Tuesday, September 18, 2012

මගේ පුතුන් දෙදෙනා (පළමු කොටස)

“තාත්තේ අද ඉන්නකෝ..”

මං නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න ලෑස්ති වෙන කොට මගේ පුතා හුරතලේට කියන ඒ වචන මගේ ඔලුව පුරාම ඊයම් බරු වලින් පුරවන විදියේ බරක් දැනෙනවා. ඒත් පුතේ අපි ‍බොහොම අමාරුවෙන් යන මේ ජීවිත ගමනෙදි අපිට හිතෙන හිතෙන දේ කරන්න නිදහසක් හරි පුලුවංකමක් හරි නැති විත්තිය මගේ පුතාට තේරුම් කරල දෙන්න බැහැනේ. 

පුතාට තේරුනේ නැති උනාට පුතාගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ ‍තියෙන කම්පැනියක පොඩි රස්සාවක්. ඒක ‍කරන්නත් අපා දුක් විදින්ට ඕන. රු. 1000 කට ගත්ත බෝඩිං කාමරේ ඇදට වෙලා මකුණෝ කකා, බාගෙට හිල් වෙච්ච මදුරු දැල අස්සෙන් රූං ගාලා විදගෙන එන මදුරුවන්ගෙනුත් පීඩිත වෙලා මං ඉන්නේ ඔය නිදාගන්න ටිකට විතරක් නිසා ඒක ඉවසා වදාරනවා. රෑට ළග තියෙන කඩේකිං ඉදිආප්ප දහයක් විතර ඒකට නිකං හම්බවෙන පිලුං වෙචිචි සම්බෝලෙත් එක්ක ගිලල දාලා මදි පාඩුවට වතුර ටික බඩට හලා ගන්නේ ආයෙත් උදේට නැගිටල රස්සාවට යන්න ඕන නිසා. එහෙම දුක් විදලා හරි මම බලන්නේ පුතාට හොද ජීවිතයක් හදලා දෙන්න. 

පුතා දන්නවද මේ ජීවිත කාලේදි මං වැඩියෙන්ම සතුටු වෙච්චි දවස මොකක්ද කියලා. ඒක පුතේ ආයෙත් වෙනස් ‍වෙන දෙයක් නෙමෙයි. 

ඇඹිලිපිටිය ඉස්පිරිතාලෙදි නර්ස් නෝනා කෙනෙක් ඒ මොරසූරන වැස්ස තියෙන කලුවර වෙලාවේ රෙදි වලින් ඔතපු පුංචි පැටියෙක් අරගෙන එක දිගට ලයිට් පොලු පත්තුවෙන කොරිඩෝව දිගේ එනවා මං බලාගෙන හිටියා. නෝනගේ සුදු පාට ඇදුමට (ඒ දවස් වල පුතේ ඔය ඇදුම ගැන නර්ස් නෝනලටයි අටෙන්ඩන් නෝනලටයි පුරස්න මොකුත් තිබ්බේ නෑ මයේ හිතේ) ලා නිල් පාට පැනල් එක අස්සෙන් පේන පුංචි එකා අතිං තට්ටු කරනවත් මං දැක්කා. 

“කවුද ගුණපාල කියන්නේ” 

සූතිකාරය ඉස්සරහට ආපු නෝනා එතන හිටිය පිරිමි අයගෙන් අහන කොට මට කොම්පැනියේ පුරුද්දට ඉද්ද ගැහුව වගේ කෙලිං වෙලා “මම තමයි මැඩම්” කියලා කිව්වා. “

ආ. ඔන්න. ඔයාට හුරතල් කොලු පැටියෙක් ලැබිල තියනේනෙ” කියලා නෝනා කරුණාවෙන් මගේ මූන දිහා එක එල්ලේ බලාගෙන කිව්ව දේ අහල ඒ සතුට වැඩි කමට මගේ ඇස් දෙකෙන් සට සට ගාල සතුටු කදුලු කැට වැටෙන්න පටන් ගත්ත මට අද වගේ මතකයි. හෙමිං හෙමිං නර්ස් නෝනා ගාවට ආපු මං කවදාවත් මිනිත්තු ගාණක් වයස පොඩි එකෙක් අල්ලල නැති උනාට හිතට ආපු දරු කැක්කුමටද මන්දා පුංචි කුරුලු පැටියෙක් වගේ ගුලි වෙලා හිටිය උඹව හීංසීරුවේ මගේ අත්දෙකට ගත්තේ පරාණ බයකිං. ඒත් අතට ගත්තම මගේ දරුවා කියලා හිතාගෙන ආදරෙන් හෙමිහිට උඹේ නළල ඉම්ඹ ඒ මොහොත කවදාවත් මට අමතක වෙන්නේ නෑ.

4 comments:

  1. දෙය්යෝ සාක්කි! මොකෝ මේකට කවුරුවත් කමෙන්ට් කරල නැත්තෙ.
    හිතට ගොඩක් දැනෙනව මචං

    ReplyDelete
  2. පොල්ලෙන් ගැහුවා වගේ දේශක .
    අනේ මෙහෙම වඩා ගත්ත දරුවෝ නේද අර
    පිච්චිලත් මැරුණේ ?

    අපේ තාත්තත් මට ඔහොම දෙයක් කියල තියෙනවා..
    මන් ඒක පොස්ට් එකක් විදිහටම දෙන්නම්කො..

    මේ ලියවිල්ල නම් කෙටි චිත්‍රපට තිර පිටපතක් ලියන්න
    පුදුම තරඟ වටිනා ලියවිල්ලක් දේශක....

    ReplyDelete
  3. පොල්ලෙන් ගැහුවා වගේ දේශක .
    අනේ මෙහෙම වඩා ගත්ත දරුවෝ නේද අර
    පිච්චිලත් මැරුණේ ?

    අපේ තාත්තත් මට ඔහොම දෙයක් කියල තියෙනවා..
    මන් ඒක පොස්ට් එකක් විදිහටම දෙන්නම්කො..

    මේ ලියවිල්ල නම් කෙටි චිත්‍රපට තිර පිටපතක් ලියන්න
    පුදුම තරඟ වටිනා ලියවිල්ලක් දේශක....

    ReplyDelete