Saturday, September 15, 2018

නිකං බන්දුජීව!! (Ruwan Bandujeewa poetry)

අපේ කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට කියන්න තියෙනනේ. කවිය බත් පිඟානක් නම් ඒකේ විවිධාකාරයේ කවි වර්ග තියෙන්න පුලුවන්. සමහර විට රසය වැඩිය දැනෙන්නේ කට්ට සම්බෝලෙක වෙන්නත් පුලුවන්. හරියට කන කෙනා ඩිංග ඩිංග රස කර කර පිඟානම කන්න පුලුවන් වගේම කන්න බැරි එකා තක්කාලි කෑලී, මිරිස් කෑලි පිඟානේ ඉතිරි කරන්නත් පුලුවන්. ඒත් පොඩි කාලේ ඉදලම තඩි බත් කටවල් හනිකට ගිලල පිඟාන හෝදල දාන උන්ට නං පිඟානේ තියෙන විවිද දේවල් වල නොයෙකුත් රසයන් විදින්න බැරි වෙනවා. අවසානෙදි බත් කාපු ඒ පත මෝල්ලු තමන් කෑවේ මොනාද ඒකේ රස මොන වගේද කියලවත් නොදනී.

කවි ගැන විචාරයත් ඒ වගේ. තමන්ට ගැලපෙන ආකාරයටත් බත් ටික කන්නේ. ඒක නිසා කවි විචාරය තමන්ටම පක්ෂග්රාහි වේච්චි දෙයක්. දෘෂ්ඨියට හසු වූවාට රසයට හසු නොවන කවි ඕනෑ තරම් තියෙනවා. සමාර විට ජනප්රිය කවි වල ඇති චිත්ත රූප මැවීමේ හැකියාවක් ඒවාට නැති වෙන්න පුලුවන්. ඒත් කවියක් විඳිනවා කියන්නේ ඇත්තෙන්ම ඒ දිහා ස්වාධීනව බැලීමක්. මම සාමාන්යෙයන් එළිසමයක් තියෙන කවි වලට කැමතියි. එක දිගට ගලාගෙන යන කවි කොළ වලට කැමතියි. හයිකු එකක් දෙකක් කියල මොලේ ටිකක් මොරොන්දම් වෙනවට කැමතියි. ඒ කෙසේ වෙතත් කවියෙකු තමන්ගේ නිර්මාණයෙන් කියන්න හදන දේ තේරුම් ගන්නටස්වාභාවික ඥාණයට අවස්ථාව නොදෙන කෙනෙකුට කවි වල විවිධ වර්ග, ගුරුකුල, බ්රාහ්මණ කුළ, පදිරි කුල තියෙන්න පුලුවන්. අපි ඒ අයට සුභ පතමු.

රුවන් බන්දුජීව මට හිතෙන විදියට ස්වභාව ධර්මයේ ඉතා කුඩා කිසිවෙකුට නොපෙණන තැන් තමන්ට රිසි අයුරින් උකහාගෙන ඒවාට සම්බන්ධකම් හදා දෙන්න දක්ෂ කෙනෙක්. ඔහුගේ අනෙකුත් කවි ආදරය ගැන, සමාජ අසාධාරනකම්, අධම කම් ගැන කතා කරත් මට විශේෂයෙන් කැමැත්තක් තියෙන්නෙ රුවන් අප අවට පරිසරයේ ඇති විවිධ අංශුන් එක මිටට ගන්නා ආකාරයට.

මේක මීළග මීවිකේ 27 පිටුවේ කවියක්

රම්ය ජලකර පුෂ්ප ගලවා
මතස්ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිසකර
පාර අයිනක තිබුනි රදවා

මේ වගේ කවි දැක්කම ඔය බහු චින්තකයෝ කියන්නේ මේව්වා මේ නිකං වාග් ප්රලාප නේ කියලයි. ඒත් ඒ අයට තමන් බස් එකේ යනකොට දකින පොළව පැලිච්චි වේලුණු වැව දැක්කට වතුර නැති විත්තිය විතරයි පේන්නේ. එහෙම නැත්නං කියාවි මාර පෑවිල්ල නේද ගිය පාර මං එනකොට හොදට වතුර තිබුනා කියලා. ඒත් මේ කවියේ මුඛ්ය පරමාර්ථය සිඳුන වැවක ශෝකාලාපය කියාපාන්නටයි. රුවන්, පේන්න නැති කාටවත් දකින්න නැති ගොඩාක් දේවල් එකට අමුණල හිඳිච්ව වැව පාර අද්දරට ගෙනැත් තියෙන ආකාරය දැක්කම මට කියන්න තියෙන්නේ අපූර්වයි කියල විතරයි.

මේ කවිය මම බොහොම කැමති කවියක්. මේකත් නිකං වාග්ප්රලාපයක් තමා. හැක්

සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ පල
පසෙහි මුසුවී තිබුණු වස විස
උරා බොන්නැති නියඟලා වැල

(මීළග මීවිත පිටුව 25)

කැලේ ඇතුලක එහෙම නැත්නං දඩු වැල් තියෙන වැටක උඩින් පේන රතු කහ මල් ටික දැකල අනිත් ගස් වැල්, ගෙඩි දිහා බලන මේ අපූර්ව කවියාගේ මනස කොයි තරම් සියුම්ද කියල අපට පේනවා. මේ ලෝකේ තියෙන සේරම ගහකොළ, මල්, ගෙඩි තියෙන්නෙ නියඟලා වැල නිසාද කියල හිතෙන අන්දමට මේ කවිය නිර්මාණය වෙලා තියෙනවා. සමහර විට මේකේ අනුභූතිය කහ රතු නියඟලා මලක් විතරක් වෙන්න ඇති. ඒත් ඒ මල නිසා පරිසරයේ තියෙන සියලු ගහ කොළ එක මිටට ගන්න රුවන්ට ඇති හැකියාව උපරිමයි. මම බොහෝ පොත් පත් කියවා ඇති අයෙකු නොවුනන් මා කියැවු ලේඛකයන් අතුරින් එවැනි හපන්කමක්, සියුම් දැකීමක් ඇති අයෙකු තමා හා්න්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහු ලියන්නේ සුරංගනා කතා උනාට ඒ සුරංගනා කතා අස්සේ කුරුල්ලෝ, පුංචි පුංචි මල්, වීථි ලාම්පු, යකඩ පෙට්ටි ආදී එකී නොකි දේවල් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතනෙවා. මතක ඇති නේද අයිඩාගේ පුංචි මල කතාව. ඒකේ තියෙන්නෙ එක එක ජාතියේ මල් රාශියක් එකතු කරගෙන ඒ චර්යාවන්, පෙනුම ආදිය මිනිස්සුන්ගේ පෙනුමහැසිරීම චර්යාව එක්ක එකට එකතු කරල සිත්තම් කරපු අපූරු කතාවක්. ටියුලිප් මල් අනිත් මල් වලට වඩා උඩින් තමන්ගෙ බෙල්ල හරව හරව ආඩම්බරෙන් ඉන්න හැටි කියන කොට මට හරි ලස්සනට පරිසරය මැවිල පේනවා. අන්න ඒ වගේ හාන්ස්ටත් පුදුම හැකියාවක්, තියුණු ඇහැක් තිබුනා කියල කියනවා. ඒ කියන්නෙ දුරක තියෙන ගහක පොත්තක කුඩා කැපුමකුත් එ් අසල ඉන්නා පුංචි කුහුඹුවෙකුත් හරියටම අදුරගන්න හැකි ආකාරයේ. රුවනුත් ඒ වගේ අපි දකින් කිසිම වැදගැම්මකට නැති දේවල් සිතුවිලි ආධාරයෙන් එකට එකතු කරල ඔහු අපිට දෙනවා ඉමිහිරි නිර්මාණයක්. අදටත් නියඟලා මලක් දැක්කම රුවන් කියපු දේ මට මතක් වෙලා නියඟලා වැල ගැන පුංචි හැගීමක් ඇති වෙනවා.

මීළග මීවිත 14 පිටුවේ තියෙන මේ කවියත් ඒ වගේ.

ඇළ

ඇළ හොඳින් ඇඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ කියා නැත තවම


මේකත් නිකම්ම නිකම් වාග ප්රලාපයක් තමා. ඒත් නිලට නිලේ දිලෙන හුළගට එක පෙලට ගමන් යන කුඹුරු යායක් දැක්කට මට නං එහෙම හිතෙන්නේ නෑ. ඒක තමා තියුණු දැකීම කියන්නේ. ඉතාම සරල කුඩා දෙයක් උනත් කව්රුවත් නොදැකපු ආකාරයෙන් දකින එක තමා නිර්මාණකරණය කියන්නේ. මම නෙමෙයි කිව්වේ කොන්ස්තන්තීන් පව්ස්තව්ස්කි කිව්වේ. ඒ කියමන අපට සනාථ වෙනවා රුවන්ගේ කවි (වාග් ප්රලාප) කියෙව්වාම. පුලුවන් නං තවත් විදියටකට ඇළ දිහා බලන්න ඔන්න අවස්ථාව. අප දන්න අකුරු, අපි දන්න වචන හැබැයි හැඟිම් අකුරුවචන වලින් මනින්න බෑ. ඒක අකුරු, වචන වලින් වියුත්පන්න වෙච්චි දෙයක්. සමාර විට දැං හිතන්න බලන්න අපි යමක් දිහා හිතන්නේ වචන වලින්ද සංකේත වලින්ද කියන එක. ටිකක් පැටලිලි සහගතයි නේද? ඔව් ඒ උනත් තමන් දකින දේ අකුරු, වචන වලට පෙරලගන්න එක අමාරුවක් නැතිව කරන රුවන් බන්දුජීව වැනි කවියන් ගැන සමාජ මාධ්යයයෙන් එපිටදී මීට වඩා කතා වෙන්න ඕන. ඒ නිර්මාණාත්මක වේශය හදුනාගන්න ඕන. බත් පිඟානේ තියෙන තක්කාලි කෑල්ල කාලා බලන්න ඕන. මිරිස් කෑල්ල ගොටු කොළයත් එක්ක හැපෙන රස විදින්න ඕන. නැත්නම් අඩු ගානේ බත් ගුලියට පරිප්පු ඇටයක් දාගෙන බඩ පිරෙනකල් ගිලල පුටුවක් උඩ පත බැවිලා රාම තෙල් ඇර ඇර කාපු බතටම කුණුහරුපෙන් බැන බැන ඉන්න බඩ තඩියෙක් වගේ නොවී ඉන්ටෝනි.


Wednesday, September 5, 2018

බුකි බුක් චැලෙන්ජ් (Book challenge in FB)

බුකියෙ විටින් විට එක එක ජාතියේ රැළි එනවා. අපි නං කැමති ලීක් වෙන රැළි වලට තමා. ඒ උනාට ඒවා කළුනික වගේ. හරීම කලාතුරකින් තමා එන්නේ. ඒ අතරේ එක එක චැලෙන්ජ් එනවා අයිස් බකට්, අමුමිරිස් වගේ ඒවත්. හරිම සන්තෝසෙන් කියන්නේ මං ඔය කිසිම චැලෙන්ජ් එකකට සහභාගී උනේ නෑ.

මේ වතාවේ නං බේරෙන්න බැරි උනා. බිත්තිය බ්ලොග් එක ලියන උතුම් පැතුම් හේරත් විසින් දවස් හතක් තුල අනං මනං නොකියා පොත් හතක පිට කවර දාලා දවස් හතට කවුරු හරි හාදයෙක් ජාවාරමට නම් කරන්න කියල ගියපු බුකි බුක් චැලෙන්ජ් එකට පැතුම්ගේ තුන්වෙනි දවසේ වෙන්ටෝනෙ මාව නොමිනේට් උනේ. සාහිත්‍ය මාසෙත් එන එකේ අන්න වැඩේ කියල මං බෝම සන්තෝසෙන් ඒ අභියෝගය බාර අරගෙන දවස් හතට පොත් හතක් දැම්මා. ඒ පොත් හත පොඩි කාලේ ඉදල මේ දවස් වෙනකම් මගේ පරිනාමයට අනුකූල වන පරිදි පිළිවෙලට දාන්නත් මං උනන්දු උනා.

කියන්න කනගාටුයි ඔය ජාවාරමට නම් කරපු කීප දෙනෙක්ම සද්ද වහල හිටියා. උන්ට නං ඕක් ලීයක් අරන් තඩි බාන්නේ අපේ වසන්තම් ලී කෙලි පටන් ගත්ත දවසක.

දවස් හතේ නම් කරපු ගෝතයන් ගැන විස්තර මුලින්ම


මේ මිතුරන් හත් දෙනා අතරින් කුෂාන් සහ ඉන්දික කොඩිතුවක්කු තවම අභියෝගය බාරගෙන නැහැ. ගල්මල් අයියා (මුබාරක් ඩීන්), රාමදාස, සොඳුරු සිත කියන මිත්‍රෙයා් ටික කුඩා ප්‍රමාණයකින් අභියෝගය බාර ගත්තා. ඒ වගේම ප්‍රදීප් චන්දන සහ තරිඳු යන දෙන්න සම්පූර්ණයෙන්ම අභියෝගය බාර ගෙන ඇති බවත් දැක්කා. හැමෝටම ස්තුතියි.

ඒ චැලෙන්ජ් එකේ හැටියට කව්රු හරි නම් කරල පොතේ පිට කවරෙ පින්තුරයක් දාලා නිකා ඉන්න ඕන. ඉතිං මට හිතුනා ඔච්චර කියන්න දේවල් තියෙද්දි නිකං ඉන්නේ මක්කටද කියලා. අන්න ඒ නිසා මම තීරණය කරා මම දාපු පොත් හත ගැන පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාලා ඉන්න ඕන කියලා. ඔන්න පහලින් ඒ විස්තරේ ඇති. ඊටත් පහළින් ඔහේලට දික් කරපු බුලත් කොළයක් ඇති ඒකත් අරගෙන යන්ට හොදේ.

පළවෙනි දවස





මං පොතක් කියල මුලින්ම කියවපු පොත මේක. මම අතට ගන්න කොට පොතේ පිට කවරයක් තිබ්බෙත් නෑ. මුල සහ අග පිටු කිහිපයක් තිබුනෙත් නෑ. මං එතකොට පහේ පන්තියේ විතර ඇති. අපේ ගෙදර තිබුනා සොල්දරයක්. ඕකේ පුරාම දාලා තිබුනේ ගෙදර තිබුන පරණ බඩුයි අරවයි මේවයි තමා. කාලයත් එක්ක සොල්දරේ ලෑලි හෙමත් දිරල තිබ්බ නිසා අම්මා අපිට සොල්දරේට යන එක තහනං කරල තිබුනේ. ඒ උනාට ඔය කාලේ හම්බෙච්චි ප්ලේබෝයි පින්තූර කෑලි හංගන්න තැනක් නැති නිසා මංතෝරගත්තෙ සොල්දරේ. අන්න එහෙම ඒ පින්තූර තියන්න තැනක් හොයන කොට තම මේ වගේ පොත් ගොඩක් හම්බුනේ. ඒ පොත් අතරින් ඉස්සෙල්ලාම අතට ගත්තෙ මේ කවර නැති පොත. ඒක ඇතුලෙ අර පින්තුර ටික දාල පරිස්සමට අරන් තිබ්බා පස්සේ ඕන වෙලාවක බලන්න හිතාගෙන. කෝම හරි ටික දවසක් යන කොට අර පින්තූර ටික යාලුවෙකුට දෙන්න වෙලා පොත අතට අරගෙන බලන කොට තමා ඒකේ අකුරු කියවුනේ. ඉස්සෙල්ලම දැක්කේ “සැමෝවාරය“ කියන වචනේ වගෙයි මතක. මොන කුනුහබ්බයක්ද මේ කියල ඒ සැමෝවාරේ කියන වචනය හොයන්න තවත් පේලි දෙක තුතක් කියව්වට ඒක තේරුනේ නෑ. ඒපාර තව පිටු දෙක තුනක් එහා මෙහා කියවන්න ගත්තම තමා තේරුනේ මේ මොකක්ද කියල එක. අන්න ඒ පළමු පියවර නිසා මට ඒ පොත කියවන්න හිතුනා. ඔය කපිතාන්ගේ දියණියෝ කියන කතාව තමා මං කියවගෙන ගිහින් තිබුනේ. ඒකත් එක්කම ඉස්කෝප්ප රැජින කතාවත් තිබුනා. ඒ කතාවත් කියෙව්වා. සමාර වචන තේරුම යනකං දෙතුන් පාර කියවන්න උනා මේ පොත. ඒ පොත කියවල ඉවර උනාම මං බැලුවා ඒ පොත් ගොඩේ තවත් මේ වගේ පොත් තියේද කියල. අන්න එතකොට හමුඋනා ගොගොල්ගේ හිමකබාය සහ තවත් කතා පොතක්. මේ සේරම රුසියන් පොත් කියල දැනගත්තට ඒ වෙනකම්ම මං දැනං හිටියේ නැ රුසියන් සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලවත්. අපේ අම්මලයි පුංචි මාමා තමාලු ලුමුම්බා සරසවියේ හිටපු සිංහල ආචාර්යවරයා. අම්මල ඔය කතාව පුරාජේරුවට දහ දොලොස් වතාවක් කියල තිබුනට මං නං සතේකට විස්වාස කරේ නැ. ඒ උනාට මේ රුසියන් පොත් එයාගේ කියල අම්මා පස්සේ කිව්වා. ඔන්න ඔතනින් තමා මං කියවන්න පටන් ගත්තේ. ආරම්භය නරකම නෑ නේද?



දෙවැනි දිනය




ඔය විදියට පටන් ගත්ත රුසියානූන්මාදය සෑහෙන්න කාලයක් එක දිගට අල්ලල හිටියා. ගෙදර සොල්දරේන් හම්බු උන හොඳ පොත් වගේම බාගෙට ගැලවුනු, ඉරුණු, වේයෝ කාපු පොත් හෙමත් අමාරුවෙන් කියෙව්වා. ඔව්ව කියවගෙන ඉන්න කොට මගේ වයස නිකම්ම ගියා. එතකොට මං හතේ අටේ විතර ඇති. දැං ගෙදර කියවන්න පොත් නැති නිසා මං අපේ ගමේ පුස්තකාලේට යන්න ගත්තා. හැන්දෑවට පුස්තකාලේට ගියාම ආයි ඒක වහනකම්ම රුසියන් පොත් අරන් කියෙව්වා. පුස්තකාලේ මට මතක විදියට හොද රුසියන් පොත් එකතුවක් තිබුනා. ඒ කාලේ අපිට පොත් ආවේ රාදුගා පබ්ලිෂර්ස්ලගෙන්. රාදුගා කියන්නේ දේදුන්න කියල මං රුසියන් වලින් තේරුමත් හොයාගත්තා. ඔය පොත් බොහොමයක් පරිවර්තනය කරල තිබ්බේ දැදිගම වී. රොද්‍රිෙගා් මහත්තයා නේ. අන්න ඒ පොත් වල රුසියන් බසින් පොතෙ නම, කතුවරයගේ නම සහ පරිවර්තකයගේ නමත් සඳහන් කරල තියෙනවා. ඒ අකුරු දිහා බලාගෙන තටම තටම රුසියන් හෝඩිය, අකුරු හදන ආකාරය, වචනයක් කියවන විදිය වගේ දේවලුත් මං කරා. ඒකෙන් පොත් වල තියෙන මේ වචන කීපය අමාරුවෙන් හරි කියවන්න පුලුවන් උනා තේරුම නොදැන උන්නට. ඇත්තටම හරිම රසවත් අත්දැකීමක් මට ඒක. මං ඒ දවස් වල ලස්සනට තියාගෙන හිටිය පරණ ඩයරි වල රුසියන් අකුරෙන් සිංහල ලිව්වා. එව්වට කියන්නේ සිංරුසියන් වෙන්ටැති. ඔන්නොහොම රුසියන් පොත් කියවන් ඉද්දි මට ආයෙත් වයස ගියා. දැං මං දහයේ විතර ඇති. පුස්තකාලේ තිබ්බ සියලුම පොඩි රුසියන් පරිවර්තන පොත් මං කියවල ඉවරයි. සමහර ඒවා දෙතුන් පාරත් කියවල තිබුනා. ඒ අතරින් ඉතිරි උනේ ගෝනි පොත් කීපයක් විතරයි. තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, දොස්තයෙව්ස්කිගේ අපරාදය හා දඩුවම, නිවටයා, කරමසෝ සහෝදරයෝ වගේ හෙන දඩාර් සයිස් පොත්. ඔව්වා මේ පොඩි එකා වෙච්චි මට උහුලන්න පුලුවන් පොත් නොවෙයි කියල මං හිත හදාගත්තා. ඒත් පුස්තකාලේ කියවන්න තවත් රුසියන් පොතු නැති කොට, අලුතෙන් පොත් එන්නෙත් නෑ. ඒක නිසා මං හිතහදාගෙන පුස්තකාලේ සාමාජිකත්වය ගත්තා. එහෙම අරගෙන නමෝ විත්තියෙන් ගෙදර අරන් ගියේ අපරාදය හා දඩුවම පොත. ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල් පිටු තිහ හතළිහ කියවන කොට හිතුනා මොන කරුමක්කාර කමකට ගෙනාවද මේ පොත. ඇත්තටම මේ වගේ අපරාද පොතක් කියවන කොට ලැබෙන දඩුවම මේක තමා කියල හිත හිත තව ටික ටික කියෙව්වා. ඔන්න මැද හරියට යන කොට තමා ටික ටික තේරුනෙ මෙච්චර පිටු ගනන් එක දිගට විස්තර කරන්නේ රෝඩියෝ රෝමනෝවිවි රැස්කොල්නිකොව්ගේ චෛතසිකය කියන එක. ඒවයේ සිතුවිලි අකුරු වෙච්චි දිහා බැලුවම මට හිතුනා “යකෝ මාත් මේ වගේ හිතනවගේ මේ ෆකින් කතෘ කෝමද මේව්වා දන්නේ කියලා“. මේ උත්තේජනයත් එක්ක පොත සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඒ ඉවර කරල ටික දවසක් යනකම්ම හිත හොල්මන් වෙලා හිටි මම, විටින් විට මට ග්‍රහණය නොව්චිචි තැන් හොයාගෙන ආයි කියෙව්වා. ඒකෙන් මේකෙන් මට දැනෙන දේ වෙනස් වෙන්න සමහර විට දොස්තයෙව්ස්කි අදහස් කරන දේ මට තේරුම් යන්න ගත්තා. අන්න ඒකයි ටර්නිං පොයින්ට්. අපරාදය හා දඩුවම මට අල්ලල ගියා. ඔය පහුගිය කාලේ මං ලියපු කෙටි කතා වල එඩ්ගා ඇලන් පෝගේ ආභාෂයක් තියේය කියල අපේ නවාතැන් රාජ් එහෙම පස් කන්න හැදුවා. මොකද මං මේ වෙන කං ඇලන් පෝගේ පොතක් කියවල නෑ. අන්න එතැනදි අර පස් කාපු රාජ් කිව්වා හරි පෝගේ කතා කියවල නැති උනාට දොස්තයෙව්ස්කි කියවල තියේ නේ. දොස්තයෙව්ස්කිට පෝගේ ආභාෂය ලැබුන නිසා වක්‍රාකාරව මටත් පෝගේ ආභාෂය ලැබුණය කියල. මෙව්වා මහ පුදුම තර්ක හොදේ.. හැක්..

තුන්වෙනි දවස





මොකක් හරි හේතුවක් නිසා මට සුනිල් මාධවගේ ලියවිලි ප්‍රියයි. ඒ සමහර විට සත්‍යවාදියාගේ දිනපොත කොලම් එක නිසා වෙන්නත් පුලුවන්. මොකද මම නොවැරදීම කියවපු කොලමක් තමා ඒක. ඒ කොලමෙමද කොහේද තමා ස්ටීව් බිකෝ ගැන සඳහනක් තිබුනේ. මං එතකොට බිකෝ කව්ද කියලවත් දන්නෑ. හැබැයි සුනිල් මාධව බිකෝගේ කතාවක් “හඬනු මැන නිදහස“ කියල පරිවර්තනය කරල තියෙයි කියල දැනගන්න ලැබුනා. ඒ ආරංචිය ඔස්සේ මම පුස්තකාලයට ගිහිල්ලා මේ පොත හොයාගත්තා. මුල් කවරේ දැක්කම නං හරියට කාල් මාක්ස්ගේ පොතක් වගේ ඔක්කාරෙටත් ආවා. ඒ්ත් මගේ සිරිතක් තමා පොතේ පෙරවදනේ ඉදල තළු මර මර පොත කියවන එක. එ් කියවන කොට දැනුනා පොත හොද එකක් වෙයි කියල. මොකද වීරත්වය, පරාජිකත්වය, කාලකණ්ණී කම මේ හැම දෙයක්ම පොතේ ඇති කියල අනුමානෙන් තේරුනා. ස්ටිව් බිකෝ මොනා උනත් මට අල්ලල ගියේ ඩොනල්ඩ් වුඩ්ස්ගේ නිර්භීත කම. ඔහු නොවන්නට අද ස්ටීව් බිකෝ කෙනෙක් ගැන අපි දන්නෙත් නැ. එහෙන් බිකෝ කියන්නෙ නිකම්ම නිකම් සුදු අප්‍රිකානුවන් අතින් මිය ගිය කල්ලෙක් විතරයි. ඔය පොතේ බිකො එක්ක සාකච්ඡාවකදි සාමාජිකයො ්කියනනවා අපිට බලයක් ආපු දවසට අපිත් සුද්දන්ට හොදට සලකන්න ඕන කියලා. අන්න එතැනදි බිකෝ කියනවා “සහෝදර වරුනි, අපිට සලකපු විදියට සලකන්න අපිත් හදන්නේ ඒ සිස්ටම් එකම නම් මේ සිස්ටම් දෙකෙන් වඩාත් හොද මොකක්ද එහෙම සිස්ටම් එකක් මොකටද“ කියල. අන්න ඒ වචන ටික මට තාමත් හොදින් මතකයි. මේ පොත මම අඩු ගානේ හත් අට වතාවක් කියවන්න ඇති. බිකෝ මරපු කෘරත්වය පෙන්නුම් කරන පින්තූර පවා මේ පොතේ ඇතුලත් උනා. පුද්ගලයෙක් විදියට ප්‍රචණ්ඩත්වයට එහා ගියපු මිනිස්කම දකින්නේ කෝමද කියල මට පෙන්නුව මුල්ම පොත් වලින් එකක් මේක. ඒක නිසා මම මේ පොතට තාමත් කැමතියි.


හතර වෙනි දවස



මේ ප්‍රබුද්ධ කවි පොත මම සේකරගේ කවි වලට තියෙන ආසාව නිසාම හොයාගෙන කියවපු පොතක්. අපි ඉස්කෝලේ යන කාලේ හිතින් පෙම් කරල නොදැනීම සින්ගල් බූට් වැදුනම අමරදේව මාස්ටර් පිහිටට ආපු හැටි ලියපු Adios Master පෝස්ට් එකේ මේ ගැන කෙටි සටහනක් තියෙන නිසා ඒ පෝස්ට් එකේ විස්තරේ බලාගන්නත් එක්ක ඒකේ ලින්ක් එක මෙතැන දානවා. (කොටපියව් මේකට

සේකරගේ මට හිතුන විදියට හොදම කවි පොත ප්‍රබුද්ධ තමා.


පස් වෙනි දවස


ඔය විදියට පොත් කියවං ඉන්න මට හිතුනා මගේ ඇඟ ඇතුලෙත් දොස්තයෙව්ස්කි, ගොගොල්, තොල්ස්තොයි හැංගිල ඉන්නවයි කියලා. අන්න ඒ නිසා මාත් පටන් ගත්තා කවි ලියන්න, පොඩි කතා ලියන්න. එව්වා ලිව්වේ පිටු 80 කොටු රූල් පොත් වල. ඔය වගේ පොත් හත අටක්ම ඕ ලෙවල් කාලේ වෙන කොට මම ලියල තිබුනා. ඒව්ව බලල ස්වයං වින්දනයක් ලැබුවා විනා කිසිම පත්තරේකට ලියන්නවත් ඕන කමක් තිබුනේ නැහැ. හැබැයි ඒ කාලේ බ්ලොග් කියන එක තිබුනා නං අනිවා බ්ලොග් එකක් ලියාවි. ඔන්න ඔය නිර්මාණකරණය නිසා මටත් හිතුනා නිර්මාණ කරන්නේ කොහොමද මේව්වට අනුභූතින් ලැබෙන්නේ කොහෙන්ද චරිත මවාගන්නේ කෝමද කොලයක සටහන් කරන්නේ කෝමද කෙටි කතාවක සැලැස්ම හදාගන්නේ කෝමද වගේ අටෝරාසියක් ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒත් උත්තර හමුඋනේ නැ. ඒත් රන්රෝස කියන පොත මම ගත්තේ ඒකේ කතුවරයාට රුසියන් නමක් තිබ්බ නිසා විතරයි.  මුලින් මුලින් කියවන කොට එච්චර ආසාවක් නෑ. විකාර මාතෘකා තිබ්බේ ඕකේ පරිච්ඡේද වල. සොදුරු සිත ටීචර්ට පුලුවන් නං ඒ හෙඩිං වල නං ටික මට කියන්න.  කොහොම උනත් මෙන්න මේ පොතේ නිර්මාණකරණය කොහොම එකක්ද කියල සඳහන් වෙලා තිබුනා. (මේ පිට කවරේ මං කියවපු පිට කවරේ නෙමෙයි. ඒකේ තිබ්බේ රෝස මලක්ද කොහේද.. මම කියවපු එකේ තිබ්බේ නෑ “නිර්මාණ පිළිබඳ අත්පොතක්“ කියන කැල්ලත්. ) පව්ස්තවුස්කි කියන ලේඛකයා ලෝකය පුරාම අති විශාල ලේඛකයන් සමූහයක් ආශ්‍රය කරල තියෙනවා. තවත් බොහොමයක් ගැන කතා අහල තියෙනවා. අන්න ඒවා හරිම රසවත්. ගොගොල්, ෂොලහොව්, තෝල්ස්තොයි, මෝපසාන්, හාන්ස් ක්‍රිස්ටියන් වගේ විශාල ලේඛකයන් ප්‍රමාණයගේ සත්‍ය අත්දැකීම් මේ පොතේ තියෙනවා. ඒක නිසා මට මේ පොත වෙනම ලෝකයක් උනා. ඇත්තටම රන්රෝස් නිර්මාණකරණයට අත්පොතක් තමා. රණවීර මහත්තයා පස්සේ ඌණපූරණයක් ඇතුලත් කරන්න ඇත්තෙත් ඒ නිසා වෙන්ට ඇති. මේ පොත තරං මං කියවපු පොතක් තවත් නෑ. හාන්ස්ගෙ ඇස් පෙනීම ගැන, ඔහුගේ සංවේදි කම ගැන, සමහර ලේඛකයන් ලියන්න ගන්න කොලය ගැන අරව මේවා ගැන තිබ්බ කතා සේරම හරිම රසවත්. චිංගීස් අයිත්මාතව් පොතක් ලියන්න අනුභුතිය හොයාගත්ත අපූරු කතාවකුත් මට මතකයි. කරුමෙට ඒ පොතේ නම තමා මට මතක නැත්තේ. ඇත්තටම රසවත් පොතක්. ි නිර්මාණ කරන අයෙකුට මං නොපැකිළව නිර්දේශ කරන පොතක් තමා රන් රෝස. ආරිංවංශ රණවීර මහත්මයාගේ පරිවර්තනයන් ඉස්තරම්.


හය වෙනි දවස


ඔය විදියට පොත් කියවපු මං බ්ලොග් එක පටන් අරගෙන බුකියට ගිහිල්ලා රඟන්න ගත්තට පස්සේ හැදුනා පිස්සුවක්. සයිබරේ ලියන්නන් පල කරපු පොත් මිලදී ගන්න එක. දිනිති, තනුජා, පුසාද්, ටිම්රාන්, අරුණි කළුපහන වගේ සෑහෙන දෙනෙකුගේ පොත් මං ගත්තා. ඒ අතරේ ලැබුණ නිර්දේශයක් නිසා තමා රුවන් බන්දුජීවගේ මීළග මීවිත ගත්තේ. ඒකේ පෙරවදන ඉදලම අමුතුයි. මං අතරින් පතර කියෙව්වා. පුදුමයි. මුල ඉදල කියෙව්වා. පුදුමයි. හිත හිත කියෙව්වා. හරිම පුදුමයි. මං රුවන්ගේ කවි වල වැඩි පුරම දැක්කේ ස්වභාව ධර්මයේ නිමැවුම් අපූරු අයුරකින් දකින හැටි. ඒක ඇත්තටම පුදුමයි. මේ කාලේ කවියොන්ට ඔව්වා අහු වෙන්නැ. බතල වැල්, නියඟලා අල, තණකොල මල් ගැන රුවන් ලියපු කවි ඇත්තටම පුදුමයි. ඒ වගේ ස්වභාව ධර්මය දිහා බලල කතා ලියපු කෙනෙක් තමා හාන්ස් ක්‍රිස්ටියන්. ඒ සුරංගනා කතා වල හාන්ස් ලියන්නෙ පරිසරයේ ඔහු දකින දේවල් ලස්සන කෝණයකින් බලල. පුංචි ඩේසියා මල වගේ කතා වලින් ඒක හොදටම පැහැදිලි වෙනවා. අපේ කාලෙ හාන්ස් රුවන් තමා. ඒ කිව්වේ සුරංගනා කතා කියනවා කියන එක නෙමෙයි. ස්වභාව ධර්මය දිහා විශ්මයජනක කෝණයකින් බලන රුවන්ගේ ඇස මට නං තාමත් පුදුමයක්. මං තාමත් සතියකට සැරයක් රුවන්ගේ පොත කියවනවා. මට ඒ වෙලාවට පපුව පිම්බිල රුවන්ගේ හිත ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ. ස්වභාවධර්මයේ ක්‍රියාවන් සම්බන්ධව ඒ දැක්ම කවි වලට අපුර්වත්වයෙන් එක් කළ හැකි මැත කාලින කවියෙක් නම් මට මතක් වෙන්නේ නෑ. හරිම මිහිරි පොතක්.



හත් වෙනි දවස



හාන්ස්ගේ කතා අපි පුංචි කාලෙත් කියවල තියෙනවා. ඒත් බ්ලොග් එක කරන්න ගත්තට පස්සෙ මට ආසාවක් ඇති උනා හාන්ස්ගේ මට දැනිච්චි කතා පරිවර්තනය කරන්න. ඇත්තටම කිව්වොත් අනුවර්තන. ඒක නිසා මං මෑත කාලීනව එක කතාව හත් අට වතාව බැලුවේ මේ පොතේ තියෙන කතා. සමහර කතා වල යටින් දුවන දේශපාලනය, හාස්‍යය අල්ලගන්න ටිකක් අමාරු වෙනවා. සුංරගනා කතා අස්සේ හෙමින් සීරුවේ සමාජයට හිනාවෙන්නෙ කෝමද කියන එක හාන්ස් කියල දිපු නිසා මං හාන්ස්ගේ කතා වලට කැමතියි. ඒක නිසාම තමා හාන්ස්ගේ කතා දොළහක් විතර පරිවර්තනය කෙර්.

හරි එහෙනං මගේ ජිවිතේ ආස කරපු පොත් හතක් ගැන කරපු විචාරේ අවසානයි.

අවසාන වශයෙන් බුකි බුක් චැලෙන්ජ් එක කරපු පැතුම් හේරත්ට ඒ වගේම මං චැලෙන්ජ් කරපු හත් දෙනාටයි ඇතුලුව හැමෝටම ආරාදනා කරනවා මේ සාහිත්‍ය මාසෙ තමන්ගේ හිත ගත් පොත් ගැන අටුවාටීකා ලියල පෝස්ට් එකක් දාන්න කියලා. සාහිත්‍ය මාසේ සරු කරන්න බ්ලොග් ආයි කියවන්න අපි පුරුදු වෙමු. ඒක පට්ටයි හොදේ.

Thursday, July 12, 2018

ටෙස්ලා, මස්ක් හා ස්පේස්එක්ස් (Journey of Roadster)

මගේ රත්තරං යාලුවෝ හැමෝට මතක ඇති නේද අර තායිලන්තේ ළමයි බේරගන්න කියල පැය අටෙන් පොඩි පොඩ් එකක් හදාලා ඒකත් අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන්නැහේ. සොරි ඉලොන් මස්ක් උන්නැහේ.


එයාගේ ස්පේස්එක්ස් කියන සමාගම 2018 පෙබරවාරි මාසේ 05 වැනිදා Falcon heavy කියන තඩාර් සයිස් රොකට් එකෙන්, එතෙක් මෙතක් කාලෙකට කව්රුවත් නොකරපු දෙයක් කරා .ඒ තමා එයාටම අයිති ටෙස්ලා කාර් කම්පැනියේ හදපු එයාගෙම Tesla Roaster ඉලෙක්ට්‍රික් කාර් එක රොකට් එකේ පටවල අභ්‍යවකාශෙට යැව්වා අපි ඉන්නකං උඹත් කැරකි කැරකි ඉදහං කියල. කෝම හරි පොඩ්ඩක් ඉස්මිස් වෙලා මේ කාර් එක අභ්‍යවකාශේ එයාට ඕන තැනට නොගියට මේ කාර් එක මාර වේගෙකින් අභයවකාශේ මේ දැනුත් ගමන් කරමින් ඉන්නවා. පැටෝල් ඩිංගක් නැතිව, බැට්රියේ ජූස් ඩිංගක් වත් නැතිව පැයට කිලෝ මීටර් විසි තිස් දාහක වේගෙන් යන කාර් එකක් තියේනං ඉතිං මේ රෝ්ඩ්ස්ටර් එකම විතරයි ෆෙන්.


ෆැල්කන් හෙවි අභ්‍යවකාශ ගත කිරිම


 රොකට්ටුවේ තැබු ටෙස්ලාව

 පෘථිවියෙන් ඉවතට යන ටෙස්ලාව

ඔය කාර් එක යන වේගය, දුර ට්‍රැක් කරන්න හාදයෙක් පොඩි සයිට් කෑල්ලක් අටවන් ඉන්නවා. මං නිකමට වගේ මාසෙකට සැරයක් ඕක ගිහිල්ල බලල එනවා. හැබැයි් මේ සියළු ගණනය කිරීම් කරන්නෙ කාරය අභ්‍යවකාශයට මුදා හැරිය මොහොතේ සිට චලනය වන වේගය හා කක්ෂය අනුවයි. සමාර විද්‍යාඥයින් නං කිව්වේ “මොන විකාරයක්ද? සුර්යාගේ පාරජම්බුල කිරණ වලට අහුඋනාම අභ්‍යාවකාශ ග්‍රාහක වලට අහු උනාම ඔය කාර් එකේ මයිලක් වත් මාසයක් යන කොට හොයන්න බැරි වෙයි“ කියලයි. අපිට එව්ව වගේ පණ්ඩිත කතා ඕන නෑ. අපි උපකල්පනය කරමු කාර් එක බබා වගේ යනවා කියල ස්ටාර්මෑන් එක්කම. ආ අමතක උනා කියන්න ඒ කාර් එකේ ස්පේස්එකස් සමාගම විසින් නිෂ්පාදිත අභයවකාශ ඇදුමක් අන්දවපු ඩමියක් වාඩි කරල තියෙනවා ඩ්‍රයිවින් සීට් එකේ. මිනිහගේ නම තමා ස්ටාර්මෑන්.

එතකොට දැං මේ වෙද්දි කාර් එක අභ්‍යවකාශයට මුදා හැරල මාස පහයි දවස් පහක් වෙනවා. අන්න ඒ වෙනකොට කාර් එක ගොහිල්ලා ඇතෙයි කියල හිතන දුර බලාගන්න ඕන නං යන්ඩ මෙතැනට.

Tuesday, July 3, 2018

හෙළ කිවියර කුස්පල් දඬුහින්න! (Poetry in helabasa)

බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා
ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා
ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා
අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා


කවියක් දෙකක් ලිව්වට අපි ඇමෙචර්ය
ගුණ නැණ වඩන කවි කෝමත් රසවත්ය
නුහුගුණ ඉවත ලෑමත් කවියට හැකිය
නැනවත් තොමෝ ඒ ගැන හරි විමසිලිය


රටේ තොටේ කිසි කලෙ නැත පිබිදීමක්
අඩියෙන් අඩිය අපි යන්නේ වලැ පල්ලේ
වනචාරි වැඩ ඕසේට හෙළ දේසේ
ගූ ගොඩ වට කරගෙනයි අපි දැං බත් කන්නේ


කුස්පල් නැමැති කවිකරුවා දඬුහින්නේ
බුකියේ ගොතනවා කවි පද වැල් හෙළ‘සේ
කිති කවනවා සිස්ටම් එක යන වාලේ
කියවා බලා රස විඳපන් හෙළු රෑනේ



Tuesday, June 12, 2018

අඟහරු වල ගඩොල්!! (Building Blocks of Life)

අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක් වගේම ජාතිමාමක යුධ විශ්ලේෂක වරයෙක් වන අතිගරු කීර්ති වර්ණකුලසූරිය මැතිතුමා නං නාසා එකටවත් හොයාගන්න බැරි වෙච්චි ජීවය පිළිබඳ සාක්ෂි හොයාගෙන. ලංකාවට ඉමහත් ගෞරවරයක් මේ සොයා ගැනීම. නාසා එක කියන්නේ පිස්සු වලාමක්. ඒ හාදයෝ කියුරෝසිටි කියල රෝවර් හදල ඩොලර් බිලියන ගනං වැය කරල රොකට් හදලා ඒවා අඟහරුට යවලා පින්තූර කෝටි ගානක් අරගෙනත් වැදගත් තොරතුරක් හොයාගන්න බැරි වෙච්චි නාසා එක ගැන කුමන කතාද? ඒ මදිවට ගිය මාසේ තවත් රෝවර් එකක් යැව්වා නාසා එක. මට ඒකේ නම මතක නැති උනත් ඒක මාස හයකින් අඟහරු මත ගොඩ බැහැල පස් පරීක්ෂා කරනවලු. පිස්සු යක්කු. ඔව්වා කරන්න බැරි නං දීපං යකෝ කීර්ති වර්ණකුලසූරියට. තොපිට බැරි ඔක්කෝම එයා හොයල දේවි.

පහුගිය සතියේ දිවයින පත්තරෙන් තමා මේ විශ්මිත හොයගැනීම ගැන අතිගරු කීර්ති ලොක්කා අනාවරණය කරල තිබ්බේ. මේ පුවතින් සලිත වෙලා ගියපු ලෝකයට කිම් -ට්‍රම්ප් හමුව ගැනවත් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ. කියුරෝසිටියටවත් ගන්න බැරි පින්තූරයක් එක්ක කීර්ති ලොක්කා තමන්ගේ සොයාගැනීම පත්තරේට දැම්මා.

මීට කලිනුත් කීර්ති ලොක්කා පත්තරෙන් විශ්මිත සොයාගැනීම් වගයක් ඉදිරිපත් කරා යුද්ධ සම්බන්ධව. මේ වගේ අති විශිෂ්ඨ පුවත්පත් කලාවේදීන් ලංකාවේ ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන.




මේ ආටිකල් එක බලල බීබීසී එකත් වැරදියට පරිවර්තනය කරල දාලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.


Nasa: Building blocks of life on Mars found

Nasa says organic matter found at the bottom of a crater on the Red Planet suggests there might have been life there once. Samples of the matter were analysed by a team of scientists, including Prof Sanjeev Gupta from Imperial College London. He told Today how significant the discovery is.
  • 08 Jun 2018



ඔය බීබීසි කාරයෝ Building Blocks of Life කියන ඒවා ගඩොල් නෙමෙයි. මම බීබීසි එකටත් මේල් එකක් දැම්මා වහාම කීර්ති මැතිතුමාගේ පත්තර ආටිකල් එක හරියට කියවල වැරැද්ද හරි ගස්සන්න කියලා.


කීර්ති වර්ණකුලසූරිය සුධීමතාන්ට ජය වේවා!!

Wednesday, June 6, 2018

පිං ලීක් වීම!

පහුගිය දවස් වල තමන්ගේ පාඩුවේ බොහොම රහසිගතව සමාජ සේවය කරමින් උන්න දෙන්නෙක්ගේ කල්කිරියාව සමාජ මාධ්‍ය වලට අහු උනා. පේනවා නේ සමාජ ජාල වලට හොර බොරු කරන්න කොහෙත්ම බෑ. හොරෙන් හොද වැඩක් කරත් බේරෙන්න බෑ. ඉතිං මේ සමාජ සේවකයන් දෙන්නට වෙච්චි අසාධාරණේ නිසා මම තීරණය කලා ඒ වගේ රහසිගතව තම සමාජ සේවා කටයුතු කරන අයගේ අනාගතය සුරක්ෂිත කරන්න යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැත්නං කාටවත් කරදරයක් නැතිව තමන් ධාර්මිකව හොයාගත්ත මුදලින් දුප්පත් මිනිස්සුන්ට, පන්සල් වලට උපකාර කරන අයව සමාජ ජාල වල සීඅයිඩී ශාඛාවට අහු වෙන්න පුලුවන්. මෙන්න මේ පහත තියෙන කරුණු අනුගමනය කර තමන් හා තමන්ගේ පිං අතේ වැඩ සමාජ මාධයයට නිරාවරණය වීම වළක්වා ගන්න.

අංක 01

කිසිම විටෙක ඡායාරූප ශිල්පීන් රැගෙන නොයන්න. මොකද මේ අය සල්ලි වලට සමාජ මාධ්‍ය වලට පින්තූර විකුණන බැවිනි. එවිට ඔබ විසින් රහසිගතව සිදු කරන ලද කාර්යය කුමන මොහොතක හෝ නිරාවරණය විය හැක.

අංක 02

කිසිම විටෙක තමන් විසින් කරනු ලබන කාර්යයට අදාළව තමන්ගේ කැමරාවෙන් ජංගමයෙන් ඡායාරූප නොගන්න. ඔබ නොදැනුවත්වම ඒවා බ්ලූටූත් හරහා සමාජ මාධ්‍ය පරික්ෂකයන්ට යොමු වීමට හැකිය. එමෙන්ම කැමරා, දුරකතන අලුත්වැඩියා ස්ථාන වලද එවැනි සෝ කෝල්ට් සමාජ මාධ්‍ය පරීක්ෂකයන් සිටිය හැකි බැවින් ඔවුන් එවැනි ඡායාරූප, වීඩියෝ සමාජ ජාලා වලට යොමු කරනු ඇත. එම නිසා තමන් පරීක්ෂාකාරී වීම වැදගත්ය. අලුත්වැඩියාවට බාර දෙන විට එහි මෙමරි චිපය ගලවා සුරක්ෂිතව තමා සතු සේප්පුවක බහාලන්න. නිවසේ තම කාමරයේ තිබුනද ඒවාට ළගා වීම මෙවැනි පරීක්ෂකයන්ට අපහසු දෙයක් නොවේ.

අංක 03

කිසිම යහළුවෙකුට, නෑයෙකුට පාරේදි මුණ ගැහෙන අයකුට ඔබගේ පිං අතේ වැඩ කටයුතු ගැන නොපවසන්න. මක් නිසාද යත් උප්පත්තියෙන්ම අනුන්ගේ දේවල් අවුස්සා බැලීමේ පුරුද්ද ඇති මොවුන් ඔබ ගැන විමසිලිමත්ව ඔබ කොහේ ගියද ඔබ පසු පසින් ගොස් ඔබ නොදැනුවත්වම ඔබ කරන පිං අතේ වැඩ වල පින්තූර, වීඩියෝ පැපරාසීන් මෙන් ගෙන පසුව මුදලට ඒවා සමාජ ජාල වලට විකිණිය හැක. මෙය අතිශයින්ම භයානකය. ඔබ යම් නිවසකට උපකාර කිරීමට යන විට ඔබ කාර් රථයෙන් බසින මොහොතේ පටන් සියලු දේ කැමරාවට හසු කර ගැනීමට ඔවුන් සමත්ය. ඒවා ඔබට කිසි ලෙසකින්වත් පෙනෙන්නේ නැත. මේ නිසා ඔබ විසින් රහසිගතව සිදු කරන පිං අතේ වැඩ නිකම්ම ලීක් වීමට ඉඩ ඇත.

අංක 04

පසුගිය දිනෙක ගොසිප් සයිට් වලට ලීක් වූ වෛද්‍යවරයාගේ පිං අතේ වැඩ වලට අදාළ පින්තුර පරික්ෂා කිරීමේදි නිරීක්ෂණය වූයේ ඒවා ඔහු විසින්ම ලබා ගත් පින්තුර වුවත් කිසිවෙකු විසින් ඒවා සොරෙන් ලබා ගෙන ඊට සරිලන ලෙස කතාවක්ද ගොතා ගොසිප් සයිට් එක වෙත ලබා දී ඇති බවය. මේ නිසා එවැනි ප්‍රසිද්ධියක් ලැබී ඇති විට වහාම අදාළ සයිට් ඇඩ්මින්ලා හට කතා කොට එම පෝස්ට් ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුය. නැතිනම් මේවා ෂෙයාර් වෙමින් ලයික් වෙමින් රට අතේ යන අතර එයින් ඔබගේ කාර්යයන් රහසිගතව සිදු කර ගැනීමට නොහැකි වේ.

හොරෙන් කරපු හොද වැඩ ලීක් වීම නිසා දුකට පත් සියළු සමාජ සේවකයන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි.

This is only fun facts and not discouraging such great ppl whatsoever.




විශේෂ කාරණාවක්!

ඔබගේ බ්ලොගයට ආදා ඇති ඊමේලයට කමෙන්ට් ආ විට නොටිෆිකේෂන් එනවාද? මට එන්නැතෝ

Thursday, May 10, 2018

බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)

සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.


 එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ සුප්‍රිම්සැට් කියන කම්පැනියක් ලංකාවටම කියල චන්ද්‍රිකාවක් ගුවන් ගත කරාය ඒක රෝහිත කියල නම් කරාය කියලා. හැක් හැක්. ඔය චන්ද්‍රිකාව යවන වෙලාවේ අපි සිංදු හිටං හැදුවා මතක නෙ.

කොහොම උනත් ලංකාවේ නමින් තිබෙන චන්ද්‍රිකාව අයිති වන්නේ පුද්ගලික සමාගමකට. මනිවාදන් කියන ව්‍යාපාරිකයා හට අයිති SupremeSat කියන කම්පැනිය විසින් චීනය කක්ෂගත කරන ලද ChinaSat-1 කියන චන්ද්‍රිකාවේ බහුතර බලය .. නෑ නෑ.ඒ චන්ද්‍රිකාවේ බහුතර සන්නිවේදන පහසුකම් මිලදී ගත්ත නිසා ඒ සැටලයිට් එක සුප්‍රිම්සැට් -1 කියල නම් කරාය කියල තමා කියන්නේ. අපි ඔව්ව ගැන එච්චර කතා කරන එක තේරුමක් නෑ මොකද රජය මුදල් යොදවල කරපු ක්‍රියාන්විතයක් නොවෙන හින්දා. කෝම හරි කමක් නෑ අපිටත් චන්ද්‍රිකාවක් තියෙනවා හරිය.

බංගලිදේශයේ TRC එක විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් මඟින් ඩොලර් මිලියන 250 ක් විතර වියදම් කරලා ලෝකේ නම ගිය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන Theles Alania සමාගම වෙතින් මෙම චන්ද්‍රිකාව මිලදී අරගෙන ටෙස්ලා කාර් කම්පැනියේ අයිතිකාර ගරු ඉලොන් මස්ක් මහත්තයා හට අයිති SpaceX කම්පැනියේ Falcon 9 රොකට්ටුවකින් තමා මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කරන්නේ.


ටොන් තුනහමාරක් විතර බර මෙම චන්ද්‍රිකාව පෘථිවියේ ඉදල කිලෝමීටර් 32000 ක් විතර දුරින් පිහිටන ස්ථාවර කක්ෂයක රදවනු ලබන අතර කෙලින්ම පෘථිවි තලයේ බංගලාදේශයට ඉහලින් රදවන නිසා චන්ද්‍රිකාවේ චලනය පෘථිව භ්‍රමණ වේගයට සමානව ගමන් කිරීමෙන් මුළු කාලය පුරාම බංගලිදේශයට ඉහලින් පිහිටුවීමට කටයුතු කරනවා. ඒක නිසා කිසිදු බාධාවකින් තොරව පැය විසි හතරෙම සන්නිවේදන පහසුකම් සපයන්නට හැකි වෙනවා. ඔය කක්ෂයට කියන්නේ geostationary Transfer Orbit කියලා.

හප්පා කියන්න අමතක උනා නේ මේ චන්ද්‍රිකාවේ නම බංගබන්දු -1. බංගබන්දු කියන්නේ බංගලිදේශය ස්ථාපිත කිරීමට මූලික වෙච්චි ෂෙයික් මුජිබර් රහමන් මැතිතුමාගේ සුරතල් නාමය. (බංගලියන්ගේ මිතුරා කියන එක තමා බංගබන්දු කියන්නේ) බංගබන්දු මුස්පිකර් රහිම් හැක්

ඉතිං මේ චන්ද්‍රිකාව යවන රොකට්ටුවත් විශේෂිත එකක්. ස්පේස්එක්ස් ආයතනය මේ අවුරුද්දේ යවන අටවැනි රොක්ට් එක තමා මේක. අද යවන රොකට්ටුවේ මූලික කොටස (බූස්ටරය) නව මාදිලියක ප්‍රථම රොකට්ටුව. ඔය කිව්ව බූස්ටරේ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිසි වේගයකින් තල්ලු කරාට පස්සේ නිකම්ම වැටිල චුත වෙලා නොයා ආයි මූද මැද්දෑවට බාගන්න තමා මස්ක් උන්නැහේ වෙහෙස මහන්සි ගන්නේ. මේ වෙනකොට ඔය රොකට් ආපහු බාන එක සම්බන්ධව ස්පේස් එක්ස් කම්පැනියට හොද පලපුරුද්දක් තියෙනවා. මේ පෙබරවාරි වලදි යවපු තඩි රොකට් එකක් බූස්ටර් දෙකක් එකම තැනකට බාන්න පුලුවං වෙච්චි විත්තිය දන්නවා ඇති නේ. 


ඉතිං චන්ද්‍රිකාවක් හිමි 57 වන රට බවට පත් වන බංගලාදේශයට අපි සුභ පතමු.

මෙන්න රොකට් දෙක බාන හැටි.


පලි - රොකට්ටුව යවන හැටි ලයිව් බලන්න කැමති අය ඩේටා කපාගන්නත් කැමති නං මේ ලින්ක් එකේ තියෙන ලයිව්ස්ට්‍රිම් එකට රිමයින්ඩර් එකක් දාගන්න. (මෙන්න ලින්කුව (තදට ඔබන්න)) හැක්

Update - රොකට්ටුවේ ස්වයංක්‍රීය පද්ධතියේ අවුලක් නිසා බන්දුව උඩ යවන්න බැරි වෙලා. ලංකා වෙලාවෙන් 12 පාන්දර යවන්නයි දැං ලැහැස්තිය.

Monday, March 5, 2018

වේගය මක්කටද? Speed matters

ඔහේල කොහේ හරි ගමනක් කල්ලි ගැහිල යන කොට වේගෙන් යන අය අල්ලන්න හති හලාගෙන දුවල තියේ නේද? නෑ කියන්න එපා මොකද මාත් කඳු නගින්න ගියපු වෙලාවන් වල සුපර්මෑන්ල වගේ වේගෙන් යන අය අල්ලන්න කැස්බ වගේ හති හලාගෙන දුවල තියෙනවා. ඇත්තටම මේ ජීවිතේ හැමදේම වගේ තීරණය වෙන්නේ වේගය මතද? ඉගෙනගන්න ඉස්කෝලෙ ගියත් වේගෙන් ඉගෙනගන්න එකාට හැමෝම කැමතියි. වේගෙන් ලියන එකාට හෙනට වෙලාව ඉතුරුයි. වේගෙන් කන එකාට අනිත් එකාගේ බත් එකෙනුත් කටවල් තුන හතරක් ගිලගන්න පුළුවන්. වේගෙන් ගියොත් කලින් බස්එක අල්ලගත්ත එකා දිනුම්. තරගෙට දිව්වත් හයියෙන්ම දුවපු බෝල්ටයියා දිනුං වාර්තා බර ගානක් කුඩුකරගෙනම. හැබෑට හෙමින් යන උන් පරාදද එතකොට. හෙහ් හෙහ්. එහෙමත් නෑ අපේ ඉබි අයියා හාවා පරද්දලා හාවාගේ රෙදි ගලවල දැම්මෙ.. මතකනේ. කාර් ෆිල්ම් එකේ ටර්බො ගොළුබෙල්ලා අනිත් අය පස්සට දාලා රේස් එක දිනුවේ. තේරෙනවනෙ කෝම කරත් දිනන්නෙ හයියෙන් යන එකාම තමා.

ලෝකෙ තියෙන ස්පෝට්ස් කාර් වලින් වැඩිම වේගය වාර්තා කරල තිබුනෙ පැයට කිලෝමීටර් 479 ක වගේ වේගයක්. එතකොට චීනගෙ බුලට් ට්‍රේන් එක පැයට තුන්සිය පනහක විතර වේගෙන් යන්නෙ. ඒ මදිව⁣ට කොන්කෝර්ඩ් ජෙටි එක ශබිදයේ වේගය ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1200 ඉක්මවලා පියාඹල යනවා.

ඔය විදියට බැලුවම වේගෙන්ම යන ඒවා සේරම බලන්න වෙනවා. වේගෙන්ම යන බයික් එක ඩොජ් ටොමාහෝක්. තාමත් බයික් නමයයිලු වික්කෙ. වේගෙනං පැයට කිලෝමීටර් හයසිය හැත්තෑ පහක් විතර. හුහ්. පාරෙ යනකොට වහල තියෙන දොරවල් ඉබේ ඇරෙන සයිස්. වේගෙන්ම යන නැව නොට් 58 ක්  නැත්නං පැ.කි.මී. 100 ඉක්මවලා යනකොට වේගෙන්ම යන ජෙට්, ශබිදයේ වේගය වගේ දෙගුණයක් ඉක්මවල යනවා. එතකොට සත්තු.. ඔව් චීටා පැයට සීයක විතර වේගෙන් යනකොට මෙක්සිකෝවේ සතෙක් ඊටත් ටිකක් වේගෙන් දුවල රෙකෝඩ් එක තියනවා.

බලං ගියාම වේගය කියන එක බිංදුවේ ඉදල කොච්චර දුරට ඇදෙනව ඇත්ද? අපි මේ ලෝකෙ රහක් නැතිව වේගෙන් දුවන්න ලැහැස්ති වෙද්දි අපි කකුල් තියං ඉන්න පෘථිවිය තමන්ගේ වටේ කැරකෙන්නට එහෙම නැත්නං භ්‍රමණය වෙන්නෙ පැයට කිලෝමීටර් 1600 ක විතර වේගෙන්. ඒත් අපිට දැනෙන්නෙවත් නැහැ නෙව. ඒ මදිවට පෘථිවිය සූර්යයා වටේ පැදකුණු කරන වේගය එහෙම නැත්නං පරිභ්‍රමණ වේගය කොච්චර ඇත්ද. ඔව් එ්ක පැයට කිලෝමීටර් 110,000 ක විතර වේගෙන්. හුහ්. සෙල්ලලංද. අපි දන්නවා නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන. ඉරයි අපියි තව හත් දෙනෙකුයි එකතු වෙලා සමාදානෙං යන ගමනක් මේක. අපේ ලොක්කා වෙන සූර්යයා තමන්ගේ වටේ කැරකෙන්නෙ පැයට කිලෝමීටර් 7190 ක්. එතකොට ඉරයි අපියි චක්‍රාවාටයෙ පරිභ්‍රමණය වෙන වේගය පැයට කිලෝමීටර් 720,000 ක් විතර. කජු ඇ⁣ටද කොස් ඇටද? කව්ද හැබෑට මෙච්චර වේගෙන් යන්නෙ. මක්කට යනවද? මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ. අපි ඉන්න මන්දාකිණිය ඊටත් වේගෙන් යනවා. එතකොට එක එක මන්දාකිණි එකිනෙකට නෙදෙවෙනි අසාමාන්‍ය වේගයන් ගෙන් ගමන් කරනවා. දැනට අපට දැකිය හැකි මන්දාකිණි ප්‍රමාණය බිලියන ගානක් වෙද්දි මේ සියලු මන්දාකිණි වල තාරුකා, ග්‍රහලෝක එකිනෙකට සාපේක්ෂව අති විශාල වේගයන් ගෙන් ගමන් කරනවා. එහෙම බලන කොට මෙව්වට යන්න තැනක් තියෙන්න එපායැ. ඒ කියන්නෙ මුලු විශ්වයම තත්පරයක් ගානෙ ප්‍රසාරණය වෙනවා. ගණන් බලා ඇති විදියට විශ්වයේ ප්‍රසාරණය තත්පරය කිලෝමීටර් 67 ක් විතර. ඉතිං මේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ විශ්වය කොච්චර ලොකු වෙලා ඇද්ද නේද?

මේක පුදුම වැඩක් තමා. හැම තැනම එකිනෙකා පරද්දන වේගෙ. අපි ඔය අභ්‍යාවකාශයේ වෙන සන්තෑනි බලන්න එක එක රොකට් පෘථිවිය පන්නල එළියට යවන්නෙ. රොකට් එකක් උඩ යැව්වට ඒක පෘථිවිය දාලා යන්න බෑම කියල නාහෙන් අඩනවා. ඒ මොකද පෘථිවියේ වායුගෝලය මෙව්වට යන්න බැරි වෙන්න අසාමාන්‍ය ප්‍රතිරෝධයක් දක්වනවා. ඔය වායුගෝල කරදරේ මැඩගෙන පැනගෙන යන්න නං රොකට් එකක් අඩුම ගානෙ පැයට කිලෝමීටර් 28000 ක වත් වේගෙන් යන්න ඕන. අන්න එහෙම උනොත් වායුගෝල ප්‍රතිරෝධයට පිටුපාල පෘථිවියෙන් එළියට යන්න ඇහැකි. මේ ළගදි එලෝන් මස්ක් තමන්ගේ  රොකට් එකකින් කාර් එකක් අභ්‍යාවකාශයට යවපු සිද්ධිය රන්සිරිමල් මලයා ලියල තිබුනා. ඊට පස්සෙත් ස්පේස්එක්ස් (මස්ක්ගේ ⁣රොකට් කම්පැණිය) චන්ද්‍රිකා තුනක් ගුවන් ගත කරා. ඊට පස්සෙ ගිය සතියෙ ඇට්ලස් කියල යෝදයෙක්. නෙමෙයි රොකට් එකක් තවත් සැටලයිට් එකක් යැව්වා කැරකි කැරකි හිටපිය  කියල. මේ වෙනකොට පෘථිවි කක්ෂය මත චන්ද්‍රිකා හත්දාහක් විතර භ්‍රමණය වෙනව කියල ගණන් හදල තියෙන්නෙ. හැබැයි දන්නවද වැඩේ ඔය චන්ද්‍රිකා වලින් සීයෙට තිස් පහක් විතර තමා ඇහැ දාගෙන ඉන්නෙ. අනිත් උන් නිදි. මෙව්වර කිව්ව එකේ චන්ද්‍රිකාවක් පෘථිවිය වටේ කරකෙන වේගය නොකිව්වොත් හරි නෑනෙ.  සාමාන්‍යයෙන් පෘථිවි පහල කක්ෂයක භ්‍රමණය වන චන්ද්‍රිකාවක් තමන්ගෙ වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 28000 ක විතර තියාගන්න ඕන ආයිත් පොළවට කඩා නොවැටෙන්න නං. මේ වේගය පෘථිවියෙන් තවත් ඉහලට යද්දී අඩු වෙනවා. අභ්‍යාවකාශයේ ස්ථානගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ,ISS එක පොළව වටේ භ්‍රමණය වන වේගය පැයට කිලෝමීටර් 28000 ට ආසන්නයි. කලින් කිව්ව පෘථිවි වායුගෝලය පරදවල අභ්‍යාවකාශයට  රෙ ාකට්ටුව විදින වේගයට ආසන්න වෙනවා නැවත පෙ ාළවට කඩා නෙ ාවැටී ඉන්න උවමනා නම්. හැබැයි වෙනත් කක්ෂයන් හි ඒ කියන්නෙ පෙ ාළවට තවත් දුරින් තියෙන චන්ද්‍රිකා වල ස්පීඩ් එක මෙයට වඩා අඩුයි. ඔය හැම සංහදියකටම බලපාන එකම දෙය පෘථිවි චුම්බක ක්ෂෙත්‍රයෙ බලපෑම තමා. (මුල ඉදලම මෙතන වැරදි වචනයක් තිබිලා. මටත් දැං ක්ලික් උනෙ. 2018.03.07 :16:24. චුම්බක කියන එක ගුරුත්ව කියල වෙනස් වෙන්ටෝන. සමාවන්න වැරද්දට)

ඔය සේරම කරුණු අරගෙන බැලවම වේගය කියන්නෙ විශ්වය ඉපදුන දා ඉදලම පවතින අත්‍යාවශ්‍ය වූ සාධකයක්. දැං හැබැයි මෙහම අහන්න එපා. ඔච්චර හයි ස්පීඩ් විශ්වයක් දෙයියන්නාන්සේ කොච්චර වේගෙන් මැව්වද කියල හිටං. අපට හිටිය ශ්‍රෙෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන අයින්ස්ටයින් මහත්තයා තමන්ගෙ නියමයක සදහන් කලා මේ විශ්වයේ පවතින කිසිම දේකට ආලෝකයේ වේගය ඉක්මවලා යන්ට බෑමය කියල. ආලෝකය තමා අපි දන්න දේවල් අතරින් වේගයෙන්ම ගමන් කරන්නෙ. ආලෝකය දළ වශයෙන් තත්පරයට කිලෝමීටර් ලක්ෂ තුනක් විතර වේගෙන් යනවා. මෙන්න මේ වේගය ඉක්මවලා යන්න බැිරිය කීව අයින්ස්ටයින් ගේ නියමය බොරුවක් කියල ඔප්පු කලා 2015 දි විතර. හැබැයි ඒක අකුලගන්න උනා ගණනය කිරීම් වල වැරැද්දක් නිසා වැඩිපුර වේගයක් ඇවිත් නිසා. විශ්වයෙ ආලෝකයේ වේගයට ඉතා සමාන ඒ කියන්නෙ 99.9% ක්ම ආසන්න වේගයකින් ගමන් කරන වායුමය තාරකා හඳුනාගෙන තිබුනත් මේ කිසිම දෙයකින් අයින්ස්ටයින් ගේ නියමය වැරදියි කියල ඔප්පු කරන පුලුවන් වෙලා නෑ. 

ඔන්න පුතේ කාර් එක අරන් පැයට සීයට පාගල බුකියේ අප්ඩේට් දානන එපා දැන්නං හරිය.  

Wednesday, January 10, 2018

I, Daniel Blake


බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්‍රශ්නය තියෙනවා. මම මාසෙට දවස් කීයක් අතේ එක රුපියල් සීයක් නැතිව ඉදල තියෙනවද? ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. ඔන්න අද උදේ නැගිට්ට වෙලාවේ ඉදල අතේ කීයක් වත් නෑ. (අපේ අතේ නෑ කියන්නේ බැංකුවෙත් නෑ කියන එක තමා) සමාර වෙලාවට එදාට ප්ලේන්ටියක් බොන්නවත් සල්ලි නැති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට මේ ජීවිතේ මොකක්ද මේ විදින දුක මොකක්ද කියල පපුව හිර වෙලා ඇස් රත් වෙන හැගීම කී දෙනෙක්ට නං දැනිල ඇත්ද? මිනිස්සු නං කියාවි තොපි ඉතුරු කරන්න දන්නේ නැති එකට, ජීවත් වෙන්න නොදන්න එකට, සැලැස්මකට අනුව ජීවිතේ ගොඩනගාගන්න බැරි එකට අපි පලිද කියලා. ඒත් දුප්පත්කම, බඩගින්න කියන්නේ වචන වල හිර උන ජීවිත අවදානමක්. ඒක මිහිපිට විඳවීමක්. මම නං ඒ වගේ විදවල තියෙනවා හදවත ඉරිලා ඇතුලෙන් ලේ ගලනවා කියල හිතෙන ගානටම.

ලංකාවේ මිනිස්සු නං ඒ අතිං වාසනාවන්තයි. පුහ්.  කන්න බොන්න නැති දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුව සුභසාධන කටයුත්තක් විදියට මාසෙකට ලොකූ සල්ලි මල්ලක් හරි බඩු මල්ලක් හරි දෙනවා. මොන බොරුද කියල අහවි. නෑ ඇත්තටම රුපියල් දෙදාහක් උනත් හාල් දහයක මල්ලක් උනත් මොනවත්ම නැති කෙනෙකුට මහ මෙරක් වගේ බර උදව්වක්. කව්ද ඇත්තටම හොයල බලන්නේ ඒ වගේ මිනිස්සු සමෘදියෙන් දෙන සොච්චමෙන් ජීවත් වෙන විදිය. ඒ මිනිස්සුන්ට තව උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ආණ්ඩු මොනාද කරන්නේ. උන්ට ඕන නැති එකාගෙන්ම බදු ටික අයකරගෙන නැති එකාම කම්බස් කරල දාන්න තමා. ලොකු එකා බදු වංචා කරගෙන බෝම ලස්සනට ජීවත් වෙනවා. කව්ද මේවට නැගී හිටින්නේ?

අපි හිතනවා මේ තත්වය දියුණු රටවල් වල සෑහෙන්න අඩුය කියලා. ඇත්තටම එහෙම නෑ. ලෝකේ හැම තැනම එකම අපායක්. එංගලන්තේ විරැකියා ප්‍රතිශතය 1975 ට පස්සේ අඩුම ප්‍රතිශතයට ඇවිල්ලය කියල ඒ ආණ්ඩු පාරම් බානවා. ඒ රටේ ආණ්ඩු උනත් මින්ස්සුන්ගේ සුභසාධනයට, කන්න අදින්න, ඉන්න තැනක් නැති අයට සහන සපයන්න අතේ ඇට කඩ කඩ අමාරුවෙන් කටයුතු කරනවා.

ගිය අවුරුද්දේ ඇවිත් තිබුනා එංගලන්තේ සුභසාධනය මොන වගේ තැනක හිරවෙච්චි අධිරාජ්‍යවාදී, අමානුෂික එකක්ද කියල ලෝකෙටම පෙන්නන චිත්‍රපටියක්. ඒකේ නම I, Daniel Blake. චිත්‍රපටයේ කතාව මේ වගෙයි.

අවුරුදු පනස් නමයක් වෙච්චි ඩැනියෙල් බ්ලේක් කියන වැන්දඹු මනුස්සයා වඩු කාර්මිකයෙක්. ඒත් හදිසියේ ඇති වෙච්චි හෘද රෝගි තත්වයක් හේතුවෙන් වැඩ පල වලින් ඉවත් වෙලා විවේක ගන්න සිදු වෙනවා. නමුත් වෙනත් ආදායම් මාර්ග නැති ඩැනියෙල්ට සිද්ධ වෙන්නේ රජයෙන් දෙන සුභසාධන මුදලින් යැපෙන්නයි. නමුත් රජයෙන් ඔහුට කියනවා රැකියාවට යන්න කියලා. නමුත් ඩැනියෙල්ගේ වෛද්‍යවරු ඔහු රැකියාවට යාම අනුමත කරන්නේ නැහැ. මෙන්න මේ තත්වය ඒ කියන්නේ රජය ඩැනියෙල්ගේ සුභසාධන මුදල කපා හරින්න සෑහෙන්න ඕන කමින් කටයුතු කරද්දී අතිශය දරුණ විදියට රජයේ සේවයේ ගොදුරක් බවට පත් වෙන්නටත් ඊට අනුකූලව ඔවුන් කියන දේවල් කරමින් තමන්ට ලැබෙන ඩෝලය ආරක්ෂා කර ගැනීමටත් ඩැනියෙල් දරන වෙහෙස මේ චිත්‍රපටයේ ඉතා වේදනාකාරි ලෙස ඉදිරිපත් කරල තියෙනවා. මේ චිත්‍රපටයේ තවත් චරිතයක් කේටි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් නමුත් රැකියාවක් ඉන්නට හිටින්නට තැනක් නැතිව ජීවත් වෙන කෙනෙක්. මේ චිත්‍රපටය පුරාම දරිද්‍රතාවය මොකක්ද කොච්චර දැනෙනවද කියන එක පෙන්වන්නෙ කේට්ගේ චරිතය හරහා. අවසානයේදී තමන්ගේ අභියාචනය විභාග කරන අවස්ථාවේදී ඩැනියෙල් හාට් එකකින් මැරෙනවා.

මේ චිත්‍රපටයෙදි එංගලන්තේ සුභසාධන වැඩපිළිවෙලත් එහි තිබෙන යල් පැන ගිය දෘඩ, අමානුෂික ක්‍රමයත් පැහැදිලිවම සාකච්ඡාවට බදුන් කෙරෙනවා. චිත්‍රපටයේ කියන තරම් යකා කලු නැතත්, දහස් ගණනක් මිනිසුන් මේකෙන් පීඩාවට පත් වෙලා පාරට වැටිල එහෙම නැත්නං සේරම හරියද්දි ඒ මනුස්සයා මැරිල හරි තියෙනවා.

දුප්පත්කම ඩැනියෙල් බ්ලේක්ට වත්, කේටි ටවත් මටවත් විතරක් නෙමෙයි තවත් මිලියන ගානක මිනිස්සුන්ට අයිති දෙයක් කියල මේ චිත්‍රපටය බැලුවම තේරෙවි. මට නං මේක Heart touching movie එකක්. 

ඩවුන්ලෝඩ් කරගන්නවනං මෙන්න ලින්ක් එක.


Trailer