ඉතිං ආයුබෝ කියල ඔන්න ආපු යකා යන්නට යනවා.. ඊට පස්සේ එක තත්පරේක වෙනසකින් ගෙඩි පිටින් අවුරුද්දක් ලබනවා. සිංහල මානසිකත්වයෙන් මේ රෝම කැලැන්ඩරේ දිහා බලන කොට ඔය කොච්චර ඇස්ඇම්ඇස්, ඊමේල්, එකි නොකී මෙකී ක්‍රම අනුව, අපිට මේක සුභ අළුත් අවුරුද්දක් වෙනවා කියලා කව්රුවත් හෙම කියනවා නෙමෙයි මොකද, රෝම කැලැන්ඩරේට අනුව ඒක නිකංම Happy New Year එකක් විතරයි. අපිට, ඒ කියන්නේ සිංහලයන්ට සුභ අළුත් අවුරුද්දක් ලබන්න අප්‍රේල් මාසය වෙනකං ම ඉන්න වෙනවා කියල කියන්න ඕන නැහැ නෙව. ඒ උනත් තව පැය කිහිපයකට පස්සේ මුව ලෝකේ පුරාම ඇති වෙන අළුත් අවුරුදු ප්‍රමුද්දීපනයට ගැති වෙන අපි හැමෝම ලෝභ නැතිව ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා. ඒකට ඉතිං කොරන්න දෙයක් නෑ මොකද ලංකාවේ ඉන්න එකම ලොක්කා වීරවංස විතරක් නිසා අනික් සේරම කබ්බෝ වෙනවා.
ඒකෙන් කාරි නෑ දැං කියමුකෝ බලන්න පහු ගිය සති දෙකේ මේ පදුරු දේශකයා බ්ලොග් ලෝකේන් කුජීත වෙලා හිටියේ මොකද කියල.. කව්ද හෙව්වේ.. කව්ද බැලුවේ මේ යකාට මොනව වෙලාද කියල.. නෑ.. කව්රුවත් නෑ.. ඉතිං මේ සති දෙකට දේශකයා බ්ලොග් සැරිසර නැවැත්තුවා කියල අනිත් උන් තමන්ගේ සැරිසර නැවැත්තුවාද.. ඒත් නෑ.. ඇත්තටම කිව්වොත් කිසිම කරදරයක් නැත්තේ ත්‍රිබාසා අයියගෙන් විතරයි. දෙයියනේ කියල බ්ලොගේ ඇරල ඒ ගමන්ම වහල දාන්න හැකියි අනේ මුකුත්ම ලියල නෑ කියලා.. අනිත් කස්ටිය දිහා බැලුවොත් ඒගොල්ලොන්ගේ සීඝ්‍රගාමී රචනා ශෛලිය නිසා මේ අහිංසක දේශකයා අමාරුවේ වැටිල ඉන්නේ.. ඒ කිව්වේ පරණ බ්ලොග් වලකටම හිර වෙලා, මේ හාදයෝ ලියපු ඒවා කියවගන්න බැරිව.. ඒක නිසා හිතේ සන්තෝසෙටත් එක්ක, ඔන්න අමතක කරල දැම්ම පරණ කතා. පහුගිය ටිකේ දේශකයා ට එන්න බැරි වීම ගැන මාගේ සියළු මිත්තරයෝ සමාව භජනය කරනු ඇතැයි සිතා, එලෙසම වේයැයි උපකල්පනය කර ආපු වැඩේට බහිමු.
ඇයි පරණ කේක් කියල මේ හෙඩිම තියෙන්නේ කියල බැලුවම පෙනෙන මහප්පරාන වූ කාරණය තමා කාගන්න බැරිව ඉතිරි වෙච්චි කේක් කියලා.. ඒත් එක්කම බැලුවම පුරස්නයක් එනවා මොකටද කේක් කන්නේ කියල.. ආයේ ඉතිං කියන්න දෙයක් යැ මේ සිංහල කෑම කන්න වෙනම වෙලාවක් ඕනයැ නේද?? හරි ඒ උනත් මම නං ඔය කේක් කියන ජාතිය කන්නේ හොදටම උවමනා වෙලා කන්න කියල බල කරන වේලාවකදී විතරයි. ඒ කියන්නේ අපිට බලෙන් හෝ කේක් කන්න වෙනවා සිංහල සංස්කුරුතික උරුමය කියා පාන සගයන්ගේ උපන්දින සාද වලදී. ඒ වගේම සංස්කුරුතියේ කැඩපතක් වැනි විවාහ මංගල උත්සව වලදී, තව තියෙනවා ඇනිවර්සරි වලි වලදී, ප්‍රමෝෂන් පාටි වලි වලදි, රියටර්මන්ට් පාටි වලි වලදි, කොමිස් පාටි වලි වලදී, තව මදි උනොත් පොඩි එකා කේක් ඉල්ලල පොලොවේ හැපි හැපි අඩල හිනා වෙවි කේක් අරං ගෙදර ගියාට පස්සේ.. හැබැයි ඔය හැම වෙලාවෙම අපි කන්නේ අළුත් කේක් නිසා පුරස්නයක් නෑ...
අන්න වැරදුනා.. වෙඩිමකට ගියාට පස්සේ, හොදට බීලා කේක් බෙදන ගෑනු ළමයින්ට මුකුළු කරල, පැණිය දාලා ඒ ඉන්නේ පොඩි ගැල්ලමයි බව දැන දැනම උන්ට පොඩි තගකුත් දාලා පෙරේත කමට එක කෑල්ල වෙනුවට ඉල්ල ගන්න වෙඩිං කේක් කෑලි දෙක සාක්කු දෙකේ ඔබාගෙන වැනි වැනි ගෙදර ගිහිල්ල, ගෙදර උන්දැට කියන්නේ යාළුවා මට කේක් කෑලි දෙකක්ම දුන්නයි කියල නේ.. (හෙක්.. ඕං මම නෙමෙයි ඕවා කරන්නේ) ආන්න පරණ කේක්... ඒවා තමා අපි කන පරණම කේක්.. ඔය කේක් හදන විදිය ගැන ඉතිං දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නං අර ඇලට මුණ පේන පින්තුරේ දාල ඉන්න, නිතර හිනාවෙන නංගිගෙන් අහන්න. සකල මනාවම පැහැදිලි කොරල දෙයි ඒත් ගිවිසුමක් මත.. පාදුක්ක පැත්තට වෙන්න බිස්නස් කරන්න බැහැයි කියලා.
ඔය පරණ කේක් හදන්න ගත්ත පොඩි ව්‍යාපෘතියක අධ්‍යක්ෂ ජනරාල් හෙවත් සප්ලයි බට්ටා තනතුරක් හොබවන්න මේ දේශක උත්තමයාට සිදු උනා නෙව පුරුවේ පවට (තුන්වෙනි පාරට). හෝව්... මේක මේ මිත්තරයෙකුට කරපු උපකාරයක්.. මොකෝ කියන්නේ හුගක් අය හිතන්නේ මේ දේශකයා කොළඹ කාලා වතුර බීලා ඒ මදිවට වමාර වමාර කන එකෙක් කියලා..
මගේ වෙඩිමට ඕන කරපු වෙඩිං කේක් කෑලි 600 (දෙපැත්තේම උත්සව දෙකට) හදා දෙන්න මිතුරියක් බාර ගත්ත හින්දා ඒකි ලියල දීපු පස්ට වෙඩින් කේක් බඩු ලැයිස්තුවක් අර ගෙන පිට කොටුවේ කරක් ගහල, යාන්තං ජොන්ගේ මාළු කඩේ කිට්ටුව තැනක් සෙට් කරගෙන ඕන කරන බඩු ටික ගත්තේ ඔය පිට කොටුවේ තියනවයි කියන කේක් බඩු විකුණන කඩ හැට හුටාමාරකම ගනන් අහලයි.. ඇත්තටම බැලුවොත් හුගක් තැං වල ඔය පැකට් කරපු භාණ්ඩ එක මිල උනාට කිරල මැනල දෙන භාණ්ඩ තියෙනවා නේ කජු, චව් චව්, සුල්තානා, චෙරි වගේ ජාති වල මිල ගණන් එක එක කඩේ වෙනස්. ඔය සුල්තාන වගේ දේවල් වීදුරු පෙට්ටි වල පැණි බේරි බේරි තියෙන කොට මට නං හිතුනේ නිකං වෛද්‍ය පීඨයේ පර්යේෂණාගාර වල තියෙන ෆෝමලින් වල බස්සපු මනුස්ස සරීර කොටස් වගේ. ඒ තරංම ඕජස් ගලනවා ඔය සුල්තාන වල..
කොහොම හරි බඩු ලැයිස්තුවට අනුකූලව ඔක්කොම අරගෙන ලිස්ට් එකට ටික් දාගෙන චෙක් කොරල කඩේ බිලත් ගෙවල ඉවර උනාට පස්සේ මගේ දාඩිය දාපු මූණ දැකපු මුදලාලි, ගෝලයට කියල අනාරාදිතවම බඩු ටික හොද එකෙන් ලොකු පෙට්ටි දෙකක් පැක් කරල දුන්න එකට එක උඩින් තියල ගැට ගහල.. හම්මේ දැං ඉතිං මේක උස්සල බලන කොට තමා කෝකටත් කියල බැලුවේ අත් දඩු දෙක ගැලවිලාවත් ගියාද කියල. ඒ තරං බරයි.. මොකෝ කරන්නේ කියල හිතල.. පාරට බැහැල එතනම තිබුන ත්‍රිවීල් අයියලගෙන් කොටුව ඉස්ටේසම ගාවට යන්න ගාන ඇහැව්වම මුං කියනවා රු. 100 ක් දෙන්නය කියල.. මේ 2002 වරුසේ. ඒ කාලේ හැටියට ගාන බොහොම වැඩියි. මූට රු. 100 ක් දුන්නොත් මෙච්චර කාල් ගාල දුක් විදල ගත්ත ලාභෙ හෝදගෙන යන හින්ද,. ඕන එකක් ප්‍රිති වෙසක් කියල ක්ලීන් සූට් හිටිය දේශක කොල්ල ලැජ්ජා බය කියන ඒවා කඩේ දොර ගාවින් බාවල පෙට්ටි දෙක ගත්තා කරට. එක උරයක් බඩු ටික හින්ද පොලවටම නැමිල. මොනා කරන්නද දුක තමා රංජනී කියල බැරි මරගාතෙම කොහොම හරි ඉස්ටේසමට ඇවිල්ල යාන්නං කොන්දත් බේර ගෙන බස් එකේ නැගල ගෙදර ආවා..
දැං කේක් හදන්න යොදා ගත්ත දිනේ.. මිත්තරයෝ දහයක් විතර අඩගහගෙන මගේ සේවාදායිකා මිතුරිය කිව්ව විදිවට හොද පිහි හය හතකුත් ගෙන්න ගෙන වැඩේට බහින්නයි සුදානම. එතකොට මිතුරිය අහනවා..
“ඒ බං දේශා.. මේ බඩු ටිකට කීයක් ගියාද බං??“
“මේකට බිල බං රු.. 8735 යි.“
“ඒයි ලාභයි නේ.. උඹ ගත්තේ පිටකොටුවෙන්ද??“
“ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“
ඔය කතාව නවත්තල කොටපු එකට තව දහ පාරක් විතර කොටල චුරු කරල වැඩේ සෙට් කරල කොහොම හරි කේක් කාලා වෙඩිම ගත්ත.. වැඩේ ඉවරයි.
ඊට පස්සේ හරියටම අවුරුදු දහයක් ගත උනාට පස්සෙත් මම අර කියපු “ඔව් ඔව් ඔන්න උඹලටත් ඕන නං කියාපල්ල මං දන්නව සුපිරි පොට් එකක් බඩු ගන්න පුළුවන්“ වාක්‍යය මතක තිබ්බ එකෙක් කරුමෙට හිටිය නෙව.. ඉතිං බෑ කියන්නයැ.. ඔන්න ඔහේ හුග දවසකින් කොළඹ ගියේ නැතිවත් එක්ක නිසා ගියා කොළඹ තනියම.. හැබැයි පාඩු බැලුවේ නෑ. ත්‍රිවිල් කස්ටක් අරන් තමා ආවේ.. දැං ඉතිං වයසයි නේ.. බර සාර වැඩ බෑ නොවැ. ඔන්න මගේ පරණ කේක්..
ප.ලි. - අසනීප තත්වයෙන් යුතුව කල් ගත කිරීම නිසාත්, වෛද්‍ය උපදෙස් මත සැහැල්ලුවෙන් ගත කිරීමට සිදු වීමත් නිසා මායියා කිසිදු අවස්ථාවක ජාලය භාවිතා කිරීමට ඉඩ හසරක් ලබා දුන්නේ නැත. කොහොම හරි ජාලය වෙත පිවිසුනද එයත් ව්‍යර්ත කිරීමට මූලික පියවර ගෙන තිබුනි. මං දන්නෑ.. ඒක කරේ මගේ හොදටය කියල එයා කියනවා නේ.