ශ්‍රි ලාංකිකයන් වශයෙන් අප සාමුහිකව පිළිගනු ලබන විශ්වාසයන් කොපමණද? එනයින් ලැබෙන උත්ප්‍රෙරකයන් මගින් මිනිසුන් විසින් කාලයක් තිස්සේ ලබාගෙන ඇති ප්‍රගතිය කුමක්ද?
ලාංකිකයන් ඈත අතිතයේ සිටම එක් එක් විශ්වාසයන්, මතවාදයන් මත තමන්ගේ ආත්මය, ජීවිතය ගොඩනගා ගත්තවුන් වෙයි. වරෙක යක්ෂයන් ද වරෙක පරිනාමයට භාජනය වූ මිනිසෙකු ලෙසද කාලානූරූපව සමාජය තුල ඇති කලාවූ ප්‍රභල බලපෑම් හේතුවෙන් මේ වන විටත් සමාජය තුල නෂ්ඨාවශේෂ වී නොහොත් දැනට පවතින විශ්වාසයන්, ඇදහිලි පිළිබදව මධ්‍යස්ථව සිතා බැලුවිට පෙනෙන එකම කරුණ නම් කාලයක් පැවතුනු නිසාම පිළිගත් හෝ කිසිවෙකු විසින් ඉටු කළ නිසා අත්හදා බලන ලද හෝ ජීවත් වන සමාජය තුල වැඩි වශයෙන් ස්ථාපිත වී තිබීම නිසා හෝ ඉටු කරන කාර්යයක් බවයි.
මෙම අටුවාටීකාව සපයන්නට වන්නේ එම ක්‍රමයද අභිබවා යමින් විදේශිය මිත්‍යාමත අප සමාජය තුල ව්‍යාප්ත වන වේගය පිළිබද සංවේගයක් ඇති වූ නිසාය.
කළකට ඉහතදී මෛත්‍රි බුදුන් ද වැඩ සිටියා මතකද? ඒ වගේම දැන් රාවණාගේ නංගීද පැමිණ සිටි. අලි මදිවාට හරක් කිව්වා සේ මාස්ටර්ගේ පෙන්ෂුයි පිස්සන් රැලක්ද සැම තැනම වසුරු පිඩ හලමින් සිටී. පුරාණ චීන ශාස්ත්‍රයකට නිගාදීම මෙහි අරමුණ නොවුනත් ලංකාව චීනය නොවන බව මේ පණ්ඩිත මාස්ටර්ලා තේරැම් නොගන්නේ තමන්ගේ මඩියේ ප්‍රමාණය නිසාය. ලංකාව පුරා ඉන්න මාස්‍ටර්ගේ අනුගාමිකයන් උදේට ගණදෙවි වන්දනා ස්ත්‍රෝත තමන්ගේ ප්ලේයරයේ හෝ පරිගණකයේ ආධාරයෙන් වාදනය කරනු ලබයි. ඔවුන් කියන්නේ ලෝඩ් ගනේෂ් කියාය. අපට නං නිකංම ගණ දෙවියන්ය. අප ඇදහුයේ බුද්ධියට අධිපති දෙවියෙකු ලෙසය. එහෙත් මෙම චීන ශාස්ත්‍රයේ ගණදෙවියන් වඩිනා තැන කියන්නට මේ කාටවත් නොහැක. පිලීපින ජාතික ගායිකාවක් විසින් ගායනා කරනු ලබන "රතන සූත්‍රය" පට්ට යැයි කියමින් රස විදින්නේද මෙම සහචරයන්ය. ගෙයි සාලේ බඩ මහත රත්තරං පාට ගෑ චීන ගොයියෙක් තබාගෙන, රතුපාටින් සරසා ගෙන, ඒ මදිවාට බිත්ති වල විකාර පින්තූර එල්ලා, ගෙට එළිය එන්ට යැයි කියා පළිගු එල්ලා ගෙන තවත් මදි නං ඇගේ ගෑවුනාම ටිං ටිං ගාන යකඩ පතුරු එල්ලාගෙන සිටින්නේ සෞභාග්‍යය චීනයේ සිට පටවන තෙක් බලා ඉදින්නාක් මෙනි.
දැං මාස්ටර්ගේ මඩිය තරකරන හොදම ක්‍රමය වන්නේ චීන මාලිමාවකින් ගෙදර සියළු දෝෂ කියා දෙන අපූරු ශාස්ත්‍රයයි. එතුමාට ගෙදරක හොදම කාලය කියන්නටත් ඒකෙන් හැකිය. ගෙදර ට සිරිකත වඩින ආකාරයෙන් ගෙම්බන්, කාසි දාපු හට්ටි, වතුර වීදුරු විතරක් නෙමෙයි මිදුලේ සැමදා පල්වෙන වතුර ටැංකි හදන ආකාරයත් ටක්කෙටම ඒකෙන් කියා දිය හැකිය. ඒ විතරක්ද ගෙයක් අවුරුදු 150 ක් විතර කල් පවතින ලෙස තබාගන්නට උපදෙස් දෙන්නටද මේ බලගතු මාලිමාවට හැක. එක ගෙයක් බලන්නට මාස්ටර්ගේ ගෝලයෝ දෙන්නෙක් එයි. ඒකට දහසින් බැදි පියලි දිය යුතුය.
මිනිසුන් මෝඩයන් කිරීමද පාපයකි. අපි මේක අඩුවට දෙනවා කියා කීමම වෙළදාමකි. රටේ තැනින් තැන දේශන පවත්වා තවත් මඩිය තර කර ගෙන තවත් මෝඩයන්ට අන්දන්නේ අපේම මිනිසුන්ය.
අප මෙපමණ කලක් අපගේම නක්ෂත්‍රයකට අනුව කටයුතු කළෙමු. මාස්ටර් දැන් ඒක ගිලිමින් සිටී. අප කුමක් කරමුද?




