මතකයි නේ අර අරක්කු උස්සන සීන් එක.. මතක නැත්නං ඕං බලාගන්න. හොර අරක්කු.
ඒකේ හැටියට එක දවසක් ඔය වගේ අනුන්ගේ පානෙන් එළිය බලාගෙන වෙඩිමකට රිංගලා යසට බෝතලේ උස්සන් එන කොටම ගෙදර පොරට අපි මාට්ටු උනා. මිනිහා ඉතිං දන්නවනේ කාටද ආරාධනා කරේ නැත්තේ කියලා. අනික අපි කජුකිරි කොල්ලෝ එතකොට. හරියට දැළි රැවුලවත් ඇවිත් නැති. ඉතිං බෙල්ලෙන් අල්ලන් ගියා අපි දෙන්නව පස්ස පැත්තට.. අපිටත් චූ නොගියා විතරයි.
මිනිහා අපි දෙන්නව බිත්තියට හේත්තු කරල ඇහුවේ තොපි මේ කීවෙනි බෝතලේද උස්සන්න හැදුවේ කියලයි. අනේ ඉතිං නමෝ විත්තියෙන් පටන් ගත්ත ජොබ තමා මේ කෙලවිලා ගියේ කියල කිව්වම මිනිහා විස්වාස කරේ නෑ. ඒත් බැරිම තැන අපි අඩ අඩ විස්තරේ කිව්වා. ඒ පාර ඉතිං නාහෙන් අඩන කොල්ලෝ දෙන්නගේ කරදරේ හින්දත්, මගුල් ගෙදර වැඩ නිසත් පොර අපිට යන්න දුන්නා. ගෙවල් තියෙන තැන් එහෙම ඔක්කෝම අහගත්තට පස්සේ.
සතියක් විතර යනකං අපි ඉස්කෝලේ ගියෙත් හොරෙන් හොරෙන්. ඇයි වදේ මේ හාදයගේ ගේ ඉස්සරහින් එපැයි අපි යන්න. හැක්. ඒ මදිවට මොන වෙලාවට හෙනයක් ගෙට කඩා පාත් වෙයිද කියල නොදන්න නිසා ලේ වතුර වෙලා තමා මොන වෙලේත් ගෙට අඩිය තිබ්බේ. ඒත් ම්හු. කිසිම දොසක් නෑ. තවත් ඉවසන්න පුළුවනෑ.
“ඒයි දේශා.. අරූ වැඩේ ලීක් කරන්න් නෑ වගේ නේද බං“
“ඔව් බං බාග විට ඒ යකාට අමතක වෙන්න ඇති බං.“
“වැඩක් නෑ බං කියල. පපුවේ බිත්තර තම්බපු එකම තමා මේ ටිකේ කරේ“
“මාත් එහෙමයි බං.. අම්මා මොන වෙලේ මෝල් ගහ අතට ගනීද කියල මං බයේ උන්නේ“
ඔය විදියට අපි කස්ටිය එකතු වෙචිචි තැන කතා උනාට, ටික වෙලාවක් යදිදී අර යකා ගැන අපිට පුදුම කෝපයක් ඇති උනේ. අපි ඉතිං ලවක් දෙවක් නැතිව ඌට බැන බැන උන්න එකමයි කරේ. වැඩේ කියන්නේ තව දවස් දෙකක් විතර ගියාට පස්සේ ඒ අහල පහල මළගෙයක් උනා නේ. අපිත් ඉතිං මොන වැඩේ තිබ්බත් ආරංචි වෙචිචි ගමන් ඒවාට දුවන්නේ. රෑ වෙන කොට ඔන්න පරණ කෝන්තර මතක් උනා. සැන්ඩා, ඉබ්බා, ටොට්ටා, කුමාර, ගිලි පොලියා වගේ කස්ටිය තමා සෙට් වෙලා හිටියේ.
“ඒ බං රෑ වෙලා අරූට ගේමක් දෙමුද?“
“අඩේ නියමයි. මොකක් හරි කරමු එහෙනං.“
“ඔක්කෝටම කලින් පොඩි සයිට් විසිට් එකක් දාලා එමු තව ටිකක් රෑ වෙලා“
ඉතිං අපි රෑ දහයට විතර ස්ථානිය පරික්ෂාවක් සදහා පිටත් උනා.ප්‍රධාන පාරෙන් හැරී අතුරු පාරේ ටික දුරක් යන විට වම් පැත්තේ තියෙන ඒ යකාගේ ගෙදර ගේට්ටුවක් තිබුනට ඒකේ ලොක් එකක් නං දාන්නේ නැහැ. ගේට්ටුවත් එක්කම වාහන ගරාජ් එක. ඒක ඇතුලේ තැම්බිච්ච ඉබ්බෙක් ඉන්නවා. (මයිනර් කට්ටක්) වටේටම මල් පෝචිචි එහෙම ලස්සනට තියල පිළිවෙලකට වත්ත පිටිය ලකේට තියන් ඉන්න විත්තියක් තමා අපිට දර්ශනය උනේ. කියන්න අමතක උනා නේ.. අර ගේට්ටුවේ තියෙනවා රතු පාට ලියුං පෙට්ටිය.. ගෙයි සාලේ ලයිට් එකක් පත්තු උනා. අපේ නියමය පරිදි, සැන්ඩා ගිහින් හෙමින් ගේට්ටුවේ කොක්ක පන්නල, ඒක බාගෙට ඇරියා. ෂහ්. කිසි සද්දයක් නෑ. එහෙනං කරදරේකුත් නෑ. ආයි ගේට්ටුව වහල අපි එන්න ආවා.
ආයිත් රෑ 12 පහු වෙලා මළගෙදරින් එළීයට බැහැල වැල්ල පැත්තේ සයිමන් අංකල්ගේ පොල් ඉඩමෙන් කුරුම්බ ටිකකුත් හොරෙන්ම බාගෙන අපි තව ටිකක් දුර ගිහිල්ල පාරේ බෝක්කුව ගාව නතර උනා. ඊට පස්සේ ගල් වල ගහල කුරුම්බ ටික පලාගෙන කෑවා. ඒ අතරේ කස්ටියගේ ඒකමතික තීරණය පරිදි ඔක්කෝම ලෙලි, කටු අරව මේවා කෑලි ටික එකතු කරගෙන පාරේ වැටිල තිබුන ග්‍රොසරි බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ අපි හෙමින් සබ්ජෙක්ට් එකට ටාර්ගට් කරා.
පළාතම අදුරුයි. මුසල හඩින් කෑ ගහන කිසිම සතෙක් අහල පහල සින්දු කිව්වේ නෑ. විටින් විට ප්‍රධාන පාරේ යන වාහනයක එළිය විතරක් තත්පරේකට විතර අපට ආලෝකය සපයනවා. ඊට පස්සේ ආයි එකම අදුර. ඒත් සමහර ගෙවල් වල ජනේල් වල මල් ලෑලි අතරින් නයිට් ලෑම්ප් වල පුංචි එළි පේනවා. කිසි කරදරයක් නැතිව දැන් අපි අර යකාගේ ගේ ගාව. කරුමේ කියන්නේ ඒ පාරේ එක බල්ලෙක් වත් හිටියේ නෑ. සමහර විට උන් දුවන්න ඇති යක්ෂ බලු සෙට් එකක් තමා එන්නේ කියල හිතාගෙන. හැක්.
හෙමින් සීරුවේ ගේට්ටුවට කිට්ටු කරපු අපි, අර ලියුං පෙටිටියට සොපින් බෑග් එකේ තිබුන ඔක්කෝම අර පුංචි සිදුරෙන් පුල් ඩබ් එක දාලා ඇතුල් කරා. උගුර ගාවට කාපු ඌරෙක් වගේ තවත් ගිලින්න බැරිව දත් අස්සේ කෑම පුරවන් ඉන්නව වගේ පෙට්ටියේ සිදුර ගාවටම බඩු ආවට පස්සේ අපි වැඩේ නැවැත්තුවා. මේක කරද්දී වට වෙලා හිටිය අපේ උන්ගේ හිකි හිකිය දිගටම තිබුනා. ඒත් ඉතිං ඒ සද්දේ අපිට ඇහෙන ගානට විතරයි.
ඊට පස්සේ කෙලින්ම ගරාජයට ගියා. කාර් එක තල්ලු කරන්න බැලුවා. බැහැ. එකෙක් ගිහින් ඉස්සරහ දොර බැලුවම අඩේ ඒක ලොක් වෙලා නෑ. හෙමින්ම ඒක ඇරල ජියර් එක නිව්ටල් කරා. හැන්ඩ් බ්රේක් නං තිබුනේ නැහැ. පස්සේ කාරෙක හෙමින්ම එළියට තල්ලු කරලා, ගේට්ටුවෙන් එළියට අරගෙන පාරේ නවත්තල ආයි ජියර් එක දාලා ගල් කරා. ඊට පස්සේ ආයිත් වත්තට ගිහිල්ල, අතට අහුවෙන තරමක් මල් පෝච්චි අරගෙන පාරට ගෙනැත් කාර් එක වටේ තිබ්බා. ඒත් මදි වෙචිචි නිසා තව ටිකක් ගෙනැල්ලා අහල පහල ගෙවල් දෙක තුනකත් ගිහින් තිබ්බා. ඒත් හිතට මදි. ඒ පාර ඒ ගෙවල් වලින් මල් පෝච්චි දෙක තුන ගෙනැල්ල අපි ඒවා අර යකාගේ ගෙදර තිබ්බා. වැඩේ සාර්ථකව නිම කරපු අපි ආයි මළ ගෙදර ගිහිල්ල, පුටු වල වාඩි වෙලා එළි වෙනකම්ම හිනා වෙවී හිටියා.
හැබැයි ඉතිං අවුල තියෙන්නේ, එකෙක්වත් අර පළාතෙවත් යන්න තරං ගටකින් හිිටියේ නැති එකයි. නිකං හරි උදේ ඒ පැත්තේ ගියා නං ඒ පැත්තේ සිද්ධ වෙච්චි සංහදිය ගෙඩි පිටින්ම බලාගන්න තිබුනා.
ඔය එන අතරේ පාරේ ගහල තිබ්බ බැනර් එකක් පොලු වලින් කැඩිලා බිමට වැටිලා තිබුනා. අපි ඒක අරගෙන කෝටු දෙකක් කුරුසේ හැඩේට හැට ගහල ඒ්කේ උඩ හිස් කුරුම්බ ගෙඩියක් ඔබල, කෝටු වටේම අර බැනර් එක එතුවා හරියට පඹයෙක් වගේ වෙන්නම. ඊට පස්සේ ප්‍රධාන පාර කිට්ටුව තිබුන මුස්ලිම් ගේක, ඉස්සරහ දොරට ඒක හේත්තු කරල යන්න ගියා.
දවස් දෙකකට විතර පස්සේ තමා ආරංචි උනේ අර මුස්ලිම් ගෙදර ගෑනු කෙනා පාන්දර දොර අරින කොට, පඹයා ගේ ඇතුලට වැටෙන හැටි දැකල මර විකාරෙන් කෑ ගහල කලන්තේ දාලා වැටුනයි කියලා. ඒ ගෑනු කෙනාගේ මනුස්සයනං පැයක් විතර සරම උස්සන් කෑ ගැහුවලු මේක කරපු උන් අහු උනොත් බෙල්ල කඩනවයි කියලා.. අපි අහු වෙයි ඕවට..