Monday, March 4, 2013

කැත වැඩ ඔස්තාර්

පහුගිය දවස් ටිකේ අපිට තිබුනේ කාටවත් නැති තරං අමාරුවක් නෙව. එකක් හලාල්. අනික අර පින්තූරු තුන... බාලචන්දරන් කියා අපි සැක කරපු...

මාරයා දාපු බාලාගේ මරණය පිළිබද පෝස්ට්කටුව දුටු අප නාගයින් සේ පෙන පුම්බන්නට ගත් අතර, සියළුම නාගයන් පුස් පුස් ගාන විට, සැමටම ආරක්ෂාව (තම තමන්ගේ) පතා එකිනෙකාට දෂ්ඨ කිරීමට සිදු විය. මෙය මොන තරම් චින්තනයෙන් පරිබාහිර, ග්‍රාම්‍ය මට්ටමෙන් සිදූ වුවාද යන්න සිහිපත් කරන මා හට නම් ඇත්තටම හුග දෙනෙක් ගැන අනුකම්පාවක් මෙන්ම කෝපයක් ද ඇති විය. එහෙත් කෝප වීම මා සතුව නොඅඩුව පැවතියද, මේ තත්වය මත මගේ කෝපය පාලනය කරගන්නට සිදු වූයේ වෙනකක් නිසා නොව මාගේ සහෘදයන් බොහෝ දෙනෙකුගේ සිත් ව්‍යාකූල වී හෝ පෞද්ගලික මට්ටමින් මඩ ගැලුම් පිටින් නෑවීම නිසා හටගත් චිත්තසංවේගය හේතුවෙන් තවත් කෙනෙකුගේ සිතක් මොන අකාරයකට  හෝ රිදවීම, මාගේ සිත රිදවා ගැනීමක්ද වන බැවිනි.

මේ හේතුන් මත මුලින්ම මා ප්‍රකාශ කළ මතය (ප්‍රතිචාරය) මාරයාගේ ලිපියෙන් ගලවා ගැනීම පැයක් වැනි කාලයක් ඇතුලත, මා විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව දිනක් පමණ නැත... දින දෙකක් පමණ නිහඩව සිටියද, සහෘදයන් දෙදෙනෙකු මගේ ඊමේලය වෙත ලියමින් මා කූද්දන්ට හා අනවශ්‍ය බලපෑම් කරන්නට වූ අතර, ඉන් එක් අයෙකු දිගින් දිගටම කුලප්පු වූ හස්ති රාජයෙකු මෙන් ක්‍රියා කරන්නට වූයෙන් මා තුල  පැවති ඉවසීමේ ශක්තියද හීන වී යන්නට විය. මෙවැනි තත්වයකදී සාමාන්‍යෙයන් ප්‍රකාශ කරනු ලබන මාගේ බස් වහර අනුව මෙසේ සදහන් කරමි. “මේ හාදයා නිදහසේ හිටපු මගේ ගේ ඉස්සරහ, සරම උස්සාගෙන ඇවිත් වටේ යමින් මහ සද්දෙන් උජාරුවෙන් සද්දේ දමන්නට පටන් ගත්තේ ඒකා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දැනගෙන ඊට එහා දෙයක් නැතිව, මම හැංගිල ඉන්නවයි කියල හිතාගෙන උවමනාවෙන් වලියක් අඹරගන්න ගත්ත උත්සාහයක් වගේය“

ඉතිං තව දුරටත් නිහඩව සිටීමට නොහැකි තැන දෙවැනි වරටත් මාරයා වෙත ගොස් මාගේ ප්‍රතිචාරය සදහන් කොට කඩුව මුවහත් කරගෙන දින කිහිපයක්ම අදාළ පුද්ගලයා සමග ඊමේල් යුද්ධයක් දියත් කරන ලදි. මෙම විවාදය ඉතා දීර්ඝ එමෙන්ම තම තමන්ගේ පුද්ගලික කරුණු පවා යොදා ගනිමින් පවත්වන ලද සාර්ථක විවාදයක් වූ අතර, කිහිප අවස්ථාවකදීම ඔහු විසින් මා කුප්පාලීමට ගත් උත්සාහයන් නිශ්ඵල වුයේ සාමාන්‍ය තාර්කික බුද්ධියකින් යුක්ත වුවද, යම් කිසි දෙයක් පැහැදිලිව හා නිරවුල්ව දැකීමේ හැකියාවක් මා වෙත වූ බැවිනි.

අදාළ කාරණය වූයේ වෙනකක් නොව බාලචන්දරන්ගේ යැයි අප ඉදුරාම විශ්වාස කරනු ලැබූ පින්තූර තුනක් අරභයා ඇති වූ කතිකාවයි. රජයේ ඉහළ නිලධාරින්, හමුදාවේ ජ්‍යෙෂ්ඨයින්, ආරක්ෂක ලේකම් හෝ ජනාධිපති විසින් තහවුරු කොට පිළිකෙව් කළ යුතු දෙයක් අපගේ බ්ලොග්කරුවන් විසින් ඉදුරාම ප්‍රත්‍යක්ෂ කොට එය එසේම වන බවත් හමුදාව විසින් බාලචන්දරන් ඝාතනය කලේ නම් එය යුක්ති සහගත බවත් එසේ කිරීමට අප හට අයිතියක් ඇති බවත් පුන පුනා ප්‍රකාශ කළහ. මෙම තත්වය මත දෝ රජය පවා දැඩි නිහඩ පිළිවෙතක් ආරම්භ කරන ලද්දේ, බ්ලොග් කරුවන් ප්‍රකාශ කරන දේ සත්‍ය වන්නට ඉඩ ඇත්දැයි සැකයක් මතුව තිබු නිසා බව විශ්වාස කරන්නට සිදු වේ.

සාමාන්‍යෙයන් සිවිල් සමාජයට පුද්ගලයෙකු පිවිසෙන්නේ අතදරුවෙකු ලෙසය. ක්‍රමානූකූලව වැඩෙන ඔහු දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, ඥාති සමුහයාගේ, ගුරුවරුන්ගේ හා එකී මෙකී නොකී සියළු දෙනාගේ මානව සම්බන්ධතා ඇසුරෙන් පෝෂණය වී තම ජීවිතය සෙමින් ගොඩ නගා ගනී. මූලිකව පැවසිය යුතු දේ නම් සිවිල් සමාජයට එක් වන කුඩා දරුවා මුලින්ම තම මවගේ ගර්භාෂයෙන් ඉවතට පැමිණෙන්නේ තම මවගේ, එමෙන්ම දරුවාගේ උපත සිදු කිරීමට මනුෂ්‍යත්වයෙන් සැදී පැහැදී සිටි උතුම් වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මානුෂීය මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසිනි. (සමහර අවස්ථා වල මුදල් අය කර එම කාර්යය සිදු කළද මුඛ්‍ය අරමුණෙහි වෙනසක් ඇති නොවේ.) එනයින් දරුවෙකු ප්‍රසුත කිරීමට ඉතා ආසන්න මවකගේ තත්වය එකම දෑසකින් දුටුවද, තවත් දෑස් දහස් ගානකින් දුටුවද එකම අදහස ඇති වන්නේ, මිනිසුන් තුල ස්වභාවයෙන්ම පිහිටා ඇති පොදු සංවේදනයේ අග්‍රස්ථානය ලෙස සැලකෙන මනුෂ්‍යත්වය නැමැති කාරණය ඉස්මතු වී ප්‍රකාශ වීමෙනි. එවැනි මානූෂීය අදහසක් ඇති නොවන්නේ නම්, එම මානවයා තවමත් ගල් යුගයේ ජීවත් වන ම්ලේච්ඡ ගති ගුණ වලින් තවමත් ආඩ්‍ය වූ වීරවරයෙක් වන්නේය. එසේ කරුණු කාරණා සොයා බැලීමේදී මනුෂ්‍යත්වය යන කාරණය සත්‍යයැයි මා උදක්ම විශ්වාස කරමි. 

එනම් ලෝකයට බිහිවන දරුවා එසැනින් තුරුල් කොට ගෙන ලෝකයට රැගෙන එන එකම දෙය නම් මනුෂ්‍යත්වයි. ඒ කෙසේද යත් මානුෂීය මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය ලෙස ඒ සැමගේ මුවග තෘප්තියේ හසරැල්ලක් ගෙන්වන කිරිකැටියෙකුගේ මෙලොව එළිය විවර කර දීමේ මගගු කාර්යයි. එවිට ඔබ කෙසේ කීවද ලොවට පා තැබූ දරුවා එකම සිතුවිල්ලෙන් මානුෂිය වූ ක්‍රියාදාමයක තවත් එක පුරුකක් වෙයි. ඔහු දන්නා එකම දෙය මනුෂ්‍යත්වය, ආදරය, රැකවරණය ඉල්ලා අඩගෑම පමණි. එසේ අඩන කිරිකැටියාට ඔහු වැලපී යදින ඉහත සදහන් මුලික අවශ්‍යතා සපයන්නේ නැත්නම් අප මනුෂ්‍යයන් වනවාද?

දරුවෙක් උපදින විට ඇති වන හැගීම, දරුවෙක් මැරුන විට ඇති නොවන්නේද? නැත... සත්‍ය වශයෙන්ම එයද ක්ෂණික සංවේදනයෙන් පුද්ගලයෙකුගේ මනස තුල ඇති වන සාධාරණ මානූෂිය හැගීමකි. දරුවෙකු ඝාතනය කිරීම සාපරාදි අපරාදයකි යන නිරපේක්ෂ අදහස. එහෙනම් ඇයි බාලචන්දරන්ගේ කියා අප සම්පුර්ණයෙන්ම විශ්වාස කළ දරුවෙකුගේ ඝාතනය දැක්වෙන පින්තූර ටික අපි සාධාරණීකරණය කරන්නේ.. 

කිසිම කෙනෙක් මේ දක්වා සාධාරණිකරණය කර නොමැති එමෙන්ම පිළිගෙන නොමැති දෙයක් පිළිබදව, බොහෝ දෙනෙක් සාධාරණ සැකයක් හෝ නොතබා, මේ ඝාතනය වී ඇත්තේ ප්‍රභාගේ දරුවා වන බාලචන්දරන් බවත්, ඔහු ඝාතනය කලේ ලංකා හමුදාව විසින් බවත්, එය එසේ කිරීම අතිශය සාදාරණ බවත් ප්‍රහර්ෂයෙන් යුතුව ප්‍රකාශ කළ වදාළෝය. 

මුලින්ම දැකිය යුතු මනුෂ්‍යත්වය නැමැති විනිවිද පෙනනා ගැඹූරු යථාර්ථය, තම තමන්ගේ ජීවිත වලට පසුව එකතු කරගන්නා ලද හෝ බලෙන් එකතු කරන ලද, ජාතිකත්වය, යුදමය මානසිකත්වය, දමිළයන් තලා පෙලා දැමීමේ ලා ඇති අතිශය ආශාව, කුහකත්වය, ජාතිමාමකත්වය වැන නොයෙකුත් කඩතුරා වලින් වසා එම දරුවාගේ ඝාතනය දෙස විලම්බීත වූ කෝණයකින් බැලුහ. මා කිසි විටෙක මෙම ඡායාරූප සත්‍ය ඒවා බව පිළිගෙන නොමැති අතර, එය බාලචන්දරන්ගේ ඡායාරූප බවක් හෝ මෙම දරුවාගේ ඝාතනය හමුදාව විසින් සිදු කර ඇති බවක් හෝ ප්‍රකාශ කර නොමැත.

මෙම තත්ත්වය මත, කෙනෙකුගේ මනස පොදු සංවේදයනයෙන් තොරව ක්‍රියා නොකරන බව පෙන්නූම් කිරීම උදෙසා මා හට අවශ්‍යතාවයක් හා උවමනාවක් විය. එමෙන්ම එය ඔප්පු කළ හැකි පරිදි නියතයක් ලෙස හෝ සාක්ෂියක් ලෙස තම තමන්ටම බලා කියා ගත හැකි පරිදි ලබා ගැනීම මෙම කාරණය ඔප්පු කිරීමට යාමේදි මා හට ඉමහත් උපකාරයක් වන නිසා, වෙනත් ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට මා හට සිදු විය.

මා විසින් මූනූ පොතේ සටහන් කරන ලද නිරුවත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තැබීමේ කතාවක්, එසැනින්ම අවබෝධ කර ගත්තේ යසනාත් ධම්මික බණ්ඩාරයන් හා අපේ මහ වෙදනා පමණකි. එහි පුදුම වීමට කාරණයක් නොවන්නේ ඔවුන් දෙදෙනම යම් දෙයක් විනිවිද දැකීමේ ඇසකින් ඕනෑම දෙයක් විමර්ශනය කරන නිසාය. 

එහෙත් අනිත් බොහෝ දෙනෙකු වෙඩි තැබීමේ කතාවෙහි ප්‍රලාපයෙන් රැවටුනෝ වෙති. බාලචන්දරන්ගේ මරණය පිළීබද මාර විවාදයේදි බරපතල විවාදකයෙකු වූ මාතලන් සහෝදරයාගේ අදහස ඉහත වෙඩි තැබීමේ කතාව පිළිබද ව ලබා ගැනීමේ අදහසින් එය ඔහු වෙත යොමු කළද අන්දුන් කුන්චුන් වූ ලෙසින් තේරෙන්නෙ නෑ යනුවෙන් පැවසීම හේතුවෙන් එයද අකුලා තබා වෙනත් ආකාරයක් ගැන සිතීමට මා හට සිදු විය. ඔහු එය ග්‍රහණය කරගන්නේ නැතිනම් අනෙක් අය ගැන කතා කිරීමෙන් පලක් නොවන බව මා තේරුම් ගත්තෙමි. (කිසිවෙකුට අවලාද කීමක් නොව... සමහර විට මා ඉදිරිපත් කළ අදහසෙහි, ප්‍රකාශණය දුර්වල වීමට ඇති හැකියාව විශාලය.)

ඉතිං සෑහෙන්න සිතා බලා “තිසර සත්කාර“ පෝස්ට්කටුව ඉදිරිපත් කළෙමි. එහිදී මා බලාපොරොත්තූ වූවාටත් වඩා ඉහලින් හුග දෙනෙකු තම නිර්ව්‍යාජ අදහස් ප්‍රකාශ කර ඇත. එහිදී මා කලින් අදහස් කල ක්ෂණික පොදු සංවේදනයෙන් මානවයකුගේ මනස තුල ඇතිවෙන පොදු අදහස එහි සදහන් වූ තිසර තෙරපීම කෙරෙහි ඇති විය. අපේ ලෝකයේ සරා නම් මෙම සිද්ධියේදි (තිසර සත්කාරයේදී) ඔහු කම්පාවට පත්වීම ඉතා හොදින්ම පෙන්නුම් කළා පමණක් නොව ව්‍යාංගයෙන් මා නිකමෙකු බවත් ප්‍රකාශ කරන ලදි. සරෝ.. ඔබේ අදහස මට හිත් රිදවීමක් නොව මාගේ බලාපොරොත්තු සපල කිරීමට සමත් වූ අදහසක් බව කිව යුතුමය. අඩු වැඩි වශයෙන් සියළු දෙනාම පාහේ තිසර සත්කාරයට එකහෙලාම විරෝදය පළ කළ අතර, අකමා වැනි උන් මා කරපු දෙය වැරදි වුවද, තමන්ගේ ප්‍රතිරෑපයට හානි වන බව දැන දැනම ඉදිරිපත් කිරීම අගය කළහ.

ඔව් ඇත්තටම මා සෑහෙන්න හිතා මතා මෙම තීරණය ගත්තේ මා අදහස් කළ දෙය ඔප්පු කළ පෙන්වීමට අවශ්‍ය වූ හෙයිනි. අවංකව මගේ ප්‍රතිරෑපය මෙම කතාව හේතුවෙන් බිද වැටීමට ලක් වන බවත්, කාටත් අවශ්‍ය හිට්ස් හා කොමෙන්ටු නොලැබෙන බවත් පසක් කර ගත්තෙමි. එහෙත් යම් කිසි දෙයක් ගැන නිරුවත් දෑසින්, අව්‍යාජව, විමර්ශනශිලීව එබී බැලීම සදහා මගේ මේ කතා ත්‍රිත්වය යම් කෙනෙකුගේ මොළය පෑදීමට හේතු වන්නේ නම්, මට සිදු වන පෞද්ගලික අවාසි පිළිබදව කිසි විටෙකත් පසු තැවෙන්නේ නැත. දැන් ඔබ බලාවි මොකක්ද මේ කතා ත්‍රිත්වය කියලා. ඔව් සහෘදයනි,



කැත වැඩ ඔස්තාර් යනු එම ත්‍රිත්වයයි. 

බොහෝ දෙනෙකු ආවේගශිලි කතා විලාසයක්, සත්‍ය බවක් නොදන්නා කාරණයක් වෙනුවෙන් ඉදිරිපත් කළ අතර, මා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් අනුගමනය කරමින් මා කියන දේ ඔප්පු කිරීම සදහා අවස්ථා තුනක් එකදිගට භාවිතා කර ඇත්තෙමි. පොදු සංවේදනයෙන් මිනිස් කම හෝ හරි වැරැද්ද විතරක් දකිනා අප, ප්‍රභාකරන්ගේ පුත්‍රයා යැයි කියන දරුවගේ මරණයේදි ඒ සියල්ල අමතක කොට මා කලින් කිව්, පසුව ආරෝපනය කර ගත් වෙනත් වෙනස් කෝණ වලින් ඒ දෙස බැලීම නිසා ඇත්තටම, මෙම සිංහල බ්ලොග් අවකාශය සමාජයේ පොදු සාධකයක් වූයේ නම්, මෙම සිද්ධිය කෙරෙහි සමාජයේ දැක්ම කුමන ආකාරයෙන් වෙනස් කරනු ඇත්තැයි සිතා ගැනීමට නොහැක.

මා හට පැවසීමට අවශ්‍ය වූයේ එකම දෙයකි. පාසැල් දැරිවියකගේ තිසර අතගෑම පුද්ගලයෙකුගේ ක්ෂණික පොදු සංවේදනයෙන් එක වරම වැරදි දෙයක් බව සාදාරණ සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි නම් හා ඊට අනුභුති කාරණා කිසිදු අයුරකින් මේ දෙස බැලිමේදි නිර්ණායකයන් ලෙස තබා නොගත්තේ නම්, ඇයි දරුවෙකුගේ මරණය එම සංවේදනයෙන්ම බැලිය නොහැක්කේ. ඒකට කියන්නේ එක්කෝ මනුස්ස කම මානවයාගේ හැම නිර්වචනකයට ඈතින් පවතින, සත්‍යයෙන් ඉවත් කල දෙයක් බව හෝ මානවයාගේ බිද වැටීමේ ලක්ෂණයක් හෝ වන බව නොවෙද?? එසේ නැතිනං මනුෂ්‍යත්වය බලෙන් අමතක කිරීමක් බවද???

තව එකක්... තිසර සත්කාර කතාව ඇත්තද බොරුද කියන එක සිතා ගැනීමද ඔබටම භාරය. මුණුපොතේ සටහන් කළ මාගේ වෙඩි තැබීමේ කතාවද පහතින් ඇත.

දැන්නම් අනිවාර්යෙන් ඔබේ අදහස අවශ්‍ය වන්නේ මා ඉදිරිපත් කළ අදහස ඔබ හට පැහැදිලි වූවා දැයි දැන ගැනීමටය. ඒ ගැන කාරුණිකව හිතන්න හොදේ...

තිසර සත්කාර හා මේ කතාව බාලාවතාරයක්ම බව කිහිප දෙනෙකු දැන සිටිය බව සදහන් කිරීම අවශ්‍ය වන්නේ මා බොරු කාරයෙකු බව සිතීමට ද ඉඩ ඇති නිසාය..


******************************************************


යකෝ අපි හමුදාවෙන්

උස්සපල්ලා තොපේ අත්...නැත්නං මොල කෑලි හදේ යන්න තියනවා.. ඉක්මන් කොරපල්ලා....

තෝ කව්ද.... නම කියපං

සිරිපාල සර්

එතකොට තෝ කව්ද

මම දේව්දාස් සර්

අහා... දැං තොපිව සර්ච් කරනවා

ගලවපං තොගේ ඔය උඩින්ම තියෙන ජාතිය ගහපු කෝට් බෑය

හරි.. දැං ගලවපල්ලා තොපේ ආගම ගහල තියෙන මහ ලොකු ෂර්ට් එකත්

හ්ම්... දැං ගලවපියව් තොපේ පවුල් ගැන ලියල තියෙන රෙද්දේ බැනියම.. බල්ලෝ

දැං තොපේ... ලොකු කං ගහල තියෙන කලිසං බෑය ගලවලා දාපන්.. හැබැයි ඔළුවෙන්...

හ්ම්... දැං ඉතුරු වෙලා තියෙන්නේ තොපේ.... සල්ලි බලේ ගහල තියෙන ජොකා නේ.. ඒකත් ගලවපල්ලා

අඩේ මුං දෙන්නම දැං හෙළුවෙන්

හ්ම්.. කියාපල්ල බලන්න මරන්න කලින්... අන්තිම කැමැත්ත

අනේ සර් අපිව මරන්න එපා

නෑ තොපිව මරනවමයි... කියපල්ලා දැං තොපි ගාව මොකක්ද තියෙන්නේ කියලා

අනේ සර් දැන්නං බය විතරයි... තියෙන්නේ මරන්න එපා සර්

මෙන්න මේ කාලකන්නියෝ දෙන්නා ඉවර කරපං ලොක්කා....

පට පට පට

හ්ම් යමල්ලා.. බල්ලෝ දෙන්නෙක් ඉවරයි..



35 comments:

  1. උඹ කියන එක හරි.... ජාති, ආගම් ඔක්කොම ගලවලා නිරුවත් උනාට පස්සෙ ඉතුරු වෙන්නෙ මනුෂ්‍යත්වය විතරයි.... නමුත් මිනිස්සු නිරුවතින් ඉන්නෙ නෑ වගේම ඔය මනුෂ්‍යත්වය කියන එක ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම්, බලය වගේ ඇඳුම් වලින් වැහිලා තියෙන්නේ... ඒ හැමදේටම යටින් ඉන්නේ මනුෂ්‍යයෙක් කියන හැඟීම බොහෝ වෙලාවට බලවත් වෙන්නෙ නෑ... ඔය ඕනෑම දෙයක් ගැන මිනිස්සුන්ට තියන හැඟීම තමන් විස්වාස කරන දේවල් හෝ විස්වාස කරන්න කැමති දේවල් අනුව වෙනස් වෙනවා. හැමදේටම බුදුදහම උපුටල දක්වන අය බාලචන්ද්‍රන් ගැන කතා කරනකොට අනිත් අය බුදුදහම උපුටලා ඒක වැරදි බව කියනවට විරුද්ධයි. මිනිසුන්ට දැනෙන මානුෂික හැඟීම් වැඩි වීම සමාජයක යහපත් ලක්ෂණයක් උනත්, සමාජයට ඒ මත යැපෙන්න බෑ. ඒ නිසයි පොදු එකඟතාවන් අනුව නීතිරීති සකස් කරලා තියෙන්නේ. නීතීය සහ තමන්ට දැනෙන හරි/වැරදි දේ පිළිබඳ ගැටීමක් තියනවා නම්, හැම විටම නීතියට අනුව කටයුතු කලයුතුයි. නීතියකට විරුද්ධවීමත් නීත්‍යානුකූලව කිරීම සඳහා නීතියෙන් ප්‍රතිපාදන තියනවා.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන උනෙත් ඒකයි තිසර. යම් දෙයක් දිහා අප බලන විදිය ගැන, එහි කෝණය ගැන අදහසක් දෙන්නයි මෙච්චර රවුමක් ගහන්න ඕන උනේ. හුගක් අයට කොතරම් පැහැදිලිව සරලව කිව්වත්, බර වචන දාලා කිව්වත් තේරුම් ගන්නේ නැත්තේ පොරවන් ඉන්න කබායේ තියෙන ඝණකම හින්දා. ඒක ඉවත් කරන්නයි උත්සාහ කලේ මම හිතනවා හුගක් දුරට සාර්ථකයි කියලා.. ස්තුතියි

      Delete
  2. මේක යන්තං කියෙව්වා ඒත් මෙය බොහොම නිවාඩු පාඩුව කියැවිය යුත්තක්.. දැන් වැඩ.. හවසට හෝ අද රෑට නොවරදවා කියවා යමක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නලින්..

      Delete
  3. ඔහේගේ තිසර තන කතාවනම් තේරුණ නිසා මමත් ව්‍යගයෙන් ඒකට උත්තරයක් දුන්නා.. ඒත් අදටත් ඔබේ ෆේස් බුක් කතාවනම් මඤ්ඤමක්. ඒකේ කිසි ගැලපීමල් නෑ. අනික බ්ලොග් ළෝකේ සංවාදයකට බුකියේ දෙයක් දැමීමත් ගැලපීමක් නෑ. මොකෝ අපි කියවන්නේ බුකියෙ තියෙන ඒවා, බ්ලොග් වල තියෙන ඒවා විතරක් නෙමෙයිනේ, අනිත් වෙබ් සයිටුත් බලනවා, පත්තරත් බලනවා. ඔබේ දේ ඔබේ හිතේ තිබුනට, අපිට මතක නෑනේ. සමහර වෙලාවට මම ලියපු දේ මටම් මතක නෑ. අනික තව කීයක් දේවල් කියලා ඔලුවේ තියාගෙනද අපි ඉන්නේ.

    කොහොමත්, අර පින්තූර තුනයි මේ බුකියෙ කතාවයි අතර අදත් මම කිසිම සම්බන්ධයක් දකින්නේ නෑ.

    අනෙක් ප්‍රධාන කරුණ. ඔබ මා විවේචනය කරනවාක් මෙන්, ඔබ හා සංවාදයෙ යෙදුනු අයගේ නම් ගම් හෙලි කරානම් අපි කාටත් වටිනවා නේද...

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් ආගමනය සිට මේ දක්වා මා වඩාත්ම දුක් වූ ප්‍රතිචාරය ඔබෙයි මාතලන්.. ඔබ කියන දේ පැහැදිලියි. මම තේරුම් කරන්න උත්සාහ කළාට ඒක අනෙත් අයට නිවරැදිව ප්‍රකාශණයක් ලෙස ඉදිරිපත් කරන්න මට ඇති හැකියාව ගැන පුද්ගලිකව මට ප්‍රශ්න තියෙනවා. ඒත් මේ කියපු කිසිම දේකින් ඔබ විවේචනය කිරීමේ අරමුණක් තිබුනේ නැති බව අවංකව කියන්න ඕන. මගේ වචන හැසිරවීමෙන් ඔබට සිත් වේදනාවක් ඇති වුයේ නම් කියා කියන්න මා කැමති නෑ මොකද මට දැනෙනවා ඔබ එයින් වේදනවාවට පත් වූ බව. ඒ නිසා ඒ වරදට මා සමාව ඉල්ලනවා වගේම මීට පසු තවත් හොදින් මගේ අදහස් ප්‍රකාශණය කිරීමට වගබලාගන්නා බවත් කාරුණිකව දන්වන්න කැමතියි. එකක් මොන දේ කිව්වත් ඔබ මා ගැන වැරදියට නොහිතන බව සක්සුදක් සේ මා දන්නවා මට ඒ විශ්වාසය තියෙනවා.

      මාත් එක්ක වාද කළ දෙදෙනා (අවංකව දිගට ඇදන් ගියේ එක් අයෙකු පමණයි) සමග පුද්ගලික කරුණු පදනම් වූ සටහන් ඇති නිසාත්, ඔවුන් බ්ලොගයෙන් නොව පුද්ගලිකව කතා කළ නිසාත් නම් ගම් හෙළි කල නොහැකි බව දැනුම් දෙමි.

      මාතලං හිතා මතා විවේචනයක් ඔබ වෙත කලේ නෑ. සමහර දේවල් කොයිතරම් තේරුම් කරත් මට තේරුම් ගන්න බෑ... හිකිස්...

      Delete
  4. //මා හට පැවසීමට අවශ්‍ය වූයේ එකම දෙයකි. පාසැල් දැරිවියකගේ තිසර අතගෑම පුද්ගලයෙකුගේ ක්ෂණික පොදු සංවේදනයෙන් එක වරම වැරදි දෙයක් බව සාදාරණ සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි නම් හා ඊට අනුභුති කාරණා කිසිදු අයුරකින් මේ දෙස බැලිමේදි නිර්ණායකයන් ලෙස තබා නොගත්තේ නම්, ඇයි දරුවෙකුගේ මරණය එම සංවේදනයෙන්ම බැලිය නොහැක්කේ.//

    ඔබ ඉතාමත්ම දක්ෂ ලෙස මේ කතා වලින් කිවයුතු මෙන්ම අවධාරණය කල යුතු දේ කර ඇති බව මහේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාෂයියා, අදහස පැහැදිලි වේ නම් වෙන මුකුත් මට අවශ්‍ය නෑ...

      Delete
  5. සෑහෙන්න ගැඹුරු අදහසක් තියෙනවා. දේශා මම කිසිම විටක පොඩි දරුවෙක් මැරීම අනුමත කරන්නේ නැහැ. මම ඔය කියන පින්තූර තුන දැකලත් නැහැ. නමුත් ප්‍රභාගේ පුතා කියල මම දැනන් හිටියේ අවුරුද් 20කැ විතර කොල්ලෙක්. මිනිහා කොටි කමාන්ඩර් කෙනෙක්. එහෙම කෙනෙක් මාරුවට කමක් නැහැ ඒක සාධාරණයි. මම පස්සේ දැනගත්තේ තව පොඩි එක්කෙනෙක් ඉඳල මරලා කියන එක. වැරදි වැටහීමක් වුනානම් හැමෝටම සොරි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් දැක්කා උඹ බරපතල ප්‍රකාශ දාලා තිබුනා ඒ ගැන. කොහොම උනත් නිවරැදි අදහසක් ගන්නට මාත් උපකාරයක් කරා කියල හිතෙනවා. සොරි කියන්න දෙයක් නෑ බං.. තේරුම් ගැනීමයි අවශ්‍ය.

      Delete
  6. Why do I feel like a guinea pig?

    ReplyDelete
    Replies
    1. Good point Dude. I agree he should have simply expressed his views rather than using us to make a point.

      Delete
    2. @ Dude,
      All this stuff is not for you either most of them. But I needed to make myself clear and wanted to prove that most of the ppl acted at this incident is unsatisfactory. Everyone loosen up with the matter just by one or a few comments. But I cannot, coz, I believe that I have a responsibility in this blog space, to guide at least a few towards the truth. Sorry if I made some carrots for you..or padidilion carrots. hik..

      Delete
    3. @ Thisara
      I have very simply expressed my view, but it was insufficient, I came with it by my own way. Sorry if I have bothered you.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේ දවස්වල උඹ පෝස්ටු ලියන්නෙ මළ අතේ තියාගෙනද බන් ??

    ReplyDelete
    Replies
    1. හෑ මළ අතේ තියාගෙන. කෝමෙයි කෝමෙයි ඒම කොරන්නේ... හැක්...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දැන් මොකද්ද කියන්න හදන්නේ...??? තිසර සත්කාර ‌පෝස්ට් එකේ උඹ ඉස්කෝලේ යන කාලේ කරපු වැඩක් ගැන උඹම දැන් කරන පාපොච්චාරණයයි, හිටිහැටියේ මතුවෙලා ප්‍රභාකරන්ගේ පුතා කියලා පොඩි කොල්ලෙක්ගේ ෆොටෝ කීපෙකුත් එක්ක නොදන්නා, විශ්වාස කරන්න බැරි පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන කතාවයි අතර මට නම් මාර ලොකු වෙනසක් පේනවා දේශකයෝ... මට නම් ඔතන තියෙන්නේ විශ්වාසනීයත්වය සහ අරමුණ ගැන ප්‍රශ්නයක්...

      (කලින් කමෙන්ට් එකේ වචන ටිකක් සැර වැඩියි කියලා හිතුන නිසා ඩිලීට් කළා... )

      Delete
    2. හ්ම්.. පාපොච්චාරණයක් නෙමෙයි හිරු. මම එක දෙයක් දිහා කෝණ දෙකකින් බැලීම ගැනයි සන්සන්දනය කරල අදහස කියල තියෙන්නේ.. ආ.. තෝ. මොන සැර වචනේ කිව්වත් මම ගණන් ගන්නවද බං...

      Delete
  10. පලවෙනි පෝස්ට් එකට නම් මං කෙටියෙන්ම උත්තරේ දුන්න. ඒ මං හිතන විදිහ. දෙවෙනි පෝස්ට් එකේදී නම් මට හිතුනේ මොකක් හරි කතාවට යටින් යන දෙයක් ඈති කියල. මේකේ අන්තිම ටික ගැන කියන්න තියන්නෙත් වටේ පිටේ තියන දේ ගිලිහුනාම හැම එකාටම දැනෙන්නේ එකම මරණ බය.. එතකොට උන් කොයිකත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන තේරුමි ගත්තට...

      Delete
  11. ලොක්කා ඔයා මොකාටද එන්න හදන්නේ.
    මං පොඩි ආතල් එකක් අරගෙන කාරිය ජොලියට මේක බැලුවම ඔයා එන්න හදන්නේ අසෝක හඳගම වගෙ ප්‍රෙහෙලිකාවක් අරගෙන,
    ලොකු ප්‍රශ්නයක් මේක????
    අපිට ඔය ඔලුව කර්පට් වෙන ලොකු ප්‍රශ්න එපා??

    ReplyDelete
    Replies
    1. හරි හරි ලොක්කා පොඩි විවේකයක්. දැං එනවා හරි විදියට.

      Delete
  12. පෝස්ට් එකේ දක්වලා තියෙන තර්කනම් අපේ රෙදිත් ගලෝනවා. එකඟයි කියනවා ඇරෙන්න මුකුත් කියන්න තේරෙන්නෑ.

    -----
    ඒත් මට පොඩි මළක් තියෙනවා උඹත් එක්ක, අපිව මීයෝ කලාට.
    මං කලිනුත් අහන්න හිටියේ ළඟකදී ඉඳන් කමෙන්ට් රිප්ලයි කිරීම කාලෙකට පස්සෙ කරන්නේ. එතකොට කොහේදී හරි දකින්න ලැබුණා බ්ලොග්කාරයෝ ගැන කළකිරීමෙන් ඉන්නේ කියලා. ඒවාට උත්තරෙත් හම්බ උනා දැන්.

    ReplyDelete
    Replies
    1. තේරුනා නං මදෑ අකමෝ..

      කලකිරිමක් නං නෑ බං.. අඩේ උඹලව මීයා කරන්න හැදුව නෙමෙයි. යම් කිසි දෙයක් දිගින් දිගටම ඇදගෙන යාමක් පමණි.

      Delete
  13. මේකනේ, අපිට කන්න ඕන වෙනකොට කබරගොයි තලගොයි වෙනවනේ. ඒවගෙම කන්න එප වෙනකොට තලගොයා කබරගොයා වෙනවා.

    අපිව ටෙස්ට් කරන්න හදපු එක කැතයි හොදේ...මාතලන් කියනවා වගේ තාත්තා කෙනෙක් වෙලාම බලමු...කියල තමා කට්ටියට කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක බං උඹ තේරුම් ගත්ත බව මම දන්නවා. කවද හරි මේවා බලන එකෙක් ඇත්ත කියන දේ ගැන පොඩි හරි අවබෝධයක් ගනීවි කියල හිතන හින්දා ලොකු ගේමක් ඇද්දේ මේ සීන් එකට..

      Delete
  14. මාර තර්කයක් නේ ගේන්නේ.. තර්කානූකල පිලිතුරු . මමත් හිත්නේ කාවුරු වුණත් මිනිස් ජිවිත ගැන මිට වඩා අවදානයකින් කටයුතු කළ යුතුයි කියල.එකෙක් මැරූ පමණින් තව එකෙක් මරන්න බැ එහෙම අයිතියකුත් නෑ. එහෙම හිතු‍වොත් අපි ගමන් කරන්නේ නොදියුනු යුගයකට

    ReplyDelete
    Replies
    1. හෙහ්..තර්කයෙන් තොරව විවාද දිනන්න බෑනේ අයියේ.. රෙදි ගලවලළ මඩ නොගහ අදහස් කියන විදිය පුද්ගලිකව මම හිතන්නේ මේ විදියයි කියලා.. ස්තුතියි.. කෝ කේක්...

      Delete
  15. Your ideas are very philosophical.

    ReplyDelete
  16. ඕ මාර තර්කයන් නෙ ගේන්නෙ ඇ :)

    ReplyDelete
    Replies
    1. වැලි ඇටද කොස් ඇටද නේද?

      Delete