Thursday, September 20, 2012

මගේ පුතුන් දෙදෙනා (දෙවන කොටස)


එදා ඉදලා උඹට අවුරුදු දෙකක් තුනක් වෙනකංම අපිට හරියකට කෑම බීම ටිකවත් ගන්න සල්ලියබාගයක් තිබ්බෙ නෑ. එහෙමෙයි කියල උඹව බඩගින්නේ තියන්නවත්, ඇදුම් මාල්ලක් අරන් නොදෙන්නවත් මං ඉඩ තිබ්බෙ නෑ. පුලුවන් හැටියට ඒ ටික කරගත්තේ ඔය මං කරන රස්සවෙන් හම්බ වෙන‍ සොච්චං පඩියෙන් තමයි. ඒත් ම‍ගේ දරු පැටියට කරදරයක් නොවෙන්න කටයුතු කරන්න ඕනය කියල මගේ හිත හැම තත්පරයකම මුරගාන කොට ආපු හයියෙන් තමයි මොන තරං අමාරුකං තිබුනත් ගේ පොඩ්ඩ ලකේකට හදාගෙන මගේ කූඩුව ඇතුලේ උඹ රජ පැටියෙක් වගේ ඇති දැඩි උනේ.

උඹට ඉස්කෝලේ යන්න කාලේ හරියන කොට ඔය කොළඹ රටේ මහත්තැන්ලට ‍වගේ ලොකු ඉස්කෝල හොයන්න යන්න පුලුවං කමක් තිබ්බෙත් නෑ. ඒ වගේම අපේ දෙමාපියෝ කවදාවත් බොරු කරන්න වංචා කරන්න තවත් මිනිහෙකුගේ බඩට ගහන්න උගන්නලා නැති නිසාම ඒක ආයෙත් අරුමයක් උනේ නෑ. අපිට ලග තියෙන ඉස්කෝලෙට උඹට දැම්මේ හිතේ දහසකුත් එකක බලාපොරොත්තු තියාගෙන. ඒ කියන්නේ දැං මේ විපරීත සමාජයේ උන්දැලට තියෙන මුලග්ගාය වගේ දරුවව දොස්තර කෙනෙක් කරන්ටවත්, ඉංජි‍නේරුවෙක් කරන්නවත් එහෙම නැතිනං ක්‍රිකට් කාරයෙක් කරන්නවත් නෙමෙයි පුතේ. මට ඕන උනේ උඹ මොන දේ කරත් හොදට ඉගෙන ගෙන මේ සමාජයේ වැදගත් පුරවැසියෙක් ‍වගේ රටේ ජීවත් වෙනවා දකින්නයි.

අපේ ජීවිතය ආයෙත් අලුත් පාරකට වැ‍ටුනේ උඹට අවුරුදු හයක් විතර වෙනකොට. එතකො‍ට තමයි පුතේ උඹේ මල්ලියා මේ ලෝකෙට එකතු වුනේ. ඒත් උඹ වගේම ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදිමයි. උඹ ලැබෙන්න ඉන්න වෙලාවේ අර ‍නර්ස් නෝනා කියනකං අපිට ලැබුනේ පුතෙක් කියලා නොදැන හිටියට මේ වතාවේ එහෙම නෙමෙයි.. මල්ලියා ඉපදෙන්න කලින්ම චැනල් දාලා බලපු දොස්තර මහත්තයා කොහොම හරි රු. 1800 ක් විතර අරගෙන ස්කෑන් එකක් කරලා බලලා ලැබෙන්න ඉන්නේ පුතෙක් කියල කිව්වට පස්සේ අපි පොඩි පුතා පිළිගන්න ලැහැස්ති උනා. උඹ හම්බවෙච්ච වෙලාවේ කිරිකැටියෙක් දැකලවත් නැති මට මල්ලි ඉපදුන වෙලාවේ ආපු සතුට ඒ විදියටම දැනුනේ නෑ. ඒකයි පුතේ මං කිව්වේ උඹ මේ ලෝකෙට ආපු මොහොත තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත කියලා.

උඹල දෙන්න නිසා මගේ ගෙදර කල එලි උනා. පුංචි එකා ගෙදර දෙවනත් වෙන්න අඩන කොට මං කොච්චර කලබල වෙලා තියෙනවද? හිනාවෙන්න පුලුවන් වෙනකොට පුංචි පුතාගේ හිනාව දැකල මං‍ මොනතරං සතුටු උනාද? උඹල දෙන්නම එක පාරට අත්දෙකට වඩගෙන හුරතල් කරපු දවස් ආයේ ඉතිං පුදුම සතුටක් ගෙනාව කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මගේ පුංචි පුතා ඉපදිලා අවුරුද්දක් විතර යනකොට මං කොහොම හරි කා‍ටවත් අතනොපා සතුටින් ජීවත් වෙන්න පුලුවං විදියට‍ ජීවිතය ගොඩනගාගත්තා.මේ විදියට‍ ගත කරපු ජීවිතයට ආයෙත් අමුත්තෙක් එකතු වෙයි කියලා මාගේ තුං හිතකනත් තිබුනේ නෑ.

5 comments:

  1. පියෙක් විදියට ඔබගේ සිත මට තේරුම්ගත හැකියි. මමත් ඔය අත්දැකීම විඳලා තිබෙන නිසා. පුත්තුම දෙන්නෙක්. මරු පොඩි පවුලට ජය වේවා!!

    ReplyDelete
  2. ස්තුතියි කොමෙන්කටුවට. අවසන් කො‍ටස හෙට එනවා.....?????

    ReplyDelete
  3. ම්ම්. හරිම හැගීම්බර තාත්ත කෙනෙක්.
    දරුවගෙ අම්ම ගැන කතා නොකරපු එකේ පොඩි අඩුවක් තියෙනව කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. උම කොහොමද බං මේ කැලි තුනම හොයගත්තේ///

      Delete
  4. මචන් පට්ට අවුල් යනවා බන් කියවද්දී....

    ReplyDelete