාශයෙත් හොද කවිකාරයෝ ටිකක් ඉන්නවා. ඒ අතරින් දැනට කවිකම කුදගහගෙන ඉන්න එකෙක් තමා මාරයා. මිනිහා මුල් දවස් වල හොද කවි නිර්මාණ ඉදිරිපත් කරල තිබුනා. වල් කවි කීමෙන් ඉතිං මාතලංට ගහන්න කව්රුවත් නෑ. හැක්..

කවි කියන්නේ සිතට නැගෙන සංකල්පනාවක්, පරිකල්පනයක්. ඒක නිතරම පෝෂණය විය යුතු දෙයක්. කවිකාරකම පෝෂණය වන්නේ කියවීමෙන් දැකීමෙන් හා සිතීමෙන්. කවියක් කියන්නේ ලඝු කරපු විශාල ප්‍රකාශනයක්. සමහර විට කවියේ අර්ථය වචන වලින් ඉදිරිපත් නොවෙන්න පුළුවන්. සමහර විට වචනාර්ථයෙන් පමණක් නවතින්නත් පුළුවන්. ඒ වගේම සංඥා එළි දැල්වෙන කවි උනත් තියෙනවා නෙව. දේශානුරාගය අවුස්සන්න ඇස් මහින්ද හාමුරුදුවෝ ලිව්ව කවි දන්නවනේ. උන්නාන්සෙ ලියපු සමහර කවි කියෙව්වම ඇගේ මවිල් කෙලින් වෙනවා.

ඔය විදියට මං දන්න විදියට නං කවිකාරයෙක් වෙන්න ලොකු හැකියාවක් තියෙන්න ඕන එහෙම නැත්නං හැකියාව වර්ධනය කරගන්න ඕන. කවි ලියද්දී ඒ තුලට ගොනු වෙන අදහස් නවමු අදහස් විය යුතුයි. නැත්නං එකම ආකෘතියක් එකම ශෛලියක් මතු වෙන්නටත් ඉඩ තියෙනවා. මම කැමතියි කවි කියවන්න. ඒක නිසයි මේ කියන්නේ, කවි ලියන අය පුළුවන් තරං කියවන්න. අපේ පැරණි කවි ගැන වැඩි අවධානයක් යොමු කරනව නං වඩා හොදයි.

කවි ඇලජික් අයත් ඉන්නවා නේ. ඒකට නං කරන්න දෙයක් නෑ. කවද හරි කවිය ඕන වෙයි. ඒකනං මම දන්නවා.

අපි හිතන්නේ කවි බැරි උන් ඉන්නවා කියල නේ. මං හිතාන හිටියේ අපේ කෙන්ජට කවි ලියන්න බෑ කියලායි. ඒත් මේකා මේ ළගදී මුණුපොතේ මේ දාපු කවිය බලන්නකෝ. එළට තියෙනවා ඈ..



නොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ස්නැක් වලදී බොද්දි සකේ....
බලද්දී එයාල පිලිපින් ....
සිංදු කිව්වට ජපං .....



කවි ගැන අදහස් කියන්නත්, කවි ලියන අය පිළිබදව දැනුවත් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න...

Wednesday, April 30, 2014

NO time!! I'm Busy

මං ගෙදරට කියන්නේ “අයියෝ මං හරි බිසී අනේ... මොන වෙලාවකවත් වැඩක් කරන්න විදියක් නෑ. එක්කෝ ඊටින් මීටින්. නැත්නං වැඩ. නැත්නං තව මොකක් හරි“

ඔන්න ඔහොම තමා. ඉතිං දේශිකාත් හිටි ගමන් මට මොකක් හරි ටොපියක් හරි ඇණයක් හරි සෙට් කරන්නම නේ බලන් ඉන්නේ. ඒකටත් එක්ක මගේ කල්පනාව කෝම හරි ඒ ටොපි පැත්තකට දාන්න තමා.

දැං ටික කාලෙක ඉදල මට මෙයා කියනවා.

“අනේ දේශා.. අර ස්ටෑන්ඩ් ෆෑන් එක කැඩිල නේ. ඒක හදමු. සිවිලින් ෆෑන් එකට කරන්ට් එක වැඩියෙන් යනවා“

“හරි හරි. ඕක ගලවල මං ගෙඩිය අරන් ගිහින් හදන් එන්නං. ගමේ එකා ගාව හැදුවොත් ඒ ගානෙන් ෆෑන් දෙකක් ගන්තැකි..“

කතාව පයින් ගමන් දෝළාවෙන්.. හැක්.. ඒ මගේ හැටි උනත්.. උපහැරණේ වැරදියි නේ.. අයියෝ මෙහෙමත් වැඩ. ඉතිං ස්ටෑන්ඩ් ෆැන් තුනකටම කෙළවෙනකං මම නෙමෙයි ඕවා හදන්න ගියේ. අන්තිමට හදන්න කියන වචනෙත් මට කියන එක දේශිකා නැවැත්තුවා. ඇයි ඉතිං හදන එකක් යැ.

මේ අවුරුද කාලෙදි ඉතිං සියළු නෑ සනුහරේ එක්ක අපේ ගෙදර එකතු වෙච්චි වෙලාවේ මේ ගෑනි ඒක ඇද්ද නේ. අපිත් අනුමත වෙමින් හිිටියේ.

“ඔන්න මම දැං හැමෝම ඉස්සරහ කියන්නේ. ඔයාලගේ අයියට කිසිම වැඩක් කරගන්න කිසිම උනන්දුවක් නෑ. දැං අවුරුදු දෙකක් තිස්සේ මං කියනවා ෆෑන් ටික හදන් එන්න කියලා. කෝ ෆෑන් තුනක්ම පිච්චුනත් ආයි හදපු එකක් නං නෑ. ලැජ්ජ උනත් කරන්න දෙයක් නෑ. ඔහොම තමා ඔයාලගේ අයියගේ වැඩ. මොන වෙලාවේ බැලුවත් බිසීලු. ඒත් කරන වැඩක් නං නෑ. ඔන්න කරන එකම දේ ඔෆිස් යන එකයි. ඕටී කරන එකයි. දරුවා පන්ති එක්ක යන එකයි. ඔය ටික තමා අනිත් හැම දේම මං කරන්න ඕන. කිසිම දෙයක් ගැන උවමනාවක් නෑ.“

දේශිකාගේ දේශනේ ඇහුනට පස්සේ මුළු සභා ශාලාවම නිහඬ උනා හරියට මෝල්ගහෙන් බැටකාපු වංගෙඩිය වගේ. මාත් ඉතිං ඉකේ ලැජ්ජාවේ බෑ කියල අහගෙන හිටියා.

ඔය විදියට කරන්න කියපු වැඩ කන්දරාවක් මට මතක් වෙනවා.

මට තිබුනා අක්කර දහයක ඉඩමක්.. සෙල්ලංද?? හැක්.. විකුණුවා අක්කර අටක්ම. ඉතුරු අක්කර දෙක කන්දෙ තියෙන්නේ. ඉතිං අර අක්කර අට විකුණුවම මගේ අක්කර දෙකට යන්න පාරක් නෑ. ප්ලැන් එක අනුව නං අඩි 20 පාරක් නියමෙට තියෙනවා. ඒත් කැලේ වැවිල මොන මගුලක් වත් බලාගන්න බෑ. ඒ මදිවට ඉඩම විකුණූවේ ඔය වනාන්තරද මොනවද සුරකින ආයතනේකට. ඉතිං උන් එක්ක අපිට ඕන මගුල් කරන්න බෑ. ඒකේ අයිතිකාරයා චරිත් සේනානායක කියල හෙන ගෙම්බර බුවෙක්.. අවුරැදු ගානක් ඉඩම අතෑරල තිබ්බා උනත් දැං ඒකේ මොනා හරි කරමු.. ඒ කිව්වේ වවමු අපි දිනමු කියල දේශිකා කිව්වම මමත් හා හා කියල කර ඇරියා. 

කර ඇරීම කොච්චරද කියනවනං තාම අවුරුදු තුනක් තිස්සේ මං අර කොමිපැනි අයිතිකාරයට ඊමේල් යවනවා. තර්ජනය කරනවා. පාර දියං කියල. කොම්පැනියත් හරි හොදයි. ඊමේල් එවනවා. කතා කරනවා. ඒත් මට එන්න කියලත් කියනවා. මං යයි ඕවට. තාම ඉඩමට පාරත් නෑ. කරපු වගාවකුත් නෑ. ඔය ඉඩමේ කුරුදු වවමු කියලා දේශිකා ගිහිල්ල ගොවිජන සේවා එකත් එක්ක කතා කරල, ඔක්කෝම ලෑස්ති කරල අන්තිමට කුරුදු පැළ ටික නිකං අතේ වගේ තිබුනේ. හැක්. 

ඔය සීන් එකට නං හොද එකෙන් මං බැනුං ඇහුවා. කොම්පැනියට යන්නත් අඩ ගැහුවා.

“පිස්සුද අනේ කොහොමද නිවාඩු ගන්නේ. අනික මං මේ ටිකේම බිසී හොදටෝම“

ඔය රැකෝඩ් එක දවස ගානේ අවුරුදු දෙකක් විතර තිස්සේ වාදනය වෙන නිසා දැං එයා මට කියන එක නවත්තල අපි වවමු දිනමු කියන එක.

තව පර්චෑස් දහයක ඉඩං කෑල්ලක් තියෙනවා මට අයිති. ඕකෙන් ණයක් අරගෙන පොඩි ගෙයක් හදල අපි ටවුම කිට්ටුවට යමු කියල දේශිකා නාහෙන් අඩනවා. ලෝන් එකට ඕන කරන ඔක්කෝම ෆෝම් ගෙනැල්ල අකවුන්ට් හදල මට භාරදුන්නා නගර සභාවෙන් විථිරේඛා සහතිකේයි නොපරවා ගැනීමේ සහතිකයයි අරගන්න කියල. අලියම ඉන්න එකේ හෙන්ඩුව ගන්න එක මොකක්ද කියල හිතල මාත් වැඩේ බාරගත්ත හිටගෙන. තාමත් හිටගෙන ඒ වැඩේ කෙරෙනවා. නගර සභාවටත් මං දැං මාස දෙක තුනක ඉදලම යනවා. කෝ වැඩේ තාම කරගන්න බැරි උනානේ. ඒකට ඉතිං භෞතිකව යන්න එපායැ, හිතින් ගියාට වැඩක් නෑනේ.

ගෙදර ලැයිට් බිල වැඩි නිසා (සුදීක කිව්වද මන්දා) එල්ඊඩී බල්බ් පහක් ගේන්න කියලත් දැං මාස හයක් විතර වෙනවා. ඒ කාලේ ඇතුලත බල්බ් වල ගානත් වැඩි වෙලා. ඒත් තාම අපේ ලැයිට් බිල අඩු උනේ නං නෑ. කොහේ අඩු වෙන්නද මං බල්බ් ගෙනිච්ච එකක්යැ.

ඔය වගේ වැඩ කෝටියක් විතර තියෙනවා කරන්න. ඉදල හිටල හරි ගෙදර නැවතුනොත් නං සුං තමා. 

“ඔන්න අද නිවාඩු එකේ. ඔය අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න. අරහේ යන්න මෙහෙ යන්න. අරක පුරවන්න මේක ගේන්න. අරක හදන්න. “ හයියෝ වැඩ කෝටියයි. අන්තිමට එක වැඩක්වත් එදාටවත් කෙරෙන්නේ නෑ.

බලං ගියාම මං පුදුම කම්මැලියෙක් නේ අප්පා.. මෙහෙම ජීවත් වෙලා වැඩක් තියේද? දේශිකා මීට වඩා හොදයි පඹයෙක් ගත්තනං. අඩු ගානේ ඒකා ගෙදරට වෙලා එක තැනවත් ඉදිවී. බොන එකකුත් නෑ.

ඒ මදිවට මේ සමහර යාළුවෝ අහන දේවල් වලට මට නප්පියට තද වෙනවා.

“ඈ දේශෝ. බොට බ්ලොග් කොටන එකයි කියවන එකයි ඇරුනම වෙන වැඩක් කරන්නැද්ද යකෝ“

ඔව් යකෝ අනිත් ඒවා කරන්න කොහේද වෙලාවක් මේ මගුල් ටික කියවල ඉවර වෙන කොට. හැක්.

Saturday, April 26, 2014

මඟුල් දා මරණය!!

කඩිමුඩියේ එහේ මෙහේ දිවයන මිනිසුන්ගෙන් ගෙය සහ මිදුල පිරී ඇත. ඔවුන් සැම දෙනාම කිසියම් වැඩක ඉතා උනන්දුවෙන් නිරත වන්නා සේය. එකෙකු තීන්න ගෑවුනු ඇඳුම් ඇද පින්සල්ද, තීන්ත බාල්දිද අතදරා සිටිති. තවෙකෙකු, උදැල්ලෙන් මිදුල පිළිවෙළට සකසමින් සිටිති. ගෙයි ඇතුලේ බවලත් ඇත්තන්ද ලහිලහියේ වැඩ කටයුතු කරන අයුරක් දිස්වේ. කුස්සිය දෙසින් දුම්රොටු නැගීම එකාකාරයෙන්ම සිදු වන අතර, ඊට තරමක් එපිටට වන්නට විශාල දර කොට ප්‍රමාණයක් අව්වේ වේලෙන්නට දමා ඇත. මිදුල පුරා තැනින් තැන ගෝනි පඩංගු තබා ඒ මත තුනපහ වර්ග වේලෙන්නට තබා ඇති අතර, ඒවා විටින් විට කව්රුන් හෝ පැමිණ අතින් පෙරලා දමන්නේය.

තවත් දින තුනකින් පසුව එළැඹෙන දිනයේ සුභ මුහුර්තියෙන් විශාකගේ අයියා මනමාලයෙක් වී නිවසට පැමිණෙන්නේය ඒ සදහා වන සියළු කටයුතු මේ වන විට කෙරෙමින් පවතින්නේ විශාකගේ අනුදැනුම මතය. නිවසට රැස් වූ ඥාතින්, මිතුරන් හා කුලී කරුවන් තමන්ට පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටු කිරීමේ පරම චේතනාවෙන් කටයුතු කරදිදී, ගෙයි පිටුපසට වන්නට ඇති කාමරෙයන් බෙරිහන් දීමක් ඇසේ.

“ඒයි.. ඒයි.. “

අපහසුවෙන් වේව්ලමින් නැගෙන මේ ශබ්දය දෙතුන් විටක් කාමරෙයන් පිට වූවද එය පිළිගැනීමට කිසිවෙකුත් සුදානම් නොමැති සේය. ඒ හේතුවෙන් නැවත නැවතත් ඒ දුබල කටහඩ මතුව එද්දී, තම ඉන දැවටි චීත්තයෙන් තම අත පිස දමමින් සිරියාවතී කාමරය දිහාවට පියවර තබන්නාය. මහ ගෙයට යාබදව නොවුනද, ඊට අඩි දෙක තුනක් පමණ වන ඈතින් පිහිටා ඇති මෙම කාමරය කාළයකට පෙර වී ගබඩාව ලෙස භාවිතා කළ ස්ටෝරු කාමරයයි. එහි කව්ළුවක් නොතිබුන බැවින් විශාක විසින් මෙයට මාස කිහිපයකට පෙර පරණ බිත්ති කඩා එහි අලුතෙන් කව්ලුවක් සකස් කර ඇතත්, කොස් ලීයෙන් කළ එම ජනෙල් පියන් පත් මේ වන තෙක් පොලිෂ් කිරීමට හෝ කටයුතු කර නොමැත. පලු දෙකක් වන්නට ඇති දොරෙහි උඩ පළුව ඉතා අබලන්ව පවතින අතර, පරණ සරනේරු වලින් යුත් එහි උඩ සරනේරුව වාරු නොමැති හෙයින් ඉතා පරිස්සමින් ඇරීම වැසීම කළ යුතුව ඇත.

කාමරයේ බිම තැනින් තැන කඩතොලු වී සුදු පැහැ ගැන්වී තිබුනද, එය කාලයකට පෙරදීය. දැන් එම කඩතොලු සියල්ල දුහුවිල්ලෙන් වැසී කළු පැහැගැන්වී ඇත. කාමරයේ දකුණු පස මුල්ලට වන්නට ලණු ඇද මත රබර් මෙට්ටයක් දමා ඒ මත කොහු මෙට්ටමක්ද දමා ඇත. කොහු මෙට්ටයට උඩින් රබර් සීට් එකක් දමා ඉන් අනතුරුවය ඇඳ රෙද්ද දමා ඇත්තේ. දෙදෙනෙකුට නිදත හැකි විශාල ඇදක් වූ එහි කොනකට වන්නට ඉතා කෘෂ අයෙකු වැතිර සිටී. විටින් විට පැත්තට හැරෙමින් කෙදිරි ගාමින් සිටින ඔහු වරින් වර පැත්තට හැරීමේදී ඔහුගේ පිට ප්‍රෙද්ශය පුරා තැනින් තැන තුවාල වී ඇති බව දැකිය හැක.

“මොකෝ මේ බෙරිහන් දෙන්නේ.. වදේ“

“මමමම..මට ව..තුර ඩිංගක් පොඩි නෝ...නෝ“

“ඕකටද ඔය ගිරිය කඩන් බෙරිහන් දුන්නේ... ආ.. බොනවා ඉතිං“

සිරියලතා ඇද අසළ වූ ටීපෝව මතින් වතුර අඩක් වූ වීදුරුව ගෙන ඔහුට දෙන විට ඉතා අමරුවෙන් වැලමිටි දෙක මෙට්ටයට තෙරපමින් නැගීටීමට තැත් කරයි. මෙට්ටයෙන් ඉහලට එසවී ඇති අත් දෙක දැඩි ලෙස වෙව්ලමින් ඔහු වාරුව ගනී. දෙපැත්තට වැනෙන බට්ටෙකු මෙන් ඔහුගේ දකුණත, සිරියලතා දිගු කළ වතුර වීදුරුව මග හරිමින් කිහිප විටක් චලනය වූ පසුව තම අතින් ඔහුගේ අත අල්ලා ඒ මත වීදුරුව තබන්නට සිරියලතා කටයුතු කළාය. වීදුරුව දැඩිව අල්ලා ගත් දුර්වල අත, අනෙක් අත ගෙන සවියක් වීමට කටයුතු කළද වීදුරුව බදා ගත් අත් දෙකම දැඩි ලෙස වෙව්ලන්නට විය. එහෙයින් වීදුරුව මුව වෙත ලං කර ගැනීම වෙනුවෙන් ඔහුට මහත් වීර්යයක් ගැනීමට සිදු විය. මුව වෙත වීදුරුව කිට්ටු කරද්දී, බෙල්ලද තරමක් දිගු කොට වීදුරුව ග්‍රහණය කර ගැනීමට තැත් කිරීමෙන් මහන්සියට පත් ඔහුගේ මුහුණද වැරෙන් වැනෙන්නට විය. තව තවත් වීදුරුව ග්‍රහණය කරන්නට තැත් කොට වීදුරුවට මුව තබන්නට ඔහු සමත් විය. එයින් මහන්සියට පත් ඔහුගේ දුරුවල මුවෙහි තොල්බරුද වේව්ලන්නට වීමෙන් තොල් මත තිබු වේවිලන වීදුරුවෙන් වතුරු ඉහිරෙන්නට විය. එහෙත් වතුර බීමේ පිපාසාවෙන් සිටි ඔහු ඉතා අපහසුවෙන් වතුර බිංදු කිහිපයකින් තොල තෙමා ගනිද්දී වීදුරුවේ වූ වතුර අහවර විය. අහවර වූ වතුර වීදුරුව නැවත ටීපෝව මත තැබූ සිරියලතා ඇස් බැල්මකින් හෝ තොරව නැවත කාමරයෙන් පිට වූයේ විදිලි වේගයෙනි.

සවස් වරුව වන විට බොහෝ අය නිවසින් පිටවී ගොස්ය. සාලයේ වාඩි වී අඩි හයේ පිත්තල පහන ගඩොල් කුඩු හා දෙහි ඉස්ම යොදා පිරිසිදු කරන විශාක අසල සිරියලතා වාඩි වී සිටින්නේ එම දෙහි හා ගඩොල් කුඩු ම යොදාගනිමින් කුඩා පිත්තල පහන පිරිසිදු කරමිනි.

“පුතේ.. සීයා නං මහ කරදරයක්.. විනාඩියෙන් විනාඩියට කෑ ගහනවා නෙව“

“මොනා කරන්නද අම්මා.. එළවන්නයැ.. එකතැන් උන මනුස්සයා“

“අපි සීයව පොඩි මාමාලයි ගෙදරවත් නවත්තමුද මගුලට කලින් දවසේ. නැත්නං ඒ වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා සිකුරුයි“

“ඒත් කව්ද අම්මේ එහේ සීයව බලාගන්න ඉන්නේ. එදාට ඔක්කෝම මෙහේනේ“

“අපිට බැරිය ඔය පැයකට හමාරකට සැරයක් ගිහිල්ල වතුර ඩිංගක් පොවල මොනව හරි කවල එන්න. අනික ඕක මහ දුරක්යැ.“

“මම දන්නෑ අම්මේ.. මම නං හිතුවෙ කුස්සිය පස්සෙන් ටෙන්ට් රෙද්දක් ගහල දවල් කාලේ සීයව එතන තියන්න.. එතකොට කෑ ගැහුවත් ඇහෙන්නෑ නේ“

“අපෝ පුතේ.. දුං වැදිල ඔය මනුස්සය මැරිල යාවි.. හුස්ම ගන්නත් අමාරු එකේ“

“අපි කුස්සිය පැත්තෙන් රෙද්දක් දාලා දුං නොඑන විදියට වහල දාමු“

“හ්ම්.. කමක් නෑ මොකක් හරි කරමු.. අම්මපා මෙහෙමත් කරදර. නිවිහැනිහිල්ලේ මොකක් වත් කරගන්න බෑනේ මේ මනුස්සයා නිසා“

ඉන් පසුව වූ දින දෙකද සිරියාවතීගේ ඇනුම් බැනුම් අසමින් සීයා වතුර පානය කළේය. එහෙත් ඔහුගේ සාපිපාසාවේ අඩුවක් නම් නොවීය. විශාකගේ අනුදැනුම මත මගුල් දාට කලින් දා හැන්දැවේ කුස්සිය පිටුපසින් අගුවේ ටෙන්ට් රෙද්දක් ගැට ගසා කුස්සියෙන් එන දුම ආවරණය කිරීම සදහා තවත් රෙද්දක් කුස්සි බිත්තිය ආවරණය කරමින් ගැට ගසන ලදි. විශාකත් ඔහුගේ සහෝදරයන්ගෙත් අරමුණ වූයේ පසුදා උදෑසන වරුවේ සීයා ගේ ඇද රැගෙන ගොස් එහි තබා සීයාද එහිම තබන්නටය. ඉන් පසුව මංගල උත්සවය සීරුවට ඉටු කර ගත හැකි බවට ඔවුන් විශ්වාස කරති.

මගුල් දා උදෑසන අවදිව විශාක මුලින්ම කරන්නට සිතුවේ සීයා ගේ කර්තව්‍යයයි. අඩවන් කර ඇති දොරෙන් සීයාගේ කාමරයට ඇතුල් වූ විශාක නිදි යහනේ වූ සීයා ඔසවා ගනිද්දී, ඔහු පසු පසින් සිටි සතර දෙනෙකු සීයාගේ ඇඳ ඩැහැගෙන ගොස් තබන්නට සුදානම් ව සිටී. හිරිකිතයෙන් සීයා ඔසවා ගත් විශාක හට සීයාගේ සිරුර සීතල වී ඇති අයුරුත්, අත පය දරදඩු වී ඇති අයුරැත් දැනී වහාම නැවත සීයා ඇද මත තබා පරික්ෂා කලේය.

ඇද ඔසවාගෙන යාමට පැමිණි සතර දෙනා ඒ බරින් තමා නිදහස් වූ බව දැන සෙමින් සීරුවේ සීයාගේ කාමරයෙන් පිටවූයේ නිදහස් කුරුල්ලන් සේය.

Thursday, April 24, 2014

මට තාම අවුරුදු, පැස්ටිවල්.. etc

ටික දවසකින් ලිව්වේ නැති නිසා අත නිකං ගල් වෙලා වගේ අනේ.. මිනිහා ලියන්න බෑම කියනවා. බුල ගහනවා.. කට්ටි පනිනවා. මොකක් හරි මලදානයක් කියනවා. පට්ට කම්මැලියෙක් වෙලා අප්පා.. කව්ද ඉතිං මගේ දුකට සැපට දෙකටම කොටපු අත් දෙක තමා.

එහෙමෙයි කියල නිකං ඉන්නයැ.. අපිරියෙල් 10 ද කොහේද තමා අන්තිමට මොකක් හරි ලිව්වේ. ඊට පස්සේ අවුරුදු නිවාඩු. 21 වැඩට ආවා. ඒ කාලය තුල මට නං ඉතිං නොනගතේම තමා. මොකෝ ඉතිං ඔය වෙනිලට වගේ ගැජට් බැජට් අපිට තියෙන එකක්යැ හිතුනු වෙලාවට ලොග් වෙන්න. හැක්.

බෝම සාර්ථක අවුරුදු නිවාඩුවක් ගත කරල ආවට පස්සේ, තාම බේරිල්ලක් නෑ.. අර නරි නලියා ඇතුලු උදවිය සංවිධානය කරපු විකාර පැස්ටිවල් එකේ පොටෝ බලන එකයි, ඒකදෙි උන්දැලි කරපු කියපු නවනිංගිරා වැඩ ගැන කියවන (??) එකයි නෙව මේ දවස් වල තියෙන්නේ. මාත් බලං හිටියා මුන්ට මේක ඇති වෙයි කියල. තාම හිතලවත් නෑ වගේ. කමක් නෑ කමක් නෑ සති දෙකක් වත් ඕක මතක තිබ්බොත් ඇති.

අවුරුද්දට කියල මුලින්ම බොන්න සැට් උනේ 13 රෑ. ඒ පටන් ගත්තා නේද, නොදෝමකින් බොන එක නැවැත්තුවේ 17 වෙනිදා. 18 ඉදල 21 වෙනකං දවස් තුන, මොනවත් නොබී ආතල් එකේ පොඩි උන් එක්ක ගෙදරටම වෙලා, ජාලගත නෑ කම් මුකුත් නැතිව ආතල් එකේම ඉන්නවා කියල හිතනං හිටියට එහෙම කරන්න පුළුවනෑ. ඔන්න 19 දවල් වෙන කොට එනවා ගෝතයෙක්.. ඌරු නාම්බෙක් අප්පා. එළු මස් කෑල්ලකුත් අරන් ඒකට හරියන්න බෝතල් දෙකකුත් කඳ ගහගෙන. ඉතිං බෑ කියන්නයැ.. අවුරුදු නිසා බේකරිත් නෑ ඉතිං කොහේද රෝස් පාං. එළු මස් ටික ප්‍රෙෂර් කුකර් එකේ තම්බල, ඊට පස්සේ හොදට ඉස්ටුවට හදාගත්තා. දෙන්නා එක්ක වාඩි උනා. එකක් ඉවර කරා. ඊට පස්සේ තවත් එකෙක් කෝල් කරල ගෙන්නගෙන ඉතිරි එකටත් වැඩේ දීලම තමා පස්ස බැලුවේ.

එළුමස් බයිට් එකට අරන් ගැහුවමත් ගතියක් තියේ ඈ. කියන්න අමතක උනා නේ නලියෝ.. මං නැවැත්තුවා.. උඹලට හොද උනාට මට ඒක නරකයි වගේ..මං ඉතිං නැවැත්තුවා ගල් පාවිච්චිය. ආයි මාව හම්බ වෙන්න බොලා එනවා නං මතක ඇතිව බ්‍රැන්ඩි හරි විෂ්කි හරි විතරක් ගෙනෙල්ලා හරිය..

ඔව් ඉතිං ඒක අහවර කරා නේ.. උන් ගියා යන්න හවස 05 විතර වෙද්දි. මාත් හොද නින්දක් දැම්මා. වැඩේ කියන්නේ මම 20 කන්නේලියේ යන්න දාගෙන තිබුනා නේ පොඩි උන් එක්ක. ඕකට අපේ මලයගේ පවුල් වල අය එහෙම සම්බන්ධ කරගෙන යන්න තමා මං කල්පනා කරල තීන්දු තීරණ අරන් තිබුනේ.

එක මලයෙක් මේ දවස් වල ලංකාවේ නැති නිසා මිනිහගේ පවුලයි ළමයි දෙන්නයි එන්න බෑ කිව්වා. මටත් මොකෝ බත් ටිකට යන වියදම හරි අඩු යි නේ කියල ඉවසුවා. අනිත් මලයා නං කරගහගෙන එනවා කියල පොරොන්දු වෙලා තිබුනේ. ඒ මදිවට අපේ ළගම ඥාති වෙච්චි හැමදාම සැට් වෙන අයියකාරයෙකුත් එන්න පොරොන්දු උනා.

හැන්දෑවේ හතට විතර නිදි මරගාතේ මොකෙක් හරි කකුලක් හොලවන හින්දා මං නැගිට්ටා. අනේ අම්මෝ.. මෙන්න අර අයියකාරයා මගේ දිහාට ප්‍රෑන්ක්ලින් එකක් දික් කරන් ඉන්නවා. මේ යක්කු ටික 20 යන ගමනට උදේ පාන්දරම එන එක කරදර නිසා, මට අනුකම්පා කරල රෑම ඇවිල්ලා අපේ ගෙදර නවතින්න. ඉතිං තවත් දං වලදන්න ඉඩ තියේයැ. මලයා දුවල පැනල මස් ටිකක් පුච්චල අරගත්තම, මං දැක්කේ නෑ වගේ හිටියා. ඒ වෙන කොටත් හරියට කකුල් දෙක බිම තියල ඇවිදගන්න බැරි පොඩි දරුවෙක් මං. ඊට පස්සේ උන් දෙන්නා එළියට පුටු අරන් ගිිහින් ස්ටූල් එකක් තියල ඒක උඩ කලමනා තියල සකස් කරන හැටි මට හොදටම ඇහුනා. චියර්ස් කියලා උන් දෙන්නා ස්ලාං ගෑවට පස්සේ මට තේරුනා තවත් ඉවසන්න බෑ කියලා. ඒ පාර වැනි වැනි ගිහිල්ල වාඩි උනා. ඊට පස්සේ මොකක්ද ඉතිං තව එකකුත් ගෙනැල්ල තමා පස්ස බැලුවේ. රෑ දොළහ විතර ඇති නිදාගන්න කොට. 

උදේ වෙරි මරගාතෙම ගියා යන්න කන්නෙලි. ගියපාර බීල කරපු වැඩ ටික මතක නිසා මේ පාර නං කන්නෙලියේදි බොන්නෑ කියල මං පොරොන්දු වෙලා ගියේ මටම. ඒ පොරොන්දුව නං දෙයියනේ කියල ඉෂ්ට කරගත්තා. කොහේ බොන්නද අනේ ඔච්චර.. හැක්..

Friday, April 11, 2014

අතීතකාමය!!

මාගේ පාසැල් කාලයේදි මා ජීවත් වූ පෙදෙස පසු කරගෙන මා ගමන් කරමින් සිටිමි. ඉගෙනුම් කටයුතු අහවර කොට වසර කිහිපයක ඇවෑමෙන් මේ පෙදෙස හැරපියා මා හට යන්නට සිදු වූයේ රැකියාවක් ලැබුනු නිසාය. රැකියාව ලැබී වසරක් පමණ කාලයක් තුල විටින් විට මේ ප්‍රදේශයට පැමිණියද ඉන් පසුව කොළඹට නුදුරුව ස්ථිරවම පදිංචි වූ හෙයින් ගම් පෙදෙස වෙත යෑමට හැකියාවක් නොවීය.

කාලය වරෙක ඉබ්බෙකුගේ පිට මතින් ඇවිද යන අතර, තවත් විටෙක පියාපත් ලද විහඟකු සේ සැනින් ඉගිල යයි. කෙසේ සිතුවද, කාලය තුල මා අතරමං වී ඇති සේය. බොහෝ ඈතිත් දිළිසෙන තාරකාවන් දෙස මුහුදු වෙරළේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී සිගරට්ටුවක් උරමින්, එහි දුම් වළලු මැකි යන අයුරු දකිමින් සැන්දෑවරුව ගත කළ අයුරු මා පසු කොට ඇදෙන වෙරළ දුටු මතින් මට මතකයට නැගේ. මා නිතිපතා වාඩි වී සිටි සිමෙන්ති බංකුව මත, මේ වෙලාවේද කොළු ගැටයෙකු වාඩි වී සිටි අයුරු මා දුටිමි. සැනෙකින් මාද එවැනි කොළුවෙකු වී සිටි අයුරු මැවී පෙනෙන්නට විය.

දිනපතාම සැන්දෑ වරුවේ කළුවර අවට වෙලා ගනිද්දී, පා පැදිය ගෙන ගෙදරින් පිටත් වන මා, කඩයට ගොස් සිගරැට්ටු තුනක් මිලදී ගන්නෙමි. ඉන් පසුව හෙමින් සීරුවේ වෙරළ දිහාවට ඇදී මා කලින් සඳහන් කළ සිමෙන්ති බංකුව මත කිසිවෙකු හෝ වාඩි වී නොමැති නම්, එය මාගේ කර ගන්නා අතර, එසේ නොවන්නේ නම් වට කිහිපයක් කරක් ගැසීමට සිදු වේ. ඒ විටදීද, මටම ගැලපෙන බංකුවක් ලබා ගැනීම දුෂ්කර වන අවස්ථා එමට ඇත.

සිමෙන්ති බංකුවේ වාඩි වූ පසුව, බයිසිකලය මාගේ පිටුපසින් මට ආසන්නයේ හේත්තු කරගන්නේ, කළුවර වැටෙද්දී දුරක තිබුනහොත් එයට කුමක් වේදෝයි මා නොදන්නා නිසාය. බිම පුරාම තණකොළ වවා ඇත. පොළවට තරමක් පහළින් වෙරළ තීරය තිබෙන්නේ, දමා ඇති විශාල කළු ගල් මතින් වෙරළට බට හැකි අයුරිනි. එහෙත් කෙදිනකවත් මා එළෙස බැස ගොස් වෙරළ තීරයේ ඇවිද නොමැත. මා කළ එකම කාර්යය නම් බංකුව මත වාඩි වී අසීමිත වූ මනෝ ලොවක නිදහසේ නිරවුල්ව සැරි සැරීම පමණි. 

අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින සමහර තාරුකා තම දීප්තිමත් ඇසින් මා දෙස බලා සිටින ආකාරය දුටු විට, තවත් කෙනෙකුන් ඒ තාරුකාව දිහාවම කොහේ හෝ සිට බලා සිටිය හැකි නොවේ දැයි මට සිතේ. එවැනි විටෙක අප දෙදෙනාම සිතන්නේ එකම දෙයක් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ. 

වසර මිලියන ගණනාවක් තිස්සේ විටින් විට රැළි මවමින් මුහුදු තෙර නොනිදා පහන් කරයි. මා එහි සිටියද නැතද, මා කුමන දෙයක් කළද මුුහුදේ රැළි මැවීම කිසි විට නතර නොවේ. වෙරළේ හැපෙන පෙන රැල්ලක් මතින් සෝදා හැරි සුදු වැලි තට්ටුව මත තෙත බරිත ගතිය දුක්මුසු ස්වාභවයක් මට ගෙන එන්නේ කිමදැයි මා නොදනිමි. 

පළමු සිගරට්ටුව දල්වන මා, ප්‍රකෝටි ගණනක් වූ සිතුවිලි අතුරින් එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තැත් කරමි. එවිට ඒ සබැදුනු තවත් සිද්ධි දාමයන්, සිතුවිලි දාමයන් එකිනෙක ඇමිණි විසිතුරු සිහින ලෝකයක් මා සිත තුල මැවේ. ඒ අරුමය මතින් මා ඒ ලෝකය දිගේ ඇවිද යන්නෙමි. වරෙක මුහුදු වෙරළේ රළ බිදි ශබ්දයක් හෝ වාහනයක් ගමන් කරන ශබ්දයක් හෝ නොඇසෙන ලෙසම මා චිත්ත ලෝකයේ සැරි සරමි. සිතින් මවා ගත් තවත් සිතුවිලි වලින් ඒ ලෝකය සරසා, ලොකු මහත් කර ගන්නට වෙර දරද්දීම නිවි යන සිගරට්ටුව මා නැවත පියවි ලොව වෙත කැදවයි.

එළෙස සිගරට් තුනක ආනුභාවයෛන් මා විවිධ සිහින ලෝක වල සැරි සරමි. එහිදි නොයෙකුත් වර්ණ, නොයෙකුත් ස්ථාන, මිනිසුන්, සතුන් ආදි විවිධ දේ මා දකිමි. පියව් ලොවේදි මා දකිනවාට වඩා සිහින ලෝකයේ චරිත හා ස්ථාන වල කිසියම් අමුත්තක් මා දකිමි. එනම් එවැනි චරිත හා ස්ථාන නොඒසේනම් කාල පරිච්ඡේදයන් මට අවැසි පරිදි වෙනස් කිරීමට, ශුන්‍ය කිරීමට හෝ ඉවත් කිරීමට මා හට හැකි වීමයි. එය මට ආශ්වාදයකි. සිහින ලෝකයෙන් ඔබ්බට තවත් ලෝකයක් ඇති බව මට පසක් වන්නේ සිගරට්ටුව නිවී යාමෙන් අනතුරුවයි.

තවමත් මා එළෙස සිහින ලෝකයේ සැරි සැරීමට කැමැත්තෙමි. එහෙත් තව දුරටත් කාලය හා ජීවිතය මට ඊට අනුබලයක් සපයන්නේ නැත. 

ප.ලි. - ආයිත් සයිබර් මිතු දම අරඹන්නේ අපිරියෙල් 21 හෝ 22 බැවින් කලින්ම බොලාට ඉතා සුභ සියළු වැඩකටයුතු සාර්ථක වන ඉස්තරම්ම නව වසරක් වේවායි පතමි...!!

Wednesday, April 9, 2014

බ්ලොග් පිස්සෝ!!

පරණ එකට අළුත් එකක්
එකක් නැතොත් බියුටි එකක්
එක මදිනං තවත් එකක්
එපාම නං වෙනම එකක්

කට වට කර සුදු පාටට
තරියා වගේ කිරි ගාගෙන
වෙනි ගත්ත පින්තුරෙක
හරි අගේට හිනා වෙන්න

බිච් එකේ නාවන්නං
නො ද කිං ට කෙලවන්නං
ඇපල්, සෝනි වැලි පුරවං
පාටි දැම්ම මතකයි දැං

චොගම් එකේ ලොගෝ එකෙන්
හොර කොප්පක් ගහල ඉතිං
සිහින වලට ලොගෝ එකක්
අනිවා හදයි ලීෂ් ඉතිං

කෝපි පැලේ මාරු වේවි
බෝ පැල හෙම වල් වදීවි
වද පීදුනු කෙහෙල් එහෙම
වට්ටි පිටින් එහි තියේවි

මාරු කරං කන්න බොන්න
බනිස් අරං වාඩි වෙන්න
බැරිම උනොත් කවාගන්න
මාරයා හෙම ඒවි ඔන්න

ඌරු මොටේ වගේ දිගට
කර වටේට පටි වට කොට
කළුවට කළු පෙනෙල බලෙන්
එකෙක් ඒවි පොටෝ ගන්න

සෙල්ලං කර දිනාගන්න
බැරි සෙල්ලං නොදා ඉන්න
සින්දු කියල උම්ම දෙන්න
ඉඩ දෙන්නට බෑ කියන්න

එකෙක් ඒවි බොන්න බොන්න
බීලා බීලා චූ දාන්න
පොලිස් ජිප්ම හොයා යාවි
නිකං අරන් කයි පරිප්පු

බුද්ධදාස අරහං උන
තොප්පි දාපු විරු-පුවරු
ඒවි ඒවි හරි අගේට
එපා පුතේ රැවටෙන්නට

නිකං තියෙන දවස් අනේ
විස්ස තමයි දිනේ අනේ
සීයේ දෙකයි අපි ගන්නේ
බඩ පිරෙන්න කෑම දෙතේ

හැක් හැක්..

cyberfestival.blogspot.com

To confirm your participation, just fill this stupid form....

Saturday, April 5, 2014

හොර අරක්කු මාට්ටු වීම!!

මතකයි නේ අර අරක්කු උස්සන සීන් එක.. මතක නැත්නං ඕං බලාගන්න. හොර අරක්කු.

ඒකේ හැටියට එක දවසක් ඔය වගේ අනුන්ගේ පානෙන් එළිය බලාගෙන වෙඩිමකට රිංගලා යසට බෝතලේ උස්සන් එන කොටම ගෙදර පොරට අපි මාට්ටු උනා. මිනිහා ඉතිං දන්නවනේ කාටද ආරාධනා කරේ නැත්තේ කියලා. අනික අපි කජුකිරි කොල්ලෝ එතකොට. හරියට දැළි රැවුලවත් ඇවිත් නැති. ඉතිං බෙල්ලෙන් අල්ලන් ගියා අපි දෙන්නව පස්ස පැත්තට.. අපිටත් චූ නොගියා විතරයි.

මිනිහා අපි දෙන්නව බිත්තියට හේත්තු කරල ඇහුවේ තොපි මේ කීවෙනි බෝතලේද උස්සන්න හැදුවේ කියලයි. අනේ ඉතිං නමෝ විත්තියෙන් පටන් ගත්ත ජොබ තමා මේ කෙලවිලා ගියේ කියල කිව්වම මිනිහා විස්වාස කරේ නෑ. ඒත් බැරිම තැන අපි අඩ අඩ විස්තරේ කිව්වා. ඒ පාර ඉතිං නාහෙන් අඩන කොල්ලෝ දෙන්නගේ කරදරේ හින්දත්, මගුල් ගෙදර වැඩ නිසත් පොර අපිට යන්න දුන්නා. ගෙවල් තියෙන තැන් එහෙම ඔක්කෝම අහගත්තට පස්සේ.

සතියක් විතර යනකං අපි ඉස්කෝලේ ගියෙත් හොරෙන් හොරෙන්. ඇයි වදේ මේ හාදයගේ ගේ ඉස්සරහින් එපැයි අපි යන්න. හැක්. ඒ මදිවට මොන වෙලාවට හෙනයක් ගෙට කඩා පාත් වෙයිද කියල නොදන්න නිසා ලේ වතුර වෙලා තමා මොන වෙලේත් ගෙට අඩිය තිබ්බේ. ඒත් ම්හු. කිසිම දොසක් නෑ. තවත් ඉවසන්න පුළුවනෑ.

“ඒයි දේශා.. අරූ වැඩේ ලීක් කරන්න් නෑ වගේ නේද බං“

“ඔව් බං බාග විට ඒ යකාට අමතක වෙන්න ඇති බං.“

“වැඩක් නෑ බං කියල. පපුවේ බිත්තර තම්බපු එකම තමා මේ ටිකේ කරේ“

“මාත් එහෙමයි බං.. අම්මා මොන වෙලේ මෝල් ගහ අතට ගනීද කියල මං බයේ උන්නේ“

ඔය විදියට අපි කස්ටිය එකතු වෙචිචි තැන කතා උනාට, ටික වෙලාවක් යදිදී අර යකා ගැන අපිට පුදුම කෝපයක් ඇති උනේ. අපි ඉතිං ලවක් දෙවක් නැතිව ඌට බැන බැන උන්න එකමයි කරේ. වැඩේ කියන්නේ තව දවස් දෙකක් විතර ගියාට පස්සේ ඒ අහල පහල මළගෙයක් උනා නේ. අපිත් ඉතිං මොන වැඩේ තිබ්බත් ආරංචි වෙචිචි ගමන් ඒවාට දුවන්නේ. රෑ වෙන කොට ඔන්න පරණ කෝන්තර මතක් උනා. සැන්ඩා, ඉබ්බා, ටොට්ටා, කුමාර, ගිලි පොලියා වගේ කස්ටිය තමා සෙට් වෙලා හිටියේ.

“ඒ බං රෑ වෙලා අරූට ගේමක් දෙමුද?“

“අඩේ නියමයි. මොකක් හරි කරමු එහෙනං.“

“ඔක්කෝටම කලින් පොඩි සයිට් විසිට් එකක් දාලා එමු තව ටිකක් රෑ වෙලා“

ඉතිං අපි රෑ දහයට විතර ස්ථානිය පරික්ෂාවක් සදහා පිටත් උනා.ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරේ ටික දුරක් යන විට වම් පැත්තේ තියෙන ඒ යකාගේ ගෙදර ගේට්ටුවක් තිබුනට ඒකේ ලොක් එකක් නං දාන්නේ නැහැ. ගේට්ටුවත් එක්කම වාහන ගරාජ් එක. ඒක ඇතුලේ තැම්බිච්ච ඉබ්බෙක් ඉන්නවා. (මයිනර් කට්ටක්) වටේටම මල් පෝචිචි එහෙම ලස්සනට තියල පිළිවෙලකට වත්ත පිටිය ලකේට තියන් ඉන්න විත්තියක් තමා අපිට දර්ශනය උනේ. කියන්න අමතක උනා නේ.. අර ගේට්ටුවේ තියෙනවා රතු පාට ලියුං පෙට්ටිය.. ගෙයි සාලේ ලයිට් එකක් පත්තු උනා. අපේ නියමය පරිදි, සැන්ඩා ගිහින් හෙමින් ගේට්ටුවේ කොක්ක පන්නල, ඒක බාගෙට ඇරියා. ෂහ්. කිසි සද්දයක් නෑ. එහෙනං කරදරේකුත් නෑ. ආයි ගේට්ටුව වහල අපි එන්න ආවා.

ආයිත් රෑ 12 පහු වෙලා මළගෙදරින් එළීයට බැහැල වැල්ල පැත්තේ සයිමන් අංකල්ගේ පොල් ඉඩමෙන් කුරුම්බ ටිකකුත් හොරෙන්ම බාගෙන අපි තව ටිකක් දුර ගිහිල්ල පාරේ බෝක්කුව ගාව නතර උනා. ඊට පස්සේ ගල් වල ගහල කුරුම්බ ටික පලාගෙන කෑවා. ඒ අතරේ කස්ටියගේ ඒකමතික තීරණය පරිදි ඔක්කෝම ලෙලි, කටු අරව මේවා කෑලි ටික එකතු කරගෙන පාරේ වැටිල තිබුන ග්‍රොසරි බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ අපි හෙමින් සබ්ජෙක්ට් එකට ටාර්ගට් කරා.

පළාතම අදුරුයි. මුසල හඩින් කෑ ගහන කිසිම සතෙක් අහල පහල සින්දු කිව්වේ නෑ. විටින් විට ප්‍රධාන පාරේ යන වාහනයක එළිය විතරක් තත්පරේකට විතර අපට ආලෝකය සපයනවා. ඊට පස්සේ ආයි එකම අදුර. ඒත් සමහර ගෙවල් වල ජනේල් වල මල් ලෑලි අතරින් නයිට් ලෑම්ප් වල පුංචි එළි පේනවා. කිසි කරදරයක් නැතිව දැන් අපි අර යකාගේ ගේ ගාව. කරුමේ කියන්නේ ඒ පාරේ එක බල්ලෙක් වත් හිටියේ නෑ. සමහර විට උන් දුවන්න ඇති යක්ෂ බලු සෙට් එකක් තමා එන්නේ කියල හිතාගෙන. හැක්.

හෙමින් සීරුවේ ගේට්ටුවට කිට්ටු කරපු අපි, අර ලියුං පෙටිටියට සොපින් බෑග් එකේ තිබුන ඔක්කෝම අර පුංචි සිදුරෙන් පුල් ඩබ් එක දාලා ඇතුල් කරා. උගුර ගාවට කාපු ඌරෙක් වගේ තවත් ගිලින්න බැරිව දත් අස්සේ කෑම පුරවන් ඉන්නව වගේ පෙට්ටියේ සිදුර ගාවටම බඩු ආවට පස්සේ අපි වැඩේ නැවැත්තුවා. මේක කරද්දී වට වෙලා හිටිය අපේ උන්ගේ හිකි හිකිය දිගටම තිබුනා. ඒත් ඉතිං ඒ සද්දේ අපිට ඇහෙන ගානට විතරයි. 

ඊට පස්සේ කෙලින්ම ගරාජයට ගියා. කාර් එක තල්ලු කරන්න බැලුවා. බැහැ. එකෙක් ගිහින් ඉස්සරහ දොර බැලුවම අඩේ ඒක ලොක් වෙලා නෑ. හෙමින්ම ඒක ඇරල ජියර් එක නිව්ටල් කරා. හැන්ඩ් බ්රේක් නං තිබුනේ නැහැ. පස්සේ කාරෙක හෙමින්ම එළියට තල්ලු කරලා, ගේට්ටුවෙන් එළියට අරගෙන පාරේ නවත්තල ආයි ජියර් එක දාලා ගල් කරා. ඊට පස්සේ ආයිත් වත්තට ගිහිල්ල, අතට අහුවෙන තරමක් මල් පෝච්චි අරගෙන පාරට ගෙනැත් කාර් එක වටේ තිබ්බා. ඒත් මදි වෙචිචි නිසා තව ටිකක් ගෙනැල්ලා අහල පහල ගෙවල් දෙක තුනකත් ගිහින් තිබ්බා. ඒත් හිතට මදි. ඒ පාර ඒ ගෙවල් වලින් මල් පෝච්චි දෙක තුන ගෙනැල්ල අපි ඒවා අර යකාගේ ගෙදර තිබ්බා. වැඩේ සාර්ථකව නිම කරපු අපි ආයි මළ ගෙදර ගිහිල්ල, පුටු වල වාඩි වෙලා එළි වෙනකම්ම හිනා වෙවී හිටියා. 

හැබැයි ඉතිං අවුල තියෙන්නේ, එකෙක්වත් අර පළාතෙවත් යන්න තරං ගටකින් හිිටියේ නැති එකයි. නිකං හරි උදේ ඒ පැත්තේ ගියා නං ඒ පැත්තේ සිද්ධ වෙච්චි සංහදිය ගෙඩි පිටින්ම බලාගන්න තිබුනා.

ඔය එන අතරේ පාරේ ගහල තිබ්බ බැනර් එකක් පොලු වලින් කැඩිලා බිමට වැටිලා තිබුනා. අපි ඒක අරගෙන කෝටු දෙකක් කුරුසේ හැඩේට හැට ගහල ඒ්කේ උඩ හිස් කුරුම්බ ගෙඩියක් ඔබල, කෝටු වටේම අර බැනර් එක එතුවා හරියට පඹයෙක් වගේ වෙන්නම. ඊට පස්සේ ප්‍රධාන පාර කිට්ටුව තිබුන මුස්ලිම් ගේක, ඉස්සරහ දොරට ඒක හේත්තු කරල යන්න ගියා.

දවස් දෙකකට විතර පස්සේ තමා ආරංචි උනේ අර මුස්ලිම් ගෙදර ගෑනු කෙනා පාන්දර දොර අරින කොට, පඹයා ගේ ඇතුලට වැටෙන හැටි දැකල මර විකාරෙන් කෑ ගහල කලන්තේ දාලා වැටුනයි කියලා. ඒ ගෑනු කෙනාගේ මනුස්සයනං පැයක් විතර සරම උස්සන් කෑ ගැහුවලු මේක කරපු උන් අහු උනොත් බෙල්ල කඩනවයි කියලා.. අපි අහු වෙයි ඕවට..