Saturday, April 22, 2017

හිටං ඉන්න බොරු කකුලා (Rumpelstiltskin)

එක්තරා කාලෙක හරිම ලස්සන දුවෙක් හිටිය අසරණ දුප්පත් මෝල් හිමියෙක් උන්නා. දවසක් ඔහු රජතුමා ගාවට උවමනාවෙන්ම ගිහින් කිව්වා “මට දුවෙක් ඉන්නවා.. එයාට පුළුවන් පිඳුරු අඹරල රත්තරං බවට පත් කරන්න“ කියලා.

“ආ.. ඒක මං අහන්න ආස විදියේ වැඩක්. තමුන් කියන විදියට තමුන්ගේ දෝණියන්දැට ඔය වැඩේ කරන්න පුළුවන් නං.. හරි හෙට උදේ මා හමුවට පමුණුවපං. එතකොට මං ඒක පරික්ෂා කරල බලන්නං“ කියල රජතුමා අණ කරා.

ඉතිං පහුවදා අර මනුස්සයගේ දුවව රජතුමා හමුවට ඉදිරිපත් කරාට පස්සේ රජතුමා එයාව පිඳුරු පුරෝපු කාමරයකට එක්ක ගිහිල්ල, ඇමරුම් අත් යන්තරයකුයි රත්තරං නූල් ඔතන්න හිස් නුල් බෝලයකුයි දීලා මෙහෙම කිව්වා. “හ්ම්. දැං වැඩ පටන් ගන්නවා. තමුන්ට හෙට උදේ පාන්දර වෙන කොට මේ පිඳුරු සේරම ටික රත්තරං කෙඳි කරගන්න බැරි උණොත් තමුන්ව හෙට උදේට මරල දානව මං“

ඉන්පස්සේ රජතුමා කාරමය අගුල් දාලා යන්න ගියා. ඉතිං අර දුප්පත් රැරිවි කාමරේ වාඩි වෙලා තේරුං ගන්න බැරිව හිතුවා මේ මොන මරාලයක්ද කඩා පාත් උණේ කියල. ඇය මොන විදියෙන්වත් ඔය පිඳුරු අඹරලා රත්තරං ගන්න විදියක් දැනං හිටියේ නෑ. ඉතිං ඇය බය වෙන එක අහන්නත් දෙයක්ද? බය වැඩි වෙලා එයා ඉකි ගහමින් අඩන්නට උණා. 

ඒත් හිටි ගමන්ම කාමරේ දොර ඇරගෙන කුඩා මිනිසෙක් කාමරයට ආවා. 

“සුභ සන්ධ්‍යාවක් මෝල්හිමි කුමරියනි.. ඇයි ඔබ මේතරංම අඩන්නේ?

“අනේ අයියෝ.. මට සිද්ධ වෙලා තියෙන්නේ මේ පිඳුරු අඹරලා රත්තරං හදන්නයි. ඒත් මං ඒක කරන විදියක් වත් දන්නේ අයියෝ“

“හරි.. ඔබ මට මොනවද දෙන්නේ මම ඔබ වෙනුවෙන් මේ වැඩේ කරල දුන්නොත්?“

“මං ඔබට මගේ මාලය දෙනවා“

ඉතිං අර කුඩා මිනිසා මාලය අරගෙන අත් යන්ත්‍රය ඉස්සරහ වාඩි වෙලා “ක්‍රර් ක්‍රර් ක්‍රර්“ කියලා තුන්පාරක් ඒකේ රෝදය කැරකෙව්ව විතරයි හිස් නූල් බෝලය පිරෙන්න රත්තරං කෙඳි ආවා. එයා ඒ විදියටම ආයිත් පාරක් රෝදේ කැරකැව්වා. ආයිත් රත්තරං කෙඳි ආවා. ඔය විදියට රෑ එළිවෙනකං අර පිඳුරු ගොඩම රත්තරං කරන්න ඔහුට හැකි උණා.

දවස ඉවර උන ගමන්ම රජතුමා කාමරයට ඇවිත් බැලුවම ඇස් අදහගන්න බැරිව පුදුමයට පත් උණා. කාමරේ පිරෙන්න රත්තරං. ඒ උනත් රජතුමාට තණ්හාවක් පහළ උණා. මුලින් තිබූ කාමරේටත් වැඩිය පිඳුරු පුරවපු ලොකු කාමරයට ඇයව රැගෙන ගිහින් ඒ සේරම පිඳුරු ගොඩම හෙට එළිවෙන්රන කලින්ත්ත රං වලට හරවන්න කියලා ඇයට අණ කළා. ඒත් මේ අහිංසක රැරිවි දන්න එකක් යැ කොහොම මේක කරන්නද කියලා. ඉතිං අඩ අඩ හිටියා. ඉස්සෙල්ල වගේම දොර ඇරගෙන අර කුඩා මිනිහා ආයිත් කාමරයට ආවා. 

“මම මේ පිඳුරු ගොඩත් රත්තරං වලට හැරොව්වොත් මට මොනවද දෙන්නේ?“ කුඩා මිනිසා ඇහුවා.

“මගේ ඇගිල්ලේ තියෙන මුද්ද මම දෙන්නං“

ඉතිං අර මුද්ද අරගත්තු කුඩා මිනිසා එළිවෙන කොට මුළු පිදුරු ගොඩම දිලිසෙන රත්තරං බවට පත් කරා. 

මේ ටික දැක්ක ගමන් රජතුමාට උඩ පනින තරං සන්තෝෂයක් ආවා. ඒ්ත් එයාට මේ රත්තරං මදි කියලයි හිතුණේ. ඒක නිසා ඊටත් වඩා පිඳුරු ගොඩක් තියෙන විශාල කාමරයකට අර ගැහැණු දරුවව අරගෙන ගියා.

“තමුන් අද රෑ එළිවෙන කොට මේ ඔක්කෝම පිඳුරු ටික රත්තරං වලට හැරෙව්වොත් මං තමුන්ව මගේ බිසව බවට පත් කරගන්නවා.“ මේ කෙල්ල මෝල්කාරයගේ ළමයෙක් උණත් මීට වඩා පෝසත් බිරිඳක් මුළු ලෝකෙන්ම හොයාගන්න බැරිය කියල රජතුමා දැනං උන්නා.

ඉතිං අර ළමයා කාමරේ දාලා අගුල් දැම්මට පස්සේ කුඩා මිනිහා ආයිත් දොර ඇරගෙන කාමරයට ආවා. 

“හරි. මේ පාරත් මම ඔය වැඩේ කරල දෙන්නං. ඔබ මට මොනවද ඒකට දෙන්නේ?“

“අනේ දැන්නං මට ඔයාට දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ“ ඇය දුකෙන් පිළිතුරු දුන්නා.

“හරි එහෙවං මට මෙහෙම පොරොන්දු වෙන්න. ඔයා රැජින උණොත් ඉපදෙන පළමු දරුවා මට දෙන්න ඕන“

රජතුමා කිව්වට ඒක වෙන දෙයක්ද කියල මේ අහිංසක ළමයට හිතා ගන්න බැරි දෙයක් නේ. ඉතිං මේ කරදරෙන් බේරිල යන එක ඊට වඩා හොද නිසා ඇය කුඩා මිනිහට පොරොන්දු උණා. ඉතිං එළිවෙන කොට පිඳුරු රත්තරං කරන වැඩේ වෙලා තිබුණා.

රජතුමා උදේම කාමරයට ආවම තමන් කියපු විදියට හැමදේම සිදු වෙලා තිබුන නිසා අර මෝල්හිමියගේ දුවව කසාද බැන්දා. ඉතිං ලස්සන මෝල්හිමි කුමාරයි අවසානේ රජ බිසව බවට පත් උණා.

අවුරුද්දක් ගියපු තැන ඇයට ලස්සන දරුවෙක් දරුවෙක් ලැබුණා. රැජින හීනෙන්වත් හිතුවේ නෑ තමන්ගේ දරුවව අර කුඩා මිනිහට දෙන්න ඕන කියලා පොරොන්දු වෙලා තිබුණත්. ඒත් එක පාරට එ් මිනිහා රැජින ගාවට ඇවිත් “දැං පොරොන්දු වෙච්චි විදියට මට දරුවව දෙන්න“ කියල කිව්වා.

මේක ඇහුව ගමන් රැජින භීතියෙන් ඇලලිල වෙව්ලල ගියා. ඉතිං ඇය කිව්වා මේ රාජධානියේ තියෙන හැම වටින දෙයක්ම දෙන්නං ඒත් මට දරුව දෙන්න බෑ කියලා. 

“මොන දේටත් වඩා පණ තියෙන යමක් තමා මට වටින්නේ“ කියලා කුඩා මිනිහා කිව්වා. 

අනේ ඉතිං මේක ඇහුවට පස්සේ හිත වාවන්නේ නැති වෙච්චි රැජින විලාප තියමින් අඩන්න ගත්තා. ඒ විලාපය ඇහුවම අර මනුස්සයටත් දුක හිතුණා. 

“කමක් නෑ. මං ඔබට දවස් තුනක කාලයක් දෙනවා. ඒ කාලය තුළ ඔබට මගේ නම හොයාගන්න පුළුවන් උණොත් ඔබ දරුවා තියාගන්න“

ඉතිං මේ රැජින මුළු රැයක් තිස්සේම තමන්ට හිතන්න පුළුවන් ඔක්කෝම නං හිතන්න ගත්තා. පහුවදා කුඩා මිනිහා ආවට පස්සේ රැජින එක දිගට තමන් දන්න නම් ටික කියන්න ගත්තා. ඒ ඔක්කෝම අහගෙන ඉදල මිනිහා කිව්වා “ඔය එකක් වත් මගේ නම නෙමෙයි“ කියලා.

ඉතිං රැජින දෙවෙනි දවසෙදි අහල පහළ ඉන්න හැමෝගෙම නම් අහගෙන ඒවයෙන් වෙනස් නම්, අමුතු නම් හොයාගෙන මිනිහා ආපු ගමන් කියවන්න ගත්තා . ඒත් ඒ එක නමක්වත් තමන්ගේ නෙමෙයි කියල මිනිහා යන්න ගියා.

තුන් වැනි දවසෙත් ඇය අහල පහළ අයගේ නම් හොයාගෙන එන්න කියල යවපු මනුස්සයට එක නමක් වත් හොයාගන්න බැරිව ඇයි ඇවිත් රැජිනට මෙහෙම කිව්වා.

“අනේ රැජිණියනි, මට අද එක අලුත් නමක් වත් හොයාගන්න බැරි උණා. ඒත් මං කැලේ කෙළවරට වෙන්න තියෙන කන්දේ මුදුනට ගියපු වෙලාවේ මං දැක්කා නරියෙකුයි හාවෙකුයි එකිනෙකාට සුබ රැයක් පතනවා. අන්න එතනදි මම දැක්ක පුංචි ගෙයක්, ඒ ගේ ඉස්සරහ ගිනි ගොඩක් ගහල තිබුණා. ඒ ගිනි ගොඩ වටේ හරිම පුදුම විදියේ කුඩා මිනිහෙක් තනි කකුලෙන් උඩ පැන පැන මහ සද්දෙට කෑ ගැහුවා මෙහෙම කියලා.“

“අ.. ද මම පුච්චනවා.. හෙ.. ට මං පෙරනවා
ඊට පස්සේ රැජිනගේ දරුවා මං ගන්නවා
හා හා.. කව්ද ඉතිං මාව දන්නේ
මම හරියට හිටං ඉන්න බොරු කකුලා වගේ නේද?


ඉතිං හිතාගන්න පුළුවන් නේද රැජින කොයි තරං සතුටු වෙන්න ඇද්ද කියලා ඒ නම අහලා. ඉතිං ටික වෙලාවක් යන කොට කුඩා මිනිහා ආවා රැජින හමු වෙන්න. 

“ඉතිං රැජිණියණි.. මගේ නම මොකක්ද?“

මුලින්ම ඇය කිව්වේ, “ඔයාගේ නම කොන්රැඩ්ද?“

“නෑ“
“එහෙනං හැරී“
“නෑ“
“එහෙනං ඉතිං ඔයාගේ නම හරියට හිටං ඉන්න බොරු කකුලා  වගේ නේද?“

“මේක යක්ෂ වැඩක් නේ.. මේක යක්ෂ වැඩක්නේ.. “ කුඩා මිනිහා තරහෙන් පුපුරු ගහන්න උණා. ඒ තරහින් තමන්ගේ දකුණු කකුල තදින් පොළවට ගහපු පාර මුළු කකුලම පොළවට කිඳා බැස්සා. ඊට පස්සේ පුළුවන් තරං වැර දාලා වම් කකුලෙන් හිටගෙන අත් දෙකෙන්ම කකුල අදින කොට.... ඒ මිනිහා ගැලවිලා දෙන්නෙක් බවට පත් උණා. 


Brothers Grimm - Rumpelstiltskin

වසන්තම්ගේ ලී කුට්ටියට තවත් අඩයකි. හැක්

පලි - මාෂල්, තරිදු (කාර් පිස්සුවා) හා ගල්මල් අයියාගේ දැඩි බලකිරීම මත සුබස හරහා පරික්ෂාවක් සිදු කරන ලදි. මේ උපන්තේකට එහෙම කළාමයි ආයිබෝවන්ඩ.. එතකොට මට මතක් උනේ ඒ දවස් වල, ඒ කියන්නේ මීට අවුරුදු ගානක් තිස්සේ ඉදලම ඒ උන්නැහේ මට කොයි තරං බැන්නද අක්ෂර වින්‍යාස, අරව මේව්වා හදාගන්න කියලා. සමහර පෝස්ට් වලදි උන්නැහේ කමෙන්ට් කරන්නෑ කියලත් කිව්වා ඒවා හදනකං. ඉතිං අපේ විචාරක මහත්තයට යහපත් සෞඛ්‍ය තත්වයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..

Wednesday, April 19, 2017

බොරු ගල් වීම හා ඒවා දිය වීම!!

මේක තාම අවුරුදු පැස්ටිවල් පැස්ටිවල් කාලේ නේ.. ඉස්සරනං අවුරුදු පෙස්ටිවල් හරි අගේට තිබුනා. ඒකට එකම හේතුව මං කුරුල්ලා වගේ තනියම පාවි පාවි හිටිය එක. ඒත් ඔය කූඩුවට තවත් කලු කපුටියෙක් වහපු දා ඉදල පරණ පුරුදු, ආසාවන් වලට එකින් එක කණකොකා අඩන්න ගත්තා. බෝම අමාරුවෙන් හරි කරගෙන යන එකම දේ ඉදල හිටල සතියකට දෙතුන් විටක් මත් පැන් ඩිංගක්.. බෝම සුට්ටක් කට ගාන එක විතරයි.

මේ ළගක් වෙනකම්ම මම හෙන ලොකුවට පාරම් බෑවා.. “අඩෝ අපිත් ගල් සුට්ටක් ගහල මේ සංගමයට බැදුන උන්“ කියලා. හැම එකාටම හැම තැනදිම මං කිව්වේ ඔෟ යෑස් ගල් වලින් තමා බේබදුකම පටන් ගත්තේ කියලා. මෙව්වා මේ අපි හිතාගෙන ඉන්න දේවල් ඒ විදියටම උනා කියල.

සමහර දේවල් තියෙනවා අපි ඒ වගේ හිතන. සමහර කරුණු කාරනා වලදී හිතේ පැටලුම් නිසා සමහර ප්‍රත්‍යක්ෂ කළ යුතු කරුණු වැරදියට තේරුම් අරන් ඒක මතම සමීකරණය විසදලා බොරු හේතුවක් මොකක් හරි කාරණාවකට ඈදා ගන්නවා. හරියට එක බොරුව සියපාරක් කිව්වම ඇත්ත වෙනවා වගේ මේ බොරු හේතුවත් පහු වෙන්න පහු වෙන්න ඇත්තටම වෙච්චි දෙයක් විදියට හිතට එනවා. 

පහු ගිය සතියෙත් ඔය වැඩේ උනා. නෑ අනේ ඒ මේ සතියේ සදුදා. ඔන්න එදා රෑ මහ ගෙදර තිබුනා මහා ගල් පුජාවක්. ඕකට පඩුරු පුදන්න තරං මගේ සාක්කුවේ සල්ලි නොතිබ්බ හින්දා, කලු කපුටිගේ පර්ස් එකට බැහැල එක්දහස් පන්සියක්ම සොරකම් කලා. ඉතිං මං ඔව්ව කියන්න යන්නෑ ඒ වෙලාවේ. පස්සේ පහු වෙලා කොච්චර ගුටි කෑවත් කියන එක සනීපයි නිසා. කෝම හරි එදා රෑම ගෙදර ආවට පස්සේ මේ දැරිවිට කුහුලක්, විචිකිච්චාවක් සැකයක් මතු වෙලා තියෙනවා මම ඒ පර්ස් එකට බැස්වත්දෝ හෝ කියල. ඒක නිසා කෝකටත් සුදානං සරීරේ කියල පර්ස් එක පරික්ෂා කරල බලන කොට දාහෙ කොල මිටි ටික ගනං කරාම ඒ ගාන හරිලු.. මොන මිටිද.. දාහේ කොල හත අටක් රෝල් කරල මිටියක් ගහල තිබුනේ.. අපි නොදන්න චෙස්. අවසානයේදි තහවුරු වෙච්චි එකම දේ රුපියල් පන්සියකට විදපු බව කියල හිත හදාගෙන ඉදල තියෙන්නේ. ඒත් ඊයේ රෑ ඩිනර් එකට එළීයට යන්න හදද්දි පර්ස් එක නැවත පරික්ෂාවෙදි අර රුපියල් දාහ අඩු එක මාට්ටු වෙලා මගෙන් අහනවා “අදත් දාහක් ගත්තයැ“ කියලා. මං ඉතිං බෝම අව්‍යාජ කිසිදා බොරු නොකියන අවංක සත්‍යෙය් පරමාදර්ශය වන් අයෙකු වන නිසා කිව්වා.“පිස්සුද මං ඊයේ රෑ තමා එක් දාහස් පන්සියක් ගත්තේ කියලා“

“අනේ මේ බොරු නොකිය ඉන්නවා හරිද? පර්ස් එකට බැස්සද කියල තියෙන සැකේ නිසා මං ඊයේ රාත්තිරි ආපු ගමන්ම දාහෙ කොල ටික ගනං කරල බැලුවා. එතකොට තිබුනා“

“ඒ නිදිමතේ වෙන්නැති.. මං ගත්තේ ඊයේ රෑ“

“මට ඔය බොරු කියන එක තමා අල්ලන්නේ නැත්තේ. අද දාහක් ගන්න උවමනාවක් නෑනේ.. ඊයෙත් පන්සියක් ගත්තනං“

“ඉතිං. ඊයේ පන්සිය බාර් එකට පෙන්නල බෝතලේ ගෙනාව කියලැයි ඔහේ කියන්නේ“

“එව්වා මම දන්නෑ. කෝම උනත් ඊයේ රෑ ඔය අඩු වෙච්චි දාහ තිබුනා.. මොකද මං හොදට ඒක ගනං කර නිසා දන්නේ“

“දැං මං කිව්වා නේ මං අද ගත්ත දාහක් නෑ. ඊයේ ගත්තේ කියලා“

“දැන් කෑම කන්න සල්ලි නෑ.. මං යන්නෙත් නෑ එළියට.. හුක්“

“ඕනනැත්නං නිකා ඉන්නවා.. පුතා එනවා යන්න.. අපි යමු කාලා එන්න“

ඔහොම කිව්වම කොල්ලෝ දෙන්න හරි සන්තෝසෙන් යන්න ලැහැස්ති උනා. මෙන්න බොලේ දොරෙන් එළියට තුන් දෙනෙක්ම එනවා. අර මට ගස්සපු දැරිවිත් ලැහැස්ත් වෙලා එනවා යන්න.හැක්

ඒ පාර බීච් එකට ගිහිල්ලා පැය බාගයක් විතර උන් දෙන්නට දුවන්න ඇරල අපි දෙන්න වාඩි වෙලා උන්නා කණ්ඩියක් උඩ.

“නෑ අනේ.. මං ඊයේ ගනං කරාම අඩු උනේ නෑ. ඒකයි කිව්වේ“

“ඉතිං ඔයා ගණං කරපු විදිය වැරදියි නේ.. මම ඊයෙයි ඕක ගත්තේ“

“හරි හරි. ඒ උනත් ඔයා ඕක අද අරං ඊයේ ගත්තා කියල බොරු කියන එක වැරදියි නේ“

“ඔන්න ඉතිං.. බම්මුබ. බ්ලා බ්ලා.. මම ඊයෙයි ගත්තේ.. එච්චරයි“

බෝම අමාරුවෙන් මිත්‍යා මතය සුනුවිසුනු කරල දැම්මා. එහෙම තමා ඉන්න ඕන. කෝම උනත් මට එකම දුක රුපියල් දාහකට වඩා වටිනා මගේ වචන නාස්තිය ගැන. හරිම අපරාදයක් නේද ඒක..

ආ.. මම කියන්න ගියේ.. අර මුලින්ම ගල් බිංදුවක් කටේ තිබ්බය කියන බොරුව ගැන නේ. ඉතිං මේ ළගදී රොක්ලන්ඩ් ඕලඩ් අරැක් බොන්න හදද්දී, අර අබේ තෙල් බේරෙන අයියා ඉන්නේ ඕර්නමැන්ටල් කියලා.. මිනිහා කිව්වා සංස්ථා ඕල්ඩ් තමා සුප්පා.. ඔව්වා පජාතයි කියලා. ඒ වචනේ මට තදින්ම හිතට වැදුන නිසා තනියම බොන්න සෙට් වෙච්චි වෙලාවක ඇන්ඩයියා කිව්ව සුප්පා එකෙන් බාගයක් අරන් ගෙදර ගියා. අවශය අටකලම්පන්න සේරමල්ලා ලැහැස්ති කරගෙන පළමු වෙනි සොට් එකට කටට ගන්න කොටම මහ භුමිකම්පාවක් වගේ මොලය දෙදරන්න ගත්තා. දිව හරහා ගියපු දියරය උගුරින් පහළට ගමන් කරන කොට එක පාරටම මට නිර්වානය අවබෝධ උනා. මුළු ඇගම වෙව්ලලා ගිහින් මොලයේ රෝම කූප.. එව්ව ඕන නෑ... මොලයේ සෛල කලින් මං හදාගෙන හිටපු පින්තුරයක් වෙනස් කරන්න ගත්තා..


ඔව් මිත්‍රවරුනි.. මං එදා තේරුං ගත්තා.. මම ඉස්සෙල්ලාම අරක්කු ඩිංගක් කියල බීල තියෙන්නෙ සංස්ථා ඕල්ඩ් කියලා. සියළු මිත්‍යා මත දුරු උනා. මේ ගැන ගල් බලකායෙන් සමාව ඉල්ලන්න උනත් මං සුදානං..

ඒ වගේ කවදා හරි සිහියට නැගේවි කියල හිතන තව එකක් තියෙනවා.. අපේ නෑදෑ අයියා කෙනෙකු සමඟ සෙට් වීමට අරගෙන දැං අවුරුදු දහයක් පහළවත් උනත්.. තාමත් මේ යකා එක්ක මුලින්ම බීපු දවස සිහියට එන්නෑ. හැමදාම සෙට් උනාම ඩේටාබේස් එක ඇදල එක්ට්‍රැක්ට් කරගන්න හැදුවත් හරි යන්නේ නැහැ. මේ සියළු පිං බල මහිමයෙන් ඒ සත්‍යයත් උදෑසන නැගෙන දීප්තිමත් හිරු මෙන් නිරාවරණය වේවායැයි පතමි.

හැක්.

වසන්තම්ගේ ලී කෑල්ලට මුක්කුවකි

Tuesday, December 27, 2016

එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම අහිංසක කුඩා දරුවා දෙස බලා උන්නාය. ඒ මොහොතේ කිසිවෙකු දොරට තට්ටු කළ අතර, දුප්පත් මහළු මිනිහෙකු කාමරයට ඇතුලු විය. අශ්වයෙකුගේ පිට මත දමන විශාල රෙද්දක් වැනි යමක් ඔහු පොරවාගෙන සිටි අතර, මේ දැඩි ශිත කාලයේ එය ඔහු උණූසුම් කිරිම සඳහා භාවිතයට ගන්නා ආකාරයක් දිස් විය. මුළු රටෙහිම හිම හා අයිස් වලින් තට්ටු බැදී ඇති ශිතකාලයකි මෙය. හමනා අධිශීත සුලං රැල් ප්‍රවාහයන් කිසිවෙකුගේ මුහුණ කපා දැමිය හැකි මුවහත්කමකින් පවා යුක්ත විය. මේ මොහොතේ දරුවා කුඩා නින්දක පසු විය. ශිතයෙන් පීඩිතව මිනිසා ඇතුලට එනු දුටු මව නැගිට, ඔහුට උණූසුම් වීම සඳහා ගිණි උදුන අසලින් කුඩා බියර් ජෝගුවක් තැබුවාය. මහළු මිනිසා වාඩි වී තොටිල්ල පදවන්නට වූ අතර, මව ඔහු අසලින්ම වූ පුටුවෙහි වාඩි වූවාය. ඇය අපහසුවෙන් හා තදින් හුස්ම ගන්නා තම දරුවාගේ කුඩා අත අල්ලාගෙන මෙසේ ඇසුවාය.

“ඔබ හිතන්නේ මං ඔහුව බේරගන්න ඕන කියලද.. අපේ සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔහුව අපෙන් දුරස් කරන එකක් නෑ කියල මම හිතනවා“

ඇත්ත වශයෙන්ම මේ වන විටත් මැරුණු “මරණය“ මහළු මිනිසා එබස් අසා තම ඔලුව දෙපැත්තට පද්දන්නට වූයේ එයින් අදහස් වන්නේ ඔව් හෝ නෑ යන්න හදුනාගත නොහැකි අයුරිනි. තම දෙනෙතින් නැගි කදුළු කම්මුල් හරහා ගලා යද්දී ඇය තම දෙනෙත් පහතට හැරවුවාය. එවිට ඇයගේ හිස බර වනන්නට විය. මේ වන විටත් පුරා දින තුනක් ඇය තම ඇස් මොහොතකටවත් නොපියවා තිබිනි. මේ නිසා ඇයට ඉතා පුංචි වේලාවකට නිද්ද ගොස් තිබිනි. සීතලෙන් ගැහෙමින් ඊළග මෙහොතේ ඇය ඇස් අරින විට මහළු මිනිසා යන්නට ගොස් තිබිණි. කුඩා දරුවා.. ඔව් කුඩා දරුවාත් යන්නට ගොස්ය. මහළු මිනිහා කුඩා දරුවා රැගෙන ගොස් ඇත. කාමරයේ මුල්ලක තිබු බිත්ති ඔරලෝසුව ක්ර් ක්ර් නගිමින් අපසුවෙන් දුවන්නට විය.  බිත්තියේ එල්ලා තිබු එය දම් වැල් වලින් ගැලවී පොළවට වැටුනි.  වේලාව නැවතිනි. තම දරුවාට අඩ ගසමින් අසරණ මව කාමරයෙන් එළියට පැන දුවන්නට විය. එළියෙහි හිම මත වාඩි වී  සම්පුර්ණ කළු ඇදුමින් සැරසුන මහළු කාන්තාවක් මව අමතන්නට විය. 

“මරණය ඔබත් සමඟ කාමරයේ සිටියා නේද?? මම දැක්කා ඔහු ඔබගේ දරුවාත් කරපින්නාගෙන පැන දුවනවා. ඔහු සුළගටත් වඩා වේගයෙන් පැන දුවන නිසා, ඔහු රැගෙන ගිය යමක් නැවත ගෙනැවිත් දේ යැයි හිතන්න අමාරැයි.“

“අනේ මට ඒ මිනිහා ගිය පැත්ත විතරක් ිකියන්න.. මට පාර විතරක් කියන්න. මං මිනිහව හොයාගන්නං“ මව පින්සෙන්ඩු වූවාය. 

“මම දන්නවා පාර. හැබැයි මං ඔබට ඒක කියන්න කලින්, ඔබ දරුවා වෙනුවෙන් ගායනා කළ ඔක්කෝම සිංදු මට අහන්න ඕන. මං ඒවා අහන්න ආසයි. මම මීට කලින් ඒවා අහල තියෙනවා. මම රාත්‍රිය. මම දැක්කා ඔබ ඒ සිංදු කියන අතරේ ඔබගේ ඇස් වලින් ගලා ගිය කදුළුත්“ 

“අනේ මං ඒ ඔක්කෝම ඔයාට කියන්නං. ඒත් මාව වැඩි වෙලාවක් තියාගන්න එපා. මට එ් මිනිහව අල්ලගන්න ඕන. මගේ දරුවව හොයාගන්න ඕන.“ එහෙත් රාත්‍රි කාන්තාව නිහඩව හා නිශ්චලව සිටියාය. ඉතිං තම කඳුළු පිහ දමමින් හා තම අත් වේදනාවෙන් අඹරවමින් ඇයට ගී ගයන්නට සිදු විය. ගීත බොහොමයක් වූ අතර, ඊටත් වඩා කඳළු කැට විය. අවසානයේ රාත්‍රි කාන්තාව තම හඩ අවදි කලාය.

“දකුණු පැත්තට යන්න. ඔය ෆර් ගස් වලින් ගහන අදුරු වනාන්තරය තුලටම යන්න. මම දැක්කා මරණය ඔබේ දරුවාත් රැගෙන ඒ මාර්ගයේ පලා යනවා.“

වනාත්තර තුලදි මවට හරස් මාර්ගයක් හමු වූ අතර, කුමන මඟ ගත යුතු දැයි ඇය නොදැන සිටියාය. ඒ අසලම කටු පදුරක් නැගී සිටිය අතර, එහි මල්, කොළ හෝ කිසිවක් නොවූ අතර, ශිත කාලයේ ඇද හැලුනු හිම වලින් එහි අතු මිදී තිබිනි. “මගේ දරුවා අරගෙන මරණය මෙතැනින් යනවා ඔබ දුටුවාදැයි“ ඇය ප්‍රශ්න කළාය.

ඇය තම ලැම කටු පදුරේ අත්තක පොත්ත ස්පර්ශ වන ලෙස තැබුවා පමණකි එහි ඇති කටු ඇයගේ ළයා පසා කර දමන්නට විය. සිදුරු වූ ළැම තුලින් දැඩි ලෙස රුධිරය වහනය වූ අතර, එයින් පන ලබා කටු පදුරේ කොළ වැඩෙන්නට විය. අඳුරු ශීත කාලයෙහි රාත්‍රියක එහි මල් පිපෙන්නට විය. මල් පිපෙන්නට අවශ්‍ය උණූසුම දුකින් පෙලෙන අසරණ මවකගේ රුධිරය විය. එම නිසා කටු පදුර ඇය යා යුතු මාර්ගය ඇයට දන්වා සිටියේය. අවසානයේ ඇය විශාල විලක් අසබඩට පැමිණ සිටියාය. එහෙත් වැව තරණය කිරීම සදහා නැවක්, බෝට්ටුවක් හෝ කිසිදු උපකාරයක් එහි නොවීය. එහෙත් තමා දරුවා ලබා ගැනීමට නම්ඇ ය මෙම විළ තරණය කළ යුතුමය.  අහිමි වන්නට කිසිවක් නැති, එහෙත් එක් බලාපොරොත්තුවක් පමණක් තම ජීවිතය තුල ඇතැයි සිතට මේ දුකට පත් මව කිසිදා මනුෂ්‍ය ප්‍රාණියෙකුට කළ නොහැකි කාර්යයක් වන විලෙහි වතුර බී එය හිස් කිරීමට අදිටන් කර ගත්තාය. යම් ප්‍රාතිහාර්යයක් තමාට උදව් වනුැ ඇතැයි ඇය සිතුවාය. 

“ඔබට මෙය කිසිදා කළ නොහැකියි ඒක නිසා අපි වඩාත් ප්‍රථිපලදායක එකගතාවකට එමු“ විල පැවසුවේය.

“මම හරිම කැමතියි මුතු එකතු කරන්න. ඒ අතරින් ඔබේ ඇස් තමා මා දැක්ක පිරිසිදුම මුතු කැට. ඔබ ඒවා ගලවා කදුළුත් සමඟ විලට දමනවා නං, අර මරණය ජීවත් වෙන විසාල උෂ්ණාගාරයට මං ඔබව කැදවන් යනවා. එහි වැවෙන හැම ගහක් හා මලක්ම මනුෂ්‍ය ප්‍රාණියෙක්“

“අනේ මයේ දරුවා වෙනුවෙන් මට මොනවද දෙන්න බැරිි“ අඩමින් ඇය පවසන්නට වූවාය. ඒ කඳුළු අතරින් ඇයගේ ඇස් දෙක ගැලවී විලට වැටී මහාර්ෂ මුතු දෙකක් බවට පත් විය. ඉන්පසුව විල ඇයව ඔසවා ගෙන ගොස් ඉවුරේ අනෙක් පසින් තැබුවේය. සැතපුම් ගණනාවක් දිගට දිවෙනා මරණයේ නිවස පෙනෙන්නට විය. එය වන්න්තරෙයන් ගහන කන්දක්ද, එසේ නැතහොත් කැලයෙන් වට වූ ගල් ගුහාවක්ද නැතහොත් සාදන ලද ගොඩනැගිල්ලක්ද යන්න කිසිවෙකුට පැවසිය නොහැකිය. ඒත් මේ අසරණ මවට දැන් කිසිවක් දකින්නට ද නොහැකිය.

“මගේ දරුවා හොරකං කරගෙන ආපු මරණය කොහෙන්ද හොයාගන්නේ..“  ඇය විමසුවාය.

“ආහ්. එයා තාම ආවේ නැහැ. කව්ද උඹට මෙහාට එන්න පාර කියා දුන්නේ. කව්ද ඒකට උදව් කරේ??“ සුදු පැහැ කෙස් ඇති  මරණයේ පැළ තවාන් වලට වතුර ඉසිමින් සිටි මහළු කතක් ඇයට උත්තර ලබා දුන්නාය.

“දෙවියන් මට උදව් කරා. ඔහු හරිම කරුණාවන්තයි. ඔබත් කරුණාවන්ත නම් මට කියන්න මගේ දරුවා කොහොමද මං හොයාගන්නෙ කියල,, අනේ“ මව දුකින් පැවසුවාය.

“මම ඒ දරුවව දන්නෑ. උඹ අන්ධයි නේද? කොයි තරං මල්, ගස් අද වෙන කොට මැලවිලා ගිහිල්ලා තියෙනවාද? මරණය ඉක්මනින් ඇවිත් ඒවා ගලවල අලුත් පැල තවාන් දාවි. උඹ දන්නවද හැම මිනිහෙකු වෙනුවෙන්ම කැප වෙච්චි, හැම මිනිහෙක් වෙනුවෙන්ම වෙන් වුනු ජීවි පැලයක් හෝ මලක් තියෙන වග. ඒ හැම එකක්ම අනිත් ගස් හා මල් වගේමයි. නමුත් මේ හැම ගහකටම මලකටම ගැහෙන හදවතක් තියෙනවා. ළමයින්ගේ හදවත් පවා ගැහෙනවා. අන්න ඒක නිසා උඹට පුලුවන් වෙයි උඹගේ දරුවගේ හදගැස්ම අදුරගන්න. ඊළගට කරන්න ඕන දේ කිව්වොත් උඹ මට මොනවද දෙන්නේ“ මහලු කාන්තාව ගුගුරන්නට විය.

“අනේ මට දෙන්න කිසිම දෙයක් නැහැ. ඒත් මං ඔබ වෙනුවෙන් යන්න පුළුවන් ඕනම තැනක යන්නං“ අසරණ මව පවසා සිටියාය.

“උූඹ කොහේ මකබෑඋනත් මට ලැබෙන දෙයක් නෑ. හැබැයි උඹගේ ඔය කළු කොන්ඩය මට දෙන්න පුළුවන්. උඹ දන්නවා නේ ඒක කොච්චර ලස්සනද කියලා. මං ඒකට ආසයි. උඹ මගේ සුදු කොණ්ඩය ගනිං ඒ වෙනුවෙට. “ මහළු කාන්තාව වෙළාදාම කතා කළාය.

ඉතිං අසරණ මව ඒ හුවමාරුව කරගෙන දෙදෙනාම මරණයේ ඌෂ්ණාගාරය වෙත ගියහ. එහි ගස් හා මල් විශාල ප්‍රමාණයක් වවා තිබුණි.වීදුරු සීනු යට පිපෙන හයිසින්ත් මල්, දැඩිව වැවෙන විවිධ ශාක, අතිශය පිරිසිදු වතුර මල්, තිබුන මෙහි සමහර ඒවා වටා දිය නයි ගැවසෙති. අති විශාල ඕක් ගස්, විවිධ වර්ගයේ මල් වර්ග රාශිකයක් එහි තිබුනි. කොටින්ම පාථිවියේ ඇති සියළුම ශාකයන්, මල් එහි වගා කොට ඇත. හැම ගහකටම, මලකට නමක් තියෙනවා. ඒ හැම නමකින්ම මනුෂ්‍ය පාණියෙකු නියෝජනය වෙනවා. සමහර විශාල ගස් ඉතා කුඩා මල් පෝච්චි වල පැල කරලත් තියෙනවා. උෂ්ණාගාරයේ වහළ කඩා ගෙන යාමටත්, පොච්චිය කෑලි වලට කඩා දමන්නටත් එම ගස් බලා සිටිනවා වගෙයි. සමහර දුර්වල පැළැටි සරු පොළවක වැවුවන් ඒවායේ ආරක්ෂාව සඳහා ඉහලින්ම කටයුතු කරන බවක් තමා පේන්න තියෙන්නේ. දුකට පත් මව කුඩා පැළැටි වලට නැඹුරු වී ඒවායේ හද ගැස්ම බලන්නට උනා. ඒ මිලියන ගානක් වූ පැළැටි අතරින් තම දරුවාගේ හද ගැස්මට සමාන මලහොයාගන්න ඇය සමත් උනා.


“මෙන්න මේක.“ ඇයට කෑගැහුනා. රෝගීව බිමට බර වූ තම හිසින් යුතුව සිටි කුඩා කාබේරිය මලක් වෙත ඇය තම අත් දිගු කළා.

“මල අල්ලන්න එපා... නමුත් ඔබට මෙහි ඉන්න පුළුවන්. මරණය ආපු ගමන්, මම දැනුත් එයා එයි කියලයි බලාන ඉන්නේ. එයාට ඔය පැලෑටිය ගලවන්න ඉඩ දෙන්න එපා. හැබැයි මරණය මේ පැලෑටිය ගැලෙව්වොත් උඹ ඒකම අනිත් ඔක්කෝම පැළැටි වලටත් කරන බව කියල තර්ජනය කරන්න ඕන .මිනිහා ඒකට බය වේවි. මොකද මේ හැම පැලයක්, මලක් වෙනුවෙන්ම ඔහු අසිමිත ලෙස දෙවියන්ට වග කියන්න ඕන නිසා. කිසිම ගහක් ඔහුට නිසි අවසරයකින් තොරව ගලවන්න බෑ“ මහළු කාන්තාව මොර දුන්නා.

ඒ සමගම ඌෂ්ණාගාර පුරාම හිම මිදෙන සිතලක් ගලන්නට වුනා. මේ හේතුවෙන් අසරණ මවට දැනුනා මරණය දැන් මෙතැනට ඇවිත්  බව.

“උඹ කොහොමද මෙතනට ආවේ. අනික මටත් වඩා වේගෙන්“ මරණය ඇගෙන් ඇසුවා.

“මම මවක් ඒකයි“ ඇය උත්තර දුන්නා.

මරණය තම අත් වලින් අර කුඩා පැලය ගලවන්නට උත්සාහ කළත් අසරණ මව තම අත් වට කොට එය ආරක්ෂා කරමින් සිටියා. ඇය කොතරම් දැඩිව තම අත් තබා සිටියත්, මරණය හෙළු අයිස් වලටත් සීතල මුවහත් හුස්ම හේතුවෙන් ඇයගේ ශක්තිය නැතිව අත් පහලට කඩා හැලුනා.

“උඹට මාත් එක්ක තරග කර දිනන්න බෑ ගැනියේ“ මරණය පැවසුවා.

“ඒත් දෙවියන්ගේ කරුණාවන්ත කමට පුළුවන්“ මව උත්තර දුන්නා.

“මම කරන්නෙත් ඔහුගේ කැමැත්තම තමා. මම ඔහුගේ උයන් පල්ලා. මම ඔහුගේ සියළු පැලෑටි, මල් වර්ග බලාකියාගන්නවා, ඒවා අවශ්‍ය තැන් වල පැල කරනවා. සමහර විට ගලවා ඉවත් කරනවා. සමහර ඒවා පාරාදීසයේ උද්‍යාන වලත් පැළ කරනවා. හැබැයි මං උඹට කියන්නෙ නැහැ ඒ කොහේද කියලා.“

“මට මගේ දරුවා දියන්“ ඉකිගසමින් මව පවසන්නට විය.  ඒ අතර තුර උද්‍යානයෙ ්තිබු මල් දෙකක් අතර ගත් ඇය “මට නැති වෙන්න දෙයක් නෑ.. මේවා කෑලි කැලි වලට කඩල දානවා..මගේ දරුවා නොදුන්නොත්“

“අයියෝ.. එපා. ඒවා අල්ලන්න එපා..උඹ කිව්ව නේද උඹ කනගාටුවෙන් කියලා. ඉතිං අම්ම කෙනෙක් විදියට උඹට පුළුවන්ද තවත් අම්මල දෙන්නෙකුට උඹට දැනෙන දුකම දෙන්න.. උඹට පුලුවන්ද ඒක කරන්න“

“තවත් අම්මලට???“ ඇය අඩන්නට විය.තම අත තිබු මල් නැවත් සීරුවෙන් තැබීමට ඇය කටයුතු කළාය.

“මෙන්න උඹගේ ඇස් දෙක. වැවේ ගිලිල තියෙන කොට මං මේවා අරන් ආවේ උඹට දෙන්න. ඒවා දිප්තිමත්ව බැබලෙමින් තිබුනා. දැං ඒවා තිබුනටත් වඩා දීප්තිමත්. මේවා ආපහු ගන්න. මේකෙන් ඔබ අර ගැඹූරු ලිදෙහි වතුර දෙස බලන්න. අර ඔබ විනාශ කරන්න හදපු මල් දෙකේ මල් මම ඔබට කියන්නං. ඔබට එයින් දැකගන්න පුළුවන් ඒ මල් දෙකෙහි මනුෂ්‍ය ජිවය සම්පුර්ණයෙන්ම. ඔබ ඒවා විනාශ කරල හැමෝම දුකට දාන්නයි හැදුවේ“

ඇය ළිදට එබී බැලුවාය. ඇය දුටුවේ ඒක් මලක් ලෝකයටම වටිනා පුද්ගලයෙක් ලෝකයටම විශාල ආශිර්වාදයක් වන ආකාරයයි. ඔහු ලෝකය පුරාම සතුට පතුරමින් සිටියා. එහෙත් අනෙකා ඉතා ජරාජීර්ඛව, දරිද්‍රතාවයෙන් පීඩිතව, ඛේදජනක ලෙස තම ජිවිතය ගෙවන අයුරකුත් ඇය දැක්කේ.

“මේ දෙදෙනාම දෙවියන්ගේ කැමැත්තයි“ මරණය පැවසුවා.

“කනාගාටුදායක මල මොකක්ද? ආශිර්වාදලත් මල මොකක්ද“ ඇයි ඇසුවා

“මට ඒක ඔබට කියන්න බැහැ. එහෙත් ඔබ දැකගත් පරිදි ඒ මල් දෙකින් එකක් නියෝජනය වන්නේ ඔබගේ දරුවායි. එයයි ඔබගේ දරුවාගේ දෛවය. ඔබගේ දරුවාගේ අනාගතය“

ඉන්පසුව අසරණ මව දැඩි ලෙස බෙරිහන් දී අඩන්නට විය. 

‘ඒ දෙකින් මොකක්ද මගේ දරුවට උරුම. මට කියන්න ඒක.ආශිර්වාද නොලත්ඒ දරුවා ගේන්න. ඔහුව ඒ කාළකන්නිකමෙන් මුදවා ගන්න. ඔහුව එළියට රැගෙන යන්න. නැහැ ඔහුව සවර්ගයට රැගෙන යන්න. මගේ සියළු දුක් හා සුුසුම් අමතක කරන්න. මහ කරපු කියපු හැම දෙයක්ම අමතක කරන්න. ඔබ ඒක කරන්න“

“මට ඔබව තේරුම් ගන්න බැහැ. ඔබට නැවත ඔබගේ දරුවා ඕනද නැත්නම් ඔබ නොදන්නා ඒ තැනට මම දරුවා රැගෙන යන්නද?“ මරණය පුදුමයෙන් විමසා සිටියා.

තම අත් එකිනෙක අතුල්ලමින් බිම වාඩි වූ මව දෙවියන්ට යාඥා කරන්නට උනා.

“මගේ යාඥා පමණක් නොව, අනෙකටත් ඇහුන්කම් දෙනු මැනවි. එය හැමවිටම වඩා හොද වේවි. ඔහ්.. මට අැහුන්කම් දෙන්න දෙවියනි“ කියමින් ඇයගේ හිස ඇයගේ ළැමට කඩා වැටිනි.

ඉන්පසුව මරණය, දරුවා ඒ නොදන්නා භුමිය වෙත රැගෙන ගියේය.

The Story of a Mother - Hans Christian Andersen


A Cartoon


පලි- 2010 වර්ෂයේදී මේ කතාව පාදක කරගනිමින් ඉතාලි භාෂවෙන් කෙටි චිත්‍රපටයක් නිපදවා ඇති බව IMdb හි සඳහන්ය.

Monday, November 21, 2016

Adios Maestro!!

මං අමරදේව මාස්ටර්ගේ සිංදු අහන්න පටන් ගත්ත හැටි, ඒකේ ආරම්භය කොහොමද කියල කල්පනා කරන්න ගත්තා. ඔය කාලේ ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ අපේ සමාජයේ තිබුනෙ ටෝප් තව්සන්ඩ්, බ්‍රේක් ඩාන්ස්, රොක් ඇන්ඩ් රෝල් ඔව්වා මෙව්වා නිසා අමරදේව මාස්ටර් සිංදු කියනව අහන එකත් නිකම්ම හිටගෙන නින්ද යන කාරණයක්.. මට මතකයි “අපෝ ඔය නිදිමතයන්ගේ සිංදු අහන්න බෑ නිකම්ම නින්ද යනවා“ කියල කියපු අවස්ථා හිටං තිබුනා. කොහොම උනත් ද්විතියික පුර්ෂ ලක්ෂණ (පුර්ව ළමා විය පහු කරාට පස්සේ (??)) පහල වෙන්ට වෙන්ට කොල්ලා සංවේදි වෙන්ට ගත්තා. බොහොම සද්දෙට අහපු ජැක්සන්ලගේ, ටිෆනිලගේ සිංදු වලින් ගොඩ යන්න බැරි තරමට ජීවිතේ අමාරු වෙන්න ගත්තා. එහෙම කියල අපි අතෑරියේ නැහැ. අපි ජේසන් ඩොනවන් අයියගේ Sealed with a Kiss එක්ක හරි ගොඩ යන්න හැදුවා. ඒත් බැරි නං ජෝජි මයිකල් අයියගේ කෙයාලස් විස්පර්, ලාස්ට් ක්‍රිස්මස් ඒ වගේ තව ඕන තරං සිංදු තිබුන ඔය නිදිමතයන්ගේ සිංදු අතාරැල අපේ ගමන යන්න නං.

ඒත් මොකක් හරි හේතුවකට කරුමෙකටද මන්දා සේකරගේ සක්වාලිහිණි කවි පොත ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන ඈනුං ඇරල කියවන්න ගත්තට පස්සේ නිකම්ම නින්ද යන්න ගත්තා. ඇත්තටම ඔය කවි දාන හරිම මලදාන.. කවදාවත් හරියට කියවන්නත් බෑ. කියවල ඒ හාදයා කියන දේ තේරුං ගන්නත් බෑ. අන්තිමට අපි තේරුං ගත්ත එක මේකයි කිව්වම ඒකට ලකුණූ බිංදුවයි. ඔන්න ඔහොමයි කවි. ඒත් මේ සක්වාලිහිණි පොත කියවං යද්දි හරි අමුතු විදියට එක එක කවි එක එක විදියට පයට ගැට ගහල වගේ හැගීමක් ආවා. අන්න ඒකත් එක්ක කවි යුරේකා.. විරේකා නෙමෙයි වෙන්න ගත්තා. ඒකෙන් මේකෙන් මහගම සේකර කියන හාදයා තවත් කවි පොත් ලියල තියෙයි කියල ඒකෙන්ම හොයාගෙන් ඒවත් හොයාගන්න මහන්සි උනා. ඔය විදියට මහගම සේකර ලියපු කවි පොත් කිහිපය උඩින් පල්ලෙන් කියවද්දි තමා “ප්‍රබුද්ධ“ හමු උනේ. ඒ කවි පොත හරියට පාර පෙන්නන යාළුවෙක් වගේ ළගින්ම ඉන්න කොට මේ කවි මිහිර හිතට දැනුනා. ඔහේලට කියන්න මාත් ඔය සේකරගේ කවි එහෙම කියවල ඒ කාලේ කවි පොත් ලිව්ව කියල මතක ඇති නේද? ඔව් ඉතිං දුකයි තමා සමාර කවි පොත් අනං මනං පුච්චල දාන්නත් උනා. ඒකට වග කියන්න ඕන අර ඩුඩ්.. මොකද මිනිහත් ඒවා පුච්චපු විත්තියක් මට ලාවට වගේ මතකයි.  ඉතිං ඔය කවි ලියපු පොත් වල අන්තිමම අන්තිම පොත, ඒක පිටු අසුවක කොටුරූල් පොතක් විතරක් යන්තං ඉතිරි වෙලා තාමත් ඔපිසියේ ලාච්චුවක වැඩ ඉන්නවා. මං අරගෙන බැලුවා ඒකේ මුලින්ම මොකක්ද ලියල තියෙන්නේ කියලා.. අහන්නත් දෙයක්යැ.. ඔන්න බලන්න පින්තුරේ.


ඔය විදියට සේකරගෙන් මගේ ජීවිතේට ලොකු බලපැමක් ඇති උනා. ජීවිතේට ඇහැ අැරල නොබලන සමහර දේවල් දිහා ආයාසයකින් තොරව ඇස් ඇරල බලන්න පුලුවන් කම ලැබුනා. ඔන්න ඔය විදියට තමා සේකර නින්ද යන සිංදු හෙමත් ලියල තියෙනවා කියල දැනගත්තේ.. අනේ මන්දා ඊට පස්සේ නං ඔව්වට නින්ද යන සිංදු කියල කියන්නේ නෑමයි කියල හිතාගත්තා. අන්න එදා ඉදල මාත් අමරදේව මාස්ටර්ගේ නින්ද නොයන සිංදු අහන්න ගත්තා.

එකිනෙකට වෙනස් වූ අමරදේවගේ මෙලඩි නිසාත් ඒ කටහඩ නිසාත්, ඒ කටහඩ විරහවට අපුරුවට ගැලපෙන විරහී හඩක් කියල කියන්න පුළුවන්. අර මාගල් රවි උන්නැහැ කිව්ව වගේ මින්දද හී සර සිංදුවට මාත් බෝම මනාපයි. බීපු දවසට එක පාරට දෙපාරක් කියන සිංදුවක් ඒක... මං හිතන්නේ ඒක විතරයි මට කියන්න පුළුවන් එකම සිංදුව. ඒ උනාට විරහ දුක විදින කොට අමරදේව මාස්ටර්ගේ සිංදු වලින් හිතට කටු අනින්න ගන්න සිංදුව මෙන්න මේක. 

පෙම් රළ පතරින්.. 
නිබඳව නැහැවෙන.. 
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ... 
මා තනිකරදා පාවෙන ඔබගේ 
ජීවන නෞකා නොබිදේවා

“මා තනිකරදා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා“ ඕකේ තේරුම හරියට ආවද දන්නෑ උනත් ට්‍රයි කරපු ක්‍රෂ් වෙන කොල්ලන් එක්ක යාළු වෙලා ඉන්නව දකින කොට ගෙදරට වෙලා හූල්ල හූල්ල ඔය කෑල්ල ඇහුවත් හිතට සැපයි.. නැද්ද මං අහන්නේ.

ඒ වගේම තව ලස්සන සිංදුවක් තමා පිපුන කුසුම පරවූවා.. බබර කිකිණි ගොළු උනා

ඔය අතරේ මට ඒ දවස් වල සංගීත පිස්සුවකුත් තිබුනා. මාස්ටර් මැන්ඩලින් ගහනවා වගේ ගෙදර වයලීන් ගහල ඒක පුරුදු උනා වගේ මාත් වයලීන් ගහන්න පුරුදු උනා. ඒත් මට ඒක හරියන්නෑ. මං දක්ෂ නෑනේ. ඉතිං මම ඕර්ගන් එකට මාරු උනා. ඒක කියල පහසුවක්යැ. ඒ්ත් මාස්ටර්ගේ සඳ හොරෙන් හොරෙන් බලා වළාකුලක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා සිංදුවේ ටට ටට ටා ටට ටට ටා කියල ඉන්ටෝ කෑල්ලක් තියෙනවා. අන්න ඒකනං මරුවට මට ඔර්ගන් එකෙන් ගහන්න පුලුවන්.  CC DD C CC DD C.. බැරි අය මගෙන් ඉගෙන ගන ඕක ගහල බලන්න.. පර්ෆෙක්ට් ආ..

මං කටුබැද්දේ අවුරුදු ගානක් තෙපර බාන වෙලාවේ ඔය පැත්තෙ කම්පීටර් සර් කෙනෙක් අල්ලගෙන කම්පීතර කරුණු ටිකක් ඉගෙන කියාගත්තා. එයා ඉතිං ටික කාලයක් යද්දි මගේ හොද ප්‍රෙන්ඩ් කෙනෙකුත් උනා. මිනිහගේ ගෙවලුත් කොරළවැල්ලේ.. නෑ ඇල්බට් නෙමෙයි වෙන නමක් තිබුනේ. කොහොම හරි මේ හාදයා මාව ගෝල්පේස් කෝට් වල තිබුන කම්පීතර ක්ලාස් එකක සී+ කරන්න ක්ලාස් එකකට දැම්මා. පොරත් යනවා මාත් එක්ක. අපි යන්නෙත් කෝචිචියේ. ගිහිල්ලා එන ගමන් ගල්කිස්සට වෙලා ටික වෙලාවක් ඉන්නවා කෝචිචිය මාරු වෙන්න. අන්න ඒ අතරෙදි මිනිහා අනිවා කියන සිංදුවක් තියේ. ඒක තමා

කරදර පොදි බැද
ගැලපිට පටවා
කරුමයේ කරගොනු
පෙරටුව අරගෙන
මේ ජිවන මග අපි යනවා

ඔය සින්දුවත් ජාතික ගීය තරමටම හිතට වැදුන එකක්. 

කොාහොම උනත් මාස්ටර් මේ කාලේ ඇතුලත අපිට හිතට කරදර ආපු වෙලාවට ඒ කරදර වැඩි කරන්න දීපු සහයෝගය අමතක කරන්න පුළුවන්ද? ඔය ඔකකෝමටත් හරි යන්න. මෙන්න අමරදේවගේ මං වැඩියෙන්ම අහපු සිංදුව.. ජනප්‍රිය නැති උනත්.. ඔබේ දැසයි ඔබේ දැසයි පැටලිලි සහගතයි මට.

සුභ ගමන් මාස්ටර්.. තැන්ක්ස් ෆෝ බීයින් විත් අස්..


Saturday, September 3, 2016

අනේ සමාවෙන්න සර්!!!

අනේ සර්.. බලන්නකෝ මට ඒක අමතක වෙලාම ගියා නේ.. අපේ මේ ගොං කෙන්ජා දාන ස්ටේටස් මං බලල සද්ද නැතිව හිටියට, හැබෑටම මේක දැක්කම මගේ පපුව පලාගෙන යන්න ගත්තා.. අපි දිහා පියෙක් වගේ බලපු කියපු ඔබතුමා ගැන කිසිම අහිතක් නැති උනත්, ඇත්තටම මට හිතාගන්න බැහැ ඇයි මේ බව මට අමතක උනේ කියලා. උදේ ටීවි එක බලද්දිත් මට මතක් උනා. ඒත් ඒක ඒ තරං ඔලුවට වැදුනේ නැහැ. ඔව් අපිටත් ඉතිං අර කුකුළගේ කරමලේ වගේ වටිනාකමක් නැහැනේ. අපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත නේ.. ඒත් ඔබතුමා හැමදාම මට සුභ පතනවා. ජනවාරි පළවෙනිදට අනිවාර්යයෙන් මට සුභ පතනවා. ඔබතුමා කොහාම දන්නවද කියල මං සමාර වෙලාවට පුදුම උනත්, කව්රුවත් නොදන්න ගෙදර උන්දැ විතරක් දන්න නම්මරෙත් ඔබතුමා දන්නෙ කොහොමද කියල මං පුදුම උනා. ඒ්ත් ඇත්තටම ඒ ඔබ අපිට ආදරය කරන සීමාව නිසා නේ.. කව්රුවත් නොදන්න නම්මරේට උනත් ජනවාරි පළවෙනිදට සුභ පතන්නේ. ඒ වගේමයි මට අද ඊයේ වගේ මතකයි මම අප්‍රෙල් මාසේ ගත්ත අලුත්ම සිම් එකටත් ඔබතුමා සිංහල අවුරුද්දට සුභ පැතුවා. එතකොට මේ සිංහල අවුරුද්දේ ඔබතුමා මගේ දුරකතන අංක සියල්ලම දැනගත්තා. ඒක කොහොම දැනගත්තද කියන එක පුදුමයක් උනත්, ඒකෙන් තේරෙන්නේ ඔබතුමා අපි ගැන කොයි තරං සැළකිලිමත්ද ඔබතුමා අපි කොයි තරං වටින අය විදියට සලකනවද කියල හිතන එක නේ. වෙලාවකට ඒකට ඇඩෙනවා. නහර පුපුරලා යයි කියලත් බය හිතෙන වෙලාවල් නැතිව නෙමෙයි. අනිත් යාළුවන්ගේ සුභ පැතුම් අතරේ ඔබගේ සුභපැතුම් දැක්කම කෑ ගහල අඩන්න හිතෙනවා සන්තෝසේට.

මොනව උනත් ඔබතුමා දන්නවා උපන්දිනේ දවසේ මං වගේ බුරුවෙකුට සුභ පතල වැඩක් නැහැ කියලා. මොකද එදාට මං තනිකරම ලේ වෙනුවට මධ්‍යසාර ශරීර ගත කරගන්නා නිසා නේ. මං ගිය අවුරුද්දේ බලාන හිටියා අඩු ගානේ මේ පාරවත් මට උපන්දිනේට ඔබතුමා සුභ පතාවි කියලා. ඒත් ඒක හීනයක්. මොනව උනත්, මං වගේ බලු නගුටෙකු දවසම බීමත්ව උපන්දිනේ දවසේ ඉන්නවා කියල ඔබතුමා සමාර විට දන්නවා වෙන්න ඇති. අන්න ඒකයි අපි ගැන හිතන අයගේ හැටි. කවදාවත් ඔබ මගෙන් පාර්ටි ඉල්ලල තියේද? නැහැනේ. ඒකට මගේ යාලුවොයි නෑයෝයි. අතේ සතේ නැති උනත් උපන්දිනේ දවසට උන්ට බොන්න දෙන්න ඕන. පුදුම වැඩක් නේ ඕයි සොරි සර්... මේ මල ජරාවේ ඉපදුනාට ඒ දුක මං වත් සමරන්නේ නැත්ද එදාට.

කමක් නැහැ මං දන්නවා ඔබතුමා මං ගැන කොයි තරං හොයා බලනවද කියලා. ඒක ලබන උත්සව කාලේදිත් එහෙමම වේවි කියල හිතනවා. ඒත් තව අවුරුදු හතරක් ගියපු තැන ඒවා නැති වෙනවා කියල හිතන කොටත් මට දුකයි.

හතර විලි ලැජ්ජයි. සර්.. සමාවෙන්න. ඔබතුමා එවපු එක සුභ පැතුම් පණිවිඩයකටවත් වටිනාකමක් මට දෙන්න බැරි උනා .නැත්නං අමතක වෙලා ගියා. ඒත් මේ පාර අර කෙන්ජා නිසා මට මොලේ පෑදුනා..

අපි ගැන පියෙකු මෙන්ඔ හිතන ඔබතුමාට සුභ උපන්දිනයක් වේවායි මෛත්‍රි සිතින් පැතුම් එක් කරමි!!

මීට කවදත් ඔබට අකීකරු,

දේශක.. හැක් හැක්.. රා


Thursday, September 1, 2016

හබරළ කවි 2

ගං වතුර

කැළණි ගඟ වුවත්
දරා ගත නොහැකි විට
නොවැලපේද
හදවත පුපුරවා හැලෙමින්

පුපුරවා වැරෙන්
හ‍ෙළු කඳුළු ගලා
අතොරක් නැති
හැම තැනම සොයා

එහෙත් මිනිසුන්
අසරණව වැලපෙන විටත්
ආණ්ඩුව කුමද කළේ
විමසයි සුපින්වත්

එහෙත් ෂෙයා කෙරෙයි
ත්‍රිවිධ හමුදා කළ අපරිමිත
කැපකිරුමන්, උත්සුකයන්
අහෝ සමිඳේ
කොහිද අප හට එළියක්



හිත අවුල්

නොයෙක් වර
නොයෙක් දෙස
දුටු විට
අති රමණිය ළඳුන්
කීරි ගැසුනු හිත
යදියි
එක් දෙයක්
නොලැබුනද
සතුටයි
දුටු විට
ඒ රමණියයන්


බීම

වතුරද
පැණි බීමද
බෙහෙත්ද 
සිරප්ද 
නැත
මේවාය
බීම


මට පිස්සු

නිතර පැමිණෙන
විටෙක නවතින
හැමදේම උතුරණ
ප්‍රේමයම අයැදින
නොවක් හදවතම
නොසැලී විටක
අයැදියි
මොහොතක සුවයම


පලි - සෝදුපත් බලංඤ්ඤං අවශ්‍ය කර තිබේ!!

Friday, June 24, 2016

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..!! (See updates below)

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..



හිතවත් යම රජජුරුවන් වහන්සේ වෙතයි,



ඔබතුමාගේ රාජධානිය වෙත පැමිණිමේ නිවේදන නිකුත් කර ඇති සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා සම්බන්ධවයි.


පසුගිය අඟහරුවාදා දින පෘථිවියේ සිංගප්පුරුව නම් ස්ථානයේ ස්ථාපනය කර ඇති ඔබතුමාට විරුද්ධ ආයතනයක නේවාසිකව ඔබතුමාට විරුද්ධව කටයුතු කරනු ලබන සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා හට සමාව ප්‍රදානය කරන මෙන් ආයාචනා කර සිටිමි. එම ගැත්තා කට මැත දෙඩවුවාට ඔබතුමා හට හානිකර කිසිදෙයක් ප්‍රකාශ කර හෝ සිදු කර නොමැති බවට “මේ වනතෙක් අවසන් පැමිණිමේ නිවේදන“ නිකුත් කොට නොමැති මා ඉතා කාරුණිකව දන්වා සිටිමි. සරත් ගැත්තාගේ මෙම සියලු ක්‍රියාවන් ඔබතුමාට විරුද්ධව සිදු නොකරන බව ඔහු පෙන්වා ඇති ප්‍රතිශත ගනන් වලින් ඔබතුමාට තේරුම් ගනු හැකි වෙතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.




තවද, ඔබ වහන්සේගේ මනදොළ සපුරනු වස්, ඒ ගැත්තා හට තවත් බොහෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට ඇති බවත්, එමගින් ඔබ වසන්සේ මුසපත් වී සරත් ගැත්තා හට අවසන් පැමිණිමේ නිවේදන බොහෝ සතුටෙන් යුතුව නිකුත් කළ හැකි බවත් යටහත් පහත්ව දන්වා සිටිමි.

එසේ හෙයින්, ඔබතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන එම ස්ථානයේ කටයුතු කඩාකප්පල් නොකර, තව ටික කාලයක් හෝ සරත් ගැත්තා හට තම ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය අවකාශය, අවසරය ලබා දෙන මෙන් ආයාචනා කර සිටිමි.



මෙයට විශ්වාසී,



ඔබගේ ඇමතුමට සැනෙන් පැමිණීමට නියමිත,

දේශක ගැත්තා.

හැක්




Link to the Terrorist විරුවෙකු නොවූ රණවිරුවා




ඇත්තටම මේ හාදයා බේරිල නෙව.. හැක්






Sarath Wimalasuriya මේපාරත් කොලේ වැටුනෙ මගේ පැත්තට...
UnlikeReply1412 hrs