Thursday, June 13, 2013

සිරිපා වන්දනාව අංක 3

කලින් කොටස බැලුවේ නැත්නං ඕං මෙතනින් බලන්න

හැටන් වලින් නැග්ග බස් එකේ අපි ුමුලින්ම නැංග නිසා සීට් ගන්න පුළුවන් උනා. මාත් දුවල ගිහිල්ල ජනේල අයිනක් අල්ලගත්තම මඩයා දුවල ඇවිත් මට අනිත් පැත්තෙන් වාඩි උනා. එහෙමම ඇස් දික් කරල බලන කොට සැන්ඩයි අර ළමයයි මට ඉස්සරහ සීට් එකේ. වාඩි වෙලා. ළමයා ජනේලේ අයිනේ. 

බස් එකට නැග්ග වෙලාවේ ඉදල අපේ උන්ගේ කච කචේ. වෙන මිනිහෙකුට කනක් ඇහිල ඉන්න බැරි ගානටම. ටිකක් දුර යනකොට සැන්ඩා ළමයට එක එක කරදර කරනවා. ඕක බලන් හිටපු මමත් ඉතිං ෆ්‍රී ලයිසන් එකක් තියෙනවා නෙව ලර්නර්ස් යන්න ඒක නිසා හෙමින්ම ළමයගේ උරේ උඩ අත්දෙකම තියාගත්තා අර සීට් එකේ තියෙන ඇලුමීනියම් බටේට යටින්. හත් ඉලව්වමයි. මේකි මගේ දිහා බොහොම අහිංසක විදියට බලල ඇහැක් ගැහුවම.. මට තේරුනේම “උඹ පොඩි එකෙක් නේ පාඩුවේ පලයං“ කියනව වගේ. 

මගේ හිතට කරන්ට් එකක් වාගේ ආපු ඒ හැගීම එක පාරටම අත් දෙක එතැනින් අයින් කරගත්තා. ඔහේ ඕන දෙයක් වෙයං කියල මාත් ජනේලේ හොද එකෙන්ම ඇරගෙන සීතල හුලං බිබී ආතල් එකේ නල්ලතන්නි යනකංම ගියා. අම්මේ මුත්තේ කිව්වත් මේ පොඩි එකාට ඕව ඕන නැතෙයි කියල හිතාගෙන.

නල්ලතන්නියෙන් බැස්සම සැන්ඩයි ලොකු කුමාරයයි කඩ ගානේ දුවනව සේරම දැක්මම අපි හිතුවේ මුන් කන්න මක්ක හරි හොයනවයි කියලා. සිරිපාදෙට ඇතුල් වෙනකොටම තියෙන (කඩපේලිත් එක්කම) දොළ පාරෙන් නාගන්න ඕන කියල අරුන් දෙන්න බෙරිහන් දෙනකොට තමා කස්ටියට කල්පනා උනේ යකෝ බෑග් ටික කර ගහගෙනද මේක කරුණා කරන්නේ කියන එක. 

ඒ පාර දුවල පැනල ඔය දොළ පාර ගාවම තියෙන විශ්‍රාම ශාලාවකට ගිහිල්ල (ඒක තියෙන්නේ මිනිස්සු කෑම උයන්න ගන්න තැනත් එක්කමයි) ඒකේ කාමරයක් අරගෙන ඔක්කෝම බෑග් ටික ඒකේ දාලා නාන්න ඕන ඇදුං ටික විතරක් අරගෙන ආවා. ඇවිල්ල අපි නාන්න ලෑස්ති උනා.

ඒ අතරේ අර යක්කු තුන්දෙනා සරමක් ගෙනැල්ලා බැහැයි බැහැයි කියල නාහෙන් අඩන ළමයට බල කරල සරම අන්දවල ගත්ත වතුර පාරට. තුන්දෙනා එක්ක වටවෙලා සරමෙන් හෙළුව වහගත්ත ළමයත් එක්ක මොකක් හරි සිරික්කියක් කරන විත්තිය දැක්කත් මම නං අහක බලාගෙන හිටියේ මොකද නෙලන්න බැරි මල් දිහා ඉරිසියාවෙන් බලන්නේ කියලයි. නාලා ඉවර වෙලා කස්ටිය ගොඩ වෙන කොට සැන්ඩයි කොම්බුවයි සෙට් උනාම මම ඇහුවා මොකද අර බොලා කරේ අරකිට කියලා.

“ආ මේ අපි යකෝ... විෂබීජ නාශනය කරා නෙව“

“ඒ මොකක්ද බං ඒක“

“ඇත්තට තෝ දන්නැත්ද යකෝ.. ගොන්නුංගේ තියෙන විෂබීජ යවන්න හොද රතු ළූනුයි දෙහියි තමා. ඒක තමා අපි කරේ“

ඔය විදියට කියාපු කෙම් ක්‍රමේ සම්පුර්ණයෙන්ම දැන ගත්තා උනත් මහ විකාරයක් වෙච්චි ඒ ගැන කතා කරන්න ඕන නෑ නෙව. ඔය විදියට අපි කරුණාව පටන් ගත්තා. අතර මගදිම වෙද මහත්තයගේ චක් ගෝලයෝ අඩ ගහල නොමිලේම නලල දෙපැත්ත අතගාලා තල්ලු කරා උඩහට. ඉතිං අපි ගියා. ඒ ගිහිල්ල සාම චෛත්‍යය ගාවදි කොම්බුවා උපදෙස් දුන්නා හැමෝටම නතර වෙන්න. ඌ ගියා කොහේද. ටික වෙලාවකින් ආපු මූ,

“ආ වරෙල්ලා තොපිට රෑ කෑම දෙනවයි කිව්ව නෙව මං.. වරෙල්ල කෑම දෙනවා නොමිලේම. දන්නව නේ මං කිව්වොත් ආයේ දෙකක් නෑ කරනවනමයි හරිය“

මුගේ වචන ටික විස්වාස නොකරත් වෙන කරන්න දෙයක් නැති හින්දා උගේ පස්සෙන් වැටිල සාම චෛතයයෙන් දකුණු පැත්තට අපි ගියාම එතැන තියෙනවා කෑම කඩයක්. අපි එකා දෙන්න කඩේ ඇතුලට ඇදෙන කොට ඇතුලෙන් මේසේ ගාව ඉන්නා එකා බෙරිහන් දෙනවා. 

“අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට“

බැලින්නං යකෝ මේ අපේ ගමේ හොද බොක්කක් නෙව. මූ අපේ යාළුවා උනාට අපි කාටවත් මතක තිබ්බේ නෑ මේකා සිරිපාදේ කාලේ මෙහාට මංගච්චනවා කියන එක. හැබෑ නේන්නං මුගේ කඩේ මෙතන තියෙන විත්තියක් මටත් කලින් කියල තිබුනා. ඉතිං මදෑ කොම්බුවා ඕනයැ අපිට මුගෙන් කන්න. 

“හිටහල්ල බොලාට බත් උයනවා ඒවා කාපල්ල මේ ගල් වෙච්චි ඒවා කන්න බෑනේ බං. බොමු සිගරට් එකක්“ කඩේ අයිතිකාර වරුණයා කිව්වම අපි මීමැස්සෝ ටික වගේ සිගරට් පෙට්ටිය අතට අරන් තත්පරෙන් හිස් පෙට්ටිය විසි කරේ හරියට සාගතේට අහුවෙලා හිටි උන් වගේ.. 

ඔය කෑම උයනකං අපිට සිද්ධ උනා පැය දෙකක් විතර ඔතනට වෙලා ඉන්න. ඒ අතරේ ලැබුණ ආරංචි අනුව ළමයා රැගෙන කඩේ පිටුපස කැළයට පිවිසි ලොකු කුමාර, සැන්ඩා හා මෙතෙක් වේලා කිසිම දෙයක් ඕන නැති ගානට සිටි ලසා තම තමන්ගේ කර්තව්‍යය නිසි පරිදි ඉටු කරගෙන ඇති බවක් ආරංචි උනා. වටවලදි වැඩේට උල්පන්දම් දුන් කොම්බුවා පැත්ත මාරු කිරිම විශ්මයක් විය.

කෑම කාලා වරුණයා ගානේ සිගරට් පැකට් දෙකකුත් තෑගි කරගෙන අපි පටන් ගත්තා ආයේ කරුණාව. අතරමගදි මළුවටම එකයි සුරුට්ටු තුන හතරක් ගත්ත නිසා සැට් එකම හකු බහිනකං හීතලේ ඒක ඇද්දා. මොකද සීතල ගතිය නිසා ඒක බොක්කටම ඇද්දේ නැතොත් නිවිල යනවා. ඔය විදියට මළුවටම කරුණා කළා කියමුකෝ. හැබැයි අතර මග ඉදලම ළමයා හීතල ගතිය වැඩි වෙල වෙව්ලන්න ගත්ත හින්දා උඩින් දාපු ජැකට් එකට අමතරව මඩයා ගාව තිබ්බ අත් දිග ටී එකකුත් දුන්නා.

මළුවට ගියාම වෙච්චි දේ ඉදිරියට...


Saturday, June 8, 2013

අවුරුදු දෙකයි.. අපේ රජාට (අඩවි රජ හෝ මහරජා ගැන නෙමෙයි)

සිරිපා වන්දනාවට පොඩි විරාමයක් තියන්න වෙනවා. ඔව්.. ඔව් ජාතියේ මහා අනගීභවනීය දිනය ලං වෙනවා. ඒක නිසා..
******************************************************

මේවා කියන්න ගියාම කස්ටිය තරහ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ රජා කියන නම ඔය කිහිප දෙනෙකුටම තියෙනවා නෙව. එකෙක් තමන් මහරජාය කියල හිතාගෙන තියෙන ඔක්කෝම දහදුරා වැඩයි, හොද වැඩයි ඔක්කෝම පටලගෙන කරගෙන යනවා. හැමෝම බැන්නට, ඡන්දෙන් මහ රජා උඩින්ම දිනනවා. ඊට පස්සේ ටික දවසක් යන කොට ඡන්දේ දීපු එකෙකුත් නෑ. ඔක්කෝම මහ රජාට විරුද්ධව කතා කරනවා. ඒකේ අවුලක් නෑ කියල කියමු අපේ මෝඩ කම නෙවද කියලා. 

ඒත් තව රජෙක් ඉන්නවා ඒකා එළිපිටම මිනිහා රජෙක්ය කියල කියනවා. ඒ මදිවට මිනිහගේ ස්ථානය තහනං අඩවියක්ය කියල කියාගෙන ඕනම බයියෙකුට එන්නත් දෙනවා. ආරක්ෂාව ගැන නං තඹ සතේක දෙයක් නොදන්න රජෙක් මේකා. ඒ මදිවට නොසෑහෙන්න අය එක එක නං කියනවා. චූ රජා, මඩ රජා, වල් රජා, පොටෝ රජා වගේ එක එක දහදුරා නං.. මොනා උනත් ඉතිං ඌත් එක රජෙක් තමා.

ඔය ඔක්කෝම රජවරුන්ව වඩා වටින තව රජෙක් ඉන්නවා බුරු කුට්ටමේ. ඒ රජානං ආයේ හොල්ලන්නවත් බැරි තරං වටින රජෙක් නෙව. දන්නෝ දනිති. තව ඉතිං ඔය ගෙදර ඉන්න පොඩි එකාටත් කියන්නේ “අනේ මගේ රජෝ“ කියලා. එහෙම බැලුවම අපේ වල් රජා තමන් රජෙක් කියල කියන එක වරදක් නෙමෙයි, මොකද පොඩි කාලෙ මමත් රජෙක් නෙව.

ඔය කතන්දර කියන්න ඕන උනේ ගූගල් එකේ, ඒ කියන්නේ මුළු බ්ලොගර් එකම බොහොම ගෞරවයෙන් වැදුම් පිදුම් කරන, සළකන, රජෙකුට වගේ සප්පායම් කරන, බොහොම වටින පුද්ගලයෙක් ඉන්නවා. මිනිහා ගේ තියෙන එකම දේ මිනිහා රජෙක්ය කියල තමන්ම නොකියන එකයි. (වල් රජාට නං ඇහැට කටු අනිනව වගේ ඇති මේවා ඇහුවම .. අපිට පාංයැ) ඉතිං සිංහල බ්ලොග් ලෝකේ ඉන්නේ එකම එක රජයි. හැමෝම මිනිහට රජාය කියල කියන්නේ ඇත්තටම මිනිහ රජෙක් හින්දයි. ඔය මාරය හෙම තමන්ගේ ලැයිස්තුවේ දාං ඉන්නේ “බ්ලොග් ලොව මහරජු“ කියල නේ. මමත් මුලදි සැක කරා මේකා කොහොමද රජෙක් වෙන්නේ කියලා. ඒත් කියන්න කනගාටුයි පස්සේ මට සිද්ධ උනා පිළිගන්න විතරක් නෙමෙයි නමස්කාර කරන්නත්... මේ තමයි රියල් රජ කියලා.

ඔව් මේ රජාගේ පළමු රාජාභිෂේකය පහුගිය අවුරුද්දේ උත්සවශ්‍රියෙන් පැවැත්වුවා. බ්ලොග් ලොව සියළු නරයන්ගේ සහභාගීත්වයෙන්. ඒකෙදිත් රජතුමා බොහොම සාර්ගර්භ ඒ වගේම සිත් ගන්නා සිළු දේශනයක් පවත්වල තිබුනා. මං හිතන්නේ රජෙකුගේ සැමරුමකදි ඒ දිනයට විතරක් නෙමෙයි අවුරුද්ද පුරාම සුභ පැතුම් ලැබෙනවා කියන එක ඇත්තක් කියලා. ඇයි කියන්නේ මේ රජාට පළමු අභිෂේකයේ සුභපැතුම් තාමත් ලැබෙනවා නෙව. 

ඉතිං ඔන්න මේ අවුරුද්දේ අපේ ඒ මහානුභාවසම්පන්න රජාගේ දෙවැනි රාජාභිෂේකය යෙදිල තියෙන්නේ  ජුනි මාසේ 13 වෙනිදට. එදාට මුළු බ්ලොග් ලෝකේම එකම මගුල් සක්වලක් වෙනවා. එදාට අපේ රජාගේ උදාන වාක්‍ය අහගන්න නරයන් දැං ඉදම්ම සුදානං උනොත් හොදා. මොකද එදාට රජාට සුභ පතන්න එන අයගේ රෂ් එක පාලනය කරන්න බ්ලොගර්ටත් බෑ. ඒ තරම්ම ජවසම්පන්නයි අපේ රජාගේ අනුහස.

සැරද මහරජ බ්ලොග් ලොව... ඔබ නැති මේ බ්ලොග් ලොව අර මායා සිස්ටාචාරය වාගේම වේවි. (ඒක විහිළුවක් වෙලා නෙව දැං) ඉතිං ඔබතුමාගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!! අපි වගේ නරයන්ට කරන මේ සේවය වෙනුවෙන් ඔබතුමා හට සියළු දෙවියන්ගේ බලයෙන් ජවය, ශක්තිය, හැකියාව ලැබේවා!!! මේ කරගෙන ආපු විදියට හැම අවුරුද්දෙම ජුනි 13 වෙනිදාට ඔබතුමාගෙන් උදාන වාක්‍යයක් අහන්න මේ කට ඇරං බලන් ඉන්න නරයන් ට අවස්ථාව ලැබේවා!!! ජයෙන් ජයම වේවා!!!

ලෑස්ති වෙන්න රෂ් එක මග අරින්න. වැඩේ පහසුවෙන්ම කරගන්න. 13 වැනිදා උදේ ඉදන්ම රාජාභිෂේකය බලාපොරොත්තුවෙන් ඉන්න.. මග අරින්න එපා. අතහරින්න එපා. අවුරුද්දට ම එක පාරයි මේ අවස්ථාව ලැබෙන්නේ. මං හෙන ට්‍රයක් දෙනවා ඉස්සෙල්ලම සුභපතපු නරයා වෙන්න අපේ රජතුමාට..

රජතුමාට සුභ පතන්න මෙතනට යන්න..  (මේ බ්ලොගේ දකුණු පැත්තේ උඩින්ම සිරික්කිය දාං ඉන්න පින්තුරෙට කෙටුවත් රජා බලන්න යන්න පුළුවන්.)

ප.ලි - කලින්ම දැම්ම දිනේ වෙන් කරගන්නවලා හොදා..


රජෙකුගේ ගමන් මග (ඡායාරූප සහිතයි)



රජ සහ පිරිවර පින්තුරු ග්‍රන්ථ පිරික්සමින් (නිල්ද මන්දා)


 රජු තම චක්ගෝලයන් සමග කෙලිදෙලෙන්



 ශ්‍රී දළදා පහස ලැබුදා (පොඩ්ඩක් නැමිල ඉන්නේ ගෞරවේ වැඩි කමට)



 රජ සහ තවත් රජෙක් පොටෝ ගන්න නොදන්නා කැමරාමන් කෙනෙක් සමග



 රාජකීය සුරාපානයකින් අනතුරුව (ඇස් රතු වී ඇත)


 ගාම්භිර සෙයියාවෙන්

සිරිපා වන්දනාව අංක 2

බලපු නැති අයට සිරිපා වන්දනාව අංක 1 

තීරණය ගත්ත විදියට බදුල්ල තැපැල් දුම්රියේ නැගල, හිගන්නො ටික වගේ ටික වෙලාවක් එකාට එකා මුණ බලගෙන ඔන්න අපි යන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට ඉස්සෙල්ලම මුණු මුණු ගාලා එකා එකා හෙමීට කතා කරන්න ගත්තා. හෙමින් සැරේ එකා දෙන්නා ඒ කතාවට එකතු උනාම දුක යටකරගෙන පොඩි හිනාවක් හෙම කට්ටියට ආවා. ඒත් සැන්ඩට ලොකු දුකක් තියෙනවා.

“බලහං බං අර කැ** ටික අපේ බෝතල් ටික දුන්නේ නෑ නේ බං. උං ඒකට දැං හිනා වෙවි වැඩේ දෙනවා ඇති“

“ඉතිං බං උඹට තිබ්බ නේ ඒ ටික ඉල්ලගන්න. මට නං ඒක මතකම නැතිව තිබ්බේ“ ලසා කිව්වා.

“යකෝ ඒක ඉල්ලන්න ගියානං උං අපිව අද එවන්නේ නෑ. ඒ තරං ගස් බල්ලෝ උං“

එහෙම කිව්වම සෙට් එකටම හෙන හිනාවක් ගියා. ආයේ ඔන්න සාමාන්‍ය තත්වෙට ඇවිල්ලා. ඒ වතාවේ කොම්බුවා පැන්නා මැද්දට.

“හික් හික් ඒයි දේශා.. උඹ නිකං පොඩි එකෙක් වගේ නේ ඇඩුවේ. උඹට මොකක්ද උනේ බං“

අනාතයි. මුං අහන ඒවට උත්තර දෙන්න තරං මගේ ඔළුව නිදහස් වෙලා තිබුනේ නෑ. මුං දැං මට වටවෙලා මඩ තල්ලි එවනවා.

“පලයල්ල යන්න කරදර නොකර. එහෙනං ට්‍රම්පටයා ඌත් ඇඩුවේ. දසයෝ“

“හැක් හැක්.. ඒ උනාට උඹ නේ පොඩි එකා වගේ අඩන්න ගත්තේ.. අපේ කැඩේට් සර් කාරයා හිටියනං තෝව එතනම කෝඩ්රෝල් ගස්සනවා.. හැක් හැකැ“

මේ වෙලාවේ ටොට්ටා හෙන දුකෙන් කතාව පටන් ගත්තා.

“බලහං බං මං හිතුවේ අරුන් බෑග් ටික චෙක් කරාවි කියලා . එහෙම උනානං මගේ රම්බෝ පිහිය මාට්ටු වෙන හින්දා මම හෙමින් සැරේ ඒක කෝච්චියෙන් එළියට දැම්මා. අපරාදේ ඕයි රු. 150 ක් උනා ඒක“

“ඉතිං උඹ මොකටද ඒක ගෙනාවේ.. අපිට අනින්නද.. හැක්“

“නෑ යකෝ දන්නෑ නේ ඕන උනොත් කියල හිතල ගෙනාවේ“ 

කොහොමත් ටොට්ටා ඔය මොනා හරි කපන්න පිහියක් අරන් ට්‍රිප් යන එක පුරුද්දක් විදියට කරන දෙයක්, නැතිව කාටවත් බස්සන්න ගේනවා නෙමෙයි.

ඔය විදියට කස්ටිය හෙමින් සීරුවේ සාමාන්‍ය තත්වෙට පත් උනාට, බඩ ගින්න දැනෙනවා රෑ වෙන කොට. අපිට කන්න කියල මෙලෝ හසරක් නෑ. ඒත් සමහර උන් ගෙදරින් හදන් ආපු වැලිතලප, දෝසි, ටිකක් තිබ්බ විත්තිය මතක් වෙලා ඒ ටික අරගෙන එක පොදියට කාලා යන්තං රෑ ගින්න නිවාගත්තා. ඒත් හිතේ ගින්දර නිවාගන්න නං ඕන වෙන ගල් ටිකක් නං බේතකට ගන්නවත් විදියක් නැති තරං අපි හන්ටර් වෙලා හිටියේ. ඒක නිසා කොච්චර උවමනාව තිබ්බත් එකෙක්වත් ඒ ගැන කට හෙල්ලුවේ නෑ. ස්ටේසමක නැවැත්තුවම සෙට් එකම දුවල ගිහිල්ල ඔය වතුර ටිකක් කරාමෙන්ම කට අල්ලල බීල දුවල ඇවිත් ආයේ කෝච්චියට නගිනවා. වතුර බලෙන් කොල්ලෝ ටික ගමන යනවා.

උදේ වෙද්දි නිදිමත ඇරගත්තු හාදයෝ ටික එළීය වැටෙන කොට ආයේ පරණ පුරුදු කොළු රැල වගේම, කොලු වැඩ කරන්න හැදි පැහැදී හිටියා. සමහර උන් ඇඩ්ඩරස් ලියනවා කොළ කෑලි වල. අනෙත් අය ඇස් කරකවගෙන සෙවල හලන්න කෑලි හොයනවා. ඔය අතරේ මොකක් හරි හේතුවකට කෝචිචිය වටවල ස්ටේසමේ හුගක් වෙලා තියාගෙන හිටියා. හැම එකාම වගේ ස්ටේසමට බැහැල බලන් හිටියම තමා දන්නේ තවත් කෝච්චියක් එනකං නවත්තං ඉන්නේ කියල. කියන්න අමතක උනා අපේ ඔය සැන්ඩයි, කොම්බුවයි, ලොකු කුමාරයයි (උගේ නම සුරේශ් කුමාර. උගේ මල්ලිත් කුමාර හින්දා ඌට කියන්නේ එහෙමයි) ඒ ලෙවල් කරන උන්. අපිට වැඩිය වැඩිමල්. මුන් තුන්දෙනා හුගක් වෙලාවට එකටමයි ඉන්නේ. එහෙම ඉන්නකොට ඇස් අහකට ගන්න බැරි ඇස් දෙකක් ටිකට් කවුන්ටරේ ගාව ඉන්නව දැක්කම, ලොකු කුමාරයා පෙරේතයා වගේ ඒ පැත්තෙම නටන්න ගත්තා. ටික වෙලාවකින් ඌ හරියටම ඇස් දෙක අදුරගෙන තිබුනා. “යකෝ ගොනෙක්.. මොකද කරන්නේ.. මට නං මීටර් වැඩ කරනවා“

“අනේ පිස්සුද බං ඕවා කරන්න වෙලාවක් නෑ“ අරුන් දෙන්න කියලා. 

ඒත් ලොකු කුමාරය වැඩේ අතෑරලා නෑ. 

හෙමින්ම ඒකිට ටෝක් එක දාලා. දැං මූ බුදු ෆිට් එකේ ඒකිත් එක්ක කතා කර කර ඉන්න විත්තිය අපි දැක්කා. මම නං ඒ වෙනකං හරියට වැඩේ දැනගෙන නොහිටියට මූට කෑල්ලක් සෙට් වෙලයි කියල හොද හැටියෙන්ම හිතාගෙන හිටියා. කොහොම හරි අර තුන් කට්ටුව වැඩිපුර අර කෑල්ලත් එක්ක කතා වෙන විත්තිය පොඩි ඈයෝ හැටියට අපි දැක්කා ඒත් මඩ ප්‍රහාර සදහා ඔක්කෝම සුදානං කරං හිටියේ කෝචිචිය අද්දනකං. නළාව පිම්බම අපි දුවල ගිහිල්ල කෝච්චියට එල්ලුනා. අපි හරි බරි ගැහෙන කොට මෙන්න බොලේ අරුන් තුන්දෙනා අර කෑල්ලත් අරන් කෝච්චියට නැගල. ලොකු කුමාරය නං ඒකිගේ අතිනුත් අල්ලගෙන. මලා ජෝන්. අපිට මේක දැකල හෙන ඌරු ජුවල්. එහෙම කිව්වොත් වැරදියි. ඉරිසියයි. මූ කෙල්ලෙක් සෙට් කරගෙන ඒක අරගෙනත් ඇවිල්ල. අපිට තමා එහෙම එකක් වත් බැරි කියලා.

ලොකු කුමාරය අපි ගාවට ආවා. ඇවිල්ල කතාව පටන් ගත්තා.

“මචංලා.. ඔන්න අපිට හරි යන එකක් සෙට් උනා හරිය. බොලා මෙතන බයිල ගහන්න ලෑස්ති වෙන්න එපා. මමයි, සැන්ඩයි, කොම්බුවයි ඒකි ගැන බලාගන්නං. තොපිටත් ආතල් එකක් ඕන නං කියාපිය. හැබැයි අපි මේකිව සිරිපාදෙත් නංගනවා හරිය.“

“ඒයි බං එතකොට ඔය ගොනෙක්ද??‘ එකෙක් අහනවා

“ඔව් නැතිව ඉතිං සුකිරි කෙල්ලෝ එනවයි අපිත් එක්ක යන්න“ ලොකු කුමාරය කියනවා.

“යකෝ එතකොට ගොනාට සල්ලි දෙන්නේ කව්ද.. තොපි අපෙන් සල්ලි ඉල්ලන්න එපා.. හරිය. අමාරුවෙන් හිගාකාලා හොයාගත්ත සල්ලි ටික“

“හරි හරි උඹලගෙන් සල්ලි ඉල්ලුවේ නෑනේ.. අපි ඒක බලාගන්නං“

කොහොම උනත් අපිට දැං වැඩේ ඇලජික් වේගෙන එන්නේ. කොල්ලෝ ගොඩක් අස්සට එක කෙල්ලෙක්. අනික අපිට ඕවට මුහු වෙන්නත් හරියට බෑ. අරුන්ට පුළුවන්. උන් ඉතිං ලෝකේ කාලා වමාරල ඉන්න ඈයෝ හින්දා. මේකෙන් වැඩියෙන්ම අවුල් උනේ මඩයා. ඌ හෙන අහිංසකයා. මිනිහට හිතාගන්නවත් බෑ මේ වගේ සීන්එකක්. ඔය විදියට කස්ටිය හැටන් වලින් බහින්න ලක ලැහැස්ති වෙනවා. ඒත් අපි හොදට මීටරේ දාගෙන ඉන්නේ. තාම ලොකු කුමාරය තමා කෑල්ල හුරතල් කරන්නේ. අපරාදේ කියන්න වරදක් නෑ.. ටිකක් කළු උනත් කෑල්ලක්ම තමා කියල කියන්න පුළුවන්. කොණ්ඩේ බෙල්ල ගාවටකොටට කපලා අළු පාටම ස්කර්ට් එකයි බ්ලවුස් එකයි ඇදල හිටියේ. අතේ තිබුනේ පර්ස් එක විතරයි. ඒකත් මං හිතන්නේ අල්ලගෙන ඉන්න බැරි හින්දා අර යකෙක් අරගන්න ඇති සාක්කුවේ දාගෙන තියාගන්නං කියලා.

අපි කට්ටියම හැටන් වලින් බැස්සා. ටිකට් පරික්ෂා කරාට පස්සේ එළියට ඇවිල්ල එතනම වම් පැත්තේ තියෙන ස්ටේසමේම හදපු හම්පඩ විශ්‍රාම ශාලාවට ගිහිල්ල බෑග් ටික තියල දත් බුරුසු අරන් එක එකා මුණ හෝදන්න ගත්තා. ඒ අතරේ සැන්ඩා අරකිට සෙට් වෙලා. ඒකි බිම වාඩි වෙලා කකුල් දිග ඇරන් ඉන්නොකට ඒකියේ උකුල උඩ ඔළුව තියාගෙන මේකා ඒකිත් එක්ක චැට් එක දානවා. මිරිකනවා. එක මගුලයි. මේවා බලං ඉන්න අපෙත් මල්ලිල නටනවා හැබෑටම.

යන්තං ෂේප් වෙන විදියට තෝසේ ටිකක් ගෙනැල්ලා එතනම තියාගෙන කාලා, හැරෙද්දි උදේ දහයවත් වෙන්න ඇති. ඒ වෙනකොට අපි හැම එකාටම වගේ දුමක් අදින්න උවමනායි. ඒත් භාණ්ඩාගාරක ගිනි පොලියා මොන විදියෙන්වත් ඒකට මුදල් අනුමත කරේ නෑ. ඇයි ඌ දුම දාන්නෙත් නෑ නොවැ. ඔය විදියට ඉවසගෙන හිටියට කොම්බුව නං මට පැත්තකට අඩගහල බස් එකක් අයිනට ගිහිල්ල මාට්ටු නොවෙන්න බොමු කියල, එක දුමක් දෙන්න එක්ක ඇදල ආවා. කොම්බුව ඒ වෙලාවේ කියනව “මචෝ අපි ටිකක් හවස් වෙන්න ගිහිල්ල රෑට නගිමු සිරිපාදේ“ කියලා. ඔව් කියන්න දෙයක් නෑ මුන්ගේ ප්ලෑන් මට හොදට තේරෙනවා. මටත් මොකෝ කියල මාත් ඒකට කැමති වෙලා අනිත් උන් ටික ෂේප් කරගත්තා. සෙට් එකම අර නිකං දිපු ශාලාවේ ඇලට් දානවා, ඇවිදිනවා. දෙකේ බස් එකේ නල්ලතන්නි යන්න කියල හිතාගෙන. දවල්ටත් අනුමත කරපු ගානෙන් තෝසෙම කාලා බඩ ගින්න නිවාගත්තට, ගිනි පොලියා කියනව රෑට කන්න සල්ලි දෙන්නේ නෑ කියලා. අපි ඌත් එක්ක හෙන වලියයි එතනම ශාලාවේ ඉදගෙන. කොහොම හරි ඒ වෙලාවේ කොම්බුවා බාර ගත්ත රෑට කෑම මොනා හරි කරන්නං කියලා. ඌ මොනා කරයිද නැත්නං ඌ තනියම කෑම එක කාවිද කියල මොකාවත් දන්නේ නෑ.. 

අපි හැටන් වලින් නල්ලතන්නි යන්න සීටිබි බස් එකට නැග්ගා. හැබැයි දෙකේ බස් එක නෙමෙයි හතරේ බස් එක.. හැක්..

ඉතිරි කොටස ඉදිරියට

Friday, June 7, 2013

සිරිපා වන්දනාව අංක 1

ඉස්කෝලේ එකොළහේ ඉදිද්දි අපේ උන්දැලට ඕන උනා සිරිපාදේ යන්න. ඒ මගේ දෙවැනි සිරිපා වන්දනාව. ඉතිං අපි දොළහක් විතර සැට් වෙලා දවසක් දාගෙන ඔන්න කොටුවෙන් නගින්න ගියා උඩරට මැණිකේට. හත් ඉලව්ව්වේ.. මඩයගේ තාත්තා ඇවිල්ල ඌව ඉස්ටේසමට දාන්න.. මඩයා දුවං එනවා.. “අනේ මචං දේශා මොකක් හරි කරපං. මම තාත්තට කිව්වේ අපි වොලිබොල් ටීම් එකේ සර් එක්ක මේ ගමන යනවා කියල බං“. දැං මොකද කරන්නේ ආතුරය මේ ළග ළගම එනවා. කොල්ලෝ ටික බෑග් ඔක්කොම කරේ තියාගෙන කෝචිචය එන එක බලන එක පැත්තක තියලා මඩයාගේ තාත්තා එන දිහා බලනවා.

හිත හිත ඉන්න වෙලාවක් නෑ. බැලුවා වටපිට. එළ කිරි. හොදට ඇදපු සර් කෙනෙක්ගේ හැඩරුව තියෙන පොරක් ඉන්නවා මං ළගම. ගියා පොර ගාවට. 

“අනේ අයියේ බෑ කියන්න එපා පොඩි උදව්වක් කරන්න“

“මොකක්ද මල්ලි“

“අයියේ මේ අපි සෙට් එක සිරිපාදේ යන්න හදන්නේ. එක යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිල්ල ඉන්නවා. මිනිහා කියල තියෙන්නේ අපි සර්ල එක්ක ට්‍රිප් එක යනවා කියලයි. අනේ අයියේ පොඩි ඇක්ටින් පාරක් දාලා අපිව බේරගන්න. නැත්නං වැඩ් හබක්“

මම එක හුස්මට ඇරල දැම්මම මිනිහා ලාවට හිනාවක් දාලා හරි හරි කියලා මගේ නම අහගත්තා.

මම මඩයගේ තාත්තා ගාවට ගිහිල්ල එක්කං ගියා සර් ගාවට.

“අංකල් මේ අපේ වොලිබෝල් සර්. සර් මේ අපේ මඩයගේ තාත්තා“

ඔන්න ඒ පාර අපේ ගැලවුම්කාරයා වැඩේට බැස්සා. 

“හා.. මඩයගේ තාත්තා බය වෙන්න එපා. මාත් එක්ක තමා කට්ටිය යන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නේද දේශපුතා.. “

මාත් සැප කනේ තියාගෙන ඔළුව වැනුවම මඩයගේ තාත්තා සන්තෝසෙන් හිටියා. යාන්තං දන්න දහංගැට ඔක්කොම දාලා අංකල් කාරයා පන්නගෙන කෝච්චිය එන්න ඉස්සෙල්ලා ඇක්ටින් දාපු අයියට ලොකු තැන්කුයි පාරක් දුන්නම පොර කිව්වේ මොකක්ද දන්නවද?

“මල්ලිල, බොහොම පරිස්සමින් ගිහිල්ල එන්න. කව්රුවත් වැඩිහිටියෙක් නැති එකේ හරිද“

අපි ඉතිං ඔක්කොම ඒක හොදට අහගෙන ගොඩ උනා නෑ.. පැන්නා කෝච්චියට. ඒත් කනගාටුයි තුන්වැනි පන්තියේ ආසන නොමැත. හිටගෙන යාමක් හා තැලී යාමක් පමණයි ඉතුරු උනේ.

ටික දුරක් යද්දි ලකියා ඉදිරිය බලා ගොස් ආවා.

“ඒයි මචං. සෙකන්ඩ්ක්ලාස් ඉඩ තියෙනවා බං. යමං“
“අපෝ බෑ. උඹ කියන්නේ දඩ කන්න කියලද“ ඔක්කොම එක හඩින් කිව්වා.

“නෑ බං හිටගෙන ගියාට දඩ ගහන්නේ නැතෙයි කියල එතන හිටිය බාප්පා මට කිව්වා. මං කිව්වා 12 ක් ඉන්නවා කියලා“

අඩේ සන්තෝසේ බැරුවා ලකියගේ නැගෝෂියේෂන් කොහොමත් එළ. ගත්ත බෑග් ටික ගියා පෙට්ටියක මැදට. පෙට්ටියේ මැද තියෙන්නේ මොකක්ද දන්නවා නේ.. ටොයිලට්. කස්ටිය දැං බෑග් ටික රැක් වල දාලා පොඩි බජව්වක් දාන්නයි ලෑස්තිය. ඔන්න එතකොටම සැන්ඩ රැක් එකේ තිබ්බ මිනිහගේ බෑග් එක ගෙනැල්ල බිම තිබ්බා. ඔන්න ඒකෙන් එනවා එළියට ගල් තඩියක්. බොකා දුන්නේ සෝඩා සහ පකඩ. හිහි කියල කස්ටියම පළමු වටේ සොට් එක යැව්වා. දෙවෙනි බෝතලෙත් ඒ විදිය සුරුස් ගාලා ගියා. තුන්වෙනි එක මැද හරිය යන කොට බජව්ව එළට යනවා. ටොයිලට් එකේ ෆෝමිකා බිත්තියට ලකියා උඩ පැන පැන බෙර ගහනවා. සැන්ඩ බේස් ඩ්‍රම් එක වාදනය කරනවා බිත්තියේ. අපරාදේ කියන්නේ සැන්ඩයි ලකියයි ලේන්සු වලින් නහයයි කටයි වහගෙන හිටියේ මං හිතන්නේ.. මොන මගුලකටද මන්ද. බාප්පාල සැට් එකක්ම ඒ පෙට්ටියේ හිටියා වගේම උන් මේ සද්දේ දිරවන්නෙ නැති විත්තිය මුණු වලින්ම පෙන්නුවා.

එක පාරටම සලාං... සලාං. චිරි චිරි කියල සද්දයක් ආවා ටොයිලට් එක ඇතුලෙන්.. බජව්ව නැවතුනා. කොල්ලෝ ටික මුණු දික් කරගෙන සද්දේ පරික්ෂා කරනවා. ඒ අතරේ දඩොං ගාලා බාප්පාල එතැනට බැහැල. එකෙක් ටොයිලට් එක ඇරියා. අනාථයි. ඒකේ එල්ලල තියෙන කණ්නාඩිය බිම වැටිල කුඩු වෙලා. කොල්ලෝ අන්දොස් උනා. බාප්පල ඒකෙන් පොරවල් උනා.

“අපි බලං හිටියේ තොපි මෙතන බජව් දානව මහ සද්දේ. මිනිස්සුන්ට නිදහසේ යන්නත් බෑ. ඒ මදිවට රාජ්‍ය දේපළ හානි කරලා. අන්න අර මුණු වහපු උන් දෙන්න අල්ලගන්න. උං තමා ඒක කරේ. හරි ගනින්ල බලන්න ටිකට්“

අපි ටිකට් දුන්නම දෙන්නෙකුට විතරයි සෙකන්ඩ් ක්ලාස් තිබුනේ. ඒත් එකෙක්ගේ ටිකට් එක අනිත් පැත්ත ගහල පරික්ෂා කරපු බාප්පා,

“තමුසෙගේ ටිකට් එකේ විදියට ගෑනියෙක් නේ යන්න ඕන.. බලනවා මේක වොරන්ට් ටිකට් එකක්. “

“අනිත් උන් ඔක්කොම තර්ඩ් ක්ලාස් ටිකට්. ගනිල්ලා බෑග් ටික.. වරෙල්ලා එකා පස්සේ එකා..“

සැන්ඩා බෑග් ගනිද්දි බොතලේ බාගේ ඩිග් ගාලා වැටුනා.

“තොපි අරක්කුත් බිව්වද, ගනිං ඕක. .තව තියනවද බෝතල්.. අපි පර්ක්ෂා කරන්න කලින් ඒවා දීපල්ලා. නැත්නං අපි අරගෙන ඒවා සීල් තියනවා.“

අනේ ඉතිං උංගේ බහට අවනත වෙලා බෑග් අස්සේ තිබ්බි බෝතල් තුනක් උන්ට දුන්නම උන්ට ටිකිරි හිනා යනවා අපි දැක්කා. 

“තොපි ගාව ආයුධ එහෙම තියෙනවද“

“නෑ සර් මුකුත් නෑ“

“හරි එහෙනං යමල්ල. ඊළග ඉස්ටේසමෙන් තොපි බස්සල පොලිසී ගෙනියනවා.“

දැං කට්ටියටම වෙව්ව වෙව්ල එකා පස්සේ එකා ගාඩ් රූම් එකට යනවා. අපි දොළහ ඒකට ගියාම, බාප්පාල දහයක් විතර ආරක්සාවට අපි වටේ ඉන්නවා. 

“හ්ම් බැහැපල්ල.. බැහැපල්ල.. කාලකන්නි“

අපි ඉතිං බැහැල ආරක්ෂාව යටතේ දැං ඉන්නේ පොල්ගහවෙල ඉස්ටේසමේ.. අර යක්කුන්ගේ ඔපීසියේ. මුං දැං අපේ දඩේ හදනවා.. ඒත් යන්න දෙන පාටක් නෑ. අපිට ගෙවන්න සල්ලිත් නෑ. දැං හවස් වෙලා. එකෙක් ඇහුවම අද යන්න දෙන්නේ නැද්ද කියලා, “හිටපල්ල අර බින්ද වීදුරුවේ ගාණ කොලඹින් කියනකං. ඊට පස්සේ දඩ ගෙවල යන්න පුළුවන්“

“හ්ම්. දැං ඔන්න හරි.. තමුසෙලගේ දඩේ රු. 2650 යි. අලාභහානිය රු. 960 යි. එතකොට ඔක්කොම 3610 යි. ගෙවනවද“

අපි එක එකාගේ මුණ බලන්න ගත්තා. කොහෙන් ගෙවන්නද? යන්තං පොකට් ටික හුරල දාලා බැලුවත් තුන්දාහක් හොයාගන්න බෑ. මොකද කරන්නේ.. අපි කිව්වා මෙච්චරයි තියෙන්නේ කියලා. උන් ගෝරනාඩු කරා. එහෙනං උසාවි දානවා කියලා. මට චූ යන්න සයිස් එකට ඇඩුනා.. ඒක අහලා..

“ආ.. තමුසේ මොකද අඩන්නේ..“

“නෑ සර්.. උසාවි දැම්මොත් ගෙදර යන්න විදියක් නෑනේද“ මං අඩ අඩ උත්තර දුන්නා. 
“ඔව් උඹලව හිරේට දානවා“ ඒක අහල දැං මාත් එක්ක තව එකෙක් අඩනවා. 
“අනේ සර් එහෙම කරන්නා එපා. අපේ අම්මලට බොරු කියලයි ආවේ.. “ කියල ට්‍රම්පට් අඩනවා. අපි දෙන්නගේ ඇඩිල්ල අහන් හිටපු එතන ඉන් චාර්ජ් කාරයා තියෙන ගානක් ෂේප් කරල යන්න දෙන්න කියල ඕඩර් කරා.

“ඔන්න මේක කරන්නේ.. තොපි දෙන්න අඩපු හිනදා. නැත්නං මේවා නීතිවිරෝදි වැඩ. අපිත් ගස් යනවා“ එහෙම කියල තියෙන ගානට දඩේ ගෙවල දැං අපි නිදහස් උනා. එතැන එකම ප්‍රශ්නයයි. දැනට තියෙන්නේ ටිකට් ටික විතරයි. ඉදිරියට යන්න පුළුවන්. ඒත් එන්න බෑ. ආපස්සට යන්නත් බෑ. කන්න කියල එක කඩල ඇටයක් වත් නෑ. ඒ මදිවට මහන්සිය. තෙහෙට්ටුව. විදවිල්ල.

දැං හවස 2 වත් වෙන්න ඇති. අපිට ආයේ සිරිපාදේ යන්න නං මේල් එකේ යන්න ඕන. ගෙදර යන්න නං 3 ට ද කොහේද එකක් තියෙනවා. මොකක් කරන්නත් දැං බඩගින්න යවා ගන්නත් ඕන, සල්ලි තියෙන්නත් ඕන. කස්ටිය සාමුහික තීරණයකට ආවා.. ගෙදර යන්න. හැබැයි සල්ලි... ඔව් කියන්න දුකයි අපි හිගාකන්න තීරණය කරා. ඔව් අනේ.. පාරක් පාරක් ගානේ ගිහිල්ල අපේ දුක කියල කියක් හරි හොයාගන්න. ඔය විදියට පොල්ගහවෙල ටවුමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද දුක කිය කිය.

හුගක් අය උදව් කරා. ඒ අතරේ උදව් නොදීපු අයත් හිටියා. ඒත් මේ පොඩි කොල්ලෝ ඉන්නේ බඩගින්නෙත් කියල දැන ගත්ත ස්ටේසම පිටිපස්සේ ගෙදරක අයිය කෙනෙක් අපිව එහාට එක්කං ගිහිල්ල පාං ගෙනැල්ලා සම්බොලයක් එක්ක කන්න දුන්නා. අර බාප්පාලට බැන බැන. හැබැයි අපි මොන වෙලාවකවත් කිව්වේ නෑ අපි බීල විකාර කරයි කියලා. හැක්.. ඒක ඒ වෙලාවේ දිව්‍ය භෝජනයක් වගේ කට්ටියටම දැනුනා. ඔය රවුම ගහල එනකොට ගෙදර යන්න කෝච්චියක් නෑ. දැං ආයේ සාකච්ඡාව. හිකා කෑමේ ප්‍රතිපල ගැන. ඔක්කෝම එකතු කරල බැලුවම අපි දඩ ගෙව්වට වැඩිම ගානක් තියෙනවා. දැං පොඩි සතුටක් එනවා. ඒ පාර තීරණය ආපු ගමන සිරිපාදේ යන්න නේ. එහේ යමු කියල. එහෙම හිතල නයිට් මේල් එකට කස්ටිය නැග්ගා. 

ඊට පස්සේ මොකද උනේ කියල පස්සේ කියන්නං.. මේක දිග වැඩියි වගේ..



Wednesday, June 5, 2013

ගරු කතානායකතුමනි,,

ගරු කතානායකතුමනි,

ගෞරවනීය අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට්, කැබිනට් නොවන, ව්‍යාපෘති, උපදේශක ඇමති වරුනි, ඉතිරි අතලොස්සක් වු පාලක පක්ෂයේ මන්ත්‍රිවරුනි, විපක්ෂ නායක තුමනි, මන්ත්‍රිවරුණි,

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල මා කතාවක් පවත්වන අවසන් අවස්ථාව මෙය බව ඔබ සියළු දෙනාගේ දැන ගැනීම පිණිස දන්වා සිටිමි. ඇත්තෙන්ම.. ඇත්තෙන්ම.. හා හා ගරු මන්ත්‍රිවරුනි කලබල වෙන්න එපා.. ඉවසන්න.. මම මේ කියන්න නේ යන්නේ.

ඇත්තෙන්ම මේ අවස්ථාවේ සදහන් කරන්න ආපු කාරණයට පිටින් කියන්න වෙන කාරණය තමා, අපේ මන්ත්‍රිවරු දැං මෙතන ගෝරනාඩු කරද්දී එය පාලනය කරන්න කතානායකතුමාට මැදිහත් වෙන්න සිදු වෙච්ච ආකාරය ඇත්තටම අප්‍රසන්නයි. ඔබ කලබල වෙන්න එපා වෙන අය මෙහෙම කතාවක් පවත්වල තමන්ගේ ඡන්දදායකයෝ අනුමත නොකරන පක්ෂ මාරුවක් කරන්න හදන දේ නෙමෙයි මම මේ කරනන සැරසෙන්නේ.

මගේ පාර්ලිමේන්තු ධූර කාලය දැනට අවුරුදු 11 ක්. ඒ කියන්නේ මම මහජන ඡන්දයෙන් තේරි පත් උන දෙවන අවස්ථාවයි මේ. ඒත් දෙවන ධූර කාලය ඉක්මවා යන්නට ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සමාජවාදී යැයි සදහන් කරණු ලබන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ කාර්ය භාරය පිළිබද මා හට දැඩි කුකුසක් මතු වෙනවා.

මා පළමු වරට ඡන්දයට මුහුණ දෙන විට මට සිදු උනා අපේම සගයන් සමග තරගයක් දෙන්න. නමුත් මා කල්පනා කරා නිතරම ගැටුම් වලක්වාගෙන කටයුතු කරන්න ඒ අවස්ථා වලදී. මොකද අප පාර්ලිමේන්තු ගියාම එකට බජව් දාගෙන ඉන්න විත්තියක් අපට ඡන්දේ දීපු ඡන්දදායකයන් දැනගන්නේ පහු උනාමයි. මමත් මගේ ආධාරකරුවන් උසිගන්වා කටයුතු කරානම් අනිවාර්යයයෙන්ම එකම පක්ෂයේ ආධාරකරුවන් අතර මාරාන්තික සටන් ඇති වෙන්න තිබුනා. එහෙම නොවුනාම නෙමෙයි මේ අපේ සගයන් අපට මාරාන්තික ප්‍රහාර එල්ල කරා. මොකක් නිසාද... පිවිතුරු ඡන්දය තමන් වෙත හිමි කරගන්න. නොයෙක් මැරකම්, ජඩකම්, අල්ලස් දීම් කරා. ඒ අතරේ වේදිකා වල කිව්වේ ජනතාව වෙනුවෙන් ම කැප වෙනවා කියන එකයි.

ඒත් පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසුව එම කණ්ඩායමේ පළමු රැස්වීම පවත්වා කරුණු කාරණා දැනුවත් කිරීමේදීම, පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබු උත්තරීතර ජනතා වරම උල්ලංඝනය වන බව මා දුටුවා. මන්ත්‍රි කණ්ඩායම් නායකතුමා අපට ප්‍රකාශ කරේ ආණ්ඩුව ඉදිරිපත් කරන සෑම පනතක්ම, යෝජනාවක්ම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත්, ඊට පක්ෂව කතා කළ යුතු බවත්ය. ඒ අනුව මුල්ම අවස්ථාවේදිම රට තුල ප්‍රජාතන්න්‍රවාදයක් නාමයෙන් කළ සියළු කතා යටපත් වී එක් වරම වඩාත් ප්‍රභලව මතුවන්නට වූයේ පක්ෂ වාදයයි. එනම් තම පක්ෂය පාර්ලිමේන්තුව තුල රැකගත යුතු ආකාරයි. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනේ නෑ. අඩුම තරමේ එම යෝජනා වලට විරුද්ධව අදහස් දක්වන්නත් බය සංකා ඇති කරන තරම් ඒකාධිපති වියරු පක්ෂවාදයක්, ආණ්ඩුව රැකගැනීමේ පිස්සු බලු රෝගයක් පමණයි පවතින්නේ. හෘද සාක්ෂියට එකගව නිවරැදි යයි කිසිසේත් අනුමත කළ නොහැකි යෝජනා, අනපනත් සම්මත කර ගැනීම උදෙසා මා හට ඡන්දය භාවිතා කිරීමටත්, ඊට පක්ෂව මෙම පාර්ලිමේන්තුව තුල කතා කිරීමටත් සිදු උනා. ඒ අනුව මූලික වශයෙන්ම මහජන බලය කියන සංකල්පය කප්පාදූ වී, අප කුමක් හෝ පක්ෂයක ඉත්තෙක් පමණක් වෙන බව මා හට පසක් උනා. මෙය විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටත් අදාළයි. 

මොකද මහජනතාවට සුහදශීලි යෝජනා වලදී පවා, විපක්ෂ මන්ත්‍රිවරුන්ට සිදුවන්නේ ආණ්ඩුව බිම දැමීම උදෙසා ඊට විරුද්ධව පක්ෂයේ නායකයන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමටයි. එතැනදීත් හෘද සාක්ෂිය හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. මම බය නැතිව ප්‍රකාශ කරනවා මොන පාර්ලිමේන්තුව තුල උනත්, ඒකාධිපතිවාදයක් පමණයි තිබෙන්නේ. එම ඒකාධිපතිවාදයට පිටින් යන කෙනෙක් සිටී නම්, එතැනදී ද්වේශසහගතව හා ඔය කියාගන්නා ප්‍රජාතන්ත්‍රවාදයකින් තොරව ඔහුව බලෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නත් ඉඩ කඩ අසීමිතව තිබෙනවා. අප දන්නවා නේද? හිස් කොල වලට අත්සන් ගත් සිල්ඇත්තන් සිටි ව්‍යවස්ථාදායකයක් මේක.

මගේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඩ අවදි කළ නොහැකි, ජනතාව වෙනුවෙන් කැප වෙනවායැයි පුරසාරම් දොඩා උත්තරීතර යැයි කියාගන්නා ස්ථානයක, ඊට විරුද්ධව ඒකාධිපති අණක් මත කටයුතු කරන රෑකඩයක් බවට මා පත් වී ඇති බව ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරමි. මෙම තත්වය මෙතැන රැස්වී සිටින බහුතරයක් දෙනාට වී ඇති ඉරණමම බව මා සක්සුදක් සේ දන්නා නමුත්, එක් අයෙකු හෝ ඒ බව ප්‍රකාශ කරාවි යැයි මා කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. 

පක්ෂයක් රජකරවන්නට, පක්ෂයක් දිනවන්නට පමණක් පක්ෂයේ නායකයාගේ අභිමතය මත පමණක් බුරන හෝ කෙදිරිගාන තවත් එක් බල්ලකු වීමේ කිසිදු අවශ්‍යතාවයක් මා හට නොමැත. මා පත් කර එව් ජනතාව වෙනුවෙන් පෙනී නොසිට, පක්ෂයේ නායකයාගේ කූඨ අභිමතාර්ථ වෙනුවෙන් පමණක් පෙනී සිටිමටත් සටන් කිරීමටත් කථා කිරීමටත් පමණක් මා හට බලෙන් පවරා ඇති කටයුත්ත ප්‍රජාතන්ත්‍රවාදී එකක් දැයි මා ඔබෙන් විමසනවා ගරු කතානායක තුමනි.

ඒ අනුව ජනතා පරමාධිපත්‍යයක් යැයි කියාගන්නා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍යය වෙසෙසින්ම බැහැර කොට බව පැවසීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. විධායක ජනාධිපතිවරයා ජනතා බලයෙන් පත් වුවද ඔහුටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට හැකියාව ලබා දී ඇති මෙවන් ප්‍රජාතන්න්‍රවාදයක් කුමකටද ගරු කතානායකතුමනි.

මාගේ ජනතාව වෙනුවෙන් කතා කළ නොහැකි, යෝජනා ඉදිරිපත් කළ නොහැකි, කාගේ හෝ රෑකඩයක් ලෙස නැටවීමේ හැකියාවක් පමණක් ඇති මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය පිළිබදව මා අතිශයින්ම ලජ්ජාවට පත්වෙමි. තවදුරටත් එම ලජ්ජාව ඉවසා සිටිය නොහැකි බැවින් මා අද සිට මෙම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙමි. ගරු කතානායක තුමනි මගේ කතාව අවසානයි. ඔබ සැමට ස්තුතියි.

Saturday, June 1, 2013

ආදරයද?? රාගයද???

“අයි වුඩ් ලයික් ටු සී යු නේක්ඩ්“

එක පාරටම ගහක් කඩා වැටුන වගේ, සීතලේ තියෙන කාමරේ වැල් ඇදි පුටුවේ වාඩි වෙලා, එතීනා දිහා බලං ඉන්න ජමාල් කිව්ව වචන ටික එතීනාට ඇහුනේ නිකං බර බර ගාලා අර වැටිචිචි ගහ කඩන් වැටෙනවා වගේමයි.

“එක්ස්කියුස් මී.. වට් ඩිඩ් යු සේ“

එතීනා ටිකක් තරහෙන් වගේ ඇදල පැදල ඇස් දෙක ලොක් කරගෙන එක අතක් ඉනට තියාගෙන එයාගේ බාගෙට ඇදපු ටී ෂර්ට් අනිත් අතින් පල්ලෙහාට අදින ගමන් ජමාල්ගෙන් ඇහුවා.

ජමාල් තත්පර දෙකක් විතර කිසිම හැගීමකින් තොරව වගේ එතීනා දිහා බලං හිටියේ හරියටම එයාගේ ඇස් දෙක දිහාමයි. ඒ ඇස් දෙක දිහා බලන වෙලාවේ ජමාල් නොදැක්කම නෙමෙයි පොඩියට හිරට ඇදල ඉන්න නුල් ඇදෙන පොඩි ඩෙනිම් කොට කලිසමෙන් යාන්තං උවමනා ටික විතරක් වැහිල තියෙන එතීනාගේ රන්වන් පාද යුග්මය. එක කකුලකට වෙර දීලා, ජමාල් දිහාම එබිල බලන් ඉන්න විත්තිය. ඒ අතරේ තාමත් යටි බඩ ගාවින් පල්ලෙහාට ඇදගන්න බැරි උන එතීනගේ සුදු පාට ටී ෂර්ට් එක, එයාගේ කලිසම තියෙන තැනත් එක්ක බැලුවම අඩි දෙකක් විතර ඇගේ කුට්ටියක් පේනවා. එතන මධ්‍යම ප්‍රමාණයේ චෙස් ලෑල්ලක් උනත් තියන්න ඉඩ තියෙන විත්තිය ජමාල් දැක්කා.

“අයි වෝන්ටඩ් ටු සේ ඉට්. බට් අයි ඩු නොට් තින්ක් යු වුඩ් හියර් ඉට්“

“යා.. ජමා.. යු මේක් මී ක්‍රෙසි. වයි ෂුඩ් අයි ඩු දිස් ෆෝ යු“

ඒ පාර නං එතීනගේ හඩ ටිකක් වෙවුලනව වගේ දැනුමම ජමාල්ගේ ඇගත් සීතල වෙලා ගියා. ඒ සැනින්ම ජමාල්ට මතක් උනේ එතීනා ඉස්සෙල්ලම හදුන ගත්ත විදිය.

ජමාල් පෙන්පෑල් ඉන්ටර්නැෂනල් එකේ රෙජිස්ටර් වෙලා යාළුවෝ හොය හොය ඉන්න කොට, අවුරුදු විසි හතරක කෙල්ලෙක් දාලා තිබුන ප්‍රොෆයිල් මැසේජ් එක දැක්කා.

Etheema Zion
Hilo Hawaii

Hey. For anyone who texts me will be gifted a KJV version of the holy bible.

CYa
Etheena

ජමාල් මේ මැසේජ් එක බලල කමක් නෑ පොතක් හරි ලැබෙනවා නේ කියල උත්තරයක් තිබ්බා. ඒකෙම ජමාල් ලංකාවේ බවත්, ක්‍රිස්තියානි ඉගෙන ගන්න කැමති බවත් ඒක නිසා මේ පොත ගන්න හිතුන බවත් කියල තිබුනා. ඊළග දවසේ ජමාල් ලොග් උනාම එතීනගේන් ආන්සවර් එකක් තිබුනා. “හරි මම ඔයාට ඒක එවන්නං. ඇඩ්‍රස් එක දෙන්න“. ජමාල් ඒ සැනින්ම ඇඩ්‍රස් එක දාලා තිබ්බා. ඒත් ඊළග දවසේ එතීනා කියල තිබුනා “ඔයාගේ රටේ කන්ට්‍රිකෝඩ් එක දෙන්න. නැත්නං අමාරුයි එවන්න“. ජමාල් පනදාගෙන නෙට් එකේ හෙව්වත් ලංකාවට කියල කන්ට්‍රිකෝඩ් එකක් හොයාගන්න බැරි උනා. අන්තිමට ගමේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලත් හොයාගන්න බැරි තැන, ගමේ තැපැල් සංකේත අංකය අරගෙන ඒක ලියල තිබ්බා. ඔය විදියට දවසක් දෙකක් ගියාම එතීනා මැසේජ් කරා, “හරි මං ඒක තැපැල් කරා. ඔයාට ලැබුනම කියන්න“ කියලා. ඒත් ජමාල් ඊට වඩා දෙයක් එතීනගෙන් ඇහුවා ක්‍රිස්තියානි ආගම ගැන. ඒ අනුව එතීනා එයාගේ ජීමේල් ඇඩ්‍රස් එක දුන්නම දෙන්න එක ටික දවසක් මේල් එක මගින් ආගම ගැන කතා කරා. හැබැයි ඉතිං ජමාලය දන්න ක්‍රිස්තියානියක් නෑ. ඌට තිබුන එකම උවමනාව මේ කෙල්ලත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගන්න විතරයි. 

ජමාල් හිමින්ම එතීනගේ හිත දිනාගත්තා, ජමාල් එතීනට පෙන්නල දුන්නා එතීනා හින්දා ක්‍රිස්තියානි ගැන ආසාවක් ඇති උනාය කියල. ඒකෙන් මේ කෙල්ලට ජමාල් ගැන පැහැදීමක් ඇති උනා. ජමාල්ට කියල දුන්නා ප්‍රේ කරන විදිය. ඒ විදියටම කරා කියල ජමාල් කිව්වම එතීනා සතුටු උනා. එතී දවසක් කිව්වා “මම ඊයේ කල්පනා කරා කළුවරේ ඉදගෙන එකම තරුවක් දිහා බලාගෙන.. ඔයා කොයි තරං දුරද ඉන්නේ“ කියලා. ජමාල් අනිත් පයින්ම කිව්වා ඊළග දවසේ ඔයා තරු දිහා බලන කොට මාව මතක් කරගන්න මොකද මම ඔයා ඉන්නවද හොයන්න අහස බලන් ඉන්නේ කියලා. එතී ඒකට කැමති වෙලා. දෙන්නා තරු දිහා බල බල තමන්ගේ හැගීම්, ආසාවන්, දුක, සතුට වගේ හුගක් දේවල් එකිනෙකාට කිව්වා. ඒකෙන් දෙන්න අතර හොද අනයොන්‍ය සම්බන්ධතාවක් ඇති උනා. එතී නිතරම හුගක් දේවල් ගැන ඉක්මනින් කලකිරෙනවා. කිපෙනවා. ජමාල් මේ තත්වය එතී ලියන එක වචන දෙකකින් අදුරගන්න පුළුවන් තරං සංවේදි වෙලා හිටියේ. මේ හේතුවෙන් දෙදෙනා අතර තිබුන සම්බන්ධය එන්න එන්නම වැඩි උනා. එක් අයෙකුට ප්‍රශ්නයක් නම් අනිත් කෙනා ඒක ඉක්මනින්ම හදුනගන්නත්,  උපදෙස් දෙන්නත් උනා.

මේ සම්බන්ධය නිසාම එතීට ඕන උනා ජමාල් බලන්න ලංකාවට එන්න. එතී මේක කිව්වම ජමාල් කැමති උනා එතීව බලන්න. අමතක උනා. එතී ජමාල් ට මාසෙකට සැරයක් ඩොලර් 200 ක් 300 ක් අනිවාර්යෙයන් එව්වා. මොකද  එතී එහේ පෙර පාසල් ගුරුවරියක්.

එතී මාසකට නිවාඩු අරගෙන සති තුනකට ලංකාවට වීසා හදාගෙන, එන්න කලින් දවසේ ජමාල්ට මේල් එකක් එව්වා.

“ඔන්න මම හෙට ඔයාගේ රටේ. මම දන්නවා ඔයාට මාව එක්කන් යන්න වාහනයක් නැති විත්තිය. ඒක නිසා මම දැනටත් පොඩි කාර් එකක් ගන්න හිතුවා රෙන්ට් එකට. මට පුළුවන් ඩ්‍රයිවින් කරන්න. ඔයා එන්න වෙලාවට එයාපෝට්. ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නෑ.“ කියලා

ජමාල් දැක්කා මෙතන අවුලක් වෙනවා. ජමාල් මේල් එකක් යැව්වා.

“මමත් ආසාවෙන් ඉන්නේ ඔයා බලන්න. හැබැයි මට කලින් කිව්ව වගේ ඔයත් එක්ක සති තුනක්ම ඉන්න විදියක් නෑ. මටත් ජොබ් එකට යන්න ඕන. ඒක නිසා සති දෙකයි මට ඔයත් එක්ක ඉන්න වෙන්නේ. හැබැයි අපි හම්බ උනාම කතා කරන්න දෙයක් තියෙනවා. ඔයා ඒක මතක ඇතිව අහගන්න“

එතී ලංකාවට ආවා. ඇවිල්ල ජමාල් එක්ක එයාපෝට් එකේ ඉදල පාමංකඩ ඇවිල්ල මල්කි එකෙන් පොඩි ඇල්ටෙක් ගත්තා රෙන්ට් එකට. දෙන්නත් එක්ක එහෙම්මම බෙන්තොට යන්න ආවා. එතකොට අළුත්ගම තිබ්බා සීසෑන්ඩ් හොටෙල් එක. ඒකට යන්න හිතාගෙන එන ගමන් ජමාල් කිව්වා වාහනේ නවත්තල අපි පොඩ්ඩක් කතා කරමු කියලා.

“එතී මම දන්නවා ඔයා මාව විශ්වාස කරනවා කියලා. ඒක නිසා අපි දෙන්න අතර මොන විදියෙන්වත් ලිංගික සම්බන්ධයක් තියෙන්න බෑ. අනික ඔයා දැක්ක වෙලාවේ අපි දෙන්න බදාගෙන ඉන්නකොට මට දැනුනා ඔයාගේ හැම ලේ බිංදුවක්ම ගලන විදිය. ඒක නිසා අපි එක කාමරයක හිටියත් ඔයා මගෙන් සෙක්ස් ගන්න හිතන්න එපා. මොන විදියටවත් මම ඔයාට කරදරයක් කරන්නේ නෑ. අපි ඒක ඩීල් එකක් කරමුද??“

එතී ජමාල්ගේ මේ විදියට කැමතියි. එතී තමන්ගේ වටකුරු ඇස් දික් කරගෙන ජමාල් දිහා බලාගෙන, එයාගේ අත ජමාල්ගේ අත උඩින් තිබ්බා. “ඕකේ ඉට් අ ප්‍රොමිස්“

ඉතිං මේ විදියට දෙන්නත් එක්ක සති දෙකක්ම රට වටේ සංචාරය කරමින්, එකිනෙකාගේ අත් අල්ලගෙන සතුටින් ගත කරා. ඒත් දෙන්නටම නොදැනී දෙන්නම රාත්‍රියට විදවන විත්තයක් හොදින්ම පෙණුනා. මොකද දෙන්න තැන් දෙකක් නිදාගත්තත්, දෙන්නම මහ රෑ වෙනකං නිදාගන්න බැරි තත්වෙකට පත් උනා. ඒත් කව්රුවත් ඒ බවක් අනෙකාට පෙන්නුවේ නෑ. එතී, අදින ඇදුම්, කරන දග වැඩ, කිසිම පැකිලීමකින් තොරව ජමාල් ඉස්සරහම පරිස්සමින් ඇදුම් මාරු කරන කොට එහෙම ජමාල් එතීගේ අඩ නිරුවත ලාවට වගේ දැක්කා. ඒකෙන් ජමාල් ගේ හිත කීරි ගැහිල ගියා. ජමාල් හිතුවටත් වඩා එතී හැඩයි. දගකාරයි ඒ වගේම එතීගේ කතා කරන ඇස්, පොපියන තොල් පෙති, නටන අත් පා දැක්කම ජමාල් එතීට වශිකෘත උනා. ඒත මොන දේවත් පිට කරගන්න බැරිව ජමාල් ලතැවුනා. එතී පවා ජමාල්ගේ දසුනෙන් සතුටක් ලැබුවා. ඒත් පොරොන්දු වෙච්චි විදියට එතීටත් ජමාල්ගේ ළගට කිට්ටු වෙන්නවත් බැරිව හිටියා.

ජමාල් සමුගන්න අන්තිම දවසේ අන්තිම වෙලාවේ එතී එනකල් වැල් පුටුවට බර දීල ඉන්න කොට, බාත්රෑම් එකේ ඉදල නැවුම් මල් සුවදක් වහනය වෙමින්, බාගෙට ඇදපු ඇදුමත් එක්ක වතුර බේරෙන එතීගේ කොණ්ඩෙන් එන පුසුඹත් එක්ක ජමාල් ට තවත් විදවන්න බැරි උනා. ජමාල් එතී එන දිහාම බලන් හිටියා. ජමාල්ගේ අත පය සීතල වෙලා වෙව්ලන්න ගත්තා. පපුවෙ සද්දේ කෝච්චියක සද්දෙටත් වඩා වැඩි උනා. තොල කට පවා සීතල වෙලා ජමාල් බලා හිටියා. එතී ටී ෂර්ට් එක අදිමින් ජමාල් ළගට ආවේ කතා කරන්න. ඒත් ඊට කලින් ජමාල් ඉස්සර උනා.


එතී ජමාල්ගේ මූනට එබිල එයාගේ ඇස් දෙක වටේටම කරකවනවා ජමාල් ඇස් අල්ලගන්න. ජමාල් හිමීට බිම බලාගත්තා. ඒ ගමන්ම අත් දෙකත් ඔළුවට තියාගත්තා. ළගටම ආපු එතී, ජමාල්ගේ උරහිස් දෙක උඩින් අත් දෙක තියල, හිමීන් පහත් වෙලා බිම බලන් ඉන්න ජමාල්ගේ මුන බැලුවා. එතකොට ජමාල්ගේ ඇස් දෙකේ තිබුන දුක දැක්ක හින්ද එතීටත් කදුලක් ආවා. දකුණු අතින් ජමාල්ගේ නිකටින් අල්ලල, ජමාල්ගේ ඇස් දෙක දිහාම බැලුවා. ජමාල්ටත් කරන්න දෙයක් නෑ එතී දිහාම බලන් හිටියා. එකිනෙකා ඇස් වලින් තමන්ගේ තනිකම, ආසාව හා වියැලුණු බලාපොරොත්තු දුටුවා. ඔය විදියට විනාඩියක් විතර ගියාම එතී, ජමාල්ව පුටුවට හේත්තු කරල ඔහොම ඉන්න කියල අතින් සන් කලා. ජමාල් කීකරු දරුවෙක් වගේ ඒ විදියට හිටියා. ජමාල්ගෙන් ඉවතට ගිය එතී, ටික වේලාවකින් ඇවිත් ජමාල්ගේ පිටිපස්සෙන් හිටගත්තේ, ජමාල්ට ඇහෙන්න සුසුමක් හෙලන ගමන්. ඒක දැනුනත් ජමාල් හැරිල බැලුවේ නෑ. එතී අත් දෙකෙන් ජමාල් ගේ උරේ උස්සල ජමාල්ව නැගිට්වල, අත් දෙකෙන්ම ජමාල්ව තමන්ගේ පැත්තට හැරෙව්වා. එකිනෙකා ඇස් දෙකෙන් විනාඩි ගානක් එකම දුරකින් එකම විදියට හිටියා. දෙන්නගෙම ඇස් වල කදුලු කැට වැටෙන බව දැක්කත් කව්රුවත් ඒවා පිහිදගන්න අතවත් සෙලෙව්වේ නෑ.

ප/ලි - කිසි කරදරයක් උනේ නෑ. එතී තවත් සතියක් රට වටේ ඇවිදලා එයාගේ රටට ගියා. ඒත් එතී ගියාට පස්සේ ජමාල්ගෙයි එතීගෙයි ඊමේල් ගිණුම් වලට නිතරම ලොග් වෙන්න දෙන්නටම උවමනාවක් තිබුනෙත් නෑ. ඒත් උවමනා වෙලාවට දෙන්නම කතා කරනවා. වැඩිය නෑ. දෙන්නම තාමත් විදවනවා මගේ හිතේ..


එපා අහන්න!!!

මට එක කාලයක් තිබුනා සිංදු කියන්නේ ජීවිතේ වෙච්චි. ඒ කාලේ මොන වැඩේ කරත් සින්දුවක් අහන ගමන් ඉන්නේ. පාරේ ගියත්, නිදාගන්න ගියත්, කන්න ගියත් අඩුම ගානේ ටොයිලට් එකට ගියත් ඔන්න පුංචි පහේ අයිපොඩ් (චයිනීස් එකක්) කනේ තියාගෙන ඕසෙට සින්දු අහනවා. ඊටත් වඩා ආසාව තිබුනේ ක්ලැසිකල් ඉංගිරිසි සින්දු අහන්න. ඒකට වෙං වෙච්චි ගෝල්ඩ් එෆ් එම් එක මගේ කනේ පැළපදියං වෙලයි කිබුනේ.

ඔහොම සින්දු ගැන මගේ තිබ්බ ආසාව ලෙසටම තිබිල, ලෙසටම නැති වෙලා ගියා නෙව. දුකේ බෑ. ලොකු දේශක පැටියා ලැබුනට පස්සේ ඒ හාදයා බෑගිරියෙන් කෑ ගහනවා නිදා ගන්නේ නැතිව. ඉතිං මට මතකයි ඔය හාදය බඩේ ඉදිද්දි මම දානව ප්‍රියාගේ සිඩී දෙක තුනක්ම එක දිගටම. හත්වලාමේ කියන්නේ මිනිහා ෂපාන් එකේ නිදාගන්නවා. ඒක දන්න හින්දා ගිරහෙනියෙක් වගේ අඩන මේකා නලවන්න මං කරන්නේ ප්‍රියාගේ සිඩී එකක් දාන එක. වැඩේ සාර්ථකයි. මිනිහා නිදාගන්නවා.. සීඩී එක නැවතුනාම අයේ අඩනවා.. 

හරි අවුලක් නෑ.. අපි දැං මොන තරං සින්දු අහනවද, බලනවද, මේ දාස් ගානක් වන සින්දු අතරින් චින්තනී මේඛලා ගමගේ කියන දෘෂ්‍යාබාධික උපාධිදාරි තරුණිය ගායනා කරන අහන් ඉන්න ගීතය හරිම සංවේදි වගේම ජයග්‍රාහී ගීතයක්. එහි ගේය පද රචනය අක්ෂි විශේෂඥවරියක් විසින්ම සිදු කර තිබීමත් විශේෂයි. ජයග්‍රාහි කියන්නේ ඇයි ඔප්පු කරල පෙන්නුවා ඇය කාගෙවත් අනුකම්පාව ලබන්න ඕන ආබාධිතයෙක් නොවන බවත්, ඇයත් සාමාන්‍ය අයෙකු බවත්. ඇත්ත අපහසුකම් තියෙනවා. ඒත් හම්බන්තොට වගේ දුෂ්කර ග්‍රාමයක (හරි හරි තව ටික දවසකින් ඔය දුෂ්කර කියන එකට අති සුඛෝපභෝගි කියන එක දාන්න හැකියි) උපතින්ම දෙනෙත් අන්ධව ඉපදී, ඉගෙන ගෙන තමන්ට ඇති හැකියාවෙනුත් උපරිම දෙයක් කරපු ඇය ගැන ඇත්තටම ආඩම්බර වෙන්න හැකියි.

අනික මේ ගීතයේ විෂුවල් එක, එහි කළු සුදු රූප රචනය එක් වරම අප වෙනස් ලොවකට ගෙනයන්න සමත් වෙනවා. ඒ වගේම ගීතය පුරාම එහි රූප රචනය ඉතා ප්‍රභලයි. එයින් ජනිත් වෙනවා ආබාධිතයන් වෙනස් අයෙක් හෝ විශේෂයෙන් සැළකිය යුතු කණ්ඩායමක් නොවන බව. මා මෙතෙක් කල් දැක්ක ඉතාම සාර්ථක ගීතයක් හා රෑප රචනයක් තමා මෙහි තියෙන්නේ. රස විදිමට කිසිදු බාධාවක් නැතිවා වගේම, ගායිකාවගේ ආබාධිත ඇස් දෙක හා ඇගේ හැගීම් දනවන මුහුණ මතුකිරීමෙන්ම ඇය හදවතින් යමක් මුමුණන බව සැක නැතිවම බලාගන්න හැකියි.

චින්තනී ඉතා අමාරුවෙන් ඉගෙන ගෙන උසස් පෙළ සමත් වෙලා, සංගීතය උසස් අධ්‍යාපනය විදියට කරන්න උත්සාහ කරත් ඇයට ඒ කියන්නේ දෘෂ්‍යාබාධීක අයට බටහිර සංගීතය ඉගෙනගැනීමට ලංකාව තුල ක්‍රමයක් නොතීබීම හේතුවෙන් ඇයට සිද්ධ උනා ජපුර වෙතින් බෞද්ධ දර්ශනය පිළීබද උපාධීයක් ලබා ගන්න.

ඇයගේ මේ ගීතය ජනප්‍රිය වීම ඉතා වටිනව වෙන්නේ එහි අදහස ඉතාමත් ළගන්නා සුළු හා තණුවද ඉතා සාර්ථක එකක් වීම මතයි. එතැනදී අපට ලැබෙන හොදම අදහස මං හිතන්නේ රෑප රචනයේදි පෙන්නුම් කරනවා වගේ THEY ARE NOT DISABLED, DIFFERENTLY ABLE" කියන කාරණාව මතු වෙනවා කියන එකයි. අනික මම හිතන්නේ අප ඔවුනට අනවශ්‍ය ලෙස අනුකම්පා කිරීමක් නොව මිත්‍රත්වයෙන් උදව් කිරීමක් කළ යුතු බවයි. ඔබ රස විද  ඇති ගීතය. ඒත් ඒක ඇත්තටම රස විදිය යුතුම ගීතයක්. (ගීතය ආරම්භයේදි එන පියානෝ සොලෝ එක මොන තරං හැගීමක් දෙනවද..)